Thursday, July 19, 2012

43 දින හතරේ ආගිය තොරතුරැ 4 කොටස

අද කියන්න යන්නෙ දින හතරේ චාරිකාවෙ 4 වන කොටස හෙවත් අවසන් කොටස....චාරිකාවට අනුව නම් තෙවන දිනය... හතරවන දිනයේදි නුවර එළියට යාම පමණයි සිදුවුනේ... ඒ ගැන විශේෂ යමක් ලියන්න නෑ... ඒ නිසා සිරාගෙ දින 4 චාරිකාව පිළිබද ලියැවුන සටහන් පෙල මේ පෝස්ටුවත් සමග අවසන් වෙනවා..

කියෙව්වෙ නැති අයට චාරිකාව පිළිබද  කථා පෙල පිළිවෙලින් මෙන්න
1 කොටස  2 කොටස  3 කොටස

සේනානායක සමුද්‍රය නැරඹීමෙන් අනතුරැව  අම්පාර පොල්වගා ජනපදයෙ ඔවාගිරිය පුරාණ විහාරයට තමයි අපේ නඩේ ගමන් ගත්තෙ රාත්‍රී නවාතැන් ගන්න... අතර මග එළවලු කඩෙන් විදුලිය නෑ කියන පණිවිඩේ ලැබුනට පස්සෙ ළග පාත කඩේකින් ඉටිපන්දම් ගන්න බැලුවත් ඒ වෙද්දිත් ප්‍රදේශවාසීන් ඒවායින් වැඩි කොටසකට වගකියලා තිබුනෙ, අපිට ලැබුනෙ ඉටි පන්දම් 4යි.

විදුලිය අහිමි වීමෙන් ගැටලු 2ක් ප්‍ර‍ධානව පැන නැගුනා... ආලෝකය නොමැති වීම, ජලනල පද්ධතිය ක්‍රියාත්මක වීමට විදුලිය අවැසි නිසා පන්සලේ ටැංකිය සතු ජලය අවසන් වූ පසු ජලය නොලැබී යාම....

ඔවාගිරිය රජමහා විහාරයේ පින්වත් කාරැණික ස්වාමින් වහන්සේලා කෙටි දැනුම් දීමකින් පැමිණි අපේ නඩේට පුදුමාකාර සහයෝගයක් දුන්නා.... පිරිමි පාර්ශවයට ස්වාමීන්වහන්සේලාගේ වැසිකිළි පවා භාවිතා කරන්නට ඉඩ දුන්නා.... අප නගරයේ දකින ස්වාමීන්වහන්සේලාට සාපේක්ෂව මනුෂ්‍යත්වය හදපුරා උතුරා යන සංඝපීතෘ ෘ වරැන් තමා මේ ප්‍රදේශවල ජීවත් වෙන්නෙ... දේශගුණික සාධක වලින් එල්ලවන අභියෝග වගේම කොටි ත්‍ර‍ස්තයන්ගෙන් එල්ළවුනු මරණීය තර්ජන හමුවේ පවා සැගවී නොගොස්  මේ ගම් නියං ගම්වල ජීවත් වෙන අපේම අහිංසක ජනතාවගේ හෙට දවස වෙනුවෙන් එතුමන්ලා කැපවුනු ආකාරය ප්‍ර‍ශංසනීයයි.



සම්පූර්ණයෙන්ම සිංහල පවුල් ජීවත් වෙන පෙදෙසක පිහිටි ඔවාගිරිය රජමහා විහාරය හා ගම්මු අතර ඇත්තේ ඉතා දැඩි බැදීමක්... අප නවාතැන් ගත් දින රාත්‍රී 8 පමණ වන විට විශාල පිරිසක් පන්සලට රැස් වී සිටියා.. තුන්රෝද රථ වගේම යතුරැ පැදි නිතරම පන්සලට පැමිණෙනවා.. බහුතරය තරැණ උදවිය. ඒ පිළිබදව සොයා බලන විට සිරා හට දැන ගන්නට ලැබුනේ මෙය සාමාන්‍ය තත්වයක් බවත්, ගම්වාසීන් සෑම දිනකම සංඝයා වහන්සේ හා සතුටු සාමීචියේ යෙදීමට මෙසේ පැමිණෙන බවත්ය.

ඔවාගිරිය කඩමණ්ඩිය
අපේ වාසනාවට අපේ නඩේ අයෙකු ලග හදිසියකදී දිගු වේලාවක් දැල්විය හැකි බැටරියෙන් ක්‍රියාත්මක වන විදුලි බුබුලක් තිබුනා (Emergency Light )  ඒ උපාංගයේ පිහිටෙන් හිච්චි අයියා යුහුසුලුව ආහාර පිළියෙල කලා... ජල ප්‍ර‍ශ්නයට විසදුමක් ලෙස පිරිසිදුවීමේ කටයුතු සදහා පන්සල පිටුපසින් ගලා යන  සේනානායක සමුද්‍රයේ වම් ඇළ භාවිතා කල හැකි වීම විශාල සහනයක් උනා... වයසින් වැඩි අය පවා කලාතුරකින් ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන හිතේ හැටියට ස්නානය කලා... එහි ජලය ඉතාමත්ම පිරිසිදුයි.


