Wednesday, September 5, 2012

96 සිංහරාජෙ පැත්තෙ යමුද ?

සිරා වන මා හට ඇත්තේ අමුතුම අසනීපයකි...එනම් වසරේ කාර්තුවකට වරක් දිගු දුර මෙහෙයුමක් හෙවත්... මාගේ ඇන්ටික් බයිසිමොටෝවෙන් සිරිලංකාවේ අප නොගිය ඉසව්වක් කරා යාමට ඇති වන දොළදුක මේ අසනීපය ඇතිවීමේ  ප්‍ර‍ධානම ලක්ෂණයයි. මටම හරියන මිතුරු කැළක්ද සිටීමෙන් මේ ආශාවන් සන්තර්පනය කර ගැනීමට සිරා හට එතරම් වෙහෙසිය යුතු නොවේ.

වට්ටාරම, රංටැඹේ,පාහියංගල, කැකිරාව,අව්කන, මුන්නේස්සරම ආදී ප්‍රදේශ මීට කලින් මෙලෙස සංචාරය කර තිබේ. නිසි කාල සමය එළඹෙන කල එය අපේ අවශේෂ බයිසිකල් කරුවන් හටද දැනෙන්නේ ඉවෙන් මෙන්ය. ඉන් අනතුරුව මීළග චාරිකාව යන පෙදෙස   තීරණය කර ගන්නා අතර ජපන් චමී ගූගල් මැප් හි ආධාරයෙන් යා හැකි කෙටිම මග සොයාගෙන එහි පිටපතක්  ඉදිරිපත් කිරීමට තරම් නිර්ලෝභීය.

සෑහෙන තරමේ වාද විවාද වලින් අනතුරුව මෙවර අපගේ චාරිකාව යොමු වූයේ සිංහරාජ වනාන්තරය වෙතයි. සිරා එම ඉසව්වට කලින් සංචාරය කර නැති නිසා යෝජනාවට විරුද්ධ වීමට තරම් හේතුවක් නොවීය... සිරිත් පරිදි චාරිකාව යාමට පෙර සියලුම බයිසිමොටෝ ඒවා සදහා සත්කාර කරන එකිනෙකට වෙනස් ගැරේජයන් වෙත යොමු විය යුතුය... මෙම බයිසිමොටෝ අතර පැරණිම එක වන මාගේ ස්කූටරයේ රිද්මය හදුනාගත් වැලිවේරියේ අජන්ත බාසුන්නැහේ හමුවී එහි ඇන්ජින් ඔයිල් මට්ටම, තිරිංග, බුරුල් වූ ඇණ මුරිච්චි ආදිය පිළිබද පුළුල් විමර්ෂණයක් කිරීමෙන් අනතුරුව චාරිකාව සදහා පිටත් වීම මාගේ සිරිතයි.

චාරිකාව පිටත් වීමට පෙර දින මා ඇමතූ ජපන් චමී, මචන් හරියටම හෙට පාන්දර 5 වෙද්දි ගම්පහ පුරුදු තැනට වරෙන් යැයි කීවෙන් මාගේ දුරබණුව පාන්දර 4 ට එලාමය වදින සේ සකසා  ඇදුම් කැඩුම් කිසිවක් සූජානම් නොකොට නිදි දෙව් දූ සොයා යහනට වැදුනෙමි. අපරාදෙ කියන්න බෑ නින්ද නම් අපූරුවට ගියා....

පාන්දර ජාමෙ මගේ දුරබණුව හදිසියේ මොර දුන්නා....

හෙලෝ...... මචන් මේ චමී... අපි ස්පොට් එකේ ඉන්නෙ ...උඹ දැන් එන ගමන්ද ?

මාගේ හිසේ කොනකින් ගිණි පිටවුනේ එවිටය. මා අවදි වී ඇත්තේ පාන්දර 5 ටය. එලාමය වැදී නැතුවාය... මිතුරෝ මා එනතුරු අදාළ තැන බලා සිටිනවෝය.

ඔව් ඔව් මචන් මේ එන්න තමයි හදන්නෙ...මෙහෙට හරි තදට වහිනවා ඒ නිසා පොඩ්ඩක් විතර පරක්කු වෙයි... මට ක්ෂණිකව කදිම පිළිතුරක් පහල විය.

වහිනවා ? මෙහෙට හොදට පායනවනෙ බන්... හරි හරි ඉක්මනට වරෙන්... මේ ඔක්කොම ඇවිල්ලා ඉන්නෙ... චමියා පිළිවදන් දුන්නේය.

සියලුම කාර්යයන් පෑ භාගයක් තරම් කාලයක් ඇතුලත නිමකර දෙගුරුන් නැමද බයිසිමොටෝවේ හිද එය පන ගන්වා ගැනීමට මට හැකි විය.

ජපන් චමියාට ඇත්තේ ජපාන ක්‍ර‍මයට හුරු පුරුදු වූ ගති ගුණය... වෙලාවක් කිව්වොත් හරියටම තත්පරේට ඔහු එතනය. පෑ භාගයක් යනු ඔහුට දැඩිව තරහා යන තරමේ පමාවකි... ඒ නිසා නිවසින් පිටවීමට පෙර යතුරු පැදිය ජලය ඉස තෙමා ගන්නට මට සිදුවිය. ඒ වැස්සට හසු වූ බව පෙනෙන්නටය.

ගම්පහට වාර්තාකල මාගේ රථය කෙරේ සූක්ෂම බැල්මක් හෙලා මාගේ වංචාව අතටම හසු කර ගත් ජපන් චමියා මට ඉතා සුහදව දෝස්මුරයක් පිරිනමා චාරිකාව ආරම්භ කලේය. ඉතා හොද විනය ගරුක යතුරුපැදි ධාවකයකු වන ඔහු, අප චාරිකාවක් යන හැමවිටම ඉදිරියෙන්ම ගමන් කරන්නේය.

චමී,සිරා,දැදිගම, රොටියා,දතා  ඔන්න ඔහොමයි පිරිසගෙ නම් පෙළ, මේ සමහර නම් පටබැදුනෙ පාසලේ බෑන්ඩ් ගහන කාලෙදි.  රොටියා බයිසිමොටෝවට නැගුනෙ කිරිදිවැල කිට්ටුවෙන්... එතැන් සිට අවිස්සාවේල්ලටත් එතැනින් රත්නපුරය, නිවිතිගල,කලවාන,වැද්දාගල හරහා සිංහරාජයට අපගේ චාරිකාව සැලසුම් වී තිබුනා.

කහපාට එක්කෙනා තමයි සිරාගෙ

කිරිදිවැලින් අමිතිරිගල දෙසට කිලෝමීටර් දෙකක් පමණ යන විට හමුවන කෙටි මගකින් අවිස්සාවේල්ලට යන්නට හැකි වුනා

ගමන් වෙහෙස නිවා ගැනීමටත්... අයහපත් කාලගුණය හේතුවෙනුත් තැනින් තැන නතර වෙමින් තමයි පිරිස ඉදිරියට ඇදුනෙ. මාවත අයිනෙ පඩුරු දැමීමට ඇති බොහෝ තැන් වල නැවතී පඩුරක් දෙකක් දමා යන්නටත් පිරිස අමතක කලේ නෑ....

රත්නපුර මහ සමන් දේවාලය

දේවාලයේ හස්ති රාජයා

රත්නපුර මහ සමන් දේවාලය වැද පුදාගැනීමෙන් පස්සෙ රත්ගග පන්සල පාරෙ කිලෝමීටර් 6ක පමණ මග ගෙවා අප පැමිණියේ ටික කලකට පෙර අහම්බෙන් ඇතිවුන පුද්ගල සම්බන්ධතාවක් මත ඉතාමත් ඉපැරණි යතුරු පැදි එකතුවක් නරඹන්න.... ඒ විස්තර ඉදිරි පෝස්ටුවකින් ඔබ වෙත.

