Thursday, August 27, 2015

46 අපේ කිතුලා


කිතුලා යනු සිරා කොලුවාගේ අතිජාත මිත්තරයෙකි. කිතුල්වත්ත යනුවෙන් තිබූ වාසගම කිතුලා ලෙස ලොප් වී තිබේ. එදා මෙන්ම අදත් කිතුලා වෙනස් වී නැත. වර්තමාන සමාජය හා සසඳා බලන කල කිතුලාගේ ගතිගුණ ඇති තරුණයන් ඉතාම දුර්ලභය. සමාජයට කිසිම හානියක් සිදු නොකරන. මිතුරන්ට කඳිම මිතුරෙකු වන, දුකේදී මෙන්ම සැපේදීත් එක ලෙස ලඟ සිටින කිතුලා වැනි මිත්තරයෙකු ලැබීම සිරා කොලුවා පෙර ආත්මයක කල පින් පල දීමකි.

අපේ කිතුලා දෙස අංශක 153 දශම දෙකේ කෝණයෙන් බැලූ විට අසාමාන්‍ය ගති ලක්ෂණ කිහිපයයක් පෙනෙයි. මේකාට කිසි දිනෙක තරහා ගොස් නැත. කිසිම ලෙසකින් තරහා යන්නේ නැති මිනිසුන් මේ ලෝකයේ සිටීයැයි ඔබ විශ්වාස නොකරන බවට සැකයක් නැත. එහෙත් කිතුලාගේ ගති ලක්ෂණ දුටු විට ඔබ මවිත වෙනවා නිසැකය.

සිරා කොලුවා සිස්සත්තයෙන් පසු ඇතුල් වූ පාසලේ මුල් කාලයේ සිටම කිතුලා අකුරු කෙරූ මුත් අපි එකිනෙකා ආශ්‍රය කරන තරමට හිතවත් වූයේ උසස් පෙළ කඩ ඉමට පැමිණි පසුවයි. රජයේ සේවකයන් දෙපලකට දාව පවුලේ එකම දරුවා ලෙස ඉපදුන ඔහුට දෙමාපියන් උපරිම රැකවරණ යෙදීය. උසස් පෙළ අවධිය වන විටත් පාසල් වෑන් රථයක ආගිය අපේ එකම මිතුරා කිතුලාම වූවේය. ඒ නිසාම ඒකා නොයෙක් වර අනෙක් උන්ගේ සරදමට ලක් වූ බව මට මතක තිබේ.

අප උසස් පෙළ පන්තියට ආ කාලයේ රජයේ පෙළපොත් සමග ඉංග්‍රීසි සඳහා වෙනම පොතක් සහ කැසට් පට දෙකක් බැගින් ලැබුනි. ඉංග්‍රීසි පාඩම් පොතේ තිබූ ඇතැම් ඉංග්‍රීසි ගීත මේ කැසට් පට වල අන්තර්ගත විය. අපේ තවත් මිත්තරයෙකු වූ පුෂ්පයා අධ්‍යාපනය ලැබුවේද කිතුලාගේම පන්තියේය.

කිතුලාගේ අත්වැරදීමක් නිසා පුෂ්පයාගේ කැසට් පට අන්තරස්දාන  වී තිබේ. කුකුල් කේන්ති කාරයෙක් වූ පුෂ්පයා දිනක් පාසල් විවේකයේදී මුව පෝතයෙකුට වඩා අහිංසක කිතුලාග‍ේ ඇගට කඩා පැන්නේ මේ සිදුවීම පාදක කරගෙනය. එහෙත් ඒ වෙලාවේ පුෂ්පයාගේ තරහා පිළිබඳ මෙලෝ සංසාරයක් නොදන්නා අප මේ දෙදෙනා වට කොට සිට ගත්තේ, කිතුලා  සමග තරහා ගන්නා කිසිම එකෙකු ඒ වන විට පාසලේ නොසිටි හෙයිනි.

පුෂ්පයාගේ මුහුණේ අබ පපුරා යද්දී කිතුලා වෙනදා මෙන්ම නිසොල්මනේ බලා උන්නේය. ඒ බැල්මෙන් අනෙකාගේ කෝපය තවත් ඉහ වහා ගිය නිසාදෝ පුෂ්පයාගෙන් කිතුලාගේ අහිංසක මුහුනට වේගවත් පහර දෙකක් එල්ල වූවේය. එහෙත් ඉන් පසු ක්‍රියාත්මක වූ නරඹන්නන් ප්‍රති මල්ලවයන් දෙපසට කොට සටන නිම කලහ. ඒ අවස්ථාවේවත් කිසිම කෝපයක් පල නොකල කිතුලා අඩුම තරමේ පහර වලකන්නට හෝ අතක් එසවූයේ නැත.

