Sunday, April 23, 2017

49 නුවන් කුලසේකරගේ කදුළු සමග එක් වූ කන්දේගම සතුටු කදුළු

යුධ හමුදා ඇත්තන්ගේ අත් ගුණය මේ යැයි කියමින් සැකසුන කිරිබත්, සැන්ඩ්විච්, කැකුලු බත්, ඉඳි ආප්ප, ආප්ප වැනි ආහාර සමග එහි එක් රැස්ව තිබූ ව්‍යාංජන කීපයක රසද මුසු වූ විට මැවුන අපූරු මිහිර නිසාම අප මෙන්ම මේරියන්ස් සගයින්ද බඩ කට පුරා කෑමෙන් මිස කෑම මේසයෙන් නැගිට්ටේ නැත.

කෑම ගොඩාක් රසයි...හැමෝටම බොහොම පින්...

අපේ ප්‍ර‍තිචාරයෙන් ඉතාම සතුටට පත් වූ ආහාර සකස් කල යුධ හමුදා ඇත්තන් අප අතර සිටි ජනප්‍රිය චරිත සමග ඡායාරූපයක් ගන්නට මාන බැලූවේ ඉන් අනතුරුවයි. ඒ සෑම ඉල්ලීමකටම නුවන් කුලසේකර, සචිත්‍ර‍ මෙන්ම නලින් අයියාද දැක්වූවේ ඉතාම නිහතමානී ප්‍ර‍තිචාරයන්ය. මේ සෑම ඉල්ලීමක්ම ඉක්මනින් ඉටු කොට, අරුණළු ආධාර නඩය වෙත නොමිලයේම රස නහර පිනා යන ආහාර වේලක් සකස් කොට ලබා දීමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකල හඹරන වෛද්‍ය බලකා කඳවුරේ දෙවැනියා වූ යුධ හමුදා වෛද්‍ය නිළධාරිනියට අපගේ නොවක් ස්තූතිය එක් කොට ඉක්මනින්ම කන්දේගම විදුහල් පියස වෙත පිවිසෙන්නට අපි තීරණය කළෙමු.

මෙම ලිපියේ පළමු කොටස කියවා නැති අය මෙම කොටසට ප්‍ර‍ථම එම කොටස කියවීමෙන් මේ කියනා හරුපය මැනවින් වැටහේවි.

අප රැගත් බස් රථයට පසුපසින් මේරියන්ස් ඇත්තන්ගේ වෑන් රථය ස්ථානගත වූ පසුව කන්දේගම පාසල වෙත අපේ ගමන ආරම්භ වූවේය. ක්ෂේත්‍ර‍ චාරිකාව පිණිස වේලාසන මේ විද්‍යාලය වෙත සිරා කොලුවා පැමිණ සිටි නිසාම පාසල වෙත මග සොයා ගැනීම වඩාත් පහසු වූවේය. පොළොන්නරුව නගරය, ගිරිතලේ, මනම්පිටිය පාලම පසුකරමින් ඉඳිරියට ඇඳුන රථය මඩ කලපුව හන්දියෙන් දකුණට හැරී දිඹුලාගල පුදබිම දෙසට දිවෙන මාර්ගය, දළුකාන, අරලගංවිල පසුකරමින් දම්මින්නට ලගා වන්නට තවත් පැය එක හමාරක පමණ කාලයක් ගත වන්නට ඇත. ඒ අතරතුර ගත වූ සෑම අඩ පැයකටම වරක් උත්සව භූමියේ සිටින, සිරා කොලුවාගේ අතීත තූර්ය  වාදක ඛණ්ඩයේ සගයා මේජර් වික්‍ර‍මසිංහ සොයුරා උත්සව භූමියේ සූදානම වරින් වර මාවෙත සැළ කලේය.

මෙච්චර වෙලා අව්ව තිබ්බෙ නෑ...මේ දැන් අව්වක් වැටුනා...පොඩි උන් ටික අව්වෙ...ඉක්මනින්ම එන්න.

පාසල වෙත ගමන් කරන අතුරු මාවත අසල රථය නතර වන අවස්ථාවේම ඔහු එවදන් සැළ කලේය. ලොකු උත්සවයක් අනවශ්‍යයි යනුවෙන් මා කීප වතාවක් පාසල දැනුවත් කලද ඔවුන්ගේ පාසල් ඉතිහාසයේ මෙවැනි දිනයක් පෙර නොවූ විරූ නිසාම ඒ වදන් සමග විදුහල්පති තුමා සහ ගුරු මණ්ඩලය එකග වූයේම නැත.

පොඩි උන් අව්වේ ඉක්මනට යමු. 

එතෙක් වේලා සැහැල්ලු ඇදුමින් සිටි කුලේ සහ සචිත්‍ර දෙපල උත්සව භූමියට සුදුසු ඇදුමකින් සැරසී අහවර වූ වහාම අපේ බස් රථය පාසල් දොරකඩට ලගා වූවේය. ඒ වන විට යුධ හමුදා ඇත්තන්, ගුරු මණ්ඩලය, දෙමාපියන් මෙන්ම අවශේෂ ගම්වාසීන්ද පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ට අමතරව එම ස්ථානයේ අපේ ආගමනය අපේක්ෂාවෙන් පොදි කකා බලා සිටියෝය.

පාසලේ ගේට්ටුව අභියස කඳිම ගොක්කොළ තොරණක් ඉඳිවී තිබුනේය. එතැනදී පාසලේ විදුහල්පතිතුමාටත් කලියෙන් ඉතාම ලෙංගතුව අප පිළිගත් 232 බලසේනාධිපති බ්‍රිගේඩියර් අතුල මාරසිංහ මහතා අපගේ මේ වෑයම මහත් සේ අගය කළේය. මේ කුඩා පාසලේ මේ ලස්සන දිනය තවත් ලස්සන කරන්නට එතුමාගේ අණ පරිදි හමුදා සාමාජිකයන් පිරිසක් දින 5 ක් පාසලේ රැදී සිටිමින් අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කල බැව් ඒ අවස්ථාවේදී දැනගන්නට ලැබුනි. වල් බිහිව තිබූ ක්‍රීඩා පිටිය සැකසීම, උත්සව ශාලාව සැකසීම සහ ශබ්ද විකාශන පද්ධතිය සවි කිරීම, පාසල් දරුවන් වෙත උදෑසන ආහාර පිළිගැන්වීම ආදිය යුධ හමුදාවෙන් මේ වැඩසටහන වෙනුවෙන් එකතු වූ දෑය.




