.......................................................................................................
ක්‍රීස්...... ක්‍රිස්... ක්‍රීස්...... ක්‍රිස්...
ඒ අතටත් මේ අතටත් පැද්දෙන විට අඹ අත්තේ වූ ලණුව ශබ්ද වන හඬ බණ පොත මත නෙත් තබා තිබුණද මිත්තණියගේ සවනට ඇසිණි.
සර සර හඬින් ඇගේ කොන්ඩය වියළි කොළ අතු මත සංගීත රටා මැවීය. ඇයට ඉහළින් නිල් අහස කැරළි ගැසුණු වලා තිර විහිදා හැරීය. වාරයෙන් වාරයට අඹ අත්ත ඇගේ සිරුරේ ඇදිල්ලට නතුව අසීරුවෙන් නැංවෙන කිරි කිරිය නැංවීය. පැද්දිල්ලකින් පැද්දිල්ලකට පයක් බිම ඇන ගැම්ම ගනිමින් ඈ ඔන්චිල්ලාවේ එල්ලී සිටියේ සිය කුඩා සිරුර පොළවට සමාන්තර ලෙස තබා ගනිමින් උඩුබැල්ලලෙන් අහස බලාගෙනයි. නිලට නිලේ බැබලුණු අාකාශය මූසල අළු පැහැයක් ගන්නා තුරුත්, කිරි සුදේ සිට රන් තැඹිලි දම් පැහැයෙන් වලාකුළු සැරසෙනා තුරුත් ඈ සිය ඉරියව්ව වෙනස් නොකරමින් ඔන්චිල්ලාවේ එල්ලී සිටියාය.
“දැන් ඇති නේද ඔය සෙල්ලම. බෙල්ල කඩා ගන්නද හදන්නෙ සඳා?”
ඒ ඇමතුමට ඇගෙන් හාවක් හූවක් නැත. සිටි ඉරියව්වේ කිසිදු වෙනසක් නොකළ ඈ කළ කාර්යය දිගින් දිගිටම පවත්වාගෙන ගියාය. දෙසවන් පියාගෙන ඇගේ කෙස් වැටිය බිම වූ වියළි අඹ කොළ මත ඇදී යන විට නැගෙන රළු රාවයට කන් දෙමින් මොහොතක් ගත කළාය. නැවතත් දෙනෙත් විදා මුහුදු රළ මෙන් හැඩ ගැසී ඇති වලාකුළුත් සිය දෑසත් ඔන්චිල්ලා ගමනේ ඉදිරියට පසුපසට සිදු වන ආගමනයන්ට මුහු කළාය.
“කී පාරක් කියන්නද ඇති කියල ඔය සෙල්ලම. මෙහෙ එනව මම කෝටුව ගන්න කලිං”
“අනේ අම්මේ ටිකා....ක්”
“මාව ඔතෙන්ට ගෙන්න ගන්නද හදන්නෙ? ආවොත් දන්නවනෙ”
මෙවර කිසි අවසරයක් නැති බව අවබෝධ කරගත් ඈ පොළවට සමාන්තර කරගත් කඳ කෙලින් කර, දෙපයම බිම තබා හැකිතාක් ඔන්චිල්ලාව ආපස්සට ගෙන උස් පැද්දුම් වාරයක් ගෙන දෙවැනි වාරයේදී ඔන්චිල්ලාවෙන් බිමට පැන දොරකඩ බලා සිටි අම්මා අසලට දිවීය.
“මෝඩ වැඩ කරන්න එපා කෙල්ලෙ. හොම්බ කට තුවාලකරගෙන එන්න විතරක් එපා අඬාගෙන”
ඈ කළ ක්‍රියාව බලා සිටි අම්මා ඈ පිළිගත්තේ බැනුමටම එක් කළ ටොක්කක්ද සමගිනි.
“දූවිලි කොළ රොඩු නාලා. බලාපන් සඳා උඹ වැද්දියක් වගේ. කෝ හිටහං”
“අනේ අම්මේ ටිකකින් ටිකකින්” යැයි කියමින් අම්මාගෙන් බේරී පැන යන්නට හැදූ සදා කෙල්ලව ඇගේ අම්මා විසින් ඈ සමීපයට ගත්තේ දුහුවිලි නා සිටි නිසාවෙන් නාවා ගෙට ගැනීමටයි. වියළි අඹ කොළ මත ඒමේ අතට ඇතිල්ලිම නිසාම ඇගේ කෙස් මත පැටළුණු කොළ රොඩු ගණනාවක් විය. කෙතෙක් දැඟලූවත් අම්මාගෙන් මිදීමට ඇයට නොහැකි වූ හෙයින් ඇගේ අරමුණ පසෙක ලා අම්මාට අවනත වූ බව හඟවා නිහඬ වීමට ඈ තීරණය කළාය ඒ තවත් ගුටි මුරයකින් හෝ ටොකු පාරකින් අම්මා අවුස්සා ගැනීම ඇයගේම අවාසියට හේතු වන හෙයිනි.
