Sunday, January 26, 2014

66 පෙරහැර සහ අලියා

මලයාගේ කථාව නිසා යටගිය අලියාගෙ ඉතිරි කථාව අද කියන්නෙමි. මගේ අලි කථාව තුල වඩාත් අවධාරනයෙන් ඔබට පවසන්නට සිටියේද මේ කොටස බැව් කිව යුතුය.

සොබාව ධර්මයාගේ කදිම දායාදයන් රැසක් දෝතින් දරාගත් ශ්‍රී ලංකාව වූ කලී සුන්දර දිවයිනක් බැව් ලොව බොහෝ දෙනා පිළිගන්නා කාරණයක් බැව් සැබවි. ඒ සුන්දරත්වය නිසාම අපේ පුංචි දිවයිනට සංචාරකයන් බොහෝ සෙයින් පැමිණෙන බවද සැබෑවකි. එහි වැඩි කොටසක් ලංකාව පුරා ඇති අභය භූමි, තෙත් බිම් හා ජාතික උද්‍යාන මගින් ආවරණය කරන අතර ඒ තුල වෙසෙන සත්ව ප්‍රජාවද එහි හවුල් කරුවෝ වෙති.

ඇතැම් සංචාරකයන් ලංකාවට සැපත් වන්නේ ස්වභාවික පරිසරයේ සිටින සුන්දර ශ්‍රී ලංකා අලියා දැක ගන්නටය. ඒ අනුව අලියා යනු සංචාරක කර්මාන්තයටද සෘජුව දායක වන සත්වයෙක් බව පැහැදිලි වෙයි. අති මහත් බහුතරයක් සංචාරකයන් නොවරදවාම පින්නවල අලි අනාථාගාරය නැරඹීමට යාමෙන්ද ඒ බව මොනවට පැහැදිලි වෙයි.

විසිතුරු ඇදුමින් සරසවා පෙරහැර වල ගියත්...අනාථාගාරය තුල කෑම කවන්නට අවස්ථාව සලසා දුන්නත්, සංචාරකයන් පිට මත තබාගෙන වනගත පෙදෙස් වල විසිතුරු පෙන්වුවත් මිනිසුන් ඇසුරේ සිටිනා අපගේ බොහෝ අලීන්ගේ ජීවිත දුක්බරය. කටුකය.


මලයාගේ කාචයට හසුවූ පෙරහැර අලි

බුදු දහම හා බැදුනු සංස්කෘතික රාමුවකින් වටවූ රටක් නිසාම කුඩා කල සිටම ආගමික ඉගැන්වීම් තුල මෙන්ම පෙරහැර නම් ආගමික අංගය තුලද හස්තියා වරින් වර අපට සමීප වෙයි. නාලාගිරි දමනය මෙන්ම බුද්ධත්වයෙන් පසු එළඹි දස වන වස් කාලය ගත කිරීමට පාරිලෙයිය වනයට වැඩම කල බුදු රදුන් උදෙසා පළතුරු ආදියෙන් සංග්‍රහ කල පාරිලෙයිය වනයේ ඇතා ගැනද ජාතක කථාවන්හි සදහන් වන නිසාවෙන් බොදුනුවන් හට අලියා වඩාත් සමීප සත්වයකු ලෙස දැනෙයි. සියලු සත්වයෝ කෙරෙහි මෙත් සිත පැතිරවූ බුදු රජානන් වහන්සේ හට  වර්තමානයේදී සිදුවන දෑ දකින්නට හැකි නම් ශාසනයේ නාමයෙන් දුක් විදින අලියා පිළිබද අසීමිතව කම්පා වනු නියතය.

අනුරාධපුර යුගයේ රජ කල මහසෙන් රජතුමාගේ පුත්‍ර රත්නය වූ කිත්සිරි මෙවන් හෙවත් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාගේ රාජ්‍ය සමයේ (ක්‍රි.ව 301 - ක්‍රි.ව 308)  දන්ත ධාතූන් වහන්සේ ලංකාවට සැපත් විය. එයට උපහාර පිණිස මුලින්ම දළදා පෙරහැරක් පැවැත්වීමේ ගෞරවයද මේ රජතුමාටම හිමි වෙයි. එතුමා විසින් සකස් කල ධාතු මන්දිරයක තැන්පත් කර තිබූ දන්ත ධාතූන් වහන්සේ අභයගිරිය විහාරය සතු ශාලාවකට වැඩම කරවා ජනතා ප්‍රදර්ශනයට තැබීමේ කාර්යය හා මේ කියන පෙරහැර සම්බන්ධ වී තිබුනි. ඉදිරියේ පදවි ප්‍රාප්ත වන සියලු රජදරුවන්ගේ අවධානය පිණිස දළදා වහන්සේ උදෙසා කලයුතු වත්පිළිවෙත් මෙන්ම පෙරහැර පැවැත්වීම ගැනත් කිත්සිරි මෙවන් රජතුමා සෙල් ලිපියක් පවා කරවූ බවට ප්‍රකටය. ඒ පෙරහැර නම් සංකල්පය ආරම්භ වූ ආකාරය පිළිබද අතීත කථාවයි.

මේ අයුරින් ආරම්භ වූ පෙරහැර මංගල්ලයට හස්තියා සම්බන්ධ වූයේ කොතැනින්දැයි ඉතිහාසයේ නියමාකාර පිළිතුරක් නැති වුවත්....Benz, BMW හෝ ඊටත් වඩා සුපිරි වාහන නොතිබූ එසමයෙහි රජුගේද වාහනය වූ හස්තියා ඒ සදහා යොදා ගන්නට ඇතැයි සිතිය හැක. ඒ තුලින් දළදා වහන්සේ කෙරේ තමන්ගේ උපරිම ගෞරවාදරය දැක්වීම රජුගේ අරමුණ වන්නට ඇත. නැතිනම් අවට රැස් වී සිටින දහස් ගණනක් වන ජනතාවගේ දෘෂ්ඨියට පහසුවෙන් හසුවන සේ පෙරහැරේ උසම ස්ථානය වන හස්තියා පිට මත තැන්පත් කරන්නට ඇත.

පෙරහැර යනු අවිවාදයෙන්ම සංස්කෘතික මංගල්ලයකි. ශ්‍රී ලාංකික සංස්කෘතිය සෙවනේ වැඩුනු කලාංගයන් රැසක් මේ පෙරහැර තුල දක්නට ලැබීම ඒ ඒ කලාවන්ගේ පැවැත්මට මෙන්ම විකාශනයටත් හේතු වන්නට ඇතැයි විටෙක මට සිතෙයි. එහෙව් කලා මංගල්‍යයක් තමන්ට හැකි ඉතාම උසස් අයුරින් පැවැත්වීමට පෙරහැර පටන් ගත් මුල්කාලයේ සිටම පැරණි රජවරු අදහස් කරන්නට ඇත.

මුල් කාලයේ රජවරුන් සතුව සිටි රාජකීය සැප විදි රාජකීය හස්තීන් මේ කාර්යය උදෙසා සම්බන්ධ වුවත් වර්තමානය වන විට ගිහි පුද්ගලයන් සතු හෝ විහාරස්ථාන වල ඇති කරන අලි ඇතුන් මාර්ගයෙන් පෙරහැර පවත්වන්නට කාලය පැමිණ තිබේ. අලියාට විසිතුරු ඇදුමක් මෙන්ම ඒ ඇදුමට විදුලි බබුළුද එක් විය. ඒවා දැල්වුනේ උගේ හිසේ පසුපසට වෙන්නට රැදවූ බැටරියකිනි. අවසානයේ සත්ව හිංසනයට විරුද්ධ,  ඒ බැව් සංඛේතවත් කරමින් සිල් පදයක් පවා ඇති බුදුදහමේ නාමයෙන්ම අලියා දුක් විදින්නට විය.

මා ඊලගට ඔබට කියන්නට යන සමහර කාරණා ඇතැම් විටක මීට පෙර ඔබ අසා නැතුවාට සැකයක් නැත. මෙවැනි කරුණු වැඩි වශයෙන් සමාජගත නොවීම එයට හේතුවයි. පන්සලක පෙරහැරක වැනි වැනී යන හස්තීන් බෙර හඩට නටන්නේ යැයි කියන ශ්‍රද්ධාවන්ත උවැසි උවැසියන් සිටිනා සාධු සමාජයකට මා මේ කියනා කාරණා විෂ වෙන්නටද පුලුවන.

කලින් අලි කථාවේද අලි ප්‍රේමීන් කීප දෙනෙකුම පෙරහැර තුල පීඩාවට පත්වන අලි සම්පත ගැන අදහස් දක්වා තිබුනි. ඒ සෑම තැනකම මා පැවසුවේ ඒ පිළිබද ඊළග පෝස්ටුවෙන් කථා කරනා බවකි. මේ ඒ අවස්ථාවයි.