විදුහල්පතිතුමාගේ ලෙංගතු සිනහව සමග එක් වූ සුදෝ සුදු ජාතික ඇදුමින් සහ ළමා සාරියෙන් සැරසුන පුංචි දරු දැරියන් රත් පැහැති නෙළුමක් ආරාධිතයන් වෙත තිළිණ කොට පාසලේ පුංචි බුදු මැදුර සමීපයට අප කැඳවාගෙන ගියහ. එම රත් නෙළුම් බුදු සමිදු වෙත පුදා ජාතික ධජය සමග පාසල් ධජය ගුවනට ඔසවා උත්සවයේ කටයුතු නිළ වශයෙන් ආරම්භ වූයේ එයින් අනතුරුවයි. එහිදී ගායනා වූ විදුහලේ පාසල් ගීතයට තවමත් නිසි ලෙස නනුවක් යොදා නැති බැව් අප හට පසුව සැල වූවේය. සංගීතය විෂය සඳහා මේ විද්‍යාලයේ ගුරු භවතෙකු නොසිටීම එයට හේතුවයි.

232 බලසේනාධිපති බ්‍රිගේඩියර් අතුල මාරසිංහ මහතා
ජාතික ධජය වෙත තම ගෞරවය පල කරමින්





උත්සව ශාලාව වෙත පිවිසෙන මග පසෙක පාසලේ ගුරු මණ්ඩලය සිනාමුසුව අපගේ ආගමනය අපේක්ෂාවෙන් සිටියෝය. ඒ ඇත්තන් දැන හැඳිනගැනීමෙන් අනතුරුව ශාලාව වෙත පිවිසී පොල්තෙල් පහන් දල්වා මේ උත්සවය වෙනුවෙන් කදිම ආරම්භයක් ලබා ගන්නට අපට හැකි වූවේය. මේ පොල්තෙල් පහන ඉතාම නිර්මාණාත්මක අන්දමෙන් නිමකර තිබුනේද යුධ හමුදා ශ්‍ර‍ම දායකත්වයෙනි. ක්‍රීඩකයින්, කලාකරුවන්, වෛද්‍යවරුන් ඇතුලු අරුණළු සත්කාරයට නන් අයුරින් දායක වූ ඇත්තන් පහන් සිළු එකලු කරද්දී එයින් පැන නගින ආලෝකය මේ කුඩා පාසලේ දරුවන්ගේ අනාගතය මත පතිත වන ආලෝකයක් ලෙස මම කල්පනා කළෙමි.

පාසලේ ගුරු මණ්ඩලය හඳුනා ගනිමින්
උත්සව සභාව වෙනුවෙන් නිසි ලෙස සකස් කල න්‍යාය පත්‍ර‍යක් නැත. අප හට එවැනි යමක් සකස් කරන්නට කාලයක්ද නොවීය. එහෙත් ඒ සියලු දෑ කරට ගනිමින්, නියම වෘත්තීය මට්ටම මේ යැයි පවසමින් ස්වාධීන රූපවාහිනී සේවයේ ඉන්ද්‍ර‍සිරි සුරවීර හෙවත් සුරෙ අයියා තම අත්දැකීම් මනාව මුසු කරමින් මේ සභාව මෙහෙයවූ ආකාරය ඉතාම ප්‍ර‍ශස්ත බැව් කාගේත් අදහස වූවේය.


පූජා නර්ථනයෙන් පසු කන්දේගම කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති අයි ඉලන්දර මහතා පැවැත්වූයේ ඉතාම සංවේදී කථාවකි. තොප්පිගල මායිමේ පවතින පාසලක් ලෙස පසුගිය යුධ සමයේ අත්දුටු අමිහිරි සිදුවීම් මෙන්ම පාසලේ අවම පහසුකම් යටතේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්නට ගුරු මණ්ඩලය දරනා මහන්සිය පිළිබඳ ඉතාම ආයාසයෙන් තම හැගීම් වචන බවට පත්කල ඔහුගේ දෙනෙතින් කඳුළු කැට කඩා වැටුනේ වරක් දෙවරක් නොවේ. ඒවා උත්සව සභාවෙන් වසන් කරන්නට හෙතෙම කිසිම විටෙක නිරර්ථක උත්සාහයක නිරත නොවුනේය. නිදැල්ලේ කදුලු වලට පොළොව සිප ගන්නට ඉඩ හසර සැලසුවේය.


විදුහල්පතිතුමා
මේ සංවේදී කථාව අහවර වන විට සභා තොමෝ බෙහෙවින් සංවේදී වී සිටියහ. ඒ සංවේදී වටපිටාවේ අරුණළු වෑයම වෙනුවෙන් වචනයක් එකතු කරන්නට සිරා කොලුවා හට ආරාධනයක් ලැබුනි. මේ සංකල්පය පහල වූ අවස්ථාවේ සිට මේ උත්සවය පවත්වන අවස්ථාව දක්වා විදින්නට වූ දුක්ඛ දෝමනස්සයන් මෙන්ම දරන්නට වූ මහන්සිය පිළිබඳවත්, අපේ අරමුණු හා අභිමථාර්ත පිළිබඳවත් මගේ කථාව තුලදී සඳහන් කළෙමි.


අකලට දිරා ගිය මුහුණුවරින් යුතු වූ මේ කුඩා පාසලේ දුවා දරුවන්ගේ දෙමාපියන්ගේ, මුහුණු තුලින් ඔවුන් මේ සමාජය තුල තම තමන් නිරත වන ජීවන අරගලය, දරිද්‍ර‍තාවය පිළිබඳ කඳිමට සාක්ෂි සැපයූහ. ගැඹුරේ ගිලුනු ඔවුන්ගේ ඇස් ගෙඩි වේදිකාවේ කථා කරන මාගේ යුග දෙනෙතට සම්මුඛ වන විට, ඉතාම සංවර ලෙස උත්සව සභාවේ අසුන් ගෙන පොළවේ පතිත නොවන පුංචි දෙපා දෙපසට වනමින් සිටින පොඩි උන් දකින විට මමද බෙහෙවින් සංවේදී වූවෙමි.