කිතුලා වැනි උපන් ගෙයි අහිංසකයෙකුට අත එසවීම වරදක් බව පුෂ්පයාගේ හෘද සාක්ෂිය දිගින් දිගටම බැට දීම නිසාදෝ සිද්ධිය වූ දිනට පසු දින ඒකා කිතුලාගෙන් සමාව භජනය කළේය. මේ සිදුවීමෙන් පසුවත්  කිතුලා කිසිම වෙනසක් නොමැතිව පුෂ්පෙ කොලුවා සමග පයුරු පාසානම පවත්වාගෙන ගිය අන්දම දුටු විට ඒකා අරුම පුදුම මිනිසෙකු යැයි මට මුල්ම වතාවට ඒත්තු ගියේය.

කිතුලාගේ මව රජයේ පාසලක ගුරුවරියකි. පියාද රජයේ සේවකයෙකි. මේ දෙදෙනාම ඉතාමත් අහිංසක අයවලුන් වූ නිසාදෝ කිතුලාද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතාමත් අහිංසක එකෙකි. කිසිම දිනයක තරහා නොඑන එකෙකි. ඔහු‍ගේ දෙමාපියන්ගේ සෞඛ්‍ය තත්වය හෙතෙම උ/පෙ කරන අවදිය වන විටම නරක අතට හැරීම නිසා නිවසට අවැසි දෑ ගෙනයන්නට ගම්පහ එළවළු මාරකැට්ටුවට ආවේ ගියේ කිතුලාය. සතියකට දෙකකට සෑහෙන එළවළු මල්ලකුත් රැගෙන ගෙදර යන ගමන් කිතුලා සමහර විටෙක අපේ නිවසට ගොඩ වඳින්නේ හුග දවසකින් මා නොදුටු නිසා පැමිණි බව කියමිනි. ඒකාගේ සමාගමය මම කවදත් ප්‍රිය කලේ කිතුලා හදවත ඇතුලෙන්ම සුන්දර පුද්ගලයෙකු බව ඒ වන විටත් මවිසින් හදුනාගෙන තිබූ බැවිනි.

කිතුලා උසය. සුදු මැලිය. කම්මුල් දෙක මඳක් යටට නෙරගොස් තිබේ. කොන්ඩයට පිළිවෙලක් නැත. එහෙත් ඒකා අශෝභන එකෙකු නොවේ. සිරා කොලුවා ඇතුලු අවශේෂ මිත්තර කැළ උසස් පෙළ විභාගය ජය ගන්නට ගම්පහ පොත්ගුලේ පාඩම් කරන සමයේ කිතුලාගේ මව විසින් සකසා දෙන කෙහෙල් කොල බත් මුලේ රසය වාර සිය ගනනක් අප විසින් විඳ ඇතුවාට සැක නැත.

සමවයසේ අනෙක් තරුණයන් මෙන්ම කිතුලාටද පෙම් සුවඳ දැනෙයි. පාසල් යන සමයේ මෙන්ම වර්තමානයේත් කිතුලාට පෙම්වතියක් නැත. එහෙත් තම සිත් ගත් යුවතියන්ට වදයක් වන තරමට කිතුලා ඔව්හු පසුපස ආදරය ඉල්ලමින් ගොස් තිබේ.

අපේ කිතුලා ඩෙනිම් කලිසම් අඳින්නේ නැත, ටී ෂර්ට් අඳින්නේ නැත, කොණ්ඩය ජෙල් කර බම්ප් එක තබන්නේද නැත. පැෂන් යන වචනය කවදාවත් නොඇසූ ගානය. කොටින්ම මේකා වර්තමානයේ ජීවත් වුවත් පෙනුම 80 දශකයේ වැනිය. එහෙව් කිතුලාට කැමැත්ත ගත හැකි වන්නේ ගැමි කමට හැදුන වැඩුන, විච්චූරණ නැති ගම්බද යුවතියකගෙන් වුවත් මේ හාදයා ඇවිදින සැලූන් වැනි නූතන විලසිතාවන්හි ඇලී ගැලී සිටින තරණියන්ටම පෙම් බැන්දේය.

අප මිත්‍රයා ජීවත් වන්නේ ප්‍රධාන බස් මාර්ග වලට ආසන්න මාර්ගයක නොවේ. ප්‍රධාන මාර්ගයේ සිට විශාල දුරක් මේ නිවසට වෙයි. ඒ නිසාම පා පැදියේ පිහිට පතා බස් මාර්ගයට ලඟා වන්නට ඔහුට සිදු වෙයි. එහෙමත් නැති නම් ගම මැදින් සීමිත වාර ගනනක් ධාවනය වන ග්‍රාමීය බස් සේවයේ පිහිට ලබාගත යුතුය.

මෙන්න මේ බස් රථයේ ඉඳ හිට ආගිය ප්‍රදේශයේ බලවත් මෙන්ම ධනවත් ව්‍යාපාරිකයෙකුගේ පාසල් යන දියණිය කෙරෙහි කිතුලාගේ සිතේ ආලයක් ඉපදුනි. ඇය කිතුලාට කිසි ලෙසකින් ගැ‍ලපෙන එකියක් නොවූවාය. කොයිවේලාවෙත් දෙකට කැඩුන පණුවෙකු මෙන් දැගලිල්ල ඇති, විලාසිතාවන්ට ඇබ්බැහි උන මේ කෙල්ලට දැන් අපේ කිතුලා වහ වැටිලාය.

