Saturday, December 31, 2016

22 මයිනරය, Vibration සහ තවත් කථා

සිරා කොලුවා කාලයක් නියෝජනය කල පාසල් බටහිර තූර්ය වාදක ඛණ්ඩයේ Vibration 2006 ප්‍ර‍සංගය පිළිබඳ ඔක්තොම්බර් මස අවසානයේදී පළ වූ ලිපිය සමග මේ ලිපිය සබැඳේ.


නිදි වර්ජිතව උදෑසන වනතුරුම පෝස්ටර් කෙලියේ නිරතව, සිරුර පුරා පාප්ප පැල්ලම් සහිතව, දැඩි විඩාවකින් පීඩිතව සිටින අපගේ චිත්ත සන්තානයම වතුර ටැංකිය අසබඩ කොළ ටයි පටි කෙල්ලෙකුගේ සිනා කැකුලකට ක්ෂණිකව විකසිත කරන්නට හැකි බැව් අපි එදා දැනගතිමු.

කෙතරම් විඩාවක් දැනුනත්, නිදි වර්ජිත රාත්‍රීන් කීපයක් ගත වුවත් සිරා කොලුවා වන මටත්, ජපන් චමියාටත් ඉසිඹුවක් ලබන්නට ඉඩක් නැත. අපගේ ප්‍ර‍සංග සංවිධානයේ කුමන හෝ තැනක අඩුපාඩුවක් ගැන පැමිණිල්ලක් නොලැබෙන දිනයක් නැත. 

නන්දයගෙ ලොරි බට්ටට තෙල් ගහන්න සල්ලි නෑ. පෝස්ටර් අලවන්න යන්න පාප්ප ගන්න සල්ලි නෑ. 

මෙවැනි අටෝරාශියක් ගැටලු කෙලවර වන්නේ ජපන් චමියාගේ හෝ මා ඉදිරිපිටිනි. ඒ සෑම විටෙකම යන්තං ඔලුව බේරාගත හැකි පිළිතුරක් දෙන්නට තරම් අපි දෙදෙනා දක්ෂයෝ වීමු.

වෙනදා වගේම කාලය වේගයෙන් ගත වී ගියේ ටික් ටික් හඬිනි. Vibration 2006 ප්‍ර‍සංගය අත පොවන මානයට පැමිණ තිබේ. චමියාගේත් මගේත් ඔලු ගෙඩි යක්ෂයාගේ කම්මල මෙන් අවුල් වියවුල් ජාලයකි. තවත් විටෙක මේ ප්‍ර‍සංගයේ සංවිධාන කටයුතු මහත් පීඩනයකි. මේ සියලු දෑ දරාගෙන අපි දෙදෙනා තවමත් පිම්මේ දුවන්නේ සාර්ථක ප්‍ර‍සංගයක් අපගේ තූර්ය වාදක ඛණ්ඩයේ පොඩි උන්ට දායාද කරනා අදහසිනි.

ප්‍ර‍සංගයට ඇත්තේ තවත් දින කීපයකි. අලුත් වටයකින් ගම්පහ නගරයම පෝස්ටර් වලින් හැඩ කරන්නට අපේ පාප්ප බාල්දි වලට හැකි වී තිබේ. කොල්ලො කුරුට්ටන් සියල්ලක්ම පාහේ අමුතුම ජවයකින් අවසන් අවස්ථාවේ තම දායකත්වය ඒ ඒ අංශ වෙනුවෙන් ලබා දෙන්නට සැදී පැහැදී සිටිති. තූර්ය වාදක ඛණ්ඩයට දායකත්වයක් නැති පාසලේ සාමාන්‍ය ශිෂ්‍ය ප්‍ර‍ජාවද ප්‍ර‍සංගය නිසාවෙන්ම වෙනදා නැති උද්යෝගයකින් සිටිනා වගක් සිරා කොලුවාගේ අක්මාවට දැනේ.