ප්‍ර‍ධාන ශාලාවේ පැවති උත්සවයේ පළමු භාගය එතෙකින් අවසන් කොට විදුහලේ පුංචි ක්‍රීඩා පිටිය වෙත පිවිසෙන්නට එයින් අනතුරුව අවස්ථාව එළැඹිනි. අරුණළු අප විසින් එහි රැගෙන ගිය ක්‍රීඩා ඇඳුමින් සැරසුන පුංචි ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් එහි වූහ. ජීවිතයේ පළමු වරට විදුහලේ නම සඳහන් ක්‍රීඩා ඇඳුමකින් ඔව්හු දැන් සැරසී සිටිති. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින් මෙහෙයවන කණ්ඩායම් දෙකක සාමාජිකයන් වන්නට ඔව්හු දැන් සිහින මවති.

අප එහි ගිය බස් රථය වෙත සැනෙකින් පිවිසි කුලේ සහ සචිත්‍ර‍ මේ තරගයට උචිත අයුරින් සැරසී නැවතත් ක්‍රීඩා පිටියට පිවිසෙන විට ගමේ ඇත්තන්ගෙන් ලැබුන පිළිගැනීම සංවේදී මිනිසුන් ලෙස ඔවුනට ජීවිතයේ කිසිදු කිසි දිනයක අමතක වන්නට නොහැක. හතර අතින් ලෙංගතු ප්‍ර‍තිචාරයන් ලැබෙන විට ඔවුන් දෙපළ ක්‍රීඩකයන් තෝරාගෙන කණ්ඩායම් දෙකක් සකසා ගත්හ. ජාත්‍යන්තර තලයේ සිටින ක්‍රීඩකයින් දෙපළක්, ලංකාවේ ඈත ඉසව්වක වඩාත් ප්‍ර‍සිද්ධ නැති පුංචි පාසලක දරුවන් සමග ගිණි අව්වේ සැහැල්ලු පන්දු ක්‍රීඩා කලායැයි විශ්වාස කිරීමත් ඇතමෙකුට අපහසු වන්නට හැකිය. එහෙත් නිහතමානීකම ඕනාවටත් වඩා ඇති, පොළවේ පය ගසා ජීවත් වන මිනිසුන් වූ කල එවැනි විශ්මිත දේවල් සිදුවන්නට බැරි නැත. 

මේ තරගය වෙනුවෙන් ක්‍රීඩා පිටිය සකසා, උත්සවයේ ආරාධිතයන්ට අසුන් පනවා, හිසට සෙවනක් සලසා, තරගයේ විස්තර ප්‍ර‍චාරය වෙනුවෙන් අවැසි ශබ්ද විකාශන උපකරණ උස් තුරු මුදුන් මත රඳවා මහත් වූ සේවයක් සැලසූවේ ශ්‍රී ලංකා යුධ හමුදාවයි. ඒ සඳහා වෙහෙස මහන්සි වූ යුධ හමුදා නිළධාරී මහතුන් මෙන්ම අවශේෂ ඇත්තන්ද ඉතාම සොම්නසින් මේ තරගය ආරම්භ වන තුරු ආශා සහගත දෑසින් බලා සිටියෝය.


කාසියේ වාසිය උරගා බැලීමෙන් පසු සචිත්‍රගේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙන විට කුලේ තම පන්දු රකින්නන් පිටියේ ස්ථානගත කරමින්, තම කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් පන්දු යැවීමේද නිරත වූවේය. පන්දු ඕවර 5 කට සීමා වූ තරගයේදී මේ පුංචි දරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් මොනවට ප්‍ර‍දර්ශනය වූවේය. සෑම දැවීයාමකදීම කුලේ වටා එකතු වන පුංචි උන් වෙත ඔහුගෙන් ඔවදන් ලැබුනේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන  කුලේගේ කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යන විට සෙසු ක්‍රීඩකයන් වෙත උපදෙස් දෙමින් තරගය ජයග්‍ර‍හණය කරන්නට ඔහු දක්වන උනන්දුව දුටු ආරාධිතයන් බොහෝ දෙනෙකු කීවේ කුලේ යනු විහිලුවටවත් තරගයක් පරදින්නට අකමැති ක්‍රීඩකයෙකු බවයි. ඒ කියමන සනාථ කරමින් මේ තරගයේ අවසානයේ ජය සනිටුහන් කරන්නට ඔවුනට හැකි වූවේය.




උතුරු මැදට පතිත වන දැඩි හිරු රශ්මියේ දැවෙමින් ක්‍රීඩා කර දහඩිය වගුරුවා සිටි කුලේ සචිත්‍ර‍ දෙපල දුටු විට මේ ජාත්‍යන්තර ක්‍රීඩකයන් දෙදෙනෙකු යැයි විශ්වාස කරන්නටත් අපහසු තරමට ඔවුන් ගමේ ඇත්තන් සමග කුළුපග වී සිටියහ. කිසි දිනෙක කන්දේගම ග්‍රාමයේ දකින්නට නොලැබුන මෙවැනි තරගයක් දැකගන්නට ගම් වාසීන් බහුතරයක් පාසල තුලත් ඉන් පිටතත් රැදී සිටියෝය.




අරුණළු අප වෙනුවෙන් පාසල විසින් සංවිධානය කල උදෑසන තේ මේසය වෙත ඒ කලාපයේ භාවිතා වන විවිධ රස කැවිලි වර්ග රාශියක් එකතු වී තිබුනි. ඒවා සන්තර්පනය වීමෙන් අනතුරුව උත්සව ශාලාවේදී උත්සවයේ දෙවැනි කොටස ඇරඹුනේය.

අරුණළු අප විසින් එහි රැගෙන ගිය ක්‍රීඩා භාණ්ඩ මෙන්ම සංගීත භාණ්ඩද නිළ වශයෙන් පිළිගැන්වීමට කලාකරුවන් මෙන්ම ක්‍රීඩකයන් දෙපළද එක් වූහ. මේරියන්ස් කණ්ඩායම ඉතාම උසස් තත්වයේ වාදන භාණ්ඩ රැසක් මේ සත්කාර්යයට එකතු කලේ ලංකාවේ ඒවා නිපදවන ආයතන වෙත විශේෂ ඇනවුමක් ලබා දෙමිනි.