බස් රථයේ එන යන ගමන් කිතුලා මූලික අඩිතාලම දමාගෙන සපෝටර් චරිත නැතිවම කෙලින්ම ‍ඩිරෙක්ට් මේ කෙල්ලගෙන් කැමැත්ත විමසා තිබේ. බැලූ බැල්මට ගොඩේ බයියෙක් ලෙස පෙනෙන කිතුලාට කිසි ලෙසකින් කැමති නැති බව ඇය පළමු දෙවන තෙවැනි වාරවලත් කිතුලාට කියා තිබුනත් අාලයෙන් මත් වී මග හසර නොදැන වල්මත් වී සිටි කිතුලාට එය වැටහී නැත.

බස් රථයේ යනවා නම් කොහෙදෝ යන මල හෝන්තුවක් තමා පසුපස එන බව බැරිම තැන කෙල්ල තම පියාට පවසා තිබේ. මේ බස් අසා කිපුන පියතෙම තම දියණිය බසයෙන් බසින ස්ථානය ආසන්නයේ ව්‍යාපාරික ස්ථානයක හොර ගල් අැහිලූ බවක් අසරණ කිතුලා මේ කියන දිනයේ දැන උන්නේ නැත.

සිරිත් පරිදි සෙම හලමින් කෙල්ල සමග බසයෙන් බැස ගත් කිතුලාට වැඩි දුර යන්නට ලැබී නැත. ඒකාගේ ගමන් මගට කඩිමුඩියේ පැනගත් දැරිවියගේ පියා කිතුලාගේ බෙල්ලට මන්න පිහියක් හේත්තු කොට...නැවත වතාවක් තම දියණිය ලුහුබැඳ ආදරය ඉල්ලා තිබුනහොත් තීන්දු ගමන් යවන බවට පරසක්වල ගසා ඇත.

අහිංසක කිතුලා මේ සිදුවීමෙන් විශාල කම්පනයකට ලක් වී සිටි බව මා මෙන්ම ඔහු වටා එකල උන් හැම එකාටම දැනුනි. අපි අපට හැකි ලෙස උගේ හිත හැදුවෙමු. තවත් දෙතුන් දෙනෙකු කෙල්ලගේ තාත්තාට පාඩමක් ඉගැන්වීමටත්...තවත් අයෙක් කෙල්ල කිතුලාටම ජෝඩු කරන සැලසුම් ආදිය පිළිබඳ කථිකා කලත් මේ කිසිවක් සිදු නොවීය.

කාලයේ අවසානයේ පාසල් අධ්‍යාපනය නිමකොට අපි විවිධ මාවත් ඔස්සේ විසිර ගියෙමු. තම දෙමාපියන් මෙන්ම රජයේ සේවකයෙක් වන්නට කිතුලාට තිබුනේ පුදුමාකාර ආශාවකි. අවසානයේ ඔහු තම ඉල්ලක්කයට ලගා වූවේය. අප සියලු දෙනාටම ප්‍රථම කිතුලා රජයේ සේවකයෙකු ලෙස ස්ථාවර විය. තම ප්‍රථම වැටුපෙන් ඔහුගේ කිට්ටු මිතුරන් වූ අප සැමටම කිතුලා තෑගි භෝග ලබා දුන්නේය. මා හට ලැබුනේ කලිසම් රෙද්දකි. කිතුලා මෙන් මම ටේලර් මහතෙකු ලවා කලිසම් මස්සවා අඳින්නේ නැති වුවත් කිතුලාගේ ත්‍යාගය දෝතින්ම භාර ගතිමි.

අපේ මිත්‍රයා රැකියා ජීවිතය තුලදීද නොයෙක් වර  වරත්තු කෙල්ලන්ගේ බයිට් එක බවට පත් විය. උවමනාවට වඩා අවංක වීමත්, අහිංසක වීමත් වර්තමාන සමාජයට අනුව දුර්වලතා වෙති. උගේ අවංක කමත් අහිංසක කමත් උපයෝගී කරගෙන මේ කෙල්ලන් කිතුලා නැටවූහ.  ඒකාට ප්‍රේම දැල එලන බවක් ව්‍යාජව පෙන්වා ඔව්හු නොයෙක් වරදාන ලබා ගත්හ. අසරණ කිතුලා මේ ඇත්තියන් තවත් එකෙකුගේ පෙම් වතියක් වනතුරාවට තෑගි භෝග දෙමින් ඔව්හු ආරක්ෂා කළේය.