වම් ඇළේ පන්සල පිටුපස නාන තොටුපල
පන්සලේ කුඩා ස්වාමීන් වහන්සේලා අප සමග ඉතා ඉක්මනින් සුහද වුනා... සමහරැ සෙල්ලම් කරන්නත් කථා කරනවා.. තව කෙනෙක් ලග තියෙන පුරාණ නටඹුන් පෙන්නන්න යන්න කථා කරනවා...

මොනවද තියෙන දේවල්  අපිට බලන්න.. සිරා විමසුවා

බුදුපිළිමයක් එක්ක ගොඩාක් දේ තියේ... මේ වෙලාවෙ ගියොත් පිළිමෙ දිලිසෙන හැටි බලාගන්න පුලුවන්...

ඒ කොහොමද ?

ඒක හදලා තියෙන්නෙ  චන්ද්‍ර‍කාන්ත පාෂාණ වලින්ලු..

එහෙත් විදුලිය පවා නොමැති නන්නාදුනන ඉසව්වක රාත්‍රී ගමන අවදානම් විය හැකි නිසා ඉතාමත්ම වටිනා අවස්ථාවක් සිරා හට ගිලිහී ගියා.... පසුදින මේ පිළිමය බලාගත හැකි වුවද දිලිසෙන ආකාරය දැකීමට නම් රාත්‍රියේම යා යුතුයි.... ඒ අසිරිමත් දසුන දකින්නට නොහැකි වීම ගැන ඇත්තමයි මා තවමත් තැවෙනවා.

පිරිස ඔන්න රාත්‍රී ආහාරයත් භුක්ති විදලා ඉන්න වෙලාවෙ රාත්‍රී 10 ට පමණ තරැණ ස්වාමින්වහන්සේ නමක් සමග අවුරැදු 6ක පමණ කුඩා ස්වාමීන්වහන්සේ නමක් අප අසලට වැඩියා...

මෙයාට බඩගිනියිලු ... බත් තියෙනවද කියලා බැලුවෙ... තාම පොඩි නිසා විනය නීති රීති මෙයාලට තදට ක්‍රියාත්මක කරන්නෙ නෑ.... තරැණ ස්වාමීන් වහන්සේ වදාළා...

ඒ වෙද්දි ඉතිරිය සුනඛ තෙමේ ලා හට ලබා දී තිබූ හෙයින්.. බිස්කට් පැකැට්ටුවක් සමග කෙසෙල් ඇවරියක් අප විසින් ලබා දුන්නා... කුඩා ස්වාමීන් වහන්සේ අපගේ පෙරැත්තය නිසාම ඒවා භාරගත්තා....

වැඩිහිටි හිමියන් සමග සිරා කථාවට වැටුනා.... උන් වහන්සේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කල මේ ප්‍රදේශයෙන්ම මහණ වූ කෙනෙක්... සිංහලකම ගැන වගේම ගම, ගම්වාසීන් ගැනත් ලොකු ආදරයකින් කථා කලේ...

මේ තරම් පොඩි වයසෙදි මහණ වෙන්නෙ සසර කළ කිරිලද ? සිරා කථාබහ අරඹමින් ප්‍ර‍ශ්නයක් ඇහුවා...

නෑ අයියෙ...මෙයාගෙ තාත්තා පොඩිකාලෙම නැති වෙලා... අම්මා වෙන කසාදයක් කරගෙන... ඒ මනුස්සයා මෙයාට ගහනවලු හරියට... වද දෙනවලු... පුච්චලා පවා තියෙනවා... ඉතිං ගම්මු මට විස්තර කිව්වම අම්මගෙ අවසරය අරන් මහණකලා... පොඩි හාමුදුරැවන්ට හරියට කේන්ති යනවා... තරහගියාම මට කියන්නෙ ඔයා තමයි මාව එක්කගෙන ආවෙ මාව ගෙදර ගිහින් ඇරලවන්න කියලා....  ඒත් ඉතිං අපේ පොඩි හාමුදුරැවන්ට  යන්න ගෙයක් කෝ.... එහෙම කිව්ව හාමුදුරැවො ලොකු හුස්මක් ගත්තා....

පසුදා උදෑසන සියල්ලන්ම වම් ඇලෙන් නැවතත් ස්නානය කරලා , පිළියෙල වූ ආහාර වලින් කොටසක් මහා සංඝ රත්නයටත් පූජා කරලා බුදුන් වැන්දා.... ඒ ප්‍රදේශයේ ඉතාමත්ම අලංකාර බුදු මැදුර තියෙන්නෙ මේ පන්සලේ කියලා ඇතැම් ගම්මු අපිට කිව්වා... රාත්‍රිය උදෑසන කියලා භේදයක් නෑ.. එළිය වැටුන විගසම පුරැදු පරිදි ගම්වාසීන් පන්සලේ.... මේ වගේ ගම හා පන්සල අතර ඉතා දැඩි බැදීමක් දකින්නට ලැබීමත් හරිම සතුටක්...

උදෑසන ආහාරයෙන් පස්සෙ අපේ අය නැවතත් අඩුම කුඩුම බස් රථයට පැටවීම ආරම්භ කලා...

