මෙහි පැමිණෙන බොහෝ ශ්‍රී ලාංකිකයන්ට අදාල ආයතනය මගින් නවාතැන්, ප්‍රවාහනය ආදී සියලු පහසුකම් ලබා දෙයි. මා පැමිණි පළමු දින මා සමග මාගේ ආයතන ප්‍රධානියාද පැමිණියේය. තට්ටු නිවාසයක එකිනෙකට මුහුණලා තිබෙන සුපිරි නිවාස දෙකක් අපට නවාතැන් ලෙස ලැබිණි. ඒවා නම්කර තිබුනේ Company Guest House ලෙසයි. අප දින 15 ක් මෙම නිවෙස් වල රැදී සිටිය යුතු වූ අතර ඒ දින 15 තුල අපට අවශ්‍ය ආකාරයේ නිවාසයක් තෝරා ගත යුතුය. පළමු දින රාත්‍රියේම ඉතා හාස්‍යජනක අත්දැකිමකට මුහුණ දුන්නෙමි. රාත්‍රී ආහාරය නිමවා නින්දට ගිය පසු විසිල් හඬට සමාන හඬක් මට ඇසුනි. මෙය මුලින් මුලින් ඇසුනේ පැය භාගයකට වරකි. මධ්‍යම රාත්‍රිය වන විට විටින් විට මෙවැනි හඬවල් විශාල ප්‍රමාණයක් ඇසෙන්නට විය. මා සිතුවේ රාත්‍රියට කෑ ගසන කුරුල්ලෙක් විය යුතු බවයි. මධ්‍යම රාත්‍රිය පසුවී මගේ ආයතන ප්‍රධානියා මට දුරකථනයෙන් අමතා ඒ හඬ කුමක්දැයි විමසීය. මා ඔහුට කීවේ කුරුල්ලෙකු වන්නට හැකි බවකි. ඔහු මට කීවේ එවැනි කුරුල්ලෙකු මේ අවට ජීවත් වන බවක් අන්තර්ජාලයේ හෝ නැති බවත් මේ හඬ නිසා නිදා ගැනීමට නොහැකි බවත්ය.
අලුයම් කාලය වන විට තත්වය ඉතා දරුණු විය. විනාඩියක් විනාඩියක් පාසා මේ හඬ ඉතා තියුණු ලෙස ඇසෙන්නට විය. පෙර දින රාත්‍රීයේද මා හරි හැටි නිදා ගත්තේ නැත. මේ ශබ්දය නිසා එක විනාඩියක් හෝ නින්ද යන්නේද නැත. ඉවසන්නට බැරි තැන මේ කුරුල්ලා එළවා දැමීමට තීරණය කර දොර හැරියෙමි. මගේ ආයතන ප්‍රධානියා ඒ වන විටත් දොර අසලය. ඔහු සිටියේ ඉහ වහා ගිය කෝපයකිනි. අප දෙදෙනා බිම් මහලට ගියෙමු. එකල්හි අප දුටු දෙයින් සිනහව නවතා ගන්නට නම් නොහැකි විය.
නිවාස මුරකරු කටකපලා නිදා සිටියි. කුඩා විසිල් එකක් ඔහුගේ කටේ සිරවී තිබේ. සිදුවී ඇත්තේ මෙයයි. එක ලඟ තට්ටු නිවාස වල මුරකරුවෝ සිටිති. මේ මුරකරුවන් නිවැරදිව රාජකාරි කරනවාදැයි බැලීමට බයිසිකලයකින් තවත් අයෙක් පැමිණ නිවස ඉදිරිපිට සිට විසිල් හඬක් නගයි. නිවසේ මුරකරුද විසිල් හඬකින් ඒ අයට පිළිතුරු දිය යුතුය. එකවර විසිල් හඬවල් කීපයක් වට පිටාවෙන් ඇසෙයි. අපගේ මුරකරු තද නින්දේය. එහෙත් ඔහු නිදාසිටින ගමන් විසිල් ගසයි. යන්තම් පිබිදෙන ඔහු එක දිගට විනාඩි 5ක් පමණ නාදකර නැවතත් කඩින් කඩ නාදකරයි. පසුව ඔහුට නැවතත් නින්ද යයි. ඔහුගේ පිළිතුරු විසිල් හඬ ඇසෙන තුරු බයිසිකල් කරුවාද නොනවත්වා විසිල් හඬ නගයි. සැනෙකින් අවදිවන අපගේ මුරකරු නැවතත් නොනවත්වා පිළිතුරු ලබාදෙයි.
මේ මිනිහා අවදිකිරීමට අපට මහත් වෙහෙසක් ගන්නට සිදු විය. බංග්ලාදේශයට ආ පළමු දිනයේදීම මේ රට එපා විය. වාසනාවකට ආයතන ප්‍රධානියා පසු දිනම අපගේ නිවසේ විසිල් ගැසීම නැවැත්විය. එහෙත් අසල නිවාස වල එය තවමත් ක්‍රියාත්මක වේ. එයට ඇති එකම විකල්පය නම් තුන්වෙනි මහලෙන් ඉහළ නිවාසයක පදිංචි වීමයි.
බංග්ලාදේශයේ ගත වූ දෙවැනි දිනයේ අපට තිබුනේ අපගේ ප්‍රධාන කාර්යාලයට වාර්තා කිරීමයි. එහිදී අපට අවශ්‍ය සියලු දේ ලැබුනු අතර බංග්ලාදේශ භාෂාව පිළිබද කුඩා අත්පොතක්ද ලැබුනි. පැය 4 ක් පමණ ප්‍රධාන කාර්යාලයේ ගත කොට නවාතැනට පැමිණියෙමි. පසුදින උදෑසන සිට සේවය ඇරඹිය යුතුය. සවස් කාලය මා ගත කලේ අත්පොත කියවා අත්‍යවශ්‍ය වචන ඉගෙනගැනීම සඳහාය. පෙරදිනයේ නින්දක් නොවූ නිසා ගුවන් තොටුපලෙන් මිළදී ගත් මත්පැන් බෝතලයක් මා සහ ආයතන ප්‍රධානියා විසින් අනුමත කළෙමු. ඒ රාත්‍රියේද විසිල් හඬ ඇසුනද මත්පැනේ බලයෙන් අපට නින්ද ගියෝය.
පසු දින උදෑසන රැකියාවට යන්නට සූදානම් වී නිවස තුලට වී සිටියෙමි. අපට උපදෙස් දී තිබුනේ තනිව කිසිවිටෙකත් පිටතට නොයන ලෙසයි. නැතහොත් රියදුරා පැමිණ අප කැඳවාගෙන යන බවයි. මොහොතකින් නිවසේ දුරකථනයට ඇමතුමක් ලැබුනි.
ගුඩ් මොර්නින් සර්....අයි ඈම් කැ-යා ස්පීකින්....කැ-යා කේම් ටු යුවර් ප්ලේස් සර්...
උදේ පාන්දරම මට මල හොඳ එකෙන් පැන්නේය.
වට් ආ යූ ටෝකින්...හූ ආ යූ....
අයි ඈම් කැ-යා සර්...කැ-යා කැ-යා ආසේ....
මම දුරකථනය විසන්ධි කලෙමි. අත්පොත අතට ගෙන කැ-යා කියා වචනයක් සෙවූවෙමි. පොතේ එවැනි වදනක් නැත. ආසේ කියා නම් වචනයක් ඇත. ආසේ යනු තියෙනවාද යන්නයි. උදේ පාන්දර කැ- තියෙනවද කියා ඇසීම මට හිතා ගන්නටත් බැරිය. නිවසේ සීනුව නාද වූයෙන් මම දොර විවෘත කළෙමි.
මැදි වියේ අහිංසකයකු සිටගෙන සිටියි. ඔබ කවුද මම ප්‍රශ්න කලෙමි.
අයි ඈම් කැ-යා සර්...කැ-යා ආසේ....මට නැවතත් කෝපයක් ඉපඳුනි.
කැ- වට් කැ- මම තදින් ඇසුවෙමි.
සර් සර් හෑන්ඩ් කැ- බෑග්, ලැප් ටොප් ඔහු කීවේය.
මට තරු විසිවිය. පසුව දිනක දැනගත් පරිදි අපගේ ලාංකිකයන් බොහෝ අය රියදුරන් අමතන්නේ කැ-යා කියාය. රියදුරන්ද සිතා සිටින්නේ අප යන යන තැන ඔවුන් අපගේ බෑග් ඔසවාගෙන යන නිසා මේ නම කියනා බවකි. මම නම් මෙලෙස මගේ රියදුරා අමතන්නේ නැත. එසේ වුවද බංගලි සමග වැඩ කරන විට දවසකට අඩුම තරමේ කුණුහරුප දෙකක් වත් පිටවෙයි. සමහර නිලධාරීන් ඉඳහිට පහරදෙන අවස්ථාද මා දැක තිබේ. ඒ බංග්ලාදේශයේ ක්‍රමයයි. බංගලියන් හොඳින් යමක් කියා දෙන විට වැටහුනා සේ සිටියි. දවසක් දෙකක් ඒ ගැන සොයා නොබලා සිට නැවත ඇසුවහොත් ඒ කාර්යය කරන්න හිතලාවත් නැත. ප්‍රශ්න කල විට ඔවුන් කියන්නේ නොතේරුන බවකි. මේ අයට ඉතා තදින් සිටීමෙන් සේවයට අදාල වගකීම් ඉටු කරගැනීමට පහසුවක් ඇති අතර භාෂාව ඉගෙන ගැනීමද අත්‍යවශ්‍ය කාරණයකි. මා පළමු මාස 6 ක කාලය තුල හැකි ඉක්මනින් බංග්ලාදේශ භාෂාව ඉගෙන ගැනීමට මහන්සි වූයෙමි.
