Sunday, January 6, 2013

83 වූෂු ශූර අබේරත්නට සහාය වෙමු

ලෝක විනාශ කථා තඹයකට මායිම් නොකර 2013 වසර නිරුපද්‍රිතව උදා වූයේය.  රතු කහ වැසි , උල්කාපාත, බඩුමිළ, දෝෂාභියෝග අස්සෙන් නව වසර හිනැහෙන්නේය. ගිය වසරේ කල නොහැකි බොහෝ දෑ  උදා වූ වසරේ හෝ කරන්නෙමියි බොහෝ පිරිස අධිටන් කරන්නේ නව වසරක් උදාවීමේදී සිතට දැනෙන චිත්තප්‍රීතිය නිසාවෙන් විය යුතුය. ගිය වසරේ කල නොහැකි වූ දෑ මේ වසරේ හෝ ඉටුකරගෙන දන්න කියන වයසේ සිට දුටු සිහිනය හඹා යෑමට ඉෂාන් අබේරත්නද තරයේ හිතට ගත්තේය. කවුද මේ ඉෂාන් ? තවත් මොහොතකින් එයට පිළිතුරක් ලැබෙනු ඇත. මෙය කියවන ඔබට මෙන්ම මටද ජීවිතයේ විවිධ වකවානුවල කොහෙන් හෝ අස්සකින්  සිත තුලට වැද ලොකු මහත් වූ සිහිනයක් හෝ සිහින කීපයක් තියෙන්නට පුලුවන. එහෙත් ලෝකයක්  ඉදිරියේ තමන් උපන් රට බැබලවීමේ පරම පවිත්‍ර‍ චේතනාවෙන් නොයෙක් දුෂ්කරතා මැද, තමාගේ පෞද්ගලික ජීවිතය, අධ්‍යාපනය මෙන්ම, වර්තමානයද කැප කර සිහින දකින්නෙක් සිටිය හැකිද ? විශ්වාස කල නොහැකි වුවත් එයට පිළිතුර ඔව්ය. සත්ගුණවත් සිරා කොලුවා 2013 වසරේ හා පුරා කියා වටින් ගොඩින් පොට පාදාගෙන කාමරේ දොර අරින්නේ ඒ ගැන කියන්නටය.

අපේ අද කථානායකයා ඉෂාන් ධම්මික අබේරත්න නම් වෙයි.  ඉෂාන් යනු කවුදැයි ඔබ බොහෝ දෙනෙක් නොදන්නා බව මම ඉදුරාම දනිමි. එහි වරදක් නැත. වැඩි වශයෙන් අතහිත හෝ ප්‍ර‍සිද්ධිය නොලැබෙන ක්‍රීඩාවක නිරතව සිටින ජාතික තලයේ ක්‍රීඩකයෙකු ලෙස මේ කටුක යථාර්තය මට වඩා හොදින් ඔහු අත්දැක ඇතිවාට සැකයක් නැත.

ඉෂාන් ධම්මික අබේරත්න යනු ශ්‍රීලංකාවේ නාමය ජාත්‍යන්තර තලයට ගෙන ගිය මගේම පාසලෙන් බිහි වූ සුජාත පුත්‍රයෙකි.  සිරා කොලුවා වන මම, මේ කථානායකයා මගේ පාසලේ මට පහළ පන්තියක සිටි සහෝදරයෙක් නිසාම නොව ඔහු තුල ඇති නිසග හැකියාවන් දැක ඔහුට උපකාරයක් කරනු අටියෙන්  මේ ලිපිය ලියන්නට තීරණය කල බැව් සිරාගේ කාමරේට පැමිණෙන පාඨක සමූහයාට දන්වනු රිසි වෙමි.



එකවර ක්‍රීඩා දෙකකින් රටක ජාතික සංචිතය නියෝජනය කල හැක්කේ ඔහු සැබෑම දක්ෂයෙකු නම් පමණය. ඒ අනුව ඉෂාන් අබේරත්නද සැබෑ දක්ෂයෙකි. මල්ලව පොර (Wrestling) හා වූෂු (Wushu) යන ක්‍රීඩා ද්විත්වයෙන්ම ඔහු ජාතික තලය නියෝජනය කරයි. ඔහුත් මමත් එක්ව අකුරු කල විදු පියසේදී ඔහු මෙම ක්‍රීඩාවන් කෙරේ යොමු වූ අතර පාසල් වියේදීම ඔහු ප්‍ර‍කට කල අනගි භවනීය හැකියාවන් නිසාම, කවදා හෝ දිනක රටට කීර්තියක් අත්කර දෙන ක්‍රීඩයකු බවට සහෝදර සිසු කැළ අතර ඔහුට පිළිගැනීමක් ඇති විය. පාසල් ශිෂ්‍යයකුව සිටියදීම ඔහු මල්ලවපොර පුහුණුකරුවෙකුගේ භූමිකාව රගදැක්වූයේද ඒ නිසාම විය යුතුය.

වයස අවුරුදු 17 ක ශිෂ්‍යයෙකු ලෙස  1998 වසරේ සමස්ත ලංකා  මල්ලවපොර ශූරතාවය  දිනා ගනිමින් ජයග්‍රාහී ආරම්භයක් ලබාගත්  ඔහු නමින් එතැන් සිට සටහන් වූ ජාතික හා අන්තර්ජාතික ජයග්‍ර‍හණ රැසකි.
මේ ජයග්‍ර‍හණයන් නිසාමදෝ ඉෂාන්ගේ ධෛර්යය සම්පන්න සිතේ ලියලා දළු දැම්මේ අපූරු සිහිනයකි.
" කවදා හරි දවසක මම ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනලා දෙනවා" යනුවෙන් ඔහු සපථ කලේ කට කයිවාරුවකට නොව තමාගේ හැකියාවන් පිළිබද ඔහුට තිබූ තක්සේරුව නිසාවෙනි.  එහෙත් සිහින ඇති කරගැනීම තරම් ඒවා සාක්ෂාත් කරගැනීමේ ව්‍යායාමය සුන්දර නොවන බැව් පසක් කර ගන්නට ඉෂාන් ට තවත් කලක් ගත විය.

පාසල් අධ්‍යාපනයෙන් පසුව කටුනායක ඉංජිනේරු තාක්ෂණික අයතනයට  විදුලි සංදේශ ඉංජිනේරු ශිෂ්‍යයකු  ලෙස ඇතුලත් වන ඔහු තවමත් එහි දෙවැනි වසරේ ශිෂ්‍යයෙකි. ඔහුගේ සමවයසේ මිතුරන් පාඨමාලාව හදාරා අවසන් කර අද ඉංජිනේරුවන් ලෙස සේවය කලත් ක්‍රීඩාවට තිබූ අසීමිත කැපවීම හා සිහිනය හඹා යෑමට ඔහු තුල තිබූ අධිෂ්ඨානය නිසාවෙන්ම අධ්‍යාපනය කැපකිරීමට ඔහුට සිදුව ඇත. එහෙත් මතු දිනයක නැවතත් අධ්‍යාපන කටයුතු ඇරඹීමට ඔහු අපේක්ෂාවෙන් සිටී...

