Tuesday, February 7, 2017

30 කිරි කෝඩු සිරාගේ සිරිපා කරුණාව

පෙබරවාරියෙ පෝයට කලින් දවසෙ රෑ ඔෆිස් ඉවර වෙලා එහෙමම සිරීපාදෙ යමුද බං ?

සිරා කොලුවගෙ වර්තමාන සේවා ස්ථානයේ අහල පහලින් ඉන්න මිත්තරයෙක් වෙච්ච මිගා එහෙම ඇහුවෙ හිටි ගමන් හරියට හෙණ ගහනවා වගේ. කාලයක් තිස්සෙ හිතේ හිරවෙලා කාලයේ වැලිතලාවට යටවෙලා නොපෙනී ගිහින් තිබ්බ සිරිපා කරුණා කිරීමේ ආශාව මේ වචන කීපයෙන් පස්සෙ හිතාගන්නටත් බැරි වේගෙන් ඇහැරුනා.

අනිවා...යමං මිගා මටත් සිරීපාදෙ යන්න හරිම ආසයි. සිරා කොලුවගෙ කට ඉස්සර උනා.

මම කවදාවත් සිරීපාදෙ ගිහින් නෑ කිව්වම අසික්කිත කටවල් තියෙන උන් මට කෝචොක් කලේ කවදාවත් සීගිරි ගිහින් නැති දේශපාලුවෙකුත් අල්ලගෙන. ඒ අතීතය මෙයින් මතු වල පල්ලට යාවි කියන අදහසත් හිතේ පෙරදැරි කරගෙනයි මේ සිරීපාදෙ ගමනට සිරා කොලුවා එකදු පහදු උනේ.

සිරීපාදෙ යමුද මචං ?

ඔපීසියෙ වෙනත් අංශ වල උන්ගෙන් ඇහුවාම සමහරු එන්න ආසයි ඒත් බජට් නෑ කිව්වා. තවත් සමහරු මම ආවොත් ළමයි අඩනවා ඒ නිසා නිවාඩුවක් නෑ කිව්වා, බඳිනවා තියා හිතලවත් නැති උන් කිව්වෙ මට අරයව දාලා එන්න විදියක් නෑ කියලා, මම ගිය මාසෙත් ගියා බං..තවත් උන් එහෙම කිව්වා...උඹලා ඔය ගමන ගිහින් ආවම බලහල්ලකො...ඔපීසියෙ පඩි පෙලවත් නැග ගන්න බැරි වෙයි...සිරීපාදෙ කරුණාකරලා පළපුරුදු කාරයො එහෙමත් කිව්වා.

තවත් දවස් දෙක තුනක් ගිය තැන මිගා සිරීපාද ගමන තවත් සතියක් ඉදිරියට ගත්තෙ සිරීපාද කරුණාවට පෝදා වන විට එකතු විය හැකි අතිවිශාල ජනකාය නිසා ඇතිවිය හැකි අපහසුතාවන් ගැනත් හිතලා වෙන්ට ඕනෙ. මොකද ඒකාගෙ කන් බෙරේ අස්සට ඇවිල්ලා තිබුන ප්‍ර‍වෘත්තියක සඳහන් උනේ පෝය නිවාඩු සමයෙ සිරිපා කරුණාවට රජයෙන් විශේෂ දුම්රිය සේවා කියලයි.

කොහොමින් කොහොම ගිය සිකුරාදා සේවය අවසන් කලාට පස්සෙ කාර්යාල සංකීර්ණයෙන්ම අපේ සිරිපා කරුණා ගමන ආරම්භ උනේ සේවා ස්ථානයේ විවිධ අංශ වල ඇත්තො පඩුරු වශයෙන් අපට බාර දුන්න තරමක මල්ලකුත් අරගෙනයි. ආසන්න දවස් කීපයෙදිම මස් මාංශ ආහාර අනුභවයෙන් තොරව කිරි කෝඩු අපි සිරිපා කරුණාවට කැප වෙලයි උන්නෙ, මොකද ඩැයිවර් මාමා ඇරුණාම කිරි කෝඩුම 4 දෙනෙක් අපේ නඩේ උන්නා. මගදි කොටා බාන්න හැලප, අග්ගලා වගේම ජාති දෙක තුනක් බිස්කට් එහෙමත් සැදී පැහැදී අපේ ගමන් මළු ඇතුලෙ බලාන උන්නා.

