Thursday, January 31, 2019

24 හිරමනේ සහ ලොකු සාදු

2018 වසර සිරාගේ කාමරයට උදා වූ අසික්කිතම වසර විය යුතුය. ගත වූ මාස 12 තුල සිරා කොලුවා ලියා ඇත්තේ යන්තම් ලිපි 3 කි. අතීතයේ දී බොලා වෙනුවෙන් ලියූ ලිපි ප්‍ර‍මාණය සමග සංසන්ධනය කොට බලන විට එය සැබැවින්ම ලැජ්ජා හිතෙන අගයකි. මේ ලැජ්ජාව නිසාවෙන් සසල වූ මාගේ භෞමික අඛණ්ඩතාවය නිසාම උදා වූ නව වසරේ හැකි තරමක් ලිපි ලියන්නේ යැයි මම අධිෂ්ඨාන කොලෙමි. ඒ නිසාම ගත වූ වසරට වඩා යමක් ඔබට මේ වසරේ සිරාගෙ කාමරයෙන් කියවන්නට හැකි වනු ඇත. අඩුම තරමේ මාසයකට එකක් හෝ ලියන්නට සිතමි.

සිරා කොලුවා නිවසේ සිටින්නේ නම් මෑණියන් ආහාර පිසින විට ඇගේ සහයෝගය පිණිස පොල් ගෑම නොවරදවා කරන්නේය. එය විටෙක මාගේ විනෝදාංශයක් වැනිය. අපේ හාමිනේ කැන්දාගෙන ආවා කියා මාගේ විනෝදාංශ බොහොමයක් වෙනස් වූයේ නැත. මම ඇගේ ආරාධනාවකින් තොරව බොහෝ විට පොල් ගෑවෙමි. මෑතක සිට හිරමන තලයේ මුවහත බොහෝ සේ අඩපණව තිබූ නිසා ගෙදර බුදුන් අම්මා කිව්වේ මේ තලය මුවහත් කල යුතු බවකි. 

පාර අයිනෙ සුකුරුත්තං බඩු විකුණන වෙළෙන්දෙක් හිටියොත් පීරක් අරගෙන ඇවිත් මේ හිරමනේ මුව තියන්න.

ඇගේ ඉල්ලීම එලෙසින් ඉටු නොවී ගත වූ මාස කීපයකි. මේ මොට්ට හිරමනේ පොල් ගාලා මගෙ අතත් රිදෙනවා මෑණියන් දෑ මැසිවිලි නැගුවාය. දිනෙන් දින  අඩපණව පොල් ගෑම බොහෝ අපහසු කාරියක් වී තිබෙන වකවානුවක එක් ඉරිදා දිනයක උදෑසන,

කතුරු මුවාත්, පිහිය මුවාත් 

යන හඬ මගේ කන් බෙරය කම්පොනය කර අක්මාවට කිඳා බැස්සේය. මට වහ වහා හිරමනය මතක් වූවේය. යතුරු පැදියක නැගුන තරමක් මහත නමුත් එතරම් උස නැති පුද්ගලයෙකුගේ රූප කායක් මගේ යුග දෙනෙතට සම්මුඛ වූයේ සිරා කොලුවා හඬ ආ දෙසට ඇවිද ගිය නිසාවෙනි.

ඔයා හිරමනත් මුව තියනවද ?

මගේ පැණයට අහිංසක සිනහවක් සමගින් පිළිතුරු දුන් හෙතෙම ඔව් මහත්තයා යනුවෙන් තෙපළේය.

මුහුණ පුරා වැවුන රැවුලකින් යුතු, කොටු සරමක් කොටට හැඳ සිටි ඔහු මුස්ලිම් ජාතිකයෙකු බැව් මම ඉක්මනින් හඳුනා ගත්තෙමි.

