Sunday, July 29, 2012

81 අදින් පස්සෙ උඹ මගේ කෙල්ලෙ..


ඔන්න සිරා අද කියන්න යන්නෙත් වෙනස් කථාවක්... අලුත් කථා අහන්න, කාමරේට එන ඇත්තො බොහොම මනාපයි කියලා දැනගත්තට පස්සෙ ඒවායින් තව එකක් කියන්නයි මේ වෑයම...  මම මේ කියන්නෙ මීට දශකයකට එහා වෙච්ච සිදුවීමක්.  සිරාට වඩා වසරකින් බාල ගමේ හිච්චො කාලෙ ඉදන් හිටපු යාලුවෙක් හිටියා ලක්මාල් කියලා. මේ හාදයා මේ කියන අවුරුද්දෙදි තමා අ.පො.ස උ/පෙළට පෙනී හිටියෙ ඒ ගණිත අංශයෙන්... කොතරම් දක්ෂයෙක් වුනත් විභාගෙ නම් අන්තිමටම අනා ගත්තා... ඒ ලව් හුටපටයක් නිසා... අනේ සංසාරේ මට ඒ කාලෙ මතක් වෙනකොටත් බඩ පපුව දාලා යනවා.. ඒ තරම් පවු මේ කොලුවා...

සිරා , ඇතුලු කාණ්ඩෙම උසස් පෙළට පාඩම් කරන්න ගම්පහ ටවුමෙ මහජන පුස්තකාලෙට තමා ගියෙ... පුස්තකාලෙ එක් කොටසක් වෙන් වෙලා තියෙන්නෙ විභාග වලට පාඩම් කරන අපි වගේ අයට...  සාමාජික කාඩ්පත ගත්තට පස්සෙ මේ කොටසේ පාඩම් කරන්න යන්න කාටත් පුලුවන්... උදේ 8.00 සිට සවස 6.00 දක්වා එතැන සිටිය හැකියි. ගෑණු දරුවොත්  පාඩම් කොරන්න එන නිසා අපේ කොල්ලන්ටත් උනන්දුව වැඩියි... ඇතුලෙදි කිසිම කථා බහක් බෑ පාඩම් විතරයි.. ඒත් අංග චලන වලින්, ඇහැ භාගෙට වහලා ගහන ඒවායින් දෙපිරිස අදහස් හුවමාරු කරගත්තා. ලක්මාල් කොලුවත් මේ කොටසට ආවා ගියා...

අපේ ගමේම දැරිවියක් තමයි දේශානි කියන්නෙ... මෙයා වගේම ලක්මාලුත් එකම වයසේ.. දෙන්නගෙ නිවෙස් පිහිටා තිබුනෙත් එකිනෙකට මුහුණලා ටිකක් දුරින්... දේශානි ඇත්තටම උදේ පිපිච්ච මලක් වගේ සුන්දර කෙල්ලෙක්... කරල් දෙකට කොන්ඩෙ ගොතලා මුතුකැට වගේ දත් පෙන්නලා හිනාව දාගෙන යද්දි, ලෙඩක් නැති ඕනෙ කොල්ලෙක් එයා දිහා බලනවා... ගම්පහ ප්‍ර‍ධාන පාසල් වල තමයි මේ කියන චරිත දෙකම අධ්‍යාපනය ලැබුවෙ.. ගමේ කමට ලක්මාල් එක්ක එයා හරිම හිතවත් ඒ යාලුකමක් විතරමයි...

ඔන්න ඉතිං කෙලපි තාප්පෙට කියලා මේ කෙල්ලත් අපේ පාඩම් කරන කොටසට ආවා...ඒ වෙද්දි ඒගොල්ලන්ට උ/පෙ ලියන්න වසරක්ම තිබ්බා.. ඒ උනාට සිරා උ/පෙ ලියන වසර,  වසරකට කලින් ඉදන් මේ විදියට මහන්සි වෙන්නෙ ගොඩ යන්න ආසාව තියෙන කෙල්ලො / කොල්ලො නිසා සිරාගෙ වයසෙ අය මේ වගේ අයට නොදන්න දේවල් කියා දුන්නා කිසිම ලෝභ කමක් නැතුව...

දැන් ලක්මාල් වගේම දේශානිත් පුස්තකාල ගොඩනැගිල්ලට වෙලා අනාගත සිහින සාක්ෂාත් කරගන්න පාඩමේ යෙදෙනවා... ටික දවසකින් අර බෝවෙන ලෙඩේ හැදුනෙ නැතෑ මේ ලක්මාල් කියන එකාට

මොන ලෙඩේද ?

ලව් අමාරුව බොලව්,  ලව් අමාරුව

තමන්ගෙ ගමේ හැමදාම දැකපු කෙල්ල ගැන මේකාට හිතක් පහළවෙලා, පුස්තකාලෙට පාඩම් කරන්න ආවට පස්සෙ. මේ වගේ සද්කාර්යයකට පුස්තකාලෙ හිටපු සිරා ඇතුලු කොලු නඩේම සපෝට් එක දෙන්නෙ පැනපු ගමන්... එතනදි පාසල කොහෙද අරව මේවා නෑ... කොල්ලො ඔක්කොම එක පවුලක් වගෙයි හිටියෙ... ඒත් දැරිවියො නම් එහෙම හිටියෙ නෑ.. උන් එකෙක්ට එකෙක් නෑ...බොලව් ඇත්තමයි.. ජන්ම ගතිය වෙන්න ඇති.

දැන් ලක්මාල්ගෙ හිතේ දේශානි රජවෙලා.. ඌට රෑ හීනෙන් කථා කරනවලු / මල්වතු උයන්වතු වල සිරි නරඹන්න අඩගහනවලු/  බැන්දට පස්සෙ ලැබෙන ළමයින්ට දාන නම් මොනවද කියලා අහනවලු... කෙටියෙන් කියනවා නම් මේකා සෙවල පෙරාගෙන දැන් ෆුල් ලව්.

මුලින් මුලින් ඉගියෙන් පටන් ගත්තා,  තව ටික කාලෙකින් එකට බස් එකේ යන්න පටන් ගත්තා, තවත් ටික කාලෙකින් නිවාඩු දවස් වලට බයිසිකල් කටුවකින් ගෙවල් පැත්තෙ හවසට හවසට කැරකෙන්න වුනා . අන්තිමට ඕනෙ මගුලක් කියලා අපි වගේ උන්ගෙ උපදෙස් පිට කෙලින්ම ඩිරෙක්ට් කැමැත්ත විමසුවා...

