Monday, September 16, 2013

72 මස්සිනා

කාලවර්ණ දේහයකට හිමිකම් කියන මස්සිනා ඕනෑම අයෙකුගේ සිත් දිනා ගැනීමට සමත් පුද්ගලයෙකි. සිරා කොලුවා නොරටක සිට රැකියා අහේනියට ලක්ව ඒ මේ අත ගිය ගමනේදී මස්සිනා සේවය කල සේවා ස්ථානයෙන් රැකියාවක් ලැබුනු හෙයින් අපේ අද කථා නායකයා සමග සති දෙකක් පමණ ගත කරන්නට මා හට අවස්ථාව ලැබිනි. වයස අවුරුදු 25 කට මදක් වැඩි ඔහුගේ නියම නම අන් එකක් වුවත් බොහෝ අය ඔහු ඇමතුවේ මස්සිනා යන ආදරණීය නාමයෙනි. එතරම් මහත නැති ශරීර කූඩුවකින් හෙබි මේ කියන මස්සිනාට එසේ අමතන උන්ට දෙන්නට සහෝදරියන් නොමැති වුවද ඒකා හැමෝටම මස්සිනා වී ඇති සෙයකි.

ඔහුගේ මුහුණේ පෙනුම සිනා උපදවන සුළුය...හරියටම කියනවානම් කැමිලස්ගේ ගජමෑන් කාටූනයේ ගජමෑන් වාගේය. ඇරපු අතක් නැත ඒකා ගජමෑන්ගේ නිවුන් සහෝදරයෙකි. මස්සිනා දුටු පළමු දිනම උඹ නම් ගජමෑන් වගේමයි යනුවෙන් මා පැවසුවද....මගේ හොද වෙලාවටදෝ මේකා මේ කාටූනය කිසිදිනෙක දැක නැත. උදේම පල දෙකට බෙදා පොල්තෙල් හිස ගල්වන හෙතෙම තම ඉදිරි ඇන්දේ කැඩුනු දත පෙනෙන සේ සිනාසෙන විට එය බලාසිටින අපටද නිරායාසයෙන් සිනා යයි.

කැමිලස්ගේ ගජමෑන්
ගල්ගමුවට ආසන්න ගමක ජීවත් වී ඇති ඔහුට දරුවන් දෙදෙනෙකි. වැඩිමලා පාසල් යයි. වැඩිදුර අධ්‍යාපනයක් ලබා නොමැති නිසාම ජීවන සටන ගෙනයන්නට විවිධ දෑ ලංකාවේදී කර බැරිම තැන මා සිටින මැලේසියාවට ඒජන්තයකු මාර්ගයෙන් පැමිණියෙකි. සූර්ය පැනල මගින් විදුලිය ලබා ගැනීම සදහා ක්‍රියාත්මක වෙමින් පැවති කෙටි කාලීන රජයේ ව්‍යාපෘතියක කම්කරුවකු ලෙස ඔහු සේවය කරද්දී ඔවුනට අවශ්‍ය උපාංග අවශ්‍ය පරිදි නිකුත් කිරීම සහ ඒවා පිළිබද සංඛ්‍යා ලේඛණ පවත්වාගෙන යාම මට පැවරී තිබිනි. අප දෙදෙනාට සහ මෙහි සේවය කල අනෙකුත් ශ්‍රී ලාංකිකයන් කීප දෙනාට මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කල සමාගම නවාතැන් සපයා තිබුනේ දර්ශණීය පෙදෙසක පිහිටා තිබුනු නිවාස සංකීර්ණයක් තුල වූ දෙමහල් නිවසක් තුලය. ඒ නිසාම සේවය නිම කල පසු මස්සිනා සමග දොඩමළු වන්නට ඇති තරම් කාලයක් මා හට තිබිනි.

උඹේ දතට මොකද උනේ....දිනක් මේ ව්‍යාපෘතිය යටතේ සේවය කල තවත් ශ්‍රී ලාංකිකයකු ඔහුගෙන් විමසීය. උඩ ඇන්දේ කෘන්තක දතක හරස් අතට භාගයක් පමණක් ඉතිරිව තිබීම කාටත් කුතුහලයක් උපදවයි. එදා මස්සිනා කල පැහැදිලි කිරීමෙන් පසු ඔහුට දතා සහ නයා ලෙස තවත් නම් දෙකක් පටබැදිනි.

අයියට කියන්න අයියා...දවසක් අපි පොඩි සොමියක් දදා ඉදලා බඩු මදිවෙලා තව ටිකක් ගේන්න ටවුමට ගියා මෝටර් සයිකලේ තුන්දෙනා ඩබල් දාලා...මම හිටියෙ පිටිපස්සෙ කොනේම....එක වංගුවකදි බයිසිකලේ වේගෙ වැඩි කමටද කොහෙද පෙරලුනා...මම උඩින්ම ඇළ බන්ට් එකට විසි උනා....ඇළ බන්ට් එකේ වැදිලා තමයි මේ දතේ කෑල්ලක් හැලුනෙ...

එතකොට අනිත් උන් දෙන්නා....

වැඩේ කියන්නෙ අයියා...බයිසිකලේ හරියට බෝලයක් පෙරළෙනවා වගේ කෙලින් අතට පෙරලිලා රෝද දෙක ආයෙත් පොළව උඩ හිට්ටා...අනිත් උන් දෙන්නා දිගටම ගියා...උන්ට හෙනවත් නෑ...මට විතරයි හානි.

අනේ පලයන් මස්සිනා...උඹ ඇරියෙ තඩි බොයන්නක් නේද...එතැන් සිට මස්සිනාට එරෙහිව නැගුනු අපවාද කිසිවකට පිළිතුරු නොදුන් හෙතෙම දත් කොටේ පෙන්වා සිනාසෙයි. තත්වය මෙසේ වුවත් විවේකයක් ඇති වෙලාවක හැගීම්බරව තමන්ගේ තොරතුරු අන් අයගේ සිත්හි කාවදින ලෙස කීමටද දතා හෙවත් නයා සමතෙකි.

මෙහෙ එන්න කලින් ලංකාවෙදි මොකද කලේ...දිනක් මා ඇසූ මේ පැනයට ඔහු පිළිතුරු දුන්නේ බොහොම හැගීම්බර පෙනුමක් ආරූඩ කරගනිමිනි. මම ඉතින් අයියලා තරම් ඉහළට ඉගෙන ගත්ත මිනිහෙක් නෙමෙයිනෙ. ඇරත් අපේ ගම් පළාත් වල ගොවිතැන ඇර කරන්න වෙන දේකුත් නෑ නොවැ. මම බැන්දෙ අවුරුදු 23 දි... දැන් ළමයි දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක්.... කුලී වැඩ අරවා මේවා ගොඩාක් දේවල් කලා....අන්තිම කාලෙ නම් තේක්ක කැපුවා...

ඒ කිව්වෙ....මම මස්සිනාට අතුරු ප්‍රශ්නයක් යොමු කළෙමි.

