Monday, November 19, 2012

106 අති සාර්ථක තැඹිලි මෙහෙයුම

සිරා කලක් අතිශයින් ආදරය කල බෑන්ඩ් ජීවිතය ගැන තවමත් ලියා ඇත්තේ බොහෝම කෙටියෙනි. එයද බූරුගසා  සිදු වූ සිදුවීමක් ගැනය. ඒ හේතුවෙන් නැවත වතාවක් රසබර බෑන්ඩ් ජීවිතයෙන් යමක් හාරා අවුස්සන්නයි මේ වෑයම. ඇතැම් විට මෙය මගේ බෑන්ඩ් කණ්ඩායම අතිශෝක්තියෙන් වර්ණනා කරන එකක් ලෙස ඔබට දැනෙන්නටත්  පුලුවන... නමුත් මා කලේ ඒ හා බද්ධ වී තිබෙන මගේ හැගීම් හා සත්‍ය සිදුවීම් වචන බවට පත්කිරීමකි.

1996 තමයි සිරා  පාසලේ බටහිර තූර්ය වාදක ඛණ්ඩයට හා පුරා කියලා සම්බන්ධ වුනේ. එතකොට කොලුවා හිටියෙ 9 වසරෙ... උපතින්ම  සංගීතයට තිබුනු අමුතුම ලැදියාව සිරා ඒ තත්වයට පත් කරන්න හේතු වෙන්නත් ඇති.

බටහිර තූර්ය වාදක ඛණ්ඩයට අලුතින් සාමාජිකයන් බදවා ගැනේ. 
ඒ සදහා කැමති අය ....... වෙනි කාලජේදයේදී  ....... ශාලාවට එන්න, එහෙම තමයි පණිවිඩේ ආවෙ. මේ වගේ පණිවිඩයක් ලැබුනාම ඒ සදහා කැමති අකමැති දෙගොල්ලන්ම නියමිත රැස්වීමට සහභාගි වීමට යනවා... අකමැති උන් යන්නෙ කාලජේදයකට කට් එකක් දෙන්න....

කොහොමින් කොහොම හරි සිරා ඉතිං සමවයසෙ කීප දෙනෙක් එක්ක බෑන්ඩ් කණ්ඩායමට සම්බන්ධ වෙලා සෑම බ්‍ර‍හස්පතින්දා දිණයකම පැවැත්වෙන පුහුණුවීම් වලටත් යොමු වෙමින් දැන් ඉන්නවා කියමුකො,  අනේ සංගිත භාණ්ඩ වාදනය කරන්න ආශාවෙන් ආවට නිකමට සංගීත භාණ්ඩයක් අතින් අල්ලන්නවත් ලැබුනෙ නෑ... සෑහෙන කාලයක් යන තුරු, ඒ වෙනුවට ඉතිං අව්වෙ කර වෙවී ගමනේ යාම තමයි ඉතිං හැමදාම පුරුදු වෙන්න වෙන්නෙ.  ඉතිං මේ ක්‍රියාදාමයෙන් අඩපන වෙන සමහරු තූර්ය වාදක කණ්ඩයෙන් අයින් වෙනවා... තවත් ටික කාලයක් ගත වුනාම ආරම්භයේදි පැමිණෙන මහ රැලෙන් බෑන්ඩ් උණ තියන කීප දෙනෙක් තමා ඉතිං ඉතිරි වෙන්නෙ.... අන්න ඒ අය තමා බෑන්ඩ් කෙරුවාවට ඇත්තටම ගැලපෙන්නෙ... ඒ උන් හදවතින්ම ඊට කැපවෙන නිසා.

අපේ පාසල ශිෂ්‍යභට  ව්‍යාපාරයේදි ලංකාවෙ ඉහළින්ම කියවෙන නමක්...ඒ නිසාම බෑන්ඩ් කණ්ඩායම් අතර පාසල තුලදිත් සුහද තරගයක් තිබුනා... පෙරදිග තූර්ය වාදක ඛණ්ඩය ඒ වෙද්දිත් සමස්ත ලංකා ශූරතාව පිට පිටම වසර ගණනනාවක් ජයග්‍ර‍හණය කර තිබූ නිසා ඔවුන් තමයි පාසලේ අංක 1. එතකොට අපි ? බටහිර තූර්ය වාදක ඛණ්ඩයට ඒ දවස්වල හූ කිව්වෙ අපේ ඉස්කෝලෙම කොල්ලො...ඒ කාලෙ අපේ කණ්ඩායම අන්තිම චොරයි. මේ කණ්ඩායම නගා සිටුවීමේ කර්තව්‍යයට සිරා, ජපන් චමීඅයිය බඩා සහ කිඩා නායකයාට බොහොම විශාල ශක්තියක් වුනා.


ඉතිං මේ සියලුම පීඩාවන් විද දරාගෙන ලොකු ,පොඩි අපි හැමෝම එක පවුලක සහෝදරයො කැළක් වගේ එකතු වුනා. අධ්‍යාපනයට බාධා වෙනවා කියලා ගුරුවරු/දෙමාපියන් විවිධ බාධා කරද්දි අපේ උන් පුදුමාකාර විදියට අපේ තූර්ය වාදක ඛණ්ඩය වෙනුවෙන් කැපවුනා... පෙරදිග තූර්ය වාදක ඛණ්ඩායම පාසල් ක්‍රීඩා පිටිය පහුණුවීම් සදහා යොදා ගන්න අවස්ථාවක  එහි තවත් ඕනෑ තරම් ඉඩකඩ තිබුනත් අපට එහි ඉඩ නැතිව ගියා... අවට තිබූ වෙනත් ක්‍රීඩා පිටියකට පාසලින් බැහැරව පුහුණුවීම් සදහා යාමට අපට සිදුවුනා. අපේ තූර්ය වාදක ඛණ්ඩයට පාසල තුලදිම කුඩම්මගෙ සැළකිලි ලැබුනා උනත් කවුරුවත් සැලුනෙ නෑ... පෙරට වඩා උද්යෝගිමත්ව පුහුණුවීම් කලා. බටහිර තූර්ය වාදක ඛණ්ඩයක තියෙන්න ඕනෙ සියලුම වාදන භාණ්ඩ ඒ කාලෙ අපට තිබුනේ නැති උනත් අපේ උන් ළග ධෛර්යය තිබුනා උවමනාවටත් වඩා. නිවාසාන්තර ක්‍රීඩා උත්සවය තියෙන්නෙ පෙබරවාරි මාසයේ වුවත් බෑන්ඩ් කණ්ඩායම් නොවැම්බර් මස අග සිට දිනපතා පුහුණුවීම් කරනවා උදෑසන සිට සන්ධ්‍යාව දක්වා. ඒ නිසාම පන්ති කාමරයේ අධ්‍යාපනය ඒ කාලසීමාවෙදි අහිමි වෙනවා. මේ නිසා මුන් කාලකණ්නි වෙන්න හදනවා කියන අර්ථයෙන් සමහර  ගුරුවරු වගේම දෙමාපියොත් බෑන්ඩ් සාමාජිකයන්ට නොයෙක් සීමා බන්ධන පැනෙව්වා.

මෙන්න මේ කාලෙ තමයි මේ කියන්න යන සිදුවීම් උනේ. විවිධ බාධක, අවහිරතා මැද එකම පවුලෙ සහෝදරයො වගේ හිටිය අපේ  කොල්ලො සැට් එකේ නායකයා වුනේ ලොකු අයියා. බොහෝ පිරිසකගෙ  නිවෙස් වලින් අපිට බෑන්ඩ් ගහන්න දුන්න සහයෝගය තවත් පුළුල් කරමින්  දිනපතා ඔතලා දුන්න බත්මුල හා අතට ලැබුන මුදල  නිසි බලධාරීන්  විසින් සිත්පිත් නැති ආකාරයට කපා දැම්මා... සිරා කොලුවත් මේ අහේනියට ලක් වුනා... දිවි හිමියෙන් බෑන්ඩ් ගහපු අපේ සැට් එක මේකට විසදුමක් ළග තියෙන සම්පත් වලින්ම සොයාගත්තා. තමන්ගෙ දරුවා මේ කණ්ඩායමේ සිටිනවාට අකමැති නොවූ මව්වරු කීපදෙනෙකුම හිටියා. ඒ අය දිවාකාලයට බත් මුල් කිපයක් බැදලා එව්වා අනෙක් අයටත් ඇති වෙන්න. එහෙත් සමහර දවස් වල එයත් අහිමි වෙනවා. අන්න එහෙම වෙලාවක ප්‍රයෝජනයට ගන්න තමයි ගුවන් නියමු බලකායක්  බෑන්ඩ් එක තුල නිර්මාණය වුනේ.

බොලා බලයි මොක්කුද මේ ගුවන් නියමුවො කියලා...හා හා කලබල වෙන්න කාරි නෑ... Pilot කියලා අපි අන්වර්ථ නාමයෙන් හැදින්වූයෙ කණ්ඩායමේ සාමාජිකයන්ගෙ කුසගින්න වෙනුවෙන් කුරුම්බයක් කාරිය කඩන්න ගස් බඩගාපු අපේ සැට් එක...