මේ හා සමාන සිදුවීමකට පසුගිය සතියේත් මට මුහුණදීමට සිදුවිය. මාස දෙකකට පෙර මා පළමු ආයතනයට සමුදී වෙනත් ආයතනයකට බැඳුනෙමි. එහි කාර්මික අංශයේ කළමනාකරුවෙකු සදහා පුරප්පාඩුවක් ඇති වී තිබු බැවින් අයඳුම්කරුවන් කීප දෙනෙකු සම්මුඛ පරීක්ෂණයකට ලක් කිරීමට මා හට පැවරී තිබුනි. ඒ අතර කොබීර් නම් අයෙකුද විය. ඔහු මෙයට පෙර සේවය කර තිබුනෙ ලංකාවේ විශාලතම ඇඟලුම් ආයතනයකට අයත් බංග්ලාදේශ ශාඛාවේය. මමද ලංකාවේදී මේ ආයතනයේ වසර 8 ක් පමණ සේවය කර ඇති නිසා එහි සියලු කළමනාකරුවන් මාගේ මිත්‍රයන්ය. මිතුරෙකුගේ නමක් කියා ඔහු හඳුනනවාදැයි මම කොබීර්ගෙන් ඇසීමි. ඔව් මම හොඳට දන්නවා එයාව, මට ගොඩාක් ආදරෙයි....ආදරය වැඩි කමට මට කථා කරන්නෙ හුත්-ගෙ පුතා කියලා...යනුවෙන් කොබීර් මා හට කීවේය. එ් වචනයේ අරුත ඔහුගෙන් විමසූ විට ඔහු කිව්වේ පුතා යන අරුතින් එසේ කියනා වගකි.
දින 13 කට පසු මමත් ආයතන ප්‍රධානියත් වෙන වෙනම නිවාස 2 ක නවාතැන් ගත්තෙමු. මාසයකට පමණ පසු ආයතනයේ ගිණුම් කළමණාකරු විද්යුත් තැපෑලෙන් යම් විමසීමක් කර තිබුනි. එහි තිබුනේ අප කලින් නවාතැනේ සිටි දින 13 ක කාලය තුල පහත ද්‍රව්‍ය අප ආහාරයට ගෙන ඇති අතර එය පරීක්ෂා කර අනුමත කරන ලෙසයි. බඩු ලැයිස්තුව පහත පරිදි විය. හාල්කිලෝ 10 කුකුල් මස් කිලෝ 13 අල කිලෝ 4, ලූණු කිලෝ 4, සුදුලූණු කිලෝ 4, තෙල් ලීටර් 5, පාන් 6, සීනි කිලෝ 2 මෙයට අමතරව තවත් ආහාර වර්ගද එහි විය. බංගලින්ගේ හැටි එහෙමය. ගෙස්ට් හවුස් සේවකයා සෑම දිනකම අපට කියා බිල් සඳහා අත්සන ලබා ගත්තේය. ඒවා ලියා තිබුනේ ඔවුන්ගේ බසිනි. මම ඔහේ අත්සන් කලෙමි. මට කල හැකි දෙයක් නොවූ නිසා මම එය ආයතන ප්‍රධානියා වෙත යොමු කළෙමි. මට මතක විදියට මා එම කාලය තුල බොෙහෝ විට ආහාරයට ගත්තේ ලංකාවෙන් පිටවන විට මගේ බිරිඳ විසින් සකසා ඇසුරුම් කර දුන් අච්චාරු/චිලී පේස්ට් ආදිය සමග බත්ය.
මේ රටේ දියුණුවට වින කරන ප්‍රධාන කාරණා 3ක් මම වටහා ගෙන සිටිමි. රථ වාහන තද බදය, හර්තාල්, දූෂණය සහ වංචාව ඒවා වෙති. හර්තාල් යනු කුමක්දැයි මෙහි එන්නට පෙර මා දැක තිබුනේ නැත. 56 හර්තාලය 71 හර්තාලය ගැන වැඩිහිටියන් කියනවා මම අසා ඇත. බංග්ලාදේශයේ තරම් හර්තාල් ලෝකයේ වෙනත් රටක තිබෙන්නට ඉඩක් නැත. මෙහි ආණ්ඩු පක්ශය ඇතුලු ප්‍රධාන පක්ෂ 3 ක් තිබේ. ඔවුන් වෙන වෙනම සති ගනන් හර්තාල් කරති. ඒවා පැය 24, පැය 48, පැය 72 ලෙස වේලාසනින් ප්‍රසිද්ධ කරති. හර්තාල් කියා කරන්නේ පාරේ යන වාහන ගිණි තැබීම. අලාභහානි කිරීම, කඩසාප්පු වලට ගිණි තැබීම, පාරේ යන අයට පහර දීම, මරා දැමීම . වැනි ඉතා අමානුෂික ක්‍රියාකාරකම්ය. සමහර අවස්ථා වල පොලිසිය සමග වෙඩි හුවමාරු ඇතිවන අතර පොලිස් නිලධාරීන් පවා මිය යයි. නැතිනම් තුවාල ලබයි. එවැනි දිනවල අපට වහ කන්නට සිතේ. උදෑසන 4 වන විට සේවයට යා යුතු වෙයි. මේ අපහසුතා මැද හර්තාල් කරන උන්ගේ දෙමාපියන් නිරතුරුව ආදරයෙන් සිහිපත් වෙයි.
රථ වාහන තදබදය අතින් මෙරට ඉතා ඉහල තැනක් ගනී. කිලෝමීටර් 10 ක් යාමට පැය 5ක් ගතවන අවස්ථා ඇත. ඒ තත්වය බංගලින්ට සාමාන්‍ය තත්වයකි. 90% පමණ වාහන ධාවනය වන්නේ ගෑස් ඉන්ධනය ලෙස යොදා ගනිමිනි. ගෑස් කිලෝවක් රුපියල් 45 කි. ලංකාවේදී එය රු 200 කි. කොපමණ රථ වාහන තදබදය තිබුනත් ඉන්ධන වියදම සොච්චමකි. රථ වාහන ගමන් කිරීමේ සැලසුම් නැත. One Way මාර්ග තිබෙන්නේ නමටය. රියදුරන් තමන්ට රිසි සේ ඒ මේ අත ධාවනය කරයි. පොලිසිය බලා හිදියි. ඔවුන් කරන්නේ රියදුරන්ගෙන් ජරාව කෑමයි. පොලීසිය අත නිතරම විශාල පොල්ලක් තිබේ. සමහර වෙලාවට ඒවා යොදාගෙන ඇතැම් වාහනයකට පොලිසියෙන් තඩි බායි. නැතිනම් රික්ෂෝ කරුවන්ට පහර දෙයි. කොපමණ පහර දුන්නත් රියදුරන්ට වගේ වගක් නැත. බොහෝ බස් රථ වල සැබෑ බොඩියට පිටින් බැරල් තහඩු වැනි දෙයකින් තවත් බොඩියක් ගසා ඇත. ඉදිරිපස හා පසුපස ශක්තිමත් යකඩ බාර් යොදා ඇත. පැති කන්නාඩි නැත. වාහන බොහෝ විට ගමන් කරන්නේ අනෙක් වාහනයේ බාර් එකට හේත්තු වන පරිදිය.
තුන්රෝද රථ සියල්ල දැල් ගසා ආවරණය කර ඇත. රථයට ගොඩවූ වහාම රියදුරා දැල් ආවරණය අඟුලු දමයි. එයට හේතු දෙකකි. මංකොල්ල කරුවන්ගෙන්, පොලිසියෙන් එල්ල වන පොලු ප්‍රහාර වලින් ආරක්ෂාව සලසා ගැනීම, වාහන තද බදයකදී රථය නැවතී තිබෙන විටෙක මගියා මුදල් නොදී පැන යාම නැවැත්වීම ඒ කාරණාවෝ වෙති.
පොදු ප්‍රවාහන මාධ්‍ය ලෙස විවිධ වාහන බංගලියන් විසින් යොදාගෙන තිබේ. බස් රථ වලින් හරි අඩක් පමණ කුඩා ලොරි වෙති. ඒවාට බොඩියක් ගසා බස් බවට පරිවර්ථනය කර තිබේ. තුන් රෝද රථද බස් බවට පරිවර්ථනය කර තිබේ. බස් රථයේ වහලය මතට වී ගමන් කරන්නේ නම් ගමන් ගාස්තුවෙන් හරි අඩක් පමණක් අය කරයි. සමහරක් බස්වල ඇතුලත හිස්ය. වහලය මත යන්නට හැමෝම පොර කති. බස් රථ තුල එළුවන් කුකුලන් ගමන් කරන අවස්ථා ද මා දැක තිබේ.
තවත් ප්‍රධාන ප්‍රවාහන අංගයක් වන්නේ රික්ෂෝවයි. රික්ෂෝකරුවන් සෑමතැනකම සිටිති. ඔවුන් ගත කරන්නේ ඉතාම දුක්ඛිත ජීවිතයකි. පාරේ ගමන් කරන කිසිවෙක් නීතිය ගැන තැකීමක් නැත. ගැටලුවක් ඇති වූ කලෙක පොලිසිය ජරාව කා ගැටලුව විසදයි. මහා මාර්ගයක් මැද වාහනයක් කාර්මික දෝෂයකට ලක් වූ විටෙක එය එතැනම තබාගෙන අළුත් වැඩියාවන් සිදු කරයි. වාහන තදබදය කෙතරම් විශාල වුවත් කිසිවෙකු ඒ ගැන වද වෙන්නේ හෝ ආපදාවට ලක්වූ රථය අයිනකට ගන්නේ හෝ නැත. සමහර දිනෙක මාර්ගය පුරාම මී හරක් දක්කාගෙන යති. එවැනි දවස් වලට වාහන සියල්ල මී හරකුන් පසුපස යති.