මොනවා වෙන්න ඇති කියලද බොලා හිතෙන්නෙ ?

මම වතුර වීදුරැවක් බීලා  එනකම් හිතපල්ලා බලන්න, උඹලටත් යමක් කමක් තේරෙන
උන්ද කියලා දැනගන්න.
,,
,,
,,
,,
,,
,,
,,
,,
,,
,,

වෙන මොනවා වෙන්නද බොලව් කෙල්ල ගත් කටටම බෑ කිව්වා, මට ඔයාව හැමදාම යාලුවෙක් විතරයි මට එතනින් එහාට දෙයක් ඔයාගෙන් එපා කියලමයි දේශානි කෙල්ල කිව්වෙ. ලක්මාලයා ඒ වෙනකොටත්  ඇගේ  පාසලේම දැරිවියො කීප දෙනෙකුටම සෙනේ කොල යවා තිබීමත් / පාසල් යන උන් අතර නමක් දිනා සිටි බේබද්දෙකු වීමත් එයට හේතු වුනා...

අනේ හොදට වැඩ කරගෙන ආපු ලක්මාල් දැන් දැන් කිසිම වැඩක් කරන්නෙ නෑ... උගෙ විෂයම කරපු කොල්ලො ඌට පුලුවන් තරම් උදව් කලා මානසිකව සන්සුන් වෙන්න. ඒත් අර කෙල්ල පේන්න නැත්නම් මේකා ගිණි කසයා වගේ වැඩ ඒ දැරිවි ආපු ගමන් එයා දිහා බලාගෙන මනෝලොව රජ වෙනවා.. ටික දවසක් ගියාට පස්සෙ ඌට අලුත් ලෙඩක් හැදුනා.. දේශානිව දැක්ක ගමන් පොත් පත් ටික අකුලගෙන ගෙදර යන තරමට අපේ කොලුවගෙ ලෙඩේ උත්සන්න උනා. දවසක් මේකා ගෙදර යනකොට කොල්ලො පිරිස උගෙ පොත් ටික උදුරලා ගත්තා ගෙදර යන්න එපා කියලා.. උඹලා එහෙනං ඔය ටික තියා ගනින් කියලා ඌ එදත් ගෙදර ගියා..... 

අවසානයේ මේ වැනසී යන ජීවිතය වෙනස් කරන්න අපි හැමෝම ඌට උදව් වුනා... අපේ සාම සාකච්ඡා වලින් පස්සෙ දේශානිගෙ යාලුවො පවා  දෙන්නා සැට් කරන්න ට්‍ර‍යි එක දුන්නත් ඒකි නෙමෙයි වචනෙ වෙනස් කලේ...

පවට පින දෙන්න බෑ කිව්ව වගේ අවසානයේ  සිරාගෙ වයසෙ පිරිස විභාගෙ හෙම ලියලා පුස්තකාලෙන් සමුගත්ත නිසා මේ ප්‍රේම පුරාණයට මොකද වුනේ කියලා දැනුවත් වීම අඩු වුනා... එක ගමේ ජීවත් වුනාට මේ දෙන්නම ඊට පස්සෙ මටත් හමුවුන වාර ගණන අඩුයි.

ඔන්න කාලයක් ගත වුනාට පස්සෙ ලක්මාල්ගෙ ලගම යාලුවෙක් වෙච්ච කොලුවෙක් මට ඒ විස්තරය  දෙසා බෑවා... ඌට අපි කියමුකො සංජය කියලා...

පුස්තකාලෙන් අපේ පිරිස සමුගත්තට පස්සෙ ලක්මාල්ගෙ සහයට හිටිය අයත් නැතිවුන නිසා ඌ සෑහෙන්න මානසිකව වැටිලා  පුස්තකාලෙට යන ප්‍ර‍මාණය අඩු කරලා  බිමත්කමට ඇබ්බැහිවෙලා / අරක්කු / සූස්ති වලින් සැනසෙන්න පටන් අරන්... ගංජා  ගහලා හැමදාම දේශානිගෙ නම කියලා කෑ ගහලා අඩනවලු...  මේ වගේ සංවේදී දසුනක් තවත් බලන් ඉන්න බැරි කමත්, විසදුමක් සෙවීමේ අපහසුවත් නිසා මේ පිරිස ඊළගට යොමුවෙලා තියෙන්නෙ නොපෙනෙන බලවේග වල පිහිට පැතීම හෙවත් හිංහලෙන් කියනවා නම් වශී කොරන්න.

සංජය කියන්නෙ නුවර පලාතෙ වලව් පැලැන්තියෙන් පැවත ආපු එකෙක්... ගම්පහ නෑදෑ ගෙදරක නැවතිලා තමයි අධ්‍යාපනය ලැබුවෙ.. ලක්මාල් වගේම සංජයත් එකම පාසලේ..  මැණික් හින්නෙ ගුරෙක් මගින් වශී කිරීමෙන් පීඩිතයා වෙත සැනසුම ගෙන ඒම තමයි උන්ගෙ අදහස වෙලා තියෙන්නෙ... කවුරු කොහොම කලත් මේවා නම් මහ සහගහන අපරාධ හැටියට තමයි සිරා නම් පිළිගන්නෙ. මම දැනුවත්ම හැබැයි මේ වගේ දේවල් වලින් වශී කරගත්ත එකෙක්වත් නෑ...

සංජය ඒ පළාත කිට්ටුවම කෙනෙක් නිසා  මේ වැඩේට මැදිහත් වෙලා, ලක්මාල් කැටුව ඒ ඉසව්වට ගිහින් තියෙන්නෙ, උගෙ ඉල්ලීම අනුව, ගිය දවසෙ ඉදන් මල් සුවය හෙව්වට කවුරැවත් ඒකාට මලක් පේන්න වත් තියලා නෑ... කොහොම හරි ගුරා මාර්ගයෙන් කස්ටිය වැඩේ කරගෙන.

දරැවො මේ මතුරපු වැලි ඒ දැරිවිගෙ මිදුලට ඉහළා වරු තුනක්  යනතුරැ එයාට පේන්න එහෙ මෙහෙ යන්න,  මේ සුරය ඉනේ බැදගෙන... හැබැයි කථාවට යන්න එපා... ඔන්න ගුරුන්නාන්සේගේ අවවාදය.. දහසින් බැදි පියළි එහෙම පුදලා මේ පිරිස දැන් නුවර ඉස්ටේසුමෙන් කොළඹ එන සීඝ්‍ර‍ගාමී දුම්රියකට නැගලා...

