අවසන්
ජාලෙන් පෙරලපු ලිපියෙන් අපි විස්තර දැනගත්තෙ
අයිෆල් කුළුණ ගැන..ඒ සඳහා ලැබුන ප්‍රතිචාරය ඉතාම ඉහළයි. බොහෝ පිරිසක් ලිපියේ අන්තර්ගතය ගැන ප්‍රශංසාත්මකව කථා කලා. සමහරු අදහස් දක්වලා ඊයක් දෙකක් විද්දා. ඒ නිසාම මෙදා වාරෙ සිරා කොලුවා කල්පනා කලා මම නොදුටු දෙයක් වෙනුවට මට දිනපතාම සේවයට යද්දි එද්දි දකින්න ලැබෙන ඉඳිකිරීමක් ගැන විස්තර බොලාට කියන්න.
ඒ තමයි මැලේසියාවෙ අගනුවර වන ක්වාලාලම්පූර් නුවර බොහෝ තැන් වලට පැහැදිලිව පෙනෙන මැලේසියාවේ අභිමානය ලෙස සැළකෙන පෙට්‍රොනාස් නිවුන් කුළුණු. 1998 සිට 2004 දක්වා කාලය තුල ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස වැජඹුන මේ දැවැන්ත නිර්මාණය වර්තමානයේත් ලොව නිවුන් ගොඩනැගිලි අතර අංක එකට වැජඹෙනවා. මැලේසියාවේදී වඩාත්ම ඡායාරූපයට නැගුන සංචාරක ස්ථානය වගේම ක්වාලාලම්පූර් නුවර 21 වන සියවසේ සංධිස්ථානයක් සළකුණු කල පෙට්‍රොනාස් ද්විත්ව ගොඩනැගිල්ල උසින් මීටර 452 ක්. ශ්‍රී ලංකාවේ උසම ගොඩනැගිල්ල ලෙස කාලයක් වැජඹුන කොළඹ කොටුවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උස මීටර් 152 යි. ලංකාවේ ගොඩනැගිල්ල දැක ඇති ඔබට පෙට්‍රොනාස් ගොඩනැගිල්ලෙ උස ගැන දළ අවබෝධයක් ගන්නට හැකි වේවි.
 |
| ක්වාලාලම්පූර් නගර මධ්‍යයේ අභීතව නැගී සිටින පෙට්‍රොනාස් |
 |
| රාත්‍රියට පෙනෙන අන්දම |
මැලේසියාව කියන්නෙ තමන්ටම කියලා ඛණිජ තෙල් සහ ගෑස් නිපදවන රටක්. එම ඛණිජ තෙල් සහ ගෑස් නිෂ්පාදන ජනතාව අතරට අරගෙන යන රජයේ ආයතනය තමයි පෙට්‍රොනාස් කියන්නෙ. ඔවුන් ලෝක මට්ටමෙන් ගත්තත් රටවල් 30 කට ආසන්න ගනනකට තමන්ගෙ නිෂ්පාදන සපයන ප්‍රමුඛ පෙලේ ආයතනයක්.
 |
| මහතීර් මොහමඩ් අගමැති තුමා |
 |
| ආනන්ද ක්‍රිෂ්ණන් මහතා |
මැලේසියාවේ එවකට අගමැති ආචාර්ය මහතීර් මොහමඩ් මහතාට අහස සූරන ගොඩනැගිල්ලක් ක්වාලාලම්පූර් නුවර මධ්‍යයේ ඉඳිකරන්නට අදහස පහල වී තිබුනා. ඔහු මේ අදහස ඔහුගේ හිතවතෙකු මෙන්ම මැලේසියාවේ ධනවතුන් අතර දෙවැනි තැන අදටත් සිටින ආනන්ද ක්‍රිෂ්නන් මහතාට සැළ කලා. ආනන්ද ක්‍රිෂ්ණන් මහතා 1938 දී මැලේසියාවේ ඉපදුන දමිළ ජාතිකයෙකු වුවත් ඔහුගේ දෙමාපියන් ලංකාවේ යාපනය ප්‍රදේශයෙන් යටත් විජිත සමයේ මැලේසියාවට සංක්‍රමණය වී තිබුනේ ඉංග්‍රීසි ජාතිකයන්ගේ ව්‍යාපෘති වල සේවය කිරීම සඳහායි. ආනන්ද ක්‍රිෂ්නන් මහතා ගොඩනැගිල්ල ඉඳිකල වකවානුවේ පෙට්‍රොනාස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කලා. මේ සමාගම බිහි කිරීම සඳහාත් මහතීර් මොහමඩ් මහතාට ක්‍රිෂ්නන් මහතාගේ අදහස් ලැබුන බව දැනගන්නට තිබෙනවා.
