දෙවැනි වේදිකාවට පැමිණි දුම්රිය පොල්ගහවෙල බලා පිටත් වෙයි.
එම දුම්රිය පොල්ගහවෙල දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.
එම දුම්රිය පොල්ගහවෙල දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.
ගම්පහ දුම්රිය ඉස්ටේසුමේ යකඩ කට වෙනදා වගේම බෙරිහන් දෙද්දී සිරිතිලක කුලී රථගාලේ පිටිපස්සට වන්නට තිබූ ගරාදි වැටට හේත්තු වී තමා හැර දමා ඉහළට ඇදෙනා ත්‍රී රෝසස් සිගරැට්ටුවේ දුමාරය දිහා මළානික දෑසින් බලා සිටියේය.
මදින් මද හිරු එළිය නගරය ගිලගත්තා වුවත් හිරු දෙවියා තවමත් සැර පරුෂ නැත. රැකියාව බලා යන එන උන් හැර වෙනත් රාජකාරියකට යන අය තවමත් ගම්පහ නගරයේ පෙනෙන්නට නැත.
තම අත රැදි සිගරැට්ටුව තවමත් අවසන් නොවූ නමුත් එය අසළ වූ කුණු කාණුවකට විසි කර කමිස කොලරය අස්සට වන්නට ගෙල වටා දවටාගෙන සිටි ලේන්සුව අතට ගත් සිරිතිලක එයින් නළල් තලය ඔස්සේ පහළට ඇදෙමින් තිබූ සිහින් ඩා බිදුවකට නැවතීමේ තිත තබන්නට කල්පනා කලේය.
පොල්ගහවෙල දුම්රියේ පැමිණි මගීන් එකා දෙන්නා දුම්රිය ස්ථානයෙන් පිටතට එද්දී හෙතෙම ඒ දෙස විමසිල්ලෙන් බලා සිටියේය. අලංකාර ඔසරියකින් සැරසී මුතු දෙපොටකින් ගෙල සරසාගත් යුවතියක් දුම්රිය ස්ථානය ඉදිරියේ සිට අවට බලමින් සිටියාය. තවත් මොහොතකින් ඇගේ උරහිසේ රැදි බෑගයක් විවෘත කර ඉවතට ඇදගත් කඩදාසි කොළයක සටහන් වූ යමක් තනිව මුමුණමින් සිටිනා විටෙක මේ නම් නගරයට ආගන්තුක තැනැත්තියක් විය යුතු යැයි යන හැගීම සිරිතිලකට පහල වූවේය.
උදේ පාන්දර පළවෙනි ගමන මෙවැනි සුන්දර යුවතියක සමග යන්නට ඇත්නම්, ඒ සිතිවිල්ලෙන් මිදුන සිරිතිලක කෙමෙන් කෙමෙන් ඈ කරා ගියේය. තවමත් අනෙකුත් කුලී රථ කරුවන් රාජකාරියට පැමිණ නැති නිසා නිසැකවම මේ ගමන යා යුතු වන්නේ තමා යයි සිරිතිලකගේ සිත කීවේය.
නෝනා ගම්පහට ආගන්තුකයි වගේ. උදව්වක් එහෙම ඕනෙද..මම මේ ටැක්සි පාක් එකේ ඉන්නෙ.
ආනේ ඇත්තද...මම පළවෙනි වතාවට තමයි ගම්පහ ආවෙ. අද මගේ පත්වීමෙ වැඩ භාරගන්න තියෙන දවස, මෙන්න මේ ඉස්කෝලෙ ලගද තියෙන්නෙ, ඇය තම අත රැදි කඩදාසි කොළය සිරිතිලක වෙත පෑවාය.
ඇගේ වත කමලින් නික්මුනු ගාඩිනියා පුයර සුවද සිරිතිලකගේ තනිකඩ හිත ආශ්වාදයට පත් කළේය. සිරිතිලක හට කථාකරන්නට වචනයක් දෙකක් මතක් කරගන්නට තවත් මොහොතක් ගත විය.
වැඩිදුරක් නෑ නෝනා...මේ බොහොම ලග...ඉන්න මම ඇරලවන්නම්.
අනේ කරදර වෙන්න එපා. මම බස් එකක යන්නම්.
ඊළග බස් එකට තව පැය භාගයක් වත් යාවි. නෝනා අද පළවෙනි දවස නිසා වේලාසනම ගියොත් නරකද ?
ඒ වදනින් පසුබා ගිය ඇය සිරිතිලක අනුව යමින් ඔහුගේ නවීනතම හිල්මන් රථයේ පසුපස ආසනයට නැගුනේ තම ඔසරිපොට වම් අතින් තදින් අල්ලාගනිමිනි.
.......................................................................................................
එයින් පසු දිනද, ඊටත් පසුදිනද සිරිතිලකගේ කලු පැහැති හිල්මන් රථයම සෙවූ ඇය අවසානයේ එහි දිනපතා යන එන මගියෙකු බවට පත් වූවාය. නුවර ප්‍රදේශයෙන් පැමිණ, ගම්පහට ආසන්න පෙදෙසෙක ඤාති නිවසක නැවතී සිට ඉස්කෝල රස්සාවට දිනපතා ආගිය මේ සුරූපිනිය තම නවතම රථයේ නංවාගෙන උදෑසන කාලයටත්, පාසල අවසන් වෙන මධ්‍යහ්න වේලාවේත් නගරය තුල ධාවනය කිරීම සිරිතිලක වෙත සියුම් ආඩම්බරයක් ගෙන දුන්නේය.
දිනෙන් දින තමා සමග හිතවත් වෙමින්...දොඩමළු වන මේ තරුණිය ගැන මුලින්ම දුටු දින ඇති නොවූ සිතුවිලි පොදියකින් තම චිත්ත සන්තානය වෙලී යන අයුරක් සිරිතිලකට මදින් මද දැනෙන්නට ඇත.
සිරුරේ හැඩයට මනාව ගැලපෙන අත් බෝරිච්චි කල හැට්ටයක් සහිත ඔසරියෙන් හැඩ වූ යුවතියකට,ගෙලේ දැවටුන මුතු මාලයට, දිගටි ඇස් දෙකකට තම හදවතේ මෙතරම් පෙරළියක් කරන්නට හැකි වෙතැයි සිරිතිලක කිසිවිටෙකත් නොසිතුවේය. හා පුරා කියා ඇය මුලිච්චි වූ වසර තුනකට පෙර, සුන්දර උදෑසන සිහිපත් කරනා වාරයක් වාරයක් පාසා තම හදවතේ රිද්මය පවා වෙනස්වන බවක් ඔහුට හැගෙයි.