තේක්ක කපනවා කිව්වෙ තේක්ක ගස් හොරෙන් කපන එකට... අපේ ගමට කිට්ටුව රක්ෂිතයක් තියෙනවා...ඒකෙ පිටිපස්සෙන් රාත්තිරියෙ ඇතුලු වෙලා කොහොම හරි ගහක් පෙරළගන්නවා...ඊට පස්සෙ ඒ රාත්තිරිය නිම වෙන්න කලින්ම ගහ පලු කරලා කරේ තමයි වාහන එන තැන වෙනකං අදින්නෙ...මේ බලන්න මගෙ උරපත්ත...නිකං ඇද වෙලා වගේ තියෙන්නෙ තේක්ක කොටන්ම ඇදලා...

ඉතිං බං උඹලා ඔය රෑ ගස් කපනවා කාටවත් ඇහෙන්නෙ නැද්ද ? එවැනි විටෙක කථාව අසා සිටින තවත් උන් සැකමුසු තැන් නිරාකරණය කර ගනී.

මහ කැලේ ගස් කපද්දි කාට ඇහෙන්නද ? ගම්මානෙන් ටිකක් දුර නොවැ...අපි තේක්ක කොට කුට්ටි කරන්නවත් විදුලි කියත පාවිච්චි කරන්නෙ නෑ...සද්දෙ ඇහෙන හින්දා, හැමදේම අතින් තමයි කරනනෙ...බණ්ඩි කියතෙන් ගහ කුට්ටි කරන්න කියතට අත හුරු මිනිහෙක් අනිත් පැත්තට අහු වුනොත් වැඩි වෙලාවක් යන්නෙ නෑ.
තේක්ක කොටන් ටික කරෙන්ම ඇදලා වාහනේට පැටෙව්වට පස්සෙ අත්පිට මුදල්...එකෙක්ට රුපියල් 7000 විතර වැටෙනවා...එක දවසක් වැඩ කලොත් ආයෙ වැඩේට බහින්නෙ සතියකට විතර පස්සෙ...ඒ අතරතුර කාලෙ අපි වගේ වැඩ කරන තව උන් ගස් පෙරළනවා...වනජීවී මහත්තුරුන්ට අහුවුනොත් ඉතිං ඔක්කොම ගස් තමයි. සමහරු එහෙම අහුවෙලා ගල්පල්ලිත් ගියා.

මේ කථාවන් අසා සිටින ඇතැමෙක් නයා හෙවත් මස්සිනා මේ තවත් නයෙක් අරින්නේදෝයි සිතාගත නොහැකිව බලා සිටී. කථාවක් කරනා විටෙක ඔහුගේ අංගචලනයන් මෙන්ම...ගැටළුවක් යොමු වූ විටෙක...මක්කැයි අයියා කීවේ යනුවෙන් හඩනගා අසනා විලාශයද...කිසිවෙකු ඔහුට එරෙහිව යමක් කී විට එහෙමද ටෝක් එක යනුවෙන් ඇසීමද මස්සිනාටම ආවේණික කථා විලාශයන්ය.

සිරාගේ කාමරයට එකතු කල හැකි යමක් මේකා තුල ඇති බව ඔහු හමුවී මද දිනකින්ම සිරා කොලුවා වන මගේ අක්මාවට එත්තු ගියෙන් දින කීපයක් තනිව මස්සිනා හා දොඩමළු වූයෙමි.

මේ සිද්ධිය වෙනකොට මම හිටියෙ 8 පන්තියෙ...ඉස්කෝලෙන් විනෝද චාරිකාවක් යන්න ලෑස්ති කරලා තිබුනා...යාලුවො ඔක්කොම ඒක යන්න ලෑස්ති වෙලා...ඒත් මට චාරිකාව යන්න දෙන්න තරම් මුදලක් අපේ අම්මා තාත්තා ලග තිබුනෙ නෑ. ඉතිං මම තීරණය කොලා ඒ ගමන යන්න සල්ලි මමම හොයාගන්නවා කියලා. අපේ ඉස්කෝලෙ තිබුනා ගෑස් කුකර් එකකුයි ගෑස් සිලින්ඩරේකුයි...මම හිතාගත්තා මේ දෙකෙන් එකක් උස්සන්න.

දිග කඹේකුත් අරන් සෑහෙන්න රෑ වෙලා ඉස්කෝලෙට ගියා. අපේ ඉස්කෝලවල ඉතිං මුරකාරයො නෑනෙ...ගෘහ විද්‍යා කාමරේ වහළෙ උළු අයින් කරලා කඹේ එක කොනක් ලග තිබුන ගහක අත්තක බැන්දා ...අනිත් කොන ඉන වටේ බැදගෙන මම බිත්තියට කකුල තිය තියා පල්ලෙහාට බැහැලා ගෑස් සිලින්ඩරේ කඹෙන් බැදලා ආයෙත් වහළෙට නැගලා රීප්ප දෙකක් අස්සෙන් අමාරුවෙන් උස්සලා එළියට ගත්තා. ආයෙමත් හොයන්න බැරි විදියට උළුත් තිබ්බා.


උඹ කොහොමද බන් 8 වසරෙදි ඔහොම හපන්කමක් කරන්නෙ...මම මගේ අදහස එකෙනෙහිම ප්‍රකාශ කළෙමි. අදද සිහින් ශරීරයක් ඇති මස්සිනා එවන් කුඩා වයසක මෙවන් යමක් කෙසේ කරන්නද...මගේ සිත මගෙන් ප්‍රශ්න කරයි.

මේක බොරුවක් නෙමෙයි අයියා, දෙයියම්පා...මම 8 වසරෙදි තමයි ගෑස් සිලින්ඩරේ වහළෙන් ගිහින් ඉස්සුවෙ...

ඒ කියන්නෙ ඉස්කෝලෙන් තව දේවල් උස්සලා තියෙනවද ?

නැතුව....ඊට පස්සෙ අවුරුද්දෙ තමයි ඉස්කෝලෙ තිබ්බ කාර් බැස්ටිය ඉස්සුවෙ.

ඉතිං පහුවදාම සිලින්ඩරේ ලගපාත තැනකට තව කෙනෙක් මාර්ගෙන් විකුණලා මම ගමන යන්න ගාන සැට් කර ගත්තා...ප්‍රින්සිපල් දවස් ගාණක් යනකං හොරාව හෙව්වා...ඒ උනාට අහු වුනේ නෑ...

මට බැස්ටිය උස්සපු හේතුව නම් දැන් හරියටම මතක නෑ...අර දරිද්‍රතාවය කියන්නෙ ඒක නිසා වෙන්න ඇති මගෙ හිතේ. අපේ ඉස්කෝලෙට කරන්ට් එක ලැබෙන්න කලින් තමයි බැස්ටිය පාවිච්චි කලේ...කරන්ට් එක ලැබුනට පස්සෙ මේක පාවිච්චි කරන්නෙ නැතුව අයිනකට දාලා තිබුනෙ...මම හිතුවා ඉතිං මේකෙන් කවුරුවත් වැඩක් ගන්නෙ නැත්නම් මම හරි වැඩක් ගන්නවා කියලා. ඒකත් ඔය රාත්තිරියක උස්සලා පොඩි ගාණකට විකුණලා දැම්මා...ගත්ත සල්ලි වලට කරපු දේවල් දැන් මතකයක් නෑ.