හෙතෙම සිටියේ CT 100 වර්ගයේ බයිසිමොටෝවකට තම පශ්චාත් කලාපයේ බර මෙන්ම ජීවන බරද එක සේ  මුදාහරිමිනි. බයිසිමොටෝවේ පිටුපස ලෑලි වලින් සැකසූ පෙට්ටියකි. එහි ඉහළින් ග්‍රයින්ඩරයක හැඩ තල පෙනෙයි. පැත්තකින් තණකොළ කපන මැෂිමකි. තණකොළ කපන මැෂින් දණ්ඩේ ඔහුගේ සේවාවන් සහ ඔහුව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය සහිත දැන්වීමකි. පිහිය, කතුරු මුවහත් කිරීම සහ තණකොළ කපනු ලැබේ යනුවෙන් එහි සඳහන් වී තිබේ. බයිසිමොටෝවේ පදාසයක් ඉරී ගිය ආසනයෙන් ඔහුගේ ජීවන තත්වය පිළිබඳ සියුම් තතු අවට සමාජයට සන්නිවේදනය වෙයි.


අපේ හිරමනයක් මුව තියාගන්න තියෙනවා. කොහොමද ගාස්තුව ?

හිරමනේ බලන්නෙ නැතුව කියන්න බෑ මහත්තයා. 

හෙතෙම බුලත් කහටින් දුර්වර්ණ වූ දත් පෙළ පෙන්වා දසන් දක්වා සිනාසෙයි. අහිංසක කමේ ප්‍රතිමූර්තියක් බදු මේ මිනිසා කෙටි කලෙකින්ම මා සිත දිනා අහවරය.

මුළුතැන් ගෙයට දිව ගිය මා හිරමනය රැගෙන නැවත ඔහුට සම්මුඛ වූයෙමි.

මේකට රුපියල් 220 ක් දෙන්න මහත්තයා..ග්‍රයින්ඩරෙන් අල්ලලා, පීරි ගාලා හොදට මුව තියලා දෙන්නං.

හරි. වැඩේ කරමු එහෙනම්..මම තීන්දුව දුන්නෙමි.

ඒ අවසරයෙන් මුවාත් කරු තම අඩුවැඩිය තිබූ ලෑලි පෙට්ටියෙන් ග්‍රයින්ඩරය හා තවත් උපාංග කීපයක් අප නිවසට සමීප කරවා කොටු වැටුන සරම සකසාගෙන බිම ඉඳගත්තේ ග්‍ර‍යින්ඩරය විදුලියට සම්බන්ධ කරන ලෙස සිරා කොලුවාගෙන් ඉල්ලා සිටිමිනි.


යටි හනුව සහ උඩු හනුව අතර එහා මෙහා යමින් තැලී පොඩිවෙන බුලත් විටක් අතරේ අපේ කථානායකයා සීරුවට මාරුවට හිරමනය මුව තියනා අරුමය මම බලා සිටියෙමි. ඔහු සැබැවින්ම ඒ කාරියට හපනෙකි. දැති නොමැතිව ලතැ වුන හිරමන තලයට නොබෝ වේලාවකින්ම යෝධ බල සහ විරිය ඔහු නිසා ලැබුනි. ග්‍ර‍යින්ඩරයෙන් සුමට කොට පීරි තලයක් මගින් දැති අතර ගැඹුර සකස් කොට මේ කාරිය මනාලෙස ඉටු කිරීමට ඔහුට විනාඩි 15 ක පමණ කාලයක් යන්නට ඇත.

වතුර වීදුරුවක් දෙන්න පුලුවන්ද ? ඔහුගේ සිනහව සැබැවින්ම අව්‍යාජ එකක් විය යුතුය.

එතෙක් වේලා මුඛය තුල ඒ මේ අතට දෝලනය වූ බුලත් හපය අප මිදුලේ කොණකට  වන්නට මුදා හැරි ඔහු ඉතාම අහිංසක ලෙස නැවත නැවතත් සිනාසෙයි.

වැඩේ ඔන්න හොඳටම කලා. දැන් හොඳට පොල් ගෑවෙයි. අහළ පහළ තව වැඩ තියෙනවද දන්නෙ නෑ නේද මහත්තයො...

කොහෙ ඉඳන්ද ඔයා එන්නෙ..මම විමසුවෙමි.