අද උදෑසන මෙන්ම එදත් පොල්ගහවෙල බලා යන දුම්රියෙන් ඇය ගම්පහ නගරයට පය තැබූ අයුරුත්, පළමු බැල්මෙන්ම නගරයට ආගන්තුක බව දැනුන නිසා ස්වේච්ඡාවෙන්ම ඇයට උදව් කරන්නට ඉදිරිපත් වූ ආකාරයත්...පාසල් ගුරුවරියක ලෙස ඇගේ පළමු පත්වීම ලද පාසල දක්වා ඇය තම රථයෙන් ගෙනගිය අන්දමත්, සිත්තම් පටයක ඇති රූප රාමු සේ වරින් වර ඔහුගේ ඉහ ඉද්දර ජීවමාන වෙයි.
මේ නම් පෙර සසරේ බැදීමක් විය යුතුය. ඇය වැනි උගත්, රූමත් ලලනාවක් තම පතිනිය කර ගන්නට ඇත්නම්......
ත්‍රී රෝසස් දුමෙන් ළය සැහැල්ලු කරගන්නට සිරිතිලකට සිතුනත් කීප විඩකදීම මේ කාරිය නවතා දමන ලෙස ඇගෙන් ලද ඉල්ලීම් ඔහුට හදිසියේ සිහිපත් විය. අද සිට හෝ ඇගේ බහට අවනත වෙන්නට හෙතෙම අමාරුවෙන් හෝ තීරණය කළේය. තමාගේ දුම්පානයට විරුද්ධ වන්නට තරම් ඇයට මා සමග ඇති බැදීම කුමක්දැයි සිරිතිලක හට නොවැටහෙයි.
ඇතුළු කාමරයක නිදනා තම මෑණියන් සිරිතිලකට පෙනෙයි. පියා මියගිය දා සිට තමා හදාවඩා ගන්නට ඇය හෙළු දහිරියත්, කණකර සමග පරම්පරාවෙන් ලැබුනු ඉඩමක්ද විකුණා කුලීරථ රියදුරෙක් වන්නට තමාට මග හෙළිකල මතකයත් ඔහුගේ හිත සංවේදී කරයි.
කවදා හරි බදින ගෑණි අපේ අම්මට සැළකුවේ නැත්තං....
මේ සිතුවිල්ල නිසාම කිසිකලෙකත් කාන්තා පරාණයක් දෙස උවමනාවෙන් නොබැලූ, විවාහයක් ගැන නොසිතූ සිරිතිලකට සුජාතා බණ්ඩාරමැණිකේ නම් මේ යුවතියගේ ගතිගුණ හමුවේ ඒ අහේතුක භිය පහව ගොස් තිබේ.
හැමදාම පස්සෙ සීට් එකේනෙ යන්නෙ...අද මම ඉස්සරහට එන්නද ඩැයිවර් මහත්තයෝ ?
එක් උදෑසනක සුජාතා සිරිතිලකගෙන් විමසුවාය.
ඉස්කෝලෙ නෝනා කැමති නං එන්න...මගේ අහිතක් නෑ...අපිට ඉතිං වැඩිදුරක් යන්න තියෙන එකක්යැ...මේ නැග්ගා මේ බැස්සා....
කුලීරථ නැවතුමේ සිට ඇය උගන්වන පාසලට එතරම් දුරක් දුරක් නොමැති හෙයින් සිරිතිලක එසේ දෙඩුවේය.
ආ ගන්න....
මොනවද ඔය පාර්සලේ....
තමා වෙත දිගුකල පත්තර කොළයක ඔතන ලද පාර්සලයක් ඇගේ සුරතේ වෙයි. ඇගේ රෝස පැහැති සිහින් අතැගිලි මිසක සිරිතිලකට පාර්සලය පිළිබද වගේ ගනනක් නැත.
ඇයි එපාද...මම ගිය සතියෙ ගෙදර ගිය වෙලේ අම්මා හදලා දුන්න අළුවා...කජුත් දාලා....රහයි...
පාර්සලය තමා වෙත බාරදෙන විට ඇගේ රතැගිලි තමාගේ අතැගිලි හා ස්පර්ශ වූ කල සිරිතිලකට දැනුන හැගීම පෙර කිසිදු දිනක ඇති වූ එකක් නොවේ.
අනේ ඉස්කෝලෙ අහවර වෙන වෙලාවට මාව රස්තියාදුවෙ නොදමා අදත් වෙලාවට එනවා නේද...කාර් රථයෙන් බට සුජාතා ඔසරියේ නෙරිය සකසා ගන්නා අතරතුර ඉදිරි කවුළුවෙන් එබෙමින් සිරිතිලකගෙන් ඇසුවාය.
මේ අවුරුදු තුනටම මම ඕනෙ නම් දවස් දෙකක් පරක්කු වෙලා ඇවිල්ලා ඇති. ආයාසයෙන් මවාගත් තරහක් මුහුණට ආරූඩ කර ගනිමින් සිරිතිලක එසේ පැවසූවත් ඒ සැබෑ තරහක් නොවන බැව් ඇය දැන සිටියාය.
නෑ අනේ මේ අපේ ඉස්කෝලෙ නෝනලා ඔයා එන්න පරක්කු වෙද්දි මට විහිළු කරනවා මහත්තයා ආවෙ නැද්ද කියලා ඒකයි එහෙම කිව්වෙ...මම යන්නං එහෙනං.
ඇගේ පුළුලුකුල දෙපසට වැනෙනා රිද්මය දෙස තවත් මොහොතක් ආශා සහගත දෑසින් බලා සිටි සිරිතිලක හිස් හැගීමකින් යුතුව තම රථය කුලී රථ ගාලෙහි නැවැත්වූවේය.
සූටියෝ මෙන්න අපේ මනමාලයා ඇවිල්ලා...රථගාලේ ජේෂ්ඨ රියදුරා වන මාටින් අයියා කාගේත් හිත දිනාගත්තෙකි.
අපිට කොහෙන්ද මාටින් අයියා සිරිතිලක මලයට වදින හයර් වදින්නෙ...පේනවනෙ දැන් නුවර ඉස්කෝලෙ නෝනලා ඉස්සරහා සීට් එකේ යන්නෙ.....
උඹටත් එහෙම හයර් වදියි සූටියො...හැබැයි මේ ආත්මෙ නෙමෙයි...ඊලග ආත්මෙ...
දැන් අපේ කාලෙ ඉවරයි බං...බලහං අපේ වාහන වගේම තමයි අපේ පෙනුමත්...