දුම්රියට නගින්න ඉතා ආසන්නව ලක්මාල් කොලුවා ඒ පැත්තෙන් මත්වෙන පෙත්තක්  වෙනුවට පෙති කීපයක අරන් පානය කරලා.. ඒ  ගන්න ඕනෙ මාත්‍රාවට ඉතාම වැඩියෙන්... දුම්රියෙ ඇතුලෙදි මේකගෙ සිහිය විකල් වෙලා දැන් පිස්සෙක් වගේ දගලන වලු... කෙල්ලගෙ ගෙදර මිදුල කියලා දුම්රිය ඇතුලෙම මතුරපු වැලි ඉහින්න හදනවලු,  ලෙඩ ගොඩයි... අනේ තනියට ගිය උන්ට දැන් දහසක් ප්‍ර‍ශ්න.. එකෙක් වැලි මල්ල පරිස්සම් කරනවලු... එකෙක් සුරය පරිස්සම් කරනවලු.. තව එකෙක්  මේකා දුම්රිය මගීන් ගෙන් හොදට සප්පායම් වෙයි කියලා  සීට් එකට හේත්තු කරලා නිදිකරවන්න හදනවලු... 

කොහොමින් කොහොම පිරිස ගම්පහ දුම්රිය ස්ථානයටත් ආවා කියමුකො... දුම්රියෙන් බැහැලා  ඉදිරියට එනකොටම ලක්මාල් වැලි මල්ල උදුරගෙන  ඉස්සරහට දුවලා... අනිත් උන් උගෙ පස්සෙත් එළෙව්වත් සුනංගු වැඩී.

අදින් පස්සෙ උඹ මගෙයි කෙල්ලෙ 
කියපු ලක්මාල් ගම්පහ දුම්රිය පොල ඉදිරිපිට තාර පාරට දේශානිගෙ ගෙදර මිදුල කියලා හිතලා දහස් ගාණක් වියදම් කරගෙන, දවස් ගාණක් මහන්සි වෙලා ගෙනාපු වැලි ටික දමා ගහලා.... ඒ ටියුෂන් පන්ති ඇරිලා ගෙදර යන සිය ගණනක් කෙල්ලන්ගෙ උසුලු විසුලු මධ්‍යයේ.

හනේ හනිච්චේ.... පවු ඉතිං කාගෙ හරි දෙමාපියෙක්ගෙ දරුවෙක්නෙ...


බීපු පෙතිවල සැරට උගෙ මූන දවස් කීපයක් ඇද වෙලා තිබ්බෙ... සිරා ඇස්දෙකට දැක්කා උගෙ මූණ කුරැළෑ වලින් වැහිලා අදුනගන්න බැරි මට්ටමට තිබුන ඒ දින කීපය.

කාලයේ ඇවෑමෙන් දේශානි  කොල්ලෙක්ට සැට් වෙලා විවාහ වුනා, ඊට පස්සෙ විදේශ ගතවුනා...

ලක්මාල්  ගාමන්ට් පාඨමාලාවක් හදාරලා යන්තම් රැකියාවකුත් හොයා ගත්තා...  එතනදි තමන්ට ගැලපෙන්නෙ නැති ඈත පළාතක කෙල්ලෙක් එක්ක සැට් වෙලා විවාහ වුනා...

වර්තමානයේ මේ දෙන්නම ආයෙත් ගමේ ඉන්නවා... 

දේශානි දැන් අම්මා කෙනෙක්
ලක්මාල්  දැන් තාත්තා කෙනෙක්

තම තමන්ගෙ දරුවො වඩාගෙන ගෙයි මිදුලෙ හිටගෙන හැන්දෑවට හැන්දෑවට එකිනෙකා දිහා බලාගෙන ඉන්න මේ ජෝඩුව අදටත් සිරාගෙ නෙත ගැටෙනවා...ඒ අවස්ථාවක තමයි මේ  අතීත කථාව සිරාට ආයෙත් මතක් වුනේ.

තමන්ට අකමැති කෙල්ලෙක්/කොල්ලෙක් කවදාවත් මේ විදියට බලෙන් අයිතිකරගන්න හදන්න එපා... එයා අකමැති නම් ඒ ගැන අමතක කරලා තමන්ගෙ අනාගතේට වැඩ කරගන්න.. වශී හොරුන්ට සල්ලි පුදන්න යන්නෙ නැතුව.

ඒ ටික තමයි  මේ පෝස්ටුව කියවන අයට සිරාට දෙන්න තියෙන පණිවිඩේ...

මේක කියවපු බොලාලගෙ අදහසුත් පහළින් කොටලම යන්න...




මම සයිබරයේ අලුත් මිතුරා සිරා......



උඩ පින්තූරය කොප්ප ගැහුවෙ මෙතැනින්..

81 comments:

  1. කියන්න ලේසියි සිරා. ලව් සික් හැදුන එකා තමයි ඒකෙ අමාරුව දන්නෙ. පැත්තක ඉඳන් බලන් ඉන්න අපිට හිතෙනව මේ මොන පිස්සුවක් ද කියල, ඒත් ආදරෙන් මත්වෙල අන්ධ වෙච්චි එකාට ඒක තේරුම් ගන්න කාලයක් යනව. කවුරු කොහොම කිව්වත් ඕව ඉතිං හැම කාලෙම තියෙන කතන්දර. එක එක අය පූරුවෙ කරුපු පව් පිං අනුව වෙන්න ඇති ඔව්ව සිද්ධ වෙන්නෙ. නැත්නම් ඉතිං ලක්මාලයත් ඒ දැරිවිව කසාද බැඳල හොඳට ඉගෙන ගෙන ඉන්ජෙක්වත් වෙල සතුටෙන් ඉන්නව නෙව.

    ReplyDelete
    Replies
    1. ඔබේ කථාව ඇත්ත... ඒ අත්දැකීම් මටත් තියෙනවා... කොච්චර ලව් සික් ගැහුවත් පස්සෙ කාලෙක ඒවා අමතක කරලා ගොඩ යන කොල්ලොත් මම ඕනතරම් දැකලා තියෙනවා... මෙතන වෙලා තියෙන්නෙ මේ කියන කොල්ලා යථා තත්වෙට එන්න සෑහෙන කාලයක් ගිය කාරණාව සහ... ඒ වෙද්දි මිනිහා පරක්කු වීම... මේ වගේ ගැටලු වලට මත්පැන් එක්ක විසදුම් සොයන්න බෑ...