අතීතයේදී මා මෙන්ම කිතුලාත් තවත් මිතුරන් කීප දෙනෙකුත් රැකියා සඳහා කොළඹ ගියේ දුම්රියෙනි. අපි විවිධ මාර්ග වල ධාවනය වන බස් රථ වලින් ගම්පහ නගරයට පැමිණ දුම්රිය නැවතුමට පැමිණි අය වෙමු. දුම්රියේදී හිතට වදින කාන්තා රුවක් දුටු විට කිතුලාට උන් හිටි තැන් අමතක වෙයි. අප සියලු දෙනාම දුම්රියෙන් බැස ගිය පසුව තම ගමනාන්තය දක්වා කිතුලා ගමන් කලේ තනිවමයි. මෙවැනි විටෙක ඒකාගේ හිත ගන්නා කුමන හෝ යුවතියක් දුම්රිය මැදිරියේ සිටියේ නම් ඇගේ ගමනාන්තය දක්වාම කිතුලා ගමන් කරන්නේ රැකියාවට වාර්තා කරන්නට ඇති බවද අමතක කරමිනි.

ඔයින් මෙයින් අපේ පුෂ්පෙ කොලුවා බොහෝ අමාරුවෙන් දහ අතේ වැඳ සැට් කරගත් යුවතියක් සමග දීගෙක ගියේය. මගුල අපේ එකෙකුගේ නම් උන්ගේ නිවාස සුද්ධ පවිත්‍ර කොට අලුතින් තීන්ත අලේප කරන්නේ අප විසිනි. මේ කටයුතු උදෙසා කිතුලාගේ සහායද නිරතුරුවම ලැබේ.

පුෂ්පෙ කොලුවා පැණි හඳ කාරිය අනුභව කොට නැවත නිවෙස් බලා පැමිණි උත්සවයෙන් පසු දින උගේ නිවසේ මිත්තරයන් වෙනුවෙන් මධුවිත සාදයක් තිබුනේය. මේ සාදයට අමද්‍යප සංගමයේ ප්‍රාදේශීය කළමනාකරුවෙකු වූ කිතුලාද ආරාධනා ලැබ තිබුනි.

අප සමග කිසි දිනයක විනෝද චාරිකාවක් යන්නට එකතු වී නැති, නිවසට බොරුවක් කියා මධුවිතක් සමග එකතු වී නැති කිතුලා දැන් අපට සම්මුඛ වී හිඳගෙන සිටියි. පුෂ්පයාගේ මස්සිනා හිටපු යුධ හමුදා නිලධාරියෙකි. ඔහුගේ දැඩි ඉල්ලීම නිසාම කිතුලාට අකමැත්තෙන් හෝ බියර් ටිකක් වත් කරගන්නට සිදු වී තිබේ.

වට පිට බලා ලැජ්ජාවෙන් මෙන් වීදුරුවක් අතට ගත් කිතුලා එයට බියර් වත් කළේය. ඒ ජීවිතයේ පළමු වතාවට විය යුතුය. පුෂ්පයාගේ නිවසේ වහළ යට රහමෙර සමග ගණුදෙනු කරන අප ඒවායේ සැර බාල කරන්නට සැන්ටින් යොදන ආකාරය කිතුලා දුටුවේය. ඒ මාවතේ ඉදිරියට ගිය හෙතෙම අඩක් පිරුන බියර් වීදුරුව තුලට සැර බාල කිරීමේ අදහසින් අපේ සැන්ටින් වත් කළේය.

ඒ සමග නැග ආ සිනහව අප කවුරුත් වළක්වාගත්තේ ඉතාම අපහසුවෙනි. කිතුලාට මම එදා බියර් පානය කරන ආකාරය, වීදුරුවට වත් කරන ආකාරය වැනි කාරණා ගැන දැනුවත් කළෙමි. ඒ මෙවැනි කැත සිද්ධියක් උගේ ආයතනයේ සාදයකදී සිදු උනා නම් කිතුලාට නැවත රැකියාවට යන්නට සිදු නොවන වග මගේ අක්මාවට දැනුන නිසාවෙනි.

කිතුලාගේ ඇතැම් ගතිගුණ පුදුම සහගත ඒවාය. රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලඟපාත එයි නම් ඊට දිනකට දෙකකට කලියෙන් අප අමතන කිතුලා අහවල් දවසට අපේ ගෙදර පැත්ත පළාතක නොයන ලෙස ඉල්ලා සිටියි. ඒ අපේ නම විකුනා කිතුලා යුවතියක ලුහු බඳින්නට ඒ දවස වෙන්කරගෙන සිටින හෙයිනි.

තම පා පැදිය කොහේ හෝ දමා ගම්පහ නගරයට ගොස් පැමිණ එය නැවත රැගෙන යාමට ප්‍රථම පාපැදියේ ඇණ මුරිච්චි අතින් අල්ලා බුරුල් වී තිබේදැයි බැලීම කිතුලාගේ ජන්ම පුරුද්දක් වැනිය.