කිසිම අපහසුතාවයකින් තොරව කරවනැල්ල හරහා කිතුල්ගලටත් ලඟා උනාට පස්සෙයි අපිට කුස ගින්නක් දැනුනෙ. අහල පහල පුංචි තේ කඩේකින් ඒ අවශ්‍යතාවයත් සපුරාගෙන වන්දනා නඩේ ශ්‍රී පාද පුදබිමට ලං වෙන විට අළුයම 1 ට කිට්ටුයි.

රාත්තිරියෙ සිරීපාදෙ කරුණා කලාම දැනෙන මහන්සිය අඩුයි. අව්ව නැති එක බොහොම පහසුවක්. මම අන්තිමට සිරීපාදෙ  කරුණා කලේ දැනට අවුරුදු සෑහෙන ගානකට ඉස්සර, ගිය සතියෙ දවසක කැම්පස් එකේ ඉගෙන ගන්න මයෙ කෙලී නම් කැම්පස් යාලුවො ටිකක් එක්ක රත්නපුරේ පැත්තෙන් සිරීපාදෙ ගොහින් ඇවිත් කකුල් රිදෙනවා කියලා දවස් දෙකක්ම ගෙදරට වෙලා උන්නා. ඩැයිවර් මාමා මහ රාත්තිරියෙ සිරිපා කරුණා කරන්න යන්න හදන අපිට අවවාද අනුශාසනා එහෙම කොලා.

ඉර සේවය බලන්න යන්න නම් තවත් පරක්කු නොවී ලෑස්ති වෙයල්ලා. අපේ වාහනේ නතර කරලා තිබුන තාවකාලික රථ නැවතුම අසල වැසිකිළි පහසුකම්  වගේම ස්නානය සඳහාත් පහසුකම් තිබුන නිසා අපේ කටයුතු වඩාත් පහසු උනා.

මේ දිනවල රාත්තිරී කාලෙ ශ්‍රී පාදය අවට තියෙන ශීතල ගැන නම් කියලා වැඩක් නෑ. ඒ නිසාම ශීතල අඩුකරගන්න පුලුවන් ඇඳුම් අපේ ඇඳුම් අතර තිබුනා. පාන්දර දෙකේ කනිසමට එවැනි ශීතලක ජලයෙ කරවටක් ගිලෙනවා කියන්නෙ තරමක් අපහසු දෙයක් උනත් ගමන් විඩාව නිවාගෙන සිරිපා කරුණාවට එක්වන්නට එය කඳිම ආරම්භයක් නිසාම අපේ නඩේ හැමෝම ජල ස්නානයට එකතු උනා.

ඉර සේවය...අලුත් දවසකට හිරු උදාවන අන්දම සමනළ ගිරි සිරසේ සිට සජීවීව දැක ගැනීම මොන තරම් සුන්දර දසුනක්ද කියලා වාර්තා වැඩ සටහන් ආදියේ සිරා කොලුවා දැකලා තිබුනා.  ඒ අසිරිමත් දසුන මගේ පියවි දෑසින්ම දකින්නට තිබුන ආශාව නිසාම නඩේ අනිත් ඇත්තො කාල පමාවකින් තොරව එකතු කරගෙන ඉක්මනින් සිරිපා කරුණාව අරඹන්නට මටත් මිගාටත් හැකි උනා.


අඩ අඳුරේ අතරින් පතර දිළිසෙන ලොකු කුඩා පියගැට  ඔස්සේ අපි සිරිපා කරුණාවෙ පළවෙනි කොටසෙ වේගයෙන් ගමන් කලා. මේ කොටසෙදි වැඩිපුරම දකින්න ලැබෙන්නෙ විවිධ සුකුරුත්තං වගේම ආහාර පාන විකුනන්න තියෙන වෙළඳ සැල්.


වාහන නවත්වන ස්ථානයේ සිට ශ්‍රී පාදයේ පළමු අදියරේ සෑහෙන දුරක් යනතුරාවට ඉතාමත්ම බහුල ලෙස දකින්නට ලැබුන දෙයක් තමයි කෝඩු පැකට්...මේවායෙ තියෙන්නෙ ශ්‍රී පාදය නමෝවිත්තියෙන් කරුණා කරන්නට පැමිණි අපි වගේ උන්ට පුරාන චාරිත්‍රා ඉටු කරන්නට උවමනා දේවල්. ඉඳිකට්ටක්, නූල් බෝලයක් සහ හඳුන්කූරු පැකැට්ටුවකුත් එහි තිබුනා.


