Monday, January 20, 2014

118 මයෙ මලයා

අලි ගැන කියන්න තියෙන ඊළග අලි කථාව පැත්තක තියලා මේ කථාව ලියන්න හිතුනෙ අද විශේෂ දවසක් හින්දයි. මේ කථාව බොලාට කියන්න කලියෙන් සුට්ටක් විතර අතීතයේ කිමිදිලා ඒ කිව්වෙ හිතින් ළමයෙක් වෙලා ඉන්න මට උවමනා කොලා. හැබෑට ඒ විදියට ඉද්දි හිතට දැනෙන සැහැල්ලුවත් ප්‍රීතියත් හරිම අපූරුයි. හැමදාමත් අපිට අපේ ලස්සන පුංචි කාලයේම ජීවත්වෙන්න තියේ නම් කියලා හිතුන තවත් දවසක් තමයි අද.

සිරා කොලුවා වන මා සතුව තියෙන පැරණිම මතකය මොකක්ද කියලා මගේ දුප්පත් කාමරය පටන් ගත්ත මුල්ම අවදියෙම බොලාට කිව්වා මතක ඇති. ඒ කාලෙ මගේ වයස අවුරුදු 3යි. අපේ පවුලෙ වැඩිමල් දරුවා විදියට මට ඒ තරම් වයසක් ගියාට පස්සෙ තමයි මගේ දෙමාපියො සිරා කොලුවට සෙල්ලං කරන්න, රණ්ඩු වෙන්න, තනිකම නැති කරගන්න මල්ලියෙක් ගෙනත් දෙන්න තීරණය කොලේ.

පවුලෙ දෙවැනි දරුවා විදියට කෙලියක් තමයි මගේ දෙමාපියන්ගෙ අපේක්ෂාව වෙලා තියෙන්නෙ. ඒ උනාට මේ කියන කාලය වෙද්දි අද තරම් තාක්ෂණය දියුණු වෙලා තිබුනෙ නැති හින්දම ස්කෑන් කොරලා බලලා වේලාසනින්ම ඉපදෙන්නෙ මොකාද කියලා කියන්නට හැකියාවක් තිබිලා නෑ. අලුතෙන් පවුලට එකතු වෙන කෙලි පොඩිත්ත පිළිගන්න අම්මා තාත්තා හැමදේම සූජානම් කොරලා තියෙන්නෙ රෝස පාටට උනත්...ඒ අයගෙ අහිංසක බලාපොරොත්තු කඩ කරමින් මේ ලෝකයට ආවෙ සුදුම සුදු බෝලයක් වගේ මල්ලි කොල්ලෙක්. හරියට අද කාලෙ කිරිපිටි දැන්වීම් වල ඉන්නවා වගේ කොලුවෙක්. පොඩිකාලෙ අපි දෙන්නා ඉන්න ඡායාරූපයක් ලංකාවෙන් ලැබුනොත් පස්සෙ මේ පෝස්ටුවටම අමුණන්නම්. 

මෙන්න මේ මල්ලි කොල්ලා රෝස කැලෙන් අහුලගෙන එන්න අපේ අම්මා ගම්පහ ඉස්පිරිතාලෙ නැවතිලා උන්නු කාලෙ ඇයට ගෙදර ඉදන් අරන් ගිය බත්මුල සපයන්න ගිය ගමන තමයි මේ ආත්මයේ මා සතුව තියෙන පැරණිම මතකය. තාත්තත් එක්ක පුෂ් බයිසිකලයෙන් ගිය මේ ගමන් බිමන් ලස්සන හීනයක් වගේ මගේ හිතේ කොණක තවමත් සැතපිලා තියෙනවා. බයිසිකලේ හරස් පොල්ල උඩින් පුංචි කොට්ටයක් තියලා...ඒක උඩින් පුංචි සිරා කොලුවව ඉන්දවලා...කිලෝමීටර් 5 කට ආසන්න දුරක් තාත්තා බයිසිකලය පදින්නෙ පුංචි පස්සා පැත්තා රිදෙනවා කියලා සිරා මැසිවිලි නගන සෑම විටකම අතර මැද පුංචි විරාමයක් තබමින්.

මේ කියන සිදුවීමෙන් පස්සෙ නැවතත් මගේ මතක ගබඩාවෙ මල්ලි කොල්ලා ගැන මතකයක් තියෙන්නෙ පුංචි මැටි කැටයකුත් එක්ක. මැටි කැටයක් කිව්වෙ සල්ලි දාන කැටයක්. අපේ මව්තුමිය අපි පුංචි කාලෙ ඉදලම සකසුරුවම් ජීවිතයක හුරුව ඇති කොරන්න කියලා හිතාගෙනද කොහෙද පොලේ ගිය වෙලාවක පුංචි මැටි කැටයක් ගෙනත් දුන්නා. ඒ වෙද්දි මගේ වයස අවුරුදු 6 විතර ඇති.

ඉතිං අපිට කැටයක් ලැබුනාම ඊලගට තියෙන ලොකුම ආශාව තමයි ඒක සල්ලි වලින් ඉක්මනින් පුරවන එක.

ආච්චිලගෙ ගෙදරට ගිහිල්ලා ඕකට කීයක් හරි දාගන්න....අම්මා එහෙම කිව්වෙ අපේ තාත්තගෙ නැන්දණියක් අපේ නිවාසය කිට්ටුව ජීවත් වෙච්ච හින්දා. ඔන්න ඉතිං මල්ලි කොල්ලයි මමයි අර පුංචි කැටයත් එකතු කරගෙන ආධාර වටයක් ගියා. ඒ ගෙදර හිටිය නැන්දලා මාමලා හැමෝම තමන්ගෙ අතේ තිබුන මාරු කාසි දෙවරක් නොහිතා අපේ කැටයට එඹුවා. කැටය ඇතුලට සල්ලි වැටෙද්දි ඇහෙන සද්දෙත් පංකාදුයි. වැඩි වැඩියෙන් කාසි ඔබලා ඒ සද්දෙ අහන් ඉන්න පුංචි අපේ හිත් ආශා කොලා.

දැන් කැටය සෑහෙන තරමකට බරයි..ආච්චිලගෙ ගෙදර ගිය ගමන නරකම නෑ...කාසි සෑහෙන්න වැටිලා...ආපහු එන ගමනෙදි  මේ කැටය හොල්ල හොල්ල ආව මල්ලි කොල්ලා ඒක පාර මැදම අත ඇරියා. කැටේ දෙපලු වෙද්දි ඇතුලෙ තිබුන කාසි ඉර එළියට දිළිසුනා. මගේ හිතේ ලොකු තරහක් ඇතිවුනා. ඒ තරහටම මම මල්ලි කොල්ලට තද පාරක් ගහලා ගෙදර දිව්වා. වටේ පිටේ හිටිය ඇත්තො කාසිත් එක්කම කැටේ සුන් බුන් ටික අහුලලා දීලා ඒකත් අරගෙන මගේ මලයා අඩ අඩා ගෙදර ආව හැටි මට යන්තමට වගේ තවමත් මතකයි.

අපේ මලයා දණ ගාන කාලෙ නලල බිම වැදිලා එතන ගෙඩියක් ආව බවත්...ළමා රෝහලේදි ඒ ගෙඩිය පළලා ප්‍රතිකාර කරපු බවකුත් අම්මා තාත්තා කිව්වත්...ඒ ගැන මට මතකයක් නෑ. හැබැයි මගේ මලයට පුංචි කාලෙ බොහොම තද අපල තියෙනවා කියලා කේන්දර කරුවො කියපු නිසාත්...අපේ ආච්චිලා සීයලා ඒවා බොහොම දැඩිව විශ්වාස කරපු නිසාත් මලයා පෙර පාසල් යන අවදිය වන විට රද්දොළුවෙ අපේ ලොකු නැන්දලගෙ ගෙදර නවාතැන් ගත්තා. අපේ තාත්තගෙ ලොකු අක්කා තමයි  මේ කියන නැන්දා. එයාගෙ දුව තමයි පෙර පාසල් ටීචර්...නෑ කමින් අපිට අක්කා. ඒ කාලෙදි මල්ලි කොල්ලා සමහර වචන උච්චාරණය කරපු විදිය මට තවමත් මතකයි. සීබ්‍රාට කිව්වෙ සිරිබ්බා කියලා. 

මේ ඡායාරූපය පසුව එකතු කරමි.
මේ මගේ මලයගෙ 3 වෙනි උපන් දිනය දවසෙ ගත්ත ඡායාරූපයක්...අද මේ ඡායාරූප ශාලාවත් ගම්පහ නෑ. 

මලයා රද්දොළුවෙ නැවතුනාට පස්සෙ මාසයකට සැරයක් විතර මමත් අම්මත් ඒකව බලන්න ගිය හැටිත් මට මතකයි. අපි ගිය වහාම බොහොම සතුටින් උඩ පනින මගේ මලයා අපි සමුගන්න අවස්ථාවෙදි බිම පෙරළි පෙරළි අඩපු හැටි මතක් වෙද්දි මගේ හිතට තවමත් දුකයි. ආයෙත් එනවනෙ පුතේ කියලා අපේ අම්මත් මල්ලිගෙන් සමුගන්නෙ නෙත් අග දිළිසෙන ලොකු කදුළු බින්දුවක් දෙකක් දරාගෙන.

පෙර පාසල් ජීවිතය ඒ විදියට ගත කරන්න මගේ සහෝදරයට ලැබුනෙ කෙටි කාලයයි. ඒකා නැතුව ජීවත්වෙන එක මගේ මවටත් ලොකු දුකක් නිසා අපල වලට ඕනෙ මගුලක් වෙද්දෙං කියලා ආයෙමත් ගෙදර ගෙනල්ලා අපේ පැත්තෙ පෙර පාසලකට ඇතුලු කොලා.

