සිරා කොලුවා හිච්චි එකා සංන්ධියේ අපේ අම්මා අල්ලපු ගෙදර විමලාවතී උන්දෑ සමග හැන්දෑකොරේ දර කැබැල්ලක් දෙකක් අහුලා ගන්නට වෙල් ඉස්මත්තට යාම බොහොම සුපුරුදු දසුනක් වූවේය. විමලාවතී යනු අපේ ජෑස් කොල්ලාගේ බිරිඳ බව මම මෙයට බොහෝ කාලයකට පෙර බොලාට කියා තිබේ. දෙගොඩහරි වයසේ සිටි මේ දෙපළට දූ දරුවන් නොවූයෙන් වැඩි වගකීමක් නොමැතිව ජීවත් වන්නට අවකාශ ලැබී තිබුනි. විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ කල සේවයෙන් විශ්‍රාම ගොස් සිටි ජෑස් කොල්ලා දිනපතා කරන්නට වෙනයම් රාජකාරියක්ද නොවූයෙන් තම බිරින්දෑ පස්සෙන් වැටී දර අහුලන ඉසව්වට යාමට ඇතැම් විටෙක ප්‍රිය කළේය.
අපේ නිවස පිහිටි ඉඩම අහවර වන තැනින් වෙල් යාය ආරම්භ වෙයි. එතැන් සිට එක යායට පෙනෙන්නේ කුඹුරු සමූහයකි. මේ කුඹුරු යාය මැදින් ඈතින් අත්තනගළු ඔයා ගලා යයි. අධික ලෙස වැසි ලැබෙන කාලයේදී පිටාර ගලන අත්තනගළු ඔයේ රොන්මඩ වල වූ පෝෂ්‍ය ගුණය නිසාදෝ ඔයට යාබද කුඹුරු ඉඩම් වල සරුසාර ලෙස මුකුණුවැන්න, ගොටුකොළ, කංකුං ආදිය වැවෙන බව කාලයක සිට අපේ ගමේ වනිතාවෝ දැන සිටියහ. මේ ඉඩම් වලට හිමිකරුවන් නොසිටි නිසා ඒවායේ වැඩෙන පලා වර්ග වලටද අයිතිවාසිකම් කියන්නට කිසිවෙකු සිටියේ නැත.
වස විෂ නැති පලා ටිකක් නෙලාගෙන එන ගමනේදී ආහාර පිසින්නට දර කැබැල්ලක් දෙකකුත් සොයාගන්නට හැකි වීම එක ගලකින් කුරුල්ලන් දෙන්නෙක් බාවනවා වැනි කාරියකි. ඉසිඹුවක් ලද වෙලාවක මේ ගමන යන්නට අපේ අම්මාගේ තනියට අනුලාවතී උන්දෑ හෝ විමලාවතී උන්දෑ සිටියහ. මේ දෙදෙනාම මගේ මවට වඩා බොහෝ සේ වැඩිමල් අය නිසා අපේ අම්මා අක්කේ කියා ඔවුන්ගේ නමට අගින් යෙදුවාය.
අනුලාවතී නැති දවසට විමලාවතී සමගත්, විමලාවතී නැති දවසක අනුලාවතී සමගත් අම්මා පලා නෙලන්නට ගියාය. සිහින් සුළං හමන හැන්දෑ කොරේ වෙල්යායේ ගමන ගතට මෙන්ම සිතටද සහනයකි. මඳ නල සමග එතී දඟපාන ගොයම් පත්‍ර වලින් නැගෙන සර සරයත්, එහි අසිරියත් එදවස සිරා කොලුවාගේ ළමා මනසට එක් කල මිහිරියාව තවමත් අමතක නැත.
කාන්තා පාර්ශවය පලා නෙලමින් ඕපයක් දෙකක් හුවමාරු කරගන්නා අතරේ මමත් මලයාත් ජෑස් කොල්ලා සමග ඉබාගාතේ ඇවිදින්නෙමු. ඒ අතරතුර ඔහුගේ අත්දැකීම් වචන බවට පෙරලෙයි.
කොලුවො...මෙන්න මේ හරියෙ කුඹුරු දැන් වැඩ නොකලට අපි තරුණ කාලෙ අපේ තාත්තලා වැඩ කලා. දැන් මේ හරියට වතුර එන්නෙ නෑ. ඒකයි අත් ඇරිලා තියෙන්නෙ.
ජෑස් කොල්ලාටත් විමලාවතී උන්දෑටත් දරුවන් නෙැමැති වීමේ පාලුව යාබද නිවසේ ජීවත් වූ මමත් මලයාත් නිසා අවම වන්නට ඇත. ඒ අප බොහෝ වෙලාවට ඔවුන්ගේ නිවසේ කාලය ගත කල හෙයිනි.
එක්තරා දවසක හැන්දෑවේ සිරිත් පරිදි අපේ අම්මාත් ජෑස් කොල්ලාගේ ඇඹේනියත් පලා නෙලීම සඳහා ගියෝය. සාමාන්‍යයෙන් මේ ඇත්තියන් මුලින්ම දර එකතු කරති. දර මිටියක් පමණ වන්නට එකතු කරගන්නට වැය වන කාලයට පසු එහි යාම මගෙත් මලයාගේත් ජෑස් කොල්ලාගේත් සිරිත වූහ. දර ඉපල් කඩා මිටියක් වන්නට බැඳ දැමීමෙන් පසු වෙල් යායේ ඔයට කිට්ටු හිස් භූමිය තුල ඉබාගාතේ සරුවට වැඩී තිබෙන පලා වර්ග එකතුකිරීම ඇරඹෙයි. එතැන තිබූ ගොටුකොළ ශාඛයන්හි පත්‍ර ගමේ පොලේ විකුණන ගොටුකොළ වල තරම් විශාල නැත. එහෙත් වෙල් ගොටුකොළ ගුණයෙන් ඉහළ බවත්...කොළකැඳ සෑදීමට පංකාදු බවත් ජෑස් කොල්ලාගේ අදහස වූවේය. ඇතැම් විටෙක මමත් මලයාත් පලා නෙලන කාරියට සම්මාදම් වන විටෙක ජෑස් කොල්ලා බීඩියක් අවුළුවා ඒ දුමෙන් කැවුත්ත පුරවා ගනියි. ඒ අවධියේ ජෑස් කොලුවාගේ කන් ගැට්ටේ නිතරම වාගේ මුත්තයියා බීඩියක් වැරදුනේ නැත.