අපි හිතපු තරම් සෙනග නෑ නේද බං ? මිගා එහෙම කියලා දුම් දාන බඩ ඉරිගු අරගෙන ආවෙ අපේ නඩේ ඒ මහ පාන්දර බඩ ඉරිඟු කන්න කැමැත්ත තිබුන උන්ට විතරයි. මේ ගමන පුරාවටම විදේශිකයො බොහෝ දෙනෙක් අපේ නෙත ගැටුනා. ඒ හැමෝම ඉතාම උද්යෝගයෙන් සිරිපා කරුණාවට එකතු වී සිටින වගක් තමයි අපට දකින්නට ලැබුනෙ.


ලංකාවට වැඩම කල බුදුන් වහන්සේගෙන් සුමන නැමති ආර්ය ශ්‍රාවකයා කරන ලද ඉල්ලීමකට ප්‍ර‍තිචාර ලෙස සමනළ කන්ද මුදුනේ තම වම් ශ්‍රී පාදයේ සටහනක් තැබූ බව බොහෝ දෙනා දන්නා කාරණයක්. සෝවාන් ඵලයට පත් වෙලා හිටිය සුමන නැමති ශ්‍රාවකයා පස්සෙ කාලෙක සුමන සමන් දෙවියන් ලෙස දේවත්වයට පත් උනා. එතැන් සිට බෞද්ධයන් ඉතාම ගෞරවයෙන් සමනළ ගිරි සිරස තරණය කලත් අන්‍ය ආගමිකයන් මේ පාද සලකුණ තමන් අදහන ශාස්තෘ වරයාගේ යන විශ්වාසයෙන් සමනළ ගිර තරණය කරනවා. අපි එහි ගිය දිනයේත් දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් විශාල සංඛ්‍යාවක් දකින්නට ලැබුනා.

ගමන අතරතුරදි මහ පාන්දර කියලා වගේ වගක් නැතුව අපූරුවට පැවැත්වෙමින් තිබුන රොටී දන්සැලක් ලග අපි නතර උනා. පෝලිමක් මොකුත් නෑ. හිතේ හැටියට කුසගිනි නිවාගෙන උණු උණු  තේ බීලා නැවතත් ගමන ආරම්භ කරන්න අපිට අවස්ථාව ලැබුනා. මේ රොටී දන්සැලේ ලුණු මිරිස බොහොම සැරයි. සීතල මැකෙන්න වෙන්න ඇති එහෙම සැර. මේ ලුණු මිරිස එක්ක රොටී කාපු සුද්දො නම් හරිම ජංජාලෙක තමයි පැටලිලා හිටියෙ. ඒ කෙසේ වෙතත් මෙවැනි සත් කාර්යයක් ශ්‍රී පාදය වන්දනා කරන්නට පැමිණෙන පොදු ජනතාව වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන ඒ ඇත්තන්ට ඒ ස්ථානයේදීම ස්තූති කරන්න මම නම් අමතක කලේ නෑ.


ශ්‍රී පාදෙ වන්දනාවෙ ගිහින් ආවම සෑහෙන්න කකුල් රිදෙනවා...හරිම වෙහෙසකරයි. මේ මොන බොරුවක්ද...එහෙමයි මට ඒ වෙලාවෙ හිතුනෙ. මොකද අමාරුම කොටසට ඒ වනතෙක් අපි පිවිසිලා සිටියෙ නැති නිසා. හාත්පස අඳුරත් දැඩි  සීතලත් අස්සෙන් කඳු මුඳුන දක්වාම සටහන් කරන විදුලි පහන් එළි අපට කිව්වෙ තවත් වැඩි දුරක් තරණය කරන්නට නැති බවක්.

