Friday, April 11, 2014

70 රොබිනාගේ බලු කථාව

බල්ලා හෙවත් සුනඛ තෙමේ යනු මිනිසාගේ ලගම මිත්තරයාය. බල්ලා කියා නින්දා සහගත නමක් මේ වර්ගයට පට බැද තිබුනද සත්‍ය ලෙසම මොවුන් ඉතා හොද ගති ගුණ ඇති පිරිසකි. බොරුව වංචාව දන්නේවත් නැත. එහෙත් ඉද හිට හොරකෑමට සිතක් පහල වුවත් ස්වාමියා කෙරේ දක්වන්නේ පරම පවිත්‍ර අකලංක ආදරයකි. ලක්ෂ ගනන් වියදම් කර, දහ අතේ ණය වී,  මගුල් කා ගෙදර ගෙනා ගෑණු පරාණයවත් මෙවැනි අවංක ආදරයක් තම ස්වාමියාට විටෙක පිරි නමන්නේ නැත. එහෙත් කකුල් හතරේ බලු යාලුවන් එසේ නැත. කන්න දුන්නත් නැතත් නගුට වනමින් තම ආදරය සහ සුහදතාව ප්‍රකාශ කරන්නේ ජන්මයට වඩා පුරුද්ද ලොකුයි කියන්නාක් මෙනි.



කුඩා කාලයේදී මේ වර්ගය බලු කුක්කා හෝ බලු පැටියා ලෙස හදුන්වයි. පුලුන් බෝලයක් වැනිව අම්මාගේ කුක්කු බී ඉතාම අලංකාර ශරීර සෝභාවකින් පසුවන බලු කුක්කෙකු වෙත සෙනෙහසක් සිතේ උපදින්නේ නැති කෙනෙකු වේ නම් ඒකාගේ පපුවේ තෙතමනය අඩියටම හිදිලාය. මේ අය කුඩා කාලයේදී ඒ තරමටම හුරතල් පාටය. ගෙදර ගෙනියන්නම සිතෙයි. මිනිසාගේ මේ සිතුවිල්ල නිසාම බලු පොඩ්ඩෝ බලු මව්කිරි බොන්නේ කෙටි කාලයකි. කාගේ හෝ නිවෙසක ස්ථිර පදිංචිකරුවකු වන්නට පොඩි එකා සන්ධියේම චෑන්ස් එක ලැබීම එයට හේතුවයි. එතැන් සිට ගොන් කිරි බී බලු මිතුරෝ වැඩෙති.

සිරා කොලුවා කුඩා කාලයේ අප නිවසේ බල්ලන් සිටියේ නැත. එහෙත් මගේ පියා ගැටවරයා කාලයේ නිවසේ ඇති දැඩි උන මාරයකු බදු (බ්ලොග් ලියන මාරයා නොවේය) ටාසන් නම් බල්ලෙකු ගැන නිතර පැවසුවේය. ඒකා බළල්ලු දඩයමට රුසියකු බවද තාත්තා එකල කිව්වා මට මතකය. නිවෙසට පැමිණෙන කෙනෙකු ඈතින් නතර වී ගෙදර ඇත්තෙකුට කථා කර මිස කිසිදිනෙක නිවසට පැමිණ නැත්තේ ටාසන්ගේ කීර්තිනාමය ගම පුරා පැතිර තිබූ නිසා වන්නට ඇත.

කෙසේ හෝ සිරා කොලුවා සහ ඒකාගේ මල්ලි කොල්ලාගේ බලු සුරතල් බැලීමේ පරම පවිත්‍ර ආශාවත්, ඒ පිළිබද නිතර දෙවේලේ කංකෙදිරි ගෑමත් තාත්තාට මහත් කන් කරච්චලයක් ඌ තැන අප නිවසට බලු යාලුවෙක් ගෙන ඒමට එතුමා එකග වූවේය. ඒ අප මෑණියන්ගේ විරෝධතාවද නොතකාය.

අපගේ ඉල්ලීම අනුව අප නිවසට සැපත් වූයේ තනිකරම දුඹුරු පැහැයෙන් යුතු ජාතියක් ජම්මයක්, උප්පැන්නයක් හෝ මව, පියාගේ විස්තර කිසිවක් නැති කුක්කෙකි. ඒකා ඒ අවස්ථාව වන විටත් කුඩා එකෙකු බව හොදින් මතකය. අලුත් කුක්කා අප නිවසේ අලුත් සාමාජියකු බවට භෞතීස්මය ලැබීමෙන් පසුව අපේ අම්මාගේද පුද සත්කාර මේකාට ලැබිනි. ඒ දවස් වල ඒකා දවස මුලුල්ලේ බත් මාළුවෙන් තොරව ගොන් කිරෙන් යැපුනි. අල්ලපු ගෙදර ජෑස් කොල්ලා පින්තකා ලබා දුන් එළකිරි වල පිහිටෙන් කුක්කා කෙටි කාලයකින්ම පෘෂ්ටිමත්ව නැගී සිටියේ දඩබ්බර ගතිගුණ ප්‍රකට කරවමිනි.

මුල්ම දින වල රාත්තිරියේ නිවසේ සියලුම විදුලි පහන් නිවා දමා නින්දට යන විට නිවසට පිටතින් සිටින කුක්කා භියට පත් වී හඩයි...එවිට උගේ නිළ භාරකරුවන් වන මමත් මලයාත් ඇතුලුව අපේ කුටුම්භයේ කිසිවෙකුට නිදි නැතිය. කුක්කාගේ කට කුඩා වුවත් එයින් උත්පාදනය වන ශබ්දය ඉතා විශාලය. මට හිතෙන ලෙසට ඩෙසිබල් වලින්ම බර ගානකි.

එයට විසදුමක් ලෙස පොලේ ගෙන යන්නට භාවිතා කල එළවළු මල්ලක් සුව පහසු ලෙස සකසා ඒ තුල කුක්කා රදවා නිවසේ මුළුතැන්ගෙහි තැබීම ඵලදායී විය. එහෙත් අතරින් පතර දිනක කුක්කාගේ චූ කුරුල්ලා හදිසියේ නින්දෙනේ අවදි වී කුස්සියේ බිම දිගේ ගලායන ලෙස පිටකරන වැඩිපුර ජලය දුටු වනම පරල වන අම්මාගේ කන්කළු හඩ ඒ කාලයේ අප උදෑසන අවදි කල එළාමය විය.

කුක්කා කුඩා නිසා නමක අවශ්‍යතාව මුලින් මතු නොවුනි. එහෙත් ජෑස් කොල්ලාගේ පින් කිරි බී මේකා වැඩෙන්නේ පුදුම වේගයකිනි. ඒ හේතුවෙන් පැටියාට නම් තැබීමේ කාලය පැමිණ ඇතැයි තීරණය කල උගේ සම භාරකරුවන් වන මමත් මලයාත් ගැලපෙන නමක් නොමැතිව සෑහෙන වාර ගනනක් එහෙට්ට මෙහෙට්ට දෝලනය වුවද අවසානයේ ගැලපෙන නමක් සැට් විය.

රොබින්......අපේ බලු පැටියා වෙත අප දායාද කල නාමයයි. ඒ දින වල රූපවාහිනියේ විකාශය වූ රොබින් හුඩ් කථා මාලාව මේ නම යෙදීම සදහා අපට සෘජුව බලපෑවේය. අපේ කුක්කා රොබින් හුඩ් වැනි වීරයෙකු වනු දැකීම අපගේ අපේක්ෂාව විය.

කල් යත්ම රොබින්, රොබිනා ලෙස උච්චාරණයට පහසු පරිදි වෙනස් විය. මේකා කූඩුවක් තුල ඇති දැඩි වූයේ නැත. කොහේ හෝ මුල්ලක දවස පුරාම කම්මැලි කමට නිදියන කාරිය නම් යස අගේට කලේය. එහෙත් අප භූමි සීමාවෙන් පිටතට ගියේ නැත.