සිරිතිලක මලයා ඉතිං ගජ ඉලන්දාරියා නොවැ...මෙතනට එන ඕනෙ කෙනෙක්ට ඉස්සෙල්ලාම ඇහැ යන්නෙ මලයගෙ කාර් එකට....අලුත්ම වාහනේකට මෙතැන තියෙන්නෙ ඉතිං ඕක විතරනෙ...
තම කරවටා අතක් යවමින් සිගරැට් පැකැට්ටුව කමිස සාක්කුවෙන් ඉවතට අදිනා මාටින් අයියා තවත් මොහොතකින් සිරිතිලක වෙතද සිගරැට්ටුවක් දිගු කලේය.
ඉදා මලයො...
එපා මාටින් අයියෙ...මම සිගරට් බොන එක නැවැත්තුවා...
අප්පද බොල...මාටින් අයියා, අද මේ හොදට ඉර පායලා තිබුනට දවල් වෙද්දි වහීද මන්දා...
මොකද බොල එක පාරටම එහෙව් තීරණයකට ආවේ...සිරිතිලක වෙත දිගුකල සිගරැට්ටුව සූටියා වෙත දිගු කරමින්ම මාටින් අයියා විමසුවේය.
නෑ ඉතිං මටම හිතුනා...නැවැත්තුවා...සිරිතිලක කකුලේ මාපට ඇගිල්ලෙන් බිම හාරමින් පැවසුවේය.
ඉස්කෝලෙ නෝනද නවත්තන්න කිව්වෙ...අපිටත් එහෙම නෝනලා මුණ ගැහුනා නම් ගොඩාක් දේවල් නවත්තලා...නැද්ද මාටින් අයියා...සූටියා දුම් වලල්ලක් ඉහළට යවා පපු කැනැත්ත සැහැල්ලු කරගත්තේය.
හැබෑට මලයො උඹ වගේ කඩවසම් හාදයෙක්ට ඒ නෝනා හොදට කැපෙනවා බං. නරකද තව ටික දවසක් යන්න ඇරලා හිමින් සීරුවෙ අදහස කියලා බැලුවොත්...මොකද උඹ කියලා නරක එකෙක්යැ...තමන්ටම කියලා අලුත්ම කාර් එකක් තියෙනවා, ඉන්න හිටින්න ගේ තියෙනවා...උගත් කමත් උඹේ නරක නෑ නොවැ.
බලමුකො මාටින් අයියා...උඩරට ඇත්තියක් මේ මට කැමති වෙයිද ? එයා අද මට ගෙදරින් හදාගෙන ආපු අළුවා පාර්සලේකුත් දුන්නා උදේ ඉස්කෝලෙට අැරලපු වෙලේ. දවල්ට බත් කාලම කමු. දැන් මට එයාගෙන් කුලිය ගන්නවත් හිතෙන්නෙ නෑ.
.......................................................................................................
සල්ලි එපා නෝනෙ...මේ පොඩ්ඩ දුර දවස ගානෙ ආවා ගියා කියලා මට ලොකු පාඩුවක් නෑ. තවත් ටික දොහක් ගිය තැන සිරිතිලක ඇගට පතට නොදැනී කීවේය.
එහෙම කියන්න එපා සිරිතිලක. ඔයා කරන්නෙ ඔයාගෙ රස්සාව. ඔයා සල්ලි ගන්නෙ නැත්තං ඔයා එක්ක නැතුව මම වෙන කෙනෙක් එක්ක මීට පස්සෙ ඉස්කෝලෙ යනවා. ඒකට කැමතිද ?
තමා දෙස එක එල්ලේ බලා සිටිනා ඇගේ කාන්තිමත් දෙනෙත දෙස තවත් වේලා බලාසිටින්නට අපහසු වූයෙන් සිරිතිලක එක්වනම අහක බලාගත්තේය. ඒ ඇසිල්ලේ ගුලි වූ මුදල් නෝට්ටුවක් කමිසයේ උඩ සාක්කුවට ඇගේ අතැගිලි වල පහස ලබමින් වැටුන බවක් සිරිතිලකට දැනුනේය.
ඇගේ සුපුරුදු ගාඩිනියා පුයර සුවදින් තම නාස් කුහර මන්මත් වෙද්දී සිහින් රිදුමක් හටගත්තේ හදවතේ ඇතුලු නහරයකින් විය යුතු යැයි සිරිතිලකට සිතුනේය.
මම වෙන කෙනෙක් එක්ක මීට පස්සෙ ඉස්කෝලෙ යනවා.
ඒ වදන ඇසූ සැනින් මේ හැටි රිදෙන්නෙ ඇයි. මම සුජාතට ආදරේ කරනවද ? මේ හැගීමේ අවසානය කුමක් වෙයිද ? සිරිතිලක තමාගෙන්ම ඇසුවේය.
ඒ ගමන මොකද සද්දයක් නැත්තෙ...මා එක්ක තරහා වෙලාද, මම දන්නවා ඔයා මට ගොඩාක් හිතවත් බව, ඒ හින්දනෙ පළවෙනි දවසෙ ඉදලම ඔයාගෙ කාර් එකටම නගින්නෙ. ඇගේ සිහින් සිනා හඩ කෙතරම් මිහිරිද, ඇගේ රුව කෙතරම් මනහරද? මේ දෙවියන් මා වෙනුවෙන් මවපු කෙනාද ? සිතුවිලි සමුදායක අතරමංවූ සිරිතිලක හට රථයේ එන්ජිම පණගන්වන්නට තවත් මොහොතක් අවැසි වූවේය.
.......................................................................................................
එක් සති අන්තයේ දිනෙක ඇය පාසල අවසානයේ හිල්මන් රථයට නැගුනේ මට පොඩ්ඩක් ඔයා එක්ක කථා කරන්න ඕනෙ යනුවෙන් පවසමිනි. ඇයට කියන්නට ඇත්තේ කුමක්දැයි විමසනු රිසිව සිරිතිලකගේ හිත නොසන්සුන් වද්දී උපන් දා සිට ඇවිද ගිය ගම්පහ නගරයේ කිිසිදු කලෙකත් අත් නොවිදි සොදුරු අපහසුතාවක් ඔහුට දැනෙන්නට වූවේය.
කියන්න...සිරිතිලක ඇසෙන නොඇසෙන අයුරින් ඒ වදන තෙපළා ඇගේ විඩාබර මුහුණ දෙස බලා සිටියේය.
