ගම්පහ විජයාරාම පාරේ පිහිටා තිබූ අම්මාගේ මහගෙදර යාමට මා තුල වූයේ නොසිදෙන ආශාවකි. සීයාගේ, කිරි අම්මාගේ මෙන්ම මාමාගේ සහ පුංචි අම්මාගේ සමාගමයට කුඩා මා ඉතාමත් ඇළුම් කිරීම එයට එක් හේතුවකි. තාත්තා නිවාඩු දින වල එහි යන්නේ නම් ඒ අනිවාර්යෙන්ම පා පැදියෙනි. එවන් විටෙක කුඩා සිරා කොලුවා හට බයිසිකලයේ හරහට ඇති පොල්ල මත අසුන් පනවන්නේ කුඩා කොට්ටයක්ද තැබීමෙන් පසුය. එහෙත් ගමන අතරතුර පස්සා පැත්ත රිදෙනවා යැයි මා නගනා මැසිවිලි හේතුවෙන් කිලෝමීටරයකට පමණ වරක් බයිසිකලය නවතා ගිමන් හැරීමට තාත්තාට සිදුවූ බැව් පැහැදිලි සිතුවමක් සේ මගේ මනසේ තවමත් නිමග්න වෙයි.
මෙලෙස මා හට මතකයක් නැති මුත් දෙමාපියන් පවසනා තවත් කථාවක් වෙයි. එකල ගම්පහ නගරයේ නම් දැරූ ඡායාරූප ශාලාවක් වූ රෝයල් ඡායාරූප ශාලාවෙන් ඡායාරූපයක් ගැනීමට කුඩා සිරා කැටුව ගිය ඔව්හු එහි වූ කුඩා රෝද 3 බයිසිකලයක් මත මා නංවා ඡායාරූපයක් ගෙන ඇත්තාහුය. ඡායාරූපය ගැනීමෙන් පසු ඒ කුඩා බයිසිකලය අවැසි බව පවසමින් මා තදින් හඩන්නට වූ බවත්, එම බයිසිකලය අතහැර යාම ප්‍රතික්ෂේප කබ බවත්, කුමන දේ කීවත් හැඩීම නතර කර ගැනීමට නොහැකි වූ තැන ගම්පහ නගරයේ වූ වෙළද සැලකින් ඒ වර්ගයේ රෝද 3 කුඩා බයිසිකලයක් මිළදී ගැනීමට සිදු වූ බවයි ඒ කථාව. ඒ අනුව මම බයිසිකලයට පෙම් බදින්නේ ඉතා කුඩා අවදියේ සිටය.
ශිෂ්‍යත්ව පන්තියේදී මා වටා උන් සම වයසේ ඇතැම් මිතුරන් බයිසිකල් පැදීමට පටන් ගත්තේ 3 පන්තියේදී විය යුතුය. පන්ති කාමරය තුලදී තම තමන්ගේ බයිසිකල් ගැන උනුන් පැවසූ කථා බස් බයිසිකලයක් නැති මගේ වර්ගයේ උන්ට ඉතාම රසවත් ඒවා විය. තාත්තාගේ පා පැදිය විවේක සුවයෙන් නිවසේ ඇති කලෙක එය නිවස වටා තල්ලු කිරීමටත් දකුණු කකුල වම්පස පැඩලය මත තබා තනි කකුලෙන් පැන පැන යාමටත් පමණක් මට එකල හැකිව තිබිනි. වම් පාදය වම්පස පැඩලය මත තබා බයිසිකල් පදින්නට පුරුදු වන ලෙස තාත්තා නොයෙක් වර මට යෝජනා කලත් මේ කියන බයිසිකලය පැරණි වර්ගයේ අධික බරකින් යුතු එකක් වූ නිසාමදෝ ඒ කාරිය කිරීමට මට තවත් කාලයක් ගත විය.
කුඩා ප්‍රමාණයේ පා පැදියක් මා සතු නොවූවද මා කිසි දිනෙක මිතුරන්ගෙන් පා පැදිය පැදීමට දෙන ලෙස ඉල්ලා නැත. සිරා කොලුවාගේ හැටි එහෙමය. තමන්ට කියා එකක් නැත්නම් ඒ පිළිබද කෙතරම් ආශාවන් ඇති වුවද දෙමාපියන්ට එය රැගෙන දෙන ලෙස කරදර නොකර තමන්ට ඇති කලෙක ඒ දෙය පුරුදු වීම මගේ ක්‍රමයයි. පසු කලෙකදී බයිසිමොටෝ පැදීමට මෙන්ම පරිගණකය හැසිරවීමට මා ඉගෙන ගත්තේද මටම කියා ඒ දේවල් මිළදී ගත් පසුවය.