මේ කියන පෙර පාසල සහ මගේ පාසල අවසන් වුනේ වාර දෙකකට නිසා මව්තුමියට සිදු වුනා දෙවරක්ම ගිණි අව්වෙ අපිව නිවසට රැගෙන යන්න පාසල් එන්න. ඒ දිහා උපේක්ෂාවෙන් බලා හිටිය එකල මගේ පන්ති භාරව හිටිය විජිත සෑර් මලයට පෙර පාසලෙන් පස්සෙ මගේ පන්තියෙ රැදෙන්න අවස්ථාව ලබා දුන්නා. එතැනින් පස්සෙ අපි දෙන්නටම එකවරකට නිවෙසට යන්න හැකි වුනා.

මේ වකවානුවෙදි මගේ පන්තියෙ හිටිය කොල්ලො කෙල්ලො හැමෝම වගේ මලයා එක්ක ඉක්මනින්ම හිතවත් වෙච්ච හින්දම තමයි විවේකයට කන්න කියලා ඒ අය ගේන පාන් පෙත්තක් හරි බිස්කැට්ටුවක් හරි ඒකාට දෙන්න ඉතුරු කරලා තිබ්බේ.

පුංචි කාලෙ ඉදලම බොහොම නිශ්ශබ්ද...දාංගලය අඩු කෙනක් නිසාම මල්ලි කොල්ලා ගැන කාගෙන්වත් පැමිණිලි නෑ...සියලු පැමිණිලි මට එරෙහිවයි ඉදිරිපත් වුනේ. ඒ උනාට ඉදලා හිටලා මගේ දග වැඩ ගැන අම්මට කේළමක් දෙකක් කියන නිසාම තමයි මමත් මලයත් අතර ද්වන්ද්ව සටන් ඇති වුනේ. අද මට දුක හිතුනත් එදා මට දුකක් හිතුනෙ නැති නිසාම මලයා මගෙන් ගුටි කෑවා....හැමදාමත් ඇඩුවා....ඊට පස්සෙ නඩුව විභාග කරලා අම්මා ඉදලා හිටලා මට පාරක් ගැහුවා...සමහර දවස් වලට මමත් මල්ලි කොල්ලා එක්කම ඇඩුවා.

ඉස්සර තිබුන මුත් අද අපේ මිදුලෙ නැති දැවැන්ත කොස් ගහ යට සෙවනෙ ලී හිටවලා මමත් මලයත් ඉස්සර සෙල්ලං ගෙවල් හැදුවා. වලවල් හතරක් කපලා ලී කෝටු 4 ක් හිටවලා වහලෙටත් මොනවා හරි දැම්මම අපි දෙන්නගෙ ගේ අංග සම්පූර්ණයි. ගේ වටේ අහුරන්න අම්මගෙ පරණ සාරියක් දෙකක් දැම්ම බවකුත් මතකයි. එවැනි දවසක දවල්ට බත් කන්නෙත් ඒ ගේ ඇතුලෙ ඉදලා. මේ විදියට තමයි අපේ සුන්දර ළමා කාලය ගලාගෙන ගියේ.

ඒ උනාට දවසක් මලයාව අල්ලලා ඇද උඩට තල්ලු කරපු දවසක මගේ ඇස් රතු වුනා. ඒකගෙ ඔලුව ඇද විට්ටමේ වැදිලා පැලුනා. ලේ ගලනවා උනත්...ඒකා ඇඩුවෙ නෑ....දෙමාපියො නඩුව විසදන්න සුනංගු නොවී වහාම දොස්තර මහතෙක් කරා රැගෙන ගිහිල්ලා ඉක්මනින් තුවාලය හොද කලා. ඊට ටික දවසකට පස්සෙ තමයි මලයා මට පළවෙනි ප්‍රතිප්‍රහාරය එල්ල කලේ.

ආයෙමත් දවසක අපි දෙන්නා පැටලුනු වෙලාවක අලුතින්ම උල් කරලා තිබුන මගේ පැන්සලෙන් මලයා මගේ වම් ඇහැට අගලක් විතර යටට වෙන්න තදින් ඇන්නා. පැන්සල එළියට අදිනකොට ඒකෙ තිබුන තුඩ මගේ මූණ ඇතුලෙ. අපේ පවුලේ දොස්තර මහත්තයා අපේ තාත්තට කිව්වෙ මේක ගන්න නම් මෙතන පලන්න වෙනවා...එහෙම උනොත් මූණෙ පෙනුමත් කැත වෙනවා...තුඩ අපි එහෙමම තියමු මිනිරං ශරීරයට විෂ නෑ කියලයි. ඒ නිසා තවමත් මලයා ඇනපු මිනිරං තුඩ මූණෙ තියාගෙන තමයි සිරා කොලුවා ජීවත් වෙන්නෙ...ඒ කැළල යන්තමට වගේ තාමත් තියෙනවා.

මේ දෙන්නා තනියම ගෙදර දාලා යන්න බෑ...එද්දි මොනවා කරගනීද මන්දා...අපේ අම්මා තාත්තට එහෙම කිව්වෙ මගෙත් මලයගෙත් නිරන්තර ගැටුම් නිසයි. එතැනින් පස්සෙ දෙන්නගෙන් කෙනෙක් අනිවාර්යෙන්ම මව හෝ පියා නිවසින් පිටතට යද්දි රැගෙන ගියා....ඒ කාලෙ අපි රණ්ඩු වුනේ මොන මොන හේතු වලටද කියලා මට දැන් මතකයක් නෑ.

මගේ ගුටි බැට වලින් මලයාට සහනයක් අත් කර දෙන්න තාත්තා තීරණය කලේ ඊටත් පස්සෙ. අපේ තාත්තා කරාටේ ක්‍රීඩාව සෑහෙන දුරකට ප්‍රගුණ කරපු කෙනෙක්...ඒ දැනුමෙන් යමක් මලයාට ලබා දෙන්න එතුමා කටයුතු කොලා....ඒ හැම වෙලාවකම තාත්තා කිව්වේ මේ දැනුම තමන්ගේ ආරක්ෂාවට මිස වැඩ පෙන්වන අරමුණෙන් කිසිම තැනක පාවිච්චි නොකල යුතු බවක්. නමුත් මට කිසිවක් කියා දුන්නෙ නෑ...තාත්තා ඉගැන්නූ දේ වලින් පහරවල් වළකාලන්නත්...සෙළවිය නොහැකි සේ ගැට දමන්නත්...කෙටි කාලයකදි මලයාට හැකි වුනා...ඔයින් මෙයින් ඒකාගෙන් මටත් පහරක් දෙකක් වදින කාලයක් ආවා. එතැනින් පස්සෙ අපි දෙන්නට ඇති තරම් ගහගන්න ඉඩ දුන්නා....හැබැයි එක කොන්දේසියක් උඩ ...අඩන කෙනාට ගෙදරින් ගුටි....ඒ නිසාම මලයා හිතට ධෛර්යය අරගෙන අඩන්නෙ නැතුව හැකි තරම් දුර සටන් කලත්...සමහර දවස් වලට මිනිහා අඩනවා....ඒත් වයසෙන් මුහුකුරා යද්දි...පවුලෙ වැඩිමලා විදියට මලයා ගැන වගකීමෙන් හිතලා ඒකාගෙ පහරකට ප්‍රතිප්‍රහාර දෙන්න යන්නෙ නැතුව නිහඩව ඉවසන්න මම පුරුදු වුනා. 

මේ වකවානුවෙන් පස්සෙ කාලයක් විදේශගත වෙලා හිටිය තාත්තා නැවත සියරට ඇවිල්ලා අපිට පීනන හැටි කියාදෙන්න අත්තනගළු ඔයට රැගෙන යන අවස්ථාවලත් හැම වෙලේම මලයත් මා එක්කම හිටියා...අපි දෙන්නම එක විටම තමයි පීනන්න ඉගෙන ගත්තෙ. නමුත් හැම වෙලේම මට වඩා කලියෙන් අලුත් යමක් ඉගෙන ගන්න ඔහුට කදිම හැකියාවක් තිබුනා. අනිත් කාරණේ ඔහුට වම දකුණ අත් දෙකම හුරුයි..දකුණු අත ලියන්න භාවිතා කරනවා නම් ඔහු ලීයක් කපන්න පිහිය අල්ලන්නෙ වම් අතින්. ක්‍රිකට් ක්‍රීඩා කරන වෙලාවට දකුණතින් පිත්ත හැසිරෙව්වත් පන්දු යවන්නෙ වම් අතින්.

ඔයින් මෙයින් ශිෂ්‍යත්වය සමත් කරගෙන සිරා නගරෙ පාසලට ගියාට පස්සෙ මගේ මලයත් ඒ පාරෙම ඇවිල්ලා අපේ පාසලට ඇතුලු වුනා. මලයා 6 හෝ 7 පන්තියෙ ඉද්දි ඒකට වඩා වසරක් වැඩිමල් එකෙක් පාසලේදි සද්දයක් දාලා සල්ලි ඉල්ලලා තිබුනා.  දවසක් දෙකක් බලලා බැරිම තැන ඒකා මට පැමිණිලි කලා. මම ඒ වෙද්දි පාසලේ දිග කලිසං අදින වයසට ඇවිල්ලා හිටිය හින්දා භය නැතුව පාසල් වෙලාවෙන් පස්සෙ අදාළ කොල්ලව කොටු කරගෙන....අතින් පයින් නැතුව වචන වලින් භය කරලා එලෙව්වා....එදායින් පස්සෙ කිසිම කරදරයක් වුනේ නෑ.