ඉෂාන් පිළිබද මේ කරුණු කාරණා මවිසින් ගෙනහැර දැක්වූයේ පාඨක ඔබට ඔහු කව්දැයි දන්වනු කැමැත්තෙනි. ඊයෙ පෙරේදා දිනයක ඉෂාන් සිරා කොලුවාට ඇමතුමක් ලබා දුන්නේය.

අයියෙ මට පුලුවන් නම් උදව්වක් කරන්න.  බල්ගේරියාවෙ පුහුණු සැසියකට යන්න මාව තෝරගෙන තියෙනවා...ඒත් මට යන්න සල්ලි නෑ.  ඔලිම්පික් පදක්කමක් දිනන එක මගේ එකම සිහිනය කියලා අයියා දන්නවනෙ... ලංකාවෙ විතරක් පුහුණුවීම් කරලා එතනට එන්න බෑ...අපේ ක්‍රීඩාවල වර්තමානයේ පාවිච්චි කරන අලුත්ම තාක්ෂණය ගැන දැනගන්න  නම් මේ වගේ අන්තර්ජාතික පුහුණූවීම් වලට යන්නම ඕනෙ..

මම ඉදිරිපත් වෙලා තියෙන ක්‍රීඩා වලට අපේ රටේ ලොකු පිළිගැනීමක් නැති හින්දම මීට කලින් චීනයේ තිබ්බ පුහුණු සැසි දෙකකට ගියෙ පුද්ගලිකව අනුග්‍රාහකයො හොයාගෙන... මේ රටේ ඉන්න ඉහළම ව්‍යාපාරිකයො පස්සෙ මම ඕනෑ තරම් ගිහිල්ලා ඇති...ඒ අය මාව රස්තියාදු කලා විතරයි. අදටත් රස්සාවක් නැතුව මේ තරම් දුරට හරි පුහුණුවීම් කරගෙන ආවෙ ඔලිම්පික් පදක්කමක් දිනන්න පුලුවන් කියලා මට තියෙන විශ්වාසය නිසා.. ඉෂාන්ගේ කටහඩ උද්වේගකර ස්වරූපයක් ගනී.

ගිය අවුරුද්දෙ ඔක්තොම්බර් මාසෙ ඔස්ට්‍රේලියාවෙන් ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලැබුනා මාස තුනකට...ගුවන් ටිකට් පතේ ඉදන් හැමදේම නොමිලේ. ඒ උනාට මට වීසා ලැබුනෙ නෑ... ගියොත් ආයෙත් ලංකාවට එන එකක් නෑ කියලා...මෙහෙ හිටිය ශ්‍රීලංකා ජාතික තානාපති නිලධාරියෙක් මාව කැපුවා... ලොකු ගිවිසුමක් තිබුනා නම් යවන්න තිබුනලු...අනුග්‍රාහකයෙකු නැතුව මොන ගිවිසුම් ද...ඔන්න ඔය විදියට තමයි අපේ රටේ අය අපිට සලකන්නෙ.

මේ වෙද්දි මට ඉන්දියාව කථා කරලා තියෙනවා  ඒගොල්ලන්ගෙ රටට ක්‍රීඩා කරන්න...එහෙම ක්‍රීඩා කරනවා නම් මට මාසෙකට ලක්ෂ 5 ක වැටුපක් ගෙවන්න පුලුවන් කිව්වා....මගේ එකම අරමුණ ලංකාවට සෙල්ලම් කරන එක නිසා ඒ යෝජනාව මම ප්‍ර‍තික්ෂේප කලා, ඉරානයේ තිබ්බ ලෝක ශූරතා තරගාවලියෙන් මාව දැනගෙන  ඇමරිකාවෙ ක්‍රීඩා සමාජ දෙකක් කථා කලා ඒ අයගෙ ක්‍රීඩා සමාජ වලට ක්‍රීඩා කරන්න... නමුත් ලංකාව නියෝජනය කරනවා නම් ඒවාට යෑම තහනම් කියලා මට යන්න දෙන්නෙ නෑ.... ක්‍රිකට් ගහන අය IPL ගිහිල්ලා සල්ලි හොයනවා වගේ එකක් තමයි ඒ අවස්ථාව,අපට සල්ලි දෙන්නෙත් නෑ...පුද්ගලික සංචාර හරි ගිහිල්ලා සල්ලි හොයාගෙන රට වෙනුවෙන් පදක්කම් දිනන්න අවස්ථාවක් දෙන්නෙත් නෑ....මටම තේරෙන්නෙ නෑ අයියෙ මම දැන් මොකද කරන්නෙ කියලා... 

අධෛර්යමත් වෙන්න එපා මල්ලි...අපි පුළුවන් දෙයක් කරමු... මම ඔයා ගැන මගේ බ්ලොග් එකේ ලියලා කියවන අයගෙන් උදව්වක් ඉල්ලන්නම්... ඒ අයුරින් සිරා කොලුවා දුන් පොරොන්දුවයි ඔබ දැන් මේ කියවමින් සිටින්නෙ....

මෙන්න ඉෂාන්ගෙ දක්ෂතා ලැයිස්තුව

ජාතික වූෂු ශූරතාවයක් ජයග්‍ර‍හණය කල ලාබාලතමයා වීම... වයස අවුරුදු 17 දී ඔහු කල මේ වික්‍ර‍මය අදටත් නොබිදී පවතී. (2001)

වර්තමානයේ ක්‍රීඩා දෙකකින් ජාතික සංචිත දෙකක් නියෝජනය කරන එකම ක්‍රීඩකයා විම.

2010 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා දෙකක් (මල්ලව පොර/ වූෂු) නියෝජනය කිරීමට අවස්ථාව ලබා ගැනීම.

මල්ලවපොර,වූෂු, බොක්සිං ක්‍රීඩා ත්‍රිත්වයෙන්ම ජාතික පාසල් ශූරයා වීම. (2000-2003)

වාර දෙකක් ලංකාවේ දක්ෂතම පාසල් ක්‍රීඩකයා ලෙස සම්මාන ලබා ගැනීම.(2002 හා 2003)

අඛණ්ඩව වසර 12 ක් තමාගේ බර පන්තියේ ජාතික වූෂු ශූරයා ලෙස තේරී පත් වීම. 65 Kg බර පන්තියේ වර්තමාන ජාතික වූෂු ශූරයාද ඔහුය.