මිශ්‍ර පාසලක් වූ එකල මා ඉගැනුම ලැබූ කුඩා පාසලේ ඇතැම් දැරිවියන් පවා ශිෂ්‍යත්ව අමතර පන්ති සදහා කුඩා පා පැදි වලින් හැන්දෑ කොරේ පාසලට පැමිණියද මා හට ඒ වන විටත් පා පැදියක් හැසිරවීමට හැකියාවක් නොවීය. ඒ පිළිබද මගේ කුඩා චිත්ත සන්තානය කණස්සල්ලට පත් වූ අයුරු තවමත් මට මෙනෙහි කල හැක.
සිරා කොලුවා ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අවදිය වන විට තාත්තා පිටරටක රැකියාව කරමින් සිටියේය. ශිෂ්‍යත්ව විභාගය සමත් වුවහොත් බයිසිකලයක් තෑගි කරන බැව් එතුමා එහි සිට මා හට ලියූ ලිපියක අකුරු කල හෙයින්දෝ විභාගය සමත් වීමේ දැඩි වුවමනාවක් මා හට ඇති වී තිබුනි. නගරයේ උසස් පාසලකට යාමේ අරමුණටත් වඩා බයිසිකලයක් ලබා ගැනීමේ ආශාව එයට වස්තු බීජය වන්නට ඇත.
මගේ අරමුණු සාක්ෂාත් විය. නගරයේ හොදම පාසලට යා හැකි වන පරිදි ශිෂ්‍යත්ව කඩඉම තරණය කිරීමට මා හට හැකියාව ලැබුනි. ප්‍රතිඵල තාත්තාට දන්වා යැවීමට මා බිදකුදු ප්‍රමාද නොවූයේ මගේ තෑග්ග ලබාගැනීමට සුදුසුකම් සපුරා තිබූ හෙයිනි.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වී මාස දෙකක් පමණ ගතවූ පසු දිනෙක සැදෑ කලුවර ඔස්සේ කුඩා පාපැදියකින් අප නිවසට පැමිණි අමුත්තෙකි. හෙතෙම මගේ පියා සමග විදේශගතව සිටි රොහාන් අයියා යැයි කුඩා අප විසින් ඇමතූ අප පවුලේ හිතවතෙකි.
මෙන්න මල්ලි තෑග්ග.....
නිවාඩු ඇවිල්ලා දවස් දෙක තුනක්....ඒ උනාට මේක කෑලි දෙක තුනකට ගලවලා ගෙනාවෙ....අද තමයි හයිකරගන්න විවේකයක් ලැබුනෙ....රොහාන් අයියා මගේ මවට බයිසිකලය පිළිබද තවත් තොරතුරු දක්වයි.
බයිසිකලය අලුත්ම එකක් නොවූවද අලුත්ම පෙනුම තවමත් පවතී.
මල්ලි මේක ඇමරිකන් සුද්දෙක්ගෙ පොඩි පුතෙක් පැද්දෙ...ඒ අය ආපහු ඒ රටට යන නිසා තාත්තට දුන්නා...තාත්තා අලුතින් එකක් ගන්න හැදුවෙ...ඒත් මේක නියම ඇමරිකන් බයිසිකලයක්...හොදටම හයියයි...කාලයක් පදින්න පුලුවන් නිසා මම තාත්තට කිව්වා අලුතින් එකක් ගන්න එපා මේක මම ගිහින් දෙන්නම් කියලා.....
දැන් මගේ සතුට දෝරෙ ගලා ගොසිනි. මෙතෙක් කල් අනෙක් උන්ගේ බයිසිකල් දෙස බලා සිටි මට දැන් ඒ එකෙකුටවත් නැති වර්ගයේ මගේම කියා බයිසිකලයක් තිබේ...මගේ පුංචි සිත සියුම් අඩම්බරයකින් පිරී ගොසිනි. බයිසිකලය ඔස්සේ මගේ සුරත ඒ මේ අත ගමන් කරයි...2 පන්තියේ සිටි මගේ මලණුවන්ද මේ සතුටේ හවුල් කාරයෙකු වී ඇති සෙයකි. බයිසිකලයේ හැඩලය රතු පැහැයෙන් පින්තාරු කර බද කොටස තනිකරම සුදු පැහැයෙන් නිමවා තිබුනි. පාපැදියේ වර්ගය Formula 1 නම් විය. හරස් අතට වූ පොල්ලක ඒ නම සදහන් ස්ටිකරයකි. එදින රාත්‍රියේදී මා හට නින්ද බොහෝ දුර විය. කාලයක් තිස්සේ ආශාවෙන් සිටි යමක් ලැබෙන කල්හි අද වුවද මා හට නින්ද බොහෝ දුර වෙයි. එකල පිටරට දුරකථන ඇමතුම් මිළ අධික වූ හෙයින් ලිපි මගින් පමණක් අපි තාත්තා සමග තොරතුරු හුවමාරු කර ගත්තෙමු. තාත්තා එවූ තෑග්ගට ස්තූති කර ලිපියක් ලිවීම පසුදිනට කල් තැබුවෙමි.