කොල්ලො...මේ දවස් ටික එක දිගට හවසට ප්‍ර‍චාරය දීහං ගම්පහ ටවුමෙ. මිනිස්සුන්ට එතකොට හොඳට දිනේ මතක හිටිනවා. මාස්ටර් දවසක් දෘ උදෑසනම මා වෙත අවවාදයක් දුන්නේය. දවසක් හැර දවසක් හෝ ආනන්දයාගේ ලොරි භාගයට පින් සිදු වන්නට ඒ වන තෙක් අප ප්‍ර‍චාරක කටයුතු සිදු කර තිබුනි. ප්‍ර‍සංගයට පෙර ගත වෙන අවසන් දින කීපය නිසා දැන් ඒ කටයුතු වෙනදාවට වඩා උවමනාවෙන් සිදු කරන්නට කාලය එළඹ තිබුනි.

අනේ මල්ලියෙ...අද නම් එන්න විදියක් ඇත්තෙම නෑ වාහනේ අරගෙන. අම්මට යකා නැගලා ලොරියෙ යතුරත් හංගලා තියෙන්නෙ. උඹලා අදට මොනවා හරි කරගනිල්ලා...මම හෙට කොහොම හරි එන්නං...

ආනන්ද අයියාගේ දුක්මුසු වැලපුම් හඬ මේ කියන දිනයේ 4 පසු වී විනාඩි ගනනක් ගිය තැන මාගේ සවන්පත් කම්පොනය කලෙන් මම මහත් කලබලයෙන් යුතුව මේ අසුබ ආරංචිය සංගීතය පුහුණුකරමින් සිටි බෑන්ඩ් මාස්ටර් වෙත සැළ කළෙමි.


යකඩ කටවල් දෙක තියෙනවා නේද බෑන්ඩ් කාමරේ...ඒක බැදහං මගේ කාර් එකට, අපි කාර් එකෙන් අද වැඩේ කරමු. වයසට ගියත් බෑන්ඩ් මාස්ටර්ගේ මෙවැනි අභීත ක්‍රියාකාරකම් ඒ කාලයේ මහත් සුලභ දසුන්ම වූවේය.

කොල්ලො කුරුට්ටන්ගේ නොමඳ සහයෝගය නිසාම මේ ප්‍ර‍සංගයේ ප්‍ර‍චාරක රථයක් පරිද්දෙන් සෑර්ගේ මයිනරය හැඩ වැඩ වන්නට වැඩි වෙලාවක් ගියේ නැත. වාහනය පුරාම අපගේ පෝස්ටර අළවා යකඩ කටවල් දෙක, කාරයේ වහළය මත තබා කොහු ලණුවෙන් කිටි කිටියේ බැඳ දැමූ පසුව සියලු දුක්ඛ දෝමනස්සයන් අහවර වූවේය.

නිවේදන කටයුතු සඳහා මයිනරය දැන් ගම්පහ නගරය බලා ඇදෙමින් තිබේ. කඩින් කඩ සෑර්ගේ උපදෙස් පරිදි මම ප්‍ර‍සංගය පිළිබඳ නිවේදන කටයුතු සිදු කලෙමි. රැකියාව අහවර වී නිවාස වෙත ඇදෙන ගම්පහ ජනතාව අපගේ ඉලක්කගත පිරිස වූහ.

ගම්පහ නගරයේ හදවත වැනි දුම්රිය ස්ථානය ඉදිරිපිට කොටසේ ප්‍ර‍චාරක කටයුතු සිදු කිරීමෙන් අනතුරුව සෑර්ගේ අදහස වූයේ දුම්රිය හරස් මාර්ගයෙන් ඔබ්බේ වූ කොටසේද ප්‍ර‍චාරක කටයුතු සිදු කල යුතු බවයි.

මයිනරයේ ඉදිරි වම්පස අසුනේ සිට ගම්පහ සිරි අසිරි නරඹින් සිටි මගේ දැහැන බිදුනේ එක් වරම නැගී ගිය මහා හඬකිනි. ඒ සමගම වාහනයේ මා සිටි කොටස පසෙකට ඇළවී එම කොටස තාර පාර දිගේ ඇතිල්ලෙන වගක් මට දැනුනි.

