Sunday, January 13, 2013

119 ලොකු හදවතක් ඇති 96 ලෝක ශූරයන්

ට්‍රීං ට්‍රීං හඩින් අවසන් කාලජේදයේ නිමාව සටහන් කරමින් 1996 මාර්තු මස දිනක පාසලේ විදුලි සීනුව නාද විය. මිටින් හල කුරුල්ලන් මෙන් වෙනදා නැති තරමේ උනන්දුවකින් පාසලේ කොල්ලන් නිවෙස් බලා දිව්වේ පුදුම තදියමකිනි. නමුත් දෛවයේ සරදමකටදෝ සිරා කොලුවාට නිවෙස්බලා යාමට නොහැකිය. සිරාගේ මෑණියන් තොරතුරු සොයා අනුමත කල පාසලට යාබද ඉංග්‍රීසි අතිරේක පන්තියේ ආරම්භය එදිනට නියමිතව තිබීම එයට  හේතුවයි. තත්වය එසේ වුවත්  මා සිත දෙගිඩියාවක නිමග්නව සිටී. ගෙදර යනවද ? පන්ති යනවද ? නොයෙක් වර ඒ මේ අතට පෙරලා බැලීමෙන්  පසු මට එදා පිළිතුරක් සොයා ගත හැකි විය.  ඉංග්‍රීසි පන්ති කවදා යන්න බැරිද ? අපේ සැට් එක ඉන්න ක්‍රිකට් ලෝක කුසලාන අර්ධ අවසන් තරගයක් ආයෙ කවදා බලන්නද.... මගේ පාර්ශවයට හිතැති වූ මේ තීරණයෙන් පසු සිරා කොලුවාද නිවෙස් බලා ඇදෙන නඩයට එක් වී නිවසට සම්ප්‍රාප්ත විය.

ඇයි අද පන්ති ගියේ නැත්තෙ.... මම සර්ට පොරොන්දු උනානෙ අද ඉදන් පන්ති එවනවා කියලා...  සිරාගේ මැණියන් ඉතා ඉහළ සෘතියක පිහිටා නගන දෝස්මුරයේ හඩ පරයා සිරා කිව්වේ එකම කථාවකි...

අද ලෝක කුසලාන ක්‍රිකට් මැච් එකක් තියෙනවා කියලා සර් පන්ති නිවාඩු කිව්වා... මාගේ අවස්ථානුකූල පචයෙන් මව සැනහුන නිසාදෝ අතුරු ප්‍ර‍ශ්න වලින් තොරව  දිවා අහාරයෙන් පසු නිදහසේ රූපවාහිනිය ඉදිරිපස ප්‍රේක්ෂකාගාරයේ අසුන් ගැනීමට සිරා කොලුවාට හැකි විය.

1996 දී  පාසලේ 9 වසරේ සිටි සිරා කොලුවාට මෙන්ම සමස්ත පාසලේම කොලු රැළට අඩු නැතිව ක්‍රිකට් උණ බෝ වී තිබුනේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ ප්‍ර‍ථම වතාවට ලෝක කුසලාන තරගයක අර්ධ අවසාන තරගයකට සුදුසුකම් ලැබ තිබූ නිසාවෙනි. ඒ දිනවල පුංචි අපේ හිත් ලෝක කුසලාන ක්‍රිකට් ජයග්‍ර‍හණයේ පිපාසයෙන් පෙලුනු අයුරුත්, ජයග්‍ර‍හණයට පසුදින මිතුරන් හා දොඩමළු වූ අයුරුත් අද මෙන් මතකය. අපේ පන්තියට සිංහල විෂය ඉගැන්වූ නන්දාවතී ගුරු මෑණියන් " ක්‍රිකට් ලෝක කුසලානය අපටයි " මැයෙන් වාක්‍ය රචනාවක් ලිවීමට අපට නියම කලේද අපේ මේ ක්‍රිකට් උණ හොදින් හදුනාගත් නිසා විය යුතුය.

අර්ධ අවසාන තරගයේදී ඉන්දියාව හඩවා ඉදිරියට ගිය අපේ සිංහයන් අවසන් තරගයේදී ඔස්ට්‍රේලියානුවන් පරදවා  පාකිස්ථානයේ ගඩාෆි ක්‍රීඩාංගනයේදී ලද ජයග්‍ර‍හණය සිතින් හෝ සැමරීමට එකතු නොවූ ක්‍රිකට් ප්‍රේමීයෙක් නැති තරම්ය. එම රාත්‍රිය තවමත් ශ්‍රීලාංකික ප්‍රේක්ෂකයා වැඩියෙන්ම රූපවාහිනී නැරඹූ රාත්‍රිය ලෙස වාර්තාගතව තිබේ. එයින් පසු තවමත් එවැනි ජයක් ලැබීමට අපොහොසත් වී ඇති නිසාම ඒ අතීත මතකයට ක්‍රිකට් ලෝලී  සිරා කොලුවා තවමත් ආදරේය.

ක්‍රීඩාවේ ජීව ගුණය මැනවින් රැකගෙන ක්‍රීඩාකල 96 අපේ ක්‍රිකට් කණ්ඩායම, එකමුතුකම හා දක්ෂතාවෙන්ද පරිපූර්ණ වූ එදා මෙදාතුර ලංකාව සතු වූ  හොදම ක්‍රිකට් කණ්ඩායම බව මගේ පෞද්ගලික අදහසයි. ඒ මතකය අලුත් කරමින් අද (12) උදෑසන කොළඹ NCC ක්‍රීඩාංගනයේදී මේ ක්‍රිකට් වීරයන් යලිත් කරළියට පැමිණීම සැබැවින්ම සිදු වූවක් දෝයි සිතෙන තරමේ සිදුවීමකි. එය සැබැවින්ම චමත්කාරජනක අවස්ථාවකි.

පාසල් යාමට නොහැකිව ලතැවෙන අඩු ආදායම් ලාභී පවුල් වල දරුවනට පිහිට වීමට හේමාස් සමාගම දියත් කර ඇති "බේබි ෂෙරමි Big Heart" ව්‍යාපෘතියේ අරමුදල තරකිරීමට 96 ක්‍රිකට් වීරයන්ගේ පිළ අද යළි දේශීය ක්‍රිකට් පිටියට බැස්සේ  ශ්‍රී ලංකාව නියෝජනය කල පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත Cricket Legends පිල සමග ප්‍ර‍දර්ශනාත්මක ක්‍රිකට් තරගයකට සහභාගි වීමේ අරමුණ පෙරදැරි කරගෙනය. බිග් හාට් ව්‍යාපෘතියේ තානාපති ලෙස කටයුතු කරන වත්මන් ජගත් තරග තීරක සහ 96 ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජික රොෂාන් මහානාම මේ කටයුත්තට ක්‍රීඩයන් සම්බන්ධීකරණය කල තැනැත්තා විය.

තරගය ආවරණය කිරීමට උදෑසනින්ම NCC ක්‍රීඩා පිටියට  වාර්තා කල සිරාගේ ඡායාරූප මාධ්‍යවේදී මළනුවන් මගේ ජංගම දුරබණුවට ඇමතුමක් නොදුන්නා නම් පෙර දා අළුයම රැකියාව නිමකර පැමිණ නිදා සිටි සිරා කොලුවාට  මේ වටිනා අවස්ථාව ගිලිහී යන්නට ඉඩ තිබිනි. රූපවාහිනියේ සජීවී විකාශය සමග ඒකාත්මික වූ පසු 96 ක්‍රිකට් අසිරිය නැවතත් දෑස මානයේ විද ගැනීමට ඉඩ හසර වෙන්විය. වසර 17කට පෙර එදා අපදුටු තරුණ ක්‍රීඩකයන් වෙනුවට  ස්ථූල ශරීර වලින් මෙන්ම  ඉදිරියට නෙරා ගිය බඩගෙඩි වලින්ද යුතු , සුදුවන් කෙස් හා රැවුල් ගස්වලින් සමන්විත වූ ක්‍රීඩකයන් සමූහයක් දැකගන්නට ලැබුනද ඔවුන්ගේ හැකියාවන් එදා මෙන්ම අදත් නොනැසී පවතින බව මොනවට තහවුරු විය. මේ කාරණය අර්ජුන රණතුංගයන්  මෙහෙය වූ  96 ලෝක ශූර කණ්ඩායමට මෙන්ම සිදත් වෙත්තමුණි විසින් මෙහෙයවූ Cricket Legends කණ්ඩායමටද එකසේ පොදුය. සමාජ සත්කාරයක් වෙනුවෙන් සිය  පෞද්ගලික රාජකාරි පසෙක ලූ  කණ්ඩායම් දෙකේ ලොකු හදවත් ඇති සාමාජිකයන් මෙන්න....