මල්ලි දෙන දේ හොඳම එකෙන් දෙන්න ඕනෙ.

නලින් අයියා පෙර දිනයක මා හට පැවසූ බැව් ඒ වෙලාවේ සිරා කොලුවා හට සිහි වූවේය. අරුණළු අපද අපට දිය හැකි හොඳම දෑ දිය යුතු බව තරයේ ඇදහූ නිසා කොළඹ සිසාරා යමින් මේ පුංචි පාසලේ දරුවන්ට හොඳම දෑ මිළදී ගතිමු.

මේ කාර්යයන් අහවර වීමෙන් පසු වේදිකාවේ ඉඩ හසර වෙන් වූයේ කුඩා දරු දැරියන්ගේ රැගුම් හා ගායනා හැකියාවක් දැකගැනීම වෙනුවෙනි. විද්‍යාලයේ ගුරුභවතුන් ඉතාම වෙහෙස මහන්සි වී මෙම දරුවන් වෙත නර්තන අංග පුරුදු පුහුණු කර තිබූ බැව් කා හටත් රහසක් නොවීය. එහෙත් සංගීතය විෂය උගන්වන්නට ගුරු භවතෙකු නොමැති හෙයින් ගායනා කිරීමට එක්වූ සියල්ලෝම උපතින් ඒ හැකියාව තුරුලු කරගෙන පැමිණි අයයි. මේ දරුවන්ගේ ගායනා කෞෂල්‍යයෙන් ඔදවැඩී සිටි සුරෙ අයියා මෙන්ම නලින් අයියාද මේ පාසලට සංගීත ගුරු භවතෙකු ලබාගැනීමට අවැසි මැදිහත්වීම් සිදුකරන්නට ශපත කළහ.




ප්‍රාථමික අංශය / චිත්‍ර‍ අංශය / ගෘහ විද්‍යා අංශය / සංගීත අංශය / ක්‍රීඩා අංශය වෙනුවෙන් ඔව්හු මූලිකව අපෙන් ආධාර ඉල්ලා සිටියත් ක්ෂේත්‍ර‍ චාරිකාවේදී ඔවුන්ගේ දුප්පත් පුස්තකාලය දැකගත් පසු ඒ වෙනුවෙන්ද අපේ ආධාරයක් ලබා දිය යුතු බැව් අපි තීරණය කළෙමු. ඒ අනුව පාසලේ සියලු වසර ආවරණය වන සේ 200 කට ආසන්න පොත් තොගයක් පුස්තකාලය වෙත පරිත්‍යාග කරන්නට අපට හැකි වූවේය. මේ අංශ වලට අමතරව පරිගණක අංශය / විද්‍යා අංශය වෙනුවෙන්ද සහයෝගය ලබා දෙන්නට අරුණළු අප කටයුතු කළෙමු.

ප්‍ර‍ධාන වේදිකාවේදී මේ සියලු පරිත්‍යාගයන් සිදු වූ පසු ක්‍රීඩාවෙන් ජය කෙහෙළි නැංවූ පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සහතික පත් පිළිගැන්වීම කුලේ සහ සචිත්‍ර‍ අතින් සිදු වූවේය. එහිදී වඩාත් කැපී පෙනුනේ 9 වසරේ අධ්‍යාපනය ලබන ශ්‍රියාණි මධුෂිකා නම් සිසුවියගේ දක්ෂතාය. මීටර් 100, 200, දුර පැනීම යන ඉසව් නියෝජනය කරන ඇය සමස්ත ලංකා මට්ටම දක්වාම පැමිණ සිටියේ නිසි ක්‍රීඩා පුහුණුකරුවෙකු හෝ ක්‍රීඩා පාවහන් යුගලක් හෝ නොමැතිව වීම කාගේත් අවධානය යොමු වූ කාරණයකි.

කන්දේගම ග්‍රාමය ආසන්නයේ ඇති වැවේ ධීවර කර්මාන්තයේ නිරත වෙන ඇගේ පියාගේ සොච්චම් ආදායම ජීවන සටන ජයගන්නට මෙන්ම ඇගේ ක්‍රීඩා ජීවිතයට අවැසි දෑ මිළදී ගන්නටත් ප්‍ර‍මාණවත් නොවන බැව් උත්සවයෙන් අනතුරුව අපට හමු වූ ඇගේ මාපියන් අප වෙත සැළකර සිටියේ හැඬු කඳුලෙනි. මේ කඳුළු දැක වඩාත් සංවේදී වූ අරුණළු සමග එහි ගිය ඇත්තන් ඒ අවස්ථාවේ ක්ෂණිකව ඇය වෙනුවෙන් සම්මාදම් කල මුදල රුපියල් 30000 කට මඳක් වැඩි වූවේය. මේ උත්සවය දවසේ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත අප පරිත්‍යාග කල හොඳම තත්වයේ ක්‍රීඩා සපත්තු ඔවුන්ගේ දෙමාපියන්ගේ ආර්ථික තත්වය හමුවේ මිළදී ගැනීම සිහිනයක්ම පමණකි. වර්තමානයේ ඇය මහේෂ් ගුරුතුමා යටතේ ක්‍රීඩා ඉසව් පුරුදු පුහුණු වන්නීය. දැනට පෙනෙන්නට තිබෙන දක්ෂතා අනුව මධුෂිකා යනු ලංකාවේ මිළග සුසන්තිකා වන්නට බොහෝ දුරට ඉඩ තිබේ.

මධුෂිකා වෙත මුදල් ත්‍යාගය ලබා දෙමින්

ප්‍ර‍ධාන උත්සවයට සමාගාමීව අප සමග ගිය වෛද්‍යවරුන් සමග පොළොන්නරුවෙන් අපට එක්වූ දන්ත වෛද්‍යවරුන්ද වෛද්‍ය සායනය ආරම්භ කොට තිබුනි. මේ සඳහා අවැසි සියලුම බෙහෙත් ද්‍ර‍ව්‍ය පරිත්‍යාගයන් ලෙස අපට ලැබී තිබීම මහත් සහනයක් වූවේය. පාසල් දරුවන් වෙනුවෙන් පමණක් වෛද්‍ය සායනය පවත්වන්නට අප සැලසුම් කොට තිබුනත් මේ පරිසරයේ වෙසෙන අසරණ වැඩිහිටියන්ද බලෙන්ම වාගේ බෙහෙත් ගන්නට පොර කෑ නිසාවෙන් ඔවුන් වෙනුවෙන්ද සායනයේ දොරගුළු විවර කරන්නට අපට සිදු වූවේය.