ශීත ගගුලට ආවට පස්සෙ අපේ නඩේ එකෙක් අපිටත් හොරා රැගෙන විත් තිබුන දෙහි ගෙඩි කීපයක් මල්ලෙන් ඉවතට ගත්තා. දෙහි නළලෙ ගාලා ශීත ගගුලෙන් මූණ හෝදගෙන යන්න කියලා අම්මා කිව්වා. අපි ඒ චාරිත්‍ර‍යත් අකුරට ඉෂ්ඨ කරලා මඳින් මඳ ඉහළට ඇදෙනකොට මුලින් දැනුන පහසුව නැතිව ගියා. ගමන් මග එන්න එන්න වෙහෙසකර උනා. අතරින් පතර නැවතෙමින්, ගිමන් හරිමින් ඉඳිකටු පහණ දක්වා ගමන් කරන අතර තුර හැලප කීපයක්ම අපිටත් හොරා අවසන් උනා.

ශීත ගඟුල

බුදුරජානන් වහන්සේ සමන්ත කූඨයට වැඩම කල අවස්ථාවේ අද ඉඳිකටු පහණ තිබෙන පෙදෙසේදී හැඳ සිටි සිවුර යම්කිසි දෙයක පැටලී ඉරී ගිය බවත්, එය නැවත සකස් කර ඉහළට වැඩම කල බවත් ඒ අර්ථයෙන් කෝඩු පිරිස් මෙලෙස නූල් සහ ඉඳිකටු රැගෙන එන චාරිත්‍ර‍ය ආරම්භ වූ බවත් මට දැනගන්නට ලැබුනා.

ඉඳිකටු පහණ කිට්ටුවට එද්දි මිගාට හොඳටම මහන්සියි. ලඟ ලඟ ගිමන් හරිමින් මේ යන විදියට නම් ඉර සේවය මග හැරෙන්න තියෙන ඉඩ වැඩියි. සිරා කොලුවට සාපේක්ෂව අනිත් උන් ගිමන් හරින වාර ගණන එන්න එන්නම වැඩි උනා. ඉර සේවය දකින්න වෙන්නෙ හීනෙන් තමා කියලා මගේ අක්මාව මට සන් කරද්දි මම තීරණය කලා නඩයෙන් මිඳිලා තනියම ඉදිරියට ඇදෙන්න. ඒ අදහසට උනුත් එකඟ උනා.

ඉඳිකටු පහණ

මිටින් හල කුරුල්ලෙක් වගේ එතැනින් පස්සෙ සිරා කොලුවා සමන්ත කූඨයේ ඉදිරියට ඇඳුනා. මේ විදියට ඉදිරියට යන්න ලැබුනෙ මහ ගිරිදඹේ කොටසට පමණයි. මට කලියෙන්  එතැනට පිවිසුන මහා ජන සන්නිපාතයක් සමනළ ගිර මුදුනට යන්නට එතැන රැස් කමින් උන්නා. සමහරු වංචාසහගතව පෝලිමෙන් පිට විවිධ මාර්ග වලින් ඉහළට ඇඳෙන්නට උත්සාහ කලා. ඒ අතර විදේශිකයොත් හිටියා.

මේ කොටසේදී සමහර වෙලාවට පැය භාගයකට වඩා එකම තැන රැඳී ඉන්නට සිදු උනත් කිසිම බැතිමතෙක් තමන්ගෙ උත්සාහය අත ඇරලා නිවෙස් බලා යන්න සූදානම් නෑ. මමත් ඒ අයගෙන් කෙනෙක්. ශ්‍රී පාදයට පැමිණි පළමු වතාව නිසාම ඉහළටම ගොහින් වන්දනා කරන්න සිරා කොලුවත් තරයේ අධිෂ්ඨාන කොර ගත්තා.

හාත්පස එතෙක් පැවති ඝණ අඳුර කෙමෙන් කෙමෙන් වියකිලා අළුත් දවසකට ඉර පායන්නට එන බව අපට හැගෙනකොට කවුරු කවුරුත් තම අත රැඳි කැමරාව, ජංගම දුරකථනය ආදිය ලං කරගෙන ඉර සේවය කාචයට නගන්න උත්සාහ කලා. මහගිරි දඹය අවටින් පෙනෙන පරිසරයේ සුන්දරත්වය හරියට දියසායම් චිත්‍ර‍යක් සිහිපත් කලා. මැනවින් වර්ණ සංකලනය කරමින් අඳින ලද මේ සිතුවම සොබාදම් දිනිතියගේ කඳිම නිර්මාණයක් බැව් නොකියාම බෑ.

ඉර සේවය

අළුත් දවසකට අරුණළු කැන්දමින් ඈත ක්ෂිතිජයේ ලා තැඹිලි පැහැයකින් එළිය පැතිරෙනකොට සමනළ කඳු මුඳුනේ නොසිටියත් වඩා සුන්දර දසුනක් දකින්නට සිරා කොලුවාටත් හැකියාව ලැබුනා.