මම බෑන්ඩ් කණ්ඩායමට බැදෙද්දි එයත් ඒකටම එන්න පොරකෑවත් මගේ නිදහස නැති වේයැයි බියෙන් මම එයට විරුද්ධ වුනා. ඉන් පසුව ඔහුගෙ තේරීම උනේ රතු කුරුස සමාජය...මේ ඔස්සේ උනන්දුවෙන් කටයුතු කරලා එක් වසරක දකුණු කොරියාවෙ සංචාරයකට යන්න ලංකාවෙ බස්නාහිර පළාතින් තේරුනේ අපේ මලයා වුනත්...ඒ එක්කම ඒ කලාපෙ පැතිරී ගිය සාර්ස් වයිරසය නිසා ඒ චාරිකාව යන්න එයාට අවස්ථාවක් ලැබුනෙ නෑ.

මට හිතෙන විදියට මලයත් මමත් බොහොම සමීප උනේ මම උසස් පෙළ කරන කාලෙදි...සහෝදරත්වයට වඩා මිත්‍රශීලී හැගීමක් තමයි එතැන තිබුනෙ...වයසින් වැඩෙද්දි මගේ ලග තිබුන දගකාරකම් නැති වෙලා තැන්පත් තත්වයට මම පත්වෙද්දි...ඔහු තරහා ගිය විටෙක ආවේගශීලී කෙනෙකු බවට පත් වුනා. 

වතාවක් මගේ මවුන්ටන් බයිසිකලය රැගෙන මලයා කඩේ ගියා. ආපහු එද්දි ඒකෙ තිබුන ප්ලාස්ටික් ගැජට් කොටසක් නෑ...

කෝ බන් මේකෙ තිබුන කෑල්ල...

කොතනද කෑල්ලක් තිබුනෙ..

මේ මෙතන බං....ඒක දැන් නෑනෙ...

ආ...එහෙනං බිම වැටිලද දන්නෙ නෑ..

ඊට පස්සෙ දෙන්නම නැවතත් හන්දියට ගියා...බිම වැටිලත් නෑ...

කවුරු හරි බයිසිකලය ලග හිටියද ?

ඔව්...අර ...........හිටියා තව දෙන්නෙක් එක්ක..

එහෙනං ෂුවර් එකටම උන් වැඩේ දෙන්න ඇති.

හන්දියේ ඉදන් බැලුවාම  අපේ සැකකාරයො 3 දෙනා ඈතින් යනවා පේනවා...මලයවත් දාගෙන මම පැද්දා හැටට හැටේ...

හෝව් හෝව් ....පොඩ්ඩක් ඉදපල්ලා....මලයා එහෙම කියලා කාරණේ කිව්වා....

අනේ අපි ගත්තෙ නෑ....උන් එහෙම කිව්වා

ඒ උනාට මට උඹලවව සැකයි... අයියෙ මුංගෙ සාක්කු බලමු....එහෙම කියලා ඒවා බලාගෙන යද්දි එච්චර වෙලා ගත්තෙ නෑ කියපු ප්ලාස්ටික් කෑල්ල එකෙකු දුන්නා...

මේ වගේ වෙලාවට මම සාමකාමීව හිටියත්..මලයට එහෙම ඉන්න බෑ...මිනිහා පැන්න ගමන් කෑල්ල අරගෙන තිබුන එකාට ගැහුවා...ඒකා කෙහෙල් කදක් වගේ බිම වැටුනා...අනිත් උන් දෙන්නා මලයට ගහන්න පනිද්දි මම උන් දෙන්නට සැලකුවා මගේ සහෝදර ප්‍රේමය නිසා.

මේ වගේ අවස්ථා දෙක තුනකදි අපේ සහෝදර ප්‍රේමය ඉස්මතු උනා. තවත් ශක්තිමත් වුනා. තමන් පාසල් කාලයේ බාහිර ක්‍රියාකාරකමක් විදියට ඇසුරු කරපු රතුකුරුස සමාජයම ඔහුගේ මුල්ම රැකියා නවාතැනත් වුනා. ඇමරිකානු රතු කුරුස සමාජය ලංකාවේ දියත් කරපු ව්‍යාපෘතියකට සම්බන්ධ වෙලා සුනාමියෙන් අවතැන් වෙච්ච ජනතාවට සහාය වෙන්න ලංකාව වටේම ඔහු ගියා. සුනාමිය ඇවිල්ලා ගිය ගමන්ම ඔහු මාතර ගියේ එහේ ජනතාවට උදව් වෙන්න. කෙනෙකුට උදව් කිරීමේදීත් අසරණ සතුන්ට කරුණාව දැක්වීමේදීත් මගෙත් මලයගෙත් සිතුම් පැතුම් බොහොම සමානයි.

මලයා සම්බන්ධව පසු කාලීනව වෙච්ච සිදුවීම් වලින් අවස්ථා දෙකක් තියෙනවා මම බොහොම සංවේගයට පත් වෙච්චි. ඉන් පළමුවැන්න Appendicitis රෝග තත්වය වැඩිවෙලා සැත්කමක් සදහා රෝහල් ගත කරපු අවස්ථාව...රතු කුරුස සමාජයෙන් සියලු වියදම් දරණ නිසා පෞද්ගලික රෝහලකයි සැත්කම කලේ...එදා ඒ තීරණය ගන්න අපේ තාත්තා සියලු වගකීම් පැවරුවේ මට. මම අමාරුවෙන් ඉන්න මලයාගෙන් ඇහුවෙ ඔපරේෂන් කරමුද කියලා. ඔහු හා කිව්වා. සැත්කමෙන් පස්සෙ මලයා කෙමෙන් කෙමෙන් පියවි සිහියට එද්දි ඒ කාලය එදා මට දැනුනෙ කල්පයක් වගෙයි...ඒක තමයි මට හිතෙන්නෙ අසීමාන්තික සහෝදර බැදීම.

පසුකාලයකදි මලයා ඡායාරූප කලාව දෙසට දෝළනය වුනා. එහි හැදෑරීම් සදහා කොළඹ යන දවසක අපේ පාරෙ ගමන්ගත්ත පුද්ගලික බස් රථයක් ලංගමයක් සමග රේස් ගිහිල්ලා...තාර පාරෙන් ඉහළට එසවිලා තිබුන ගැට්ටක පිටුපස පා පුවරුව වැදිලා බස් රථයේ වේගය වැඩි කමට පා පුවරුව රථයෙන් ගැලවිලා ඉවතට විසි වෙලා තිබුනෙ ඒ වන විටත් පඩිපෙලේ සිටි අය සමගයි. ඒ අනතුරින් මල්ලි දරුණු ලෙස තුවාල ලැබුවා..අත් දෙකත් පිටත් හම ගහලා වගෙයි තිබුනෙ...එච්චර දරුණු ලෙස තුවාල වෙලා තිබුනත්...රතු කුරුසයේදි ලද පුහුණුව අනුව නිවැරදි ලෙස ඔසවලා බස් රථය අස්සට වැටිලා හිටිය තරුණියක් බේරාගන්නත් ඔහු එදා කටයුතු කොට තිබුනා.

මට මේ ආරංචිය ලැබිලා රෝහලට යද්දි මේ සිදුවීම වෙලා පැයකට ආසන්න කාලයක් ගත වෙලා. ගම්පහ රෝහලේ අලුතෙන් විවෘත වෙලා තියෙන ගොඩනැගිල්ලත් සමග රෝහලේ පහසුකම් දියුණු වුවත් මගේ මලයා බොහොම අසරණ විදියට වේදනාව දරාගෙන මා යන විටත් රෝහලේ පුටුවක ඉදගෙන හිටියා.

සහෝදර ප්‍රේමය නිසාම සන්සුන් සිරා එදා නොසන්සුන් උනා...ප්‍රධාන හෙද නිලධාරියා සමග බහින් බස් උනා...පැයක් යනතුරු කිසිම දෙයක් කරන්නට ඇයි ඔහේලට බැරි උනේ කියලා....එයින් පසු නැවතත් පුද්ගලික රෝහලකදි ප්‍රතිකාර කරලා නිවෙසට රැගෙන ගිය දා ඉදන්ම ඔහුගේ පිටේ තිබුන දරුණු තුවාලයට බෙහෙත් දැමුවෙ මම. ඒ තුවාල දකිනකොට ඔලුව කැරකෙනවා වගේ දැනුනත්...බෙහෙත් දැමීමේ කාර්යය මගේ වගකීමක් ලෙස සලකලා හිත දැඩිකරගෙන ඒ කාර්යය කරන්න එදා මම සමත් වුනා.

සේලයින් වලින් තුවායට එලලා තියෙන ගෝස් කෑල්ල තෙත් කරලා හෙමිහිට ගලවද්දි ඒ සමගම තුවාලයේ මතුපිට සම ගැලවිලා ආවත් ඒ දරුණු වේදනාව ඔහු කිසිම ලෙසකින් හඩක් පිට නොකර දරා ගත් ආකාරය ගැන මට අදත් පුදුමයි. මේ අනතුර නිසා යම්කිසි වන්ධි මුදලක් ගන්න හැකියාවක් තියෙනවා කියලා යමෙකු කිව්වත් ඒ මුදලත් මේ අනතුරින් දැඩි ලෙස තුවාල ලබපු පෙරකී තරුණිය වෙත ලබා දෙන්න කියලයි ඔහු කිව්වෙ.

බස් රථ අනතුරෙන් පසුවත් තමාගේ ශරීරයට වෙච්ච හානි ගැන බලන්න කලියෙන් තමා ලග තිබුන කැමරාවට වූ හානි පිළිබද සොයා බැලූ මගේ මලයා පසු කලෙක ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස ජාතික පුවත්පතකට එකතු වුනා. ඒ එම ක්ෂේත්‍රය පිළිබද හැදෑරීමක් කරලා වගේම  හිතේ තිබුන අප්‍රතිහත ධෛර්යයේත් ප්‍රතිඵලයක් ලෙස.