ගෙට ඇතුල් වීමට හෝ ඇයට ඉඩක් නොතබා අම්මා ඇයව කෙලින්ම ලිඳ ලඟට ගෙන ගොස් දුහුවිල්ලේත් කහට පැල්ලම් වලත් හැඩ රටා මැවූ ඇගේ හැට්ටයත්, යට කලිසම හැරෙන්නට සායත් ගලවා රෙදි ගල මත හිඳෙව්වාය.
“ඔය ඔය ඉඳගනින් විසේ නැතිව”
ගල මත සිටගැනීමට ගිය දියණිය නැවත අතින් ඇද හිඳුවන්නට ඇයට සිදු විය. සාය දෙකකුල් අතරට සිර කර බාල්දිය ලිඳ තුළට දමන මොහොතේ (වතුර ඇඟ මත හැලෙන්නටද පෙරාතුවම) සඳමාලිට සිතල හැදුනේ “රම්‍යා උඹ ඔය කෙල්ලව අසනීප කරන්නද හදන්නෙ” යැයි කියූ මිත්තණීයගේ වදනත් සමගිනි.
“අනේ අම්‍මෙ හෙට නාන්නම් බෑ... බෑ අද බෑ...”
සිය සහායට පැමිණි මිත්තණියගේ වදනින් ලද උත්තේජනයෙන් ගැයෙන්නට වූ ඇගේ යාදින්න ‘ජරාස්’ හඬින් ඈ මත ඇද හැළුණු වතුර බාල්දියේ හඬින් යටපත් විය. හිරිගඩු නැංවුණ සීතලත් සමගින් ගල මතින් පැන සිටගත් ඇගේ හිසේ බාල්දිය වැදුණෙන් නැවත අම්මාගෙන් ගුටියක් ලැබිණි.
“බලන්න අම්මෙ මේ කෙල්ලගෙ විසේ. අර ඔන්චිල්ලාව ගලවල දාන්න ඕන. ඒකෙ බුදියගෙන බිම දිගේ කොණ්ඩෙ අතුල්ල ගන්නවා. කලවැද්දියක් ගෙට ගන්න පුළුවන්ද? බලන්නකො විසේ තරම, ඔළුවත් වද්දගත්තා නැටිල්ලට ගිහින්”
රම්‍යා කීවේ නැවත ඇයව බාහුවෙන් ඇද රෙදි ගල මත හිඳුවමිනි. ගල් අතුරන ලද බිම බැඳි දියසෙවෙල් මත ලිස්සා වැටෙන්නට ගිය ඇය නොවැටී බේරුණේ වැටෙන්නට පෙර ඉඳගැනීමට හැකි වූ බැවිණි. එහෙත් රෙදි ගලේ අත වැදීමෙන් අල්ල සීරුණද ඇයට එහි වගක් නොවීය. කප්පියේ කැරකිල්ලෙන් නැගි කිරි කිරිය අසමින් ඇය වතුර බාල්දි හිස මත හැලෙනවාත් සමග හිස ඉහළ පහළ වනන්නට වූයේ පස් කණ්ඩියේ මීවන අතුද වතුර පහරට හසුව ඉහළ පහළ සෙලවුණූ හෙයිනි. කණ්ඩිය උඩ කෙටි බැම්ම මත හිඳගත් අත්තම්මා මිනිබිරියගේ දැඟලිල්ල දෙස බලමින් සිනහවෙමින් සිටියද සිය ලේලිය කෙරෙහි වූ දෝශාරෝපණය ඉවත්කර ගැනීමට නොසිතීය.
“කෙල්ල ලෙඩ වෙයි. විගහට නාවල ගෙට ගනිං. ඉරත් හැංගෙනකල්ම හිටියනෙ උඹත් මේකිව ඔන්චිල්ලාවෙන් බස්සගන්න”
“කොච්චර නම් කෑගැහුවද අම්මෙ. කෝ මේක කියන දෙයක් එක කනකට ගන්න ජාතියේයැ. අපිට පලියටමයි මුනුත් හැදෙන්නෙ.”
නැන්දම්මාගේ මුහුණ නොබලාම කී රම්‍යා සබන් පෙන පුම්බමින් සිටි සඳමාලිව ලණු කැරැල්ලෙන් අතුල්ලන්නට වූයේ “ඌයි අම්මේ රිදෙනවා” යැයි කියමින් ඇගෙන් බේරීමට දැඟලූ දියණිය තවත් සමීපයට ඇද ගනිමිනි.