දිනක් හදිසියේම විද්‍යාලයාධිපති තුමා ලොකු අයියට නියම කලා ඊට පසුදින පැවැත්වෙන කාර්යයක් වෙනුවෙන් කණ්ඩායම සූදානම් කරන ලෙස, එදින පුහුණුවීම් සදහා පෙරදැනුම් දීමක් තිබුනෙ නැති නිසාම කා ලගවත් අමතර මුදලක්, ආහාර තිබුනෙ නෑ... සමහර අයට හවස අතිරේක පන්ති... නමුත් මේ කිසිවක් විදුහල්පතිතුමා සමග කථා කර විසදගන්න වාතාවරණයක් තිබුනේ නෑ... ඔහු ඒකාධිපතියෙක්...  අන්න එදා තමයි ෆයිලට් කණ්ඩායම බිහිවුනේ....

නැවත නිවසට යාමට නොලැබීමෙන්/ පාසලින් පසු පෙම්වතිය මුණ ගැසීමට තිබූ අවස්ථාව අහිමි වීමෙන්/ කෑමට යාමක් නොලැබීමෙන්  අපේක්ෂා භංගත්වයට පත් වූ පීඩිත පන්තිය ඇමතූ ලොකු අයියා...

උඹලට කන්නනේ ඕනෙ... මම කන්න දෙන්නම්.... කට්ටියම ප්‍රැක්ටිස් කිට් එක දාගෙන පෝලිම් වෙයල්ලා...

සැට් එකම ඉතිං පෝලිම් උනාට පස්සෙ...

ගස් නගින්න පුලුවන් උන් ඉස්සරහට අත් දාපල්ලා.... 

තුන් හතර දෙනෙක් මේ ආරාධනාව පිළිගත්තා....සිරාට ඉතිං පොඩි කාලෙ ගස් බඩගෑවට ලොකුවෙද්දි ඒ හැකියාව නැති වී තිබුනා.

ඉදිරිපත් වූ අය අතර රැකපුලියා සහ ජෝතියා සිටි බව මට හොදටම මතකයි... පාසල් භූමියේ තිබුනේ රූස්ස පොල් ගස් නිසා මූලික පරීක්ෂණයකින්  පසු තිදෙනෙකු Pilot ලා ලෙස පත්වීම් ලිපි ලබාගත්තා. ඒ ලොකු අයියා අතින්. සුලු පටු දෙයක්ද ඉතිං ඒකත්...

තිදෙනා එකවරම ගස් තුනකට නැගුනා...හොදින් පැසුනු පොල් වල්ලේ සිට අන්තිම කුරුම්බය දක්වා පොල් ගස් සංහාරයකට ලක් කරද්දි ඊට යාබදව තිබූ වැසිකිලි පද්ධතියෙ වහළයේ උළු එකින් එක  බිමට සමතලා උනා. එදා බිම හෙලූ ඵලදාව අතරින් පොල් හා කුරුම්බා වෙන වෙනම වෙන් කර  පාසලට යාබද, අපත් සමග හිතවත් කඩයකට පොල් ගෙඩි විකුණන්නත්... කුරුම්බා අපේ ප්‍රයෝජනයට තබා ගන්නත් තීරණය කොලා. ඒ අතරම හොද ඵලදාවක් තිබූ පාසලේ  දෙල් ගසේ ගෙඩි සියල්ලම බිම සැතපෙන්නට වැඩි වෙලාවක් ගියෙත් නෑ.... මේ සියල්ලම විකුණා එදා සැලකිය යුතු මුදලක් එකතු කරගන්නත්...එමගින් අපට අවශ්‍ය ආහාරපාන මිළදී ගන්නත් හැකියාව ලැබුනා. මේ සිදුවීමෙන් පසු තිබූ විනය ක්‍රියාමාර්ග ආදියට අපේ උන් බොහොම එකමුතුව මුහුණ දුන්නා.

මේ ආකාරයෙන් වැඩ ඇල්ලූ අපේ ගුවන් නියමුවො පසු කාලීනව ප්‍රයෝජනයට ගැනීමට ගස් නැගීමට ආධාර වන වලලු ආදිය මැනවින් සකසාගෙන බෑන්ඩ් කාමරයේ සගවා තිබ්බෙ හදිසි කැදවීමකදි ප්‍රයෝජනයට ගන්න.

කාලයේ ඇවෑමෙන් යම් තරමකට වර්ධනය වූ අපේ තූර්ය වාදක ඛණ්ඩයට ඔන්න දැන් ටික ටික රාජකාරි පැවරෙන කාලෙ... එහෙම රාජකාරියක් කරන්න තියෙන දිනට පෙර දින රාත්‍රියේ පාසලේ නැවතිලා වාදන භාණ්ඩ සුද්ද පවිත්‍ර කිරීම, බූට් සහ ඇදුම් සූදානම් කර ගැනීම‍ ආදී කාර්යයන් සිදු කරනවා... මෙන්න මෙහෙම දවසක වැඩ කටයුතු අවසන් වුනාම ලොකු අයියා එක්වරම බෙරිහන් දුන්නා...

ෆයිලට් සෙට් එක පෝලිම්.......

ගස් නගින වලලු එහෙම අරගෙන ඔන්න තුන්දෙනා දැන් පේලියට යනවා... ඊට පිටිපස්සෙන් අනෙකුත් අය... එදින මෙහෙයුමට නියමිත වෙලා තිබුනෙ පාසලට යාබද නිවසක සරුවට වැඩුනු තැඹිලි වලු කීපයක්... ලොකු අයියාගේ මෙහෙයවීම මත ගුවන් නියමුවන් ගස් වෙත යොමු කලාට පස්සෙ වැටෙන ගෙඩි අහුලන්න තවත් පිරිසකුත්... විද්‍යාලයේ තාප්පයට ඉහළින් එන තැඹිලි ගෙඩි එකතු කරන්නට තවත් පිරිසකුත් ලෙස පිරිස ඒ ඒ රාජකාරි ස්ථාන සදහා යෙදෙව්වා...

සිරා හිටියෙ ගහ යට ඉදන් තැඹිලි එකතු කරන සැට් එකේ... රැකපුලියා, ජෝතියා සහ තවත් කෙනෙක් ගුවන් ගත වුනා... වෙලාව රාත්‍රී 11 පහුවෙලා... වටේටම කෑලි කපන්න පුලුවන් ඝණ අදුර... නිවැසියෝ කිසිවෙක් අවදියෙන් සිටිනා බවට සාක්ෂියක් නෑ.... විදුලි පහන් සියල්ලම නිවී ගිහින්... මෙවන් වටපිටාවක තමයි අපේ මෙහෙයුම දැන් තීරණාත්මක අඩියකට පත් වී තිබෙන්නෙ.

ගුවන් නියමුවො ඉතාම කෙටි කාලයකදි ගහේ කරටියට නැගුනා...තැඹිලි ගහක් කියලා ජෝතියා කරුවලේම නැගලා තියෙන්නෙ පොල් ගහකට... අතින් කරකවලා බිමට අතහරින ගෙඩි විදුලි පන්දම් එළියෙන් බිමට නොවැටී අල්ලගැනීම තමයි මෙහෙයුමේ සැළසුම... වැඩේ තෙල් ටිකට නැගලාම යන වෙලාවක ජෝතියා අතඇරපු පත කුරුම්බයක් මහ හඩින් බිම පතබෑවුනා...

ඒ එක්කම නිවැසියෝ පිබිදුනා.... නිවස වටේම  විදුලි පහන් දැල්වුනා...ගස් බඩගාපු උන්ට ගහෙන් බහින්න වෙලාවක් තිබුනෙත් නෑ... ගෙඩි අල්ලන්න හිටි අය තාප්පයට ඉහළින් නැවතත් පාසල් භූමියට සම්ප්‍රාප්ත උනා,  ඒ පතබෑවුනු කුරුම්බෙත් එක්කම...ඒ නිසා ගහ යට කිසිදු සාක්ෂියක් නෑ... දිග පොල්ලක් අතින් ගත්ත  ගෘහ මූලික තෙමේ ඔවුන්ගෙ වත්තෙ කෙහෙල් පදුරු අතර සැරිසරලා වටේටම විදුලි පන්දම අල්ලලා තරමක් වෙලා සෝදිසි කලා.... මේ වෙලාවෙ තාප්පෙට මුවාවෙලා සිටි මට ඊට ඉහළින් ගහේ කරටියටම වෙලා හැංගිලා ඉන්න Pilot ලා තුන්දෙනා නියමෙට පේනවා... ගහ බදාගෙන ඉන්න ජෝතියා හුස්ම ගන්නෙත් නැති තරම්....ඒකාට හදවත් රෝගයක් හෙම තිබුනා නම් එදා පොල් ගහේ කරටියේදීම වල කජ්ජ ගහනවා ෂුවර්.