සිරා කොලුවා වන මා සිස්සත්ත විභාගයෙන් අනතුරුව එළැඹි කාලසමයේ වැඩි වශයෙන් ගහකොළට, සතා සීපාවට ආදරය කරන්නට මටත් හොරෙන්ම පෙළඹුනා කීවොතින් නිවැරදිය. කලින් ඉතා ආශාවෙන් නැරඹූ බෞද්ධ පෙරහැර තුල සද්ධන්ත අලි අපහසුතාවකට පත්වන බව නිසිආකාරව දැනගත් දින සිටම මම ඒවා නැරඹීම වර්ජනය කළෙමි. නමුත් මම බෞද්ධයෙක්මි. එහෙත් සත්ව හිංසනය අනුමත නොකරමි. අදද කිසිදු කිසිවිටෙක අලි ඇතුන් සහභාගි වන බෞද්ධ පෙරහැර නැරඹීමෙන් මම ඈත් වන්නෙමි. ඒවා නැරඹූ සෑම විටෙකම පෙරහැරේ විසිතුරු වෙනුවට පෙරහැර තුල ගමන් කරනා අලි ඇතුන්ගේ දුක් බර දෙනෙත් මට සම්මුඛ වෙයි. කියාගත නොහැකි වේදනාවකින් පුපුරු ගසනා ඔවුන්ගේ චිත්ත සන්තානයේ මුලු ගැන්වී ඇති හැගීම් ඒ තුලින් මට විද්‍යාමාන වෙයි. ලොකු කුඩා කාගෙත් නෙතග දිලිසෙන කදුලක් පෙනෙයි. විසිතුරු ගෙත්තම් වලින් යුතු අලි සැට්ටය හෙවත් අලි ඇදුමට යටින් විලංගු ලූ කකුල් පෙනෙයි.

එය වූ කලී සත්ව හිංසාවට විරුද්ධව හඩ නගනා බෞද්ධ දහම තුලම සතුන් හිංසාවට ලක්වන අවස්ථාවකි. මෙවැනි සටහනකින් කුපිත වන ඊනියා බෞද්ධයන් සිටිය හැකි මුත් මට ඒවා ගැන සිතන්නට වේලාවක් නැත. මගේ සිතැගි සට පට හඩින් යතුරු පුවරුවෙන් යුනිකෝඩ් බවට පෙරළෙයි.

අලියා යනු සොබාදම් දිනිතියගේ අපූරු නිර්මාණයක් බැව් මීට පෙර ලිපියෙන්ද ශපථ කළෙමි. ආහාර සොයමින් වනාන්තරය තුල දිනකට කිලෝ මීටර් 25 කට ආසන්න දුරක් ගමන් කරන්නට මේ අය කැමතිය. ඒ දුරු කතර ගෙවන්නේ තෘණ වර්ග, ගස් වල අතු ඉති, ඉදුණු පළතුරු වර්ග වලින් තම කුස පුරවා ගන්නා අතර තුරය. දිනකට 200 Kg ක පමණ ආහාර ප්‍රමාණයක් වැඩුනු අලියෙකුට අවශ්‍යය. ඒ ප්‍රමාණය විවිධත්වයක් ඇති ආහාර මගින් සන්තර්පණය කර ගන්නට මේ කියන දුර ගමන තුල ඔවුනට හැකිය. හිරු රශ්මිය දැඩිව නැගෙනා විටෙක ජලාශයකට බැස දියනාන්නටත්, රැළේ අනෙක් උන් හා දිය කෙළියේ යෙදෙන්නටත් මේ සද්දන්තයක් කැමතිය. කොටින්ම කෙණෙරක හෝ ඇතින්නියක කිසිම කිසි දිනෙක සිය රංචුව අත හැර යන්නේ නැත. කණ්ඩායමක් ලෙස ගැවසීමට ප්‍රිය මේ සතුන් සත්ව උද්‍යානයක කොටු කර උගේ නිදහස නැති කර තිබෙන අවස්ථාවක අප දකිනා  විටෙක සහ නිදහස් පරිසරයක දකිනා විටෙක ඇති සුන්දරත්වය අතර ඇත්තේ විශාල පරස්පරයකි.

හස්තියා සහ පෙරහැර අතර අනාධිමත් කාලයක සිට පැවතෙන සහ සම්බන්ධයක් ඇතත් ඒ කිසිවක් හස්තියාගේ කැමැත්තෙන් සිදූ වූ දේ නොවේය. උගේ ස්ව කැමැත්තෙන් වනාන්තරයේ ගත කල නිදහස් ජීවිතය අහිමි කරගන්නට තරම් පිස්සුවක් අලියාට තිබිය නොහැක. මනසින් උසස් මිනිසා නම් ජීවියා වන අප අපට හිතුමතේ අන් සියලු සත්වයින්ද පාලනය කරන්නට රිසි වූයෙන් උන්ගේ කැමැත්ත අකමැත්ත නොවිමසා අපට කැමැත්තක් කරන්නටම සිත මෙහෙයවූයෝ වෙති. ඉදින් එය කෙතරම් සාධාරණද...සෑම සත්වයෙකුටම නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය මෙසේ ආගමික ක්‍රියාවලියක් උදෙසා ජීවිත කාලයම කූඩු කරන තැනට පත්වීම කෙතරම් නම් ඛේදජනකද ?

ඔබ පෙරහැර නරඹන්නට නිතර යනෙන කෙනෙකු නම් ඊළග වතාවේ සාධුකාර දීමට කලියෙන් මා මේ කියනා දේ හොදින් නිරීක්ෂණය කරන්න. මේ සියල්ල විසිතුරු අලි සැට්ටය නම් කඩතුරාවෙන් වසා ඇති හෙයින් බොහෝ දෙනෙකුගේ දෙනෙතට සම්මුඛ නොවෙයි.

පෙරහැරක් ඇති කලෙක සමහරක් හස්තීන් ලොරි රථ මගින් ප්‍රවාහනය කලත් සතාට නියම සෙනෙහසක් දක්වන කිසිවෙකුත් ඒ කාරිය කරන්නේ නැත. ශරීරයේ බර දරාගෙන දෙපසට වැනෙමින් වාහනයක යාම අලීන්ට ඉතා වෙහෙසකර කටයුත්තකි. පෙරහැරට දවස් දෙක තුනකට කලියෙන් පන්සල් භූමියේ ගැටගසා පෙනුමට තබනා මේ සත්වයින්ට දෙන ආහාර පරිමාව පිළිබද ඔබේ නෙත ගැටී තිබෙන්නට හැක. කිලෝග්‍රෑම් 200 කට ආසන්න ආහාර ප්‍රමාණයක් කැළෑ අලීන් අනුභව කරනා විටක පෙරහැරේ යන අලින්ට එවැනි තරමක ආහාර ලබා දෙනවාද ? පෙරහැර දිනයේ අලි ඇදුමෙන් සැරසී විදුලි බුබුළු වලින්ද අලංකාර වන මේ සත්වයිනගේ කකුල් විලංගු ලා ඇති ආකාරය ඔබ දැක තිබේද ? කිසිදු සත්වයෙකු විලංගු වලින් තොරව ගමන් කරනවා මා දැක නැත. සාමාන්‍ය පරතරයෙන් අඩි බිම තබා යා නොහැකි වන පරිදි ලග ලග අඩි තබා යා යුතු වන සේ මේවා ගැට ගසන්නේ අලියා තව තවත් අසරණ කරමිනි. විලංගු නිසා දෙකකුල් වල ඇති වන තුවාල මතින්ම නැවතත් විලංගු ලා තිබූ ඉතා සංවේදි අවස්ථාද මා නෙත ගැටී තිබේ. එවැනි විටෙක තබනා අඩියක් අඩියක් පාසා ඒ සත්වයා කෙතරම් දුකක් විදිනු ඇතිද ? කිලෝ මීටර් කීයක දුරක් මේ විදියට ඇවිදින්නද ? මේ පෙරහැර අවසන් වන විට අලි හිමිකරුවා තවත් පෙරහැරක් බාර අරන්...බුදුන් වහන්සේ අදත් ලොව පහලව සිටියා නම් මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නවතා දමනු ඇති බවට කිසිදු තර්කයක් නැත.

ඇතැම් විටෙක පෙරහැරක වුවද ඇත්ගොව්වා සිටිනුයේ බීමතිනි. එවැනි විටෙක හස්තියා පෙලන පීඩාවන් පිළිබද නිසි අදහසක් ඔහුට ඇති නොවේ. සුලු වරදකටද හෙණ්ඩුවෙන් අනියි.  අද කාලයේ පෙරහැර යනු රජදවස මෙන් චාරිත්‍ර වාරිත්‍ර අකුරටම ඉටු කරන ඉසව්වක් නොව සිවිල් සමාජය තුල තම පන්සලේ තරම මේ යැයි කියනා ව්‍යායාමයක් ලෙස මම දකිමි. පෙරහැර සුපිරි පෙරහැරක් වන්නේ එයට එක්කොට ඇති අලි ඇතුන් සංඛ්‍යාව මත වුවද ඒ සතුන් ප්‍රදර්ශන භාණ්ඩ මෙන් තැනින් තැනට රැගෙන ගියද......සත්වයාගේ මානසික පීඩා ගැන කිසිවෙකුත් සැළකිලිමත් නොවේ. උගේ නිදහස් ජීවිතය පෙර ආත්මයක කල මහා අකුසලයක් නිසාවෙන්දෝ පෙරහැර වලටම දියවෙයි. දිනකට කිලෝමීටර් 25 තබා මීටර් 25 ක්වත් ඇවිදිය නොහැකි ලෙස විලංගුවට හිර වෙයි. මෙවැනි වටපිටාවක ඒ සත්වයා ශාරීරිකව මෙන්ම මානසිකවද පිරිහෙයි.