ජෑස් කොල්ලාගේ පැරණි රසාංග වෙල් ඉස්මත්තේ ගලා යන්නට පටන් ගත්තා පමණකි. කොහේදෝ සිට එක් වනම ප්‍රාතූර්භූත වූ දුඹුරු පැහැති පුල්ලි සහිත හා පැටියෙක් අප ඉදිරියෙන් දිව ගියේය. හාවා යනු සිරා කොලුවාගේ ප්‍රියතම සත්වයෙකි. අපේ නිවසේ හාවෙක් ඇති දැඩි කරන්නට කාලයක සිට සිහින දුටුවත් නිවසේ සිටි වස වර්ති මාරයන් බඳු බිළාල කැළ නිසා අපේ අම්මා ඒ අදහස සාක්ෂාත් කරගන්නට කිසි කලෙක ඉඩ දුන්නේ නැත.
රබර් බෝලයක් දිය යට ඔබන්නා සේ අම්මා විසින් බලෙන් යට යවා තිබූ මගේ ආශාව මේ හාවා දුටුමතින් එක්වරම නැගී අාවේය. අනේ මේකා අල්ලාගන්නට තියේ නම්. මා හට එලෙස සිතුනේය.
වහාම මමත් මලයාත් අපට හැකි උපරිමයෙන් ඒකා පසුපස දිවීමු. එතරම් විශාල නැති මේ කුඩා හා පැටියා මේ කුඹුරු යායට අතීතයේ ජලය සැපයූ හිස් බෝක්කු කටක සැගවිනි. මමත් මලයාත් බෝක්කු කට දෙපැත්තේ මුරට සිටියේ ඉන් අනතුරුවයි. හාවාට පැනයන්නට දැන් ඉඩක් නැත. සියලුම ප්‍රවේශ මාර්ග අප දෙදෙනා නිසා ඇහිරී ගොසිනි.
බීඩි දුම ඉහළට යවමින් අප කරා පැමිණි ජෑස් කොල්ලා හාවා ඉවතට ගැනීමට දිග රිටක් සොයාගෙන එන ලෙස පවසා මලයාගේ පැත්තේ මුරට සිට ගත්තේය. එහෙත් ඔහුගේ අතපසු වීමක් නිසා කකුල් දෙක මැද්දෙන් පැන දුවන හාවා දෙස කෝපයෙන් බලා සිටිනවා විනා කල හැකි වෙනත් යමක් මා හට නොවීය. කුමක් වුවත් සිරා කොලුවා පරාජය බාර ගන්නට සූදානම් නැත. හාවා කුඩා වුවත් ඒකාගේ වේගයට අලඟු තබන්නටවත් අපට නොහැකිය. වෙල්යාය දිගේ දිවවිත් අත්තනගළු ඔය අසබඩ ගුහාවක් මෙන් සැකසුන අඳුරු තැනක හාවා සැඟවී ගියේය. ජෑස් කොලුවාට අනේක වාරයක් හිතින් දොස් පවරමින් එදා අම්මා සමග නැවතත් නිවසට ගිය බවක් මට මතකය.
මේ කියන කාලයේ සිරා කොලුවා ඉගෙනුම ලැබූවේ 7 පන්තියේ විය යුතුය. සිස්සත්තය සමත් වීමෙන් පසු නගරයේ පාසලට ඇතුලු වී තවමත් ගෙවී ඇත්තේ වසරක කාලයකි. පාසල් ගිය තවත් දිනයක් නිමවා සිරිත් පරිදි නැවත නිවෙසට පැමිණි විටෙක මා හට දකින්නට ලැබුනේ අපේ වත්ත පහලින් පටන් ගන්නා වෙල් යාය පුරාවටම ඔබ මොබ යන මහ ජන ගංගාවකි.
මොකද අම්මෙ අර ? මම ඇගෙන් මේ පිළිබඳ විමසීමි.
අපි දර කඩන්න යන දිහා ඔයේ ගැටගහපු මිනියක් තියෙනවලු ගෑණියෙකුගෙ. අම්මාගේ පිළිතුරින් මගේ සිතේ උපන්නේ මහත් කුහුලකි. දිවා අාහාරයෙන් පසු මමද මහ මද්දහනේ වෙල් ඉපනැල්ල දිගේ මිනිය බලන්නට යන ජනතාව අතරට එකතු වූයෙමි.
පෙරදා අප හාවා පසුපස එළවූ ඉසව්වේ එකම මිනිස් ගංගාවකි. ඉතාම සාමකාමී මිනිසුන් පිරිසක් වෙසෙන අප ගම් පියසේ මෙවැනි සිදුවීම් ඉතාමත් කලාතුරකින් සිදුවන නිසා මෙලෙස ජනතාව ඒකරාශී වීම පුදුම විය යුතු තත්වයක් නොවේ. මේ ජන රළ අතරින් සිරා කොලුවාට අත්තනගළු ඔය කිට්ටුව ඉවුර වෙත යන්නට අවකාශ ලැබුනි. ඔයේ ඉවුර අසලටම වන්නට මුනින් අතට හැරී ජලයේ පාවෙන කාන්තා සිරුරකි. එහි උඩුකයට ඇදුමක් නැත. යටිකය නිල් පැහැති ඩෙනිම් සායකින් වැසී පවතී. ඉන වටා යොදන ලද කඹයකින් මිනිය ජලය පතුලේ යමක ගැට ගසා ඇති බවක් ගම්‍ය වෙයි. මාලුන් විසින් අනුභව කල නිසාදෝ මියගිය කාන්තාවගේ මුහුණේ මාංශයන් දිය රැලිති සමග ඒ මේ අත වැනෙන ස්වරූපයක් පෙනෙයි.