මොකක්ද බං ඒ සද්දෙ...වික්ෂිප්තව ගිය සෑර් මගෙන් විමසයි. නමුත් මා හට දෙන්නට පිළිතුරු නැත.

සැනින් ගමන නතර වූ මයිනරයෙන් බිමට බට සැනින් එහි ඉදිරිපස වම්පස  ටයරය පසෙකට ඇළවී තිබෙන අන්දම දැකගත හැකි වූවේය.

ටයර් එක ෆික්ස් කරන තැනට එනවා අපේ ඇගිල්ලක් විතර මහත ක්ලිප් එකක් මේ කාර් එකේ අන්න ඒක කාලයක් තිස්සෙ ටිකෙන් ටික  කැපිලා බං...ටයර් එක පැත්තට ගිහින් වාහනේ පාත් වෙද්දි පොළවෙ වදින සද්දෙ තමයි ලොකුවට ඇහුනෙ.

ප්‍ර‍සංගයේ බැනර් එල්ලන්නට වන්දනා නඩයක් රැගෙන මයිනරය ගෙවීගිය රාත්‍රියක ගිය ගමන මේ විපත උදා කරන්නට ඇති බැව් මා හට සිහි වුවද ඒ පිළිබඳ මම මාස්ටර් සමග කථා නොකළෙමි.

මාස්ටර්ගේ කාර්මිකයා එහි ලගාවනතුරු අපි දෙදෙනා මයිනරයට තනි රැක්කෙමු. ඒ අවසරයෙන් එතැනින් ගිය සිරා කොලුවා ගමන් ගන්නා මාර්ගයේ මගී බස්රථවල සිටි කෙල්ලන් පාසලේ නම සහිත පෝස්ටර් සමග අබ්බගාතව සිටින මයිනරය දුටු විගස කොක්සන් හඩලා සිනා සුනහ. ඒ සෑම විටෙකම මම මගේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගැනිමේ පරම අධිෂ්ඨානයෙන් මයිනරය ඇතුලට හිස යොමු කරගෙන සිටියද, කඳ එළියේය.

මේ හදිසි අනතුරෙන් මයිනරය නැවතී තිබූ ස්ථානයෙන් මාර්ගය අවහිර වී තිබීම නිසා, මාර්ගයේ සැනෙන් ඇති වූයේ දැවැන්ත වාහන තදබදයකි. කවදත් අපේ තූර්ය වාදක ඛණ්ඩය සමග හොඳ හිත පතුරවාගෙන සිටි ගම්පහ පොලෝසියෙ ඇත්තන් ඒ සියලු තත්වයන් සමනය කරන්නට මහත් සහායක් දුන්නෝය.

ප්‍ර‍සංගයට පෙර දින රාත්තිරියේ ප්‍ර‍සංගයේ ආරාධිතයන් දැල්විය යුතු පොල්තෙල් පහන කිසිම සුකුරුත්තමක් නොමැතිව ඔහේ සිමෙන්ති පොළව මත තිබෙන අයුරු දැක අපගේ මාස්ටර් පරල වූවේය. 

මේක මෙහෙමද හෙටත් තියෙන්නෙ. වැඩක් කරනවා නම් හරියට කරපල්ලා.

උඹලා භය වෙන්න එපා මම දෙන්නං පොල්තෙල් පානට ලොද පනින්න නියම ඩෙකරේෂන් එකක්..ඒ වෙලාවේ අප මිත්‍ර‍ ජෝතියාගේ වදන් අපිට මහත් සහනයක්ම වූහ.

සෑර්ගේ දෝස්මුරයට හසු වූ පසු, මිත්‍ර‍ ජෝතියා සමග පාසලට යාබද කනත්තේ ඇති සුදු අරලියා ගස් වෙතින් මල් සහ කොල කඩාගන්නා විට මධ්‍යම රාත්‍රිය එළැඹී තිබුනි. ජෝතියාගේ ආරක්ෂාවට ඒකා සමග කනත්ත වෙත බඩගාන්නට මමත් චමියාත් එකතු වූයෙමු. උඩු කය නිරුවතින් සිටි කලුම කලු ජෝතියා දුටුවා නම් හොල්මනක් වුවත් භිය වෙනවා නිසැකය.