අප කුඩා අවධියේදී බංග්ලාදේශය ගැන කියනවිට නිරන්තරයෙන් කියවෙන්නේ ගං වතුර පිළිබදවයි. ගංවතුර ඇතැම් විටෙක ඔවුන්ට ආශිර්වාදයකි. ජමුනා, මැග්නා යන විශාල ගංගා මෙම රට තුලින් ගලා බසී. ඒ වටා භූමිය ඉතා සරුසාරය. සමහර පළාත් මාස 6ක් පමණ ජලයෙන් යටවී පවතී. ඒ කාලයට බොහෝ දෙනා කරන්නේ ධීවර කර්මාන්තයයි. ඉතා බහුලව මිරිදිය මත්සයින් මෙම ගංගා ජලයේ ජීවත් වෙති. දුර පළාත් වල සිට වැලි, උණගස්, ලී දඬු ආදිය ජලය හරහා ප්‍රවාහනය කරති. ජලය බැසගිය පසු එම බිම අතිශයෙන් සරුසාරය.
බංගලි ජාතිකයෝ වගාවට ඉතා සමර්ථකම් දක්වති. කිලෝ 60 ක් පමණ බර වට්ටක්කා , කිලෝ 10 කොමඩුද, කිලෝ 30 පුහුල් ගෙඩිද මේ රටට ආගන්තුක දේ නොවෙති. ලංකාවේ මුදලින් අල කිලෝවක් රුපියල් 15 කටද, ලූණු කිලෝව රු 20 කටද ලබා ගත හැක. දේශීය එලවළු මිළ ඉතා අඩුය. කැරට් කිලෝවක් රු20 ට ගත හැකි අතර කිලෝවට අල්ලන්නේ අල 2 ක් හෝ 3කි. ගඩොල් කර්මාන්තය ඉතා විශාල ලෙස කරගෙන යන අතර ඒවා ශක්තිය අතින් ඉතා ඉහළය. තට්ටු 3ක් උඩ සිට බිමට අතහැරියත් කැඩෙන්නේ නැත. කොන්ක්‍රීට් දැමීම, තාර දැමීම සදහා මෙම ගඩොල් කුඩා කැබලි වලට කඩා භාවිතා කරයි. වැලි ඉතා සිහින්ය. ගංගාවල සිට ඒවා ගොඩබිමට පොම්ප කරයි. ලී බඩු සෑදීම, පිඟන් බඩු සෑදීම, සාරි කර්මාන්තය ආදියට බංගලි ජාතිකයන් අති දක්ෂ පිරිසකි.
රොබට් නොක්ස් ලංකාව ගැන ලියූ පොතක බහුතර ලාංකිකයන් වෙදකම ගැන දනිතියි ලියා තිබේ. මට ලියන්නට ඇත්තේ බංගලි ජාතිකයන් බහුතරය රථවාහන රාජකාරි දන්නා බවකි. සෑම තැනකම රථවාහන හැසිරවීම සිවිල් පුරවැසියන් විසින් භාරගෙන තිබේ. සමහර තැනක තුන් හතර දෙනා සිටිති. ඔවුන් එයින් පුදුම වින්දනයක් ලබති. දිග පොල්ලක් අතේ තබාගෙන සිටින ඔව්හු මෙම රාජකාරිය කරනා අන්දම සිනා උපදවන සුළුය. රික්ෂෝ, තුන්රෝද රථ වැනි වාහන වලට පොල්ලෙන් පහර දෙති. සියලු රියදුරන්ට බනිති. පොලීසිය ඒ ක්‍රියාකාරකම් දෙස බලා සිටිනවා විනා කිසිත් නොකියති.
ස්වභාවික සම්පත් අතින් මේ රට ඉතා පොහොසත්ය. රටේ විශාල වශයෙන් ගෑස් නිධි ඇත. වාහන වලට ඉන්ධනයක් ලෙස, විදුලිය නිපදවීමට, ඉවුම් පිහුම් කටයුතු සදහා ගෑස් භාවිතා කරයි. වී වගාව මෙන්ම තේ වගාවද ඉතා සාරු සාරව කරගෙන යයි. පොල් සහ කොස් භාවිතයට ගන්නේ පළතුරු ලෙසයි. කුරුම්බා ගෙඩියක් රු 75ක් වන අතර වරකා ගෙඩියක් රු 15 ක් පමණ වෙයි. පොල් ආහාර පිසීම සඳහා භාවිතා කරන්නේ ලාංකිකයන් පමණි. සූරියකාන්ත සහ සෝයා තෙල් ඉතා බහුලව භාවිතා කරති. කුකුල්මස් ඉතා සුලභව ඇති අතර මිළද ඉතා අඩුය. නමුත් බංගලියන්ගේ ප්‍රියතම මස් වර්ගය ගව මස්ය. සෑම උදෑසනකම මාර්ගය අයිනේ ගවයින් මරා මස්කරන ආකාරය දැකිය හැක. සමහර පුද්ගලයින් මේ සඳහා ඇබ්බැහි වී සිටිති. කොත ගැසූ කෑම පිඟානක් ඉක්මනින් හිස් කරන්නට බංගලින්ට කදිම හැකියාවක් ඇත. ලංකාවේ සමහරෙක් රාත්‍රී ආහාරයට පෙර පොඩියක් අනුමත වෙන්නට සෙවූවත් බංගලින් සොයන්නේ රාත්‍රී ආහාරයට හරක් මස් තිබේද යන්නයි.
බංගලිදේශයේ ප්‍රධාන උත්සව දෙකක් ඇත. එකක් රොජා ඊද්ය. ඒ කාලයට ඔවුන් උදෑසන සිට රාත්‍රිය වන තුරු ආහාර ලබාගන්නේ නැත. බොහෝ දෙනෙක් මෙය පිළිපදින නමුත් අප සමග වැඩ කරන උන් නම් මේවා කඩ කරති. හොරෙන් කති. මෙලෙස මාසයක පමණ කාලයක් ගෙවා දමයි. රට පුරා සමරන විශාල උත්සවයකින් නිරාහාරව සිටීම අත් හරිති. අනෙක් උත්සවය කුරුබානි ඊද් නම් වෙයි (හජ්ජි). මෙහි සිටින මුස්ලිම් නොවන ජනතාවද මේ උත්සවයෙන් සතුටු වෙති. මෙහිදී ප්‍රධාන වශයෙන් සෑම පවුලකින්ම සතෙකු මරා දෙවියන්ට පූජා කිරීම සිදුවෙයි. මේ සදහා බංග්ලාදේශ ජනතාව වසර මුල සිටම සූදානම් වෙයි. දිළිදු අය පවා මේ උත්සවය සැමරීමට වේලාසනින් මාසිකව මුදල් ඉතිරි කරති.
මේ උත්සවය නිසා 95% පමණ ජීවිත අහිමි වෙන්නේ ගවයන්ගේය. මාසයකට පමණ පෙර සිට ඉන්දියාවෙන් ගවයන් ආනයනය කරති. සියලු දෙනාම පිරිමි සතුන්ය. ලංකාවේ ගවයෙකු මෙන් නොව දෙගුණයක් පමණ විශාලය. හරියටම මේ ලිපිය ලියන්නට දින 3කට පෙර ඒ උත්සවය නිමා විය. එදින සිට අද වනතුරු මා නිවසින් එළියට බැස්සේ නැත. අපගේ නිවස ඉදිරිපිට මාර්ගයේ ගවයන් 8 දෙනෙකුත්, එළුවන් 5 දෙනෙකුත් අවසන් ගමන් ගියහ. ඒ දර්ශනය මතක් වන වාරයක් පාසා මා ඒ අවස්ථාවේ ලද කම්පනය සිහි වෙයි. තවමත් නරගය තුල ගවයන්ගේ සිරුරු වලින් ගලා ගිය රුධිරයෙන් හමන පල් ගඳ ඇත. දුප්පත් අය ගවමස් වියලා කල් තබා ගනිති. දෙවියන්ගේ නාමයෙන් ඔවුන් පවත්වන උතුම් පූජාව නිසා සත්ව ජීවිත අහිමි වෙයි.
බංග්ලාදෙශයේ භාෂාව බංග්ලා නම් වේ. එය සිංහල භාෂාවට තරමක් සමීපකමක් දක්වයි. විජය කුමාරයා ලංකාවට පැමිණියේද එවකට මහා භාරතයට අයත්ව තිබූ අද බංග්ලාදේශයට අයත් මේ භූමියේ සිටයි. අපේ භාෂාවේ තිබෙන වචන විශාල ප්‍රමාණයක් බංග්ලා භාෂාවේද ඇත. සමාන, පුෂ්ප, උත්තර, අපරාජිත, ජනේලය, දකුණ එවැනි වචන කීපයකට උදාහරණ වෙති. මේ රටේ වැසියන් ඉතා ඉක්මනින් කිපෙන සුළුය. රණ්ඩු කරගනිති. කේන්ති ගිය විටෙක අතට අසු වන ඕනැම දෙයක් විනාශ කරති.
මා කලින් සේවය කල එක් ආයතනයක වැටුප් ගෙවිමේදී සෑම කෙනෙකුටම ටකා 30 බැගින් අඩුවීමක් සිදුවිය. සේවකයන් එවේලේම ටකා 30 ඉල්ලා සිටියෝය. කළමනාකරුවෙක් කියා සිටියේ එය ඊලඟ මාසයේ වැටුපට එකතු කරන බවකි. සේවකයන් ආයතනයට එවලේම ගිණි තැබූහ. ඉතා විශාල අලාභයක් සිදු කලහ. අදද එම සේවකයන් එම ආයතනයේම සේවය කරති.
මේ රට තුල පාතාල අපරාධකරුවන්ගේ බලපෑමද ඉතා ඉහළය. එක් ප්‍රදේශයකට එක් අයකු බැගින් මෙවැනි චරිත සිටිති. සියලු ආයතන බැහැර කරන ද්‍රව්‍ය මිළට ගැනීම, ප්‍රවාහන පහසුකම් සැපයීම, ආපන ශාලා පවත්වාගෙන යාම වැනි සියලු කටයුතු මෙවැනි පාතාලයන් අතින් සිදු වෙති.