96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායම


www.thepapare.com
ඉදිරි පෙල වමේ සිට -  සනත් ජයසූරි, රොෂාන් මහානාම අර්ජුන රණතුංග (නායක), අරවින්ද ද සිල්වා, අසංක ගුරුසිංහ, හෂාන් තිලකරත්න, 

පසුපෙළ වමේ සිට -  උපුල් චන්දන, ප්‍රමෝද්‍ය වික්‍ර‍මසිංහ,  චමින්ද වාස්, රවින්ද්‍ර‍ පුෂ්පකුමාර, රොමේෂ් කළුවිතාරණ ( තරග සංචාර වල යෙදී සිටින හෙයින් කුමාර ධර්මසේන, මුත්තයියා මුරලිදරන්, මාවන් අතපත්තු සහභාගි වූයේ නැත)

 Sri Lanka Cricket Legends කණ්ඩායම


www.thepapare.com


සිදත් වෙත්තමුණි (නායක), ග්‍රැහැම් ලැබ්රෝයි, බ්‍රෙන්ඩන් කුරුප්පු, කපිල විජේගුණවර්ධන, හේමන්ත වික්‍ර‍මරත්න, රොජර් විජේසූරිය, අශෝක ද සිල්වා, හේමන්ත දේවප්‍රිය, රංජිත් මධුරසිංහ, එරික් උපශාන්ත, සංජීව වීරසිංහ, චාමර සිල්වා

කාසිය වාසිය උරගා බැලීමේ අවස්ථාවට අතිගරු ජනාධිපතිතුමාද දායක වූ මේ තරගය නැරඹීමට   රු. 50/- ප්‍රවේශ පත්‍ර‍ රැගෙන පැමිණි ක්‍රීඩා ලෝලී ජනතාවගෙන් පිරී තිබුනි. වර්තමානයේ දැඩි ලෙස මුදලට බිලිවී ක්‍රීඩාවේ සුන්දරත්වය හා මහත්මා ගතිය නැසී යමින් පවතින මොහොතක පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන් ඉතාමත් අලංකාර තරගයක් ක්‍රීඩා ලෝලීන්ට වෙත උරුම කරදුන් බැව් අතිශෝක්තියක් නොවේ.  96 මතකය යලි යලිත් සිහිපත් කරමින් නායක අර්ජුන රණතුංග  සෙසු ක්‍රීඩකයන්  එදා පන්දු රැකීමට රැදවූ ස්ථාන වලටම යෙදවීය. එදා මෙන්ම අදත් වාස් සහ ප්‍රමෝද්‍ය ආරම්භක පන්දු යවන්නන් වූහ. දෙපිලේම ක්‍රීඩකයන් වෙතින් අතීතයේ  පෑ  දක්ෂතා යලිත් විද්‍යාමාන විය.

ප්‍ර‍වීණ ක්‍රිකට් විස්තර විචාරක පාලිත පෙරේරා සුන්දර අතීත සිදුවීම් රැසක් ප්‍රේක්ෂකයා වෙත මතක් කර දුන් අතර තරගය අවසානයේ පාලිත සමග කථාබහක නිරතව සිටි හෂාන් තිලකරත්න රූපවාහිනී කැමරාව ඉදිරියේ හඩාවැටුනු හැගීම්බර අවස්ථාව පසක් කලේ වසර 17 කට පසුත් කණ්ඩායම් හැගීමෙන් ඔවුන් තවමත් ශක්තිමත් බවයි. හිටපු ආරම්භක වේගපන්දු යවන්නකු වූ ප්‍රමෝද්‍ය පැවසුවේ " අද තරගය පටන් ගන්නකොටම අපි අර්ජුන අයියට කිව්වෙ ඔන්න අද නම් බනින්න ඔට්ටු නෑ කියලා... ඒ කාලෙ පිට්ටනියෙදි අර්ජුන අයියගෙන් වැඩිපුරම බැනුම් ඇහුවෙ මම යනුවෙනි. "

කාසියේ වාසිය දිනාගත් අර්ජුන පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව Cricket Legends කණ්ඩායම වෙත භාර කලේය. ඒ අනුව ඔවුන් පන්දු වාර 20 අවසානයේ කඩුළු 7 කට ලකුණු 137 ක් ලබා ගත් අතර එම ඉලක්කය ජය ගැනීමට ලෝක ශූර කණ්ඩායමට පහසුවෙන් හැකි විය.

තරගය පුරාවටම ක්‍රීඩකයන්ගේ සහෝදර බැදීම ප්‍ර‍කට කල මේ තරගය ලොකු හදවත් ඇත්තන්ගේ සමාජ සත්කාර අරමුදලේ එළියෙන් ආලෝකය ලබන කුඩා දූ පුතුන්ට නම් කිසි දිනෙක අමතක නොවනු ඇත.

ලකුණු පුවරුව


http://www.facebook.com/Dailymirroronline


පිළිතුරු ඉනිම

http://www.facebook.com/Dailymirroronline











තරගයේ  ඡායාරූප පෙළහර, සිරාගේ මළනුවන්ගේ අනුග්‍ර‍හයෙන් මෙතැන් සිට.....

ජාතික ගීය ගායනයට සූදානම් වෙමින්. මේ සිටින්නේ මෙම අරමුදලෙන් ප්‍ර‍තිලාභ හිමිවෙන දරුවන්



























අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය




කාසියේ වාසිය

එදා වගේමයි අදත්....

Cricket Legends  පිලේ ආරම්භක පිතිකරුවන්.... සිදත් වෙත්තමුනි සමග හේමන්ත දේවප්‍රිය...

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් අතර නොමැකෙන සලකුණ -වාස්

උපුල් චන්දන සුපුරුදු ස්ථානයේ...

ලිට්ල් කලූ කඩුල්ල පිටුපස..

කුඩා ක්‍රීඩා ලෝලීන්ට මැදිවූ ප්‍රමෝද්‍ය...


96 වගේම අදත් කණ්ඩායම දිරි ගැන්වූයේ - පර්සි

ඉදිරි පරම්පරාව.... තාත්තලගෙ නම් තමා පිටිපස්සෙ ගහලා තියෙන්නෙ...


අරවින්දගේ සුපුරුදු පන්දු යැවීම

ජයසූරියට කඩුල්ලක්...

එරික් උපශාන්තගෙන් වේගවත් පහරක්...


කුඩා ක්‍රීඩා ලෝලීන් සමග ගුරා








එක්දින පිටිය උඩු යටිකුරු කල භයානක ආරම්භක පිතිකරුවන් දෙපළ... සනා සමග කළු

ගුරුසිංහගෙන් සුපුරුදු පහරක්...

ලෝක කුසලාන අවසාන මහා තරගයේ වීරයා... අරවින්ද

කැප්ටන් කූල්...

ජයග්‍ර‍හණයට අඩිතාලම දැමූ අර්ජුන - කලු සබදතාව...

රොෂාන් සමග හෂාන්...

ක්‍රීඩා ලෝලීන්ගේ සෙනෙහස...
ලබාදුන් ජය සංඛේත
තරගයේ වීරයා ලිට්ල් කලූ..

















මෙවන් සමාජ සත්කාරයකට දායක වූ සියල්ලන්ටම සිරාගේ ආචාරය ! 
මේ අරමුදලෙන් එළිය වෙන ඒ කුඩා දරුවන්ගේ අනාගත ජීවිත වාසනාවන්ත වේවා !





මම කාමරේ වෙසෙන් සත්ගුණවත්, සිරා කොලුවා.




ප.ලි



පසුගියදා අපෙන් වෙන් වූ ඉංග්‍රීසි විස්තර විචාරක ටෝනි ග්‍රේග් සිටියා නම් සියල්ල සම්පූර්ණ බව හැගේ.

මෙම තරගය වෙනුවෙන් යොදාගත් ඇදුම් 96 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය සිහිපත් කළේය.


පසුව එකතු කිරීමක්.....


තරගය නැරඹීමට නොහැකි වූ අයට මෙතැනින් එය නැරඹිය හැක.
තොරතුර සැපයීම සම්බන්ධයෙන් අසරණයාට මාගේ ස්තූතිය...









119 comments:

  1. මේකට යන්න හිටියා. තනියම යන්න බැරි නිසා මග ඇරුනා. මෙවරත් මගේ හොඳම මිත්‍රයාට වෙන වැඩක්. මගේ ගාව තියෙනවා 96 දී ඇඳපු පුහුණු ටී ෂර්ට් එක. එහි අත්සන් ගැනීම තමයි මගේ බලාපොරොත්තුව වුනේ.

