Wednesday, May 27, 2015

56 පති භක්තිය සමග වෙසක් කූඩු

ආකාලයේ අපෙන් වියෝ වූ පන්ති සගයා නිශාන්ත පිළිබඳ දුක් මුසු මතක ආවර්ජනයට පසුව අපේ 11 වසර පන්තිය පිළිබඳ තවත් මතක සමුදායක් මා හට හදිසියේ මෙන්  මතක් වී තිබේ. ඒවා ඒ වෙලාවට කාමරේ දොර ඇර ලියා දැමුවේ නැතිනම් නැවත මේ කපේට මතක් වෙනවා බොරු කියා මගේ අක්මාවට දැනෙයි.

6 වසරේදී E පන්තියේ සිටි සිරා කොලුවා 9 වසරේදී තාක්ෂණ විෂයන් අනුව පන්ති වෙන් කරන විට F පන්තියට ඇද වැටුනි. එ් පන්තියේ මුල සිටම සිටි උන්ගෙන් බොහෝමයක් එ් වන විටත් වෙනත් පන්ති වලට ගොස් සිටි නිසා තග දාන්නට කිසිවෙකු සිටියේ නැත. පන්තියේ නම වෙනස් වුවත් පාසලේ කුමන හෝ තැනක දකින්නට ලැබුන මුහුණත් තහඩු බැවින් නුපුරුදු බවක් දැනුනේ පළමු සතිය පමණකි.

6 වසරේ සිටම F පන්තිය බාරව සිටි ඉංග්‍රීසි විෂය ඉගැන්වූ ශ්‍රියාණි ගුරුතුමිය ඉතා සුහදව ශිෂ්‍යයන් සමග කටයුතු කරනා ගුරු මාතාවක් වූ හෙයින් සියල්ලෝම ඇගේ සමාගමය ප්‍රිය කළෝය. ඒ නිසාම අලුත් පන්තිය සිරාගේ හිත් ගත්තේය.

මේ පන්ති කාමරයේ හැම වර්ගයකම උන් උන්නේය. අධ්‍යාපනයට කැපවුන පිරිස ඉදිරියේම ඇති ඩෙස්ක් පේලි වල මුල් අදින විට නසරානි ගනයට අයත් වූ පිරිස පිටිපස්සේ වල බැස්සෝය. මේ කලාප දෙක අතර කලාපයට සිරා කොලුවා ප්‍රිය කල නිසාම මගේ අතිජාතයෝ වූ ඔටුවා, බඩියා, අයිය බඩා, කිඩා, ඔකපතන කොලුවාද මේ කොටසේදී මා හට මුණ ගැසින.

පන්තියේ මුල් පෙලේ ප්‍රහාරකයන් ලෙස රට බල්ලා සහ වීර චොපා කටයුතු කල හෙයින් හිටි ගමන් ඇවිලී යන මුන් දෙන්නාගේ ඇඟ කිලිපොලා යන සටන් ජවනිකා නොමිලේම නරඹන්නට අපට අවස්ථාව ලැබුනි. ඒවා ඉතාමත්ම උද්වේගකර ඒවා විය. පහරක් දෙකක් වැදුන පසු පොළගෙකු මෙන් කිපෙන වීර චොපා අතට අහුවෙන කුමක් වුව උඩුගුවනේ පා කර හරින්නට මැලි නොවන නිසාම එකෙකු යටියන්තොට යන්නට ප්‍රථමයෙන් අපි හැමදාමත් මුන් දෙන්නා දෙපසට කළෙමු.

සිරා කොලුවා, කිඩා, අයිය බඩා බටහිර තූර්ය වාදක ඛණ්ඩය නියෝජනය කරන විට පෙරදිග තූර්ය වාදක ඛණ්ඩය නියෝජනය කල සජ්ජාද අප සමගම එකම පේලියක වාසය කළේය. තූර්ය වාදක ඩයල් එකට සිටි නිසාම ගුරුවරයෙකු නැති හිස් කාලජේද වල පන්තිය මැද කදිම බජව්වකි. බජව්ව නැගලා යන විටෙක පිටස්තර පන්ති වලින්ද එකා දෙන්නා සැට් වෙති.

අයිය බඩා බෑන්ඩ් එකේ ගැහුවේ සයිඩ් ඩ්‍රමකි. ඒ හේතුවෙන්ම අපේ ඩ්‍රම්ස් වාදකයා වූයේද අයිය බඩාය. කවකටු පෙට්ටියෙන් අයිය බඩා කදිමයට රිද්මය උත්පාදනය කල බව මට මේ මොහොතේ සිහිපත් වෙයි. ඒ රිද්මයට ගී ගැයුවේ සිරා කොලුවා ඇතුලු නඩයයි. මේ සංගීතය සජීවී සංගීත ප්‍රසංගයක් වැනි එකකි. එහි නිවේදකයා ලෙස හැමවිටම කටයුතු කලේ මාලක ගොයියාය. සමස්ත ලංකා කථික තරග වලින් වසර ගනනාවක් හෙතෙම ජයග්‍රාහකයා වී සිටීම ඒ තනතුර ඔහුට පංගරාර්තු වන්නට ඉවහල් විය. මාලක අද ගම්පහ පුරව‍රයේ ප්‍රසිද්ධ අතිරේක පන්ති ගුරුවරයකි. නීතිඥයෙකි.

