Showing posts with label ජාලෙන් පෙරලපු කථා. Show all posts
Showing posts with label ජාලෙන් පෙරලපු කථා. Show all posts

Thursday, March 17, 2016

61 වසර 800 කට පසු මුට්ටියෙන් මතු වූ පරණ වට්ටක්කා

සිරා කොලුවට දැන් වැළදී තියෙන්නෙ බොහොම දරුණු කම්මැලිකමක්. ඒ කම්මැලි කම නිසාම තමයි දැන් සිරාගෙ කාමරයට ඉදලා හිටලා ලිපියක් ලියවෙන්නෙ. ඒ උනාට අද දවසෙ කියවන්න ලැබුන ඉංග්‍රීසි ලිපියක් දැක්ක ගමන් මට හිතුනා කාමරේට එන යන අයට කියවන්න මෙතනට රැගෙන ආ යුතුයි කියලා. ඇත්ත වශයෙන්ම මේ ලිපිය බොහොම රසබර එකක්.

2008 වසරෙදි ඇමරිකාවෙ විස්කොන්සින් නුවර (Wisconsin) පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකල කැණීමකදි ඔවුන්ට හමු උනා කුඩා මැටි මුට්ටියක්. ඇත්තටම මේ මුට්ටිය පළමු දැක්මෙන්ම කුතුහලය ඇතිකරන තාලෙ එකක්. මේ කැණීම කල භූමිය කැනඩාව, ඇමරිකාව වගේම මෙක්සිකෝවෙත් මුල් පදිංචිකරුවන් පිරිසක් ලෙස සැළකෙන මෙනොමයිනී (Menominee) නැමති ගෝත්‍රයට අයත් පාරම්පරික භූමියක්. ඇමරිකාවේ විස්කොන්සින් නුවර වර්තමානයේත් මේ ජන වර්ගයට අයත් 8700 ක පමණ ජනතාවක් වාසය කරනවා. මේ අය ඉංග්‍රීසි භාෂාවට අමතරව මෙනොමයිනී කියන පාරම්පරික භාෂාවත් කථා බහ කරනවා. ඒ භාෂාවට අනුව මෙනොමයිනී යන්නේ අරුත ජනතාව යනුයි. මේ අය සතුව වර්තමානයේත් අතීතයේ සිට පැවත එන ඔවුන්ටම වෙන් වූ විශාල පෙදෙසකට පැතිරුන භූමි භාගයක් තිබෙනවා. ඉහත කී කැණීම සිදුවුනේ මෙවැනි තැනක.

අපූරු මැටි මුට්ටිය

පුරාවිද්‍යාඥයන් පිරිසට හමුවුන මැටි මුට්ටිය අවුරුදු 800 ක් පැරණි බව පසුව සොයා ගත්තා. එතකොට ඒ තුල තිබුනෙ මොනවද ? මෙය කියවන ඔබට ඇතිවන ප්‍රධානම ගැටලුව එය බව මම දන්නවා. ඇත්ත වශයෙන්ම එහි තිබුනෙ ඔබ කිසිලෙසකින් වත් හිතන්නෙ නැති දෙයක්.

මුට්ටිය ඇතුලෙ තිබුනෙ වට්ටක්කා කුලයට අයත් ශාක විශේෂයක ඇට වර්ගයක්. පෘථිවිවාසීන් ආහාර ගබඩාකරතැබීම, අහාර සංරක්ෂණය වැනි කාරණා පිළිබද ඈත අතීතයේ සිටම දැන සිටි බව මේ මුට්ටිය හමුවීමත් සමග තහවුරු උනා. වර්තමානයේ නම් මේවා වෙන වෙනම විෂයන් ලෙස ඉගෙන ගත හැකියි. එහෙත් වසර 800 කට එහා ආදිවාසීන් ඒ කාරණා දැනසිටීම පුදුමයට කරුණක්. මේ පුදුමය තවත් තීව්ර වෙන්නෙ මේ බීජ වර්ගය අයත් ශාක විශේෂය මැටි මුට්ටිය හමුවෙන වකවානුව වෙද්දි පෘථිවි තලයෙන් සහමුලින්ම තුරන්ව ගොස් තිබූ නිසයි.

මුට්ටිය තුල තිබූ බීජ

කුඩා මැටි මුට්ටියකින් වසර 800 කට පසුව කරළියට ආ මේ බීජ විශේෂය වඳවී ගිය ශාක විශේෂයක් නැවත වරක් පෘථිවියේ ජීවමාන කරන්නට දායක උනා. එහි සම්පූර්ණ ගෞරවය මේ බීජ විශේෂය මැටි බුට්ටියේ බහා තැන්පත් කල Menominee මුතුන් මිත්තන් හට හිමිවිය යුතුයි. බාගවිට අනාගතයේ මේ ශාක විශේෂය වඳවී යනු ඇතැයි ඔවුන් සිතුවා වන්නටත් පුළුවන්. එසේත් නැතිනම් අනාගතයේ පැමිණෙන ආහාර හිගයකදී ආහාර සැපයුම පවත්වාගෙන යාමේ අරමුණ වෙනුවෙන් සගවා තැබුවා වන්නටත් පුලුවන්.

කෙසේ හෝ මේ වටිනා සොයාගැනීම සිදුකර වර්ෂ 7 කට පසු කැනඩාවේ Winnipeg සරසවියේ සිසුන් මුට්ටියේ තිබූ ඇට සිටුවන්නට තීරණය කලේ නූතන විද්‍යාවේ සහයෝගයත් ඇතිවයි. අවුරුදු 800 ක් පැරණි ඇට ස්වල්පයකින් පෘථිවියෙන් වදවූ ශාකයක් නැවත බිහිකරන්නට ඔවුනට හැකිවෙයිද ?

ඇත්ත වශයෙන්ම ඒ කාරිය කරන්නට ඔවුන්ට හැකි උනා. මේ බීජ මගින් බිහිකල පැල වලින් මේ වෙද්දි ඵලදාවත් අරගෙන අවසන්. කාලයක්ම තුරන් වෙලා තිබිලා ආයෙමත් පෘථිවියට ආව මේ ශාඛයට හැමෝම එකතු වෙලා තැබුව නම තමයි gete-okosomin. ඒ නම Menominee භාෂාවෙන් Big Old Squash නැමති අරුත තමයි සපයන්නෙ. ඝනකම් ලෙල්ලක් වගේම ඇට රාශියකුත් තිබෙන විශාල ප්‍රමාණයේ එළවළු වලට පොදුවේ Squash කියලයි කියන්නෙ. මේ ශාඛයට Menominee භාෂාවෙන්ම නම් තැබීම නූතන පරම්පරාවට මේ ශාඛය දායාද කරන්න දායක උන Menominee මුතුන් මිත්තන්ට කරනා ගෞරවයක් ලෙසයි හැමෝම සලකන්නේ.



ආයෙමත් වතාවක් මේ ශාඛය ලොවෙන් තුරන් නොවෙන්න ලැබූ ඵල වලින් හැකි තරම් නව ශාක බිහිකිරීම තමයි මේ දවස් වල සිදුවෙන්නෙ. gete-okosomin බැලූ බැල්මට තවත් එක් එළවළුවක් පමණයි කියලා ඇතැම් කෙනෙකුට කිව හැකි උනත් මේ ශාකය පිටුපස සිටින Menominee මුල් පදිංචිකරුවනුත් ඔවුන්ගේ ජන සමාජයත් නිසාම එය අපූරු ශාඛයක් බවට පත් වී අවසානයි. සමහර වෙලාවට අපේ පරිසරයෙ ගස් කොළන් හරි අපූරු විශ්වාස කල නොහැකි දේත් කරනවා කියලා අපිට හිතෙන්නෙ අවුරුදු 800 කට පස්සෙ පැළවුන gete-okosomin දිහා බැලුවම.


ඉතිහාසය හරිම අපූරු දේ විටින් විට අපිට ගෙනල්ලා දෙනවා. අපි හැමෝගෙම ජීවන චක්‍ර මේ ඉතිහාසය මත මේ පොළවට ශක්තිමත්ව මුල් ඇදලා තියෙනවා. නූතන විද්‍යාව දිහා බලාගෙන ඇතැම් විටෙක ඉතිහාසය අමතක කරන්න අප වෙර දැරුවත් කොහෙන් හෝ තැනකින් අපේ ඉතිහාසය අපට මුණගැසෙන වගට gete-okosomin කදිම උදාහරණයක් සපයන බවක් මට සිතෙනවා.



අද ලිපියට මූලාශ්‍රය



මම කාමරේ අරින සිරා කොලුවා.

Sunday, September 13, 2015

68 ගව මුත්තරා ටිකක් බොමුද ?

අපේ කාර්යාලයට මාස 6 කට පමණ කලියෙන් සම්බන්ධ වූ, නවදිල්ලියෙන් මැලේසියාවට පැමිණි වරුන් ඛේරා (Varun Khera) බොහොම පැහැපත් පෙනුමක් තියෙන හැඩකාරයෙක්. මුල් කාලෙ ඔපීසියෙ යුවතියො එක්ක විතරයි මිනිහා පයුරු පාසානම් පැවැත්වුවෙ. කාර්යාලයෙ පුරුෂ පාර්ශවය ඉතින් මේ වගේ වෙලාවට ස්වභාවිකව ඇතිවෙන ඉරිසියාවත් එක්ක මේ ගොයියව වැඩිය ගනන් නොගෙන අතඇරලා දාලා ඒකාට  Chicky Boy කියලා ලස්සන නමකුත් දැම්මා.

කාර්යාලයේ ඇත්තො රාත්‍රී කෑමකට චීන අවන්හලකට ගිය අවස්ථාවකත් වරුන් ගොයියා කොල්ලන්ගෙ මේසය වෙනුවට කෙල්ලන්ගෙ මේසය තෝරගෙන ‍ගෑණු පරාණ මැද්දට වෙලා හිටිය අන්දම දැක්කම අපිට හිනාව නවත්තගන්න බැරි උනා. කොහොමින් කොහොම කාලයාගේ අැවෑමෙන් මේ කෙල්ලො තමන්ගෙ දත ගලවන බව දැනුනට පස්සෙ වරුන්ට මොළේ පෑදුනා. අන්තිමේදි මිනිහා කාර්යාලයේ පුරුෂ පාර්ශවය සමග සුහද උනා. 

දැන් ඉතින් අපි බොහොම සුහදයි. ඇත්තටම ඔහු හොඳ මිත්තරයෙක්...ඒ වගේම බොහොම සංවේදී මිනිහෙක්. මැලේසියානු ජාතික යුවතියක් එක්ක පෙමින් වෙළිලා ඉන්න අතරෙ වරුන්ගෙ අම්මා ඉන්දියාවෙන් තව කෙල්ලෙක් ජෝඩු කරලා. මැලේසියාවෙ කෙල්ල අත ඇරලා ඉන්දියාවෙ කෙල්ල බැන්දෙ නැත්තං බලාගමු කියලා ගෙදර ඇත්තො මිනිහට තර්ජනය කරනවා. මේ අන්ත දෙකට හිරවෙලා පිස්සු හැදිලා වගේ හිටියත් දවල් කෑමට අපි එක්ක හැමදාමත් වගේ මැලේ ආච්චිගෙ කෑම කඩේට යන්න ඔහු එනවා. බොහොම බරසාර මාතෘකා ගැන සමහර වෙලාවට කෑම කන අතරෙ සාකච්ඡා කරනවා. අන්න ඒ වගේ දිවා ආහාරයට පිටත් වෙන වෙලාවක තමයි හා පුරා කියලා අද බොලාට කියන්න යන මේ කථාවට පොට පෑදුනේ.

මිත්‍රයා ඔයා දන්නවද ගව මුත්තරා බිව්වම මිනිස්සුන්ට ලැබෙන වාසි ගැන.

අනේ නෑ...ලංකාවෙදි ජීව වායුව හදනවාට වඩා ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. ඒවා අපද්‍රව්‍යනෙ හරකගෙ... මම එහෙම කිව්වා.

ඉන්දියාවෙ නම් එහෙම නෑ. අපි ඉන්න පළාතෙ ගොඩාක් හින්දු භක්තිකයො හරක් මුත්තරා හිස්බඩ පානය කරනවා. ඒකෙන් ලැබෙන වාසි විශ්මිතයි. ගොඩාක් රෝග වලට මේ පානය කඳිම ඔසුවක්.  අපේ සීයත් මට මතක කාලෙ හරකෙක් මුත්තරා කරද්දි පිටිපස්සෙන් ගිහින් අත අල්ලලා මූණ වටේට බින්දු කීපයක් ඉහගෙන කට ඇතුලට තවත් බින්දුවක දෙකක් දා ගත්තා. ඉස්සර වගේ නෙමෙයි දැන් ගොඩාක් තරුණ අයත් මේ වැඩේට හවුල්. කොටින්ම මමත් නිතර දෙවේලෙ බෝතල් කල ඒවා බොනවා.