නගර මධ්‍යයේ තමා සතු තුරඟ තරග පවත්වන භූමිය මේ සඳහා ලබාදිය හැකි බව ක්‍රිෂ්ණන් මහතා පැවසූ විට අගමැති වරයා එය මේ ව්‍යාපෘතිය වෙනුවෙන් විකුණන ලෙස යෝජනා කලද ආනන්ද ක්‍රිෂ්ණන් මහතා පවසා ඇත්තේ ඉඩම ලබාදෙන්නේ මේ ගොඩනැගිල්ල ඉඳිකිරීම තමා හට බාර කලොත් පමණක් බවයි. ඒ අවසරය ඔහුට පැවරුන පසු මේ ඉඳිකිරීම සඳහා දායක කරගත් ප්‍රධාන සැලසුම් කරුවා මෙන්ම ජපාන සහ කොරියානු සමාගම්ද ආනන්ද ක්‍රිෂ්නන් මහතා විසින් සොයාගත් ඒවාය. ඒ අනුව මේ ගොඩනැගිල්ල පිටුපස සිටින යෝධ චරිතයක් ලෙස ඔහු හැඳින්වීම සාවද්‍ය නොවේ. ලංකාවේ අපටද ඔහු කෙරේ නෑදෑකමක් ඇති නිසා එය ලාංකිකයන් ලෙස අපට මහත් ආඩම්බරයකි.
ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක් වියදම් කොට ගොඩනැගිල්ල ඉඳිකර අවසන් වූ පසු එක් කුළුණක් අගමැති වරයා හටත්...අනෙක් කුළුණ ආනන්ද ක්‍රිෂ්ණන් මහතා හටත් අයත්ව තිබූ බව කියවුනත් මැලේ සමාජයේ පිළිගැනීම එය සම්පූර්ණයෙන්ම ක්‍රිෂ්ණන් මහතාට අයත්ව තිබූ බවකි. ජාතිවාදී අදහස් හා නොයෙක් දෙසින් එල්ලවූ විවිධ පීඩනය නිසා 2000 වසරේදී මේ ගොඩනැගිල්ල මැලේසියානු රජයට විකුණා දමන්නට ක්‍රිෂ්නන් මහතා කටයුතු කලා.
ඉතාම කළාතුරකින් ප්‍රසිද්ධියේ පෙනී සිටින, පුණ්‍ය කටයුතු හා පරිත්‍යග වෙනුවෙන් නිතරම කෝටි ගනනින් මුදල් ලබාදෙන, මැලේසියාවේ සන්නිවේදන චන්ද්‍රිකා සියල්ලේ මෙන්ම අංක එකේ ජංගම දුරකථන ජාලයද ඇතුලු ජංගම දුරකථන ජාල දෙකක, අංක එකේ කේබල් රූපවාහිනී සේවයේ මෙන්ම, ඛණිජ තෙල් සහ ගෑස් ඇතුළු බොහෝ ව්‍යාපාර වල හිමිකරුවා වන ආනන්ද ක්‍රිෂ්නන් මහතා ලංකාවේ ටෙලිකොම් ආයතනයේද කොටස් මිළදී ගෙන ඇති බව අසන්නට ලැබේ. මෙතුමාට පුතුන් දෙදෙනෙකු හා එක් දියණියක සිටිති. එක් පුත්‍රයෙකු පෙට්‍රොනාස් සමාගමේ ඉහළ තනතුරක සිටින අතර අනෙක් පුත්‍රයා මේ වන විට තායිලන්තයේ බෞද්ධ භික්ෂුවක් ලෙස මහන දම් පුරයි. ක්‍රිෂ්නන් මහතාද බුදුන් සරණ ගොස් ඇති බවට රාවයක් මැලේ ජනසමාජය තුල පවතී. බ්‍රික්ෆිල්ඩ් බෞද්ධ මහා විහාරය ආසන්නයේ ක්‍රිෂ්නන් මහතා උපන් නිවස අදටත් දක්නට හැකියි.