      Delete
  2. අප්සට් යන සීන් එකක් අහපුවාම. මොනවා උනත් මාත් කියන්නේ ඔය වශී ගුරුකම් කිරීම නම් අයේ යන්න අපායක් වත් නැති වෙන වැඩ. අනික ඕවා කරන අය මැරෙන්නේත් බලු දුක් විඳලා.

    …හරි යනවද නැද්ද් නම් දන්නේ නෑ. පත්තර වල එහෙම ඕන තරම් දාල තියන්නේ. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසා කන කාලකන්නි.

    ReplyDelete
    Replies
    1. නෙත් FM බැලුම්ගලින් එක සැරයක් මේ වශී හොරැ ගැන කථා කලා... මෙතැන තියෙන්නෙ සම්පූර්ණම වංචාවක්... වශී කරගන්න එනවුන් මගදි වෙන තැනකට සෙට් කර ගනී කියලා බොහෝ දැන්වීම් වල දාලා තියෙනවා දුරකථන අංකයට කථා කරලා මග අහගන්න... වෙන තැන්වලින් අහන්න යන්න එපා කියලා...

      ඔබේ කථාවට මමත් එකගයි... තමන්ට අකමැති කෙනෙක් කෘතිමව තමා වෙත නම්මවා ගැනීම ලොකු පාපයක්...

      Delete
  3. මොනවා වුනාත් සංවේදී ඒත් ටිකක් මෝඩ පහේ කොල්ලෙක්. බලෙන් ලබාගන්න ඒවායේ කිසි වටිනාකමක් නැහැ ඒත් උත්සහ කරානම් ලබාගන්නත් තිබුනා. මම හිතන්නේ දැන්නම් කොල්ලෝ ඒ වගේ වැඩ කරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේකට වැඩේ කර ගන්න තිබුනා... ඒත් කෙල්ලට පේන්න ඇඹරෙන්න ගියා වැඩියි. ගෑල්ළමයි ප්‍ර‍ශ්න නිසා, මේ විදියට කැළඹෙන, ආත්ම ශක්තිය නැති උන් වගේ හැසිරෙන, අරක්කු මගින් විසදුම් හොයන කොල්ලන්ට කොහොමවත් කැමති නැති බව තේරැම් ගත්තා නම් වැඩේ ගොඩ.

      Delete
  4. 'තමන්ට අකමැති කෙල්ලෙක්/කොල්ලෙක් කවදාවත් මේ විදියට බලෙන් අයිතිකරගන්න හදන්න එපා... එයා අකමැති නම් ඒ ගැන අමතක කරලා තමන්ගෙ අනාගතේට වැඩ කරගන්න..'

    කතාව ඇත්ත සහෝ....මම පිලිගන්නවා..:)

    ReplyDelete
    Replies
    1. අපිට අපි ලග ජීවිත කාලෙම තියාගෙන, ආදරෙන් රැකබලා ගන්න ඕනෙ දෙයක් බලෙන් කෘතිමව ලබා ගත්තම ඒකෙ කිසි ගතියක් නෑ කියලා තමයි මට හිතෙන්නෙ...

      Delete
  5. පවට පින දෙන්න බැහැනේ.... ලක්මාලයා ගැන නම් කණගාටුයි. ඒත් ඒක ඌ විහින් කරගත්තු දෙයක්නේ. එක කෙල්ලෙක් පතා තැවෙන අනික් එවුන්ටත් මේවා හොඳ පාඩම්

    ReplyDelete
    Replies
    1. මේ ලක්මාල් කියන හාදයා සැබෑ දක්ෂයෙක්... සංගීතයට පුදුමාකාර විදියට දක්ෂයි.... එහෙම වුනත් ගෑල්ළමයා අකමැති වුනේ මේකා හෙන පැණියා... වට පිටේ ඔක්කොටම ට්‍ර‍යි එක දාලා ඇණගෙන තමයි එයාගෙන් ඇහුවෙ...

      Delete
  6. කතාව නං හොඳයි ඒත් ලැජ්ජ නැතුව අදත් රැ-රු වරද්දපු කැත!
    "ලව් අමාරැව බොලව්, ලව් අමාරැව"

    ReplyDelete
    Replies
    1. අනේ මට ලැජජයි වගේ... තාමත් වරදිනවා.. ඔබේ මගපෙන්වීමට බොහොම ස්තූතියි
      ඔන්න මම වරද නිවැරදි කොලා...

      Delete
  7. පුදුම අමරුවක් නේ බොලවු.. හික්ස් :)
    දැන් ඔය කියපු හාදයා මත් පෙති මත් වතුර මත් දුම ගන්නේ නැද්ද ? ඒවා නවත්තලාද ?

    ReplyDelete
    Replies
    1. දැන් මා එක්ක එච්චරම ආශ්‍ර‍යක් නෑ.. ඉස්සර අපි සැට් වුනාම ඌට ඕනෙ වැටෙනකම්ම බොන්න... ඒක තමා උගෙ සතුට...

      අද පියෙක් වුනත් තවමත් මට හිතෙන විදියට හිත තියෙන්නෙ අර ගෑල්ළමයා ලග... පව් ඉතින්..

      Delete
  8. සුපිරි කතාවක් මචන්.. ජිවිතයේ වෙන අතීත වර්තමාන සිදුවීම් වලින් බ්ලොග් එක ලියන ඒවා අනිවා කියවනවා..

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා බුද්ධික

      අතීතයෙන් ඉගෙන ගන්න පාඩම් වර්තමානයේ උපයෝගී කරගන්නා ආකාරය අනුව තමයි අනාගතය තීරණය වෙන්නෙ...

      Delete
  9. ඇඩෙනවා යකෝ...... සිරාවට පව් ඕයි!!!

    ReplyDelete
    Replies
    1. රජා ඉතින් අපේ පාසලේ නිසා ගම්පහ ඉසව්ව දන්නවනේ... මේ කියන කෙල්ල හිටියෙ නගර සභා පිටිය ලග ඉස්කෝලෙ.. ඇඩෙනවා නේන්නම්.. පව් කියලත් හිතෙනවා අප්පා...

      Delete
    2. නෑ....????

      අර ඉරි ඉරි එකේ :-)

      Delete
  10. මොකා මොනවා කිව්වත් ලව් සික් ගැහුවාම ඒකෙ අමාරුව දන්නේ ඔය ලෙඩේ හැදිච්චි එකා තමයි. ඒ කාලේ පිස්සු කෙළියට දැන් උන් දෙන්නම හොදින් ඉන්නවා නේ. ඒ මදැයි. වශී ගුරුකම් කාරයෝ කරන්නේ මිනිහෙක් අමාරුවේ වැටුනාම ඌව හුරගෙන කන එක. උන්ට කවදා හරි කල කම් පලදෙයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ කථාවට මමත් එකගයි... සිරා කියන්නෙත් ලව් සික් එකේ රහ දන්න එකෙක්...