මේ ඡායාරූපයත් පසුව එකතු කරන්නෙ...මලයගෙ අවසරය අරගෙන...
මේ චෝගම් අස්සෙ කිළිනොච්චියට ගිය ගමනක්...
නිල් පැහැති ටී ෂර්ට් එක ඇදගෙන ඉන්නෙ මලයා....
මේ පෝස්ටුව කියවලා මලයත් සතුටු කදුලු හෙලුවයි කියන්නෙ.....



























ලෝකය පීර පීරා කාලයකට කලින් හොයපු KP එක්ක මගේ මලයා කිලිනොච්චියේදි
එතැනින් පස්සෙ තමන්ගෙ රැකියාව දේව කාරිය හා සමානව කරගෙන ඉදපු මගේ එකම සහෝදරයා තමන්ගෙ වෘත්තීය ජීවිතය තුලදි මාරක කඩඉමක් පැන්නෙ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් හා පොලීසිය අතර ඇතිවුන වෙඩි හුවමාරුව වෙලාවෙදි. එදා හිරගෙදර වහළෙ උඩට නැගලා T56 අවියක් දෙකක් ඉහළට ඔසවලා ඒ අය පොලිසියට ඔච්චම් කරමින් හිටිය වෙලාවෙ මල්ලි ඈත ඉදලා ගත්ත ෆොටෝ විශාලනය කරලා බලද්දි ඒ අවි වල මැගසිනය නැති බව දැකලා ඉහළ පොලිස් නිලධාරියෙකුට ඒවා පෙන්වමිනුයි ඉදලා තියෙන්නෙ. ඒ වෙලාවෙම තමයි රැදවියො මල්වෙඩි පත්තුකරනවා වගේ එක පාරටම පාර පුරා වෙඩි තියන්න පටන් අරගෙන තියෙන්නෙ....හිත හිතා ඉන්න වෙලාවක් නැති තැන ලගම තිබුන වාහනයක් යටට රිංගලයි මලයා ජීවිතේ බේරාගෙන තිබුනෙ.

ඔය කියපු දවසෙ ගත්ත පින්තූරයක්. මෙතන සමහරු අද ජීවතුන් අතර නෑ.
රතු කුරුසයට සේවය කරන කාලෙදි එහිම ඇති වෙච්ච ප්‍රේම සබදතාවක් මත මලයා 2012 වසරෙදි විවාහ උනා. එයින් පසු බොහොම වගකීම් සහගත ජීවිතයක් ගත කරමින් තමාගේ ඉදිරි වැඩ කටයුතු ගැන නිතරම සැලසුම් සකස් කරන ඔහු ඒ සදහා නිරන්තරයෙන්ම මගේ අදහසුත් විමසනවා.

දැනට මාස තුනකට විතර කලියෙන් මලයා මට බොහොම සතුටුදායක පණිවිඩයක් ජංගම දුරබණුවට කෙටි පණිවිඩයක් විදියට එවා තිබුනා. ඒ ආරංචිය ලද සැනින් මට මතක් වුනේ පොඩි කාලෙ ඉදන්ම අපි දෙන්නා හිටිය විදිය වෙනස් වෙලා වයසින් මුහුකුරා ගිය තත්වයට එන්න කාලය කොතරම් වේගයෙන් ගත වෙලාද කියලා...

අද මලයගෙ උපන්දිනය...මේ වසර එයාට සුවිශේෂීයි...ඒ සියලු කඩඉම් සාර්ථකව ජයගෙන තමන්ගෙ ජීවිතය අලුත් මානයකට රැගෙන යන්න මේ වසරෙදි මගේ ආදරණීය මලයාට හැකි වේවා කියලා මම බොහොම හෘදයාංගමව මේ බ්ලොග් ලිපියට මුවාවෙලා ප්‍රාර්ථනා කොරනවා.



අයියෙ....උඹ මහප්පෙක් වෙන්න යනවා.....එන්න එහෙමයි මට මලයා එවපු පණිවිඩේ සටහන් වුනේ. එතැනින් පස්සෙ දුරකථන තිරයෙ මට දිස් වුනේ පුංචි කාලෙ ගහමරාගත්ත, වෙල් එළියෙ සරුංගල් යවපු, අහල පහල ඔට්ටු දිව්ව ඒ ලස්සන අතීතය අපේ දෑස මානයේ ආයෙමත් විද්‍යාමාන කරන්න  පුංචි පැටියෙක් අපේ පවුලට එකතුවෙන සුන්දර කාල සමයක්. හැබෑට බොලං කාලය ගතවෙලා යන ඉක්මනක්....



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

අපේ නිවසෙ මේ වෙද්දි එක් මව්කුසක උපන් බළල් සහෝදරයො දෙන්නෙක් එකිනෙකාට හරිම ආදරයෙන් වැඩෙනවා. මේ දර්ශනය දකින අපේ අම්මට අපේ පොඩි අවධියත් මතක් වෙනවා ඇති.

මේ තියෙන්නෙ මම හදිස්සියේ හොයාගත්ත මලයගෙ පින්තූර ටිකක්...මේ ලිපිය ලියන්නෙ එයාට හොරෙන් නිසා එයාගෙන් කිසිම දෙයක් ඉල්ලන්න බෑ.










අපේ මලයා ගත්ත පින්තූර අතරින් මට දැනුන විදියට සංවේදීම පින්තූර දෙකක්.



මේ ආරක්ෂක අංශ ආබාධිත සෙබලුන්ගෙ ක්‍රීඩා උළෙලක්

කියන්න බැරි උනා නොවැ...මේ ලගදි දවසක මලයා විශේෂ කාර්ය බලකාය එක්ක තණමල්විල ගියා         ගංජා හේනක් වටලන අවස්ථාවක් වාර්තා කරන්න. මේ එහි ඡායාරූපයක්
නිර්මාණාත්මක පැත්තෙන් උසස් ඡායාරූප රාශියක් මලයා සතු වුවත් මේ හදිස්සියෙ ඒවා මට ඉල්ලගන්න විදියක් නෑ...ඉදිරි දිනයක බලමු.


118 comments:

  1. නියම සහෝදර ප්‍රේමයක්. ආදර්ශවත්, ආදරණීය, සහෝදර දෙපලක්. මේ කතාව බොහෝ දෙනෙක් ආදර්ශයට ගන්නවා නම් හොඳයි. මලයා මාධ්‍ය ඡායාරූප ශිල්පියෙක්ද? හැබැයි අර හිරකාරයෝ අතේ තියන T 56 තුවක්කුවෙනම් මැගසින් එක තියනවා. කොටු වැටිච්ච කොට කලිසම ඇඳන් ඉන්න හිරකාරයා අල්ලාගෙන ඉන්නේ මැගසින් එකෙන්. ඒ කතා වැඩක් නැහැ. කතාවේ සමස්තය ඉතාම ඉහලින් අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක තුමා...මලයා මාධ්‍යයට සම්බන්ධයි. පත්තර රස්සාවත් එක්ක. ඔය කියන තුවක්කුවේ මැගසින් තිබුනට මැගසිනය නැති ඒවා තිබුනා සමහර අය අතේ...ඒ පොලිස් නිලධාරියා කියා තිබුනා මැගසිනය ගලවලා පෙන්නන්න ඇත්තෙ ඒවායෙන් වෙඩි තියන්න බැරි බව පිටත අයට අගවන්න උනත් මැගසිනය නැතුව ඇතුලෙ උණ්ඩ දෙක තුනක් ගබඩා කරන්න පුලුවන් කියලා.

      Delete
    2. මොකක්? ඒකා පොලිස් කාරයෙක්ද හිරකාරයෙක්ද? මැගසින් එක නැතුව තුවක්කුව ඇතුලට දාන්න පුළුවන් එකම එක උණ්ඩයයි.

      මලයාගේ නම තියනවා නේද මේ තියන පින්තූරවල. එයත් 'සිරෙක්' නේ.

      Delete
    3. ඒකා ගලවාගැනීමේ හමුදාවෙ කෙනෙක්ද දන්නෙත් නෑ....මලයත් සිරෙක් තමා...

      Delete
  2. සහෝදරයෙක් ගැන බොහොම සන්වේදී ලිපියක් නේ සිරෝ. . . මලයගෙ පින්තූර ටික නම් නියමයි.පොඩි කාලෙ මමයි නන්ගියි දෙන්නත් ඇරගත්ත ගමන් ඉන්නෙ.නමුත් දැන් අපි දෙන්න තමා හොදම ෆීට්.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි මගියො...පොඩි කාලෙදි ගහ මරා නොගත්ත උන් ලොකු උනාම ගහ මරා ගන්නවා...පොඩි කාලෙ උපාසකයො වගේ හිටිය අය ලොකු උනාම දග කරනවා...ඔන්න ඕකයි ලෝක ස්වභාවය.

      Delete
  3. කියෙව්වා සිරා අකුරක් නෑර..මටත් මතක් වුනා මලයත් එක්ක දඟ වැඩ කරපු කාලය.සිරා කිව්වා හරි රන්ඩු වෙනකොට කොච්චර තදින් පාරක් වැදුනත් සමහර වෙලාවට කාගෙන ඉන්නවා මල්ලිනෙ කියලා...

    ReplyDelete
    Replies
    1. අයියලා අක්කලා එහෙම තමං බොලං...පොඩි උන් ගැන වගකීමෙන් හිතනවා තේරෙන වයසකට ආවම...

      Delete
  4. බොහොම සංවේදී ලිපියක් සිරා. මටත් ඉස්සර හිතෙන දෙයක් තමයි මට කොලු වැඩ කරන්න මල්ලියෙක් හිටියා නම් හොඳයි කියන එක. මල්ලි ඉතා හොඳ ඡායාරූප ශිල්පියෙක් වගෙයි. පුළුවන් නම් ඉල්ලගෙන දාපං හොඳ ෆොටෝ ටිකක්.

    ඒක නෙමෙයි, මලයගෙ ළමයට ලොකු අම්මෙක් හොයා ගත්තොත් නරකද?