පෙරහැර වලදී අලි ඇදුම අන්දන විටෙක  අලියාගේ කිහිල්ල ප්‍රදේශයේ ඇති නිලයක් තද වන සේ එහි පටි ගැට ගැසීම සිරිතක් බව මා හට සැලකලේ තරුණ සත්වවේදියෙකි. ඉන් පසු තමන්ට දැනෙන යම් කිසි තරමක වේදනාව නිසාම අලියා සන්සුන්ව ගමන් කරන බවත් හෙතෙම පැවසුවේය. කුසගින්න....විලංගු ලූ පයෙන් නැගෙනා වේදනාව, කිහිල්ලෙන් දැනෙන පීඩාවන් සහ මානසික හා ශාරීරික තෙහෙට්ටුව සමග මේ අලි තම ජීවිත කාලයම පෙරහැර උදෙසා දුක් විදිනවා නොවේද? නරඹන්නන් ඉදිරියට පැමිණ දෙපසට පැද්දෙන අලියෙකු දකින ඇතමෙකු....බෙරහඩට අලියා නටනවා කියා කීවද...මට සිතෙන්නේ ශරීරයේ ඇති අපහසුතා නිසා අලියා එලෙස පැද්දෙන බවයි.

මේ කියූ තරුණ සත්ව වේදියා ලංකාවේ රූපවාහිනී කලාව තුල සුප්‍රසිද්ධ තරුණ නළුවෙකි. මා ලංකාවේ සිටින කල මා සමග ඉතා හිතවත්ව සිටි කෙනෙකි. ඇතැම් දිනයක මරදාන දුම්රිය ස්ථානයෙන් ටිකට් පත රැගෙන දුම්රිය වේදිකාවට ඇතුලු වන තෙක් මා වෙනුවෙන් රැදී සිටින්නට තරම් නිහතමානී කමක් මෙන්ම මිත්‍රශීලීත්වයක්ද පල කල කෙනෙකි.

විටෙක කාඩ්බෝඩ් පෙට්ටියක දැමූ බළල් පැටියකු දෙන්නෙකු හෝ බලු පැටියකුද සමග හෙතෙම දුම්රියට ගොඩ වදියි. එවැනි කලෙක මේ කොහෙන්දැයි විමසූ විටෙක ඔහු දුන්නේ එකම එක පිළිතුරකි.

මල්ලි අද ෂූටිං තිබුන තැන මේ අය හිටියෙ....අපි දවල්ට කනකොට මම කන්න ටිකකුත්  දුන්නා....ආපහු එද්දි මගේ දිහා බලාගෙනම හිටියා ලගට වෙලා....මට දුක හිතුනා බන්....කන්න බොන්න දෙන්න කෙනෙකුත් නෑනෙ....මම ඉතිං අපේ කැමරා මල්ලි කෙනෙක්ට කියලා පෙට්ටියක් හොයාගෙන දාගෙන ආවා ගෙදර අරන් යන්න....දැන් ගෙදර බල්ලො 5ක් ඉන්නවා....

වයිෆ් බනින්නෙ නැද්ද අයියෙ...එවැනි විටෙක මම ඇසුවෙමි.

අනේ නෑ මල්ලි...එයා තමයි මේ අයව නාවලා රැක බලාගන්නෙ...මම නිතරම ගෙදර නෑනෙ....

එවැනි විටෙක මේ කියන දෑ අසන්නට මෙන් පෙට්ටියේ පියන් අතරින් හිස ඔසවන බළල් නාම්බෙකු දුටු කල්හි දුම්රිය මැදිරියේ සෙසු මගීන් සිනාවන අන්දම මට මෙන්ම ඔහුටද හුරු පුරුදුය.

මෙවැනි සුන්දර හදවතක් ඇති මිනිසුන් මේ ලෝකය පුරාම සිටියේ නම් මේ ලොව කෙතරම් සොදුරු තැනක් වේද....සතුන් කෙතරම් නිදහසේ ජීවත් වෙයිද....අවාසනාවකට හොද මිනිසුන්ට වඩා නරක මිනිසුන් මෙලොව වසන්නේ යැයි සිතෙන තරමට ලෝකය දූෂිත වී තිබේ.

දිනක් දුම්රිය ගමන අතරතුර අපි අලි ගැන කථා කලෙමු. එදා ඔහු මා වෙත පැවසූ අදහස් බිදුවකුදු වෙනස් නොකොට ඔබට කියනවා නම් ඒ මෙසේය.

මෙහෙමනේ මල්ලි....හැම පන්සලකම ලොකු හාමුදුරුවරු කැමතියි පන්සලට කියලා අලියෙක් තියා ගන්න...ඒ අලියට අවශ්‍ය පහසුකම් දෙන්න පුලුවන්ද බැරිද කියන එක ඒ අය එතරම් හිතන්නෙ නෑ...අලියා කියන සතාටත් මානසික පීඩා ඇතිවෙනවා කියන කාරණේ නම් කවදාවත්ම හිතන්නෙ නෑ....ඉතිං මේ හාමුදුරුවරු පන්සලට එන ප්‍රභූ යැයි සම්මත කෙනෙක්ට...එහෙමත් නැත්තං දේශපාලකයෙක්ට හරි මේ අදහස කියනවා...ඔය දේශපාලකයො අතර ඉන්නවා සමහර අය තමන්ගෙ කේන්දර බලන අය විසින් පන්සලකට අලියෙක් පූජා කරන්න වගේ බොහොම මිළ අධික දෙයක් කරන්න කියලා යෝජනා කරපු. ඒ අය මෙවැනි අවස්ථාවක් පාවිච්චි කරලා පන්සල් වලට අලි දෙනවා.

ඉතිං මල්ලි කඩෙන් බඩු ගන්නවා වගේ අලියෙක් ගන්න බෑනෙ. එක්කො පින්නවල අලි අනාථාගාරයෙන් ගන්න බලනවා. එහෙමත් නැත්තං කැලේ පැනලා අලි පැටියෙක් ගේනවා.

කොහොමද ඒ වැඩේ කරන්නෙ....මම විමසුවෙමි.

ඒක බොහොම දුක්බර කථාවක් මල්ලි...මිනිස්කමට මොන තරම් නිගාවක්ද කියලා ඔයාට හිතෙයි මේ කථාව ඇහුවම. ලොකු අලියෙක් අල්ලගන්න අමාරුයි වගේම හීලෑ කරගන්නත් අමාරු නිසා පැටවුන්ට තමයි හැමෝම ඇහැ දාන්නෙ. පැටවු බොහෝ විට ඉන්නෙ අම්මා එක්ක....කිව්වට විශ්වාස කරන්න පැටියා කිරිබොන වෙලාවක ඇතින්නට වෙඩි තියලා මරලා පැටියා උස්සගෙන ආපු අවස්ථාත් තියෙනවා. මේ සත්තු ප්‍රවාහනය කරන්නෙ ඩිෆෙන්ඩර් ජිප් වල....හොඩවැල තියලා ගැටගහලා අරන් එන්නෙ....වාහනේ සුපිරි පන්තියේ එකක් හින්දා කවුරුවත් නවත්තන්නෙ චෙක් කරන්නෙ නෑ...

ඊට පස්සෙ මේ කිරිබොන වයසෙ පොඩි පැටියට දවස් 3 ක් විතර යනකං කිසිම කෑමක් බීමක් දෙන්නෙ නෑ....තුන්වෙනි දවස වෙද්දි පැටියා බාගෙට මැරිලා වගේ ඉන්නෙ...අන්න ඒ වෙලාවෙ පිටිකිරි දුන්නම ඒ සතා බඩගින්න වැඩිකමට බොනවා. මුල් අවස්ථාවෙම දුන්නා නම් ප්‍රතික්ෂේප කරන හින්දා තමයි ඒ ක්‍රමය අනුගමනය කරන්නෙ. ස්වභාවික මව් කිරි වෙනුවට මේ පිටිකිරි මේ සතුන්ට කිසිසේත් ගැලපෙන්නෙ නෑ. සමහරු සතුන්ට අජීරණ තත්වයන් උත්සන්න වෙලා මැරෙනවා. සමහරු පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ලොකු මහත් වුනත් දුර්වල අලියෙකු තමයි හැදෙන්නෙ...

ඔයාට මේ කථාව කියද්දිත් කොළොන්නාව පැත්තෙ පන්සලක මේ විදියට ගෙනාව පොඩි පැටියෙක් ඉන්නවා...එයාගෙ විස්තර සියල්ල අපි මාධ්‍ය වලට දුන්නත් කිසි කෙනෙක් දේශපාලන බලයට භයේ මේවා ගැන කථා කරන්නෙ නෑ. හැම අලියෙක්ටම ඒ අලියගෙ වලංගු භාවය පිළිබද පත්‍රිකාවක් තියෙන නිසා අපි ඒ අලි පැටියගෙ පත්‍රිකාව ඉල්ලුවාම පන්සලේ ලොකු හාමදුරුවො කියනවා පන්සලේ ඇතින්නගෙ පැටියලු. මම දන්න විදියට මල්ලි ඒ පන්සලට ඇතින්නක් නෑ.

සත්ව හිංසාව හෙළා දකිමින් ධර්මය දේශනා වන බෞද්ධ සිද්ධස්ථානවලදීම අසරණ සතුන්ගේ නිදහස නැති කර කොටු කොට තබා ගන්නා ආකාරය කිසි කළෙකත් අනුමත කල නොහැක. කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ කල් ගෙවන ගංගා පිළිබද මේ වීඩියෝව පිළිබද මා දැනුවත් කලේ ගිය වර පෝස්ටුවෙදි පාඨක අදහස් දක්වන්නට එක් වෙච්ච චරිත් වීරක්කොඩි. ඒ වීඩියෝවෙන් මා ඔබට මෙතෙක් කියූ කථාව මොනවට පැහැදිලි වේවි.