පොලිස් නිලදරුවෝ එහි පැමිණ වටපිටාවේ සෝදිසියක් කලෝය. පෙරදා හාවා දිව ගිය ගුහාව බදු ස්ථානයේ ඇතුලට වෙන්නට සගවා තිබූ මියගිය තැනැත්තියට අයත් ඇඳුම් කැඩුම් කීපයක් සොයාගන්නට ඔව්හු සමත් වූහ. තවත් පැයකට දෙකකට පමණ පසු අනිත් පැත්තේ ඉවුරෙන් මිනිය ගොඩට ගන්නා අවස්ථාව තෙක්ම මා එහි රැඳී සිටියෙමි.
පෙරදා අප හාවුන් පසු පස දුවනා විටත් මේ ස්ථානයේ මේ මිනිය තිබූ බවට සැකයක් නැත. තවමත් හාත්පස හිරු එළිය තිබුනත් මගේ පුංචි සිතේ මහත් බියක් හටගෙන අහවරය. මම හැකි ඉක්මනින් ගෙදර දිව්වෙමි. ඒ අතර තුර කෙමෙන් කෙමෙන් හිරු අවරට ගොස් රාත්‍රී ගණදුරට පරිසරය එකතු විය.
මේ කාලයේ අපේ තාත්තා විදේශයක සේවය කලේය. එහෙයින් නිවසේ කිසිදු වැඩිහිටි පිරිමි චරිතයක් නැත. අම්මාත්, තාත්තාගේ මවත්, මමත් මලයාත් දැන් නිවසේ රැඳී සිටින්නෙමු. දිවා කල දුටු කාන්තා මළ සිරුරේ ස්වරූපය මා ඉදිරියේ කෙමෙන් කෙමෙන් මැවෙයි. සිත පුරා ඉතිරී ගිය විශාල බියකින් මම දැන් පීඩා විඳිමි. අම්මා පෙනෙන මානයෙන් මිදෙන්නට මා හට නොහැකිය.
රාත්‍රී ආහාරය නිමවා නිදාගැනීම පිණිස විදුලි පහන් නිවාදැමූ විට දෙනෙත් පියාගන්නට ඉඩක් ලැබුනේ නැත. තාත්තාගේ රැකවරණයත් නොමැති නිසා හිතට දැනෙන භිය ඉහවහා ගොස් තිබේ. මළ සිරුර තිබූ අයුරුත් මුහුණේ කොටස් ඒ මේ අත වැනෙමින් තිබූ ආකාරයත් දෙනෙත් අද්දර මැවෙයි. මුලු ගතම දහඩියෙන් නැහැවී ගොසිනි. නිදාගන්නවා තියා නින්ද අහල ගං හතක නැත.
හාවා පසුපස එදා දිවගියා නම් පොලිසිය සොයාගත් බඩු බාහිරාදිය මුලින්ම දකින්නේ අප වන්නට ඉඩ තිබුනි. අප එහි කාලය ගත කරන විටත් මළ සිරුර දියේ තිබෙන්නට ඇතැයි සිතෙන විට භිය දෙගුණ තෙගුණ වෙයි. එහා ඉවුරෙන් සිරුර ගොඩට ගන්නා විට හාත්පස පැතිර ගිය දුගඳ දැනුදු නහයට දැනෙනවා වැනිය.
ඒ මේ අත පෙරළෙමින් උදෑසන දක්වා මා විඳි අපහසුතාව මට තවමත් අමතක නැත. බොහෝ සේ අපහසුවෙන් රැය පහන් කරන්නට අවසානයේ මා හට හැකි විය. මගේ මවද මේ දර්ශනය නිසා නිඳි නොමැතිව පීඩා විඳි බව පසුදා උදෑසන දැනගත හැකි වූවේය.
අපේ නිවසේ සිට බොහෝ දුරකින් කුඹුරු යාය අද්දරටම වන්නට නිවෙසක් වෙයි. මේ නිවසේ හිමිකරු එහි පදිංචිව සිටියේ නොමැති නිසා එහි කලින් කලට නිවස කුලියට ගන්නා ලද කුලී නිවැසියෝ ජීවත් වූහ. එහෙත් මේ සිදුවීම සිදුවන කාලයේ එහි කිසිවෙකුත් ස්ථිරව පදිංචිව සිටියේ නැත. ඒ නිවසට යාබද නිවෙස් වල වෙසෙන කීප දෙනෙක් ඉකුත් දිනක රාත්‍රී කාලයේ කාන්තාවක් යටි ගිරියෙන් කෑ ගසන හඬක් යන්තමින් ඇසුන බවක් පොලීසියේ ඇත්තන් වෙත කියා තිබුනි. එහෙත් පොලිස් පරීක්ෂණ වලින් මේ මරණයට වගකිවයුතු තැනැත්තන් අත්අඩංගුවට ගත්තාදැයි මා දන්නේ නැත.
මේ ඝාතනය සිදුවීමෙන් පසු බොහෝ කාලයක් යන තුරු ඒ ඉසව්වට කාන්තාවක තියා පිරිමියෙකු හෝ තනිපංගලමේ ගියේ නැත. මගේ මවත් විමලාවතී උන්දැත් පලා නෙලාගත් ඉසව්වේම මළ සිරුර තිබුන නිසා ඔවුනට එහි නැවත යන්නට කිසිදු ධෛර්යයක් නොවීය.
එක් වැසි සමයක අත්තනගළු ඔය දෙගොඩ තලා ගලා ගොස් නැවත පෙර පරිදි නිසල විය. ඒ අාසන්න දිනයක තම ගවයන් රැගෙන එන්නට ගිය අපේ ගමේ පියසේන ගොයියාට නුහුරු දෙයක් නෙත ගැටුනේය. එදා හාවා දිව ගිය ගුහාව තුලින් මෙදා ගලාගිය අත්තනගළු ඔයේ ජල පහරට හසුවීමෙන් වෙල්යාය වෙත ලඟා වී තිබූ ඇට සැකිල්ලකුත්...ඒ අාසන්නයේ රැදී තිබූ ඉතා දිගු කෙස් කලඹකුත් පියසේන ගොයියා දුටු දර්ශන අතර විය.