තාත්තට ගොඩාක් අසනීපයි කියලා අම්මා ටෙලිග්‍රෑම් එකක් එවලා...ඉක්මනටම ගෙදර එන්න කියලා. කෝච්චියෙ නුවරට ගිහිල්ලත් එතන ඉදන් සෑහෙන දුරක් යන්න තියෙනවා. නුවරින් කුලියට කාර් එකක් අරගෙන තනියෙන් ගෙදර යන්න මට භයයි. ගෙදර අයටත් මාව ගන්න කියලා මේ හදිස්සියේ එවන්න කෙනෙක් නෑ. හැමෝම තම තමන්ගෙ වැඩ එක්ක හිරවෙලා. පුලුවන්ද මට මේ වෙලාවෙ උදව් කරන්න. ඇය ආයාචනාත්මකව ඔහු දෙස බැලුවාය.
තමාගේ සිත තමාටත් හොරෙන් ආදරය කරනා යුවතිය උදව්වක් ඉල්ලූ කලෙක එය කෙසේ ඉටුනොකර ඉන්නද ? සිරිතිලක ඇයට තමාට හැකි උපරිමයෙන් උදව් වන්නට ඉටා ගත්තේය.
ගාස්තුව විදියට සෑහෙන ගානක් යයි. ගම්පහ ඉදන්ම යන්න එපායැ. සිරිතිලක බැරෑරුම් පෙනුමක් මුහුණට ආරූඩ කරගනිමින් පැවසූ ආකාරයෙන් ඇය ඒ සත්‍යයක් බව සිතුවාය.
අනේ කමක් නෑ. ඔයා මගෙන් ගන්නෙ සාධාරණ ගානක් බව මම දන්නවා. ඇය බිම බලාගත්වනම කීවාය. පියාගේ අසනීපය නිතර ඇගේ මුව මඩලේ විකසිත වන සිනහව අතුරුදන් කර ඇති සෙයකි.
මට ශත පහක් එපා. ඔයා ඉස්සෙල්ලා තාත්තගෙ අසනීපයට වියදම් කරන්න. ඊට පස්සෙ අතේ තිබුනොත් මට කීයක් හරි දෙන්න, ඒ හොදටම ඇති...සිරිතිලක තිරිංග මත පාදය තද කරමින් පැවසුවේය.
අනේ....ඔයා කොච්චර හොද කෙනෙක්ද ? ගියර් ලිවරය මත තිබූ සිරිතිලකගේ වමත මත තම දකුණත තබමින් ඇය පැවසුවේ හැගීම්බරවය. පාසලේ උගන්වද්දී ඇගේ අතේ ගෑවී තිබූ රටහුණු ස්වල්පයක් ඇයටත් හොරෙන් සිරිතිලකගේ පිටි අල්ලේ ගෑවී තිබුනි.
කවදා හරි ඔයාව බදින කෙනා හරිම වාසනාවන්ත කෙනෙක් වේවි. හෙට උදේ පාන්දර 6 ට ඉස්ටේසුම ලගට එන්න මම ඇවිල්ලා ඉන්නම් මෙතනට. ඇය නියමිත මුදල ගෙවා රථයෙන් බැස දුම්රිය ස්ථානය කරා ඇදෙන තුරුම සිරිතිලක පියවි සිහියට පැමිණ සිටියේ නැත.
මම බදින්න කැමති කෙනා ඔයා කියලා මට කියාගන්න පුලුවන් නම්.......සිරිතිලක සුක්කානමට හිස තබාගෙනම කල්පනා කලේය.
දෙවැනි කොටස
මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.
ප.ලි
මම හිතුවෙ අපේ ඉස්කෝලෙ ටීචර් කෙනෙක් ගැන කියල අයියෙ මුල් ටික කියවද්දි :)
ReplyDeleteකතාවනම් ගොඩක් ලස්සනට ලියල තියනව ආදරනීය විදිහට, ඉතිරි කොටසුත් ඉක්මනට ලියන්න :)
සිදුයි සිරා අයියයි එක ඉස්කෝලෙද?
Deleteඔව් ඔව් :)
Deleteමේක මලයො 70 දශකයේ වෙච්ච සන්තෑසියක්...එතකොට මම කලින් ආත්මෙ අග හරියෙ ඉන්න ඇත්තෙ. ඔය කියන කාලෙ ආදරය කියන එක කොහොමත් අදට වඩා හෘදයාංගමයි. ඊලග කොටසින් ඉතිරිය බලමු.
Deleteප්‍රියාට උත්තරේ ඔය ලැබිලා තියෙන්නෙ.
ලිවිල්ල මසුරන් සිරා ඔබව හොඳා තිර පිටපත් ලියන්න
ReplyDelete/ /80 දශකයේ මුල් කාලයේ බව සිතනු
අඩේ ඔය කාලේ නේද අර මොරිස් මයිනර් ටැක්සි තිබ්බේ.අර වහල කහපාට කළු ටැක්සි.
ඩයිබර් උන්නැහැගේ පැත්තේ වාහනයේ එළියේ හයිකරපු අතින් කඩන මීටරයක් තිබුනා වගේ ලා මතකයක් තියනවා.
මේක හරියටම දන්න කෙනෙක් ඉන්නවාද?
ස්තුතියි නිකං. ඇත්තටම මේ කථාව 70 දශකයට තමයි අයිති වෙන්නෙ. ඒ ඇයි කියලා මම ඊලග කොටසින් පැහැදිලි කරන්නම්...අතින් කඩන මීටර් මමත් දැකලා තියෙනවා චිත්‍රපටිවල...හැබැහින් දැකලා නෑ. විචාරක තුමාගෙන් තමයි ඔය වගේ විස්තර අහගන්න වෙන්නෙ. නැත්තං අපේ හෙන්රි මාමාගෙන්.
Deleteසුජාතා....
ReplyDeleteලස්සණ ආදර කතාවක් දිග ඇරෙනවා වගේ...:)
ගොඩක් දේවල් හිතට ආවත්, ඊලඟ කොටස බලලා ඉම්මු කියලා හිතුණා...
සුජාතා ගැන යාන්තමට සැකයක් එන්නේ මොන හේතුව හන්දාද දන්නේ නෑ.
ආදර කථා ඉතින් කොහොමත් ලස්සනයි නොවැ...සුජාතා එක්ක ඉතිං මාව නම් පටලවා ගන්න එපා..අද කාලෙ කෙල්ලන්ට එහෙව් නම් නෑ නොවැ...
Deleteහ්ම්ම්ම් මටත් හිතෙනවා සිරිතිලක දුවන්නෙ මිරිඟුවක් පස්සෙ කියලා. ඒත් හිත ඉල්ලන්නෙම එහෙම වෙන්න එපා කියලා. ඒ තරමට නිර්මාණෙත් එක්ක බද්ධ උනා.
ReplyDeleteඇත්තටම නියමයි. ඊලග කොටසත් ඉක්මනට දාන්න අයියෙ.