ගංගාගේ ජීවිතය එහෙං පිටින්ම අපායකි. ඇයට නිදහසේ නිදාගන්න, කැමති කෑමක් කන්න, සිත්සේ නාගන්න, හිතේ හැටියට ඇවිදින්න ඉඩක් නැත. කුඩා දරුවකු බදු  මේ සත්වයා සිටින්නේ බෞද්ධ සිද්ධස්ථානයකම වීම කණගාටුවට කාරණයකි. ගංගාගේ මානසික පීඩනය මේ වීඩියෝව තුල පැහැදිලිව පේනවා. බුදු බණ වෙනුවට වැදි බණ දෙසනා ගණින්නාන්සේලාට නම් මේවා සැලකිය යුතු කාරණා නොවනු ඇත.

වසරකට මිනිස් ජීවිත 60 ක් පමණ අහිමි වන ලංකාවෙ අලි මිනිස් ගැටුම පිළිබදවත් යමක් සදහන් නොකළොත් එය මේ ලිපියට අඩුවක්. උතුරු මැද හා නැගෙනහිර පළාත් වලට අදාළව වැඩි වශයෙන් පවතින මේ ගැටලුව අද සමාජ ප්‍රශ්නයක් වන තරමට ඔඩු දුවලා. අලින්ගේ වාස භවන වූ භූමීන් ආක්‍රමණය කර මිනිස් ජනාවාශ ඉදිකිරීමත්...එක් වනාන්තර කොටසක සිට තවත් කොටසකට අලින් මාරු වන ස්ථාන (අලිමංකඩ) අහුරමින් විවිධ ඉදිකිරීම් කිරීමත් නිසා මේ ගැටලුව පැණ නැගී ඇති බවක් මට සිතෙන්නෙ. ජනතාවගේ ආරක්ෂාව උදෙසා විදුලි වැට ආදිය ඉදිකලත් එයිනුත් මේ ගැටලුව සම්පූර්ණයෙන් විසදිලා නෑ. භව භෝග වගාවෙන් ජීවිතය සරිකරගන්නා මේ පළාත් වල අහිංසක ගොවීන්ගේ වගාවන් එක රැයෙන් විනාශ කරන්න මේ සද්දන්තයින්ට පුලුවන්. ඇතැම් විටෙක ඔවුන්ගේ නිවාස වලටත් පහර දෙනවා...මේ ගැටලුව විසදන්න තවමත් දූරදර්ශී සැලසුමක් රජයට නොමැති බව ඉතාම පැහැදිලියි.

කැලේ හිටියත්, පෙරහැරේ ගියත් හැම විටම පීඩාවට පත්වෙන්නයි වර්තමාන අලියට වෙලා තියෙන්නෙ. මිනිස් අයිතිවාසිකම් ගැන හැමෝම කථා කලත්...කථා කල නොහැකි මේ අසරණ සතුන් වෙනුවෙන් හඩ නගන්නේ...ඒ අයගේ ඉල්ලීම් දිනා දෙන්නට උදව් කරන්නේ කවුද ?

අම්පාර බුද්ධංගල රක්ෂිතයේ සිටි එකම දළ ඇතා
පසුගිය දවසක මරු වසගයට ගියේ විදුලි සැර වැදීමෙන්. 

මගේ මේ ලිපිය උදෙසා අම්පාරේ චන්දන මෙම ඡායාරූපය තෑගි කළෙහිය.

අලි ක්‍රියාවන් නිසා කුපිත වන මිනිස් ප්‍රජාව අතින් වසරකට අලි ඇතුන් 200 - 250 අතර ප්‍රමාණයක් ඝාතනය වෙනවා...සමහරු උගුල් වල පැටලෙනවා...නැත්තං හක්ක පටස් වලින් මුඛය කෑලි වෙලා දවස් දෙක තුනක් අපා දුක් විදලා මරු වසගයට යනවා...මෙතරම් අලි මරණ සංඛ්‍යාවක් වසරකට වෙද්දි තව ටික කාලයකින් අපේ ලක් භූමියෙන් මේ සුන්දර සත්වයා වද වෙලාම යාවි. එදාට අ යන්නෙන් අම්මා වෙනුවට අලියා කියා හෝඩි පොතේ තිබෙන්නට බැරි කමකුත් නැත....කෙසේවෙතත් එය එසේ නොවේවා යන්න මගේ පැතුමයි.

දුක් විදින අසරණ සතෙකු පිළිබද ජාත්‍යන්තර PETA සංවිධානය දැනුවත් කරන්න ඔබටත් හැකියි. එය ඒ සත්වයාගේ නිදහස් අයිතීන් දිනා දීමට පිටිවහළක් වේවි. මේ පාරෙන් යන්න.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

වීඩියෝවේ සිටින අහිංසක අලියා දෙස බලන්න....ඒ ජීවිතය මොන තරම් දුක්බරද ? චීවරධාරියන්ද සිටිනා තැනක ඒ සත්වයාගේ දුක පෙනෙන්නට, දැනෙන්නට කිසිවෙක් නැත.

බුද්ධංගල හස්තියා ගැන වැඩිදුර තොරතුරු මෙතැනින්..

මෙවැනි මිනිසුන් තවමත් අප අතර සිටීම කෙතරම් නම් සතුටක්ද ?















66 comments:

  1. අලිහිංසාව හෙලාදකිමු, :(

    ReplyDelete
    Replies
    1. වචන දෙකක් උනත්...ලොකු ගැඹුරක් තියෙනවා...ඒ අදහස තුල...

      Delete
    2. හ්ම්ම්ම්ම්, ඔව් බං.

      Delete
  2. අලි බැලිල්ලයි බලි බැලිල්ලයි කොච්චර උනත් එපාවෙන්නෙ නැහැ කියල කිව්වට අදනම් සිරාමලේ මට සෑහෙන්න හිත රිදුන..අවන්කවම උන් අපේ ගම් බිම් උදුරගෙන නෙමෙයි...අපි උන්ගෙ ගම්බිම් උදුරගෙනයි තියෙන්නෙ..අපේ රට දැන් තියන තත්වය උඩ කවුරුත් කතා කරන්නෙ නැහැනෙ ඕව ගැන..කතා කලොත් හිත රිදෙයි කියල වගේ සද්ද වහල ඉන්නව..උබ අර කියැව්ව වන ජීවින්ට හිතකර කෙනා මමත් දන්නව..තව තරුන නලුවො දෙන්නෙක් එක්ක එකතුවෙලා කොමඩි එහෙමත් කරන්නෙ නේද...සුපිරි රන්ගනයකුත් එක්ක..එහෙම නේද..

    ReplyDelete
    Replies
    1. ඉන්දික අයියා හරියටම තිතට මම කියන නළුවව අදුනගෙන තියෙනවා...ඔබෙත් යාලුවෙක් වගේ මට පේන විදියට...හඩක් නැති අහිංසකයො පිරිසක් වෙනුවෙන් තමයි මට හැකි විදියට හඩක් නැගුවෙ...මේ වගේ දේ වලින් ලොකු වෙනසක් වේවි කියලා හිතන්න අමාරුයි...ඒත් එක මිනිහෙක් හරි සත්ව හිංසාවෙන් වැළකෙනවා නම් එයම ප්‍රමාණවත්....

      Delete
  3. ලංකාවේ අලි ඇතුන්ට වෙන දේවල් දකිද්දී/අහද්දී පුදුම කනගාටුවක් ඇති වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...මටත් එහෙමයි...ඒ නිසාවෙන්ම තමයි මේ සටහන තැබුවෙ...

      Delete
  4. මම හිතන්නේ බොහෝ දෙනෙක් කියවන්න ඇති මම හේනක රාත්‍රී දෙකක් ගත කරපු විස්තරේ. එතන අලි-මිනිස් ගැටුම හොඳටම දැක්කා. මම කොළඹ ආපු ගමන් කරේ ගූගල් මැප් එකේ මේ තැන බලපු එක. අපිට මහා ලොකු වනාන්තරයක් වුණාට, විසි ගණනකින් යුක්ත මේ අලි රංචුව කොටු වෙලා තියෙන්නේ කිලෝමීටර් දෙක-තුනක වගේ පටු කැලෑ තීරුවකට. ඔවුන්ට කන්න තිබුනත් ඇවිදින්න තියෙන ඉඩ අඩුයි. වතුර තියෙන තැන ටිකට මිනිසුන් එන නිසා ඔවුන් වතුර බොන්නේ රාත්‍රී කාල වලදී. මේ සතුන් ඒ වගේ කොටු වුණාම ප්‍රචණ්ඩ වෙන එක අහන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. නිකමට හිතන්න නුවනින් වැඩි මිනිහෙක් දෙන්නෙක් අසාධාරණ ලෙස හිරකලා කියලා...ඒ අය කෙතරම් කෝප වේවිද....ඉතින් ඒ තරම් ඥාණයක් නැති මේ අහිංසක සත්තු කෝප වෙන එක අහන්නත් දෙයක්ද ? මට හිතෙන විදියට මේ සත්තු මිනිස්සු තරම් කෝප වෙන්නෙ නෑ...