ඒ දිනවල අපේ වයසේ කොලු කුරුට්ටෝ පන්දු සෙල්ලමේ යෙදුනේ අප නිවසට ආසන්න තැනකය. ඒ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනෙකු වූ මමත් මලයාත් බොහෝ විට මේ අය සමග පන්දු කෙලියෙහි යෙදුනෙමු. සමහර විටෙක අපෙන් බැට කා ඉවත දුවන පන්දුව බඩවැටියක් අස්සේ සැගවී යයි..කෙතරම් උත්සාහ කලත් නැවත සොයා ගැනීම උගහටය.

එවන් විටක මගේ මලයා....අපි රොබිනා දාලා හොයමුද ?

ඒ කොහොමද ? එවන් විටෙක මම අසමි.

අපි ඌට බෝලයක් ඉව කරවලා හොයන්න කියමු.

රූපවාහිනියේ වීර කථා වල සිටිනා ආකාරයේ වීර බල්ලෙකි අපේ රොබිනා. අපේ සිත් එසේ කියයි. ඒ නිසා අපේ නැති වූ බෝලය මේකා සොයා දෙනවා ඒකාන්තය.

ඉන් පසුව මලයා නිදි වැදී ඇති තැනකින් ඒකා සොයාගෙන විත්  දම්වැලක ගැට ගසා පන්දුව නැති වූ පෙදෙසට රැගෙන එයි. තවත් බෝලයක් හෝ රබර් සෙරෙප්පුවක් උගේ නහයට ලං කල විට හොදින් ඒ දේ ඉව කර අප යන යන තැන ඒකාද පැමිණෙයි...නමුත් සොයන බෝලයක් නැත.

ඇතැම් විටෙක මේ අර්ථ විරහිත කාරිය දෙස කෝචොක් බැල්මක් දමා සිටිනා ජෑස් කොල්ලා

කොලුවො බල්ලා බෝලෙ හොයලා දෙයි...ඒකෙ ගූ ටිකක් ගෑවිලා තිබුනා නම්...යනුවෙන් මහා හඩින් පවසා අසික්කිත සිනහවක් නගයි. ඒ සිනා හඩින් ප්‍රකෝප වන මලයා රොබිනා ලිහා දමා පන්දු තැලීමේ කාරියෙන්ද සමුගැනීම සිරිතයි.

දිනක් රාත්තිරියේ හතට පමණ අප මිදුල දෙසින් බල්ලෙකු බුරන හඩ ඇසුනෙන් දෙමාපියෝ සමග අප දෙදෙනාද ඒ කිමෙක්දැයි බැලීමට එහි ගියෙමු. අපේ රොබිනා තරුණ බල්ලෙකු බවට පත්වන්නට ඇත්තේ එදාය. ඒ දිනය වන තෙක් බිරුම් ශබ්දයක් පිට නොකොට සිටි නිසාම අප සිතා සිටියේ රොබිනා යනු බුරන හැටි නොදන්නා බල්ලෙකු කියාය. උගේ අභිමංගල බිරුම් හඩ ඇසූ ඒ රාත්තිරිය මටත් මලයාටත් සතුටු දායක එකක්ම වූයේය.

ටික් ටික් හඩින් කාලය ගලා ගියේය. කුඩා රොබිනා බිදෙන් බිද ලොකු මහත් වී තරුණ ජවය ඇති කදිම පෙනුම ඇති බල්ලෙකු විය. එහෙත් මේකාගෙන් අප බලාපොරොත්තු වූ වීරකම් කිසිවක් ඌ සතුව තිබුනේ නැත. නන්නාදුනන පිටස්තර අයෙකු හදිසියේ හෝ නිවෙසට පැමිණියේ නම් මිදුලේ පසෙක නිදා සිටින රොබිනා නිවැසියකු වෙත දක්වන තරමේ සෙනෙහසක් ඒ ආගන්තුක චරිතයටද පුද දෙයි. නැට්ට කිසි කිසි හඩින් දෙපසට වැනෙයි.

ආ තැනැත්තා ගිය පසුව......මේකා මහ ගොන් බල්ලෙක්...මේකව කවලා පොවලා නාවලා හැදුවට වඩා හොදයි හරක් පැටියෙක් හැදුවා නම්...ගෙදරට හොරු පැන්නොත් මේකා උන්ටත් නැට්ට වනයි....යනුවෙන් මගේ මෑණියන් නිතරම වාගේ පැවසුවාය.

ඇතැම් විටෙක අහල පහල නිවෙස් වල ඇති දැඩි වන බල්ලන් එක රොත්තට බුරයි. එහෙත් නිදි සුව විදින රොබිනාගේ ප්‍රතිචාරය කන් ඔසවා බලා නැවත නිදා ගැනීමයි. ලෝකය අනිත් පැත්තට කැරකුණත් ඒකාට වගේ ගනනක් නැත.

තවත් මද  කාලයක් ගිය පසුව රොබිනාට වැළදුනේ අමුතුම රෝගයකි. ඒකාට රෙදි පෙන්නන්නට බැරි විය. කලිසම් කමිස ආදී ඇදුම් පවා ඌට හසුවුනොත් යලි අදිනවා බොරුය. කොහෝ හෝ මුල්ලකට වී ඒකාට හසුවන ඇදුම් ඉරා දැමීම රොබිනාගේ නවතම ඇබ්බැහිය විය.

දිනක් උදෑසන අමු තිත්ත කුණුහරුප කියමින් ජෑස් කොල්ලා කාටදෝ බනින්නේය. ඒ කාටදැයි එකවර පැහැදිලි නැතත් තවත් මොහොතක් ඇවෑමෙන් කාරණය පැහැදිලි විය.

අන්න අපේ බල්ලා ජයසේකර අයියගෙත් කලිසම් වගයක් කාලා...අම්මා තාත්තාට පැවසුවාය. එය අසා තාත්තා කෝපයෙන් යුතුව රොබිනා දෙස බැලුවත් ඒකා සුපුරුදු ලෙස නැට්ට දෙපසට වනා තාත්තා දෙස යටහත් පහත්ව බැලීය.

ලොකු පුතේ උඹලගෙ ගොන් බල්ලගෙ කකුල් හතර කඩනවා මම ආයෙ මේ පැත්තෙ ආවොත්....ජෑස් කොල්ලා කාකි කලිසම් කොට තුනක් මවෙත දක්වමින් බෙරිහන් දෙයි.

ඒ මොකෑ ඒ ? සිරා කොලුවා විමසුවේය.

මේන්න බලහං මේ කුපාඩියා කරලා තියෙන වැඩේ ඊයෙ රෑ....

විදුලි සන්දේශයෙන් විශ්‍රාම ගොස් සිටි ජෑස් කොල්ලා සතුව එහි රාජකාරි කරන සමයේ ලද නිළ ඇදුම් රෙදි වලින් මසන ලද කාකි පැහැති කොට කලිසම් කීපයකි. එයින්  කලිසම් 3 ක් යලි භාවිතයට ගත නොහැකිව ඉවත දමනා තැනට රොබිනා කටයුතු කොට තිබිනි. වැලේ වනා තිබූ කලිසම් කොට මහ රාත්තිරියේ සුලගට බිම වැටෙන්නට ඇත. කලිසම් තුනේම පුක පැත්ත නැත. ඒ තැන් වල ඇත්තේ විශාල සිදුරකි.

මේ සිදුවීමෙන් පසු...හරියන්නෙ නෑ...මෙයාට ගෙදරක ඉන්න තේරෙන්නෙ නෑ...යනුවෙන් රොබිනා මාතෘකා කොට තාත්තා සිය අප්‍රසාදය ප්‍රකාශ කලද අපගේ රොබින් ගුණ වැයීම හමුවේ ඒ කාරණය යට ගියේය. නමුත් ඒ කෙටි කාලයකටය.  ජලය යටට බලහත්කාරයෙන් යැවූ රබර් බෝලයක් නැවතත් ජලය මතුපිටට පැමිණෙන ආකාරයෙන් රොබිනාගේ ජඩ ගති නැවතත් මතු විය.