අප එහි ගිය පසුගිය මාර්තු 20 වන දින මේ කලාපයේ පැවති දැඩි රශ්මිය, ජනතාව පිරුන පුංචි පංතිකාමර වල සිරවී දහඩිය වගුරුවමින් මේ ජනතාව වෙත බෙහෙත් නිකුත් කල වෛද්‍ය වරුන් කල මෙහෙවර ඉහළින්ම අගය කල යුතු එකකි. මේ තද බදය නිසාම දිවා ආහාරයට කාල වේලාව එළඹෙන විට වේලාව සවස 3 ට ආසන්න වී තිබුනි. දිඹුලාගල අවට පරිසරයෙන් සොයා ගත හැකි කළමනා යොදා සකස් කොට නෙළුම් කොලයේ තබා පිළිගැන්වූ මේ ආහාර වේලට වහ නොවැටුන කිසිවෙක් අප කණ්ඩායමේ නොවූයේය. 

අනේ කෑම දෙන එක කරදර වැඩක්නෙ...අපි දවල් කෑම එක ආමි එකෙන් ගන්නම්...

මේ වැඩ සටහන සැලසුම් කරන්නට අරුණළු සහ පාසල අතර පාලමක් බඳු වූ මහේෂ් ගුරු තුමා වෙත වතාවක් මම පැවසූවෙමි.

මොන තරම් කරදර තිබුනත් ගමට එන කෙනෙක්ට සංග්‍ර‍හ නොකර යවන්න දෙමාපියො කැමති නෑ. එයාලා බොහොම කැමැත්තෙන් තමයි සංග්‍ර‍හ කටයුතු කරන්නෙ.

කුලේ සහ සචිත්‍ර‍ මෙන්ම සචිත්‍රගේ බිරිදද, මේරියන්ස් සහෘදයෝද මේ කෑම වේල රස බැලුවේ ඉතාම තෘප්තිමත් සිතිනි. අප ආහාර බුඳින දෙස බලා අනේ තවත් බෙදාගෙන කන්නකෝ යනුවෙන් දෙමාපියෝ මෙන්ම ගරු මණ්ඩලයේ ඇත්තියන්ද නොයෙක් වර පෙරැත්ත කලේ ඔවුන්ගේ සංග්‍රහශීලීත්වය මොනවට ප්‍ර‍දර්ශනය කරමිනි.

දිවා ආහාරයෙන් පසු එළැඹුන මද විරාමයේදී ගමේ ඇත්තන් සිත් සේ ජනප්‍රිය චරිත සමග ඡායාරූප ගත්තෝය. ඒ සඳහා කිසිම බාධාවක් නොවීය. ඒ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් තරු දෙපල ඔවුන්ගේ ගමේ කෙනෙකු තරමටම ඔවුනට සමීප වී සිටියහ.

පාසල වෙත පිවිසෙන තැනම ඉඳිකර තිබූ ගොක්කොළ තොරණ සකසන්නට ගම්වාසීන්ට දිණ 5 ක් ගත වී තිබුනි. ඔවුන්ගේ මෙන්ම ඉවුම් පිහුම් වලට දායක වූ ගම්වාසීන්ගේද එකම ඉල්ලීම වී තිබුනේ පැමිණි පිරිස සමග ඡායාරූපයකට පෙනී සිටීමයි. එය ඒ අයුරින්ම ඉටු වූවා පමණක් නොව ඔවුන්ගේ වෑයම අරුණළු නඩයේ සෑම කෙනෙකුගේම නොමඳ අගය කිරීමකට ලක් වූවේය.

අප වෙනුවෙන් ආහාර සම්පාදනය කල පිරිස සමග

අපේ උත්සවයේ අවසාන භාගයේදී තම පාසල් කාලය මෙනෙහි කරමින් මේරියන්ස් විසින් කලකට පෙර ගායනා කල සමනළ රෑනක් සේ යන ගීතය මේ සමස්ත සභාවේම සහයෝගය ඇතිව ඉදිරිපත් වූවේය.. ගීතයේ තාලයට ලොකු කුඩා දරුවන් අත්පොලසන් නැගූයේ පුදුමාකාර සතුටකිනි.



අප සමග මේ ගමනට පැමිණි කලාකරුවන් මෙන්ම ක්‍රීඩකයන්ද කෙටි වීඩියෝ අනුසාරයෙන් මේ දරුවන් වෙත හදුන්වාදීම සිදු වූයේ ඉන් අනතුරුවයි. ගිමන් හරිද දියඹ දිගේ ගීතය හැදුවෙ මෙන්න මේ මාමා යනුවෙන් අරුණ ගුණවර්ධන අයියා ඔවුනට හදුන්වා දෙන විට කන්දේගම ග්‍රාමයේද ඉතාම ජනප්‍රියව තිබූ මේ ගීතය ශ්‍ර‍වණය කොට තිබූ ගමේ ඇත්තන්ද මහත් විශ්මයෙන් යුතුව ඔහු දෙස බලා සිටියේය.

ගිමන් හරින දියඹ දිගේ අප කැන්දාගෙන ගිය අරුණ ගුණවර්ධන

නුවන් කුලසේකරගේ කෙටි වීඩියෝව වේදිකාවේ කොනක තබා තිබූ පුංචි තිරයේ ප්‍ර‍දර්ශනය වන විට ඒ දෙස මහත් සංවේදීව බලා සිටි කුලේගේ ඇස් දෙකම කදුලින් පිරී තිබුනි. ඔහුට අද දවසේ මේ වැඩසටහන දැනුන ආකාරය පිළිබඳ සුරෙ අයියා කුලේගෙන් විමසූ අවස්ථාවේ ඔහුට හැඩුම් ආ නිසා කථාව අතර මග නැවතුනි. ඒ අවස්ථාවේ සභාවේ පැවති සංවේදීතාවය ඔබට විස්තර කරන්නට මගේ ශබ්දකෝෂයේ වචන මද බව මගේ අදහසයි.