නිවිතිගලින් පස්සෙ මාර්ගය ඉතාමත්ම අඹලන්... බෙල්ල කඩා ගන්නෙ නැතුව ඒ මාර්ගයේ බයිසිමොටෝවක් ධාවනය කරනවා කියන්නෙත් හැබෑම දක්ෂතාවක්... කාපට් කිරීමට මාර්ගය සම්පූර්ණයෙන්ම තාර ඉවත් කරලා... එක් තැනක කුඩා රවුම් කලු ගල් පාර පුරාම... තවත් තැනක වැස්ස නිසා ඇති වුන දැවැන්ත මඩ ගොහොරු... ඒ මදිවට පාර පුරාම වලවල්..... මේ විදියට කිලෝමීටර් 17 ක් පමණ මග ගෙවා ගැස්සෙමින් පැද්දෙමින් කළවානට ලගා වන විට බයිසිමොටෝව කඩන් වැටෙයි කියලයි මට හිතුනෙ. මගේ බයිසිකලේ පැති කණ්නාඩි දෙපසට වැනෙන්නට වුනා වලවල් වලම වැටිලා ගැස්සීම නිසා බුරුල් වෙලා...


ජපන් චමී මේ දිනවල වහලයේ උළු සම්පූර්ණයෙන් ගලවා සිටී.

නිවිතිගල සිට කලවානට .... පේනවද පුංචි පන්සලක්

කලවානෙ සිට වැද්දාගල දෙසට මාර්ගය යම් තරමක් දුරට හොද තත්වයෙන් තිබුනා.... වැද්දාගලින් දකුණට හැරිලා සිංහරාජ වනයට ඇති කිලෝමීටර් 6ක දුර ප්‍ර‍මාණය ගෙවාගෙන අප එන විට සවස 6.30 ට පමණ ඇති. එහි පිහිටුවා ඇති රජයේ සංචාරක නිකේතනයෙන් නවාතැන් පිළිබද විමසීමේදී දැන ගන්නට ලැබුනේ එය කොළඹ සිට වෙන්කර ගෙන පැමිණිය යුතු බවක්... මෙය කියවන ඔබත් සිංහරාජයේ නවාතැන් ගැනීමට සිතනවා නම් වේලාසනින් අවශ්‍ය වෙන්කර ගැනීම් කොළඹින් කල යුතු බව සිහි තබා ගන්න...

කෙසේ හෝ එහි නිලධාරින්ගේත් සහයෝගයෙන් ඒ ආසන්නයේම ඉදිකෙරෙමින් පවතින නිවාඩු නිකේතනයක නවාතැන් ගැනීමට අපට හැකි වුනා... එහි නම S Birds....ඇත්තටම හරිම ලස්සන පරිසරයක එය පිහිටා තිබුනෙ... කාමර දෙකක් පමණක් වුනත් සියලුම පහසුකම් ඉතා අනර්ඝයි.....ඒ බැව් එහි නතර වූ විදේශිකයන් පවා අමුත්තන්ගේ සටහන් පොතේ සටහන් කර තිබුනා.

දතා මල්ලි 

S Birds වෙත පෙනෙන සොදුරු දසුන

S Birds වෙත විදුලිය ලබා ගෙන තිබුනෙ කුඩා දොළ පහරක ඉදිකර ඇති ටර්බයිනයක් කරකැවීමෙන්... ඉතා පහසුවෙන් රැය පහන් කරලා... පසුදා උදෑසන ආහාරයෙන් පස්සෙ බයිසිමොටෝ මගින්ම පිරිස සිංහරාජයේ පිවිසුම් දොරටුව අසලට සේන්දු වුනා.

සොදුරු දසුන් සමගින් ප්‍ර‍ණීත උදෑසන ආහාරය
සංචාරක මග පෙන්වන්නෙකු ලබා ගැනීම සෑම අයෙකුටම අනිවාර්යය කාරණයක්... ඒ අනුව අපේ මගපෙන්වන්නා වුනේ අජිත් අයියා... ඒ පළාතෙම අයවලුන් හට නිසි පුහුණුවක් ලබා දීමෙන් අනතුරුව මේ තනතුරේ පිහිටුවා තිබෙනවා...

මාර්ගෝපදේශක අජිත් මහතා සමග ගමන් අරඹමින්
මැද්දෙ ඉන්නෙ රොටියා, පිටිපස්සෙම දැද්දා...

සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් බවට පත්වීමෙන්ම එහි වටිනාකම තේරුම් ගත හැකියි... අතීතයේ සිංහයෙකු ජීවත් වූ බවට ඇති පුරාවෘත්තයක් නිසා මෙය සිංහරාජ නමින් හදුන්වන්නෙ....මෙම සිංහයා වැදි ජනතාව විසින් ගල් ගසා මරා දැමූ බවටයි ජනප්‍ර‍වාදයේ පවතින්නෙ. සිංහයා ජීවත් වූයේ යැයි සැළකෙන සිංහගල නම් ස්ථානයක් සිංහරාජය තුල පිහිටා තිබෙනවා... නරඹන්නන්ට එයද නැරඹීමට යාමේ පහසුකම් තිබුනත් එය ඉතා දුෂ්කර ගමනක්... කැලේ මැදින් කිලෝමීටර් 14 ක පමණ දුරක් ඒ සදහා යා යුතු වන නිසා සිංහගල නරඹන්නට අපේක්ෂා කරන අය  හරියටම උදෑසන 6 පමණ වන විට එහි පැමිණිය යුතු බවයි අජිත් අයියා අපට කිව්වෙ.

නිවර්තන තෙත් කලාපයට අයත් සිංහරාජය  හෙක්ටයාර 11,187 ක් පුරා දිවෙන අතර රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කයන් තුනෙහිම ව්‍යාප්තව පවතිනවා. වනාන්තරයේ දිග කිලෝමීටර් 21 වන අතර උපරිම පළල කිලෝමීටර් 7 ක්ද අවම පළල කිලෝමීටර් 3 ක්ද වෙනවා...

1875 05 08 දින අංක 4046 දරණ ගැසට් පත්‍ර‍ය මගින් මුලින්ම සිංහරාජය රක්ෂිතයක් බවට පත්වී තියෙන්නෙ. 1972 සිට 1977 දක්වා සිංහරාජයෙන් හෙක්ටයාර 2025 පමණ වරණ හෙලීම් යටතේ දැව ඉවත් කර තිබෙනවා. කැනඩා රජයට අවශ්‍ය දැව සම්පාදනය සදහා එකල සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් කල ඉල්ලීමක් මත එය සිදුවී ඇත්තෙ... සිංහරාජයේ අද අප ඇවිදින කුඩා මංමාවත් එකල දැව ප්‍ර‍වාහණය සදහා ඔවුන් විසින් සකස් කල ඒවා වන අතර එම මග දෙපස ආසන්නයේ කිසිම තැනක දැවමය වටිනාකමක් ඇති විශාල වෘක්ෂයන් දක්නට නෑ. කැනඩා රජය අදද භාවිතා වන දුම්රිය එන්ජින් 20 ක් පමණ ශ්‍රීලංකාව වෙත නොමිලේම ලබා දුන් නිසා මේ ඉල්ලීමට එකග වුනා කියලයි මට හිතෙන්නෙ. මෙම එන්ජින් අද වන විට වසර 50 කට වඩා පැරණි නමුත් ඉතා හොදින්  ධාවනය වෙනවා.

