Thursday, September 29, 2016

45 ම‍ගෙ 8000 ට කෙළියා ඕයි !

පර්චස් 20 ට වැඩි ඉඩම් තියෙන, ඒවයෙ පොල් ගසුත් තියෙන අයට ආණ්ඩුවෙන් පොල් පොහොර සහනාධාරයක් දෙනවලු. ග්‍රාම සේවක නෝනා ලග අන්න පෝරම කොල තියෙනවලු. ගොහින් කොළයක් ගෙනල්ලා තියන්ඩ. මම ආපහු ආවම පෝරමේ පුරවලා උවමනා තැන් වලට ඉදිරිපත් කරලා පෝර ටික ගන්න සූජානම් කොරන්නං. පේනවනෙ...දැන් ගස් වල පොල් එන්න එන්නම පොඩි වෙනවා. ඵලදාව මේ විදියට අඩු වෙන්නෙ පොහොර හිඟ හින්දා...මතකනෙ එහෙනං...

සිරා කොලුවගෙ පිය තුමා මෑණියන් දෑ සමග දඹදිව වන්දනාවෙ යන්න ගුවන් තොටුපලට පිටත් වෙන්න ඔන්න මෙන්න කියලා පවසපු මේ වදන් පෙළ මට ආයෙමත් කම්පනාවට ආවෙ ඒ අය එහෙ ගොහින් සතියක් ගත උනාට පස්සෙ. බැරි වෙලාවත් පෝරම කොල අහවර වෙලා තිබුනොත් මෙතන වසන්න වෙන්නෙ නැති නිසාම මමත් තකහනියක් ග්‍රාම සේවක නෝනා බැහැ දකින්න යන්න උදැහැනැක්කෙම පිටත් උනා.

සිරා කොලුවා රට පැටවෙන කාලෙ අපිට හිටිය ග්‍රාමසේවක නෝනා බොහොම වයසක උන්දෙක්. කොහොමින් කොහොම සිරා කොලුවා ආයෙමත් සියරට එන කාලෙ වෙද්දි ඒ උන්දැ විශ්‍රාම ගිහින් ඒ වෙනුවට අපේ ගම් තුලානෙ ග්‍රාම සේවක රාජකාරිය බාර අරගෙන හිටියෙ යාබද ප්‍රදේශයක පදිංචි සීදේවි නෝනෙක්.

නෝනෙක් කිව්වට ඉතිං සිරා කොලුවටත් වඩා වයසින් අඩු...තවම අවිවාහක කෙලියක්. මගුල් මුද්ද දාන ඇගිල්ලට යාබද ඇගිල්ලෙ තමයි එයා මුද්දක් දාලා හිටියෙ. ඒ දර්ශනෙන් පස්සෙ මගේ අක්මාවට දැනුනා මේ කෙලී තවම කසාද බැදලත් නැති විත්තිය.

කාරණේ මතක නැතත් සිරා කොලුවට ලංකාවට ආ විගස වගේ යම් රාජකාරියකට ග්‍රාම සේවක නෝනව මුණ ගැහෙන්න යන්න උනා. එදා තමයි ඔන්න නමෝවිත්තියෙන් අපේ අභිනව ග්‍රාමසේවක නෝනව මගේ කලු ඉංගිරියාවට වැටුනෙ. අපරාදෙ කියන්න බෑ. සී දේවි කෙල්ල. සාරියක් කාරිය ඇදලා හරිම පිළිවෙලට, නීතියට වැඩේ කරගෙන ඉන්නවා. යන එන කා එක්කත් සුහදයි. ඒ වගේද අත් අකුරු මුතු කැට වගේ බබලනවා. ඉතින් මට රාජකාරිය අහවර උනත් එතනම පදිංචි වෙලා ඉන්න හිතුනා.

ඔන්න ඔහොම වටපිටාවක් තියෙද්දි පොල් පෝර පෝරමේ ගේන්න යන්න ඉතින් මොනවටද බොලව් පැකිලෙන්නෙ. සිරාගෙ ඇන්ටික් ස්කූටරේට බර දීලා කොලුවා ගියා ඔන්න ග්‍රාමසේවක නෝනව මුලිච්චි වෙන්න.