Wushu :

Tours and Tournaments

  Ø  12th South Asian Games (SAG)-2013 New Delhi- India

  Ø  Lusophony Games- 2013 Goa-India

  Ø  World Games -2013 Cali-Colombia
   
  Ø  World Combat Games -2013 Saint Petersburg-Russia
  
  Ø  Asian Martial art Games-2013 Incheon-South Korea

  Ø  World Wushu Championship-2013 Kuala Lumpur - Malaysia

International Achievements

     Ø  World Martial Art Festival-2012 Kish Island-Iran –Bronze Medal

     Ø  South Asian Games (SAG 2010) Dhaka-Bangladesh –Silver Medal

     Ø  South Asian Championship -2003 New Delhi –India –Silver Medal

     Ø  World Wushu Championship -2011 Ankara-Turkey-10th Place

     Ø  Asian Games – 2010 Guangzhou –China- 8th Place


Participated International Tournaments

     Ø  World Wushu Championship-2003 Macao-China

     Ø  Kazakhstan Championship -2012 Taraz-Kazakhstan

     Ø  Super Fight League (Coach) -2012-Chandigarh –India

 International Training

     Ø  Successfully completed Wushu training scholarship of Shanghai Sports                                                     
                      University- Shanghai- China (2002)                    
                     
     Ø  Successfully completed Wushu training scholarship of Shi-Sha-Hai Sports
                     Training University- Shanghai-China (2011)
                 


ඉෂාන් පිළිබද පුවත් පත් වාර්තා

































































හිත මිතුරන් හා ඤාතීන් මාර්ගයෙන් මේ වන විට සපුරාගෙන ඇති මුදල අඩුකල පසු තවත් රු ලක්ෂ 4 ක පමණ මුදලක් අපේ ක්‍රීඩා ශූරයාගේ බල්ගේරියා ඉලක්කය කරා යන්න මේ වතාවෙ හිග වෙලා තියෙනවා... ඔබේ ආයතනයට හෝ ඔබ දන්නා අයෙකු මාර්ගයෙන් ඔහුට ඒ සදහා උපකාර කිරීමට පුලුවන් නම් එය ඉෂාන්ට මහත් ධෛර්යයක් වේවි. මේ තියෙන හඩපටයත් අහලා බලන්න.... ඔහු මා සමග කිව්ව සත්‍ය කථාව තමයි ඒ...ක්‍රීඩා පරිපාලනයට සම්බන්ධ අය මොන දේ කිව්වත් අපේ රටේ ක්‍රීඩාව අද පත්වෙලා තියෙන ඛේදජනක තත්වය තමයි ඉෂාන්ගෙ හඩින් කියැවෙන්නෙ... අවශ්‍ය දේට වියදම් නොකර අනවශ්‍ය දේට වියදම් කරන රටක ක්‍රීඩා ශූරයෙකු වීම ඉෂාන්ගේ මහත් අභාග්‍ය  බැව් මම සිතමි. 

පටිගත වී ඇති හඩ පටයේ ශ්‍ර‍වණ තත්වය අසතුටුදායක නිසා ප්ලේයරයේ හඩ වැඩිකර ශ්‍ර‍වණය කරන්න.



මෙතෙක් වේලා මේ විස්තර කියවපු/අහපු ඔබටත් යම් අයුරකින් ඉෂාන් අබේරත්නට සහයෝගයක් දෙන්න පුලුවන් නම් ඒ උදව්ව කරන්න පසුබට වෙන්න එපා... ඔබේ සහයෝගයෙන් දිනක ඔහු ලංකාව වෙනුවෙන් ජයග්‍ර‍හණය කරන ඔලිම්පික් පදක්කමක සතුට ඔබටත් නිසැකවම භුක්ති විදින්නට හැකි වේවි.


ඉෂාන් සම්බන්ධ කරගත හැකි අන්දම

ජංගම දුරකථන අංකය - 0719 129678

ලිපිනය - 38-C, කොරසෙ, උඩුගම්පොල.

ඔහුගේ Facebook පිටුව



මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

7 ගුණාකාරයෙන් ලිපි ලියැවෙන සිරාගේ කාමරයේ අද ලියැවෙන්නේ  50 වන ලිපියයි. ගෙවී ගිය මාස 7ක පමණ කාලය තුල මා හට වචනයකින් හෝ සවියක් ව සිරාගේ කාමරයට ආගිය ඔබ සැමටම ශීර්ෂ ප්‍ර‍ණාමයෙන් ස්තූතිවන්ත වෙමි. ඔබෙන් ලද ධෛර්යය නිසාම මතුවටත් මම ඔබ වෙනුවෙන් ලියමි.

කථාබහ අවසානයේ ඉෂාන්ගෙ මෙතෙක් ගමනට යෝධ ශක්තියක් වූ ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ ලේකම් මානෙල් ධර්මකීර්ති,  ශ්‍රී ලංකා මල්ලවපොර සංගමයෙ ලේකම් හා ඉෂාන්ගෙ පෞද්ගලික පුහුණුකරු ලෙනින් ලසන්ත තෙන්නකෝන්, සිරස මාධ්‍ය ජාලයේ මංජු තේනුවර යන මහත්වරුන්ට හා පෙර සංචාරයන් සදහා මුදල් අනුග්‍ර‍හයන් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය  අතුරලියේ රතන හිමි  ඇතුලත්ව නන් අයුරින් සහාය පලකල සියල්ලන්  වෙත සිය ගෞරවනීය ස්තූතියද පල කල බැව් මෙහිලා සටහන් කල යුතුමයි.

බ්ලොග්කරණයෙන් යමෙකුගේ අනාගතය හැඩ කරන්නට පුලුවන් නම් එය නොපැකිලව කල යුතු බැව් මම අදහමි. අද ලිපිය එයට උදාහරණයකි. 

83 comments:

  1. අඩේ ඇයි අප්පා මේ මහා එවුන්ගේ ඇස් වලට මක් වෙලාද?උන්ට දක්ෂයා ගැන පේන්නේ නැද්ද?උන් ඒ තරමටම ගොබ්බද.
    කොහොම හරි ඉෂාන්ට ඉක්මනටම හොද තැනකට එන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා..

    50ට මගේ සුබ පැතුම්...!!
    මාත් අද තමා මගේ 50 ලිව්වේ.

    ReplyDelete
    Replies
    1. ගොබ්බ නෙමෙයි බන්... ඒ විෂය ගැන කිසිම දැනුමක් නැති, අනාගත දැක්මක් නැති මී හරක් වෙත වගකීම් පැවරීම තමයි හේතුව... අපේ රටේ කිසියම් විෂයකට අදාළව ප්‍ර‍තිපත්තියක් නෑ නොවැ...පවතින ආණ්ඩුව අනුව වෙනස් වෙන ප්‍ර‍තිපත්ති තමයි අපට තියෙන්නෙ....

      ඔබේ පැතුමට බොහොම ස්තූතියි මඩයා... බොලාගෙ 50 වෙනි එකත් මම කියෙව්වා...

      Delete
  2. ඔබත් බ්ලෝග් ලොකේ සිට මහත් මෙහෙවරක් කරන්නේක්.ඔබවත් මම මහත් සේ අගය කරමි.ඇරිය යුතු ඇස් අරේවා!

