Monday, September 17, 2012

125 සිරාගේ අතිජාත ස්කූටරේ

සිරා යනු පැරණි දෑ කෙරෙහි ආකර්ශනය වන ඇන්ටික් රසඥතාවයක් සහිත ජීවී පරානයකි. පාසල් වියේදී බාලදක්ෂයකුව සිට කාසි සහ මුද්දර එකතු කිරීමෙන්  ඇරඹුන මේ ආශාව අද වන විට වාහන දක්වා පැතිර ගොසිනි. මාගේ කාසි එකතුව වර්ෂ 1740  තරම් ඈත අතීතය සරසන VOC කාසි වලින්ද යුක්තය....රුපියලේ නෝට්ටු වල සිට ඉහළට එය සන්නද්ධය, මුද්දර එකතුවද ඉංග්‍රීසි ආණ්ඩුව විසින් නිකුත් කල සත 3 මුද්දරය දක්වාම දිව යයි. සත 1 මුද්දරද මා සතුව අතීතයේ තිබුනත් කපටි කොල්ලෝ මා රවටා නොවටිනා වෙනත් මුද්දර මට දී  ඒ වටිනා මුද්දර මගෙන් ඩැහැ ගත්තෝය. අපේ පවුලේ මෙසේ ඇන්ටික් උණ ඇත්තේ මට පමණකි. මට හිතෙන ලෙසට එය සාංසාරික පුරුද්දක් විය යුතුය.  පැරණි වාහනයක් හදිසියේ පාරේ දකින්නට හැකි වුනොත් මගේ දෑස ඇසිපිය නොහෙලා එය දෙස බලාහිදී.  කෙතරම් නවීන වාහන කෙරෙහි සමවයසේ උන් සිහින මැව්වත් මගේ ආදරය , ආසාව පැරණි වාහන කෙරෙහි පමණමය.

ඒ නිසාමදෝ මම කලක් ඇන්ටික් ස්කූටරයකට සිහින මැව්වෙමි. වසර ගණනාවක් යන තුරා සෙව්වත් මට ඔබින ආකාරයේ එකක් ලැබුනේ නැත. අමතර කොටස් සපයා ගැනීමේ පහසුව නිසා බජාජ් වර්ගයේ එකකි මට අවශ්‍ය වුනේ. කෙසේ හෝ අවසානයේ බජාජ් නම පසෙකලා  කුමන හෝ පරණ ස්කූටරයක් මිළට ගැනීමට සොයන විට මළනුවන්ගේ මිතුරෙකු මගින් මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ ඇති ස්කූටරයක් පිළිබද දැනගැනීමට ලැබී අපි එහි ගියෙමු.

වෙස්පා වර්ගයේ 7 ශ්‍රී එකක් වූ එය හොද තත්වයෙන් තිබුනත් අපේ ආගමනයෙන් පසු හිමිකරු එය විකිණීමේ අදහස අත හැරියේය. රැයක් පුරා දුටු සිහින බොද වන විට  මළනුවන් වෙත ඔත්තුව දුන් කෙනා පැවසුවේ මේ ආසන්නයේ 9ශ්‍රී බජාජ් වර්ගයේ තවත් ස්කූටරයක් ඇති මුත් එය නම් කීයටවත් විකුණන්නේ යැයි නොසිතන බවත්ය... කෙසේ හෝ මගේ පෙරැත්තයෙන් පසු එහි හිමිකරු වෙත ගත් ඇමතුමට දැක්වූ ප්‍ර‍තිචාරය වූයේ... ඔව් විකුණනවා එන්න කියාය. එහෙත් ඔත්තුකරු පැවසූවේ මට නම් විශ්වාස කරන්නත් අමාරුයි මිනිහා විහිලුවක් කරන්න ඇති කියාය.


ඇදුම වෙනස් කරන්නට කලින්

සිහිනයට නැවතත් ඉගිලෙන්නට තටු ලැබිනි... අපි ඔහුගේ නිවසට යන විට හිමිකරු රබර් වත්තක් මැද ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියහ.  අපේ ආගමනයෙන් අප අසලට පැමිණි ඔහු...

විකුණන්න නම් කොහොමවත් අදහසක් තිබ්බෙ නෑ.... මම මගේ ලොරියත් එක්ක රට වටේ යන මිනිහා... මට බයික් පදින්න දැන් වෙලාවක් නැති නිසා තමයි විකුණන්න තීරණය කලේ. කාටවත්ම විකුණනවා කියලා කියලා තිබුනෙත් නෑ... ඕගොල්ලො අහපු නිසා තමයි කිව්වෙ....

මේකෙ ගොඩාක් දේවල් මම ළගකදි හැදුවා... දිරුම් මොකුත් නෑ...පේන්ට් එකත් ලගකදි ගැහුවා... වැදගත්ම දේ තමයි... මේ බයිසිකලය පැදපු කිසිම කෙනෙක්ට අනතුරක් වෙලා නෑ... මට කලින් අයිතිකාරයත් ඊට කලින් කෙනා එයාටත් ඒ බව කියලා තියෙනවා. ඔරිජිනල් පොත් පත් ලියකියවිලි ඔක්කොමත් තියෙනවා... ඊට අමතරව 1987 ඉදන් බයිසිකලයට දාපු හැම අමතර කොටසකටම අදාළ බිල්පත් එකතුවකුත් තියෙනවා... වටයක් පැදලා බලන්න කොහොමද කියලා...

මෙතෙක් කල් මා සෙවූ ස්කූටරය මට හමු වී ඇත. තවත් දවස් 3කට පස්සෙ ස්කූටරය අපේ නිවසට සේන්දු වුනා... අපූරුයි පුතේ... කිරි අම්මා පළමු අදහස පල කලේ. ඒක ගේනකොට ඇන්ජිමෙන් ආවෙ ටින් බෙලෙක්ක හොල්ලන සද්දයක්... ඒ වගේම බ්‍රේක් කදුලක් නෑ... මේ වැඩ ටික සම්පූර්ණ කරන්න හිතවතෙක් මාර්ගයෙන් කොච්චිකඩේ චමින්ද අයියගෙ ගැරේජ් එක සම්බන්ධ කර ගත්තා. ඒ උනාට පාරෙ නීත්‍යානුකූලව යන්න විදියක් නෑ... බලපත්‍ර‍ය කල් පැනලා අවුරුදු කීපයක්ම ගෙවිලා... අලුත් බලපත්‍ර‍ය ලබා ගන්න දුම් සහතිකය ගන්නත් ඕනෙ... බලපත්‍ර‍ය අලුත් නොකල වසර ගණනට දඩ ගෙවන්නත් ඕනෙ, අප්සැට් එන්ජිමක් එක්ක කොහොමද දුම් සහතිකේ ගන්නෙ... ගැටළු රාශියක්,  ඉදිරිපත් කල පළමු වාර දෙකේදීම දුම් පරීක්ෂණය අසමත්... ඊටත් පස්සෙ යන්තම් ගොඩ වෙදකමක් කරගෙන දුම් සහතිකෙත් අරගෙන කොච්චිකඩේ ගියා.

මේ කාලෙදි රථවාහන අංශ පොලිස් නිලධාරීන් බයිසිකලේ දිහා බලලා  අවඥා සහගත හිනාවක් එහෙම දාලා  දඩයක් එහෙම ගහන්න පුලුවන් වේයි කියලා හිතාගෙන ලංවෙලා අහන්නෙ,  මේකට ලියකියවිලි තියෙනවද කියලයි....

ගම්පහ ඉදන් කොච්චිකඩේ ගියේ මේ වගේ පැරණි බයිසිකල් තිතටම හදන්න හැමෝටම බැරි නිසා... මෙහි එන්ජිම ඉස්සෙල්ලාම ගැලෙව්වෙ අපි ගත්තට පස්සෙ... එන්ජිමේ සියලු කොටස් යාවත්කාලීන කලාට පස්සෙ ලානිල් පැහැති ඔරිජිනල් පැහැය මට අවශ්‍ය පරිදි කහ පැහැයට පින්තාරු කලා. මළකඩ කාගෙන ආපු සෑම තැනක්ම ශුද්ධ පවිත්‍ර‍ කරලා.. සමහර තැන් අලුතෙන් සකස් කලා.. සෑහෙන කාලයක් වගේම තරමක ධනයකුත් මේ සදහා වියදම් වුනා. ඉන් පසු ඔන්න සිරාගේ බයිසිමොටෝ චාරිකා ආරම්භ වුනා.

කොල්ලා හැන්ඩ්සම් ද ?

වට්ටාරම

කැකිරාව

රන්ටැඹේ

බෙලිහුල් ඔය නාන වෙලාවක

ඉන්දියාවට ගිය ගමනකදි ස්කූටරයට අවශ්‍ය තවත් අඩුම කුඩුම සහ ඔරිජිනල් තත්වයේ කාපට් එකකුත් ගෙනාවා...මේ වර්ගයේ පැරණි බයිසිකල් ඉන්දියාවෙත් වැඩිපුර දකින්න ලැබෙන්නෙ ඌටි වැනි කදුකර පෙදෙස් වල විතරයි... ඒ කදුනැගීමට ඒවා සතු උපන් හැකියාව නිසයි....

ඉන්දියානු මාවතක් අසල ඇති චෙටැක් ස්කූටරයක්

ඉන්දියානු  පංචිකාවත්තක අභාවයට යන චෙටැක් ස්කූටර්
මේවා ඇස ගැටුනෙ ස්කූටරේට කාපට් එකක් හොයන්න යද්දි...
ස්කූටර් ගැන කථා කරනවා නම් ලෝකය පුරාම ඉතාම ජනප්‍රිය වෙළද නාමයන් දෙකක් තිබෙනවා. ඒ වෙස්පා සහ ලැම්බ්‍රෙටා (Vespa / Lambretta) මේ වෙළද නාමයන් දෙකම අයත් වන්නේ ඉතාලි සමාගම් දෙකකට. ඒ අතරින් ලැම්බ්‍රෙටා ස්කූටර් නිපදවූයේ ඉතාලියේ මිලානෝ හි පිහිටි ඉනොසෙන්ටි (Innocentiනම් සමාගමක්. මේ සමාගමේ ඇතැම් කොටස් 1972 දී ඉන්දියානු රජය විසින් මිළදීගෙන තිබෙනවා. ලැම්බ්‍රෙටා ස්කූටර් සදහා  අමතර කොටස් සොයා ගැනීම ලංකාවේදී දැන් දැන් අපහසු කාර්යයක්.