“මේකනම් හොඳ කැලෑවකටමයි. බලන්නකො මේ සබන් වල කුණු පාට. කෙල්ලෙක් කියල වගක් තියේද නටන්න තියෙනවනම්”
“හා හා... දැන් ඔය ඇති බං. බලාපන් කෙල්ල වෙව්ලනව දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ. ඔන්න ඔය වතුර බාල්දි දෙකක් වක්කරල අහවරක් කොරල ගනිං”
“කෝ හිටිං එක විදිහකට”
වෙව්ලිල්ල නිසාම උඩ පනිමින් සිටි ඇයව රම්‍යා නැවතත් ගල මත හිඳවූවාය. එකින් එක වතුර බාල්දි හිස මත වැක්කෙරෙනවාත් සමගම හිස ගසා දමමින් පැද්දෙන කෙහෙ රැළින් වතුර මලක් සාදන්නට වූ සඳමාලිගේ ඒ උත්සාහයත් නැවතුණේ ‘මාව තෙමෙනව හරකියේ’ යැයි කියමින් අම්මාගෙන් නැවත ලද ටොකු පහර හේතුවෙනි. අම්මාගේ කේන්තිය ඇවිස්සීමට ලද හැම ඉඩ අවසරයම ප්‍රයෝජනයට ගන්නා මිනිබිරියගේ දඟකාරකම් දෙස මිත්තනිය බලා සිටියේ සිනහසෙමිනි.
.......................................................................................................
අවරගිර අහස වඩාත් අඳුරු කරමින් වලාකුළුවල දේදුනු වර්ණ මකා දමමින් හිරු තව තවත් කඳු අතර ගිලෙමින් පැවතිණි.
රාමු කනපිට ගැසූ බිත්තියෙහි සලබයෙක් වසා සිටියේය. උගේ අඳුරු කහ පැහැති පැල්ලම් ගැසුණු විසල් පියාපත් සුදු පැහැ බිත්ති තලය මත පැතිරී තිබිණි. ඉලිප්පී පෙනුණු ඇස් දෙකක් වැනි වූ, උගේ පූර්ව පියාපත් මත වූ කළු රවුම් පියාපත්වල කිළුටු කහ පැහැය මකාගෙන මතුවී බැබලීය. ඉහළින් දල්වා තිබූ විදුලි බුබුළ නිසා ඇතිවූ සිහින් සෙවනැල්ලක් සලබයාගේ පශ්චාත් පියාපත් වටකොට ඉරක් වන් අළු පැහැ සෙවනැල්ලක් මැවීය.
.......................................................................................................
“ආච්චම්මෙ, අහසෙ මුහුදක් තියෙනවද”
මිත්තණියගේ සමිපයට වී තෙත් හිසකෙස් තුවායෙන් පිසදා ගන්නා අතර සඳමාලි ඇසුවාය.
“අහසෙ කොයින්ද පුතේ මුහුදක්?”
“ඇයි ආච්චම්මෙ හැමදාම ඔන්චිලි පදිද්දි මං වලාකුල් දිහා බලන් ඉන්නවනෙ. එතකොට අහස එක එක විදිහ වෙනවනෙ. හරියට මුහුදෙ රැල්ල වගේ. රැළි රැළි රැළි රැළි ගොඩාආආආආයි”
“ඒ වලාකුළුනෙ පුතේ. මුහුදු රැළි නෙවෙයි”
“එහෙනම් ඒවා වේගෙන් යන්නෙ. අනික සැරින් සැරේ වෙනස් වෙනවනෙ. මං බලන් හිටිය ගොඩක් වෙලා. මුහුදෙ රැළි වගේ වලාකුළුත් සුදු පෙන ගොඩයි.”
“අහස මුහුදක් වෙලා එකපාරම පොළවට කඩා වැටුණොත්...... ආච්චම්මෙ මං ඔන්චිල්ලා පදින වෙලාවෙ මට එහෙමමයි හිතුණෙ. බැරිවෙලාවත් දඩස් ගාලා අහස කඩා වැටුණනම් එහෙම”
මිණිබිරියගේ ඇඟ පිස දමමින් සිටි මිත්තණිය ඇගේ හීන කතා අසා සිටියේ විනෝදයෙනි. බොහෝවිට ඇගේ ප්‍රශ්න සඳහා තමා වෙත පිළිතුරු නොමැති බව ඇය දැන සිටියා සේම ජීවිතයේ හසරක් නොදැන හීන ලොවක කතා මවන ඇගේ කතා අසා සිතින් තුටු වීමට ඈ හුරු වී සිටියාය. ඇරත්, ඈ ලිඳට එබෙන විට ඇයට ඔච්චම් කරන ලිඳ තුළ සිටින කෙල්ල ගොඩගන්න කළ දැඟලිල්ල අවසානගේ ඇයත් ඇගේ සෙවනැල්ලත් අතර වූ හැංගිමුත්තම් කෙළියක් බවට පත්වද්දී, එපිටින් පෙනෙන හුන්නස්ගිරි කන්දෙන් උදා හිරු නැගෙතැයි සිතා ‘අත්තම්මෙ ඉර අල්ලල එන්න කන්දෙ යං’ යැයි කියද්දී, අතට අහුවෙන ඇඳුම් කපමින් ‘බෝනික්කන්ට ඇඳුම් මහන්න’ යැයි කියමින් රෙදි විනාස කරද්දී, අම්ම වගේ තුනපහ අඹරන්නවැයි කියමින් කටු බිත්ති මත කුරුම්බැට්ටි උලමින් සෙල්ලම් ගෙවල් දමද්දී, ගල් ලෑල්ල මත අකුරු කිරීම පසෙක ලා එය සෙල්ලම් ගෙදර එළවළු කපන ලෑල්ල බවටත්, කුඩු වන තෙක් කෙටූ හුණු කූරු සෙල්ලම් ගෙදර රස ආහාර බවටත් පත් වද්දී මිත්තණිය මිනිබිරියගේ කතන්දර අතර නිහඬ ප්‍රේක්ෂිකාවක් වූවාය.