උඹ යකඩෝ කම්බ හොරෙක්නෙ... තමන් ඉගෙනගන්න ඉස්කෝලෙන් හොරකම් කරපු උඹ වගේ ශිෂ්‍යයෙක් මට මුලිච්චි උනාමයි. මගේ විශ්මය පලකරමින් මම මස්සිනාට කීවෙමි.

එහෙත් ඔහුගේ ප්‍රතිචාරය දත්කොටේ පෙනෙන මද සිනාවකි.

දිනක් සේවය කරමින් සිටින අතරතුර උතුර දකුණ මාරු වූ ආකාරයකින් අප ඉදිරියෙන් දිව ගියේ මේ කියූ මස්සිනාය. අර මනුස්සයාට මක් වෙලාද...ඒකා මෙන්ම මමද එකම රටේ උන් බැව් දන්නා මගේ ඉහළ නිලධාරියා වූ මැලේසියානු ජාතික සබ්රි මගෙන් විමසූවෙහිය. එහෙත් මස්සිනාට සිදුවූයේ කුමක්දැයි හරියටම දැනගැනීමට ලැබුනේ සේවය නිම වී නවාතැනට යාමෙන් පසුවය.

මොකද බං උඹ වෙඩි කාපු ඌරෙක් වගේ දවල් දිව්වෙ...

අයියාට කියන්න අයියා මම 99න් බේරුනේ....

ඒ කිව්වෙ... මම මේ කියන හරුපය තෝරා ගත නොහැකිව නැවතත් ඇසුවෙමි.

අද දවල්ට කෑවට පස්සෙ බඩ බුරු බුරු ගෑවා...මම ඉතින් හුළං වැදි වැදී වැඩේ කොරන්න පුලුවන් නිසා ඈතින් තියෙන පාලම යටට ගියා... වැඩේ කරගෙන හෝදගන්න ගගට බහින්න හදනකොටම ඇළ ලගට ආපු වාහනේකින් ගග ඉහළින් පාර්සල් වගයක් ගගට විසි කොරපි. මම ඉතිං බලාගෙන හිටියා මොනවද කියලා... ටිකකින් පාවෙලා මගේ පැත්තට ආවා. අම්මෝ...එතන විශාල සර්පයො පොදියයි....සමහරු වතුර යටට ගියා...සමහරු වතුරෙ පාවෙලා ආවා...මෙන්න අයියා එතන හිටිය නයෙක්ගෙ සයිස් එක.....මෙන්න පයන්නෙ සයිස් එක. මම හොද වෙලාවට දැක්කෙ...නැත්නම් පුක හෝදනකොට පිටිපස්සෙන් ඇවිත් හැපුවා නම්...මේ ටික ඔයාට කියන්න මම නෑ නේද...

උඹ හිතින් හෝදගන්නෙත් නැතුවද දිව්වෙ....මම නැවතත් ඇසුවෙමි.

ඒ ගැන කියන්න මතකයක් නෑ අප්පා....නයා දැක්ක ගමන් මට වෙඩි වැදුනා වගේ....වතුර යට තව කීයක් ඉන්නවද කියලා කවුද දන්නෙ. අනිත් එක මැලේසියාවෙ ඉන්න නයි විෂ වැඩියි කියලත් කියනවනෙ....මස්සිනා එක හුස්මට කියයි.

මේ සිදුවීමෙන් දිණ කීපයකට පසු තනිපංගලමෙ මස්සිනා සමග කථා බස් කිරීමට අවස්ථාවක් මට නැවතත් එළැඹිනි. පිරිස බොහෝ සේ සිටිනා කලෙක හෙතෙම තමා කල කී දෑ කියන්නෙ අර පරිස්සමෙනි. ඒ අනෙක් උන් දක්වන ප්‍රතිචාර මස්සිනාට එරෙහිව වන නිසාය.

පවු බොලං උඹලගෙ ප්‍රින්සිපල්...ඒ මනුස්සයා උඹලා වගේ යක්ෂ පැටව් එක්ක කොහොම ඉස්කෝලෙ පාලනය කලාද කියලා මට නම් හිතාගන්න බෑ...

එහෙමද ටෝක් එක... මස්සිනා තනිවම සිනාසෙයි. මට ඔයා ඔහොම කියද්දි නියම සිද්ධියක් මතක් වුනා.

එතකොට මම හිටියෙ සාමාන්‍ය පෙළ පන්තියෙ. අපේ ලොකු සෑර්ගෙ ටිකක් ලොකු පොල් වත්තක් තිබුනා අපේ ගෙවල් කිට්ටුව...දවසක් ඉස්කෝලෙ යද්දි මම දැක්කා පොල්ටික ගානට පැහිලා තියෙනවා... අපිට ඉතිං අයියා වියදමට කියලා කීයක්වත් දෙන්න ගෙදර උන්ට වත්කමක් නැති නිසා කීයක් හරි හොයාගන්න තමයි හැම වෙලේම ට්‍රයි එක. මම ඉතිං එදා යාලුවො ටිකට පණිවිඩේ යවලා ඉස්කෝලෙ යන්නෙ නැතුව පොල් වත්ත පැත්තට හැරුනා.

වෙනදට ඉතිං පොල්ගෙඩිය දෙක ඇහුලුවාම අපි හන්දියෙ කඩේකට දීලා කීයක් හරි ගන්නවා, නැත්නම් අම්මට ගිහිං දෙනවා. මේ කියන දවස් වෙද්දි කරකුට්ටං වෙන්න පායනවා...සමහර ගස් වල පොල්ගෙඩි කලු වෙන්න ඇවිත්...එච්චරට පැහිලා. මම ඉතිං මගේ ගෙවල් වටේ ඉන්න යාලුවො 6 දෙනෙක් එක්ක ගේමට ඇන්ටර් උනේ ඉස්කෝලෙ වැඩ ඉවරවෙනකං ප්‍රින්සිපල් වත්ත පැත්ත පලාතක එන්නෙ නෑ කියලා දන්න හින්දා.

අපි ඉස්සෙල්ලාම ගස් යට වැටිලා තියෙන පොල් ටික එකතු කලා. ඊට පස්සෙ වත්ත පුරාම තියෙන ගල් කෑලි එකතු කරලා ගල් වලින් පොල් වලු වලට ගැහුවා. ඇති පදම් වේලිලා තිබුන හින්දා පොල් හැලෙනවා සර සර ගාලා. එකෙක් වත් ගස් නගින්නෙ නැතුව අපි පොල්ගෙඩි හරියටම 92ක් කැඩුවා.

පෝර උර වල දාලා කඩේ මුදලාලිට අපි පොල් තොගේම විකුණලා සමානව ගාන බේර ගත්තා. දවස් දෙකකට පස්සෙ උදේ වරුවක තමයි අපිට කෙළවුනේ...


උඹලව මාට්ටුද ? මම ඔහුගෙන් ඇසුවෙමි.