1968 වෙස්පා ස්ප්‍රින්ට් මාදිලියේ  නිවුන් සහෝදරයා විදියටයි 1979 දී බජාජ් චෙටැක්  150 CC මෙම බයිසිකලය නිපදවා තිබෙන්නෙ... නිෂ්පාදනය ඉන්දියානු වුවත් තාක්ෂණය ඉතාලි. වෙස්පා (ඉතාලි භාෂාවෙන් බඹරා)  ස්කූටර් නිපදවන ලද්දේ ඉතාලියේ පියාජියෝ (Piaggio) සමාගම විසින්. 1960 සිට පියාජියෝ මව් සමාගම ඉන්දියානු රජය සමග ගිවිසුම් ගතව  ස්කූටර් ඉන්දියාවේදී නිපදවූයේ වෙස්පා යන නාමය යටතේ. ඉන්දිරා ගාන්ධි අගමැතිනියගේ පෞද්ගලීකරණ වැඩසටහන යටතේ 1971 දී ගිවිසුම අලුත් කිරීමට කටයුතු නොකිරීම නිසා  පියාජියෝ සමාගම ඉන්දියාවෙන් බැහැර වෙනවා.

ඒ තාක්ෂණය යටතේ Piaggio අවසරය සමග මුල් කාලයේ ස්කූටර් නිපදවීම ආරම්භ කර පසුව තමන්ගේම සැලසුම් යටතේ  බජාජ් සමාගම 2009 වසර දක්වාම චෙටැක් මාදිලියේ ස්කූටර් නිපවනු ලැබුවා. මුල් කාලයේදී තෝරාගත් වෙස්පා මාදිලි වලට සමාන නිෂ්පාදන තමයි කරලා තියෙන්නෙ. ඒ 2 stroke ආකාරයේ එන්ජින් සමග, පසුව එය 4 stroke ආකාරයට වෙනස් කර තිබෙනවා.  එහෙත් ස්කූටර් සදහා වඩාත්ම සාර්ථක වී ඇත්තේ  2 stroke ආකාරයේ එන්ජින් බවයි බහුතරයගේ පිළිගැනීම. එවැනි එන්ජින් සදහා නඩත්තු වියදම, එන්ජින් ඔයිල් පරිභෝජනය ඉතාමත් අඩුයි.  අද කිසිම රටක මෙම මාදිලියේ ස්කූටර් අලුතින් නිපදවන්නේ නෑ.

වෙස්පා ස්ප්‍රින්ට් 1968 මාදිලිය
ඡායාරූපය  http://www.flickr.com/photos/nikebgoode/4569401152/
6V මැගින්ටෝ ක්‍ර‍මයට තමයි මෙය නිපදවලා තියෙන්නෙ... ඒ කියන්නෙ බැටරියකින් තොරව චුම්භක ආධාරයෙන් විදුලිය උත්පාදනය කරන ක්‍ර‍මයක් තමයි මෙහි තියෙන්නෙ.... පැති කණ්නාඩි වගේම,  සංඥා ලාම්පු පවා මේ ස්කූටරයට ඇවිල්ලා නෑ... ඒ එදා මාර්ග වල තිබ්බ අවශ්‍යතාව අනුව. එහෙත් අද කාලයට ගැලපෙන ලෙස පැති කණ්නාඩි සවිකර, විදුලි සැපයුම 12V දක්වා වැඩි කරන්න අපට සිදුවුනා... නැතිනම් රාත්‍රියට ප්‍ර‍ධාන ලාම්පුව එළිය මදි.

මෙන්න චෙටැක් ස්කූටරයේ කාර්මික තොරතුරු

Engine :Two stroke/petrol
Transmission :Four-speed
Displacement :145. 45cc

Max Power :7.48 hp@5500 rpm
Max torque:1.1kgm@3500 rpm
Ground
Clearance :145mm
Ignition :External Coil
Dry Weight:103kg
Fuel tank
Capacity :6.5 litres
Voltage6V
F/R suspension :Spring-loaded
Absorber
R/R suspension :Hydraulic absorber
Max Speed :85kph
Front Tyre size :3.50x10.4 Pr
Rear Tyre size :3.50x10.4 Pr
Wheelbase :1230mm


ලියාපදිංචි පොත

චෙටැක් යනු ඉන්දියානු යුධ වීරයෙකු වන රාණා ප්‍ර‍තාප් ගේ අශ්වයාගේ නාමයයි. 1576 දී හල්ඩිඝාටි හිදී පැවති සටනකදී චෙටැක් මිය යන අතර ඉන් පසු ඉන්දියාවේ චෙටැක් යනු අමරණීය නාමයක් බවට පත්වෙනවා...

Jamanlal Bajaj යනු සුප්‍ර‍සිද්ධ බජාජ් ඔටෝ සමාගමේ නිර්මාතෘ වරයා... ඉන්දියානු නිදහස් සටනේ ඉදිරියෙන් සිටි සටන්කාමියෙකු හා මානව හිතවාදියෙකු ලෙස මහත්මා ගාන්ධි තුමා සමග පිය පුතු මෙන් කිට්ටු ඇසුරක් තිබූ ඔහු දේශීය නිෂ්පාදන තුලින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ උදාර අරමුණින් මේ සමාගම ආරම්භ කර තිබෙන්නේ 1926 තරම් ඈත අවදියකදී. හමාරා බජාජ් යන ආදරණීය නාමයෙන් ඉන්දියාවේදී හදුන්වන බජාජ් නිෂ්පාදන ඉන්දියානු සංස්කෘතියට, එහි ජනජීවිතයට ඉතාම සමීපයි.

Jamanlal Bajaj  (1884 - 1942)
ඡායාරූපය 
http://en.wikipedia.org/wiki/File:Jamnalal_Bajaj_2006-03-17.jpg 

මාගේ පැරණි ස්කූටරයට වඩාත්ම ඇළුම් කරන්නෙ දිවිමගේ 50 වසර පසුකල අයයි. ඒ ඔවුන් තරුණ කාලයේ මෙවැනි බයිසිකල් පාවිච්චි කර ඇති නිසාවෙන් විය යුතුය. සිය පෙම්වතිය සමග ආගිය ගමන් බිමන් / රැකියාව ආරම්භ කල මුල් අවධියේ සිදුවීම් ඔවුනට ස්කූටරය දැකීමෙන් සිහිපත් වනවා විය හැක. 70 දශකය තුල  ස්කූටර් පාවිච්චි කර ඇත්තේ..  ගුරුවරුන්/විදුහල්පතිවරුන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ආදී සමාජයේ යම් පිළිගැනීමකට ලක් වූ අය විසින් බව මම නොයෙක් පුද්ගලයන්ගෙන් ඇසූ කථා බස් නිසාම ඒත්තු ගොස් ඇත. අදද මාර්ගයේ ධාවනය කරන විට ස්කූටර් අතර යම් සබැදියාවක් මා අත්විද ඇත... එනම් අනෙක් පසින් එන්නේ ස්කූටරයක් නම් බොහෝ විට හදුනන්නේ නැති වුවත් පූධාන ලාම්පුව දැල්වීමෙන් හෝ නලාව නාද කිරීමෙන් ඒ සුහදත්වය පළවේ.


ස්කූටරයේ දැන් වයස වසර 32 ක් ඒ කියන්නෙ සිරාටත් වඩා වයසයි. යන එන ඕනෑම තැනකදි නිබද අවධානයට ලක්වෙන එක දැන් නම් සිරාට සාමාන්‍ය දෙයක්....

සිරාගෙ මළනුවන් ලංකාවෙ ජාතික පුවත්පතක ඡායාරූප ශිල්පියෙක් වුනාට ඉඩ ඇති වෙලාවට මංගල ඡායාරූප ශිල්පියෙක් ලෙසත් කටයුතු කරනවා...ඒ වගේ අවස්ථාවල නිවසට එන ඇතැම් යුවල සිරාගෙ බයිසිමොටෝවත් ඡායාරූප සදහා ඉල්ලනවා....එවිට  ඒ පහසුකම සිරා සපයන්නෙ අයකිරීමකින් තොරව... මෙන්න සාක්ෂි...මේ ඉන්නෙ සිරාගෙ ළගට ස්කූටරේ ආවට පස්සෙ ඒක උඩ ඉදගත්ත පළවෙනි මංගල යුවල.



තෙල් ගහන්න ෂෙඩ් එකට ගියාම  තෙල් ගහන්න ආපු අය අහන්නෙ  විකුණන්න අදහසක් නැද්ද ?
කොළඹ ගිහින් වර්ණ සංඥාවක නැවතුනාම එහා පැත්තෙ කෙනා අහන්නෙ   විකුණන්නෙ  නැද්ද ?
සමහර වෙලාවට රථවාහන මගේ පස්සෙන් ඇවිල්ලා එහෙම අහන අවස්ථාත් තියෙනවා...

දවසක් ට්‍රේල් වර්ගයේ බයිසිකලයක් මගේ පිටිපස්සෙන්ම පන්නලා එනවා වේගයෙන්... මේ මොන අටමගලක්ද දන්නෙ නැති මමත් සෑහෙන වේගෙකින් ගියා...අන්තිමට මට කිට්ටු කරපු ඒ හාදයා
මල්ලි පොඩ්ඩක් ඉන්න.... මම මේ බයිසිකලේ ගිය සතියෙ ජා-ඇල දි දැක්කා... එදා අහන්න බැරි වුනා විකුණනවද කියලා.... අද මේ අහම්බෙන් දැක්කෙ.... විකුණනවද කියලා අහන්න තමයි මෙච්චර දුර පස්සෙන් පැන්නුවෙ කියලා කිව්වා.....

තරුණ ගැහැණු දරුවන් නවීන යතුරු පැදි පදින්නන් දෙස උවමනාවෙන් බැලුවත්... මෙවැනි පැරණි යතුරු පැදි දෙස එතරම් උවමනාවෙන් බලන්නේ නැති බවද මට වැටහී ඇත.

වයසක අය මුණගැසුනු විට

පුතා මේ වගේ ලැම්බ්‍රෙටා එකක් මටත් ඉස්සර තිබුනා... අවුරුදු 15කට ඉස්සෙල්ලා ඒක වික්කෙ.. අද අපරාදෙ කියලා හිතෙනවා විකුණපු එක...


පසුකලෙක බජාජ් සමාගම තුන්රෝද රථය නිපදවන්නේ ස්කූටර් සංකල්පයම තවත් ඉදිරියට සංවර්ධනය කිරීමෙනි... එහි එන්ජිමද ස්කූටරයේ එන්ජිමට බොහෝ සමානය. ලංකාවට පළමු වරට තුන්රෝද රථ හදුන්වා දී ඇත්තේ 1979 දී, එහෙත් රෝද 3ක් සහිත මෙම අරුම පුදුම වාහනයේ  ගමනක් යාම එතරම් සුරක්ෂිත නැති බවට කල්පන කල පොදු ජනතාව නිසා පළමු වසරටම විකිණීමට හැකි වී ඇත්තේ රථ 3ක් පමණයි.