මේ කථාව ඇහුවට පස්සෙ මට පුදුම හිතුනා. අපි දන්න විදියට මුත්‍රා කියන්නෙ ශරීරයෙ විවිධ අවයව වල සිදුවන පරිවෘත්තීය ක්‍රියා වලින් බැහැර කරන  අපද්‍රව්‍ය එකතුවෙන ස්ථානය. සත්වයෙකුගේ උනත් මුත්තරා වල ඖෂධීය ගුණ තියෙනවා කිව්වම පුදුම නොවී කොහොමද ?

ඉන්දියාවෙ දැන් ගව මුත්තරා බෝතල් කරලත් විකුණන්න තියෙනවා. මම ඔයාට බෝතලයක් ගෙනත් දෙන්නං...දවසක වතුර වීදුරුවකට බින්දු තුන හතරක් දාලා බීලා බලන්න. වරුන් මට එහෙම කිව්වට පස්සෙ ම‍ගේ අක්මාව මට කිව්වෙ මේ ගැන ‍ජාලෙන් හොයලා බලහං කියලා. ඒ සොයාබැලීම් වලින් මම එකතු කරගත්ත දේ තමයි බොලාට අද ජාලෙන් පෙරලූ ලිපියෙන් කියවන්න ලැබෙන්නෙ.

ගවයා යනු හින්දු ආගමට අනුව පූජනීය සත්වයෙකි. දේවාවාදී අාගමක් වන හින්දු අාගමේ එන ශිව දෙවිඳුගේ වාහනය ලෙසද ගවයා සැළකෙයි. එක් දේව පුරාවෘත්තයකට අනුව විෂ්ණු දෙවියන් විසින් කිරි සයුර කළඹන ලද අවස්ථාවේ හමු වූ සුරබිධේනුව සියලුම ගව දෙනුන්ගේ මාතාව ලෙස සැළකෙයි. 

ගවයාගේ පිරිමි සත්වයාට වඩා ගැහැණු සත්වයන් වැඩි සැළකුම් ලබන්නේ එළදෙන මගින් ලබාගන්නා කිරි මිනිස් දරුවන් උස් මහත් කරන්නට විශාල කාර්ය භාර්යයක් ඉටු කරන හෙයිනි. මේ කිරිවලින් පස්ගෝ රස ( කිරි, දීකිරි, මෝරු, ගිතෙල්, වෙඬරු ) නිපදවෙන අතර ඒවායෙ රස, ගුණ  විඳින මිනිසුන් දහස් ගණනකි.

හින්දු ආගමට අනුව ගවයා පෘථිවිය, පෘථිවියේ ජීවය  පිළිබඳ සංඛේතයකි.  තණකොළ, ජලය, ධාන්‍ය අාදි සරළ දෑ කීපයක් ලබා සැපයීමෙන් වටිනා කිරි ලබාගත හැකි නිසා ත්‍යාගශීලීභාවය පිළිබඳ සංඛේතයකි. එමෙන්ම කරුණාව සහ සමෘද්ධිය පිළිබඳ සංඛේතයක් වශයෙන්ද ගවයා සැළකෙයි. මෙවැනි හේතු නිසා හින්දු භක්තිකයන් ගවයා පූජනීයත්වයට පත් කොට තිබේ. පූජනීයත්වය පිළිබඳ මේ සංකල්පය වර්තමානයේදී ගව මුත්‍රා පානය දක්වාම පැතිර ඇති සෙයකි.

ජයිරාම් සිංගාල් නැවුම් ගව මුත්‍රා ලබා ගනිමින්

අතීතයේ සිට පැවති මුත් දැන් දැන් තරුණ පරපුර අතරද ගව මුත්‍රා පානය කිරීමේ පුරුද්ද සීඝ්‍රයෙන් පැතිරෙන ආකාරයක් දකින්නට තිබේ. ඔවුන්ගේ විශ්වාසය අනුව ගව මුත්‍රා පිළිකා ඇතුලු රෝගාබාධ ගණනාවක් සුව කිරීමට සමත් ඔසුවකි. ගවයාට අරෝපණය වී ඇති පූජනීයත්වය පිළිබඳ සාධකය නිසාම ගව මුත්‍රා තුල රෝග සුව කිරීමේ බලයක් ඇතැයි යන තදබල විශ්වාසයක් මේ භක්තිකයන් වෙලාගෙන තිබෙනවා වන්නටත් පුලුවන. 42 හැවිරිදි ජයිරාම් සිංගාල් දශකයකට අධික කාලයක සිට ගව මුත්‍රා පානය කිරීමෙන් විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබූවෙකි.

මට දිය වැඩියාව තිබුනා. කෙනෙක් මට කිව්වා ගව මුත්‍රා පානය මේ රෝගයට හොදයි කියලා. එදා ඉඳන් මම ගව මුත්‍රා පානය අැරඹුවා. දැන් මගේ දියවැඩියා මට්ටම යහපත් තත්වයකට ඇවිත් තියෙනවා. මෙතන ගවයො ඇති කරන්න පටන් අරගෙන අවුරුදු 12 ක් විතර වෙනවා. මුල් කාලෙ ඉඳලම අපි දවස ආරම්භ කරන්නෙ උදේම පානය කරන ගව මුත්‍රා වීදුරුවකින්.

උතුරු ඉන්දියාවේ අග්‍රා නුවර ඩී ඩී සින්ගාල්ගේ ගව පට්ටිය අසල නැවුම් ගව මුත්‍රා වීදුරුවක් ලබා ගැනීම පිණිස දිනපතා පැමිණෙන බොහෝ පිරිසක් වෙති. ජයිරාම් සිංගාල් ඒ අතරින් කෙනෙකි.

නිවසේ උඩුමහ‍ලේ ඇති සිංගාල්ගේ ගව පට්ටිය

ගොඩාක් සෙනග මෙහෙ එනවා. එන්න එන්නම මේ ගණන වැඩි වෙනවා. අපි හැමෝම සෑම උදෑසනම එළදෙනකගේ මුත්‍රා පානය කිරීම සිදු කරනවා. කාලෙකට කලින් මෙහෙම සෙනගක් ගව මුත්‍රා ඉල්ලගෙන අපි ලඟට ආවෙ නෑ. ඒත් අද වන විට තත්වය වෙනස් වෙලා. බොහෝ පිරිසක් දිනපතා ගව මුත්‍රා වීදුරුවක් පානය කරන්න මෙතනට එන්න පුරුදු වෙලා. ඒ අතර දරුණු පිළිකා රෝගීනුත් ඉන්නවා. ඒ අයට අවශ්‍යයි ගව මුත්‍රා පානය නිසා තමන්ට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ තමන් විසින්ම අත්දැක බලන්න.

අග්‍රා නුවර ගව සංගමයේ පුරෝගාමියා වූ ඩී ඩී සිංගාල්ගෙන් සත්කාර ලබන ගවයෙක්

හින්දු අධ්‍යාත්මික නායකයන්ගේ දිරි ගැන්වීමත් වර්තමානයේ ජනතාව අතර ගව මුත්‍රා පානය ප්‍රචලිත වීම කෙරෙහි බලපා තිබේ. මේ ආගමික නායකයන්ට අනුව ගව මුත්‍රා පිළිකාව, දියවැඩියාව, ශරීරයේ පඨක තුල ඇතිවෙන වේදනා රහිත ඉඳිමුම, ක්ෂය රෝගය, උදරය සම්බන්ධ රෝගාබාධ ඇතුළු බොහෝ රෝගාබාධ ගණනාවකට දිව ඔසුවකි. මේ අයගේ අදහස අනුව තට්ටය පැදීම නවතාලන්නට කළ හැකි හොඳම ප්‍රතිකාරයද ගව මුත්‍රා පානයයි.


අක්ෂි රෝග, උදරාබාධ, සඳහා බෙහෙත්, දත් බෙහෙත්, ඇඟ ගල්වන සබන් ඇතුළු විශාල වපසරියක නිෂ්පාදන ගව මුත්‍රා ආශ්‍රයෙන් නිපදවිය හැකි බව අග්‍රා නුවර ගව සංගමය පිහිටුවීමේ මූලිකයා වූ  ඩී ඩී සිංගාල්ගේ අදහසයි. 

හින්දු පූජකයෙකු වන රමේෂ් ගුප්තා ට අනුව මේ ලොව පරම පිවිතුරු දෑ අතරින් ගව මුත්‍රා එක් වර්ගයකි. පුරාණ හින්දු ලියවිලි වලත් ගව මුත්‍රා වලින් මිනිස් ශරීරයට ගත හැකි විපුල ඵල පිළිබඳ සටහන්ව ඇති බව ඔහු පවසයි. ගුප්තාට  අනුව සෑම ගවයෙකුගේම මුත්‍රා වලින් මේ ප්‍රතිලාභ ලබාගත නොහැක. ඒ සඳහා පැටවෙකු ප්‍රසූත නොකල කන්‍යාවියකගේ මුත්‍රා භාවිතා කල යුතුය. එමෙන්ම මුත්‍රා ලබාගත යුත්තේ හිරු උදාවට මොහොතකට පෙරයි.



විවිධ පුද්ගලයො ගව මුත්‍රා පානය විවේචනය කරනවා. නමුත් අපි කලබල වෙන්නෙ නෑ. ගව මුත්‍රා පානය නොකරපු කෙනෙක් මේවායින් ගත හැකි ප්‍රයෝජන ගැන මොනවද දන්න‍ෙ. කාලයත් එක්ක ඒ අයත් මේ වටිනා සම්පත ගැන එයාලගෙ සැක සංකා දුරුකර ගනීවි. දැනට පවතින ඉල්ලුම කෙමෙන් කෙමෙන් අධික ඉල්ලුමක් බවට පත්වෙමින් තිබෙන්නෙ. ඒ අනුව වාණිජ මට්ටමෙන් ගව මුත්‍රා අළෙවිය ආරම්භ කරන්න අපි සැලසුම් කොට තිබෙනවා. දැනටත් සමහර ගව පාලකයො ගව මුත්‍රා විකිණීම සිදුකරගෙන යනවා.

සිරි ලංකාවේ ඇත්තන්ට නම් ගව මුත්‍රා පානය බොහොම පිළිකුල් සහගත දෙයක් බව මම දන්නවා. පළමු වතාවට වරුන් මේ පිළිබඳ මා සමග කථා බහ කල වෙලාවෙත් මම පුදුම උනා. එහෙත් ගව මුතා සරණ යන බොහෝ පිරිස නූගතුන් හෝ ලෝකයේ දියුණුව නොදුටු අය නොවේ. ඉන්දියානු විද්‍යාඥයන් පිරිසක් ප්‍රතිජීවක ගුණය ඇතිකල හැකි ගව මුත්‍රා සංයෝගයක් වෙනුවෙන් 2002 වසරේ ඇමරිකාවේදී පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමෙන්ම එ් බව තහවුරු වෙනවා.

කථා දෙකක් නැත. ගවයා තරම් මිනිසාට ප්‍රයෝජන ගත හැකි තවත් සත්වයෙකු නැත. මස්, කිරි, හම, ගොම මෙන්ම දැන් ගව මුත්‍රාද මිනිසාට සේවය කිරීමට සැඳී පැහැඳී සිටිති. ඉන්දියාවේ වර්තමානයේ පවතින මේ ප්‍රවණතාව ලංකාවේ හින්දු ජනතාව වෙතද නොපැමිණ තිබේද ?




ඡායාරූප සහ අද ලිපියට මූලාශ්‍රය


මම කාමරේ අරින සිරා කොලුවා.

Sunday, August 9, 2015

55 බොඩි ගාඩ්ලා සමග යන එන සුදු රයිනෝ

මනුසතා යනු අරුම පුදුම සතෙකි. අප ජීවත් වන පෘථිවිය මනුසතා වෙනුවෙන් පමණක් බිහි වූවක් නොවුනත් මිනිසා සිතන්නේ එය තමාගේ බූදලයක් බවයි. එහි වෙසෙන අවශේෂ සත්ව ප්‍රජාව, තුරු ලතා මනුසතාගෙන් අනේක ගැහැට විඳියි. වෙනත් සත්වයන්ට නැති තරමේ බුද්ධියක් මේ අරුම පුදුම මනුසතාට ලැබීම අනෙක් සත්වයන්ගේ ආයුෂ කෙටි කර ඇති සෙයකි. මහා ලොකු බුද්ධියක් තිබුනා වුවත් ඒ බුද්ධියෙන් තමාගේ සුඛවිහරණය පමණක් සලකන මනුසතා ඇතැම් විටෙක අප සිතනවාටත් වඩා දරුණු ලෙස සොභාදම් දිනිතියට සලකා තිබේ.