    ReplyDelete
    Replies
    1. මලයා මංගල ඡායාරූප කරණයෙත් නිරත වෙනවා ඉඩක් ලැබෙන වෙලාවට...ඒ පැත්තෙනුත් සෑහෙන හැකියාවක් තියෙනවා. අනිවාර්යෙන්ම හොද ෆොටෝ ටිකක් ඉදිරි දිනයක දාන්නම්... මලයගෙ දෙවැනි දරුවට ලොකු අම්මෙක් හොයා දෙන්නයි වෑයම...

      Delete
  5. මේක කියවද්දි මට මතක් උනේ මගේ මල්ලි ඉපදුනු දවස..... සුදුම සුදු බෝලයක්..... රෝසම රෝස චූටි අත්..... මං කුරුල්ලෝ ඉන්න ලා තැඹිලි පාට ගවුමක් ඇඳන් බෝල කොට්ටෙකුත් අරන් ගියා මතකයි මල්ලි බලන්න. මට අවුරුදු 3යි එතකොට.
    අදටත් මල්ලියි මායි ගහගන්නවා. ඇත්තට නම් නෙවෙයි සෙල්ලමට.
    හරිම ලස්සනයි මේක.

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පළිගන්නවා වළලු

      ඔයාට වගේම මමත් වයස 3 දි ඉදන් තමයි මේ කියන අතීතය මතක හිටලා තියෙන්නෙ...හරියට හීනයක් වගේ...ස්තූතියි අදහසට...

      Delete
  6. උඹ වගේ නෙමෙයි ලස්සන කොල්ලෙක් නේද බං

    ReplyDelete
    Replies
    1. කොල්ලන්ට කවුද බං ලස්සනයි කියන්නෙ...එහෙම කියන්නෙ කෙල්ලන්ට....කොල්ලන්ට කියන්නෙ කඩවසම් කියලා....එහෙමත් නැත්තං හැන්ඩ්සම් කියලා...

      Delete
  7. මලයා වැඩ්ඩා කියල මම දැක්කෙ පත්තරෙන්මයි මහප්පේ..

    කෙල්ලෙක් වෙන්න කියල පතපු එකා කොල්ල වුනාට කෙල්ලෙක් වෙනුවට උබ ඉන්නෙ කියලා පවුලෙ අය හිත හදා ගන්න ඇති බං..

    සුබ උපන්දිනයක් වේවා කියපං..

    ReplyDelete
    Replies
    1. උඹලගෙ ආච්චි උඹ ගැන කියපු කථාවක් නේද ඔය මට පෙරලුවෙ....

      ප්‍රාර්ථනාවට ස්තුතියි බං...

      Delete
  8. උඹ හරිම සංවේදි විදියට මලයව එළිකරල තියෙනවා ඒක නියමයි. ඒ වගේම මලයගේ පින්තුර එබිල්ලත් නරකම නෑ අප්පා.. ජය වේවා.

    ආ ඒකාට හැපි බර්ත්ඩේ එකක් වේවා කියල මේකා කිව්ව කියල කියහං..

    ReplyDelete
    Replies
    1. මලයගෙ හොදම පින්තූර එබිලි ටිකක් මම ඉස්සරහ දවසක බොලාට පෙන්නන්නම්...එතෙක් ඉවසා වදාරණු මැන...

      Delete
    2. අර කේපීගේ පින්තුරේ පස්සේ දාපු එක හොදා. මේකා එන්ජීඕ පප්පෙක් ද කොහේද?? හැක්.

      Delete
    3. ලෝකෙ තියෙන විශාලතම ස්වේච්ඡා සංවිධානය තමයි රතු කුරුසය කියන්නෙ...ඒ සංවිධානය මගින් සුනාමියෙන් අවතැන් වූ ජනතාවට වගේම යුද්ධය කාලයෙදි අතරමැදියෙක් ලෙසත් විශාල සේවයක් ලංකාවට ඉටු උනා...කේපී දැන් කිලිනොච්චියෙ ළමා නිවාසයක් කරගෙන දුක සේ ඉන්නවලු බොලං...

      Delete
  9. //එතැනින් පස්සෙ තමන්ගෙ රැකියාව දේව කාරිය හා සමානව කරගෙන ඉදපු මගේ එකම සහෝදරයා තමන්ගෙ වෘත්තීය ජීවිතය තුලදි මාරක කඩඉමක් පැන්නෙ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් හා පොලීසිය අතර ඇතිවුන වෙඩි හුවමාරුව වෙලාවෙදි. එදා හිරගෙදර වහළෙ උඩට නැගලා T56 අවියක් දෙකක් ඉහළට ඔසවලා ඒ අය පොලිසියට ඔච්චම් කරමින් හිටිය වෙලාවෙ මල්ලි ඈත ඉදලා ගත්ත ෆොටෝ විශාලනය කරලා බලද්දි ඒ අවි වල මැගසිනය නැති බව දැකලා ඉහළ පොලිස් නිලධාරියෙකුට ඒවා පෙන්වමිනුයි ඉදලා තියෙන්නෙ. ඒ වෙලාවෙම තමයි රැදවියො මල්වෙඩි පත්තුකරනවා වගේ එක පාරටම පාර පුරා වෙඩි තියන්න පටන් අරගෙන තියෙන්නෙ....හිත හිතා ඉන්න වෙලාවක් නැති තැන ලගම තිබුන වාහනයක් යටට රිංගලයි මලයා ජීවිතේ බේරාගෙන තිබුනෙ.//

    හෑ..........මේල් එකක් දැම්මා බලන්නකෝ

    මටත් මල්ලිත් එක්ක රණ්ඩු අල්ලපුවා මතක් උනා මේක කියෝලා.දවසක් එයා මගෙ ඔලුවට ගැහුවා ඇත්තමයි තරු පෙණුනා.මල්ලි උනාට ඒකාට මට වඩා හයිය තියනවා හිහ්....දැන් නම් ඉතිං රණ්ඩු නෑ....එයයි මායි පොඩි කාලෙම දෙපැත්තකට උනානේ..ඒක මතක් වෙද්දි දුකයි...ළඟදිම මාත් මල්ලි ගැන පෝසුවක් ලියනවා.එතකොට බලන්නකෝ විස්තර..

    ඔයාගේ මල්ලිට සුභම සුභ උපන්දිනයක් පතනවා...!

    ReplyDelete
    Replies
    1. නගාගෙ සුභ පැතුමටත් ඊයටත් දෙකටම ස්තූතියි...ඊයට පිළිතුරු ඊයක් මම විද්දා...මම එයාගෙන් ඒ පිළිබද අහලා තව ඊයක් විදින්නම්....බලාන ගියාම පොඩි කාලෙ රණ්ඩු උනේ නැති එකෙක්වත් නෑනෙ හැබෑටම...මේක මිනිස් ජාන වල තියෙන දෙයක්ද කොහෙද ?

      Delete
  10. ඇස් දෙකට කඳුළු ආව සිරා... වෙන මොනව කියන්නද.
    සහෝදරයො නැති අපිට කොයින්ද ඔය වගේ අත්දැකීම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසන්න අයියා...මමත් ඇත්තටම හිතන්නෙ දෙමාපියො ආර්ථිකේ මොන තත්වයක තිබුනත් අඩම ළමයි දෙන්නෙකු වත් හදන්න ඕනෙ.. සහෝදරයෙක් නැතුව තනියෙන් ජීවත් වෙද්දි මේ කියන ළමා කාලය එච්චර සුන්දර නැතුව ඇති කියලයි මට හිතෙන්නෙ...

      Delete
    2. ප්‍රසාගෙ කතාව මටත් අදාලයි . . .

      Delete
  11. මලයා පට්ට බුවෙක් නෙහ්....
    ලස්සන පින්තූර ටික. මලයට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් පැතුවයි කියන්ඩ සිරෝ !

    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් නෑ...එයාම මේ පෝස්ට් එක කියවලා කදුලු එහෙම පිහදාගෙන ඉන්නෙ...මලයගෙ හොද ෆොටෝ ටිකක් ඉදිරි දිනයක දාන්නම්...

      Delete
  12. අපේ අයියත් බ්ලොගක් ලිවුවනම් ලියයි මටත් ඉන්නව සුදු බෝලයක් වගේ මල්ලි කෙනෙක් කියල. D
    සිරා ආදරණීය සහෝදරයෙක්, මගෙ අයියත් අවුරුදු 3 ක් වැඩිමල් ඒත් පොඩිකාලෙ ඉදලම අපි හොදම යාළුවො.
    මල්ලිට සුබ උපන්දිනයක් වේවා !!!!!!

    ReplyDelete
    Replies
    1. අවුරුදු 3 තමයි මට හිතෙන්නෙ දරුවො දෙන්නෙක් අතර හොදම පරතරය..එතකොට ඒකලා සහෝදරයන්ට වඩා යාලුවො වගේ ඉන්නවා උස් මහත් වෙනකොට...ප්‍රාර්ථනාවට බොහොම ස්තුතියි අයියෙ...

      Delete
  13. උඹගෙත් මල්ලිගෙත් සහෝදර ප්‍රේමය තමයි මගේ සිත් ගත්තේ. මගෙ සහෝදරයා මම දකින්නෙත් අවුරුදු කීපයකට සැරයක් අහම්බෙන්. ඌට සුභ උපන් දිනයක් වේවා.
    "If he survived you, he'll survive anything!" Dude's wisecracks. Copyrighted.

    ReplyDelete
    Replies
    1. බොලාට සහෝදරයෙක් ඉන්නවද හැබෑට...කවදාවත් කථාවකින්වත් එළියට ඇවිල්ලා නෑ නොවැ ඒ කෙනා...බොලා වගේම දැකුම් කළු කෙනෙක්ද .....