සති කීපයක සිට, නොයෙක් දෙනාගේ සහයෛා්ගය ඇතිව මහත් වැර වෑයමෙන් තැනූ ප්‍ර‍සංග වේදිකාවේ ප්‍ර‍සංගයට ඉඩ හසර වෙන්වන දිනය දා උදේ පාන්දරම ඇන්ටන් ජූඩ් කලාකරුවා රැගෙන එන්නට රත්මලානට යන්නට මා හට සිදුවූවේය. අප එහි යන විට තම සියලුම අඩුම කුඩුම සූජානම් කරගෙන ඔහු සැදී පැහැදී සිටියේය. ඒ වකවානුවේ මේ කලාකරුවාට තිබුනෙ ඉමහත් ජනප්‍රියත්වයකි.


නිවස ඉදිරිපිට මාර්ගයට පා ගමනින් පැමිණි සැනෙකින් ආයිෂ් අම්මා ගුණ්ඩු...යනුවෙන් පුංචි කොලු ගැටවුන් කීප දෙනෙක් මහා හඬක් නැගුවේය. එය අසා ජූඩ් අයියා සිනහවක් මිස තරහාවක් ඔවුනට තිළිණ නොකලේය.
දන්නවද මල්ලි...මට ඉන්න හොඳම රසිකයො තමයි ඒ....ජූඩ් අයියාගේ එවදන්..ඔහු ජීවිතයෙන් සමුගෙන ගොස් වසර කීපයක් ගත වුවත් තවමත් මගේ සිතේ රැව් පිළිරැව් දෙයි.

ඉංග්‍රීසි සෑර්ගේ මෝටර් රථයේ ඉදිරිපස ජූඩ් අයියා අසුන් ගත් පසු  නැවත පාසල කරා පැමිණෙන්නට අපට හැකි වූවේය. ඒ ගමන අතර තුර වාහන තදබදයක් තිබෙන තැනකදී ඔහු හඳුනාගන්න අවශේෂ රියදුරන් මෙන්ම මගී ජනතාවද දැක්වූ ප්‍ර‍තිචාර අභිමුව ඔහු ඉතාමත් නිහතමානීව ප්‍ර‍තිචාර දැක්වූවා පමණක් නොව මහත් සේ සතුටු වූ අන්දමද මට මතකය. සමහර විටෙක අපගේ වාහනය පිටුපස අධික වේගයකින් නලාව නාද කරමින් පැමිනෙන සුඛෝපභෝගී බස් රථයක රියදුරා නලාව නාද කර ඇත්තේ ජූඩ් අයියාටය.


ඇන්ටන් ජූඩ් , රොඩ්නි වර්ණකුල සුසංයෝගයෙන් හැඩගැන්වුන Vibration 2006 ප්‍ර‍සංගය සැබැවින්ම සාර්ථක එකක්ම වූවේය. අතුරු සිදුරු නැතුව පිරීගිය ප්‍රේක්ෂකාගාරය පිළිබඳ මේ කලාකරුවන් දෙදෙනාම සිටියේ මහත් සතුටකිනි. ඒ සතුටේ තරම් කෙසේද යත්....