පසුදා උදෑසනම නිවසින් පිටතට රැගෙන ගිය මගේ තෑග්ග සමවයසේ උන් පිළිගත්තේ ඉතාමත් හරසරිනි. ගම්වාසී මගේ සමවයසේ මිතුරන් බොහොමයකට පා පැදි නොවූ හෙයින් ඔව්හුද සිටියේ ප්‍රීතියෙනි. එයට පරිබාහිර මට වඩා වසර දෙක තුනක් පමණ වැඩිමලුන් මට බයිසිකල් පැදීමට කියා දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. බයිසිකලය මත මා හිදුවා එකෙකු පිටුපසින් වැටෙන්නට නොදී අල්ලාගෙන පා ගමනින් එයි. මට බයිසිකලය පා ගන්නට අණ කරයි...ටික දුරක් එසේ ගිය කල පිටුපසින් සිටි තැනැත්තා මටත් හොරෙන් අත ඉවතට ගනී...මද දුරක් සමබරව යන මා වැටෙන්නට නොදී අල්ලා ගන්නට තවෙකෙකු ඉදිරිපත් වෙයි. මේ ආකාරයෙන් වෙහෙස මහන්සි වී පැය දෙක තුනක කාලයක් තුල මා පා පැදිය හැසිරවීමට සමතෙකු වූයෙමි. එහෙත් මගේ මළණුවන් එය ඉගෙනගන්නට වැය කලේ හෝරාවක් පමණි. අලුත් යමක් ඉතා ඉක්මනින් ඉගෙන ගැනීමේ කදිම හැකියාවක් ඔහුට වෙයි.
අප බයිසිකල් පදින දෙස ආශාවෙන් බලා සිටින ගම්වාසී සගයන් දුටු කල්හි...
පුතේ ඔය මල්ලිටත් පදින්න දෙන්න.... ඔය නංගිටත් කියා දෙන්න යනුවෙන් මගේ මව මා හට යෝජනා කරයි. මෙතරම් පරාර්ථකාමී හිතක් අද සිරා හට ඇත්තේ මා කුඩා කල දෙමාපියන් එලෙස මා හට ආදර්ශයෙන්ම කටයුතු කලා නිසායැයි විටෙක මට සිතේ. එවැනි කලෙක හිතේ කිසිම කහටක් නැතිව මගේ තෑග්ග මම ඔවුනට පැවරූවේ මමද මෙසේ ආශාවෙන් දෑස් දල්වා බලා සිටි කාලයක් තිබූ හෙයිනි. මේ මිත්‍ර සමාගම නිසාම බයිසිකලයට යම් උවදුරක් වූ කල්හි එය නිවාරණය කරගෙන පැමිණීමට ඔව්හු සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වූහ. අප කල යුතු වූයේ ඒ සදහා වැය වන වියදම පමණක් ඔවුනට ලබා දීමයි. රෝදයක පැච් එකක් ඇති වූ කල්හි රෝදය ගලවා ගන්නා මේ සගයින් පා ගමනින්ම බයිසිකල් වැඩපොලක් කරා ගොස් එය පිළියම් කරගෙන නැවත පැමිණ බයිසිකලයට සවි කරදීමට තරම් කාරුණික විය.
මගේ පා පැදිය හොදින් හසුරුවන්නට හැකි වූ පසු තාත්තාගේ විශාල පා පැදිය මුලින් හරස් පොල්ල යටින් හා පසුව පොල්ලට උඩින් කකුල දමා හැසිරවීමට හැකි වූ අවදිය වන විට තාත්තා නැවතත් මවුබිමට පැමිණියේ BMX වර්ගයේ රතු පැහැති අලුත්ම වර්ගයේ කදිම පා පැදියක් මගේ මලයාට තිළිණ කරමිනි. එහි වූ විශේෂත්වය වූයේ සාමාන්‍ය අත් තිරිංග වෙනුවට පැඩලය පිටුපසට කරකවා තිරිංග තද කල හැකි ක්‍රමයක් (Paddle Brake) එහි වීමයි. හැඩලයට ආසන්නව සාමාන්‍ය පාපැදියක මෙන් තිරිංග ක්‍රියාත්මක කරන උපාංග නොවූ හෙයින් මේ බයිසිකලය වේගයෙන් පදිනා නොයෙක් වර මම මාර්ගයේ ගමන් ගත් වැඩිහිටියන්ගෙන් බැණුම් ඇසුවෙමි.
