Sunday, July 24, 2016

56 බණ්ඩාර (2 කොටස)

බණ්ඩාරවෙල ටවුන් එකේ බේකරියක් ලග මම දැන් කැරකෙනවා. හිතේ ගින්නයි කුස ගින්නයි දෙකම එකට එකතු වෙලා මගේ මුලු ඇගම නලියනවා. කවුරුවත් මා දිහා බලා ඉන්න වගක් මට දැනුනෙ නෑ. අතේ තිබුන මුදලින් බනිස් ගෙඩියක්වත් කනවා කියලා හිත හදාගන්නකොටම කවුදෝ කෙනෙක් මගේ අතක් තදින් අල්ල ගත්තා. 

අද එතැන් සිට.... ළමු කොටස මග හැරුන අය කියවගෙන එන්න.

මොකද මෙතන කරන්නෙ. මම සෑහෙන වෙලාවක ඉදන් බලාන හිටියෙ. ආගන්තුක කෙනෙක් එහෙම කිව්වා. මට ඉතින් හංගන්න දෙයක් නෑ. කලින් වගේම මගේ කථාව මුල සිට අගට කිව්වා.

ආ එහෙනම් ගෙදරින් පැනලා යන ගමන් නේද. දැන් කොහෙද යන්නෙ ? අමුත්තා ආයෙමත් ඇහුවා.

යන්න තැනක් නෑ. සීතලයි.  බඩත් ගිනියි. මම බයාදු විදියට කිව්වම එයා මාවත් කැන්දගෙන බේකරිය ඇතුලට ගිහින් කෑමට දේවල් අරගෙන දුන්නා. කෑම කාලා ඉවර උනාම යන්න තැනක් නැති නිසා අපේ ගෙදර යමුද කියලා ඇහුවම මම හා කිව්වා.

එදා රාත්තිරියෙ ඒ මහත්තයා මගෙන් ගොඩාක් ප්‍ර‍ශ්න ඇහුවා එතැනදි තමයි දැන ගත්තෙ ඒ මගේ අම්මගෙ මල්ලි කෙනෙක් කියලා. එයා ඒ කාලෙ රජයේ පිස්කල් නිලධාරියෙක් විදියට වැඩ කලේ. මීට කලින් කවදාවත් අපි මුණ ගැහිලා තිබුනෙ නෑ. අපේ අම්මට දරුවො 10 දෙනෙක් හිටියත් අම්මගෙ මල්ලි අපිව දැකලා තිබුනෙ නෑ. ලියුම් කරදහියකින් දුක සැප අහනවා මිසක. දුර ඈත අද වගේ යන සිරිතක් තිබුනෙ නැති වකවානුවක මේ කාරණේ පුදුම වෙන්න දෙයක් නෙමෙයි.

මාමා වහාම අපේ ගෙදරට පයින්ඩයක් යැව්වා පුත්තරයා මගේ ලග කියලා. ඒ වෙද්දි මම ගෙදරින් පිට වෙලා මාස 4 කට වැඩියි. මගේ අතුරුදහන් වීමෙන් පස්සෙ තාත්තා මාව හොයාදෙන්න කියලා මගේ පින්තූරෙකුත් එක්කම පත්තරේ දැන්වීමකුත් දාලා. මේ සිදුවීම් වලින් පස්සෙ සෑහෙන කාලයක් යනතෙක් මේ පත්තර දැන්වීම මගේ ලග තිබුනා. ඒත් පස්සෙ කාලෙක මගේ ගේ ගිණි ගත්තම ඒ මතක සටහනත් මගෙන් ඈත් උනා.

මාමා ලග මම ඉන්නවා කියලා පයින්ඩයක් යැව්වත් මගේ අම්මා තාත්තා කවුරුවත් ආවෙ නෑ. ගෙදර ඉන්න අනිත් දරුවො 9 දෙනා එක්ක ඒ අයට මේ වගේ දුරක් තකහනියෙ එන්න ඉඩක් තියෙන්න නැතුව ඇති. ඇරත් මාමා ලග ඉන්නවා කිව්වට පස්සෙ බයකුත් නෑනෙ

මාස 4 ක් තිස්සෙ ඉස්කෝලෙ නොගිය මම මාමගෙ උත්සාහයෙන් එයාගෙ නිවස ලඟ පාත පිරිවෙනකට ඇතුලු කොලා. පිරිවනේ පණ්ඩිත හාමුදුරුවන්ට මාව බාර දීලා උන්නාන්සේගෙ අනු දැනුම යටතේ අධ්‍යාපනය කරගෙන අවුරුදු දෙකකට කිට්ටු කාලයක් උන්නා. ඔය අතරෙදි තමයි පිරිවෙන කිට්ටුව තිබුන ස්ටූඩියෝ එකක ලස්සන දැරිවියක් එක්ක මගේ ඇයි හොදයියක් ඇති උනේ. එයා මට වඩා වයසින් වැඩි උනාට මගෙ පෙනුම නිසාදෝ මට කැමති උනා.

අද වගේ ටෙලිෆෝන් තිබුනෙ නෑනෙ ඒ කාලෙ. සෙනෙහෙ කොල තමයි ඉතින් නිතරම හුවමාරු උනේ. ඔයින් මෙයින් දවසක් අපේ සෙනෙහෙ කොලයක් ලොකු හාමුදුරුවන්ගෙ අතටම අහු උනා. එදා උන්නාන්සෙගෙ කාර්යාල කාමරයට මාව අඩගහගෙන ගොහින් මට වේවැලකින් හොදටම සැලකුවා. එදා හොරෙන් රා බීලා තාත්තගෙන් ගුටි කෑවට පස්සෙ ගේ එපා උනා වගේ මේ සිද්ධියෙන් පස්සෙ මට පන්සල එපා උනා. මාමගෙ ගෙදරින් පැනලා මම ආයෙමත් අපේ ගෙදරට ආවා.