වෙනත් අයට මෙම කටයුතු කිරීමට ඔවුන් කිසිවිටෙකත් ඉඩ නොදේ. ආයතන සේවකයන්ගේ විරෝධතා ස්ට්‍රයික් මැඩ පැවැත්වීමේදී මොව්හු විශාල කාර්යභාරයක් ඉටු කරති. එවැනි තත්වයක් ඇතිවුන විට පොලිසියට පෙර මෙම අපරාධකරුවන් පැමිණේ. අප ඔවුන්ට කියන්නේ පොලු හමුදාව කියාය. මොවුන් කිසිම ඉවක් බවක් නැතුව සියලු දෙනාටම තම අත ඇති පොල්ලෙන් නෙලාගෙන නෙලාගෙන යති. විරෝධතා කරුවෝ විසිර යති. ඉන් අනතුරුව පොලිසිය පැමිණ ආයතනයේ වියදමෙන් කා බී ආයතනයේම වාහනයකින් පොලිසියට යති.
පොලිසිය ගැන සඳහන් කරන විට RAB නම් පොලිස් කණ්ඩායමක් තිබේ. ඔවුන් ඉතා නීති ගරුකය. සියලුම ජනතාව ඔවුන්ට ඉතා භියක් දක්වති. මෙහි හමුදාවද ඉතා නීති ගරුකය. ආණ්ඩුව හමුදාවට ඉතා හොඳින් සලකයි. නමුත් හමුදාව කඳවුරු තුලින් ඉවතට එන්නේ කලාතුරකිනි. අතීතයේ හමුදා කුමන්ත්‍රණ කීපයක් මේ රට තුල සිදුවී තිබීම මෙයට හේතු විය හැක. මෙයට මාස කීපයකට පෙර ආණ්ඩුවට හර්තාල් පාලනය කිරීමට අසීරු තත්වයක් ඇති විය. ආණ්ඩුව ඩකා නගරයේ පාලනය හමුදාව අතට පත් කලේය. පැය කීපයකින් හර්තාල් සාමකාමී විය. මෙරට හමුදාව අප රට ඇතුලු විදේශ රටවල් කීපයකටම හමුදා පුහුණුව ලබා දෙයි.
බංග්ලාදේශ ජනතාවගෙන් බොහෝ දෙනෙක් නූගත් අය වෙති. මොවුන් භූතයන්ට ඉතා බියක් දක්වති. මගේ නිවසේ කාලයක් රීපොන් නැමති තරුණයෙක් සේවය කලේය. ඔහු හැම විටම කථා කිරීමට ඉතා රුචියක් දක්වයි. ඔහේ කියවයි. සමහර දිනෙක මගේ මිතුරන් ඇඳ ඇතිරිල්ලක් පොරවාගෙන භූතයන් මෙන් ඔහුගේ ඇඟට කඩා පනියි. ඉන් පසු ඔහු කථා කරන්නේ නැත. වැඩක් කරන්නේද නැත. ඉතා බියෙන් මා අසලටම වී සිටියි. මොනවා කලත් මා හැර යන්නේ නැත. මගේ මිතුරා භූතයෙක් නොවන බව මා කොපමණ කීවත් ඔහු පිළි නොගනියි. එය පිළි ගන්නට නම් ඔහුට මිතුරා අතගා බැලිය යුතුය. මා ඔහුට අතගා බලන ලෙස කොපමණ ඇවිටිලි කලද ඔහු මිතුරා දෙස බලන්නේවත් නැත. මිතුරා පැමිණ ඔහුව බලෙන්ම අතගායි. ඉන්පසු භූත බිය රිපෝන්ගේ සිතින් තුරන් වී පෙර පරිදිම වාචාල කම් දොඩවයි.
මේ රට ශ්‍රම සම්පත අතින් ඉතා බහුල රටකි. ලංකාවේ මෙන් නොව ඕනෑම වෙලාවක ඕනෑම කාර්යයක් කිරීමට සේවකයන් සොයා ගත හැකිය. ඇඟලුම් කර්මාන්තය මේ රට තුල ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව ශ්‍රමය සහ ඉන්ධන මිළ ඉතා අඩු වීමයි. මෙම කර්මාන්තය තුලින් විශාල විදේශ විනිමයක් මේ රට තුලට ගලා එයි. එහෙත් ඒවා බෙදී යාමේ විශාල විෂමතාවක් ඇත. සෑම තැනකම දූෂණය ඉතා ඉහළින් සිදුවේ. ගුවන් තොටුපලේ සිට සෑම ආයතනයකම සන්තෝසම් නොමැතිව කිසි දෙයක් කළ නොහැක. එය එදිනෙදා ජීවිතයට බද්ධව තිබේ. පොලිසියට ටකා 10 ක් දීමෙන් රික්ෂෝ කරුවන්ට අධිවේගී මාර්ග හරහා ගමන් කල හැක. ඒවා නමට පමණක් අධිවේගී මාර්ග වෙයි. අලුත් මාර්ගයක් සාදා නිමකල විට ටික කාලයක් යන තුරු ඒ හරහා ගමන් ගන්නා සියලු වාහන මුදල් ගෙවිය යුතුයි. සමහර දිනවල අපට අතුරු මාර්ග වල ගමන් කිරීමට සිදුවන අතර, මගදී අනිවාර්යෙන්ම පගාව දීමට සිදුවේ. මේ රටේ අතුරු මාර්ග ඉතා අනතුරු දායකය. සොර සතුරන් ඉතා බහුලය. මංකොල්ල කෑම් නිතරම සිදුවේ. බසයකදී නිකමට හෝ නින්ද ගියහොත් ගමන් මල්ල රහත් වෙයි.
බංග්ලාදේශයේ නීත්‍යානුකූලව මත්පැන් අළෙවිය සිදු නොවේ. එය ඉතා හොද දෙයකි. එහෙත් මේ ජනතාව අධිකව දුම් පානය හා බුලත් කෑම සිදුකරයි. බාබුල් නම් මත්පුවක් වැනි දෑ ඉන්දියාව හරහා ගෙන්වති. සාමාන්‍ය ජනතාවට මිළට ගත නොහැකි සුපිරි මිළ වලට විදේශිකයන් සදහා මත්පැන් විකිණීමට වෙනම ස්ථාන තිබේ. එහෙත් ඒවායෙන් වැඩිපුර මිළට ගන්නේ ස්වදේශිකයන්ය. බොහෝවිට ඔවුන් ඒවා නැවතත් විදේශිකයන්ට අළෙවි කරති. මේ රටට සංචාරකයන් එන්නේ ඉතා අඩුවෙනි. මා නම් කිසිදිනෙක සංචාරකයන් දැක නැත. රට අභ්‍යන්තරයට වෙන්නට සුන්දර ස්ථාන තිබේ. සුන්දර් බාත් වනාන්තරය, කොක්සස් බසාර් වෙරළ තීරය ඉතා සුන්දරය. කිලෝමීටර් 5ක් 6ක් දිග පාලම්ද ඇත. ඒවා හරහා ගමන් කිරීමත් සුන්දර අත්දැකීමකි.
රංගමාටී නම් කදුකර පෙදෙසේ වාසය කරන ජනතාවගෙන් 90% පමණ බුදු දහම අදහන අය වෙති. ඔවුන්ගේ ස්වරූපය වෙනස්ය. චීන හෝ තායිලන්ත ජාතිකයන්ට සමානය. ඔවුන් බුදුන් වහන්සේ චක්මා හෝ මරිමා (Chakma / Marima) යන නමෙන් හදුවන්වති. ඔවුන්ගේ නම් වල අගට මේ කියූ පද දෙකෙන් එකක් බොහෝවිට ඇත. මේ ජනතාවට ඉතා ඉක්මනින් තරහා යයි. ඔවුන්ගේ ඉසව්වට බංගලි ජාතිකයන් යන්නේ කලාතුරකිනි.
බංග්ලාදේශය ගැන තවත් ලිවීමට බොහෝ දේ ඇත. එහෙත් ලියන්නට වේලාවක් සොයගන්නට ඉතා අපහසුය. නිවාඩු දින ඇත්තේ සතියට 1කි. සිරා මේ ලිපිය පල කලහොත් එහි පූර්ණ ගෞරවය හිමිවන්නේ ඔහුටය. ඒ මන්ද යත් මගේ අකුරු තෝරා බේරාගෙන සිංහල යතුරු ලියනය කිරීමට සිරාට වෙහෙසක් දරන්නට සිදුවන නිසාවෙනි. ලිපිය අවසන් කිරීමට පෙර සිරා කොලුවා ඇතුලු සියලුම බ්ලොග් කරුවන් ආදරයෙන් මතක් කරමි. කාමරයට නිතර යන එන අයවද මතක් කරමි. ඔවුන් සතුව රසබර ලිපි ඇතිනම් සිරා වෙත යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.
මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට
බංග්ලාදේශයේ සිට ලියා එව්වේ එම්.ඩී. රත්නායක.
පිටු 14 ක් පුරාවට තමන්ගේ අත් අකුරින් ලියා සිරාගේ කාමරයේ 7 වෙනි ලිපිය වෙනුවෙන් මේ ලිපිය බංග්ලාදේශයේ සිට සම්පාදනය කල රත්නායක සහෘදයාට සිරා කොලුවාගේ නොවක් ස්තූතිය පිරි නැමේ. සිරාගේ කාමරය තුල පල වූ විවිධ රටවල විස්තර අැතුලත් ලිපි අතරට අලුතින් එකතු වන මේ ලිපිය ඒ සියල්ලටම වඩා ප්‍රමුඛ එකක් වේ යැයි මම සිතමි. සාක් කලාපයේ රටක් වුවද අප වැඩිදුර තොරතුරු නොදන්නා බංග්ලාදේශය පිළිබද සිංහලෙන් ලියවුන මේ ලිපිය අපේ දැනුම් මට්ටමේ රික්තය යම් තරමකට සම්පූර්ණ කරනු ඇත.