මාලකයා සමග වැඩි පයුරු පාසානයක් නැති කීප දෙනෙකු පන්තියේ වූහ. බජව්වට ගායකයන් වේදිකාවට කැදවීම මෙන්ම වේදිකාවෙන් බිමට බස්සවා ගැනීමද නිවේදකයා විසින් අපූරුවට සිදු කරන වට පිටාවක හිටි ගමන් අනුග්‍රාහක භවතුන් මතක් කරනා අවස්ථාවක් එයි. මේ වෙලාවේ මාලකයා සමග උරනව සිටිනා කීප දෙනා වෙත ගල් මුල් මඩ විසිවෙයි. ඒවාට කිපෙනා උන්ද ඉන්නා තැනක සිට දක්වන ප්‍රතිචාර අප හැමට ගෙන ආවේ කඳිම විනෝදයකි. එවැනි චරිත අතරට අල පඩයා, බර්නාඩ් සහ රටබල්ලා නිතරම අයත් වූහ.

බජව්වේ ශ්‍රාවක සමූහයා අතර ප්‍රමුඛයා වූයේ ඔටුවායි. අඩෝ...ප්‍රියාගෙ හදවත් ඉල්ලා දියං...සමිතගෙ රණ හංස යුවල දීහං..යනුවෙන් තමාට අවශ්‍ය ගීත ඔටුවා ඉල්ලාගන්නේ තර්ජනය කිරීමෙනි.

අපේ 11 වසර පන්තියට සිංහල විෂය ඉගැන්වූවේ නන්දාවතී නැමති ගුරු මාතාවකි. ඒතුමිය ඒ වන විටත් වසර 20 කට වඩා වැඩි කාලයක් අප පාසලේම ගුරුවරියක් ලෙස සේවය කොට තිබුනි. හිටි අඩියේ තම පැරණි ගෝලයෙකුගේ රූපකාය සහ නම අතර අතර මං වන එතුමිය එවැනි නමකින් වර්තමාන උන්ද අමතයි. එලෙස කියනා  නම් එතැන් සිට උන්ගේ හතුරන්ගේ උසුළු විසුළු වලට හසුවෙයි.

බර්නාඩ් ඔය පොත අරගෙන මෙහෙ එනවා.

දිනක් ඇය එසේ පැවසුවේ මැද පේලියක සිටි ජගත් කොලුවා දෙස බලාගෙනයි. එතැන් සිට ජගත් බර්නාඩ් යනුවෙන් බෞතීස්ම ලැබුවේය. තවත් දිනක පසුපස සිටි ෂ්‍යාම් කොලුවා ඇගෙන් ආමන්ත්‍රණය ලැබුවේ ලෙස්ලි යනුවෙනි. ලෙස්ලි..මොකද ඔතන දඟලන්නෙ ? වැඩ කරන්නෙ නැත්තං කරන මිනිහෙක්ට ඉඩ දෙනවා. එදා ඇය එසේ කීවාය. එතැන් සිට ෂ්‍යාම් දර්ශණ ගුණසිංහ ලෙස්ලි යනුවෙන් නම් ලද අතර පසු කාලයකදී එය ලෙස්ලේ යනුවෙන් උච්චාරණය විය.

මේ පන්තියේ කදිම විකටයන් දෙදෙනෙකු වූහ. ටිරෝන් සහ හෙසිත මුන්ගෙ උප්පැන්නයේ නාමයන් වුවද මෙහි ලියන්නට බැරි තරමේ තුප්පහි නම් දෙකක් උන් වෙනුවෙන් පන්තියේ කොල්ලන් රැජිස්ටර් කොර තිබුනි. අපේ පන්තියට කාලයක් ගණිතය විෂය ඉගැන්වූ කපිල් දේව් සෑර් පන්තියට පැමිණි මුල්ම දවස් වල එක එකාගෙන් නම ඇසුවේය. එවිට නැගී සිටි හෙසිතයා තම නම කියා නිහඬ විය. 

දෙසිත...මොකක්ද අයිසෙ දෙසිත කියන්නෙ...ඒක නමක්ද...සෑර් විචාලේය.

එදා නම් අපි බඩකට පුරා සිනහා වූයෙමු. වැඩියෙන්ම සිනහා වූයේ හෙසිතයාගේ හතුරා මෙන්ම මිතුරාද වූ ටිරෝන් කොලුවා බව මට මතකය. අප සා/පෙ ලියූ කාලයේ අන්තර්ජාලයේ ප්‍රතිඵල පෙන්වූයේ නැත. හැමෝම වාගේ ප්‍රතිඵල දැනගැනීමට පාසල් ආ යුතු විය. පාසලේ කටයුතු වලට බාධා නොවන සේ ප්‍රතිඵල සටහන් විදුහලට පිවිසෙන ප්‍රධාන දොරටුව සමීපයේම තබා තිබුනි. ඒ ඉදිරියේම ඇත්තේ බස් නැවතුම් පලයි. 