අවුරුදු තුනකට කිට්ටු කාලයක් මම නිවසින් බැහැර වෙලා ඉදලයි ආයෙමත් ඒ විදියට එදා ගෙදර ගියෙ. ඒ ගත වෙච්ච කාල සීමාව ඇතුලෙ මගේ පෙනුම යම් තරමකට වෙනස් වෙලා තිබුන නිසා මගේ බාල සහෝදර සහෝදරියන්ට මාව එක්වරම අදුන ගන්න හැකියාවක් ලැබුනෙ නෑ. ඒ අය මගේ දිහා පුදුම වෙලා වගේ බලාන ඉද්දි අපේ ලොකු අයියා තමයි මේ අපේ මල්ලිනෙ කියලා මාව ගෙට ගත්තෙ. ඒ සද්දෙට තමයි අම්මා දුවලා ඇවිත් මගේ දිහා බලාන අඩන්න ගත්තෙ. අප්පච්චි නම් මම ආවා කියලා මා එක්ක එක වචනයක් කථා කලේ නෑ. පවුලෙ හැම දරුවෙක්ම හැමදාම උදේට දෙමාපියන්ට වඳිනවා. ඒත් එහෙම වෙලාවක වත් අප්පච්චි මා එක්ක කිසිම දෙයක් කථා කලේ නෑ.

ඉස්කෝල ගමන නැවතිලා හිටිය මාව ආයෙමත් ඉස්කෝලෙ යවන්න කවුරුවත් උනන්දු උනේ නෑ. අප්පච්චි එයාගෙ රාජකාරී වැඩ එක්ක කාලය ගත කලා. මම ගෙදර නැවතිලා උන්නෙ. ඔය අතර තුර කාලෙදි මා එක්ක රා බොන්න එකතු උන මගේ අතිජාත මිත්තරයො දෙන්නා බී එම් විජේරත්න, නිහාල් ජයසේන  ආයෙමත් මා එක්ක එකතු උනා. පොඩි පොඩි නොසන්ඩාල වැඩ වලින් පටන් අරගෙන කඩයක් දෙකක් හොරෙන් කඩන තරමට මදාවි වැඩ අපි තුන්දෙනාගෙන් උනා.

මේ විදියට ගියොත් මේකා හිරේ විලංගුවෙ වැටිලා මිසක නතර වෙන්නෙ නෑ කියලා තේරුම් ගත්ත අප්පච්චි මාව මහනදම් පුරන්න යවන්න තීරණය කොලා.  මගේ වේලාපත්කඩේ තිබුනා මහණ දම් පුරන්න සුදුසු කථාවක්. ඒ නිසා වෙන්න ඇති අප්පච්චි එහෙම තීරණයකට ආවෙ. අන්තිමේදි අප්පච්චි අදුනන ස්වාමීන් වහන්සේ නමක් මාර්ගයෙන් මාව මහණ දම් පුරන්න එකතු කලා. මම අවුරුදු 8 කට ආසන්න කාලයක් ඒ විදියට ස්වාමීන් වහන්සේ නමක් විදියට වැඩ ඉන්න ගමන් විවිධ ධර්ම කොටස් ඉගෙන ගත්තා. මාව උස්මහත් කරපු දෙමාපියොත් මට වැන්දා.  ඒත් දැනුම් තේරුම් තියෙන වයසට එද්දි  ලොකු හාමුදුරුවරුන්ගෙ ක්‍රියාකලාපය ගැන කල කිරිලා මම පස්සෙ කාලෙක සිවුරෙන් මිදුනා. ගමට ඇවිත් ආයෙමත් පරණ කාණ්ඩෙ එක්ක එකතු උනා.

ඒ වෙද්දි මගේ ලොකු අයියත් අපේ ගමේ චණ්ඩියෙක් විදියට නමක් දිනාගෙන තිබුනෙ. දවසක් අයියව අල්ලන්න ආව පොලෝසියෙ රාළහාමිලා දෙන්නෙක්ව අයියා එක සැරේ කිහිල්ලෙ ගහගෙන ගිහින් වෙලකට අත ඇරලා දිව්වෙ. එහෙමයි ඒ කාලෙ කොල්ලන්ගෙ ශරීර ශක්තිය. අයියගෙ චණ්ඩිකමත් පැත්තකින් තියෙද්දි ඒ වටපිටාවෙ මමත් චණ්ඩියෙක් උනා.

මේ කියන කාලෙ අපේ ගමේ තිබුනා විශාල බූරු පිටියක්. ගෙවල් වලට හොරෙන් මමයි මගේ අතිජාත මිත්තරයො දෙන්නයි එතනට යන්න එන්න පටන් ගත්තා. ඔතන හිටියා එක මදාවියෙක් හැමදාම වංචා කරලා අනිත් මිනිස්සුන්ට අතින් පයින් සලකලා එලවලා දාන. අපිටත් දවස් දෙක තුනක් මේ මිනිහගෙන් බැට වැදුනට පස්සෙ මමයි යාලුවොයි තීරණයක් ගත්තා ඒකව යටියන්තොට යවලා දාන්න.

දවසක් අපි ඉනේ කිරිච්චි ගහගෙන බූරු පොලට ගියා. මදාවියා අදත් සටනට ආවොත් එතනම බාවනවා කියලමයි අපි එදා හිතාගත්තෙ. සාමකාමීව බුරු ගැහිල්ල ටික වෙලාවක් පැවතුනත් එක පාරටම අර මිනිහා වංචා කරලා කෑ ගහන්න ගත්තා. එතෙන්දි මමයි යාලුවො දෙන්නයි බූරු පොලේදීම 18 පලකට පිහියෙන් ඇනලා ඌව එතනම කම්බස් කලා.