මාට්ටුදත් කියලා අහනවා...අපිත් එක්ක ගිය එකෙක් උගෙ මල්ලිට සිද්ධිය කියලා. ඒකා උගෙ යාලුවන්ට කියලා...අන්තිමට අපි 6 දෙනාගෙම නම් ගම් ඔක්කොම එක්ක විස්තරේ ප්‍රින්සිපල්ට ගිහිල්ලා. ඒ උත්තමයා කොච්චර හොදද කියනවා නම් වේවැලක් වන වනා ලිස්ට් එකත් අරන් දවසක් උදේම අපේ ගෙවල් වලටම හොයාගෙන ඇවිල්ලා.

අපි 6 දෙනාගෙ ගෙවල් තියෙන්නෙ මණ්ඩියට....ඒ කිව්වෙ ගමේ එක ලගට වෙන්න. පළවෙනි සැකකාරයගෙ ගෙදරට ගිහිල්ලා දෙමාපියන්ට විස්තරේ කියලා ඒකට හොද වේවැල් පාරවල් 3ක් ගහලා. ඔය විදියට පිළිවෙලට දැන් ප්‍රින්සිපල් ගෙවල් ගානෙ ගගහා එනවා.

මම මේ කියන වෙලාවෙ මගේ නැදෑ මල්ලි කෙනෙකුගෙ ගෙදර හිටියෙ....මිනිහත් ඔය පොල් හොරකමට සම්බන්ධයි. එහෙටත් අපේ ලොකු සෑර් ඇවිත් මල්ලිට කථා කලා....කථා කරන විදිය එච්චර සුභදායක නැති හින්දා මම දොර මුල්ලෙ හැංගුනා... මල්ලි නින්දෙන් නැගිට්ටා විතරයි. දොර ඇරපු ගමන් වේවැල් පාර ඒකටත් පුක හරහා වැදුනා. ඒ සද්දෙ ඇහෙනකොටම මම පිටිපස්සෙන් පැනලා ගියා අපේ ගෙදරට.

මම ඔන්න දැන් ගේ ඇතුලෙ හැංගිලා...නම් ලිස්ට් එකේ අන්තිමයා විදියට මාව හොයන්න ඔන්න දැන් ප්‍රින්සිපල් සෑර් අපේ ගෙදරට ඇවිල්ලා... වේවැල වන වනා කොලේ දික්කරං කෑ ගහනවා....

හිමිදිරියෙම මල්ලිට ලොකු සෑර් ගෙදරටම ඇවිල්ලා ගැහුවා කියලා ඒ වෙද්දිත් අපේ අම්මට ආරංචි වෙලා. ඔයාට කියන්න අයියා අපේ අම්මගෙ කට සැරයි. යකෙක්ටවත් භය නෑ...

අම්මා චීත්තෙ ටිකක් උඩට කරලා ඇදගෙන දිව්වෙ නැතෙයි මිදුලට...


අපේ ළමයි බල්ලො බළල්ලු කියලා හිතලද මේ උදේ පාන්දර වේවැලකුත් වන වනා ගෙවල් ගානෙ උන්ට ගගහා ඇවිදින්නෙ...දඩුවම් කරනවා නම් ඉස්කෝලෙදි කරන එකයි ඇත්තෙ. එහෙම කියලා අපේ අම්මා පැන්න ගමන් අපේ ලොකු සෑර්ට ගැහුවා කනේ පාරක් හෙණ ගැහුවා වගේ බිම පතබෑවෙන්නම...මිනිහගෙ ඔලුව මොකේකද වැදිලා තුවාලත් වුනා. අම්මා දන්නෙ අපි පොල් කැඩුවා කියලා විතරයි. ගෙඩි ගාන දන්නවා නම් අපිට ඒ වෙද්දිත් සම්බුව ලැබිලා.

උඹලා ඉතිං ආයෙත් ඉස්කෝලෙ යන්න නැතුව ඇති නේද....මම ඇසුවෙමි.

පිස්සුද අයියා...අපි ඊට පහුවෙනිදත් ගියා. ලොකු සෑර් හ්ම් කිව්වෙ නෑ... වෙච්ච සිද්ධියට මිනිහට ලැජ්ජයි. කටක් ඇරලා කියන්න පුලුවන්ද ගෑණියෙක් වැටෙන්නම ගැහුවා කියලා.

ඔය පොල් කියද්දි මට මතක් වුනේ...අපේ ලොකු සෑර්ගෙ වත්තෙ පොල්ගොඩ විකුණලා ඉවර උනාම පුහු පොල් ටික තෝරලා වෙනම ගොඩ ගහනවා....අපි දවසක් අන්න ඒ ගෙඩි ටික උස්සලා ලෙලි ගහන්නෙ නැතුව නියනකින් ගෙඩියෙ නැට්ට තියෙන පැත්තෙන් හිල් කරලා වතුර පිරෙව්වා. ඊට පස්සෙ මැටි දිය කරලා අර හිලත් වැහුවා.

පොල් තොගේම දැන් අපූරුවට වතුර හඩනවා. කඩේ මුදලාලිට දීලා සල්ලිත් ගත්තා. පැයක් දෙකක් ගියාට පස්සෙ අම්මා කෑ ගහනවා කුස්සියෙ ඉදන්,


හන්දියෙ කඩෙන් මේ දැන් ගෙනාව පොලේ...එතනදි හොදට වතුර හැඩුවා...දැන් හඩන්නෙ නෑනෙ...අම්මා පොල් ගෙඩිය බෑග් එකේ දාගෙන එද්දි අර මැටි ටික දියවෙලා වතුර ලීක් වෙලා. මම මොකුත් නොදන්න ගානට කිව්වා...කඩේ ගිහිල්ලා වෙන එකක් ගන්න කියලා.

මෙලෙස අප දෙදෙනා දොඩමළු වූ රාත්‍රීන් කීපයකින් පසු මස්සිනා මගේ කදිම මිතුරෙකු බවට පත් වී තිබුනි. ඔහු තුල ජීවත් වන අහිංසක මිනිසාගේ සැබෑ ස්වරූපය පිළිබදව මට යම් අවබෝධයක් ඇතිව තිබෙන විටෙක ඔහු කෙරේ මා වඩ වඩාත් පැහැදුනේ හෙතෙම ලංකාවෙන් පැමිණෙන විට රැගෙන විත් තිබූ සමපෝෂ පැකැට්ටු කීපයේ අන්තිම පැකැට්ටුවේ අන්තිම කොටස ඔහුගේ භාවිතයට ගැනීමට සූදානම්ව සිටියදී එසේ නොකොට මගේ තේ කෝප්පය තුලට මගේ ඉල්ලීමකින් තොරව එක් කිරීමෙනි.

මම බොන්න කියලා හැදුවෙ....කමක් නෑ අයියා බොන්න...මේ විදියට කලින් බීලා නැද්ද...සීනි දැමූ උණුසුම් තේ කෝප්පයෙහි සමපෝෂ දියකල පසු එය කදිම පානයකි. පළමු වරට මමද එය එසේ රස බැලුවේ එදාමය. කැමති නම් අත්හදා බලන්න.

සූර්ය පැනල ව්‍යාපෘතියේ අගභාගයේදී ඊට සම්බන්ධ වූ මා සති දෙකකට පමණ පසු එයින් සමුගන්නා දිණය එළැඹියේය. මා කරා පැමිණි මස්සිනා ඔහුගේ ලංකාවේ දුරකථන අංකය මා අත තබා...