එදින නම් පාඩුව සිදුවී තිබුනේ අපේ ආච්චී හෙවත් තාත්තාගේ අම්මාටය.

බලපං කොලූ, අලුත්ම චීත්ත රෙද්ද...මේ කාලකන්නියට බත් දෙන්නෙ නෑ වගේ කාලා කීතු කීතු කරලා...ගන්න දෙයක් නෑ යනුවෙන් මහත් විස්සෝපයෙන් යුතුව තාත්තා වෙත උන්දෑ පැමිණිලි කොලාය.

එදා නම් තාත්තා බොහෝ සේ කිපුනේය. නමුත් කිසිදිනෙක රොබිනාට අප කිසිවෙකු හෝ පහර දී හිරිහැර කර නැත.

පුතේ....මෙයාව තව දුරටත් මෙහෙ තියාගන්න බෑ...පේනවනෙ කරන වැඩ...දැන් සිද්ධි දෙකයි...මේ වැඩෙන් අහළ පහල මිනිස්සුත් තරහා වෙනවා...ඒ හින්දා අපි මෙයාව හදාගන්න පුලුවන් කෙනෙක්ට දෙමු.

තාත්තා සමග මමත් මලයාත් එතැන් සිට කොපමණ වාද විවාද කලත් ඒ සියල්ල ගගට කැපූ ඉනි මෙන් විය. අපේ සුරතලා රොබිනා අප නිවසින් සමුගන්නා බව ස්ථිර යයි මගේ සිත මට සන් කලේය.

එක් වැසිබර දිනයක පොල් කඩන ලාල් අයියා අප නිවෙසට සේන්දු වූයේය. කොට කලිසමකින් සැරසී නිතරම උඩුකයට ඇදුමක් නැතුව සිටින ඔහුගේ පුෂ් බයිසිකලයේ හරස් පොල්ලේ ලෙලි වලින් එකට සම්බන්ධ කල පොල් ගෙඩි දෙකක් වරදින්නේ නැත. මේ කියන දිනයේද එවන් ගෙඩි දෙකක් හරස් පොල්ලේ විය.

මහත්තයා කිව්වා බල්ලෙක් ඉන්නවා අරන් යන්න කියලා...ලාල් අයියා තමා ආ කාරණය අම්මා වෙත සැළ කලේය.

අපොයි ඔව්...කියන්න ඇති නේද විස්තරේ...මෙහෙ තියාගත්තොත් අපිට අල්ලපු ගෙවල් වල මිනිස්සු එක්ක රණ්ඩු වෙන්න වෙන්නෙ...

ආ ඒකට කමක් නෑ...අපේ ගේ අහල පහළක ගෙවල් නෑනෙ... ලාල් අයියාට රොබිනාගේ කුපාඩි වැඩ අවුලක් නැති සෙයකි.

කෝ මේ ළමයි දෙන්නා....මේ රොබිනව දම් වැලෙන් බැදලා ලාල් අයියට දෙන්න. අම්මාගේ විධානය අපට ඇසුනත් කුඩා කල සිට ඌ හදාවඩා ගත්, උගේ දුකේ සැපේදී එකට සිටි, ඒකාගේ බඩ ගින්න වෙනුවෙන් අපේ විස්කෝත්තෙන් හෝ පාන් කැබැල්ලෙන් කොටසක් පරිත්‍යාග කල මට හෝ මලයාට ඒ කාරිය කරන්නට දහිරියක් නැත.

මටත් කලියෙන් මලයාගේ ඇසකින් කදුලක් පිට පැන්නේය. ඒ ඇසිල්ලේ මගේ දෙනෙතින්ද රොබිනා වෙනුවෙන් කදුලක් උපන්නේය. අපගේ සහායකින් තොරව රොබිනාගේ දම්වැල සොයාගෙන ඒකා බදින්නට ලාල් අයියා සමත් විය. දම්වැලේ අනෙක් කොටස තම පා පැදියට ගැට ගැසූ කල රොබිනා පා පැදිය සමීපයේ සිටගෙන අප දෙදෙනා දෙස බැලූ අහිංසක බැල්ම මේ සිදුවීම සිදු වී වසර 25 කට පමණ පසු මේ ලියමන ලියන මේ අවස්ථාවෙත් මගේ හදවත අතිශයින් රිදවයි. ඒ බැල්මේ සංවේදීත්වය මගේ ඇට මස් නහර විනිවිද ගිය එකක් නිසාදෝ ඊයේ පෙරේදා වූ සිද්ධියක් ලෙස මනසේ ජීවමාන වෙයි.

අනේ ඔය සතාව හොදට බලාගන්න...වෙලාවට කන්න බොන්න දෙන්න. මේ දෙන්නා නම් කැමතිම නෑ මෙයාව දෙනවට...අම්මා තවදුරටත් ලාල් අයියා සමග පවසා අප දෙදෙනා ඔහුට දැක්වූවාය.

හරි හරි භය වෙන්න එපා...මම හොදට බලාගන්නම්....යනුවෙන් පවසා ලාල් අයියා බයිසිකල් පැඩලය උඩ තම දකුණු කකුල තබා පිටුපස බැලුවේය.

එහෙනං මම ගිහින් එන්නම් යනුවෙන් නැවතත් පවසා පැඩලය මත කකුල බර කරන විටම යං පුතා... යනුවෙන් රොබිනා වෙත ඉගියක් කරන්නටද හෙතෙම අමතක නොකලේය.

බයිසිකලය සමග පෙරට යන්නට අදි මදි කල රොබිනා තෙත බරිතව තිබූ මිදුලේ කකුල් දෙකෙන් අඩියක් දෙකක් රූටා ගොස් පසුව සෙමෙන් ඉදිරියට ඇදෙනා බයිසිකලය සමග ඉදිරියට දිව ගියේ අප දෙදෙනා දෙස අවසන් බැල්මද යොමු කරමිනි. ඒ සමගින් මෙතෙක් හිරකරගෙන සිටි ප්‍රියයන්ගෙන් වෙන් වීමේ වේදනාව මගේ මලයාගේ මුවෙන් මහා හඩින් පිටවෙද්දී මමද එයට අත්වැල් ඇල්ලුවෙමි.

රොබිනාගේ අවසන් මතක සටහන ලෙස මිදුලේ වූ අඩි සලකුණක් කොටු හැඩයට පිහියෙන් කපා නිවෙස තුල තබන්නට කුඩා මා හට එකල සිත් වූයේ මේ සත්වයා හා අප අතර තිබූ දැඩි බැදීම නිසා වන්නට ඇත. තාත්තා සමග වචනයකුදු දෙඩීමෙන් වැලකී...ආහාර ගැනීමෙන්ද වැලකී දිනක් දෙකක් ගත කරන්නට තරම් අප දෙදෙනාගේ කුඩා සිත් දරදඩුව තිබුනි.

කුඩා ළමුන් සහ සුරතල් සතුන් එකට බැදෙන්නේ කදිම මිතුරන් විලසිනි. ළමා චිත්‍රපටි රැසක ඇති කුඩා දරුවන්ගේ හා සුරතල් සතුන්ගේ චරිත ඒ වගට සාක්ෂි සපයනු ඇත.  ඒ අත්දැකිම සිත් සේ විද ඇති නිසාම මා යම් දිනයක පියෙකු ලෙස මෙවන් තීරණයකට එළඹෙන්නට ඉඩක් නැත. ඒ එදිනට මගේ පුත්‍රයා විදිනා වේදනාව ඊට කලියෙන් මා අත්දැක ඇති නිසාය.



මම කාමරේ වෙසෙනා සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

අප නිවසේ මෙයින් පසුද සුනඛයන් ඇති දැඩි විය. ඒ කිසිවෙකුට රොබිනාට මෙන් වාසස්ථානය හැර යාමට සිදුවූයේ නැත. ඒ අය ගැනත් ඉදිරියේ දවසක ලියමි.