මේ සිද්ධියෙන් පස්සෙ වෙනසක් නැතුව මම ගෙදරට වෙලා උන්නා. ඒත් ගමේ රාජකාරියකට එන්න කලින් ගමේ මුලාදෑනියා දැනුවත් කිරීම තමයි ඒ කාලෙ සිරිත. අන්න ඒ වගේ වේලාසනම මා ගැන කියලා මාව අත්අඩංගුවට ගන්න පොලෝසියෙන් ගෙදරටම ආවා. එදා මම පොලිස් ජිප් එකට නගින හැටි මගේ ගෙදර අය බොහොම දුකෙන් බලාන උන්නා. තාත්තා නම් තරහෙන් පිපිරෙන්න ඇති එයාට වෙච්ච නව නිංගිරාවට.

අවුරුදු එක හමාරක් විතර අපි තුන්දෙනා අච්චු වින්දා. ඒත් මිනීමැරුම ගැන කිසිම කෙනෙක් සාක්ෂි දුන්නෙ නැති නිසා ඒ කාලෙන් පස්සෙ අපි නිදහස් උනා. මේ අතර තුර කාලෙදි මගේ ලොකු අක්කා යුධ හමුදාවෙ සූපවේදයට සම්බන්ධ කෙනෙක් එක්ක විවාහ උනා. ගෙදර හිටියොත් මිත්තර සම්පත්තිය නිසා මම ආයෙමත් හිරේ විලංගුවෙ වැටෙයි කියලා භය වෙලා උන්න තාත්තා, මස්සිනා මාර්ගයෙන් මාව කොළඹ වික්ටරි කියන හෝටලේ වැඩට එව්වා. ඒක තමයි මම අද කරන රක්ෂාවෙ මූලාරම්භය.

දවසට රුපියලේ පඩියට මම හරියටම අවුරුදු 4 ක් එතැන පිගන් හේදුවා. සෙනග බොහොමයක් යන එන හෝටලයක් කිව්වම ඉතින් කොච්චර පිගන් හෝදන්න තියෙනවද. මම ඒ හැමදේම ඉවසගෙන වැඩ කලා සමාජයෙන් කොන් වෙලා ඉන්න මම ආයෙමත් තැනකට එන්න ඕනෙ කියන අධිෂ්ඨානයෙන්. ඒ කාලෙ මේ හෝටලේ උයන වැඩ කරපු කිසිම කෙනෙක් මට කිසිම දෙයක් කියා දුන්නෙ නෑ. ඒත් ඒ අය ඉවුම් පිහුම් වැඩ කරන දිහා බලාන මම තනියම ඉගෙන ගත්තා. ෆ්‍ර‍යිඩ් රයිස් හදනකොට තාච්චිය ලිප උඩ තියලා හොල්ලලා බත් ටික කවලම් කරන විදිය අතේ හුරුවෙන් කරන්න ඕනෙ දෙයක්. මම ඒ දේවල් දිහා කාලයක් පුදුම වෙලා වගේ බලාන උන්නා. මේක කරන්නෙ කොහොමද කියලා ඇහුවට මට ඒ දේවල් කියා දෙන්න කවුරුවත් කැමති උනේ නෑ.

අන්තිමේදි කුස්සියෙන් අතුගාලා ඉවත් කරන ලූණු පොතු, සුදු ලූණු පොතු මහ උරයකට එකතු කරලා ඒවා තාච්චියක දාගෙන තමයි මම ඒ වැඩ කෑලි අල්ලගත්තෙ. හෝටලේ පිගන් හෝදන රස්සාව කලාට මම හෙමින් හෙමින් ඉවුම් පිහුම් කරන හැටි ඉගෙන ගෙන තනියම වැඩ අරගෙන කරන තරමට දියුණු උනා.

අන්න ඒ වගේ මීගමු පැත්තෙ තිබුන මගුල් ගෙදරකට උයන කොන්තරාත්තුවක් දවසක් දා මට ලැබුනා. මේ රාජකාරිය කරන්න මීගමුවට ආවම තමයි පස්සෙ කාලෙක මගේ බිරිඳ වෙච්ච කෙනා මට මුලින්ම මුණ ගැහුනෙ. එයාගෙ අක්කගෙ මගුලට තමයි මම එදා උයන්න ගිහින් තිබුනෙ. අපි මුණගැහිලා කථා බහ කලා විතරයි. ඊට පස්සෙ නොදැනීම ආදරවන්තයො වෙලා තමයි කසාද බැන්දෙ.

තාත්තා අපේ කසාදෙ නුවර ගෙදරදි මහ ඉහළින් ගත්තා. මගෙන් මොන වැරදි අතීතයේ උනත් තමන්ගෙ පුතෙක් කසාද බදිනකොට හැම තාත්තා කෙනෙකුටම ආඩම්බරයක් දැනෙනවා ඇති. අන්න ඒ වගේ මගේ අප්පච්චිත් බොහොම සතුටින් එදා දවසෙ උන්නෙ. ඇරත් ඒ වෙද්දි මම නරක ඇසුරින් මිදිලා...නරක වැඩ වලින් මිදිලා හොද මිනිහෙක් විදියට සමාජගතවෙමින් උන්නෙ.

මම අංගම්පොර ශිල්පය ඉගෙන ගත්තෙ බොහොම පොඩි කාලෙ උනාට එදා ඉගෙන ගත්ත සාස්තරේ තවමත් මතකයි. පස්සෙ කාලෙක මීගමුවට ආවට පස්සෙ මම ෂෝටෝඛාන් කරාටේ පාඨමාලාවකට එකතු උනා. ඒ පාඨමාලාවට අපි එකතුකරගත්තෙ පුහුණුවීම් වලදි අපිට හානියක් උනොත් ඒ වගකීම ගුරුවරු ගන්නෙ නෑ කියන කොන්දේසිය සඳහන් කොරාපු කඩදාසි වල අත්සන් අරගෙන.