1978 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමන් මෙම දැව ඉවත් කිරීම නවතා ජෛව ගෝල රක්ෂිතයක් ලෙස නම් කර ඇත. 1988 දී ජාතික උරුම වන භූමියක් ලෙසද 1989 දී ලෝක උරුම වන භූමියක් ලෙසද සිංහරාජය නම් කර තිබේ. මෙහි උපරිම උස මීටර් 1170 ක් වන අතර අවම උස මීටර් 90 කි. වනාන්තරය අවට ගම් වාසීන්ට අනුව නම් මෙම ප්‍රදේශයට නිරන්තරවම වර්ෂාව ලැබේ... ඒ අනුව එහි වාර්ෂික අගය මිලි මීටර් 3000 - 6000 වේ. උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 18 - 27 අතරය.

සිංහරාජයේ පොහොසත්කම


ස්ථර අනුව බෙදුන වන පියසක් මෙහි පැහැදිලිව දැක ගත හැකි අතර හෙක්ටයාර 1 ක් ඇතුලත ශාක 240,000 ක් පමණ වේ. ලංකාවේ මල් හට ගන්නා (සපුෂ්ක ශාක) 3366 න් 92% පමණ සිංහරාජයේ දැකිය හැක. මේවායින් 75% පමණ ඒකදේශික ශාකයන්ය. දැවමය ශාක විශේෂ 340 කි. එයින් 192 ක් ලංකාවට ආවේණිකය. එයිනුත් ශාක වර්ග 15 ක් දැකිය හැක්කේ සිංහරාජයේදී පමණමය.

ශ්‍රීලංකාවට ආවේණික ශාක ගණ 25න් 13ක්ම සිංහරාජයේ ඇත. ශ්‍රීලංකාවට ආවේණික උරග වර්ග 72න් 21ක්ද, උභය ජීවීන් 19න් 10ක්ද , පක්ෂි විශේෂ 33න් 32ක්ද, ක්ෂීරපායි විශේෂ 12න් 8ක්ද සිංහරාජ අඩවිය සිය වාසස්ථානය කරගෙන ඇත.


1985 වර්ෂයේ ගණනය කල දත්තයන් අනුව

ලංකාවේ වාර්තා වී ඇති සමනල වර්ග 242 න් 65ක්
මත්ස්‍යා විශේෂ  64 න් 10 ක්
උභය ජීවීන් 38 න් 19 ක්
සිව්පාවුන් 73 න් 14 ක් 
උරගයන් 90 න් 29 ක්
පක්ෂීන් 384 න් 141 ක්
ක්ෂීරපායින් 85 න් 40 ක්  සිංහරාජයෙන් වාර්තා වී ඇත....

වටිනා කියන තොරතුරු ටිකකුත් දැන ගත්තා නොවැ, අපි එහෙනම් මීළග කොටසෙදි කැළෑවෙ ඇතුලට යමු....එහෙම හොදයි නේද ?


මම සයිබරයේ අලුත් මිතුරා සිරා..


ප.ලි


බ්ලොගියේ අකුරු පොඩි වැඩි යයි අදහස් පල කළ සුමිත් නිරිඇල්ල, මධුරංග, බින්දි,  ඔබ සියල්ලන්ටම මගේ හෘදයාංගම ස්තූතිය... ඔන්න දැන් අකුරු පෙරට වඩා විශාල කර තිබෙනවා.

S Birds හි නවාතැන් ගැනීමට කැමති අයවලුන්  0718 018186 අංකයෙන් එහි හිමිකරු නිමල් මහතා අමතා වැඩිදුර විස්තර ලබා ගන්න...

මග පෙන්වන අයෙකු (Guide)  සදහා ගාස්තුව රු 600/- වන අතර සිංහගලට යන්නේ නම් එය රු 1200/- වේ.

කැලයට පිවිසීමට පෙර ඒ පෙදෙසේ ඇති කුඩා වෙළද සැල් මගින් මිළදී ගත හැකි කූඩැල්ලන් ප්‍ර‍තිරෝදී ( Anti Leach) ආලේපනය දෙකකුල් මත ආලේපය හෝ ඒ සදහා විශේෂිත මේස් පැලදීම කූඩැල්ලන්ගෙන් මිදීමට හොද උපක්‍ර‍මයක්. එවැනි මේස් ජෝඩුවක් සිංහරාජ පිවිසුමෙන් රුපියල් 350/- මිළදී ගන්නත් පුලුවන්...අපේ මාර්ගෝපදේශක තුමා පැළද තියෙන්නෙත් ඒවා....













96 comments:

  1. මමත් කැමතිම වැඩක් තමා මේ රට වටේ සංචාර, ඒ වගේම බ්ලොග් වල දාන මෙහෙම පෝස්ට් කියවන්නත් හරිම කැමති.සිංහරාජය ගැනත් ගොඩක් විස්තර දැන ගත්තා මේකෙන්

    ReplyDelete
    Replies
    1. සිංහරාජෙ ලස්සන දේවල් පොඩ්ඩක් විතර ඊළග පෝස්ටුවෙන් බලමු... හරියටම සිංහරාජෙ නරඹන්න නම් සතියක් තිබ්බත් මදි...

      Delete
  2. අපිත් ඔය මහපොල බර්සරි හම්බුන ගමන් යනවා නැති උනාම අකුලගෙන ඉන්නවා අපිත් ඔය වගෙම තමා හැබැයි ල0කවෙ තියන අඩුම ප්‍රවාහන මාධ‍ය්‍ය තමා අපි නම් තෝරා ගන්නෙ සල්ලි ගොඩකුත් නෑනෙ

    ReplyDelete
    Replies
    1. අපිටත් සල්ලි නෑ මලේ ඒකනෙ රෝද දෙකෙන් යන්නෙ හතරෙන් යන්නෙ නැතුව...උපාධිය හොදින් සම්පූර්ණ කරගෙන එළියට ඇවිල්ලා හොද රැකියාවකුත් හොයා ගෙන මීට වඩා හොද සංචාර යන්න ඔයාටත් පුලුවන්.... අධෛර්යමත් වෙන්න එපා... ධනාත්මකව හිතන්න...

      Delete
  3. ඇත්තම කියන්නම්කෝ....

    ඊරිසියාවේ බෑ....... ඔයාලා මෙහෙම ගමන් යනඑකට....
    මටත් තිබුනා නං ස්කූටි පෙප් එකක නැඟලා මේ වගේ රවුමක් ගහන්න යන්න...

    කොහෙද මේ සිරි ලංකාවේ කෙල්ලෙක් වෙච්ච එකේ කරුමේ තමා....

    ReplyDelete
    Replies
    1. හා හා එහෙම කියන්න එපා සිරිලංකාවෙ කෙල්ලො කොච්චර නම් ලස්සනද අනිත් රටවල උන් වගේ අරක්කු සිගරට් බොන්නෙත් නැති නිසා ලංකාවට නිරෝගී දූ දරුවො බිහිකරන්නෙත් ...මේ කියන ලංකාවෙ කාන්තා පරපුර...

      හබියත් එක්ක එන්න බයික් එකක් හොයාගෙන.. ඊළග ටුවර් එක දෙසැම්බර් මාසෙ යන්නෙ... ඔය දෙන්නවත් අපි ඇතුලත් කරගන්නම්....

      Delete
    2. ඔය ඔක්කොම හරි සිරි ලංකාවේ කෙල්ලෙක්ට කියලා ජීවිතයක් හදාග්න තාමත් අවස්ථාවක් නෑ නේ.. නේද...?

      අනිත් එක ලස්සන මොනාවටද..... කොල්ලන්ට බල බල රස විදින්නනේ... කෙල්ලන්ට ඇති වැඩක් නෑ එකෙන්.. කෙල්ලෙක් ලස්සන උනොත් තවත් හිර කරන එකනේ කරන්‌නේ... අම්මලා තාත්තලා හබීලා.......