ටිරෝන් කොලුවා ප්‍රතිඵල සටහන පරීක්ෂා කරමින් ඉන්නා විටක බස් නැවතුමේ නතර කල බස් රථයකින් හෙසිතයා බහිනා වගක් ඒකා දකින්නට ඇත.

බලන්න දෙයක් නෑ බොල...තෝ ෆේල්... බස් රථයටම ඇසෙන සේ ටිරෝනයා හඬ නැගුවද ඒකාද ගණිතය විෂය අසමත් වී උසස් පෙළ හදාරන්නට සුදුසුකම් නැති මට්ටමට පත් වී සිටියේය.

පින්තූරය උපුටා ගත්තේ මෙතැනින්
මේ ලිපිය කියවන බොලාට..දැන් 11 F පන්තියේ සිටි උන් පිළිබඳ දළ අවබෝධයක් ඇති වී ඇතැයි සිතමි. මෙවන් වටපිටාවක එළැඹුන වෙසක් මාසයේදි  වෙසක් කූඩු තරගයක් පවත්වන්නට විද්‍යාලයේ විදුහල්පති තුමා විසින් අවශ්‍ය පියවර ගෙන තිබුනි. හොඳම වෙසක් කූඩුවට තෑගි දෙනවා. පණිවිඩය අපට සන්නිවේදනය වූයේ එලෙසයි.

එතැන් සිට එකාවන්ව කූඩු තරගයට මුහුණ දෙන්නට සෑම පන්තියකම උන් සැලසුම් ගැසුවේය. අපේ පන්තියේද තත්වය එලෙසම විය. උණබට ආශ්‍රයෙන් විශාල අටපට්ටමක් සහ පැටවුන් සැකසීම අපගේ පරමාර්ථය විය. උණබට පාප්ප සව්කොල සමග මේ කාරිය කෙරෙන අන්දම නරඹන්නට ශ්‍රියානි ගුරුතුමිය දවසකට වතාවක් දෙකක් පන්තියට ආවේ තම හිතවත් වෙනත් ගුරුවරියන්ද සමගිනි.

ඒ එන විටෙක අපේ තුණ්ඩිලයා කැපවීමෙන් කූඩුව සකසමින් උන්නේය. ඒකාගේ කට බොහොම සද්දය සහිත එකකි. හෙමින් කථාවක් ඇත්තේම නැත.

වැඩේ ලස්සනයි....හොඳට තියෙනවා. 

වැඩ නිම වෙමින් තිබූ කූඩුව දෙස බලා ශ්‍රියානි ටීචර් අදහසක් පල කරන විට කට හැකර තුණ්ඩිලයාට නිකං ඉන්නට බැරිය.

මේක මිස් අපි පති භක්තියෙන් හදන කූඩුවක්.

මේ වදනට සිනහා වෙනවාද, අඩනවාදැයි අපි කල්මනා කරමින් සිටිනා විට ගුරුවරියන් සාරි පොටෙන් මුව වසා සිනහා වෙනු දක්නට ලැබුනි.

සෑම පන්තියකම ඇසට හුරු විවිධ කූඩු මෝස්තර සකසා තිබුනත් 11 D පන්තියේ පමණක් වහලයේ බාල්කයේ එල්ලන ලද මකරෙක් වැන සත්ව රුවක් දක්නට ලැබුනි. එය රූකඩ පරිද්දෙන් නැටවිය හැකි වනසේ නුල් යොදා තිබුනි. 

මොකක්ද බං උඹලා හදලා තියෙන්නෙ.

වෙනත් පන්ති වල උන් D පන්තියේ කොල්ලන්ගෙන් ඒ බව ඇසූ විටෙක උන් මුනි වතම රැක්කෝය.

තරගය විනිශ්චය කරන අවස්ථාවට එළැඹිනි

පන්ති භාර ගුරුවරුන් ඉදිරියේම තවත් ගුරුවරු පිරිසකගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් වෙසක් කූඩු විනිශ්චයට බාජනය වෙයි. 11 D පන්තිය භාරව සිටි නන්දා ගුරුතුමිය බොහෝ කෙසග, කට සැර අයෙකි. එතුමියව කොල්ලන් විසින් හැදින්වූයේ කටු බැල්ලි යනුවෙනි.

විනිශ්චය මණ්ඩලය දැන් ලග ලගම එයි. පන්ති බාර ගුරුවරිය ලෙස විනිශ්චය මණ්ඩලය පැමිණෙන්නට කලියෙන්  පන්තියේ සකසා ඇත්තේ කුමක්දැයි හරියාරව දැනගත යුතු බවක් ඇයට සිතෙන්නට ඇත.

කොල්ලනේ උඹලා මොකක්ද මේ හැදුවෙ. මකරෙක් වගේ එකෙක්...වහලෙ එල්ලලා...කියහල්ලා....මමත් දැනගෙන ඉන්න එපායැ...