      Delete
    2. ලව් සික් ගැහුවාම ඒකෙ අමාරුව දන්නේ ඔය ලෙඩේ හැදිච්චි එකා තමයි. රෙපාත් දෙන්නෙ මාරම මාර ටෝක්ස් අප්පා....ඇග හිරිවැටෙනවා...දුකේත් බෑ...

      Delete
  11. හිත ඉල්ලන දේනේ. මොනවා කරන්නද ? හිත කියන එක මකන්න පුළුවන් එකක්යැයි. එහෙම කරලා හරි දුක තුනී කර ගත්ත නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. දුක තුනී කරගත්ත නම් හොදයි... ඒත් මිනිහා ඊට පස්සෙ සෑහෙන්න තැවිලා තියෙනවා වැලි ටික මිදුලට ගහගන්න බැරි වීම ගැන...

      Delete
  12. සෝවන් වෙච්ච උනුත් සිල් බිඳ ගත්තලුනෙ ඕක නිසා... ඉතින් ඔය පුරුතග්ජනයා ගැන කවර කතාද..?

    කතාවනම් ලස්සනයි... අපිට ලස්සන වුනාට ඌට දුකයිනෙ... නේද..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං පව් තමා... මේ වගේ ප්‍ර‍ශ්න ඇතිවුනාම ළග ඉන්න යාලුවොත් දුරස් වෙනවා ඌට පිස්සු කියලා...

      Delete
  13. කොල්ලෙක්/කෙල්ලෙක් උනහම පොලෙවෙ පයගහල ජීවත්වෙන්න පුරුදුවෙන්න ඕන සමාජයේ ජීවත්වෙනකොට..අපිට ජයග්‍රහන ,පරාජයන් වලට මුහුනදෙන්න වෙනව.මෙන්න මේ කාරනය අවබෝධ කරගෙන ජීවත්වෙන්න පුරුදු උනාම කොයිදේත් දරාගන්න පුලුවනි.යාලුවට ඒ තත්වයට එන්න කාලයක්ගිහිල්ල වගේම එතකොට ඔහු විනාසවෙලා.

    ReplyDelete
    Replies
    1. කාලයක් ගතවෙලා ඒ තත්වෙට ආවත් අදටත් මිනිහා අර ගෑණු පරාණය දකිනකොට කැළඹෙනවලු...

      Delete
  14. ඔය ලෙඩේ හැදුනම මොනවා කරත් හොඳ වෙන්නේනම් නෑ,,....
    මගේ අත්දැකීම් අනුව ඔය ලෙඩේට තියෙන්නේ ඒක බෙහෙතයි. ඒ තමයි වෙන කෙල්ලෙක් ගැන හිතන ඒක හරි සෙට් කරගන්න ඒක හරි ....
    මටත් ඒක පාරක් ඔය ලෙඩේ උග්‍ර වෙලා ඒ බෙහෙත ගත්ත.ලෙඩේ හොඳයි.
    එත් බෙහෙත නිසා තව ටික දවසකින් අයෙත් ලෙඩ උනානෙ...මොනවා කොරන්නද ඉතින් අයෙත් වෙන බෙහෙතක් ගත්ත ..ඒ බෙහෙතනම් ගානට සෙට් උන නිසා දැන් නම් නිරෝගිව ඉන්නවා :-D

    ReplyDelete
    Replies
    1. කාමරේට සාදරයෙන් පිළිගන්නවා !

      ගැටලුවට ඔබ පාවිච්චි කරලා තියෙන බෙහෙත නම් මරු... බෙහෙත උනත් තමන්ට ගැලපෙන විදියට ගත්ත නම් ගොඩ...

      Delete
  15. මැණික්හින්න කිව්වම,පත්තරේ ඇඩ් නම් කීයක්ද?ඒත් කී දෙනෙක් ඕව පස්සෙ දුවනව ඇත්ද..

    ReplyDelete
    Replies
    1. වශී නම් ඉතිං මැණික්හින්න තමා... මැණික්හින්නෙ ගෙයක් ගෙයක් ගානෙ වශී පොට් තියෙන්නෙ... බොරුනම් බලන්න පත්තරේ...

      Delete
  16. ලව් සික් කියන්නෙ නම් භයානක රෝගයක්..හප්පා ඕක හැදුනාම මනුස්සයො අමනුස්ස වැඩ කරනවනෙ සිරෝ..!

    ReplyDelete
    Replies
    1. හරිම ජරා ලෙඩක් නේද? වැඩේ කියන්නෙ රජ කාලෙ ඉදන් ඔය ලෙඩේ පැවතගෙන ආවට තාමත් නිට්ටාවට හොද වෙන බෙහෙතක් හොයා ගෙන නෑනෙ...

      Delete
  17. ඔය ලෙඩේ හැදුනොත් සැහෙන්න අමාරු වෙනවනේ...ඉතින් එකට සැහෙන්න හිත පාලනය කරන්න පුළුවන් වෙන්න ඕන. සමහර අය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. මටත් එක කාලෙක ඕක හැදිලා තිබුන. දැන් නම් ඔක්කොම නිට්ටාවටම සනීපයි . ;)

    ReplyDelete
    Replies
    1. අහන්නත් සන්තෝෂයි දැන් ලෙඩේ සුවයි කිව්වම... ඇත්තටම ඔය ලෙඩේ හැදුනම දැනෙන වේදනාව මමත් හොදට දන්නවා අත්දැකීමෙන්ම...

      Delete
  18. සිරාගේ තවත් සිරා කතාවක්

    ReplyDelete
    Replies
    1. අටම්පහුරා වශී කරන්න ගියෙ නැද්ද කාවවත් ?

      Delete
    2. ඇයි මේ බස් එකකදි අංකල් කෙනෙක් එහෙම ට්‍රයි කරලා හෙන කේස් එකක් ගියානෙ. ඔය අටම්පහුරා ලියලා තිබ්බෙ අටම්පහුරාට අංකල් කෙනෙක්ගෙන් ලිංගික අතවර කියලා.
      මං හිතන්නෙ මේකා කරපු ඔය වශියක් වැරදිලා.
      :D
      henryblogwalker the Dude

      Delete
    3. Dude කාමරයට සාදරයෙන් පිළිගන්නවා..