පුරා මාස ගනනක් අරුණළු කණ්ඩායම වෙහෙස මහන්සි වී මේ පුංචි දරුවන් වෙත ගෙන ආ ලස්සන දවස ඉතාම සංවේදී ආකාරයෙන් නිමාව දකින විට, මයික්‍රෆෝනය අතැතිව සිටි සුරෙ අයියා මේ පාසලේ ගුරු භවතුන්ගෙන් ඉල්ලා සිටියේ කුමන අඩුපාඩුවක් තිබුනත් මේ දරුවන්ට උපරිමයෙන් තම දැනුම ලබා දෙන ලෙසයි.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පුංචි දෑත් වලින් කදිමෙට හැඩ වැඩ උනු පුංචි පුංචි සමරු සටහන් ආරාධිතයන් වෙත ලැබෙන විට, මේ සඳහා දායක වූ අරුණළු ඇතමෙකුට ඔවුන්ගේ සේයාරූ අනුසාරයෙන් පැන්සලෙන් අදින ලද සිතුවමක් ලැබුනි. අප වෙත තිළිණ වූ මේ සමරු සටහන් වල වටිනාකම මෙතෙකැයි කිව නොහැක්කේ පුංචි සිතක නිර්මාණශීලීත්වයත්, මේ උත්සවය පැවති දින අප විසින් අත් දකින ලද කන්දේගම ගම්මානයේ මනුෂ්‍යත්වයත් ඒ තුල මොනවට මුසු වී තිබෙන නිසාවෙනි.




අරුණළු භාණ්ඩාගාරික චමීර අබේකෝන්
අරුණළු ලේකම් තාලරූප අධ්‍යක්ෂ චමිල් පතිරණ


මෙයින් මතු අරුණළු එළිය ඈත පළාත් වල අඩු ආදායම් ලාභීන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන පුංචි පාසල් වෙත වාර්ෂිකව නිසැකවම ලැබෙන්නේය. ඒ සෑම විටෙකම අප සමග එක්වන්නට මේ කලාකරුවන් මෙන්ම ක්‍රීඩකයන්ද එක සේ ශපත කොට අවසානය. මේ කාරියෙන් පසු එහි ඇතැම් තොරතුරක් අන්තර්ජාල ගොසිප් අඩවියක පල වන විට මා ඇමතූ ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍ර‍සාද් පැවසූයේ ඊලග අවස්ථාවේ නිසැකවම ඔහුද අප සමග එක් වන බවකි.

සිරා කොලුවා වන මමද ඔබට ඇරයුම් කරන්නේ මේ අවස්ථාවේ නොහැකි වූයේ නම් ඊලග අවස්ථාවේ හෝ අප සමග එක්වන ලෙසයි. මෙවැනි ගමනකදී ඔබට විඳින්නට ලැබෙන්නේ සැබෑම වූ ජීවිතය මිස වෙනකක් නොවේ.


ප්‍ර‍ධාන උත්සවය අවසන් වී දැන් මාසයකට වඩා කාලයක් ගත වී තිබේ. සිරා කොලුවා පෙලන කාර්යබහුලත්වය මේ ලිපිය පලවීම මේ තරම් දුරකට පමා කළේය. එහෙත් කම් නැත. මක්නිසාද යත් කන්දේගම කණිෂ්ඨ විද්‍යාලය සහ අරුණළු අප අතර බැඳීම තවමත් අවසන් වී නොමැති හෙයිනි.

පර්ත් නුවර රිද්ම පදනමේ අනුග්‍ර‍හයෙන් ගුරු නිවාස දෙකක් සම්පූර්ණයෙන් පිළිසකර කරන්නට දැන් සියල්ල සූදානම්ය. එහි සමස්ත වියදම රුපියල් මිලියනයකට ආසන්නය. එයට අමතරව මේ වැඩසටහනේ තතු විත්ති ආරංචි වූ ලංකාවේ ප්‍ර‍මුඛ පෙලේ ව්‍යාපාරිකයෙක් විද්‍යාලයේ ක්‍රීඩා ශූරියගේ නිවෙස පිළිසකර කොට මාස් පතා ඇයගේ ක්‍රීඩා කටයුතු වෙනුවෙන් අනුග්‍ර‍හය දක්වන්නට එකග වී හමාරය.

මේ සියල්ලක්ම අරුණළු අපගේ කැපවීම මත සාක්ෂාත් කරන ලද ජයග්‍ර‍හණයන්ය. සිරා කොලුවා විශ්වාස කරන බ්ලොග් කෙරුවාව යනු මෙයයි. අපගේ දායකත්වයෙන් හෙට දින විකසිත වන මේ කුඩා ජීවීන් අදට වඩා හොද ලංකාවක් නිසැකවම තනනු ඇත.

අරුණළු අභිමංගල ප්‍ර‍යත්නය සාක්ෂාත් කර ගැනීමට සහාය වූ ඔබ සැමටම බොහොමත්ම ස්තූතියි. 

ඔබ අපට හිරුම විය.
ඔබ අපට සඳුම විය.
අපි ඔබගේ දිදුලන මල් කැකුළු වෙමු !

උත්සවය පැවති දින අප ලද සමරු සටහනේ පුංචි අකුරින් එලෙස සටහන් වී තිබුනි.


මම කාමරේ අරින සිරා කොලුවා



ප.ලි

අරුණළු සමාජ සත්කාරය, සමස්ත ආදායම් වියදම් විස්තරය, ආධාර ලෙස ලබා දුන් භාණ්ඩ ලැයිස්තුව, බිල්පත් සහ බැංකු ශේෂය මේ සියලුම විස්තර මෙතැනින් භාගත කරන්න. ඔබ අප වෙත ලබා දුන් එකදු රුපියලක් හෝ අපහරණය නොකොට සත්‍ය ලෙසම මේ සත් කාර්යයේ යෙදවීමට අප කටයුතු කළෙමු.

අරුණළු වැඩසටහනේ ඇතැම් කොටස් ඉදිරියේදී ජාතික රූපවාහිනියේ අරුම පුදුම රෝද හතර සහ ස්වාධීන රූපවාහිනියේ වෙනස වැඩසටහන් වලින් විකාශය වීමට නියමිතය. 

අරුණළු සමාජ සත්කාරය වෙනුවෙන් සිය උපරිම සහයෝගය ලබා දුන් ස්වාධීන රූපවාහිනී සේවය ඔවුන්ගේ Coffee Table වැඩසටහනේදී වේලාසනම සහයෝගය දුන්නේ මෙලෙසිනි.