සීදුවෙ ඉදන්... 

සීදූවේ සිට අව් කාෂ්ඨකයේ පිච්චෙමින් මුව තියන්නට සොයමින් පැමිණි ඔහුගේ අද දිනයේ පළමු ගණුදෙනුව මෙය බැව් මම ඔහුගේ අංග චලනයන් ඔස්සේ හඳුනාගතිමි. ඒ නිසාම අප අවට හිතවතුන්ගේ මුවතියන්නට ඇත්තේ මොනවාදැයි දුරබණුව ඔස්සේ විමසා බැලුවෙමි.

මාමා ගිය සතියෙ මුව තිබ්බනෙ...

ඒ පිහිය අයින් කලා අපි අලුත් පිහියක් ගෙනාවා..

නෑ නෑ මුව තියන්න මොකුත් නෑ..

විවිධ අය විවිධ දෑ කියූහ. දුරබණුව අතට ගෙන ඔහුට තවත් රාජකාරියක් සොයාදෙන්නට මම පටන් ගන්නා විට විකසිතව තිබූ ඔහුගේ මුව කමල, මුව තියන්නට කාටවත් මොකුත් නෑලු...යනුවෙන් පවසනාවත් සමග අඳුරු වන අන්දම මම පැහැදිලිව දුටුවෙමි.

මහත්තයා ලග පරණ ෂර්ට් එහෙම නැද්ද...වැඩකට යද්දි අදින්න හරිහාමන් ඇඳුමක් නෑ.  

හිරමනය මුව තැබීමේ ගාස්තුව ගෙවා දැමීමටත් පෙර ඔහු තවත් ඉල්ලීමක් කරයි. එතෙක් වෙලා ඔහුගේ කමිසයේ අත් යටට වන්නට සැගව තිබූ විශාල පැලැස්තරයක් මම දුටුවෙමි.

එයට පෙර මාසයක විදේශගත ඥාතියෙකුගෙන් මා හට ලැබුන මගේ ප්‍ර‍මාණයට වඩා බෙහෙවින් විශාල අලුත්ම ෂර්ට් දෙකක් මා සතුව තිබුනි. මම කිසිම පැකිලීමකින් තොරව ඒවා ඔහුට දුන්නේ සතුටිනි.

ඒවායේ ඇසුරුමේ වූ රට සුවඳ ගැඹුරු හුස්මකින් විඳගත් මේ අමුත්තා, බොහොම ස්තූතියි යැයි මිමිනුවේය.

ඔහුගේ ගාස්තුව  සුරතේ තැබූ කල මුදල් නෝට්ටු දෑතින්ම අල්ලාගෙන මා දෙස  ස්තූතිපූර්වකව බලා සිටි ඔහුගේ දෑසේ සතුටක සේයා මම දුටුවෙමි.  ඉන් අනතුරුව තවත් වැඩ දෙක තුනක් සොයාගත හැකි අසළ ගම්මානයක තතු පවසා මම ඔහු පිටත් කර හැරියේ තෘප්තිමත් සිතිනි.

දැන් මේ කථාවට සම්බන්ධ නැති තවත් අතුරු කථාවෙකි.

අප කුඩා කල සිට අප පන්සලේ සහ එහි පැවැත්වෙන පිරිවෙන් පාසලේ නායක හිමිපාණන් ලෙස වැඩසිටි  සිවුරු කරු තම බිරිඳ සමග නිවසක සිටියදී දායකයන් පිරිසකට කොටු වූයේ දැන් මාස හතරකට පමණ කලියෙනි.

මේ පැවිදි පුද්ගලයාගේ චර්යාවන් කෙරෙහි කළකිරුණ ඇතැම් දායකයෙක් කාලයක සිට පන්සල වර්ජනය කරමින් ඔහුගේ වරදක් අතට හසු කරගන්නට මාන බලමින් සිටිනා විටෙක තවත් දායක ඇත්තෙක් නායක හිමිට ඉහළම පුද සත්කාර පවත්වමින්, ඔහුගේ අඩුපාඩු සැළ කරනා අයට බනිමින්, පන්සලේ අඩුපාඩු සකසාලමින් දෙලොව යහපත සලසා ගනිමින් සිටියෝය.