      ඒ කථාව නම් පස්ටයි.. හැබැයි අටම්පහුරා කැත්තක් උස්සගෙන එයිද දන්නෙ නෑ අපිට කොටන්න...

      Delete
  19. සිරාගෙ සිරා කතාව!
    එතකොට අන්තිමට පෙරදිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා..වුනා නේ?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔබවත් සාදරයෙන් පිළිගන්නවා.... එහෙම තමා වෙලා තියෙන්නෙ...

      Delete
    2. අයියෝ සිරා .... දෙපාරක් පිළිගන්න ඕන නෑ බං. මෙයා මිනිස්සුන්ව අන්දනවද මංද. ඔය උඩ කමෙන්ට් දෙකම ඩූඩ් අයියගෙ. ඇයි බං යටින් නම දාල තියෙන්නෙ. මෑන් මේ දවස්වල තරාදියක් අතේ තියන් ඉන්නෙ, බ්ලොග් දෙකම සමබර කරන් යන්න.

      Delete
    3. උදව්වට ස්තූතියි ! DDT

      Delete
  20. හොද අවවාදයක් සහෝ..

    සිරා කතාව හිනි ගියත් පොර ජීවිතේ තේරුම් ගත්ත එක හොදා.
    පෙති ගැහිල්ල චාටර් බං !! පව් ජීවිත..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෑමා

      පෙති ගහපු උන් ගැන නම් කියලා වැඩක් නෑ... පවු..

      Delete
  21. ලවු සික ගහලම බලන්න ඕනේ ඒ ආතල් එක.. අත්දැකීමෙන් කියන්නේ.
    ඔය නුවර වශී ගුරාලා ගැන නම් ඉතින් කවර කතා ද..

    ReplyDelete
    Replies
    1. කොහොමද පස්ට ගති නේද ලව් සික් ගැහුවම... එහෙම අතීතයක් මටද හිමි වී තිබ්බා..

      Delete
  22. උබ කොයි අවුරුද්දෙද උසස් පෙල කොලේ කියහං ඔය පුස්ථකාලය මටත් හොඳට පුරුදු නේව... උබලා උඩතට්ටුවෙනේ ස්ටඩි කොලේ ලයිබ්‍රිය පිටිපස්සේ කැල්ලේ ඉඳන්නේව බත් ගෙඩිය තියන් කැවේ හික්ස් අර අහවල් ගැනු ලමය කොච්චි පාර කිට්ටුව තියෙන ගැනු ඉස්කොලෙටද ගියේ අර UC පිට්ටනිය ගාව තියෙන්නේ. එකාලෙනම් තිබ්බේ නෑ දැන් ගුවන් පාලම එහේම තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ විස්තරේ හරියටම හරි... ඒ කියන්නෙ රාජ් මම අදුනන කෙනෙක් වත්ද? 2001 A/L
      ගෑල්ළමයා ගියේ නිල් පාට ටයි පටියක් තියෙන ඒ ඉස්කෝලෙට තමා..

      Delete
    2. මචං මම 2000 A/L කලේ ගියේ ගම්පහ කනත්තගාව පිටනිය තියෙන ස්කොලෙට මෙලක් එවපන් ජය traj1981@gmail.com

      Delete
    3. ඒ කියන්නෙ මගේ පාසලනෙ... දන්නවද අඩවි රජාත් අපේ පාසලේම නොවැ... අපේ ඉස්කෝලෙ බ්ලොග් කරැවො තව කීයක් ඉන්නවද දන්නෙ නෑ... ගොඩාක් සතුටුයි රාජ් මේ හමුවීමට... ඔය කියන පාසලේ 2001 වර්ෂයේ වෙස්ටර්න් බෑන්ඩ් එකට මම නායකත්වයත් දුන්නා...

      Delete
    4. නියමයි සහෝ මෙලකින් හමුවෙමු

      Delete
    5. ෂෙහ්...මරු ඈ...

      හැබැයි මම 2010 A/L :)

      Delete
    6. අනිවා... මම මේල්ලුවක් දාන්නම් රාජ් ....

      Delete
  23. මත්ද්‍රවයට අහුනොවී හිටියා නම් ගම්පහින්ම හොඳ කෙල්ලෙක් මුට සෙට් කොරගන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. මේකා සැබෑ දක්ෂයෙක්.. පෙනුමෙන් අඩුවකුත් නෑ.. පෙර ආත්ම වල ඉදන් ගෙනා කුසල් අකුසල් තමා ඉතින්...

      Delete
  24. අත්දැකිමෙන් වශී ගුරුකම් වලට බයම කෙනා මම වෙන්න ඇති සිරා අයියේ....ඇත්තමයි සිරාම සිරා මගේ කථාව...සිත්තමී වශීයක් කොරල අල්ල ගන්න තරම් ලස්සනම ලස්සන රූප සුන්දරියක් නෙවෙයි ඒක තමයි ඇත්තම කථාව...නමුත් එහෙම දෙයක් මටත් සිද්ධ වුණා...පැණිරස කෑමකට දාල මට කෙනෙක් දීපු දෙයක් නිසා මාස ගානක් මම දුක් වින්දා...හරියට පිස්සු වගේ...ඒක කියන්න තේරෙන්නේ නෑ...

    මනුෂ්‍ය ලෝකෙ ආපු අමුනුෂ්‍ය සතෙක් කරපු වැඩක්....මට මතක් වෙද්දිත් පුදුම තරහයි....මම විතරක් නෙමෙයි පවුලෙ අයත් දුක් වින්දා ඒ මාස 6/7

    ඒ නරකාදි මිනිස්සු ඔය කන්න දීල කරන වශී කන කෙනාගෙ බඩේ රැදිල තියෙනවා..ඒ දේවල් ජීරණය නොයෙන දේවල්.අපේ නියපොතු අපිට කැවුනම උණ්ඩුකපුච්චයේ තැම්පත් වෙනවනේ.ඒ මිනිස්සු කරන්නෙත් ඒ වගේ දෙයක්ලු ඒ දෙන්නේ.එතකොට හැමදාටම ජීවත් වෙනකම් බඩේ රැදිල තියෙනවා.සමහර අයට ඒ තුලින් පිළිකා පවා හැදෙනවා..හැදිල මිය යනවා..මට තේරෙන්නෙ නෑ මේ තරම් අමුනුෂ්‍ය ජාතියක් මේ ලෝකෙටම නෑ....