ගොඩබිම වෙසෙන විශාලතම සත්වයා අලියා බව ඔබ හොඳින් දනියි. අප්‍රිකානු සහ ආසියානු අලියාට පසු ගොඩබිම ජීවත්වන විශාලතම සත්වයා සුදු රයිනෝ සිරස් බව ඔබ නොදන්නවා විය හැක. මිනිස් ප්‍රජාවගෙන් දරුණු ලෙස බැටකන සත්ව විශේෂයක් වන රයිනෝ සිරස් සාමාජිකයෙකු ගැන කියවෙන සුවිශේෂී තොරතුරු ගොන්නක් ජාලෙන් පෙරලා ඔබ වෙත මෙසේ ගෙන එමි.

ලෝකයේ රයිනෝ සිරස් ගහණය තුල අප නිතර දකින කලු පැහැති රයිනෝ සිරස් සතුන්ට වඩා සුවිශේෂී ස්ථානයක් උතුරු අප්‍රිකානු රටවල ජීවත් වන සුදු රයිනෝ සතුන් හට හිමි වෙයි. අනෙකුත් රයිනෝ සතුන්ගෙන් වෙන් වූ සුවිශේෂී වර්ණයක් ඇති මේ සත්වයින් ශරීර ප්‍රමාණයෙන්ද විශාලය.  සංඛ්‍යාත්මකව මේ සත්ව වර්ගය ඉතාම සුළු අගයක් ගැනීම ඔවුනට එකතු කලේ විශාල වටිනාකමකි. මේ විශාල වටිනාකමම මේ සතුන්ගේ අභාග්‍යයට හේතු වී තිබේ. 

දඩයක්කරුවන් තමන්ගේ අතට ලැබෙන මුදලට ගිජු වී වැඩි වැඩියෙන් සුදු රයිනෝ දඩයම් කිරීමේ කූට ප්‍රාප්තියට අද වන විට අප පැමිණ සිටිමු. සුදු රයිනෝ අං වලින් වටිනා බෙහෙත් වර්ග නිපදවීමට හැකි වීම නිසා එම සතුන් ඉලක්ක කොට ගිණි බිඳින දඩයක්කරවන්ට කොකේන් වලටත් වඩා වටිනාකමක් සුදු රයිනෝ අං වෙනුවෙන් ලබාගත හැකි වීම මේ අභාග්‍යයට පාර කැපූ හේතුව බව කිව යුතුය.

1960 දශකයේදී සමස්ත ලෝකයටම සුදු රයිනෝ සතුන් 2000 ක් පමණ වූහ. එහෙත්  තව දුරටත් මුලු ලෝකයටම සිටින්නේ එකම එක පිරිමි සුදු රයිනෝ කෙනෙකි. ගැහැණු සත්වයින් 4 දෙනෙකි. ඒ අනුව සියල්ලෝම 5 දෙනෙකි. ගැහැණු සත්වයන්ගෙන් දෙදෙනෙකු සත්ව උද්‍යාන වල ජීවත් වන අතර අනෙක් දෙදෙනා කෙන්යාවේ සත්ව ආරක්ෂණ වැඩ සටහනක් යටතේ  ජීවත් වෙති.

දකුණු සුඩානයේ ෂැම්බේ නැමති පළාතේ ඉපදුන, වර්තමානයේ කෙන්යාවේ ක්‍රියාත්මක වෙන Ol Pejeta නැමති සත්ව ආරක්ෂණ වැඩපිළිවෙලක් යටතේ ජීවත් වෙන ලෝකයේ අවසාන පිරිමි සුදු රයිනෝගෙ සුරතල් නාමයද සුඩාන් නම් වෙයි. සුඩාන් වයස අවුරුද්දක් පමණ වන කාලයේදී මිනිස් ග්‍රහණයට හසුව චෙක් ජනපදයේ Dvur Kralove  සත්ව උද්‍යානයට ගියේය. ඒ නිසාම ඔහුගේ දිවිය රැකුනා විය යුතුය. එහෙත් එවැනි ආරක්ෂිත වට පිටාවක් තිබුනේ නැති තමාගේ අවශේෂ ඥාති සමූහයා එකා බැගින් මිය පරලොව යද්දී 2009 දී මධ්‍යම කෙන්යාවේ පවත්වාගෙන යන මේ සත්ව ආරක්ෂණ වැඩ පිළිවෙලට සම්බන්ධ වීම සඳහා අවුරුදු තිස් ගනනකට පසු නැවත අප්‍රිකාව වෙත එන්නට සුඩාන්ට හැකි විය. ඒ සුනි නැමති තවත් පිරිමි සත්වයකු සහ ෆාටු (15), නජින් (25) නැමති ගැහැණු සත්වයින් දෙදෙනෙකුද සමගිනි. 

සුඩාන්


ෆාටු සහ නජින්
මේ සත්වයින් උපයෝගී කොටගෙන නව සුදු රයිනෝ සත්වයින් බිහිකිරීම පිණිස අවසාන උත්සාහයක් දැරීම මේ වැඩපිළිවෙලේ අරමුණ වී තිබූ නමුත් සුඩාන්ට වඩා බෙහෙවින් තරුණ වයසක සිටි සුනි නැමති පිරිමි සත්වයාද පසුගිය වසරේ  මරු තුරුලට ගියෙන් තම වර්ගයා වඳ නොවී පවත්වාගෙන යාමේ ලෝක මට්ටමේ වගකීම 42 වියැති සුඩාන්ගේ කර පිටට වැටුනි. හොඳින් වැඩී ඇති අං යුගල නිසාම සුඩාන්ගේ ජීවිතයට ඇති තර්ජනය පිළිබඳ වටහාගත් කෙන්යානු සත්ව බලධාරීන් ඒවා අර්ධ ලෙස කපා උගේ අවධානම අඩුකොට තිබේ. එයට අමතරව සුඩාන්ට පැය 24 ම සේවය සපයන ශරීර ආරක්ෂකයන් (Body Guards) සපයා දී තිබේ. ඔව්හු නවීන අවි වලින් සන්නද්ධව ඉතාම ආදරයෙන් සුඩාන්ව රැක බලාගන්නේ ඔහු සමීපයේම සිටයි.


සුඩාන් දැන් වයසක සුදු රයිනෝ කෙනෙකි. තවත් වසර කීපයකට පමණක් උගේ ජීවිතය ඉතිරිව තිබේ. මේ සත්වයාගේ පිටුපස පාද ද්විත්වය වයසත් සමග ක්‍රම ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී. සුඩාන්ගේ ශ්‍රක්‍රානු වල සඵල බවද දිනෙන් දින පල්ලං බසියි. ෆාටු හෝ නජින් සුඩාන්ගේ සහකාරිය බවට පත්කොට ඒ මගින් නව සුදු රයිනෝ පැටියෙකු තැනීම මේ අාරක්ෂණ වැඩපිළිවෙලේ බලාපොරොත්තුව උවත් සුඩාන් දැන් සිටින තත්වය අනුව එය බොහෝ දුෂ්කර කටයුත්තක් බවට පත් වී හමාරය. ශක්තිමත් පාද යුගලක් නොමැතිව ලිංගික ඉරියව්වේ සිටින්නටවත් සුඩාන්ට නොහැකිය. වසර 30 ක කාලයක් හිම වැටෙන පරිසරයක කොන්ක්‍රීට් කූඩුවකට වී කාලය ගත කිරීමට ලැබීමත් සුඩාන්ගේ පාද දුර්වල කරන්නට හේතු වන්නට ඇත.  2009 සිට මේ දක්වාම නව ජීවියෙකු ලබා ගැනීම පිණිස කෙන්යානු සත්ව බලධාරීන් දරණ උත්සාහය සඵල වී නැත. සුඩාන්ගේ ආයුෂ මේ වන විට බොහෝ කෙටි වී තිබේ. එහෙත් සත්ව විද්‍යාඥයන් තවමත් තමන්ගේ වෑයම නව තාක්ෂණයේ පිහිටෙන් ‍හෝ සඵල කරගැනීමට ලැබේ යයි සිතති.

නව පිරිමි සත්වයෙකු නොලබාම සුඩාන් මිය ගියහොත් අනාගතයේ දිනයක නව තාක්ෂණය යොදාගෙන සුදු රයිනෝවන් නැවත බිහිකරන්නට හැකිවෙතැයි සත්ව විද්‍යාඥයෝ විශ්වාසය පල කරති. එහෙත් එය සැබවින්ම ප්‍රායෝගික අදහසක්දැයි සොයාබැලිය යුතුය. වෙනත් සත්වයින් කෘතිමව බිහිකිරීමේ තාක්ෂණය යම් තරමකට දියුණු කොට තිබුනත් රයිනෝ සත්වයින් වෙනුවෙන් එය සකස් කොට නැති වීම මේ වැඩපිළිවෙලට පාඩුවකි.




සුඩාන් තමන්ගේ ආරක්ෂකයන් සමග පවත්වාගෙන යන්නේ දැඩි බැදීමකි. ආරක්ෂකයන් සුඩාන් සමග ඒකා යන යන තැනට ගමන් කරයි. මේ අයගේ දෑස් මානයේම ෆාටු සහ නජින්ද සිටින නිසා ඔවුන් දෙදෙනාගේ ජීවිතද සුරක්ෂිත වී තිබේ.

කන පිටුපස
බඩ යට , කන පිටිපස්සෙ අතගානවට සුඩාන් කැමතියි. එයාට සැහැල්ලුවක් දැනෙනවා ඇති එහෙම කරනකොට. එයා පොඩ්ඩක් වත් දරුණු නෑ...අපි එක්ක ගොඩාක් මිත්‍රශීලියි...එයාගෙ නම කිව්වම අපි ඉන්න තැනට එන්න සුඩාන් දන්නවා. සුඩාන්ව බලන්න මෙතනට එන අමුත්තො එක්කත් සුඩාන් ගොඩාක් මිත්‍රශීලියි. සුඩාන්ගෙ ආරක්ෂකයෙන් වෙන ජෝන් මුගෝ මේ සත්වයා ගැන අදහස් දක්වන්නෙ ඒ විදියට. සුඩාන්ගේ ආරක්ෂකයන් සේවා මුර දෙකකට අනුව සේවය කරති. උදෑසන 6 සිට හැන්දෑවේ 6 දක්වා එක් පිරිසකුත්, හැන්දෑවේ 6 සිට උදෑසන 6 දක්වා තවත් පිරිසකුත් සුඩාන් දඩයක්කරුවන්ගෙන් ආරක්ෂා කරති.

ජෝන් මුගෝ

තමන්ගේ ජීවිතයෙන් වසර 30 ක් නොදන්නා ශීත රටක කොන්ක්‍රීට් කූඩුවක ගෙවා දැමූ සුඩාන් තමාට හුරු පුරුදු පරිසරයට නැවත පැමිණෙන විට එතැන හෝ නිදහසේ හැසිරෙන්නට අවකාශයක් තිබුනේ නැත. අප ජීවත් වන ලෝකය බොහෝ සේ අශ්ශීල, නරක තැනක් බවට කාලානුරූපීව පත්වීම හේතුවෙන් පෘථිවියේ වෙසෙන බොහෝ සත්ව ගහණයන් සීඝ්‍රයෙන් අඩු වෙමින් පවතී. ඇතමෙකු දැනටම සමුගෙන අවසාන වී තිබේ.

‍පෘථිවිය මිනිස් අපට පමණක් නොව එහි වෙසෙන අනෙකුත් සතා සීපාවන්ට සහ තුරුලතා වලටත් එකසේ හිමි වුවත් මුදල් පසුපස දුවනා සමාජයකදී මිනිසුන්ට ගුණධර්ම අමතක වී තිබේ. තමාට ලැබෙන ආර්ථික ප්‍රතිලාභයන්ට ගිජුව ඔව්හු මේ අහිංසක සත්වයින් මරු තුරුලට යවා තම මඬිය තරකරගෙන තිබේ. ඒ අර්ථයෙන් බැලූ විට සැබවින්ම මිනිසාට ඔය කියන තරම් මොළයක් තිබේදැයි සිතීම වටී. වර්තමානයේ වන සිව්පාවුන්ට මිනිසා සළකන ආකාරය දෙස බැලූ විට තව නොබෝ කාලයකින් සෑම සත්වයෙකුටම අවිගත් ආරක්ෂකයකු පත් කරන්නට සත්ව බලධාරීන්ට සිදුවිය හැක. ඒ වන විට කුඩා දරුවෙකුට රයිනෝ සතා පින්තූර වලින් මිස සැබෑ ලෙස දකින්නට හැකියාවක් නොලැබෙනු ඇත.


අසරණ සුඩාන් දැන් තම මහළු විය ගෙවමින් සිටියි. ඒ සත්වයා මහල්ලෙකු වි ඇත්තේ ජීවිතයේ බොහෝ අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් නොලබාය. සත්ව ප්‍රජාව වෙත කරුණාව දක්වන ඕනෑම කෙනෙකුට ඒ පිළිබඳ කම්පාවක් දැනෙන බව නොඅනුමානය.