අපි මේ හදලා තියෙන්නෙ මිස්ව....

කොල්ලන්ගේ පිළිතුරෙන් අධික ලෙස කෝපයට පත්  නන්දා මිය ඒ ඉසව්වේ හෝ නොසිට වහා ඉවත ගිය බවත්, දින කීපයක් උන්ට ඉැගැන්වීමෙන් ඈත්ව සිටි බවත් පසුව අනාවරණය විය.




මම කාමරේ අරින සිරා කොලුවා.

56 comments:

  1. වීර චොපා කිව්වහම මතක් උනේ අපේ ඒලෙවල් පන්ති භාර සර්. පොරගෙ නම ඒකනායක. තුසිත මලලසේකරගෙ මල්ලි කෙනෙක් වගෙයි පෙනුම, ඉතිං දාපු කාඩ් එක තමා "චොප්පෙ". කොයි බැච් එකෙන් දාපු නමක්ද දන්නෑ.

    දවසක් අපි තුන්දෙනෙක් ඉස්කෝලෙන් පැනලා, මහ ගේට්ටුවෙන්ම එළියට යනකොට අතටම අහුවුනා ‍අපේ කෘෂිකර්ම සර් හෙවත් "පැළෑටිසිංහ" ට. පොර අපිට ‍හොඳ දේශනාවක් දීලා, ඇහුවා "කවුද තමුසෙලගෙ පංතිභාර?" කියලා.

    අපිට ගොත ගැහුනා:
    "චො... චො... චො... චො... ඒකනායක සර්!"
    අපි තුන්දෙනාම එකපාරටම කිව්වා.

    තවපාරක් කොළමුන්නෙ මිස් අපේ අම්මා වුනා. ඒ මෙහෙමයි. එයා හරියටම ලුසියහාමිට රඟපෑව ට්‍රිලීෂියා වගේමයි. දවසක් අපේ පංතිය ගාවින් යද්දි අපේ නාහට අහන්නැති ශෛලේන්ද්‍රයා අපිත් එක්ක කතා කර කර ඉන්න ගමංම "ලුසියහාමි" කිව්වා. කොළමුන්නෙ මිස් පංතියට කඩාගෙන ඇවිත්, "බොලගෙ අම්මද ලුසියහාමි ?" කියල ඇහුවා. ඉතිං එදා ඉඳං ඒ මිස් අපේ අම්මා...

    ඒකෙන් පාඩමක් ඉගෙන ගත්ත අපි තව දවසක් ක්ලේරා මිස්ට "බාබේරියන් කුවීන්" කිව්වා. එදත් හොඳට අහගත්තා.

    පතිභක්තියෙන් කූඩු හදන එකනම් මාරයි බං...

    මං එකද මන්දා...

    ReplyDelete
    Replies
    1. අපේ අදටත් ඉන්නවා සුදු චූටි කියලා චූටි ගුරුවරියක් උ/පෙ වාණිජ අංශයේ. එයා පාසලට ආවෙ අපි ඉගෙනගන්න කාලෙ අපේ පන්ති වලට ඉස්සෙල්ලාම. මේ ඇත්තිව පන්ති කාමරයක උගන්වමින් ඉද්දි අපේ වලත්ත කොල්ලො පිටතින් දොර ලොක් කරලා මාරු වෙලා...එදා ඇය කොල්ලො එක්ක පන්තිකාමරයක හිරවෙලා...ඊට පස්සෙ අඬලා...සිද්ධි ගොඩායි...කොහොම හරි ප්‍රින්සිපල් උතුමා ඒ පන්තියටම මදි නොකියන්න සලකලා තිබුනා එදාම හවස....අන්න ඒ පන්තියෙන් තමයි සුපිරි ක්‍රිකට් තරුවක් බිහිවුනේ.

      Delete
  2. පතිභක්තියෙන් කූඩුව හදනකොට පැටවු ටික ඉබේම හැදෙනව ඇති නේද බොල.
    අපිත් 11 හේ ඉඳිද්දි හැදුව චෛත්‍යකුයි ගල්කණුයි දාල මොකක්ද අටමගලයක්. ඒක ප්‍රදර්ශනය කළාද නැද්ද කියලනං මට මතක නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියා, ඩෙන්ටල් ක්ලිනික් එක පහළ අඹ ගහයට ඒක ඒක ප්‍රදර්ශනය කළා වගේ මතකයි. මම එතකොට 10 පන්තියෙ වෙන්න ඕන.

      Delete
    2. ස්තුතියි බුද්ධීෂ මල්ලි තොරතුරට. ඇත්තටම ඒක හැදුවට පස්සෙ මොකක්ද උනේ කියන එක මගේ මෙමරියෙන් ලොස් උනේ කොහෙමද කියලයි මම කල්පනා කරන්නෙ.

      Delete
    3. පති භක්තිය තියෙන්නෙ ඉතින් බිරිඳ ලගනෙ. ඒ හැගීම නිසා තමයි ඉතින් පැටව් හැදෙන්නෙ. ඒක ඇත්ත.