අනෙක් යතුරුපැදි වලට සාපේක්ෂව ස්කූටරයේ වාසි

පදවන්නා කකුල් තබා ගන්නා ආකාරය වාහනයක ගමන් කිරීමට සමාන නිසා දිගු දුර ධාවනයකදී දැනෙන වෙහෙස අඩුය / වැසි දින වලට මඩ බිදක් හෝ ශරීරයට වදින්නේ නැත / සයිලන්සරය සවිකර ඇත්තේ යට පැත්තට වෙන්න නිසා හදිසි පෙරලීමකදී සයිසලන්සරයට ශරීරය පිළිස්සෙන්නේ නැත /  හදිසි අවස්ථාවකදී බයිසිකලය අතහැර ඉවතට පැනීමට පහසුවෙන් හැකිය /  කකුල් ඉදිරියෙන් ඇති යකඩ ආවරණයෙන් පාද සදහා සැලසෙන ආරක්ෂාව / ටයර් වල පැච් එකක් ඇති වූ විට අමතර රෝදය භාවිතා කල හැකි වීම (අමතර රෝදයක් සහිත එකම යතුරුපැදිය) / චේන් එකක් නැති නිසා චේන් එක පැනීමෙන් බයිසිකලය පෙරළීමේ අවධානමක් නැත, පිටුපස රෝදය කෙලින්ම එන්ජිම මගින් කරකවන නිසා කදු නැගීමේදී ඉතා පහසුවෙන් ඒවා තරණය කල හැක.

අවාසි

පසුපස ඉදගෙන යන කෙනාට තරමක් අපහසු වීම  / ක්ලච්,ඇක්සලේටර්, ගියර්  ආදී කේබල් කැඩුනු විටෙක නැවත දැමීමට තරමක් වෙහෙස විය යුතු වීම / හැමවිටම රථය නවතන විට ප්‍ර‍ධාන ස්ටෑන්ඩ් එක පාවිච්චි කල යුතු වීම / ඉන්ධන පුරවන විට බයිසිකලය නවතා බැස ආසනය එසවීමට සිදුවීම.

අලුත්ම මෝටර් සයිකලයක් මිළදී ගැනීමට සිතා සිටි මා මිතුරෙකු දිනක් මගේ ස්කූටරය දැක එදා සිට එයට පෙම් බැන්දේය.. ඔහුද හොද පැරණි ස්කූටරයක්  කාලයක් යන තුරු සෙවූවද හමුවූ නැති තැන අබලන් එකක් මිළදී ගෙන මුල සිට අගට සම්පූර්ණයෙන්ම අලුත්වැඩිය කොට ධාවන තත්වයට ගත්තේය. අපගේ මෙම ස්කූටර් දෙකම 2012 වෙසක් දින පාහියන්ගල බලා  223 Km දුර ගිය චාරිකාව ඉතා රමණීය එකක් වූ අතර බොහෝ දෙනා ඒ කෙරේ අවධානය දැක්වූහ. විශේෂයෙන් මාර්ගයේ සිටි කුඩා ළමුන්  මේ දර්ශනයෙන් ඔද වැඩී  කෑ කෝ ගැසුවෝය. කහ පැහැයෙන් යුත් ස්කූටර් ඉතා අඩු නිසාදෝ ඕනෑම තැනක මේවා කැපී පෙනෙයි. නවතා ඇති ස්ථානය අවට කුඩා දරුවන් සිටියි නම් අනිවාර්යෙන් ඔවුන් ඒ කෙරෙහි ආකර්ශනය වන ආකාරය මා අත්විද ඇත.

මම තනියෙන් ගියාට යාලුවා යන්නෙ ඩබල් දාලා

පාහියන්ගල යන ගමන් සීතාවකදි
මෙවර අප ගිය සිංහරාජ චාරිකාව කිලෝමීටර් තුන්සීය ඉක්මවීය. මා මේ දුර ගණන් දැක්වූයේ ස්කූටරය පැරණි වුවත් හොදින් නඩත්තු කරන්නේ නම් දුර ගැටලුවක් නොවන බැව් දැක්වීමටයි.

ස්කූටරයේ  ලියාපදිංචි ලේඛන වල සටහන්ව ඇති පැරණි හිමිකරුවන් සොයා ගොස් ඔවුන් සමග කථා බස් කිරීමට මම ඉතාමත් ආශාවෙන් සිටිමි.

මා හිතවත් දෙරණ රූපවාහිනියේ කසුන් මල්ලි වරෙක මගේ ස්කූටර් කථාව වස්තු බීජයක් ලෙස ගෙන චිත්‍ර‍පට තිරනාටකයක් ගොඩ නැගුවේය. නිසි නිෂ්පාදකයකු හමු වූ විටෙක එය අපට ඉදිරි දිණක දැකගන්නටත් ලැබේවි.

සිරාගේ ස්කූටරේ දායක වූ රූප රචනා.....



රොමේෂ්  සහ ජිත්මි -  රෑට මං සිහිනෙන් ඇවිදින්



                                                            
                                                             ඉරාජ් / පේෂල -  දෙනුවන්

ශ්‍රීලංකාවේ අපූර්වතම යුගයක් නියෝජනය කල මෙවැනි රථවාහන එදා ජනජීවිතයේ රසමුසු තැන් සමග ගැවසුන ඒවා වෙති. එදා සමාජය ක්‍ර‍මයෙන් අද දක්වා වෙනස් වූ බැව් දැක්කෝ වෙති. වාහන අඩු එදා මහාමාර්ගයන්හි පැරණි රථවාහන සමග ගමන් ගිය අතීතය අමතක කර සංකීර්ණ නවීන වාහන සමග වාහන  තදබදයන්  අස්සේ අදද ධාවනය වන්නෝද වෙති.

ඒ සුන්දර අතීතය සිහිපත් කරමින් සිරා මාස 4 කට වරක් ලංකාවේ සංචාරය කර නොමැති පළාතක සුන්දරත්වය දැක ගැනීමට සිය ස්කූටරය මෙහෙයවයි... ඒ අවශ්‍යතාවම ඇති යතුරුපැදි මගින් සංචාරයට ප්‍රිය තවත් මිතුරන් පිරිසක් සිටීමද වාසනාවකි.




මම සයිබරයේ අලුත් මිතුරා සිරා...

ප.ලි

ස්කූටරය වර්තමානයේ හැඩ වැඩ කරන්නේ වැලිවේරියේ අජන්ත අයියාය... ගම්පහට ආසන්නයෙන් ඉතා හොද වැඩකරුවෙකු සොයාගැනීමට මා කල උත්සාහයේ ප්‍ර‍තිඵලය ඔහුගේ හමුවීමයි.

සිරාගේ ස්කූටරය ඔරිජිනල් ගත් ලක්ෂණ වලින් බැහැර වී කාලීන වෙනස්කම් වලට භාජනය වී ඇත.

ස්කූටරය රූපරචනා සදහා යොදාගැනීමට තීරණය කල තාල රූප අධ්‍යක්ෂ චමිල් සදරුවන් පතිරණ මිත්‍රයාට හා කලා අධ්‍යක්ෂක බිමල් සොයුරන්ට මාගේ ප්‍රණාමය.

ඇතැම් තොරතුරු උපුටා ගත්තේ Wikipedia.org වෙතින් හා scooterhelp.com වෙතිනි.

කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන සහභාගී වූ බර්ර්ර්ර්ර්ර් කොකා කෝලා දැන්වීමටද ආරාධනාවක් ලැබුනත් ඒ අවස්ථාවේ කොච්චිකඩේ චමින්ද අයියා අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක් කරමින් තිබූ නිසා ඒ අවස්ථාව සිරාට ගිලිහී ගියා....

ඔබද මෙවැනි ස්කූටරයක් පාවිච්චි කරන්නෙක් නම් සිරා වෙත ඊයක් එවන්න. එවැන්නන් හදුනාගැනීමට ඉතාමත්ම කැමතියි... 

ඇන්ටික් යකඩ අස්පයෝ මීළග පෝස්ටුව ලෙස නිසැකවම පළවේවි. ප්‍රමාදය පිළිබද මාගේ බලවත් කණගාටුව....





125 comments:

  1. හිතුවට වඩා සිරා ඇන්ටික් පොරක් නෙ. නොදන්න දේවල් ගොඩකුත් දැනගත්ත.

    ReplyDelete
    Replies
    1. අපේ අම්මා නම් විහිලුවට කියන්නෙ මට හරි යන්නෙත් ඇන්ටික් ගෑණියෙක් කියලා.... ස්තූතියි මේ පැත්තට ආවට...

      Delete
    2. ඔය අදහස නම් වෙනස් කර ගනින් සිරෝ

      Delete
    3. අපොයි..දෙය්යනේ අම්ම එහෙම කිව්වද...??

      Delete
    4. @ අවතාර්

      නෑ නෑ එහෙම අදහසක් නෑ

      @ වී පොකුර

      එහෙම කිව්වා තමයි...ඒ විහිලුවට...තවත් දවසක යාලුවෙක්ගෙ ඥාති කාන්තාවක් කිව්වා දුවක් හිටියා නම් පුතාට දෙන්න තිබුනා...මේ බයිසිකලේ රැක බලා ගන්න හැටි දැක්කම දුවවත් බොහොම ආදරෙන් බලාගනියි කියලා හිතෙනවා කියලා එයා කිව්වා....

      Delete
  2. නිවාඩුව කියෝලා කමෙන්ට් එකක් දෙන්නම්.

    හරී

    ReplyDelete
    Replies
    1. නිකම්ම ස්කූටරේ ගැන ලියන්නෙ නැතුව විස්තර හොයලා එකතු කරපු එකනම් හොඳටම වටිනවා.. නියමයි.. සිරා ස්කූටරේ පදින්න විතරක් නෙමෙයි දන්නෙ කියලා පේනවා..

      ඇත්තටම මටත් ආසාවක් ආවා ඇන්ටික් බයික් එකකට.. බලමු සල්ලි හම්බෙච්චදාක.. සිරාගෙන් උපදෙස් ගත්තැකිනෙ...

      අර ගෑණු පරාණ නොබලන එක ගැන නම් වැඩිය හිතන්නෙපා බන්.. උන්දැලට කොහොමත් වැදගත් එව්වා පේන්නෙ නෑ.. :)

      Delete
    2. මේ වගේ බයිසිකලයක් ගත්තොත් අමතර කොටස් ගන්න පුලුවන් තැන් වගේම හදාගන්න පුලුවන් ස්ථාන පිළිබදවත් දැනුවත් කරන එක බොහොම සුළු දෙයක්.... මේ ස්කූටරයට තවමත් අමතර කොටස් ඕනෑ තරම් හොයා ගන්න පුලුවන්....