ඔය විදියට පුහුණුවීම් කරගෙන ගිහින් එක දවසක් අපට තිබුනා තවත් කෙනෙක් එක්ක මුහුණට මුහුණ සටන් කරන වැඩමුළුවක්. මම පහරක් ගහද්දි එහා පැත්තෙ කෙනා ඒක වලක්වලා ප්‍ර‍තිප්‍ර‍හාර එල්ල කරනවා. ඔය විදියටයි වැඩේ සිද්ධ උනේ. එත් මම එදා ගහපු පාරක් මාරක නිළයකට වැදිලා මාස තුනකට පස්සෙ චන්ද්‍රසෝම කියලා කෙනෙක් මැරුනා. එදා ඒ පාර ගැහුවෙ අර මිනිහව මරණ අදහසකින් නෙමෙයි. ඒත් මැරුන කෙනා මම ගහපු පහර වැළැක්වූවෙ නෑ. ගල් පිළිමයක් වගේ බලාන උන්නා. අදටත් මම පුදුම වෙනවා එදා ඇයි මිනිහා එහෙම කලේ කියලා. 

ලංකාව වටේම අරමුණක් නැතුව ගිය මම අන්තිමේදි මගේ ස්ථිර පදිංචිය විදියට මීගමුව තෝරගත්තා. පිගන් හේදිල්ලෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා කෑම ඉවිල්ල විතරක් කරගෙන ගියා. පුංචි පහේ සාද, විවාහ මංගල අවස්ථා මට අඩු නැතුව ලැබුනා. ඒ මුදල් වලින් මම ගෙයක් දොරක් හදාගත්තා. මම දරුවො දෙන්නෙකුගෙ පියෙක් උනා. කොල්ලයි කෙල්ලයි.

කොල්ලා මම වගේම හැඩ රුවට ලස්සනට හැදීගෙන ආවා. අපරාදෙ කියන්න බෑ. මම පොඩි කාලෙ වගේ නෙමෙයි. හරිම සංවර දරුවෙක්. ඒත් එයා......

බණ්ඩාරයන් අහස දෙස බලාගෙන යමක් කියන්නට උත්සාහ කරයි. ඒත් ඒ සඳහා වචන එකතු කරගැනීම උගහට සෙයකි. ඒත් එයා මගෙන් උදුර ගත්තා.  ඔහුගේ කථාව නැවතී සිහින් ඉකිබිඳුමකට හැරෙන අන්දම මම මහත් පුදුමයෙන් මෙන් බලා උන්නෙමි. ඉකිබිඳුම එසැනින් මහා කදුළු ගංගාවක ඇරඹුම වූවේය.

බණ්ඩාරයන් දැන් මා ඉදිරියේ දැන් කුඩා දරුවෙකු මෙන් ඉකිගසා හඬා වැටෙයි. ඔහුගේ සංවේදී බාවය හමුවේ මගේ නෙත් කෙවෙනි අගටත් කදුලක් පිරෙයි. වසර ගනනාවකට පෙර ජීවිතයෙන් සමුගත් ඔහුගේ පුත්‍ර‍යා කෙරේ උපන් පීතෘ සෙනෙහස දෝරෙ ගලා යන අන්දම දෙස මම දුක්මුසුව බලා උන්නෙමි. ඔහු හැකි තරම් හඬා වැටී වෙහෙසක් දැනුන නිසාදෝ නැවතත් මා හා දොඩමළු වෙයි.

අවුරුදු 17 ක් එතකොට මගෙ කොලු පැටියට. ඉස්කෝලෙන් පස්සෙ අතිරේක පන්තියකට යද්දි ලොරියකට යට වෙලා මහ පාරෙදිම මැරුනා. ඒ වේදනාව මට අදටත් බොහොම තදින් දැනෙනවා. පස්සෙ කාලෙක මගේ දුව කසාද බැඳලා ඉතාලියට ගියා. දැන් මම දරුසෙනෙහසක් කියලා දෙයක් විඳින්නෙ නැති තාත්තා කෙනෙක්. මේ හින්දම මම පස්සෙ කාලෙක ගොඩාක් බීමට ඇබ්බැහි උනා. මගේ නෝනගෙ බල කිරීමට අන්තිමේදි මම බීම කොහොම හරි අඩුකරගත්තා. ඒත් ඊට පස්සෙ බුලත් විට කන්න ඇබ්බැහි උනා.

ඔහු බුලත් කහටින් දුර්වර්ණ වූ දසන් දක්වා කදුළු අතරින් සිනාසෙයි. මේ කුමන මිනිසෙකුදැයි තේරුම් ගත නොහී මම ඔහුගේ දෙනෙත දෙසම එක එල්ලේ බලාන සිටියෙමි.

මගේ ජීවිත කථාව ඔන්න ඔහොමයි පුතේ. මේ ගෙවුන අවුරුදු 63 ට මම ලබපු අත්දැකීම් ඔක්කොම මට මෙතන කියන්න බෑ. ඒත් ජීවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. මහනුවර ඉපදුන මම අද මීගමුවෙ පදිංචි වෙලා. උපතින්ම වලව්කාරයෙක් වෙච්ච මම අවුරුදු හතරක් එක එකාගෙ ඉඳුල් හේදුවා. අපේ දෛවය අපි කලින් ආත්ම වල කරලා තියෙන පින් පව් අනුව මේ සංසාරෙ පුරාම අපිව දිග ගමනක් එක්ක යනවා. ඉපදෙනවා... ආයෙමත් මැරෙනවා ඉපදෙනවා...මේ චක්‍රයෙන් මිදෙන්න අපිට බුදුහාමුදුරුවො මග කියා දීලා තියෙනවා. ඒත් අපේ පව්කාරකමට අපි ඒ මග යන්න නිකමටවත් හිතනවද? බණ්ඩාර උන්නැහේ අපේ කථාබහට තිත තියමින් අන්තිමේදි මගෙන් ඇහුවා.