      Delete
  3. ඔය කිව්වා තරගෙන් අපේ පන්තියේ කුඩුව තමයි එක වුනේ. පන්තිය පිරෙන්නම කුඩුව. ප්‍රසන්න කිව්වා වගේ ඒක නම් පතිබක්තියෙන් හදපු කුඩුවක්. පැටව් 20 ක් විතර තිබුණ.. තෑග්ගට හම්බ උනා චොකලට් බිස්කට් පෙට්ටියක්.. ඔය කිව්වා මකරනම් මටත් මතකයි . . . මිසුත් මතකයි. කෙට්ටු සුදු කෙනානෙ. හොද නමකුත් දාල තිබ්බ නේද බන් සිරෝ.

    ReplyDelete
    Replies
    1. මම දන්නෙ නෑ බොලාගෙ පන්තිය දිනුවද කියලා..හැබෑටම බං උඹ ඒ කාලෙ මොන පන්තියෙද උන්නෙ...මට මතක නෑ මොකේ හිටියද කියලා...සාදුවා හිටිය පන්තියෙද ? ටීචර්ගෙ නම මේ ලිපියෙම තැනක තියෙනවා උඹ දැක්කෙ නැතෙයි...

      Delete
  4. ගොඩාක් මතක ඔලුවට ආවා.. ඒත් අන්තිමට නතර වුනේ සංවේදී මතකයක.. අපිත් දහය හෝ එකොලහේ වසරේ ඉන්න කාලෙක මෙවන්ම වූ වෙසක් කූඩු තරඟයකට සුදානම් වෙමින් සිටියදී අපට වඩා වසරකින් පහල පන්තියේ සිටි ඒත් අප කාගේත් මිතුරු චානක දවුළගල සොයුරාට විදුලි සැර වැදී 'ලොකු පන්තියක අයියා' කෙනෙකු දුව විත් වයර් ඇද දමා බේරා ගන්න තුරු ගැහි ගැහී සිටි අයුරුත් එදා මරණයෙන් බේරුණු දවුලා ඊට වසර කීපයකට පසු වෙනත් අහේතුවකින් අකාලයේ අප හැර ගිය හැටිද මතක් උනා..

    ReplyDelete
    Replies
    1. ඔය වගේම සිදුවීමක් උනා අපේ පැත්තෙ විහාරස්ථානයක පොසොන් උත්සවයට මිහින්තලාවක් හදපු තැනක. පොඩි එකෙක් බල්බ් එකක් අමුනන්න ගිහින් කරන්ට් එක වැදිලා බල්බ් එක පපුවට තුරුලු කරගෙන වැටිලා. හරියටම පපුව උඩ. ඒ වැදුන විදුලියෙන් කෙල්ලා නැති උනා.

      Delete
  5. ඒ කියන්නේ බ්ලොග් ලියන කොට සිරා වෙච්ච උබ ඉස්කෝලේ යනකාලේ තුන්ඩිලයා??

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් වයසක උන්දැ දන්න තරම තමයි. මට වෙච්ච දේවල් මම මගේ නමින්මයි ලියන්නෙ. වෙන වෙන උන්ගෙ නම් වලින් ලියන්නෙ නෑ...බොලා ඒ බවක් දන්නෙ නැ‍තෙයි...

      Delete
  6. පතිභක්තියේ කතාව මරු අෆ්ෆා....

    ReplyDelete
    Replies
    1. තුන්ඩිලයා දැන උන්නෙ නෑ පති භක්තිය යනු කුමක්ද කියලා...ඒකයි මහ සභාවක් මැද කුජීත උනේ විහින්...

      Delete
  7. පති බක්තිය නැති නිසාද කොහෙද කාලෙකින් වෙසක් කුඩුවක් හදන්න බැරි උනා...

    ReplyDelete
    Replies
    1. පති භක්තිය ඇති කරගෙන ට්‍රයි එකක් දීලා බලමු ගොයියො...කූඩුවක් හදන්න.

      Delete
  8. නන්දා ටීචට පොළව පළාගෙන යන්න හිතෙන්න ඇති. ශැක්!

    පතිභක්තියෙ සිද්දිය නම් පට්ට.

    මිහිරි මතක තමා.

    ReplyDelete
    Replies
    1. ප්‍රියාව දැක්ක කල්..කොහෙද බොල මකබෑවිලා උන්නෙ...