දැන් ඉතින් ගිය නුවන ඇතුල් ලවා හෝ අද්දවන්නට බැරිය. නව ජීවියෙකු බිහි කරන්නට ප්‍රථමයෙන් සුඩාන් හට සමුදෙන්නට ලෝක වාසී අපට සිදු නොවේවා. සිරා කොලුවාගේ ප්‍රාර්ථනය එයයි.


අද ලිපියට මූලාශ්‍රය



මම කාමරේ අරින සිරා කොලුවා.

Monday, July 6, 2015

74 රඹුටන්

රතට රතේ බැබලෙන රඹුටන් ගෙඩියක් දැක්කම කාටද රස බලන්න හිතෙන්නෙ නැත්තෙ. ලොකු කුඩා කවුරුත් රඹුටන් ගෙඩියක රස බලන්න කැමතියි. මේ පළතුරේ පෙනුමත් ඉතාම ආකර්ශනීයයි. රඹුටන් කිව්වම කාට කාටත් ඉක්මනට මතකයට එන්නෙ මල්වාන. වෙළඳපොල ඉලක්ක කරලා විවිධ ප්‍රභේද මුසු කරලා හදපු අලුත්ම රඹුටන් වර්ග මල්වානෙ වගා කරලා තියෙනවා.


මල්වානේ රඹුටන්

ඉස්සර සිරා කොලුවගෙ පන්තියෙ හිටියා මල්වානෙ රඹුටන් වතු හිමියෙකුගෙ පුත්‍රයෙක්. තමන්ගෙ වත්තක රඹුටන් ඵලදාව නෙලපු දවසට පහුවදා ඒකා පාසල් ආවෙ විශාල උරයක් පුරවලා රඹුටන් අරගෙන. ඒවා එක එකාට වෙන වෙනම බෙදිල්ලක් නෑ. පාසලේ විවේක වෙලාවට පන්තිය මැදට එන අපේ රඹුටන් යාලුවා. ඉඳා කාපියව් කියලා බෑග් එක ඩෙස්ක් එකක් උඩට අත අරිනවා. එතනින් පස්සෙ කොල්ලො මේස පුටු පෙරලගෙන රඹුටන් ගෙඩියකට පොර බැදපු හැටි මට තවමත් මතකයි.

ඒ වගේම සිරා කොලුවා පුංචි එකා සන්ධියෙ අපේ මිදුලෙත් තිබුනා විශාල රඹුටන් ගහක්. මේ වර්ගය මස් ගැලවෙන පැණිරස එකක් නොවුන නිසා වැඩියෙන්ම කෑවේ ලේන්නු...එහෙමත් නැත්තං වවුල්ලු. ඒත් කහ පාටට රඹුටන් ගෙඩි වලින් ගහ බර වෙද්දි ගමේ කොල්ලො කුරුට්ටන්ට එන්න කියලා වැඩිහිටියෙක් ලව්වා රඹුටන් අතු පාහින එක අපේ නැසීගිය ආච්චි අම්මගෙ සිරිත. එයින් පස්සෙ ගහ යට එකතුවෙන්නෙ රඹුටන් කන්දක්. ඇති පදං අරං පලයල්ලා...වටෙන් පිටෙන් ආපු කොලු කුරුට්ටන්ට ආච්චි අම්මා එහෙමයි කිව්වෙ. 

රඹුටන් එක්ක මැලේ නංගියෙක් 
සිරා කොලුවා වර්තමානයේ ඉන්න මැලේසියාව රඹුටන් ගැන කථා කරනවා නම් අනිවාර්යෙන්ම සිහි කල යුතු තැන. ඒ රඹුටන් වල නිජබිම මැලේසියාව නිසයි. මැලේ භාෂාවෙන් කෙස් යන අරුතෙන් බිඳී ඇවිත් තමයි රඹුටන් කියන නම හැදිලා තියෙන්නෙ. ඒ රඹුටන් ගෙඩියේ කෙස් වැනි කෙඳි විශේෂයක් තියෙන නිසයි. Rambut කියලයි මැලේ භාෂාවෙන් කෙස් හඳුන්වන්නෙ. ලංකාවෙ නැති රඹුටන් ප්‍රභේද පවා මම මෙහිදි දැකලා තියෙනවා.


ලංකාවේ දකින්නට නැති රඹුටන් විශේෂයක් මැලේසියාවේදී...
දැනට මාස දෙකකට වගේ කලින් ඉඳන්ම මැලේසියාවෙ දේශීය රඹුටන් පළඳාව සිරා කොලුවා අඩුම කුඩුම ගන්න යන එන රාත්‍රී වෙළඳපොලේ ලෑලි මේස උඩට එන්න පටන් අරගත්තා. ඒවා රස අතින් ලංකාවෙ මල්වානට දෙවැනි උනාට ඉතාම ඉහළ රසයකින් යුක්තයි. රඹුටන් අළෙවියෙදි එක ගෙඩියකට ලංකාවෙදි මිළ නියම කලාට මෙහෙ එහෙම නෑ. මැලේසියාවෙදි රඹුටන් අළෙවි කරන්නෙ කිලෝ ගානට. මමත් ඉතිං කීප වතාවක් කිලෝ එක බැගින් අරගෙන ඇවිල්ලා රඹුටන් කන අතරෙදි තමයි අද බොලාට කියන මේ විස්තර ටික මුලිච්චි උනේ. රඹුටන් කෑවට රඹුටන් ගැන විස්තර /  පෝෂ්‍ය ගුණය ගැන එහෙම බොලා දන්නෙ නෑ නොවැ. එහෙනම් අද ජාලෙන් පෙරලපු ලිපියෙන් ඒ ගැන දැනගනිමු.


මැලේසියාවේ රඹුටන් අළෙවි කරුවෙක්...වම් පැත්තේ තිබෙන්නේ Lychee

රඹුටන් විද්‍යාත්මකව හඳුන්වන්නෙ  Nephelium Lappaceumis යනුවෙන්. ලෝකයේ ඇති පළතුරු අතරින් රඹුටන් වලට ලැබෙන්නෙ ඉතාම සුවිශේෂී තැනක්. මේ පළතුර ගැන ගොඩාක් අය වැඩි තොරතුරක් දන්නෙ නෑ.  LycheeLongan, Mamoncillo කියන්නෙ රඹුටන් වලට සමීප ලක්ෂණ පෙන්වන තවත් පළතුරු වර්ග. මේවායින් පළමු දෙවර්ගය මැලේසියාවෙදි රස බලන්න මට හැකියාව ලැබුනා. Longan නැමති පළතුර ලංකාවේ මොර වලට සමානයි කියලයි මොර කාලා තියෙන අය මෙහෙදි මට කිව්වෙ. එය ඉතාමත් රස පළතුරක්. රඹුටන් වල නිජබිම මැලේසියාව උනාට අග්නි දිග ආසියාවෙ හැම රටකම වගේ රඹුටන් දකින්න පුලුවන්.


රඹුටන් වලට ඉතාමත් කිට්ටු  Lychee



Longan
රඹුටන් ගස් වලත් ගැහැණු හා පිරිමි වශයෙන් ප්‍රභේද දෙකක් තියෙනවා. ඒ වගේම මේ දෙවර්ගයේම ගති ලක්ෂණ සහිත ද්විලිංගික රඹුටන් ශාකත් දකින්න පුලුවන්. පිරිමි ගස් වල පිරිමි මල් පමණක් හට ගන්නා අතර ගැහැණු ශාක වල ගැහැණු මල් පමණයි හට ගන්නෙ. ද්වි ලිංගික රඹුටන් ගස් වල මේ දෙවර්ගයේම මල් හටගන්නා නිසා මේ වර්ගයේ ශාඛයන්ගෙන් ඵලදාව උපරිමයෙන් ලැබෙනවා. පිරිමි ගස් වල රඹුටන් මල් හටගත්තත් රඹුටන් ගෙඩි ඵල දරන්නේ නෑ.

රඹුටන් මල්

රඹුටන් මල් වලින් ඉතා මිහිරි සුවඳක් හමනවා. ඇතැම් රටක රඹුටන් මල්, විචිත්‍ර මල් පොකුරු සැකසීම සඳහාත් යොදා ගන්නවා. ඒවා සුදු හෝ කොළ පැහැයෙන් යුතුයි. මේ ඉහළ සුවඳ නිසාම රඹුටන් මල් වලට විශාල වශයෙන් මී මැස්සන් ආකර්ශනය වන ආකාරය දකින්න පුලුවන්. මේ පළතුරේ මිහිරි රසයට අමතරව මනා පෝෂණයකුත් සිරුරට ලැබෙනවා. ඒ කොහොමද කියලා දැන් කියවලා බලමු. 

මිනිස් සිරුරට යකඩ ලැබෙන ප්‍රධානම ආහාරයක් ලෙස බොහෝ අය දන්නේ නිවිති ගැන වුවත් රඹුටන් වලිනුත් එය ලැබෙන බව ඔබ දැන සිටියාද ? රඹුටන් යකඩ වලින් පරිපූර්ණ පළතුරක්. යකඩ කියන්නෙ මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයක්. පෙණහළු වල සිට ශරීරයේ  විවිධ මාංශ පේශීන් වෙත රුධිරයේ හිමොග්ලොබින් හරහා ඔක්සිජන් ප්‍රවාහනයට යකඩ උපකාරී වෙනවා. යකඩ ඌණතාව ඇති වූ විට ඉක්මනින් වෙහෙසට පත් වීම සහ හි‍සේ කරකැවිල්ල වැනි රෝග ලක්ෂණ දකින්න පුලුවන්.

ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කල හැකි පළතුරක් ලෙසත් රඹුටන් සැලකෙනවා. රඹුටන් ඵලය තන්තුමය වශයෙන් ඉතා ඉහළයි. සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කරලා ශරීර‍යේ බර අඩු කරන්නට රඹුටන් ඇට වලටත් පුලුවන්ලු. රඹුටන් ඇට හොඳින් පොඩි කරලා වෙනත් ආහාරයක් සමග මුසු කොට ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර අඩු කරගන්න හැකිලු.

රඹුටන් ලෙල්ලෙන් අතීසාරය / පාචනය වැනි රෝගී තත්වයන්ට ප්‍රතිකාර කල හැකි බව මමත් පළමු වතාවටයි දැනගත්තෙ. රඹුටන් තවත් අමුද්‍රව්‍ය කීපයක් සමග සමග මුසුකර ලබා දීමෙන් කල්ගත වූ උණ රෝග තත්වයන් කාර්යක්ෂමව සමනය කල හැකි බව නවීන විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා. ඒ වගේම රඹුටන් ලෙල්ලෙ අන්තර්ගත වෙලා තියෙන Gallic අම්ලය, ශරීරයේ ඔක්සිකරණ ක්‍රියාවලියේදී විය හැකි හානි අවම කරනවලු.



මේ පළතුර කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් වලිනුත් බොහොම සන්නද්ධයි. රඹුටන් මඳය තුල ජලයද විශාල ලෙස ඇති නිසා පිපාසය සංසිදුවා ක්ෂණිකව සිරුරේ ශක්තිය ඉහළ දමන්නට පුළුවන් නිසාම‍ ක්‍රීඩකයන්ට රඹුටන් වලින් ගත හැකි සේවය ඉමහත්.

රඹුටන් තුල කොපර් සහ මැංගනීස් යන අමුද්‍රව්‍යත් සංයෝග වෙලා තියෙනවා. රතු සහ සුදු රුධිරානු වර්ධනය පිණිස කොපර් ඉවහල් වෙනවා. ශරීරයේ නොයෙකුත් එන්සයිම වර්ග නිපදවීම සහ ඒවාය‍ේ ක්‍රියාකාරීත්වයට මැංගනීස් අවශ්‍යයි. මිනිස් සිරුරේ බොහෝ ජීව විද්‍යාත්මක ක්‍රියාකාරකම් සඳහා මෙලෙස නිපදවෙන එන්සයිම උපකාර වෙනවා. ඒ වගේම රඹුටන් තුල අන්තර්ගත ඉහළ ජල ප්‍රතිශතය සමේ තෙතමනය ආරක්ෂා කරමින් එය මෘදුව තබා ගැනීමටත් උදව් වෙනවා.

මේ පළතුර විටමින් C වලින් අනූනයි. ඔබ රඹුටන් ගෙඩි 10-12 ප්‍රමාණයක් වරකට ආහාරයට ගත්තා නම් ඒ සමග ඇස්කෝබික් අම්ලය මිලිග්‍රෑම් 75 - 90 අතර ප්‍රමාණයක් ඔබේ සිරුරට ලැබී අවසන්. එය හරියටම දිනකට අවශ්‍ය ඇස්කෝබික් අම්ල ප්‍රමාණය මෙන් දෙගුණයක්. 