අපේ නැසීගිය උස බන්දුල ගොයියගෙ ගෙදර තමයි ග්‍රාමසේවක කාර්යාලය පිහිටුවාගෙන තිබුනෙ. මම එතැනට ලගා වෙද්දිත් ග්‍රාම සේවක නෝනගෙ කාමරේ කීප දෙනෙක්ම ඉන්න විත්තිය මට දැනුන නිසා ස්කූටරේ පිටට නැගලා බන්දුල ගොයියගෙ වත්තෙ ඵලදාව දිහා මම ඇස් දෙකේ පොට යනකං බලාන උන්නෙ කොරන්න වෙන කෙං ගෙඩියක් තිබුනෙ නැති නිසයි.

විනාඩි 15 ක් 20 ක් ගත වෙන්න ඇති. ග්‍රාමසේවක කාර්යාලයේ දොරෙන් එක පාරටම මතු උනේ මාලු විකුණන නිශාන්ත ගොයියා. බොලේ මේ හාදයා අද මාලු වෙළදාමෙ ගිහින් නැත්තෙ මොකද...මම මනෝ ආතල් ලොවක සැරි සරද්දි මටත් නොදැනිම නිෂාන්තයා මගේ ලග.

පින්තූරය මෙතැනින්

මොකෝ මේ පැත්තෙ...ඇරත් මේ උදේම....එච්චරයි මට අහන්න ලැබුනෙ.

මගෙ 8000 කට කෙලියා ඕයි ! නිෂාන්තයා හෙණ ගැහුවා වගේ එකපාරටම කිව්වා.

මොකක්ද බොල ඒ හරුපෙ...උඹ බූරු ගහන්නවත් ගොහින් පැරදුනාද ? මම එහෙම ඇහුවෙ සැක සංකා හිතේ තියාන ඉන්න හොද නැති හන්දයි.

නෑ බං මල්ලියෙ අද උදේ මාලු ගේන්න මීගමු යද්දි මාව කොල්ල කෑවා බං ඒකල වෙළ මැද්දෙදි.

ගම්පහ - ජාඇල 201 බස් මාර්ගයෙ යන එන ඇත්තො දන්නවා ඒකල වෙල කියන්නෙ මාර්ගය දෙපැත්තෙම වෙල් යායක් තියෙන නිවාස වලින් තොර හුදෙකලා පෙදෙසක් කියලා. අන්න එතැනදි තමයි මේ අසරණයගෙ 8000 ට කවුරු හරි කාලකණ්නියෙක් කෙළියෙ.

එ්කළ වෙල කිව්වම අපි කුඩා සන්ධියෙ නිතරම කොල්ල කෑම් සිද්ධ උනා. මේ හොරකම් වලට රැයක් දවාලක් තිබුනෙ නෑ. මහ දවාලෙ වැඩිපුරම සුද්ද උනේ මාලු වෙළඳාමේ නිරත වෙච්ච අය. මේ වගේ හොරකම් දිගින් දිගටම සිදුවෙන්න ගත්තට පස්සෙ සිරිලංකා පොලෝසියෙ ඇත්තො ගත්ත යම් යම් සාධනීය පියවර නිසා හොරු රැළ වඳවෙලා ගිහින් ඒකළ වෙල මැද්දෑව බොහොම සාමකාමී තැනක් බවට පත් උනා.

ඒත් දැනට වසර තුන හතරක ඉඳලා ආයෙමත් කොල්ලකෑම් එක දෙක බැගින් වාර්තා වෙන්න ගත්තා. සිරා කොලුවගෙ පියතුමාගෙ හිතවතෙක් වෙන ඕල්ටර්නේටර් තිස්ස මාමා තමන්ගෙ ඇඹේනියත් එක්ක බයිසිකල් කටුවක නැගලා ගොහින් බැංකුවෙන් ගත්ත රුපියල් ලක්ෂ 9 ක් එක්ක ගෙදර එද්දි, ඒකල වෙල හරියෙදි පිටිපස්සෙන් ආව වෑන් රථයක් මේ ජෝඩුව මහා මාර්ගය වෙනුවට අලුතින් වපුරපු කුඹුරක් වෙත යොමු කලා. බයිසිකලේ පෙරළගෙන මඩ අස්සෙ එරිලා දගලන තිස්ස ගොයියා ලගටම ආව හොරු රැළ රුපියල් ලක්ෂ 8 ක් දාලා තිබුන බ්‍ර‍වුන් පේපර් කවරෙ අරගෙන ගියෙ ඒ අසරණයට කෝචොක් හිනාවකුත් දාගෙන, උඩ සාක්කුවෙ තිබ්බ ලක්ෂය විතරක් ඉතිරි කරලා.