ඇන්ටන් ජූඩ් සහෘදයා අපගේ ප්‍ර‍සංගයට සහභාගි වූයේ යන්නට එන්නට ප්‍ර‍වාහන පහසුකම් සලසනවා යන පොරොන්දුව මත වුවත්...ප්‍ර‍සංගයේ සාර්ථකත්වයෙන් ඔඳ වැඩී සිටි ඔහු 

මල්ලි රොඩ්නියට නම් කියන්න  යන්න එපා... මම ගෙවාගෙන ආපහු යන්නං. මට වාහනයක් විතරක් හොයලා දියං...ජූඩ් අයියාගේ මනුස්ස කම එබඳුය. ඒ වෙද්දී ප්‍රවේශපත්‍ර‍ ආදායම කලාකරුවන් දෙදෙනාගේ අයකිරීම් ආවරණයට, ශබ්ද පරිපාලනයට, ආලෝකකරණ රටාවන්ට අත්තිකාරමක් ගෙවීමට පමණක් ප්‍ර‍මාණවත් වූ වටපිටාවක ප්‍ර‍සංගයේ සංවිධායකයෙකු මා පත්ව සිටි අපහසුතාව සමහරක් විට ඔහුට දැනෙන්නට ඇත. 

මම වහා කුලී රථ සේවා සපයන ආයතනයක් අමතා ඇන්ටන් ජූඩ් කලාකරුවාට රත්මලානට යන්නට ඉතාම හොඳ තත්වයේ වාහනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියෙමි.  මේ ඇමතුමෙන් පසු කුලී රථය පැමිණෙන්නට සිතුවාට වඩා කාලයක් ගත වූ හෙයින් එදින රාත්තිරයේ හෙන්රි ජයසේන මහතාගේ නිවසේ පවත්වන්නට නියමිතව තිබූ පැදුරු පාටිය පිළිබඳ ජූඩ් අයියා සිටියේ කුකුසකින් යුතුවය.

මොකද අනේ මෙච්චර වෙලා ගියේ මේ වාහනේ අරගෙන එන්න. මම රියදුරා ඇමතුවෙමි. කුලී රථ රියදුරා එහි පැමිණියේ අලුත්ම වෑන් රථයකිනි.

මේ හයර් එක එන්න හැම එකාම පොර කෑවා. අන්තිමේදි මම කොහොම හරි ගොඩ දාගත්තා. මම ඇන්ටන් මහත්තයගෙ හොඳම රසිකයෙක්. 

කලාකරුවන් මෙන්ම අපගේ හිතෛශීන්ද අපට සමුදී නිවෙස් බලා යන විටත් මමත් චමියාත් ප්‍ර‍සංගයේ බර කරට ගෙන නිදි වර්ජිතව ගත කල අවසන් රාත්‍රී කීපයක අරුමය විඳිමින් සිටියෙමු. සාර්ථකව අවසන් වූ ප්‍ර‍සංගය අපගේ සියලු ශාරීරික අපහසුතාවයන් පහ කරන්නට ලැබුන ඔසුවක්ම වූවේය.



මම කාමරේ වෙසෙන සිරා කොලුවා.


ප.ලි

2017 නව වසර එළඹෙන්නට විනාඩි ගනනක් තිබියදී, 2016 වසරේ අවසන් ලියමනට මෙසේ තිත තබමි. එළඹෙන නව වසර ඔබ සැමට යහපත් පැතුම් ඉටුවන වාසනාවන්ත එකක් වේවා !

අරුණළු මනුෂ්‍යත්වයේ සත්කාරය විසින් දිඹුලාගල කන්දේගම ග්‍රාමයේදී පවත්වන්නට සූදානමින් සිටින සමාජ සත්කාර වැඩ සටහනට ඔබේ දායකත්වය ලබා දෙන්නට තවමත් කාලය තිබේ. ඒ පිළිබඳ වැඩි විස්තර බ්ලොග් අඩවියේ දකුණු පස ඉහළින් තිබෙන අරුණළු ලාංඡනයට කෙටීමෙන් ලබා ගත හැක.




22 comments:

  1. Siraa, Obatath. Kamare samatath, Suba Aluth awruddak wewa....!!!!
    - Buddhika _

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බුද්ධික....ඔබටත් එසේම වේවා යයි පතමි.