ලංකාවට ආපු දවසක අපේ ගමට එන්න අයියා...මම තව අවුරුද්දක්...උපරිම එක හමාරක් මෙහ ඉදලා ආයෙත් ලංකාවට යනවා...ගේ පොඩ්ඩක් හදාගන්න තමයි කල්පනාව. කිසිම නරක දෙයක් නොකර සාධාරණව සල්ලි හම්බකරන්නයි මම ඉස්සරහට හිතාගෙන ඉන්නෙ. ඔයා එද්දි මතක ඇතුව කැමරාවක් අරන් එන්න...අපේ ගම හරිම ලස්සනයි...ගොඩාක් ෆොටෝ ගන්නත් පුලුවන්...මම අර දත කඩාගත්ත ඇළ බන්ට් එක අයිනෙ තැනක එදාට අපි සැට් වෙමු.

සති දෙකේ මිත්‍රත්වයේ උණුසුම සිතෙහි දරාගෙන මම මස්සිනාට සමු දුන්නෙමි. හෙතෙම අවසන් වතාවටත් දත්කොටේ පෙන්වමින් අව්‍යාජ සිනාවක් නැගූ අයුරු යුනිකෝඩ් මැදින් මට දැනුදු මැවී පෙනෙයි.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

කාමරය තුල මා පෙනෙන්නට නොසිටි මාස දෙකක කාලය තුල මා ලද අත්දැකීම් ඉදිරි දිනෙක ඔබට කියන්නෙමි. ඒ කාලය තුල හමුවූ අපූරු පුද්ගලයන් කීප දෙනෙකි.

72 comments:

  1. ඔහුගෙ කතාවල් ඇත්ත වෙන්න ඇති.
    කියද්දි කැටයම් පාරකුත් දානව ඇති.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුණා.

      Delete
    2. එහෙම වෙන්න පුලුවන්...මම මේකා කියන ඒවා සම්පූර්ණයෙන් විශ්වාස කලේ නෑ.

      Delete
  2. අව්‍යාජ මිනිහෙක් ගානයි. ගම දි කොහොමත් ඔය වගේ මිනිස්සු මහම්බෙනවා අනන්තවත්. පුහු ආටෝපයෙන් තාමා වැහුනෙ නැති ඒ මිනිස්සු කවදාවත් වෙනස්වෙන් නෑ මොන දේ දෑතට දුන්නත්. කතා සෙට් එකම කියෙව්වා. මරු ඈ. මමත් පොරව මතක් කොලා කියහං. අපේ ගම් ඉසව්වටත් කිට්ටු පොරක් නෙව මස්සිනා..

    ReplyDelete
    Replies
    1. දැන් මම එතැන සේවය කරන්නෙ නෑ...ආයෙත් දවසක හමුවුනොත් කියන්නම්...

      Delete
  3. ඔය එකක්වත් බොරු නෙමෙයි. සහතික ඇත්ත. ගම කියන්නේ ඕක තමයි. උඹට මතකද මේ මෑතකදි පොල් කඩලා මාට්ටු වෙච්ච කෙල්ල. මහා හා හූවක් ගියේ. ඒ තමයි ඇත්ත.

    ඉස්කෝලවල බඩු හොරකම් කරන උන් කොච්චර ඉන්නවද බං මගේ බොක්කක් උන්නා ධර්මාළෝකේ ඉන්න කාලේ. අද ඌ ඉංජීනේරු මහත්තයෙක්. පොඩි කාළේ මූ මරුමූස්. හැමදාම කාගෙන් හරි ගුටි කනවා. ලැබ් එකේ තිබුන ඔක්කොම වගේ උස්සලා මූට උස්සන්න දෙයක් නැතිව. ජනෙල් වල සරනේරූ ගලවලා විකුණලා. උදේ ලැබ් එකේ ජනෙල් අරින කොට. ජනෙල් දෙකක්ම කුඩුලු..

    අපිත් එක්ක රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ඉඳිද්දි සයිකල් උස්සපු උන්ගෙන් එකෙක් අද ප්‍රසිද්ද මාධ්‍යවේදියෙක්...

    ReplyDelete
    Replies
    1. @මාතලන්.........නම නොකියා පොඩි හින්ට් එකක් දීපන්කෝ.

      Delete
    2. ඔව් ඔව් ඔහොම අත්දැකීම් මටත් තියෙනවා...මම වතාවක් ටෙඩීගෙ කථාවෙදි කිව්ව අසංක ගැන මතකද...මිනිහත් කරන්න තියෙන දග වැඩ ඔක්කොම කරලා ඉංජිනේරුවෙක් වෙච්ච කෙනෙක්...

      Delete
  4. මට හිතෙන්නෙත් කෙන්ජි කියපු එකමයි.. පොඩි වයිරමකුත් යනව වගේ..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්...මස්සිනා 8 වසරෙදි වහළෙන් බැහැලා දුන්න ගේම මම නම් කීයටවත් විශ්වාස කලේ නෑ...පොඩි බණ්ඩි පෝර පාරකුත් ගහනවා ඇති කථාව කියන ගමන්...

      Delete
  5. මේක කියවද්දි ආතල් වුනාට, නිකං හිතලා බලාපං මේවගේ එකෙක් අසල්වැසියෙක් වෙලා හෙම හිටියොත් මොන වසංගතයක්ද කියලා. හොරකම දැනට අමතක කලොත්, උඹ ඌට කියාපං මැලේසියාවෙදි වත් එලිමන්හනෙ බොග දාන එක නවත්තන්න කියලා. මොකද අහු වුනොත් උගේ විතරක් නෙවෙයි, රටේ කාඩ් එකත් කුඩු. ඇයි උඹ අහලා ඇතිනේ අර එංගලන්තෙ හිටපු ඉන්දියන් හයි කමිෂනර්ගේ කතාව. ඒක ඉන්දියාවේ ජාතික පුරුද්දක් හැටියටනේ ලෝකෙම සලකන්නේ. ඉතින් අපිටත් ඔය සන්තෑසියම තමයි.

    ඒ වගේම මම උඹ නම්, මම මගේ පෞද්ගලික වටිනා දේ ගැන පරිස්සම් වෙනවා, ඔහොම පොරක් ඉන්නකොට. මතක තියාගනිං පාට්නර්, ලබ්බට තිබ්බ අතම තමයි පුහුලටත් කියලා.

    ReplyDelete
    Replies
    1. දැන් මම එතැන සේවයේ නැති හින්දා..කිසිම ආශ්‍රයක් නෑ...ඒ නිසා මගේ බඩු භාහිරාදිය ගැන අවධානමක් නෑ.

      රට මොකක් වුනත් අඩු අධ්‍යාපනයක් ලබපු බොහෝ පිරිසක් මෙතැන වැඩ කලා. ඒ බොහෝ දෙනෙකුගේ ගතිගුණ එක සමානයි. වෙලාවක් අවේලාවක් නැතුව සිගරට් බීම, වැසිකිළී තිබුනත් ඒවා පාවිච්චි නොකිරීම, ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනෙ...මස්සිනත් එහෙම එකෙක්ද කොහෙද ?