නිවැසියන් නැවතත් නිවස තුලට උනා...නමුත් පිටුපස විදුලි පහන දිගටම දැල්වුනා...

උඹලා බෑන්ඩ් රූම් එකට පලයල්ලා... ලොකු  අයියා පිරිසකට අණ කලා...ඒ අතර සිරා කොලුවත් හිටියා.

ඔන්න සිරා නැවතත්  කාමරේට පැමිණියා... තවත් පෑ භාගයකට පස්සෙ විශාල තැඹිලි වලු දෙකක් එක්ක ගුවන් නියමුවො පිරිස නිරුපද්‍රිතව කාමරයට පැමිණියා...

කොහොමද ගේම දුන්නෙ...සිරා ලොකු අයියාගෙන් විමසුවා....

අපි ඉතිං ගේමක් දුන්නොත් දන්නවනෙ... මට තේරුනා අපේ සිස්ටම් එකේ අවුලක් කියලා... මම ඉතිං ප්ලෑන් එක වෙනස් කලා... තැඹිලි වල්ල බාන්න කඹයක් නැති නිසා ළිදේ කඹේ ගලවගෙන තැඹිලි වල්ල බාපන් කිව්වම මෙන්න මේකා (අසල වූ එකෙක් දක්වමින්) ඒ ගෙදර උන්ගෙ බොලොක්කෙයි, කඹෙයි, බාල්දියයි ඔක්කොම උස්සගෙන ඇවිල්ලා... පවු යකෝ හෙට කොහොමද උන් මූණ හෝදගන්න වතුර ටිකක් ඇද ගන්නෙ... 

මා පාසලෙන් සමුගන්නා තුරාවට..එම බොලොක්කය හා බාල්දිය බෑන්ඩ් කාමරයේ තිබූ බව මතකය.

අදට එහෙනං කථාව අහවරයි...බෑන්ඩ් එකේ ඉන්න කාලෙ සිදු වූ දේවල් කියන්න ආරම්භයක් තමයි අද ගත්තෙ...


මම කාමරේ වෙසෙන,සත්ගුණවත් සිරා කොලුවා



ප.ලි

මුන් විහින් කාලකණ්නි වෙන්න හදනවා යනුවෙන් අපට මූහුණටම බනින ලද විද්‍යාලයේ අංශභාර ගුරුභවතෙකු මේ ලගදි දිනයක ආදිශිෂ්‍ය සාදයකදී මට හමුවිය. දැන් විශ්‍රාම ගොස් සිටින එතුමා කථාව ඇරඹූයේ

මට සමාවෙයන් කොල්ලො...

ඇයි සර් මොකෝ කාරණේ...

නෑ බන් අපි ඉගෙනගන්න  උන් ඔලුවෙ තියාගෙන උඹලට ඒ දවස්වල  සෑහෙන්න බැන්නා... ඒ උනාට අද උඹලා විතරයි අපිව දැක්ක තැනක සර් කියලා කියලා ගෞරවයෙන් කථා කරන්නෙ... අරුන් ලොකු ලොකු වාහන වල යනවා නොදැක්කා වගේ... උඹලා තමයි බන් අපි හදපු නියම ගෝලයො....එතුමාගේ දෑසේ කදුලුය.


නොයෙක් තාඩන පීඩන එල්ල වුවද අපේ උන් බහුතරය දෙවන/තෙවන වර හෝ උසස් පෙළ මැනවින් සමත්කර ගෙන  විශ්ව විද්‍යාල හරහා උසස් අධ්‍යාපනයට යොමු වූ අතර ඉංජිනේරුවන් / ඉංජිනේරු පීඨ කථිකාචාර්ය වරුන්/ යුධ හමුදා උසස් නිලධාරින්/ ගණකාධිකාරීවරුන් ආදී සමාජයේ ඉහළින් වැජඹෙන චරිත රැසක් පසුකාලයේ තූර්ය වාදක පවුලෙන් බිහිවිය. මෙය කියවන ඔබ මවක් හෝ පියෙක් නම්  මේ තොරතුරු වලින් ඔබට යම්කිසි අදහසක් ගත හැකි වේ යැයි සිතමි. පන්ති කාමරයේ අධ්‍යාපනයෙන් වර්ධනය කරගත නොහැකි පෞර්ෂය වර්ධනයට උපකාරී වන්නේ බාහිර ක්‍රියාකාරකම් බව ඉතාමත් වගකීමෙන් කියමි. මමද ඉන් ප්‍ර‍තිලාභ ලැබූවෙකි.

රැකපුලියා පිළිබද පසුකාලීනව ආරංචියක් නැති වුවත් ජෝතියා නම් විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු ගණකාධිකාරීවරයෙකු ලෙස වර්තමානයේ මාලදිවයිනේ සේවය කරයි.

පාසලෙන් හා නිවසෙන් එල්ල වූ පීඩනය නිසාම කැපවීමෙන් ඉදිරියට  ගිය අපේ උන් පසුකාලීනව ජයග්‍ර‍හණ වැලක්ම වාර්තා කොට ලංකාවේ අතිසාර්ථක ශිෂ්‍යභට බටහිර තූර්ය වාදක ඛණ්ඩය බවට පත් විය. එදා අපට හූ කියූ උන් අද අප වර්ණනා කරන විට... ලෝ දහම මේ යැයි සිතේ....

එදා අප විදි දුක්, කම්කටොළු වර්තමාන කොල්ලන්ට නොවන්නට  පැරණි සාමාජිකයන් නිරතුරුව ඔවුන්ට මුදලින්  හා ගුරුහරුකම් වලින් උපකාර කරයි.  අද අප සියල්ලෙන් අංගසම්පූර්ණ  තූර්ය වාදක ඛණ්ඩයකි.  පවුලක් ලෙස  අපේ බැදීම තවමත්  එදා මෙන් ශක්තිමත්ය.


2003 වර්ෂයේ  සමස්ත ලංකා ශූරතාවය දිනාගත් තූර්ය වාදක ඛණ්ඩය 
හිටපු ජනාධිපතිනිය සමග ජනාධිපති මැදුරේදී. 













106 comments:

  1. මේ වගේ පෝස්ටුවක් වෙනුවෙන් නින්ද ප්‍රමාද කලාට පාඩු නෑ. ඒක හින්දා එක දිගටම කියවගෙන ගියා. //රැකපුලියා// කවුද මේ නම දැම්මේ.. :D
    pilot මෙහෙයුම නම් මරු. අර ප/ලි යෙ සර් කියපු කතන්දරේ නම් සංවේදී සීන් එකක්. හරියට දරුවෙක් කතා නොකර ගියා වගේ දැනෙනවා ඇති ගුරුවරුන් ට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන.... රැකපුලියගෙ නම කෙටි කරලා රැකා කියලා තමයි හැමෝම ඌට කථා කලේ... ඒකාගෙ පශ්චාත් භාගය ටිකක් විශාල නිසයි ඒ නම යෙදුනෙ... දැම්මෙ කවුද කියලා නම් මතක නෑ...

      තමන්ගෙ ගෝලයෙක් තමන්ව අදුනන්නෙ නෑ වගේ ගියාම ඒ අයට එය මහත් වේදනාවක්..

      Delete
  2. පාසලෙන් අධ්‍යාපනය විතරක් ලබා ගත අය එහෙම වෙනවා. ඒ අතින් සිරා ඇතුළු පිරිස සමාජයේ ජීවත් වීමට ඉගෙන ගෙන තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. සමහර ඉහළ නිලධාරීන් ඉන්නවා සුළුතරයක් වන තමන් යටතේ ඉන්න සේවකයන් ඉදිරියේ කථා කරන්න බෑ, වෙව්ලනවා... උගත් කම කෙතරම් තිබුනත් ඒ වගේ අවස්ථාවකදි ඔහු හෝ ඇය අසරණ භාවයට පත් වෙන්නෙ පෞර්ෂය සංවර්ධනය වී නැති නිසා...

      Delete
  3. පළවෙනියට තිබ්බ group ෆොටෝවේ සිරා අයිය ව අදුර ගන්න අමාරුයි ,ඇත්තට කෝ ?, මේක ජෝක් ස්ටොරියක් වගේ පෙනුනට ඇතුලෙන් ඊට වඩා ලොකු දෙයක් කියවිලා තියෙනවා , සිරා අයියගේ ගුරුතුමා ගේ අත්දැකීම හරිම සංවේදියි

    ReplyDelete
    Replies
    1. ඔබ කිව්ව ෆොටෝවෙ දකුණු පස කොනේම ඉන්නෙ සිරා... අපේ බෑන්ඩ් ජීවිතයේ බොහොම සංවේදී තැන තියෙනවා... ඒවා බහුතරයක් මම ලියලා නෑ...