වෙසක් සඳ යට සිරා කොලුවාගේ දකුණතේ පුංචි ඇගිල්ල ආබාධයට ලක්කල බයිසිකල් අනතුර ගැන මම බොලාට කියා තිබේ. එදා අනතුරට ලක් වූ පුටාරාව මේ ගොයියාගේය. ඒකාගේ හිත මොන තරම් හොඳද කියනවා නම් මා හට වෙද මහතා හමුවීමට යාම සඳහා යම් මුදලක්ද මගේ විරෝධය නොතකාම අතෙහි තැබුවේය.

අපේ කථානායකයාගේ නිවසේ වූයේ කිලෝ දෙකකට මඳක් වැඩි කුඩා ගෑස් සිළින්ඩරයකි. සාමාන්‍ය ගෑස් සිළින්ඩරයක් නිවසේ තබාගන්නා ලෙසට අප කෙතරම් කීවත් කිතුලා එය කණකට ගත්තේ නැත. මේ කුඩා සිළින්ඩරය මාස් පතා අවසන් විය. අලුත් සිළින්ඩරයක් මිළදී ගනු පිණිස තුන් රෝද රථ වෙත ඒකා මාසිකව ලබාදුන් මුදලින් කිතුලාට ගෑස් කඩයක් දාන්නට තිබුනා නේදැයි මට විටෙක සිතෙයි..

සිරා කොලුවා රට පැටවීම පිණිස ලංකාවෙන් සමුගන්නට ආසන්න දිනයක ඒ පිළිබඳ දැනගත් කිතුලා තකහනියේම අප නිවසට පැමිණ ඒ පිළිබඳ විමසා, උන්ගේ පන්සලේදී පිරිත් නූලක් බදින්නට මා රැගෙන ගියේය. තවත් දවසක මගේ ගමන උදෙසා අවැසි දේ ගන්නට ත්‍යාග වව්චරයක් තිළිණ කළේය.  එදා සිට මේ දක්වා වසර 3 කට ආසන්න කාලයක් ගත වී තිබේ. එහෙත් කිතුලා තවමත් එදා වාගේමය. ඩෙිනිමක් ටී ෂර්ට් එකක් අඳිනවා තබා හිතන්නේවත් නැත. ඒ උනාට ආදරය කරන්නේ නම් ඒකාට කිසිලෙසකින් ගැලපෙන්නේ නැති විච්චූරණ සරුංගල් වලටය. කොතෙක් කීවත් ඒකා හැදෙන්නේ නැත.

එදා මෙදාතුර කිසිම අවස්ථාවක තරහා ගොස් නැති, කිතුලා වනාහි අමුතුම පුද්ගලයෙකි. මිත්‍රත්වයට සම්පතකි. මේ මිතුරු දම බොහෝ කල් යෙහෙන් වැජබෙන බවට මා හට සැකයක් නැත. සිරා කොලුවා එක හුස්මට මේ අහිංසකයා ගැන බො‍හෝ දේ මේ ලිපිය තුල ලියා තිබේ. තවත් දෑ ලියන්නට තිබුනත් නිදිබර නෙත් කෙවෙනි එයට ඉඩක් දෙන්නේ නැත.  කිතුලාගේ පරිජේදය මෙතකින් අවසන් කරන්නේ ඒ නිසාමය.



මම කාමරේ අරින සිරා කොලුවා. 

46 comments:

  1. මගේ යාලුවෝ තුන් හතර දෙනකම කිතුලා ඇතුලේ ඉන්නවා.. නම, (ලේසියෙන්) තරහ නොයන කම, පොඩි කාලේ ඉඳල එක පන්තියේ ඉඳලා උසස් පෙලේදී සෙට් වීම වගේ ඒවා ගත්තම..
    හොඳ මිත්තරයෝ සමහර වෙලාවට හරිම දුර්ලබයි හොයා ගන්න.. කිතුලාව අතාරින්න එපා..

    ReplyDelete
    Replies
    1. කිතුලව කවදාවත් අත අරින්නෙ නෑ. කිතුලගෙ හිත පොඩි එකෙකුගේ වගේ නිර්මලයි. අපි පොඩි දරුවන්ට ආශා ඒ හිත්වල කුහකකම , බොරුව, ඊෂ්‍යාව වගේ දේ නැති හින්දයි. කිතුලත් අන්න ඒ වගේම කෙනෙක්. පොඩි දරුවො දෙවියන්ට ලගයි කියලා කියමනක් තියෙනවනෙ. ඒ කියමන මම හිතන්නෙ කිතුලා වගේ කෙනෙකුටත් අදාලයි. මේ වර්ගයෙන් මට ඉන්න එකම මිත්‍රයා කිතුලා.

      Delete
  2. ඔහොම යාළුවො හරි අඩුයි සිරා. ඕනවට වඩා අහිංසක වෙන්නත් හොඳ නෑ කියන්නෙ ඔන්න ඕක තමයි. නයා සිල් ගත්තත් ටිකක් හරි පෙනේ පිප්පුවෙ නැත්නම් ගෑනු උගෙන් දරමිටි බඳිනවා කියනවානෙ.