සයිබරයේ මහා මංගල්ලය වන සිහින අවුරුදු උළෙලට සහභාගි වන්නට කාලය පැමිණ  තිබේ. බ්ලොග් ලියන කියවන සැමටම විවෘත මේ ඉසව්ව පිළිබද වැඩිදුර විස්තර දකුණු පැත්තේ ඉහළින් එල්ලා ඇති ගැජට්ටුව මත කෙටීමෙන් ඔබට ලබා ගත හැකිය.

70 comments:

  1. අපේ ගෙදර අපි කුඩා කාලේ ඉඳලම බලූ යාළුවො ගොඩක් හිටියා. බොහොමයක් එවුන් ගැන මතකය අදටත් තියනවා. උන් හරියට පවුලේ කෙනෙක් වගේ. දැන් ඉන්නේ බීගල් වර්ගයේ එක්කෙනෙක් ඌ ගැන වෙනම ලිපියක් ලියන්න තරම් දේවල් තියනවා. මේ ලඟදි මගේ යාලුවෙකුගේ රු 4000 ක් පමණ වටිනා සපත්තු දෙකෙන් එකක් එයාගේ ගෙදර සුරතල් බල්ලා කාලා. ආයෙත් ඒ ජාතියෙ සපත්තු දෙකක් අරන්. ඒ දෙකත් බල්ලා කාල. අදනම් මේකා මරනවා කියලා ඇත්තටම හිතනකොට එයාගේ නෝනා කිව්වලු අපි ගෙදර ආරක්ෂාවට තියන CCTV පද්ධතියේ දර්ශන බලමු කියලා. එහෙම බලනකොට තමයි දැකලා තියෙන්නේ රෑ 1.40 ට වැටෙන් පැනලා එන වෙනත් බල්ලෙක් සපත්තු කාලා තියන බව.

    ReplyDelete
    Replies
    1. CCTV නැති උනාට මේ කියන රෙදි ඉරලා දැම්මෙ රොබිනා කියලා අපි හොදටම දැන උන්නා...ඒ ඒකා ඒවා තමා ලගම තියාන උන්න නිසා. සුරතලෙක් ගෙදර ඉද්දි විඩාබර මනසටත් සෑහෙන සහනයක් දැනෙන බව මට වැටහුනේ සුරතලෙක් නැති පරිසරයක දැන් කාලය ගෙවීගෙන යද්දි.

      Delete
  2. අපට නම් ඉතින් පූස් යාළුවො ගැන මිස බලු යාළුවො ගැන අද්දැකීම් නෑ....

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර පූස් යාලුවො තමයි දැන් ඉන්නෙ...ඒ අය ගැන ඉස්සරහා දවසක කියන්නං...

      Delete
  3. අපේ ගෙදරත් මේ වෙනකන්ම හැදුවෙ එකම එක බලු රාල කෙනෙක් විතරයි.හදිස්සියෙම ඌට වෙච්ච දෙයක් නැතුව ගියා.වෙනදට සති ගනන් රවුම් ගහල ගහල ගෙදර එන එකා ආවෙ නැහැ.අපි කොච්චර හෙව්වත් හොයාගන්න බැරි වුණා.ගමේ අයනම් කියන්නෙ කාගෙ හරි පස්සෙන් යන්න ඇත කියල.පව් ඒ සත්තු හරිම අහිංසකයි.ආරක්ෂාව අතින් ගොඩක් වටිනව බල්ලෙක් ගෙදර ඉන්න එක.ඉතින් මේ වෙච්ච දේ නිසා අපි ආයෙත් බලු රාල කෙනක් හැදුවේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරත් ඔය වගේ හිටි ගමන් අතුරුදහන් වෙච්ච කෙනෙක් ඉන්නවා...ඉදිරි බලු කථාවක එයා ගැනත් සදහනක් කරන්නම්...

      Delete
  4. //කොලුවො බල්ලා බෝලෙ හොයලා දෙයි...ඒකෙ ගූ ටිකක් ගෑවිලා තිබුනා නම්...// හිනා කාල මැරෙනව :D
    මරු පෝස්ටුව අයියෙ, එක දිගට කියවන් යන්න පුලුවන් විදිහට ලස්සනට ලියලා තියනවා :)
    බක්මහ උළෙල ගැන දැනුවත් කිරීම ගැන ස්තූතියි :)

    ReplyDelete
    Replies
    1. උඹලා සතුටුදායක වැඩක් කොරද්දි ඒකට හැකි තරමෙන් තල්ලුවක් දෙන එක අපේ යුතුකම...ඒ නිසා ස්තූතිය අනවශ්‍යයි.

      Delete
  5. අපේ ගෙදර සිටියේ එකම එක බල්ලෙක් පමණි....ඒ බල්ලා මේ බල්ලාය.....ඌ අදටත් බල්ලාය....කෙසේ වෙතත් මට බල්ලන් බළලුන් පේන්නට බැරිය...නමුත් පූසන් අවුලක් නැත.....බල්ලන් ඇති කරන්නේ නම් නාවා කවා පොවා බල්ලා බල්ලා ලෙස ඇති කරනවා මිස පුටු සැටියට හෝ ඇඳට නංවා ගත යුතු නැතැයි සිතමි.....බල්ලන් හා සම්බන්ධ මහත් අප්‍රසන්න සිදුවීමකට ඊයේද මුහුණ පාන්නට සිදු විය.....මිතුරු නිවෙසකට වී ආගන්තුක සත්කාර මැද තේ පානයේ යෙදෙද්දී.... ගෙට ගොඩවූ සුරතල් බල්ලාගේ දුර්ගන්ධය නිසාවෙන් ඇතිවූ ඔක්කාරය වලක්වා ගත්තේ මහත් අපහසුවෙනි....තමන් ඇති කරන සතාට නිසි ලෙස සැලකිය නොහැකි නම්....සතුන් ඇති කිරීමෙන් වැලකි සිටීම වඩා යහපත් යැයි සිතමි....

    ReplyDelete
    Replies
    1. මම සාමාන්‍යයෙන් පූසන්ට එතරම් කැමති නෑ..නමුත් අපේ ගෙදර බල්ලො හදන්න බැරි තත්වයකට ආවට පස්සෙ පූසන්ව හදන්න ගත්තා...එතකොට ඉතිං අකමැත්තෙන් හරි උන්ගෙ හුරතල් බලන්න සිද්ධ උනා. මොනවා උනත් මේ සතුන් හරිම අහිංසකයි...පවුලේ කෙනෙකු වගේම ඉන්න නිසා හොදින් රැකබලාගැනීම හදන කෙනාගෙ වගකීම.

      Delete
  6. සිරාගේ පුතාගේ අම්මත් බල්ලන්ට අකමැති වුනොත් මොකද කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. බල්ලන්ට කැමති කෙනෙක් හොයාගන්නයි වෑයම....නරකද මගේ අදහස...

      Delete
  7. අපිටත් බලු අත්දැකීම් නෑ බං, ඉස්සර එකෙක් ඉඳල ලෙඩ වෙලා මැරුණලු.ඊට පස්සෙ බල්ලො හදන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අපිත් පස්සෙ පස්සෙ ආව කරදර නිසා දැන් බල්ලො ඇති කරන්නෙ නෑ.

      Delete
  8. බලුස් ලා යනු හොඳ මතකයක් තියන සතුන්. ෆ්‍රෙඩි සිල්වා ගෙ සිංදුවකුත් තියන්නෙ බල්ලන් ගැන කියවෙන..

    ReplyDelete
    Replies
    1. මමත් කැමතිම සුරතලා බල්ලා තමයි.

      Delete
  9. රොබින්ට යන්න වෙච්චි එකට නං හරි දුකක් ඇතිවුනා.එහෙම හිත අමාරු ඇතිවුනාම සත්තු හදන එකත් එපාවෙනවා සිරා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත...දරුවෙක් වගේ ගෙදර හැදෙන සතා දුක් විදිනවා බලන්න බැරි කමට පස්සෙ කාලෙක බල්ලන් හැදීම සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මා.