අයියෙ... ඕනෙ නම් මේ අඹ ගහෙන් ගෙඩි කඩා ගන්න කියලා ලොකු හාමුදුරැවො කිව්වා...  පොඩි සාදු කෙනෙක් එහෙම කිව්වම මට පුදුම හිතුනා... නගරෙ පන්සල හා ගමේ පන්සල අතර වෙනස ගැන... නගරෙ ඇතැම් පන්සල් වලින් පවා දැන් දැන් මනුෂ්‍යත්වය හේදී ගිහින්....

සිරා එතකොට තමා අඹ ගහේ තිබුන ගෙඩි දැක්කෙ... ඇත්තමයි එච්චර ලොකු අඹ මීට කලින් කොහේදිවත් දැකලා තිබුනෙ නෑ.... කිලෝ ග්රෑම් 2 කට වඩා බරයි එක අඹයක්... පොල් අඹ කියලා තමා කියන්නෙ.... මල්ලි නියම අඹ මාලුවක් හදලා දෙන්නම්.. හිචිචි අයියා අනුමැතිය දුන්න නිසා පොලු පහර කීපයක් ඇවෑමෙන් ගෙඩි කීපයක් බිම පතබෑවුනා.

පොල් අඹ
අඹ සංහාරයෙන් පස්සෙ නටඹුන් පෙන්නන්න පොල්වත්තේ පඥ්ඥාසාර පොඩි හාමුදුරැවො ඉදිරිපත් වුනා....බ්ලොගියෙ ලියන්න හිතාගෙනම හිටපු නිසා මම උන්වහන්සේගේ නම මගේ දුරබණුවෙ සටහන් කරගත්තා... නටඹුන් බලලා ඇවිල්ලා ඡායාරෑපයකුත් ගත්තා...  වටාපතත් පිළිවෙලකට  තියාගෙන මේ සූජානම් වෙලා ඉන්න දානෙ ගෙදරකට වඩින්න.


පොල්වත්තේ පඥ්ඥාසාර පොඩි හාමුදුරැවො


ඔවාගිරිය විහාරස්ථානයේ සිට පාගමනින් නටඹුන් තියෙන ඉසව්වට යා හැකියි...  ඔවාගිරිය කියන නම හැදිලා තියෙන්නෙ ගැමුණු හා තිස්ස කුමරැවන් අතර ඇතිවුන ගැටුම සමථයකට පත් කරන්න මහා සංඝරත්නය ඒ දෙන්නට ඔවදන් දුන් ස්ථානය කියන අරැතින්... මේ ස්ථානයේ ඉදිකිරීම් කිනම් රජ කෙනෙක් විසින් ඉදිකලාද කියලා හරියටම තොරතුරැ හොයාගන්න බැරිවුනත්.. මා විශ්වාස කරන්නෙ දුටුගැමුණු රජතුමාගේ මළනුවන් වන සද්ධාතිස්ස රජතුමා ඊට දායක වන්නට ඇති බව.


අතර මග නාන ලිදක් ලග මෙන්න මෙහෙම බෝඩ් කෑල්ලක් දර්ශනය වුනා... නරකයො කොහෙත් ඉන්නවා කියන එකට සාක්ෂියක් මේ.




ප්‍ර‍ධාන මාර්ගයට පිවිසිලා කුඩා ගුරැ පාරක් ඔස්සේ සශ්‍රීක කුඹුරැ යායක් පසුකර ගෙන  බුදු පිළිමය සහිත ප්‍රදේශයට පැමිණියේ..... ඒ ප්‍රදේශය රෑස්ස වනාන්තරයක් වගෙයි.. වළසුන් දෙදෙනෙකුත් ජීවත් වෙනවලු. ඇතුල්වන තැනම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවකයන් වෙනුවෙන් ඉදි වූ කුඩා කාර්යාලයක් දක්නට ලැබුනා...  ලගදීම මේ ප්‍රදේශයේ කැණීම් ආරම්භ කිරීමට තීරණය කර තිබෙන නිසා සේවකයන් යුහුසුලුව භූමියේ සුද්ධ පවිත්‍ර‍ කිරීම් කරමින් සිටියෙ.


ඔවාගිරිය වැඩබිමේ පුරාවිද්‍යා කාර්යාලය


තවත් මද දුරක් යන විට ගරා වැටුණු චෛත්‍යයක් දක්නට ලැබුණා...


ගරා වැටුණු චෛත්‍ය
ඊටත් පස්සෙදි පෙර දා රාත්‍රියේ  කුඩා ස්වාමීන් වහන්සේ විස්තර කල ඒ අසිරිමත් බුදුරැව දක්නට හැකිවුනා..