      Delete
  5. පන්සලේ ඇතින්නගේ පැටියාගේ තාත්තා හාමුදුරුවෝද .... එහෙම නැත්තන් පන්සලේ ඇතින්න ළඟ පාත් ගෙදරක ගානියෙක්ද දන්නේ නෑ...... ඔය විදිහට අලින්ට පන්සල් වල දුක් දෙන එක ගැන මමත් සාහෙනවිස්තර අහලා තියෙනවා. වෙන එකක් ඕනේ නෑ දළාදා මාලිගාවේ දියවදන් නිලමේ කියන හොරා අලින්ට දෙන දසවද ගැන කී ස්රයක්නම් කතා කලාද ? එත් දේශපාලන හයිය කවුරුත් ඒ ගැන ඇක්ෂන් ගන්නේ නෑ . එක අතකට මනුස්ස අයිතිවාසිකම නැති රටේ අලි ගැන හිතන එකත් විහිළුවක්

    ReplyDelete
    Replies
    1. දළදා පෙරහැරේ යන පුංචි අලි පැටවුන්ට ගහපු සීන් එකකුත් කාලයකට ඉස්සර මම දැක්කා...ඒ වීඩියෝව හෙව්වට හොයාගන්න බැරි උනා...නැත්තං මේකටම අමුණනවා...
      බොලාගෙ කථාව සහතික ඇත්ත...මනුස්ස අයිතිවාසිකම් නැති රටක මොන අලි අයිතිවාසිකම්ද ?

      Delete
  6. අංග සම්පුර්ණ විස්තරයක් අලි දුක පිළිබඳව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියා....

      Delete
  7. අපේ රටේ බලයට පත්වන සෑම දේශපාලන පක්ෂයක්ම අනුගමනය කරන පිළිවෙත් බොහෝදුරට එක සමානයි. ඒ නිසා සත්ව හිංසාව වැලැක්වීම ගැන රාජ්‍ය අනුග්‍රහය ලැබෙයි කියා හිතන්න අමාරුයි. සත්ව අවිහිංසාවාදී සංගම් විසින්ම මහජනතාව දැනුවත් කිරීම වැඩි කලයුතුයි. නමුත් ඔවුන්ටත් මුදල් ප්‍රතිපාදන නැතුව ඇති. කැස්බෑ සංරක්ෂණයේදී සිද්ද වෙන්නෙත් ප්‍රදර්ශන භාණ්ඩ තබාගැනීමක් විතරයි. යටින් යන වෙනම සෙල්ලම් තියනවා. ඉන්දියාව, ලංකාව, තායිලන්තය, මියන්මාරය, වැනි රටවල මිනිසා සහ අලියා අතර සම්බන්ධය වසර දහස් ගණනක් ඈතට දිවයනවා. ඒ තුලට ඔබාගත් සංස්කෘතික ලක්ෂණ නිසා තමයි මේ ප්‍රශ්න ඇතිවෙන්නේ. කවදා හෝ එක මහානායක හාමුදුරු කෙනෙකුට, පෙරහැරට අලි එපා කියලා බය නැතුව කියන්න පුළුවන් වුනොත් ලොකු වෙනසක ආරම්භය එය වියහැකියි.

    ReplyDelete
    Replies
    1. මහනායකලා මේවා නොදැක්කා වගේ අහක බලාන ඉන්න එක නොවැ අඩුපාඩුව...සත්තුන්ට හිංසා කරන්න එපා කියලා බණට දේශනා කොලාට...පන්සල ඇතුලෙ සත්තුන්ට වෙන හිංසාවන් ඒ අයට පේන්නෙ නෑ...

      Delete
  8. //නරඹන්නන් ඉදිරියට පැමිණ දෙපසට පැද්දෙන අලියෙකු දකින ඇතමෙකු....බෙරහඩට අලියා නටනවා කියා කීවද...මට සිතෙන්නේ ශරීරයේ ඇති අපහසුතා නිසා අලියා එලෙස පැද්දෙන බවයි.//
    පෙරහැරේ යන අලින් ගොඩක් එකපාර දකින්න ලැබුනේ මෑතකදී හයිවේ එකට ආපු වෙලාවෙ. ඈතින් සමහර අලි පැද්දි පැද්දි එනකොට මිනිස්සු ඔල්වරසන් දුන්නෙ බලන්නකො සතා උනත් තියෙන සතුට කිය කිය. මම හොඳටම ලංවෙලා බැලුවා. මොන සතුටක්ද? එහෙම නටන එවුන්ගෙ කකුල්වල දම්වැල් අනික් එවුන්ට වඩා කොටයි. යන්න අමාරුයි. සමහර අලින්ගෙ කකුල්වල තුවාල. වේදනාවෙන් එහෙ මෙහෙ වෙන එකටයි නටනවා කිය කිය උඩ පනින්නෙ.

    මම ඔය කතාව එහෙම කියපු අයට කිව්වම මෙන්න මෙහෙම උත්තරයක් ලැබුනෙ. 'පිස්සුද? ඒ අලින්ගෙ හැටි. බෑන්චූන් සද්දෙ උන්ටත් තේරෙනවා. බොරු නම් නුවර පෙරහැරේ යන අලි බලන්නකො. උන් කොච්චර ආඩම්බරෙන්ද යන්නෙ? '

    ReplyDelete
    Replies
    1. ඔවැනි කථා අපේ කිරිඅම්මත් ඉස්සර කිව්වා...වයසක උන්දැලි හිතාන ඉන්නෙ අලි පෙරහැරේ යන්නෙ පුදුම ආශාවකින් කියලා....ඒ සත්තුන්ට පිස්සුද තමන්ගෙ නිදහස් කැළෑ ජීවිතය පෙරහැරකට කැප කරන්න...ඔය සත්තුන්ව පෙරහැරට යොදවලා තියෙන්නෙ ඒ සත්තු එක්ක කථා කරලා කැමැත්ත අරගෙන වගේ ඒ අය හිතන්නෙ...

      Delete
  9. මේ ලිපියත් අලි ගැන තිබ්බ කලින් ලිපියත් මම කියෙවුවෙ නෑ සිරා. මම දන්නව මේ වගේ ලිපියක් කියෙවුවම ඇස් දෙකට කඳුළු එන වග. කවදහරි දවසක ඔය සත්තු ටික ලංකාවෙන් වඳ වෙලා ගිය දවසක මිනිස්සුන්ට තේරෙයි. එතකොට පරක්කු උනා වැඩියි.

    ReplyDelete
    Replies
    1. අකුරු 3 ප්‍රසන්න අයියත් බොහොම සංවේදී මනුෂ්‍යයෙක් කියලා දැනගැනීමට ලැබීම ගැන බොහොම සන්තෝෂයි...හැකි හැම වෙලේම හැකියාව තියෙන විදියට අහිංසක සත්තු වද හිංසා වලින් මුදවන්න...

      Delete
  10. ඇත්තටම සිරා අයියෙ මම කලින් ලිපියෙදිත් කිවුවා වගෙ මාත් අලි සංදර්ශන. පෙරහර හරිම ආශාවෙන් බලපු එකෙක්. ඒත් මේ සතුන්ගෙ ජීවිතයෙ ඇතුලාන්තය කොයි තරම් දුක්කිතද කියලා තේරුනේ දැන් තමා. අපිත් පුලුවන් තරමින් සමාජය දැනුවත් කරමු.

    ReplyDelete
    Replies
    1. ඒ යථාර්තය දැනුන දවසෙ ඉදන් තමයි මම ඒ වගේ දේ වර්ජනය කලේ...මොකද මම ඇත්ත දන්නා නිසා සතුටක් ලබන්න බෑ.

      Delete
  11. අලි කියන්නෙ හරි අහිංසක සත්තු ජාතියක් නේ අලියට හිටියට. මම හරි ම ආස යි අලි දිහා බලන් ඉන්න.

    ReplyDelete
    Replies
    1. අලියා තමන්ගෙ තරම දන්නෙ නෑ කියනවනෙ...නැත්තං මිනිස්සුන්ට යටත් වෙලා ඉන්න එකක් නෑ...අලියගෙ ඇගේ තරමට ඇස් දෙක ගැලපෙන්නෙ නෑලු....

      Delete
  12. අඩේ අලි කතාවේ පළවෙනි කොටස මට මිස් වෙලා එකත් හොයාගෙන බලලම එන්නම්

    ReplyDelete
    Replies
    1. හොදා හොදා....ඒකත් කියවලාම එමුකො එහෙනං...

      Delete
  13. සත්ත්ව හිංසනය ගැන මගෙ අදහස ආයෙ කියන්න ඕන නෑනෙ සිරා. උඹ දන්නව නෙ.. මෙ ලිපි ටික ලිව්වටත්, උඩ තියන ලින්ක් කීපයටත් උඹට ස්තුතියි. ඒවට ගිහින් බලන්නම්.

    ReplyDelete
    Replies
    1. හිතට එකගව ලියන්නයි මට ඕනෙ බං....අපි මොකද සුරංගනා ලෝකෙක නෙමෙයිනෙ ජීවත් වෙන්නෙ...

