Monday, August 28, 2017

44 කලකට පසු....

අන්තිම පෝස්ටුව කාමරේ පල කරලා මාස 4 කටත් කිට්ටුව ගත වෙලා. අද මේ ලියමන ලියන්න ගනිද්දි බ්ලොග් කෙරුවාව හරිම ආගන්තුක දෙයක් විදියට මගේ අක්මාවට දැනුනෙ. පාපැදි තරග සඳහා සහභාගි වෙන අය නිතර නිතර පුහුණු වෙනවා වගේ, ක්‍රිකට් ක්‍රීඩකයො නිරන්තරයෙන් පුහුණු වෙනවා වගේ, බ්ලොග් කෙරුවාවෙන් මඳ කලක් හෝ බැහැර උනොත් ඒ වෙනස හොඳින් දැනෙනවා.

නිහඬව හිටිය මාස කීපය ඇතුලෙදි සිරාගෙ කාමරේ බොහොම නිහඬව 5 වෙනි සංවත්සරයත් සමරලා. සිරා කොලුවා වන මට කාමරේ දොර කබල ඇරලා යමක් කොටන්න තරමේ ඉස්පාසුවක් නැති වීම තමා මේ නිහඬ බවට හේතුව උනේ. ඉස්සර දවසක බොහොම සාර සුබාවට දෙනෝ දහක් ආගිය තැනක් මේ විදියට පාලුවට යන්න ඉඩ දෙන්න බැරි නිසා ඔන්න සිරා ආයෙමත් ලියනවා. හැබැයි හීන් දුකක් හිතේ තුරුළු කරගෙන.


ඒ තමයි අසමි දකිමි සොයමි බ්ලොග් අඩවිය රචනා කල, විචාරක තුමාගේ නික්ම යෑම. සිරා කොලුවට කිසිම කිසි දවසක මේ චරිතය මුලිච්චි උනේ නැති උනත් ජංගම දුරබණුවෙන්, ඊයෙන් , මුහුණු පොතෙන් කරපු කථා බහත්, බ්ලොග් ලිපි ඔස්සේ සිදු උන දැනහඳුනාගැනීමත් එක්ක විචාරක තුමා කියන්නෙ බහුශෘත දැනුමක් ඇති පුද්ගලයෙක් කියලා සිරාට හිතුන වාර ගණන අනන්තයි අප්‍ර‍මාණයි. ඔහුගේ බ්ලොග් අඩවිය හරහා පාඨකයන් වෙත තිළිණ කල විෂය, සාමාන්‍ය පොදු ජනතාව අත පොවන මානයේ නැති දෙයක් වීමත් ඔහුගේ ඒ කැපී පෙනීමට හේතුවක් උනා.

සිරාගේ කාමරේ පල වූ ලිපි අරභයා තමන්ගෙ අදහස් අවංකව ප්‍ර‍කාශ කරපු අතලොස්ස අතරෙ ඔහුට හිමිවෙන්නෙ අද්විතීය ස්ථානයක්. ඔහුගේ අදහස් හරහා බොහෝ විට සිරා කොලුවගෙ ලිපි වලට ලැබුන ආලෝකය ඉහළයි. ඒ ආලෝකය යළි නොම එන්නට නිවී ගිහින් බව සිහිපත් වෙනකොට පෘථග්ජනයෙක් විදියට මගේ හිතට තවමත් විප්‍රයෝගයේ අරුමය දැනෙනවා.