    ReplyDelete
    Replies
    1. ඉතාම වටිනා අවස්ථාවක් තමයි ඔබට මෙවර මගහැරී තිබෙන්නෙ... මේ පැරණි ක්‍රීඩකයො එක තැනකදි හමුවීමට තිබෙන අවස්ථාව ඉතාමත් විරලයි. යාලුවා හැමදාම පොලු තියන කෙනෙක්ද මන්දා...

      Delete
    2. හෂාන්ට විතරක් නෙමේ අපිටත් ඇඩෙනවා මේක සෙල්ලං කරනවා දැක්කම...
      ලංකාවට ආයේ කවදාවත් මේ වගේ ක්‍රීඩකයෝ ටිකක් හම්බෙන්නේ නෑ..

      Delete
  2. මම නම් තාමත් කැමති සනත් එක්ක කලුපෙරුම මැච් එක පටන් ගත්තු කාලේ හිටපු ටීම් එකට.
    මෙල්බන්වලදි එයාලා දිනපු මැච් එකත් කවදාවත් අමතක වෙන්නේ නෑ. අර්ජුන ඒ කාලේ දුවන්නේ නෑ වැඩිය. නිවේදකයෝ කීවේ කරි කාලා එයාලා මහත් වෙලා වගේ කතාවල්. හී හී...

    පස්සේ කාලෙක, මුරලිගේ අතට මෙහෙ අය කීව ජාති. ඒ වෙලාවේ නම් ජාති, ආගම් භේදයක් නැතුව ශ්‍රී ලාංකිකයෝ එකතු උනා.

    ReplyDelete
    Replies
    1. මාත් තාමත් කැමති ඒ ටීම් එකට තමා... ඉස්සර වෑන් එකේ එන ගමන් තමයි විස්තර අහන්නේ... සනායි කලුයි පිට්ටනියට එනකොටම අපේ අනිත් උන් ටික මගේ කට තද කරලා වහගෙන ඉන්නවා... ඒ දවස්වල ඉතිං අවුට් උනාම ඒ උඹගේ කට හින්දා කියලා මරාගන්නත් ගියානේ.. මං ඉතිං කෑ ගහනවා.. අනෙ අද නං කලු අවුට් වෙන්න නම් එපා කියලා... එහෙම කිව්වම කලූ ඉක්මණට අවුට් වෙනවා කියලා අපේ උන් කියන්නේ...ඒ තරම් මං කලුවිතරණට ආසයි.. හි හි

      අර්ජුන ඒ දවස්වල දුවන්නේ දුවන් නැතුව ඉන්නම බැරි තැන් වල විතරයි.. ඒ මදිවට හෙමීට.. මට මතකයි විචාරකයෝ ටික හොඳ කතා කිව්වා ඒකට.. හි හි

      පස්සේ දවසක මුරදි වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා දැකලා තව චුට්ටෙන් අපේ වෑන් එකේ උන් ටික වෑන් එකෙන් එළියට පනිනවා... හි හි.. පුදුම පිස්සුවක් තිබ්බේ...

      Delete
    2. කවුද බොලේ මුරදී?

      Delete
    3. කලුපෙරුම නෙමෙයි කළුවිතාරන...කළුපෙරුම කියලා තවත් පැරණි ක්‍රීඩකයෙක් ඉන්නවා... 95 - 96 ඔස්ට්‍රේලියානු සංචාරයෙන් තමයි ලෝක කුසලාන ජයග්‍ර‍හණයට මාවත සැකසුනේ... ඒ තරග වාරයෙදි සනා - කලූ සුසංයෝගය දැක්වූ දක්ෂතා බොහොම ඉහළයි.... මේ දෙපලට පන්දු යැවීමට පසුකාලීන පන්දුයවන්නන් චකිතයට පත් වුනා... සනාගෙ හතරෙ පහරවල් වල වේගය වැඩිකමට කැමරාවට ගන්න බැරුව කැමරාකරුවන් සෑහෙන්න දුක් වින්දා... සැබෑ ජීවිතයේදී මේ දෙපළම සමග කථා කරන්න මට වාසනාව ලැබිලා තියෙනවා... ඉතාමත් නිහතමානී ක්‍රීඩකයන් දෙපලක්...

      @ හිරු

      මම හිටපු ඔපීසියකත් පිළිගැනීමේ නිලධාරිනියක් හිටියා ඔය වගේ...අද නම් සනා වැඩිය ලකුණු ගහන්නෙ නෑ කිව්වොත් බඩුම තමා...හරියටම හරි... අද ලංකාව පරදිනවා කිව්වොත් අනිවාර්යෙන් පරදිනවා... සමහර දවස්වලට කොල්ලො වැදලා වැදලා ලංකාව අද දිනනවා කියලා ඒකිගෙන් කියවා ගන්නවා...එදාට අපි ගොඩ...

      Delete
  3. මමත් ඕක ටීවී එකේ නම් බැලුවා...96 අතීතය යලි සිහිපත් වුණා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් 96 සුන්දරත්වය ආයෙත් අත්වින්ද තවත් කෙනෙක්..

      Delete
  4. උපුල් චන්දන සදාකාලික තාරුණ්‍යය වගේනේ. තාමත් ඒ වගේමයි. මුරලි, මාවන්, කුමාරත් හිටියා නම් තව ලස්සන වේවි මැච් එක

    ReplyDelete
    Replies
    1. උපුල් චන්දන එදා වගේම තමයි තවමත්... ශ්‍රී ලංකා A කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු හැටියටයි ඔහු අද සේවය කරන්නෙ...

      Delete
  5. මම වැඩිය ක්‍රිකට් තරඟ නරඹන කෙනෙක් නොවුනත් 96 ලෝක කුසලාන තරඟයනම් හරිම ආසවෙන් නැරඹුවා . මතක් උනා ඒ දවස ගත කල හැටි . ඉස්සර ක්‍රිකට් තරඟ නරඹනකොට දැන් වගේ නෙමෙනේ යාලුවොත් එකතු කරගෙන කෑම හදාගෙන ලොකු සූදානමක් වෙනවා .
    …මමත් තාම කැමති අර පොඩ්ඩි කිව්ව වගේ පරණ ටීම් එකට .
    …ඔයාගෙ මේ ජායාරූප ටික ගොඩක් වටිනවා ඒ වගේම අපිටත් බලාගන්න සැලැසුවාට ගොඩක් ස්තූතියි .

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තත් ඔය වගේ ක්‍රිකට් තරග නරඹන්න ආශාවක් නැති කෙනෙක්...ඒත් මැච් එකක් දිනන්න කිට්ටු වෙලා මමයි, මල්ලියි කෑ ගහනකොට නම් ඔහුත් ඇවිත් බලනවා...ඇත්තෙන්ම මුදලට යට වුනේ නැති නියම ක්‍රිකට් මහත්වරුන් සිටි නිසාම මගේ ප්‍රියතම කණ්ඩායමත් 96.

      Delete
  6. බලන්න ගොඩාක් අසාවෙන් හිටියේ.අවාසනාවකට බලන්න බැරි උනා.පින්තුර ටිකට ගොඩාක් ස්තුති සිරෝ.

    ReplyDelete
    Replies
    1. පින්තූර ටික හරි දැක්කා නොවැ...

      Delete
    2. පින්තුර ටික එළය.මැච් එක බලාගත්තා පියෝ ටීවී එකට පින්සිද්ද වෙන්න.

      Delete
    3. අන්න පියෝ ටීවී ගන්න හිතන අයට වාසිදායක ප්‍ර‍වෘත්තියක්...

      Delete
  7. එවන් (96) වු ශක්තියක් අද නැති විම ? කි.එකමුතු බව,දක්ෂතාවය,නිහතමානිකම,අපේ කම, ජයග්‍රාහනයට අවශ්‍ය උත්තෙජක වේ.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. දක්ශතාවට වඩා ක්‍රිකට් පරිපාලනය හා දේශපාලනය මුසුවිම, අදක්ෂ නිලධාරීන් තේරීම් කමිටුවට තෝරා පත් කිරීම, ගමේ ක්‍රිකට් නැංවීමට හා පාසල් ක්‍රිකට් නැංවීමට වැඩ පිළිවෙලක් නොමැති වීම තමයි අද තියෙන කඩාවැටීමට හේතු විදියට මම දකින්නෙ...

      Delete
    2. සීරා මම නිහතමානිකම සහ අපේ කම කියන එකෙන් අදහස් කළේ ඒ ටික.බදාගෙන කරන්න පුළුවන් කියලා හිතුවට කරන්න බැ.පුළුවන් කෙනෙකුට දෙන්න ඕන.

      මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

      Delete
  8. කවදාවත් අමතක වෙන්නැති අතීතයක්.
    එදා ගුරාගෙ ඉනිම තමා මම ආසම. බෝලර්ට උඩින් ගහපු හයේ පාර.

    දැන් නම් ක්‍රිකට් වලට තියෙන උනන්දුව අඩුවෙලා.ක්‍රිකට් ගැන කලකිරීමක් තියෙන්නෙ. දේශපාලණය ගෑවිලා විනාශ කරල තියෙන්නෙ. දැන් ක්‍රිකට් විකාශය කරන නාලිකාව අපේ ගෙදරට පේන්නැහැ හදන්න උනන්දුවත් නෑ.

    අද ක්‍රීඩකයො කොච්චර මුදල් පස්සෙ යනවද කියල හිතෙන්නෙ බාලගනයේ වෙලඳ ප්‍රචාර වලට සහබාගී වෙලා ඔවුන්ගෙ තත්වයත් නැතිකරගන්නව.

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපේ තාත්තා ඉදලා හිටලා මැච් එකක් බැලුවොත් ගුරාට බනින්නෙ මේ යකා එක්ක නම් මැච් දිනන්න බෑ කොටන එකම තමයි වැඩේ කියලා...කථාව ඇත්ත...ඒ දවස්වල ගුරා පළවෙනි පන්දු 25 කට විතර ලකුණු 2 ක් 3 ක් වගේ තමයි ගහන්නෙ... නමුත් ඔහු පිටියේ ස්ථාවර උනාට පස්සෙ වේගයෙන් ලකුණු රැස් කරනවා...අන්තිමට මුහුණදීපු පන්දු සංඛ්‍යාව හා ලකුණු ගනන අතර පරතරය අඩුයි.

      ඒ කෙහෙල්මල් සේවය අපිට පේන්නෙත් නෑ... මම අන්තර්ජාලයෙන් තමයි දැන් ක්‍රිකට් තරග නරඹන්නෙ.

      Delete
    2. /*එදා ගුරාගෙ ඉනිම තමා මම ආසම. බෝලර්ට උඩින් ගහපු හයේ පාර.*/
      අනිවා මචං.. ටිකක් හිරවෙලා හිටපු වෙලාවේ වැදුණු ඒ ෂොට් එක ඒ වෙලාවේ ලොකු හයියක් උනා..

      Delete
  9. බැට් බෝල් නේ !!!! නරකම නෑ 96ට නම් මාත් කැමතී

    ReplyDelete
    Replies
    1. 96 ක්‍රිකට් තරම් අද ක්‍රීඩාව සුන්දර නෑ... මුදලට යටවෙලා...සජීවී විකාශයේ ඕවරයක පන්දු 5 යි බලන්න පුලුවන්... අන්තිම පන්දුව ඇඩ් වලට කැපෙනවා...

      Delete
  10. ලකුණු පුවරුව දැක්ක ගමන් කියවුනේ 'අහෝ.. සනා' කියලා..

    උනන්දුවාට මැච් නොතිබ්බානම් අනිවාර්යෙන් ඒවි.. වාස් නම් ඉතින් තාමත් ක්‍රියාශීලීනෙ..

    හොඳ වැඩක් හා මේක ලියලා සිරා කළෙත් හොඳ වැඩක්.. 96දි මම පොඩි එකා උනත් මටත් හොඳ අත්දැකීම් තිබ්බා.. කොටන්ඩ කම්මැලියි..

    ReplyDelete
    Replies
    1. සනා ආබාධකයකට ලක්වෙලා සුවවෙමින් ඉන්න නිසා එදා තරම් ජවයක් මේ තරගයේදි ඔහුගෙන් දිස් වුනේ නෑ... ඔහු ධාවකයෙකුගෙ සහයත් ලබාගත්තා කඩුලු අතර දුවන්න...

      Delete
  11. ඇස් වලට කඳුලු එන්න තමයි මේකා හැමදාම ලියන්නේ... වාතයක්...හි හි

    අනේ ඕක බලන්න බැරිඋනානේ මට... කොච්චර කාලෙකට පස්සෙද කලුවව දැක්කේ.... මගේ තාමත් ආසම ක්‍රීඩකයා කලු..

    ඒ දවස්වල ටීම් එකේම නම් කටපාඩම්.. ඊළඟට එන්නේ කවුද කියලත් දන්නවා.. දැන් අද ඉන්න එකා නෙවෙයි හෙට ඉන්නේ...

    ෆොටෝ ටිකට බොහොම ස්තුතිය අයියටයි මල්ලිටයි දෙන්නටම....

    ReplyDelete
    Replies
    1. මගේ පාසල් මිත්‍ර‍යා කුලයා ඇරුනාම මට හමුවෙලා තියෙන ඉතාමත්ම නිහතමානී ක්‍රිකට් ක්‍රීඩකයා තමයි කලු... මම ක්‍රිකට් තරග වල ප්‍රවේශ පත්‍ර‍ සම්බන්ධ රාජකාරියක් කලා පාසලෙන් ඉවත් වූ අලුතම වගේ...එහි වැඩ වලට අපි ලංකාව පුරාම තරග පැවැත්වෙන ක්‍රීඩාංගන වලට ගියා. දඹුල්ල ක්‍රීඩාංගනයෙ රාත්‍රී පුහුණුවීමක් කරන වෙලාවක හතරේ සීමාවට එපිටින් අපි බලාගෙන හිටියා කලූ දිහා... අපි දිහා බලන් හිටිය කලු...
      මල්ලිලා මොකද ඔතන...බහින්න පිට්ටනියට කියලා අපිව කැදෙව්වා... විස්තර කථා බහ කරලා ඔහු අපේ සැට් එක වළල්ලක් ආකාරයෙන් ඔහු වටා රදවලා අපිත් සමග පහුණුවීම් කලා... වරක් ඔහුගෙ පිත්තෙ ගැටුනු පන්දුවක් පිටුපසට ගියා... ඒ කිව්වෙ ටිප් කැච් එකක්... ඒ තරගවාරය ඔස්ට්‍රේලියාව එක්ක නිසා අපේ එකෙක් ඇහුවා..අයියෙ මැච් එකේදි ඔහොම උනොත් ඕක අල්ලන්නෙ ගිල්ක්‍රිස්ට් නේද කියලා... එවිට හයියෙන් හිනා වුනු කලූ කිව්වෙ..බලන් ඉදහං මම ඌට දෙයි ලබ්බක් කියලා... හරිම සුන්දර අතීතයක්... කැමරා ෆෝන් එකක්වත් තිබුනා නම් සෑහෙන්න වටින මතක සටහන්... මේ කියපු වකවානුවෙදි මට සෑහෙන්න දෙස් විදෙස් ක්‍රීඩකයො පිට්ටනි වලදි මුණ ගැසිලා තියෙනවා...

      Delete
  12. ඒ ටීම් එක ගැන හැගීම් විතරක් මම ලියන්නම්..

    කළු,සනා පිට්ටනියට එද්දි අපි කූල් වෙලා ඉන්නෙ. අනිත් ටීම් එකත් එහෙමයි. උන් ඉන්නෙ ගහයි කියල බයේ/අපි ඉන්නෙ ගහන්න ගිහින් අවුට් වෙයි කියල බයේ..

    උඩ උන් අවුට් වුනත් අරවින්ද/අර්ජුන යටින් දෙන සප් එක සිරා. අරේගෙ ලස්සන පාරවල්, අර්ජුනගෙ හති දදා ඇවිදිල්ල සිරා..

    මහානාම 50ක් ගැහුවොත් උස්සගෙන යන්නෝනි. ඌට මහන්සි ඒ තරමට..

    මේ ඇති බං !

    ReplyDelete
    Replies
    1. ඇයි බං ගුරුසිංහ ??ඌ නිකන් ඩේවිඩ් බූන් වගේ වැඩිය හිනාවෙන්නෙත් නෑ. හැබැයි යෝධ පාරක් නම් ෂුවර්.

      Delete
    2. ඇයි ගුරාගෙ හපේ..කොයි වෙලෙත් හපන එකමයි වැඩේ..!

      Delete
    3. සෑමගෙ කථාව ඇත්ත...මගේ ප්‍රියතම ක්‍රීඩකයා සනා නිසා සනා 100 ඒවා එහෙම කිට්ටුවට ආවම මම ඇස් වහ ගන්නවා උඩ ගහලා අවුට් වෙයි කියලා...මහානාමට තිබුනෙ මස් පෙරළෙන කේස් එකක්... 50 ගැහුවට පස්සෙ ෆිට්නස් නෑ... දැන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉන්න භෞත චිකිත්කස ඇලෙක්ස් කුන්ටූරි තමා මහානාම ඒ කරදරයෙන් ගොඩ දැම්මෙ...