නටඹුන්ව තිබූ මේ ස්ථානය  ගල්ඔය නිම්න සංවර්ධන මණ්ඩලයෙ ඉල්ලීමක් අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් 1956 වර්ෂයේ දි ගවේෂණය කොට අනාවරණය කරගෙන තියෙන්නෙ..මෙම ස්ථානයේ තිබුන නටඹුන් වලින් විශාල ප්‍ර‍මාණයක් ගල් ඔය නිම්න සංවර්ධන ව්‍යාපාරයේදි ට්‍රැක්ටර් ධාවනයෙන් විනාශවෙලා තියෙනවා... ගල් කුලුණු හිස්, මුරගල්,කොරවක් ගල්, පැතලි උලු, වැනි දෑ මෙහිදී දැකබලා ගන්න පුලුවන්. අඩි 11 1/2 ක් පමණ උස ස්ථටික හුණු ගලින් නෙලන ලද දෙඅත් කැඩුණු කවන්ධ බුද්ධ ප්‍ර‍තිමාව 2008 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන අංශය මගින් සංරක්ෂණය කිරීම ආරම්භ කර තිබෙනවා. සංරක්ෂණය ආරම්භ කරන අවස්ථාව වන විට බිම පතිත වී උරහිස් කොටස කැඩී තිබූ පිළිමය විශේෂයෙන් සකස් කරන ලද දැව රාමුවක සහ කප්පියක ආධාරයෙන් ඔසවා ස්ථාපිත කල බැව් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ වෙබ් අඩවියේ සදහන් වෙනවා... ඒ අවස්ථාවේ ගත් මේ ඡායාරෑපත් එම වෙබ් අඩවියෙන්මයි උපුටා ගත්තේ. මෙන්න ඒ අඩවිය.


ඇද වැටී තිබූ පිළිමය යළි නගා සිටුවන අයුරැ

පිළිමයේ දෙපා ගල් කුඩු මිශ්‍ර‍යකින් ප්‍ර‍තිනිර්මාණය කරමින්

වෙන් වී තිබූ ශීර්ෂය නැවතත් සවි කරමින්

වැඩ අවසන් වූ පිළිමය
පිළිමය රාත්‍රී කාලයට දිළිසෙන බවට මා ඇසූ කථාව සත්‍යයක් බැව් එහි සේවයේ යෙදී සිටි පුරාවිද්‍යා සේවක මහතුන් කියා සිටියා...ස්ථටික හුණු ගලින් පිළිමය නිර්මිත වුවත් තැනින් තැන තිබෙන චන්ද්‍ර‍ කාන්ති පාෂාණ එයට හේතු වී තිබේ... මේ දිස්නය දෙන්නේ මැණික් ගල් යැයි සිතා නිධන් කොල්ලකරැවන් අවස්ථා කීපයකදීම මෙම පිළිමය කඩා බිද දමා තිබෙනවා... එහෙත් දැන් එම ස්ථානයේම කාර්යාලයක් තිබෙන නිසා ආරක්ෂාව තහවුරැ වෙලා. ඉතා නුදුරේදීම මෙම පිළිමය සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර‍කරන බවත් ඉන් පසු වැඩි එළියක් විහිදේ යැයි අනුමාන කරන බවත් වැඩි දුරටත් ඔවුන් කියා සිටියා...

සුදු පාටින් දිස් වෙන්නෙ චන්ද්‍ර‍කාන්ති පාශාණ

ඈත අතීතයේ මෙම ස්ථානය ඉතාමත්ම සශ්‍රීකව පැවති බවට සාධක රාශියක් දැක ගන්න පුලුවන්...




පැතලි උලු

ගල්කණු හිසක්


නටඹුන් දැකබලා ගෙන නැවත පැමිණෙන විට මාර්ගය ආසන්නයේ මසුන් අළෙවි කරමින් සිටි අයෙකු දකින්නට ලැබුනා... දිවා ආහාරය සැකසීමට අපි ඔහුගෙන් මාලු මිළදී ගත්තේ අපේ ප්‍රදේශවල මෙවැනි මසුන් නොමැති හෙයින් රස බැලීමට ඇතිවූ කුහුල නිසාමයි... කැට්ලා මෙම මත්සයින්ගෙ නම... රජය මගින් අභිජනනය කොට සේනානායක සමුද්‍ර‍යට මුදා හැර ඇති විශාලව වැඩෙන මිරිදිය මත්ස්‍ය වර්ගයක්....


කැට්ලා මසුන්
නටඹුන් නැරඹීමෙන් අනතුරැව අපට නොමසුරැ ලෙස උපකාර කල බුද්ධ පුත්‍ර‍යාණන් වහන්සේලා හට ශීර්ෂ ප්‍ර‍ණාමයෙන් ස්තූති කොට අපි  ඔවාගිරිය රජමහා විහාරයෙන් සමුගත්තා...

අද දින රාත්‍රී නවාතැන මහියංගණය නිසා  ඒ දිශාවටයි දැන් බස් රථය ගමන් කරන්නෙ...  මේ මාර්ගයේ අපිට ඊළගට හමුවන වැදගත් ස්ථානයක් තමයි අරංතලාව භික්ෂු ඝාතනය සිදු වු තැන.. ම්ලේඡ කොටි ත්‍ර‍ස්තවාදින් සිදු කල මේ මහා අපරාධය පිළිබද වෙනම පෝස්ටුවක් ඉදිරි දිනයකදි සිරාගේ කාමරෙන් බලා ගන්න පුලුවන්..ඒ නිසා වැඩි විස්තර මෙයට ඇතුලත් කරන්නෙ නෑ....