ඇය සිය මිනිබිරියගේ වයසේ සිටියදී මැවූ සිහින අතරින් දැනට ඇගේ මතකයේ දුහුවිලි බැඳුණු හුයකින් එල්ලී තිබුණේ කුඹුරු යායක කෙළවර දොළ ඉස්මත්තේ වූ වරිච්චි ගෙපැලයි. දින සති මාස අවුරුදු වී දශක කිහිපයක් පසු කළ තැන ඇගේ සිහිනය ඉටු වූ අතර අද වන විට වෙනසකට වූයේ වරිච්චිය සමතලාකොට ඉහළට නැගුණු මෝඩ ගඩොලේ කපරාරුව මතින් හුණු පිරියම් කළ බිත්තිත්, පොල් අතු හෙවිල්ල වෙනුවට බිත්ති මතින් බලය විදාහල රටඋළු වහලත් පමණි. මෝඩ ගඩොල වසා කපරාරුවක් තිබූ හෙයින් රට උළු වලට මෝඩගඩොල් නොකැපෙන බව වසංවිණි. ‘කෙල්ලට සෙල්ලං කරන්න නංගියෙක් මල්ලියෙක් හිටියනම් හොඳා... නාකි අපි එක්ක ඒකි මොන සෙල්ලමක් නම් කරන්නද’ තමාත් සිය ලේලියත් මිනිබිරියත් අතර වූ පරම්පරා දුර මනිමින්, මිනිබිරිය බහ තෝරන්නට තෝරන්නට ඇය නිතර සිතූ සිතිවිල්ල මෑතකදී ඇගේ හින අතර තැන්පත් වු අවසන්ම හීනය විය. ඇරත් තම සිහින සැබෑ වූවා සේ මිනිබිරිය නිතර දකින සිහිනය - අහස මුහුදක් වී කඩා වැටීම - සැබෑවක් විණි නම් යන සිතිවිල්ල දැන් ඇගේ මනසට නැගෙද්දී මිනිබිරියගේ දහසකුත් සිහින කතා සියල්ල එක් වී ඈ සිතේ මහා කතන්දරකාරියක මවන ලදී.
“පුතේ මේ කොත්තමල්ලි එක බොන්න”
තම කෝප්පය අතට ගත් පසු ලේලිය සඳමාලි වෙත ගෙනෙනු ලැබූ කොත්තමල්ලි කෝප්පයත් මිත්තණීය විසින්ම සියතට ගත්තේ මිණීබිරියව ඈ පසෙකින් හිඳුවා ගනිමිනි. හරි බරි ගැසී කවිච්චිය මත හිඳගත් සඳමාලි කෙල්ලට ලිඳේ සීතල වතුරෙන් ඇති කළ වෙව්ලිල්ල තවමත් පහව නොගිය බැවින් මිත්තණියගේ වොයිල් සාරියේ උණුහුමට තව තවත් ගුලි වූවාය.
“අම්මෙ හකුරු”
“නෑ නෑ සීනි දාලා තියෙන්නෙ”
“බෑ හකුරු ඕනි, නැත්තන් මට එපා මේවා”
“ටිකක් හරි කියන දෙයක් අහල ඉඳපන් ළමයා. එක මොහොතක් නිස්කලංකයක් නෑ. ඔය හැටි කෑගහන්න තියාගන්න එපා හිතුවක්කාරකමට”
ලේලිය නැවත කුස්සියට වැදෙන තුරු සිටි මිත්තණිය සිය හකුරු කැබැල්ල සඳමාලිට දුන්නේ “වැඩිපුර පැණි රස කෑවොතින් දත් නරක් වෙයි. පේනව නේද ආච්චි අම්මගෙ කටෙත් දත් නෑ” කියමිනි.
“එහෙනම් ආච්චම්ම හකුරු කන්නෙ දත් නැති නිසාද? මගෙත් ඉස්සරහ දත් සේරම නෑ. මේ.....” කියමින් සිය දත් මිත්තණියට පෙන්වූ ඇය “ඒ හින්ද මගේ දත් එනකන් අම්ම ආච්චම්මට දෙන හකුරු සේරම මට දෙන්න” යැයි කීවාය.