පිටරට විස්තර කියවන්නට ලංකාවේ ඇත්තන් ඉතාම මනාපය. ඒ බව එවැනි ලිපියක් පලවූ පසු ලැබෙන පාඨක ප්‍රතිචාර වලින් මොනවට පැහැදිලි වෙයි. සිරාගේ කාමරයේ අටවා තිබෙන විවිධ රටවල ධජ එකතුව සහිත ගැජට්ටුව දෙස බලන විට එහි රටවල් 100 කට වඩා වැඩි සංඛ්‍යාවක් සටහන් වී තිබේ. ඉඳින් සබඳ, ඔබ සිටිනා ඉසව්ව පිළිබද සිරාගේ කාමරයේ 7 වෙනි ලිපියට යමක් ලියන්නට මෙය කියවන ඔබට ඇරයුම් කරමි. සිංහල යතුරු ලියන හැකියාව අවශ්‍ය නැත. අත් අකුරින් ලියා ස්කෑන් කොට මා වෙත ඊයක් එවන්න. ඒවා යුනිකෝඩ් බවට පෙරලීමේ වගකීම මම දරමි.
ඔබේ ප්‍රශ්න සඳහා සිරා කොලුවා වන මවිසින් පිළිතුරු එකතු කලද ඒවා ලිපියේ රචකයා විසින් මාවෙත ඔහුගේ අත්අකුරින් ලියා එවන ලද ඒවාය. සිංහල අකුරු යතුරුලියනය නොදන්නා නිසා ඔහු පිළිතුරු අතින් ලියා මවෙත එවන්නට තීරණය කරන්නට ඇත.
පිටරට විස්තර කියවන්නට ලංකාවේ ඇත්තන් ඉතාම මනාපය. ඒ බව එවැනි ලිපියක් පලවූ පසු ලැබෙන පාඨක ප්‍රතිචාර වලින් මොනවට පැහැදිලි වෙයි. සිරාගේ කාමරයේ අටවා තිබෙන විවිධ රටවල ධජ එකතුව සහිත ගැජට්ටුව දෙස බලන විට එහි රටවල් 100 කට වඩා වැඩි සංඛ්‍යාවක් සටහන් වී තිබේ. ඉඳින් සබඳ, ඔබ සිටිනා ඉසව්ව පිළිබද සිරාගේ කාමරයේ 7 වෙනි ලිපියට යමක් ලියන්නට මෙය කියවන ඔබට ඇරයුම් කරමි. සිංහල යතුරු ලියන හැකියාව අවශ්‍ය නැත. අත් අකුරින් ලියා ස්කෑන් කොට මා වෙත ඊයක් එවන්න. ඒවා යුනිකෝඩ් බවට පෙරලීමේ වගකීම මම දරමි.
ඔබේ ප්‍රශ්න සඳහා සිරා කොලුවා වන මවිසින් පිළිතුරු එකතු කලද ඒවා ලිපියේ රචකයා විසින් මාවෙත ඔහුගේ අත්අකුරින් ලියා එවන ලද ඒවාය. සිංහල අකුරු යතුරුලියනය නොදන්නා නිසා ඔහු පිළිතුරු අතින් ලියා මවෙත එවන්නට තීරණය කරන්නට ඇත.
බංග්ලාදේශ් වල මාත් කාලයක් හිටියා. රංගමාටි වල ඉන්න අනෙක් ගෝත්‍රය බරුවා වරුන්ය. ඔවුන් ලාංකිකයන්ට රූපයෙන් සමාන බෞද්ධයන්ය. බරුවා යන්නේ තේරුමත් බෞද්ධ යන්නය.
ReplyDeleteචිතගොං වල තියෙන ලව් ලේන් බුද්ධ මන්දිර් වල සිට තමා මෑතකදී ලංකාවට කේෂ ධාතූන් වගයක් වැඩෙම්මුවෙ. ඔය පන්සලේ ඉන්නව භික්ෂුවක් ලංකාවේ මහරගම සෝම හාමුදුරුවෝ සිටිය පන්සලේ ඉගෙන ගත්තු. (පන්සලේ නම මේ හදිස්සියෙ මතක් වෙන්නෙ නෑ.) ඒ හාමුදුරුවො තමයි එහෙ හිටපු කාලෙ ගොඩක් උදවු කළේ.
මේකෙ අත්‍යවශ්‍යම දෙයක් කියල නෑ. USTC එක ගැන. දැනට ලංකාවෙන් පිට වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් වෛද්‍ය අධ්‍යාපනය ලබන්නේ මේ විශ්ව විද්‍යාලයේ. Foy's Lake වල තියෙන සත්තු වත්ත වගේ දේවල් නැති එකත් අඩුවක්.
බොන්න ගන්න වතුර පවා අපි නම් ගත්තෙ සල්ලි දීල බෝතල් වශයෙන්. අපාර්ට්මන්ට් වල ජීවත් වෙච්ච හැටි, රික්ෂෝ වල ගිය හැටි වගේ ගොඩක් ලස්සන මතකයන් මට තියෙනව බංග්ලාදේශයේ. ඒ වගේම අපිට පිහිටට ඉන්න එකම ලාංකික බැංකුව ගැනත් කියන්න ඕනෙ, කොමර්ෂල් බැංකුව. දැන් නම් ITN එහෙමත් ඔහෙට පේනවලු.
තව කියන්න ඕනෙ දෙයක් තියෙනවා. රංගමාටි වල මෑතක වෙනකල් හිටපු භික්ෂුවක් හිටියා. ඔහු රහත් වූ භික්ෂුවක් ලෙසයි එරට බෞද්ධ ජනතාව සලකන්නේ. මුස්ලිම් රජයක් තිබුණත් ඔවුනුත් ඒ බව පිළිගන්න බවයි දැන ගන්න ලැබුණෙ. මුස්ලිම් මිනිස්සු පවා ගෞරව කරපු භික්ෂුවක් කියලයි අහන්න ලැබුණෙ. ඒ වගේම රංගමාටි වල තියෙනව රත්තරන් වලින් තැනූ චෛත්‍යයකුත්.
ගොඩක් දේවල් කියන්න තිබ්බත් මේ කියපු ටික ඇතියි කියල හිතෙනවා. හිතුනොත් තව comment එකක් විදිහට කරුණු දමන්නම්.
තව දෙයක් කියන්න මෙහි ලියවී නැති. මොවුන් මුදල් භාවිතා කරන්නේ මුදල් නෝට්ටු ඉරලා. බැරි වෙලාවත් අළුත්, ඉරිච්ච නැති මුදල් නෝට්ටුවක් ලැබුණොත් හිතන්නේ හොර නෝට්ටුවක් කියලයි.
Deleteතව අත්දැකීමක් කියන්න ඕනෙ. මුලින්ම ලව් ලේන් බුද්ධ මන්දිර් ගිය දවස ගැන. අමාරුවෙන් ඔය පන්සල හොයන් ගියයි කියමුකො. පන්සලට හැරෙන්න කලින් යන පාරෙ දිගටම තියෙන්නෙ වැසිකිලි, නාන කාමර වලට අවශ්‍ය ද්‍රව්‍ය විකුණන ස්ථාන. පන්සල ගාවින් රික්ෂෝවෙන් බැස්සා. ඒත් පන්සල තියෙන තැන රික්ෂෝ කාරයත් දන්නෙ නෑ. පන්සල වටේම ඉන්න මුස්ලිම් මිනිසුන්ගෙන් ඇහුවත් ලැබුන උත්තරේ පන්සලක් දන්නෙ නෑ කීම. පස්සෙ අමාරුවෙන් මල් විකුණන මිනිහෙක්ගෙන් ඇහුවම තමයි පන්සල තියෙන තැන කිව්වෙ. බහුතරයක් මුස්ලිම් මිනිස්සු පන්සලක් තියෙනවයි කියලවත් දන්නෙ නෑ. තව වෙසක් දවසෙ දන්සැලක් දීපු හැටි එහෙමත් මතක් වෙනවා. එදත් උන්ට තේරුම් කරල දෙන්න වුණා බුද්ධ පූර්ණිමා කියන එකේ තේරුම.
ඔය කලින් මං කියපු පන්සලේනෙ කේෂ ධාතූන් තිබ්බෙ. ඒ පන්සලයි, දළදා මාලිගාවයි එකට තියල බැලුවොත් වෙනස තේරෙයි එහෙයි, මෙහෙයි බුද්ධාගමේ වෙනස.
ලගකදි රංගමාටි වල තිබෙන පන්සල් ගොඩකට ගිණි තිබ්බා. කවුරු හරි කෙනෙක් කුරාණය පාගාගෙන ඉන්න ෆොටෝ එකක් ෆේස් බුක් එකේ දාලා. මුන්ට ඒවගේ දේවල් පේන්න බෑ. ගොඩක් පරණ ලී වලින් හදපු පන්සලකුත් ගිණිතියලා දැම්මා. රජයෙන් පස්සෙ හැදුවා. වැඩක් නෑ දැන් පැරණි වටිනාකම ඉවරයි. අශෝක රජතුමා හදපු වෙහෙර විහාර 84000 න් 40000 ක් විතර තියෙන්නෙ ඔය පැති වල. මමත් ඔය පන්සල් වලට නිතරම යනවා. ලංකාවේ වගේ සංවර හාමුදුරුවරු අඩුයි. බණ කියනකොට / පන්සිල් දෙනකොට ඉතා වේගයෙන් කියන්නෙ. සල්ලි නම් බැංකුවෙන්ම ස්ටේප්ලර් කරලා දෙන්නෙ. ඒ නිසයි මැද්දෙන් ඉරිලා තියෙන්නෙ. මම ඩකා සත්තු වත්ත බලන්න නම් ගියා. මින් මැදුරෙ ඉන්නෙ ගෝල්ඩ් ෆිෂ්, ප්ලේටි වගේ මාළු. සත්තු නම් නැහැ මිනිස්සු නම් හිටියා.