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. බ්ලොග්කරණය කියලා මම වටහාගෙන තියෙන්නෙ කොමිටල් කථා පමණක්ම නෙමෙයි කියලයි මම අදහන්නෙ... බ්ලොග්කරුවාටත් අර්ථාන්විත දෙයක් කරන්න පුලුවන් කියලයි මගේ විශ්වාසය....

      Delete
  3. මගේ ඇස දෙකෙන් කඳුළු ගලනවා. සිරාට පොරොන්දු වූ පරිදි මා මේ වෙනුවෙන් උපරිම දෛර්යයක් යොදවනවා. ඔබගේ සමාජ මෙහෙවර අගය කරන අතර 50 වන පොස්ට් එක දක්වා සාර්ථක ගමනටද සුබ පතනවා.

    3 මිස්ටකෙස් ඔෆ් මයි ලයිෆ් හී අලි ගේ චරිතය මට සිහි වෙනවා. ඔහුට ඕස්ට්‍රේලියාවෙන් පූර්ණ අනුග්‍රහය සඳහා අවස්තාවක් ලැබුනත් ඔහු පවසන්නේ "මා කවදා හෝ ක්‍රීඩා කරනවා නම් ඒ ඉන්දියාවට" බවයි. ජාතියේ සුජාත දු-පුතුන් කියා කට ඇර කියන්න පුළුවන් ඉශාන් වැන්නටයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ලොකු පින්කමක් සුදීක අයියෙ....ඔබේ ආයතනයෙන් හරි යමක් කරන්න ලැබේවා කියලයි මගෙත් පැතුම.... හඩපටය ඇසුවා නම් එහි තියෙනවා දිණ 4 ක් ඔහුව රස්තියාදු කරලා සංචාරය යන්න කියලා අතට රු 250/- ලබා දුන්න සංවේගජනක සිද්ධියක්... ඔහු ආයතනයක් වෙනුවෙන් සේවය කරන්නත් කැමතියි....එහෙම උදව්වක් හරි කමක් නෑ....

      ජාතිය පසෙකලා ලක්ෂ 5 වෙනුවෙන් ඉන්දියාවට ක්‍රීඩා කලා නම් ඔහුට සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්න තිබුනා....ඒ ගැනවත් හිතලා අපේ බලධාරීන්ගෙ ඇස් ඇරෙනවා නම්...

      Delete
  4. සිරා බලමු මෙයා වෙනුවෙන් යමක් කරන්න....මමත් උත්සාහයක් අරගන්නම්

    ReplyDelete
    Replies
    1. පිං අතේ වැඩක් නලින් අයියෙ... හැකි යමක් කරන්න උත්සාහයක් දරන්න....

      Delete
  5. ඔහුගේ ඉලක්කය වෙත යාමට අවශ්‍ය සියල්ලම ලැබේවා කියලා පතන්නම් !

    ReplyDelete
  6. ඔහුගෙ සිහිනය සඵල වේවා...!

    ReplyDelete
  7. සිරා මේ පෝස්ටුව දැක්කාම මට පොඩි ලැජ්ජාවකුත් ඇතිවුණා. උඹ මට කලින් දවසක මේ මල්ලි ගැන කීවනේ. නමුත් මචං සමහර කාරණා ආයතනික විධික්‍රමයන් යටතේ සම්පූර්ණ් කරගන්න ටික කාලයක වැය වෙනවා. මම හැකි සෑම දෙයක්ම කරන්නට පොරොන්දුවෙන්වා මචං...

    ReplyDelete
    Replies
    1. මමත් පුවත්පතකට සම්බන්ධ නිසා ඒ යථාර්ථය මම දන්නවා රතු...ඒ ගැන ගැටළුවක් නෑ.. ඉදිරි දිණයක යමක් කරන්න උත්සාහ කරමු...

      Delete
  8. අපේ රටේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් ක්‍රීඩා සංගම්වලින් කරන්නෙ ක්‍රීඩකයොයි ක්‍රීඩාවයි වලපල්ලට යවන එක විතරයිද මන්ද. කපන්න පුළුවන් හැම විදියෙන්ම කපල, ක්‍රීඩකයො තමන්ගෙ කැපවීමෙන් ජයග්‍රහණයක් ලබා ගත්තොත් ඒකෙ ගෞරවේ ගන්න නම් එයාර්පෝට් එකට දුවල යනව ෆොටෝවලට මූණ ඔබා ගන්න, ලැජ්ජ නැති ජරා යක්කු.

    අපේ වීරයටත් ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කම්වලට හිමිකම් කියන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    සිරාටත් අර්ධ ශතකෙට සුබ පතනවා ඔන්න. උඹ නම් සිරාවටම සිරා කොළුවෙක් සිරා. උඹ උදව් අවශ්‍ය අයට පිහිට වෙන්න ගන්න උත්සාහය අගය නොකර බෑ.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය ජනතාව හිතන්නෙ අපේ රටේ ලෝකය ජය ගන්න තරමේ ක්‍රීඩකයො නෑ කියලා...ඒත් මේ වගේ ක්‍රීඩකයන්ට කිසිම සහයෝගයක් නැතුව ආසියාව වත් දිනන්න අපිට පුලුවන්ද.... අගේ හයියෙන් පමණක් දිනන්න බෑ... නිවැරදි තාක්ෂණයත් වැදගත්...

      මුල් කාලෙ ඉදන්ම සිරාට සහයෝගය දුන්නු ඔබ මට අමතක නෑ...මගේ කාමරයට වසරක් පිරෙන දවසට මම ඔබ හැමටම නාමිකව පින් අනුමෝදන් කරන්නම්... ජය !

      Delete
  9. ඉෂාන්ගේ සියලු බලාපොරොත්තු සඵල වේවා කියල පතනවා.

    සිරාගෙ 50 වෙනි ලිපියට සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍ර‍සන්න අයියටත්... හැමදාම කාමරේට එබිලා බලලා සහයෝගය දෙනවට...

      Delete
  10. ඉෂාන්ගේ බලාපොරොත්තුව ඉක්මනින්ම සැබෑ වේවා කියා පතනවා...!!

    50වෙනි පෝස්ටුවටත් සුභ පැතුම්! තව තවත් ඉදිරියට මේ වගේම හරවත්, අර්ථවත්, අනිත් අයට උපකාර වන පෝස්ට් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා පතනවා!

    ReplyDelete
    Replies
    1. අහ්හ්...එක මාසෙකට පොස්ට් 7 ද දාන්නේ?ඒක අදනේ දැන ගත්තේ...හික්.... ඒකත් හොද ක්‍රමයක් තමා.....මොකෝ ලකී නම්බර් එකද?? :)

      Delete
    2. ඇත්තටම මගේ වාසනා අංකයත් 7 තමයි.. මම ඒ නිසාම නෙමෙයි 7 තෝරා ගත්තෙ..අපි ලියන පෝස්ටු දෙකක් අතර සාධාරණ කාල පරතරයක් තියෙන්න ඕනෙ කියන එක මගේ අදහස උනා... ඒ අනුව මසකට උපරිමය 7 කියන තීරණයට මම එළැඹුනේ...ගතවුනු කාලයේ මම එය නොකඩවා ආරක්ෂා කර තියෙනවා...ඵලදායී පෝස්ටුවක් මිස...පෝස්ටු සංඛ්‍යාව වැඩි කරගැනීමේ හීනමානයක් මට නෑ.
      නංගිගේ ප්‍රාර්ථනයට බොහොම ස්තූතියි....