      Delete
  4. පොඩි කාලේ සිරා එල කොල්ල වගේනේ?? ඒකට දැන්... :P
    මම තුර්ය වාදන කලේ නැති උනාට හැම වෙලාවේම හිටියේ සංගීත කාමරේ. පන්ති කට් කරලා කෙලින්ම යන්නේ එතනට තමයි. එතන උන සිදුවීම් නම් පට්ටම ආතල් .ඒව නම් මතක් වෙනකොටත් හිතට පොඩි දුකක් එනවා ඒ කාලේ ආයිමත් එන්නේ නෑ නේද කියල හිතුවම.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් බඩ ගෙඩිය ඉස්සරහට ආවට සිරා තවමත් එළ කොල්ලෙක් තමා බන්....

      මමත් සංගීත කාමරේ පැල පදියම් වෙච්ච එකෙක් ඒ කාලෙ... සමස්ත ලංකා තරග වලට සහභාගි වෙන කාලෙට කාලජේද 8ම හිටියෙ එතන... සමහර ගුරුවරු මට කිව්වා උඹ එතනම ඉදපන් ආයෙ පන්තියට එන්න එපාය කියලා...

      Delete
  5. පාසල් කාලය ගැන කොච්චර ලිව්වත්, කොච්චර කියෙව්වත් ඒ රසය අඩු වෙන්නෙ නෑ. උඹලා කොච්චර හොඳ කොල්ලොද. අපි කරපුවා ලියන්නෙ නැත්තේ. දැන් ඉන්න උන් ඒවා පුරුදු වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. අද ඉන්න එවුන් කොහෙ කරන්නද අපි කරපු ඒවා... දැන් ඉන්න කොල්ලො බහුතරයකට පොල් ගස් තියා පේර ගහකට නැග ගන්න පුලුවන්ද...

      මහාචාර්ය තුමා කොල්ලො පුරුදු වුනත් කමක් නෑ කියලා ලියන්නකො එකක් දෙකක්...

      Delete
  6. ලස්සන අතීතයක් මචං...මටනම් පාසැල් කාලෙ ලස්සන ආවර්ජන නැහැ ඒ ගැන ඇත්තෙ කනගා‍ටුවක්....ඒක අපෙ වරදක් නම් නොවේ..!

    ඒ නිසා පාසැල් ජීවිතය ගැන ඇත්තෙ තරහක්...අපිව පෝෂණය කලේ අපේ දක්ෂතා වර්දනය උනේ දහම්පාසලෙන්..
    උඹලගෙ අතීතය ගැන ආඩම්බරයි..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වී... මම නම් 6 වසරෙන් පස්සෙ දහම් පාසල් ගියේ නෑ.. අතිරේක පන්ති වසංගතයට හසුවීම නිසා... ඒ උනාට දහම් පාසලෙන් ලබාගත්ත ශික්ෂණය නම් නැතිව ගියේ නෑ...

      Delete
  7. එල කොල්ලෝ සෙට් එකක්නේ...

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද... තව බලන්නකො ඉදිරියට... මේ ලියන්න පටන් ගත්තා විතරයි..

      Delete
  8. උඹ 1996 දි හිටියෙ 9 වසරෙද? අයියෙ උඹ මට වඩා සුට්ටක් වැඩිමල්. :)

    ඇත්තටම බං, තිස්සෙම පොත මූනෙ ඔබං ඉන්න එවුන්ට වඩා සහෝදරත්වයක් කැපකිරීමක් ඔය බාහිර ක්‍රියාකාරකම්වලට යන එවුන් අතරෙ තියෙනව. කොහොම උනත් පාසලක් අසල නිවාස හිමියෙක් වෙන එක නම් මහම මහ අවාසනාවක්.

    උඹල එච්චර කට්ටක් කාලා හරි තූර්ය වාදක ඛණ්ඩය තැනකට ගෙනාපු එක වටිනව.

    ReplyDelete
    Replies
    1. අපේ සහෝදර බැදීම පුදුමාකාර එකක් බන්... අපි එකට දුක් විදපු උන් නිසා වෙන්න ඇති එහෙම වුනේ. ලෝකෙ වටේම අපේ පරණ උන් ඉන්නවා උනත් ලංකාවට ආපු ගමන් කස්ටිය හොයාගෙන සැට් වෙන එක තමා පුරුද්ද...

      විශේෂයෙන් අපේ පාසල ළග ඉදපු උන් නම් කිප වතාවක් පොලීසියටත් පැමිණිලි කරලා තිබ්බා උන්ට තියෙන බාධා ගැන... අපි ඒ කාලෙ මධ්‍යම රාත්‍රියෙත් පුහුණුවීම් කරද්දි උන් කන් වලට තියෙන ආතල් එක කියන්න ඕනෙ නෑනෙ...

      Delete
  9. නියම ලිපියක් සිරා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍ර‍සන්න අයියා... ඔබේ බ්ලොගියෙ ලියන්නකො ආයෙත් අකුරු දෙක තුනක්...

      Delete
  10. පාසැල් කාලය තරම් සුන්දර කාලයක් ජීවිතේ වෙන කිසිම කාලෙක නැතුව ඇති. කුරුල්ලෝ වගේ නිදහසින් ගත කරපු ඒ තරම් අඳකාර ජීවිතයක් ආයේ කවදා ලැබෙයිද... මරු කතාව සිරා.. සිරා ඒ කාලේ ඉරටුවක් වගේනෙ..දැන් මේ මොකද වෙලා තියෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. සිරා ඒ කාලෙ බොහොම කැපවීමෙන් ව්‍යායාම කරපු නිසා බොහොම ශක්තිමත් ශරීරයකට හිමිකම් කිව්වා... පාසලේ දුර දුවන ක්‍රීඩකයෙක් වෙලත් හිටිය...එතැනින් පස්සෙ ව්‍යයාම නොමැති වීම තමයි මගේ වර්තමාන ඛේදවාචකයට හේතුව... පරණ ෆොටෝ දකිද්දි මට හරිම වේදනයි අප්පා...

      Delete
  11. අඩේ සිරා ගම්පහ බණ්ඩාරනායක එකේද.. ?
    අඳුනා ගැනීම සතුටක් යකෝ ! :)

    ReplyDelete
    Replies
    1. ෂ්ෂ්ෂ්ෂ්....... කෑ ගහන්න එපා බන් හිමින් කියහන්...එහෙ තමා... බ්ලොග් ලෝකෙ උඹ දන්න තව කීප දෙනෙකුම ඉන්නවා එතනින් එළියට ආපු

      බොලාත් එහෙද ?

      Delete
    2. මම උසස් පෙළ කරන්න ගියේ එහේ. නමුත් ටික කාළයයි ඉන්න උනේ. ඊට පස්සේ වෙන එහෙකට මාරු වෙන්න සිද්ධ උනා.

      Delete
    3. බණ්ඩාරනායක & ඩි මැසිනොද් වලිය මතකද ...

      Delete
    4. වතාවක් අපේ බෑන්ඩ් එකේ එකෙක්ට මැසනද් එකෙක් ගම්පහදි ගහලා...පහුවදා තමයි ඌට රිටර්න් එක දීලා තිබ්බෙ... දත් දෙකක් ඉස්ටේසුමේ දාලා ඌ දිව්වෙ... මම නම් කවදාවත් වලි වලට ක්‍රියාකාරීව දායක වෙලා නෑ... නරඹන්නෙක් ලෙස හිටියා පමණයි...

      Delete
  12. රැකපුලිය....... මරු නම. සිර අයියේ පොස්ට් එක කියෙව්වම මට නම් දුක හිතුන ඇයි මට ඔය වගේ ආතල් ගන්න චාන්ස් එකක් හම්බ වෙලා නැහැනේ. ලංකාවේ ඉස්කොලේකට නොගිය නිසා. ඔය ආතල් ඔක්කොම අහිමි උනා. කමක් නැහැ ඔයාල හරි ගත්ත ආතල් එකක් කියවල සතුටු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ලද දෙයින් සතුටු වෙමු මලේ... අපිත් ආතල් ගත්ත නෙමෙයි... අපට තිබ්බ බාධක, කම්කටොළු නිසාම ඒවායෙන් මිදෙන්න ගත්ත ක්‍රියාමාර්ග තමයි මේවා...

      Delete
  13. මේ මේ කොලුවෝ දැං කාලේ හොදයි අර “සත්ගුණවත්“ කෑල්ල මකපුලියට දාන්න. හැක්..

    ReplyDelete
    Replies
    1. මේ කියලා තියෙන්නෙ ඒ කාලෙ දේවල් බොලං... දැන් සිරා බොහොම සත්ගුණවත් තමා..

      Delete
  14. හරිම ලස්සනයි බං. හරිම ලස්සනයි. රස කීපයක්ම තියෙනවා.

    මම හිතනවා උඹලට අර ඉස්කෝලෙනුත් තව පොඩි හරි සපෝට් එකක් දෙන්න තිබුනා කියලා. ඇයි බං උඹලගෙ බෑන්ඩ් එක භාරව හිටියෙ නැද්ද වෙස්ටර්න් මියුසික් ටීචර්වත්?