    ReplyDelete
    Replies
    1. "පෙනේ දියං නයිහාමි..." කියලා කපුගේ ගෙ සිංදුවක් මතක් උනා.

      Delete
    2. ඇත්තටම කිතුලට ගොඩාක් වෙන්නෙ පාඩු...ඒ හිත හොඳ වැඩි නිසා....උගෙ හිතේ අහලකවත් කපටිකම වංචාව නෑ. මොන පාඩුව උනත් කිතුලා එදා වගේම තවමත් හිනා වෙලා ඉන්න එක තමයි පුදුමෙ.

      කපුගේගෙ එහෙම සින්දුවක් මම අහලා නෑනෙ ඩ්‍රැකියො.

      Delete
    3. "නාකොල අන්දම් පෙණ නොවටින්නේ - බෝකොල අන්දම් පෙනේ දියන්නේ" කියලා පටං ගන්නෙ.

      Delete
    4. මෙන්නෝ ...

      නාකොළ අන්දම් පෙණ නොවටින්නේ
      බෝ කොළ අන්දම් පෙණය දියන්නේ
      පෙණේ නැතිව අපි කොහොමද ඉන්නේ
      සමා වෙයන් නයි හාමි
      දර මිටි බඳිනා කඹය කියා වී
      දරණුව හදලා වළඳ තියා වී
      කැබිලිති අරගෙන ගැරඩි නටා වී
      පෙණය නැතුව අසරණ වේවී‍
      පෙණේ දියන් නයි හාමී
      ඉහින් කනින් විෂ වැගිරෙන ලෝකේ
      විෂෙන් උඹේ ඵල නැති වග තේරේ
      සුරම්‍ය වූ මේ සර්ප විමානේ
      හොඳින් ඉන්න අපටත් සන්තෝසේ
      පෙණේ දියන් නයි හාමී

      පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය සහ ගායනය - විශාරද ගුණදාස කපුගේ

      https://www.youtube.com/watch?v=hUAl1-2Y6XA

      Delete
  3. අපූරු යාළුවෙක් ...ඒ වගේ් අය වැටි පුර නැති හංදා සිරාකොළුවො යාළුකම හුඟක් වටිනව

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම හොඳම යාලුවෙක්...විශේෂයෙන්ම දුකේදි අත් නොහැර යන යාලුවෙක්.

      Delete
  4. //"තවත් දෙතුන් දෙනෙකු කෙල්ලගේ තාත්තාට පාඩමක් ඉගැන්වීමටත්...තවත් අයෙක් කෙල්ල කිතුලාටම ජෝඩු කරන සැලසුම් ආදිය පිළිබඳ කථිකා කලත් මේ කිසිවක් සිදු නොවීය.''/ අනිවා ඔය ටික ඔහොම වෙන්නම ඕන ,

    උඹට ෂුවර්ද මේකා මේ ලෝකේ එකෙක් කියලා , පිටසක්වලින් ආපු එකෙක් වෙන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. වෙලාවකට මේකා සිත දියුණු කරපු එකෙක්ද කියලත් හිතෙනවා. අවුරුදු 15 කට කිට්ටුව ආශ්‍රය කරලා එකම දවසක්වත් තරහා ගිහින් ඉන්නවා දැකලා නෑ කිව්වම පුදුම නැද්ද බොලාට.

      Delete
  5. කිතුලා හොඳ වැඩියි මචං මේ ලෝකෙට, හොඳ වැඩිපුර තියෙනවා කියන්නේ ලෝකේ වසන්න ටිකක් අමාරුයි.
    විශේෂයෙන් උඹ කිව්වත් වගේ කොල්ලෝ නෙමෙයි එහෙම උන්ව බයිට් එකට ගන්නේ පඩත්තල කෙල්ලෝ. කඩේ යවන්න පුළුවන් උපරිමේ යවනවා. ඊට පස්සේ වෙන කොල්ලෝ එක්ක කියකිය ඒ මනුස්සයාගේ රෙදිත් ගලෝනවා...

    ReplyDelete
    Replies
    1. ඕනෑවට වඩා හොඳ වීම අවශ්‍ය නෑ කියලා මහත්මා ගාන්ධි තුමාත් කියා තිබෙනවා. ඕනෑවට වඩා හොඳ වීම ඕනෑම නැත කියලයි මම අහලා තියෙන්නෙ.

      පපුව කලුගලක් වගේ කිසිම සංවේදීභාවයක් නැති කෙල්ලො මේ වගේ අසරණයො කඩේ යවන අන්දම මම නොයෙක් වර දැක තිබෙනවා. පව් බං එහෙම කොල්ලො.