      ඒ ගැන කතා කරලා වැඩක් නෑ..... හි හි.. ( හිනා උනාට දුකෙන් තමයි මේ ටික කිව්‌ෙව්...)

      Delete
    3. ඔබ කියන කථාවෙත් ඇත්තක් තියෙනවා...මගේ ඥාති සහෝදරියත් නිදහස අපූරුයි කියලා අවිවාහකව ලන්ඩන් වලට වෙලා ඉන්නෙත් ඔබ කියන ඔය නිදහස එහෙ තියෙනවා කියලා තමයි...එහෙදි එයාට ඕනෙ වෙලාවක් යන්න එන්න... හැමදේටම නිදහස තියෙනවා කියලා තමයි කියන්නෙ...ඔයා හිතන විදියට විවාහ වෙනකොට ස්වාමියත් එක්ක කථා බහා කරලා තමන්ට අවශ්‍ය නිදහස් වට පිටාව ඇති කර ගන්න ලංකාවෙදි යුවතියකට බැරිද ?

      Delete
    4. බැහැ සුදා.. එහෙම උනොත් මිනිහට වටේ ඉන්න කට්ටයගෙන් කනක් ඇහිලා ඉන්න නෑ.... ඒකටත් හිත හදා ගත්තා කියමුකෝ.... එළියට බැහැලා යද්දි මොනවා හරි ලෙඩක් වැටුනොත්... ( අපත බයිසිකල්කාරයෙක් හරි ත්‍රීවීල් කාරයෙක් හරි කුණුහරපයක් කිව්වොත් හි මොනා හරි ජරා වැඩක් කලොත් හරි) මනුස්සයට බලු බැනුම් බනිනවා අම්මලා තාත්තලා... එතකොට එයාගේ හිත වෙනස් වෙනවා.....

      අද 6ට විතර මම එළියට බැස්සා කාඩ් එකක් ගන්න යන්න අඩි 10කට විතර එහෙයින් තියෙන කඩේට යන්න.. ඒ ටිකට ත්‍රීවීල් කාරයෙක් ඇඟට කපලා අත දාගෙන යන්න හදනකොට කාණුවෙන් එහාට පැනලා ‌බේරුනේ....

      Delete
    5. පුදුම සමාජයක්නෙ මේක...ඔයා මතුකරපු කාරණේ මම නොදැක්ක පැත්තකුත් තියෙනවා වගේ..

      Delete
    6. මචං සිරා !
      මේ හිරූ සෞදියේ කෑල්ලක් වෙලා හිටියා නම් කියයි සෞදියේ ඉන්නවට වඩා ලංකාවේ කෙල්ලෙක් වෙලා ඉන්ඩ ලැබෙන එක සැපයි කියලා. නැද්ද මචං !

      Delete
    7. අනිවා මධූ... සෞදිය කියන්නේ රටක්ද...? කෙල්ලන්ට ඒක හිර ගෙයක් නේ.....
      තමන්ගේ තත්වෙත් එක්කනේ අපි හැමදේම සංසන්දනය කරන්නේ....

      Delete
    8. නමුත් හිරූ කියලා තියෙන කතාවත් ඇත්ත...
      ඉස්සර ගෑනු කෙනෙක්ට තනියම පේදුරු තුඩුවේ ඉදන් දෙවුන්දර තුඩුව වෙනකන් තනියම ගිහින් ආවෑකි කියලා කියනවා නෙහ්...
      හැබැයි එහෙම ගියපු කෙනෙක්ව මට තාම හම්බ වෙලා නෑ...ඒක වෙන කතාවක් !!!
      නමුත් අර කිව්වා වගේ කතාවක් තියෙනවා නෙහ්.
      කාලේ වෙනස් වෙලා මිනිස්සු තිරිසන් වෙලා !

      Delete
    9. හිරු : ඔයා කියන කතාව සම්පුර්ණ ඇත්ත. මගේ යාලුවෙක් ඉන්නවා(කාන්තාවක්) පිටකොටුවේ ෂොපින් යන. එයා ලස්සනයි. පිටකොටුවේ ඇවිදන් යනකොට මිනිස්සු කනට කරලා කුණුහරප කියනවාලු. 120 බස් එකේදී ජැ* එකට එනවලු. මම බැංකොක් වල රෑ දොළහට එකටත් ගෑනු ළමයි වැඩ ඇරිලා යනවා දැකලා තියෙනවා, කවුරුත් මොනවත් කියන්නෑ. අවශ්‍යතා තියෙන අයට ගෑනු පස්සෙන් ඇවිත් අහන අරටක් ඒක(මුදලට - ඒ කියන්නේ ගණිකාවෝ). මෙහෙ එහෙම නැති එකද ප්‍රශ්නේ කියල මට දහස් වතාවක් හිතිලා තියෙනවා. ධර්මද්වීපයේ අසහනකාරයෝ කියල තමයි කියන්න වෙන්නේ.

      Delete
    10. අසහනය ඇති කරන ජනමාධ්‍ය ක්‍රියාකාරකම් හැම නාලිකාවකම පේන්න තියෙන්නෙ... අසහනය දුරු කරගන්න කිසිවෙකුගෙ පිළිසරණක් නැති විමත් එයට හේතුවක් වෙන්න පුලුවන්... විශේෂයෙන් තරුණ පරපුරට...

      Delete
    11. //අසහනය ඇති කරන ජනමාධ්‍ය ක්‍රියාකාරකම් හැම නාලිකාවකම පේන්න තියෙන්නෙ...// සම්පූර්ණ ඇත්ත.

      Delete
    12. මධුරංග මල්ලි.. මෙහෙ ගෑනු කළු රෙද්දෙන් මුණම වහගෙන කෑම කනවා දැක්කම ඔහොම කියන්න හිතෙන්නේ නෑ.

      හිරූ.. සමහර වෙලාවට අපි හිතනවා යුරෝපේ වගේ උනා නම් හොඳයි කියලා. ඒත් යුරෝපේ ඇමරිකාවේ ඇත්ත තත්වේ කවුරුත් දන්නේ නෑ. ඔන්න බලන්න මේ ෆිල්ම් එක.
      I Spit on your grave (1978) හැබැයි මේක වැඩිහිටියන්ට පමණයි විදියේ දර්ශන ඇතුලත් එකක්.

      Delete
  4. බයික්කලයක් ගන්න හිතෙනවා අප්පා...

    ReplyDelete
    Replies
    1. ඇන්ටික් එකක් හොයලා දෙන්නද ...ඉස්සරහට කාමරෙන් එනවා ඇන්ටික් බයිසිකල් ගැන පෝස්ටුවක්...ඒකත් බලලම බයික්කලයක් තෝරා ගන්න මලේ...

      Delete
  5. බොහොම අපූරුයි. යතුරුපැදි චාරිකා මමත් පුද්ගලිකවම බොහෝම ප්‍රිය කරන දෙයක්. තීර්ථ යාත්‍රිකයාත් මේ ළඟිදි නකල්ස් පැත්තේ සංචාරයක නියලුනා..

    ReplyDelete
    Replies
    1. තීර්ථ යාත්‍රිකයා කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

      සතුටුයි යතුරු පැදි සංචාර ප්‍රිය කරන තවත් කෙනෙක් හමුවීම ගැන...මම ඒ පෝස්ටුවත් බලන්නම්... ස්තූතියි මේ පැත්තට ආවට...