      Delete
  3. අම්මෝ දිග පෝස්ට් එකක් තැනින් තැන කියෙව්වා.මොනවා වුනත් හදලා ගත්තාම ස්කූටරේ නියමෙට තියෙනවා.හැබැයි ඔය ඩබල් දාලා යන්නෙ යාලුවා කිව්වට මටනම් පේන්නෙ සිරා වගේ.ඔයාගෙනෙ කහ පාට ස්කූටරේ.අනික තැඹිලි වගේ පාටක්නෙ.

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා....

      ඩබල් දාලා යන්නෙ යාලුවාම තමයි...මොකද මිනිහා එයා එක්ක ආදරයෙන් වෙලුනට පස්සෙ තමා බයිසිකලේ ගත්තෙ... මේ වගේ බයිසිකල් දිහා කෙල්ලො බලන්නෙ නැති නිසාම තමයි සිරා තාමත් තනියෙන යන්නෙ.... සිරාගෙ ස්කූටරේ පිටිපස්සෙ ගෝණුස්සෙක් ඉන්නවා...ඒකෙන් පුලුවන් අදුනගන්න....

      Delete
  4. නියම පොස්ට් එක මචන්...!! දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්ත... අනිත් පොස්ට් එකත් ඉක්මනට දාන්න..!

    මයික්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මයික් දිගින් දිගටම මාව දිරිමත් කරනවාට.... කැන්ගරු දේශයේ නැද්ද පරණ ස්කූටර් රසිකයො එහෙම... ඊළගට අනිවාර්යෙන්ම එන්නෙ ඒ පෝස්ටුව තමයි.

      Delete
    2. අපෝ ඉන්නව ඕන තරම් .. මම Exhibition එකකට ගීයහම පින්තුර අරන් එවන්නකො...(එත් මතක නෑ ස්කූටර් දැක්කද කියල මොකෝ මම ගොඩක් වෙලාවට ඇදුනේ රෝද 4ත තියන පැත්තට නිසා එත් පරණ මෝටර් බයිසිකල් තිබුන කියල හොදටම මතකයි ) මගේ රෝද 2 ආසාව අත ඇරුනේ අපේ අම්මගේ අකමැත්ත නිසා මොකෝ එයා කියන්නේ තියන විසේට කකුල් දෙකෙන් ඉන්න බැරි මිනිහ කොහොමද රෝද 2කෙන් යන්නේ කියල.. ඉතින් රෝද 4කං ගන්න වුනා..එත් මම අදටත් ආසයි රෝද 2ට ...මොන වුනත් ලිපියෙන් ගොඩක් දේවල් දැන් ගත්තා .. Thank you so much මචන්...

      මයික්

      Delete
  5. සිරාගේ ස්කූටිය මාර හිට්නේ.ස්කූටරේ ගැන නම් මට කියන්න දෙයක් නෑ සේෆ්ටිය අතින් උපරිමයි.මගේ යාලුවෙක් ඉතාලියේදී ඇක්සිඩන්ට් උනා.එදා ගමන හොනට් එකෙන් යන්න හදලත් මිනිහා වෙනසකටත් එක්ක කියලා ස්කූටරෙන් ගිහිල්ලා.හතරමංහංදියකදී කාර් එකකට හැප්පුනා.බයිසිකලේ තුනට කැඩිලා.එතන හිටපු අය හිතල තියෙන්නේ මිනිහා එතනමයි කියලා.ඒත් මෑන්ට සීරිම් ටිකකුයි පොඩි තුවාල ටිකකුයි විතරයි.ඌ අදටත් කියන්නේ මගේ ජීවිතේ බේරැවේ දෙන්නයි ඒ දෙවියොයි ස්කූටරෙයි කියලා .බැරි වෙලා වත් එදා හොනට් එකෙන් ගියා නම් එක්කෝ මිනිහා නෑ එහෙමත් නැත්තම් කකුල් දෙක නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං...මේකෙ කකුල් වලට ඉස්සරහින් තියෙන තහඩුව හොද ගේජ් එකක් තියෙන තහඩු වලින් හදලා තියෙන්නෙ... අනිත් කාරණාව තමයි ස්කූටරයක් පැදපු කෙනෙක් වෙනත් බයිසිකලයකට මාරු වෙන්නෙ කලාතුරකින්...ඒ මෙහි තියෙන පහසුව නිසා...

      Delete
  6. කවදාවත් ස්කූටරයක් පැදලා නෑ කිව්වොත් විස්වාස කරයිද මන්දා... ස්කූටරයක් ඇරෙන්න අනික් හැම වාහනයක්ම පැදලා තියෙනවා.බස් ලොරි පැදලත් නෑ හොඳේ...

    මේ විස්තරයට සෑහෙන්න ආකර්ෂණයක් ඇතිවුනා එහෙම නොවුනනම් තමා පුදුමේ.මුල ඉඳන් අග වෙනකන්ම ස්කූටර් ලෝකෙක හිටියා වගේ.ස්කූටර වලින් මේ තරම් දුර යන්න පුළුවන්ද කියලත් සැකයක් ආවා...

    ඉන්දියාව ඒ තරම් ඈත කාලෙකදි මේ වගේ නිෂ්පාදන කලා නම් ලංකාවට බැරි වෙයිද මීට වඩා ප්‍රාථමික කරත්තයක්වත් හදන්න??

    දවසක් මගේ ඇස් පනාපිටම බයික් එකක් වෑන් එකක හැප්පුණා ඒ වෙලාවේ බයික් එක එලවපු මනුස්සයගේ කකුල කොහෙන්දෝ මතුවෙච්චි යකඩ පොල්ලකට දෙපලු වෙලා තිබ්බා.එදා ඉඳන් මට බයික් ඕන්නැ... ඒත් ඉතින් යාළුවෝ කොහෙ හරි යද්දි සද්දන්ත මාව ඕවාට නැග්ගුවාම අනිවාර්යෙන් බයික් එක පෙරලෙනවමයි පස් පාරක් නැග්ගොත් එක පාරක්වත්... ඉතින් කොහොමෙයි එක හිතින් බයික් එකක් පදින්නේ... මේක ආරක්ෂිතයි කියලා නම් හැබැයි පිළිගන්න වෙනවා කියලා තියෙන දේවල් හැටියට.හැබැයි අයියේ පරිස්සමෙන් ඈ... කොයිතරම් පරිස්සමෙන් ඔයා ගියත් ලොකු වාහන කාරයෝ බයික් ත්‍රීවිල් දැක්කම නොදැක්ක ගානටනේ ඕවටේක් කරන්නේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගැමියා මලයා ඔබේ අදහස් වලට

      ස්කූටරේ ගියර් දාන්න තියෙන විදිය තුන් රෝද රථයක වගේ නිසා කවුරුවත් පදින්න ඉල්ලන්න එන්නෙත් නෑ... අපි හරියට ගියත් හැප්පෙන වෙලාවල් තියෙනවා තමයි ඒත් ප්‍රධානම කාරණය තමයි වේගය. මේ බයිසිකල් වැඩි වේගයකින් යන්නෙ නැති නිසා ඒ වගේ අවස්ථා වලට තවම මම මුහුණ දීලා නෑ...

      ඔය කියන තරම් තරබාරු නම් ආහාර පාලනය කරලා ඇග සුට්ටක් අඩු කරගන්න නැත්නම් ගෑල්ලමෙක් එහෙම හොයාගන්න අමාරු වෙන්න පුලුවන්... ජය!

      Delete
    2. ගෑල්ලමයා හොයාගනිද්දි කෝට්ට වගේ හිටියේ හි හි

      Delete
  7. අතිවිශිෂ්ඨ ලිපියක්.....

    සිරාගෙ අහිංසක ආඩම්බරය සමග අපද එක්වන්නෙමු.

    ප.ලි. ඉංගිරියෙත් තියෙනවා මේ වගේම ඇන්ටික් බජාජ් ස්කූටරයක්.... ඒකත් කහටපාටයි, සිරාගෙ මකර රූපය වගේ ඒකෙ තියෙන්නෙ බොබ්මාලේ ගේ පික් එකක්. ඒකෙ අයිතිකා‍රයා මුණ ගැහුණොත් කතාකරලා සම්බන්ද කරන්නම්.....
    තවත් ඔය වගේ අයිටම් හම්බවුනොත් කියන්නම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුමිත් අයියා...

      මගෙ එකේ ඉන්නෙ මකරෙක් නෙමෙයි ගෝණුස්සෙක්....

      Delete
  8. අද නම් පෝස්ට් එක සහෙන්ඩ දිගයි වගේ... ටිකක් කියෙව්වා ඉතුරු ටික හවස කියවන්ඩ වෙන්නේ

    ReplyDelete
    Replies
    1. හිතට ආපු ඔක්කොම ලිව්වා පස්සෙ තමයි දැක්කෙ ටිකක් විතර දිගයි කියලා...

      Delete
  9. සිරා මේක සිරා පොස්ට් එකක්. මරේ මරු.නුඹේ රසාස්වාදයට මගේ සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින්... ඔබේ අදහස් වලට......

      Delete
  10. ගති වැඩක්නේ... ස්කූටර්වල වේගේ තමා මට මදි අප්පා.. නැත්තං ස්කූටරේකට හැරෙන්නත් හිතෙන තරමට මේක ගතියටම ලියලා තියේ...

    ReplyDelete
    Replies
    1. මාරයාට ඉතින් වේගෙම නේන්නං ඕන...අපේ කරුමෙට...!

      Delete
    2. වේගය මරු කැඳවයි.

      Delete
    3. පැරණි ස්කූටර් වල නම් ආරක්ෂිතව යන්න පුලුවන් උපරිම වේගය පැයට කිලෝමීටර් 60 මේවායේ තිරිංග පද්ධතිය එතරම් දියුණු නැති නිසා ඊට වැඩි වේගයකදි එක්වර නවතා ගැනීම අසීරුයි... එහෙත් නවීන 4 Stroke ස්කූටර් වල නම් මේ ගැටලු නෑ... වේගයෙන් යන්න පුලුවන්....මාරයාට වේගය ගැටලුවක් වෙන එකක් නෑ... නම මාරයා නොවැ...