Deletenice job, keep it up
ReplyDeleteස්තූතියි....
Deleteමේ පෝස්ට් එක නම් මරු. බංග්ලාදේශය ගැන නොදන්න ගොඩක් දේවල් දැනගත්තා.
ReplyDeleteඔබේ අදහස් මට සතුටක්...
Deleteබලං ගියාම බංග්ලාදේශ්කාරයොත් මරුනේ. කියවන්න ගන්න කොටම ඉවර උනා වගේ දැනුනෙ. එක හුස්මටම කියවගෙන ගියා. මුලින් දකිද්දි හිතුනෙ ලිපිය දිග වැඩියි වගේ කියල. දැන් හිතෙනව තව ටිකක් විස්තර තිබුනනම් හොඳයි කියල දිගට කියවන්න.
ReplyDeleteතොරතුරු අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි රත්නායක. ඒවගේම බෙල්ල කඩන් කොටල කොටල ලිපිය පළකරපු සිරාටත් ස්තූතිය.
සිරා කොලුවට තමයි ස්තූති කරන්න ඕනෙ. අපිට ලියන්න චාන්ස් එකක් දුන්නට
Deleteබන්ගලිදෙශේ ගිහිං නම් නෑ.. හැබැයි ගිහිං එන්නනම් හිතාගෙන ඉන්නවා ලඟදි..
ReplyDeleteමාත් එක්ක කැම්පස් එකේ බංගලි උන් 5 දෙනෙක් හිටියා කෙල්ලෝ තුනයි. කොල්ලෝ දෙකයි.
බංගලි කෙල්ලෝ හරිම ලස්සනයි. හැබැයි හෙන සද්දෙන් කතා කරනවා. කෑම බීම ටිකක් සැරට තියෙන්න ඕනේ. ලංකාවේ වගේ තමා. USA වලදී උන් තමයි කෑම ගැන වැඩියෙන්ම කරදර උනේ. මොකෝ spicy food හැම තැනම හොයා ගන්න නෑනේ.
භාෂාව සිංහල භාෂාවට ගොඩක් සමානයි. හරි ලස්සනට සින්දු කියන්න බංගලි කෙල්ලොන්ට පුළුවන්. නිතරම ගංවතුර ගලන හින්දාමද මන්දා හොඳට පීනන්න ඔරු පදින්න උන්ට පුළුවන්.
රත්නායක අයියා බන්ගලිදේශේ ඩි radio Padma අහනවනම් ඒකෙ රේඩියෝ ජොකියෙක් (කෙල්ලෙක්) ඉන්නවා අපිත් එක්ක හිටපු. ටිකක් විතර ප්‍රසිද්ධ චරිතයක් ලු එහෙ ;)
නාඩි මල්ලියේ ආවට බලන්න දේවල් අඩුයි. බලන්න පුලුවන් උනත් යන්න භයයි. ලස්සන කෙල්ලො ඉන්නවා. පිටින් විතරයි ලස්සන. විශ්වාස කරන්න බැහැ කනෙන් අතදාලා දත් ගලවගෙන එන්න පුලුවන් අය. අපේ රටේ අය ගොඩාක් මට්ටු වෙලා ඉන්නෙ. පුලුවන්නම් සිරා කොලුවවත් කැන්දාගෙන එන්න. මගේ ගෙදර ඉන්නෙ මම විතරයි. කාමර 3යි. දෙන්න පුලුවන් හැම සැපක්ම සෙට් කරන්නම්. ලෝකෙ ඕනෙම බ්‍රෑන්ඩ් එකක ඇඳුම්, සපත්තු රු 1000 කට ගන්න පුලුවන්. හැමදාම උදේට හරක් මරණවා බලන්න පුලුවන්.
Deleteමම බංගලි දේශය ගැන ගොඩාක් දේවල් දැන ගත්තා කිහිප දෙනෙකුගෙන්. මගේ මිතුරියක් ඉන්නවා ඇයට වාහන තදබදය පෙන්නන්න බෑ. ඒ නිසා ඇය මෙහෙ රැකියාවක් සොයනවා. ඔය රට Human Traffic වලටත් ප්‍රසිද්ධයි. ගණිකා වෘත්තීය ගැන වාර්තා වැඩසටහනක බංගලාදේශය ගැන දැක්කා. හරිම දුක හිතෙනවා අඩු වයස් කාන්තාවන් ඒ සඳහා බලෙන් යොදා ගන්නවා. රත්නායක මල්ලි එහි ජූට් වගාව ආශ්‍රිත කර්මාන්තත් කෙරෙනවා නේද ? මගේ සහෝදරියගේ දියණිය චිතගොං වල වෛද්‍ය විද්‍යාව සඳහා කාලයක් ජීවත් වුණා. එහි පරිසරය තරමක් සාමකාමී බවයි පැවසෙන්නේ. ඇය ඇරලවන්න ගිය මගේ සොහොයුරිය එය ඉතා සාමකාමී රටක් කීවත්, මේ ලිපිය කලින් කියවූවා නම් ඇයට ඒ ගමන යන්න ලැබෙන්නේ නෑ. අපේ මොහොමඩ් සාබිත් ඉන්නෙත් එම සරසවියෙමයි. බලමු ඔහුගෙන් ඒ පළාත ගැන ලිපියක් ලියවා ගන්න පුලුවන්ද කියා ?
ReplyDeleteබංග්ලාදේසෙ ප්‍රධාන අපණයනය උනේ ජූට්. ඒත් දැන් හන ගෝනි පාවිච්චියක් නැති නිසා ඒ ව්‍යපාරෙ බැහැල ගිහින්ලු!
Deleteමාර දේවල්නෙ ඔයත් දන්නෙ. මම ගණිකා වෘත්තිය ගැන ලියන්නෙ නැත්තෙ අපේ කොන බලන නිසා. කථාව ඇත්ත. ඉතාම ලස්සන ලාබාලා ගෑණු ළමයි ඉන්නවලු. ඒ තැන්වලට යන්න නාඩියයි, සිරා කොලුවයි එනවා කිව්වා. ඔයත් ආවොත් එක්කගෙන යන්නම්. (බලන්න විතරයි) අයකිරීමත් ඉතාම අඩුයි කියලා තමයි කියන්නෙ. බලෙන් යොදාගත් නමට වැඩිය බඩගින්න ඔවුන්ව ඒ තත්වයට ඇඳලා දාලා තියෙනව කියලා තමයි මට හිතෙන්නේ. ප්‍රතිපත්තියක් හැටියට මම ඔය වැඩේට කැමති නෑ. ඊට වඩා හොඳයි පොඩි අඩියක් ගහලා පැත්තක් බලාගෙන ආතල් එකක් ගන්න එක. සුරාවේ ඇති රසයත්, එහි ඇති මනා රසයත්, බොන දුදනෝ මිස නොබොන සුදනෝ නොදනිත්.
Deleteයකෝ අපිව දාල තියෙන තැන බලපන්කො සිරා අයියේ ;)
Deleteගොඩක් වටිනා ලිපියක්. කවදාවත් ගිහින් නැති, යෑමට ආසාවෙන් ඉන්න රටක්.
ReplyDeleteබුදු දහම අදහන, ඉක්මනින් තරහා යන කට්ටිය ගැන කියනකොට හිනාගියා.
බංගලාදේශී අයට ගොඩක් කෑම කන්ට පුලුවන් එක නම් ඇත්ත. ඒ වගේම සමහර ගෑනු උදවිය ඉන්නවා හරිම ලස්සණ.
ඒ අයට තරහා යන්නේ නිකං නෙමෙයි. මේ රටවල් වල බුදු දහම ආරක්ෂාකර ගන්න. ඒ අය දිවි හිමියෙන් අවුරුදු ගානක් සටන් කරලා තියෙනවා. දැන් නිදහස උනත් ඒ අය ඉන්න පැති වල බුදු දහමට අදාළ බොහෝ දේ ඒ අය ඉන්න පළාත් වල ඉතිරි වෙලා තියෙනවා. ඒ නිසා ඒ අයගෙ පැතිවලට කවුරුවත් එනවට කැමති නෑ. තවමත් බුදුන් වහන්සේගේ බොහෝ ධාතූන් වහන්සේලා නිදන් කරපු වෙහෙර විහාර විශාල ප්‍රමාණයක් කාටවත් හොයාගන්න බෑ. සමහර අය කියනවා ඒ අය ඒවා ගැන දන්නවා කියලා
Deleteමගේ සහෝදරියත් බංගලිදේශ් වල ඉගනාගන්න කෙනෙක, හප්පෝ එහෙ ගැන කියන රසකතා බොහොමයි!
ReplyDeleteඒක තමයි...මේක රස සාගරයක්...
Deleteමරුනෙ. ඇත්තටම ගොඩක් වටින සවිස්තර ලිපියක්.
ReplyDeleteභාෂාව පිළිබද අත්පොතත් එක්ක කුණුහර්ප අත්පොතකුත් දුන්නා නම් සෑහෙන්න වටිනවානෙ. :)
මුළු ලිපියම කම්මැලි කමක් නැතුව කියවන්න පුළුවන් විදිහට තියෙනවා.
ඒක දෙන්න ඕන උංට බං. උං හිතාගෙන ඉන්නෙ කැ_යා, හුත්_ගෙ පුතා කියන්නෙ ආදරේට කියන වචන කියලනෙ. :D
Deleteමුලින්ම දෙන්න ඕන හෝඩි පොතක් අකුරු කියවන්න පුරුදු වෙන්න. මුං ඔක්කොම කුණුහරුප කියවලා තියෙන්නෙ. හෝඩිපොත තමයි කියවලා නැත්තෙ
Deleteහොඳ විස්තර ගොඩක් ඇතුලත් ලිපියක්. මේ වගේ ලිපි පල කිරීමෙන් මේ රටවල් ගැන යම් අවබෝධයක් අපිට ලබාගන්න පුලුවං.