බණ්ඩාරයන් මීගමු වෙරළේ වාරකන් සමයේ දිය නාමින්.
ඔහුගේ අනන්‍යතාවය සුරකිනු පිණිස සමීප ඡායාරූපයක් වෙනුවට මෙවැනි ඡායාරූපයක් පල කරමි.

්‍







කථාව අහවරයි එහෙනං.


මම කාමරේ අරින සිරා කොලුවා.

56 comments:

  1. මරු කථාව සිරා. දරුවගෙ මරණයෙන් පස්සෙ මිනිහට ආපහු සාසනේට යන්න හිතුනෙ නැති එක පුදුමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... සාසනේ ගැන එයා කිව්ව කථා මට මෙතැන ලියන්න බෑ...ඒ නිසා මිනිහා කොහොමවත් ආයෙ නම් ශාසනේට ඇතුලු වෙන්නෙ නෑ කියලා විශ්වාසයි.

      Delete
  2. මේවට ඉතින් නොයෙක් දෙනා කියයි දෛවය, ඉරණම, පූරුවේ කරුමේ, ආදී වශයෙන්. මමනම් කියන්නේ පරිසරය නිසා තමයි ඔහු නොමග ගියේ කියලා. ඔහු අවට තිබුන සමාජය තමයි ඔහුව නොමග යැව්වේ. ඒ වගේමයි ඔහුගේ දෙමව්පියන් යම්කිසි මගපෙන්වීමක් කරන්න හරි ආකාරයට ඉදිරිපත් වුනේ නැහැ. ඒ සඳහා ඔවුන් තුල දැනුම සහ/හෝ බුද්ධිය තිබුනේ නැහැ.ගෙදරින් පැනගොස් සිටි කාලසීමාවේදී පවා ඔහුට මගපෙන්වීමක් නෙවෙයි ලැබුනේ මේ වගේ චරිත අදත් ඇති. අදත් සිදුවන්නේ ඒ දේම තමා.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ විදපු උපරිම නිදහස අස්සෙ නොමග ගියා කියලයි මට හිතෙන්නෙ. පොඩි පොඩි වැරදි කරන කාලෙ දෙමාපියො ඒවා නවත්තගන්න මහන්සි උනා නම් මෙහෙම වෙන එකක් නෑ. ඒත් පවුලෙ දරුවො ගාන වැඩි වෙද්දි එකෙක්ට ලැබෙන පුද්ගලික අවධානය අඩු වෙනවා...එහෙම නේද...

      Delete
  3. දන්නෙ නෑ බං. සමාජෙ වැරද්දක් කියන්නත් බෑ. මනුස්සයෙකුගේ දෛවය කියන්නෙ හරි පුදුම දෙයක්. මට නං හිතෙන්නෙ ඌ හිරේ යන්නෙ නැතිව ඔහොම ඉන්න එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. හරිම විනෝදශීලී මනුස්සයෙක්...දැකපු පළවෙනි දවසෙම මම හිතුවෙ චීනෙක් කියලා...ඒ වගේමයි පෙනුම.

      Delete
  4. සංවේදී කතාවක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම ඔව්. ඔහු මා ඉදිරියේ හඩන හැටි දැක්කම මමත් බොහොම ආයාසයෙන් ඔහු දිහා බලාන උන්නෙ.

      Delete
  5. ජීවිතේ කියන්නෙ හරි පුදුමාකාර දෙයක්...

    ReplyDelete
    Replies
    1. අක්කගෙ අත්දැකීම් එක්ක ගත්තත් ඒක එහෙම තමයි...නේද...

      Delete
  6. සංවේදී කතන්දරයක්...සමහර දේවල් කර්මය අනුව වෙන දේවල්...සමහර දේවල්, තමන් විසින් වෙනස් කල හැකි දේවල්...මෙතැන තියෙන්නේ ඔය දෙකේම සංකලනයක් කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව්...මම එකගයි ඔබේ අදහස එක්ක. හැම දේම කර්මයට බාර දීලා අත පිහ දාගන්න බෑ.

      Delete
  7. //මේ කුමන මිනිසෙකුදැයි තේරුම් ගත නොහී මම ඔහුගේ දෙනෙත දෙසම එක එල්ලේ බලාන සිටියෙමි.// ඇත්තටම මේ කතාව කියෙවුවහම උඹට එහෙම වෙච්ච එකඅරුමයක් නෙමෙයි.

    මොනව උනත් හිරේ වැටිල හරි ආපහු සමාජෙට යහපත් මනුස්සයෙක් විදියට ආපු එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. දැන් සමාජයට වැඩ දායක යමක් කරගෙන ඉන්න එක වටිනවා. ඒත් තමන්ගෙ දරුවො ලග නැති එක නම් ඔහුට මහත් වේදනාවක්. මට ඉක්මනින් කසාදයක් බැද ගන්න කියලා දැඩිව අවවාද කලා.

      Delete
  8. පට්ට කතාවක් මචෝ ....//බණ්ඩාරවෙල ටවුන් එකේ බේකරියක් ලග මම දැන් කැරකෙනවා// ෂුවර් එකටම "සිංහගිරිය" වෙන්න ඇති ..හැක් හැක්

    සතුට සෝකේ ජයපරාදේ
    අපටමයි මේ ලෝකයේ
    එයට පිටුපා මෙලොව මිනිසා
    කිසි තැනකදී නෑ ගියේ

    අතට ආ ඒ රන්කුරුල්ලා
    අතැර දැම්මේ ඇයි එදා
    සිතට එකඟව සිතා බලනූ
    දැනෙයි සෝකේ මුල මෙදා
    සෝචනීයයි ජීවිතේ
    එනතුරා සැප මාවතේ

    බොන්න ගත් ඒ රිදී බඳුනේ
    දිය සිඳී වියළී ගියා
    දරුණු දෛවේ කාරුණික නෑ
    බොහෝවිට නොම දේ දයා
    සෝචනීයයි ජීවිතේ
    එනතුරා සැප මාවතේ


    ගායනය - ලතා වල්පොල
    ගී පද රචනය - කරුණාරත්න අබේසේකර
    සංගීතය - එම්.කේ.රොක්සාමි
    චිත්‍රපටය - ධීවරයෝ

    ReplyDelete
    Replies
    1. සිංහගිරි වගේ නමක් තමයි කිව්වෙ. මට ඒ නම හරියටම මතක නැති නිසා ලිව්වෙ නැත්තෙ. මේ ගීතය බොට අමතක උනාද ?