      Delete
    4. මාරයෝ byk වලටත් තව අවුරුදු 10ක් යනකොට ඔය ඉල්ලුම එනවා, විකූණන්ඩ නම් එපා රජෝ ඔය බයික් එක.
      මාරයයෝ මගේ කෑලි හැලෙන byk එකත් විකුණනවද කියලා අහනවා බං පාරේ යනකොට
      මාරයට එහෙම කරදරයක් නැද්ද

      සිරා ලිපියත් මරු, බයික් එකත් මරු.
      මම අළුත් බයික් ගන්න අදහස මේ ලිපිය නිසා අත ඇරියා මේ ලිපිය නිසා
      සල්ලි ටිකක් අතට ලැබුනහම මගේ byk එකත් හදනවා මරුවට

      Delete
    5. ඔය කියන්නෙ බජාජ් BYK වෙන්න ඕනෙ... ඒ බයිසිකලෙත් අලුතෙන් එන්නෙ නැති නිසා තව අවරුදු 20 කට විතර පස්සෙ සෑහෙන්න වටීවි...

      Delete
  11. old is gold කියල අහල තියනවා. පාහියංගල චාරිකාවත් ලියන්න... සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙම කථාවක් තියෙනවා තමා.... පාහියංගල චාරිකාව දැන් පරණයි කියලයි මට හිතෙන්නෙ... ගිය අලුත තමයි ලියන්න හොද... මොකද සිදුවීම් සියල්ල හොදට මතක නිසා.. ස්තූතියි මේ පැත්තට ආවට...

      Delete
  12. සිරාගෙ බයික් එක වගේම රසවත් විස්තරයක්නෙ දාල තියෙන්නෙ.
    මාත් ආසම වාහනයක් තමයි ඔය ස්කූටර් එක. හැබැයි තවම පැදලනං නෑ. :D

    ReplyDelete
    Replies
    1. ස්කූටරේ හැඩයේ තියෙන සුවිශේෂී වෙනස නිසා බොහෝ අය ඊට ආකර්ශනය වෙනවා... පැදලා නැත්නම් වෙලාවක පදිමු.... බලන්නකො කොහොමද සැප කියලා...

      Delete
  13. අප්පටසිලි බලන් යනකොට සිරාගේ ස්කූටරේ සිරාට වඩා ෆේමස් වගේනේ.

    ReplyDelete
    Replies
    1. ඒ ස්කූටරේ වෙඩිම කීපයකටම ගියා. අපේ පැත්තෙ නම් මේ ස්කූටරේ ටිකක් ෆේමස්...ඒ නිසා හොර වැඩක් කරලා මාරු වෙන්න බෑ...

      Delete
  14. oii sira patta ban..tikak j th hituna ube bike eka dakkama..ado man gawa tiyanawa 27 k parana honda 103 bandayak..kastya ekatath wikunanawada kiyala ahanawa hoo gala..oya wage sira ne..math antique badu walata nam peratai.patta pata pata oya wage wandi aye set unoth post ekak dapan good luck sira

    ReplyDelete
    Replies
    1. ඔය වගේ භාණ්ඩ ආයෙත් හොයාගන්න බෑ... අනිත් එක දැන් එන බයික් පරණ ඒවා තරම් හයිය නෑ... මේ වගේ භාණ්ඩයක් සෙට් උනොත් දන්වන්නම් දිගටම මේ පැත්තට එන්ඩ...

      Delete
  15. ඇත්තමයි හරිම ආස හිතෙන විදියට මේක ලියලා තියෙනවා..කොටින්ම මට තියෙන්නේ මිනි කුපර් පිස්සුවක්..පුදුම ආසවක් මට තියෙන්නේ මිනි කුපර් එකක් ගන්න පරණ මොඩල් එකක...පරණ අර ඉබ්බෝ එහෙම යද්දි මම බලන් ඉන්නේ පුදුම ආසාවකින්..මගේ යාලුවෝ අර හයිබ්‍රිඩ් මේ හයිබ්‍රිඩ් කිය කිය ආසාවෙන් පැලෙද්දි මට කවදාවක් අත් ඇරගන්නම බැරි ආසවක් තමා ඔය මිනි කුපර් පිස්සුව එක මගේ ලොකු හිනයක් හැබැ කරගන්න දඟලන...ඔයාගේ මේ ලස්සන යාලුවා ගැන නම් කියන්න වචන නැහැ..එ තරම් අපුරුයි සිරෝ...

    හිතුවක්කාර හිත හි නිම්ශා...

    ReplyDelete
    Replies
    1. මටත් තියෙනවා නොවැ මිනි කූපර් පිස්සුවක්.. අපේ මහත්තයා තමයි හැදෙව්වෙ.. හිහි... මිනි කූපර් එකක් දැක්කම මාත් හැරිලා බලනවා... අපේ මහත්තයා හිතන්නේ ඒකේ ඉන්න ලස්සන කොල්ලා දිහා බලනවා කියලා.... පස්සේ තමා මීටර් වෙන්නේ මම බැලුවේ කාර් එක දිහා කියලා.. හි හි...

      Delete
    2. @ නිම්ෂා

      ඔය මිනිකූපර් පිස්සුව තියෙන මගෙත් යාලුවො ඉන්නවා... පුදුමෙ කියන්නෙ උන්ට ඒ වර්ගයේ වාහන දැනට තිබිලත් තවත් මදි වීම. ඔබේ ඒ හීනය ඉක්මනින්ම සැබෑ වේවා කියලා පතනවා.... සෑහෙන කාලෙකින් දැක්කෙ...මොකද දැන් පේන්න නැත්තෙ...

      @ හිරු

      හා හා බොරු කියන්න එපා මිනි කූපර් මිනි කූපර් කිය කියා ඒක එළවන කොල්ලා දිහා නේද මහත්තයාට හොරෙන් බැලුවෙ....

      Delete
  16. මම නම් ස්කුටර් පැදලා නෑ සිරා. ඒත් මේක අපූරු වාහනයක් නේ. දැන් එන ස්කුටර් වැල නම් ක්ලච් එකක් නෑ නේද ? අනික මාර පහසු ඇති තමා. සිරා අන්ටික් වාහන වලට ආසයි කිව්වනේ.නෙට් එකේ තිබ්බා මොඩිෆයි කරපු 11 ශ්‍රී කාර් එකක ෆොටෝ ටිකක්, සිරා දැක්කද. නැත්නම් මම ඊයක අමුනලා එවන්නම් බලන්න. යකඩ අස්පයෝ ගැන අනිත් පොස්ටුව ත් බලාපොරොත්තු වෙනවා මචං. වීඩියෝ දෙක නම් බැලුවේ නෑ හවස ඇවිත් බලන්නම්.

    ReplyDelete
    Replies
    1. දැන් එන 4 Stroke බයික් වල ක්ලච් එක තියෙනවා... මම කිව්වෙ චෙටැක් කියන සීරීස් එක 2009 දි අවසන් උනා කියලයි.

      ඕනෑවට වඩා මොඩිෆයි කරාම ඒකෙ තියෙන ඇන්ටික ගතියට හානි වෙන්න පුලුවන්...මේ බයිසිකලේ යද්දි තියෙන ප්‍රතිචාර නිසාම තමයි මම ඒකට මේච්චර කැමති...

      Delete
  17. වාහන ගැන නම් මට එච්චර ආසාවක් නෑ සිරා, ඒත් ඔයාගෙ ස්කූටර් පුරාණෙ නම් ආසාවෙන් කියෙව්ව, දැන් නම් මටත් ආස හිතුනත් එක්ක. :)
    පරණ කාසි, මුද්දර එකතුකරන පිස්සුව නම් මටත් තියෙනව. මුද්‍රා තියපු මුද්දර නම් තියෙනව සුද්දගෙ කාලෙ ඒවත්, සීල් නොකරපු අළුත් මුද්දරත් 1997-2010 විතර වෙනකම් නිකුත් කරපු මුද්දර කීපයක් ඇරෙන්න අනිත්ව ඔක්කොම තියෙනව. දැන් මුද්දර කාර්යංශෙ ඉන්න එවුන් පිස්සු කෙලිනව, ඒ නිසා කාලෙකින් මුද්දර ගෙන්න ගන්න බැරි වුනා. 1736 VOC කාසියක් මගේ ළඟත් තියෙනව, තව පස්වෙනි ජෝජ්, හයවෙනි ජෝජ්, රැජිණ ඉන්න ශත ගණන්වල කාසිත් ටිකක් තියෙනව. ඇත්තෙන්ම ඒව ආයිත් බලනකොට අමුතු සතුටක් හිතට දැනෙනව.

    ReplyDelete
    Replies
    1. සතුටුයි මගේ වගේම ආසාවන් ඔබටත් තියෙන බව ඇසීමට ලැබීම... අද කාලෙ ළමයින්ට මම හිතන්නෙ මෙහෙම ආශාවන් නැතුව ඇති... ඔබේ කාසි එකතුව දකින්න මටත් ආශාවක් ආවා... මටත් ඉස්සර බයික් කියන්නෙ ඉතාමත් අනාරක්ෂිත වාහනයක් කියලා තමා හිතුනෙ ඒත් පාවිච්චි කරන්න ගත්තට පස්සෙ ඒක නැතුවම බැරි උනා... ගමනාගමනය එමගින් ඉතා පහසු උනා වගේම වැඩේ ලාභයි....

      Delete
  18. මටත් ඇන්ටික් පිස්සුව හැදිල, අමාරුවෙන් ....ලෙඩේට පුරුදුවෙලා ඉන්නව. ආයේ ලෙඩේ වැඩි උනාද මන්ද ....? මම දන්නවා 7 ශ්‍රී වෙස්පා එකක් තියන පලවෙනි අයිතිකරු, හිටහන්කෝ ඒ උනත් හැදුන ගමන් සනීප කරගන්න.

    ReplyDelete
    Replies
    1. ඇන්ටික් උණ හැදුනොත් ඉදලා හමාරයි. මගේ යාලුවට උනෙත් ඒ දේමයි. අපේ පැත්තෙත් ඉන්නවා 8 ශ්‍රී බජාජ් එකක් තියෙන කෙනෙක් පළමු අයිතිකරු මිනිහා හොද සල්ලිකාරයා..ගෙදර වාහන කීපයක්ම තිබුනත් වැඩිපුරම අපි දකින්නෙ ස්කූටරේ යනවා... මගේ ස්කූටරේ දැක්ක මුල් දවස් වල ඒකෙ අඩුපාඩු හදාගන්න හැටි ගැනත් උපදෙස් දුන්නා... වෙස්පා එක විකුණනවද කියලා අහලා බලන්න... ජය !

      Delete
  19. හපොයි මාර විස්තරයක්නේ. සිරා පරණ ඒවට ආසා වෙනවා කියන්නේ ලොකු දෙයක්. ඒ වගේ අයලු තමන්ගේ භාර්යාව වයස ගියාමත් ආදරෙන් ඉන්නේ. ඔය පුරා විද්‍යඥයොත් එහෙමලු. හී හී...