      Delete
  11. අති දක්ෂතා ඇති ජාතියේ ක්‍රීඩකයින්ට රටෙන්...වගකිවයුත්තන්ගේන් ලැබෙන්නේ මොනවද මන්දා..ඔහුගේ සිහිනයට යන්නට හැකිවේවා ! තනිවම යමක් කල නොහැකි උනත් එකමුතුව යමක් කරනවා නම් මගෙනුත් සහය..

    සිරා කොළුවාගේ 50 පෝස්ටුවට මගෙන් සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලිහිණි....

      Delete
  12. ලිපිය කිවනකොට මට මතක් වුනේ මයිකල් ෆෙල්ප්ස්ව.
    මේ ලිපිය පළ කිරීම ගොඩක් අගය කරනවා. හැමෝම මේ ලිපිය ගැන, Facebook, Twitter, Google+ වගේ තමන් යන එන තැන් වල යාලුවන්ටත් දැන ගන්න සලස්වන්න. ඒ අයගේ යලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න කියන්න.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව වගේ රටක ඉෂාන් හිටියා නම් කථා දෙකක් නෑ ඔහු වූෂු පිටිය තමන්ගෙ අණසකට ගන්නවා...මම පෞද්ගලිකව දන්න නිසා කියන්නෙ, ඔහු චිත්ත ශක්තිය ඉතාමත් ඉහළ ක්‍රීඩකයෙක්...

      Delete
  13. ෂිට්....... අපරා‍දෙ මේවගේ දක්ෂයින්ට රටේ තියෙන තැන... අන්තිම දුකයි..
    මොනව කරන්නද අපිත් හිගන්නුනේ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත බන්...හැමෝම හිගන්නො ඒ නිසා තමයි හැකි කෙනෙක්ට උදව් කරන්න මෙතැන ඒ ගැන ලිව්වෙ...

      Delete
  14. ම්චන් නිකං අතිං වියදම් කරගෙන තමන්ගේ හරි ක්‍රීඩාවේ වත් වටිනකම දන්නෙ නැති රටකට එහෙව් මිනිස්සු වෙනුවෙන් ක්‍රීඩා කරනවට වඩා හොදයි ක්‍රීඩාවේ වටිනකම දන්න වෙනත් රටකට ක්‍රීඩා කිරීම .... මොක්ද අන්තිමට ඔය ක්‍රීඩකයට ඉතුරු වෙන්නෙ කල්කිරීම විතරයි.... මේ රටේ ක්‍රීඩාවෙන් තැනකට එන්ඩ එක්කො ක්‍රිකට් ගහන්ඩ ඕනි නැත්තන් දේශපාලකයෙක් අල්ලගන්ඩ ඕනි.....
    ඊට වඩා හොදයි ක්‍රීඩාවේ අගය දන්න මිනිස්සු වෙනුවෙන් ක්‍රීඩා කරන එක......
    අමතක කරන්ඩ එපා ඉස්සර වොලිබොල් ගහපු වෙනත් ක්‍රීඩා රට වෙනුවෙන් කල මිනිස්සුන්ගේ ඉරනම......

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කථාව මේ වෙද්දිත් ඉෂාන්ට ගොඩාක් දෙනා කියලා තියෙනවා... ඔහුගෙ කායශක්තිය අද වගේ හැමදාම නැති නිසා සැදෑ සමයෙදි ආර්ථික දුෂ්කරතා එක්ක පසුතැවෙන්නට සිදුවෙන්න පුලුවන්...මම හිතන්නෙ ඉදිරි වසර කීපයෙන් පස්සෙ ඔහු තීරණයක් ගනීවි.

      Delete
    2. අබේරත්න පාසල් ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කරපු කාලේ පොරට විසිල් ගහපු කෙනෙක් මම ...
      මමත් කාලයක් වූශූ කලා ... ජාතික මට්ටමේ නොවුනට පාසල තුල කරපු සන්ධාර්ශනයකදී වෙච්ච සිදුවීමක් නිසා ( පාසලේ ක්‍රීඩා භාර ගුරු වරයා කකුලෙන් ඇදිලලක් නිසා )වූශූ එපා උනා
      ඒ නිසා මම කියන්නේ අබේට කියපන් නිකං එක එකා පස්සෙ යන්නෙ නැතුව මුලින්ම ජාත්‍යන්තර තලයේ නම හදා ගන්ඩ කියලා එතකොට ඔය ඒවුන් නිකන් ම පස්සෙන් එයි....

      Delete
    3. //මුලින්ම ජාත්‍යන්තර තලයේ නම හදා ගන්ඩ කියලා //

      ඒකට තමයි බන් මේ සල්ලි නැතුව ලතැවෙන්නෙ...

      Delete
  15. සිරාගේ සිරා වැඩක් .අබේරත්නට ඔලිම්පික් මෙඩල් එකකට යන්න සුබ පතනවා
    ඒ වගේම උදව්වක් හැටියට මගේ බුකියතේ පල කලා
    මඩයට වගේම සිරාටත් 50ට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අවතාර්.... මූල්‍ය ශක්තිය තිබුනොත් ඔහු අනිවාර්යෙන්ම ඔලිම්පික් පදක්කමක් දිනනවා... මට හොදටම ෂුවර්....

      Delete
  16. රටේ අවසනාවද අපේ අවාසනාවද කියලා හිතෙනවා. කොහොම හරි මෙඩ්ල් එක අපේ රටට ගේන්න අබේරත්න සොහොයුරාට සුභ පතනවා.
    සිරාටත් 50 ට සුභ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. අපේ අවාසනාව තමයි මේ වගේ කාරණා නිවැරදිව තේරුම් ගන්න පුලුවන් බලධාරීන් අපේ රටේ නොමැති වීම....

      සුභ පැතුමට ස්තූතියි !

      Delete
  17. මචන් උබ IPL ගැන කියපු නිසා මතක් උනේ..ඇත්තටම මචන්
    ක්‍රිකට් ක්‍රීඩකයෝ ටික වත් මෙහෙම දේවල් වලට මුදලක්
    යොදවන්නේ නැහැ( සිංහ සමාජ වලින් කරන බොරුව නෙවේ )
    ක්‍රීඩාවේ අගය , දුක දන්නම මිනිස්සු වෙලත්.ඒ මිනිස්සුත් ඉහලට
    ගියාම පොඩි එකෙක් ගැන හිතන්නේ නැහැ.
    ලක්ෂ 1000 කට එහා වත් කම් ගොඩක් අයට තියෙනවා බන්.ඒත්
    නිහඩයි .. ඒ අතරේ උබල අපි මෙහෙම හරි කතා කරණ එක ගැන
    සතුටුයි ..බලමුකෝ මොකක් හරි සෙට් කරන්න ..