    හරි ඉස්කෝලෙන් සල්ලි පාස් කරන්නෙ නෑ කියාපං. මුන්ට හකුරු එක්ක කහට උගුරක්වත් අරන් දුන්නා නම් තමයි බං හොඳ. මන්දා බං ඒ මට හිතෙන හැටි

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. අපේ පාසලේ බාහිර ක්‍රියාකාරකම් හැට හුට හමාරක් තියෙනවා... වාර්ෂික අයවැයෙන් ලැබෙන මුදල මාස 3 යද්දි ඉවරයි. ශිෂ්‍යභට බෑන්ඩ් කණ්ඩායමක් නඩත්තුවට වාර්ෂිකව වැයවෙන අතිවිශාල මුදල නිසා තමයි බොහෝ පාසල් සතුව එවැනි කණ්ඩායම් නැත්තෙ.. අපේ ගුරුවරු තමන්ගෙ පුද්ගලික ධනයත් ඒ කාලෙ අපි වෙනුවෙන් යෙදෙව්වා... විශේෂයෙන් නිවසින් ආහාර දෙන්නෙ නැති නිසා අපේ ආහාර වෙනුවෙන්... අපේ බෑන්ඩ් මාස්ටර් දැන් වයස අවුරුදු 80 කටත් කිට්ටු කෙනෙක්... මම එතුමා ගැනත් වෙලාවක ලියන්නම්...එතුමා අපිට මුණගැහෙන්නෙ සෑහෙන කට්ටක් කෑවට පස්සෙ... යුධ හමුදා ජීවිතයෙන් එතුමා උකහා ගත්ත පන්නරය අපිට එන්නත් කලාට පස්සෙ අපේ උන් ඉදිරියටම ගියා බොහොම වේගයෙන්...

      Delete
  15. අප්පට සිරි .. මරු සෙට් එකක්නේ මටත් ඉස්කෝලේ කාලේ මතක් උනා.. මටත් ගස් බඩගාන්න බැහැ..අපෙත් හිටියා හොද pilot ලා ටිකක් ..

    ReplyDelete
    Replies
    1. ඉතිං බං උන් ගැනත් ලියපන්කො වෙලාවක රසවත් යමක්...

      Delete
  16. තැඹිළි හොරා.. හූ හූ..

    සිරෝ උඹ වයස නෑ කිව්වට තොටත් දැන් තිහ පැනලනෙ නාකියා....

    උබලත් සුපිරි ගේම් නෙව දීල තියෙන්නේ ... ඉන්දපන්කො මටත් කථාවක් මතක් උනා නිවාඩු වාඩුවෙ ලියල දාන්න

    ReplyDelete
    Replies
    1. ලියහන් ලියහන් උඹේ රසකථා කියවන්න මම නම් බොහොම මනාපයි...

      උඹ මට නාකියා කිව්වට උඹත් නාකියෙක් නොවැ... වයසට යන එක නවත්තන්න බෑනෙ බන්... දැනටම පොඩි කොල්ලො කෙල්ලො මට කියන්නෙ අංකල් කියලා...

      Delete
  17. හපොයි හපොයි.... මේ ගොල්ලෝ කරලා තියන වැඩ...හික්....

    පාසල් කාලය තරම් සුන්දර කාලයක් නම් මේ ජීවිතේ ආයෙත් ලැබෙන් නෑ.....

    ReplyDelete
    Replies
    1. මොනව කියනවද, ආයෙත් පාසල් යන්න තියෙනවා නම් කියලා හිතෙනවා... ඒ තරම් සුන්දර කාලයක්...

      Delete
  18. ///ෆයිලට් සෙට් එක පෝලිම්.......///

    මට මැවිලා පේනවා කට්ටිය පෝලිම් ගැහෙන හැටි.. හි හි...

    කෙල්ලො උනාට ඉතිං අපිත් ඔය වගේ වැඩ නොකෙරැවේ නං නෑ.. ස්පෝර්ට මීට් කාලෙට තමා වැඩිපුරම.. 5 වසරෙදි පොල් ගස් බඩගාපු එකෙක් මං.. හි හි..

    ඒත් මම හිටපු බැඩ්මින්ට්න් ටීම් එකේ නම් එච්චර එකමුතුකමක් තිබුනේ නෑ.. ඒකටත් හරියන්න ඉතිං නංගිගෙයි මල්ලිගෙයි අපත යාලුවෝ සෙට් එකට මාවත් දාගෙනනේ හිටියේ... උන්ටත් මං අක්කා කියලා ගානක් නැති නිසා ඇති වෙන්න පිස්සු නැටුවා මම නම් ඉස්කෝලෙන් අවුට් උනාටත් පස්සේ..එකෙන් මම හරියට ඉස්කෝල 3කට ගියා වගේ.. හි හි...

    ReplyDelete
    Replies
    1. ඉතිං හිරු වෙලාවක ලියහංකො බොලාගෙ රසවත් පාසල් ජීවිතේ ගැන යමක්...

      කෙල්ලන්ට කොහොමත් තව කෙල්ලෙක් එක්ක සුහදව වැඩ කරන්න බැරි රෝගයක් ජන්මෙන්ම තියෙනවා නොවැ... ඒකට කොල්ලො...

      Delete
  19. අපිටනම් හරිහමන් අල්ලපු වත්තක් තිබුණෙ නෑ.දෙපැත්තකින් රත්නපුර නවනගරය, අනිත් පැත්තෙන් පාර ඉතිරි පැත්තෙ වත්ත කියන්න තරම් "සරුවක්" නෑ.ඉතිං හැම කෙළියක්ම කළේ ඉස්කෝලෙ ඇතුලෙමයි.

    ReplyDelete
    Replies
    1. අනේ සුමිත් අයියලා පවු කියලා හිතෙනවා... දග වැඩක් කරන්න ලැබිලම නෑ වගේ...

      Delete
  20. උඹලා සෑහෙන කට්ටට්ක් කාලා තියනවා නේද තැනකට එන්න. ඇයි බන් ඉස්කෝලෙන්ම කෙනෙහිලි කම් කරන්නෙ තමන්ගෙම බෑන්ඩ් එකට ?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් සෙන්නා... අපි එදා එහෙම කට්ටක් කෑවෙ නැත්නම්.. අද අපිට මෙහෙම බෑන්ඩ් එකක් නෑ... දැන් ඉන්න කොල්ලො මේ වගේ කැපකිරීම් කරන්න සූදානම් නෑ...මුල් කාලෙ අපේ බෑන්ඩ් එකේ කිසිම දියුණුවක් තිබුනෙ නැති නිසා කාගෙවත් පිළිගැනීමකට අප ලක්වුනේ නෑ... අපට සංගීතය කියා දෙන්න ගුරුතුමෙක් හිටියෙත් නෑ... බටහිර සංගීත භාණ්ඩ අධික මිළෙන් යුතු නිසා විශාල වාදන භාණ්ඩ එකතුවක් තිබුනෙත් නෑ...

      ඒ අතීතය සිහිනයක් බවට පත්වෙලා වර්තමානයේ... ජාතික මට්ටමේ උත්සව වලට අපේ කණ්ඩායම දැන් නැතුවම බෑ...

      Delete
  21. මේක කියෝපුවහම මටත් ඇතිතේ මතක් උනා බං! බෑන්ඩ් ගැහුවේ නැති උනත් මමත් කැඩෙට් කොලානේ!!! ඔයිට දෙවෙනි නෑ අපේ වැඩත්!!

    ReplyDelete
    Replies
    1. ඉතිං නාඩිය වෙලාවක කොටපන්කො අලුත් නාඩියක් බොලාගෙ කැඩෙට් ජීවිතේ ගැන...

      Delete
  22. නියම සෙට් එකක් අයියේ... ඒ වගේම ගොඩක් රසවත් නියම පොස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයා බොලාගෙ අදහසට... සෙට් එක අදත් ඒ වගේම සහෝදරත්වයෙන් එකට ඉන්නවා...

      Delete
  23. අප්පට සිරි සිරා ඉස්කෝලෙත් ගිහිල්ලා යකෝ

    ReplyDelete
    Replies
    1. ඔව් බොලං අපි ඉස්කෝලෙත් ගියා...බොලාලා කට්ටි පැන්නට අපි මක්ක කොරන්නද

      Delete
  24. සමහර විද්‍යාලවල තියෙන සමහර කාමරවල පාසලේ නැතිවූ බඩු බාහිරාදිය රැසක් මැනවින් සුරක්ෂිතව තබා තිබෙන ආකාරය අත්දැකීමෙන්ම දනිමි :D

    ReplyDelete
    Replies
    1. ඉතිං ඒ අත්දැකීමෙන් ලත් තොරතුරු වෙලාවක අකුරු කලොත් නරකද...