ඉතිහාසයේ අදුරැතම දිනයක නුතන මතක සටහන - අරංතලාව ස්මාරකය


අරංතලාවෙන් පස්සෙ හමුවන මහඔය හන්දියෙන්  හැරී කිලෝමීටර් 2ක පමණ දුරක් ගියතැන හමුවන්නෙ මහඔය උණුවතුර ළිං... ලංකාවෙ වැඩිම උණුසුමක් සහිත උණුවතුර ළිං තිබෙන්නේ මෙහි බව බොහෝ අය පවසනවා...
ඉහළට නැගෙන පෙණ බුබුලු



1959 දී පමණ තමයි මේ ළිං සංවර්ධනය කිරීමේ මූලික කටයුතු කර තිබෙන්නෙ... අතීතයේ කැලෑවේ දඩයමේ ගිය වැද්දන් දඩ මස් සෝදාගැනීමටත්... තලගොයි බිත්තර තම්බා ගැනීමටත් මෙම ළිං භාවිතා කර තිබෙනවා කියලත් දැනගන්න ලැබුනා...ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 55 ක් පමණ වෙනවලු. කුඩා දිය බුබුලු වරින් වර ළිං පතුලේ සිට ඉහළට එන අයුරැ දැකගත හැකියි. සිරා දෑතම මෙම ළිද තුලට දැම්මත් තත්පර ගණනකදි ආපසු ගන්නට සිදුවෙන්නෙ උෂ්ණත්වය දරා ගැනීමට අපහසු නිසයි. මෙහි ඇති සම්පූර්ණ ළිං සංඛ්‍යාව 7ක්. ඒ අතරින් එක ළිදක පමණක් නෑමට හැකි ලෙස ජලය උෂ්ණත්වය අඩුයි.


චර්ම රෝග,වාත රෝග,හිරිවැටීම,හන්දි ඉදිමීම වැනි රෝග වලට මෙම ජලය ස්නානය වඩා හොද බවයි තතු දන්නො කියන්නෙ. ත්‍ර‍ස්තවාදී තර්ජන නිසා නරඹන පිරිස ඒ කාලයේ අඩු වුවත් වර්තමානයේ පවතින සාමකාමී වටපිටාව නිසා ඕනෑම කෙනෙකුට එහි යා හැකියි.  මි පැණි වගේම ඒ ප‍්‍රදේශයේ නිපදවන තවත් දෑ එහි විකිණීමට තිබෙනවා.... මෙම ළිං 7න්ම දිය නාන කෙනෙකුට රැ. 750/- වටිනා මී පැණි බෝතලයක් නොමිලේ දෙන බව එහි සිටි අය අපට අභියෝග කරමින් පැවසුවා...  මේ ළිං සියල්ලෙන්ම නානවා කියන්නෙ රෝහල්ගත වෙන්න වෙන ක්‍රියාවක්....

උණුවතුර ළිං නැරඹීමෙන් අනතුරැව අපේ ගමනාන්තය උනේ දඹාන ආදිවාසී ගම්මානය... ප්‍ර‍ධාන මාර්ගයෙන් අතුරැ මාර්ගයට බස් රථය හරවන  හංදියේ සිටම ආදි වාසී ළමයින් එන අය පිළිගන්නට සැදී පැහැදී සිටිනවා... අපේ රථයටත් එවැනි ළමයෙකු නැගී ගී ගැයුවත් වැඩිහිටියෙකු කල විහිලුවකට ඔහු කිපී වැදි ගම්මානයේදී අපිට මග පෙන්වීම ප්‍ර‍තික්ෂේප කලා... ඒ වෙනුවට අපට එක්වුනේ නිහාල් ජයවර්ධන. ඔහුත් ආදිවාසී දරැවෙක් වයස අවු. 14.

නිහාල් ජයවර්ධන
සිරා කලින් මෙහි පැමිණ නැති නිසා වැදි ජීවිතයේ බොහෝ දෑ දැන ගත හැකි වේයැයි සිතූවත් අප සිතන තරම් දෙයක් එහි දැන් දක්නට නෑ... ආදි වාසීන් නුතන ජන ජීවිතයට බද්ධ වී තිබෙන හෙයින් ඔවුන්ගේ කථා බහ, වාසස්ථාන හැර වැඩිමනක් වෙනසක් දක්නට අමාරැයි.

බස් රථය නවත්වන තැනම තිබෙන්නේ ඔවුන්ගේ නිෂ්පාදන අළෙවි කරන කඩපිලක්
කිරිදි ඇට වලින් සෑදූ මල් වට්ටි/ ඇත් දත් වලින් සැකසූ මුදු/ කලුවර ලීයෙන් සෑදු ඊතල එහි අළෙවියට තබා තිබුනා.

වැදි නිෂ්පාදන අළෙවි කරන කුඩා කඩමණ්ඩිය

නිහාල් අපිට මග පෙන්වමින් තිසාහාමි හිටපු වැදි නායක තුමාගේ සොහොන දක්වා රැගෙන ගියා... ඒ සොහොනට යාබදව තිබෙන පොළොවේ සිටවූ කලු ගල්  තවත් සොහොන් කිපයක්... ඒ තිසාහාමිගේ බිරින්දෑගෙ සහ දරැවන්ගෙ...වත්මන් වැදි නායක ඌරැවරිගේ වන්නියලැ ඇත්තෝ තිසාහාමි ඇත්තන්ගෙ තවත් දරැවෙක්... අපි ඔහු බැහැ දකින්නට විස්තර ඇසුවත් නිහාල් ජයවර්ධන කිව්වෙ මේ වෙලාවෙ නායක ඇත්තො හේනට ගොහිල්ලා කියලා..