    50ට හද පිරි සුබ පැතුම් සිරෝ..
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම

    ReplyDelete
    Replies
    1. කට්ට කාලා තැනකට ආවට පස්සෙ තමන් කාපු කට්ට වර්තමානයෙ කන උන්ට සරණක් වෙන්න බහුතරයකට හිතෙන්නෙ නෑ....ඒක තමයි ලෝක ස්භාවය....

      උඹ දීපු උම්මා එක නිසා කම්මුලේ කෙලත් ගෑවිලා... කමක් නෑ ඉතිං උඹනෙ දුන්නෙතතත

      Delete
  18. මොනවා කියන්නද මන්දා... අද දෙතැනක එකම දේ දාන්න උනා... මට හරි අප්සට්...

    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් නෑ හිරු... මේ ජරා රටාව වෙනස් වූ දිණයක තමයි ඉතිං අපේ රට ලෝකයා ඉදිරියේ දිනන්නෙ...

      Delete
  19. මුලින්ම සිරාගේ කාමරේට උණුසුම් සුබ පැතුම්. නිකන්ම නිකන් නොලියා හිතට දැනෙන්න ලියන එක හින්දා .

    දෙවනුව ඉෂාන්ට සුබපතනවා . සිරාගේ අවංක උත්සාහය ඉතාම අගය කරනවා .

    ක්‍රිකට් ඇරෙන්න වෙන ක්‍රීඩාවක් ඉස්සරහට ගන්න කාටවත් උවමනාව නැති එක තමයි අපේ රටේ අවාසනාව .

    ReplyDelete
    Replies
    1. මට රහක් නැත්නම් මම කිසිම දෙයක් මෙහි ලියන්නෙ නෑ... මගේ රසය තමන්ගෙ රසයත් එක්ක ගැලපෙන අය තමයි නිතරම කාමරේට එන්නෙ...

      මේ වගේ දුක කියාගන්න බැරි නිසාම ක්‍රීඩාව අතහැර ගිය ලෝකය දිනාගන්න පුලුවන් මට්ටමේ ක්‍රීඩකයො කෙතරම් නම් ඇද්ද...

      අක්කගෙ ලෙංගතු ප්‍රාර්ථනාවට බොහොම ස්තූතියි....

      Delete
  20. මචන්, උදව්වක් කරන කෙනෙක්ට කරන්න, අබේරත්නගෙ අකවුන්ට ඩීටේල්ස් දැම්මනම් නරකද ?

    ReplyDelete
    Replies
    1. එහෙම දැම්මොත් ප්‍ර‍ශ්නයක් වෙන්න පුලුවන් කියලා මම හිතුවා..අවශ්‍ය කෙනෙක්ට ඔහුට අමතා විස්තර ලබාගන්න මාර්ගය තියෙනවා නොවැ....

      Delete
  21. මේක අපේ රට පෙලන අවාසනාවන්ත තත්ත්වයක්. තනිව මේ වෙනුවෙන් යමක් කරනවා නම් ඉතා සුළු සහයෝගයක් තමයි දෙන්න වෙන්නේ. සෙන්නා කිව්වා වගේ ගිණුම් අංකයක් දැම්ම නම් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. රටට අවංකව ආදරය කරන කෙනෙකුගේ ඇස ගැටෙයි කියල හිතල මේ පෝස්ට් එක FB වලටයි G+ වලටයි ෂෙයාර් කලා.
    සිරා ගෙ මේ ක්‍රියාව අගය කරන අතරම බ්ලොග් ලෝකය ට තව තවත් ආලෝකය දෙන්නට හැකි වේවා කියල පතනවා මචෝ..!!

    ReplyDelete
    Replies
    1. ගිණුම් අංකයක් දැම්මෙ නැත්තෙ අවශ්‍ය කෙනෙක්ට ඔහුව අමතා එය ලබාගත හැකි නිසයි. ඔබේ ප්‍ර‍තිචාරයට බොහොම ස්තුතියි...

      Delete
  22. Replies
    1. අදහස පැහැදිලි නෑ...

      Delete
    2. මට යමක් කියන්න හිතාගන්න බැරුව යන්න ගියේ සිරා අය්යේ ..පුදුම කලකිරීමකුත් එක්ක ලොකු දුකක් ආව ඉෂාන් ගේ දක්ෂතා උඩට එන්න රජයෙන් අත හිත නොදෙන එක ගැන ,මාත් කල්පනා කරලා බැලුවා කරන්න යමක් තියනවද කියලා ..නිකන් වචනයක් දෙකක් කියල යන්න හිත දුන්නේ නෑ ,තේරුමක් නෑ නේ දෙයක් කරන්න බැරුව කියල හිතුනා ..ඒකයි .දෙයක් කරන්න පුළුවන් වේවි කියල හරියට ව්ශ්වාසයක් නෑ,නමුත් උත්සහා කරලා බලනවා . හිරු අක්කට වගේ මටත් අප්සට් ..ලිහිණි කියනවා වගේ හැමෝම එකතු වෙලා දෙයක් කරනවා නම් මටත් කියන්න ..

      Delete
    3. දැන් නම් අදහස පැහැදිලියි.... ඇත්ත සාමාන්‍ය කෙනෙකුට කරන්න පුලුවන් උදව්වක් නෙමෙයි ඒක... පුලුවන් කෙනෙක්ගෙ ඇස ගැටෙන්න තමා සිරා ඒ ගැන ලිව්වෙ...

      Delete
  23. සියල්ලනී,

    අප හිතවත් විචාරක මහතා ඩෙංගු රෝගයෙන් ඔත්පලව රෝහල් ගත කොට ඇති බවත්, එබැවින් ඔහුගේ නවතම ලිපියෙහි ප්‍රතිචාර වලට පිළිතුරු දීම අතපසු වන බවත් ඔහු විසින් සියළු බ්ලොග් සහෘදයින් වෙත දන්වා සිටී.

    අපි ඔහුට ඉක්මන් සුවය පතමු !

    ReplyDelete
    Replies

    1. මීට දින 2 වගේ උදදිත් මන් දැක්ක කමෙන්ට් කරා.
      රෝහල් ගත වීමට තරම් අසනීප තත්වයක් ඇති වෙලාද ?
      ඉක්මන් සුවය පතනවා .බරපතල තත්වයක් නැහැ නේද ?

      Delete
    2. වැඩි විස්තරයක් දන්නෑ සහන්.. ඔහු සහ බිරිඳ දෙදෙනාම උණ රෝගය නිසා රෝහල් ගත කොට ඇති බවක් තමා පැවසූවේ.. ඔහු කතා කළ හැකි මට්ටමේ පසු වූවා.. වැඩි විස්තරයක් ලදොත් පසුව දැනුම් දෙන්නම්..