පහුගිය මාර්තු මාසෙ අරුණළු නමින් අප විසින් කරන්නට යෙදුන ප්‍ර‍ජා සත්කාරයේදී විචාරක තුමා මුල්ම අවස්ථාවෙ සිටම දැක්වූ සහයෝගය ඉතාම බැති සිතින් මෙනෙහි කරන්න උවමනායි. අපේ ආධාර ලබාදුන් දිඹුලාගල කන්දේගම කණිෂ්ඨ විද්‍යාලය වෙත ක්ෂේත්‍ර‍ චාරිකාවක නිරත වන්නට දින නියමකරගෙන සිටින විටෙක අප සියල්ලන්ම බෙහෙවින් උනන්දු කරමින්, ඒ පළාතේ වග විත්ති නිරන්තරයෙන් පවසමින්, පූනානි යුධ හමුදා කඳවුරේ නිළදරුවන් වෙත අරුණළු හඳුන්වා දෙමින් ඔහු කල ප්‍ර‍ශස්ත මෙහෙවර මිළ කල නොහැකියි.

සිරාගේ කාමරයේ පල වූ දිඹුලාගල ආධාර වැඩසටහන පිළිබඳ ලිපිය අරභයා
 විචාරක තුමා විසින් පලකල කමෙන්ටුව  දෛවයේ සරදමකටදෝ 
සිරාගේ කාමරයේදී ඔහු පල කල අවසන් කමෙන්ටුවම වූවේය.

අරුණළු වෙනුවෙන් එතුමා නිහඩව කල සේවය අති මහත්.

සිරා....උඹලා යොදා ගත්ත දවසට ඉස්කෝලෙ බලන්න පලයල්ලා. මමත් එන්න හිටියෙ. ඒත් මට හදිස්සියෙම උණ ගැනුනා. ඔහු ඉස්සෙල්ලාම කිව්වෙ එහෙමයි. හමුදා රෝහලේ නේවාසික රෝගියෙක් බවට පත් උනාට පස්සෙ තමයි ඔහුගේ රෝගී තත්වයේ බරපතල කම අපට දැනගන්න ලැබුනෙ. විචාරක තුමාගෙ ආශිර්වාදය ඇතුව අරුණළු වැඩසටහන අවසන් කරලා ඒ වග ඔහුට දැනුම් දෙන විට මාස එක හමාරක් හෝ දෙකක් ගත් වෙන්නට ඇති. ඒ කෙටි කාලය තුල ඔහු බොහෝ සේ ශාරීරිකව පිරිහී ඇති බව මට දැනුනෙ දුරබණුවෙන් ශ්‍ර‍වණය වෙච්ච ඔහුගේ දුබල කට හඬින්,

වැඩේ හොඳටම කෙරුනා නම් එච්චරයි බං. මාව බලන්න එන වෙලාවක උත්සවේ ෆොටෝ ටික අරගෙන වරෙන්...

එතුමා බොහොම ආයාසයෙන් ඒ වචන කීපය කිව්වෙ. අපේ ආගමනය බලාපොරොත්තුවෙන්.

අරුණළු වැඩසටහන වෙනුවෙන් සෑහෙන සේවයක් සිදුකල,  සිරා කොලුවාගේ යුධ හමුදා මේජර් මිත්‍ර‍යා නිවාඩු ලැබ නිවෙස බලා යළි එනතුරු සිරා කොලුවා බලා සිටියේ විචාරක තුමාගේ සුව දුක් බලන්නට යන්නට, ඔවුන් දෙදෙනාම යුධ හමුදාවේ එකම බලකායක සාමාජිකයන් වීම එයට හේතුවයි.

එහෙත් ඒ දිනය උදාවෙන්නට කලියෙන්ම ඔහු නික්ම ගොස් තිබුනා. ඔහුගේ අවසන් කටයුතු හෝ නිසි වේලාවේ මා හට සන්නිවේදනය නොවූයෙන් ඒ අවස්ථාවද මග හැරුනා. ඒ දිනවල මා අන්තර්ජාලයෙන් බැහැරව සිටීමත්, බ්ලොග් අවකාශයේ බොහෝ දෙනෙක් සමග පුද්ගලිකව පයුරු පාසානයේ නොයෙදීමත් ඒ වගට හේතු උනා. අවසානයේ කිසිම කිසි දිනයක මුණ නොගැහුනු නමුත් බ්ලොග් කෙරුවාවෙන්, සුහද කථා බහෙන් සිරා කොලුවා හට සිටි සමීපතමයෙක් වෙන් වී ගියා. ඔහු වැනි මිනිසත් බවින් පොහොසත් මිනිසකුගේ වටිනාකම, අඩුව සිරාගේ කාමරයේදී අදත් හෙටත් දැනෙන බවට නම් කිසිදු සැකයක් නෑ.