    දෙවියනේ ආදරයක් බලෙන් ගන්න පුළුවන්ද? බත් කන මීහරක්....
    හිතේ තියෙන තරහටද මන්දා අදනම් කමෙන් එක සැරවුණා...ඩිලිට් කරන්න බෑ
    කරන්න ඉන්න කෙනෙක් හරි නොකරනවනම් මේ දේ දැකල ලොකු දෙයක්...

    තමන්ට අකමැති කෙල්ලෙක්/කොල්ලෙක් කවදාවත් මේ විදියට බලෙන් අයිතිකරගන්න හදන්න එපා... එයා අකමැති නම් ඒ ගැන අමතක කරලා තමන්ගෙ අනාගතේට වැඩ කරගන්න.. වශී හොරුන්ට සල්ලි පුදන්න යන්නෙ නැතුව. අවසානෙට කියපු දේට ඔයාට පින්....

    වශී එවුන්ට කරන්න පුළුවන් දේකුත් නෑ ඒක මතක තියා ගන්න

    ReplyDelete
    Replies
    1. නැගණියගේ සංවේදී කොමෙන්ටුව දැකලා මටත් දුක හිතුනා... අපි දෙයක් උත්සාහ කරලා,මහන්සි වෙලා ලබා ගත්තම තමා ඒ කෙරෙහි අපේ ආදරයත්, බැදීමත්, ගෞරවයත්, මහන්සියෙන් නේද මෙය ලබා ගත්තෙ කියන අභිමානයත් ඇතිවෙන්නෙ.. කෘතිම ක්‍ර‍මයකින් ඒ දෙය කරන්න පුලුවන් උනොත් මම කලින් කියපු කිසිම දෙයක් ඒ තුල නෑ... කෑමට දාලා දෙන දේවල් ශරීරයෙන් බැහැර වෙන්නෙ නෑ කියන කථාව මමත් අහලා තියෙනවා... පිළිකා වලට හේතු විය හැකි බවත් මම අහලා තියෙනවා...

      මේ වගේ අත්දැකීමක් ලබපු කෙනෙක් මට හමුවෙලා නෑ. ඔයා කැමතිනම් කියන්න අර දීපු දේ අනුභවයෙන් පස්සෙ මොන වගේ දෙයක්ද ඔයාට දැනුනෙ...

      Delete
    2. අනේ මන්ද කියන්න තේරෙන්නෙ නෑ දවසෙම කෑමක් නෑ අඩනව දවස පුරාම හේතුවක් නෑ.නැගිටින්නෙ නෑ කළුවර තැනක ඉන්න ආසයි බිම වාඩිවෙලා අඩනව හොදට මතකයි.
      බඩ රිදෙනවා කියන්න බැරි තරම්.වමනෙ යන්න එනවා.මට මතක් වෙද්දි තරහයි අයියේ.....

      නූල් බැන්ද ශාන්ති කර්ම කලා නොගිය දේවාලයක් පන්සලක් නෑ.මනෝවද්‍යවරයින්ට පෙන්නුවා.අන්තිමට ගුරුකම් කරන කෙනෙක්ම කිව්වා වශීයක් දීල කියලා.ඒක කරපු කෙනා හරියට කරලත් නෑ කිව්වා.කරපු ටිකෙන් වුනත් කරන්න පුළුවන් කිව්වා නමුත් මගේ මනස ශක්තිමත් කිව්වා.මොකද මම ඒ දවස් වල මගේ ආදරේට මැරෙන්න තරම් ආදරේ කලා ඒ ආදරේ ශක්තිමත් කිව්ව බඩට දීපු දේට වඩා.ඉන්පස්සෙ මොනවද එයා කලා යන්ත්‍ර දැම්මා පළතුරු විතරක් කන්න දුන්නා.ටික ටික අඩු වුණා.හැමෝම කිව්වේ මට පිස්සු හැදිල කියලා.මගේ ජීවිතේ ගොඩක් අසරණ වුණ කාලයක්.

      අදටත් ඒ කාලෙ වෙද්දි බඩේ අමාරුවක් හැදෙනවා...කොයි තරම් බෙහෙත් කලත් හරියන්නෙ නෑ...විටෙක මගේ අනාගතේ ගැන ලොකු බයකුත් දැනෙනවා.නමුත් හැමදේම දන්න හැමදේම තේරුම් ගත්ත ආදරණීය පෙම්වතෙක් ලග සිටීම ඒ ගැන බයක් නෑ නමුත් දුකක් තියෙනවා...

      Delete
    3. මගේ ආරාධනය පිළිගෙන කථාව කිව්වට ස්තූතියි! හොද වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරවා ගන්න... බඩේ අමාරැවට හේතුව කුමක්ද කියලා...

      Delete
  25. යම් විදියකින් කෙල්ලගෙන් අහපු ගමන් කැමති වුනානම්, කතාවෙ අතරමැද සිදුවුන ඉකේයියා සිදුවීම් කිසිවක් සිදු නොවී දැන් අවසානයටම එන්න තිබුණා.
    කෙල්ල පොරට අකමැති වුනාම මිනිහා හිතුවා කෙල්ල ළග යම් අමුතු දෙයක් - සුවිශේෂ දෙයක් තියෙනවයි කියලා, අන්න ඒ "අමුතු" දේ වෙනුවෙන් තමයි මිනිහා අර තරම් කට්ටක් කෑවෙ.
    කෙල්ල අහපු ගමන්ම හා කිව්වනම් ඒකි ළග අමුතු ලබ්බක් නැහැයි කියලා පොර තේරුම් ගන්නවා. ඉතින් ටික දවසක් යනකොට ඌටම කෙල්ල එපා වෙනවා.
    ඌත් වෙන කාව හරි සහේට ගනියි. කෙල්ලත් වෙන කවුරුහරි එක්ක දීග යයි.
    ඒ කියන්නෙ මේ අවසානයමයි.

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියා මේ කථාව දිහා බලපු වෙනස්ම දෘෂ්ඨි කෝණය ගැන මට හරිම සතුටුයි.. ජීවිතයේ අපිට වඩා අත්දැකීම් ලබලා තියෙන නිසා ඔබට අපි නොදකින ගැඹුරක් පෙනෙනවා වෙන්නත් පුලුවන්... ඔබ කියූ දෙයත් වෙන්නට ඉඩ තිබුනා කියලා තමා මටත් දැන් හිතෙන්නෙ...