      Delete
    3. කැස්සක් නිසා ඇද විවේකයක් ගන්න බැව් මීට දිණ කීපයකට පෙර කිව්වා මතකයි... රටට වටිනා සේවයක් කල ඉතාමත්ම වටිනා මිනිසෙක්.... ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...

      Delete
  24. ඇත්තටම ලංකාවේ වැඩ කරන්න පුළුවන් අයට කිසිම තැනක් නෑ , ලංකාවේ තරම් ජරා නිලධාරියෝ ඉන්න රටක් වෙන කොහෙවත් නැතුව ඇති , මං හිතන විදියට මේ නිලධාරින් මේ විදියට කටයුතු කරන්නේ ඔව්න් ට සුදුසුකම් නමැති නිසා ඇති වන ඊර්ෂ්‍යාව නිසා වෙන්න ඇති ,
    ඉෂාන් අයියට මං ඇත්තටම ගරු කරනවා මුදලට වඩා රටට මුල් තැන දී කටයුතු කිරීම පිලිබදව ,
    හොද මිනිස්සුන්ට කවදා හෝ හරි යනවා ,

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ සුදුදුකමට නොව දේශපාලන ගැති කමට භාරදූර්ය රාජකාරි පවරන නිසා තමයි එහෙම වෙන්නෙ....

      කවදාක හරි හරි යන්න කියලවත් පතමු....

      Delete
  25. ලංකාවේ ක්‍රීඩා කරනවානම් වෙන රටක ක්‍රීඩා සමාජ වලට සෙල්ලම් කරන්න නොදෙන එක මොන තරම් පිස්සු වැඩක් ද ?, ක්‍රිකට් ක්‍රීඩකයනට ඒ නීතිය නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් බොහොම ඉහළින්ම වැජඹෙනවා නොවැ...ඒ නිසා වෙන්ට ඇති...

      Delete
  26. අපේ රටේ තියෙන මැටි මොළ හින්දා තමයි මෙහෙම වෙන්නේ. ඉෂාන්ට සුභ පතනවා.

    සිරාගේ හාෆ් සෙන්චරියටත් මගෙන් උණුසුම් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... අලුත් වසරේවත් රට කරවන අයට ඇස් ඇරේවා කියලා ප්‍රාර්ථනා කරමු !

      Delete
  27. අනවශ්ය දේට කෝටි ගන වියදම්කරන රටක..

    ReplyDelete
    Replies
    1. අනවශ්ය දේට කෝටි ගන වියදම්කරන රටක.. අවශ්‍ය දේට වියදම් කරන්න උවමනාවක් නැති හැටි. හරිම දුක්ඛිතයි...

      Delete
  28. Mama Yaluwata Call kara.
    Puluwan Uparima Dayak Karanawa.
    Jayawewa

    ReplyDelete
    Replies
    1. මට ඉෂාන් කිව්වා...ඔබ කථා කලා කියලා...හැකි දෙයක් කරමු... ඔබ දක්වපු ලෙංගතු කමට ස්තූතියි !

      Delete
  29. තමන්ගේ සිහිනය වෙනුවෙන් කැපවෙන එය ඉටු කරගන්නට සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි....ඔහුට එය ශක්තියක් වේවි !

      Delete
  30. මුලින්ම 50 වෙනි පෝස්ට් එක මේ වගේ සත්කාරයකින් ආරම්භ කිරීම ගැන සුබ පැතුම්! මල්ලී . මේ තමයි ඉස්සෙල්ලාම ආව දවස. කට්ටිය එක් වෙලා කරන දේකට සම්මාදම් වෙන්න පුලුවන්. මේ ටිකේ අපිටත් නොසෑහෙන ප්‍රශ්ණ . ඒ උනත් හොඳ දේකට ඔයාලත් එක්ක ඉන්නවා. වැඩි විස්තර දන්වන්න. වාසනාවන්ත නව වසරක් සමඟ අපේ ඉෂාන් පුතාට හදවතින්ම සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

      මම දන්නවා...මේ වගේ විශාල මුදලකට උදව් කරන්න පුලුවන් ප්‍ර‍ධානවම ආයතනයකට තමයි..ඒ අයගෙ අවධානයට යොමු වේවි කියලා හිතලයි මම මේ ගැන ලිව්වෙ... සාමූහිකව යමක් දැනට නම් කෙරෙන්නෙ නෑ...

      ඔබටත් සුභ නව වසරක් වේවා !

      Delete
  31. පිට රටකට සෙල්ලම් කරලා මාසෙකට හම්බෙන ලක්ෂ පහට කෑදර නොවී තමන්ගේ රට ගැන හිතන මේ වගේ මිනිස්සු තවමත් රටේ ඉන්නවා කියල හිතෙනකොට සන්තෝසයි සිරා අයියේ... එක අතකට පුදුම හිතෙනවා. ඔහුගේ අනාගතේ සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. ඉෂාන් ම කියන විදියට පාසලෙන් ලද ශික්ෂණය නිසාම ඔහුට කවදාවත් ලංකාව හැර වෙනත් රටක් වෙනුවෙන් ක්‍රීඩා කරන්න බැහැලු...

      Delete
  32. වැඩ කරුවෙක්. කාර් රේස් තිබ්බට මේවට වියදම් කරන්න සල්ලි නැතිව ඇති..

    ReplyDelete
    Replies
    1. අහිංසක ක්‍රීඩාවක නියැලෙන අහිංසකයෙක් වීම තමා ගැටළුව... තාත්තා දේශපාලුවෙක් උනා නම් කොල්ලා ගොඩ...

      Delete
  33. ඔන්න ඔහේ කතාකරන රටකට යන්ඩ කියහං බං .අඩුම තරමේ ඌටවත් වැඩක් වෙයි . මෙහෙම කාලකන්නි රටකට කොරලා වැඩක් නැ

    ReplyDelete
    Replies
    1. මමත් කීප වතාවක් කිව්වා..උඹ වයසට ගියාම කවුරුවත් උඹ ගැන බලන්නෙ නෑ... හයිය තියෙන කාලෙ උඹේ හැකියාවට නිසි පිළිගැනීමක්, සහයෝගයක් දෙන තැනකට යන්න කියලා... කෝ කිව්වට අහන්නෙ නෑ... ලංකාව ගැන පුදුම කැක්කුමක් ඉෂාන්ට තියෙන්නෙ...

      Delete
  34. සිරා. අපට සාමාන්‍යෙයන් කරන්න පුළුවන් උදව් අඩුයි. මම නං පතන්නේ මේ පෝස්ට්කටුව දැකල කව්රු හරි ඉෂාන්ට උදව් කරයි කියලයි. අවංකව කිව්වොත් බං වුෂූ ගැන අපේ තියෙන දැනුම වගේම ඒ ක්‍රීඩාවේ නියැලෙන්න් කෙරෙහි තියෙන උනන්දුවත් අඩුයි. මේක අවංකව කිව්වේ..