විටමින් C අපේ ශරීර වල පැවැත්මට කරන සේවය බොහොම වැඳගත්. ලෙඩරෝග වලින් අපිව ආරක්ෂා කරන්න ඉස්සෙල්ලම සටන් වඳින්නෙ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. මේ පද්ධතිය බලගන්වන්නට විටමින් C  දායක වෙනවා. ඒ වගේම විවිධ ආහාර මගින් ශරීරයට ලැබෙන ඛනිජ ලවණ ශරීරයට අවශෝෂණය පිණිසත් විටමින් C උපකාරී වෙනවා. 

අපේ වකුගඩු තුල තැන්පත් වෙලා තිබෙන විවිධ අපද්‍රව්‍ය ඉවත් කරන්නටත් රඹුටන් වලට හැකියි. ඒ මේ පළතුරේ අඩංගු ෆොස්පරස් නම් සංඝටකය නිසයි. මෙයට අමතරව මිනිස් සිරුරේ ගෙවීගිය සෛල අලුත්වැඩියා කරන්නටත්...අලුත් සෛල ඇති කරන්නටත් ෆොස්පරස්  දායක වෙනවා.

එදිනෙදා සුලභව දකින්න පුලුවන් සමහර රෝගාබාධ වලටත් රඹුටන් මගින් සහනය ලැබෙනවා. හිසේ කැක්කුම සඳහා රඹුටන් කොළ තලපයක් පරිද්දෙන් සකස් කොට නළලේ තැන්පත් කිරීමෙන් සහනය ලැබෙනවාලු. ඒ වගේම පාචනය / අතීසාර වැනි තත්වයන්ට රඹුටන් මුල් මගින් සහනය ලබා ගත හැකියි. රඹුටන් ඇට මගින් දිය වැඩියා රෝගීන් පෙළන අපහසුතා යම් තරමකට අඩු කල හැකි බවත් පැවසෙනවා. ඒ අනුව බැලුවම රඹුටන් කියන්නෙ හුදෙක් පළතුරක් පමණක් නොවන වග පැහැදිලියි. 

රඹුටන් පත්‍ර මගින් ඔබේ හිසකෙස් වලට පෝෂණය ලබාදිය හැකි බව කවදාවත් අහලා තිබුනද....රඹුටන් පත්‍ර ජලය මිශ්‍ර කරමින් හොඳින් කොටාගෙන එහි ඉතිරිවන කෙඳි ආදිය ඉවත්කොට හිසේ මඳ වේලාවක් ගල්වා තබා සේදීමෙන්, සති කීපයකදී යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව තියෙනවලු. ඒ වගේම රඹුටන් අනුභවය මගින් පුරුෂ පාර්ශවයේ ශුක්‍රානු ගිනුම ඉහළ දමන්නටත් හැකියාව තිබේලු. මේ සඳහාත් දායක වෙන්නෙ රඹුටන් තුල අඩංගු විටමින් C .

මැලේසියාවෙ Kebangsaan සරසවිය විසින් රඹුටන් වල අප ආහාරයට නොගන්නා කොටස් විවිධ පිළිකා වලට එරෙහිව යොදාගත හැකි බව දැන් සොයාගෙන තිබෙනවා. ඒ ඔස්සෙ ඔවුන් තව දුරටත් පරීක්ෂණ පවත්වන බවයි දැනගන්න තියෙන්නෙ.

රඹුටන් ගෙඩියක් ඇතුලෙ කොපමණ වටිනාකමක් තියෙනවද කියලා දැන් ඔබ දන්නවා. මීට කලින් කවදාවත් රඹුටන් ගෙඩිය මේ තරම් වටිනවා කියලා ඔබ හිතුවෙ නැති උනත්, අදින් පස්සෙ මාර්ගය අද්දර රඹුටන් විකුණන වෙලාවක ඔබ අහක බලාගෙන යන්නෙ නැති විත්තිය නම් මට විශ්වාසයි.

අද ලිපියට මූලාශ්‍රය




මම කාමරේ අරින සිරා කොලුවා.

Sunday, June 7, 2015

58 නාග දූපත

සර්පයො කියන්නෙ බොහෝ දෙනා අතිශයින් බිය වෙන, දකින්නට පවා කැමති නැති, දෂ්ඨනයකට ලක් උනොත් වේදනාත්මක අත්දැකීමක් ලැබෙන සත්ව කොටසක්. සිරා කොලුවා වන මමත් එහෙමයි. සර්පයින්ට ගොඩාක් භයයි. සර්පයන්ටම වෙන්වුන දුපතක් ලෝකයේ එක තැනක තියෙනවා කියලා ඔබ දන්නවද ? ජාලෙන් පෙරලා අපි ඒ ගැනයි අද දැනගන්න‍ යන්නෙ.

Ilha de Queimada Grande


දේශීය භාෂාවෙන් Ilha de Queimada Grande යනුවෙන් හඳුන්වන අත්ලන්තික් සාගරයේ පිහිටා තිබෙන මේ දූපත සොභාදම් දිනිතියගේ භයංකාර නිමැවුමක් කියලත් හඳුන්වන්න පුලුවන්. මේ දුපතට කියන අනිත් නම තමයි නාග දුපත. ගොඩාක් විශාල නෑ. වර්ග මීටර් 430000 යි. පිහිටලා තියෙන්නෙ බ්‍රසීලයේ São Paulo වෙරළ තීරයේ ඉඳන් හැතැම්ම 20 ක් ඈතින්. බ්‍රසිල ජාතිකයො බොහොම දෙනෙක් මේ දූපත ගැන දන්නවා. හැබැයි රසවත්ම කාරණාව කියන්න‍ෙ දුපතට පය ගහන්න තරම් හිත හයිය මිනිස්සු ඉන්නෙ බොහොම අතලොස්සයි. අතීතයෙදි එහි ගිය අයගෙනුත් පණ පිටින් ආයෙත් ආවෙ බොහොම ස්වල්පයයි. හේතුව තමයි ‍ලෝකයේ අති භයංකාර සර්පයො දහස් ගනනක් මේ දුපතේ වාසය කිරීම. සමහරු කොපමණ විෂද කියනවා නම් දෂ්ඨ කලාම මිනිස් හම දිය වෙනවලු.










මේ දූපතේ වාසය කරන අයගෙන් භයංකාරම කෙනා තමයි හෙල්ලයක් වගේ හිසක් තියෙන රත්තරං පැහැති Golden Lancehead නැමති පොළඟා. අඟල් 28 සිට අඟල් 46 ක් දක්වා ප්‍රමාණයකට උන් දිගින් වැඩෙනවා. ලෝකයේ ඉන්න විෂ අධිකම පොළඟා මෙයා කියලයි කියන්නෙ. මේ පොළඟට පෙනුමෙන් සමාන මරණීය විෂ සහිත කෙනෙක් බ්‍රසීලයෙ ප්‍රධාන භූමිය තුල ජීවත් උනත් එමෙන් කීප ගුණයක් විෂ සහිත Golden Lancehead ජීවත් වෙන්න‍ෙ මේ දූපතේ පමණයි. ‍මේකා දෂ්ඨ කරලා ඉක්මනින් ප්‍රතිකාර නොලැබුනොත් පැයකටත් අඩු කාලයකින් එලොව දැක සැනසෙන්නයි මනුෂ්‍යයෙකුට සිදු වෙන්නෙ. ඇතැම් විටෙක ප්‍රතිකාර ලබා දුන්නත් රෝගියා මිය යනවා. මේ සතාගෙ දෂ්ඨනයකින් පස්සෙ මොළයේ අභ්‍යන්තර ලේ වහනය වීම, වකුගඩු අක්‍රීය වීම වගේම මිනිස් සම දියවී යන්නට පවා පුලුවන්ලු. ඉතින් මෙයාලා ඉන්න දුපතකට මිනිහෙක් භය නැතුව අඩියක් තියයිද ? දුපතට පැමිණිලා අතුපතර ගිමන් හරින සංචාරක කුරුල්ලො තමයි මේ දූපතේ සර්ප ගහනයට අහාර බවට පත්වෙන්නෙ.




Golden Lancehead 
හොර රහසෙ සතුන් පිටරට පටවන කළුකඩේ වෙළෙන්දො  වර්තමානයේදිත් මේ අධික විෂ සහිත පොළ‍ෙඟෙක් ඇමරිකානු ඩොලර් 10000 - 30000 අතර මිළ නියම කරලා වෙළඳාම් කරන්නෙ බ්‍රසීල බලධාරීන්ට හොරෙන්. මේ සතුන් ඒ තරම් වටින්නෙ එයාලා සතුව තියෙන සුවිශේෂ විෂ යොදාගෙන මිළ අධික ඖෂධ නිපදවන්න පුලුවන් නිසාලු. මේ අය නීතියේ රැහැනට හසුවුවත් නීතියේ ඇති හිල් වලින් ඉක්මනින් එළියට එන විදිය දන්නවා.

බ්‍රසීලයේ වගා කටයුතු වල නිරත වන ජනතාව විශාල ලෙස සර්ප දෂ්ඨන වලින් මිය යනවා. ඒ මරණ වලින් 90% කට වගකිව යුතු වෙන්නෙ Golden Lancehead  වගේ ඉන්න අනිත් පොළඟා. වර්තමාන ලෝකයේ විෂ ඝෝර සර්ප ගහනය වැඩිම ස්ථානය ලෙසයි දැන් Ilha de Queimada Grande හෙවත් නාග දුපත හදුන්වන්නෙ.


මේ දූපත ජනාවාශ ඇතිකිරීමට තහනම් ඉසව්වක් ලෙස බ්‍රසීල රජය නම් කර තිබෙනවා. විෂගෝර සර්පයන් සමග මනුෂ්‍යයින්ට සහජීවනයක් නැති වීම තමයි මෙයට හේතුව. 1909 දී ආරම්භ කරන ලද ප්‍රදීපාගාරයක් මෙහි ඇති අතර එහි අළුත්වැඩියාවන් සඳහා වසරකට වරක් එහි යන කාර්මිකයන් මේ දූපතට පය තබන සීමිත මිනිස් ප්‍රජාවට අයත් වෙනවා.

අතීතයේදී මේ ප්‍රදීපාගාරයෙ කටයුතු බාරව මිනිසුන් එහි නතර වී කටයුතු කලා. එහි අවසාන ලෙස රැඳී හුන් පුද්ගලයා තම බිරිඳ සහ අවුරුදු 5 ක් දියණියත් එහිම රඳවාගෙන තිබුනා. ඒ 1920 ගනන් වලදි. ඔවුන් සියලු දෙනා සර්ප දෂ්ඨන වලින් මිය ගියාට පස්සෙ අලුතින් සේවකයෙක් එතැන නතර කරන්නෙ නැතුව ප්‍රදීපාගාරය සම්පූර්ණ ස්වයංක්‍රීය ක්‍රමයකට පරිවර්ථනය කලා.

මේ මරණ වලට අමතරව තම මාලු බෝට්ටුවේ එන්ජිම අබලන් වීම නිසා නාග දුපත් වැල්ලේ නිදා සිටි ධීවරයෙකුද වතාවක් සර්ප දෂ්ඨන හේතුවෙන් මියගොස් තිබෙනවා. බ්‍රසීල නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ මේ දූපත දැන් පවතින්නෙ. ඒ සඳහා විශේෂයෙන් පුහුණ කල නැවියන් ඔවුන්ට සිටිනවා.

වසරකට වරක් එහි යන කාර්මිකයන්ට අමතරව විද්‍යඥයන් කීප දෙනෙකු පමණක් මේ දූපතට බ්‍රසීල රජයේ අවසරය අැතුව පැමිණ තිබෙනවා. ඒ අය දුපත තුල ගත කරන කාලය තුල වෛද්‍යවරයෙකු ඔවුන් අසලම රැදී සිටින්නේ සර්ප දෂ්ඨනයක් සිදු වුවහොත් ඉක්මනින් ශරීර ගත කිරීම පිණිස ප්‍රතිවිෂ එන්නත් පවා සූදානමෙන් තබාගෙනයි.

Sao Paulo නුවර Here සරසවියේ ගවේෂක Marcio Martins විසින් 
Golden Lancehead සත්වයෙකු නිරීක්ෂණය කරන අන්දම.

විද්‍යඥයන් සහ වෙනත් ගවේෂකයන් මේ දූපතේ කරක් ගහන්නෙ අති භයංකාර සර්පයෙක්  වන Golden Lancehead නැමති පොළඟාගේ විෂ යොදාගනිමින් හදවත් රෝග සහ ලේ කැටි ගැසීම යන රෝග අවස්ථා සඳහා යොදාගත හැකි ‍ඖෂධයක් දියුණුකිරීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහායි. විෂඝෝර සර්පයින් නිසා හුදෙකලා වුවත් පාරිසරික තත්වයන් අතින් ඉතා සුවිශේෂී මේ දූපත විද්‍යාත්මක නව ඔසු තැනීම පිණිස තෝතැන්නක් බවයි මේ පරීක්ෂණ කණ්ඩායම් වල අදහස වෙන්නෙ. බ්‍රසීල ජනතාවගේ සර්ප දෂ්ඨන මරණ වලින් වැඩි ගනනකට වග කියන මේ පොළඟා ගැන පරීක්ෂණ පවත්වන්න ඒ ඇත්තැන්ටත් අවශ්‍යයි.