ReplyDeleteඅපොයි ලංකාවෙ තෙල් ගණං වැඩි එක එක අතකට හොඳයි කියල හිතෙනව. නැත්තං බංගලි උං වගේ අපේ එවුවොත් කිසි ගානක් නැතුව කොට කොට යයි. :D
මේ වගේ ලිපියක් ලිවීම ගැන රත්නායක සහෝදරයටත්, මේ ලිපි පලකිරීමට අවස්ථාව සලසා දෙන සිරාටත් ස්තුතිය.
ස්තූතියි ප්‍රසන්න සහෝදරයා. ලංකාවෙත් තෙල් ලාභ උනා නම් සමහර විට මේ වගේ කොටන සංස්කෘතියක් ඒවි.
Deleteපිස්සු හැදෙයි! මැස්සො මැරෙයි! (උපුටාගැනීම ඉවාන් ෆවුලූෂා)
ReplyDeleteලියමන නම් සුපිරියි. මෙයිට දෙවැනි නෑ ඉන්දියාව. ඒ ගැන ලියලා එවඤ්ඤංකො.
මේ රට මෙහෙම ප්‍රචණ්ඩකාරී, අවිනීත රටක් වෙන්න හේතුවත් සිරා දන්නවා ඇතිනෙ ලිපියෙන් නොකිව්වට. එහෙම වුණු හැම රටකම තත්ත්වය ඕකයි. අපිත් ටික ටික ඒ පැත්තට යනබවයි පේන්නෙ.
මක්ක උණත් විස්තර ප්‍රචාරයනං හරියට ඩිස්කවරි/නැට්ජයෝ වගේ. මවලම පෙන්නල. තෑන්ක්ස් මචෝ, ළඟදිම ප්‍රෙයා්ජනවත් වෙයි කියලා හිතෙනවා. සුභවේවා!
ස්තූතියි මිත්‍රයා...
Deleteපැය 3ක ෆිල්ම් එකක් බැලුව වගෙයි. හරිම වටින ලිපියක්. රත්නායක සහෘදයාට වගේම සිරාටත් ස්තුතියි.
ReplyDelete(පුළුවන් නම් පින්තුර පොඩ්ඩක් පොඩි කරල දාන්න. සමහර browser වල timeout එකක් එනවා බර වැඩි නිසා.)
සිරගෙ 7 වැනි ලිපිය සංකල්පයට අපෙන් මල් මිටක්.
විකසිත සින්ඩිය.
ඔබටත් ස්තූතියි...
Deleteසිරා, මේ ලිපිය පට්ට සිරා!!
ReplyDeleteමම එක පාරක් ඔය රටට ගියා, එ රිකෘට්මන්ට්ස් වලට. අපේ සේවකයන්ගෙන් 3/4 බංගලි.
මොහොමද් අලි ජින්න ඉන්දියාව දෙකඩ කරගත්තු එකෙන් ඉන්දියාවට යම් වාසියක් උනානම් උනේ, ඔය මුස්ලිම් අශීලාචාර නූගත් මිනිසුන් කොට්ඨාෂ දෙක ( පකිස්ථාන් බංගලි )නැති ඉන්දියාවක් නිසා අඩු ජනවාර්ගික ප්‍රශ්ණ සහිත ඉන්දියාවක් වේගයෙන් දියුණුව කරා ගෙනයන්නට හැකිවීම.
දේශපාලන ස්ථාවරත්වයක් තිබ්බනම්, චීනයට තරඟයක් දෙන්න තිබ්බ රටක්. හේතුව ඉන්දියානුවන්ට වඩා බංගලි වෙහෙස වෙලා වැඩ කරනව. හැබැයි අමුම අමු මැට්ටො.
මගේ මිත්‍රයෙක් ඉන්නව ඔහෙ හයිඩ්‍රාමණි එකේ ෆැක්ටරි මැනේජර්. ඌ කියන්නෙ ආයෙ ලංකාවට එන්නෙ පැන්ෂන් ගියාමලු. ඒ තරම් එහෙ ඉන්න එක ලාභයි, පහසුයිලු. අතට පයට සේවකයො, විසාල ගේ දොර, කෑම සමග ලෑම තීන රටක් මොකට දාල එනවද අහනව!
තව බංගලිදේශ් ගැන ලියන්න, සිරාටයි රත්නායකටයි සුභ පතනව!
ප/ලි, සිරා උඹෙ මෙසේජ් එක දැක්ක. ෆෝන් කටුවෙන් කොටන්න බෑ බන් යමක්. පස්සෙ කතා කරමු අවුලක් ගන්න එපා.
මමත් ගියා දවසක්, හයිඩ්‍රාමනී (Kent Park) එකට. ඒකෙ ඇතුල දැකලා මට පුදුම හිතුනා. තනිකරම ලංකාවෙ ෆැක්ටරි එකක්. පුදුම ලස්සනයි. ළමයි හ්ම් කියන සද්දයක් නෑ. පුදුම විනයක් තියෙන්නෙ. මට පුදුම හිතුනා බංගලියො ඒ විදියට වැඩ කරනවා දැක්කම. එක තැනම ෆැක්ටරි 6 තියෙනවා. මගේ යාලුවො ගොඩාක් වැඩ කරනවා. මම දැකපු විදියට BD වල නො 1 ෆැක්ටරිය තමයි හයිඩ්‍රාමනී Kent Park.දවල් කෑම දෙනවා මඟුල් ගෙදරක වගේ. ඒ පැත්තෙ ඉන්න බංගලි මේ ෆැක්ටරියට ගොඩාක් ආදරෙයි. ඔයාගෙ යාලුවයි අනිත් අයයි ගොඩාක් මහන්සි වෙලා තියෙනවා ඒ වගේ ෆැක්ටරි එකක් හදන්න. ඒ හින්දා වෙන්න ඇති එන්න කැමති නැත්තෙ.
Deleteමේ රටවල් දෙකට කඩන වෙලාවෙ ඉන්දියාව දැනගෙන හිටියා නම් බංග්ලාදේශයේ ගෑස් තියෙනවා කියලා මලාට කඩන්න දෙන්නෙ නෑ. දැන් මෙහෙ තියෙන අස්ථාවරයට තනිකරම වගකියන්න ඕනෙ ඉන්දියාව
මේ තරම් ස්වභාවික සම්පත් තියෙන රටක් මේ තත්වෙන් තියුඑන හැටි හිතාගන්නත් බෑ. බංගලි ගීත හරිම කන්කලුයි , බංගලි කෙල්ලන්ට හරිම ලස්සනට සින්දු කියන්න පුළුවන් කියන කතාවනම් ඇත්ත ,
ReplyDeleteමුන්ට සින්දු කීම කෙසේ වෙතත් හොඳට කියවන්න නම් පුලුවන්
Deleteරත්නායක. මේ ලිපිය කියවලා මම විමතියට පත් වුනා. බස් වලට වෙනම වානේ ආවරණ සවි කරලා තියෙන එක ගැන ඔහේ ඉගෙන ගන්න බ්ලොග් කරුවෙකුත් එක පාරක් ලියලා තිබුණා. නමුත් මේ ලිපිය නම් රස සාගරයක්. නිවාඩු වෙලාවක තව කොටසක් ලියන්න.
ReplyDeleteබලමුකෝ පුලුවන්ද කියලා. මෙහෙ ඕනෑම වාහනයක් ගෙනාපු ගමන් වෙනස් කරනවා. මෙහේ තියෙනවා ලොරි බස් කරන ගැරේජ්, ත්‍රීවීල් බස් කරන තැන්, බයිසිකල් පවා බස් වගේ හදනවා
Deleteෂහ්.. ලස්සන විස්තරයක්. අර සෙක්‍යුරිටි කුරුල්ල තමයි මරු.. :D
ReplyDeleteමාත් කැමතියි එම්ඩී තව ලිපියක් ලියනවා නම්.
සිකුරිටි කුරුල්ලා ගැනද ?
Deleteහිනා වෙලා හක්කත් රිදෙනව.ඔය කෑම සහ කතා කිරීම ගැන නම් මමත් දන්නව.මොකද මම වැඩ කරන තැන ක්ලිනර් ලාගෙන් 99%ක්ම බංගලි ජාතිකයින්.සමහර උන් අවුරුදු 8කින් ගෙදර ගිහින් නැහැ.ඒත් උන්ගේ නෝනලට අවුරුදු 3-4 ළමයි ඉන්නව.අනික මෙහෙත් මොනවා හරි උනොත් ඉස්සෙල්ලම අල්ල ගන්නේ බංගලි.උන් එකාට එකා නැහැ.ටක් ගාල පාවල දෙනව..බොහොම ලස්සන කතාවක් ඩොකියුමෙන්ට්‍ර් යක් බැලුව වගේ..බොහොම ස්තුතියි රත්නායක සහෝදරයටත් මේ අදහස දාපු සිරා මල්ලිටත්. ජය වේවා..
ReplyDeleteමට ඉතින් කියන්න අමුතුවෙන් දෙයක් නෑ ඉන්දික. බංගලියන්ගෙ ජන්ම ගති ඔය කියන ඒවා තමයි.
Deleteමේ රටවල දේශපාලකයන් වැජඹෙන්නේ මේ නූගත් ජනතාව රවටාගනිමින්. ඔවුන්ගේ ජීවන තත්වය ඉහලට ගත්තොත් තමන්ට පැවැත්මක් නැහැ කියලා ඒ දේශපාලුවෝ දන්නවා. අපේ රට මීට ටිකක් ඉහලින් තියෙන්නේ.
ReplyDeleteබංග්ලාදේශයට හොඳ ත්‍රිවිධ හමුදාවක් තියනවා. නමුත් ඔවුන් හමුදා කුමන්ත්‍රණ නොකරන්නේ රට නැවත ගොඩගන්න බැරි තරමට වැටිලා තියන නිසයි.