වර්තමානය වන විට කුළුණු දෙකෙන් එක කුළුණක් පෙට්‍රොනාස් ආයතනයට සහ ඔවුන්ගේ අනුබද්ධ සමාගම් වල කාර්යාල පවත්වාගෙන යාම සඳහා වෙන් වී තිබෙනවා. අනෙක් කුළුණේ ලොව ප්‍රකට සමාගම් වන
Huawei Technologies, AVEVA, Al Jazeera English, Carigali Hess, Bloomberg, Boeing, IBM, Khazanah Nasional Berhad, McKinsey & Co, WIPRO Limited, TCS, HCL Technologies, Krawler, Microsoft, The Agency සහ Reuters තම කාර්යාල පවත්වාගෙන යනවා.
 |
| පෙට්‍රොනාස් සන්නාමය |
මේ විශ්වකර්ම ගොඩනැගිලි ද්විත්වය සැලසුම් කලේ ආජන්ටිනා සම්භවය සහිත ඇමරිකානුවෙකු වන César Pelli විසින්. ගෘහ නිර්මාණ ක්‍රම රාශියක සංකලනයක් විදියටත්, 21 වන ශත වර්ෂයට ගැලපෙන විදියටත්, මේ නිර්මාණය සැලසුම් කිරීම තමයි එතුමාගෙ අභිප්‍රාය වෙලා තියෙන්නෙ. 1992 ජනවාරි 1 වැනිදා මේ දැවැන්ත ගොඩනැගිලි ද්විත්වය සැලසුම් කිරීම නමෝ විත්තියෙන් ආරම්භ උනා. ගොඩනැගිල්ලෙ සැලසුම විදියටම ඉඳිකල අනුරූ මත සුළඟ සහ විවිධ බර යොදා කරපු සංකීර්ණ පරීක්ෂණ රාශියක් අවසානයේ 1993 මාර්තු 1 වැනිදා පෙට්‍රොනාස් නිවුන් කුළුණු ඉඳිකරන්න පටන් ගත්තා. මුලින්ම කරන්න තිබ්බෙ පොළොව හාරන කටයුත්ත. සෑම රාත්‍රියකම ලොරි රථ 500 ක් පුරවලා කණින ලද පස් ඉවතට අරගෙන ගියා. එක රැයකට මීටර් 30 ක් පොළව යටට හාරන්න ඉංජිනේරුවන්ට හැකි උනා. සමස්තයක් විදියට මේ ගොඩනැගිල්ල තනා නිමකරන්න වසර 7ක් ගත වෙලා තියෙනවා.
 |
| César Pelli |
ගොඩනැගිල්ලේ සැකිල්ල 1994 අප්‍රියෙල් 1 වනදා ඉඳිකිරීම අාරම්භ කලා. 1996 ජනවාරි 1 වන විට ගොඩනැගිල්ලේ ඇතුලත නිමැවුම් කටයුතු ගෘහ භාණ්ඩ ස්ථානගත කිරීමද ඇතුලත්ව නිමකලා. පෙට්‍රොනාස් කුළුණු මුදුනේ ඇති කොත 1996 මාර්තු 1 වැනිදා තනා නිම උනා. පෙට්‍රොනාස් සමාගමේ සේවකයන් ගොඩනැගිල්ලට ගෙවදුනේ 1997 ජනවාරි 1 වැනිදා. නිල වශයෙන් මේ ගොඩනැගිලි ද්විත්වය මැලේසියාවේ හිටපු අගමැති ආචාර්ය මහතීර් මොහමඩ් මහතා අතින් විවෘත උනේ 1999 සැප්තැම්බර් මස 1 වැනිදා. හරියටම මැලේසියාවෙ ජාතික දිනය යෙදෙන දවසට පහුවෙනිදා.
ඉඳිකිරීම් කටයුතු කරන්නට කලියෙන් එහි පොළව පිළිබඳ කල පරික්ෂණ වලින් භූමියේ එක කොටසක් හුණු ගල් වලින් යුතු බවත් අනෙක් කොටස මෘදු පාශාණ වලින් යුතු බවත් සොයාගත්තා. අවසානයේ යෝජිත භූමිය මීටර් 61 ක් පසෙකට තල්ලු කරමින් ගොඩනැගිලි ද්විත්වයම මෘදු පාශාන සහිත පොළවක් මත ඉඳිකිරීමට හැකි ලෙස වෙනස් කලා. පොළවට යටින් පිහිටා තිබූ ප්‍රධාන පාෂාණ තට්ටුව නිසා ඇති විය හැකි අවහිරතාවයන් අවම කිරීම මේ වෙනස ඇති කිරීමේ අරමුණ උනා.