      Delete
  26. ඔන්න මමත් ආවෝ හප්පේ දොරට තට්ටු කරන්නත් මොකක්ද වගේ ලෑලි දොර ගැලවෙන එකක් නෑ නේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... මාවත් බලන්න මේ පැත්තට ආවට.. කාමරේට සාදරයෙන් පිළිගන්නවා...
      දොර ලෑලි උනාට ගැලවෙන්න නැති වෙන්න ඇණ ගහලා හදලා තියෙන්නෙ...

      Delete
  27. කතාව නම් පංකාදුයි. කොහොම උනත් ඒ කොල්ල පවු කියල හිතෙනව සිරාවටම. අපි හිනා උනත් ඌ අර වැලි ගහපු වෙලේ මොන මොන එව්ව හිතේ තියෙන්න ඇතිද නේද? අවසානය එකමයි නේද සිරා? ගිහිං එන්නං. ජය.
    ඉසුරු

    ReplyDelete
    Replies
    1. පව් තමයි... තමන් අකමැති කෙනෙක්ට කැමති වෙන්න කියලා ගෑල්ළමයට බලපෑම් කරන්නත් කාටවත් අයිතියක් නෑ නොවැ... ඒ නිසා හොදම දේ තමා ඇත්ත තත්වය තේරැම් ගැනීම...

      Delete
  28. වෙන මුකුත් නෙමේ ඉතින් අපි මේකට කර්මය කියමු . චික් ඔය වයසේ කොල්ලොත් වශී ගුරුකම් විස්වාස කරනවද . පව් තමයි . අනේ මන්ද .

    ReplyDelete
    Replies
    1. ලව් සික් එක උපරිමයට ආපුවහම ගිලෙන්න යන මිනිහා පිදුරැ ගහෙත් එල්ලෙනවා වගේ, මේ වගේ දේවල් කෙරෙහිත් කොල්ලො යොමු වෙනවා... කරැමෙ තමා ඉතින්..

      Delete
  29. ගොඩක් සංවේදී කථාවක්.. අන්තිමට උනේ ලස්සන වෙන්න ගිය ජීවිතයක් විනාස උන එක.. ආදරය කියන්නේ ඇත්තයම ‍තේරුම් ගන්න බැරි දෙයක්..

    ReplyDelete
    Replies
    1. ඔබේ කථාව නිවැරදියි මල්සරා... සමහරු ආදරය නිසා ඉහළට යනකොට සමහරු පහළට යනවා..

      Delete
  30. ලව් සික් නොහැදී තියේද හතර වටේ බඹර චක්‍ර කැරකෙද්දී. කනත්ත ගාවම එකයි.වතුර ටැංකිය ගාව එකයි. ඔය ගෑල්ලමය හිටිය එකයි.අපොයි..

    ReplyDelete
    Replies
    1. කම්මල සාදරයෙන් පිළිගන්නවා කාමරේට..
      බොලා ගම්පහ වගෙයි.. මොනවා කියනවද... අපේ අහිංසක පාසල කාන්තා පාසල් කීපයකට මැදි වෙලා නොවැ තියෙන්නෙ... අපේ කාලෙ කොල්ලො බෙදා ගන්න බැරිව සමහර ගෑල්ළමයිනුත් ගහ මරා ගත්තා...

      Delete
  31. අම්මප ඇත්ත සිරා කොලුවො උඹ කියාපුව. ඔයවගේ තවත් කතා ලියපිය අපේ මේ කොල්ලො කුරුට්ටන්ට ආදර්ශ වෙන්න!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වතු මාමට... දිගටම මේ පැත්තට ආව නම් හොදා...

      Delete
  32. anthimata sira dipu awawadayata nam math ekaga wenawa.balen aran ganna dewal walata wadi ayusha nam na. adarayatath eka ehemai kiyala
    mama wishwasa karanawa. adaraya hinda samaharu wanasenawa, samaharu sanasenawa!!

    p.s-mage adahas sinhalen type karanne naththe loku kamakata nam nemei, thawma sinhala typing echcchara ba, godak wela yanawa!! :)

    ai ennam sirage kamare paththe!!

    ReplyDelete
    Replies
    1. උදානිගෙ කථාවට මම සම්පූර්ණයෙන්ම එකගයි...බලෙන් ගන්න දෙයක වටිනාකමක් නෑ...කැමැත්තෙන් ගන්න තමයි උත්සාහ කරන්න අවශ්‍ය. අායෙමත් ඇවිල්ලා යන්න එන්න...

      Delete
  33. @ සිත්තමී

    ඔයා කිසිම දෙකට බය වෙන්න එපා නංගි මේ ලෝකේ කිසිම
    එකෙක් නැහැ ඔහොම දෙයක් කරන්න පුළුවන් . ප්‍රභාකරන්ට
    කරාද ? මම මෙහෙම කියන්නේ දේවාල පස්සේ යන යුධහමුධ පති
    කෙනෙක් ගැන අබමල් රේණුවක් නැර දන්න නිසා ..සිරාල O / l
    කරද්දී ඒ මිනිහ දේවාලේ බඩ ගෑවා .
    (එහෙම කියද්දී දන්නවනේ කොහොමද ඒ කාලේ තත්වේ කියල අපේ .)
    අදටත් ඒක එහෙමයි ..ඒත් යුද්ධේ දින්නේ එයාලගේ පද වලට නටල
    නෙවේ අපිම හදපු පද වලින්. ඒ නිසා නංගි සත පහක් වියදන් කරන්න එපා
    දේවාල වලට .ඒවට බැහැ මිනිහෙක්ට ඔහොම දෙයක් කරන්න..
    හැබැයි 80% වගේ අනාගතේ ගැන කියන්න පුළුවන් තැන් 3 මන් දන්නවා.
    ඒත් අනාගතේ ගැන කියනවා විතරයි ...
    e wagema hithanna epa thaman awalassanay kiyalath.
    othokota lan wenne lassanata adare minissu, aththatama oyata
    adare aya maga arenawa, daahak madde awanka ayawa penawa adui..
    e eyala hari podyi anik ayata wada..

    ඒක නම් හරි සිරා මම ඇහැටම ඔය මන් කියපු දේවාල සිද්දි ටික ..

    කතාව ගැන කියන්න තියෙන්නේ පව් ඒ කොල්ල ..ඒත් ඒක
    තේරුම් කරලා දෙන්න කෙනෙක් හිටපු නැති එකයි දුක ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත කථාව...මුන්ට ඔය කියන දේවල් කරන්න පුලුවන් නම් යුද්ධය අවුරුදු 30 ක් ඇදෙයිද ?

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...