ඔහුගේ දැනුම්දීම මත පැමිණි පොලිස් නිලදරුවන් සිදුකල පරීක්ෂණ අනුව දෙවැනි සිරුරත් තරුණියකට අයත් වූවකි. පළමු සිරුර එහි දමා යන විටම මේ සිරුරද කැලෑව තුල සගවන්නට ඇති බව ඔවුන්ගේ අදහස වූහ. ඒ අනුව තරුණියන් දෙදෙනෙකු එකිනෙකාට ආසන්නයෙන් අවසන් ගමන් ගොස් තිබූ අතර මේ දෙදෙනාම දුර පළාත්වල පදිංචිකරුවෝ බවට සැළ විය.
මේ සිදුවීම් වලින් පසු වසර 20 ක පමණ කාලයක් ගත වී තිබේ. එහෙත් පාළු කාමරයක, නිසල රාත්‍රියක මේ ලියමන අකුරු කරන මා හට. ප්‍රාණය නිරුද්ධ සිරුර දෙකක් සැගවි තිබූ වටපිටාවක පලා නෙලමින්, හාවෙකු පසුපස දිවූ ඒ සන්ධ්‍යාවේ ත්‍රාසජනක මතකයන් තවමත් සියුම් බියක් මෝදු කරයි.
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
ඒ සමයේ ගමේ පැතිර ගිය කටකථා අනුව මේ ඝාතන තහනම් ගහේ ගෙඩි කෑමේ ප්‍රතිඵලය. තහනම් ගහේ ගෙඩි ඉතාම විෂ සහිත නිසා නොකන තරමට හොඳය.
scary but interesting
ReplyDelete-Upeksha
ස්තූතියි උපේක්ෂා...මේ බොග් ලියන උපේක්ෂා යැයි සිතමි.
Deleteමහා රෑ උඹ හොල්මන් කතා කියනවා! මං මේ බෝඩිමේ තනියම!
ReplyDeleteඋඹ මගුලක් කථා කරනවා...මම මේක මහ රෑ කාමරේ ලයිට් එකත් නිමාගෙන කෙටුවෙ...කරුවලේ මම දැක්කා කාමරේ මුලු වල ගෑණු රූප...එදා බය දැනුත් දැනෙනවා වගේ බොල නාඩියො...මගෙ නාඩි වේගෙත් වැඩි උනා.
Deleteබුදු අම්මෝ.........
ReplyDeleteමෙන්න ඔය ගෑනු දෙන්නා මේ මේසෙ උඩ හිටගෙන.ඇටසැකිල්ලයි, ඩෙනිම් සාය ඇඳගත්ත එකියි.
බුදු අම්මෝ.......
මටත් ඔය වගේ සිද්දියක් මතකයි. පොඩීම කාලේ. අපේ ගෙදරට ඉස්සරහ ගෙදර සීයව ගෙට ටිකක් එහා වෙල අයිනේ මරලා දාලා තිබුනා. ඒ විතරක්නම් මදෑ. මේ මිනිය දවසක් උදේ වෙනකොට නැගිටින්නත් හැදුවා. එතකොටත් ටිකක් කුනුවෙලා තිබුනේ. අපිව ගෙදර එලවපු නිසා ඉතිරි ටික බලාගන්න බැරි වුනා. කම්බි දාලා බැන්දා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ සෑහෙන කාලයක් යනකල් මගේ හිතේ මේ සිද්දියත් තිබුනා. ඒ දවස්වල අපේ තාත්තා ගෙදර නෑ. ඒ නිසා බය ඩබල්.
ඒ සමයේ ඔබේ දෑස පෙනුනායැයි සිතමි.
Deleteවිකෘති වී ගිය මෘත ශරීර දැක්කම අදුර වැටුනට පස්සෙ සමහරුන්ට බිය කියන දේ හොදින් දැනෙනවා. ජලයෙ ගිලුන කෙනෙකුගේ මිනිය හොයන්න කිමිදෙන අය ගොඩාක් හිත හයිය උදවියලු. මොකද දිය යටදි තමන්ගෙ සහායට කවුරුවත් නැතුව විරූපී වෙලා ගිය මළ සිරුරක් දැකලා ඒ අය කලබල උනොත් ඉදලා හමාරයි.
Deleteමිනිය නැගිටින්න හැදුවා කියන්නෙ...හොල්මනක්ද ගොයියො.
සිරා ඉවරයි... ලඟඳිම තොවිලයක් නටන්න වෙනවා ශුවර්.....
ReplyDeleteඇත්තමයි ලොකු අයියෙ එදා රාත්තිරියෙ පුදුම බයක් බං දැනුනෙ...නින්ද ගියේම නෑ.
DeleteWasana wantha lama kalayak sirata thibila thiyanawa. Oya lassana wata pitawa thama ethiri wela thiyanawada siro...
ReplyDeleteඇත්තටම මගේ ළමා කාලය ඉතාම සුන්දර එකක්..අපිට තහංචි තිබුනෙ නෑ...ගඩාගෙඩි කඩලා ඇළේ දොලේ පැනලා වෙල් එළියෙ දුවපු ලස්සන ළමා කාලයක්... ඒ පරිසරය අදත් එහෙමම තියෙනවා...වෙනසකට තියෙන්නෙ අද ළමයි අපි කරපු වැඩ නොකරන එක.
Deleteසුන්දර පරිසරයක සිදුඋන අසුන්දර සිදුවීමක්.
ReplyDeleteහාව පස්සෙ තව ටිකක් දිව්වනං අභිරහස් ඝාතනයක සුල මුල හොයාගැනීමේ ගෞරවය බොලා තුන්දෙනාට ගන්න තිබුණ. හැබැයි ඉතිං ඊට පස්සෙ අර කැමා කියල තියෙනව වගේ බොට තොයිල් නටන්න වෙනව ශුවර්.