ගොඩනැගිල්ලක් වෙනුවෙන් ඒ කාලයේ ඉඳිවුන ගැඹුරුම අත්තිවාරම මත තමයි පෙට්‍රොනාස් නිවුන් කුළුණු උපන්නේ. පොළව යට මීටර් 60 සිට 114 දක්වා ගැඹුරේ ස්ථානගත කොට තිබෙන කොන්ක්‍රීට් තට්ටු 104 කින් එය සමන්විතයි. අත්තිවාරම මීටර් 120 ක් පොළව යටට දිව ගියා. සමස්ත කොන්ක්‍රීට් පාදම කියුබික් මීටර් 13200 ක් විශාලයි. එක් කුළුණක අත්තිවාරම නිමකිරීම වෙනුවෙන් පැය 54 ක් නොකඩවා කොන්ක්‍රීට් පොම්ප කරන්නට සිදු උනා. එහි බර ආසන්න වශයෙන් ටොන් 35800 ක්. ලොව විශාලතම පාදමට හිමි වාර්තාව වර්ෂ 2007 දක්වා රැකගන්නට පෙට්‍රොනාස් ගොඩනැගිල්ලට හැකියාව ලැබුනා. අත්තිවාරම නිම කරන්නට Bachy Soletanche නැමති එංගලන්ත සමාගමට මාස 12 ක් ගතවී තිබෙනවා. ගොඩනැගිල්ලේ සැකිල්ල Fazlur Rahman Khan විසින් සොයාගත් Tube in Tube ක්‍රමයට නිම උනා. ඒ සඳහා දායකත්වය දැක්වූයේ හයිටි ජාතික ඉංජිනේරුවන් තිදෙනෙකු වූ Domo Obiasse, Colleagues Aris Battista සහ Princess D Battista යන අයයි.
 |
| දිගු ගමනක ඇරඹුම |
තට්ටු 88ක් උසැති මේ නිවුනු කුළුණු දෙකේ ඉඳිකිරීම් වලින් වැඩි කොටසක් සවිගැන්වූ කොන්ක්‍රීට් මගින් නිම කර තිබෙනවා. ගොඩනැගිල්ලේ ඉදිරිපස වානේ සහ වීදුරු භාවිතයෙන් ඉස්ලාම් කලාශිල්ප වල අාභාෂය ලබමින් කල නිර්මාණය මගින් මැලේසියාවේ රාජ්‍ය ආගම වන මුස්ලිම් ආගම පිළිඹිබු වෙන බවක් කියවෙන්නෙ. මෙයට අමතරව ඉස්ලාම් කලා ශිල්ප වල ආභාෂය ගොඩනැගිල්ලේ තවත් තැන් වල දකින්නට හැකියි. ගොඩනැගිල්ලේ මැද කොටසේදී Rub el Hizb නැමති ඉස්ලාම් කලා ශිල්ප වල එන හැඩය සහිතව ගොඩනැගිල්ල ඉහළට එසැවී තිබෙනවා
ඇත්ත වශයෙන්ම පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ මූලික සැලසුම ඇඳ තිබෙන්නේ මීටර් 427 ක් උස වන පරිද්දෙන්. එහෙත් තවත් මීටර් 15 ක් ඉහළට මේ ගොඩනැගිල්ල එසවූවා නම් එය ලෝකයේ උසම ගොඩනැගිල්ල බවට පත්වන බව එවකට මැලේසියානු අගමැති ආචාර්ය මහතීර් මොහොමඩ් මහතා ට වැටහී තිබෙනවා. ඔහු සැලසුම් ශිල්පියාට උපදෙස් දුන්නේ තවත් මීටර් 15 ක් උස වැඩිකර ලොව උසම ගොඩනැගිල්ල බවට මේ ඉඳිකිරීම පත් කරන ලෙසයි. අවසානයේ අලුතින් තවත් තට්ටු එකතු කරනවා වෙනුවට ගොඩනැගිල්ල ඉහළින් ඉඳිකල ඔටුන්න වැනි කොටස මගින් මීටර් 452 ක් දක්වා උස වැඩිකරන්න සමත් උනා.
මැලේසියානු රජයේ බලාපොරොත්තුව උනේ මේ ගොඩනැගිල්ල වසර 6 කින් සාදා නිමකරන්නටයි. ඒ අනුව එම ඉලක්කය සපුරා ගන්නට එක් එක් කුළුණු ඉඳිකිරීම වෙන වෙනම සමාගම් දෙකක් වෙත පවරා තිබෙනවා. පළමු කුළුණ හෙවත් බටහිර කුළුණ
Hazama Corporation නැමති ජපාන සමාගම ප්‍රමුඛ තවත් සමාගම් කීපයක් මගින් ඉඳිකලා. දෙවන කුළුණ හෙවත් නැගෙනහිර කුළුණ
Samsung C&T Corporation නැමති දකුණු කොරියානු සමාගම ප්‍රමුඛ තවත් සමාගම් කීපයක් මඟින් ඉඳිකලා. අවසානයේ මුලින්ම කුළුණ ඉඳිකරන්නේ කවුද? යන ගැටළුව කාටත් ඇති උනා.