වසර 11000 කට ඈත අතීතයේ නාග දූපතත් බ්‍රසීලයේ ප්‍රධාන ගොඩබිමත් එකටම පැවතුනත්  පසු කාලය තුල සාගර ජල මට්ටම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන භූමියෙන් වෙන් වී හුදෙකලා වන්නට එයට සිදු උනා. ප්‍රධාන භූමියේ සිටින සර්පයින් සියල්ලම පාහේ මේ දූපතේ සිටියත් ඔවුන් පසුගිය වසර දහස් ගනනක කාලය තුල තමන්ගේම මාවතක් තුල පරිණාමය වී තිබෙනවා. ඒ අනුව වෙනත් ගොඩබිමක විෂඝෝර සර්පයන්ට වඩා මේ දූපතේ සර්පයන් සතුව 5 ගුණයක් විෂ තිබෙනවා. 4000 ක පමණ සර්ප ගහනක් වර්තමානයේ මේ දූපත සතුව සිටින බව සත්ව විද්‍යාඥයන්ගේ අදහසයි.

සත්ව විද්‍යාඥයන් බ්‍රසීල රජය සමග එක්ව නාග දුපත සහ එහි සර්පයන් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කොට තියෙන්නෙ.  සර්පයින් කෙතරම් භයානක වුවත් පරිසරයේ පැවැත්මට, ලෙඩ රෝග පාලනයට ඔවුන්ගෙන් ඉටුවෙන්නෙ විශාල වැඩකොටසක්. නීති විරෝධී සත්ව වෙළඳාම, ලෙඩ රෝග වැනි කාරණා නිසා නාග දූපතේ සර්ප ගහනය ගත වූ වසර 15 ක කාලය තුල 15% ක ප්‍රතිශතයකින් අඩු වී තිබෙනවා. මේ සතුන්ගේ විෂ ඉතාම මිළ අධික බෙහෙත් වර්ග නිපදවීමට යොදාගන්න නිසා නීති විරෝධීව මේ සතුන් වෙළඳාම් කරන්නට වෙළඳුන් උත්සුක වෙලා.

නාග දුපත තුල පමණක් Golden Lancehead Viper වර්ගයේ සතුන් ඇතුලුව අනෙකුත් විෂ සහිත සර්පයන් දහස් ගණනක් ජීවත් වෙනවා. මේ අයගෙන් සමහරෙක් වඳවීමේ තර්ජනයට මුහුණු දී ජාත්‍යන්තර රතු දත්ත පොතේ නම සටහන් වී තිබෙන අයයි. ඉතාම සුන්දර වටපිටාවක් සහිත තැනක තිබෙන මේ දූපත සංචාරක ආකර්ශනය ඇති තැනක් ලෙස සංවර්ධනය කරන්නට අවකාශ තිබෙන මුත් දුපතේ වෙසෙන සර්පයින් එයට හරස් වී තිබෙනවා.

නාග දුපත පිළිබඳ මේ වාර්තා වැඩසටහනත් නරඹන්න.




අද ලිපියට මූලාශ්‍රය




මම කාමරේ අරින සිරා කොලුවා.

Friday, May 8, 2015

64 මැලේසියාවේ අභිමානය පෙට්‍රොනාස්

අවසන් ජාලෙන් පෙරලපු ලිපියෙන් අපි විස්තර දැනගත්තෙ අයිෆල් කුළුණ ගැන..ඒ සඳහා ලැබුන ප්‍රතිචාරය ඉතාම ඉහළයි. බොහෝ පිරිසක් ලිපියේ අන්තර්ගතය ගැන ප්‍රශංසාත්මකව කථා කලා. සමහරු අදහස් දක්වලා ඊයක් දෙකක් විද්දා. ඒ නිසාම මෙදා වාරෙ සිරා කොලුවා කල්පනා කලා මම නොදුටු දෙයක් වෙනුවට මට දිනපතාම සේවයට යද්දි එද්දි දකින්න ලැබෙන ඉඳිකිරීමක් ගැන විස්තර බොලාට කියන්න.

ඒ තමයි මැලේසියාවෙ අගනුවර වන ක්වාලාලම්පූර් නුවර බොහෝ තැන් වලට පැහැදිලිව පෙනෙන මැලේසියාවේ අභිමානය ලෙස සැළකෙන පෙට්‍රොනාස් නිවුන් කුළුණු. 1998 සිට 2004 දක්වා ‍කාලය තුල ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස වැජඹුන මේ දැවැන්ත නිර්මාණය වර්තමානයේත් ලොව නිවුන් ගොඩනැගිලි අතර අංක එකට වැජඹෙනවා. මැලේසියාවේදී වඩාත්ම ඡායාරූපයට නැගුන සංචාරක ස්ථානය වගේම ක්වාලාලම්පූර් නුවර 21 වන සියවසේ සංධිස්ථානයක් සළකුණු කල පෙට්‍රොනාස් ද්විත්ව ගොඩනැගිල්ල උසින් මීටර 452 ක්.  ශ්‍රී ලංකාවේ උසම ගොඩනැගිල්ල ලෙස කාලයක් වැජඹුන කොළඹ කොටුවේ  ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උස මීටර් 152 යි. ලංකාවේ ගොඩනැගිල්ල දැක ඇති ඔබට පෙට්‍රොනාස් ගොඩනැගිල්ලෙ උස ගැන දළ අවබෝධයක් ගන්නට හැකි වේවි.

ක්වාලාලම්පූර් නගර මධ්‍යයේ අභීතව නැගී සිටින පෙට්‍රොනාස්
රාත්‍රියට පෙනෙන අන්දම
මැලේසියාව කියන්නෙ තමන්ටම කියලා ඛණිජ තෙල් සහ ගෑස් නිපදවන රටක්. එම ඛණිජ තෙල් සහ ගෑස් නිෂ්පාදන ජනතාව අතරට අරගෙන යන රජයේ ආයතනය තමයි පෙට්‍රොනාස් කියන්නෙ. ඔවුන් ලෝක මට්ටමෙන් ගත්තත් රටවල් 30 කට ආසන්න ගනනකට තමන්ගෙ නිෂ්පාදන සපයන ප්‍රමුඛ පෙලේ ආයතනයක්.

මහතීර් මොහමඩ් අගමැති තුමා

ආනන්ද ක්‍රිෂ්ණන් මහතා
මැලේසියාවේ එවකට අගමැති ආචාර්ය මහතීර් මොහමඩ් මහතාට අහස සූරන ගොඩනැගිල්ලක් ක්වාලාලම්පූර් නුවර මධ්‍යයේ ඉඳිකරන්නට අදහස පහල වී තිබුනා. ඔහු මේ අදහස ඔහුගේ හිතවතෙකු මෙන්ම මැලේසියාවේ ධනවතුන් අතර දෙවැනි තැන අදටත් සිටින ආනන්ද ක්‍රිෂ්නන් මහතාට සැළ කලා. ආනන්ද ක්‍රිෂ්ණන් මහතා 1938 දී මැලේසියාවේ ඉපදුන දමිළ ජාතිකයෙකු වුවත් ඔහුගේ දෙමාපියන් ලංකාවේ යාපනය ප්‍රදේශයෙන් යටත් විජිත සමයේ මැලේසියාවට සංක්‍රමණය වී තිබුනේ ඉංග්‍රීසි ජාතිකයන්ගේ ව්‍යාපෘති වල සේවය කිරීම සඳහායි. ආනන්ද ක්‍රිෂ්නන් මහතා ගොඩනැගිල්ල ඉඳිකල වකවානුවේ පෙට්‍රොනාස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කලා. මේ සමාගම බිහි කිරීම සඳහාත් මහතීර් මොහමඩ් මහතාට ක්‍රිෂ්නන් මහතාගේ අදහස් ලැබුන බව දැනගන්නට තිබෙනවා.

නගර මධ්‍යයේ තමා සතු තුරඟ තරග පවත්වන භූමිය මේ සඳහා ලබාදිය හැකි බව ක්‍රිෂ්ණන් මහතා පැවසූ විට අගමැති වරයා එය මේ ව්‍යාපෘතිය වෙනුවෙන් විකුණන ලෙස යෝජනා කලද ආනන්ද ක්‍රිෂ්ණන් මහතා  පවසා ඇත්තේ ඉඩම ලබාදෙන්නේ මේ ගොඩනැගිල්ල ඉඳිකිරීම තමා හට බාර කලොත් පමණක් බවයි. ඒ අවසරය ඔහුට පැවරුන පසු මේ ඉඳිකිරීම සඳහා දායක කරගත් ප්‍රධාන සැලසුම් කරුවා මෙන්ම ජපාන සහ කොරියානු සමාගම්ද ආනන්ද ක්‍රිෂ්නන් මහතා විසින් සොයාගත් ඒවාය. ඒ අනුව මේ ගොඩනැගිල්ල පිටුපස සිටින යෝධ චරිතයක් ලෙස ඔහු හැඳින්වීම සාවද්‍ය නොවේ. ලංකාවේ අපටද ඔහු කෙරේ නෑදෑකමක් ඇති නිසා එය ලාංකිකයන් ලෙස අපට මහත් ආඩම්බරයකි.

ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක් වියදම් කොට ගොඩනැගිල්ල ඉඳිකර අවසන් වූ පසු එක් කුළුණක් අගමැති වරයා හටත්...අනෙක් කුළුණ ආනන්ද ක්‍රිෂ්ණන් මහතා හටත් අයත්ව තිබූ බව කියවුනත් මැලේ සමාජයේ පිළිගැනීම එය සම්පූර්ණයෙන්ම ක්‍රිෂ්ණන් මහතාට අයත්ව තිබූ බවකි. ජාතිවාදී අදහස් හා නොයෙක් දෙසින් එල්ලවූ විවිධ පීඩනය නිසා 2000 වසරේදී මේ ගොඩනැගිල්ල මැලේසියානු රජයට විකුණා දමන්නට ක්‍රිෂ්නන් මහතා කටයුතු කලා.

ඉතාම කළාතුරකින් ප්‍රසිද්ධියේ පෙනී සිටින, පුණ්‍ය කටයුතු හා පරිත්‍යග වෙනුවෙන් නිතරම කෝටි ගනනින් මුදල් ලබාදෙන, මැලේසියාවේ සන්නිවේදන චන්ද්‍රිකා සියල්ලේ මෙන්ම අංක එකේ ජංගම දුරකථන ජාලයද ඇතුලු ජංගම දුරකථන ජාල දෙකක, අංක එකේ කේබල් රූපවාහිනී සේවයේ මෙන්ම, ඛණිජ තෙල් සහ ගෑස් ඇතුළු බොහෝ ව්‍යාපාර වල හිමිකරුවා වන ආනන්ද ක්‍රිෂ්නන් මහතා ලංකාවේ ටෙලිකොම් ආයතනයේද කොටස් මිළදී ගෙන ඇති බව අසන්නට ලැබේ. මෙතුමාට පුතුන් දෙදෙනෙකු හා එක් දියණියක සිටිති. එක් පුත්‍රයෙකු පෙට්‍රොනාස් සමාගමේ ඉහළ තනතුරක සිටින අතර අනෙක් පුත්‍රයා මේ වන විට තායිලන්තයේ බෞද්ධ භික්ෂුවක් ලෙස මහන දම් පුරයි. ක්‍රිෂ්නන් මහතාද බුදුන් සරණ ගොස් ඇති බවට රාවයක් මැලේ ජනසමාජය තුල පවතී. බ්‍රික්ෆිල්ඩ් බෞද්ධ මහා විහාරය ආසන්නයේ ක්‍රිෂ්නන් මහතා  උපන් නිවස අදටත් දක්නට හැකියි.

වර්තමානය වන විට කුළුණු දෙකෙන් එක කුළුණක් පෙ‍ට්‍රොනාස් ආයතනයට සහ ඔවුන්ගේ අනුබද්ධ සමාගම් වල කාර්යාල පවත්වාගෙන යාම සඳහා වෙන් වී තිබෙනවා. අනෙක් කුළුණේ ලොව ප්‍රකට සමාගම් වන Huawei Technologies, AVEVA, Al Jazeera English, Carigali Hess, BloombergBoeingIBMKhazanah Nasional BerhadMcKinsey & CoWIPRO LimitedTCSHCL TechnologiesKrawlerMicrosoft, The Agency සහ Reuters තම කාර්යාල පවත්වාගෙන යනවා.