    හැන්ඩ්සම් බයිසිකලේ. ඒක පදින එක්කෙනාගෙත් වැරැද්දක් නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ වදන් වලට

      ඒක නිසාමදෝ වැඩිහිටි කාන්තාවො කීප දෙනෙක්ම කිව්වා බයිසිකලේ රැක බලා ගන්න විදිය දැක්කම භාර්යාවත් හොදට රැකබලා ගනී කියලා හිතෙනවා කියලා... කරුමෙ කියන්නෙ එහෙම කියපු එක්කෙනෙක්ටවත් දූවරුන් නෑ...

      පදින කෙනාගෙ වරදක් නෑ කිව්වෙ පදින එකාත් හැන්ඩ්සම්ද ඈ....

      Delete

  20. නම සිරා වගේම වැඩත් සිර නේ මල්ලි
    මම සමන් ඔබ කියල තිබුන 50 සමාජයේ
    පරණ කාර් උන මගේ හැමතෙනම මගේ නෝනා කියන්නේ
    මට රථ ගාය තියනවා කියල මගේ නෝනා ගේ බාප්පට තිබුන
    ලම්බ්‍රෙට එකාක්
    අපි කියුවේ මදුරුවා මොඩෙල් එක කියල දැන් බාප්පා නෙහෙ මට හිතුන
    එය මොනතරම් ආඩම්බරද කියල පොස්ට් එක දැක්කම මම ඉන්නේ හිරු
    නොබහින රටේ මෙහෙ හරිය ඔය සමාජ තියනවා ඔබ කැමතිනම් මට පුළුවන්
    විස්ටර එවන්න.
    ඉතාමත් ලස්සන ලිපියක්.
    ඔබට ජය,

    ReplyDelete
    Replies
    1. සමන් අයියා කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

      ඔය රටවල් වල තියෙන පරණ ස්කූටර් ප්‍රධානවම ලැම්බ්‍රෙටා සහ වෙස්පා, වාර්ෂිකව පවත්වන රැලි වල ඡායාරූප මමත් දැකලා තියෙනවා,ඒවායෙ හිමිකරුවො බොහොම උජාරුවට ඒ දවසට සහභාගි වෙන අන්දම... බාප්පගෙ ලැම්බ්‍රෙටා එක සුද්ධ පවිත්‍ර කරලා ගන්න තව අවුරුදු 10 ක් විතර ගියාට පස්සෙ ඔය වගේ බයිසිකල් සෑහෙන්න වටිනවා... අනිත් කාරණේ එතකොට කවුරුවත් ඕවා විකුණන්නෙත් නෑ... අලුත් තොරතුරක් ලැබුනොත් මට ඊයක් දාන්න එවිට එයත් පෝස්ටුවක් විදියට අනෙක් අයත් සමග බෙදා ගන්න පුලුවන්... ස්තූතියි..

      Delete
  21. මමත් ආසම ඒකක් තමා ඔය වන්ඩිය හොයලා හොයල බැරිම තැන ගත්තා අලුත් මොඩලයේ එකක්

    ReplyDelete
    Replies
    1. අපේ උන් පරණ බයික් හොයා ගන්න මට තමයි දැන් අමතන්නෙ... ජෝන් අයියටත් පරණ වන්ඩියක් ඕනෙ නම් හොයලා දෙන්නම්... අහුමුළු වල තවමත් බඩු තියෙනවා...

      Delete
  22. අපේ ගෙදරත් තියෙනවා නොවැ ස්කූටරයක්.... ඒක බජාජ්.. සිරා විස්වාස කරයිද මන්දා අපේ තාත්තා ඒක ගත්තේ අපේ අම්මට පදින්න.... දැන් අවුරුදු 22කට කලින්.. අපේ පැත්තේ මුලින්ම බයිසිකලයක් පැද්ද ගෑණු කෙනා අපේ අම්මා.. හම්මෝ ඉස්සර අපේ අම්මා අපිවත් දාගෙන ඕකේ යනකොට අපි ගියේ ඊටත් උඩින්.. ඇයි කිව්වොත් මේවයේ ගමන හරි සනීපයි නේ.. සීට් එකත් ලොකුයි.. ස්පෙයා වීල් එක නිසා වැටෙන්නෙත් නෑ... අදටත් කට්ටියට අපිව මතකයි.. ඔයාගේ අම්මා නේද අර ස්කූටරේ ගියේ කියලා අහන්න. .. තාත්තා ඒක විකුණන්න කැමති නැති නිසා තාමත් තියෙනවා.. අම්මට නම් ඔස්ටියෝ ආතරයිටිස් තත්වයක් තියෙන නිසා දැන් කික් කරන්න බෑ...

    මලයා ළඟදි වැක්ස් කරලා, ඔය ස්ටිකර් ටිකක් එහෙම ගහලා පාවිච්චි කළා... දැන් නම් ගත්තා වගේ 4 ගුණයකට විතර විකුණන්න පුළුවන් කියලා තාත්තා කියනවා.. හැබැයි විකුණන් නෑ.. හි හි.. මේ මං පෝස්ට් එකක් දාපු වෙලාවක ඕකත් පැත්තකින් වැදිලා තිබිච්චි හැටි...

    http://hirunethihorawa.blogspot.com/2010/07/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඉස්සර සිරිලංකා පොලෝසියෙ කාන්තාවනුත් ස්කූටර් පැද්දලු... වැහි දවස් වලට කට්ටිය බ්‍රේක් ගහන්න ගිහින් ඇදගෙන වැටෙන නිසා පස්සෙ භාවිතයෙන් ඉවත් කලා කියලා පොලෝසියේ හිටපු අපේ බාප්පා කෙනෙක් කිව්වා..

      ඔබේ මව ගැන ආඩම්බර වෙමි. මෙවැනි ස්කූටර් පැදීම කෙසේ වෙතත් එහි ස්ටෑන්ඩ් එක ගැසීමටත් සෑහෙන ශක්තියක් උවමනා වේ. ඒ නිසා කාන්තාවන් මෙය පදවන්නේ ඉතාමත් කලාතුරකිනි. මමද එක් වරක් ඒ දර්ශනය අනුරාධපුරයේදී දුටිමි.

      අම්මගෙ දුවට බයිසිකල් පදින්න බැරිද ? ඔබේ පෝස්ටුවත් මම බලන්නම් ජය !

      Delete
    2. මට ෆුට් බයිසිකල් පුළුවන්.... මෝටර් සයිකලේ අපේ මහත්තයා පුරුදු කරනවා...
      ඔය ස්කූටරේ නම් මට ආම්බාම් කරන්න බෑ ඉස්සර.. එන්ජිම තියෙන පැත්ත බරයි‌ෙන්...
      අම්මට නම් ගානක් තිබුන් නෑ... මුලදි මුලදි නම් කාණුවල වැටුනා... පස්‌ෙස් අල්ලගත්තා වැඩේ... හි හි...

      Delete
  23. හ්ම්..අනිත් ගැණු ළමයි නම් මම දන්නේ නැත..මම නම් මේ ස්කුටරයට ඇත්තටම කැමතිය...!
    සින්දු කලින් බලල තිබුනට මේ ස්කූටරය සිරගෙ බව දන්නේ අදනේ..!හ්ම් අපේ මංගල්ලෙටත් ඉල්ලගන්න බැරිවෙයිද දන්නේ නැහැ..! :D

    ReplyDelete
    Replies
    1. මංගල්ලෙ කිව්වෙ තාම බැදලා නැද්ද ? මම හිතුවෙ බැදලා ළමයිනුත් ඇති කියලා...

      මංගල්ලෙට අනිවාර්යෙන්ම දෙන්නම්.... හනිමූන් හරි කමක් නෑ ගිහිල්ලා එන්න...

      Delete
    2. හය්යු ළමයි ඇති කියල ඉතුවා!..:/

      Delete
  24. පිස්සු..පීකුදු..කිව්වලු..!!!!
    මීට අවු. ගානකට කලින් මටත් බජාජ් ස්කූටර් පිස්සුව හැදුන බං..!6ශ්‍රී../7ශ්‍රී..වගේ මතක..එකක් බලල කියල ගන්නම ගියා..! අනේ බං යාලුවෙක් බයකලා..ඕව හදන්න පුලුවන් ඈයො හොයාගන්නවත් නෑ කියල..! පස්සෙ ආයි එන්නම් කියල..ගිහිල්ල ගාල්ලට වෙනකන් හෙව්ව හදන එකෙක්...හොයාගන්න බැරි උනා මගේ හිතේ ආසාව පරල වෙලා ගියා. මට ඊටපස්සෙ සුසුකි ජී.එන්. අමාරුවක් ආව..ස්කූටරේ අමතක උනා.ඒකත් එපාවෙලා..හදන එවුන්නැති නිසා..!දුම් පරීක්ෂනය කේස්..!
    අනික මුල්ම පොටෝවෙ තියෙන භාන්ඩෙ...වොක්ස්වගන්..හය්යෝ...! ඒකත් ස්කූටරයට උන දේමයි උනේ..!
    දැන් මගේ හිතවතෙක්ගාව තියෙනව..ඉංග්‍රීසි අක්ෂරය සහිත ස්කූටරයක් ඒකත් එල පාර...!

    ReplyDelete
    Replies
    1. යාලුවා වැරදි උපදෙසක් දීලා තියෙන්නෙ...ලැම්බ්‍රෙටා වලට නම් අමතර කොටස් හොයාගන්න ටිකක් අමාරුයි... වෙස්පා , බජාජ් අවුලක් නෑ... ස්කූටර් සදහාම විශේෂීකරණය වූ හොද කාර්මිකයන් ඉන්නවා... තවමත් ආශාව තියෙනවා නම් බය නැතුව ගන්න... සිරාට උදව් කරන්න පුලුවන් අළුත් වැඩියාවන් සදහා...

      මමත් වොක්ස් වැගන් පිස්සෙක් තමයි.

      Delete
  25. අනේ අම්මපා... ආසාවේ බෑ සිරා අයියේ :)

    මාර භාණ්ඩයක්නේ බොලෙ ලග තියාගෙන ඉන්නේ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජ මලයා ගම්මුද මේ ජාතියෙන් පරණ වන්ඩියක්....ඕනෙ නම් හොයලා දෙන්නම්...

      සුභම වේවා !

      Delete
  26. මේ පෝස්ටුව කියවන්න පටන්ගත්තේ ටිකක් විතර කම්මැලිකමෙන්. නමුත් සිරා මේක නියමෙට ලියලා තියෙනවා ..හරිම රසවත්, අපූරු ලිපියක් ,,ඔබට සුබ පැතුම් ..ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ! සෑහෙන දවසකින් දැක්කෙ....