දහස් සංඛ්‍යාත දේශීය/විදේශීය සේවකයින් මේ සමාගම් යටතේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වලට දායක උනා. නැත්නම් මේ ඉඳිකිරීම බහුජාතික වෑයමක් උනා. ගොඩනැගිල්ලේ මූලික සැකිල්ලේ වැඩ කටයුතු අධීක්ෂණය කලේ ඇමරිකානු ඉංජිනේරුවන්. කුළුණු ද්විත්වය ජපානයේ සහ දකුණු කොරියානු දැනුමෙන් ගොඩනැගුවා. අධිවේගී විදුලි සෝපාන සහ එක්ස්කැලේටර් කැනඩාවෙන් ලැබුනා.
පෙට්‍රොනාස් ගොඩනැගිල්ල ඉඳිකිරීම ජපානය සහ දකුණු කොරියාව අතර තරඟයක් බවට කෙමෙන් කෙමෙන් පත් උනා. අවසානයේ තම ප්‍රතිවාදියාට සතියකට කලින් ඉලක්කයට ලඟා වෙන්නට දකුණු කොරියානු කණ්ඩායමට හැකි වෙලා. දෙවන කුළුණ මුලින්ම ඉහලට නැගී එතෙක් ලොව උසම ගොඩනැගිල්ල ලෙස නම් දරා සිටි මීටර් 442.1 උස ඇමරිකාවේ
Willis Tower නැමති ගොඩනැගිල්ල පසුකර නව ලොව උසම ගොඩනැගිල්ල ලෙස ලෝක වාර්තාවට හිමිකම් කිව්වා.
ගොඩනැගිල්ල මුදුනේ සවිකල කොත වැනි කොටස මේ ජයග්‍රහණය අත්කර ගැනීමට බොහෝ සේ දායක වී තිබෙනවා. එය මීටර් 73.5 ක් උසින් යුතුයි. ගොඩනැගිල්ලේ නිමාව සටහන් කරමින් කල ඉඳිකිරීමකට වැඩි දෙයක් ඒ තුල අන්තර්ගත වෙයි. සති 19 කට වැඩි කාලයක් මේවා නිපදවන්නට සහ එකලස් කරන්නට වැය වී තිබෙනවා. කොරියානුවන් නිපදවූ කුළුණේ කොත කොරියාවෙත්, ජපාන සමාගම විසින් ඉඳිකල කුළුණේ කොත ජපානයේදිත් නිපදවා තිබේ. ඒවා විවිධ කොටස් 50 කින් පමණ සමන්විතය. මේ කොටස් දෙක ටොන් 176 ක් පමණ බරින් යුතු වෙයි. කුළුණු ද්විත්වයේ පෙනුම මේවා මගින් තීව්ර කර ඇති අතර ගුවන් යානා වෙත අනතුරු අඟවන විදුලි බුබුළුද ඒ මතම සවිකොට තිබේ.

ගොඩනැගිල්ලේ ඉඳිකිරීම් අතරතුරදී භාවිතා කල කොන්ක්‍රීට් කාණ්ඩයක තත්වය පිළිබඳ ගැටළුවක් ඇති වීම නිසා අලුතෙන් ඉඳිකිරීම සම්පූර්ණයෙන් නවතා දමා එතෙක් ඉඳිකර තිබූ සියළුම මහල් පිළිබඳ තත්ව පරීක්ෂණයක් කරන්නට සිදුඋනා. අවසානයේ එක් මහලකට පමණක් තත්වයෙන් බාල කොන්ක්‍රීට් යොදා තිබූ බව අනාවරණය වූ නිසා එම මහල සම්පූර්ණයෙන් කඩා ඉවත් කොට නැවතත් ඉඳිකොට තිබෙනවා. ඉඳිකිරීම් නැවතීම නිසා එක් දිනයකට වැය ඇමරිකානු ඩොලර් ලක්ෂ 7ක් බවට ගණනය කර තිබුනා. මේ හේතුව නිසා කොන්ක්‍රීට් සැපයුම් ස්ථාන (Plant) 3 ක් වෙන වෙනම අලුතින් ස්ථාපනය කල අතර එක් ස්ථානයක නිෂ්පාදනය වන කොන්ක්‍රීට් තත්වයෙන් බාල වුවහොත් අනිත් ද්විත්වය භාවිතා කිරීම එහි අරමුණයි.