.......................................................................................................
සෙනග ගැවසුනද සියල්ලෝම එමෙ මෙහෙ ඇදුනේ සෙවනැලි සේය. කතා බස් බොහෝ වුණද ඒවාද කනකින් කනකට කොඳුරන රහස්ම පමණක් වී අවසානයේ හඳුනාගත නොහැකි අපැහැදිලි ශබ්ද රටා ගණනාවක් එකවිට දෙසවනට රිංගීය. තෙල් සිඳී යන විට දැල්ල නොනිවී තිබෙනු පිණිස නැවත නැවත පහනට තෙල් දැමුණි.
.......................................................................................................
උදෑසන සඳමාලි නිදි යහනෙන් නැගිට්ටුවා ගැනීමට ඇයව ඔන්චිල්ලාවෙන් බස්සවා ගැනීම තරම් හෝ දුහුවිලි නෑමේ ඇගේ ආශාවෙන් ඈත් කර තැබිම ඇයව අරලියා ගහෙන් බස්සවා ගැනීම තරම් අසිරු වූයේ නැත. පොළව මට්ටමේ සිට අතු බෙදි ගිය අරලියා ගසට ඈ පහසුවෙන් බඩගෑවේ බුදුන්ට පුදන ආච්චි අම්මාගේ මල් බන්දේසිය අරලියා මලින් පිරවිමට වඩා, ඇගේ සිහින ලෝකයේ වනාන්තරයක උස ගසක තැනූ පැලක ඈ විසින් හොබවනු ලැබූ වන දැරියකගේ චරිතය තුළ දැහැන්ගත විමටයි. බිත්ති මත උලන ලද කුරුම්බැට්ටි ලාටු ඈ සිය මුහුණ පුරා තවරාගත්තේද එම සිහිනයේ ජීවමාන කොටස්කාරියක වෙමිනි. හිරු එළිය වැටුණු විට වේවා අඳුරේම වේවා ඇය දවස අරඹන්නට ඕනෑම මොහොතක සූදානමින් සිටි අතර දවස තුළ ඈ විසින් කළ යුතු දෑ බොහෝ විය. එහෙයින් රැය පුරා වක ගැසී අත්තම්මා තුරුලේ ගුලිවි නිදන ඇය, උදෑසන පළමු මොහොතේම ඇගේ සවනට වැකෙන පළමු ඇමතුම් නදින්ම ඇඳ මත දිගෑදී හිරි ඇර ගනිමින් සිනා පාමින් අවදි වන්නීය.
“ඔය බලන්න ඉතිං, මේ ළමයට වෙන වැඩක් තියේද දවස පටන්ගත්ත මොහොතෙ පටන් ඔන්චිල්ලාවෙ එල්ලෙනව හැර”
ලේලියගේ නෝක්කාඩුව, සඳමාලිගේ මිත්තණිය බලාපොරොත්තු වූයේ ඇතුල් කාමරේ බණ පොතේ දෑස් රඳවා සිටි ඇගේ සවනට ඔන්චිල්ලාවේ කිරි කිරිය ඇසෙන්නට ගත් මොහොතේමය. එහෙත් එය මදක් පමා වූයේ කුස්සියේ වැඩපල අහවර කරමින් සිටින අතර ඇයට අඹ අත්තේ හැඬීම නෑසුණු හෙයින් විය හැකි බව ඈ සිතුවාය. ඒ වෙනුවට දියණිය කෙරෙහි වූ මැසිවිල්ල සිය නැන්දනිය වෙත ඈ පැවසුවේ නැන්දනියගේ කහට කෝප්පයද රැගෙන ඇතුල් කාමරයට පැමිණි විටයි.
“පොඩි කෙල්ල කාන්සියෙන්නෙ බං ඉන්නෙ. මක් වෙනවද මේ වයසට දාංගලේ තිබුණට. ආය ඉතිං කර දඬු උස්මාත් වුණාම දඟලන්නයැ”
“මෙයාගෙ විදිහටනම් අම්මෙ කොයි හැටි හිටීවිද මංදා ලොකු මහත් වෙද්දි” තරවටු මුහුණේ බැරෑරුම් කමක් මවාගනිමින් ඈ පැවසූයේ සිනාවක්ද සමගිනි. “අම්ම මොකෝ අද හකුරු නැතිවද තේ බොන්නෙ?” නැවතත් ඇය පැවසුවේ නැන්දනිය අතට දුන් හකුරු කැබැල්ල නැවත මේසය මත අරන් තබනු දුටු විටයි.
“උඹ ඔය හැන්දැකරේ වෙනකන් කෙල්ලව නාවන්න තියාගන් නැතිව වේලපහින් ගෙට ගනින්. අව් රැල්ලක් වැටෙන් නැති වෙලේ නාවල ඒකි අසනිප වෙයි.”