හිටපු වැදි නායක තිසා හාමි ඇත්තන්ගේ සොහොන

අවශේෂ සොහොන්
සිත් ඇදබැද තබා ගත හැකි හුරතලයක් වගේම සිංහල භාෂාව මනාව හැසිරීමට ඇති හැකියාවත් නිසා නිහාල් ජයවර්ධන වෙත අපේ නඩේ මව්වරැන් වඩාත් සෙනෙහස පෑවා... ඔහුට යම්තරමකට ඉංග්‍රීසි භාෂාවත් පුලුවන්... නිහාල් ගෙ වැදි ගීත අසා අවසානයේ මුදලින් තිළිණ ලබා දුන්නෙ අධ්‍යාපනය සාර්ථක කරගන්න අවැසි දේ සපයාගන්න. ආදිවාසීන්ගේ ඉතිහාස කරැණු ඇතුලත් කෞතුගාරයක් තිබෙන මුත් අප ගිය දින එය වසා දමා තිබුනෙ.

නිහාල් ජයවර්ධනට වගේම වැදි හූරලගෙ ගම් පොජ්ජටත් සමුදී අපේ නඩේ,  බුලතා යෝධයා විසින් නිමැවු බවට පිළිගැනෙන සොරබොර වැව දැකබලාගන්න ගමන් කලා.. ඒ පිළිබද දැක්වීමට තොරතුරැ රාශියක් තිබෙන නිසා වෙනම පෝස්ටුවක් ලෙස ඉදිරි දිණකදි සිරාගේ කාමරෙන් එයත් ඉදිරිපත් වේවි.

සොරබොර වැව
සොරබොර වැවෙන් අනතුරැව පිරිස මහියංගණයට ලගා වුනා... මහියංගණ විහාරය ආශ්‍රිතව රාත්‍රිය ගත කරලා පසුදා උදේ මහියංගන වෙහෙර වැදපුදා ගෙන දිවා අහාරයට නුවර එළියට යන්නට අපට හැකි වුනා.. දින හතරක චාරිකාව නිමා වුනේ ඒ විදියට...

මහියංගනය දාගැබ

මහියංගනය විහාරයේදී දුටු සද්දන්තයෙක්

ඔන්න එහෙනං දින හතරේ චාරිකාව පිළිබද සටහන් පෙල මෙතෙකින් නිමා වෙනවා. එක පෙළටම චාරිකා සටහන් කියවන එක නීරස විය හැකි නිසා අරංතලාව හා සොරබොර වැව පිළිබද පෝස්ටු යථාකාලයේ තථා අයුරින් මෙහි වැටේවි.

චාරිකා සටහන පුරාවට කොමෙන්ටු මගින් හොද නරක දක්වා මා දිරිමත් කල බ්ලොග් අවකාශයේ මිතුරැ මිතුරියන් හැමටම සිරාගේ ආචාරය !


මම සයිබරයේ අලුත් මිතුරා සිරා.....




ප.ලි


නගරයේ පන්සල් තුල මෙවැනි මනුෂ්‍යත්වයක් මා අත්දැක නැති නිසා එලෙස ලිවීමි.










43 comments:

  1. අපොයි ගොඩක් දවසකින්ද මන්ද මේ පැත්තට සේන්දු වුනේ මමත්
    සිරා අයියා වෙනස් වෙලා හැඩ වෙලා ලස්සන වෙලා අනේ මන්ද නමුත් මම තිබුන විදියටනම් හරිම කැමතියි.ඒකෙ අමුතුම ලුක් එකක් තිබුණා...

    හාමෝගෙම නොදකින අළුත් වෙනසක් නමුත් දැන් හැමෝගෙම වගේ බ්ලොග් එකක් වෙලා..මට නම් හිතුනෙ අපරාදෙ කියල

    නමුත් තමන්ට ඕනි දේ තමයි තමන් කරන්න ඕනි...
    ජයම වේවා...

    අම්මෝ තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා.ට්‍රිප් එකනම් මරු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත්තමී... ඔයාගෙත් නමේ වෙනසක් වෙලා නේද ? පෙනුමේ වෙනසක් කරන්න හිතුවෙ ඒ ආකෘතියෙ තිබ්බ අඩුපාඩු කීපයක් නිසා... විශේෂයෙන්ම කොමෙන්ටු වලට ප්‍ර‍තිචාර දක්වන්න මේ වගේ ලේසියෙන් බෑ... ඒ නිසා කාමරයට පැමිණෙන අයටත් පහසු වෙන්න මේ මුහුණුවර ගත්තා....

      Delete
  2. ෂහ් නියම ට්‍රිප් එකක්නේ සිරාට සෙට් වෙලා තියෙන්නේ

    ජය!