පෙට්‍රොනාස් සන්නාමය


මේ විශ්වකර්ම ගොඩනැගිලි ද්විත්වය සැලසුම් කලේ ආජන්ටිනා සම්භවය සහිත ඇමරිකානුවෙකු වන César Pelli විසින්. ගෘහ නිර්මාණ ක්‍රම රාශියක සංකලනයක් විදියටත්, 21 වන ශත වර්ෂයට ගැලපෙන විදියටත්, මේ නිර්මාණය සැලසුම් කිරීම තමයි එතුමාගෙ අභිප්‍රාය වෙලා තියෙන්නෙ. 1992 ජනවාරි 1 වැනිදා මේ දැවැන්ත ගොඩනැගිලි ද්විත්වය සැලසුම් කිරීම නමෝ විත්තියෙන් ආරම්භ උනා. ගොඩනැගිල්ලෙ සැලසුම විදියටම ඉඳිකල අනුරූ මත සුළඟ සහ විවිධ බර යොදා කරපු සංකීර්ණ පරීක්ෂණ රාශියක් අවසානයේ 1993 මාර්තු 1 වැනිදා පෙට්‍රොනාස් නිවුන් කුළුණු ඉඳිකරන්න පටන් ගත්තා. මුලින්ම කරන්න තිබ්බෙ පොළොව හාරන කටයුත්ත. සෑම රාත්‍රියකම ලොරි රථ 500 ක් පුරවලා කණින ලද පස් ඉවතට අරගෙන ගියා. එක රැයකට මීටර් 30 ක් පොළව යටට හාරන්න ඉංජිනේරුවන්ට හැකි උනා. සමස්තයක් විදියට මේ ගොඩනැගිල්ල තනා නිමකරන්න වසර  7ක් ගත වෙලා තියෙනවා.

César Pelli


ගොඩනැගිල්ලේ සැකිල්ල 1994 අප්‍රියෙල් 1 වනදා ඉඳිකිරීම අාරම්භ කලා. 1996 ජනවාරි 1 වන විට ගොඩනැගිල්ලේ ඇතුලත නිමැවුම් කටයුතු ගෘහ භාණ්ඩ ස්ථානගත කිරීමද ඇතුලත්ව නිමකලා. පෙට්‍රොනාස් කුළුණු මුදුනේ ඇති කොත 1996 මාර්තු 1 වැනිදා තනා නිම උනා. පෙට්‍රොනාස් සමාගමේ සේවකයන් ගොඩනැගිල්ලට ගෙවදුනේ 1997 ජනවාරි 1 වැනිදා. නිල වශයෙන් මේ ගොඩනැගිලි ද්විත්වය මැලේසියාවේ හිටපු අගමැති ආචාර්ය මහතීර් මොහමඩ් මහතා අතින් විවෘත උනේ 1999 සැප්තැම්බර් මස 1 වැනිදා. හරියටම මැලේසියාවෙ ජාතික දිනය යෙදෙන දවසට පහුවෙනිදා.

ඉඳිකිරීම් කටයුතු කරන්නට කලියෙන් එහි පොළව පිළිබඳ කල පරික්ෂණ වලින් භූමියේ එක කොටසක් හුණු ගල් වලින් යුතු බවත් අනෙක් කොටස මෘදු පාශාණ වලින් යුතු බවත් සොයාගත්තා. අවසානයේ යෝජිත භූමිය මීටර් 61 ක් පසෙකට තල්ලු කරමින් ගොඩනැගිලි ද්විත්වයම මෘදු පාශාන සහිත පොළවක් මත ඉඳිකිරීමට හැකි ලෙස වෙනස් කලා. පොළවට යටින් පිහිටා තිබූ ප්‍රධාන පාෂාණ තට්ටුව නිසා ඇති විය හැකි අවහිරතාවයන් අවම කිරීම මේ වෙනස ඇති කිරීමේ අරමුණ උනා.

ගොඩනැගිල්ලක් වෙනුවෙන් ඒ කාලයේ ඉඳිවුන ගැඹුරුම අත්තිවාරම මත තමයි පෙට්‍රොනාස් නිවුන් කුළුණු උපන්නේ. පොළව යට මීටර් 60 සිට 114 දක්වා ගැඹුරේ ස්ථානගත කොට තිබෙන කොන්ක්‍රීට් තට්ටු 104 කින් එය සමන්විතයි. අත්තිවාරම මීටර් 120 ක් පොළව යටට දිව ගියා. සමස්ත කොන්ක්‍රීට් පාදම කියුබික් මීටර් 13200 ක් විශාලයි. එක් කුළුණක අත්තිවාරම නිමකිරීම වෙනුවෙන් පැය 54 ක් නොකඩවා කොන්ක්‍රීට් පොම්ප කරන්නට සිදු උනා. එහි බර ආසන්න වශයෙන් ටොන් 35800 ක්. ලොව විශාලතම පාදමට හිමි වාර්තාව වර්ෂ 2007 දක්වා රැකගන්නට පෙට්‍රොනාස් ගොඩනැගිල්ලට හැකියාව ලැබුනා. අත්තිවාරම නිම කරන්නට Bachy Soletanche නැමති එංගලන්ත සමාගමට මාස 12 ක් ගතවී තිබෙනවා. ගොඩනැගිල්ලේ සැකිල්ල Fazlur Rahman Khan විසින් සොයාගත් Tube in Tube ක්‍රමයට නිම උනා. ඒ සඳහා දායකත්වය දැක්වූයේ හයිටි ජාතික ඉංජිනේරුවන් තිදෙනෙකු වූ Domo Obiasse, Colleagues Aris Battista සහ Princess D Battista යන අයයි.

දිගු ගමනක ඇරඹුම


තට්ටු 88ක් උසැති මේ නිවුනු කුළුණු දෙකේ ඉඳිකිරීම් වලින් වැඩි කොටසක් සවිගැන්වූ කොන්ක්‍රීට් මගින් නිම කර තිබෙනවා. ගොඩනැගිල්ලේ ඉදිරිපස වානේ සහ වීදුරු භාවිතයෙන් ඉස්ලාම් කලාශිල්ප වල අාභාෂය ලබමින් කල නිර්මාණය මගින්  මැලේසියාවේ රාජ්‍ය ආගම වන මුස්ලිම් ආගම පිළිඹිබු වෙන බවක් කියවෙන්නෙ. මෙයට අමතරව ඉස්ලාම් කලා ශිල්ප වල ආභාෂය ගොඩනැගිල්ලේ තවත් තැන් වල දකින්නට හැකියි. ගොඩනැගිල්ලේ මැද කොටසේදී Rub el Hizb නැමති ඉස්ලාම් කලා ශිල්ප වල එන හැඩය සහිතව ගොඩනැගිල්ල ඉහළට එසැවී තිබෙනවා


ඇත්ත වශයෙන්ම පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ  මූලික සැලසුම ඇඳ තිබෙන්නේ මීටර් 427 ක් උස වන පරිද්දෙන්. එහෙත් තවත් මීටර් 15 ක් ඉහළට මේ ගොඩනැගිල්ල එසවූවා නම් එය ලෝකයේ උසම ගොඩනැගිල්ල බවට පත්වන බව එවකට මැලේසියානු අගමැති ආචාර්ය මහතීර් මොහොමඩ් මහතා ට වැටහී තිබෙනවා. ඔහු සැලසුම් ශිල්පියාට උපදෙස් දුන්නේ තවත් මීටර් 15 ක් උස වැඩිකර ලොව උසම ගොඩනැගිල්ල බවට මේ ඉඳිකිරීම පත් කරන ලෙසයි. අවසානයේ අලුතින් තවත් තට්ටු එකතු කරනවා වෙනුවට ගොඩනැගිල්ල ඉහළින් ඉඳිකල ඔටුන්න වැනි කොටස මගින් මීටර් 452 ක් දක්වා උස වැඩිකරන්න සමත් උනා.

මැලේසියානු රජයේ බලාපොරොත්තුව උනේ මේ ගොඩනැගිල්ල වසර 6 කින් සාදා නිමකරන්නටයි. ඒ අනුව එම ඉලක්කය සපුරා ගන්නට එක් එක් කුළුණු ඉඳිකිරීම වෙන වෙනම සමාගම් දෙකක් වෙත පවරා තිබෙනවා. පළමු කුළුණ හෙවත් බටහිර කුළුණ  Hazama Corporation නැමති ජපාන සමාගම ප්‍රමුඛ තවත් සමාගම් කීපයක් මගින් ඉඳිකලා. දෙවන කුළුණ හෙවත් නැගෙනහිර කුළුණ Samsung C&T Corporation නැමති දකුණු කොරියානු සමාගම ප්‍රමුඛ තවත් සමාගම් කීපයක් මඟින් ඉඳිකලා. අවසානයේ මුලින්ම කුළුණ ඉඳිකරන්නේ කවුද? යන ගැටළුව කාටත් ඇති උනා.

දහස් සංඛ්‍යාත දේශීය/විදේශීය සේවකයින් මේ සමාගම් යටතේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වලට දායක උනා. නැත්නම් මේ ඉඳිකිරීම බහුජාතික වෑයමක් උනා. ගොඩනැගිල්ලේ මූලික සැකිල්ලේ වැඩ කටයුතු අධීක්ෂණය කලේ ඇමරිකානු ඉංජිනේරුවන්. කුළුණු ද්විත්වය ජපානයේ සහ දකුණු කොරියානු දැනුමෙන් ගොඩනැගුවා. අධිවේගී විදුලි සෝපාන සහ එක්ස්කැල‍ේටර් කැනඩාවෙන් ලැබුනා.

පෙට්‍රොනාස් ගොඩනැගිල්ල ඉඳිකිරීම ජපානය සහ දකුණු කොරියාව අතර තරඟයක් බවට කෙමෙන් කෙමෙන් පත් උනා. අවසානයේ තම ප්‍රතිවාදියාට සතියකට කලින් ඉලක්කයට ලඟා වෙන්නට දකුණු කොරියානු කණ්ඩායමට හැකි වෙලා. දෙවන කුළුණ මුලින්ම ඉහලට නැගී එතෙක් ලොව උසම ගොඩනැගිල්ල ලෙස නම් දරා සිටි මීටර් 442.1 උස ඇමරිකාවේ Willis Tower නැමති ගොඩනැගිල්ල පසුකර නව ලොව උසම ගොඩනැගිල්ල ලෙස ලෝක වාර්තාවට හිමිකම් කිව්වා. 

ගොඩනැගිල්ල මුදුනේ සවිකල කොත වැනි කොටස මේ ජයග්‍රහණය අත්කර ගැනීමට බොහෝ සේ දායක වී තිබෙනවා. එය මීටර් 73.5 ක් උසින් යුතුයි. ගොඩනැගිල්ලේ නිමාව සටහන් කරමින් කල ඉඳිකිරීමකට වැඩි දෙයක් ඒ තුල අන්තර්ගත වෙයි. සති 19 කට වැඩි කාලයක් මේවා නිපදවන්නට සහ එකලස් කරන්නට වැය වී තිබෙනවා. කොරියානුවන් නිපදවූ කුළුණේ කොත කොරියාවෙත්, ජපාන සමාගම විසින් ඉඳිකල කුළුණේ කොත ජපානයේදිත් නිපදවා තිබේ. ඒවා විවිධ කොටස් 50 කින් පමණ සමන්විතය. මේ කොටස් දෙක ටොන් 176 ක් පමණ බරින් යුතු වෙයි. කුළුණු ද්විත්ව‍යේ පෙනුම මේවා මගින් තීව්ර කර ඇති අතර ගුවන් යානා වෙත අනතුරු අඟවන විදුලි බුබුළුද ඒ මතම සවිකොට තිබේ.


ගොඩනැගිල්ලේ ඉඳිකිරීම් අතරතුරදී භාවිතා කල කොන්ක්‍රීට් කාණ්ඩයක තත්වය පිළිබඳ ගැටළුවක් ඇති වීම නිසා අලුතෙන් ඉඳිකිරීම සම්පූර්ණයෙන් නවතා දමා එතෙක් ඉඳිකර තිබූ සියළුම මහල් පිළිබඳ තත්ව පරීක්ෂණයක් කරන්නට සිදුඋනා. අවසානයේ එක් මහලකට පමණක් තත්වයෙන් බාල කොන්ක්‍රීට් යොදා තිබූ බව අනාවරණය වූ නිසා එම මහල සම්පූර්ණයෙන් කඩා ඉවත් කොට නැවතත් ඉඳිකොට තිබෙනවා. ඉඳිකිරීම් නැවතීම නිසා එක් දිනයකට වැය ඇමරිකානු ඩොලර් ලක්ෂ 7ක් බවට ගණනය කර තිබුනා. මේ හේතුව නිසා කොන්ක්‍රීට් සැපයුම් ස්ථාන (Plant)  3 ක් වෙන වෙනම අලුතින් ස්ථාපනය කල අතර එක් ස්ථානයක නිෂ්පාදනය වන කොන්ක්‍රීට් තත්වයෙන් බාල වුවහොත් අනිත් ද්විත්වය භාවිතා කිරීම එහි අරමුණයි.