හාත්පස මනාව එළිය වැටුනාට පස්සෙ අවට පරිසරයෙ සුන්දරත්වය අපේ ගමන් විඩාව නිවූ බව නම් සහතිකයි. එය ඒ තරම්ම සුන්දර දසුනක්. ලා නිල් පැහැයේ විවිධ ප්‍රභේද පසුබිමේ තබාගෙන ඈතින් පෙනෙන කඳු ශිඛර ශීතල මීදුම එක්ක දැවටිලා මැව්වෙ කදිම අලංකාරයක්.



මහගිරිදඹෙන් පස්සෙ පෝලිම ඉඳිරියට ඇදුනෙ කලාතුරකින්. මේ ස්ථානයේ ගල් පඬිපෙලේ තියෙන ආනතිය වැඩි නිසාම එක එල්ලේ එක තැනක හිටගෙන ඉන්න එකත් ඉතාම අපහසු කාරියක්. කාලය ගත වෙනවා. හිරු කෙමෙන් කෙමෙන් ඉහළට නැගෙනවා. ඒත් හැමෝම එකම අධිෂ්ඨානයක. සමහර තැනක ජීවන ගමන් මගේ 70 - 80 දශක වලට අයත් උවැසි උවැසියන් පවා ඉතාම කරුණාවෙන් ශාරීරික පීඩා දරාගෙන පෝලිමේ රැඳී සිටියා. බොහෝ අය නොදන්නවා උනාට ඉඳිකටුපාන සහ මහගිරිදඹේ අතර කොටසේ ගල් පඩි වල, ඒවා නිර්මාණය කල අපේ පැරැන්නන්ගේ නම් ගම් කොට තිබෙනවා. විමසිල්ලෙන් බැලුවොත් ඔබටත් පෙනේවි.


මහගිරි දඹේ සිට සෑ මළුව වෙත යන්නට තියෙන කෙටි දුර ගමන් කරන්නට ආසන්න වශයෙන් පැය 4 කට ආසන්න කාලයක් ගත වෙන්නට ඇති. ශ්‍රී පාද කරුණාවේ අවසන් අධියරට පැමිණෙන විට දැඩි හිරු රශ්මිය අප දවන්නට ගත්තා. එහෙත් වරින් වර දසතින් හමන ශීතල සුළග වගේම දෑස මානයේ පෙනෙනෙ ශ්‍රී පාද පද්මයත් ඒ වෙහෙස නැති කරලා සිත තව තවත් ශක්තිමත් කලා.

අප 20 වන සියවස පසුකර ඉඳිරියට යන වකවානුවක මෙලෙස තරණය කරන සමනළ ගිර මෙයින් ශත වර්ෂ ගණනාවක් ඈත යුගයේ කෙලෙස තරණය කරන්නට ඇතිද යන කුකුස මගේ සිතේ වරින් වර මතු උනා. ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන් ශ්‍රී පාද වන්දනාවට ගියේ තම ගේ දොර වතු පිටි ආදිය තම දරුවන්ගේ නමට පැවරීමෙන් පසු බව මා අසා තිබෙනවා. ඒ කථාවෙන්ම ශ්‍රී පාද වන්දනාව පිණිස ඒ කාලයේ තිබූ අවධානමේ තරම පිළිබඳ අවබෝධයක් අපට ලැබෙනවා. අද මෙන් ගල් පඩිපෙල සෑම තැනකම තිබුනේ නැති බවත්. සමහර තැන් වලදි යකඩ දම්වැල් වල එල්ලී ඉහළට යන්නට තිබූ බවත් පැවසෙනවා. ඒ ගමන් බිමන් වළදී සමහරෙකුගේ ජීවිත හානි වූ වගත් ඉතිහාසය පිළිබඳ ලියවුන සමහර තැන් වලදී කියවන්න හැකියි. එය වර්තමානයේ කියා වෙනසක් නෑ. මා එහි ගිය දිනයේත් හෘදයාබාධයක් නිසා මියගිය කෙනෙකුගේ සිරුරක් ඉහළ සිට පහළට ගෙන යන අන්දම දැකගන්නට ලැබුනා. ශක්තිය ඉතාමත් වැය වෙන ගමනක් නිසා ශ්‍රී පාද වන්දනාව පිණිස හොඳ ශරීර සෞඛ්‍යයක් තිබීම ඉතාම අවශ්‍යයි. සෑම සිරිපා සමයකම කීප දෙනෙකු සිරිපා කරුණාව අතරතුර ජීවිතය හැර යන බව මට පස්සෙ දැනගන්න ලැබුනා.