    ReplyDelete
    Replies
    1. අවතාර් ! ඔන්න ඔයාව අද සාදරයෙන් මගේ මේ පුංචි කාමරයට පිළිගන්නවා... ස්තූතියි මේ පැත්තෙ ආවට... ජය!

      Delete
  3. නියමයි සහෝ.. ඉරිසියාවේ බැහැ..:)

    ReplyDelete
    Replies
    1. අර අඹ තියන් ඉන්න ගෑල්ලමයි දැක්කම ද?

      Delete
    2. ස්තූතියි හිරැ... ඔබ ඉරිසියාව කියලා අදහස් කරන්නෙ අපි හැමෝම දන්න ඉරිසියාව නොවන බව මම දන්නවා.. ඊට වඩා සොදුරැ එකක් එහෙම නේද ?

      @ සෑමා

      ඒ ගෑල්ලමයගෙ මව්තුමිය තමයි අනිත් කෙනා...

      Delete
    3. @ Saho Sam_ he he! :)

      @ Saho Sira_ Aniwaren! Ane Matath Yanna Tibbanam Trip 1k.. :)

      Delete
    4. ඊළග එකට ආරාධනා කරන්නම්.. අරණායක පැත්තට යන්න හිතන් ඉන්නෙ.. අපිට සින්දු ටිකකුත් අහගන්න පුලුවන් වේවි ඔබෙන් ...

      Delete
  4. පොල් අඹ ලෙලි ගහලද බං කන්නේ?

    ReplyDelete
    Replies
    1. මේ අඹ වර්ගය ඉදෙන්න දීලා කන්න බැහැලු... පණුවො ගහලා කුණු වෙනවලු.. ව්‍යාංජනයක් විදියට නම් මරැ... අමුවෙන් කන්නත් අමාරැයි.. හරිම ඇඹුල්...

      Delete
  5. නාන පොට් එක දැක්කමනම් ඇඬේනව..

    ReplyDelete
    Replies
    1. ඔය නාන පොට් එක ටිකක් භයානකයි... සෑහෙන සැඩ පහරකුත් තියෙනවා.. අයිනෙම ඉදලා තමා පීනගන්න බැරි අය නාන්න ඕනෙ.. හැබැයි වතුර ටික නම් නිල් කැටේට තිබුනා...

      Delete
  6. හපොයි ලිඳලඟ බෝඩ්එක!

    ReplyDelete
  7. ෂාහ් කතාව කියවලා ෆොටෝස් ටික බැලුවාම අපිත් ට්‍රිප් එක ගියා වගේ තමා. ස්තුතියි අපිත් එක්ක කරුණු බෙදා ගත්තාට. ඔවාගිරිය පුරාවිද්‍යා ප්‍රදේශය ගැන අද තමා දැනගත්තේ. ඒ ගැනත් කරුණු හොයා බලන්න හිතේ තියා ගත්තා

    ReplyDelete
    Replies
    1. ඔබත් ඉතිහාසය පිළිබද උනන්දුයි කියලා මම දන්නවා.... ඔවාගිරිය ගැන තියෙන පුරාවිද්‍යා තොරතුරැ අඩුයි. හැකිනම් ඒ ගැන හොයලා විස්තරයක් දාන්න...

      Delete
  8. නියම ලිපිය බන් ෆොටෝස් ටිකත් මරු.අර අඹ ගෙඩි තුනයි ජම්බෝල ගෙඩියකුයි තියෙන්නේ ඒකනම් පස්ට ආ. ට්‍රිප් එක ඉවරද?

    ReplyDelete
    Replies
    1. ජම්බෝල ගෙඩියක් කොයි හරියෙද බන් තියෙන්නෙ... ට්‍රිප් එක ඉවරයි...

      Delete
  9. හරිම ලස්සනට ලියලා තියෙනවා අයියේ.... මෙන්න මෙහෙම තමයි චාරිකා ගැන විස්තර ලියන්ඩෝන.මාරයා අයියාගේ චාරිකා කියෙව්වට පස්සේ ඒ හා සමාන විස්තරයක් මේ කියෙව්වමයි.පොටෝ තියෙන නිසා සෑහෙන්න වටිනවා....

    නගරබද පන්සල් වලින් බොහෝ විට මනුෂ්‍යත්වය ගිලිහි තියෙන බවත් දැන් දැන් පන්සල් යනු ව්‍යාපාරික ස්ථානයක් බවට පත්වීගෙන එන බවත් අකමැත්තෙන් හෝ පිළිගන්න වෙනවා.

    චන්ද්‍රකාන්ත පාෂාණය ගැන ඇහුවාම පුදුම කුතුහලයක් ආවා.තව ටිකක් ඒ ගැන සොයන්න හිතෙනවා.හුණුගල්වලම තිබුණ පාෂාණද නැත්තම් කුමක් හෝ අරමුණක් නිසා තැන්පත් කරපු පාෂාණද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ....

    දිගටම ලියන්න සහෝ....

    ReplyDelete
    Replies
    1. ගැමියව සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..... ස්තූතියි ඔබේ අදහස් වලට...
      හොයලා අලුත් තොරතුරැ දෙන්න අර පිළිමය ගැන...