පෙට්‍රොනාස් ගොඩනැගිල්ල 72 වෙනි මහලට ලගා වූ පසු ඉංජිනේරුවරුන් විසින් එය මිලිමීටර් 25 ක ඇලයක් සහිතව ගමන් කරන බව සොයාගත්තා.  ඒ නිසා එයින් මතු ඉඳිවූ මහල් මිලිමීටර් 20 ක් සිරස් අතට ඇතුලට ගෙන තිබෙන අතර ඉඳිකිරීම් අවසන් වන තුරු  මේ කාරණය පිළිබඳ විශේෂඥයන් දිනකට දෙවරක් බැගින් පරීක්ෂා කොට තිබෙනවා.

පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ ඇති සුවිශේෂීම අංගය නම් එහි ඇති තට්ටු දෙකේ අහස් පාලමයි. එක් කුළුණක 41 වන මහලත් අනෙක් ගොඩනැගිල්ලේ 42 වෙනි මහලත් මෙමගින් සම්බන්ධ කොට තිබෙනවා. ලෝකයේ ගොඩනැගිලි දෙකක් එකට සම්බන්ධ කරන පොළවට වඩාත් ඉහළින් පිහිටි පාලම ලෙසයි මෙය සැලකෙන්නේ. එය පොළවේ සිට මීටර් 170 ක් උසින් ස්ථානගතවී තිබෙනවා. මෙය ගොඩනැගිල්ලේ ප්‍රධාන සැකිල්ලට සම්බන්ධ කොට නෑ. විශාල සුළගකදී පාලමට සිදුවිය හැකි හානි අවම කිරීමේ අරමුණින් එය සකස් කොට තිබෙන්නේ අංශක කීපයක් දෙපසට පැද්දෙන ලෙසයි. පැයට කිලෝමීටර් 105 ක වේගයෙන් හමනා සුළගකදී උනත් පාලම මෙන්ම ගොඩනැගිල්ලත් ආරක්ෂිතයි. ඒ බව දෙවරක්ම පරීක්ෂණ මගින් ඉංජිනේරුවන් සනාථ කොට තිබෙනවා. මේ පාලම නිසා කුළුණු ද්විත්වයට හදිසි අවස්ථාවකදී අමතර සහායක් ලැබෙනවා. අහස් පාලමේ දිග මීටර් 58 ක්. පාලමේ බර ටොන් 750 ක්. මේ පාලමේ ඉඳිකිරීම් කටයුතු නිම කලේ Kukdong Engineering & Construction නැමති දකුණු කොරියානු සමාගමයි.


මවිසින් ගන්නා ලද ඡායාරූපයක්


අහස් පාලම මතදී මවිසින් ගන්නා ලද ඡායාරූපයක්
අහස් පාලම ආරක්ෂාකාරී උපාංගයක් ලෙසත් භාවිතා කරන්න පුලුවන්. හදිසි ගින්නකදී හෝ වෙනත් ආපදාවකදී  එක් කුළුණක ඇති කාර්යාල වල සිටින සේවක සේවිකාවන්ට අනෙක් පස කුළුණට ගමන් කරන්නට මෙමගින් අවස්ථාව ලැබී තිබෙනවා. පාලමේ බර දරාගෙන සිටින්නේ මීටර් 51 ක් දිගැති ආරුක්කු දෙකක් විසින්. 29 වෙනි මහලේදී ඒවා ගොඩනැගිල්ලට සවි වී තිිබේ. භූමියේදී එකලස් කොට ඉහළට එසවූ අහස් පාලම නිසි ලෙස සවිකරන්නට 1995 ජූලි මාසයේදී දින 3 ක් ගත උනාලු. මේ පාලම විසින් සම්මන්ත්‍රණ ශාලාවක්, විධායක ශ්‍රේණියේ අවහන්හලක් සහ යාච්ඤා කිරීම උදෙසා වෙන් වූ ස්ථානයක් සම්බන්ධ කරනවා.

මේ ගොඩනැගිල්ල සතුව අධිවේගී විදුලි සෝපාන 29 ක් තිබේ. පොළව යට තනා ඇති වාහන නැවතීමේ අංගන වල වාහන 5400 කට පමණ ඉඩ තිබේ. ගොඩනැගිල්ල තනන්නට සුදු යකඩ වර්ග මීටර් 83500ක්, වීදුරු වර්ග මීටර් 77000 ක්, යකඩ ටොන් 36000 ක් පමණ වැය උනාලු.  සමස්ත පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ බර මෙට්‍රික් ටොන් 600,000 ක් ලෙස ගනන් බලා තිබේ. ඒ අනුව එක් කුළුණක බර මෙට්‍රික් ටොන් 300,000 කි.

ලොව උසම ගොඩනැගිල්ල ලෙස පෙට්‍රොනාස් කුළුණු ද්විත්වය 1999 සිට  2004 වසර වන නෙත් වැජබුනා. තායිවානයේ තායිපේ නුවර ඉඳිවුන 101 ගොඩනැගිල්ල මීටර් 508 ක උසක් සටහන් කරමින් පළමු ස්ථානය මැලේසියාවෙන් උදුර ගත්තද 2010 දී මීටර් 828 ක් උස බර්ජ් කලීෆා ගොඩනැගිල්ල විවෘත කරමින් නූතන ලෝකයේ උසම ගොඩනැගිල්ලට හිමිකම් කියන්නට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පුරවරය සමත් උනා. ලොව උසම ගොඩනැගිල්ල තමා සන්තක කර ගැනීම ලොව දියුණු රටවල් අතර තරඟයක් බවට වර්තමානය වන විට පත්ව තියෙනවා.

මෙතෙක් මා ඔබට කිව්වේ පෙට්‍රොනාස් ගොඩනැගිල්ල හා සම්බන්ධ තාක්ෂණික හා වෙනත් කාරණායි. මේ ගොඩනැගිල්ලේ ඉහළට ගිය කෙනෙකු ලෙස මගේ අත්දැකීම් සහ අවශේෂ පරිසරය ගැනද මා යමක් කිව යුතුය.

පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ බිම්මහලේ පසෙක සූරියා KLCC නැමති සුපිරි වෙළඳ සංකීර්ණයක් වෙයි. වර්ග මීටර් 140,000 පමණ විශාල වන එහි ලොව ප්‍රමුණ පෙලේ සන්නාමයන්ගේ නිෂ්පාදන අළෙවි කිරීමට තිබේ. මේවාට අමතරව මින්මැදුරක්, චිත්‍රපට ශාලාවක් සහ විද්‍යා මධ්‍යස්ථානයක් ද එහි වෙයි. මේ මහල හරහා ගොඩනැගිල්ල නරඹන්නට යා යුතු මඟ වැටී තිබේ.





පෙට්‍රොනාස් ගොඩනැගිල්ල නැරඹීමට 2010 වසර දක්වා නොමිලේ අවස්ථාව ලබා දි තිබුනත් වර්තමානයේ මුදල් ගෙවා ප්‍රවේශ පත්‍ර ලබාගත යුතු වෙයි. විදේශික වැඩිහිටියෙකු සඳහා ලංකා රුපියල් 3000 කට වැඩි මුදලක් සහ දරුවෙකුට ලංකා රුපියල් 1200 කට වැඩි මුදලක් අය කරයි. සෑම සඳුදා දිනකම බාහිර පුද්ගලයන් සඳහා ගොඩනැගිල්ල විවෘත වන්නේ නැත. සතියේ අනෙකුත් දින වල උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා එය විවෘතව පවතී. පැමිණෙන පිළිවෙලට ප්‍රවේශ පත්‍ර නිකුත් කරන අතර ‍අධික ඉල්ලුම නිසා වේලාසන ටිකට් පත් මිළදීගෙන එහි මුද්‍රණය කොට තිබෙන වෙලාවට එහි යා යුතුය. එසේ නොමැතිව ප්‍රවේශ පත්‍රය නිකුත් කරන අවස්ථාවේම එය නරඹන්නට යන්නට අවස්ථාවක් නැත.

ටිකට් පත් මිළ බදු වැඩි වීමට පෙර....නැරඹීමට පැමිණිය යුතු වෙලාව ටිකට් පතේම මුද්‍රණය කර තිබේ.

ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු පෙට්‍රොනාස් ගොඩනැගිල්ලේ ආරක්ෂාව වඩාත් තරකර තිබේ. ප්‍රවේශපත්‍රය අතැතිව තමන්ට නියමිත වේලාවේ එතැනට ගිය විට ගොඩනැගිල්ලේ ආරක්ෂක අංශ විසින් කරන දැඩි පරීක්ෂාවකින් පසු හැඳුනුම්පතක් ලබාදෙනු ලැබේ. එය අප පැළඳගත යුතුය. ඉන් අනතුරුව හදිසි අවස්ථාවක් උදාවුවහොත් ගතයුතු පියවර සහ ගොඩනැගිල්ල තුල පිළිපැදිය යුතු වෙනත් නීති රීති පිළිබඳ විශේෂ තාක්ෂණික ප්‍රයෝගයක් මගින් හිස් අවකාශයේ මැවෙන කාන්තා රුවකින් උපදෙස් ලැබෙයි. ඒ ක්‍රමවේදය මම දැක ඇත්තේ මෙතැනදී පමණි.

ස්කෑනර් යන්ත්‍ර මගින් සියලුම පුද්ගලයන් මෙන්ම බඩු බාහිරාදියද පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉහළට නැගෙන්නට අවසර ලැබේ. කාර්යමණ්ඩලයේ නිලධාරියෙකුද අප සමග පැමිණෙයි. පළමු නැවතුම 41 වන මහලේදී සිදුවෙයි. එතන ඇති අහස් පාලම මතට වී ක්වාලාලම්පූර් නගරයේ අසිරිය විදින්නට අවස්ථාව සැලසෙයි. පාලම සුළඟ හමනා විටෙක සෙළවෙන  අයුරු අපට දැනෙයි.



පාලමේ සිට දකින දසුන
එයින් අනතුරුව නරඹන්නෙකුට 85 මහල දක්වා යා හැකිය. 80 වන මහල දක්වා ගමන් ගන්නා විදුලි සෝපානයෙන් පසු ඉතිරි මහල් 5 තරණය කරන්නට වෙනම සෝපානයකට ඇතුලු විය යුතුය. මහල් 88 ක් තිබුනද 85 වන මහලෙන් ගමන සීමා කර තිබේ. මෙහි ඇති විදුලි සෝපාන ඉතාම වේගවත්ය. ඒවා සැනෙන් ඉහළට ගොස් නතර වෙයි. අතර මගකදී වායුගෝලීය පීඩනය වෙනස් වන ආකාරය කඳිමට දැනෙයි. අප දැන් තට්ටු 85 ක් ඉහළිනි. එහි සිට හාත්පස බලන විට අහසේ සිටින්නාක් මෙන් දැනෙයි. පහළ බැලූ කල රථ වාහන පෙනෙන්නේ බිංකුඩ්ඩන් පරිද්දෙනි. ක්වාලාලම්පූර් නුවර මාර්ග පද්ධතිය පීත්ත පටි මෙන් අපූරුවට පෙනෙයි. 85 වන මහලේ ගොඩනැගිල්ලේ තරමක් විශාල ආකෘතියක්, ඡායාරූප මෙන්ම දුර බලන කණ්නාඩිද සවිකොට තිබේ.
ගොඩනැගිල්ලේ ආකෘතිය
85 වන මහලේ සිට හාත්පස පෙනෙන ආකාරය

85 වන මහලේ දර්ශන
ගොඩනැගිල්ලේ අනෙක් පස කුළුණට සැඳෑ හිරු එළිය වැටුන පසු මැවෙන දසුනද ඉතා සුන්දර එකකි. මා එහි ගියේ සන්ධ්‍යාවක නිසා ඈත ක්ෂිතිජයේ ලා රතු පැහැති අහස් කුස මැනවින් පෙනෙයි. ක්වාලාලම්පූර් නගරයෙන් වැඩි කොටසක් එකතැනක සිට නරඹන්නට ලැබීම අමුතුම අත්දැකීමකි.

මවිසින් ගන්නා ලද ඡායාරූපයක්

මේ ගොඩනැගිල්ලට පිටුපසින් අලංකාර පොකුණු, අැවිදින මං තීරු, ළමා ක්‍රීඩාංගන සහිත අක්කර 17 ක විශාලත්වයකින් යුතු KLCC (Kuala Lumpur City Center)  උද්‍යානය වෙයි. පෙට්‍රොනාස් ගොඩනැගිල්ල නරඹා එහි මඳ වෙලාවක් රැදෙන්නට බොහෝ අය කැමතිය.



මැලේසියාවේ සංචාරය කරන්නට ඔබට අවස්ථාවක් ලැබුනහොත් නොවරදවාම මෙහි පිවිසෙන්න. ඒ අත්දැකීම ඔබේ මතකයෙන් සදාකල් රැදෙනු ඇත. එය එතරම් සුවිශේෂී ගමනකි.



අද ලිපියට මූලාශ්‍ර

1
2



මම කාමරේ අරින සිරා කොලුවා.

Related Posts Plugin for WordPress, Blogger...