      Delete
  9. සිරා මලයෝ, මම කැම්පස් යන කාලෙ (තුම්මුල්ල සෙන්ට්‍රල්) කොල්ලෙකුට වැටුන "බුරිය" කියල නමක්........ ඒකෙ නිධාන කතාවනම් පට්ට.........
    කැම්පස් එකේ පෙන්නුව කාමසූත්‍ර චිත්තරපටිය, සිංහල චාටර් එකනම් නෙමේ, හින්දි ඔරිමජිනල් එක........ අහන්න දෙයක් නෑනෙ............ (NAT) නැට් එක බයිස්කොප් රසික රසිකාවන්ගෙන් පිරිල....... ඔන්න දැන් චිත්තරපටිය දිගඇරෙනව........ ඒකෙ දේවල් යන කොට ප්‍රේක්ෂක ප්‍රතිචාරත් උණුසුම්........ කොල්ලො සෙට් එකක් විතරක් මේ වගේ චිත්තරපටියක් බලනවට වඩා අමුතු ගතියක් තියෙනවනෙ දෙගොල්ලොම ඉදන් බලන කොට........ ඕන්න දැන් එක ලස්සන නිලියෙකුගෙ ඇගේ නූල් පොටක් නැති සීන් එකක් ආව......... හෝල් එක හොල්මන්........ හැම එකාම වගේ කට හොල්ලන්නෙවත් නැතුව තනියම විදගන්නව........ කෙල්ලො ඇඹරෙනව........ එතකොටම කට කහ කහ හිටපු එකෙක් හයියෙන් කෑ ගහල අර උපන් ඇදුමෙන් ඉන්න ලලනාවට ඇගිල්ල දික් කරල කියපි "ආං මචං බුරිය පේනව" කියල......... ඉතිං තවත් මොනවද. එදා ඉදන් ඌ "බුරිය" උනා.......... හැබැයි ඒ බුරිය දැන් රජයේ ඉතාමත් ඉහල තනතුරක් දරන එකෙක්.................

    ReplyDelete
    Replies
    1. මම අන්තිමටම ලංකාවෙ කල ඩිප්ලෝමාවෙ තිබුනා වීඩියෝ සංස්කරණය පිළිබඳ ඉගෙන ගන්න. එතනැදි අපිට සමහර නම් දරාපු චිත්‍රපට පෙන්නුවා. කොරියානු චිත්‍රපටයක් තිබුනා දෙබස් ඉතාම අඩු කලාත්මක ගණයේ එකක්. ඒක නරඹමින් අපි ඉන්න අතරෙ ප්‍රධාන නිළිය හිටි ගමන් ඇදුම් ගැලෙව්වා. අපේ පන්තියෙ කෙල්ලො අත්දෙකෙන් මූණ වහගත්තා. ඊට පස්සෙ මේ ඇත්ති ප්‍රධාන නලුවා එක්ක අහවල් වැඩේ කරනවා...කෙල්ලො ඇස් පියාගෙනම උන්නා සෑර් එනකං..

      Delete
    2. "වීඩියෝ සංස්කරණය..."

      හොඳ ප්‍රැක්ටිකල් එකක් ;-)

      Delete
  10. අර පති භක්තියෙන් හදපු කූඩුවෙ පිංතූරෙකුත් හොයා ගන්න තිබ්බ නං මරු බං.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කැමරාවක් කියන්නෙ බේතකටවත් හොයාගන්න බැරි ජාතියක්...ෆිල්ම් රෝල දාන කැමරා තමයි වැඩි හරියක් තිබුනෙ.

      Delete
  11. එතකොට පති බක්තිය නැතුව කුඩු උනොත් පැටවූ හැදෙන්නෙ නැතෙයි..?උබලත් මාර මිනිස්සුනේ.මේ..ඒක නෙමෙයි බං.කවුද අර "ඔකපතන"..?හොයාගන්න බැරි උන එකෙක්ද?

    ReplyDelete
    Replies
    1. පති භක්තිය නැතුව හැදුවට හැදෙයිද නැද්ද කියලා මගෙන් අහන්නෙ...ඔය කම්මල අයියා වගේ වැඩිහිටියෙකුගෙන් ඇහුවොත් නාකද...

      ඔකපතනයා මගෙ බොක්ක...අදටත් එහෙමයි...මිනිහා දැන් කටාර් ඉන්නෙ

      Delete
  12. අනේ ඉතිං අපි නම් ඉස්කෝලෙ යන කාලෙ ගුරුවරුන්ට නම් හදපු නැති හොද ළමයි හරිය?
    ඒක‍ාලෙ ‍අපේ නවය පන්ති ඉස්සරහ කොරිඩෝවක් තිබුණා. ඉන්ටවල් ඉවරවෙන්න කිට්ටු වෙන කොට ඔය කොරි‍ඩෝව දිගේ ප්‍රිෆෙක්ට්ස්ලා ඉන්නවා. අනේ ඉතිං අපි ඒ කාලෙ ඉදලම උන්ට හරි ආදරෙයි. හිටගෙන ඉදලා රස්නෙයි, මහන්සියි කියල හිතල අපි කරන්නෙ බෝතල් මූඩියට වතුර අරගෙන 'ස් ස්' ගාලා අරූට කතා කරලා මේ පැත්ත බලන කොටම ජනෙල් ග්‍රිල් අස්සෙන් මූණටම කෙළලා අරින එක. දවසක් ඔතන හිටගෙන හිටියා කණ්නාඩි දාපු තැරියෙක්. (අපි උන්ට කිව්ව ආදර නම) මමත් ඉතිං ස්ස් ගාලා අරූ හැරෙන කොටම කෙළියා වතුර පාර. එක පාරටම සයිලන්ස් බෙල් එක ගහලා වගේ මුළු ලෝකෙම නිශ්ශබ්ද වුණා. අපේ වසර භාර සර් (ප්ලේන්ටියා) මූණෙන් වතුර බේරි බේරි ජනේලෙ ලග ඉන්නවා. ඊට පස්සෙ වෙච්ච දේ අති ශෝචනීයයි පිංවතුනි...