වැඩිහිටියෙක්, මිත්‍රයෙක්, හිතවතෙක් ආදී විවිධ ස්වරූප වලින් ඔබ ලබාදුන් අදහස් , උපදෙස්, අනුශාසනා වලට මා බොහෝ ණය ගැතියි. නිවන් දකින්නට තවත් දුර වේ නම්, මතු භවයේ දවසක යළිත් අප එකිනෙකා මුණ ගැසෙනු ඇත.  ජීවතුන් අතර සිටියදී ඔබ දකින්නට නොපැමිණීම ගැන මා හට සමාව දෙනු මැන. ඔබට සුභ ගමන් විචාරක තුමනි.

ගත වූ කාලය ඇතුලෙ බ්ලොග් කෙරුවාවෙ කලින් දැනුන සුන්දරත්වය ගිලිහී ගිය නිසාදෝ...බොහෝ දෙනෙක් දැන් බ්ලොග් කරණයේ නිරත වෙන්නෙ නෑ. එහෙත් සිරා කොලුවාගේ කාමරේ සමග ඇති පයුරු පාසානය නිසාම මාගේ ආගිය තොරතුරු විමසන හුදී ජනයා වෙනුවෙන් තවත් මඳ කාලයක් හෝ යමක් අකුරු කරන්නට මගේ අකමැත්තක් නෑ.

උතුම් බුදු දහමට අනුව ලෝකයේ සෑම හමුවීමකටම වෙන්වීමක් තියෙනවා. ඇතිවන දේ දිනෙක නැසෙනවා. ඒ සනාතන ධර්මය යළි යළිත් පසක් කරමින් සිරා කොලුවා බ්ලොග් කෙරුවාවට පැමිණි අවධියේ බොහොම සරුසාරෙට තිබුන බ්ලොග් අඩවි විශාල සංඛ්‍යාවක් තව දුරටත් යාවත් කාලීන වෙන්නෙ නෑ. එහෙත් මගේ හිතේ පිරිලා තියෙන, තවමත් යුනිකෝඩ් හරහා ඔබට සමීප නොකරපු බොහෝ දේවල් තියෙන නිසාම සිරා කොලුවාට බ්ලොග් කෙරුවාවෙන් සමුගන්න තවත් කල් තියෙන හැඩයි.

ඉස්සර දවසක වගේ නිතර නිතර නොවුනත්, හැකි සෑම විටෙකම බොලා වෙනුවෙන් යමක් අකුරු කරන එක මට සතුටක්. මේ ඔස්සේ දැන හඳුනාගෙන කළ්‍යණ මිතුරන් තරමට සමීප උන පිරිසත් බොහොමයි. හැකි විදියකට සමාජයට,  ඈත පළාත් වල අහිංසක පොදු ජනතාවට, දූ දරුවන්ට සෙත සලසමින් අප විසින් කලින් කල සංවිධානය කරන සමාජ සත්කාර වලට මග හසර එළි උනෙත් සිරාගේ කාමරය නිසයි. එ් මතකය තවමත් අමතක නෑ.