ඕන් රීන් කට්ටු කට්ටු , දොළ පිදීනී තට්ටු තට්ටු.
Deleteඕන එකෙක් ඕන යකෙක් , මම කරනවා හොඳට මට්ටු...
තරුණ ගැටව් මොහිණිගේ බැල්ම වැටිලා ඉවකරනවා
තුන්මන්සල නාන තොටේ දුවට පෙරේතයෝ වැහෙනවා
ඔලුව ලොකුයි බද මහතායි කෙහෙතා අපලය කරනවා
දෙහි ගෙඩියෙන් ඇප නුලෙන් මේ ඔක්කොම දුරු කරනවා
ආයුබෝවා ..
යකුන්ට සොඳ දිය මස් සහ පෙරේතයට දෙමි අඩුක්කු
ලොකු එවුන්ට ලොකු පන්දම් පොඩි එවුන්ට පොඩි විලක්කු
සොරුන් සොයා ගන්නට හැක කැරකෙව්වම සුළු කනප්පු
කාලේ ඇවිත් පන්නන්නට බැල්ම හෙලන සොහොන් යක්කු ...
ආයුබෝවා ..
ගායනය - බන්දුල විජේවීර
ආයුබෝ වේවා.............
Deleteසින්දු ඇනෝ, පද දෙකක් වැරදියි නේද?
Deleteයකුන්ට "ගොඩ" දිය මස් සහ ...
කැරකෙව්වම "කුලු" කනප්පු ...
දියමස් යනු මාළු ය. ගොඩමස් යන දියේ ජීවත් නොවන සතුන්ගේ මස් ය. මේ දෙකම තොවිල්පවිල්වලට උවමනා වෙයි. කුල්ල සහ කනප්පුව දෙකම මන්ත්‍ර බලයෙන් කරකවා ඇවිද්දවා හොරුන් සොයා යැවීම මාතර ගුරුකම් අතර එයි.
සිරා මල්ලියේ. අනර්ඝයි.
කසුන් බොහොම ස්තුතියි නිවැරදි කිරීමට ..මම මේක අහලා ලියුවේ ...මට වචන ඇහුනේ එහෙම .සමාව ඉල්ලනවා වැරදි වචන යෙදුවට... නැවතත් ස්තුතියි ..
Deleteබොලා හැමෝටම බොහොම ස්තූතියි...මට එදා ගොඩාක්ම බය දැනුනෙ ඒ ගුහාව වගේ තැන කිට්ටුවටම හාවා පස්සෙන් ගිහින් මම ආපහු හැරුනෙ. එතන ස්වභාවිකවම අරුක්කුවක් හැඩේට අතු හැදිලා ගුප්ත පෙනුමක් සහිත අදුරු තැනක්. මතක් වෙද්දි තවමත් තිගැස්මක් ඇති වෙනවා.
Deleteකසුන්,
Deleteගොඩ-දිය මස් කියලා ඉබිමස් ගන්න බැරිද?
ගෙම්බත් ඔය ගොඩේම නේද..
Deleteකෝකියා ඇහුවලු "රජවාසලේ කෑමට ගෙඹිකකුල් ගෙනියනවද?" කියලා.
Deleteගෙම්බා කිව්වලු "ගෙඹි කකුල් මාව ගෙනියනවා" කියලා
මට මතක හැටියට ලිව්වෙ.
වටපිටාවේ වරුණාව කියද්දී මට මතක් වෙන්නෙම අපේ ගම. දැන් අපේ ගමත් කාලයත් එක්ක වෙනස් වෙලා පාරවල් කාපට් කරලා අනං මනං වෙලා නිසා ලස්සන අඩු උනත් ගමේ ගියාම තමයි මට එක දිගට රෑ එළිවෙනකල් නිදා ගන්න පුළුවන්.
ReplyDeleteකොළඹ ඉන්නකොට අතරමගදී නින්ද කැඩිලා ඇහැරෙනවා, රස්නේ නිසා නිදා ගන්න බැහැ.
කරුම ජීවිත...
අර මරණ දෙක තහනම් ගහේ ගෙඩි කාපු සීන් එකක් කියල කිව්වට පොඩ්ඩක් මැච් වෙන්නේ නැහැ නේද.
එතන ගැහැණු සහ පිරිමි මළ සිරුරු දෙකක් තිබ්බනම් හිතන්න තිබ්බා අර ගෑණු කෙනා හොර මිනිහ එක්ක ඉන්නවා දැකපු මනුස්සයා දෙන්නවම මැරුවා කියලා.
මට හිතෙන්නේ ඒ ගේ හැමදාම රෙන්ට් එකට දෙන තැනක් නිසා සහ ඒ වෙද්දී වහල තිබ්බ බව දන්න කවුරුහරි ඒ දෙන්නව රවට්ටගෙන ඇවිත් රේප් කරලා මැරුවා කියලයි.
ඔය කියන කාලේ තාක්ෂනේ ඒ තරම් දියුණුත් නැති නිසා ඒ වගේ සිද්ධි යට යන සහ යට ගහන හැකියාව ගොඩක් ඉහළින් තිබ්බා.
ලොකු පුතාට මගේ ස්තූතිය. අපේ ගමෙත් මාර්ග ආදිය සංවර්ධනය උනාට මේ කියන පරිසරය තවමත් එදා වගේම තියෙනවා. මිනිස්සු අතීතයේ වගේම තවමත් කුඹුරු වගා කරනවා. පියසේන ගොයියා තවමත් හරක් දක්කනවා. ඒත් ජෑස් කොල්ලයි අපේ මිත්තනියයි ජීවතුන් අතර නෑ.
Deleteඅර මරණ දෙක පුංචි මට ඒ කාලෙ ආරංචි වෙච්ච විදියට කසාද බදින්න කියලා බල කරපු නිසා මරා දැමූ බවක් තමයි මතක. මියගිය යුවතිය ඈත පළාතක කෙනෙක්. එයාගෙ පවුලෙ අය මම හිතන්නෙ විස්තර කියන්න ඇති. සමහර විට මිනීමරුවන්ව හොයාගන්නත් ඇති. මම දැනුවත් නෑ ඒ ගැන.