සිරිතිලකට මොකද වුනේ කියලා ඊලග කොටසෙන්ම බලමු...නැද්ද බොලං...
Deleteහෑ.. සිරාගෛ් ලිවීමේ රටාවේ ලොකු වෙනසක් තියෙනවා. හරියට අර පින්තුරයක් විස්තර කරනව වගේ නේ.. එළ.. ඇයි බං කොටස් ගානක් තියේද? කොටස් දෙකක් නං අපරාදේ කැඩුවේ
ReplyDeleteමම මේ විදියට ලියන්න තමයි වැඩියෙන්ම කැමති. නමුත් මෙහෙව් ලියමනකට හොද විවේකී වටපිටාවක් අවශ්‍යයි. තියෙන විදියට කාලය කළමණාකරණය කරගෙන එහෙම එකක් ලියන්න ගත්ත උත්සාහයක් කිව්වත් වැරදි නෑ.
Deleteලොකු කොටස් සංඛ්‍යාවක් නෑ...ඊලග කොටසින් නැවතීමේ තිත තියනවා..කොටස් දෙකම එකට දැම්මා නම්...බොලාලම තමයි මට බනින්නෙ දිග වැඩියි කියලා.
හ්ම්ම්ම්ම්ම්ම්.....................කතාව 80 දශකයේ කිව්වත් ඊට පෙර යුගයේදී කියවපු කතා කීපයක් මතක්වුනා. බොහොම හොඳ ආරම්භයක්. දිගටම කියවන්නම් දිගටම ලියන්න.
ReplyDeleteඇත්ත වශයෙන්ම විචාරක තුමා මේ කථාව අයත් වෙන්න ඕනෙ 70 දශකයට...ඒ නිසා මම පසුව 80 කියන ඉලක්කම 70 බවට පෙරලුවා...ඔය කියන කාලෙ ඔබතුමාගෙ ප්‍රේමණීය අත්දැකීමක් දෙකක් මෙතනටම එකතු කලා නම් පෝස්ටුවට තවත් එළියක්...නෝනා නොදන්න ඒවා නම් එයාට හොරෙන් කොටන්න...
Deleteමේගා නාට්‍ය වහකදුරුවෙලා තියෙන දොහේක තෝ මේගා කතාලියන්ඩ නම් එපා පුතෝ..! හේම් කාලාන්තරයක් ගැවසුන නගරය වටා උඹ ඇත්ත කතාවක් ලියන කොට මහා තෙහෙට්ටුවක් දැනුනා බං ඒ නගරයෙන් මං ඇත්වේලා දැන් බොහොම කල් බං...
ReplyDeleteපික්සු නම් කථා කරන්න එපා ලොකු අයියෙ...මේ සිරා කොලුවා ඔය රැළි වලට අහුවෙන එකෙක් නොවෙයි නොවැ...ගම්පහ සමාධිය එහෙම මතක් වෙද්දි තාමත් හීනෙන් මල් කඩනවද ?
Deleteගම්පහ සමාධියේ කියන්ට තරම් මල් හිටියේ නෑ හැබැ නැනික් එකේ නම් ඔනතරම් හිටියා හෙක්..හේක්.... :D අඩෝ අපි කොමස් කලාට බැස්සේ බයෝ සහෝදරියන්ට හරි....
Deleteඅපූරූ සුන්දරත්වයක් මුලු පෝස්ට් එක පුරාවටම පිරිලා. කිසි විඩාවක් නෑ, ගඟක් වගේ ගලාගෙන යනවා. මේ උඹේ අම්මගෙයි තාත්තගෙයි කතන්දරේද කියලත් හිතෙනවා..
ReplyDeleteමහාචාර්ය මා තලන් තුමා එහෙම කියනවා නම් ඇත්තටම එහෙම ඇති. මොකද බොරුවට හිත හැදෙන්න කමෙන්ට් කොටන්නෙ නැති...කියන්න තියෙන දේ කෙලින්ම කියන බොග් කරුවෙක් ලෙස තමයි මම ඔබව හදුනාගෙන තියෙන්නෙ.
Deleteඅනේ මගේ දෙමාපියන්ගෙ කිසිම සම්බන්ධයක් මේ කථාවට නෑ...ඒ ජෝඩුව යෝජනාවකින් කසාද බැදපු දෙන්නෙක්.
හොඳයි බං අනික් කොටසත් කියෝල මොනා හරි කියන්නං
ReplyDeleteඑහෙනං එහෙම කරමු...ඔබේ අවංක හැගීම තමයි මට දැනගන්න අවශ්‍ය...
Deleteකතාව කොයි විදිහකට ගලාගෙන යයිද කියලා හිතාගන්න බෑ.. කොහොම වුනත් ලියලා තියෙන විදිහ නම් හරිම ලස්සනයි. ඉතුරු කොටසුත් ඉක්මනින්ම ලියන්න ..
ReplyDeleteස්තූතියි නගෝ...කථාව හිතාගන්න බැරි තැනකින් නතර වෙයිද...නැත්තං බහුතරයක් කථා වලට අත්වෙන ඉරණමම අත් වෙයිද...ඊළග කොටසින්ම කියවලා බලන්න.
Deleteලස්සන කතාවක්... ඉතුරු කොටසත් බලලමු ඉම්මුකෝ !
ReplyDeleteතව එක කොටසයි තියෙන්නෙ...ඒක මේ මග එනවා....
DeleteHEY! WHAT HAPPENED TO MY COMMENT?
ReplyDeleteකාගෙද කොමෙන්ට් එකක් මගේ එකේ නම් තියෙනවා. මම හිත්වේ ඇල්සයිම කාරයෙක්ගේ කියලා..
DeleteOh shit. At least I haven't been lying. Thanks Mathalan.
DeleteDude, that was the correct comment. I checked out now. No mistake.
Deleteඅනේ ඔබේ කමෙන්ටුව මම නම් ගිල්ලෙ නෑ....හැමතැනම ඒක හොයලා මටත් අමාරුයි...මොකක්ද හැබෑටම ඇල්සයිම කියන වචනෙ තේරුම...අද නොවැ හාපුරා කියලා ඇහුවෙ. කමෙන්ටුව හොයාගන්න වෙන රටකින් ආධාරයක් හරි ගමුද ?
DeleteAlzheimer's (disease) British Pron: /ælts.haɪ.məz.dɪziz/
DeleteAmerican Pron: /ɑlts.haɪ.mɚz-/ noun [ U ]
a disease of the brain that affects especially old people, which results in the gradual loss of memory, speech, movement and the ability to think clearly
ගුරු වෘත්තියම තමයි ඔබට ගැලපෙන්නෙ...මේ පැහැදිලි කරලා තියෙන්නෙ නියමෙටම...