      Delete
  25. හොර කුරුම්බා කතාව තුල සැඟවි ඇති කතාව ඉතා සංවේදීය

    ReplyDelete
    Replies
    1. කොල්ලො පුදුමාකාර විදියට දුක්වින්දා ඒ කාලෙ... අපිට කරන්න වෙන බාහිර ක්‍රියාකාරකම් නැතුව නෙමෙයි...අපේ පාසල උසස් තත්වයේ එකක් වුවත් අපිට ලැබුනෙ කුඩම්මාගෙ සැලකිලි. අපි හැමෝටම බෑන්ඩ් අමාරුව තදට තිබුනෙ නැති නිසා කවුරුවත් අයින් වෙලා ගියෙත් නෑ...

      Delete
  26. බාහිර ක්‍රියාකාරකම් වලදී සමාජයීය දැනුමත් වැඩිවෙනවානේ.පොත්ගුල්ලෙක් වගේ පොතටම ඇලිල ඉන්නවට වඩා !
    අනේ අනේ මේ කොල්ලන්ගේ වැඩ! :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත... පන්තිකාමරේ කාලජේද 8 විතරක් අධ්‍යාපනය ලබපු අය තුල උගත් කම තිබුනත් බාහිර සමාජය එක්ක ගණුදෙනු කරන විදිය ගැන ඇති දැනුම බින්දුවයි. පෞර්ෂයත් සැළකිය යුතු වර්ධනයක් වෙලා නෑ...

      අපි සෝයි නේද ඒ කාලෙ..

      Delete
  27. පාසල් කාලේ ඒ ලද පුහුණුවෙන් අදටත් සිරා දක්ෂ හොර පොල් කඩන්නෙක්ද?

    ඔන්න ඕක මම නම් එහෙම නෙවේ ඇහුවේ ඈ

    ReplyDelete
    Replies
    1. ආයෙ මුල ඉදන් කියවලා බලහන්...කොහෙද බන් මම ගස් බඩගෑවා කියලා මේකෙ තියෙන්නෙ... 5 ටෙෆියක් කාලද පෝස්ටුව කියෙව්වෙ.. හික් හික්...

      Delete
  28. අකැමැති පීරියඩ් එකක යකඩ පීකරෙන් මොනව හරි කණ්ඩායමක එවුන්ට එන්න කිව්වාම අපේ පන්තියෙ භාගෙකට වැඩිය ගිය අවස්ථා බොහොමයි :ඩී

    ReplyDelete
    Replies
    1. කොල්ලො හැමෝම ඒ වගෙයි එහෙනං...

      Delete
  29. mama 5CC CSM (Company Sargent Major) kenak. Cadet platoon ekan labuna vinaya adath mage jevitaya tiyanawa. camp jevitaya kiyala wadak naha.
    Jayawewa,
    Sajith.
    1 cc - Hikaduawa MMV
    2 CC - Balana MMV
    3 CC - Pannipitiya Darmapala MMV
    4 CC - Ibagamuwa MMV
    5 CC - Anuradhapura MMV

    ReplyDelete
    Replies
    1. හදුනාගැනීමට ලැබීම සතුටක්.... අපි 7cc

      කැඩෙට් ජීවිතයෙන් ලද පරිචය නිසාම තමයි ප්‍ර‍ශ්න හමුවේ නොසැලී සිටින්න ශක්ථිය ධෛර්යය ලැබුනෙ...

      Delete
  30. කෝ මේ සිරා අයිය තාම ඇවිත් නැහැ නොවැ

    ReplyDelete
  31. ඊයේ දාපු කොමෙන්ට් එකට මොකද්ද වෙලා.උඹලගෙ බෑන්ඩ් දෙකයි , කැඩෙට් ප්ලැටූන් එකයි ගැන මොන කතාද ? සුපිරිම තමයි . හැබැයි ඉස්සර ඉදල උඹලට pilot ල අඩුයි,වේයන්ගොඩ සෙන්ට්‍රල් එකෙන් තමයි pilot ලව ට්‍රෙන් කරේ. අනික උඹල බාල්දියයි බොලොක්කෙයි ඉස්සුවෙ අපේ යාලුවෙක්ගෙ ගෙදර , කවද හරි හොරු මාට්ටු වෙනව කියනවනෙ

    ReplyDelete
    Replies
    1. මම ස්පෑම් වලත් බැලුවා බන් එතන තිබුනෙත් නෑ බොලාගෙ කොමෙන්ටුව...

      අපේ කැඩෙට් උන් මේ සැරේ ගේම දීලා තියෙනවා... මේ තුන්දෙනාගෙන් කවුරු හරි බොහෝ වෙලාවට පාසලේ නම තියනවම තමා...

      වේයන්ගොඩ කථාව පොඩ්ඩක් පැහැදිලි කලොත් හොදා...එතන මට පැහැදිලි නෑ..

      මළා... බොලාගෙ යාලුවෙකුගෙ ගෙදරක් නම් අපිට දැන් පොලෝසියේ ලගින්නත් වෙයිද... හැබෑට ඒ අය මොකෝ කිව්වෙ ඊට පස්සෙ... කවදහරි හොරු අනිවාර්යෙන්ම අහුවෙනවා... ඒ නිසා හොරකම් කරන්න නරකයි.. ඒක ඇත්ත.

      Delete
    2. වේයන්ගොඩ සෙන්ට්‍රල් එකේ පොල්ගස් 150 ක් විතර තිබුන ඒක හින්ද මුළු කැඩෙට් ප්ලැටූන් එකටම වලල්ලක් නොදා බූට් දෙක දාගෙන ගස් නගින්න අනිවාර්යයි. ඉස්සර අපි එකට ට්‍රේනින් කරනකොට උඹලගෙ උන්ට ශිල්පෙ දෙනව. ඕක හරියට ඉගෙනගත්ත කැඩෙට් බෑන්ඩ් සාජන් (90 දශකයේ ) අද ගුවන් හමුදාවේ ලොක්කෙක් දන්නව ඇති ලොක්කව....D
      බාල්දි වැඩේට ගිය ගෙදර උන්ට ඒක ගානක් නෑ. හැමදාම උන්ට ඔයවගේ දේවල් වෙනව. තැබිලි ඉතින් ඉස්කෝලෙම උන්ට ඇරල තියෙන්නෙ.

      Delete
    3. ලස්සන අතීතයක්.... පොල් ගස් නැගලා පුරුද්දටම වෙන්න ඕනෙ අපේ මෑන් ගුවන් හමුදාවටම ගියේ... තොරතුරු වලට ස්තූතියි...

      Delete
  32. බෑන්ඩ් කතා ටික ඔක්කොම එක පාර කියවන්න තරම් හිතෙනවා. නියමයි සිරා අයියේ මේ පටන් ගත්ත විදිහ දිගටම බෑන්ඩ් කතා සීරීස් එකක් ගෙනියමු...ස්කොලේ කාලේ ගැන කතා කියවනකොට හිතට අමුතුම හැඟීමක් එනවා

    ReplyDelete
    Replies
    1. විඩෙන් විඩේ බෑන්ඩ් කථා ලියන්නම්... ඒ අතර බොහොම රසවත් සිදුවීම් එහෙමත් තියෙනවා...පාසල් කාලෙ ඉතිං බොහොම සුන්දරයි... අපිට ඉතිං ලොකු වගකීම් එහෙම ඔලුවෙ තිබුනෙ නෑ නොවැ ඒ කාලෙ...

      Delete
  33. මට අර සින්දුව මතක් වුනා.. "සමනල රෑනක් සේ ඉගිලී...."

    ReplyDelete
    Replies
    1. අකුරට ගිය පාසල් කාලේ
      ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි
      ඒ ලස්සන කාලේ...

      සාමලා අමරලා පොත් තුල තව ඇත
      එන එන අය හා යාලු වෙවී
      අප පොත් වල දුටු රජවරු
      වෙන්නයි කවුරුත් සිත් මැව්වේ....

      Delete
  34. මාත් බෑන්ඩ් ප්‍රැක්ටිස් ගියා 6 වසරේදී.ඒත් ලොකු එවුන් දුන්නු වද හින්දා බෑන්ඩ් වැඩේ අත්හැරියා.
    :(

    ReplyDelete
    Replies
    1. බෑන්ඩ් ගහන එක කට්ටක් තමා බන්... ඒ උනාට අද ඒ කාලෙ මතක් කරද්දි හරිම සුන්දරයි... අපිත් පොඩි එව්වො කාලෙ අම්බානක ගුටි කාලා ඇති.

      Delete
  35. විනාඩි දහයක් විතර කොටපු කොමෙන්ටුව අහක ගියා ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් ඇවිත් .. අය්යෝ

    කිව්වා දේ කෙටියෙන් කියන්නම් .

    සිරාට මාර අත්දැකීම් ගොඩක් තියෙනව . ඇත්තටම පොතේ පතේ දැනුම විභාගෙන් පස්දු ගොඩක් දේවල් අමතකයි . ඒ වුනාට අනෙක් දේවල් තමයි සුන්දර මතක .