ඔය සිදුවීමෙන් පස්සෙ ඒ නිවස සෑහෙන කාලයක් යනකං කුලියට ගත්තෙ නෑ කිසිම කෙනෙක්. ගේ බලන්න අැවිල්ලා පිටවෙලා යද්දිම ගමේ කෙනෙක් පයින්ඩෙ දෙනවා. ඒ වගේම ඒ නිවසෙ කාලයක් යනකං කාන්තාවකගෙ හොල්මනක් දකින්න තිබුනා කියලත් කට කතාවක් තිබුනා. කොහොම හරි අවුරුදු ගානකට පස්සෙ ඒ නිවසෙ ස්ථිරව සෑහෙන කාලයක් පදිංචි වෙලා හිටියෙ අපේ දෙලා. එදායින් පස්සෙ ඒ නිවස අද දක්වාම තනි උනේ නෑ.
මෙවැනි අත් දැකීමක් මටත් ඉතා හොදින් මතකය ....අතීතය තවමත් පට්ට සුන්දරය ..උඹේ කතාව වෙනදා වගේම එලය ...
ReplyDeleteගොර සපුන් ඇහැරෙන ඇඳිරියේ..
දොළ හඬන තුන්මන් හන්දියේ..
කවුරු එන තුරු මඟ බලනවද
මෝහිනී මගෙ නංගියේ
මෝහිනී...ආදර නංගියේ..
උඹේ දරුවා ගන්න කවුරුත්
නොයෙන මූසල හනදියේ
උඹට දරුවෙක් දෙන්න
ඕනෑ තරම් අය ඇති නංගියේ..
සුරඟනට අමතක දරුවන්
හඬද්දී කුණු බක්කියේ
උඹ යකින්නක් උනේ කොහොමද
කියා දීපන් නංගියේ...
ගොර සපුන් ඇහැරෙන...
ගායනය : සමන් ලෙනින්
මේක නම් මං ආසම සින්දුවක් ඇනෝ... මේකෙ රචකයා කවුද කියහංකො
Deleteසමන් ලෙනින්ගෙ ගොඩක් සිංදු ලියල තියෙන්නෙ ධම්මික බණ්ඩාර නේද? මේකත් එයාගෙද?
දිල්ෂාන් මෙන්න ..මටත් කලින් හොයාගන්න බැරි උනා ..
Deleteගී පද: වසන්ත වෙල්ගම
සංගීතත නිර්මාණය: දර්ශන රුවන් දිසානායක
ගායනය: සමන් ලෙනින්
නව පරපුරෙන් මේ වගේ උසස් නිර්මාණ බිහිවෙනවා දකින්නේ ගොඩක් කලාතුරකින්
Deleteස්තූතියි සින්දුවො...මම මේ ගීතය අහලා නෑ....සමන් ලෙනින්ගෙ තියෙන්නෙ බොහොම භාව පූර්ණ හඩක් එහෙම නේද...වසන්ත වෙල්ගම රජී වෙල්ගමගෙ ඥාතියෙක්ද දන්නෙ නෑ...මේ තරම් සියුමැලිද කලුගල් ගීතය ලිව්වෙ රජී වෙල්ගම...
Deleteරජී වසන්ත වෙල්ගම කියන්නෙ මගෙ සම්පූර්ණ නම බං.
Deleteකලින් කියන්න එපායැ බං...
Deleteඔන්න අපිනම් බය නෑ ඔය හොල්මන් වලට...... අැත්තමයි..... හිටං
ReplyDeleteමෙතන කොහෙද බං හොල්මනක්..මිනියක් තමයි තිබුනෙ ඔයේ දපං....
Deleteසමහර බියකරු අත්දැකීම් හිතේ ගැඹුරටම කාවදිනවා. ඒවා මතුවෙන්නෙත් නොහිතන වෙලාවල්වලට.
ReplyDeleteමේ කියන රාත්‍රියෙ මට දැනුන බිය කිසි ලෙසකින් තවමත් අමතක නෑ. තාත්තා නිවසේ හිටියා නම් ඒ තරම් බියක් දැනෙන්නෙ නෑ. ඔහු අපිව ආරක්ෂා කරයි කියන විශ්වාසය හිතට තියෙන නිසා. එළිවෙනකම්ම විකාර රූප පෙනුනා..නින්ද ගියේම නෑ. මුලු ඇගම දාඩියෙන් පෙගිලා තිබුනෙ. අම්මා පහුවදා මට අවවාද කලා ආයෙ මේ වගේ දේවල් බලන්න යන්න එපා කියලා. ඒත් මම ඊට පස්සෙත් එවැනි දෙයක් ලගපාතක තිබුනා නම් බැලුවා. කුතුහලය නිසා.
Deleteසිරා කියන්නේ 1980 දශකයේ මුල හරියේ සිද්ධි දාමයක් වෙන්න ඇති. අබිරහස් මිනීමැරුම් කියන ඒවා ලෝකෙන් තුරන් වෙන්නේ නැහැනේ. අනික මට හිතාගන්න පුළුවන් එදා සිරාට දැනුන බය. මම අවුරුදු 12 දී විතර තමයි මුලින්ම දැක්කේ මිනිහෙක් එල්ලිලා මැරිලා ඉන්නවා. ගම් හත අටක මිනිස්සු ආවා ඒක බලන්න. අද 100 ක් එකතැන මැරුණත් ගානක් නැහැනේ. අපේ මිනිස්සුන්ගේ හිත් දැන් දරදඬු වෙලා. යුද්දේ නිසා, සුනාමිය නිසා.
ReplyDeleteමම මේ කියන්නෙ 90 දශකයෙ සිදුවීමක් ගැන. මම 80 දශකය මුල ඉපදුන එකෙක්. ඔය කියන අත්තනගළු ඔයේ 88/89 භීෂණය කාලෙදි බොහෝ මළ මිනී පා උනා කියලා අපේ වැඩිහිටියො කියනවා.