      ඉන්දියාවෙන් සුද්දා ගියේ ගද උහුලන්න බැරි නිසාලු නේද ? එහෙම කථාවක් මම අහලා තියෙනවා.

      Delete
    2. මේක එච්චර පොලිටිකලි කරෙක්ට් නැතුවට උඹ නොදන්න බව පෙනෙන නිසා කියන්නම් ආරලු බූරලු නැතුව ඉතා කෙටියෙන්. මේකේ වර්ෂන් දෙක තුනක් තියෙනවා.

      ‍රැජිණ ඉන්දියාවේ සංචාරයක යෙදෙනවලු ඉන්දීය අගමැතිත් එක්ක අර විවෘත නිළ රථයේ. ඉතින් පාර අයිනේ තාප්ප වලට චූ කරන උන්, රේල් පාරේ, මුහුදු වෙරළේ බොග දාන වුන් ‍රැජිණ හිටියයි කියලා නැහැලු, තමන්ගේ වැඩ වල යෙදෙනවලු. ‍රැජිණ මේ ගැන ඇනුම් පදයක් දෙකක් කියලා කිව්වලු එංගලන්තේ නම් කවදාවත් ඔහොම සීන් එකක් දකින්න නෑ කියලා. ඒ වගේම අගමැතිගෙන් අහලා ඇයි මේ මිනිස්සුන්ට වැසිකිළි හදලා නොදෙන්නෙ කීයලත්. මේක අගමැතිට හොඳට වැදිලා.

      ‍රැජිණගේ සංචාරයෙන් පස්සේ ඉන්දීය අගමැති ගියාලු බ්‍රිතාන්‍යයේ සංචාරයකට. ‍රැජිණම අගමැතිත් එක්ක රාජකීය ලිමෝ එකේ නැගගෙන සංචාරය කරනවාලු. අගමැති දුරදක්නෙකුත් ඇහේ ඔබාගෙන හොඳ කල්පනාවෙන් යනවලු ඇත්තෙන්ම ප්‍රසිද්ධියෙ බොග දාන එකෙක් හිටියොත් ‍රැජිනට පෙන්නලා එදා වෙච්ච ලැජ්ජාව පොඩ්ඩක් අඩු කරගන්න.

      මෙන්න යකෝ අගමැතිට පේනවලු එක පොරක් වැල්ලේ බොගක් බානවා උණු උණුවෙ. සන්තෝසෙ වැඩි කමට පොරට කෑගැස්සුනාලු. පොර වහාම දුරදක්නේ ‍රැජිණට දීලා පෙන්නලා සීන් එක. ‍රැජිණ ෂෝෆර්ට කියලා වහාම ලිමෝ එක නවත්තලා අර පොරව අල්ලගෙන එන්න කියලා.

      පස්සේ ඔන්න ‍රැජිණගේ බොඩිගාඩ්ලා ගිහින් අරූව අල්ලන් ඇවිත්. අගමැතිගේ කට කනේලු. නමුත් ඒ ආතල් එක ගන්න ලැබුනේ ටිකවෙලාවට විතරයිලු මොකද අර මනුස්සයගෙන් ප්‍රශ්න කරලා බැලින්නම් පොරලු බ්‍රිතාන්‍යයේ ඉන්දීය මහකොමසාරිස්

      Delete
    3. අපොයි..! මගේ...බුරිය...!
      පට්ට .බං.ඩූඩ්..!

      Delete
    4. ඇයි බොලං මේක සිල්ලරට මෙතන කෙටුවෙ..බණ්ඩි පෝර පාරක් ගහලා ගත්තා නම් පෝස්ටුවකට නියම කථාව...ස්තූතියි හෙන්රි උතුමාට...

      Delete
  6. හොඳට ලුණු ඇඹුල් දාලා කතා කියන හැඩයි.....

    //වැඩේ කියන්නෙ අයියා...බයිසිකලේ හරියට බෝලයක් පෙරළෙනවා වගේ කෙලින් අතට පෙරලිලා රෝද දෙක ආයෙත් පොළව උඩ හිට්ටා...අනිත් උන් දෙන්නා දිගටම ගියා...උන්ට හෙනවත් නෑ...මට විතරයි හානි. ///

    කොහොමෙයි අප්පා......ඒම උනේ හී :D

    ReplyDelete
    Replies
    1. සමහර තැන් වල ලුණු ඇඹුල් සත්ගුණවත් සිරා කොලුවාගෙන්...

      Delete
  7. අව්‍යාජකම, ඇසූපිරෑ තැන්ඇතිකම සමරවෙලාවට විධිමත් සාක්ෂරත්වායට වඩා වටිනව කියලයයි මම හිතන්නෙ.සිරා සහේදරයට හම්බවුන ජාතියෙ මස්සිනාල කිහිප පොලක්ම මටත් විටින් විට මුණගැහිල තියෙනව..

    ReplyDelete
    Replies
    1. මේකා සෑහෙන අව්‍යාජ එකෙක්...මට මස්සිනාගෙ ජීවන සටන ගෙනයන්න ගහපු දහං ගැට බොහෝමයක් ගැන ආශ්‍රය කරපු සති දෙක තුල කිව්වා.

      Delete
  8. කතාව කියවද්දී මට පොරව මැවිලා පේනවා. ඔය ගජ මෑන් ගැන අහල තිබුනට දැක්කේ අද හික් හික් හික්

    ReplyDelete
    Replies
    1. මෙයාව දකිනකොට අපිටත් නිරාසයාසයෙන් හිනා යනවා කියලා මම මේ සටහනෙත් ලිව්වෙ ඒකයි...

      Delete
  9. අන්න ඒ වගේ එවුන් තමයි මල ගෙවල් වලට අඬගහගෙන යන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් පාලුවක් නෑ...රැය පහන් වේවි නොදැනුවත්වම...

      Delete
  10. අනේ මංද ඉතිං මේ මනුස්සය ඇත්තටම අවංක වෙන්නත් පුලුවං. ඒ වගේම හෙන්රි කිව්ව වගේ ‍නං පරිස්සං වෙන එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. භය වෙන්න දෙයක් නෑ දැං...මම දැන් වෙනත් තැනක් සේවය කරන්නෙ...තව දුරටත් මස්සිනා මට හමුවෙන්නෙ නෑ...මස්සිනා එක්ක කරපු තවත් වැඩක් ගැන ඉදිරි දිනක ලියන්නම්...

      Delete
  11. එහෙනම් දැන් ගජමෑන් ඉන්නේ මැලේසියාවේ! :D

    ReplyDelete
  12. ඔයවගේ මස්සිනාල මටත් හම්බ වෙලා තියෙනවා...... ඉන්න තැනක් නැ කිව්වම බෝඩිමට ගෙනත් නවත්ත ගන්නවා ඊට පස්සේ රැ එළිවෙනකම් උගේ දුක කියනවා .... කතාව අහලා දුකෙන් පුන් දාගෙන නිදියලා ටිකක් දවල් වෙලා නැගිටිනකොට, අර මස්සිනා මටත් නොකිය මගේ පර්ස් එකටත් විදලා මාරු ..... සැපනම් සනීපයි කිව්වලු........ සිරා කොලුවෝ උබ තාම මාස 6ක් විතරනේ මැලේසියාවේ.... මම අවරුදු 6කටත් වැඩි ..... පරිස්සන් වෙන්න ඕන නිසයි කියන්නේ කල්පනාවෙන් කොලුවෝ........