රාජකාරි කටයුතු වලින් පස්සෙ සිරා කොලුවා වර්තමානයේ වැඩිම කාලයක් වැය කරන්නෙ මෙන්න මේ කටයුතු වලට, දිඹුලාගල පුංචි පාසලේ අරුණළු නිසා පීදෙන අලුත් මල් දැක්කම එවැනි සත්කාර්යයක් වෙනුවෙන් කරනා කැපකිරීම්, මහන්සිය අපතේ ගිහින් නෑ කියලා හිතෙනකොට දැනෙන තෘප්තිය මුදලට ගන්න බෑ. ඒ නිසාම එළඹෙන සැප්තැම්බර් මාසයේදි අපි අරුණළු එක්ක ත්‍රීකුණාමලයට යන්නෙ එහෙ පුංචි පාසල් දෙකකට උදව් කරන්න.

කාමරේ මකුළු දැල් ටික කැඩෙන්න දැනට මේ මදැයි...ඉදිරි දවසක, පුරුදු රසයෙන් ආයෙමත් අපි හමු වෙමු !




මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

විචාරක දියණිය සිය පියාගේ අභාවයෙන් පසුවත්, ඔහුගේ බ්ලොග් අඩවිය පවත්වාගෙන යාම පැසසිය යුතු කරුණකි. එහෙත් විචාරක තුමා විසින් සංවාදයට භාජනය කල විෂය පිළිබඳ ඈ හට දැනුමක් නොවීම කණාගාටුවට කරුණකි.




44 comments:

  1. Texas Storm ekata ahuwela gedarata kotuwela inna gaman hithata sahelluwak gena obe kamare apahu akuru karala thiyanawa dekkama sathutui.
    K Nenda

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ ඔබව නැවත දැකීමත් සතුටක් K නැන්දෙ. අරුණළු පහුගිය වැඩසටහන කාලෙදි මම ඔබට පණිවිඩ කීපයක්ම එව්වා.

      Delete
  2. ජයවේවා !!! ලියපන් ලියපන්

    ReplyDelete
  3. සිරාගේ පලිය විකාරයක්. ඕන ගොං තඩියෙකුට පැහැදිලියි තව කෙනෙකුගේ දැනුම ඒ ආකාරයෙන්ම වෙන අයෙකුට පිහිටන්නේ නැති බව.. හැක්

    උඹගේ ලිපි බ්ලොග් ලෝකයට නැති එක පාඩුවක් බං

    ReplyDelete
    Replies
    1. තමන්ගෙම අනන්‍යතාව ක් ගොඩනගාගත්ත නම් හරි

      Delete
    2. සිරාගේ "පලිය" තමයි ඌගේ අනන්‍යතාවය.
      සිරාගේ "පලිය" නැති පොස්ට් නැහැනේ.

      Delete
    3. ඕකා පලි ගහලම තමා බං අපිට හෙන හත වැදිල තියෙන්නේ.. හැක්

      Delete
    4. මෙන්න විචාරක තුමාගෙ අඩුව පුරවන්න පුලුවන් කෙනෙක්. බොලාටත් ඒ වගේම වයස නිසා අපි බලාපොරොත්තුවන හරවත් කමෙන්ට් ඔබෙන් ලැබේවා...අපිට ජය වේවා !

      පලිය විකාරයක් තමයි බං...ඕනෙ ගොං තඩියෙකුට ඒක පැහැදිලියි...අනිවා..

      Delete
    5. //ඕන ගොං තඩියෙකුට//

      එම්බා දේශකය....තා මාගේ නමට විශේශන පට බැන්දේ කිමද??

      Delete
  4. සිරෝ , 88/89 කාලේ සැක කරුවන්ව උඩරට රේල්පාර කදී වෙඩිතියලා මරපු මිනිමරුවෙක් ගැන්නේඉඳලා ඉඳලා ලියලා තියෙන්නේ

    ඕකා වින්දවලා කෙටි කාලෙකින් මලේ ඔය අහිංසකයින් මරාදැමූ සාපයටම තමයි නැතිනම් ඉතින් එහෙම නොකරපු හමුදා ලොක්කෝ ඔය යසට ඉන්නේ ඔවුන්ටත් එම දෙමව්පියන්ගේ සාපය වදින්න එපානේ .