      Delete
  14. මේක බොහොම සංවේදී ලිපියක්. පෙරහැරේ අලින්ට දන්වැල් දාගෙන යනහැටි මමත් කීප වතාවක්ම නිරීක්ෂණය කළා. අනේ අලි බොහොම ආසාවෙන් නට නටා පෙරහැරේ යනවා. තිරිසනා වුණත් ඌට තියන බුද්ධාලම්බන ප්‍රීතිය... සාදු සාදු කිය කියා අපේ උපාසක අම්මලා වඳිනවා. මේ තියෙන්නේ මං ගත්තු පොටෝ ටිකක්. බලන්න කොයිතරම් ළඟින්ද කියලා දම්වැල් දාල තියෙන්නේ... හැබෑ තිරිසන්නු කව්ද කියලා එතකොට තේරෙනවා...
    https://www.facebook.com/nadeesh.dissanayake/media_set?set=a.10150834324001435.429792.589466434&type=3

    ReplyDelete
    Replies
    1. මම ඔය පින්තූර කීපය බැලුවා....ඒවායින් මම මතුකරපු කාරණා ඉතාමත් පැහැදිලිව පේනවා...කකුල කොච්චර හිර කරලද විලංගු දාලා තියෙන්නෙ....තිරිසන් මිනිස්සු...

      Delete
  15. සිරාට මතක ඇති අපේ ගමේ මිනිස්සු අලිත් එක්ක තියෙන කෝන්තරේ ගැන මම නිතරම කියන හැටි . ඒ වගේමයි අංගවිකල අලි පැටියෙක් අහුවෙලා අපේ මිනිස්සු ඒකව බේරාගන්න දවස් දෙකතුනක්ම දඟලවුව හැටිත් . සත්ව හිංසනය ගැනනම් මටත් දැන් දැනිලයි තියෙන්නේ අන්තිම පෝස්ට් එකේදිත් ඒගැන පොඩි සටහනක් දැම්මා ..

    වැදගත් ලිපියක් සිරා . අපේ සමහර වැඩිහිටයෝ කියන්නෙම අලි පෙරහැරේ යන්නේ පෙර කල පින්වලට කියාල අදත් මම අපේ වැඩිහිටි බුවාලා කීපදෙනෙක් එක්ක සිරාගේ මේ පෝස්ට් එකේ තිබ්බ දේවල් අදලා අරන් වාද කෙරුවා .. වැඩක් නෑ උන්දැලා කියන්නෙම අලියා පෙරහැරේ යන්නේ බොහෝම බක්තියෙන්ලු .. අලියට තියෙන පින මට නෑලු .. ඉතින් මං කට පියාගත්තා ..

    ReplyDelete
    Replies
    1. සදරුගෙ අලුත් වෙනසට මම බොහොම මනාපයි...කවුරු මොන මොන දේ කිව්වත් සමහර පුද්ගලයන්ට තමන්ටම තේරුම් ගිය අවස්ථාවක තමයි සත්ව හිංසනය ගැන හොදින් අවබෝධ වෙන්නෙ...මට මතකයි බොලා ඇතුලු කාණ්ඩෙ ගමේ හරක් මරනවට කොපමණ විරුද්ධද කියලා....

      ඔය වයසක ඇත්තො එක්ක තර්ක කරලා වැඩක් නෑ බොලං...ඒ අය හිතාන ඉන්නෙ අලියා කැමැත්තෙන්ම පෙරහැරේ යන්න ඉදිරිපත් වෙලා කියලා....ඔය කියන භක්තිය අලියට දැනෙන්න තරං ඒකගෙ මොළය දියුණු නම්....ඔය හෙන්ඩු තියන් ඉන්න උන්ට ඊට කලින් ගහලා උන් කැලේට දුවන්නෙ...

      Delete
  16. "කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ කල් ගෙවන ගංගා පිළිබද මේ වීඩියෝව පිළිබද මා දැනුවත් කලේ ගිය වර පෝස්ටුවෙදි පාඨක අදහස් දක්වන්නට එක් වෙච්ච චාමර."

    චාමර අදහස් දැක්වුවට වීඩියෝවෙ link එක දැම්මෙ මම...:)

    හැම අලියෙක්ටම පෙරහැර වල යද්දි ළඟින් ළඟින් අඩිය තියන්න වෙන විදිහට විලංගු දාන්නෙ නෑ. ඇත් ගොව්වට අලියව විශ්වාස නම් ඔය විදිහට විලංගු දාන්නෙ නෑ. හොඳම උදාහරණය නැදුන්ගමුවේ රාජාට විලංගු දාලා නෙමේ පාරෙ වුණත් එක්ක යන්නෙ. ඒත් සමහර අලින්ට අනිවාර්යයෙන්ම විලංගු දාලා ගෙනියන්න සිද්ධ වෙනවා, සතා සැර එකෙක් නම්.

    හීලෑ අලින්ට ඔච්චර වඳ විදින්න වෙන තව හේතුවකුත් තියෙනවා. ඉස්සර ඇත් ගොව්වෙක් වෙන්න අවුරුදු පහ, හයක් දුක් විඳගෙන ඉගෙන ගන්න ඕනෙ. ඒත් දැන් කොල්ලයි, බල්ලයි හැමෝම අවුරුද්දකින්, දෙකකින් යන්තම් ඉගෙන ගෙන අලියෙක්ව පාලනය කරන්න යනවා. ඉස්සර හිටපු ඇත් ගොව්වො දැන් තරම් හෙණ්ඩුව පාවිච්චි කළේ නෑ. ඒත් අලුත් එවුන් හෙණ්ඩුවෙන්මයි අලියව මට්ටු කරන්න හදන්නෙ. හේතුව සාස්තරේ හරියට දන්නෙ නැති එක.

    ඉස්සර අලියෙක් බලන්න ඉන්න ඇත් ගොව්වා අලියා මැරෙන කල්ම වගේ එක අලියෙක් ගාවම රස්සාව කරනවා. එහෙම උනාම අලියගෙයි, ගොව්වගෙයි අතර තියෙන බැඳීම වැඩි වෙනවා. එතකොට හෙණ්ඩුව පාවිච්චි කරන්න ඕනෙ වෙන එකත් අඩුයි. ඒත් දැන් එක අලියෙක් ගාව ගොව්වෙක් මාස 6ක්, අවුරුද්දකට වඩා ඉන්නෙ නෑ. වැඩියෙන් පඩි ලැබෙන තැනට පැන ගන්නවා. ඉතින් අලියට ගොව්වා පුරුදු නැති නිසා හෙණ්ඩු පාර වැඩියෙන් කකා තමයි ඉන්න වෙන්නෙ.

    තව දෙයක් කියන්න ඕනෙ. ඔය අලියෙක්ව පෙරහැරක ගෙනියද්දි කකුල් වලට දාලා තියෙන දම්වැල් දිහා හොදට බැලුවොත් පේනවා පිටි පස්සෙ කකුලක් හරියට පොළොවෙ නොවැදෙන්නයි දම්වැල් දාලා තියෙන්නෙ. සම්පූර්ණ කකුලම පොළොවෙ ගෑවෙන්නෙ නෑ. බාගෙට ඉස්සිලයි තියෙන්නෙ. එහෙම කරල තියෙන්නෙ අලිය කුලප්පු වුණොත් හයියෙන් දුවන්න බැරි වෙන්න. සාමාන්‍යයෙන් අලියෙක් පෙරහැරක අලියෙක් ඇවිදින්නෙ නෑ, කකුල් තුනෙන් පැන පැන තමා යන්නෙ.

    පන්සල්වල, දේවාලවල, ගෙවල්වල ඉන්න අලින්ටත් වඩා දුක් විදින තවත් ඇතෙක් ඉන්නව ලංකාවෙ. එයා ඉන්නෙ දෙහිවල සත්තු වත්තෙ. අප්‍රිකානු ඇතා. ජීවිත කාලෙම එකම තැන ගැට ගහලයි ඉන්නෙ. ඇවිදින්න දෙන්නෙ නාන වතුර වලට යන එන ටික දුර විතරයි. මේ ඇතාට විලංගු නොදා ඇවිද්දුවත් යන්නෙ කොර ගගහ. මෙහෙම වෙන්න හේතුව ඇතාව ගොඩක් කාලයක් ඇවිද්දවන්නෙ නැතුව එකම තැන ගැට ගහල තියෙන එක.

    අලියෙක් නාවන්න ඕනෙ ගලා යන වතුර පාරක. ඒත් දැන් ඉන්න අලින්ව නාවන්නෙ ගොඩක් වෙලාවට කෘතිමව හදපු පොකුණුවලින්. නැත්නම් හෝස් එකකින්. ගලා යන්නෙ නැති වතුර වලක අලියෙක් හිටියොත් අලියගෙ හමට දැනෙන්නෙ ඒක කටු අනිනව වගේ.

    Comment එක post එකක් තරමටම දික් වුණා. මේවා ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණෙ අලින්ට තියෙන ආසාව නිසයි, විශ්ව විද්‍යාලයේ හීලෑ අලින් ගැන කරපු ව්‍යාපෘතියකට හවුල් වෙන්න ලැබිච්ච නිසයි.