      @ වී

      ගුරාගෙ හපේ නෙමෙයි..ගුරාගෙ අයි ලෙන්ස් වැටුනාම දාගන්න විදිය කොහොමද... සිරා නේද...

      Delete
  13. පොටෝස් ටික නියමයි.... 1996 මැච් එක සම්පුර්ණයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් නැද්ද... මම යුටියුබ් එකේ හොයලා බැලුවා හයිලයිට් විතරයි තිබුනේ

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකක් තිබුනොත් දාන්නම්...හයිලයිට් පමණයි මමත් දැකලා තියෙන්නෙ... රූපවාහිනී සංස්ථාවෙ තමයි මම හිතන විදියට නියම කොපිය තියෙන්නෙ...

      Delete
  14. ඒ වගේ ටීම් එකක් ආයෙ ලංකාවෙ ඇතිවෙයි කියල හිතන්න බෑ.
    ක්‍රිකට් වලට ආස නැති උනත් ගොඩ දෙනෙක් 96 මැච් එක බැලුව මාත් ඇතුලුව.

    නියම ලිපියක් සිරා.

    ReplyDelete
    Replies
    1. මේ විදියෙ ක්‍රිකට් පරිපාලනයක් එක්ක නම් ඒ වගේ සමෘද්ධිමත් අතීතයක් ලංකාවෙ ඇතිවෙයි කියලා හිතන එක සිහිනයක්...

      Delete
  15. සිරාටත් මලයටත් දෙන්නටම ස්තුතියි.

    සිරා කරුණාකරලා අර උඩම තියෙන කණ්ඩායම් ඡායාරූප දෙකේ කැප්ෂන් එකේ කට්ටිය ඉන්න පිළිවෙලට වමේ සිට දකුණ ක්‍රීඩකයෝ හඳුන්වලා දුන්නොත් හොඳයි. සමහරු දැන් අඳුනාගන්නම බැරි තරම්.

    ඈ බං. (හරිනම්) මේ උදේ හවස ව්‍යායාම කරන ක්‍රීඩකයො මෙහෙම පුස් ඌරො වගෙ මහත් වෙනවා නම් උඹලා අපි වගෙ උන් ගැන කියනුම කවරේද?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හෙන්රි අයියා... මම අදුනන්නෙ 96 කණ්ඩායමේ අය පමණයි...මම ඒ ඡායාරූපයේ අය ඒ විදියට දැක්වූවා... පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කීප දෙනෙකු හදුනන්නේ නැති නිසා දෙවැනි කණ්ඩායම් ඡායාරූපය නම් කරන්න තොරුතුරු දන්න කෙනෙක්ගෙ සහයෝගය පතන්න වෙනවා....

      Delete
  16. වැඩේ වගේම ලිපියත් “සිරා“

    අරුං ගිහිං අරෙහෙ කන කෑමට මැච් එපා වෙලා ඉන්න කොට මෙහෙම හරි ක්‍රිකට් ලෝලීන්ට සහනයක් දෙන එකනං මාර පිනක්... මේ රෙද්දේ දේශපාලනේ කියන කොටසින් අහක් කරලා ගත්තනං අර්ජුනයි සනායි කොයි තරං ෂෝක්ද..?

    පුළුවන්නං 96 ඔසියන්ගේ ටීම් එකත් එක්කත් මෙහෙම මැච් එකක් සෙට් කලානං ගතියට තියෙයි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත... මම උනත් දැන් ක්‍රිකට් තරග බලන්නෙ නැත්තෙ හැමදාම අපි කුජීත විදියට පරදින නිසා...ඉස්සර පොඩි ලකුණු සංඛ්‍යාවක් උනත් රැක ගන්න ටීම් එක දෙන සටන කොච්චරක්ද...අද එහෙම සටන්කාමීත්වයක් දකින්න නෑ... දියාරු ක්‍රීඩා විලාශයක් තමයි තියෙන්නෙ... නවක ක්‍රීඩකයන්ට තැන නොදුන්නොත් ශ්‍රී ලංකා ක්‍රිකට් තව ටික කාලෙකින් වල පල්ලට ...

      මේ වගේ ජනතා ආදරය දිනාගත්ත ක්‍රීඩකයො දේශපාලනයට එන එක ඒ අයගෙ ප්‍ර‍තිරූපයට කරගන්නා හානියක් ලෙසයි මම දකින්නෙ...

      Delete
  17. තවමත් හරි හැටි සුවයක් නැති නිසා ඇඳේ නිදාගෙනම මැච් එක බැලුවෙමි. අප්පුඩි කහුවෙමි. ටිකක් කෑගැහුවෙමි. මේ දිනවල මාව බලාගන්නා මගේ පොඩි අක්කාගෙන් බැනුම් අහුවෙමි.

    විචාරක

    ReplyDelete
    Replies
    1. අපේ මහත්තයත් අද උදේම ඇහුවා අසනීපයි කිව්ව එක්කෙනාට දැං සනීපද කියලා... මං අද සෙන්නාගෙන් අහන්න හිටියේ තොරතුරක් නැද්ද කියලා.. මේක දැක්කම නම් හිතට සනීපයි.... හි හි

      Delete
    2. හරිම සතු‍ටුයි විචාරක!

      Delete
    3. ඔබ සුවෙන් බව දැන්ගැනීම සැබෑම සතුටක්.

      Delete
    4. විචාරක...ඔබට සුව වී ඇති බව දැනගැනීම සතුටක්..!

      නිසි සුවය ඉක්මනින් ලැබේවා..!

      Delete
    5. විචාරක තුමා සුවෙන් සිටිනු දැකීම ඇත්තටම සතුටක්... රෝගී වූ බැව් සෙන්නා මගින් දැනගත්තත් අලුත්ම තත්වය දැන ගන්න විදියක් නැතුව සිටියෙ... හැකියාවක් තිබුනොත් 27 ගම්පහ ගෙට්ටුවට එන්න...


      ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...

      Delete
    6. රෝගයට ප්‍රතිකාර සමග ඔබ වටා ඉන්න කෂ්ටියගේ නිරෝගී සුව ප්‍රාර්ථනා සමගින් ඉක්මන් සුවය පතමි විචාරක ඔබට!!!!

      Delete
    7. //මේ දිනවල මාව බලාගන්නා මගේ පොඩි අක්කාගෙන් බැනුම් අහුවෙමි.//
      පොඩි අක්කා ගොඩක් බැන්නොත් කියන්ට. අපි එයාව එලවලා ඔයාව බලා ගන්නම්.:D

      සනීප උනු එක ගැන ගොඩක් සතුටුයි.

      Delete
    8. සනීපෙන් ඉන්නවා දැකීමත් සතුටක්. ඉක්මනින්ම ලෙඩ දුක් සුවවෙලා බ්ලොග් ලෝකේ අතරමං වීමට නැවතත් හැකියාවක් ලැබේවා!

      Delete
  18. මට මේක බලන්න බැරි උනාබන්..... උබට පිං මෙහෙම විස්තරයක්වත් ලිව්වට...

    ReplyDelete
    Replies
    1. ඡායාරූප වලින් හරි බලමු...මොනා කරන්නද...

      Delete
  19. මේ මැච් එක බලල අපේ උන්ට ආපහු ක්‍රිකට් මතක් වෙලා වගේ අද ඔසී උන්ට ගහයි වගේ

    ලිපියයි කමෙන්ට් ටිකයි කියෙව්වම ඇස්වලට කඳුලුත් ආව අයෙත් ඒවගේ කාලෙයක් එයිද කියල ඒදවස්වල මුලු ජීවිතේම ක්‍රිකට් තමයි අපි හැමෝටම

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ක්‍රිකට් අදට වඩා මිනිස්සුන්ට සමීපයි... මිනිස්සුත් මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සෑහෙන්න ආදරය කලා...වසර 17 ක් ගතවෙලත් ඒ තත්වය අදත් එහෙමයි කියලා තමා මේ පැමිණි ප්‍රේක්ෂකයන් තහවුරු කලේ...