Deleteමට පේන්නේ ඒ කමෙන්ට් එක මතකෙන් කොටලා අලුතින් දාන වෙයි වගේ. මොකද උඹ කියයි, 'කෝ මම ස්පෑම්ගොඩෙත් බැලුවනේ, ඔහේ නෑනේ පාට්නර්,' කියලා.
ReplyDeleteමොකද අසූව දශකයේ මුල අලුත් කාර් වුනේ Datsun (Nissan) Toyota Corolla, Mitsubishi Lancer, Peugeot 504, වගේ ඒවා.
උඹ ඔය දාලා තියෙන පින්තූරේ යාපනේ එකක් කියලයි ඒ සයිට් එකේ තියෙන්නේ. අදත් යාපනේ ඔය වගේ කාර් තියෙනවා. මේ පිංතූරේ වමේ ඉඳලා කිව්වොත්, Austin A30/A40 (ෂුවර් නෑ), Morris Minor 1000, Morris Oxford, Austin Cambridge, Morris Oxford, Austin Cambridge තමයි තියෙන්නේ. අවාසනාවකට වගේ මෙතන Hillman Minx එකක් නෑ. :D
අපි ගුරුවලු වෙලා ඉන්න කාලේ නම් ටැක්සි වල යන්න සල්ලි තිබ්බේ නෑ බං. මාසේ අන්තිම වෙනකොට බස් එකේ ගියෙත් අමාරුවෙන්. හෙහ් හෙහ්. හැබැයි, ගෑණු දැරිවියක් එලවපු ටැක්සියක් වගේ සෙට් වුනානම් ඕං අපිටත් කනා චාන්ස් එකක් වදින්න තිබ්බා.
උඹ ඊ ලඟට චීටර් අකමැති බව කියන්නැ කොහොමද කියලා බලාගෙන ඉන්නවා. ඉක්මනින් ලියාපං පාට්නර්.
aUSTIN A50/55
DeleteReally? Thanks Ano.
Deleteසමාවෙන්ට ඕනෙ...මේ කථාව ඇත්තටම ගැලපෙන්නෙ 70 දශකයට...ඒ සිතුවිල්ලට පාර කපන්න ඔබේ මේ කොමෙන්ටුවත් මට ඉවහල් වුනා..මම ඉතින් ලිපිය අග තිබ්බ 80 දශකය කියන කොටස 70 දශකය බවට පත් කලා...මේ කථාව සත්‍ය සිදුවීමක්...හොර බොරු වංචා චරිත ඝාතන බෙලි කැපිලි ඒවා මොකුත් නෑ...ගම්පහ ඉස්ටේසුමේ ඉදන් බොහොම ලගපාත තමයි මේ කියන විදුහල පිහිටා තියෙන්නෙ. මේ කියන ටීචර් දුම්රියෙන් ආපු නිසා එයාගෙ දුම්රිය ගම්පහට ලගාවෙන්නට නියමිත වේලාවත්, පාසල පටන්ගන්නා වේලාවත් බොහොම ලග ලග තියෙන්නට ඇත...ඒ නිසා දිනපතා කුලී රියකින් යන්නට ඇත, ඒ කාලෙ කුලී රියක ගාස්තුව ගුරුවරියකට දරන්නට හැකිය කියන උපකල්පනයේ තමයි මම උන්නෙ.
Deleteඔයා නම් ගෑණු ළමයි එළවපු ටැක්සි වල නොගිය එකමයි කාරිය..නැත්තං ටැක්සිය දෑවැද්දට අරං තමයි ඩියුඩ් සුදා නතර වෙන්නෙ.
අර වාහන ලැයිස්තුව පට්ටයි නේද..මේ වාහනයක් දැක්කත් හරිම සිරියාවයි...Hilman Super Minx එකට තමයි මම නම් වැඩිපුර කැමති. අපේ මාමා කෙනෙක් ලග 6 ශ්‍රී එකක් තිබුනා ප්‍රදර්ශනාගාර තත්වයෙන්...මේ මනුස්සයා මේක වික්කෙ 70/- 2001 වසරෙදි.
A 50 Cambridge and last one is A 55 Cambridge
Deleteසිරෝ සිරා කතාවක් නෙ මේක. අවංකවම කිව්වොත්, මට කියවගෙන පහලට එද්දි අමතක වුනා බං මේ ලියපු එකක් කියවනව කියල. රූප පෙලක් දිහා මං බලා හිටියේ.
ReplyDeleteඅනිත් ටිකත් දාහං පුළුවන් ඉක්මණට.
ස්තූතියි චන්දන..මමත් මේ චරිතයේ සිරිතිලක බවට හිත ඇතුලෙන්ම පත් වෙලයි මේක අකුරු කලේ. ඒ නිසා වෙන්ට ඕනෙ ඔබ කියන මේ ගුණ මේ ලියවිල්ලට ලැබුනෙ.
Deleteade sirikatha paththare chithra kathawak wage ban.... patta ikmanata ikmanata daapan.. welanda danweem adu karala
ReplyDeleteසිරිකත පත්තරේ දැන් නෑ නේද...කැමිලස්ගේ ගජමෑන් තමයි අන්තිමට චිත්‍රකථා පත්තරයකට ඉතුරු උනේ...මම හිතන විදියට දැන් ඒකත් නැවතිලා.
Deleteඔබේ අදහසට මගේ ස්තූතිය.
කිසිම වෙහෙසක් නැතුව කියෙව්වා සිරෝ.ඊගාව කොටහත් ලියහන් ඉක්මනින්.
ReplyDeleteමේ ලියනවා...
Deleteඋබ කොහොමත් හොදට ලියනවනෙ.අමුතුවෙන් කියන්න ඔන නැ.වෙහෙසක් නැතුව කියවන්න පුලුවන්.
ReplyDeleteමගෙ කැත හිතද මන්ද මට හිතෙන්නෙම සිරිතිලක කඩෙ යනව කියලමයි
ස්තුතියි ලොකු අයියෙ...සිරිතිලකයා මම වගේ අවංකයා....අවංක මා සැමදා දුකේ කියලා ප්‍රයිවට් බස් වල ගහලා තියෙන ස්ටිකර් මතක් වූනා...බලමු මෙතැනදීත් ඒ දේම වෙයිද කියලා.