මම වෙනදා යන වෙලාවට පාන්දර 4.30 ට ගෙදරින් පිටත් උනා. රුපියල් 8000 ට ටිකක් වැඩියෙන් සල්ලි තිබුනා. ඒකල වෙල මැද්දෙ පුලුන් ගහ කිට්ටුවට යද්දි මට විරුද්ධ පැත්තට බයික් එකක කොල්ලො දෙන්නෙක් ආවා. උන් මාව පහුවෙද්දි මගේ දිහා හරි අමුතු විදියට බලාන ගිය නිසා මට සැකයක් හිතුනා.

මම පැති කණ්නාඩියෙන් බලාගෙන ඉස්සරහට යද්දි, හදිස්සියෙ දැක්කා උන්ගෙ බයිසිකලේ මගේ පැත්තට හරවනවා. එතැනින් පස්සෙ මම යන්න තියෙන උපරිම වේගෙන් බයිසිකලේ පැද්දා. ඒත් වැඩක් උනේ නෑ. උන්ගෙ තිබුනෙ බොහොම බල සම්පන්න බයික් එකක්. උන් අඩියට දෙකට මගේ ලගට ආවා. එන පොට හොඳ නෑ කියලා මට දැනුන නිසා මම බයික් එක නතර කරලා බැහැලා දුවන්නයි හැදුවෙ. එත් පරක්කුයි මල්ලියෙ. හොඳ උස මහත එකෙක් පැනපු ගමන් මගෙ බෙල්ලට කඩුවක් තියලා කුණුහබ්බයක් කියලා මගෙ පර්ස් එක උදුරලා ගත්තා. 

මාලු ගන්න තිබ්බ සල්ලියි. අපේ පොඩි කෙල්ලගෙ ඉස්කෝලටෙ උවමනා පොත් කීපයක් ගන්න උවමනා සල්ලියි ඔක්කොම තිබුනෙ එකට. උන් සල්ලි උදුරගෙන යද්දි මම පිංසෙන්ඩු උනා මගේ ලැයිසොමවත් දීලා යන්න කියලා. ඒත් ඒ නරුමයො ඒ කථාවට ඇහුම් කං දුන්නෙම නෑ

නිශාන්තයගෙ මුහුණෙන් තවමත් කම්පනයක සළකුණු පේනවා. ඇස් කෙවෙනි අග පුංචි කඳුලක් දිලිසෙනවා. දරු පැටව් 4 දෙනෙකුගෙ තාත්තා කෙනෙක් විදියට මාලු රස්සාවෙන් හොයන සල්ලියෙන් ජීවත් වෙන කෙනෙක්ට රුපියල් 8000 ක් නැති වෙනවා කියන්නෙ මොන තරම් පාඩුවක්ද ?

අද උදේම පොලෝසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. ග්‍රාමසේවක නෝනගෙන් අරගෙන යන්න ලියකියවිලි වගයක් තියෙනවා. ඒ ටික ගන්න තමයි මෙහෙට ආවෙ. මට වාවන්නෙ නෑ බං පොඩි කෙල්ල අලුත් පොත් අරගෙන ඉස්කෝලෙ යන්න හරි ආශාවෙන් හිටියෙ.

ඒ අවසරයෙන් ග්‍රාම සේවක නෝනගෙ ඔපීසියෙන් එළියට ආවෙ නිෂාන්ත ගොයියගෙ ඇඹේනිය. 

හෙණ ගහලත් මදි නේද මල්ලි මේ කරන අපරාද වලට ? ඇය මගෙන් ඇහුවා.

ඔය හරියෙදිම සති දෙකකට කලියෙනුත් මාලු කාරයෙක්ව සුද්ද කරලා. උන් හිතාන ඇත්තෙ මාලු විකුනන්නෙ කෝටිපතියො කියලා වෙන්න ඇති. ඇයි යකෝ පොඩි මිනිහටමනෙ මංකොල්ලා කන උනුත් කෙළින්නෙ.

ඇගේ කථාව ආවේගශීලියි. පුංචි එකෙක් වඩාගෙන නිෂාන්ත තවමත් සුසුම් හෙලනවා.

කඩුව බෙල්ලට තියද්දි මට හොඳටම භය හිතුනා මල්ලි. මම යටි ගිරියෙන් කෑ ගැහුවා. මට දරු පැටව්, ගෑණි මතක් උනා. ඒත් උදව්වට කියලා කවුරුවත් ආවෙ නෑ. උන් දෙන්නා ගිහින් විනාඩි 10 කට විතර පස්සෙ තමයි සෙනඟ එකා දෙන්නා එන්න පටන් ගත්තෙ. ඒ වෙද්දි ඉතින් වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.