    ReplyDelete
    Replies
    1. මැලේසියාවෙ මාස 6ක් උනාට ජීවන ගමනෙදි මට ඔය වගේ පුද්ගලයො අනන්තවත් මුණ ගැහිලා තියෙනවා..කොහොමත් මම ප්‍රතිපත්තියක් හැටියට පාස්පෝට් යාලුවො ජීවිතයට ලංකර ගන්නෙ නැති තරම්...ලං වෙන්නෙ විදින්න බව අත්දැකීමක් නැතුවම මමත් දන්නවා. මස්සිනා එක්ක දැන් ආශ්‍රයක් නෑ...වෙන තැනක දැන් මගේ සේවය.

      Delete
  13. පැහැදිලිවම පරිස්සම් වෙයන්,.මමත් ඔය වගේ උන් විශ්වාස කරලා පාඩම් ඉගෙනගෙන තියනවා..හෙන්රිය කිව කතාව 1000% හරියටම හරි .ඔය වගේ උදවිය අනිවාරියෙන් ඔය වැඩේ දන්නා කෙනෙකුට කරනවා කරනවාමයි.... මටත් ඔය වගේ හම්බ උන චරිතයක් ඉන්නවා.මම ඌ ගැන බ්ලොග් එකේ ලියලත් තියනවා එක පාරක් ...

    ReplyDelete
    Replies
    1. පරිස්සම් වෙන්න දෙයක් නෑ බොලං...මස්සිනාගෙන් මිදිලා මම දැන් වෙනත් තැනක සේවයට බැදිලා ඉන්නෙ...බොගේ බ්ලොග් සටහන වෙලාවක මම කියවන්නම්...ලින්කුවට ස්තූතියි.

      Delete
  14. අඩෝ, මම ගජබින්නාලංකාරය නැවැත්තුවෙ ටික දවසකට විතරයි... උඹ ඒක මේ පැත්තෙන් පටන් ගත්ත නේ?

    ReplyDelete
    Replies
    1. උඹේ අඩුව පුරවන්න හිතුවා...උඹ මේ දවස්වල මාලා නාටක ලියන හින්දා ගජබින්නාලංකාර රසිකයො වල්මත් වෙලා නොවැ ඉන්නෙ.

      Delete
  15. උකුස්ස කිවුව වගෙ මල ගෙවල්වලට මරු.ඈත්ත නෑත්ත 40% 60 % අනුපතෙ තමයි

    ReplyDelete
    Replies
    1. මමත් ඒ කථාවට එකගයි..පාලුවක් නැතුව නයිට ගහන්න මරු බඩ්ඩක්...

      Delete
  16. අඩේ උබ නියමෙට ලියල තියෙනව බන්... සිරාවට ගැමි ජීවිතය ඔහොමයි.... මම ගමේ පොඩි කාලෙ හොරෙන් ගහකට බඩ ගාල තැබිලි,කුරුම්බා කඩල තියෙනව අනන්තවත්... නමුත් විකුනල නෑ... ගහක පලතුරක් පේන්න බෑ....

    ReplyDelete
    Replies
    1. ගහට බඩ ගාද්දි කකුල එහෙම ලෙලි ගියේ නැද්ද...එහෙම ගේම් නම් මමත් දීලා තියෙනවා...හිතුනොත් ඉස්සරහ දවසක ලියන්නම්..

      Delete
  17. සිරා කතාව සිරා මලයා. මේ ඇත්ත කතා... ජීවත් වෙන්නනේ මේ සේරම කරන්නේ. කවුරු වුණත් අපූරු හාදයෙක්

    ReplyDelete
    Replies
    1. ජීවත් වෙන්න තමයි හැම දේම කරන්නෙ ඒක ඇත්ත. අඹු දරුවො අනාථ කරලා ජීවිතයෙන් පලා යන්නෙ නැතුව එහෙම දෙයක් හරි කරගෙන ඉන්න එක වෙලාවකට හොදයි කියලත් හිතෙනවා...

      Delete
  18. අම්මෝ මස්සිනා ලංකාව අතෑරලා යන දවසෙ ලංකා මාතාව හම්මේ ඇති කියලා හුස්මක් පිට කරන්න ඇති..

    ReplyDelete
    Replies
    1. ලංකාව කෙසේ වෙතත් ඒ ගමේ උන් නම් එහෙම හිතන්න ඇති. මස්සිනා කරපු ඇතැම් සිදුවීම් මම ලිව්වෙ නෑ.

      Delete
  19. සිරෝ......එක එක කාලවලදී මිනිස්සුන්ට වෙන දේවල් තමයි.සමහරවිට මූ දැන් හොඳටම හොඳ වෙලත් ඇති. උපදේශයක් දෙකක් දීලා හරි ට්‍රැක් එකට දාගන්න පුලුවන් ඔය වගේ බුවාලව.

    ReplyDelete
    Replies
    1. මිනිහම කියන විදියට පෙර වැරදි හදාගෙන දරු මල්ලො එක්ක සතුටින් ජීවත් වෙන්න තමයි දැන් කැමැත්ත කියලයි මට කිව්වෙ.

      Delete
  20. ඇලේ ගැට්ටේ තියාගෙන බෝතලයක් ගහනවා කියන්නේ හම්මේ තියෙන සැප ...

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද...අපිත් ඈත පළාතක චාරිකාවක් ගියොත් වතුර තියෙන ඔය වගේ තැනකම තමයි බෝතලේ කැඩුවෙ...

      Delete
  21. නියම කතාටික. කොටස් වශයෙන්නේ දාන්න තිබුනේ. ඔවැනි චරිත හැමදාමත් සමාජයේ අහුමුලුවල ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. කොටස් වශයෙන් දාන්න ගියාම අලුතින් කථාව කියවන්න එන කෙනෙක්ට මුල කොටස් ඔක්කොම කියවගෙන එන්න වෙනවා. ඊට වඩා මේ විදිය හොදයි කියලයි මට හිතෙන්නෙ. මස්සිනා සම්බන්ධ තවත් කථාවක් තියෙනවා ඒක ඉදිරි දිනක

      Delete
  22. උඹටත් හොඳ හොඳ එවුන් අහුවෙනව නේද එහේ මේහේ හක්කලං කොරන කොට..!!!

    ReplyDelete
    Replies
    1. සිරා ඉතිං සත්ගුණවත් එකා නොවැ...ඒ නිසා වෙන්ට ඇති...

      Delete
  23. ඔක්කොම මිනිස්සුනේ..... අර මාතලන් කිව්වා වගේ පොල් කඩපු කෙල්ලගේ සීන් එකත් ඔය වගේ එකක්.

    ReplyDelete
    Replies
    1. ඒ පොල් කඩපු සිද්ධිය මාධ්‍යයෙන් තමයි ගොඩාක් උලුප්පලා ගත්තෙ...ඒකෙන් ඒ ළමයට හානියක් වගේම යහපත් දේත් සිද්ධ වුනා.