      Delete
  27. එකම දවසයි ස්කූරයක පස්සෙන් වාඩිවෙලා ගිහින් තියෙන්නේ. අපොයි අලියගෙ පිට උඩ යන එක සැපයි ඊට වඩා. ඇයි දෙයියනේ අර සීට් එකේ තරමට කකුල ඈත් කරලා වාඩි වෙන එක ලේසිද මම අහන්නේ

    ReplyDelete
    Replies
    1. ස්කූටරේ පිටි පස්සෙ යන කෙනාට තමයි ටිකක් අමාරු..ඒ නිසයි ගෑල්ළමයි ස්කූටර් වල යන්න එච්චරම කැමති නැත්තෙ... ඒ උනාට පිටිපස්සෙන් අමතර රෝදය තියෙන නිසා ඒකට හේත්තුවක් දාගෙන ආතල් එකේ යන්න පුලුවන්...

      Delete
  28. නියමම නියමයි සහෝ!
    නිහතමානීකම ඔබේ ලස්සනම ආභරණයයි!
    එකපාරක් ඔබේ පෝසට් එකක් නෝට් උනා.මේ දෙවැනි එක,

    ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු...

      එහෙම කියන්න මොනවද හේතු සාධක වුනේ කියලත් දැන ගන්න කැමතියි... ජය !

      Delete
    2. කාරනාවක් කියල පැහැදිලි එකක් නැහැ.බ්ලොග් එකක් හරියට කියවනවනම් යම් විදිහකින් පුද්ගලයෙක් පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන්.ඕන කෙනෙක්ට බ්ලොගයේ ඇත්ත/බොරු ලියන්න පුළුවන්.නමුත් මොලේට හරි දේ තේරෙනවා බොහෝවිට හිතට වඩා..

      Delete
  29. මරු . මට නම් තියෙන්නේ බජාජ් CT100 එකක්. තවම චාරිකාවක් යන්න කට්ටියක් සෙට් උනේ නැහැ. දුක තමයි. ඇවිදින්න නම් මාරම ආසයි ඒත් තනියෙන් යන්න දෙන්නේ නැහැනේ ගෙදරින්. :( කෙසේ වෙතත් ලිපිය නම් මරු තමයි. බලමුකෝ දවසක ඉස්කුටරයක් පදින්න චාන්ස් එකක් හම්බ වෙයිද කියලා දවසක .

    ReplyDelete
    Replies
    1. අපිත් එක්ක කැමති නම් රවුමක් දාමු... කිසි අවුලක් නෑ... ස්කූටරයක් පැද්ද දවසක බලන්න කොහොමද වෙනස කියලා...ඒ උනාට ගියර් දාන්න තියෙන්නෙ වම් අතින් නිසා පොඩ්ඩක් විතර අමාරු වෙයි මුළදි....

      Delete
  30. මගේ අප්පච්චිටත් තිබුනා ලැම්බ්‍රේටා ස්කූටරයක්.ඒක ගත්ත කාලෙ ඒ පැත්තටම තිබිලා තියෙන්නේ බයික් හතරයි.අපි හුඟක් කුඩයි.ඒත් මිනිස්සු පාරට එනවා ඒ දවස්වල බයික් එක බලන්න.ඒක පහුකාලෙක විකුණුවා. තීර්ථ යාත්‍රිකයා ඇන්ටික් වාහනවලට වැඩි කැමැත්තක් නෑ. ඒත් ඔබේ පෝස්ටුව අපූරැයි

    ReplyDelete
    Replies
    1. අපේ පළාතෙ නම් පරණ ස්කූටර් කීපයක්ම තියෙනවා.. වැඩේ කියන්නෙ මම ඇර අනිත් ඒවා ඔක්කොම පදින්නෙ පළමු අයිතිකාරයා... ස්කූටරයත් එක්කම ඒගොල්ලොත් වයසට ගිහිල්ලා... තියෙන පරණම එක 5 ශ්‍රී.. ඔබේ කොමෙන්ටුව සුන්දර අතීත සමයක් මතක් කර දී තිබෙනවා... ස්තූතියි මේ පැත්තට ආවට...

      Delete
  31. පට්ට සහෝ දැන්නම් මටත් ආස හිතෙනවා ස්කූටියකට

    ReplyDelete
    Replies
    1. උවමනා නම් හොයලා දෙන්නත් පුලුවන්....

      Delete
  32. ආයි මොකටද මුල ඉඳන් අගටම කියවුවා මාර වටිනවා මලේ පෝස්‍ටුව. ඇත්තටම වටිනවා. ඒ කියන්නේ උඹත් ගම්පහ කොල්ලෙක්. එකම ගමේනේ බං.

    ReplyDelete
    Replies
    1. සතුටුයි මේ හමුවීමට... කාමරයට සාදරයෙන් පිළිගන්නවා...
      දිගටම මේ පැත්තට ආවට මගේ නම් අමනාපයක් නෑ ඕං...

      Delete
  33. බලාගෙන බලාගෙන ගියාම සිරාත් පිස්සු කොල්ලෙක් නෙව :ප
    එල පොස්ට් එක...

    ReplyDelete
    Replies
    1. මට නම් ඇන්ටික් පිස්සුව තදේට තියෙනවා ඔන්න...

      Delete
  34. වටපිට අය "ස්කුටර් සිරා" කියල එහෙම කියන්නැතුව ඇති නේ ? අර "වොලිබෝල් සිරා" වගේ. විහිලුවට මචං කිව්වේ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එහෙම කියන්නෙ නෑ... වට පිටාවෙ නංගිලා නම් මාත් එක්ක ස්කූටරේ නැගලා එහෙ මෙහෙ යන්න ට්‍ර‍යි එක දෙනවා...ඒත් මම තවම චෑන්ස් එකක් දුන්නෙ නෑ...

      වොලිබෝල් සිරා කියන්නෙ ඉතිං එසේ මෙසේ කෙනෙක්ද ...ගම්පහ වාසීන් විදියට අපි හරිම ආඩම්බරයි එතුමා ගැන...එතුමාගෙ හැකියාව පිළිබද වසග වෙලා පාකිස්ථානයෙන් පිරිනමපු සම්මාන පුරවැසි කමත් ප්‍ර‍තික්ෂේප කරපු අති දක්ෂ ඩෑක් ප්‍ර‍හාරකයා ගැන මම හිතන්නෙ බොහෝ අය දන්නවා...

      Delete
  35. මේක නම් මම ආසම ජාතියෙ පෝස්ට් එකක්.
    නමුත් සිරා මම නම් ස්කූටර් වලට ආසම නෑ. හිත රිද්දා ගන්න එපා, හරි. මම ආසා අර මම ගාව තියෙන Honda CM Custom එකට.
    ඔය ස්කූටර් ඉස්සර පදින තරමක් පැද්දෙ ක‍තෝලික පියතුමන්ලා.
    සිරාට වගෙ ඇන්ටික් පිස්සුවක්ම මට නැතත්, මමත් ආසා කාර් එකක් තියෙනවා දැනුත් ඒ තමයි Volkswagen Golf. ඩීසල් කාර් එක. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ මම අලුත් ඒවට කැමති නෑ කියල. ඒ වගෙම මිනි, VW බීටල් මිනි මෝක්, පරන BSA ට්‍රයම්ෆ් හෙම දැක්කාම ආසාවෙන් බලා හිටියත් අයිති කරගන්න ආසාවක් නෑ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හෙන්රි අයියට පරණ BSA හා Triumph දිහා ආශාවෙන් බලා ඉන්න පුලුවන් ඊළග පෝස්ටුව ආව දවසට... ඒකත් නොවැරදීම බලන්න හොදද...

      Delete
  36. මචං..අපේ මාමා කෙනෙක් ළඟ තියනවා vespa 50s එකක්! 2 ශ්‍රී...පොඩ්ඩක් අලුත්වැඩියා කරලා ගන්න ඕනේ.....ළඟදීම ඩයල් ඒක චැනල් කරලා ඕකට විදින්න ඕනේ බං..මමත් හරිම ආස වාහනයක් බං ඕක...
    අනිත් සින් ඒක මගේ යාලුවෙක් ළඟ මේ අස්පයෝ දෙන්නෙක්ම ඉන්නවා....
    https://www.facebook.com/dilshan.fernando.5205
    මෙන්න ඩයල් එක!!!!මරු වැඩකාරයා!!!

    ReplyDelete
    Replies
    1. 2 ශ්‍රී බයික් එකක් කිව්වම කෙළ හැලෙනවා... වටිනාකම කියලා නිම කරන්න බෑ නාඩියො... ගන්න පුලුවන් නම් ගන්න...ඔය චාන්ස් එක මිස් කරගත්තොත් පස්සෙ දවසක චැහ් කියලා හිතෙයි... නිකමට හිතන්න ඔය වගේ නොම්බරයක් තියෙන බයිසිකලයක් අද කාලෙ පාරක නිකංවත් දකින්න තියෙනවද කියලා... බොලා ගන්නෙ නැත්නම් මාමත් විකුණන්න කැමති නම් මට කියන්න....

      ස්තූතියි තොරතුරු වලට ජය !

      Delete
  37. සිරා අයියා සිකූටර් වලට ලව් කරන්න අපිට පුරුදු කරන්න මේ පෝස්ට් එක ලිවුවද මන්දා...
    මටත් ස්කූටර් ගැන ආසාවක් ආවා...
    බලං ගියාම සිරා අයියගේ ස්කූටරේ හරි ජනප්‍රියයිනේ... ඈ........

    ReplyDelete
    Replies
    1. තරියා මොකෝ කියන්න ස්කූටර් සමාජයක් ආරම්භ කරමුද ? එතකොට සයිබරයේ මහා සිහින අවුරුදු උළෙල දවසට ස්කූටර් රේස් පදින්නත් පුලුවන්..... ජය !

      Delete
  38. සිරා හෙනම අන්ටික් පොරක්නේ... අර වීඩියෝ එකේ තියෙන්නේ උබේ බයික් ඒක කියලා දැන්නේ දන්නේ..

    ReplyDelete
    Replies
    1. මම ඇත්තමයි වීඩියෝ වලට දුන්නට ආර්ටිස්ට් ලා පදිනකොට බයයි පෙරළගෙන ඩැමේජ් එකක් වේවි කියලා...ඊට කලින් පොඩ්ඩක් කථා බහ කරලා බලනවා ස්කූටර් කලිං පැදලා තියෙනවද කියලා... මොකද ස්කූටර් වල ගියර් දාන ක්‍ර‍මය වෙනස් නිසා හැමෝටම එක්වරම පදින්න අමාරුයි....