තවත් මොහොතකින් නිශාන්ත ගොයියා තමන්ට අවශ්‍ය ලියකියවිලි සම්පූර්ණ කරගෙන ග්‍රාමසේවක කාර්යාලයෙන් පිටත් උනා.

පව් නේද අර මනුස්සයට වෙලා තියෙන වැඩේ...දැන් ඊලග දවසෙ මාලු ගේන්න යන්න අමුතුවෙන් සල්ලි හොයන්න එපායැ. ඇරත් ඒ අය සල්ලි  ඔහේ අරගෙන යනවා මිසක ආරක්ෂාව ගැන හිතන්නෙ නෑනෙ. මම ඒත් දැන් කිව්වෙ මීට පස්සෙ මාලු වෙළදාමෙ යද්දි සල්ලි අතේ අරගෙන යන්නෙ නැතුව. මීගමුවට ගිහින් බැංකු කාඩ් එකෙන් උවමනා ප්‍ර‍මාණය ගන්න, මාලු විකුනලා අහවර උනාම ආයෙමත් බැංකුවට දාන්න කියලා. ග්‍රාම සේවක දැරිවි එහෙම කිව්වා.

පොල් පොහොර පෝරමේ අරගෙන ගෙදර ආවා කියමුකො. පිට පළාතකින් ඇවිත් දවල් කාලයේ අපේ ගමේ මාලු විකුණන තවත් ගොයියෙක් මට අතර මගදි සම්මුඛ උනා.

අර නිශාන්ත ගොයියගෙ 8000 කට ඇරලා දෙන්නෙක් අද පාන්දරම මාලු ගෙන්න යද්දි.

ආ මිනිහද කෙනා...අපිට මීගමුවට ආරංචිය ආවා වෙච්ච වැඩේ ගැන. ඔයාට කියන්න මල්ලි දැන් මාස දෙකකට විතර කලියෙන් මාවත් කොල්ල කන්න ආවනෙ දෙන්නෙක් මහ දවාලෙ.

මම එදා මාලු බයිසිකලේ නවත්තලා පොඩියක් අකුලක් අස්සට රිංගුවා මුත්තරා බරෙන් නිදහස් වෙන්න. මම එතැනින් ආයෙමත් බයිසිකලේ ලගට එද්දි  එතන දෙන්නෙක් හිටියා.

මල්ලි...ඉස්සො ඉන්නවද ? උන් එහෙම ඇහුවා. මම ඉන්නවා කිව්වා.


ලොකු උන්ද පොඩි උන්ද ?

ලොකු උන්

කීයද ගාන

කිලෝ එකක් 1000 යි.

මෙහෙම කථාව යද්දි කථාවට සම්බන්ධ නැති අනිත් එකා බයික් එක උඩ ඉදන් 

මචං ඉක්මන් කරපං....  ඔහොම කියනවා.

මම මාලු පෙට්ටිය ඇරලා මාලු පෙන්නුවා. ඉස්සො ගන්න හදපු මිනිහා මගෙන් අහනවා 5000 ක් මාරු කරන්න නැද්ද කියලා. මගෙ ලග මාරු කරන්න සල්ලි තිබ්බත් මම නෑ කියලා පොඩි සල්ලි විතරක් තියාන ඉන්න පර්ස් එක අැරලා පෙන්නුවා.

වැඩක් නෑ මචං...ඉක්මනට යං කියලා තමයි අන්තිමට මිනිහා ගිහින් බයිසිකලේට නැග්ගෙ. ඔන්න ඔහොමයි මල්ලි තත්වෙ. මාලු පෙට්ටියක් බැදගෙන යනවා දැක්කම අපිවම කොල්ල කන්න ටාගට් කරන උන් ටිකක් වෙනමම ඉන්නවා. මම මහ පාන්දර මාලු ගෙන්න යන්නෙත් නෑ...ගේන්න ගියත් තව වෙළෙන්දො දෙතුන් දෙනෙක් එක්ක යන්නෙ. එතකොට කොල්ල කන්න ආවොත් මාලු මන්න පාරක් හරි දෙන්න පුලුවන් මකබෑවිලාම පල කියලා.

ගන්න අක්කෙ පණ පිටින් ජීලාවො..පන්සීය 360 යි. මිනිහා මාලු බිස්නස් එකකට ඇන්ටර් වෙද්දි සිරා කොලුවා නිවස බලා ආවා.