Deleteලස්සන කතාව සිරා....ඉස්සරහට වෙන්නෙ මොකද්ද කියල අනුමාන කරන්ට නම් පුලුවනි....හෙහ්,හෙහ්
ReplyDeleteරවී අයියා කාමරේ පැත්තෙ ආවමද කොහෙද නේද...මොනවා උනත් සාදරයෙන් පිළිගන්නවා ඔන්න...ඉස්සරහට වෙන දේ අනුමාන කරන්න නම් හැකි වේවි. ඒත් කථාව අවසානයේ ලියවෙන පසුසටහන නම් අනුමාන කරන්න මේ කපේට බැරි වෙයි.
Deleteසිරා අයියේ කොහොමද අනේ මෙහෙම රූප මවන්නෙ? කතාවක් කියෙවුවා නෙමෙයි කතාව \ඇතුලෙ ජීවත් උනා වගේ දැනුනෙ. දෙවෙනි කොටස එනකම් මග බලන් ඉන්නවා.
ReplyDeleteමේ විදියට ලියන්න තමයි මම ගොඩාක් කැමති. ඒත් ඉතින් විවේකය නැති නිසා ලියවෙන්නෙ අඩුවෙන්...දෙවැනි කොටස කථාවට සෑහෙන වෙනසක් කරාවි.
Deleteහිච්චං කාලෙ අපිත් ඔහොම සිහින ලොක මැව්ව බොලං....ඒ නිසා හිත කීරිගැහිල යනව..!
ReplyDeleteමෙහෙම සිහින ලෝක මැව්වා කිව්වෙ...වීයත් චීටර් කෙනෙක්ට ට්‍රයි කොලාද ?
Deleteඅන්තිමට මේක ශෝකාන්තයක් වෙයි කියලා නිකමට හිතෙනවා. සුජාතා මැණිකේ දෙනවා නේද හොඳ බූට් එකක්?
ReplyDeleteඇයි සුදෝ එහෙම කියන්නෙ මේ සීදේවි කෙල්ල දිහා බලලා...සුජාතා ලස්සන කෙල්ලෙක්...
Deleteඒක මරු ආදර කතාවක් වෙයිද මංදා.. බලමුකෝ ඊලග එකත් කියවලම එහෙනම්..
ReplyDeleteආදරය වෑහෙනවද කියලා ඊලග එකෙන් බලමුකෝ මලේ...
DeleteMokata dekata keduwada kathawa. Issara "Muwanpelesse" ohoma karanawa. Hondama tenadi kadanawa.
ReplyDeleteDen ithin bala inna epe. Hapoi.
හොදම තැනදි දෙකට කඩන්න කියලා මට උපදෙස් දුන්නෙ බුරුසු රැවුලක් තියෙන වෙනී මාමා...ඒ නිසා එයාට තමයි බනින්න ඕනෙ...
Deleteසිරාඅ අයියේ ඉතිරි ටිකත් ඉක්මනට දැම්මොත් හොඳයි කාමරයේ දොර පාළුව කදන් ඉස්සෙක්ක එච්චරටම නොඉවසිලිමත් කමක් තියෙන්නේ
ReplyDeleteහා හා කලබල වෙන්ට කාරි නෑ කෝරළේ මලයා...ලෑලි දොර යන්තං අටවලා තියෙන්නෙ...බොලා හදන්නෙ ඒකත් ගලවලා දාන්න....
Deleteතුන්මං හන්දිය කියෙව්වට පස්සේ ඒ වගේ කතාවක් කියෙව්වමයි.. ඉතුරු ටිකත් බලන කන් අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකිමි
ReplyDeleteඉතුරු ඩිංගිත්තත් කියවලාම කියමු බලන්න එහෙනම් බොලාගෙ අදහස...
Deleteසුජාතා ගැන යහපත් හැඟීමක් මටත් ඇති වුනේ නෑ... බලමුකො ඊළඟ කොටසක්... කතාව ලස්සනට ලියැවිලා තියෙනව සිරා...
ReplyDeleteඑහෙමද හිතුනෙ...බලමුකො සුජාතා හොද නැද්ද කියලා...ස්තූතියි...
Deleteමරු කතාව.. සිරා ලියලා තියන විදිහ නිසා බොක්කටම වැදුනා. ඉතුරු ටිකත් දාමු ඉක්මනට...
ReplyDeleteඔය ටැක්සිවල තැන ත්‍රීවීල් වලින් ආක්‍රමණය කරලා. දැන් ඒ සේවයේ ගුණාත්මකබාවයත් උපරිමයටම පිරිහිලා. අද ත්‍රීවීල් එකක ඔහොම බය නැතුව ගෑණු ළමයෙකුට යන්න බෑනේ..
ස්තූතියි සෙන්නා...දකුණු ආසියාවේ තමයි ඉතින් ඔය තුන්රෝද කතන්දරේ තියෙන්නෙ...අනිත් රටවල තාමත් ටැක්සි. සිරිලංකාවෙ වාහන බද්ද සහ පෙට්‍රල් බද්ද අඩු කලා නම් තවමත් ටැක්සි දුවන්න ඉඩ තිබුනා...
Deleteසිරා ලොවෙත් සිරාවට ලියලා ඈ.. සුපිරියි..දෙකත් ඉක්මනට දාපන් ඉතින්...
ReplyDeleteස්තුතියි සිංදුවා...ඊලග කොටස එනකං සින්දුවක් කියාගෙන ඉදිං...
Deleteසිද්ධිය මැවිල පේන විදියට කතාව ලියවෙලා තියෙනව සිරා.
ReplyDeleteසිරිතිලකට උඩරට බූට් එකක් වැදෙන්න වගේ යන්නෙ.
සිරිතිලක පවු නැද්ද මෙයා...ගම්පහම එකෙක් හින්දා මට නං සෑහෙන්න දුකායි...
Deleteමට හිතෙන්නේ මේ කතාවේ අන්තිමට සිරා ගේ සම්බන්ධයක් තියෙනවා .
ReplyDeleteචීයා බන්...උඹලා කියන කැත කථා...මේ කියන කාලෙ මම කලින් ආත්මෙ අන්තිම හරියෙ...ඒක නිසා සම්බන්ධයක් නෑ.
Deleteසිරා අයියගේ බ්ලොග් එක කියවන්න පටන් ගත්තේ මම මෑතක ඉදන්, මට මතක විදියට අද තමයි මුලින්ම ඔයාට comment කරන්නේ. කතාවක් කියෙව්වා නෙමෙයි 70 දශකයේ චිත්‍රපටයක් බැලුවා වගෙයි මට දැනුනේ.හරිම ලස්සනට රූප මැවෙන විදියට ඔයා කතාව ලියලා තියනවා, මට හිතෙන්නෙත් මේ මැණිකේ අර අසරණයව කඩේ යවනවා කියලා තමයි, ඉක්මන්ට ඉතුරු ටිකත් දාන්න.