      Delete
  24. //ටවුමට ගියා මෝටර් සයිකලේ තුන්දෙනා ඩබල් දාලා.// හෙහ්..හෙහ්..ඒකත් මරු..!තුන්දෙනා ඩබල්දාල..!

    මට නම් හිතෙන්නෙ නියම ඇම්ඩන්කෙනෙක් වගේ..! ඇත්ත උනත් එහෙමයි.
    බොරු උනත් මේ වගේ බොරු..? ගස් යන බොරුනෙ.

    සාමාන්‍යයෙන් ගම්වල කොල්ලො අතේ සල්ලි නැත්නම් ඕය වගේ ගේම් දෙන්නෙ නෑ..ඊට වඩා සල්ලි හොයන්න ලේසි ක්‍රම තියෙනව..කෙසෙල් කැනක් කැපීම,කුඹුරු/හේන් අත්තමකට යෑම.පොඩි කොල්ලෙකුට අත්තමක් හොයාගන්නව කියන්නෙ ගමක සුලු දෙයක්. එහෙම තියෙද්දි ඉස්කෝලෙ බඩු උස්සනව කියන්නෙ පට්ට හොරෙක්...
    ගම්වල කොල්ලො මදාවි කම් කරනව තමයි.ඒත් මේ වගේ හොර වැඩ කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමනෙ වීයා...සල්ලි හොයන ලේසි ක්‍රම අනුගමනය කරන්නනෙ සමහරු උත්සාහ කරන්නෙ..එතනදි හොද නරක ගැන තැකීමක් නෑ...එහෙම චරිතයක් තමයි මස්සිනා...මමත් ඒකට බැන්නා පාසලේ බඩු හොරකම් කරපු එක ගැන නම්.

      Delete
  25. යකෝ කොහොමද ගල් ගහලා පොල් 92 ක් කැඩුවේ කෙක්කක් දාලවත් කරන්න අමාරු වැඩක්

    ස්කොලේ යන කාලේ නම් අපි කරපු ලොකුම හොරකම දැවැන්ත ඇම්බුන් කැනකට වැඩ දුන්නා ඒ ඇරෙන්න කෙල්ලොන්ගේ බත් ටික උස්සනවා

    ReplyDelete
    Replies
    1. මමත් පිළිගත්තෙ නෑ...මිනිහා කිව්වෙ හොදට වේලිලා කරවෙලා තිබුන හින්දා ගලක් වැදුන ගමන් පොල් වල්ලම හැලෙනවා කියලා. බත් උස්සන වැඩේ නම් අපිත් කරලා තියෙනවා.

      Delete
  26. සිරාම මස්සිනෙක් නේ .. මේකා මාර වැඩනේ කරලා තියෙන්නෙ.

    //සීනි දැමූ උණුසුම් තේ කෝප්පයෙහි සමපෝෂ දියකල පසු එය කදිම පානයකි// අත්හදා බලන්ට ඕන. බඩ යන එකක් නෑනේ... :D

    ReplyDelete
    Replies
    1. ඒ හින්දනෙ බොලං මේකව උස්සගෙන කාමරේට ආවෙ....

      Delete
  27. දැන් ඉතින් මස්සිනා එයා ගැන ලියලා තියෙනවා දැක්කද? :)

    ReplyDelete
    Replies
    1. පික්සු කථා කරන්න එපා පොඩ්ඩි...මේ කියන මස්සිනා අන්තර් ජාලය දැකලවත් තියෙනවද මන්දා...

      Delete
  28. හොරකම් කරන අයට ඒ අය කරන දේ වැරදියි කියලා තේරෙන්නේ නෑ. පුරුදු දේ කරනවා. මොනවා වුණත් සිරා ඉතාම සංයමයකින් මේ තොරතුරු ගොනු කරපු බව පේනවා.

    ReplyDelete
    Replies
    1. මස්සිනා මට කිව්වා ගොඩාක් දේවල් ලොප් කරලා තමයි මේ ටික ලිව්වෙ...අනිත් දේවල් ගැන ලිව්වා නම් හැමෝම මස්සිනාට ශාප කරයි.

      Delete
  29. මස්සිනා අමරපොරක්නේ බං , උබ උන්ගේ ගමේ එහෙම යනවනම් පරිස්සමින් පලයන් , :D.

    ReplyDelete
    Replies
    1. යද්දි මම උඹවයි, අටමවත් එක්කගෙන යන්න හිතාගෙන ඉන්නෙ..සෑමගෙ කාර් එකේ යමු.

      Delete
  30. මූ නං පැහැදිලිවම ගජබින්නාලන්කාරයේ දෙවෙනි කොටස තමයි ඒකෙ දෙකක් නෑ,ඒත් සුන්දර මනුස්සයෙක් නේද බං

    ReplyDelete
    Replies
    1. මස්සිනා ඉන්න තැනක පාලුවක් නෑ...එහෙම එකෙක් දෙන්නෙකුත් ඉන්නවා නම් වැඩ බිමක් උනත් සුන්දරයි.

      Delete
  31. අදයි මේ පැත්තේ ආවේ ඔය ගල්ගමුව පැත්තේ මිනිස්සු ජීවත් වෙන්න මාර දුකක් විදින්නේ,,,,,ඔය මස්සිනාගේ සමහරක් කතා ඇත්ත වෙන්නත් පුලුවන් හැබැයි.

    ReplyDelete
    Replies
    1. කාමරේට සාදරයෙන් පිළිගන්නවා...දිගටම මේ පැත්තෙ එන්න

      මස්සිනාගෙ කථාවෙ තියෙන ඇතැම් සිදුවීම් ඇරුනාම ගොඩාක් දේවල් ඇත්ත කියලයි මටත් හිතෙන්නෙ...ඒ පැතිවල ජීවත් වෙන්න මිනිස්සු විදින දුක් ගැහැට මස්සිනාගෙ ශරීර කූඩුවෙන් අගේට විද්‍යාමාන උනා.

      Delete
  32. සිරෝ මස්සිනා නියම පොරක්.
    අර උඩ ශානු කියලා තියනවා වගේ ගල්ගමුව කියන්නේ දුෂ්කර පළාතක්,ජිවත් වෙන්න සටන් කරන පළාතක්.එහම පැති වල මස්සිනා වගේ චරිත ඇති තරම් ඉන්නවා බං.

    ReplyDelete
    Replies
    1. මමත් අහලා තියෙනවා ඒ පළාතෙ තියෙන දුෂ්කරතාවයන් ගැන...ඒ නිසාම තමයි මස්සිනාට කිට්ටු වෙලා ජීවන කථාව අහගත්තෙ...

      Delete
  33. සෑහෙන කාලෙකින් තමයි සිරගෙ කාමරේට ආවේ ,,, පට්ට පොස්ට් එක ආ ...
    කාලෙකින් ආපු නිසා කියවන්න බරගානක් තියනවා ,,,
    " The අච්චාරු පිටුව "

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං...මමත් පහුගිය ටිකේම බැලුවා කෝ මේ අච්චාරු කොලුවා නැත්තෙ කියලා..උඹේ සින්ඩියට දිගටම පෝස්ට් ටික ලින්ක් කලා...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...