      Delete
  20. ලෝක කුසලානේ මැච් එක දවස් වල අපි ලංකාවේ හිටියේ. මට මතකයි ලයිට් ගියා. පැය දෙක තුනක් රේඩියෝ එකේ තමයි බැටරි දාලා ඇහුවේ. ඒ දවස් වල දැනෙන කික් එකම දැනෙනවා පරණ සෙට් එකේ ෆොටෝ බලද්දී. දැන් ඉතින් හොඳයි කියන්න ඉන්නේ කීයෙන් කී දෙනාද?
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. අපි එදා තරගය නැරඹුවෙ රූපවාහිනිය සහ ගුවන් විදුලිය දෙකම ක්‍රියාත්මක කරගෙන... ප්‍රේමසර ඈපාසිංහ සහ පාලිතගෙ විස්තර විචාරය අහන්න තමයි එහෙම කලේ...හරිම සුන්දර මතකයක්...

      Delete
  21. ගහන පාරවල් ගැන අවබෝධයකුත් නෑ. ඒත් මේ ඉන්න ටීම් එකට පණ අරගෙන ආදරය කලා..මැච් ගහද්දී බත් එක අතේ තියාගෙන...කට ඇරගෙන බලාගෙන උන්නා. හතරේ හයේ පාරක් ගහද්දී හුරේ දැම්මා. කෑ ගැහුවා..මැච් දිනනකොට දැනුන සතුට..

    මේ ටීම් එකට මම තවමත් ආදරෙයි. මුදලාලි ගණයේ නොවුන ටීම් එක.ආසම ක්‍රීඩකයෝ දෙන්න උනේ කලුයි සනතුයි. දෙන්න ඕපනින් බැට්ස්මන්ලා හැටියට එද්දී හුස්ම නවතිනවා ටික වෙලාවකට. ඊට පස්සෙ සනත්ගේ බැට් එකෙන් වේගයෙන් හතරේ පාරක් වදිද්දී...අම්මෝ...

    කට්ටිය සෑහෙන මහත්වෙලා වගේ..හි හි හි මේ මැච් එක නම් බලන්න බැරි උනා. ඒත් සිරාගෙන් විස්තර දැන ගත්ත එකත් සතුටක්.

    දැන් නම් ක්‍රිකට් මැච් බලන්න පිරියක් නෑ. අද නම් අන්න ටිකක් හොඳට ගහනවා වගේ..

    ReplyDelete
    Replies
    1. අයියෝ...උඩුන් කෑලි ටික නෑනේ මගෙ කොමෙන්ටුවේ :(

      Delete
    2. මේ පැරණි කණ්ඩායමට තමයි මමත් තවම කැමති...ඒ අයගෙ ක්‍රීඩා කෞෂල්‍ය සහ කණ්ඩායම් හැගීම අදට වඩා වැඩියෙන් එදා තිබුනා කියලයි මට හිතෙන්නෙ...

      Delete
  22. සිරා ෆොටෝ ටික..
    කියන්න නම් දේවල් ගොඩයි.....
    ගොඩ වැඩි හින්ද නොකිය ඉන්නම්.

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට ස්තූතියි... නොකියා ඉන්න ටිකත් කිව්ව නම් තමා හොද...

      Delete
  23. අඩේ!!යන්න බැරි උනානේ මේක බලන්න...96 එච්චරම මතක නෑ! මොකෝ අපි පොඩි පැටව් නේ එතකොට! ඒත් උඩ පැන පැන කෑ ගැහුවානම් මතකයි!

    ReplyDelete
    Replies
    1. හැබෑටම නාඩියා 96 සූටි පැටියෙක්ද... ඒ උනාට ගෙදර අය මැච් බලපු හැටි මතක ඇති...

      Delete
  24. සිරෝ සිරා තරගයක් සිරා පොරවල් ටිකක් සිරා ම ලිපියක්

    ReplyDelete
  25. සිරා මචං ලිපියා. මචං පුලුවන්නම් මේ මැච් එක බලන්න පුල්ලුවන් ලින්ක් එකක් දියන්.

    ඒ විදියේ හැඟීමකින් මැච් බලන්න කවදා ලැබෙයිද දන්නේ නැහැ.96 වගේ කාලයක්..

    ReplyDelete
    Replies
    1. මේ මැච් එක බලන්න පුලුවන් ලින්කුවක් ලැබුනොත් මම එවන්නම්...හරිම සුන්දර තරගයක්...

      Delete
    2. ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නේ.

      Delete
    3. http://www.maxsatv.com/watch/?v=11897 මෙන්න ලින්ක් එක සම්පුර්ණ මැච් එකම තියෙනවා.

      Delete
    4. ස්තූතියි අසරණයා...මම පෝස්ටුවේ අගට එය එක් කලා...

      Delete
  26. අපිට කවදාවත් ලෝක කුසලානෙ ගැන නම් ලියන්න වෙන්නෙ නැතිවෙයි..
    අනික යින්ත්‍රිකයාට ක්‍රිකට් ජීර්ණය නොවේ...

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් ජීරණය නොවන අය පවා 96 ජයග්‍ර‍හණය භුක්ති වින්දා...ඒ ලාංකික හැගීම නිසා...ආයෙත් අපි මේ වගේ කුසලානයක් කවදා දිනයිද කියන එක නම් උත්තරයක් නැති ප්‍ර‍ශ්නයක්...

      Delete
  27. මමත් ඒ සුන්දර අතීතය සිහිකරලා ලිපියක් ලිව්වා මැච් ඒකෙන පස්සේ,ඒ කාලේ ආයේ එන්නේ නෑ

    96 සමාජ පෙරලිය සහ අපි - 96 Revolution of society

    ReplyDelete
    Replies
    1. ඒ ලිපිය ගැන දැක්වූවාට ස්තූතියි...කියවලා බලන්නම්...

      Delete
  28. ලස්සන පින්තුර ටික සිරා . පස්සේ අර දේශපාලනෙයි ,මේ දේශපාලනෙයි නිසා එහෙ මෙහෙ වුනාට සිරාම මිනිස්සු ටික . අපට අමතක වෙයිද ජීවිතේටම ඒ මැච් එක . සිරාම තමා

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කෙ...මේ ක්‍රීඩකයන්ට තමා අදත් රටේ බහුතර ක්‍රිකට් ප්‍රේමීන් ආදරය කරන්නෙ...

      Delete
  29. අනේ මෙහෙම එකක් මං දැනන් හිටියේ නෑනේ...අපරාදේ..... :(

    අම්මෝ...මටත් මතකයි 96 ලෝක කුසලානේ. ඒ කලේ චුටි වුනාට ඒ දවස, මැච් එක හොදට මතකයි. ගෙදර හැමෝම කෑ ගගහ බලපු විදිය. අර ගුරුසින්හද කොහෙද ගහපු හෙන පත 6යෙ පාර මට තාමත් මතකයි. මාත් ආසම ටීම් එක තමා....සිරා අයියා මෙහෙම හරි පෝස්ට් එකක් දැම්ම නිසා හොදයි අපිට බලා ගන්න.....

    උපුල් චන්දන නම් තාමත් ඉස්සර වගේමයි......

    ReplyDelete
    Replies
    1. උපුල් චන්දන තවමත් අන්තර් සමාජ මට්ටමෙන් ක්‍රීඩාවෙ යෙදෙන නිසා තමයි මම හිතන්නෙ ඒ විදියට ඉන්නෙ.

      ගුරුසිංහ අවසන් තරගයේ අංක 3 පිතිකරුවා විදියට වගකීම් සහිත ඉනිමක් ක්‍රීඩා කිරීමත් අපට එදා ලෝක කුසලානය ලබාගැනීමට හේතු වුනා.

      Delete
  30. ප්‍රමෝද්‍ය ට අර්ජුනගෙන් අහන්න තිබුනෙ ටුවර් ගියාම හෝටල් කුස්සියට ගිහිල්ල බත් ඉල්ලගෙන කාපු එක තාම නවත්තල නැහැ නේද කියල බඩ දැක්කම.සිරාට[මලයටත් එක්ක නැත්නම් ඒකට මල පනියි නොවැ] මුළු සිරුරටම ආශිර්වාදම් කියනව විස්තරෙ ලියල පින්තූර දැම්මට.ගුරා තාමත් ඔරොප්පු ගුරාමද???

    ReplyDelete
    Replies
    1. ප්‍රමෝද්‍ය කියන්නෙ එතරම් වත්පෝසත් කම් තිබුනෙ නැති පවුලක කෙනෙක් නිසා කාලයක් අර්ජුන ප්‍රමෝද්‍යව තමන්ගෙ නිවසෙ නවතාගෙන හිටියලු..බලන්න සැබෑ නායකයො කියන්නෙ මේ අයට නේද...

      ගුරා එදාට වඩා ජොලි පොරක් වෙලා දැන්... හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ...කිසි ලෙසකින් ක්‍රිකට් වලට අද සම්බන්ධ නැති ඔහු ඔස්ට්‍රේලියාවෙ සගරා කාර්යාලයක තමයි රාජකාරිය කරන්නෙ...