      Delete
  10. මමත් මාර බල්ලෙක් දැක්කනේ බන් හැබැහින්ම ..... වටිනාකම රුපියල් වලින්ම ලක්ෂ 30ක් ඉන්නේ ඒ ජාතිය බල්ලෝ 3යි ලු මම දැක්ක මේ බල්ලා අයිති බ්‍රික්ෆිල්ඩ් පන්සලේ ලොකු හාමුදුරුවෝ.... මම දැක්ක ඒ බල්ලා පන්සල් ගිය වෙලාවක ඔබටත් හැකිය සිරෝ දකින්න ....

    ReplyDelete
    Replies
    1. ඈහ් , ලස්ස තිහක් ? :'(
      එතකොට ඉන්නෙ ඒ බල්ලයි, උගේ අම්ම ඩූ, තාත්ත ඩූ විතරද බං ? O.o

      Delete
    2. උඹලගෙ ජාතියෙං ඉන්නෙ උඹ විතරයි නේද මැලේ ??? එකා හින්ද බර ගානක් වෙයි !! ඕ යේස්

      Delete
    3. උගේ අම්ම ඩු තාත්තා ඩු මෙහේ නෑ ගොළු හදවතෝ ඒ හොල්ලෝ කොහෙද වෙන රටක .... ලස්ස තිහක් දීලා අපේ මේ ලොකු සාදු ඔය බලු රජාව මැලේසියාවට ඉම්පෝට් කෙරෙව්වා
      පත්තරයෝ මේ මම වගේ චෝර බල්ලෙක් ගැන නෙවෙයි බන් .... තේරුම් ගනින්කෝ කියලා තියෙන දේ හරියට

      Delete
    4. කවුද දන්නෙ පත්තර මල්ලිටත් බලු නෑ කම් තියෙනවා කියලා නේද මැලේ..උඹට සිංහල තෙරියමාද ? මේ කියලා තියෙන්නෙ පංසලේ බල්ලා ගැන....

      හැබෑට ඊලග වතාවෙ පන්සලට ගියාම ඔය කියන බලු රාළ දිහා විශේෂයෙන් බලන්ට ඕනෙ...ලක්ෂ 30 ක් මේ වගේ සතෙකුට වියදම් කරපු එකේ ලංකාවෙ අසරණ කෙනෙක්ට ගෙයක් හදලා දෙන්න තිබුනා නේද කියලා හිතෙනවා....

      Delete
  11. සිරා,
    ඇත්තටම සංවේදී කතාවක්.. අපේ ගෙදරත් කොල්ලාට වඩා බල්ලාට සැලකිලි හම්බවෙන ස්ථානයක්...
    මුලින්ම හිටියේ වල්ටේශන් (:D) එකක් රෙක්සි කියල... එකගේ ආදරය කොච්චරද කියනවානම් මගේ ලගට කාටවත් කිට්ටු වෙන්න බැරි කාලයක් තිබුන අඩුම ගානේ අම්මාට තාත්තාටවත්.. ඒත් එක්තරා අලුත් අවුරුදට රතිඤ්ඤා වලට බයේ ඒකා යන්න ගියා.. කොච්චර හොයන්න හැදුවත් හම්බ වුනේ නෑ.. (අපේ ගෙදර කව්‍රුවත් අදටත් අලුත් අවුරුදට රතිඤ්ඤා ගෙදරට ගේන්නේ නෑ...)

    ඊට පස්සෙ හිටියා ටාශා කියල තවත් වල්ටේෂන් එකෙක්.. ඒ ඉන්න අතරතුර මට හම්බවුනා ජර්මන් ෂෙපර්ඩ් එකෙක් නම බීවර් (බීවර් කියල දැම්මේ නම ගෙදර තියන ලී පුටුවල කකුල් මේක කන්න ගත්ත නිසා )... අම්මා සහ නංගී ගොඩක් සත්තුනට අාදරය නිසා මට ප්‍රශ්න අවේ නෑ....

    එත් අවුරුදු 6 කට (2005 විතර) පස්සේ බීවර් අපෙන් සමු අරන් ගියා.. ඒ පිලිකාවක් හැදිලා.. බේරගන්න නොකරපු දෙයක් නෑ... මගේ අත් දෙකෙන්ම ගෙදරට ගෙනපු සතා අන්තිමට මගේ අත් දෙක උඩම පන ගියා.නැතිවෙන්න කලින්. මගේ මුන දිහා බලල අතලෙවකාල එහෙන්මම අැස් දෙක පියාගත්ත​.මම එදා තරම් දුක්වුන අඞපු දවසක් අදටත් මතක නෑ..

    මාස ගානක් විතර යනකන් ඒ දුක තූනී වුනේ නෑ... බීවර් මියගිය එකෙන් ටාශාට මරු පහරක් වැදුනා හරියට කෑමක් කෑවේ නෑ.අපි කොච්චර මොනවා දුන්නත් එයාට කන්න ඕනෙ කමක් තිබුනේ නෑ..ඔහේ වැටුන තැනට වෙලා ඉන්න ගත්තා.. අපි වැරදිලා හරි බීවර් කියල කිව්වහම දුවගෙන එන්න ගත්ත ඒ එයාගෙ යාලුවා හොයන්න.. ඊට මාස 3කට විතර පස්සේ උදේක නැගිටල බලන්කොට සාලේ මේසෙ යට ටාශා නින්දෙන්ම එයගේ යාලුවා හොයගෙන ගිහින් තිබුනා.

    ඊට පස්සේ අවුරුදු 2ක් විතර යනකන් අපේ ගෙදර මොනම සතෙක්වත් හැදුවේ නැ..ඔක්කොම හිටියේ අහල පහල සත්තු අැවිල්ලා.. ඒ අම්ම කන්න බොන්න දීල පුරුදු වෙලා..

    ඊට කාලයකට පස්සේ අම්ම ආයෙත් බල්ලෙක්(මේකටත් නම තිබ්බේ ටාෂා කියල) සහ පූසක් හදන්න ගත්ත මම රට ආවට පස්සේ අම්මත් එක්ක ස්කයිප් එකන් කතා කරනකොට ඒකා මේසෙට අත තියල හිටන් ඉන්නවා අම්ම පෙන්නපු වෙලාවල් ඕන තරම් තිබුනා...ලංකාවට යන හැම වෙලාවකම එක පාර මගේ ගාවට අවේ නැතත්.. එක්කො ලගින් යන්න හදද්දී ගොරවන්න පටන් ගත්තත් එක වතාවක් මම නම කියපු ගමන් ලඟට එන විදිහ (නැට්ට නෙමෙයි මුලු ඇඟම වනාගෙන ) .. අම්මා කියන්නේ අපි කොච්චර කන්න දුන්නත් ආදරය කලත් මම එක පාරක් කතා කලහම ඒ ඔක්කොම අමතකයි කියල​.. පූසා සහ බල්ලා දෙන්නාම මියගියා මේ අවුරුද්දේ ඒ වයසටම ගිහින්.. අම්මා දානයකුත් දුන්නා මම දන්න විදිහට​.

    දැන් අයෙත් අහල පහල සත්තු තමයි අපේ ගෙදර මුර කරන්නේ.. ලියුම් බෙදන මනුසයාටවත් ගෙදරට එන්න දෙන්නේ නෑ කියල තමයි අම්මා කියන්නේ...

    අපි 3න් දෙනාම කතාවෙලා ඉන්නේ ගෙදර වැඩ ඉවර කරල ඉවර වෙලාම අලුත් ගෙදරට ගියට පස්සේ හදන සතෙක් හදමු කියල​..

    කතාවක් අහල තියනවාද ගෙදර හදන බල්ලා හැසිරෙන විදිහෙන් ගෙදර මිනිස්සුන්ගේ කල්ක්‍රියාව කියන්න පුලුවන් කියල​..

    “A dog reflects the family life. Whoever saw a frisky dog in a gloomy family, or a sad dog in a happy one? Snarling people have snarling dogs, dangerous people have dangerous ones.”
    ― Arthur Conan Doyle, The Case-Book of Sherlock Holmes

    මෙන්න මේකත් ගොඩක් සංවේදී කතාවක්.
    https://www.youtube.com/watch?feature=player_detailpage&v=DMyI9RFU9pk

    මම
    මයික්..