අරුණළු මනුෂ්‍යත්වයේ සත්කාරය මගින් ලබා දුන් ආධාර කන්දේගම දරුවන් ප්‍රයෝජනයට ගන්නා අයුරු මහේෂ් ගුරුතුමා අපට මෙසේ එවා තිබේ.




49 comments:

  1. කියන්න වචන නෑ මල්ලි...තව හුගක් පොටෝ මම දැක්ක මහේෂ් මල්ලි එවල තිබ්බ ඒවයින්...එක දෙයක් කියන්නං..මේ පින බොහොම ලොකු පිනක්..එච්චරයි..ජය..

    ReplyDelete
    Replies
    1. මේ සත්කාර්යයට ඔත්තුව දුන්නෙ ඔබ නිසා...මේ සතුට අපට මෙන්ම ඔබටත් දැනෙනවා ඇති කියා සිතමි. ජය !

      Delete
  2. අරැණළු.......
    තවත් කථා කුමට ද...
    ජය වෙිවා සිරා අයියා...

    ReplyDelete
  3. කියලා වැඩක් නෑ සිරා කොලුවෝ මෙන්න මේවා තමයි කරන්න ඕන වැඩ.

    ReplyDelete
    Replies
    1. ඊලග වතාවෙ අප සමග එක්වෙන්නට ආරාධනා...

      Delete
  4. සත්පුරුෂයෙනි, අපේ රටට තවදුරටත් බලාපොරොත්තුවක් ඇත්තේ නුඹලා වැනි මිනිසුන් නිසාය..
    තවත් බොහෝ දරුවන්ගේ ඇස් පෑදීමට ශක්තිය ධෛර්යය ලැබේවා

    ReplyDelete
    Replies
    1. ඔබේ හෘදයාංගම වචන කීපයට බොහොම ස්තූතියි.

      Delete
  5. හොඳම දේවල් හොඳටම දීල. සුභ පැතුම්

    ReplyDelete
  6. නියමයි,වැඩේ විනිවදව,ලස්සනට කරලා.

    ReplyDelete
    Replies
    1. එදත්,අදත්, හෙටත් අපි එහෙමයි...

      Delete
  7. නන්නාඳුනන බල්ලෙකුත් බුරල තිබුන උඩින්...ඔහෙ බුරපුදෙන් ..ඊලඟ වතාවෙත් උදව් කරනව සිරෝ.....well done

    ReplyDelete
    Replies
    1. ඔය බුරන බල්ලො ආගන්තුකයො නෙමෙයි..උනුත් බ්ලොග් කියලා කඩමාලු ලියන උන්. උන් අදහන්නෙ කෑල්ලක් ටෝක් කරගෙන, කොහෙ හරි බඩවැටියකට සෙට් වෙලා අරක්කු ටිකක් පිනට ගිලින එක තමයි බ්ලොග් කෙරුවාව කියලා...උන්ට මේ වගේ වැඩක් කරනවා තියා හිතන්නත් අමාරුයි...ඉතින් මේ පින්තූර, මේ විස්තර දැක්කම ඉරිසියාවෙ පුපුරන්න එනවා...

      ස්තූතියි මිත්‍ර‍යා ඔබේ සහයෝගයට...ලබන වතාවෙ නැවතත් මුණ ගැහෙමු.

      Delete
  8. Well done mate !!!

    ReplyDelete
  9. මම මීට ඉස්සරත් උබට දවසක් කිව්වා මතක ඇති පන්සලේ පිංකමට කොඩියක්වත් දාන්න නාපු උන් තමයි අය වැය ගැන ඉස්සෙල්ලම අහන්නෙ කියල..ඒක හින්ද ඒ ගැන නොසැලී උබේ වැඩේ කරපං..කෙලින් කියන්න බැරි නපුංසක හැත්ත හොරෙන් කොකන් පාන්න එයි..පොන්නයින්ට අනුකම්පා කරහං..

    ReplyDelete
    Replies
    1. ඔය නපුංසක හැත්ත ගැන මම නම් වද වෙන්නෙ නෑ...දැක්ක ගමන් මකලා දානවා මිසක. කාලයක් තිස්සෙ බ්ලොග් ලියනවා උනාට සමාජයට කිසිම ප්‍රයෝජනයක් නැති කාලකන්නි කීප දෙනෙක් ඉන්නවා...ඔය නිර්නාමිකව ණයට කහින්නෙ උන් ටික දෙනාම තමයි. මොකද උන්ට ඉරිසියයි අපි මේ වගේ වැඩක් හරියට කරනවට.

      Delete
  10. මුල් ලිපියත් දැන් කියෙව්වේ. මට පෞද්ගලිකව කළ හැකි මහලොකු දෙයක් නොවැතත් වචනයකින් හෝ ඔබ ඇතුළු පිරිසගේ මෙම සද්කාර්ය දිරිමත් කිරීම කෙමෙන්ටුවකින් හෝ තබමි. නැවතත් අරුණළු පිපෙන බවක් කියා තිබුණී. ඒත් ඊට හෝ මා හැකි අයුරෙන් සහය වෙමි. මේම වැඩ සටහනට කිසිත් කිරීමට නොහැකි වීම ලැජ්ජාවක් ලෙස සලකමි. උඹට ජය.........

    ReplyDelete
    Replies
    1. නිසැකවම අරුණළු යලි යලිත් හිනැහේවි. එවැනි අවස්ථාවක ඔබ අප යලිදු හමුවේ නම් සතුටට කාරණයක්. බොටත් ජය !

      Delete
  11. එලම කිරි! උඹේ සංවිධාන හැකියාව විශිෂ්ඨයි! ජයවේවා!

    ReplyDelete
  12. පට්ටයි මචං, කියන්න වදන් නැහැ...
    උඹේ ලියවිල්ල මගෙත් ඇස්දෙක බොඳ කරවන්න සමත් උනා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු පුතා...අපි ඉතින් මේ පොළොව මතම ඉපදිලා හැදිලා වැඩිලා...මේ පොළව මතම මියැදෙන එවුන්. ජීවත් වෙන ටික දොහට හැකි තරම් හොද දේම කරමු.