ReplyDeleteබොහොම ස්තූතියි චූටි...අපේ ගෙදර ආසන්නයේ තියෙන ගෙදරත් ඉන්නෙ හොදට ඇගපත මහතට තියෙන චූටි කියලා ගෑණු ළමයෙක්...ඔයත් එහෙමද ?
Deleteපිරිමියෙක් හොද හිතින් කාන්තාවකට උදව් කලොත් ඔය කඩේ යන කථාව බොහෝ දෙනෙක් කියනවාම තමයි.
අනේ නෑ අයියේ... නම වගේම තමයි මම :P
DeleteNiyamai. Anith tikath ikmanatama dammanam hodai. . .
ReplyDeleteස්තුතියි ගයාන්...මේ දානවා...
Deleteසිරෝ..
ReplyDeleteදිග කතාවක් පටන් ගන්න වගේ හදන්නේ...ඉක්මනට අනිත් කොටසත් එකතු කරපන්...
මම
මයික්
දිග ඒවා ලියන්න කොහෙද සුදෝ වෙලාවක්...ඊලග කොටසින් කථාව නිමයි.
Deleteඑල
ReplyDeleteස්තූතියි.
DeleteMama sirage kamareta yanna enna aran dan masa dekak withara athi, ada mama sirage siyaluma post kiyawala iwara kala. Sirage sangeetha jeewithe katha,pem jawanika kiyawaddi aththatama paaalkale mawila penawa.
ReplyDeleteSirage me aluth pem kathawath mama eka husmata kiyawala iwara kala. Anik kotasa enakan balagena innawa.
All the best bro, obata hoda liweeme hakiyawak thiyenawa.
සතූතියි ධනුෂ්ක, ඔබ වැනි පාඨකයන්ගෙන් ලැබුන තල්ලුවෙන් තමයි මෙච්චර කාලයක් කාමරේ දොර ඇරලා කථාවක් දෙකක් කෙටුවෙ...මෙවැනි හෘදයාංගම වදන් තමයි නිසැකවම හෙටත් මට ශක්තිය දෙන්නෙ...ජය !
Deleteආයේ කියන්න දෙයක් නැහැ සිරා අයියෙ අවසානය වෙනකම් තිබුණු කුතුහලය තාම ඉවර නැහැ.පොතක් කියවනව වගේ කියවගෙන යන්න තියෙනවනම් නියමයි.සුපුරුදු විදියට භාෂාව නියමෙට හසුරවල තියෙනව..කතාව වෙනදටත් වඩා හොදට ඩබල් එකේම නැගල යයි වගේ..
ReplyDeleteමේ විදියට ලියන්න තමයි මම ඉතාමත් මනාප. නමුත් මෙහෙම ලියවිල්ලකට බොහොම හොද නිදහස් මානසිකත්වයක් අවශ්‍යයි. වැඩ ඉවරවෙලා ඇවිල්ලා නිදියන්න කලින් ලැබෙන පැය දෙකට තමයි මේ සෙල්ලම ඉතිං අමාරුවෙන් හරි කරගෙන යන්නෙ
Deleteබොහොම සුන්දර කතාවක ආරම්භය වගේ..ඇත්තටම ඒ හැත්තෑවේ දශකයේ සුවඳ දැණෙනවා උඹේ ලිවීම තුල. හිල්මන්..ගාඩිනියා පවුඩර්...ත්‍රී රෝසස්..
ReplyDeleteනියමයි!!!
අරූ අයියා ඉතින් ඒ කාලෙ සුවද විදපු කෙනෙක් නොවැ...එහෙම ඇත්තෙක් 70 දශකයේ සුවද මෙයින් දැනෙනවා කිව්වම සිරා කොලුවට බොහොම සතුටුයි.
Deleteකියවාගෙන යද්දි දන්නෙම නැතුව පළවෙනි කොටස ඉවරත් වෙලා... අපරාදේ කැඩුවේ... මටනම් මේ වගේ ලස්සන කතාවක් කියවද්දී දිග වැඩි කියලා හිතෙන්නෑ නෑ පොඩ්ඩක්වත්...
ReplyDeleteබීට්ල් ගොයියව බොහොම ආදරයෙන් සාදරයෙන් කාමරයට පිළිගන්නවා. මට ඔය නම හොදට හුරු පුරුදුයි.මොකද මම බීට්ල් කාර් රසිකයෙක් නිසා.
Deleteමේ කථාව කඩන්නෙ නැතුව දැම්මා නම් හොදයි තමයි. ඒත් කොටස් දෙකම එකතු වුනාම සෑහෙන දිගයි...ඔපීසියෙ රාජකාරි අස්සෙ බොග් කියවන අයට පතරංග ජාතක කථා වගේ පෝස්ට් පේන්න බෑ. ඒ නිසයි දෙකට කැඩුවෙ සුදෝ...
අනේ අප්පුච්චේ හෝන්දම තැන්නේ බන් නවත්තලා තියෙන්නේ අවරුදු උත්සවේට කලින් ඉතිරි කොටස දානවා නේද
ReplyDeleteඅවුරුදු උත්සවයක්...කොහෙද ? කවුද කරන්නෙ ? මට කිසි දෙයක් මතක නෑනෙ...
Deleteමෙතරම් සංයමයක් ආදර කතාවක තියෙනවනම් ඒ 70 දශකයම වෙන්න ඕන... ලස්සනයි....
ReplyDelete70 දශකය ලංකාවේ බොහෝ කලා මාධ්‍යයන් වල ස්වර්ණමය අවධිය කියලා නොවැ හදුන්වන්නෙ. ඒ කාලෙ චිත්‍රපටිවලින් තමයි බොහෝ විට 70 දශකයේ තිබුන සමාජ හැඩතල දකින්නෙ. ඒවා දකිනකොට මට හැමවෙලේම හිතෙන්නෙ ඒ කාලෙනෙ ඉපදෙන්න තිබුනෙ කියලා. අන්න ඒ නිසාමයි මම 70 දශකයට නෑකම් කියන ස්කූටරයක් පාවිච්චි කොරන්නෙත්.
Deleteයකෝ සිරෝ, මේක මාර කතාවක්නෙ බං. පපුවට මාර බරක් දැනුනා.
ReplyDeleteහැබෑට...එහෙනං බොලාත් පෙම් කෙළින කාලෙ හොද සංවේදී ප්‍රේමවන්තයෙක් වෙන්ට ඇති.
Deleteබැන්දයි කියලා පෙම් කෙළිල්ල ඉවර වෙන් නෑනෙ බං. මායි මිසිස් ඩ්‍රැකියයි තාම පෙම්වතුන් තමා...
Delete