අමාරුවෙන් ජීවිතය ගැට ගහගන්න වෙර දරන මේ වගේ මිනිහෙක් කොල්ල කනවා කියන්නෙ කොල්ල කන එකා මොන වගේ මානසික මට්ටමක එකෙක්ද ? මට හිතාගන්න බැරි උනා.

සමහරු මළගෙවල් හොයාගෙන ගිහින් බූරු ගහලා අම්බානක පැරදිලා පාන්දර පාරට බැස්සම හිතේ කේන්තියට අහුවෙන එකාව කොල්ල කනවා. එහෙමත් නැත්තං ඉතිං කුඩ්ඩෙක් තමයි පුතේ.

ගෑණි මැරිච්ච දා ඉදන් හන්දියෙ පිලට තනි රකින පියදාස මාමා එහෙම කිව්වෙ බුලත් කෙල තළියක් පාර පුරා රටා අඳිද්දි.





මම කාමරේ අරින සිරා කොලුවා.


45 comments:

  1. sad to hear..... gs nonage number eka denna

    ReplyDelete
    Replies
    1. නෝනව කොල්ල කන්නද?

      Delete
    2. දේශිකා නැන්දගෙන් කොහු පාරක් කන්න තමයි ඉතින් එක එක කෙල්ලන්ගෙ නොම්බර ඉල්ලන්නෙ.

      Delete
  2. කලින් ඔය ප්‍රශ්ණෙ විසඳපු ආකාරයටම පොලිසියට තියෙන්නෙ ආයෙම ප්‍රශ්ණෙ විසඳන්න. සිරා ඔය කියන වෙල් යාය පටන් ගන්න තැනම කලිසං ෂර්ට් ෂෝර්ට් හෙම විකුණන වෙළෙන්දෝ ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. වෙල් යාය පටන් ගන්න කලින් වෙළෙන්දො නම් නෑ. ඒ හරියෙ දවල් වරුවක උනත් සෙනග ගැවසෙන්නෙ ඉතාම අඩුවෙන්.

      Delete
  3. කට්ටිය එකතුවෙලා බලමුද පොඩි උදව්වක් කරන්න මේ පවුලට. ලමය් 4 දෙනෙක් ඉන්නවා. සිරා දන්නා සිරගෙ account number එක. 8000 ක් නෙවෙය් එට වෙඩි ගානක් එකතු කරලා පවුලම ගොඩ දාමු. අපි පොඩි ෂොට් එකක් දන්නා නාස්ති කරන ගාන මේ වගේ දෙයකට දුන්නොත් අපිට පවුල් කියක් ගොඩ දන්න පුලුවන්ද ?. හිතෙන්නේ නැද්ද අපි අනවශ්‍ය දේවල් වලට වියදම් කරන ගානෙන් අහිංසක මිනිස්සු කි දෙනෙක් ගොඩ දාන්න පුලුවන්ද කියල

    ReplyDelete
    Replies
    1. //වෙඩි ගානක් එකතු කරලා//

      මරන්නද හදන්නේ

      Delete
    2. හොද අදහසක්. ඒත් පමණට වඩා මුදල් දෙන්න ගියාම මේ මිනිස්සු හම්බකරගෙන කන පුරුද්දත් අත ඇරලා දානවා. පිනටම කන්න බලාන ඉන්නවා. ස්තුතියි සිතුවිල්ලට.

      Delete
  4. මේ හොරකම් කරන,මංකොල්ල කන උන් හිතන්නේ තමන්ගේ බඩ ගැන විතරයි.අනුන් ගැන උන්ගේ තැකීමක් නැහැ.
    පොලිසියට පැමිණිල්ලක් දාන්න ගියාම මොකදට සිරෝ ග්‍රමසේවක නෝනාගේ ලියකියවිලි.

    ReplyDelete
    Replies
    1. මොනවා හරි ලියකියවිලි වගයක් තමයි සකසමින් උන්නෙ. ඒ ගැන කියන්න මම දැනුවත් නෑ ගොයියො.

      Delete
    2. ID එහෙම නැති උනාම පදිංචිය සනාථ කරන ලියුමක් ඕනේ ග්‍රාමසේවකගෙන්...
      ඒ මනුස්සයාගේ ID එකත් පර්ස් එකත් එක්කම මිස් උනාද දන්නේ නැහැනේ...
      එහෙම නැත්තන් මිනිහත් මම වගේ ID නැතුව ලයිෂන් එකෙන් විතරක් ජාමේ බේරගෙන හිටපු කෙනෙක්ද දන්නෙත් නැහැනේ...
      එහෙම උනොත් මුලින් ID එක හදලා ඊට පස්සේ තමයි අනිත් ඒවට යන්න වෙන්නේ...