    ReplyDelete
    Replies
    1. මේ වීඩියෝවෙ තියෙන්නෙ ළඟදි පින්නවලදි අලියෙක්ට දීපු දඩුවමක්.

      http://www.youtube.com/watch?v=C5alz_b3L5o

      Delete
    2. ඔබේ කමෙන්ටුව මේ පෝස්ටුවට ආලෝකයක්...මම ඉතාම මනාපයි කියවන අයගෙ දැනුම වර්ධනයට ඉවහල් වන මෙවැනි කමෙන්ටු වලට....ඔබගේ දැන්වීම් පරිදි මම පෝස්ටුව තුල ඔබේ නම ඇතුලත් කලා. නැදුන්ගමුවේ රාජා වර්තමානයේ හිමි හර්ෂ ධර්මවිජය කියන යක්කල ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර කරන වෙදමහත්තයට...එතුමාගේ පියාණන් තමයි මුල් හිමිකරුවා...වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ ඇත්තො ඉතාම හොදින් ඒ සත්වයා රැක බලා ගන්නවා...හිංසාවක් පීඩාවක් නැතුව... ගම්පහ ඉදන් නුවර පෙරහැරට මේ සතා යන්නෙ පා ගමනින්මයි. එය මා පෝස්ටුව තුල කිව්ව ලොරි ගමනෙදි සතාට දැනෙන පීඩාව නැති කරන්න...ඒ වගේම සතා නුවර පෙරහැරට සහභාගි වෙන්න පා ගමනින් යද්දි මහන්සි දැනුනාම පාරෙ අයිනකට වෙලා විවේක ගන්නවලු...ඇත් ගොව්වො ඒ සදහා අවස්ථාව දෙනවලු...වෙද මහත්තයත් සතා එක්කම වාහනෙන් නුවරට යනවා...හැම අවස්ථාවකම හොයා බලනවා...මග දෙපස ජනතාවත් නැදුන්ගමුවේ රාජට සංග්‍රහ කරන්න සැදී පැහැදී ඉන්නවා....මේ අවස්ථාව වෙද්දි දළදා කරඩුව වඩමවන්න සුදුසුකම් තියෙන ඇත්තු 4 දෙනයි ලංකාවෙ ඉන්නෙ....

      පින්නවල ඔය කතන්දරේ මම ගොසිප් ලංකා එකේ දැක්කා....ඔය වගේ දේවල් බලන්න තරම් මගේ හිත හයිය නෑ...ඒ නිසා මම බැලුවෙ නෑ. පුදුම දුකක් දැනෙන්නෙ මේ වගේ අමනුස්සයොත් අපි අතර ඉන්න බව ඇහුවාම.

      Delete
    3. පන්නිපිටියෙ දෙව්රම් වෙහෙර ගැනත් කියල තිබ්බ නිසා දෙයක් මතක් වුණා. ඔය පන්සලේ ඉන්නව අප්පුහාමි කියල අලියෙක්. තාමත් ඉන්නවද කියලනම් දන්නෙ නෑ. ඔය සතා සැර එකෙක්. ඉතින් සතාව මට්ටු කරන්නෙ කෑම නොදී තියල. අප්පුහාමි මේ නිසා ඇට පෑදිච්ච කෙට්ටු අලියෙක් වෙලා ඉන්නෙ. ඔතන ඉන්න හාමුදුරු කෙනෙක්ගෙන් හරි, ගොව්වන්ගෙන් හරි ඇහුවොත් කියන්නෙ ඒ අලියගෙ හැටි තමයි කියල තමයි.

      "මේ අවස්ථාව වෙද්දි දළදා කරඩුව වඩමවන්න සුදුසුකම් තියෙන ඇත්තු 4 දෙනයි ලංකාවෙ ඉන්නෙ...."

      මේ වෙද්දි දළඳා කරඬුව වඩමන්න 100%ක් සුදුසුකම් තියෙන ඇතෙක් නෑ මං අහල තියෙන විදිහට. ඔය කියන ඇත්තු හතර දෙනා තමයි නැඳුන්ගමුවේ රාජා, කතරගම දේවාලෙ වාසනා, දළඳා මාලිගාවෙ ඉන්දි රාජා සහ කෑගල්ලෙ මහින්දෝදය පිරිවෙණේ වේවැල්දෙණියෙ රාජා. හැබැයි මේ හතර දෙනාගෙත් ගොඩක් අඩුපාඩු තියෙනව කියලයි කියන්නෙ නම්.

      Delete
    4. තව දෙයක් මතක් වුණා. ඔන්න අලි පැටව් දෙන්නෙක්ව පොලිසියටයි, හමුදාවටයි සින්නකරේටම ලියල දීල. උන් දෙන්නටත් දෙයියන්ගෙ පිහිටයි.

      Delete
  17. රටේම ඉන්න මහ එවුනුත් ලෝකේ ඉන්න මහ එවුනුත් රිංගන ඔය ගුබ්බෑයමේ තත්වේ ඔහොම නම් අනිත් තැන් ගැන කවර කතාද.......

    සත්ව හිංසාවට විරුද්ධවීම කියන බෝඩ් එකට මුවාවෙලා ගේන පටු මෝඩ තර්ක නිසා තමයි මෙවන් සංවේදී ප්‍රශ්න යට ගිහිල්ලා තියෙන්නේ. සිරාගේ සමාජ මෙහෙවර අගයනවා.
    http://www.saveelephant.org/herd.html

    ReplyDelete
    Replies
    1. අදහසටත් ලිංකුවටත් ස්තූතියි...ඔය කියන තැන් මගුල් ගෙවල් ගන්න උත්සව ශාලාවක් නොවැ...

      Delete
    2. සිරා.....මම දකින එක අවස්තාවක් තමයි උඹ උලුප්පා දක්වන්නේ වෙඩින් වෙනුයු එකක් කියා. නමුත් මේ හැම ප්‍රොජෙක්ට් එකක්ම පවත්වාගෙනයාම සඳහා විශාල මුදලක් අවශ්‍ය වෙන බව මගේ සිතීමයි. ගහක බැඳගෙන අලියෙකුට පත්තු බඳිනවාට වඩා වෙනස් ක්‍රියා මාර්ග සිද්ධවිය යුතු බව ඔබ දන්නවා යැයි මම හිතමි. මේ හැම ප්‍රොජෙක්ට් එකක් තුලම යැපෙන මිනිසුන් කොටසක් ඇති සහ ඉන්නවා. ඒ දේම තමයි පින්නවල වෙන්නෙත්. තව ඕනම තැනක වෙන්නෙත්. මේසා විශාල ප්‍රොජෙක්ට්ස් නඩත්තු කරන්න මටවත් උඹටවත් , ඇත් ප්‍රේමීන්ටවත් තනියෙන් කරන්න බැහැ. මේ යතාර්තයට මුහුන දෙන්න බැරිනම් අලි ඇතුන් ගැන සානුකම්පිත ලිපි සහ තැනින් තැනින් අල්ලා ගත් වැඩ වලින් ස්වයං වින්දනයක් පමනක් ගන්න පුළුවන් වෙයි. මම මේ දේ කියන්නේ උඹව ටාර්ගට් කරන ගෙන නෙමෙයි. හැබැයි අපි යතාර්තයට ෆේස් කරන්න ඕන. ඔටාරාගේ බලු සුරක්ශිතය තුලත් වෙන්නේ අවම වශයෙන් හෝ යමක් බල්ලන්න්ට යන එකයි. ඒ ටිකවත් යන එක හොඳයි අනිත් තැන් වගේ අකුරට සීමා වෙන තපස් උපාසක පති දම් වලට වඩා. නැවතත් කියන්නේ මා කිසිවෙකු ඉලක්ක කරාවත්, ප්‍රවර්ධනය කලාවත් නොවේ.

      මෙන්න පින්නවල තත්වය. http://www.gossiplanka.info/2014/01/blog-post_29.html....... මම මේ තව පත්තරයක දැක්කා , නමුත් මට එය දැන් හොයාගන්න බැහැ. මේ සුමානේ ඇතුලේ ආපු නිව්ස් එකක්..

      Delete
  18. ඇත්තටම හරිම දුකක් තමයි මෙ සත්තු විදින්නෙ.මිනිස්සුනෙ අවශතා වෙනුවෙන් නිදහසයි සතුටයි දෙකන නැතිවෙල.හැබැයි බලද්දි උන් විතරක් නෙමෙයි අහින්සක අපිත් ඔය දුකම විදින එකෙ උන්ට මෙන සරනක්ද?

    ReplyDelete
    Replies
    1. මිනිස්සු මුදල්, බලය එක්ක ගැවසෙද්දි ගතිගුණ වලින් සෑහෙන්න පිරිහුනා...අහිංසක සතෙකුගේ තියා අහිංසක මිනිසෙකුගේ වත් දුක කදුල එතැනදි ඒ බලවත් අයට දැනෙන්නෙ පේන්නෙ නෑ...

      Delete
  19. ලිපිය කියවල ඉවර වුනහම හිතට දැනුනේ ලොකු කලකිරීමක් ...අලින්ගේ ජීවිත වල එතරම් ගැඹුරින් නොහිතන නොදකින පැත්තක් පෙන්නුවට ස්තූතියි..

    ගංගාගේ වීඩියෝ එක හරිම සංවේදීයි..

    ReplyDelete
    Replies
    1. නගාට මම නගාගෙ පෝස්ටුවක් තුලම කිව්වා නොවැ පෙරහැරේ අලියා ගැන කියා දෙන්නම් කියලා...මේ තමයි ඒ පෝස්ටුව...මම හිතනවා ඔයාගෙ දැනුමට යමක් අලුතෙන් එකතු වෙන්න ඇති කියලා.