පෙට්‍රොනාස් ගොඩනැගිල්ල 72 වෙනි මහලට ලගා වූ පසු ඉංජිනේරුවරුන් විසින් එය මිලිමීටර් 25 ක ඇලයක් සහිතව ගමන් කරන බව සොයාගත්තා. ඒ නිසා එයින් මතු ඉඳිවූ මහල් මිලිමීටර් 20 ක් සිරස් අතට ඇතුලට ගෙන තිබෙන අතර ඉඳිකිරීම් අවසන් වන තුරු මේ කාරණය පිළිබඳ විශේෂඥයන් දිනකට දෙවරක් බැගින් පරීක්ෂා කොට තිබෙනවා.
පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ ඇති සුවිශේෂීම අංගය නම් එහි ඇති තට්ටු දෙකේ අහස් පාලමයි. එක් කුළුණක 41 වන මහලත් අනෙක් ගොඩනැගිල්ලේ 42 වෙනි මහලත් මෙමගින් සම්බන්ධ කොට තිබෙනවා. ලෝකයේ ගොඩනැගිලි දෙකක් එකට සම්බන්ධ කරන පොළවට වඩාත් ඉහළින් පිහිටි පාලම ලෙසයි මෙය සැලකෙන්නේ. එය පොළවේ සිට මීටර් 170 ක් උසින් ස්ථානගතවී තිබෙනවා. මෙය ගොඩනැගිල්ලේ ප්‍රධාන සැකිල්ලට සම්බන්ධ කොට නෑ. විශාල සුළගකදී පාලමට සිදුවිය හැකි හානි අවම කිරීමේ අරමුණින් එය සකස් කොට තිබෙන්නේ අංශක කීපයක් දෙපසට පැද්දෙන ලෙසයි. පැයට කිලෝමීටර් 105 ක වේගයෙන් හමනා සුළගකදී උනත් පාලම මෙන්ම ගොඩනැගිල්ලත් ආරක්ෂිතයි. ඒ බව දෙවරක්ම පරීක්ෂණ මගින් ඉංජිනේරුවන් සනාථ කොට තිබෙනවා. මේ පාලම නිසා කුළුණු ද්විත්වයට හදිසි අවස්ථාවකදී අමතර සහායක් ලැබෙනවා. අහස් පාලමේ දිග මීටර් 58 ක්. පාලමේ බර ටොන් 750 ක්. මේ පාලමේ ඉඳිකිරීම් කටයුතු නිම කලේ Kukdong Engineering & Construction නැමති දකුණු කොරියානු සමාගමයි.
 |
| මවිසින් ගන්නා ලද ඡායාරූපයක් |
 |
| අහස් පාලම මතදී මවිසින් ගන්නා ලද ඡායාරූපයක් |
අහස් පාලම ආරක්ෂාකාරී උපාංගයක් ලෙසත් භාවිතා කරන්න පුලුවන්. හදිසි ගින්නකදී හෝ වෙනත් ආපදාවකදී එක් කුළුණක ඇති කාර්යාල වල සිටින සේවක සේවිකාවන්ට අනෙක් පස කුළුණට ගමන් කරන්නට මෙමගින් අවස්ථාව ලැබී තිබෙනවා. පාලමේ බර දරාගෙන සිටින්නේ මීටර් 51 ක් දිගැති ආරුක්කු දෙකක් විසින්. 29 වෙනි මහලේදී ඒවා ගොඩනැගිල්ලට සවි වී තිිබේ. භූමියේදී එකලස් කොට ඉහළට එසවූ අහස් පාලම නිසි ලෙස සවිකරන්නට 1995 ජූලි මාසයේදී දින 3 ක් ගත උනාලු. මේ පාලම විසින් සම්මන්ත්‍රණ ශාලාවක්, විධායක ශ්‍රේණියේ අවහන්හලක් සහ යාච්ඤා කිරීම උදෙසා වෙන් වූ ස්ථානයක් සම්බන්ධ කරනවා.