      සංසාරේ භවේ දුකා...සිරි සෑසි දෙසූ ලෙසේ...
      දුක සැප දෙක නිති පෙරලේ රිය සක ලෙස ලෝ කුහරේ..

      අද මාවත යන දුගියා... හෙට ලොව අග රජ වෙනවා...
      කළ කර්මය පල දෙනවා...රජු මවත බැස යනවා..

      නව ද්වාරයෙනි ගලනා වු ඕජස්... මේ කුණු සිරුරා...
      මහ පොලවට පස් වෙනවා...සේ ඊර්ෂ්‍යා මාන ලොවේ...

      ගායනය - කේ . මයිකල් පීරිස්

      Delete
  9. ජීවිත කාලෙදි කෙනෙකුට වෙන්න පුලුවන් දේවලින් සෑහෙන තරමකට මූණ දීලා.තවත් මේවගේ ජීවිත කොච්චර ඇද්ද :O

    ReplyDelete
    Replies
    1. ජීවිතය යනු කිමෙක්දැයි කිසිවෙකුට නියම අර්ථකථනයක් දෙන්නට හැකි වේද ?

      Delete
  10. සැප දුක එක්ක කැලතුණ ජීවිත වලින් සමහරක් මේ වගේ හරි අරුම විදියට අනික් අයගෙ හිත් හොල්ලනව. කොටස් දෙකම කියෙව්ව. හරි අපූරු මනුස්සයෙක් ගැන අපූරු කතාවක්...
    මේක කෙටි කතාවක් විදියට ලිව්ව නං හොඳයි කියල හිතුණෙ නැද්ද සිරා අයියෙ

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම ඔහු අපූරු මිනිහෙක්. කථා කරනකොට කම්මැලි නැතුව අහගෙන ඉන්න පුලුවන්. ඒ වගේම තමන්ගෙ වටේට ඉන්න අය නිතරම හිනා ගස්සන එක ඔහුගෙ සිරිතක්. ඒ අතින් බැලුවාම සුන්දර මිනිහෙක්. දුක හංගගෙන හිනා වෙන්න වෙර දරණ මිනිහෙක් කිව්වත් නිවැරදියි. කෙටි කථාවක් විදියට ලියන්න ගියා නම් මේක පල කරන්න තව කල් යනවා. මට උවමනා උනේ මට දැනුන කම්පනය එක්ක ඉක්මනින් ඒ කථාව අකුරු කරන්න.

      Delete
  11. සිරා මේ කතාව බංඩාරට පෙන්නුවොත් ඔහු.බොහොම සතුටු වෙයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මයෙ මලයා මාර්ගයෙන් ඔහුට පෙන්වන්න තමයි හිතාන ඉන්නෙ. නිසැකවම ඔහු සතුටුවේවි. කථාව පටිගත කරන අවස්ථාවේදීත් මම ඔහුට සැල කලා මේ කථාව අකුරු කරන වග.

      Delete
  12. බණ්ඩාර ජිවිතේ ගහපු රවුම පුදුමාකාරයි.තවත් විදියකින් එක පුදුම වෙන්න දෙයකුත් නෙමේ.කොයි තරම් දෙනෙක් ඉන්නවාද මේ අවට සමාජයේ ඔය විදියේ රවුම් ගහපු.

    ReplyDelete
    Replies
    1. අපේ ජීවිත අවිනිශ්චිතයි. කාටවත් වගකීමක් දෙන්න බෑ නොවැ හෙට කුමක් වෙයිද කියලා...

      Delete
  13. කාටවත්,කිසිදේකට අඩංගු නැතිව ජීවිතයක් ගෙවලා ඔයාකාරව ඉන්න නම් මිනිහා සෑහෙන පින් කාරයෙක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. දුක සැප දෙක නිති පෙරලේ රිය සක ලෙස ලෝ කුහරේ කියලනෙ කියන්නෙ. බණ්ඩාරගෙ දුක්ඛ දායක සමය දැන් අහවර වෙලා වෙන්නත් පුලුවන්. බොටත් ජයම වේවා ලබ්බො !

      Delete
  14. එක හුස්මට කියෙව්ව.. සුපිරි කථාවක් සිරා.. ස්තුතී අපිට කිව්වට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාගේ සුන්දර සහෝදරයා...

      Delete
  15. හොරෙක්, මිනීමරුවෙක්, හාමුදුරුකෙනෙක්, චණ්ඩියෙක්, පිඟක් හෝදන්නෙක්, කෝකියෙක්, සටන් ශූරයෙක්... එකම පුද්ගලයා

    ReplyDelete
    Replies
    1. //හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්// කියල ඩෑල් එකකුත් ඉන්නෙ බ්ලොග් ලියන. හැක්..

      Delete
    2. හෙන්රි අයියගෙ චින්තන පරාසය බොහොම ඉහළයි...එක චරිතයක්..ස්වරූප රාශියක් එහෙම නේද...

      ඔය මංපහරන්නෙක් කියලා බෝඩ් ලෑළි ගහගෙන ඉන්න එකා තමයි බ්ලොග් ලියන උන් අතර මම දැක්ක සක්කිලිම මිනිහා...මතක් කලත් මට නම් අප්පිරියයි.

      Delete
  16. මේ ඉන්නේ ජිවිතේ කියන විශ්වවිද්‍යාලෙ PHD ගහපු මිනිස්සු!