      Delete
  6. නියමයි මචං!! අපි ගියෙත් ඔය පාරෙන් ම තමයි. අපිට ත් සිංහගලට යන්න බැරිවුනා වැස්ස හරස් වීම නිසා. සංඛ්‍යා ලේඛණ එහෙමත් හොයලා විස්තරත් එක්කම ලියලා තියන එක ගොඩක් ම වටිනවා. වැදගත් ලිපියක්!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං... සිංහගලට යන්න නම් හරියටම උදේ 6.00 වෙද්දි අදාළ තැනට යන්න ඕනෙ... හරියට පාරක් නැති කැළෑවක කූඩැල්ලොත් එක්ක කිලෝමීටර් 28 යනවා කියන්නෙ සෙල්ලංද ...

      Delete
  7. නියම තොරතුරු ටික සහෝ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිශාන්...ඔබේ මේ වදන් තමයි මගේ ශක්තිය...

      Delete
  8. උඹ හොද කොල්ලෙක් සිරා. යන චාරිකා සටහන් නිකන්ම දාන්නෙ නැතුව තව වැදගත් විස්තරත් හොයලම පෝස්ට් එක ලියල තියෙනව. ලෝකෙ පුරාම ඇවිදල තවත් මේ වගේ පෝස්ට් දාන්න වාසනාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව ඔන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි...මම හැමවිටම කැමතියි මමත් දැනුවත් වෙලා අන් අයත් දැනුවත් කරන්න... මම ලංකාවෙන් එළියටත් සංචාරය කරලා තියෙනවා... මේ වසර අග ආයෙත් යන්න හිතාගෙන ඉන්නවා... ඒ දේවල් ගැනත් ඉඩ තියෙන විදියට ලියන්නම්... බ්ලොගිය ආරම්භ කල කාලෙ ඉදන්ම ඔබ මට ලබාදීපු ශක්තියත් මේ වෙලාවෙදි බොහොම නිරහංකාරව මතක් කරන්න කැමතියි...

      Delete
  9. "ඒ නිසා නිවසින් පිටවීමට පෙර යතුරු පැදිය ජලය ඉස තෙමා ගන්නට මට සිදුවිය. ඒ වැස්සට හසු වූ බව පෙනෙන්නටය"

    මම මේක ගැන අහන්නත් ගියේ :D

    එලකිරි ට්‍රිප් එකක් බව පේනවා. බයිසිකල් චාරිකා දැක්කාම මට මතක් වෙන්නේ චේ ගුවේරාගේ බයිසිකල් චාරිකාව

    ReplyDelete
    Replies
    1. චේ ගුවේරගෙ චාරිකාව ගැන පත්තරේක පළ වුනු ලිපි පෙළක් කියෙව්වා වගේ මතකයි... ඒ සම්බන්ධයෙන් ලිවවොත් නරකද හසිත ඔබේ බ්ලොගියෙ...

      Delete
    2. @ සිරාගෙ කාමරේ

      ඒක නම් සංකීර්ණ වැඩක් ලොක්කා. ඒ ගැන මට හිතෙන විදිහට නම් ලියන්න සුදුසුම පුද්ගලයා සෙන්නා අයියා....

      Delete
    3. මෝටර්සයිකල් ඩයරීස් කියල අපූරු චිත්‍රපටියක් තියෙනවා. හරිම හාස්‍යජනකයි.

      Delete
  10. තනි බයික් එකකින් යනවට වඩා බයික් කිහිපයකින් සංචාරය කරන එක ආරක්ෂාවට හොදයි. අපි ඉතින් කම්පනියේ සල්ලි වලින් පිස්සෝ වගේ අවිද්දට උඹලා වගේ යමක් කමක් බලලා විස්තර හොයන්න ඇවිදපු ගමන් නෙවෙයි නේ, එල එල

    ReplyDelete
    Replies
    1. ජපන් චමී ළග Tool Box එක තියෙනවා... බයික් කැඩුනොත් මිනිහට පුලුවන් තාවකාලික පිළියමක් යොදන්න... ඒ නිසා භයක් නෑ.... ස්තූතියි මේ පැත්තට ආවට...

      Delete
  11. යකෝ මෙච්චර අපේ ගෙවල් ලගින් ගිහිනුත් කතා කරපු නැති එක නම් සවුත්තු වගේ සිරෝ...එකෙන්ම අවුල් ඈ..

    ReplyDelete
    Replies
    1. එකෙන්ම මටත් අවුල් අප්පා... කොහෙද කියලා දන්නවා නම් අනිවා එනවා... ඒත් පොඩි දෙයක් අපේ උන්ට ගස්වල තියෙන පේර,පිණි ජම්බු වගේ දේවල් පෙන්නන්න බෑ... වතු පාලු කරනවා... හැබෑට කොයි පළාතෙද ඔබ තුමා...

      Delete
    2. මම රත්නපුරේ ඉන්නේ . නගරෙට විනාඩි 5 න් එන්න පුළුවන්.

      Delete
  12. මමත් කලකට ඉහත යාලුෙවක් ඒක්ක කතරගම ගියා බයික් වල.. පාර ෙතාට ගැන ෙහාද අවෙබා්දයක් ගන්න නම් කියාපු වාහනය. දැනුත් යන්න අාසාව තිබ්බට බයිසිෙකාලයක් නෑ. අනුනෙගන් ඉල්ලෙගන දුර යන්න බෑෙන්. මට නිකන් ඉරිසියයි වෙග්.
    ජය ෙව්වා. !!!!
    වැඩි වැඩිෙයන් බයිසිෙකාල් චාරිකා යන්න ලැෙබ්වා.!!!!!
    තල් මිල අඩුෙව්වා.!!!!!!!

    ReplyDelete
    Replies
    1. අෙඩ් අකුරැ වැරදියිෙන...

      Delete
    2. ප්‍රාර්ථනාවන්ට ස්තූතියි... දැන් මන්නාරමෙන් හොයා ගත්ත තෙල් නිධියෙ මම හිතන්නෙ තෙල් ගන්නවා ඇති... ඒ තෙල් මාකට් එකට ආපුවහම ගණන් අඩුවෙයි.. ඡන්දයක් ලං වුනාම තමයි මේ හැම දෙයක්ම හොයා ගත්තා කියන්නෙ...

      Delete
  13. සිංහරාජේ අයිනටම ගිහින් තියනවා. ඇතුලේ ඇවිදලා නෑ. කූඩැල්ලන්ට නම් පණ බයයි. යන අයත් බය වෙනවා මගේ කෑගැහිල්ලට. ඒ උනාට අර මේස් දාගෙන යන්ට තමයි දැන් නම් කල්පනාව.:)

    වටිනා විස්තරයක්. ස්තූතියි සිරාට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩි කුමාරිහාමිටත්...

      මමත් බයයි පොඩි කූඩැල්ලන්ට නෙමෙයි... ජලාශ වල ඉන්න මී හරක් කූඩැල්ලො කියන ලොකු උන්ට...

      Delete
  14. අඩෝ පට්ට ස්කුටරේ...

    මම නම් එක පාරයි සිංහරාජෙ ගියේ. අනේ මන්දා එච්චර ගතියක් දැනුනෙ නැහැ. පොඩි කාලෙ නිසා වෙන්න ඇති :(

    ReplyDelete
    Replies
    1. පට්ට ස්කූටරේ ගැන වෙනමම පෝස්ටුවක් ඉදිරියට එනවා සෑමා..

      එච්චර ගතියක් දැනේනෙ නෑ එකම සතෙක් වත් දැක්කෙ නැත්නම්... ගස් වර්ග දැකලම ඇති වෙනවා ටික වේලාවක් ගියාට පස්සෙ...ඒත් ඒ ගැන අධ්‍ය්‍යනය කරන කෙනෙක්ට නම් එහෙම වෙන එකක් නෑ....

      Delete
  15. නියම සංචාරයක්ෙන.

    ReplyDelete
    Replies
    1. සංචාරෙ තව විස්තර ඊළග පෝස්ටුවෙන්....