    ඉතිං මොන ගුණාකාරයෙන් දැම්මත් උඹේ ආගමගනය බ්ලොග් ලෝකේට එළියක්. ඇත්තටම උඹ කියන සත් ගුණවත් කෑල්ල කිහිප තැනකදිම දැක්ක නිසා ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා. මොකද සංවේදි හැගීමක් ඇති මිනිසුන් දැන් අඩුයි. අපි උනත් ඔය බොරුවට මේකේ කෙටුවට මිනිහෙකුට උදව් කරන්න කිව්වම පැකිලෙනවා.. ඉතිං ඉදිරියටම යන්න සිරාට ශක්තිය ලැබේවා..

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාවට බෙහෙවින්ම ස්තූතියි...

      කථාව ඇත්ත.. අපිට දරන්න බැරි මුදලක් තමයි එය...යහලුවො සහ හිතවතුන් මේ වෙද්දිත් හැකි අයුරින් උදව් කරලා තියෙනවා...ඉතිරි මුදල සොයාගැනීමට සහයෝගයක් විදියට මම මෙය ලිව්වෙ.... ප්‍ර‍ධානවම ආයතනයක සහයෝගයක් බලාපොරොත්තුවෙන්. බ්ලොග් ලෝකයේ කීප දෙනෙකුම ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් සිටින්නෙ...එය සතුටට කරුණක්...

      Delete
  35. සිරා මල්ලී . . .

    අපි මොනව හරි කරමු. අපිට පුලු පුලුවන් විදිහකට.

    අපේ බ්ලොගර්ස්ලා සෙට් එක හවුල් කරගෙන පොඩි ෆන්ඩ් එකක් දාමුද?

    ලක්ෂ හතර හොයන කම් අපිට රුපියල් 50,000ක් වත් හොයා ගන්න පුලුවන් උනොත් ඉතුරු ටික හොයා ගන්න ට්‍රයි කරන්න පුලුවන්නේ . .

    උඹ කෝඩිනේට් කරපන් . . මෙහේ ඉන්න යාලුවන්ගේ සපෝර්ට් එක මම අරන් දෙන්නම් . .

    වැඩේ ස්ටාර්ට් කරන්න මම දැනට 10,000ක් දෙන්නම් . .

    කෙරෙන හැටි අපි කතා කරමු

    ReplyDelete
    Replies
    1. දුකා අයියගෙ පපුව පිරෙන්න තියෙන මනුෂ්‍යත්වයට මම හිස නමා ආචාර කරනවා... ගිණියම් වෙච්ච අරාබිකරයේ මුදල් හොයන්න ඔබ විදින වෙහෙස මට අවබෝධ කරගන්න පුලුවන්...

      බ්ලොග්කරුවන්ගෙ එකමුතුවෙන් වාර්ෂිකව කෙරෙන සමාජ සත්කාරය නිසා අපට එහෙම ෆන්ඩ් එකක් ආරම්භ කරන්න හැකි වේවිද කියලා හිතන්න ඕනෙ... මම ඔබේ අදහස ඉෂාන්ට දැනුම් දුන්නා... ඔබේ රටේම ඉන්න තවත් හිතවතෙක් මුදල් ලබා දෙන්න කථා කරලා තිබුනා... ඉෂාන්ගෙ තීරණය දැනගෙන මම ඔබට දැනුම් දෙන්නම් දුකා අයියෙ...

      නැවතත් ඔබේ මනුෂ්‍යත්වයට මගේ ආචාරය !

      Delete
    2. සිරා මල්ලී මම ඊයේ ආපහු ෆේස්බුක් එකේ අර ලිපිය ශෙයා කරලා යාලුවන්ව ටැග් කරලා ඇහුවා අපි මොනව හරි කරමුද යාලුවනේ කියලා . . දැනාට 10 දෙනෙක් කැමතියි 10,000 ගානේ දෙන්න ඒ කියන්නේ ලක්ෂයක් . . .

      අද උදේ මම ඉෂාන්ට කතා කලා පෙබරවාරි ටුනමන්ට් එකකට යන්න දනට තව ලක්ෂ 2ක් විතර ඕන කිව්වේ . .

      ඉලංදාරියගේ වැඩේට ලක්ෂ 20ක් විතර හොයන්න දුමීලා එහෙම මාර කට්ටක් කෑවා රෑ දවල් නැතුව මහන්සි වෙලා . .

      මේ වැඩේට ඒ තරම් මහන්සි වෙන්නේ නැතුව කොහොම හරි අඩු තරමින් ලක්ෂ 2ක් හොයල දෙන්නයි මගේ උත්සාහය . .

      Delete
    3. ඉෂාන් අද උදේම මට කථා කලා... දුකා අයියා කථා කල බවත් කිව්වා... මිනිහා දැන් පුදුම සතුටකින් සහ උනන්දුවකින් ඉන්නෙ... බල්ගේරියාවෙ පුහුණුවට යන්න කල් මදි වුනොත් තරගයට හරි යනවා කියලා කිව්වෙ...

      දුකා අයියා සහ අනිත් යාලුවන් හැමෝටම මේ කරන උපකාර වලට ගොඩක් පිං කියලා තමයි ඉෂාන් වෙනුවෙන් මට කියන්න තියෙන්නෙ...

      Delete
  36. " කවදා හරි දවසක මම ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනලා දෙනවා" බොක්කෙන්ම ආව වචන සෙට් එකක්.. ඉෂාන් අයියේ උබට බොක්කෙන්ම සුභ පතනවා ඇරෙන්න මට වෙන කියන්න දෙයක් නෑ බන්..

    ReplyDelete
    Replies
    1. ඉෂාන්ට මේ පෝස්ටුවෙන් පස්සෙ සෑහෙන තරමේ උදව් උපකාර ලැබෙමින් පවතිනවා...ඔහුට දැන් සුභවාදීව අනාගතය බලන්න හැකිවේවි...

      Delete
  37. එදා ගෙට් එකේ කට්ටිය රබර් පැළේ බලන්න ගිය වෙලාවේ මම ඔය මනුස්සයා එක්ක කතා කර කර හිටියෙ.
    ඒ කියන කතා ටික ඇහුවාම තේරුමකුත් නැති දකින දකින හැම රෙද්දටම වියදම් කරන අපේ ආණ්ඩුව/පාලකයෝ ගැන ආඩම්බර හිතුනා

    ReplyDelete
  38. අද තමා ඉශාන්ව දැක්කේ. ලංකාවට හෙන ගහන්න ලංකාවේම එවුන් හවුල් කියන එක මම දැනගන ගොඩක් කල්. ඒත් ඒකෙන් වෙන්නේ මේ දක්ෂයෝ අපිට අහිමි වෙන එක.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...