    සන්ගිතෙවත් ක්‍රීඩාවත් නොකලට චිත්‍ර , කළා අංශ වලින් ඉස්කෝලේ ගොඩක් දේවල් මන් කළා . ඒ ගැන ලියන්න ඕන . සිරාගේ පොස්ට් කියෙව්වම මට ලියන්න ගොඩක් ඒවා මතක් වෙනවා .

    සිරා බණ්ඩාර නායකයේ නේද . අපේ අක්කගේ පුතා දැන් ඉගෙන ගන්නේ එහෙ .

    ReplyDelete
    Replies
    1. ඔබේ ඒ මතකයන් ඉදිරි දිනයක නෙළුම් විලේ කුසුමක්ව පිබිදේ යැයි සිතමි. ස්තූතියි විනාඩි 10 ක් වැයකරන්න කාරුණික වුනාට... අන්තිම ප්‍ර‍ශ්නෙට උත්තරේ ඔව්... අපේ පාසලේ උන්ගෙ මම දකින විශේෂත්වයක් තමයි, පාසලෙන් සමුගත්තත් නිතරම පාසල් ඒමට තියෙන කැමැත්ත... ඒ නිසාමයි වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල බලන්න අපේ උන් අදත් ළමයි වඩාගෙන පාසල් එන්නෙ... අක්කගෙ පුත්‍ර‍යා එළ කොල්ලෙක් වෙයි... ආයෙ බලන්න දෙයක් නෑ...

      Delete
    2. ඌ එල කොල්ලෙක් තමයි. කොහෙද අපේ අක්ක වැඩිය උනන්දු නැහැ ක්‍රීඩා වලට හෙම යවන්න . මන් මේ පාර ගියහම කියන්නම් සිරා ගැන . කොල්ලගේ තාත්ත ගම්පහ රෝහලේ වැඩ . නෙවි එකෙන් අයින් වුනාට පස්සේ . ලෝකය හරිම පුංචියි . සමහර විට මට ගම්පහ හන්දියේදී සීරාව හමු වෙන්නත් ඉඩ තියෙනවා කවදා හරි

      Delete
    3. ලෝකය පුංචියි තමයි...ලබන වසරෙ මුල මම සිංහපුරයට එන්න නියමිතයි...එහෙම වුනොත් ඔය පැත්තටත් එන්න හැකි වේවි...

      Delete
  36. සිරා කොල්ලො ටිකක් තමයි. මේ වගේ ඉස්සර සිදුවීම් ලියද්දි අනිවාර්යෙන් කියවලා කමෙන්ට් එකකුත් දාන්න හිතෙනවා කොයි තරම් වැඩ තිබුණත්

    ReplyDelete
    Replies
    1. කොලු කාලෙට එහෙම වැඩක් කරපු නිසා තමයි ඒ අතීතය මතක් කරලා අද අපට සතුටු වෙන්න පුලුවන්... බෑන්ඩ් එක කියන්නෙ ඒ දවස් වල අපේ ජීවිතේ...

      Delete
  37. nice work buddy keep it up. great pleasure to meet OB OF BC we are always proud of our cadets & bands. today we speak about our school proudly beacuse of the great comitment of guys like you.
    Nayakanz RULZ

    ReplyDelete
    Replies
    1. its a pleasure me too dear bro... we all know well our great Nayakanz never defeat & all over the world they are living as successful people coz mother BC... you know well what kind of sacrifice made by our Cadet guys for our school pride...they are always shining with the college flag....Iam so happy about my past, i had 8 years there & absorbed lot of stuff to direct my life to the success....

      Delete
  38. කියවන්න එන්න ටිකක් පරක්කු උනා..
    ශිෂ්‍යභට සම්බන්ධයෙන් මටත් අත්දැකීම් ගොඩාක් තියෙනවා. 2005 වසරේ තුන්වන බලඇනියේ රෙ.උ.පා.සැ.මේ(RQ) නිලය බණ්ඩා දැරුවා. පීරියඩ් කට් වෙනවා කියලා ගුරුවරු නම් හැමදාම කතන්දර කිව්වා. ඒත් ප්‍රැක්ටිස් නොකර ඉන්න බැරි තරමට ඒ දවස්වල කැඩෙටින් උනක් හැදිලා තිබුනා. අපිත් ඔය වගේ පාසලේ පලදාව නෙලා ගත්තා. ඒ අපේ බාවිතයට. සතියකට දවසක් දෙකක් අපි දවල් කෑම ඉස්කෝලෙදි හදා ගත්තා. බාල දක්ෂ කුටියෙන් ඒ සදහා සියලු පහසුකම් ලැබුනා.

    බොහොම සුන්දර මතකයන්.
    ජය..

    ReplyDelete
    Replies
    1. අපූරු අතීතයක් නොවැ... ඇයි බණ්ඩො මේවා අකුරු කරන්නෙ නැත්තෙ.... උඹේ බ්ලොගියෙ... වෙලාවක ලියපන්...

      Delete
  39. මගෙත් යාලුවෙක් හිටිය වජිර කියලා බෑන්ඩ් ගහපු එකෙක් ,,, දන්නවද දන්නේ නැහැ ... බොලාට වඩානම් වැඩිමල් ඇති ....

    ReplyDelete
    Replies
    1. ඒ නමින් අපේ කණ්ඩායෙමේ කිසිවෙක් නෑ... සමහර විට අනෙක් කණ්ඩායම් වල ඉන්න ඇති...

      Delete
  40. මගෙත් උසස්පෙළ සාපෙළ කාල ගෙවුනේ විෂය බාහිර දේවල් එක්ක. ඉස්කෝලේ මොන සංගමේද තියෙන්නේ මම එතන ඇති. ඉස්සර අනිතිම කාලේ වෙද්දී අපේ කොල්ලෝ මොකක්හරි එකක් පටන්ගන්නවනම් ඇවිත් මාව ඇදගෙන යනවා. අන්තිමේ අස්වීමේ සහතිකේ සංගම් ටික ලියද්දි අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමා කියනවා, ඈ කොල්ලෝ උඹ ඉස්කෝලේ මේ හැම එකේම හිටියද?? ඒත් උඹට මුකුත් කම්ප්ලේන් නෑ නේ?? කියලා.. කම්ප්ලේන් කොහේ එන්නද අහුවෙන්න එපැයි ඒ ටික වෙන්න. :)

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි ක්සැන්ඩර්...ඒ බාහිර ක්‍රියාකාරකම් නිසා උකහා ගත්ත දැනුම අද කෙතරම් ඔබේ කටයුතු සදහා උපකාරී වනවාදැයි ඔබ දන්නවා..මමත් ඒ දේ තමයි මේ පෝස්ටුවෙන් අවධාරණය කරන්න හැදුවෙ... ඔය අහුනොවෙන්න කරපු එකක් දෙකක් වෙලාවක ලිව්වොත් නරකද...

      Delete
  41. නියමයි සිරා... මං හිතන්නෙ උඹ මට වැඩිය අවුරුදු දෙකක් වැඩිමල්. උඹ කියපු දේ ඇත්ත. 2002 අවුරුද්දෙ කැඩට් බෑන්ඩ් එකක් වෙනකම් සහ 2003 අවුරුද්දෙ සමස්ත ලංකා ශූරතාවය දිනා ගන්නකම් අපරදිග තූර්ය වාදක ඛණ්ඩයට කිසිදු පිළිගැනීමක් පාසල තුළ තිබුනේ නෑ. මට මතකයි ඊට කළින් පැවති නිවාසාන්තර උත්සවවලදි මුලින්ම පිටියට එන බටහිර තූර්ය වාදක ඛණ්ඩයට සහ ඊට පසුව පැමිණි පෙරදිග ශිෂ්‍යභට තූර්ය වාදක ඛණ්ඩයට ලැබුණු ප්‍රතිචාර අතර තිබුණු වෙනස. ඒත් දැන් තත්වය ඊට හාත්පසින්ම වෙනස්.

    2003 අවුරුද්ද පාසලේ ශිෂ්‍යභට ඉතිහාසයේ අමතක නොවන වසරක්. අපරදිග ශිෂ්‍යභට තූර්ය වාදක ඛණ්ඩය (Western Cadet Band) දිවයිනේ ප්‍රථම ස්ථානයත් (ප්‍රථම වතාවට), පෙරදිග ශිෂ්‍යභට තූර්ය වාදක ඛණ්ඩය (Eastern Cadet Band) දිවයිනේ දෙවන ස්ථානයත්, ශිෂ්‍යභට ඛණ්ඩය (Cadet Platoon) දිවයිනේ දෙවන ස්ථානයත් වශයෙන් සියලූම අංශයන් ශූරතාව හෝ අනුශූරතාව දිනූ වසරක් ඒක. මං හිතන්නෙ සියලූම ශිෂ්‍යභට අංශයන්ගෙන් දස්කම් පාන එකම පාසල තමයි අපේ පාසල. හරිම ආඩම්බරයි ඒ ගැන. ඔබලා සැම සිදු කළ සහ සිදු කරන කැපවීමේ මහඟු ප්‍රතිපලය තමයි ඒක.