සිරා කොලුවාගේ ඇති හැකි ඥාතීන් ඇතමෙක් මුළුතැන්ගෙයි උපකරණ, ශබ්ද විකාශන උපකරණ මෙන්ම පන්සලට අවැසි යැයි ඒ අයට දන්වා තිබූ විවිධ වර්ගයේ විදුලි උපාංග නායක හිමිපානෝ වෙත පූජාකලේ බැති සිතිනි. මේ කිසිවෙකුත් සිරා කොලුවා අහිංසක පාසල් දරුවන් අරභයා කරනා කිසිදු වැඩ කටයුත්තකට ශත පහකින් හෝ තම දායකත්වය දුන්නේද නැත.

දුස්සීල සිවුරු කරුට හදිසියේ වූ අභාග්‍යය  හෙවත් එතෙක් කල් හොරෙන් පවුල් කෑ බිරිඳගේ නිවසේ සැගව සිටියදී මාට්ටු වීමෙන් පසු මේ කාගෙ කාගෙත් ඇස් ඇරුනු අතර ඔවුන් ඒ වන තෙක් පන්සලට පූජා කල බොහෝ දෑ පන්සලේ නොමැති බැව් වැටහෙන විට අස්පයා ඉස්තාලයෙන් පැනගොස් හමාරය. ඒ බොහෝ දෑ ඔහුගේ පුද්ගලික ප්‍රයෝජනය පිණිස නිවස වෙත රැගෙන ගොස් තිබිණි.

අප ප්‍ර‍දේශයේ වෛද්‍යවරයෙක් දිනක් ඔහු රැකියාව කරනා රෝහලේ ගැබිණි මව්වරුන් සිටිනා වාට්ටුවේ රාජකාරිය කරනා කලෙක ගිහි ඇඳුමින් සැරසුනු නායක හිමි හමු වී ඇත්තේ බොහෝ කාලයකට පෙරදීය. ඒ අවස්ථාවේ සිට සිවුරු කරු දායක දැලට හසුවන තුරා මේ හමුවීම පිළිබඳ රහස ගැන කිසිවක් කිසිවෙකුට නොකී මේ වෛද්‍යවරයා පන්සල සමග එතෙක් පැවති සම්බන්ධය විසන්ධි කලේ ඉහත හමුවීම සිදු වූ දවසේම යැයි තම හිතවතුන්ට කියා තිබුනි.

නව දෙමහල් නිවසක, අන්තර්ජාතික පාසලක අධ්‍යාපනය ලබනා දරුවෙකු සහ බිරිඳ සමග තම ජීවිකාව ගෙන යන්නට මේ දුස්සීල සිවුරුකරු තම චීවරයේ ආනුභාවය යොදාගෙන තිබුනි. අවට සමාජයට ඇය සැල කර තිබුනේ තම සැමියා විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකු බවයි. ඔහුගේ සන්සුන් බසට රැවටුන දායක කාරකාදීන් සිව්පසයෙන් උපස්ථානයට අමතරව මුදලින් සහ තවත් බොහෝ දෑ වලින් ඔහුගේ හිත එතෙක් කල් පිනවා තිබුනේය. ඇතැම් උපාසිකාවන් එයට වඩා දෑද හොර රහසේ තැන් තැන් වල දන් දී ඇති බැව් දැන් ප්‍ර‍සිද්ධ රහසකි.

දැන් අප මේ සිදුවීම් දෙකම එක සිදුවීමකට ගලපා ගමු.

මිනිසුන් ලෙස මේ සමාජය තුල කුටුම්භ පෝෂණය පිණිස අප සිදු කරනා විවිධ ආර්ථික ක්‍ර‍ියාකාරකම් හෙවත් රැකියාවන්හි  උස් පහත් භේදයක් අප සමාජය තුල දකින්නට ඇත්තේ බොහෝ කාලයක සිට බැව් රහසක් නොවේ. සනීපාරක්ෂක කම්කරුවා මෙන්ම වෛද්‍යවරයාද අප සමාජයට සිදුකරන්නේ වටිනා සේවයකි.