      Delete
  31. 96 මැච් එක බලනකොට අපි පොඩි කොල්ලෝ උනත් ඇත්තටම ඒ කාලේ විදවන්න පුළුවන් මතකයක් තියනවා..... නොවැලක්විය හැකි හේතුවක් නිසාවෙන් ඊයේ මිස් උනා.... එත් සිරාගේ මේ වැඩේට මගේ උපහාරය...... තැන්කු සිරා.....

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ටික හරි බලාගත්ත එකම මදෑ බන්...මලයා නැත්නම් මටත් මිස් වෙනවා ඔය මැච් එක...

      Delete
  32. මමත් ඔය මැච් එක බලන්න සැදී පැහැදී හිටියෙ. නමුත් දිනය ගැන හරියට දැනගෙන හිටියෙ නෑ. නමුත් වාසනාවට මගෙ ක්‍රිකට් ලෝලී සගයෙක් "මචං අර උඹ කිව්ව මැච් එක තියෙන්නේ අද" කියල දුරකතන ඇමතුමක් දීල මාවදැනුවත් කලා.

    ඇත්තටම සිරා අය්යේ ඒ කාලේ ක්‍රිකට් කොච්චර සුන්දරද. ප්‍රතිවාදී කන්ඩායමේ ක්‍රීඩකයින් සමග කොච්චර සහයෝගයෙන් කටයුතු කලාද.( බිග් හාට් මැච් එකට පස්සේ විකාශය කල ලෝක කුසලාන සෙමි ෆයිනල් මැච් එකේ හයිලිට් ටිකත් බලල්යි එක කිව්වේ)

    ඇත්තටම මගේ ඇස් වලටත් කඳුලු ආව අන්තිමේදි හශාන්ට හැගීම්බර වෙලා කතා කරගන්න බැරි වුන මොහොතේ.

    හොඳ ලිපියක් අයියා. ඔබට ජය..

    ReplyDelete
    Replies
    1. හෂාන්ට කථා කරගන්න බැරි වෙද්දි මම හිතුවෙ මයික්‍රෆෝනයේ ප්‍ර‍ශ්නයක් ඒ නිසා හඩ ඇහෙන්නෙ නෑ කියලා... ටිකකින් තමයි තේරුනේ හෂාන්ට කථා කරගන්න බැරි තරම් සංවේදී වෙලා කියලා...ඇත්තටම ඒ වෙලාවෙ මගේ අහැටත් කදුලක් ආවා...හෂාන් කියන්නෙ හොද මහත්මයෙක් මම දන්න විදියට...

      ඒ කාලෙ සහ අද අතර මම දකින එක වෙනසක් තමයි..හදිසියේ අපේ අය අඩු ලකුණු ගනනකට දැවුනත් ප්‍ර‍තිවාදීන්ට පුදුමාකාර සටනක් දෙනවා අන්තිම වෙනතුරු...අද එය දකින්න අපහසුයි. අනිත් කාරණය තමයි එවකට පාලක මණ්ඩලය උපරිම ක්‍රීඩකයන්ට සහයෝගය දැක්වූවා...

      Delete
  33. පොඩිකාලේ මගේ කැමතීම ක්‍රිඩකයා ගුරුසිංහ නමුත් 96 ටීම් එකටම කැමතියි ඒ අමරණීය දවස් කෙසේ අමතක වේද.......

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල කියාගන්න බැරි අමුතුම සුන්දරත්වයක් තියෙනවා..මතක් කරන හැම වතාවෙම දැනෙන...

      Delete
  34. මමත් ඔය මැච් එක බැලුවා. ඒ ටීම් එකට ගහන්න එකක් නෑ. හැබැයි මුරලියි, උනන්දුවයි දෙන්නත් හිටිය නම් වැඩේ සර්ව සම්පූර්ණයි. ඒ මැච් එක බලලා ද ‍කොහෙද දිගටම අන්ත පරාජ ලබපු අපේ වර්ථමාන ටීම් එක මේ ඕස්ටේලියා සංචාරයේ පළමු ජයග්‍රහණය අද වාර්ථා කලා.
    ඡය වේවා !

    ReplyDelete
    Replies
    1. එහෙම උනාද දන්නෙත් නෑ... විශේෂයෙන් පන්දු යවන්නන් තමන්ගෙ වගකීම හොදින් ඉටුකල තරගයක්...

      Delete
  35. Hi! This ρost could not be written any better! Rеаding thrοugh this pοst геminԁs me of
    my previous room mate! He аlωays κерt chatting аbοut this.
    I wіll foгωаrԁ
    this pаge tο him. Prettу suгe he wіll hаve a gooԁ
    read. Thanκ уou for shаring!
    My site how to jump higher fast

    ReplyDelete
    Replies
    1. Thanks a lot for your kind words here, that time never forget from our minds... what a wonderful past...

      Delete
  36. මමත් සාමාන්‍ය යෙන් ක්‍රිකට් මැච් නම් බලන්නෙ නෑ. ඒත් 96 දි නම් දිගටම මැච් ටික බැලුව. සනා අතදිගෑරල ගහද්දි හප්පේ ... දැනිච්ච තන්තෝෂෙ. අපිත් එතකොට ඔය හයේ හරි හතේ හරි පන්තියෙ හිටියෙ. මට තාමත් මතකයි මැච් එක ඉවර වෙද්දි මෙහේ එකදිගට රතිඤ්ඤ පත්තු වුන හැටි. මිනිස්සු කොයි තරම් නම් සතුටකින් ද ඒක සැමරුවෙ. ආයෙ කවද එහෙම කාලයක් එයිද මංද. දැන් නම් ක්‍රිකට් වැඩක්ම නෑ, මම නම් වැරදිලාවත් බලන්නෑ.

    අද ඔවුන් වයසට ගිහින් තිබුණත්, එකිනෙකට විරුද්ධ පක්‍ෂවලින් දේශපාලන කටයුතු කරත් මේ විදියට කණ්ඩායමක් විදියට එකට එකතු වෙල ඉන්නකොට කොයිතරම් ලස්සනද?

    තවත් දෙයක් සඳහන් කරන්න ඕන, එච්චර අමාරුවෙන් දිනා ගත්තු කුසලානෙ අගයක් දැන් ඉන්න නිලධාරීන්ට නැතුවද කොහෙද. ඔය පහුගිය කාලෙ ප්‍රදර්ශනේකට ගෙනිහින් ඒ කුසලානෙට අලාභහානි වෙලාය කියල නිව්ස් එකකුත් ගියේ. ඒවනම් ඉතිං අපේ රටේ අවාසනාවද කොහෙද.

    ReplyDelete
    Replies
    1. මමත් දැන් මැච් බලන්න එච්චරම ප්‍රියතාවයක් නෑ... ක්‍රීඩාවට දේශපාලන අතපෙවිම් සිදු වූ නිසා තමයි අපට දැන් මෙහෙම වෙලා තියෙන්නෙ... මෙච්චර කල් ලාභ ලබපු ක්‍රිකට් ක්‍රීඩාව එදා වේල ටුවර්ස් උනේ...

      කුසලානෙට යම් හානියක් වෙලා තිබුනා කියලා මමත් අහලා තිබුනා.. දැන් සමහර විට ප්‍ර‍තිසංස්කරණය කරලා ඇති.

      Delete
  37. මමත් 96 මැච් ටික නම් ඔක්කොම බැලුවා. ෆයිනල් මැච් එක ගෙදර ඉඳන් අපි ගැහුවා කියන එක තමයි වඩා නිවැරදි. එච්චර ඇඟට වැදිලා තිබුනේ ඒක. ඒ මැච් ටික සාමාන්‍යයෙන් ක්‍රිකට් නොබලන අයත් බැලුවා. සනායි කලුයි බැට් කරද්දී බෝල් කරනවත් එක්කම ඊළඟට පෙන්නන්නේ හතරේ සීමාව. ඒ දවස් වල මැච් නියමයි බං. බලන්න ආසයි. ඔය කිට්ටුව කාලෙක නේද සනා ගෙන් ලාරාගේ ටෙස්ට් රෙකෝඩ් එක කඩන්න තිබ්බ අවස්ථාව ගිලිහිලා ගියේ..

    ReplyDelete
    Replies
    1. උන් දෙන්නා සමහර ක්‍රීඩයයො ක්‍රීඩාවෙන් සමුගන්න තැනට ඇදලා දැම්මා... සනාගෙන් ඇති වෙන්න කාලා දග පන්දුත් දාලා ගෙදර ගිය ඉන්දියාවෙ මනෝජ් ප්‍ර‍භාකර් තමා හොදම උදාහරණය...