      අර කර්තෘ භාගය සහිත සරදම මම මලයගෙ අවධානයට යොමු කරන්නම්...අපිට ජය වේවා !

      Delete
  14. සහෝදරයෙක් නැතිඋනත්, සහෝදරියන් දෙදෙනකුගේ සෙවනේ ලොකු මහත් වෙලා මමත් බොහොම හොදින් සහෝදර ප්‍රේමය විදිනවා.
    මම මේ පෝස්ටුව කියෙව්වේ බොහොම ආසාවෙන් ආදරෙන්.
    සිරාගේ මලයට සුභම සුභ උපන් දිනයක් පතනවා!!!

    ReplyDelete
    Replies
    1. සහෝදරියන්ගෙ ප්‍රේමය ඉතිං මට ආගන්තුකයි...මොකද අපේ පවුලෙ එහෙම අය නැති නිසා..නැදෑ පවුලක අක්කලා තමයි ඉතිං යන්තමට හරි එහෙම දෙයක් ඇගෙව්වෙ...ස්තූතියි බණ්ඩො....කාලෙකින් බොලාව දැක්කෙ...

      Delete
  15. උඹේ මලයගෙ උපන්දිනයට සුබ පැතුම් මචො

    මටත් මලයෙක් නැති අඩුව බොහොම දැනුනා ඒ කාලෙ
    ඒත් මන් දැන් ඒ සතුට විදින්නේ මගෙ පුන්චි පුතා නිසා

    ReplyDelete
    Replies
    1. එකා යකා කියලා කියන්නෙ ඉතිං තමන්ගෙ පාලුව බෙදාහදා ගන්න කෙනෙක් නැති නිසා වෙන්ට ඕනෙ...ස්තුතියි ප්‍රාර්ථනාවට....

      Delete
  16. මේ කියන "මලයා" දැන් අවුරුදු 10ක් පුරාවටම මගේ ලගම මිතුරෙකුට වඩා මගේම සහෝදරයෙකු වැනිය, එදා වගේම අදත් සිරා අයියගේ අම්ම තාත්තා වගේම ඔහුගේ දැන් සහකාරියත් මට මගේම එවුන් වැනිය. ලිපිය කියවගෙන යද්දී මතකයන් හුගාක් දිගේ හිත දිවගෙන ගියා, සිරා අයියා මහප්පා කෙනෙක්ද, මම තවත් " ඇන්ටි" කෙනෙක්ද වෙනවා යැයි දැනගත් මොහොතේ මට හිතුනේ, මම කිව්වේ, මධුවෝ මටනම් ඔයා තාම පොඩි එකෙක් වගේ යැයි කියාය. ඉතින් මේ උපන්දිනෙන් පස්සෙවත් වැඩිහිටියෙක් ලෙස ඔහුව මට පෙනේවා.... හැමදාම වගේ ආදරෙන් "මදුවෝ සුභ උපන්දිනයක්" යැයි මම එක සිතින් සුභ පතන්නෙමි...

    ReplyDelete
    Replies
    1. නගාව ඉතිං මම නොදන්න කෙනෙක් යැ....අපේ මලයගෙ ලගම යාලුවො ගොන්නෙ කෙනෙක්නෙ. නගාත් දැන් අපේ කෙනෙක් තමා...මොකද අපේ පවුලෙ කෙල්ලො ඉන්න එකක්යැ...

      Delete
  17. මටත් මලයෙක් ඉන්නවා.මට ඌවත් මතක් වුණා.අඩේ යකෝ හෙට ඌගෙත් උපන්දිනේ.සිරා මලයාට මගෙත් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොලාගෙ මලයටත් එහෙනං සුභ උපන් දිනයක් වේවා කියා පත්නම්...

      Delete
  18. මටත් ඉන්නේ මල්ලියෙක් නිසා පෝස්ටුව කියවන වචනයක් ගානේ මතක් වුනේ මල්ලිව.. සුන්දර ළමා කාලයේ අමරණීය මතකයන් ගොඩක් එකින් එක හිතට ආවා ..

    සිර අයියගේ මල්ලිට සුබම සුබ උපන්දියක් පතන ගමන් ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න අවැසි ශක්තිය ධෛර්යය වාසනාව ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගි...හෘදයාංගමව කොටපු කමෙන්ටුවට...තව ටික කාලයක් ගියාම ඔයත් ඔයාගෙ ළමා කාලය ගැන නිසැකවම ලියාවි...වචනයේ පරිසමාප්ත අරුතෙන්ම බොහොම ලස්සන ළමා කාලයක් අපිට තිබුනෙ...

      Delete
  19. සහෝදරයෙක් විදියට පුදුමාකාර විදියට සංවේදී උන ලිපියක් සිරා අයියෙ.

    මටත් සහෝදරියො දෙන්නෙකුත් හිටියත් ගහගන්න මරා ගන්න අනිත් අතට යාළු වෙන්න ලගින්ම හිටියෙ මලයා තමා. දැනට උනත් රංඬුසරුවල් නැතුව නෙමේ බැන ගත්තත් ගහ ගත්තත් ග්‍රවුන්ඩ් එකට ගිහින් හරි මෑන් පැය භාග‍යක් පරක්කු උනත් මටත් ඉන්න බෑ. සහෝදර ප්‍රේමය කියන්නෙත් පුදුම දෙයක්.

    සිරා අයියගෙ මල්ලිටත් සුභම සුභ වාසනාවන්ත උපන් දිනක් පතනවා.

    ReplyDelete
    Replies
    1. මල්ලිගෙ ෆොටෝ වලින්ම පෝස්ට් එකක් ලගදිම බලාපොරොත්තු වෙනවා සිරා අයියෙ.

      Delete
    2. මොකෝ බන් මේ කවදාවත් නැතුව අයියා අයියා කියලා කොටලා තියෙන්නෙ...මම හිතාන උන්නෙ බොලා මගේ වයසෙම එකෙක් කියලා...කෙසේ වෙතත් කමෙන්ටුවටත් ප්‍රාර්ථනාවටත් බොහොම ස්තුතියි...මලයගෙ ඡායාරූප සහිත පෝස්ටුවක් ලගදිම දාන්නම්...

      Delete
    3. නෑ සිරා අයියෙ. කාල සීමාවන් හොදන් විශ්ලේෂණය ක‍ර බැලූ කල ඔබ මාගේ වයසට වඩා වැඩි බව මා හට වැටහී ගියා :-D :-D

      මාත් අද ඉදන් සිරා අයියා කියලම කියනවා.

      ෆොටෝ පෝස්ට් එකත් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා.

      අළුත් ෆොටො ටික පෝස්ට් එක තවත් හැඩ කරලා.

      Delete
  20. ආසා කරන චිත්‍රපටියක් බැලුවාම හිතට ඇතිවෙන හැඟීමක් දැනෙනවා අයියේ මේ කතා කියෝපුහාම.

    මල්ලිට සුභ උපන් දිනයක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූයි මලයො...උඹලගෙ වචන වලින් තමයි ඉතිං මට කික් එක එන්නෙ තව ලියන්න...

      Delete
  21. බලන් ගියාම මල්ලිනේ වැඩ්ඩා ..කොහොම වුනත් සහජ හැකියාවක් තියෙන ෆොටෝ කාරයෙක් බවනම් පේනවා. මල්ලිට සුබ උපන්දිනයක්

    ReplyDelete
    Replies
    1. මල්ලි තමා බොල වැඩ්ඩා...ඒ නිසානෙ ඒකා මට කලියෙන්ම ජීවිතේ කඩඉම් පැනලා අලුත් තානාන්තරේකුත් ලබන්න සූජානම් වෙලා ඉන්නෙ...

      Delete
  22. පොඩි කාලේ එක තැන තියන්න බැරි තරං මරාගන්න එවුන් ලොකු උනාම මාර ෆිට් වෙනවද කොහෙද... මායි අපේ මලයයි පේන්නෙ නැද්ද... හි හි...

    සුබ උපන් දිනයක් වේවා සිරාගෙ මලයට...

    ReplyDelete
    Replies
    1. මට මතකයි බොලත් මලයා එක්ක මරා ගත්ත මාර කථා තැන් තැන් වල ලියලා තිබ්බයි කියලා...දැන් සටන් නැතෙයි...

      Delete
  23. සමහර තැන් කියවගෙන යනකොට ඇස් දෙකට පොඩි කදුළු කැටයක් ආවට ඒක සිරා අයියගෙ තියෙන මහමෙරක් තරම් වූ සහෝදර ප්‍රේමයට උපහාර විදියට බිමට වටෙන්නම දුන්න.සහෝදර ප්‍රේමයට දීල තියෙන අර්ථකථනයට වචන නැහැ මට.රජ වීදියෙ අපිත් එහෙනම් සුභ පතනව..සිරා ලොක්ක මහප්ප කෙනෙක් වුණා වගේම සිරා ලොක්කගෙ මලයවත් ඉක්මනටම බාප්ප කෙනෙක් කෙරුවොත් නරකද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයො...බොලා හැමෝම බොහොම සංවේදී මිනිස්සු වීම ගැන මට බොහොම සතුටුයි. මලයව බාප්පෙක් කරන්න නම් තව කාලයක් යාවි බන්....තවමත් කියන්න බෑ කාල සීමාවක්...

      Delete
  24. මල්ලි සිරාට සුබ උපන්දිනයක් කියලා මම කිව්වයි කියන්නෝ ...........

    ReplyDelete
    Replies
    1. හොදමයි රාළෙ..මොකද මේ දවස් වල වැඩිය පේන්න නැත්තෙ...වැඩ අධිකද ?

      Delete
  25. මලයට සුභ උපන් දිනයක් වෙව.
    තදින්ම දැනුන සිර.මගෙයි අයියගෙයි කතවමයි වගෙ.ඌත් මට ඔය වගෙම ආදරෙයි.පොඩිකාලෙ ගැහුව.දැන්නම් මාර ෆිට්.