“සඳාගෙන් සද්දයක් නෑ. මං පොඩ්ඩක් ගිහින් බලන්නම්.” ඔන්චිල්ලාවේ කිරි කිරිය නෑසුණු ඇය කීවාය.
“ඔය හකුරු කෑල්ලට කූඹි වහයි අම්මෙ. කෝ දෙන්න බෝතලේට දාන්න”
“ඔහේ තිබුණාවෙ.” කී ඇය නැවත බණ පොත වෙත දෑස් රඳවා ගත්තීය.
“අම්මේ................................................”
ඇසුණු මහා විලාපය කොහෙන් කොතැනින් කාගෙන් ඇසුණිද? එය හිතළුවක් පමණද? සැබැවින්ම ඇසුණේදැයි මිත්තණියට එකවරට සිතාගත නොහැකි විය. ඇලවී සිටි ඇඳ විට්ටමින් එසැවී ඇඳ මත හිඳගත් ඇය දොරපිලට ආවේ කෙසේදැයි ඇයවත් නොදත්තාය. කියවමින් සිටි බණ පොත කොහේ තැබුවේදැයි ඇයට මතකයක් නැති විය. නැගිට්ට කලබලයට අත මේස ගැට්ටේ වැදුණු බවක් ඇගේ මතකයේ නොවිණි. දොර පිලට ආ ඇය දුටු දෙය හරියාකාරව දකින්නත් පෙරාතුව අහසත් පොළවත් තමා අවට සියල්ලත් දැලි අඟුරු සේ කළු පැහැ ගත් බව පමණක් ඇගේ මතකයේ විය.
සමාන්තරව දිවෙන ඔන්චිල්ලාවේ ලණු දෙක තවමත් සමාන්තර ලෙස අඹ අත්තේ එල්ලී පහලින් ලී අසුන රඳවාගෙන සිටී. ඇඹරුණු ලණු දෙපටත්, ලණු දෙපට විසින් සිර කරගනු ලැබූ ඇගේ කුඩා සිරුරත්, ජීවයෙන් තොරව එල්ලී වැටුණු ඇගේ දෑතත් එහි විය. ඈ ආශා කළ ඇගේ ඔන්චිල්ලාව ඇගේ ගෙල වටා සිය ලණු සලකුණු තබා තිබුණි.
.......................................................................................................
සලබයාගේ අඳුරු පුල්ලි පැය ගණනක සිට බිත්තිය සිසාරා පැතිරී ඇත. නොනිවෙනා සේ රැකවලට හසුවූ පහන ඇගේ ඉස්මත්තේ විය. කවදාකවත් ඈට නුහුරු වූ නිසලත්වයක ගිලී සිටින සිය මිනිබිරියගේ සුදුමැලි වූ සිරුර මිත්තණියගේ පටල බැඳි දෑස් තෙත්කළ කඳුළු වලින් තව තවත් බොඳ කෙරිණි. විටින් විට සිය උගුර සිර කරගන්නා දුක විසින් ඈව සිහිසුන් කෙරිණි. නමුත් යළි යළිත් ඈ සිය මිණිබිරිය සොයා ආවාය.
“නැගිටපන් දුවේ, මං අම්මට හොරෙන් අදත් හකුරු කෑල්ලක් හංගගත්තා මගේ පැංචිට. අනේ නැගිටපන් මගේ රත්තරනේ”
නිමි.
මාසයේ 7 වෙනි ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ.
මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,
තිළිණි ෂැල්වින් (සිත්තරී මං)
ප.ලි
මාසයේ අවසාන ලිපිය ලියන්නට පාඨක ඔබට කල ආරාධනාව අනුව යමින් සිරා කොලුවා වන මා වෙත නිර්මාණයක් එවූ තිළිණි ෂැල්වින් සොයුරිය වෙත මාගේ නොමද ස්තූතිය හිමි වේ.
අප්‍රේල් මාසය සදහා හත්වෙනි ලිපිය ලියන්නේ ඔබද ? බ්ලොග් ලියන කියවන හැමටම මේ අවස්ථාව විවෘතය.
අප්‍රේල් මාසය සදහා හත්වෙනි ලිපිය ලියන්නේ ඔබද ? බ්ලොග් ලියන කියවන හැමටම මේ අවස්ථාව විවෘතය.
ලස්සන නිර්මානයක් සිත්තරී අක්කෙ, අන්තිම වෙනකන් මොනාවෙයිද හිතාගන්න බැරි උනා...
ReplyDeleteබොහොම ස්තූතියි මල්ලි
Deleteලස්සනයි දුකයි. මමත් දවසම ඔන්චිල්ලාවේ එල්ලිලා උන්න ළමයෙක් නිසා හරියට මේක හිතට වැදුන. ඔන්චිල්ලාව කියන්නේ කල්පනා ලෝකයේ බොහොම දුර ගමන් යන්න හැකි වාහනයක් වුනා මට.
ReplyDeleteඅනිවාර්යයෙන්ම...