රත්නපුර මාර්ගයෙන් සහ හැටන් මාර්ගයෙන් පැමිණි බැතිමතුන් වෙනුවෙන් වෙන වෙනම ප්‍රවේශ මාර්ග දෙකක් තිබෙනවා. මේවායේ සේවය කරන පොලිස් නිළදරුවන් ඒවා විවෘත කරන්නේ විනාඩි 15 ක පමණ කාලයක් එක් මාර්ගයකට ලබා දෙමින්. ඒ අතරතුර ශ්‍රී පාද පද්මය වෙත තේවාව සිදුකරන සෑම විටකමත් බැතිමතුන්ගේ පැමිණීම නවත්වනවා. ඒ නිසයි සමහර වෙලාවට විනාඩි 30 - 40 අතර කාලයක් එකම තැනක නතර වී සිටින්නට සිදු වන්නේ.

මේ සියලු අපහසුතා, වෙහෙස මහන්සිය  මළුව වෙත පිවිසි සැණකින් මැකිලා යන්නෙ ආශ්චර්යයකින් වගේ. පැය 7 කට මඳක් වැඩි කාලයක් ගත කර මේ පැමිණි ගමන ගැන ඇති වන්නේ සතුටක්...ඒ වගේම සැහැල්ලුවක්. ශ්‍රී පාද මළුව වෙත පිවිසි පසුව හාත්පස පෙනෙන සුන්දර දසුන දෙස සම්පූර්ණ දිනයක් වුව බලා සිටින්නට හැකි බව මම ඔබට කීවොත් එය මුසාවක් නොවේ. එය එතරම් සුන්දර දසුනක්...ඈත ක්ෂිතයේ සිට මෑත පෙනෙන දුර දක්වා එක යායට වැතිරුන වළා කැඳලි යටින් කොළ පැහැයෙන් බබලන කදු ශිඛර ඉහළට එන්නට වෙර දරනවා වාගෙයි.






මේ මනස්කාන්ත දර්ශනය දෙස මඳ වෙලාවක් බලා සිටීමෙන් අනතුරුව ආපසු පහළට බහින්නට පටන් ගත්තා. එතැනදි දකින්නට ලැබුනා එද්දි හිටියාටත් වැඩි අති විශාල ජනතාවක් ශ්‍රී පාදය වන්දනාවට ගල් පඩිපෙල මත අධික හිරු රෂ්මිය යට උවත් අධිෂ්ඨානයෙන් යුතුව බලා සිටින අන්දම. ඒ අතර පුංචි දරුවන් වඩා ගත් දෙමාපියන් වගේම වයෝවෘද්ධ අයත් සිටීම මගේ කණස්සල්ලට හේතු උනා. ඔවුන් මහගිරිදඹේ ඉතාම අපහසුවෙන් එකම තැන බොහෝ වෙලාවක් රැඳී සිටිය යුතුයි.


ආපසු එන ගමනේදී විඩාව නිවාගන්නට පුංචි කඩයකට ගොඩ උන වෙලාවෙ කඩ හිමියා සමග පුංචි කථාබහක නිරත වෙන්නට ලැබුනා. දෙසැම්බර් මස පුර පසලොස්වක පොහොයෙන් ආරම්භ වී වෙසක් පොහොයෙන් අවසාන වන සිරිපා සමයේ පමණයි ඔවුනට මෙලෙස කඩ කාමර පවත්වාගෙන ආදායමක් උපයන්නට හැකියාවක් ලැබෙන්නේ.


සිරීපාදෙ යන කාලෙ වෙද්දි අපි මේ හැමදේම අරගෙන එනවා. කාලය අවසන් උනාට පස්සෙ මේ ලී දඬු, තහඩු හැමදේම ආයෙමත් ගෙදරට අරගෙන යනවා.