මේ ගොඩනැගිල්ල සතුව අධිවේගී විදුලි සෝපාන 29 ක් තිබේ. පොළව යට තනා ඇති වාහන නැවතීමේ අංගන වල වාහන 5400 කට පමණ ඉඩ තිබේ. ගොඩනැගිල්ල තනන්නට සුදු යකඩ වර්ග මීටර් 83500ක්, වීදුරු වර්ග මීටර් 77000 ක්, යකඩ ටොන් 36000 ක් පමණ වැය උනාලු. සමස්ත පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ බර මෙට්‍රික් ටොන් 600,000 ක් ලෙස ගනන් බලා තිබේ. ඒ අනුව එක් කුළුණක බර මෙට්‍රික් ටොන් 300,000 කි.
ලොව උසම ගොඩනැගිල්ල ලෙස පෙට්‍රොනාස් කුළුණු ද්විත්වය 1999 සිට 2004 වසර වන නෙත් වැජබුනා. තායිවානයේ තායිපේ නුවර ඉඳිවුන 101 ගොඩනැගිල්ල මීටර් 508 ක උසක් සටහන් කරමින් පළමු ස්ථානය මැලේසියාවෙන් උදුර ගත්තද 2010 දී මීටර් 828 ක් උස බර්ජ් කලීෆා ගොඩනැගිල්ල විවෘත කරමින් නූතන ලෝකයේ උසම ගොඩනැගිල්ලට හිමිකම් කියන්නට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පුරවරය සමත් උනා. ලොව උසම ගොඩනැගිල්ල තමා සන්තක කර ගැනීම ලොව දියුණු රටවල් අතර තරඟයක් බවට වර්තමානය වන විට පත්ව තියෙනවා.
මෙතෙක් මා ඔබට කිව්වේ පෙට්‍රොනාස් ගොඩනැගිල්ල හා සම්බන්ධ තාක්ෂණික හා වෙනත් කාරණායි. මේ ගොඩනැගිල්ලේ ඉහළට ගිය කෙනෙකු ලෙස මගේ අත්දැකීම් සහ අවශේෂ පරිසරය ගැනද මා යමක් කිව යුතුය.
පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ බිම්මහලේ පසෙක සූරියා KLCC නැමති සුපිරි වෙළඳ සංකීර්ණයක් වෙයි. වර්ග මීටර් 140,000 පමණ විශාල වන එහි ලොව ප්‍රමුණ පෙලේ සන්නාමයන්ගේ නිෂ්පාදන අළෙවි කිරීමට තිබේ. මේවාට අමතරව මින්මැදුරක්, චිත්‍රපට ශාලාවක් සහ විද්‍යා මධ්‍යස්ථානයක් ද එහි වෙයි. මේ මහල හරහා ගොඩනැගිල්ල නරඹන්නට යා යුතු මඟ වැටී තිබේ.
පෙට්‍රොනාස් ගොඩනැගිල්ල නැරඹීමට 2010 වසර දක්වා නොමිලේ අවස්ථාව ලබා දි තිබුනත් වර්තමානයේ මුදල් ගෙවා ප්‍රවේශ පත්‍ර ලබාගත යුතු වෙයි. විදේශික වැඩිහිටියෙකු සඳහා ලංකා රුපියල් 3000 කට වැඩි මුදලක් සහ දරුවෙකුට ලංකා රුපියල් 1200 කට වැඩි මුදලක් අය කරයි. සෑම සඳුදා දිනකම බාහිර පුද්ගලයන් සඳහා ගොඩනැගිල්ල විවෘත වන්නේ නැත. සතියේ අනෙකුත් දින වල උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා එය විවෘතව පවතී. පැමිණෙන පිළිවෙලට ප්‍රවේශ පත්‍ර නිකුත් කරන අතර අධික ඉල්ලුම නිසා වේලාසන ටිකට් පත් මිළදීගෙන එහි මුද්‍රණය කොට තිබෙන වෙලාවට එහි යා යුතුය. එසේ නොමැතිව ප්‍රවේශ පත්‍රය නිකුත් කරන අවස්ථාවේම එය නරඹන්නට යන්නට අවස්ථාවක් නැත.
 |
| ටිකට් පත් මිළ බදු වැඩි වීමට පෙර....නැරඹීමට පැමිණිය යුතු වෙලාව ටිකට් පතේම මුද්‍රණය කර තිබේ. |
ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ ආරක්ෂාව වඩාත් තරකර තිබේ. ප්‍රවේශපත්‍රය අතැතිව තමන්ට නියමිත වේලාවේ එතැනට ගිය විට ගොඩනැගිල්ලේ ආරක්ෂක අංශ විසින් කරන දැඩි පරීක්ෂාවකින් පසු හැඳුනුම්පතක් ලබාදෙනු ලැබේ. එය අප පැළඳගත යුතුය. ඉන් අනතුරුව හදිසි අවස්ථාවක් උදාවුවහොත් ගතයුතු පියවර සහ ගොඩනැගිල්ල තුල පිළිපැදිය යුතු වෙනත් නීති රීති පිළිබඳ විශේෂ තාක්ෂණික ප්‍රයෝගයක් මගින් හිස් අවකාශයේ මැවෙන කාන්තා රුවකින් උපදෙස් ලැබෙයි. ඒ ක්‍රමවේදය මම දැක ඇත්තේ මෙතැනදී පමණි.