එහෙත් මේ දෙදනා අතරින් වෛද්‍යවරයා ඉහළ අත්තක තැබීමටත්, කම්කරුවා පහළම අඩියක රඳවා පාගා දමන්නටත් ආකල්පමය අතින් අපේ සමාජය ඉතාමත් දුර්වල තැනක තිබේ. ඔහුද මනුෂ්‍යයෙකු බවත්, ඔහුගේ අවශ්‍යතාවයන්ද අනෙක් මිනිසුන්ගේම වැනි යැයි බොහෝ විට බොහෝ අය සිතන්නේ නැත. මෙවැනි පුද්ගලයෙකුගේ සේවය ලබාගෙන ඔවුන් වෙත ස්තූතිවන්ත වූ බොහෝ විට ඔවුන් සංවේදී වූ අවස්ථා සිරා කොලුවාගේ ජීවිතය තුල ආගන්තුක නැත.

සිය පවුල නඩත්තුව පිණිස හිරමන මුවාත් කරමින්, අනුන්ගේ තණකොළ කපමින්, සමාජයට හිතකර සේවාවක, නිරතවන ඒ සහෝදරයා කෙරෙහි පිළිගැනීමක් අප සමාජයේ නැත. බැලූ බැල්මට හෙතෙම පොෂ් නැත. විශාල මිළ ගනන් වල යාන වාහන නැත. ඒ නිසාම සමාජ පිළිගැනීමක්ද නැත.

එහෙත් සමාජයට හොඳ මුහුණ පෙන්වමින්, විනය විරෝධීව මෙන්ම වංචාසහගතව ජීවත් වන, සමාජයට යහපත වෙනුවට අයහපත දායාද කරන දුස්ශීල සිවුරු කරු වැනි චරිත උදෙසා පුද දෙන්නට ඕනෑ තරම් ගෞරවය මේ ගිලන් වූ සමාජයට තිබේ. අවසානයේ මේ චරිත දෙකම අඩු වැඩි වශයෙන් තම තමන්ගේ කුටුම්භ ජීවත් කරවන්නට වෙහෙස වූවෝ බැව් පෙනෙනු ඇත.

නව වසරේ හෝ ආකල්පමය වෙනසක් අරඹමු. එසේ නොමැතිව ජරා ජීරණව පණ අඳිනා ශ්‍රී ලාංකික ජන සමාජයට අලුත් හුස්මක් ගන්නට ක්‍ර‍මයක් නොමැතිව ප්‍ර‍ත්‍යක්ෂ වෙමින් පවතී. ධනයට බලයට ලොල්ව ගෞරවය සහ පිළිගැනීම පුදනා මේ මජර ක්‍ර‍මය වෙනස් කරමු.

2019 නව වසරේ  සිරාගේ කාමරයට පැමිණෙන ඔබේ අවධානය පිණිසයි..




මම කාමරේ අරින සිරා කොලුවා.

24 comments:

  1. හිරමණ කෙසේ වෙතත් පිහි එහෙම නම් මුවාත් තියන්න කම්මලකට දුන්නා මතකයි අපි පොඩි කාලෙ. ඒත් දැන් තියෙන ඔය සුකුරුත්තම් පිහි නම් හුඟක් වෙලාවට මුවාත් තිබිල්ලක් නෑ, කැපෙන්නෙ නැතිවෙනකොට පැත්තකට කරල අලුත් එකක් ගන්නව. ඒවගේම ඔය කතුරුමුවාත් පිහිය මුවාත් මිනිස්සු අපි පොඩි කාලෙ නම් මේ පැතිවලත් ඇවිද්දා මතකයි. දැන් නම් දැකපු කාලයක් මතක නෑ.