    ReplyDelete
    Replies
    1. බීවරයගෙ නම දාපු හැටිනම් එල, :)

      Delete
    2. උඹේ හිතේ බල්ලො වෙනුවෙන් වෙන් වෙලා තියෙන ආදරේ තරම මේ දිගු කමෙන්ටුවෙන් අපූරුවට පේනවා මයිික්....ඉතාම සතුටුයි උඹ වගේ සත්තු ගැන සංවේදීව හිතන යාලුවෙක් මගේ මිත්තර ලැයිස්තුවේ සිටීම සම්බන්ධව...මටත් ඔවැනිම් අත්දැකීම් තියෙනවා පසුකාලීනව ඇතිදැඩි වෙච්ච බල්ලො එක්ක...ඒ නිසාම දැන් අපේ ගෙදර බල්ලො හදන්නෙ නෑ...උඹේ ලින්කුවට ස්තූතියි...මම එය නැරඹුවා...මේ වගේ මිනිසුන් ලෝකය මොන තරම් ලස්සන කරනවද කියලා හිතෙනවා...එවැනිම ලින්කුවක් මගේ මූණු පොතෙත් දැම්මා...වෙලාවක් තියෙනවානම් එයත් බලන්න...

      Delete
  12. අපෙත් පොඩි කාලෙනම් ගෙදර බල්ලෙක් හැදුවා. ඒත් ඌ මළාට පස්සෙ මට සත්තු හදන එකම එපා උනා. ගෙදර සතෙක් මළාම නෑදෑයෙක් මැරුන තරම් දුකක්නෙ දැනෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...ඇහැට කදුලක් එනවාම තමයි..ඒ නිසා දැන් බල්ලො හැදීම අපේ ගෙදරත් නවත්තලා තියෙන්නෙ.

      Delete
  13. සිරා .. ඔය ටයිටලේ අයිං කොරලා දාපං my self කියලා ..:D ඕ යේස්

    ReplyDelete
    Replies
    1. මම දන්නෙ නෑනෙ බං උඹටත් බලු ජාන තියෙනවා කියලා...ඊලග බලු කථාවට මම උඹේ නම දාන්නම් ටයිටලේට....

      Delete
  14. ''නිදි වැදීම'' කියන්නේ සංසර්ගයට නේද

    මතකද මාත් බලුපෝස්ට් එකක් ලියුවා

    ReplyDelete
    Replies
    1. හිංහලෙන් නිදිය ගැනීම සහ බුදිය ගැනීම කියලා ක්‍රියා පද දෙකක් තියෙනවා...නිදිය ගන්නවා කියන්නෙ මම වගේ තනිකඩයො මෙට්ටෙ හරි කොට්ටෙ හරි බදාගෙන සාමාන්‍ය පරිදි නිදා ගැනීම.

      බුදිය ගැනීම කියන්නෙ මෙට්ට කොට්ට වෙනුවට බිරින්දෑව බදාගෙන නිදිය ගැනීම....ඒ කියන්නෙ බුදියගැනීම යනු තම සහකරුවා/කාරිය සමග යහන්ගත වීමයි.

      Delete
  15. රොබින් යාළුවා ගැන සිරා අයියා මගේ පෝස්ට් එකකදි කියලා තිබුන නිසා ඉතුරු විස්තර ටිකත් හරිම ඕනෑ කමින් කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නගාගෙ අඩවියේ දාපු ඒ කමෙන්ටුවෙන් තමයි මට මේ කථාවට මාවත විවර උනේ.

      Delete
  16. අපේ බලුතුමාත් අම්මගෙ දැඩි විරෝධතා මැද තාත්තයි මායි නංගියි ගෙනියන සටන නිසාම යන්තම් ඉහගහගෙන ඉන්නවා. එයත් රොබිනා වගේ. නම බොරලුගොඩ.

    ReplyDelete
    Replies
    1. බොරලුගොඩ බල්ලා !

      බොරලුගොඩ සිංහයා කියල කෙනෙකුත් හිටියලු :)

      Delete
    2. බොරලුගොඩ කියලා හාදයෙක් බ්ලොග් කියවන්නත් එනවා නොවැ...මම හිතුවෙ මිනිහාට විහිලුවට මේ නම දාලා කියලා...කාලයකට ඉස්සර රූපවාහිනී කාටූනයකත් ඔය නම සහිත චරිතයක් තිබුනා...

      බොරලුගොඩ සිංහයා කියන්නෙ දිනේෂ් ගුණවර්ධනගෙ පියා පිලිප් ගුණවර්ධන මහතාට.

      Delete
    3. //බොරලුගොඩ කියලා හාදයෙක් බ්ලොග් කියවන්නත් එනවා නොවැ// එහෙම කෙනෙකුත් ඉන්නව ද.. මට මතකයක් නෑ.

      ඒ කාටුන් එක තාම තියනව සිරා. ගිරිපුර ඇත්තෝ.

      Delete
  17. අපේ ගෙදර පූසා! මේ වගේ පොස්ට් එකක් ලියන්න වටින එකෙක්.
    සත්තුන්ට මිනිස්සුන්ට වඩා "මනුස්සකම්" තියනවා බං අයියේ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...උන්ට අපේ හැගීම් හොදින් තේරුම් ගන්න පුලුවන්. අපි කේන්තියෙන් සිටින වෙලාවට ඒ බව උන් හොදට දන්නවා.

      Delete
  18. මම නම් කැමතී පූසන්ට. මොකෝ පූසා මීයොන්ට කැමති නිසා.

    ReplyDelete
    Replies
    1. පූසා එක පාරටම මීයා මරන්නෙ නෑ නේද...හොදට තලලා සෙල්ලං දාලා තමයි මරන්නෙ...ඒකත් එක හේතුවක් වෙන්න ඇති එහේ පූසන්ට කැමති වෙන්න...

      Delete
  19. බල්ලොත් එක්ක බෑ !!!!

    ReplyDelete
    Replies
    1. නන්නාදුනන බල්ලො එක්ක නම් බෑ තමයි...

      Delete
  20. අපෙත් හිටියා බානි කියලා ඇලි බල්ලෙක්. (ඇලි බල්ලෙක් කිව්වෙ, උගෙ නහයයි ඇස් දෙකයි රෝස පාට නිසා. විදුලි එලියකට ඇස් ගිණිකන වැටෙනකොට රෝස පාටට දිළිසෙනවා.) ඌත් ගෙදරට එන හැම මනුස්සයෙක්ටම ආදරේ දක්වනවා. මාර ලෙංගතුයි. මං කිව්වෙ ඌට හතරවෙනි බානි කියලයි. ඒ කියන්නෙ අපේ ගෙදර ඊට කලිනුත් සැරින් සැරේ බානි කියලා බල්ලො තුන් දෙනෙක් හිටියා.

    අනේ ඌ අපේ ගෙවල් ගාව පාරෙ ගියපු ලොරියකට යට වුණා. එවෙලෙ ගෙදර හිටියෙ අම්මයි ගෙදර වැඩ කරපු වඩ්ඩයි මේසන් බාසුයි විතරයි. ඒ තුන් දෙනා බල්ලව මේසන් ගෙ ත්‍රී වීල් එකේ දාගෙන බලු දොස්තර (පශු වෛද්‍ය) ගාවටත් අරං ගියා. ඒත් බේර ගන්න බැරි උනා.

    වඩ්ඩා කියනවා, හැප්පුන වෙලාවෙ අම්මා ඌ ළඟට ගියාම, ‘අනේ අම්මෙ, මට මේ මොකද වුනේ?‘ කියලා අහන්න වගේ අම්මා දිහා බැලුවයි කියලා.

    දැන් අපිත් එක්ක ඉන්නෙ චූටි කුකූ කියන පොඩි බල්ලා විතරයි. ඌත් අවුරුදු 10ක් විතර වයසයි දැනට.