    තමන්කල කරුමය මෙලවදීම පලදීම දුක්වෙලා ලිපි දාහක් ලිව්වත් සාපකල පව් මකන්න බෑ අපහසයක් නොවේ සත්‍ය එයයි ......

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මම දන්නෙ නැත...මම දන්නා කාලයේ ඔහු හැසිරුන ආකාරය මිස මම නොදන්නා කාලයේ ඔහුගේ චර්යාවන් මට කුමකටද මිත්‍ර‍යා...අංගුලිමාලටත් හොඳ මිනිහෙක් වෙන්න බුදුන් අවස්ථාවක් දුන්නා නම්...තවත් කෙනෙකුට ඒ අවස්ථාව ලබා ගන්න බැරිද ? අනුන්ගෙ නුගුණ නොසොයා තමන් ඉස්සෙල්ලාම හොඳ වෙන්න. හා ද ?

      Delete
    2. අංගුලිමාලටත් හොඳ මිනිහෙක් වෙන්න බුදුන් අවස්ථාවක් දුන්නා ..
      ඒ ඒකාලේ බුදුන් සිටි නිසා... මේකාලේ එහෙම කෙනෙක් නැති නිසා විචාරක විඳවලා මලා දොස්තර දුවෙකුයි බෑනෙකුයි ඉඳලත්

      අනුන්ගෙ නුගුණ නොදන්නා අය දැනගත යුතුයි හේතුව එවැනි දෙයක් තව කෙනෙක් නොකරන්න. ඔහුගේ චර්යාවන් ඔබට වැදගත් නුනාට එවන් ජිවිත නැතිවුන්ගේ ඥ්තීන්, මිතුරන් ට මේවා වැදගත්

      එහෙනම් අහවල් කරනාවටද ඔය රණවිරුවන් කියන අය සැක කටයුතු මිනීමරුවන් හැටියට උසාවි වලට ගාල් කරන්නේ

      Delete
    3. ඔබේ මතය මගේ මතය නොවූවත්...අදහස් පළකිරීමට ඔබේ ඇති අයිතියට ගරු කරමි.

      Delete
  5. බ්ලොග් ලෝකේ ගොඩකට මේ නොලියන කලදසාව ලබලා බං!

    ReplyDelete
    Replies
    1. නාඩි කොලුවා දැකීම සතුටක්...

      Delete
  6. Replies
    1. මෙන්න සුද්දෙක් ඇවිල්ල පින්තූර ගන්නවෝ.. හැක්

      Delete
    2. ඔබේ දසුන සතුටක්...හැකි හැම විටම ලියමි.

      Delete
  7. ඉස්සර බොහොම ආසාවෙන් කියවපු රස විඳපු බ්ලොග් මේව්වා..

    ReplyDelete
    Replies
    1. ඉස්සර දවසක වගේ ආයෙමත් යමක් ලියන්න උත්සාහ කොරන්නම්. ස්තූතියි ඔබට

      Delete
  8. විචාරක තුමා ගැන අමතක වෙන්න බොහොම කාලයක් යයි.

    ReplyDelete
    Replies
    1. ඔව්...සමහර විට අමතක වෙන එකක් නෑ ජීවිත කාලෙටම...

      Delete
  9. මටත් බ්ලොග් එකක් හදා දියම්

    ReplyDelete
    Replies
    1. හොයලා බැලුවොත් ඒ ගැන ලියපු ලිපි ඔබට හමු වේවි

      Delete
  10. පොස්ට් එක කියවගෙන එනකොට හිතට ලොකු දුකක් දැනුනා.. ඔව් ... විචාරකතුමාගේ නික්ම යාම අපි හැම කෙනෙක්ගෙම හිත් වලට බොහොම තදින් දැනුනු නික්මයාමක්..

    ReplyDelete
    Replies
    1. ඒ නිසාම තමයි කාලෙකට පස්සෙ ලියපු ලිපියෙදි ඔහු පිළිබඳ මගේ අදහස් මේ විදියට එකතු කලේ.