      Delete
  10. හෙන හත වදින සීන් එක මරු ඈ.,

    ReplyDelete
    Replies
    1. බලන් ඉදලා බැරිම තැන වෙන්න ඇති එහෙම කියන්න ඇත්තෙ...

      Delete
  11. ට්‍රිප් ඒක නම් සුපිරිම තමා .

    ReplyDelete
  12. ඇත්තමයි...සිරා නියමයි....පුදුම ආසාවක් ඇතිඋනේ ...ඔය වගේ ට්‍රිප් එකක් යන්න..!
    උඹට හොඳ හැකියාවක් තියෙනවා...විස්තර කරන්න.!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ අදහස් වලට...

      Delete
  13. ගොඩාක් වටිනා පින්තුර හා විස්තරයක්. අර ගාරවටුන බුදුපිළිම වගේ පිළිම ලංකාවේ කොච්චර ඇති ද?

    ReplyDelete
    Replies
    1. ඔවාගිරියේ කැණීම් ආරම්භ වුනාට පස්සෙ ඒ පැත්ත මීට වඩා ප්‍ර‍සිද්ධ වේවි.. කැළෑබද ප්‍රදේශ වල ඇසනොගැටුන නටබුන් රාශියක් තිබිය හැකියි.

      Delete
  14. මේක කියවනකොට කිසියම් සාංකාකූල ගතියක් දැනෙනවා. සමහරවිට මේ වගේ ගමනක් යන්න තියෙන ආසාව නිසා විය හැකියි. ලියල තියෙන විදිය තමා ඒකට හොදටම බලපෑවෙ.

    ජයවේවා....!!!!

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය පිළිබද උනන්දුවක් ඇති අයෙකු ලෙස මා හදුනාගෙන ඇති ඔබෙන් ලද මේ කොමෙන්ටුව මට ශක්තියක්... ඔබටත් ජය!

      Delete
  15. ලිපි ටික එලට ලියඋනා
    අර අඹ නංගි ලස්සනයිනේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! අඹ නංගි ලස්සනයි.. ඒක ඇත්ත..

      Delete
  16. කොටස් හතරම කියෙව්ව. නියම විස්තර සමග ලස්සන ෆොටෝ ටිකක්.
    ට්‍රිප් එකනං සිරාම තමයි.

    ReplyDelete
    Replies
    1. කාමරේට සාදරයෙන් පිළිගන්නවා.. ආයෙත් වෙලාවක එන්න..

      Delete
  17. සිරාගෙ කාමරෙත් සිරා වගේම සිරා. අපේ මහත්හොරු ලෝක සංචාර ගැන ශිෂ්ටාචාර ගැන දොඩවන එව්ව අතරෙ සිරාගෙ චාරිකාව කොච්චර සුන්දරද හිතෙනව. අම්මප සිරෝ ඔය පාර දිගට මාත් යන්නයි කියල ඩිංගකට කලියෙං තීරණේ කරා. එච්චරට කැහිල්ලක් ආව විස්තරේ කියෝපුවම.
    ඒ වගේම තවත් පොඩි යෝජනාවක්. . අර විජේ කුමාරතුංගගෙ මෝටර් සයිකලේ, එතකොට සයිකල් කෞතුකාගාරෙ වගේ අත්දැකීම්නුත් කිව්වොත් වටියි හිතෙනව. අනෙත් එව්වත් කියවන්න ඔ්න, ඒ නිසා අදට නවතින්නම්. ජය වේවා.
    ඉසුරු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගේ පත්තර මිත්‍ර‍යා... විජය කුමාරතුංගගෙ බයිසිකලය ගැන ඉදිරි දිණයක ලියන්නම්... බයිසිකල් කෞතුකාගාරය බලන්න ඔබත් කැටුව යන්න තමයි හිතාගෙන ඉන්නෙ...

      Delete
  18. සිරා ට්‍රිප් එකක් !!!
    අර පොඩි කොල්ලට තියෙන්නේ මහ එකෙක් ගේ නමක් නේ...
    ඒක නෙමේ අර කැට්ලා මාලු වෑංජනේ එහෙම කොහොමද රහද...

    ReplyDelete
    Replies
    1. වැදි සමාජෙ නම් එහෙම වෙන්න ඇති.... කැට්ලා මාලු නරක නෑ රසයි...

      Delete
  19. අද මැග ඇරුණු පෝස්ට් ටික කියෙව්ව. යාලුව උඹ ලියන විදිහට කියවන්න ආසා හිතෙනවා. අර අඹ වර්ගයට සමාන අඹ ගහක් අපේ ගෙවල් ලඟ ගෙදරක තිබුනා. ඒවයෙත් ඉදෙන කොට පණුවෝ හැදිලා ගෙඩිය කුණු වෙනවා. ඒක නිසා ඒ ගහ දැන් කපලා දාලා.

    …අනෙක් කරුණු ටිකත් ඉතා වැදගත්.

    ReplyDelete
    Replies
    1. පන්සලේ හාමුදුරුවොත් කිව්වෙ ඉදුනට පස්සෙ කන්න බෑ කියලා... හැබැයි ව්‍යාංජනේට නම් මරු...

      Delete
  20. නියමයි මචන්.. Thanks for sharing with everyone...!!

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...