    අපේ තාත්තා නැති වුණාට පස්සෙ, මං අලුතින් හැදුව ගෙයි පදිංචියට ආවා. යන්තම් කාමරේකට විතරක් ජනෙල් පියන් දාගෙන. අපි බඩු අදිද්දි අපිත් එක්ක මහ ගෙදරින් අලුත් ගෙටත්, ආපහුත්, අපිත් එක්ක ගිය මේ කුක්කා, එදා රෑ ඉඳලා මාත් එක්කම අලුත් ගෙදර පදිංචි උනා.

    මාස ගානකට පස්සෙ අම්මා අලුත් ගෙදරට එනකල්ම, අපි දෙන්නා විතරයි අලුත් ගෙදර හිටියෙ. අපේ යාලුවෙක් කියන්නෙ, මේ ගෙදර ආදි වාසියා කුක්කා කියලා.

    බානි මළාට පස්සෙ සතියක් දෙකක් යනකල්ම කුක්කා සැරින් සැරේ බානි හැප්පිච්ච තැනටයි, එයාව වළලපු තැනටයි ගිහින් යාලුවව හොයන එක නැවැත්තුවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බානි කිව්වම මට මතක් වුනේ බානි රේමන්ඩ් මල් ශාලාව බොරැල්ලෙ. මොනවා උනත් හරිම දුක හිතෙන දෙයක් නොවැ වෙලා තියෙන්නෙ. ඔයිට සමාන කථා මටත් තියෙනවා කියන්න..ඉදිරි බලු කථා වල ඒවා ලියන්නම්...

      Delete
  21. ඔය විදිහෙම ගති තිබ්බ අපේ වයිටාට.. අම්ම කියන්නෙ හොරෙක් ආවොත් නගුට වනල කකුල් ලෙව කාල ගෙට ගනියි වයිටා ! කියල හැබැයි ඒ ගති එයාට ආවෙ අම්මගෙන්මයි. අම්ම කවුරු ආවත් හිනාවෙලා කතාකරනකොට බල්ලත් හැදුනෙ ඒ විදිහට.. හිඟන්නෙක් ආවොත් කන්න නොදී අරින සිරිතක් අම්මට තිබ්බෙ නෑ. දවල්ට අපි ඉස්කෝලෙ ගියාම ගෙදර හිටියෙ අම්මයි වයිටයි.. ඉතිං වයිටා කොහොමද සැර එකෙක් වෙන්නෙ ? ඔය ගති බල්ලාට එන්නෙ ගෙදර මිනිස්සුන්ගෙන්.. පව් ඌට බනින එක..
    අපේ නංගිගෙ ගෙදර 2012 යනකොට බව්වෙක් හිටියා.. අපි ඔක්කොම මිනිහා හුරතල් කලා. 2013 යනකොට ඉස්සෙල්ලම ඇහුවෙ කෝ බව්වා කියලා.. (කෝ කොල්ලා කියල නෙවෙයි) අය්යෝ .. එයා අර සතා කාටදෝ දීල. කොහොම ඒක කරන්න හිත හදාගත්තද මන්දා.අපිට ඒ ගෙදර මහ පාළුවක් දැනුනා.

    ReplyDelete
    Replies
    1. ඔය ගති එන්නෙ ගෙදර මිනිස්සුන්ගෙන්...ඒ කථාව නම් සහතික ඇත්ත...කම්මලේ බල්ලා මහ හඩින් යකඩ තලනකොටත් අපූරුවට නිදියගන්නෙ...ඒ උපහැරණයම මදැයි. අපේ ගෙදර දැන් ඉන්නෙ පූස් නාම්බො දෙන්නෙක්....මේ එකෙක්වත් නැතුව මෙහෙ ගෙවන ජීවිතය වෙලාවකට අමිහිරියි

      Delete
  22. බල්ලන්ට තියෙන්නේ හරිම අහිංසක හැඟීම්බර අවංක ඇස්. මමත් පූසන්ට වඩා බල්ලනට කැමතියි. I'm not a cat person. බළල් ගෙඩියෝ හරි ආත්මාර්තකාමියි. උන් පොඩි කාලේ විතරයි හොඳ. බල්ලගේ තියෙන එකම අවුල ඌ කන වෙලාවට තව කෑම ටිකක් දාන්න අත දැම්මොත් ගොරවලා කන්න පනිනවා. අන්න ඒ වෙලාවට වෙලාවට තමයි උගේ මිනිස්ගති මතුවෙන්නේ. අනිත් වෙලාවට උගේ උතුම් බලුගති තියෙනවා තමන්ට වඩා හාම්පුතාට ආදරය කිරීම වගේ.

    ReplyDelete
    Replies
    1. wenda ba ban... man nam ape baluwa kaka innakota uge kate thiyena ekath adala gannawa... mokada mu mas kanna giyama gilagena gilagena yanawa hapanneth nathuwa...

      Delete
    2. ඔබේ කථාවට මම බොක්කෙන්ම එකගයි...මමත් පූසන්ට කැමති නෑ...උන්ගෙ හුරතල් අරවා මේවා පොඩි කාලෙදි විතරයි...ලොකු උනාම හාම්පුතා ඉන්නවද කියලා උන්ට ගානක් නෑ...කන වෙලාවට විතරක් ඇගේ දැවටෙනවා...කෑම දුන්නට පස්සෙ යන්න යනවා...හොරා කන්න සහ ගේ අතුලෙ චූ කරන්න නම් රුසියො...

      සමහර බල්ලො ඉන්නවා කටේ තියන එක ඇද්දත් හාම්පුතාට හානියක් නොකරන...අපේ බලු තඩියෙකුගෙ බෙල්ලෙ තිබුන විශාල තුවාලයක් ඇතුලට කතුරත් සමග පුලුන් බස්සවලා තුවාලය පිරිසිදු කරද්දි ඒකගෙ හොම්බ අල්ලගෙන හිටිය අත අෟ වේදනාව වැඩි කමට හපන්න වගේ තද කරලා ආයෙම බුරුල් කරනවා...දොස්තර කිව්වා මේ සතා නම් පුදුමාකාර සතෙක්...මේ තරම් ලොකු වේදනාවකට කොයි තරම් හීලෑ උනත් අනිත් බල්ලෙක් නම් හපනවාමයි කියලා....

      Delete
  23. සිරෝ උඹලාට තිබුනේ රොබිනාව බන්දලා දෙන්න.ඇදුම් ඉර ඉරා ඌ එක තමයි කියන්න ඇත්තේ සමහරවිට.

    බල්ලෝ කීවාම මතක් වුනේ මේ ලගදි කවුද මයේ පාප මිතුරෙක් මගේ නමයි,පොන් නම්බරෙයි එක්ක අන්තර් ජංජාලේ දැන්වීමක් දාලා තිවුනා මයේ ලග රොට් වයලර්ද මොක්කුද මන්දා බලු පැටවූ ඉන්නවා කියලා.එක එකා බල්ලෝ ගැන අහලා කෝල් කරද්දීයි මම සිද්දිය දන්නේ.

    කොහොමවුණත් මමනම් බල්ලන්ට කැමති නැහැ බං...:(

    ReplyDelete
    Replies
    1. රොබිනට යෝජනා එක දෙක එන්න ගත්ත අලුතම තමයි ස්ථාන මාරුවක් ලැබුනෙ.

      බල්ලන්ට කැමති නැත්තෙ ඇයි බන්...පොඩි බලු පැටියෙක් පොඩි කාලෙ ඉදන් හදලා බලහංකො...උඹෙන් උදව් ගත්ත යාලුවො අහක බලාගෙන ගියත් බලු තඩියා නකුට වන වන ලගට වෙලා ඉදීවි...