    ReplyDelete
    Replies
    1. කොච්චර ලස්සනද ඒ කාලෙ....එහෙම නේද ගොයියො....හිතට වැදිච්ච තැනක් දෙකක් වෙලාවක අකුරු කරන්න...

      Delete
  26. මල්ලි වැඩ්ඩෙක්නේ බං......ජයවේවා කිව්වා කියපන්.

    සහෝදරකමට ආදරය නොකරන කෙනෙකුට ලෝකයට ආදරය කරන්න කොහෙත්ම බැහැ.

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එක තවත් හෘදයාංගම වුනා අලුතෙන් දාපු ෆොටෝස් දෙකෙන්. විශේෂයෙන් පළවෙනි එක.

      Delete
    2. ඔය ෆොටෝ එක ගත්ත අවස්ථාව පවා මට හොදට මතකයි...මම දකුණු පැත්තට බර වෙලා නේද ඉන්නෙ....මේ ඡායාරූපය මට එවන්න කියලා පණිවිඩේ දීලා සෑහෙන දවසක් උනාට ඊයෙ තමා ලැබුනෙ...ඒක තමයි මේ පෝස්ටුවට ගැලපෙන හොදම ඡායාරූපය...

      Delete
  27. මල්ලි නම් අයියා වගේ නෙමේ කෙට්ටුයි...හරිම අහම්බෙන් කියවන්න ලැබෙන ලිපියක්...අපේ මල්ලිව මතක් උනා, ස්කයිප් එකෙනුත් මා එක්ක රණ්ඩු .. ඔයාගේ මල්ලි දක්ෂයෙක්,, එයාට මාත් සුබ පැතුවා කියන්න,,,

    ReplyDelete
    Replies
    1. මලයා ඉතිං අදටත් මහතත් නැති කෙට්ටුත් නැති මට්ටමෙන් ඉන්නවා....මගේ නොවැ තඩි බඩ ගෙඩියක් තියෙන්නෙ...මම කියන්නං....අපේ අහල පහල නංගියෙක් සුභ පැතුවා කියලා....

      Delete
  28. හරිම සුන්දර සහෝදර ප්‍රේමයෙන් පිරැණු පුවතක්. මට මලයෙකු නැතිකම ගැන මම හැමදාම දුක් වෙනවා. ඒ වගේම උඹේ මලයා දක්ෂයෙක්. ඔහුට මම සුභ පතනවා. ජයම වේවා!!!

    ReplyDelete
    Replies
    1. තවත් එක් සහෝදරයෙකු හෝ සහෝදරියක පවුලෙ හිටියාම තමයි පොඩි ගතියක් තියෙන්නෙ...නැත්තං දෙමාපියො වැඩක් පවරපුවාම අරයට කියන්න කියලා කර අරින්න විදියකුත් නෑ...ස්තුතියි අයියෙ ප්‍රාර්ථනාවට...මේ සියල්ල මලයත් කියවයි...

      Delete
  29. සිරාගෙ මල්ලිට මාත් සුබ පතනවා.. සුබ උපන් දිනයක් වේවා..! සියලු කටයුතු සරු වෙවා..!

    ReplyDelete
  30. මචං....මාර විදියට සංවේදියි බං...උඹේ හොඳම පෝස්ට් ඒක කියල මීට කලින් වෙන ඒව ආවත්...දැන්නම් මට හිතෙන්නෙ...මේකයි කියල.
    පපුව තෙත් උනා..! මම දැන් දන්නේ ඌ මල්ලි කියල.....මූණු පොත පෙරලලම බැලුව.

    ReplyDelete
    Replies
    1. මල්ලි පොඩිකාලෙ අම්ම ව්ගේද..? බලපන් කොන්ඩෙ බම්ප් එකකුත් තියල....!!
      (දරුව එක් අතකින් තියාන කොටන්නෙ....)

      Delete
    2. අම්මා වගේ කියලා තමයි ගොඩාක් අය කිව්වෙ..තාත්තගෙ තිබුන කොණ්ඩෙ කැරළි ගතිය මට තිබුනට මලයට නෑ...මලයා බොහොම පැහැපත් පොඩි කාලෙ මටත් වඩා..එදා ඒකා හිටිය විදිය දකිනකොට දුකත් හිතෙනවා බං....අද ඔය වයසට ළමයි ඉන්න ඕනෙ පොරක් සිරා කියන්නෙ...මූණු පොතේ කථාව මම දැක්කා...දරු සුරතල් බලන්න මමත් ආසයි බං...

      Delete
  31. අපේ පවුලේ මම නේ මල්ලි.. හැබැයි අයියෙක් නෑ.. අක්කා තමා... අක්කත් එක්ක ඉන්න එක පොඩි කාලේදී එච්චර ජොලි නෑ.. මට වැඩිය අවුරදු 7ක් ඒ යකා වැඩිමල් නිසා.. හැබැයි අක්කගේ වටිනාකම තේරුනේ ලොකු වුනාට පස්සේ තමයි.. හෙහ් හෙහ් ... ඔයාගේ මල්ලි ගේ ෆොටෝස් නම් සිරා... තව ෆොටෝස් දාල වෙන පොස්ට් එකක් ලියන්න...

    ReplyDelete
    Replies
    1. අක්කා කෙනක් ඉන්න එක මරු බන්...අක්කලා බදින කාලෙ ලං වුනාම අක්කලගෙ අයියලගෙන් මල්ලිලාට විශේෂ සැලකිලි...මමත් හරිම කැමතියි මට අක්කා කෙනෙක් හිටියා නම්...ගෙදරින් එන වලිත් බේරගෙන සමහර අක්කලා දෙවැනි මව විදියට තමයි පවුලෙ ඉන්නෙ. හැබැයි අක්කා බැදලා පිට ගම් යන දවස තමයි මල්ලි කෙනෙක්ට බොහොම දුක්බර දවසක් වෙන්නෙ...මගේ යාලුවෙක් එයාගෙ අක්කව බදාගෙන යන්න දෙන්න බෑ කියලම හිටියා බං..අපි මැදිහත් වෙලා අක්කව යැව්වෙ...

      Delete
  32. මටත් ඉන්නේ ඒක මලයෙක්. එයා නම් ඉතින් මේ කියන මල්ලිලා හැම එකාටම වඩා වෙනස්ම එකෙක්. මලයාගේ උපන් දිනේටයි අලුත් තානාන්තරෙටයි දෙකටම සුභ පැතුම් :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රෙපා...කාලෙකින් බොලාව මුලිච්චි උනේ...

      Delete
  33. උඹ ලගදීම මහප්පෙක් උනාට මලයා බාප්පෙක් කරන්නේ කවදද බං? සුභ පතනවා මල්ලි කොල්ලා ට! ආයුබෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. මලයව බාප්පෙක් කරන්න ඉතිං තනිකඩ මට කෙලියෙක් හොයලා දෙන්නවත් නාඩියලා හැල්ප් එකක් දෙනවද ? බොටත් ජයම වේවා !

      Delete
  34. මල්ලිට සුභම සුභ උපන්දිනයක් පතනවා.. මලයගේ ෆොටෝ නම් එල..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලයො...එයාගෙ වඩාත් සුන්දර ඡායාරූප ටිකක් ඉදිරි දිනයක දාන්නම්...

      Delete
  35. හෙහ් හෙහ් අලුත් ෆෝටෝ එක මරු බං. අම්මලා තමයි ඔය කලිසම් ඔය ගානට උස්සලා අන්දන්නේ වැටෙයි කියලා නේහ්?

    ReplyDelete
    Replies
    1. අම්මලා එහෙම තමා...ඔය ෆොටෝ ගහන්න ගිය දවසෙ අපේ ආච්චි ගෙදර හිටියා නම් තඩි මොට්ටුවකුත් නලලට තියනවා ෂුවර්...

      Delete
  36. නියම අයියා මලෝ දෙන්නෙක් ... මල්ලිට සුභ උපන්දිනයක් පතනවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චමියො...ආයෙත් අර අද්භුත කථා මාලාව ලියහංකො...

      Delete
  37. මට අපේ නඟා පොඩි කාලෙ මතක් වුණා. එයාල ඉහළට යනකොට, අපට දැනෙන සතුට කියන්න වචන නැති බව මමත් දන්නවා. ඔහුට සුබ උපන්දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නගෝ...ඔය කියන අපේ නගාගෙ දග වැඩ ගැනත් වෙලාවක් ලියන්න...

      Delete
  38. Maduwa...... wish u Happy Birthday......

    ReplyDelete
    Replies
    1. මලයගෙ යාලුවෙක් වගෙයි...නමත් කොටලම ගියා නම් තමයි අගේ...

      Delete
  39. "සිරා අයියගෙ මලය" අයියය සුභ උපන් දිනයක් වේවා...

    සහෝදර සෙනෙහසනම් මහ පුදුමාකාර බැදීමක් අයියෙ...

    ReplyDelete
    Replies
    1. ඒ සියලුම බැදීම් තවත් තදට මට දැනෙනවා දැන් ලංකාවෙ හිටියට වඩා....ඒ හැගීමත් හරිම අපූරුයි....

      Delete
  40. සිරාගෙ මලයාට සුභ උපන් දිනයක් වේවා...!
    ඇයි සිරෝ මේ මලයා හැම තිස්සෙම කෙල්ලො ඉස්සරහ දණ ගහගෙන ෆොටෝ ගහන්නේ. ලැජ්ජාවෙ බැහැ, මොනව හරි පෙනුනොත් එහෙම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දොස්තර ඇල්බන්...එයා ඒවා දිහා බලන්නෙ නෑලු...ලෙන්ස් එක ෆෝකස් වෙන තැන විතරමලු බලන්නෙ...