Deleteසිරෝ... ..අනේ අම්මො....මෙන්න මේ ගෑණු දෙන්න මගේ පස්සෙන් එනවො......
ReplyDeleteබොලා දැක්කම හොල්මන් උනත් දුවනවා නේද. බලහං පොඩ්ඩක් මෝහිණියි එයාගෙ නංගියිද කියලා...මෝහිණී නම් ළමයා වඩාගන්නෙ නැතුව රෙද්ද අන්දලා යවන්න.
Deleteපොලිසියෙන් හොයාගත්තේ නැද්ද බන් කව්ද කියල ඒ මරල දාල තිබුනේ?
ReplyDeleteමෙන්න මගෙනුත් හොල්මන් අත්දැකීමක්...
http://ambalangodakatha.blogspot.com/2015/08/blog-post_22.html
පොලිසියෙන් හොයාගත්තද දන්නෙ නෑ. මොකද ඒ කාලෙ සිරා කොලුවා පොඩි එකා නිසා. විවේකයක් ලැබුන ගමන් මේ කථාව මම කියවන්නං ගොයියො..ස්තූතියි.
Deleteහොල්මන්ද පොල්කොළ කිව්වලු .. හොල්මන් අල්ලන්න ඕනේ නම් කියන්න මන් අපේ සෙට් ඒකට කියන්නම් :)
ReplyDeleteමම හිතන්නෙ ඒ සෙට් එක දැක්කම හොල්මන් උනත් බය වෙයි.
Deleteඑතකොට අද වෙනකනුත් ඒ මරණ දෙක විසදුනේ නැද්ද අයියේ. ඉන්ටරෙස්ටින් කතාවක්..
ReplyDeleteඔය කලෙදි ඉතින් මාත් හොල්මන් වලට සෑහෙන්න බයයි.. ඒ හන්දා හිතා ගන්න පුළුවන් කොහොම ඉන්න ඇත්ද කියලා.
ඒ මරණයේ අභිරහස විසඳුනාද කියලා මම තවම දන්නෙ නෑ...බොහෝ විට විසඳාගන්න හැකි වෙන්න ඇති. මේ සිදුවීමට පස්සෙත් ඔයේ පාවෙලා ගිය කාන්තා මළ සිරුරක් සහ දියේ ගිලී මිය ගිය පිරිමි මළ සිරුරක් මම දැක්කා. ඒත් ඒ වෙද්දි වයසින් මුහුකුරා ගිහින් හිටිය නිසා එදා තරම් බයක් දැනුනෙ නෑ.
Deleteහාවා පස්සේ පන්නලා මුලින්ම මිනී දෙක සොයා ගැනීමේ අවස්ථාව නොව උඹලා මග හැරගෙන තියෙන්නේ.මම නම් ඔය මිනි මැරුම් දැකලත් නැහැ.දකින්න ඕනෙත් නැහැ බං.
ReplyDeleteඋඹ මගුලක් කථා කරනවා. එදා ඒක අස්සෙ රිංගලා අර පස්සෙ මතුවෙච්ච මිනිය එහෙම දැක්කා නම් කොහොමද. තොයිලයක් නටන්න වැඩේ වෙනවා එහෙනං...
Deleteමම මේ මයිල් කෙලින් වෙන හොල්මන් කතාවක් කියවන්න ආවේ.. කෝ නෑනෙ කිසිම හොල්මන් ගතියක්...
ReplyDeleteතහනම් ගහේ ගෙඩි මාරාන්තික විස සහිතයි කියලා තමා පිළිගන්න වෙන්නේ...
කැවුත්ත කියන්නේ මොකක්ද බන් ? මතකද රොමාගේ වාසනාවේ තිබුන "කැවුත්ත කනවා" කියලා පොඩි එකාව බය කරන් සීන් එක...
http://ambalangodakatha.blogspot.com/2015/08/blog-post_22.html
Deleteමේ අපේ පුරුදු සෙන්නා නේද...නම ටිකක් වෙනස් වෙලා. මේකෙ හොල්මන් කථාවක් නෑ...මම මුහුණ දුන්න සිද්ධියක් විස්තර කලේ. තහනම් ගහේ ගෙඩි කොච්චර විෂද කියනවා නම් සමහර වෙලාවට දෙන්නා තුන්දෙනා මැරෙන්නෙ.
Deleteකැවුත්ත කියන්නෙ පෙණහල්ලට...දවසක්දා අළෙවි නියෝජිතයෙක් ගියාලු විශ්‍රාමික සිංහල ගුරු මහතෙකුගෙ නිවසට...මම සර් ලිවර්බුදර් සමාගමෙන් කිව්වලු... ඉතින් ගුරු මහත්තයා සිංහල කම බොහොම අගය කරන මනුස්සයා නිසා කිව්වලු...මොනවද මේ කියවන්නෙ සිංහල ඉංග්‍රීසි දෙකම කලවමේ...කියන දෙයක් සිංහලෙන් කියනවකො කියලා....ඒ ගමන අළෙවි නියෝජිතයා කිව්වලු, මහත්තයා මම කැවුත්ත සහෝදරයො සමාගමෙන් කියලා.
ගුමසි (ගුද මගින් සිනා) :D
Deleteසිරෝ උඹ කිව්වෙ තවත් වෘෂභකතාවක් නේද? කැවුත්ත කියන්නෙ පෙණහල්ලලු. ලිවර් කියන්නෙ කැවුත්තලු. කැවුත්ත/ අක්මාව = liver පෙණහල්ල = lung
නිදි මරගාතෙ පොඩි පටලැවිල්ලක් වෙලා. කැවුත්ත යනු අක්මාව ලෙස නිවැරදි විය යුතුය. ගුද මාර්ගයෙන් සිනා සෙන්න එපා රත්තරනේ...අවට ඉන්න උන් අපහසුතාවයට පත් වෙයි.