    ඔය නායක තැන වගේම සිද්ධියක් මමත් ඇසීමෙන් දැනගෙන තියෙනව. අපේ පැත්තෙත් ළමයි එහෙම ඉන්න එක ගෑනු මනුස්සයෙක් ඉන්නව. එයාගෙ මනුස්සය දුර පළාතක රස්සාවක් කරනව කියල තමා කියනවය කියන්නෙ. ඒත් මිනිස්සු කියන්නෙ ඒ මනුස්සයගෙ රස්සාව මහනකමය කියල. කොහේ හරි පන්සලක සිවුර දාගෙන ඉඳල මාසෙකට දෙකකට සැරයක් ගෙදර ඇවිල්ල යනවලු.

    මිනිස්සු පිං බලාගෙන දෙන දීම නම් කියල වැඩක් නෑ. මීට හුඟක් කලින් ඔය වගේ සිද්ධියක් ගැන කියල මට මතකයි සහනුයි තව අපේ යාළුවො දෙතුන් දෙනෙකුයි කිව්වා හාමුදුරුවො කොයි විදිය උනත් භික්ෂුන්ට දෙන දානෙ උතුම්ය අනික් ඒවට වඩා කියල. ඉතිං මගෙ මොකො මගේ අතින් පයින් යනවයැ කියල හිතල මම කටවහගත්තා. හැබැයි දැන් කාලෙ අසරණයො කියල අඳුරගන්නත් අමාරුයි එහෙමටම, බොරුකරන මිනිස්සු හැමතැනම.

    ඉතිං සිරා හුඟ කාලෙකින්. සිරා හාමිනේ කෙනෙක් කැන්දන් ආපු බව දන්නෙත් ඔන්න හිරමණේට පින්සිද්ද වෙන්න. කොහොමහරි කමක් නෑ ලියනවනම්, මමත් මේ අවුරුද්දෙ වත් පුළුපුළුවන් වෙලාවට ලිපි ටිකක් කියවන්න ඕන කියල හිතාගෙන ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. සතුටක්...පරණ යාලුවෙක් නැවත මුණ ගැසීම, ඒ වගේම කාලයක් තිස්සේ ලොක් ඇසුරක් තිබුන කාමරේ වහලා දාන්න හිත් දෙන්නෙත් නැති නිසා අඩුම තරමෙ මාසෙකට එක ලිපියක් හෝ ලියන්නයි මේ වෑයම..

      සිරා කොලුවා හාමිනේ කැන්දන් ආව කථාවත් ලියලා තියෙනවා...වෙලාවක් කියවලා බලන්න...ජය !

      Delete
  2. ඇත්ත කතාව බං අයියේ. මිනිස්සුන්ගේ හිතේ පින් ලැබෙන්නේ පන්සලට දුන්නහම විතරයි කියලා. අනික පොඩ්ඩක් බලපං ඔය වගේ පොඩි මිනිහෙක් වැඩක් කරගන්න ආපුවහම, පොලේ ගිහිං වෙලෙන්දෙක් ගෙන් බඩුවක් ගන්න ගිහාමයි හෙට්ටු කරන තරම! හැබැයි ෆුඩ් සිටියෙන් ඒ ගස්ලබ්බම ලොකු ගානකට ගන්න අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. නාඩියා දැන් වාසය කරන රට දියුණු වෙලා තියෙන හැටි හොයලා බැලුවා නම් මම කියපු ආකල්පමය වෙනස ගැන හොද උදාහරණ ලැබේවි..

      Delete
  3. පිහිය මුවාත් තියන මිනිස්සුනං මේ පැත්තෙ ඉඳහිට දකින්න හිටියත් ඒ එක්කම තණකොලත් කපන මිනිහෙක් දැක්කමයි. ඔය ඉලෙක්ට්‍රික් ග්‍රයින්ඩර් නැතුව පරණ ලෑලි පැණි බීම කේස් එකකට අතින් කරකවන ග්‍රයින්ඩරයක් හයිකරගෙන තමයි මේ පැත්තෙ කට්ටිය එන්නෙ.