      Delete
  41. සිරාගේ මල්ලීට සුභ උපන් දිනයක් වේවා . . පහුවෙලා සුභ පැතුවට කමක් නෑනේ . . . දැන් බ්ලොග්ස් කියවන්නේම නැති තරම් බන් . .

    ReplyDelete
    Replies
    1. දුකා අයියා බොහොම කාලෙකට පස්සෙ දකින්න ලැබීම ගැන සන්තෝෂයි...දැන් බොහොම කාර්යබහුල බව මූණුපොතෙන් පේනවා...

      Delete
    2. ඔව් බන් නදීෂයි පුතයි ආඵු ගෙන්න ගත්තා ගිය අගෙස්තු ඉඳන් වෙලාව කියන්නේ සැප්තැම්බර් ඉඳන් මාව ඩුබාඉ ඔෆිස් එකකට දැම්මා ටෙම්පරි කියලා දැන් මාස පහක් තිස්සේ උදේ හවස ඩුබායි අබුඩාබි ඩ්‍රයිව් කරනවා එපා වෙලා ඉන්නේ . .

      Delete
  42. සිරාගෙ මලයට පහුවෙලා හරි සුභ උපන් දිනයක්!!!
    මටත් අපේ අක්කයි මායි පොඩි කාලෙ හිටපු හැටි මතක් වුනා. මං ගහනව, අක්ක ගුටි කනව, මං හයියෙන් අඩනව, අම්ම අක්කට ගහනව. ඒක තමයි සරලම විදියට කිව්වොත්.
    දැන්නං මගෙ හොදම යාළුව අපේ අක්ක තමයි. හම්මේ එයා නැතුව මං කාත් එක්ක ඕපයක් හලන්නද ඉතිං..

    ReplyDelete
    Replies
    1. අක්කට ගහලා අක්කා අම්මට චෝදනා කරයි කියලා ඔයා වේලාසනම ඇඩුවා එහෙම නේද...මේ කෙල්ල ඒ කාලෙ ඉදලම සූස්සතරකාරියෙක් වගේ... :D

      පවුලෙ එකම එකා විදියට හිටියා නම් ඉතිං පස්සෙ කාලෙක හරිම පාලුවක් තමයි දැනෙන්නෙ...විශේෂයෙන් පවුලෙ අවශ්‍යතාවකදි තමයි ඒ බව හොදට දැනෙන්නෙ....

      Delete
  43. සිරෝ,

    සහොදර ප්‍රේමය ගැන ගොඩක් දේවල් මතක් වුනා..බොහොම සංවේදී ලිපියක්. මමයි නංගී ගහ මරා ගත්ත ඒවා ඒ කාලේ. ඒත් අද අපි දෙන්න තරම් ෆිට් එකක් කොහෙවත් නෑ. මට වෙලාවකට හිතෙන්නේ අම්මලා දෙන්නෙක් ඉන්නවා වාගේ. අම්මගෙන් බේරුනත් නංගීගෙන් බේරෙනවා බොරු අදටත්.
    මලයට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් පැතුවයි කියන්න​.

    මම​
    මයික්

    ReplyDelete
    Replies
    1. අපේ මලයට පස්සෙ මට ඉන්න අනිත් සහෝදරයා ඉතිං උඹ නොවැ...නගාට උඹේ හිතේ තියෙන ආදරේ තරම මට හිතාගන්න පුලුවන්...ඒ අයගෙ ජීවන තත්වය උසස් කරන්න උඹට තිබුන හීනය දැන් හිතුවටත් වඩා සාර්ථක කරගෙන ඇති අන්දම බැලුවාම බොහොම සතුටුයි ආඩම්බරයි මයික්...මට උඹ ගැන...

      Delete
    2. miko narakada nagawa sira ta set karoth...

      Delete
    3. ඔව් සිරා,
      ඒ දෙන්නා තමයි මගේ ජීවිතය​.... කාගේ ආදරය වෙනස් වුනත් එයාලගේ ආදරය වැඩිවුනා මිසක් කවදවත් පොඩ්ඩක්වක් වෙනස් වුනේ නෑ....

      ඇනෝ,
      මගේ නංගිට සම්පුර්න නිදහස තියනවා එයා කැමති කෙනෙක් හොයා ගන්න​. කවදාවත් අයියා විදිහට එයට මගෙන්වත් අම්මාගෙන් වත් බලපෑමක් නෑ මෙහෙම කෙනෙක් තමයි එයාගේ ස්වාමියා වෙන්න ඕනේ කියල​..එයාට කවදාවත් මම කියන්නේත් නෑ අපි කියන කෙනාව කසාද බඳින්න ඕනේ කියල​..

      සිරා මගේ නංගිව දන්නවා හැබැයි මේකාට වඩා නංගී උසයි... සෝ වැඩේ හරියන්නේ නෑ නේ..

      මම​
      මයික්

      Delete
    4. paththara kolayak udawath naggamu sirawa... siro una moka kiyanne ? eka nemei nagata wayasa kiyada ban.... naaa man may nikamata wage ahuwe...

      Delete
  44. මගෙත් එක්ක අමනාප වෙන්නෙපා මලේ පරක්කු වුණාට. මේ කතාව දිගේ මම අතීතයට ගියා. මම මේ අතින් හරි වාසනාවන්තයි. මේ වගේ පොස්ට් හතරක් ලියන්න එපැයි මම ලියනවා නම්. නියම සහෝදර ප්‍රේමයක් මේ පොස්ට් එකෙන් මම දැක්කා. සුබ උපන් දිනයක් පතන්න තවමත් ප්‍රමාද නැතිව ඇති. බලපන් ප්‍රමාදයට ලැබුණ දඬුවම, කමෙන්ට් 64ක්ම කියවන්න වුණානේ.

    ReplyDelete
    Replies
    1. මොන තරහක්ද අයියන්ඩි...බොලා බොලාගෙ රාජකාරි අහවර කරලා නොවැ ඉතින් මෙතැනට ගොඩ වදින්නෙ...මමත් එහෙමයි...පෝස්ට් 4 කථාවෙන් මට ගම්‍ය උනේ ඔබට සහෝදර සහෝදරියන් 4 දෙනෙකු සිටින බවකි.

      ප්‍රාර්ථනාවට ස්තුතියි...මේ වසර මලයාට සුවිශේෂී නිසාමයි මේ පෝස්ටුව ලිව්වෙ...ඔබ සියල්ලන්ගේම ප්‍රාර්ථනාවන්ගේ බලයෙන් ඔහුගේ අනාගත කටයුතු සාර්ථක වේවා කියායි මමත් පතන්නෙ...

      Delete
  45. අඩෝ ඌ සුපිරි ඩයල් එකක් නේ.... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. එළ මචං...බොටත් ජයම වේවා !

      Delete
  46. හොඳ සහෝදරයෝ දෙන්නෙක්. පරක්කු වෙලා හරි මල්ලිට සුබ පතනවා.

    'සුබ උපන් දිනයක්' :)

    සිරා ගැනත් ඉතින් දුකක් පහල උනා...:D

    ReplyDelete
    Replies
    1. බලන්න ඔයාට එහෙම දුකක් දැනුනට...අනිත් එකියකටවත් එහෙම දුකක් දැනෙන්නෙ නෑනෙ....

      Delete
  47. okkoma hondai... balapan ara hithak papuwak nathuwa ara yasa ageta wawila thiyena gas ugullala wisi karala daana hati... papuwa hoooos gaala giya...

    ReplyDelete
    Replies
    1. ඒක නම් කැත වැඩක් තමයි...නැද්ද බං...ඕවායින් කරන්න පුලුවන් දුං උරන එක විතරයැ...මස් හොද්ද මෙළෙක් කරගන්නත් දාන්න පුලුවන් නොවැ....එහෙම කියලා යායට ගංජා වවන සිරිතක් නෑ නේද රත්තරනේ...

      Delete
  48. mallige photo eke inna kaali deken ekak set kara ganinko sira goiyo

    ReplyDelete
    Replies
    1. තාම එච්චර හදිස්සියක් නෑ බං....බැරිම උනොත් වරදට සමාව හරි දෙන්න බැරියැ.....හැක්..

      Delete
  49. යකෝ මේ වෙලාවට තමයි මට හිතෙන්නේ සිරා වගේ සිරා අයියෙක් මට හිටියනම් කියල කොහොම වෙතත් පොඩි සිරාට සුභ උපන්දිනයක් පතනවා.

    ReplyDelete
    Replies
    1. බොලාත් තනිකඩයෙක්ද ? දැන් නම් තනියක් නැතුව ඇති ඉතිං...දැරිවියක් ඉන්නවා නොවැ...

      Delete
  50. හදවතට වදින ලිපියක් සිරා මලයා.. ඔයාගේ මලයට සුබ උපන්දිනක් වේවා.... මලයා ඉතින් අපේ ම සගයෙක්නේ..... සතුටුයි උඹලා දෙන්නා ගැනම.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියා...සුහදත්වය කැටි වෙච්ච බොලාගෙ කමෙන්ටුවට...

      Delete
  51. ඇබං මලයා ප්‍රොෆෙසනල් ෆොටෝග්‍රැපර් කෙනෙක් නේද? නියමයි . මල් හතයි මල්ලිගෙ වැඩ.මෙවන් සහෝදරයෙක් ලැබීමත් මහඟු පිනක් සුබපතනවා මලයටත් උඹටත්

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම කෙනෙක් තමයි...මංගල ඡායාරූපකරණයෙත් නිරත වෙනවා....ස්තුතියි ඔබේ කමෙන්ටුවට...

      Delete
  52. Sahodara kakkuma kiyanne mekata thamai.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයාන්...සහෝදර ප්‍රේමය කියන්නෙ හරි පුදුමාකාර මනෝභාවයක්....

      Delete
  53. සිරාවටම සිරා ලිපියක් සිරෝ

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...