    ReplyDelete
    Replies
    1. ඔය වගේ වැඩ අපේ උන්ටත් උනා පිට්ටනියෙදි...සමහර වෙලාවට ප්‍රින්සිපල් උතුමා පිට්ටනියෙ හිටගෙන ඉන්නවා ලමයි අස්සෙ. සුදු කලිසම සුදු ෂර්ට් එක...ඉනේ තියෙන කලු බෙල්ට් එකෙන් විතරයි ශිෂ්‍යයෙක් නෙමෙයි කියලා කියන්න පුලුවන්. නමුත් සමහරුන්ට කලබලේට ඒක පේන්නෙ නෑ. දවසක් එකෙක් උගෙ යාලුවෙක් කියලා හිතලා පිටට තට්ටුවක් දාලා අඩෝ කීයද වෙලාව කියලා අහලා...වෙලාව කියන්න ‍ලොකුතැන පස්ස හැරෙද්දි...වෙලාව අහපු එකා වාෂ්ප වෙලා.

      Delete
  13. මේ පෝස්ට් එක කියවද්දි මගෙත් පාසැල් කාලෙ සිද්දි ටිකක් මතක් උනා. අපිත් ඔහොම වෙසක් කූඩු හැදුවා 10 සහ 11 වසර වල ඉද්දි. ඇත්තට ඒ කාලෙ මතක් වෙද්දී ආසයි. ආයෙත් හීනෙන් හරි ඒ කාලෙට යන්න තියෙනවනම් කියල හිතෙනවා.
    අන්තිමේට කටු බැ. ටීචට වෙච්ච සිද්දිය මරු :D.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. කටු බැල්ලිගෙ කට කතුර වගේ...කියවන්න ගත්තම පළාතෙ ඉන්න බැ. ඒ නිසයි එ තරම් දරුණු නමක් වැටුනෙ.

      Delete
  14. ස්කෝලේ යන දවස්වල ඔහොම කුඩු තරග තියෙන කොට අපිත් කුඩු හැදුවානේ එව්වත් හැදුවේ පති භක්තියෙන් වගේ මාර ශ්‍රද්ධාවකින්.හරියට "රත්මලානේ මහා පහන් කුඩුව"හදනවා වගේ තමයි අපි වැඩේට එන්ටර් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. පති භක්තියෙන් හැදුවවා නම් උඹලට වැරදීමක් වෙන්න ඉඩක් නෑ

      Delete
  15. හැදුවේ මිස්ව වුනත් එහෙම කියපු එක නම් හරි නෑ... හි..හි...

    ReplyDelete
    Replies
    1. මොනවා හිතෙන්න ඇතිද නේද....ඒ මදිවට උන් නූල් දාලා රූකඩ නැටෙව්වා ඒ හදපු අටමගලෙ

      Delete
  16. ඇත්තටම ඒ කාලේ ඔයවගේ වැඩක් කෙරුවේ පුදුම කැපවීමකින්. නමුත් අද තත්වය හරිම කණගාටුයි සිරෝ.

    ඊයේ හවස, අපේ ගෙවල් ළඟ ඉන්න මම වගේම හමුදා විශ්‍රාමික මහත්තයෙක් ආවා, මාව මුණගැහෙන්න. 'මහත්තයා මේ සැරේ වෙසක් එකට හැදුවේ, නෙළුම්මල් වෙසක් කූඩුවක්ද' කියලා ඔහු මගෙන් ඇහුවා. මම පුදුම වෙලා ඇහුවා 'ඇයි එහෙම අහන්නේ' කියලා.

    'අනේ නැහැ මහත්තයා, අපේ දුවගේ ඉස්කෝලෙන්, (කුරුණෑගල තිබෙන ප්‍රධානම බාලිකා විද්‍යාලයක්) කියලා තියනවා, පොසොන් එකට පත්තු කරන්න, හැම පන්තියකින්ම නෙලුම් මල් කූඩුවක් හදන්න ඕනේ කියලා, නමුත් පන්තියේ ළමයි කාටවත් ඒ ගැන කිසිම හැඟීමක් උනන්දුවක් නැතිලු. මගේ දුව පන්තියේ මොනිටර් නිසා, කූඩුවක් ගෙනිච්චේ නැත්නම් පන්තියේ දණ ගහගෙන ඉන්න වෙයි කියලා, අඬනවා. පන්තියේ අනික් ළමයින්ගෙන් උදව් ඉල්ලුවම කියනවලු, අපි උණගස් කියන ඒවා දන්නෙත් නෑ' කියලා.