ස්කෑනර් යන්ත්‍ර මගින් සියලුම පුද්ගලයන් මෙන්ම බඩු බාහිරාදියද පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉහළට නැගෙන්නට අවසර ලැබේ. කාර්යමණ්ඩලයේ නිලධාරියෙකුද අප සමග පැමිණෙයි. පළමු නැවතුම 41 වන මහලේදී සිදුවෙයි. එතන ඇති අහස් පාලම මතට වී ක්වාලාලම්පූර් නගරයේ අසිරිය විදින්නට අවස්ථාව සැලසෙයි. පාලම සුළඟ හමනා විටෙක සෙළවෙන අයුරු අපට දැනෙයි.
 |
| පාලමේ සිට දකින දසුන |
එයින් අනතුරුව නරඹන්නෙකුට 85 මහල දක්වා යා හැකිය. 80 වන මහල දක්වා ගමන් ගන්නා විදුලි සෝපානයෙන් පසු ඉතිරි මහල් 5 තරණය කරන්නට වෙනම සෝපානයකට ඇතුලු විය යුතුය. මහල් 88 ක් තිබුනද 85 වන මහලෙන් ගමන සීමා කර තිබේ. මෙහි ඇති විදුලි සෝපාන ඉතාම වේගවත්ය. ඒවා සැනෙන් ඉහළට ගොස් නතර වෙයි. අතර මගකදී වායුගෝලීය පීඩනය වෙනස් වන ආකාරය කඳිමට දැනෙයි. අප දැන් තට්ටු 85 ක් ඉහළිනි. එහි සිට හාත්පස බලන විට අහසේ සිටින්නාක් මෙන් දැනෙයි. පහළ බැලූ කල රථ වාහන පෙනෙන්නේ බිංකුඩ්ඩන් පරිද්දෙනි. ක්වාලාලම්පූර් නුවර මාර්ග පද්ධතිය පීත්ත පටි මෙන් අපූරුවට පෙනෙයි. 85 වන මහලේ ගොඩනැගිල්ලේ තරමක් විශාල ආකෘතියක්, ඡායාරූප මෙන්ම දුර බලන කණ්නාඩිද සවිකොට තිබේ.
 |
| ගොඩනැගිල්ලේ ආකෘතිය |
 |
| 85 වන මහලේ සිට හාත්පස පෙනෙන ආකාරය |
 |
| 85 වන මහලේ දර්ශන |

ගොඩනැගිල්ලේ අනෙක් පස කුළුණට සැඳෑ හිරු එළිය වැටුන පසු මැවෙන දසුනද ඉතා සුන්දර එකකි. මා එහි ගියේ සන්ධ්‍යාවක නිසා ඈත ක්ෂිතිජයේ ලා රතු පැහැති අහස් කුස මැනවින් පෙනෙයි. ක්වාලාලම්පූර් නගරයෙන් වැඩි කොටසක් එකතැනක සිට නරඹන්නට ලැබීම අමුතුම අත්දැකීමකි.
 |
| මවිසින් ගන්නා ලද ඡායාරූපයක් |
මේ ගොඩනැගිල්ලට පිටුපසින් අලංකාර පොකුණු, අැවිදින මං තීරු, ළමා ක්‍රීඩාංගන සහිත අක්කර 17 ක විශාලත්වයකින් යුතු KLCC (Kuala Lumpur City Center) උද්‍යානය වෙයි. පෙට්‍රොනාස් ගොඩනැගිල්ල නරඹා එහි මඳ වෙලාවක් රැදෙන්නට බොහෝ අය කැමතිය.
මැලේසියාවේ සංචාරය කරන්නට ඔබට අවස්ථාවක් ලැබුනහොත් නොවරදවාම මෙහි පිවිසෙන්න. ඒ අත්දැකීම ඔබේ මතකයෙන් සදාකල් රැදෙනු ඇත. එය එතරම් සුවිශේෂී ගමනකි.
අද ලිපියට මූලාශ්‍ර
මම කාමරේ අරින සිරා කොලුවා.