    තමන්ගෙ හැකියාවෙන්, මහන්සියෙන් හොර මැරකම් කරන්නැතුව ජීවත්වෙන අර වගේ මිනිස්සුන්ට වැදගත් යැයි තමුන් හිතාගන ඉන්න අයගෙන් ලැබෙන පිළිගැනීම අන්තිමයි. නමුත් අනුන්ගෙන් කඩා වඩාගෙන ලෝකෙට පෙන්න ජීවත්වෙන අයට නැමීගෙන ඉන්න අපේ ගොඩ දෙනෙක් කැමතියි.

    ReplyDelete
    Replies
    1. මමත් හුග කාලෙකින් තමයි එවැනි කෙනෙක් දැක්කෙ..ඔබ කියන මැනුවල් ගැජට් එකත් මට මතකයි...අපි මිනිස්සු විදියට ගෞරව කරන්න ඕනෙ හොර මැරකම් හෝ වෙනත් ජඩ වැඩ නොකරන මිනිසුන්ට මිස රැකියාවෙන්, ධනයෙන් බලයෙන් උසස් මිනිසුන්ට නෙමෙයි..

      Delete
  4. මොකක්ද බං අහිංසක මිනිසුන්ට කියලා 'මහත්තයා' කියලා කතා කරව ගන්නේ. අනේ මන්දා බං සිරා උබලත්.

    ගොඩක් පත්තරකාරයොත් එහෙමනි. උන්ගේ ලිපි වලත් උන්ට වෙන එකෙක් 'මහත්තයා' කියලා කතා කරාම ඒක හෙන උජාරුවට දාලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මම සාමාන්‍යයෙන් ලිපියක් ලියද්දි ඒ සිද්ධිය අරභයා සිදු වූ සැබෑ කථා බහ තමයි ලියන්නෙ. මෙයත් එවැනි එකක්..ඔහුගේම වචන තමයි මේ ලිපියේ තියෙන්නෙ...මට බලෙන් මහත්තයා කියා ගන්න තරමේ මානසික ආබාධයක් නෑ මිත්‍ර‍යා..

      Delete
  5. අපේ පැත්තෙනම් මම කාලෙකින් ඔය කතුරු මුවාත්, පිහිය මුවාත් කෙනෙක්ව දැක්කෙ නෑ.. තණකොළ කපන අයනම් ඉන්නවා.. අප්පා උන්ව අල්ල ගන්න එක චැනල් කරලා ඩොකෙක් අල්ලනවටත් වඩා අමාරුයි.. ගාස්තුවත් ඒ වගේ.. කොච්චරද කිව්වොත් මට වෙලාවකට හිතෙනවා මේ ජොබ් එකෙන් අස් වෙලා තණකොළ කපන්න යන්න... :D

    ReplyDelete
    Replies
    1. මමත් කාලෙකින් මෙවැනි කෙනෙක් දැක්කෙ...කැන්ගරුවන් වෙසෙන රටේ ජීවත් වෙන මගේ යාලුවෙකුගෙ නිවසට යාබදව ඉන්නවලු තණකොළ කපන සුදු මෑන් කෙනෙක්. වාහනේට අඩුවැඩිය දාගෙන පිට උනාම සති දෙකක් විතර අතනින් මෙතනට, මෙතනින් අතනට තණකොළ කපලා කපලා ගෙදර එන්නෙ සෑහෙන මුදලක් උපයාගෙනලු...

      Delete
  6. පළමු කථාව සංවේදීයී. එවන් අය ආ විට හැමවිටම මොනවා හරි කෑමට යමක් සකසා දීම හොඳයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට...අපේ නිවසේ ලොකු පොඩි භේද නෑ..අපි ගරු කරන්නෙ මිනිසත් භාවයට මිස දුප්පත් පොහොසත් වෙනසකට නොවේ...ඇතැම් විටෙක අපි ආහාර වලිනුත් සංග්‍ර‍හ කරනවා.