Deleteතවමත් ඔන්චිල්ලාවක් ලැබුණොත් ඒ කල්පනා ලෝකේ අනන්තෙටම යන්න පුළුවනි
නිර්මාණය අගෙයි සිත්තරී.... අවසානය වෙනකල්ම මම හිතුවෙ තැන තැන ඉඟිකලේ අත්තම්මාගෙ මලගම ගැන කියලයි.
ReplyDeleteබොහොම ස්තූතියි :)
Deleteඇත්තෙන්ම කුතුහලය හොදින් රඳවා ගත් නිර්මාණයක්. ලස්සනයි සිත්තරි ඇත්තෙන්ම.
ReplyDeleteස්තූතියි චතුරංග
Deleteමමත් කරලා තියනවා ඔය ඔන්චිල්ලාව පස්සට යනකොට ඔලුව නමාගෙන අහස දිහා බලන එක. ඒක ඇත්තෙන්ම හරිම අපූරු අත්දැකීමක්..
ReplyDeleteකතාව අපූරුයි..තාත්තා ගැන සඳහනක් නොවුන නිසා මම හිහුවේ ඉරි මැද්දේ කියලා තියෙන්නේ තාත්තගේ මරණය ගැන කියලා..
මේ වෙනකන් මමත් තාත්ත ගැන හිතුවෙ නැහැ
Deleteගොඩනගන්න ඕන වුණා ගැහැණු චරිත තුනක් එක්ක බැඳුණු විශම චරිත ලක්ෂණ ටිකක්
ඔංචිලි ගැන මතක් වෙනකොටත් දුකයි.මේ අවුරුදු කාලෙනෙ. අපි වින්ද නිදහස් ජීවිතය අපේ ලමයින්ට දෙන්න අපිට බෑ..!
ReplyDeleteඅපි කොච්චර හිතුවත් මේ සමාජීය වටපිටාවෙ ඒ නිදහස දරුවන්ට දෙන්න බෑ.
අවුරුදු කාලෙට ඔංචිල්ලාව කොහොමත් බදු අරගෙන තම්යි පොඩි ඈයො ඉන්නෙ. උදේ පාන්දර කුනුකෙල පෙරාගෙන ඔන්චිල්ලාවට දුවන්නෙ.
ලස්සනයි..සිත්තරී....සිරාටත් පිං..!
කාලෙකට උඩින් සිත්තමී කියල නංගියෙක් හිටිය නේද සිරා දැන් ආරංචියක් නෑ..!
දැන්නම් ඔන්චිල්ලා පදින්න පාක් එකට යන්න ඕනි. අපේ ගෙවල් පැත්තේ මේ දවස් වල නාගරික ළමා උද්‍යානය පිළිසකර කරල අරන් තියෙනවා. උදේ දහයේ ඉඳන් මහ රෑ වෙනකන් ඒක කඩි ගුලක් වගේ. ගෙවල් වල ඔන්චිල්ලා බඳින්න විදිහක් නෑ. වැඩිවෙන පවුල් ගානට කාමර කෑලි වත්ත වටේ හදලනේ :)
Deleteබොහොම ස්තූතියි වීයා.
(සිත්තමීව මම අන්තිමට දැක්කා 2013 බ්ලොග් ගෙට් එකේදි)
සිත්තමීව මම අන්තිමට සහ පළමු වතාවට දැක්කෙ ගම්පහ ගෙට්ටුව දවසෙ...ඇය සමහර විට දැන් විවාහ වෙලා ඒ වගකීම් එක්ක ඇති...බ්ලොග් ලියන්න වෙලාවක් නැතුව ඇති.
Deleteමටත් දුක හිතුණා කියවන් යද්දි. ලියපු කෙනාටයි බෙදා ගත්ත කෙනාටයි දෙන්නට ම ස්තුති යි.
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteකොලු කෙලි කාලයේ කොලු කෙලි බව නැත්නම් වැඩක් නෑ.
ReplyDelete:)
Deleteවෙනස්ම විදියේ කතාවක් සිත්තරී....මම හිතුවේ අත්තම්මා නැතිවෙලා , සඳා ඔංචිලි පදින එක නතර කරන්ට යනවා කියලා...හරි දුක හිතෙන කතාවක්.
ReplyDeleteඇත්තටම මේ වගේ වෙන්ට පුලුවන්ද?
ඇත්තටම මේකට පාදක වුණේ සත්‍ය කතාවක්
Deleteදවසක් නිවුස් වලට ගියා පොඩි ළමයෙක් ඔන්චිලි පදිද්දි ළණුව පැටලිලා මිය ගිය බව. දැනට මාස පහකට විතර පෙර. මේ කතාවට මූලාශ්‍ර වුනේ ඒ සිදුවීම.
මමත් ඉස්සර ඔන්චිල්ලාවේ ඉඳන් කැරකෙනවා කැරකිල්ල හැදෙනකන්. ඒ කාලේ හිතතට ආපු සිතිවිලි උදව් වුණා මේක ලියන්න
බෙහෙවින්ම සිත්ගත් නිමැවුමකි
ReplyDeleteබොහොම ස්තූතියි :)
Deleteලස්සන කතාවක් සිත්තරී.. ජය වේවා..