      මහේලගෙ පළමු ටෙස්ට් තරගෙදි තමා සනා - මහානාම වාර්තාගත සම්බන්ධයක් එක්ක යෝධ 952 රැස්කලේ...නමුත් හොදම සබදතාවෙ වාර්තාව පසුකලෙක දකුණු අප්‍රිකාවට එරෙහිව සංගා සහ මහේල අලුත් කලා...

      Delete
  38. යා ....................හූ ........! මාර පොස්ට් එකක් නේ ...මම නම් 96 වැඩියෙන්ම ආස වාස්ට ! කලුටත් ආසයි ..අනේ ඔක්කොටම ආසයි අප්පා . කළු සෙල්ලම් කරන්නේ අනිත් අයවත් අප් කරන ගමන් ..මොනවහරි කියෝනවනේ ..නියමයි ඒගොල්ලන්ගේ උනන්දුව .දැන් නම් මට මැච් බලන්න හිතෙන්නේ නෑ ,ඉස්සර වගේ බලාපොරොත්තු තියාගන්න බෑ දැන් අපේ ටීම් එක ගැන .පින්තුර ටිකත් මරු අය්යේ

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් පිතිකරුවන්ට තමයි ගොඩාක් අය වැඩිපුර කැමති...ඔයාගෙ තේරීම වෙනස්...අපේ කණ්ඩායම දැන් නම් සෑහෙන දුර්වල අඩියකට වැටිලා තියෙන්නෙ...

      Delete
  39. මාත් මේ කාලේ වැඩි උනන්දුවකින් මැච් බලන්නේ නෑ , ඒත් ඊයේ මැච් එක නම් බැලුවා නියමයි ,

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ සතුටක් දැනුනු දවසක්...

      Delete
  40. මං දැන් ක්‍රිකට් එපා වෙලා ඉන්නෙ.. ක්‍රීඩාව දේශපාලනය එක්ක පැටළුන දවසෙම ලංකාවෙ ක්‍රිකට් විනාස උනා..

    ReplyDelete
    Replies
    1. ඒ නිසාමනෙ දැන් ක්‍රීඩකයන්ට වැටුප් ගෙවාගන්නත් බැරි තරමට බංකොලොත් වෙලා තියෙන්නෙ... හැම තැනම හොරු..

      Delete
  41. ඉස්සර මාත් වැඩියෙන්ම බනින්නේ ප්‍රමෝදයට... :D. මේක දැක්කම ආයේ එදාටම ගියා වගේ දැනෙනවා. ඔතන ඉන්න අයගෙන් කී දෙනාද නියම විදියට ටීම් එකෙන් එලියට ගියේ. මන් හිතන්නේ ගුරුසිංහගෙන් තමා කැපිල්ල පටන් ගත්තේ.හා හා එව්වා වැඩක් නෑ. මෙව්වා තමා වෙන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රමෝද්‍ය ඉස්සර සෑහෙන්න ෂෝට් බෝල් දැම්මා... ගුරාගෙන් පටන් අරගත්ත කථාව ...මහානාම වේදනාත්මක සමුගැනීම කියලා පොතකුත් ලිව්වෙ... මොනවා උනත් අද ඒ අතීතය අමතක කරලා මේ හැමෝම ඉස්සර වගේ එකතු වෙලා ඉන්න හැටි නම් අපූරුයි...

      Delete
  42. මේ පෝස්ට් එක කියවන කං හාංකවිස්සියක් වත් දැනගෙන හිටියෙ නෑනෙ මෙහෙම දෙයක් ගැන..
    96 තාමත් අපිට මතකයි.. මට මැච් බැලිල්ල එච්චරම දිරවන්නෙ නෑ. ඒ උනත් 96 මැච් එක අපිට වැදගත් උනේ ඇමරිකාවේ උන් හදට ගියා වගේ. 96 මැච් එක නොබලපු කෙනෙක් නෑ මම හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. 96 ෆයිනල් තිබුන දවසෙ මහාමාර්ග වලත් වැඩිය වාහන ධාවනය වුනේ නෑ...හැමෝම ක්‍රිකට් ක්‍රීඩාවට අවධානය යොමු කලා...

      Delete
  43. ලෑලි දොරට තස්ටුවක් දාගෙන ධාරා එන පලවෙනි වතාවද කොහෙද......කලින් ඇවිත් තියෙනවනම් සමාවෙන්ඩ අයියෝ....එක්සෑම් නිසා පහුගිය ටිකේ පිස්සු හැදිල හිටියෙ තාම හොම්මං....මඟෑරුනු බ්ලොග් ගොඩයි....

    ක්‍රිකට් ගැන නම් තිං මං බබී මොනවත්ම ඩන්නෑ අප්ප...:(

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

      ක්‍රිකට් ගැන මොකුත් නොදන්නවා උනාට...මෙය කණ්ඩායම් දෙකක් අතර පන්දුවකින් කෙරෙන ක්‍රීඩාවක් බවත්...ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව බවත් දන්නවා ඇතැයි සිතමි.

      ආයෙත් දවසක් එන්න...

      Delete
  44. තන්කූ සිරා මලේ මාත් මේ ලින්ක් එකෙ දිගේ මැච් එක බලන්න සෙට් වෙන්නේ... මේ කට්ටියට තාම දුවන්න පනින්න පුළුවන් කියන්නෙත් ලොකු දෙයක්නෙ... :D

    ReplyDelete
    Replies
    1. මැච් එක බලන්නකො එහෙනං... මම කියපු දෑ කොච්චර සත්‍යද කියලා වැටහේවි...

      Delete
  45. කළුවිතාරණ නම් ඒ හැටි වෙනස් වෙලා නෑ වගේ. එදා හිටපු එකාම වගේ ඉන්නවා.

    ReplyDelete
  46. Match eka baluwa wage ubage post eka kiyawa...
    ubata kohama istuti karanada?
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. 27 හමුවුනාම ස්තූති කරන්නකො... ඒ ඇති..

      Delete
  47. ක්‍රිකට් කියන්නේ මට ඉතින් ජීවිතේ වගේනේ...96 මම 2වසරේ...(අඩේ මේ සිරා හෙ නාකියිනේ බොල...) මාත් ඔය ඔක්කොම මැච් බැලුවා ඒත් ටිකක් හරි මතක මෙියවිතරයි. ගිනිතිබ්බ එක..ඒ හැමදේම ආයිත් මතක් උනා ඔය මැච් එක දකිද්දි...හිතට දැනුනදේ කියන්න තේරෙන්නෑ....

    ReplyDelete
    Replies
    1. ගිණි තිබ්බා කිව්වෙ ඉන්දියානු ශ්‍රීලංකා අර්ධ අවසාන තරගය... ඒ තරගය බලන්න තමයි මමත් ඉංග්‍රීසි පන්ති කට් කරලා ගෙදර දිව්වෙ...

      Delete
  48. Pleаse let me know if you're looking for a article writer for your blog. You have some really good articles and I believe I would be a good asset. If you ever want to take some of the load off, I'd absolutеly loνе to wrіte ѕome aгtiсles
    for youг blog іn еxchange for a
    linκ back to mine. Please blаst me an e-mail if interеsted.

    Regards!

    Look into my web-site - increase boobs naturally

    ReplyDelete
  49. Hmm is anyоne else еncountering prоblems with the pіctures on this
    blog loading? Ӏ'm trying to figure out if its a problem on my end or if it's the blοg.
    Any feeԁ-back ωould bе greаtly apρreciated.


    Also vіsіt my blog Hypothyroidism Treatment

    ReplyDelete
  50. Ηello, і гeaԁ уour blοg from time tο
    timе and i oωn а similar one аnd і was ϳust
    wondering if yοu get а lot of spam rеmarks?

    If sо how ԁo уou reduсe it, any plugin oг anything you can аdvіѕe?
    I gеt sο much lately it's driving me crazy so any help is very much appreciated.

    Look at my site ... simple wood projects

    ReplyDelete
  51. ӏ lovе your blog.. νerу nicе coloгs & theme.
    Dіԁ you crеate thiѕ ωеbѕite yourself oг diԁ you hire ѕomeone
    to do it for you? Plz reply as I'm looking to design my own blog and would like to find out where u got this from. thanks a lot

    My site :: colonic irrigation birmingham

    ReplyDelete
  52. Ӏ�m not thаt much of a online rеadeг to be honest but your blogs
    really nіcе, keep іt uρ! I'll go ahead and bookmark your site to come back later on. Many thanks

    my web page; Plumbers Solihull

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...