      Delete
  7. අද මෙග් සිංහල අවුල් සිෙරා්

    ReplyDelete
    Replies
    1. යුෂ්මතා phone එකෙන්, හෙළ කුරු භාවිතා කර, chrome browser යෙන්ද මේ කමෙන්ටුව දැමුවේ?

      Delete
    2. දේශක මාමා සහ සෙන්නා දැකීම සතුටකි...ඉස්සර දවසක අපි නිතර නිතර හමු උනත් දැන් ඉතින් කාලයේ තාලය වෙනස් වී තිබේ.

      දේශක මාමගෙ සිංහල අවුල පහසුවෙන් විසඳිය හැකි එකක් බැව් මගේ අක්මාවට දැනේ...

      Delete
  8. මටත් ඔය මිනිස්සුන්ගේ උස් පහත් කම් තේරෙන්නේ නෑ.. කරන දේ අවංකව කරනවා කියල තේරුණොත් වැරද්දක් උනත් නොතේරුම්කම කියල තේරුණොත් මම ඒ පුද්ගලයාගේ පැත්තේ.. හිතා මතා ගසා කන්න, කපටිකමින් චාටු කමින් කඩා වඩා ගන්න එනවා කියල තේරුණොත් ඒ උගේ අවසානය.. හෙහ් හෙහ්.. හාමුදුරු සීන් නම් දැන් ගොඩක්ම ඔහොමයි බං.. සීලය රැකගෙන හාමුදුරුකන් කරන්න අමාරුයි අද කාලේ.. මිනිස්සුන්ගේ ඩිමාන්ඩ්ස් වැඩියිනේ.. අල්පේච්ච ජිවිත ගත කරන හාමුදුරු නමකට දානයක් වත් හම්බ වෙන්නේ නෑ.. හමුදුරුවොන්ගේ ෂෝ ඕෆ් එක වැඩි වෙන්න වෙන්න තමයි 'බිස්නස්‌' හම්බ වෙන්නේ.. එතැනදී හාමුදුරුවෝ නිකම්ම ලෞකික සැපතට ඇදිල යනවා.. මොකෝ උන් කියල මහණ වෙලා මිසක් ධර්මය අවබෝධ කරගෙන නෑනේ.. නාමිකව දානෙකට බණකට පිරිතකට ගෙන්න ගන්න සිවුරු ඇඳගත්ත පොරක් හිටියොත් හොඳටම ඇති කියල තමයි මම දැන් හිත හදා ගන්නේ..

    ReplyDelete
  9. මේ තමයි අපේ පැත්තෙ තියෙන ප්‍රසිද්ධම තණකොළ කපන කට්ටිය.
    https://www.jimsmowing.net/
    අනිත් වැඩ මෙයාලා වගේම හැන්ඩි මෑන් කියලා කියන ඔඩ් ජොබ්ස් කරන අයත් කරනවා. මේගොල්ලො ගාව තියෙන අළුත් ගැජට් එක්ක බැලුවම ඔය වගේ අසරණ මිනිස්සු වැඩ කරන විදිය දකිනකොට හරිම දුක හිතෙනවා.

    දැන් කාලෙ වැඩිහරියක් හාමුදුරුවො ගැන අහන්න ලැබෙන්නෙ ඔය වගේ කතාමයි සිරා.

    ReplyDelete
  10. මාසේකට එකක් නමි බොහොම මදි පුතා...

    අනුන්ට අත නොපා ⁣ඡිවිතේ ගෙනියන්න උත්සහ කරන මිනිස්සු නියම මහත්වරැ අයියේ...

    අපේ සැදැහැවත් උපාසක උපාසිකාවෝ හිතන් ඉන්නේ පන්සලට ගිහින් කරන පිං තමා පිං කියලා...

    ලියපු එක ගැන සතුටුයි...

    ReplyDelete
  11. ඇතැම් උපාසිකාවන් එයට වඩා දෑද හොර රහසේ තැන් තැන් වල දන් දී ඇති බැව් දැන් ප්‍ර‍සිද්ධ රහසකි.

    නියම කතාව සිරා අයියේ.....

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...