ගල් පඩිපෙල මත තනිව වුව අපහසුවෙන් යන්නට තිබෙන මගක මේ හැමදේම අරගෙන එන්නට ඔවුන් මොන තරම් වෙහෙසක් දරනවාද යන්න මට සාක්ෂාත් උනේ ආපසු එන ගමනේදී. කඳු මුඳුනේ පවත්වාගෙන යන විවිධ ආපනශාලා වෙනුවෙන් අවශ්‍ය කරන ද්‍ර‍ව්‍ය කරේ හෝ හිසේ තබාගෙන ඉතාම අපහසුවෙන් හැති දමමින් ඉදිරියට ඇදෙන මිනිසුන්ගේ දසුන සංවේදියි. විශාල ජනකායක් ගැවසෙන දින වලදී ඔවුන් තවත් අපහසුතාවයට පත් වෙන බව නම් රහසක් නෑ.

සිරීපාද වන්දනාව පිණිස ඉහළට ඇදෙන අවස්ථාවේ අපට මුණ ගැහුන රොටී දන්සැල ආපසු එන ගමනේදීත් තම සේවය වෙනසක් නොමැතිව සලසමින් තිබුනා. ඔවුන්ගේ කට සැර ලුණු මිරිස, යහමින් පොල් යොදා සකස් කර තිබූ රසවත් රොටී සමග එකතු වුන පසු කදිම රසයක් දැනුනා. මේ රසය දෙගුණ තෙගුණ උනේ ඔවුන් ලබා දෙන දුම් දමන තේ කෝප්පයකින් සන්තර්පණය උනාට පස්සෙ.


අපි හැම අවුරුද්දෙම මේ විදියට මෙතැන දන්සැල පවත්වාගෙන යනවා. ඒ සඳහා උවමනා වියදම් හොයාගන්න සමිතියකුත් අපිට තියෙනවා. ඒ ඇත්තො මට එහෙම කිව්වා.

ගමන් විඩාවෙන් රිදුම් දෙන දෙකකුලත් දරාගෙන අමාරුවෙන් පඩියෙන් පඩිය පසු කරමින් ඉදිරියට ඇදෙනකොට අපේ නඩේ එකා දෙන්නා විවිධ තැන් වලදි මට මුලිච්චි උනා. දැඩි හිරු රශ්මිය නිසා පීඩාවට පත් වෙලා දහඩියෙන් නැහැවී තිබෙන ශරීරය සිසිල් ජලයෙන් ස්නානය කරන්න පුද්ගලික සමාගමක අනුග්‍රහයෙන් ඉදිකරලා තිබුන නානකුටි ලබා දුන්නෙ කදිම සහයෝගයක්. ඔවුන්ගේ නිෂ්පාදනත් ඔවුන් ස්නානය කරන ජනතාව වෙත නොමිලයේ ලබා දුන්නෙ ස්නානය තවත් පහසු කරමින්. ඒ ඇත්තන්ටත් පින් සිදු වේවා !

මේ හැමකාරියක්ම අවසන් කරලා. ජල ස්නානයෙන් ප්‍රබෝධමත් වෙලා මමත් මිගාත් එළකිරි වීදුරුවක් තොල ගාමින් නල්ලතන්නිය නගරයේ ඉන්න වෙලාවෙ අඹන්පොල ප්‍රාදේශීය සභාවෙ නිළදරුවෙක් මට මුලිච්චි උනා. මම ඔහුගෙන් ඇහුවෙ සිරීපාද වන්දනාවට එන වන්දනාකරුවන්ට ඇති වෙන පීඩා අවම කරන්නට ක්‍ර‍මවේදයක් හදන්නට නොහැකි මන්දැයි කියා. එකම ගල් පඩියක විනාඩි 30 - 40 ගිණි අව්වේ පිච්චෙමින් දරුවන් වඩාගෙන සිටින්නට ඉන් පසුව අවකාශ නැතුව යාවි කියන විශ්වාසය මට තිබුනා.

අපි ක්‍ර‍මවේදයක් හැදුවා. ඒක ජනතාව අතරට අරගෙන යන්න මාධ්‍යයෙන් ලැබුන සහයෝගය මදි. මේ සෙනග හැමෝම ප්‍ර‍සිද්ධ නිවාඩුවක් ලැබුනාම එක රොත්තට මෙතනට එන එක නවත්තන්න පුලුවන් නම් ඔයා කියන පහසුව ඇති කරන්න පුලුවන්. ඔහු කිව්වෙ එහෙම කථාවක්.