    ඔන්න සිරෝ තත්වය. පස්සේ අහළ පහළ ගෙදරකින් හොයාගත්තා නෙලුම් මල් කූඩුවක්. රෑ 2.00 වෙනකල් ඒක ආපහු හදන්න වුණා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විචාරක තුමා දුක හිතෙනවා දැන් ළමයින්ගේ දැනුම ගැන හිතනකොට.උන්ට ළමාකාලයක් ලැබෙන්නෙම නෑ .අපේ පුතත් පොසොන් එකට කුඩුවක් ගෙනියන්න කිව්වා කියල ගෙදර ඇවිත් කියල,පස්සෙ නෝන එකක් කඩෙන් ගන්න ගිහින්.මගේ බාප්ප ඕක දැකල කොල්ලව එහේ එක්කගෙන ගිහින් උන ගහක කොට කෑල්ලක් පළල දීල තනියෙන් හදන්න කියල.මු අඩනවලු හදාගන්න බරුව.නමුත් බාප්පට තියෙන බය නිසා මොකුත් කියල නෑ.ඒත් බාප්පා හොරෙන් වෙන එකක් හදල එහේ මල්ලිට කියල අන්තිමට රෑ 9 විතර වෙනකොට කොල්ල කොහොම හරි එකක් හදල.බාප්පට මාර සතුටුයිලු.පස්සේ මිනිහම තනියෙන් කොළ අලවල.ඊට පස්සේ බාප්ප එහේ මල්ලි හදපු කුඩුවත් දීල ගෙදර ගෙනත් දාල.මල්ලි හදපු කුඩුව කොච්චර ලස්සන උනත් කොල්ල අරගෙන ගිහින් තියෙන්නෙ මිනිහම හදපු කූඩුව.හරි ආඩම්බරෙන් මා එක්ක අද කතා කරනකොට කිව්වෙ ඒ ගැන.

      Delete
    2. //අපි උණගස් කියන ඒවා දන්නෙත් නෑ' කියලා.// ඉලවුවයි.

      Delete
    3. හෆොයි...මෙහෙමත් ළමයි ඉන්නවද...ඒවා ඉතින් දෙමාපිය වැරදි. මේ වගේ පුංචි පුංචි වැඩ වලින් ආත්ම ශක්තිය / නිර්මාණහශීලීත්වය / වගේ දේ ඉගෙන ගන්න පුලුවන්...එහෙම නැති නම් ඉතිං කද බඩ තියෙන රොබෝලා තමයි ලංකාවට උරුම වෙන්නෙ.

      Delete
  17. හම්මේ මෙහෙමත් පතිභක්තියක්..

    ReplyDelete
    Replies
    1. පති භක්තිය වෑහෙනවා...

      Delete
  18. Replies
    1. බලහං ඔය බ්‍රා එකක් අස්සෙ ඇති.

      Delete
    2. +++++++++++++++++++++++++++++

      Delete
    3. කමෙන්ටුවක් තිබුනෙ නෑ..මම ස්පෑම් ෆෝල්ඩරයෙත් බැලුවා..එතනත් නැත. ඔය ප්‍රසන්න අයියා කියන තැනත් බලන්න.

      Delete
  19. හප්පච්චියේ... ඒ කලෙ උන දේවල්.අපේ ඉස්කෝලෙ ගුරුවරුන්ට නීතියක් වැටුනා සුදු කලිසමයි කමිසෙයි අඳින්න.අනේ අපේ අසරණයො සර් ලා කීප දෙනෙකුටම මචං කියලා පිටට ගහලා දණගහගෙන හිටියා මතක් උනා.
    මොනවා උනත් අර ටීචට කරපු දේ වැරදියි.
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. අපේ ප්‍රින්සිපල් උතුමා අැන්දෙ එහෙමයි. පිට්ටනියෙ උදෑසන රැස්වීම් තියෙන වෙලාවට ළමයි අස්සෙ හිටගෙන ඉන්නවා ගිහින්. බෙල්ට් එකක් තියෙන බව දකින්නෙ නැති උන් මචං කියලා තට්ටුව දානවා.

      Delete
  20. Replies
    1. වී පොකුර දැක්ක කල් බොලේ...මොකද ඔහෙට වැස්සද...

      Delete
  21. පති බක්තියෙන් කුඩු විතරද දන්නේ නෑ හැදුචේ!

    ReplyDelete
    Replies
    1. කාගෙන්ද උඹ ඔය අහන්නෙ තුන්ඩිලයගෙන්ද...ඒකා අද ෆෝන් කඩයක් කරනවා ගම්පහ ටවුමෙ..මම අහන්නම් මුණ ගැහුන දවසක...

      Delete
  22. නන්දා මිස් තමයි 9,10,11 අපේ පන්තිබාර හිටියෙ ඉතින් හැමදාම වගේ උදේට කාටහරි බැනල තමයි වැඩ පටන්ගන්නෙ :D
    ඇස්වහ කටවහ යන්නත් ඒක්ක හොදයි කියල ඒකපාරක් වෙන මිස් කෙනෙක් (අපි දාල තිබ්බ නම විතරයි මතක) කිඋව

    ReplyDelete
  23. ප්‍රියාගෙ හදවත් ඉල්ලා දියං...
    සමිතගෙ රණ හංස යුවල දීහං

    hahahaaa...nice meaning dude :P

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...