      Delete
  2. උබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා..!! 🍻

    ReplyDelete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්..දවස් දෙකයි මේ බ්ලොග් එක බලන්න පටන් අරගෙන. මේ දවස් දෙකට ගොඩක් පොස්ට් බැලුව මචන්. නියමයි මචන් උබේ බ්ලොග් එකනම්...
    🌹🌹🌹

    ReplyDelete
    Replies
    1. සතුටුයි ඔබේ ප්‍ර‍තිචාරය පිළිබ‍ඳ....දිගටම කාමරේ පැත්තෙ එන්න.

      Delete
  4. ඔහොම ගොඩ දාගත්ත මදැයි.
    සිරාටත් සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ලොකු අයියටත් නව වසර සුභ වේවා...

      Delete
  5. සිරාටත් සුබ නව වසරක් වේවා !!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලබු මහතා...අපේ සමාජ සත්කාරය එක්ක තමයි අලුත් අවුරුද්ද අපිට උදා උනේ...ඔබේ සහයෝගයත් එකතු කරන්න.

      Delete
  6. සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  7. ඔන්න සිරා අයියටත් සුබම සුබ නව වසරක් වෙිවා.....
    ලිපිය ගැන කිව යුතු දෙයක් නැත..අනෙත් එවා මෙින්ම සුපිරි........

    ReplyDelete
  8. ජූඩ්ලා හොඳට කටුකාලා ආපු අය. ඒත් ඒ ජීවිතේ කෙටිවුනා.

    අරුණළු අමතක නැහැ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...වේදිකාවෙන් සෑහෙන්න දුක් විදලා තමයි ටෙලියෙන් කලා ලෝකය ජය ගන්න ඔහුට හැකි උනේ...

      අරුණළු එක්ක තමයි දැන් දවසින් වැඩි හරියක්ම ගෙවෙන්නෙ. ආධාර එකතු කරන්න සෑහෙන සටනක් කරනවා...මේ වෙනුවෙන් ආධාරයක් එකතු කිරීම ඇත්තටම ලොකු පිනක් අරූ අයියා.

      Delete
  9. එවකට අප විදුහලේම රතුකුරුස අංශය භාර ඇදුරු චන්ද්‍ර‍ාස සතරසිංහ මහතා සතුව පැවැති ප්‍රවේශපත්‍ර‍ දෙකක් අපට දීම හේතුවෙන් Vibration 2006 නැරඹුබව මගේ මතකයේ ඇත්තේ රොඩ්නි වර්ණකුල මහතා සමග අප කතාබහ කරද්දී සංගීත ආචාර්ය සුනන්ද මහතා එතනට කඩා පැන්න නිසාවෙනි. ඒකල තිබූ බණ්ඩාරණායකයේ අභිමානය ගැන අද ඇත්තේ විශාල සැකයකි
    සිහිවන විට ආදි සිසුවෙකු ලෙස දැනෙන්නේ ශොකයකි.

    ReplyDelete
    Replies
    1. සතරසිංහ සර් නීතිඥයෙකු ලෙසත් කටයුතු කරනවා නේද. ගියවර මට උඹව මුණ ගැහුන සාම විහාරේ ලේ දන් දීමට දිණ ලගයි නේද පූසො.

      Delete
  10. අතුරු සිදුරු නැතුව පිරුනනම් ඇයි බන් ඔච්චර කෝඩයක්...කොහොම වුනත් උඹලා සාර්තක වීම ගැන සතුටු වෙන්න පුලුවන්

    ඇන්ටන් ජූඩ් නැතිවීම ඇත්තටම කලාවට විශාල පාඩුවක්

    ReplyDelete
    Replies
    1. අතුරු සිදුරු නැතුව පිරුනට පාසල් දර්ශන නිසා ප්‍රවේහ පත්‍ර‍ වල මිළ ගණන් බොහොම පොඩියි. ඇන්ටන් අයියගෙ අඩුව තවමත් එලෙසම තියෙනවා...ඔහුගේ කොටස භාරගන්න අදටත් කෙනෙක් නෑ.

      Delete
  11. සිරාටත් සුභම සුභ සිරා නව වසරක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හෙන්රි මහතා...අපේ අරුණළු වැඩසටහන සමග එකතු වන්න.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...