ආපසු එන ගමනේදී හැටන් -  නල්ලතන්නි මාර්ගයේ සිරිපා කරුණාවට එන පිරිස සහ යන පිරිස දෙපසට යා නොහැකිව දැඩි මාර්ග තදබදයකට ලක්ව සිටියා. අවසානයේ පොලිසිය කරුණාවට එන පිරිසගේ වාහන ඒ ඒ තැන්වලම මාර්ගයේ අයිනට කොට නවත්වා එ්වායේ උන් මගීන් පා ගමනින් සිරීපාද පුදබිම දෙසට පිටත් කොට එවා තිබුනා. ඒ නිසාම නැවතත් මාර්ග පහසුව ඇති උනා.


මේ සිදුවීම සෑම වසරකම සිදු වුවත් ජනතාව අපහසුතාවයට ලක්වීම සමනය පිණිස කිසිම රජයක් සාධනීය පියවරක් මෙතෙක් ගෙන නැහැ. හැටන් - නල්ලතන්නි මාර්ගය එතරම් පළල නොවන මුත් සිරිපා සමයට එම මාර්ගයට දරාගත නොහැකි තරමේ වාහන සංඛ්‍යාවක් පැමිණීම එයට හේතුවයි. විශාල රථ ගාල්, සනීපාරක්ෂක පහසුකම් ආදිය තව දුරටත් වැඩි දියුණු වීම අපි හැමෝටම පහසුවක්.

කාලයක් හිතේ හිරවෙලා තිබුන සිරා කොලුවගෙ  සිරිපා සිහිනෙ ඔන්න ඔය විදියට තමයි නිමා උනේ. කකුල් කෙටි දෙක සෑහෙන්න රිදුනත්, මොන තරම් පීඩා වින්දත්...ආයෙමත් සිරීපාදෙ යන්න ඇතිවෙන ආශාව නම් අඩුවක් නෑ. බොලා සිරීපාදෙ ගිහින් නැත්තං මේ වාරෙම සිරිපා කරුණා කරන්න. පොලෝසියෙ ඇත්තන්ගෙ අදහස් අනුව නිවාඩු දිනයකට පෙර හෝ නිවාඩු දිනයක සිරිපාදයට අධික ජනතාවක් පැමිණෙන නිසා අධික තදබදයෙන් ඔබ අපහසුතාවයට පත් වේවි. එහෙත් ප්‍ර‍සිද්ධ නිවාඩු නොමැති සතියේ වැඩ කරන දිනයන්හි ඔබ එහි යන්නේ නම් ඔබට ඉතාම පහසුවෙන් සිරිපා කරුණා කරන්නට අවස්ථාව උදා වේවි.

යමක් අපහසුවෙන් ඉටු කරගත්තාම හිතට දැනෙන සතුට වැඩියි...අන්න එවැනිම සතුටක් සිරා කොලුවගෙ හිතටත් දැනුනා මෙවර හා පුරා කියා සිරීපාදය කරුණා කලාට පස්සෙ. ඒ සතුට ඔබත් අත්විඳ බලන්න.



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

දිඹුලාගල කන්දේගම කණිෂ්ඨ විද්‍යාලයේ අඩුපාඩු සපුරාලමින් බ්ලොග්කරුවන් පිරිසකගෙන් සමන්විත අරුණළු කණ්ඩායම විසින් මාර්තු 20 දින පවත්වන්නට සැරසෙන ආධාර වැඩසටහනට පෙබරවාරිය අවසාන වන තුරු ඔබට ආධාර කල හැක. ඔබේ ආධාරය නිසැකවම, අඩු පහසුකම් යටතේ අධ්‍යාපනය ලබන ඒ අහිංසක දරු දැරියන්ට ශක්තියක් වනු ඇත. අපේ ආධාර බලාපොරොත්තුවෙන් දෑස් දල්වා මග බලාගෙන සිටින ඒ අහිංසක හිත් සතුටින් පුරවමු. වැඩි විස්තර සඳහා සිරාගේ කාමරයේ දකුණු පස ඉහළින්ම ඇති අරුණළු ලාංඡනයට කොටන්න.

ගිණුම් විස්තර

Account Name : Arunalu Manushathwaye Sathkaraya
Account No :      121261002661
Bank : Sampath Bank, Gampaha Super Branch
Related Posts Plugin for WordPress, Blogger...