    (පාසලට කවදත් ආදරේ ඇති බණ්ඩාරනායකයේ කොල්ලෙක්)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයා... ඔබ වගේ පාසල් සහෘදයෙක් මගේ කාමරයට පැමිණීම මට ඉතාමත්ම සතුටක්... ඔබ දක්වලා තියෙන තොරතුරු සියල්ලම 100 % නිවැරදියි...

      Delete
    2. මේ තියෙන්නේ සිරාගෙ නමත් මේකෙ. :)

      http://nayakancadets.org/westernBand.php

      Delete
  42. Mama ahamben ada thama Sirage blog ekata set une. Mata apahu iskoole kaale wage inna athnam kiyala hitenawa. Mama dan inne Sydney unata igenagatte Lankawe, wisthara anuwa Sirage age ekemai mamath..aa kaale karapu weda nisa apith guti kaala berila hitiya athi! Sirage katha kiyewwama mata mula idhala mage kathaath mathak wenna gaththa..
    Liyana eka nawaththanna epa, obata rasikayo oonatharam idheewi..mage suba pethum!

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා මාෂ්

      ස්තූතියි ඔබේ කොමෙන්ටුවට... ඔබ වැනි මා දිරිමත් කරනා අය වෙනුවෙන් දිගටම ලියන එක ලියනවා... ජය !

      Delete
  43. Malli eala eala..!!!!Mama loku aiyage(Andayage) yaluwek... 98 set eke.. Ube blog eaka eala.... meka kiyapuwama scool kale godak mathak una.... Thanx ubata...Ube nama Nasiyar kiyala aha gaththa Andayagen..... Ape eakek me wage wadak karana eaka gana godak adambarai malli...ubata jaya wewa.. Hettiya

    ReplyDelete
    Replies
    1. අයියා බොහොම සන්තෝෂයි ඔබේ ආගමනය ගැන... ඉඩක් ලැබෙන පරිදි අතීත සිදුවීම් ඇත්ත ඇති සැටියෙන් ලියන්න තමා කල්පනාව... දිගටම මේ පැත්තට එන්න... ජය !

      Delete
  44. ගහ බදාගෙන ඉන්න ජෝතියා හුස්ම ගන්නෙත් නැති තරම්....ඒකාට හදවත් රෝගයක් හෙම තිබුනා නම් :D
    මට ඒ දර්ශනය නිකම් මැවිලා පේනවා වගේ.. :D
    ඇත්තටම පාසල් ජිවිතයේ තමයි ළමා කාලයේ සුන්දරම මතක සැමරුම් තියෙන්නේ..
    තමන් ගේ පාසල ගැන කෙනෙක්ට පහු කාලෙක ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් නම් එක ලොකු දෙයක්, ඒ වගේම පාසල් කාලයේදී විෂය බාහිර ක්‍රියාකාරකම් වල නියැලිච්ච අයට නම් අනිත් අයට වඩා රසබර මතකයන් ගොඩක් තියේවි.. මං ඉගෙනගත්තු මිශ්‍ර පාසල මගේ ළමා කාලය වර්ණවත් කරා කියලයි හිතෙන්නේ ... සිරා bro හොඳට තමන්ගේ අත්දැකීම් ලියලා තියෙනවා.. සුබ පැතුම් !! තවත් ලියන්න ,, අපි කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... කොමෙන්ටුවක් එක් කලාට... දිගටම මේ පැත්තට ආවොත් තවත් රස බර දේ කියවන්න ලැබෙයි....

      Delete
  45. macho ape school eke band eka gana dakkaham godak sathutui.chamiyawai cowwawai contact karaganna widihak nahane.mamath e dawaswalama eastern band eke hitapu porak.chamiyage class ekemai.kohoma unath mage hadawathinma suba pathum macho

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... අපේ පාසලේම පැරණි අය හදුනාගන්නට ලැබීම අතිශයින්ම සතුටට කාරණයක්...

      Delete
  46. ඔෆිස් එක පිටිපස්සේ අඹ ගසේ නම් පයිලට්කමක් කර තිබුන ද වසරේ දක්ෂතම සම්මානයත් දිනූ පයිලට්ලා අප සමඟ සිටි නිසා වැඩි හරියකට මහන්සි වීමට සිදු වූයේ නැත..
    :)

    සම්මානලාභීන් ගේ දක්ශතාවය කෙතරම් ද යත්... සවස 7ට පමණ නිවැසින් සිටින අවස්ථාවක තඩි පුවක් ගසා මුලින්ම කපා අඩි සද්දයක් වත් නොනැඟෙන සේ ඒය බිමට බා කොටින්ම අයිතිකාරයාටවත් දින දෙකක් යනතුරුත් එතන ගසක් තිබුනාදැයි සිතාගත නොහැකි ලේස ඉතාමක් සූක්ෂම අයුරින් එය සිදු කර තිබිණි.. හසු වූයේ ද දින දෙකකට පසු අසළ කුඹුරේ ගිලී තිබී පසුව ගොඩගෙන තිබුණු සුවිසක් පුවක් ගසක කරටියක් හමු වීම නිසා ය....
    -ඇසින් දුටු මෙහෙයුමට සම්බන්ධ වූවෙක් ගේ ප්‍රකාශයකි-


    ඉස්කෝලේ පෙරදිග අපරදිග තූර්ය වාදක කණ්ඩාම් මෙන්ම ශිෂ්ය භට කණ්ඩය ගැනද කීමට වදන් නැත... එය එතරම්.. සර්ව සම්පූර්ණය....

    මටත් මගෙ පාසල් කාලෙ මතක් උනා...
    මගෙ මතක වස්තුවෙත් ඔය ඉස්කෝලෙ සම්බන්ධ යම් යම් දේවල් තියේ.. ;)

    මට නම් පිං බිමක් - මතක සරණියක්...
    යෙහෙන් බෙලෙන් වැජඹේවා බණ්ඩාරනායක විදු මවුන්...

    http://mathakawasthuwa.blogspot.com/2011/08/13-x.html

    ReplyDelete
    Replies
    1. කාමරයට පැමිණියාටත්, කොමෙන්ටුවක් කෙටුවාටත් බොහොම ස්තූතියි... පාසල කෙරේ මා හට ඇත්තේ පුදුමාකාර ආදරයක් හා භක්තියක්... සිරා මනුස්සයෙක් උනේ එතැනින් බව ඕනෑම තැනක කියන්නෙ අභිමානයෙන්...ඒ පැත්තටත් වෙලාවක එන්නම් ...

      Delete
  47. අඳුන ගන්න ලැබීමම සතුටක්. මං මේ ෆේස් බුක් එකෙන් දැක්කේ මේ ලිංකුව. කලින් ආවත් ඉතින් අයියා අපේ ආදි ශිෂ්ෂ‍යෝ කියල දැන ගත්තේ අද. එළ එළ...

    ReplyDelete
    Replies
    1. ඔබව හදුනාගන්නට ලැබීම මටත් සතුටක් මලේ...කොහෙ හිටියත් 2018 විදුහල් මාතාවට අවුරුදු 100 පිරෙන දවසට එතන ඇති.

      Delete
  48. සිරාවටම මරු ඈ.......
    අපිත් ඔයා වගේ වැඩ කොරනවනේ....
    මගේ බෙඩ් ෂීට් එකකුත් ඉරුන තැබිලි බාන්න ගිහින්.....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ හොර තැඹිලි රහට කවුරුත් මනාපයි...ඇත්තටම හොරෙන් බොන තැඹිලි වල අමුතු රහක් තියෙනවා නේද ?

      Delete
  49. Malli Ubata Mawa Mathaka Neathuwa Eathi.... Ubalage Aruna Aiyagean Ahala Balapan Malliyo.. Thbili Bala .. Keaseal keanakuth Kapagana Apu Eakawa Mathakada Kiyala. A kalea Api Heneakinwath Hithuwada Meawage Blog Satahan walin Apea jeevithea Sundara Mathaka Sathan Ayeath Kawada Hari Deaka Ganna Leabeai kiyala.

    Thanks Malli Ubata... Weadea Ealakiri... Karagana Palayan Digatama...

    ReplyDelete
    Replies
    1. උදාර අයියා බොලාව කොහොමද බොලං මට අමතක වෙන්නෙ...අපි බෑන්ඩ් එකේ සූටි එව්වො විදියට හිටිය කාලෙ මහා පුරුෂයො වගේ හිටිය අයියලා අපිට අමතක වෙනවද...කාලෙකට පස්සෙ මේ විදියට බ්ලොග් අඩවියක් යට අපි දෙන්නා මුලිච්චි වෙයි කියලා මම කීයටවත් හිතුවෙ නෑ. හමුවීම සතුටක්. ජය !

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...