      Delete
  20. අපේ සංස්කෘතියයි අරකයි මේකයි කියා කියා සත්තුන්ට වද දෙන එක නරුම වැඩක්. මන් ගිය පාර ගියහම දැක්ක පන්නිපිටියේ දෙව්රම් වෙහෙරෙත් ඉන්නවා අලි . අලින්ට කොහෙත් ප්‍රශ්න . කලේ හිටියොත් වෙඩි කා නසි. පන්සල් වල හිටියොත් ජීවිතේම දුක් විඳින්න වෙයි. වැඩිවන මිනිස් ජනගහනය එක්ක කැලයේ සිදුවන කරදර පැත්තකින් තියමු. නමුත් සංස්කෘතියේ මුවාවෙන් සතුන්ට හිංසා කිරීම හෙලා දකිනවා. අපි ඉස්සර පෙරහරේ යන අලි ගැනලා විනෝද වුනා තමයි. නමුත් දැන් නම් අපේ ළමයි අහයි පව් නේද අලින්ගේ කකුල් බැඳලා කියල. ඒ කියන්නේ වෙනස් වෙන්න කාලය ඇවිත්

    ReplyDelete
    Replies
    1. මමත් පුංචි කාලෙ විනෝද උනා...ඒත් අලියා සම්බන්ධ යථාර්තය දැනගත්ත දා ඉදන් ඒ සතුට අතුරුදහන් වුනා....අද බැරිවෙලාවත් පෙරහැරක් දිහා බලන් ඉන්නෙ නෑ. පෙරහැර සදහා අලි තියාන ඉන්න හැම පන්සලකම තත්වය ඔහොම තමයි...නායක හිමිවරු හිතාන ඉන්නවා ඇති මේ කරන උතුම් පිංකම් වලින් අලියා ලබන ආත්මෙ මිනිහෙක් වෙලා උපදීවි කියලා...

      Delete
  21. මම පන්නිපිටියෙ දෙව්රම් වෙහෙර කියන තැන සිද්දවෙන අලි හිංසාවක් ගැන බ්ලොග් එකේ ලිව්වා. නමුත් ඉතිං කාටද රිදෙන්නෙ අලියට නෙව.
    අපේ හුදී ජනයාට ගානක් වත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන තැනට මම ගිහිල්ලා නෑ....ප්‍රසිද්ධ හාමුදුරුවරුත් ඔතන වැඩ හිටියා නේද...බලාන යද්දි හැම තැනම එකම දේ වෙන්නෙ...

      Delete
  22. මම කලින් දවසේ දැම්ම කමෙන්ට් එක ගැලපෙන්නේ මේකට තමයි.. මට කියවන් එද්දී මතක් වුනේ අතුල අධිකාරිගේ " සොඬින් නෙළුම් මල ගෙනියන " කියන සිංදුව..

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම ඒ ගීතය මෙතනට ගැලපෙනවා තමයි...මටත් දැනුයි මතක් උනේ...ඒකෙ එක කොටසක තියෙන්නෙ...ඇතින්නිගේ දරු සෙනෙහස ගාල් කලේ මන්දැයි කියලා...

      Delete
  23. සියලු සත්වයෝ කෙරෙහි මෙත් සිත පැතිරවූ බුදු රජානන් වහන්සේ හට වර්තමානයේදී සිදුවන දෑ දකින්නට හැකි නම් ශාසනයේ නාමයෙන් දුක් විදින අලියා පිළිබද අසීමිතව කම්පා වනු නියතය.

    මේ ගැනම මමත් කෙටි බ්ලොග් එකක් ලිව්වා සිරා. වැඩක් නෑ. මිනිස්සු අන්ධවෙලා ඉන්නෙ.. ඇත්ත දකින්නෙ කොහොමද ? (http://lankapriyagesithivili.blogspot.com/2013/02/2.html)
    ඒකට සිරා කල වටිනා සටහන් පස්සෙ මම බ්ලොග් ලිපිය යටින් එල්ලුවා.

    ReplyDelete
    Replies
    1. සරත් අයියගෙ සටහනත් මම වෙලාවක් ලැබුනාම කියවන්නම්...මේ ටිකේ කාර්යබහුලයි. ඔබ වගේ හිතන අය හමුවීමත් සතුටක්...

      Delete
  24. සත්ව හිංසනය හෙලා දකිමු !!

    ReplyDelete
    Replies
    1. කෙටියෙන්ම කියන්න තියෙන දේ කිව්වා නේද...

      Delete
  25. මේක නම් නරුම වැඩක්. . . මමත් මේ ගැන කලින් මේ තරම් හිතල නැහැ,නුමුත් මේ කතාවල් ඇහුවම නම ඇත්තටම දුකයි., , , සිරා ලිපියක් සිරෝ

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද..ඒ අසරණයන් වෙනුවෙන් මගේ හැගීම යුනිකෝඩ් බවට පත් කරපු අවස්ථාවක් කියලා තමයි කියන්න වෙන්නෙ...

      Delete
  26. සත්ව හිංසනයට අපිත් විරුද්ධයි..

    ReplyDelete
    Replies
    1. ලග ඉන්න තව කීප දෙනෙකුට ඔය අදහස දෙන්න...

      Delete
  27. උබේ අලියා කියවීමෙන් පුංචි කාලය සිහිවිය අලිනැතත් ගමහරහා පෙරහැර යෑම පට්ටම අත්දැකීමකි කකුල් හතරේ අලින්ට මාත් ඉතා කැමැත්තක් දක්වන්නේමි උඹට මතකද අර ඇතින්නට ඡ්නදයක් දුන්නේත් එකා නිදහස් කරගත යුතු නිසාමය

    ReplyDelete
    Replies
    1. මතකයි මතකයි...ඔය කියන්නෙ මාලි ගැන...ඒ වැඩසටහන දියත් කලෙත් PETA සංවිධානයම තමයි. පුංචිකාලෙදි මමත් අලියා දැක්කම පෙරහැර දැක්කම සතුටු වුනා....එහෙත් දැන්නම් සතුටක් දැනෙන්නෙ නෑ.

      Delete
  28. උඹට ගොඩක් පිං මලේ මේ සටහනට! මටත් මේ වන තුරැ මේ ගැන මෙච්චරම හිතිලා තිබුනේ නෑ. මේ සටහන වඟකිවයුතු කෙනෙකුගේ ඇස ගැටේවා.
    මගේ ඤාති සොයුරෙක් ඉන්නවා කුරැණෑගල. එයා එයාගේ වියදමින් කැලෑවට ගිහිං දොස්තරලත් එක්ක අලියෙකුගේ තුවාලයකට ප්‍රතිකාර කරනවා පවා මම වීඩියෝ එකකින් දුටුවා.
    මේක දකින කොට මෙහේ දකුණු වේල්ස් වල පිහිටා ඇති සියළු දෙවියන්ගේ දෙවොලේ සිටින අලියා සිහිවුනා. ඒ අලියා පැටියා කාලේ ප්‍රේමදාස ජනාධිපති පූජා කරලා තියෙන්නේ. දැන් මට හිතා ගත්තෑකි පැටියා කොහොම හොයා ගන්න ඇතිද කියලා. මෙහේ සීතලත් එක්ක අලියා ඒ කුටියේ හිරවෙලා කොච්චර දුකක් විඳිනවද කියලා දැන් තමයි මට හිතෙන්නේ.
    තව තව මෙවැනි වටිනා ලිපි ලියැවේවා!!
    උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන සතා ගැන මම ලිපියෙ ඇතුලත් කරලා තියෙන ලින්කුවෙන් ගිහිල්ලා PETA සංවිධානය දැනුවත් කරන්න...මමත් ඒ ගැන සොයා බලන්නම්....නොවැරදීම කරලා ඒ සතාගෙ ඉතිරි ජීවිත කාලය හරි සැනසීමෙ ගත කරන්න ඉඩ සලසා දෙන්න ලොකු අයියෙ...

      Delete
  29. අර පෙරහැරට අලි ගෙනියන හැටි නම් අන්තිමයි හැරෙන්නවත් බෑ අඩුම තරමේ පැය ගාණක් කකුල් 4 එකම ඉරියවුවකින් තියාගෙන ඉන්න කොචරචර අමාරු ඇතිද අහිංසක සත්තු පවු

    ReplyDelete
    Replies
    1. කටක් ඇරලා කියන්නද මට අමාරුයි කියලා...හෙණ්ඩු පාරවල් කකා...විලංගු නිසා තුවාල වෙච්ච කකුල් තියාගෙන ඒ සත්තු කොච්චර නම් දුක් විදිනවද...නිකමට හිතලා බලන්න...අපිට මෙහෙම උනොත්...

      Delete
  30. අලින් ගැන මේ කියන කතාව ගැන මම දහස් වරක් අගෙ කරනවා .අලියා තිරිසන් සතෙක් උනාට ඒ සතාට තියෙන බුද්ධිය මේ මනුෂ්ස සතාට නෑ .අලින් විදින් දුක වැඩිපුරම දැකපු කෙනෙක් හැටියට මම හැම වේලාවකම කම්පාට පත්වෙනවා ඒ සතුන්ගේ නිදහසට අපෙන වෙන අකාරුණිකත්වය ගැන .මේ ලිපිය අතිෂයින් වැදගත් .....හොද පිවිසුමක්

    ReplyDelete
    Replies
    1. වන්දන අයියට ඉතිං මම අලුතෙන් කියාදෙන්න අවශ්‍ය නෑ නොවැ...අලි ඉන්න පළාතකම ඉන්න නිසා අලින් විදින දුක මට වඩා ඉතා හොදට ඔබ දන්නවා...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...