      Delete
  16. හා..මෙයාල ගිහින් තියෙන්නේ අපේ ගම පහුකරගෙන නොවැ.. මාත් සිංහරාජේ ගියා කාලෙකට ඉස්සර..ඒ මතකයන් අලුත් උනා..මුලාවැල්ල කන්දට එහෙම නගින්න ඇතිනේ..අපිටත් ඔය කියන සිංහ ගලට නම් යන්න බැරි උනා..
    :D

    ReplyDelete
    Replies
    1. හානේ අපි දන්නෙ නෑ නොවැ ඔබේ ගමත් ඔය පළාත කිට්ටුව කියලා... දන්නවා නම් දවල් කෑමට එනවා.... මුලාවැල්ල කන්දට නැග්ගෙ නෑ... යෝධ නවද ගහ බලන්න විතරයි ගියෙ...

      Delete
  17. උඹල කිරිදිවැලින් නාවැටිය හන්දියෙන් හැරිල නේව අවිස්සාවෙල්ලට ගියෙ තල්දුවට වැටෙන්නේ ඔතැනින්.මචන් මමත් කලින් වැඩකරන ආයතනයේ වැඩකට ඔය පාරෙම රක්වානට ගියා ඔය උඹලගේ මගපෙන්වන්නා ලිච් සොක්ස් දාගන ඉන්නව නේද ඇත්තටම කූඩැල්ලන්ගෙන් බෙරෙන්න එක හොඳ ක්‍රමයක් දුවිලි ඇල්ලට යන කොට අපිත් ඔව පාවිචි කලා ඇත්තටම ඉස්තරම් චාරිකාවක් නියමයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ පාර තමයි... අපිට දූවිලි ඇල්ලට යන්න බැරි උනා නෙව අයහපත් කාලගුණය නිසා... අපි යන්න ඉස්සෙල්ලා සතියෙ කොල්ලො තුන් දෙනෙක් ගල් තලාවෙන් ලිස්සලා ඇල්ලට වැටිලා මළා කියලා ගම්මු කිව්වා... අපි ලගටම ගිහිල්ලා හැරිලා ආවා...

      Delete
  18. සිරා අයියෑ ස්කූටරේ තමා ස්කූටරේ කියන්නේ ! පට්ට !
    ඒක නෙමේ. සිරා කියන්නේ කොට මහත බුවෙක් නෙව.

    ReplyDelete
    Replies
    1. ඔය ස්කූටරේ ගැන වෙනම පෝස්ටුවක් ඉදිරියට එනවා ඒකත් බලන්න...

      කොට කිව්වට ඉතිං කොටම නෑ 5' 4" උස.. ඉස්කෝලෙ ඉන්න කාලෙ සෑහෙන්න මහන්සි උනා.. ඇත්ලටික් කලා, බෑන්ඩ් ගැහුවා.. ඊට පස්සෙ රැකියාවත් එක්ක ශාරීරික ව්‍යායාම අඩු වුන නිසා තමයි මහත් වුනේ... මගෙ පරණ ඡායාරූප දකිනකොට ආයෙත් ඒ වගේ ශරීරයක් හදා ගන්න ආසයි... බඩේ 6 pack තිබ්බ ඩිප්ස් 100 කට එහා එකදිගට ගහන්න පුලුවන්.. කිලෝමීටර් 10 විතර ගේමක් නැතිව දුවන ෆිට් කොල්ලෙක් සිරා ඒ කාලෙ... අදනම් මීටර් 100 දුවන්නත් අමාරුයි...

      Delete
  19. අපිත් ලඟදි ගියා සිංහරාජේ. හැබැයි ආපහු සැරයක් යන්න ඕනේ. කට්ටිය වැඩි නිසා පොඩ්ඩක් අවුල් වුනා. හරි හරි සිද්ධි තමයි වුනේ අපිටත්

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

      ඒ වෙච්ච සිද්ධි ටිකත් මම බලන්නම්...

      Delete
  20. වැඩේ නං anagie මචන්. මගෙන් සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තට ආවට...

      Delete
  21. නියම චරිකාවක්නේ. කහපාට කුරුල්ලා ගම්පහදි දැකල පුරුදුයි.

    ReplyDelete
    Replies
    1. නිතරම ගම්පහ පැත්තෙ කැරකෙනවා මේකෙන්...පිටිපස්සෙ ගෝණුස්සෙක් හිටියා නම් ඒ මේකම තමයි...

      Delete
  22. අනේ නියමයි හළු..:)
    ඔයා කෙට්ටු උනා නම් අරයා වගේ තමා,,ඇත්ත.ඇත්ත :) :)
    පින්තූර ටිකත් නියමා............යි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොමෙන්ටුවට... කෙට්ටුවෙන්න උවමනාව තිබ්බට හරිම කම්මැලියි කමක් තියෙනවා ව්‍යායාම කරන්න...

      Delete
  23. මේ සිරා අයියෙ ඔය ගමන් තව පොඩ්ඩක් දුර අවානම් අපෙ කූඩුව නෙ..
    ආයෙ එනව නම් කියන්න හොදේ........

    ReplyDelete
    Replies
    1. කූඩුව තියෙන තැන දැනගෙන හිටියා නම් අනිවාර්යෙන්ම එනවා... කොයි හරියෙද රොබින් කුරුල්ලා වෙසෙන්නෙ ?

      Delete
  24. මේ චාරිකා විස්තරෙන් මටත් එහෙ යන්න හිතුනා. ලංකාවේ මම නොගිය ඒක පලාතක් තමයි. ඒත් ඒ වටේ තියෙන බොහෝ ගම් වලට ගිහින් තියෙනව.

    ReplyDelete
    Replies
    1. ගිහිල්ලා නරඹන්න... ශ්‍රීලංකාව කුඩා භූමි ප්‍රදේශයක් වුනාට එහි උසස් ජෛව විවිධත්වය වගේම කලාප අනුව දේශගුණික වෙනසත් හොදින් අත්විදින්න පුලුවන් තැනක් සිංහරාජෙ...

      Delete
  25. අඩේ සිරා උඹ නම් මාර භාණ්ඩයක්!
    ස්කූටරේට වතුරත් ඉස්සනෙ වැස්ස කියලා පෙන්නන්න!:D
    මමත් ජීවිතේට දෙපාරක් ඔයවගෙස්කූටරයක් පැදලාතියෙනවා. එකක් Peugeot අනික Vespa . ඇයි සිරා ස්කූටර් වලට ආසා?
    අර ඉපැරණි යතුරු පැදි එකතුව දානකල් මේ ඉන්නෙ.
    පොඩි අනාවැකියක් කලොත්, එතන BSA,Triumph.Java, Norton තිබ්බා නේ?
    ජපන් චමියා උලු බෑවම ඔලුගෙඩිය බුලට් එකක් වගෙ නේහ්?
    අර කොළඹින් වෙන්කරගෙන එන්න ඕනෙ එකේ විස්තර දාමුකෝ. ෆෝන් නම්බර්ස් හෙම.අර S Birds වෙන එකක්නෙ නේද?
    අර දතා මල්ලිගෙ ෆෝටෝ එකේ සිරා ඇඳන් ඉන්න ඩෙනිස් ස්කර්ට් එක නම් මරු අප්පා!

    ඔන්න අපිටත් තාම යන්න බැරි වෙච්ච තැනක් - සිංහරාජය

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ස්කූටරේට ආකර්ශනය වුනේ ප්‍ර‍ධානවම එහි තියෙන අමුතු පෙනුම හින්දා Classic ගතියට. පදින්න පටන්ගත්තම දැනුනා අනිත් බයික් වලට වඩා සුවපහසුයි කියලා.. තවත් වාසි ගොඩාක් තියෙනවා ඒවා ඉස්සරහ පෝස්ටුවක ගොනුකරන්නම්.