      Delete
  11. මගේ පියා ගැන ඹබේ සටහන මගේ හද පාරවන සුළුයි. ඹබ ඹහුගේ මිතුරෙක් බව ඹහුගේ ජංගම දුරකථනය පිරික්සන විට මට වැටහුණා. ඔබගේ ලිපියක් මේමාස 3 පුරාවට මා හෙවුවා. නැවත පැමිනිමට ස්තූතියි.
    විචාරක දියණය

    ReplyDelete
    Replies
    1. විචාරක දියණියගේ පිළිතුර දැක සතුටට පත්වීමි. පියාගේ බ්ලොග් අඩවිය නිහඩ නොකර හැකි වෙලාවට යමක් ලියවෙනු ඇතැයි සිතමි. ජය !

      Delete
  12. සිරා, සෑහෙන කාලෙකින්. දැන් ඉස්සර තරම් මෙව්වයෙ පදිංචි වෙලා ඉන්නෙ නැති නිසා සමහර දේවල් මඟහැරෙනවා. දින කිහිපයකට කලින් දැකල ඇවිල්ල මේ ලිපිය කියෙව්වට මොකක්ද හේතුවක් නිසා මට කමෙන්ට් එකක් දාන්න බැරි වෙලා.

    වැඩ වැඩියි කිව්වෙ ඇයි? උඹේම ව්‍යාපාරයක් පටන්ගත්තා කියල කිවුවා වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. මෙන්න මදුරු නාශකයෙක් .............. හප්පේ දැක්ක කල්

      Delete
    2. සිරා කොලුවගෙ බ්ලොග් කෙරුවාව පටන් ගත්ත කාලෙ ඉදන්ම මගේ ලියවිලි ගැන කථා කරන DDT කොලුවා මුණ ගැහීම සතුටක්.

      මගේ ව්‍යාපාරයක් පටන් ගත්තට ඒක මාස කීපයකින් නවතා දැමුවා. පඩියකට වැඩ කරන එක සැපයි කියලා හිතුන නිසා...දැන් ලංකාවේ ප්‍ර‍මුඛ අයතනයක සේවය කරනවා. මැලේ රාළ ගොයියා දැක්කෙත් සෑහෙන කාලෙකින්...

      Delete
  13. සිරා , නැවතත් ලියන එක සතුටක්. පරණ කතන්දර මල්ල ආයෙත් එලියට දාමු.
    මලය කවදද අපි විස්කි අඩියක් ගහන්නෙ. ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා...මැලේසියාවෙ ඉන්න කාලෙ වගේ ලියන්න නිදහසක් දැන් නැති නිසා කාමරේ දොර ඇරෙන්නෙ ඉදහිට දවසක....විස්කි අඩියක් ලබන අවුරුද්දෙ මැද වෙද්දි ගහමු...

      Delete
  14. අවුරුද්දක විතර ඉදල සිරාගේ කාමරේට එනවා. කතා කියවනවා. බ්ලොග් කියවන එකට ඇබ්බැහි උනේ උබගේ බ්ලොග් එක කියවල තමා. ගොඩක් කාලෙකට පස්සේ නැවත දැකීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍ර‍යා...හැකි සෑම විටෙකම මේ පැත්තෙ එන්න...

      Delete
  15. ඔබේ හිත බොහොම පොහොසත්. ඒ පොහොසත්කම කාමරෙන් අපිට බෙදාදෙන ඔබට යහපතක්ම වේවා!

    ReplyDelete
  16. මෙන්න අයෙමත් සිරා කාමරයේ.අයෙමත් ලියාගෙන ලියාගෙන යන් හාද ?.

    ReplyDelete
    Replies
    1. ලියාගෙන ලියාගෙන යන්න බෑ ලු...ඉඩක් තියෙන වෙලාවට ලියන්න හා ලු...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...