      Delete
  5. හරිම දුකයි වැඩේ ගැන..

    අපිටත් ඉස්සර මාලු ගේනවා ගෙදරටම කෙනෙක්.. ඇතිවුන විස්වාසය නිසාම අපිට එවන්න මාලු හදන්න අම්ම මේ කෙනාට කියලා මාලු වගයක් ගෙනත් දෙන්න කියලා.. සල්ලි කලින්ම දීලා..මේ කෙනා මාලු ගෙනත් දීල ගිහින් තියනවා අම්ම නැති වෙලාවක.. අම්ම ඇවිත් බලන කොට බාගෙට බාගයක් මාලු නරක් වෙලාලු.. ඉතින් අර විස්වාසය එතනින් එහාට කොහොමද තියාගන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව්...මටත් දුකයි ඔහු කථා කල ස්වරය අනුව.විශ්වාසය කියන දේ අවිශ්වාසය බවට පත් වෙලා තියෙන ලෝකයක මාලු විකුනන පුද්ගලයත් තවත් එක චරිතයක් විතරයි.

      Delete
  6. මාලු විකුණන මිනිස්සුන්ට අපි හිතනවට වඩා ලාභ තියෙනවා සිරා. ඔය මනුස්සයා රුපියල් 8000ක මාළු ගෙනත් විකුණනවා කියන්නෙ අනිවාර්යෙන් දවසට තුන් හාරදහක්වත් ලාභ තියෙනවා. ගෙදරට එන මාළු කාරයන්ගෙන් මාළු පන්සීයක් ගන්න ගානට පෑලියගොඩින් හරි මීගමුවෙන් හරි කිලෝ එකක් ගත්තැකි. මම හොරකම සාධාරණීකරණය කරනවා නෙමෙයි ඒ තරම්ම ලාභ තියාගෙන ඒ මිනිස්සු මේ බිස්නස් එක කරන්නෙ. හොරු උනත් මාළු කාරයන් ඉලක්ක කරනවා ඇත්තෙ මේක දැනගෙන වෙන්න ඕනෙ. මෙතන සිරා දාලා තියෙන ගණන් හරියටම හරිද මම දන්නෙ නෑ. ඒත් ජීලාවො කිලෝ එකක්ම ගත්තැකි රුපියල් 200ට. තොග ගන්නකොට ඊටත් අඩුයි.

    ඒ මොක උනත් හොරුන්ගෙන් මේ මිනිස්සුන්ව බේරගන්න ක්‍රමයක් හදන්න ඕනෙ. ඒවගේ මේ මිස්සුන්ගෙන් පාරිභෝගිකයො බේරගන්න ක්‍රමයකුත් ඕනෙ.

    ග්‍රාමසේවක නෝනා ගැන විස්තර අනුව නම් ඉස්සරහට මොකක් හරි වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. මෙතන ඉන්න ජීලාවො පළ පිටිං බං. හැක්..

      Delete
    2. හි.හි.. මට නිකම් පණ පිටින් කතාවක් කියෙව්වා වගේ තේරුනා. ඒත් කමෙන්ට් එක කොටන්න ගිහින් මිස් උනාද කොහෙද?

      Delete
    3. හැම බිස්නස් එකක්ම ලාභ තියාන තමයි කරන්නෙ. බිස්නස් කොහොම කලත් තව කෙනෙක්ගෙ ධනය මේ විදියට කොල්ල කන එක බරපතල වැරැද්දක්.

      හරී ඉන්නෙ මීගමුවෙ නේද. මීගමු වැල්ලෙ නම් ඔය කියන ගානට කිලෝව දෙනවා ඇති. ඒත් බයිසිකල් වල පටවගෙන අපේ පැත්තට ඇවිත් විකුනනකොට ඒ ගාන ඉහළ යනවා.

      Delete
  7. හරි මාළු කාරය පැත්තකිං තියමු.
    දැං උඔ පොල් පෝර ෆෝම් එක ගෙනාවද කියහංකො.

    ReplyDelete
    Replies
    1. පෝල් පොහොර ෆෝම් නම් කවද ගන්න බැරිද අප්පා.

      Delete
    2. පොල් පෝර ෆෝම් එක ගෙනාවලු.

      Delete
  8. එක හුස්මට කියෙව්වා...ඕකුන්ට මන්න පාරක්ම කෙළින්න ඕන හැදි ගෑවිලම යන්න.