Deleteකැවුත්ත කියන්නෙ කෑ යුත්ත කියන එක. ඒ කියන්නෙ අක්මාව, පීකුද්ද.
Deleteහාව ෂුවර් එකටම සිරාට මිනිය පෙන්නන්ඩ ආපු පිල්ලියක්, පිල්ලියක් ඔත්තුවක් දෙන්ඩ කතාකරද්දි ගියේ නැත්තම් අනිවා කවදහරි පලිගන්නව.
ReplyDeleteආයෙමත් ඒ වෙල පැත්ත බලන්නවත් එපා ......
ඒ වෙල පැත්ත බැලුවා විතරක් නෙමෙයි...එතනට කීප වතාවක්ම ගියා ඊට පස්සෙත්...මම හිතන්නෙ ඒ වෙද්දි පිල්ලියත් යටියන්තොට ගිහින් ඉන්න ඇති.
Deleteසිරා අයියට කියන්න අපේ ගමෙත් ඔහොම සීන් එකක් උනා මං පොඩි කාලෙ. හැබැයි මිනී මැරුමක් නෙමේ වතුර පාරකට අහුවෙලා ගැහැණු කෙනෙක් ගහගෙන ඇවිත් ඉවුරකට ගොඩ ගහල තිබ්බ. අපිත් ගියා බලන්න. මට නම් බයකට වඩා අප්පිරියාවක් ආවෙ.
ReplyDeleteහැබැයි සිරා අයියගෙ කතාව ගොඩක් බරපතලයි. ඒ කියල තියෙන විදිහට බය නොවුනොත් තමා පුදුමෙ.
පොඩි වයසනෙ බං...අනිත් එක තාත්තා ගෙදර හිටියෙත් නෑ...ඒ නිසා තමයි ගොඩාක්ම බිය කියන දේ දැනුනෙ.
Deleteහම්මෝ මෙයා එකපාරක් පෝස්ට් දාලා ලිෆ්ට් එකේ යන්ට බයේ හිටියා. මේ පාර උදෙන් නැගිටිලා වෙන වැඩක් කරන්ට නෑ මෙන්න දෙන්නෙක් පාවෙනවා ගේ හැම තැනම. :D
ReplyDeleteලිෆ්ට් එකේ යන්න බය උනේ මොකද බොලං...මට මතකයක් නෑ නොවැ. දෙන්නෙක් පා වෙන්නෙ මක්කෙයි...උන්ගෙ කකුල් නැතෙයි...
Deleteමම මහ දවාලෙත් බය උනා මේ කතාව කියෝලා. සිරා අයිය සිද්දිය විස්තර කරල තියෙනවා රූප මැවෙන්නම.
ReplyDeleteඅනේ බං නගෝ කථාවක් කියවලා ඔහොම බය වෙනවා නං බොලාව මිනියක් බලන්න එක්ක ගියොත් කොහොම බය වෙයිද...ස්තූතියි අදහසට...
Deleteමටත් ඉස්සර ජේකබ් කොල්ලා පොඩි එකා කාලයේ මළ ගෙදරක ගියොත් දවස් ගානක්ම රෑට මැරුණ මනුස්සයා පේන සිද්දියක් තිබුනා.දැන් එහෙම නෑ මම හැමදාම සමහන් බොනවානේ දැන් :D
ReplyDeleteමටත් හිච්චි එකා කාලෙ ඔහොම ලෙඩක් තිබුන නිසා මම මළ ගෙවල් වල ගියාට එළියෙන් ඉඳගෙන ඉන්නවා මිසක මිනිය බලන්න ගියේ නෑ.
Deleteබය නම් හිතුනෙ නෑ... අපරාදෙ ඒ කාලෙ සෙල්ෆි තිබ්බනම් අපටත් එලොවක් මෙලොවක් නැතිව බලන්න තිබුණා පාවෙන මිණි ය සහ ඇට සැකිල්ල...නේද?
ReplyDelete-දෙණියායෙ ඇනෝවි..
ඔව්...මොළේ අමාරු කාරයො මිනිය එක්ක අහුවෙන්න සෙල්ෆි ගහලා ෆේස් බුක් දායි අද කාලෙ වගේ ඒ කාලෙත් මේ තාක්ෂණයන් තිබුනා නම්...දෙණියාය ලස්සන පළාත නේද ඇනෝවි...
Deleteහෙනං හෙනං දෙණියාය කියන්නේ ගංගා ඇළ දොළ නිල් කඳු, මිටියාවත් ,වංගු සහිත ලිස්සන කඳු පාරවල් වගේම කූඩැල්ලන් සපිරි සුන්දර පලාතක්. තමුන්නැහේ ඇවිත් ගිහින් තියෙනවා නෙව.
Deleteමට මතක් උනේ අපි පොඩි කාලෙත් ගම ඔය වගේ තමා. ලොකු වතු තිබුණා. දැන් ඒවා පර්චස් 10 - 20 කෑලි වලට කැඩිලා. ඔය පළා වර්ග, සිංහල බෙහෙත් පැළෑටි එහෙම හොයන්න සෑහෙන අමාරුයි දැන්.
ReplyDeleteමං පොඩි කාලෙ, ළඳකට වැටිලා මැරුණු ළමයෙක්ගෙ මිණියක් බලන්න අම්මයි අයියයි එක්ක ගියා. ඒ ළමයගෙ මිනිය පොල් අත්තක් උඩ දාලා තිබුණා ඒ ළිඳ ගාවම. බැඳලා නැති ළිඳක්. අයිය නං එදා මහ රෑ ඇහැරලා අම්මගෙං ඇහුවලු 'මල්ලි ඉන්නවද?' කියලා. මං ගොඩක් පොඩි නිසාද මංදා, මට නං විශේෂ හැඟීමක් ඇතිවුනේ නෑ...
මැරුනෙ කුඩා දරුවෙක් නිසාත්..ඩ්‍රැකී ගොයියාගේ වයසත් මුහුකුරා නැති නිසාම බිය කියන දේ ගොඩාක් දැනෙන්න නැතුව ඇති.
Delete