      Delete
  13. Replies
    1. සෑමත් අනිත් ගොඩාක් උන් වගේම මගින් හැලුනා . එත් අපි වෙනුවෙන් ලිපියක් ලියලා පල කළා

      Delete
  14. Great work sira aiye. Jeewitheta dakala nathath oya gana adambarayak hituna. Man me site eke dana first comment eka. Great. Eccharai kiyanna puluwan uparimaya

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතී ඔබට, ඔබේ අගයකිරිමට

      Delete
  15. වැඩේ නියෙමෙටම කරලා.දිගටම ඔහොම යමු .

    ReplyDelete
    Replies
    1. ඔබ සහ උදිත ලබා දුන් සහයෝගයට බොහොම ස්තුතී නිසු. ලබන වසරේදීත් ඔබේ සහයෝගය බලාපොරොත්තු වෙමි. ජය !

      Delete
  16. වචනයකින්වත් උඹට උදවුවක් කරන්ඩ විදිහක් ලැබුනෙ නෑ, ඒකට දහස් වාරයක් සමාවෙයන්.
    සිරාගෙ සංවිධානය ශක්තිය නම් ඉතා ඉහලයි. පොඩි අයගෙ පොත් ටිකක් එකතු කරගෙන හිටිය ඒකවත් දෙන්න සිද්ධ උනේ නෑ. තව ටිකක් එකතු කරල ඊලග සැරේට දෙමු.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන දැන් කතා කරලා වැඩක් නැ. ඔබ ඇතුලත් වන බ්ලොග් එකමුතුවේ මම නැති නිසා වෙන්න ඇති අමතක වෙන්න ඇත්තේ

      Delete
  17. මල්ලි අය වැය සම්බන්ධව මටත් ගැටළුවක් තියෙනවා. අය පැත්ත ගැන විස්තර මදි නේද? ආධාර කල අයගේ නම් සහ ආධාරයන් ගැන සඳහනක් නොවුනොත් එතන විශාල අඩුවක් වෙනවා. ලැබුන මුළු ආධාර ප්‍රමාණය මෙච්චරයි ඒක මෙන්න මෙහෙම වියදම් කලා කිව්වට ලැබුන දේවල් හරියට සදහන් නොවුනම කෙනෙකුට සැක කරන්න පුළුවන් ඒවා නොදා ඉන්නේ යම් කිසි වංචාවක් නිසා කියලා. ඒ හින්දා හොඳම දේ තමයි ඒ සටහනත් පල කරන එක.
    මේක වැරදියට තේරුම් ගන්න එපා. මේ වැනි වැඩ කරලා පලපුරුද්ද ඇති නිසාත්, මෙවැනි වැඩ කරලා ගසා කන අය ගැන අත්දැකීම් තියෙන නිසාත් සටහන් කරන්නේ.

    ReplyDelete
    Replies
    1. අපට කෙලින්ම ආධාර දුන් අය බහුතරය එයාලගේ නම් පල කරන්න එපා කියලා ඉල්ලීමක් කළා. ඒ නිසා ආධාර දුන්න අය විදියට එයාලගේ නම් සදහන් කරන්න විදියක් නැ. අපේ බැංකු පොතේ බැලන්ස් එක පින්තූරයකින් අප්ඩේට් කරලා තියෙන්නේ විස්වාසය රැක ගන්න. ඔබට තවදුරටත් ගැටළු තියෙනවා නම් ඔබ සම්බන්ද කර ගන්න පුළුවන් විදියක් සමග ඊයක් එවන්න. ඒ සමග ඔබ ලබා දුන් ආධාරයේ විස්තරත් සදහන් කරන්න.

      Delete
  18. සිරාට ජය වේවා.අරුණළු වැජබේවා......................

    ReplyDelete
  19. 👆👆👆👆👆👌👌👌👌👌👌👌👌

    ReplyDelete
  20. පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරූ
    එක පුන් සඳින් දුරුවෙයි ලොව ගණ අඳුරු

    සිරා මේක සිරා වැඩක්, මේවා තමයි යද්දි ගෙනියන්ට පුලුවන් දේවල්.දීඝායු ඔබ සැමට !

    ReplyDelete
    Replies
    1. ඊලග වතාවේ අප සමග එකතු වෙන්න ආරාධනා කරන්න කැමතී. ඔබ අදහස අරුනළු හැමටම ශක්තියක්

      Delete
  21. සිරා දැනුයි මේක දැක්කේ බ්ලොග් වසන්තයේ. සිරාම වැඩක්. තවත් මෙවැනි දේ කරන්න ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රාර්ථනාවට ඉස්තූති. මම ඔය කිසිම වසන්තයකට සම්බන්ධ බ්ලොග් කාරයෙක් නෙමෙයි

      Delete
  22. තරහ ගන්නේ නැත්නම් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. තේරුම ගන්න අහන්නේ. මම දන්නවා ලංකාවේ දාඩිය හෙම දානවා කියල. නමුත් මේ ඉස්කෝලේ ළමයි හොඳට ඇඳලා යුනිෆෝර්ම් එක. ටීචර් ල හොඳට ඇඳලා තියෙනේ හොඳම සාරියෙන්ද කොහෙද විදුහල්පතිත් එහෙමයි. බ්‍රිගේඩියර් මහතාත් නිල ඇඳුමෙන්. ඇයි ඔබල විතරක් නිකන් ටී ෂර්ට් ඇඳගෙන අර කෙනෙක් ෂර්ට් එකක් නිකන් උඩින් දාගෙන යන්නේ මේවගේ දෙකට. මම දන්නවා සරල කමට කියල. නමුත් ඒකෙන් ටිකක් මේ වගේ විශාල කාර්යයකට පොඩි අඩුවක් වෙනවා කියල හිතනවා. මේක නිකන් මට හිතුන දෙයක් ෆොටෝ බලද්දී. අමනාප වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කාරණය සමග මම එකගයි. ඊලග වතාව වනවිට අරුනළු අපේම කියා ඇදුමක් සැකසේවි. පෙර දා පාන්දර වන තෙක් සංගීත සංදර්ශනයකට සහබාගි වී මේරියන්ස් මෙලෙස හෝ පැමිණීම අගය කල යුතුයි. මේ සත්කාරය උදෙසා ලබන වසරේදී ඔබටත් ආධාරයක් එකතු කරන්නට සිතක් පහල වේවා.

      Delete
    2. අනිවාර්යයෙන්ම.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...