ජනතාව කොහෙත් රැවටෙනවා තාම. හරි වැරැද්ද බලන්නෙ නෑ. අපේ උතුරේ එවුන් වගේ තමයි. වෙඩි තියලා මැරුවත් කොටියට තමයි කතිරෙ ගහන්නෙ.
Deleteමචන් සිරා ලියුම නං පට්ට සිරා.. රැටා ගොයියටත් සිරාවටම තැන්කියු..
ReplyDeleteඅර පොඩි කාලෙ අහල තිබ්බ වගේ දැන් ඔහෙ ඔළිඳ නද්ද බං?
යන්න බැරි උනාට බංගලියෝ ගොඩක් එක්ක වැඩ කරල තියෙන නිසා මේ ගොඩාක් අත්දැකීම් හරිම සමීපයි..
මට අමතකම කරන්න බැරි බංගලියෙක් ඉන්නවා.. නෑ හිටියා... මං වැඩකරපු කොරියන් කොම්පැණියක කුකෙක්.. නූර් කියල.. ඌට අම්බානෙකට ෂුගරුයි ප්‍රෙශරුයි තිබ්බා.. හැබැයි බෙහෙත් බොන්නෙ අල්ල මතක් කරොත් විතරයි.. අන්තිම කාලෙ හොඳටම වැඩිවෙලා මගේ ගාවට එන්න ගත්ත. (උගෙ හිතේ මං ඩොකෙක් කියලා) මගේ ගාව තිබ්බ අර ෂුගරුයි ප්‍රෙශරුයි චෙක් කරන ගැජට් එකක්.. ඕකෙන් හැමදාම රැන්ඩම් චෙක් කරනවා.. මූව ඩොක්ට කෙනෙකුට පෙන්නලා බෙහෙත් ගෙනැල්ල මගේ ලඟ තියාගෙන මං දෙනව වගේ දෙනව.. එතකොට ඌ බොනව..
ඔහොම ඉඳල මං දවස් දෙකක් නිවාඩු ගිහින් එනකොට මූ බෙහෙත් නොබී ඉඳල ප්‍රෙශර් වැඩිවෙලා නහරයක් පුපුරල.. හොස්පිටල් ගෙනියනකොටත් බාගෙට මැරිල.. මැශින් එකට ගහල දවසකට පස්සෙ අන්තිම වතාවට එක පාරක් සිහිය ඇවිත් තිබ්බ.. මූ ඇස් දෙක ඇරගෙන මගේ දිහා බලන් හිටිය 'සර් නිවාඩු ගියෙ නැත්නම් මං මැරෙන්නෑ' කියනව වගේ.. මට ඒක තවම අමතක කරන්න බෑ.. දවස් තුනකින් මැශින් එකෙන් අයින් කරල බොඩිය රට පැටෙව්ව.. මොන රටේ උනත් අපි ඔක්කොම මිනිස්සුනෙ බන්..
ඔළිඳ තියෙනවද දන්නෙ නෑ. හැබැයි ළිං ජලය බොන්නෙ නෑ. නල ජලය තමයි බොන්නෙ. මුං හරිම පණ්ඩිත රැලක් තමයි මචෝ. ළඟදි අපේ ගෙදර වැඩකරන එකාට මම නූඩ්ල්ස් පැකට් එකක් ගෙනත් දුන්නා හදන්න කියලා. මම එනකොට මේකා ඒක හොදට ටැප් එකට අල්ලලා හෝදනවා. මම ඇයි කියලා ඇහුවා. මේකා ගත් කටටම කියනවා මම කිව්වලු හෝදල ගන්න කියලා. මොනවා කරන්නද...කන්න දෙයක් වෙන තිබුනෙත් නෑ..පස්සෙ පාන් කෑවා නූඩ්ල්ස් හොද්දත් එක්ක.
Deleteරත්නායක......රටක් ගැන මේ තරම් රසවත්ව ලියු ලිපියක් කියවූ පළමු අවස්තාව යැයි කීවොත් බොරු නොවේ. කියවීමටත් පහසුයි. රසවත් බවෙන් අඩුවකුත් නැහැ. තව ලියන්න බොහෝ දේවල් තියනවා කියලා තිබුනා. ඉතින් ලියන්න.
ReplyDeleteමගේ මස්සිනාත් ඩකාවල උසස් තනතුරක් කරන කෙනෙක්. එයාගෙන් අහපුවාම ඒ රට ගැන කියන්නේ "කතා කරලා වැඩක් නැහැ බං..උන් මහ පිස්සු *ත්තෝ රැළක්" කියලා. මුන් හෙණ ගේම් කාරයෝ කියලානම් මම දන්නවා. උන් ලක්ෂ ගණන් ඉන්න රටක මම හිටියා. ඔක්කොම හොඳයි තොර තෝංචියක් නැති කියවිල්ල තමයි කාලා ඉන්න බැරි.
මස්සිනාගෙ නොම්බරය සිරාට එවන්න. මමත් ඉන්නෙ ඩකා වල. සෙට් වෙලා කයියක් දාන්නම්.
Deleteහරිම වටින පෝස්ට් එකක්.. බංගලාදේශය ගැන නොදැන හිටිය ගොඩක් දෙවල් දැන ගත්තා...
ReplyDeleteස්තූතියි නගේ....නොදන්න අයට දැනගන්න තමයි මේ ලිපිය ලිවවෙ
Deleteගොඩක් වැදගත් ලිපියක්! :)
ReplyDeleteවැඳගත් ලිපියක් කිව්වෙ ?
Deleteලිපිය සිරා බන්.ඒක නොවෙයි බන්ගලි දේසෙ කියන්නෙ අනාගතයෙ ආර්ථික බලවතෙක්.ඒ වගේම බන්ගලියෙන් ආපු කණ්ඩායම් ලංකාවෙ ඉන්නව.වගයො කියල ඒ අයට කියන්නෙ.
ReplyDeleteසිංහලයන්ටත් වාසගම් තියනව වගසෙනෙවි වගෙ ඒව.බංගලියො එක්ක ජාන හුවමාරු වෙලා තියන බවයි ඒකෙන් කියන්නෙ
සමස්තයක් ලෙසත් අපි බංගලියො වෙන්නත් පුළුවන් විජය ප්‍රවාදය පිළිගත්තොත්
සිරෝ උඹේ මේ වැඩේ සිරා බන්
වැඩේ කිව්වෙ අන්තිම ලිපිය පාඨකයන්ට බාර දෙන එක.මාර විවිධත්වයක් ඇතිවෙන්නෙ
මෙහෙ තියෙන ප්‍රතිපත්ති එක්ක ආර්ථික බලවතෙක් වෙන්න ගොඩ දවසක් යයි. ඒත් ගොඩාක් රටවල් වලට වැඩිය විදේශ විනිමයක් මේ රටට එනවා. හැබැයි දුෂණය වැඩියි
Deleteවිජය රජ්ජුරුවො ඇවිත් තියෙන්නෙත් බංගලිදේසෙන්ලුනෙ. දැනුයි තේරුණේ, අපේ සමහරුන්ට මොකද මෙහෙම වෙලා තියෙන්නෙ කියල.
ReplyDelete:P
අන්න ඔයාට අනිත් අයට වැටහුනෙ නැති දෙයක් වැටහිලා..
Deleteපෝස්ටුව ලිව්ව එම්. ඩී. ර්තනායක සහෝදරයට ගොඩක් ස්තූතියි. ඒ වගේම ඒක ටයිප් කරන්න මහන්සි වෙච්ච සිරාට බොක්කෙන්ම ස්තූතියි. බංග්ලා දේශයෙ ඇතුලත දැකගන්න අවස්ථාව ලබා දුන්න එක ලොකු පිනක්.
ReplyDeleteරාජපක්ෂ පාලනය යටතෙ තව අවුරුදු පහක් යන්න කලින් අපිටත් මේ අත්දැකීම් හැබැහින්ම විඳගන්න පුළුවන් වෙයි කියා හිතනවා. දැනටත් ඒකෙ පෙරනිමිති පහළ වෙමින් තියෙන්නෙ.
ඇවිල්ලම බලපං කොල්ලෝ. එතකොට තේරෙයි ලංකාවෙ පාලනය කොච්චර හොඳද කියලා. මෙහේ පාලනය කරන්නෙ අකුරුවත් දන්නෙ නැති පොල්ලක් අතේ තියෙන මානවකයෙක්.
Deleteඑල ද බ්‍රා...
ReplyDeleteකිසිම කමමැලිකමක් නැතුව මුල සිට අගට කියෙව්වා..
සිරා.. මේ 7 වෙනි ලිපිය බොලෝග් ලෝකය තුල උඔ කරපු පෙරලියක්..
ලංකාවට ඇවිත් අඩියක් ගහන දවසට මමත් එනවා..
හත් වෙනි ලිපියක් ලියන්න දුන්න නිසානෙ මමත් මේ ලිපිය ලියලා එව්වෙ. මේ සංකල්පය හරිම අලුත් එකක් තමයි. ඒ හින්දා විවිධත්වයක් තියෙන ලිපි පලවෙනවා.
Deleteමොකද කියන්නෙ මෙන්ඩිස් ලොක්කො...මමත් එන්නද අඩියක් ගහන්න.
නැතුව..නැතුව..ඔයා ආපු දවසක..
Deleteමේ තියෙන හැටියට ලංකාව හොඳයි නේ බං.අර ත්‍රිවිල් වලට යකඩ දැල් ගහන් ඉන්න සින් එකට නම් හිනත් ගියා.බංගලාදේශ් වල අධ්‍යාපනය අනිවාර්ය නැතිද ?මේ තරම් අඩු ශ්‍රමයක්,අඩු අධ්‍යාපනයක් තියෙන්නේ ?
ReplyDelete