    අර ග්‍රාම සේවක අක්කා ගොඩක් ලස්සනද බන්??????? :-)

    ReplyDelete
    Replies
    1. සාරිය ඇදලා...වැඩිය විච්චූරණ මූණෙ උලන්නෙ නැතුව තමයි...අපේ ග්‍රාමසේවක නෝනෙ රාජකාරි කරන්නෙ.

      Delete
  9. උඹ ඒ සීදේවි නෝන ගැන විස්තර මොකුත් ලියල නෑනෙ බං. මාළු නං කවද කන්න බැරුවද.

    ReplyDelete
    Replies
    1. ඒ සී දේවි නෝනා ගැන තව යමක් ඉදිරියට ලියන්නං...එතකං රැදී සිටින්න.

      Delete
  10. මොන මගුළක්වත් කරන්න බැහැ සිරෝ අපේ අයියලාත් එක්ක. හොඳින් ජීවත්වෙන්න අමාරුයි.

    උඹ විභාග ෆේල් ටෙලිය බලනවද... උඹ හිටපු රටේ කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මට ඒක බලනකොට බ්ලොග්ස් ලියපු මැලේ රාළගේ පෝස්ට්ස් මතක්වෙනවා. ඔය වගේම සිද්ධීන් ගැන ඌ ලිව්වා.

      Delete
    2. මට දවස් දෙක තුනක් අහම්බෙන් වගේ ඔය කියන ටෙලිය නරඹන්න ලැබුනා. මැලේසියානු සමාජය තුලදි මම අත්දැක්ක ඇතැම් අත්දැකීම් සමහර වෙලාවට ආයෙමත් මතක් වෙනවා.

      Delete
  11. හොඳම විසඳුම කට්ටිය එකට එකතු වෙලා යන එක.. එතකොට ඕවා නවත්ව ගන්න පුලුවන්...

    ග්‍රාසේනි ගැන අපිට ඉස්සරහට තව කියවනන් ලැබෙයි කියලා හිතෙනවා...ඉක්මන් කෙරුවනම්...

    ReplyDelete
    Replies
    1. කට්ටිය එකතු වලො යන අයත් අපේ පැත්තෙ ඉන්නවා. නමුත් ඒ හැමටම කලින් ගිහින් වේලාසන බිස්නස් කරන්නනෙ නිශාන්තයට ඕනෙ...

      ග්‍රාසේනි ඉතින් ලස්සන කෙල්ල. තවම රාජකාරි පළපුරුද්ද ටිකක් මදි වගේ...ඉස්සරහට හරි යයි.

      Delete
  12. ආරක්ෂක පියවර කීපයක් ගන්න පුළුවන්. මාලු වෙළඳාමේ යන අය කීප දෙනෙක් එකතුවෙලා යාම. ඒ මෙහෙමයි. තුන්දෙනාගේ කණ්ඩායම් දෙකක් වත් යන්න ඕනේ. එකිනෙකාට මීටර් 25 ක් පරතරය තියාගෙන අවට ගැන හොඳ පරීක්ෂාවෙන්.

    ඒ සියලු දෙනා එකතුවෙලා පොලීසියෙන් ලිඛිත ඉල්ලීමක් කිරීම, මෙන්න මේ වෙලාවට ඒ ප්‍රදේශයේ ආරක්‍ෂාව තර කරන්න කියලා. පාන්දර යනවානම් හැම දෙනාම සැර විදුලි පන්දම් අරගෙන යාම.

    ඒ ප්‍රදේශය ආසන්න වනවිට, තමන්ගේ කෙනෙක් පොලීසිය කිට්ටුව තබා, ඔහුගේ දුරකතනයට ඇමතුමක් දී අර ප්‍රදේශය පසුවන තුරු ඇමතුමේ සිටීම. සැක කටයුතු දෙයක් දුටු වහාම, පොලීසිය අසළ ඉන්න කෙනාට, ඒ බව පොලීසියට කියන්න කියා දැන්වීම.

    උදලු මිටක් වැනි පොල්ලක් ගෙනියන්න තහනම් නැහැ. එබැවින් එවැන්නක් හැමදෙනාම ගෙනයාම. මාළු පිහිය අදින්න කලින්, දුරතියාම පොල්ලෙන් ගනුදෙනු කරන්න පුළුවන්.

    මුදල්, මාළු මිලදී ගන්න ප්‍රදේශයට ගියාට පස්සේ, ATM කාඩ් එකකින් ගන්න සකස් කරගැනීම.