      Delete
  24. //ලක්ෂ ගනන් වියදම් කර, දහ අතේ ණය වී, මගුල් කා ගෙදර ගෙනා ගෑණු පරාණයවත් මෙවැනි අවංක ආදරයක් තම ස්වාමියාට විටෙක පිරි නමන්නේ නැත. //

    පිරිමින් ගැනත් ඉතින් මේ විදියටම කීව හැකිලු හොඳේ... :D

    ReplyDelete
    Replies
    1. p*ka thamai... ganu thamai oka karanne

      Delete
    2. යෑස් යෑස්...කාසියක ඉතින් දෙපැත්තක් තියෙනවා නොවැ

      Delete
  25. සිරා මල්ලිගෙ බලු කතාව නම් ලස්සනයි..හක්කත් රිදෙනව හිනා වෙලා..මමත් අලුත් ගෙදරට ගිය අලුත වල්ටෙශන් එකෙක් ගෙනල්ල හැදුව..නම පපී.මගෙ දුවට ඌ පුදුම ආදරයක් තිබුනෙ..මමයි නෝනයි ඇර වෙන කවුරු හරි දුවව වඩා ගත්තොත් බිම තියනකන් ගොරවනව..බිම තියපු ගමන් අර මනුස්සයව හපා කනව..කිසි කෙනෙක් වත්තට එන්නෙ නැහැ..ආවත් මොකවත් කරන්නෙ නැහැ..හැබැයි ගෙදර මොනව හරි ඇල්ලුවොත් බඩුම තමයි..අපි කාට හරි මොනව හරි දෙනවනම් ඒක පාරට ගෙනිහින් දෙන්න ඕනෙ..නැත්තන් බල්ල හපාකනව අර මනුස්සයව..නමුත් මම රට ගිහින් මාස 6 කට විතර පස්සෙ ඌ හිටි ගමන් අතුරුදහන් උනා.අද වෙනකන් ආරන්චියක් නැහැ..මගෙ පුතා අදටත් අඩනව පපියව මතක් කරපුවහම්..දූට නම් එච්චර මතකයක් නැහැ..කොහොම උනත් ඔයාගෙ කතාව නම් වෙනද වගේම සුපිරියි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉන්දික අයියෙ...මගේ යාලුවෙකුගෙ නිවසකත් හිටියා මේ වගේ සයිලන්ට් වැඩකරුවෙක්...ඒ බල්ලා අමුත්තෙක් ආවම හොදට නකුට වනාගෙන ලගට යනවා...මේකා හීලෑ බල්ලෙක් වෙන්න ඇති කියලා හිතාගෙන අමුත්තා ඒකව ගනන් නොගෙන නිවස පැත්තට එද්දි පිටිපස්සෙන් ඇවිත් තමයි හපන්නෙ....

      Delete
  26. //රොබිනාගේ අවසන් මතක සටහන ලෙස මිදුලේ වූ අඩි සලකුණක් කොටු හැඩයට පිහියෙන් කපා නිවෙස තුල තබන්නට කුඩා මා හට එකල සිත් වූයේ මේ සත්වයා හා අප අතර තිබූ දැඩි බැදීම නිසා වන්නට ඇත. තාත්තා සමග වචනයකුදු දෙඩීමෙන් වැලකී...ආහාර ගැනීමෙන්ද වැලකී දිනක් දෙකක් ගත කරන්නට තරම් අප දෙදෙනාගේ කුඩා සිත් දරදඩුව තිබුනි.//
    බල්ලොයි කොල්ලොයි අයියයි මල්ලයි වගේ නෙහ්...

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. බල්ලොයි කොල්ලොයි කෙසේ වෙතත් බල්ලොයි පොඩි ළමයි නම් හරිම හිතවත් වෙනවා...ජය !

      Delete
  27. සිරාට එන වසර ෆුල් සිරාවටම හොඳ වසරක් වේවා.
    අපේ ගෙදර ඉන්න එකා
    අපේ බිරිඳ කියන්නෙ ගෙදර මිනිහ වගේ මයි
    කිසිම පිලිවෙලක් නැති එකෙක් කියල
    නම රොක්, ජාතිය ජැක් රසල්-ටෙරියර් කියන-අනේ අහිංසකය
    ඌ අල්ලපු ගෙදරට අලුත් අය ආපුවහම බුරනව
    අපේ ගෙදරට එන අයව කකුල් ලෙව කාලා පිලිගන්නව.

    පූසත් එක්ක මාර ෆයිට්

    ReplyDelete
    Replies
    1. නිවාඩුව හිතල බලනකොට බිරිදගෙ කියමනෙත් ඇත්තක් නැත්තෙම නෑ වගේ...නෙහ්...

      Delete
    2. බිරිද එහෙම කියනවානම් ඒක සහතික ඇත්ත කියලා අපිත් පිළිගන්නම්...පවු අහිංසකයා...මිනිහගෙ වැරදි වලටත් ඒකා බැනුම් අහනවා ඇති...මිනිහා පොඩි ෂොට් එකක් කාරිය දාන දවසට චියර්ස් කියන්න යාලුවෙකුත් ඉන්නවා එහෙනං...

      Delete
  28. අපොයි අපේ බලු ඉතිහාසය කලින් ලිවානේ . අර මිනිහෙක් වගේ වුන ටාසන් ගැන හෙම . සත්තුත් මිනිස්සු වාගේම තමයි. උන් ලොකු වුනහම මොන වගේ වේද කියලා උන්මයි දන්නේ .අපේ පොඩි දෙන්න නිතරම නෝක්කාඩු කියනවා සුරතල් සතෙක් නැහැයි කියල. තව කලකට බැරි වෙයි අපට නම් . අපේ මලයා කොහෙන්ද අහුලන් ආ බ්‍රවුනි තමා අපේ අවසන් බලු සුරතලා . ඌ ගස් නගින බල්ලෙක් .යෝගට් බ්ස්කට් චොකලට් කන එකෙක්. අම්ම අපේ දිහා එද්දී කඩුල්ල ගාව මුරළු යන්න නොදී. ඇයි අම්ම අපේ දිහා ආවම දවස් දෙකක් තුනක් නවතින බව දන්නා නිසා මෙයාට කෑම බිම හඟ වෙන බව දන්නවානේ . පස්සේ මහා ගේ විකුණද්දී මල්ලි මෙයාව අරන් ගියා . අම්ම අපේ දිහා ඉඳල එහෙ ගිය දවසක මු අම්මට වාහනෙන් බහින්නත් නොදී නැග්ගලු ඉස්සරහ සිට් එකට .

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර ටොමී කියන නමින් බල්ලො හතරක් හිටියා වරින් වර..ඒ හැමෝටම විවිධාකාර ලෙඩරෝග වැළදුනා....අන්තිම කෙනා 2010 දි මැරුනට පස්සෙ අපේ ගෙදර බල්ලො හැදිල්ල නතර කලා...දේවපාදයක පිහිටි නිවසක් කියලයි කියන්නෙ...බල්ලන්ට එහෙම උනාට පූසන්ට කිසිම ප්‍රශ්නයක් නෑ..ඒ අය උපරිම ආයුෂ විදිනවා...ඒ නිසාම දැන් ඉන්නෙ පූසො...

      Delete
  29. Replies
    1. කොල්ලොයි බල්ලොයි එකතු උනාම තවත් ෂෝක්...

      Delete
  30. මිනිසාට සිටින කුලුපගම මිතුර බල්ලා බව පසුගිය සති අන්තයේ මා තේරුම් ගත්තා. පින්තූරයේ ඉන්නා බල්ලා දුටු විටන කනගාටුවක් ඇති වේ.

    සිර කොලුවාට සුබ අලුත අවුරුද්දක් වේවා !!!

    ReplyDelete
  31. සිරා....බල්ලෝ කියන්නේ හරි ලෙංගතු ජාතියක්. මට නම් කූඩුවලම ජීවිතය ගතකරන බල්ලන්ව දැක්කාම දුක හිතෙනවා. වැඩිපුරම බල්ලන්ව හුරතලයට තියාගෙන ඉන්න මිනිස්සු ඉන්නේ එංගලන්තෙද දන්නේ නැහැ. හැම ගේකම බල්ලෙක් හෝ පූසෙක්.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...