      ඉපැරණි යතුරුපැදි එකතුවෙ BSA, Triumph වර්ග දෙක තියෙනවා... Java බයික් එකක් මම ස්කූටරේ හදන ගැරේජ් එක ලග අත්හැරලා දාලා තියෙනවා... Norton බයික් ගැන ඇහුවෙ අද.... අපි දන්නෙ ඒ නමින් එන ඇන්ටි වයිරස් ප්‍රෝග්‍රෑම් එක ගැන විතරයි.

      ජපන් චමියා ජපානයේ ඉන්නකන් හොදට කොණ්ඩෙ වැවෙනවා... මෙහෙ ආපුවහම කොණ්ඩෙ යනවා.. ඒකයි උළු ගලවලා තියෙන්නෙ... දේශගුණික ප්‍ර‍ශ්න...

      කොළඹින් බංගලා වෙන්කරන්න කථා කරන්න ඕනෙ දුරකථන අංක ඊළග පෝස්ටුවෙ එනවා. S Bird කියන්නෙ පෞද්ගලික එකක්... ඒ වුනාට එහි පහසුකම් රජයේ බංගලාවට වඩා ඉතාමත් ඉහළයි. අයකිරීම රජයේ එකට වඩා වැඩියි මම හිතන්නෙ...

      ස්ස්ස්... කාටවත් ඇහෙන්න කියන්න එපා.. හදිස්සියට ගත්තෙ ගෙදර ඇවිල්ලා බලපුවාම තමා දැක්කෙ ලේඩීස් ෂෝටක් කියලා... ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ... හෙන්රි අයියගෙ නෝනා නේද ඒ වග අදුනගත්තෙ ?

      Delete
    2. මේ හෙන්රියගෙන් කූබියෙකුටවත් නොපෙනි ඉන්ඩ හම්බෙන්නෑ.. මූට මාර ඇස් දෙකක්නෙ තියෙන්නෙ.. ඇත්තටම මම හොඳට දැකපු දෙයක් තමයි ඩූඩ්ගෙ නිරීක්ශණ ශක්තිය හරි ඉහලයි..

      Delete
    3. ඒ බව මටත් වැටහිලා තියෙනවා... ඇහේ පොට ගිහිල්ලද මන්දා...

      Delete
  26. මාත් ගිහින් තියෙනවා සිංහරාජෙ . හරිම විනෝදජනක ගමන . අර බෝට්ටුවේ යන එකටනම් හරිම බය හිතුන . අනිත් එක කූඩැල්ලෝ තමා ඉවසන්න බැරි .

    ReplyDelete
    Replies
    1. බෝට්ටුවෙ යන එක කිව්වෙ, සිංහරාජෙ ඇතුලෙ බෝට්ටුවෙන් යන්නත් පුලුවන්ද ? මම ඒ ගැන දන්නෙ නෑ... කූඩැල්ලන්ට ප්‍ර‍තිකර්මය පෝස්ටුවෙදි කිව්වා...

      Delete
  27. නියම පෝස්ට් එකක්...වටින කියන අතිරේක තොරතුරුත් එකතු කරපු එකනම් ගොඩක් හොඳයි..

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...
      ස්තූතියි ඔබේ අදහස් වලට...

      Delete
  28. ස්තුතියි යාලුවේ යමක් ලැබුනා මේ පෝස්‍ටුවෙන්. ජය..!

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ආවට සන්තෝෂයි..
      ලැබුනෙ මොනවද කියලත් කිව්වා නම් තමා වඩා හොද...

      Delete
  29. මමත් අපේ ගෙදර ඇත්තොත්..යාලුවො සෙට් එකකුත් ඔවුන්ගෙ බිරින්දෑවරුත් ලමය්ත් ගියා නිවාඩුවට පාසිකුඩා...! ඒ වුනාට වැඩි විස්තරත් පොටෝත් නැතිනිසා බ්ලොගේ දාන්න බැරිව ඉන්නෙ බං. උඹලගෙ බයිසිකල් සවාරියට ඉරිසීයයි බං.

    ReplyDelete
    Replies
    1. ගිය වසරෙ මමත් පාසිකුඩා ගියා... ඉතාමත් සුන්දර වෙරළ තීරයක්... ඔබ පෝස්ටුව ලියන්න ඡායාරූප මම දෙන්නම්...

      Delete
  30. එන්න පරක්කු වුනා පවර් කටි හින්දා, දවසකට කියවන්න පුළුවන් බ්ලොග් ප්‍රමාණය අඩුයි. දැන් අකුරුත් ගානට බොහොම ස්තූතියි ඒ වැඩේට.

    මම තාම සිංහරාජෙ ගිහිල්ලා නෑ, කිට්ටුවම ඉදලත්(සමහරවිට අමුත්තක් දැනෙන්නෙ නැති හින්දා වෙන්න ඇති)
    රත්නපුර - රත්ගග පාර මම හොදට දන්න පැත්ත, ඔයාලා ගියේ මීහිටියට ද ? මල්වලට ද ?

    ReplyDelete
    Replies
    1. පවර් කට් නම් යලි දැනුම්දෙන තුරු නැවැත්තුව කියලා පාට ලී ඇමතිතුමා කියනවා...

      මේ වනන්තරයට නිරන්තර වර්ෂාව ලැබෙන නිසා... කිසිම කෙනෙක් සැගවී සිටින්න පාවිච්චි කරලා නෑලු... වැදි ජනවතාව වගේම කොටි ත්‍ර‍ස්තයොත් ඊට ඇතුලත්, අයියලගෙ ව්‍යාපාරෙ අය එහෙමත් ඒ කාලෙ සිංහරාජෙ ඉහත කාරණේට පාවිච්චි කලාද ?

      අපි ගියෙ මල්වලට... ජයතිලක ලි මුදලාලිගෙ ගෙදර...

      Delete
  31. සිරාගේ දඩුමොණරේ තමා මරු සිරාගේ ගාණටම හරියනවා
    “ට්‍රිප්“ අවතාර්ගේ සද්දකෝසේත් නිතර තියන වචනයක්

    ReplyDelete
    Replies
    1. දඩුමොණරෙ නම් ගානට සෙට් වෙනවා තමා... ඉතිං බොලා ලා ළගකදි ගිය ට්‍රිප් එහෙම නැතෙයි පෝස්ටුවක් ලියන්න...

      Delete
  32. ඉඳලා හිටලා ඇවිල්ලා බ්ලොග් එකක් දෙකක් බලලා ගියත්, පටන් ගත්ත වෙලාවේ ඉඳන් අවසානය දක්වා පෝස්ට් එක ආසාවෙන් කියවන බ්ලොග් දෙක තුනෙන් එකක් සිරාගේ කාමරේ..

    මාත් සැහෙන්න ආසාවෙන් ඉන්නේ සිංහරාජේ යන්න.. වරක් පිවිසුම ලඟට ම ගිහින් හැරිලා ආවා වෙලාව මදි වුණු නිසා.. ආයෙත් පාරක් බලන්න ඕන!!

    සිංහරාජේ ගහින් ආවා වගේ හැගීමක් ආවා..
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රැංගෝ ඔබේ ඇගයීමට

      අද සිංහරාජෙ ගේට්ටුවෙන් ඇතුලට ගියා විතරයි... ඊළග පෝස්ටුවෙන් තමා කැළේ ඇතුලෙ ඇවිදින්නෙ... ඒකත් කියවන්න එන්න... ඔබටත් ජය!

      Delete
  33. ඈ.. මගේ කමෙන්ට් එක නෑ. කමක් නෑ. මේ ටිකේම මට තියන ගැටළුවක් ඔය.