      Delete
  39. මම කියන්න උන්න එක. උඹේ අම්මා කියලනේ කලින්ම. ඕක නම් එච්චර හොඳ පුරුද්දක් නෙමෙයි ගොයියෝ. ඇන්ටීක් බඩු බලන්න නම් යාපනේ පැත්තේ පලයන්. එළකිරි වගේ මේන්ටේන් කරන් තියාගෙන ඉන්නේ. ඉස්කූටරේනම් මාර ගති..

    ReplyDelete
    Replies
    1. යාපනේ සමහර තැන් වල ත්‍රීවීල් පාක් එකේ අයිනට වෙන්න තවමත් ඔස්ටින් කේම්බ්‍රිජ් හයර් දුවන හැටි මම දැකලා තියෙනවා... පරණ කාර් විශාල ප්‍ර‍මාණයක් තවමත් යාපනයේ තිබෙනවා... යුද්ධයට කලිං කොළඹට පසු ලංකාවෙ ඉහළම සල්ලිකාරයො හිටියෙ යාපනේ වීම ඊට හේතුවක් වෙන්න ඇති...

      Delete
  40. සිරා අයියාගෙ යකඩ අස්පයා හෙන හිට් නේ.. ඒ උනාට මෙය බෙලිහුල්ඔය ඇවිත් තියෙ නිකමටවත් දන්නේ නෑ නේ. මේ අපෙ ගම් පළාත නේ

    ReplyDelete
    Replies
    1. අයියෝ මලේ ඊළග වතාවක ඔය ඉසව්වට ආවොත් අනිවාර්යෙන් කථා බහ කරලම තමයි යන්නෙ...

      Delete
  41. සුපිරි ලිපියක් යාලුවා... උඹ ලෙසටම ලියලා තියනවා.. නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා..

    මම නම් පොඩි කාලෙ ඉඳලා ඔය වාහනේට කැමති නෑ බන්.. ඇයි කියන්ඩ මම දන්නෑ.. ඕකෙ ඇන්ජිම එක පැත්තක නේද තියෙන්නෙ.. වාහනේ බැලන්ස් එක තියනවද පදිනකොට ?

    ReplyDelete
    Replies
    1. එන්ජිම තියෙන්නෙ දකුණු පසට බරවෙන්න... ඒ නිසාම ස්කූටර් පදින ආරම්භක අවධියේ දකුණු පසට ඇදී යන ස්භාවයක් දැනෙනවා... එහෙත් කල් යද්දි ඒ ස්භාවය නැති වෙනවා... පුරුදු නැති අයට ටිකක් අමාරුයි බැලන්ස් කර ගන්න...විශේෂයෙන් ඩබල් දාලා යනකොට පොඩ්ඩක් වනනවා අත හුරු වෙනතුරු....

      Delete
  42. අම්මෝ මාර බයිසිකලයක් නේ.. මමත් ඕක අර සිංහරාජ ෆොටෝ වල දැක්කා.. අහන්න හිත ගෙන හිටියේ. අමතක උනානේ. නියම පොස්ට් එක යේ බොරු කියන්න ඕනේ නෑනේ.. මිකැනිකල් වැඩ වලට ආස නැති නිසා ඒ කෑලි අත ඇරලා අනිත් ඔක්කොම එක හුස්මට කියෙව්වා. නියමයි අප්පා.. මටත් අසයි බයික් එකක් ගන්න.. ඒත් අම්මලාගෙන් සල්ලි ඉල්ලන්න මොකද්ද වගේ.. පස්සේ හිමිට ගන්නවා. අයියගේ බයිසකලේ කටු ගෙට දාන්න වටිනා එකක්නේ..
    මේ නිකමට වගේ අහන්නේ.. බයිසිකලේ විකුනන්නේ නැද්ද..? :D :D

    ReplyDelete
    Replies
    1. සුදා මල්ලි අඩු මුදලකට පදින්න පුලුවන් තත්වෙ එකක් ගන්න පුලුවන්... අත්‍යවශ්‍ය අලුත් වැඩියාවන් කලාට පස්සෙ පේන්ටිං වැඩ සහ අනිත් සුකුරුත්තං වැඩ හිමිහිට කර ගන්න පුලුවන්... බහුතරයකට ඔය ටික කැපවීමක් කරලා කරගන්න අමාරුයි... ලස්සනට වැඩේ නිම කලාට පස්සෙ නම් හැමෝම විකුණනවද අහනවා...

      සිරා මලත් මේක නම් විකුණන්නෙ නැතෝ....

      Delete
  43. සිරාගේ පෝස්ට් එක කියවල මටත් දැන් මේ වගේ එකක් ගන්නමයි හිත. ඒ ගැන සිරාට උදව් කරන්න පුළුවන් ද? හොඳ තත්වයේ බයිසිකලයක් අරගෙන හදන්න හිතෙනවා. මම කොහොමත් බයික් පිස්සෙක්. ඒ මදිවට දැන් මේ ටික කියවලා නොදන්නා දේ ටිකකුත් දැනගත්තා ස්කුටර් එකකට හිතත් ගියා..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ක්සැන්ඩර් උදව් කරන්න පුලුවන්... අමතර කොටස් ගැන භය වෙන්න එපා තවමත් අමතර කොටස් වෙළදපොලේ තියෙනවා... පරණ ස්කූටරයක් ගතියට හදලා පාරේ යන එනකොට ලැබෙන ප්‍ර‍තිචාර සහ වටේ පිටේ ඉන්න අය ඇහැ දාගෙන ඉන්න විදිය දැක්කම මාර කික්.... බජාජ් ස්කූටරයක් නම් අමතර කොටස් පහසුවෙන් සොයා ගන්න පුලුවන්....

      Delete
    2. නියමයි නේ. මම පණිවිඩයක් එවන්නම්. මේ ගැන කතා කරමු. :)

      Delete
  44. වැඩේ නං නියමෙට කරලා තියනවා යාලු .... ලස්සනඊ

    ReplyDelete
  45. නියමයි.. පෙනුමෙන් නම් නියමෙට හදලා තියනවා.. සුපිරියටම ලියලා තියනවා.. වීඩීයෝ වල දැකලා තිබ්බට කවුද අෆ්‍ෆා දන්නේ මේක උබේ කියලා.. බලන් යන කොට සිරාට වඩා ස්කූටරේ වටිනවා..

    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. ඔය භාණ්ඩෙ මම බොහොම පරිස්සමට තියාගෙන ඉන්නෙ...
      ස්කූටරේ රවුමක් යනකොට මාර ෆන්.... ජය !

      Delete
  46. නියමයි. ස්කූටරෙන් ලොකු ඉතිහාස පාඩමකුත් ඉගෙන ගත්තා...

    ReplyDelete
    Replies
    1. අපට ඉතිහාස පාඩම් කියාදෙන ඔබත් ඉතිහාස පාඩමක් මෙයින් ඉගෙනගත්තා කිව්වම මට සතුටුයි...
      ස්තූතියි...

      Delete
  47. මගේ ස්කූටර් පිස්සුව ආයෙත් වැඩි වුනා. මෙදා පාර නම් එකක් ගන්නවාම තමා! 

    ReplyDelete
    Replies
    1. ගම්මු ගම්මු... මමත් උදව් කරන්නම්...

      Delete
  48. ඒක සෝයි අප්පා... මං පනුච්චි අදමයි ද කොහෙද මෙහෙ ආවේ.. කැමති මතෘකාවෙන්ම පටන් ගත්ත... මටත් තීනවා ස්කූටර් ආසාවක් හැබැයි ඔයින් එකක් නෙමෙයි අර ලේඩිස් එකක්.. ඔවුව බර වැඩියි.. වැටුනොත් එහෙම .. හැපුයි...
    ජය වේවා!!!
    සිනා බො වේවා!!!

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා... අද තමා බොලා මෙහෙට්ට ආවෙ ඉස්සෙල්ලාම

      ලේඩීස් එකක් ගන්න එක නුවනට හුරුයි... මේ වර්ගයේ බයිසිකල් භාවිතය කාන්තාවකට ටිකක් විතර අපහසුයි... ගියර් දාන්න තියෙන ක්‍ර‍මවේදයත්, බයිසිකලයේ ප්‍ර‍ධාන ආධාරකය ගහන්න දරන්න ඕනෙ මහන්සියත් ඒ අතර ප්‍ර‍මුඛයි.

      Delete
  49. 3Sri Vespa ekak thiyenawa onada?
    kaushalyetv@yahoo.com

    ReplyDelete
    Replies
    1. අදනෙ මේ කමෙන්ටුව දැක්කෙ...දැන් නම් ගත්ත කෙනා ආයෙ විකුණලත් ඇති.

      Delete
  50. Sira ube articles supiri machan,deyak igenaganna puluwa, Ube band master ge article eka kiyawala es walata kadulu awa ban,mage jeewithe e wage deyak mathak wela. All the best machan

    ReplyDelete
    Replies
    1. මෙහෙම හෘදයාංගමව කොටන කමෙන්ට් තමයි මට තවත් ශක්තිය දෙන්නෙ අලුත් යමක් ලියන්න...ස්තූතියි මචං බොක්කෙන්ම...

      Delete
  51. ඔය ජාතියෙ තව බයික් එකක් හම්බ වුනොත් මට පොඩ්ඩක් කියන්න...... මැක්ස් ලිපියක් දාල තියෙන්නෙ....

    ReplyDelete
  52. Sira, Man me bike ekak gaththa! udau tikak oni...

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට මම ඔයාට උදව් කලා...එහෙම නේද ?

      Delete
  53. හිහ් හී, එළකිරි භාණ්ඩේ,,, (Y) (Y)
    මගේ තියෙනවා 4ශ්‍රී වෙස්පා එකක්,,,,,,,,,, :)

    ReplyDelete
    Replies
    1. හැබෑට බොහොම සන්තෝෂයි...පින්තූර ටිකක් දකින්න කැමතියි...

      Delete
    2. වෙලාවක ඊයක් විදින්නම්කො :D

      Delete
  54. සිරා. මං මේක දැක්නේ නෑ බං කලින්.. පස්ටයි.. ස්කූටරයක් ගන්නම හිතෙන හරිම ආලවට්ටමින් ලියල තියෙන්නේ. උඹට තියෙන්න ඕන ලොකු ආඩම්බරයක් ඒ ගැන.. කියල වැඩක් නෑ. මං කියවපු රසවත්ම ලිපියක් බං...

    ReplyDelete
  55. මචන් සිරා. මමත් ඇන්ටික් ලෝලියෙක් සහ ස්කූටර් පිස්සෙක්. ලැම්බ්‍රටාවක් මටත් තියෙනව. සිරාව අඳුරගන්න කැමතියි. අමතන්න ඩෙවින්-0716320372

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...