      Delete
  6. කිතුල හිත හොඳ එකෙක් වගෙයි. ඒත් ඕනවට වඩා හොඳ වෙන්න ගියොත් මේ සමාජෙ ජීවත් වෙන්න ආමරුයි. කොයි වෙලාවක හරි කෙල්ලෙක් හින්ද මොකක්හරි අකරතැබ්බයක් කරගන්නත් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඒ නිසාම තමයි මම කිතුලට තරයේම කිව්වෙ තොට ගැලපෙන්නෙ අහිංසක කෙල්ලෙක් ඒ වගේ එකියකට ලව් කරපිය කියලා.

      Delete
  7. අන්න කොල්ලෝ.........................

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අද කාලෙ මෙහෙම උන්ට තැනක් නෑ බං...

      Delete
  8. ඌත් යම් පමණකට උඹ වගේ කියල මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. කේන්ති යන එක ඇරුනාම කියල දැම්මනම් හරි හැලපෙ අයියෙ.

      Delete
    2. ඇත්ත...මමත් ගොඩාක් අවංක මිනිහෙක්...ආදරෙයිද වගේම සාමාන්‍ය ජීවිතයේදිත්...ඒ අවංක කම නිසා මමත් ගොඩාක් වෙලාවට අතින් කාලා හරක් බලන එක තමයි කරන්නෙ. මොන දේ උනත් මගේ වටිනාකම් නැති කරගන්නෙ නෑ මම...

      දැන් ඉස්සර තරම් තරහා යන්නෙ නෑ....පිටරටක වසන්න බෑ තරහා අරගෙන...

      Delete
  9. /පාසල් යන සමයේ මෙන්ම වර්තමානයේත් කිතුලාට පෙම්වතියක් නැත./

    අර මැලේසියන් හරි කොරියන් හරි කෙල්ලෙක් හිටියා නේද මචං ලංකාවෙ කොල්ලෙක් බඳින්න කැමැත්තෙන් හිටපු?

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ කොල්ලො බදින්න කැමති මැලේසියන් සිංහල කෙල්ලො එමට සිටියි. මටත් එවැනි අය නිතර මුණ ගැහෙනවා ඩ්‍රැකියො.

      Delete
  10. ජීවිත කාලය පුරම ආශ්‍රය කරන්න පුලුවන් හොද යාලුවෙක් වගේ.සමහර අය පණ දෙන්න හිටියත් පසු කලෙක වෙනස් වෙනවා. එයාට වඩා හාත්පසින්ම වෙනස් ගතිගුණ ඇති ගෑණු ලමයින්ට හිත යන නිසා නේද තාම තනිකඩ?

    ReplyDelete
    Replies
    1. කිතුලා හැම විටම තමන්ට නොගැලපෙන අය සමග තමයි සබඳතා ගොඩනගාගන්න හැදුවෙ. එයින් කිතුලා බලාපොරොත්තු වෙනවද දන්නෙ නෑ තමන්ගෙ පෞර්ෂයට එය සුභවාදීව බලපානවා...එහෙමත් නැත්තං දැනට වඩා විශ්වාසයෙන් සමාජය ඉදිරියට යන්න හැකි වෙනවා කියලා.

      Delete
  11. යාළුවො ඔක්කොටම සිකුර ලබන්ඩ පරක්කුයි වගේ. කිතුල වගේම කේන්ති නොයන චරිතයක් හිටිය , එයාගෙ පිලිමෙ තමයි දාරළුව ස්ටේශන් තියෙන්නෙ. ( හමුදා සොල්දාදුවෙක්ගෙ පිලිමෙ )

    ReplyDelete
    Replies
    1. මගේ ලගම මිත්තරයන්ගෙන් දෙන්නයි තවම විවාහය කියන දඬුවමට ලක් උනේ...අනිත් උන්ට ඔයා කියනවා වගේ සිකුරා ලැබීමේ පරක්කුවක් තියෙනවා. කම්මල අයියලා අපිට සප් එකක් වත් දෙන එකක්යැ....දාරළුව පැත්තෙ යන්නෙ ඉතාම කලාතුරකින් නිසා ඔය කියන ප්‍රතිමාව ගැන මතකයක් නෑ. ඒ උනාට වනවාසල ස්ටේසුමේ තියෙන ස්වාමීන් වහන්සේගේ ප්‍රතිමාව නම් මතකයි.

      Delete
  12. කිතුලා මේ ලෝකේට ගැලපෙන එකෙක් නෙමෙයි බං... අපෙත් පොඩි කාලේ කිතුල් ගති තිබුනා. ඒත් කාලයත් එක්ක ඒවා නැති වෙලා ගියා බං. නැත්නං අවුරුදු 25 ක් උනත් 18 හැගීම් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මමත් සමහර කිතුල් ලක්ෂණ නැති කරගත්තා. නැත්තං වසලා හමාරයි.