    ReplyDelete
    Replies
    1. හරිනෙ බං. පොර ඒක තමයි කලේ. පිඟන් හෝදන ඩිප්ලෝමා. PHD

      Delete
    2. ඇත්ත වශයෙන්ම නාඩියො...මේ දැනුම කිසිම සරසවියකින් ගන්න පුලුවන් කියලද..

      හෙන්රි අයියා සමහර දේ ගැන හිතන අමුතු විදියට මම බොහොම මනාපයි. බොහෝ තැන් වලදි ඔබ වෙනස් ආකාරයකට සිතන අයුරු මා දැක තිබෙනවා.

      Delete
  17. ඇත්තටම මචං බොක්කටම වදින කතාවක්..... මිනිස්සු ජීවිතය ජය ගන්නව කියන්නෙ ඕකට තමයි මචං....

    අපි අපේ ජීවිතේ යම් තැනකට යද්දි, අපිට නැති වෙන දේවල් ගොඩායි.... ඒ ගැන ගොඩාක් දුකයි.....

    ReplyDelete
    Replies
    1. පොළොවෙ පය ගහලා ජීවත් වෙන චරිත ගැන ලියන්න මම බොහොම මනාපයි. එහෙම චරිත ඇතුලෙ පුහු ආටෝප නෑ...හැම සිදුවීමක්ම යථාර්තවාදියි.

      Delete
  18. චීනෙක්? පින්තුරෙ ඉන්න මනුස්සයා කට්ට කළුයිනෙ

    ReplyDelete
    Replies
    1. පින්තූරය අරගත්තෙ ඉර එළිය කැමරාවට වැටෙන විදියට...ඒකයි කලුවට පේන්නෙ. නැත්තං ඔහු බොහොම පැහැපත් කෙනෙක්.

      Delete
  19. හුඟක් සංවේදීව දැනුනා...

    ReplyDelete
    Replies
    1. ඔබ කියන සංවේදීභාවය මටත් දැනුන නිසා තමයි ඉක්මනින් මේ කථාව මෙතැන අකුරු කලේ.

      Delete
  20. සිරා.. මම මෙතෙක් මගේ ජීවිතේ ලබපු අත්දැකීම් සහ කියවලා තියන අහලා තියන දේවලුත් එක්ක හිතන දෙයක් තමයි එක් දරුවෙක් හරියට හදන්න වත් වෙලාවක් නැතුව දරුවන් ගොඩක් හදා ගන්න එකින් ප්‍රශ්න කාලාන්තරයක් තිස්සේ වැඩි වෙමින්, අමුතුම ආකාරයේ ප්‍රශ්නත් බිහි වෙනවා කියන එක.

    මට ඉන්නේ එක පුතයි, ඒ පුතාට යාන්තමින් අවුරුදු 2 ක් පිරෙද්දි ගොඩක් අය අහන්න ගත්තේ තව දරුවෙක් හදන්න කාලේ හරි නේද ? ගෑනු ළමයෙකුත් ඕනෙ නේද ? එක ළමයෙක් හිටියම පස්සේ පාලුයි, ළමයා ආත්මාර්ථකාමි වෙනවා...ඔන්න ඔය වගේ දේවල්...

    එහෙම අහන හැමෝටම මම ( මගේ සැමියා උත්තර දෙන්න යන කෙනෙක් නෙමේ මේ වගේ ඒවට ඇහුනත් ) කිව්වේ "නැ, මම දැනට හදන්නෙත් අපිට හරියට හදන්න පුලුවන්කම තියෙන්නෙත් එක දරුවයි... ඒ ගැන හොඳාකාර දැනගෙන ඔය වගේ හේතු වලට දරුවෝ දෙන්නෙක් අමාරුවේ දාන්න මම කැමති නැ.. මට ඕන මේ ඉන්න දරුවා කරුණාවන්ත ආදරණීය සමාජයට වැඩක් ඇති දරුවෙක් කරන්න.. ඊට පස්සේ වෙලාව ඇති කියලා හිතුනොත් මම ඒ ගැන තිරණය කරන්නම්. නැතිනම් ඒ දරුවො දෙන්නම හරියට හදා ගන්න ඔයාලත් අපේ ගෙදර නතර වෙලා උදව් කරන්න කියලා "

    දැන් මගෙන් ඒ ප්‍රශ්න කවුරුත් අහන්න එන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ඔබේ දීර්ඝ අදහස දැක්කම මට හිතෙනවා මේ ලිපිය ඔබ යම් තරමකට කම්පනයට ලක් කොට ඇති බවක්. මම දැන් තුන්වෙනි දශකයෙ මැද භාගයට කිට්ටු කරපු අවිවාහකයෙක්. ඇයි බදින්නෙ නැත්තෙ, කෙනෙක් හොයා දෙන්නද, තව වයසට යන්න එපා, ළමයි ලැබෙනකොට ඔයා වයසයි...මේ වගේ දේවල් මට හැම වෙලේම අහන්න ලැබෙනවා. නමුත් මම ඒ හැමදේම සිනහවකින් බාර අරගෙන සද්ද නැතුව ඉන්නවා. ලංකාවෙ මිනිස්සු අනිත් කෙනාගෙ පෞද්ගලිකත්වයට ඇගිලි ගහන්න හරිම සූරයි. මම ලංකාවෙ හිටිය නැති කාලෙ ඒ රටවල කිසිම කෙනෙක් අනවශ්‍ය විදියට අපේ පුද්ගලිකත්වයට ඇගිලි ගහන්න ආවෙ නෑ. බදිනකං අහනවා බැන්දෙ නැද්ද කියලා...බැන්දම අහනවා ළමයි නැද්ද කියලා...ළමයි ඉන්නකොට අහනවා දෙවැනියට කාලෙ හරි නේද කියලා..දෙවැනියත් ලැබුනම අහනවා ඉස්කෝලෙ යනවද පන්තියෙ කී වෙනියද කියලා...