    වටින චාරිකා සටහනක් සිරා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේක වටිනවා. නතර වෙන තැන ඉඳං මං සලකුණු වගේම මග දිගට කතන්දර එක්ක කූඩලු කරදරෙන් මිදෙන්න ගන්න ඕනේ දේවල් ගන්න තැන පවා මේ සටහනේ තියේ..

    සුපිරි උත්සාහයට මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. ක්සැන්ඩර් සහෝදරයා මම Spam වලත් බැලුවා... එතනත් නෑ... හැබෑටම ඔබේ කොමෙන්ටුවට මොකද උනේ ?

      සිරා එහෙමයි... වල් පල් අඩුවෙන්... ප්‍රයෝජනවත් දේ වැඩියෙන්...

      වරදවා වටහා ගන්න එපා..මම කොමෙන්ටුව මැකුවෙ නෑ...හොදේ...
      ඔබේ අදහස් වලට ගොඩාක් ස්තූතියි.... ඊළග කොටසත් බලන්න...

      Delete
    2. පිස්සුද සිරා.. මැකුවා කියලා හිතන්නේ මොකෝ.. :)

      මේ ටිකේම මට ඔහොම සිද්ධි කීපයක්ම වුනා. මම හිතන්නේ බ්‍රවුසරේ අවුලක් වගේ.

      Delete
  34. සිත් ඇදගන්නා විදියට ලියලා තියෙනවා හැමදාමත් වගේ... මෙදා පොටේ පින්තූර මදි වගේ තාම කැලේ ඇතුලට ගියෙ නැති නිසා වෙන්නැති නේද... මම තාම සිංහරාජෙට ගිහින් නෑනේ.සිංහරාජෙත් පැත්තක් පාරක්ද මොකක්දෝ හදන්න ඩෝසර් කලා කියලා ආරංචියි ඒ ගැනත් විස්තර බලාපොරොත්තු වෙනවා.ඔක්කොටම වඩා අර යෝධ පුස් වැලේ පොටෝවක් එහෙම ඇතිනෙ නේද??

    //ජපන් චමියාට ඇත්තේ ජපාන ක්‍ර‍මයට හුරු පුරුදු වූ ගති ගුණය... වෙලාවක් කිව්වොත් හරියටම තත්පරේට ඔහු එතනය. //

    මම නම් අම්බානක බැනුම් අහලා ඇති ඔය ප්‍රමාද වෙන කේස් වලට.හැබැයි මම කලින් ගියොත් එකෙක් එන්නෑ වෙලාවට.එතකොට උන් කියන්නේ උඹ පරක්කු වෙන නිසයි අපි පරක්කු වුනේ කියලා...

    බයික් කියන්නේ මම ආසම නැති වාහනයක් අප්පා... මාව හප්පපු තරමක් හප්පලා තියෙන්නේ බයික්ම තමා.දැන් වුනත් බයික් එකක ගියොත් යන්නෙ හැප්පෙන්න බලාගෙන මගෙ බරත් එක්කද මංදා මම නැග්ගම බයික් එක control නෑ එලවන එකෙක්ටවත්...

    ReplyDelete
    Replies
    1. ගැමියා මොකද මේ දවස්වල සද්දයක් බද්දයක් නැත්තෙ ?

      දෙවැනි කොටසෙදි ඡායාරූප රාශියක් තියෙනවා... යෝධ පුස්වැලක් ගැන නම් දන්නෙ නෑ.. ඒ වෙනුවට යෝධ නවද ගහේ ඡායාරූප බලන්න පුලුවන්...

      බයික් එක කියන්නෙ සිරාම වාහනයක්... වාහන වල යන්න බැරි ඕනෙ බඩකඩිත්තුවක අඩු වියදමෙන් යන්න පුලුවන් එකම මදිද...

      ගැමියා නැග්ගම බයික් ඔච්චරම හැප්පෙනවා නම් පදින උන් භයේ පදිනවා ඇත්තෙ...

      Delete
    2. ගැමියෙක් මොකද එච්චර බර

      Delete
    3. ගැමියා ගමේ වැවෙන අල,බතල,කොස්,පොලොස් කන හින්දා වෙන්න ඇති..

      Delete
  35. අඩෝ මචං මටනං ඉරිසියාවේ බෑ බං උබලා පට්ට ආතල් එකක් අරගන.
    (සතූට සහ දැනුම)

    ReplyDelete
    Replies
    1. අප්පට කාලයකට පස්සෙ අටම් මේ පැත්තෙ...

      හා හා ඉරිසියාව තහනම්... පට්ට ආතල් ගන්න ඕනෙ නිසා තමයි සිරා බදින්නෙ නැතුව ඉන්නෙ ඕං....

      Delete
  36. අනේ බන් බයිසිකලේක ඔච්චර දුරක් කොහොමද යන්නෙ.. මටනම් කිලෝ මීටර් දහයක් පහලවක් යනකොට පස්ස පැත්තෙන් දුන් දාන්ඩ ගන්නවා..

    ReplyDelete
    Replies
    1. තනියෙන් යනවා නම් මෙච්චර දුරක් එපාවෙනවා ෂුවර්... ඒත් කිලෝමීටර් 25 - 30 කට වරක් නැවතිලා තමයි යන්නෙ... ඒ නිසා පස්ස පැත්තට අවුලක් නෑ...

      Delete
  37. නZයා සමාවෙයන් මචන්...බ්ලොග් එක පැත්තේ එන්න පරක්කු වුනා.. උබ පොස්ට් 3 ම දාලානේ ....එල එල ... උබට මටක මන්ද school එකේ 9 හෝ 10 වසරේ ට්‍රිප් එක සිංහරාජෙ ගියා.. ඊට පස්සේ යන්න බැරි වුනා බං.. උබේ පොස්ට් එක කියවුව්හම දැන් ඉතින් ආයේ ගියා වගේ තමයි..(What happen to ghost rider picture)

    අපරාදේ ගියා පාර ලංකාවට ආව උබව හම්බ වෙන්න බැරි වුනා... අපේ එවොං දැන් සෙට් කරගන්න තියන අමාරුවක් බන්..Phone Numbers දැන් වැඩ කරනෙන් නෑ... එක්කෝ ලංකාවේ නෑ..

    ඇතත්තමයි පොස්ට් එක කියව්හම ආයි යන්න තරම් ආසාවක් ඇති වුනා... බලමු දැන් ඉතින් පවුල් පන්සල් වෙලා නේ..

    මුණු පොතේ ඉන්න වෙලාවක වැඩිපුර කතා කරමු...(Comments Type කරන්න තියන අමාරුවක් බන් සිංහලෙන්)

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මයික් මේ පැත්තට ආවට...

      ඔය කියන පාසලෙන් ගිය චාරිකාවට මම සහභාගී වුනේ නෑ... ඒ නිසාම මම හාපුරා සිංහරාජෙට ගියෙ මේ සැරේ....ආයෙත් ලංකාවට එන දවසක එන්න කලින් සද්දයක් දාගෙන වරෙන්.... ජය!

      Delete
  38. බයිසිකල් ට්‍රිප් යන්න මාත් හරිම කැමතියි. පහුගිය අවුරුද්දේ මමයි හාමිනෙයි ගාල්ලේ ඉඳන් නුවරඑලියට බයික් ට්‍රිප් එකක් ගියා. මුලුගමනටම කිලෝමීටර් හත්සිය ගානක්. ඉස්සරහට එකේ විස්තරේ මගේ බ්ලොග් එකේ දාන්නම්.

    ReplyDelete
    Replies
    1. අද තමයි ඔන්න මේ කමෙන්ටුව ඇහැ ගැටුනෙ...දැන් නම් විස්තරේ ලියලත් ඇති.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...