      Delete
  13. මේ කතාව කියවද්දි මට මතක් උනේ අපේ එවුන් දෙන්නෙක් ගැන. උන්ටත් මේ වගේම තරහ යන්නෙ නෑ. වලියකට සම්බන්ධ වෙලත් නෑ මතක තරමින්. උන් දෙන්නම අකාලෙ මියගියා. එකෙක් සාපෙල කරල ඉවරවුන ගමන්ම වගේ ලියුකේමියාව හැදිල අවුරුද්දකට විතර පස්සෙ මැරුන. අනිත් එකා දැං අවුරුද්දකට විතර කලින් තාමත් හොයාගත්තෙ නැති හේතුවකට මියගියා.

    ReplyDelete
    Replies
    1. උඹටත් වැඩිය තරහ යන්නෑ නේද?? පරිස්සමින් හිටහං එහෙනං හිටං.. හැක්

      Delete
    2. ඒකනෙ රාජ් කියන්නෙ හොඳ මිනිසුන්ගෙ ආයුෂ කෙටියි කියලා. ඒ කථාව බොහෝ තැන් වලදි සත්‍යයක් බව මම දැකලා තියෙනවා.

      Delete
  14. කළණ මිතුරු දහමයි පිරුණු සදාදරයයි
    මා හද රන් කුටියේ දිලෙන පහන් යුවලයි

    කෙනෙකු නොමඟ යා නම්
    ඔහුට කියාදෙමි මම්
    නියම මඟ පහදා
    මට ඇති සතුට එයයි

    ආදරය නාඳුනන මිනිසා
    ලොවෙහි අසරණ වේ
    සියළු කල්හි තැවේ

    ආදරය නාඳුනන මිනිසා
    ලොවෙහි අසරණ වේ
    පරම මිතුදම හැඳින ගන්නා
    විඳී අමර සුවේ

    නීති රීති කඩුලු බාධා
    කම්කටොලු වද වෙයි
    චණ්ඩ මාරුත එයි
    ආදරය හැම අභිබවාලා
    ජීවිතේ ජය දෙයි

    ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
    පද රචනය - කරුණාරත්න අබේසේකර
    තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න

    ReplyDelete
    Replies
    1. පළවෙනි වතාවට මෙවැනි ගීතයක් දැක්කෙ. ස්තූතියි ගොයියො...
      //ආදරය නාඳුනන මිනිසා
      ලොවෙහි අසරණ වේ
      පරම මිතුදම හැඳින ගන්නා
      විඳී අමර සුවේ//

      මේක මරු....

      Delete
  15. ඔහොම ඩයල් හරි අඩුයි බං අයියේ... හැබැයි උන් හරි හිත හොඳ මිනිස්සු

    ReplyDelete
    Replies
    1. හිත හොඳ වැඩි නිසාම තමයි උන්ට අතින් කාලා හරක් බලන්න වෙන්නෙ නිතරම වගේ...

      Delete
  16. ඔහොම යාලුවෙක් ඉන්නකොට මාර ෆිට්

    ReplyDelete
    Replies
    1. මම හිතන්න‍ෙ ඔබටත් මෙවැනි මිත්තරයෙක් ගැන අත්දැකීම් ඇති.

      Delete
  17. හොද යාළුවෝ සෙට් කර ගන්න එක සෑහෙන්න අමාරුයි.. කාලයත් එක්ක ඒක දැන් සෑහෙන්න දැනෙනවා.. කිතුලත් අන්න ඒ වගේ නියම යාළුවෙක්..

    ReplyDelete
    Replies
    1. කාලයත් එක්ක..කසාදයත් එක්ක..තමන්ගෙ ආදායමත් එක්ක මිතුරො වෙනස් වෙන හැටි මම හොඳට දැකලා තියෙනවා. එවැනි උන් අතරෙ කිතුලා කියන්නෙ අමිල චරිතයක්.

      Delete
  18. මේ වගේ චරිත එදත් අදත් ඉන්නවා. ඔවුන් පට යම් අම ආදර්ශ ලබාදෙනවා. රසයත් ලබාදෙනවා. වැදගත්ම දේ ඔවුන් සමාජයෙන් වියැකී යන්නේ නැතිව රැඳී සිටීමයි.

    ReplyDelete
    Replies
    1. ඔවුන් ලද දෙයින් සතුටු වෙන පිරිසක්. අනෙකෙකුගෙ දුකේදි හිත උණුවෙන පිරිසක්...මේ ගති ලක්ෂණ කිතුලා ලග මදි නොකියන්න තියෙනවා.

      Delete
  19. සිරාගේ සිරා යාලුවෙක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම මිත්‍රයා..කිතුලා කියන්නෙ ගින්දර කොල්ලෙක්.

      Delete
  20. සිරා යාළුවෙක්.කලණ මිතුරන් ඇසුර වාසනාවක් කියනවානේ.

    ReplyDelete
  21. මල්ලි....කැලෑ පාළුවො කැලේට ගියාම ඉස්සෙල්ලම කපන්නේ ඇද නැති ගස්.ඒ වගේ වංචාකාරයෝ ඉස්සෙල්ලම අමාරුවේ දාන්නේ අවංක එවුන්...පරිස්සමින් හිටහන්..ජය..

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...