      ඔබේ දරුවා යහපත් පුරවැසියෙකු ලෙස සමාජගත කරන්නට ඔබ දෙපලට හැකි නම් එය තමයි විය යුත්තෙ. අන් අයගේ විවේචන කනකට ගන්න එපා.

      Delete
    2. ඇත්තටම සිරා.. මේ ලිපිය විතරක් නෙමේ. මේ වගේ ජිවිත කතා තියන හැම ලිපියක්ම මාව සෑහෙන්න කම්පනය කරන නිසාම සමහර වෙලාවට සම්පුර්ණයෙන් කියවන්නේ නැතුව හරි අදහස් නොකියා හරි යනවා.. නැත්නම් මුලු දවස පුරාම මං ඒ ගැන හිතන නිසා..ස්වයංවාරණයක් මං මටම පනවගෙන ඉන්න ගත්තෙ ගොඩක් පොඩි කාලෙ ඉඳලා...

      අපිට මේ දේවල් කියවලා මේ තරන් කම්පනයක් දැනෙනව නම් ඒ පුද්ගලයට මතක් වෙද්දි කොහොම දැනෙවා ඇති ද.. මට තවත් අපහසුම තැනක් තමයි අපිට උදව් කරන්න පුලුවන් හරිම සීමා සහිතව කියලා තේරෙන් එක.. කොයි තරන් අපි උදව් කලත් සමහර වෙලාවට ඒ පුද්ගලයාගෙ අතේ තියෙන්නේ විඳවනවද ගොඩඩ එනවද කියන දේ...
      ඔබ කිව්ව වගේ නිහඬව හිනා වෙලා ඉන්න එක ගොඩක් වෙලාවට හොඳයි තමයි, මොකද මම ඒ දේ කිව්වට පස්සේ ගොඩක් අය හොයන්න ගත්තා මගේ පුතාගේ වැරදි අඩුපාඩු :) ඒත් ඇත්තටම අපි ගොඩක් ලඟින් එයත් එක්ක නිතරම ඉන්න වෙලාව හදා ගත්ත නිසා අනිත් වැඩ අඩු කරලා පුතාගේ අඩු පාඩු අඩුයි..ඒ නිසා වෙන්න ඇති දැන් අපෙන් එහෙම අහන්නේ නැත්තේ..

      මට ඔබ මුහුණ දෙන සිදුවීම හොඳින් තේරුන් ගන්න පුලුවන්, මගේ මල්ලිත් දැන් පහු කරන්නේ එවැනි කාලයක් නිසා.. එයා වැඩියෙන් ලඟ මට නිසා අම්මත් මට කියන්නේ ඔය වගේ ප්‍රශ්න මාලාවක් එයාගෙන් අහලා දැන ගන්න කියලා.. හැමෝගෙම ජීවිත එකම රාමුවකට යන්න ඕන කියලනේ ගොඩක් වෙලාවට හිතන්නේ...

      Delete
    3. බණ්ඩාර තමන්ගෙ පුතාගෙ මතකය අවදි වෙන හැම විටම හරිම සංවේදියි. මේත් තාත්තා කෙනෙක් නේද කියලා හිතෙනකොට ඒ වේදනාව අපවත් සංවේදී කරනවා.

      Delete
  21. උඹේ බ්ලොගේ මාතලන්ගෙ සින්ඩියේ නැද්ද? මම හිතන්නෙ මට නිතරම උඹේ ලිපි මිස්වෙන්නෙ ඒක හින්දා. ඒකට දැම්මා නම් හරි.

    ReplyDelete
    Replies
    1. මාතලන් කියන ඔලුව ඉදිමුන මෝඩ මිනිහා සහ මා අතර එක්තරා ලිපියක් අරභයා ඇති වූ සංවාදයකින් පස්සෙ ඔහු විසින්ම මගේ අඩවිය එයින් ඉවත් කලා. දැන් අප අතර කිසිම ගණුදෙනුවක් නෑ.

      Delete
  22. හ්ම්ම්... මේකත් එක හුස්මට කියෙව්වා. හැමෝගෙම ජීවිත කියන්නෙ ලස්ස්න කතන්දරයක්. ඒත් නැවතිලා අහන්න තරම් අපිට ඉස්පාසුවක් නැති එකයි....

    ReplyDelete
    Replies
    1. ඇත්ත. අපි හැමෝම මුදල් හොයන තරගෙක හැති වැටි වැටි දුවනවා.

      Delete
  23. මිනිස්සුන්ගෙ ජීවිත කොයි කොයි අතට පෙරලෙනවද... අද රජ වෙලා ඉඳල හෙට පාරට වැටෙන්නත් පුලුවනි. අද පාරෙ ඉඳල හෙට මාලිගාවකට එන්නත් පුලුවනි. බණ්ඩාරෙ... එක හුස්මට කියෙව්ව සිරා අයියෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නගා...මගේ හිතට සංවේදීව දැනෙන ඕනෙම කථාවක්...පිළුනු වෙන්න කලියෙන් කාමරේට අරගෙන එන එක තමයි මගේ සිරිත.

      Delete
  24. මම හිතුවෙ ඔයාගෙ කතාව කියල. පස්සෙයි තේරුනේ.

    ReplyDelete
    Replies
    1. මෙච්චර දිග කථාවක් මගේ වෙන්න තරම් දුරක් ජීවන ගමනේ මම ගිහින් නෑ තවම.

      Delete
  25. ලියුං කියුං ටික අපූරුයි සංජීව. සයිබර් අවකාශයේදී සියනෑ කෝරලේ එකෙක් හමුවීමත් සතුටක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍ර‍යා...

      Delete
  26. Replies
    1. සිරා ඉන්නවා...මේ දිනවල ටිකක් කාර්ය බහුලයි.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...