ReplyDeleteස්තූතියි දේශක යා :)
Deleteඅපූරුයි..... නියමෙටම ලියල තියෙනව.....
ReplyDeleteස්තූතියි :)
Deleteනියමෙටම ලියලා තියෙනවා නංගි !
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteලස්සනට ලියලා තියනවා .. අපූරු නිර්මාණයක් සිත්තරී...
ReplyDeleteස්තූතියි තුශානි
Deleteමෙ වගෙ සිදුවිම් ගනනාවක් පහුගිය කාලෙ ඇහුන නේද.දුකයි.ලස්සනට ලියල.
ReplyDeleteඔවු, ඒ අත්දැකීමකින් තමයි ලීවේ
Deleteඇත්තටම අන්තිම ටික කියවද්දී පපුව හිර උනා වගේ දෙයක් උනා. මොකෝ ඊයේ අපේ සහෝදරයෙක්ගේ අවාසනාවන්ත නික්ම යාමක් අහලා ඉන්නේ.
ReplyDelete:( :( :(
Deleteහොඳ නිර්මාණයක්, :) සිරාටත් ස්තුතියි.
ReplyDeleteස්තූතියි
Deletemamat awit giya
ReplyDelete:)
Deleteසත්තෙන්ම දුක හිතුනා. ආච්චිගේ ලෝකයේ මම තනිවුනා. අපූරුවට ලියපු කතාවක් සිත්තරී.
ReplyDeleteසිරාගේ මේ වෑයම අගය කරනවා!!!
බොහොම ස්තූතියි :)
Deleteතමන්ගෙ බ්ලොග් එක අස්සට මෙහෙම දේකට ඉඩ දුන්නු එක අගය කල යුතුයි..ලස්සන කතාවක්..
ReplyDeleteස්තූතියි උමේෂ්
Deleteඑක් සිද්ධියක් වටා කතාව ගොඩනගල තියන හැටි අගෙයි. ඔය සිද්ධිය මාත් ඇහුවා ප්‍රවෘත්ති වලින් ඒ දවස් වල.
ReplyDeleteඒක අහල ටික දවසකින් මම මගේ පුංචි කාලෙට ඔන්චිල්ලාවේ මතකයෙන් ගියා. ඒ අනුව ලියාගන්න පුළුවන් වුණා යම් තරමකින් :)
Deleteසිරා අයියට ගොඩක් ස්තූතියි මගේ කෙටි කතාව ඔයාගේ බ්ලොග් එකේ පල කළාට. :)
ReplyDeleteඔබටත් ගොඩාක් ස්තූතියි නගා....අනුන්ගෙ බ්ලොග් අඩවියක පල කරන්න ලිපියක් ලියා එව්වාට...සිරාගෙ කාමරය තුල රස විවිධ කරන අරමුණෙන් තමයි මෙවැනි අදහසකට මම ආවෙ.
Deleteසිත්තරීගෙ කතා ඉතාම රමඨ බසකින් රසවක්ව ලියනවානේ. කෙහොමත් තිළිනිගේ නිර්මාණ ම්හ්නු පොතේ වගේම අන්තර්ජාල වෙබ් අඩවි වලත් නිතර හමුවෙනවා. තිළිනිගේ නිර්මාන සැබැවින්ම අපූර්වත්වයකින් පිරුන ඒවා
ReplyDeleteඔබේ දිරිගැන්වීම් මට ලාකු ශක්තියක්. මම අන්තර්ජාලය හරහා නිර්මාණකරණයේ යෙදුණු මුල් කාලෙ ඉඳලම ඔබේ දිරිගැන්වීම් ලැබුණා. ඒ ගැන ස්තුති වන්ත වෙනවා :)
Deleteසිත්තරියේ ඇස් දෙකට කදුළු දුන්නා කතාව අන්තිමේ.
ReplyDeleteබොහෝම අපුරුයි.ලස්සනයි.ඒ වගේම මහා පාළුවක් සහිත දුකකුත් තියෙනවා මේ කතාව ඇතුලේ.
ස්තූතියි.... :)
Deleteස්තූතියි කීවේ අපූරුයි, ලස්සනයි කීවට.
ගොඩක් දුක හිතෙන කතාවක්.මගෙ පපුවත් හිර වුනා වගේ.
ReplyDelete:) ඒ තරම් දුක හිතුණනම්, මම බොරු ලස්සන කරල දුක හිතෙන්න කියන්න දන්නවා නේද?
Deleteකරකවල අතෑරිය වගේ....ඔළුවත් එක්ක හිරිවැටිලා ගියා....
ReplyDeleteමට මතක් උනේම දුර්ගාව......අපූගේ ලෝකය පොතේ අපූර්වගේ අක්කාව....