    ReplyDelete
    Replies
    1. තනිවම යන කෙනෙක්ට ඔය සමහර යෝජනා ප්‍රායෝගික නෑ විචාරක තුමා. හොදම දේ තමයි මේ පෙදෙස ආවරණය වන විදියට පොලිස් මාර්ග බාධකයක් වැනි දෙයක් යෙදීම.

      ස්තුතියි අදහසට.

      Delete
  13. මුදල්, මාළු මිලදී ගන්න ප්‍රදේශයට ගියාට පස්සේ, ATM කාඩ් එකකින් ගන්න සකස් කරගැනීම.

    මුදල් නැතිවීම ජීවිතයට තර්ජනයක් වෙන්නත් පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඔය වෙළෙන්දන් අතර සම්බන්ධීකරණය හෝ විශ්වාසය බොහොම අඩුයි. (මූලාශ්‍රය, මම මාළු ගන්න තරුණ ව්‍යාපාරිකයා. මා ඔහුව හොඳින් දන්නවා. ඔහු දිනපතා මීගමු ගොස් මාළු ගෙනෙනවා. හැමදාම මීගමු තොග වෙළෙන්දන්ට බනිනවා)

      මේ අයට පුළුවන් බැංකු ඔස්සේ ගනුදෙනු කරන්න මුදල් අතින් නොඅල්ලා. නමුත් ඒ තරමට ඔවුන්ගේ විශ්වාසය සහ දැනුම වර්ධනයවී නැහැ.

      Delete
    2. විචාරක මහතා, මම අදහස් කළේ, ළඟ මුදල් නෑ කියලා දැනගත්තම කොල්ලකරුවන් තරහට, ජීවිතයට වුනත් හානියක් කරන්න පුළුවන් කියලා..

      Delete
    3. දැන් ඉස්සර වගේ සල්ලි ගෙනියන්නේ නෑ කියලා කිව්වම එක තර්ජනයකින් දෙකකින් ප්‍රශ්නය විසඳෙයි. කොල්ලකාරයෝ තේරුම් ගනියි වැඩක් නෑ කියන එක.

      Delete
    4. ATM කාඩ් එකෙන් මීගමුවෙදි සල්ලි ගන්න යෝජනාව මමත් කලා එදා. ඒත් ඒ ක්‍ර‍මය ඔවුන්ට ආගන්තුකයි වගේ. යහපත් ප්‍ර‍තිචාරයක් ඔහු ඒ වෙලාවෙ මා වෙත පල කලේ නෑ.

      Delete
  14. යකෝ කිව්වම මතක් වුණේ. මාකෙවිට මළගෙදරක ගිහිං අපි කට්ටිය සෙට් වෙන්න ගියේ ඔය වෙලා මැද්දාවට. ඒ නම් රෑ අටට පස්සේ වගේ. නරකද ග්‍රාමසේවක කාර්යාලේ උඹලෑ ගෙදර දා ගත්තොත්?

    ReplyDelete
    Replies
    1. ඒ වෙළ මැද්දෑව ඒ වගේ වැඩ වලට මසුරං පොට් එක.

      ග්‍රාමසේවක කාර්යාලය ගෙදර දාගන්න තරම් කික් එකක් තවම ආවෙ නෑ අයියා.

      Delete
  15. භීෂණ කාලෙ ගමෙන් පැන්න අපේ බාප්ප කෙනෙක් කොළඹ මාලු මාකට් එක ලඟ කඩයක වැඩ කරල තිබුන. (කොහේද කියල මතක නෑ, පෑලියගොඩට ගේන්න කලිං මාකට් එකේ) මාලු ගන්න ආපු ගෑනු කෙනෙකුගෙ බෑග් එකක් ඇදගෙන යද්දිම මාලු කාරයෙක් පිහියෙන් ගහල හොරාගෙ අතට. අත හරියටම මැනික් කටුව ලඟින් වෙන්වෙලා වැටුනලු.

    ReplyDelete
    Replies
    1. හොරාගෙ තනි ඇහැට ඇඩෙන්න ඇති....

      Delete
  16. දැන් එතකොට උඹ ග්‍රාම සේවක කාර්යාලේ ක්ලාක් වැඩේ කරනවද?

    ReplyDelete
  17. දැන් ඉතින් ඔය ෆොම් කොලේ ආපහු භාර දෙන්න ගියාම තව ලස්සන විස්තරයක් බලාගන්න පුලුවන් වෙයි..

    ReplyDelete
    Replies
    1. හැක්...එහෙම හිතනවද...මම නම් හිතන්නෙ නෑ ගොයියො.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...