කොලුවො ඔය බයිසිකලේ බ්‍රේකුත් නෑ නේද...ඔච්චර හයියෙන් ඉගිල්ලෙන්න හදන්නෙ
අනේ ළමයො මේ බ්‍රේක් නැති බයිසිකල් පදිනවා නම් හිමින් පදිනවා...අපේ ළමයිනුත් මේ පාරවල් වල යනවා.
අනේ හැබෑටම බයිසිකලේ නවත්ත ගන්න ක්‍රමයකුත් නැතුව මේකා යන වේගයක්...
එවැනි විටෙක එවැනි ඇත්තන්ට පෙනෙන්නට එක තැන තිරිංග තද කිරීම මගේ පිළිතුර විය. ඒ දසුනින් අන්ද මන්ද වන ඇතැම්හු තිරිංග තද වූයේ කෙසේදැයි වටහාගත නොහැකිව බලා සිටී.
ගම මැදින් යන ගුරු පාර ඉතාම කලාතුරකින් වාහන යනෙන මාර්ගයක් වූ නිසාම දෙමාපියන්ගේ බාධාවකින් තොරව කුඩා උන් බයිසිකල් පැදීමට නිතර ආගිය තැන විය. දෙපසින්ම කුඹුරු ඉඩම් පිහිටා තිබූ එහි ලග ලග වංගු පැවතීම වැඩි වේගයකින් බයිසිකල් පැදීමට බාධාවක් විය. බයිසිකලයේ යා හැකි උපරිම වේගයෙන් යාම සැම විටෙකම මගේ අභිප්‍රාය වූ නිසාම මේ වංගු වලින් ඉවතට විසි වී මඩ නාගෙන ගොඩ පැමිණියේ වරක් දෙවරක් නොවේ. නමුත් මේ කාරියෙන් ඇස් රතු වූ දිනයක්ද එළැඹියේය. මලයාගේ බයිසිකලයෙන් නිවස ආසන්නයේ වූ වංගුවක් කෙලින් කර කුඹුරකට විසිවූ මගේ හිස පැල ගොයම් දරාගෙන සිටි මෘදු මෙළෙක් මඩෙහි සැගවිනි. ආයාසයෙන් මඩ පිසදා දෑස පාදාගෙන බයිසිකලයද කරට ගෙන කුඹුරු දෙසින් සැගවුනු මාර්ගයකින් නිවසට පැමිණි මට වෙනදා නැති අමුත්තක් දැනිනි.
වළලුකර සමීපයේ වූ සිහින් වේදනාව කෙමෙන් වැඩි වෙයි. සිරුරේ කිසිදු තැනක සීරිමකදු නොමැති වුවද මේ වේදනාව මට මහත් පීඩාකාරී විය. මඩ තැවරුනු ඇදුම් දර මැස්සෙහි සගවා බයිසිකලයද පිරිසිදු කර සිරුරේ තැවරුනු මඩද සෝදා හැර නිවස තුලට වැදී හොර පූසෙකු මෙන් සිටියද තව දුරටත් ඉවසනු නොහැකි වේදනාව හමුවේ සිදුවූ සන්තෑසිය මවට පැවසීමට මා හට සිදු විය. ඒ වන විටත් දකුණු කකුලේ අදාල පෙදෙස විශාල ලෙස ඉදිමීමට ලක්වී තිබූ හෙයින් මවගේ ආරාධනයෙන් නිවසට පැමිණි අප ඥාති හිතවතුන් විසින් ගෙනෙන ලද කිසිදු වේදනා නාශක ආලේපයකට මේ ඉදිමුම පැරදිය නොහැකි විය. එදින රාත්‍රිය ඉතාමත් අපහසුවෙන් ගත කර පසුදා උදෑසනම කැඩුම් බිදුම් සදහා අප ප්‍රදේශයේ ප්‍රචලිතව සිටි රත්මලේ වෙද මහතා හමුවීමට බාප්පා සමග යාමට තීරණය වී තිබුනි.
පසුදින උදෑසන කකුල බිම තබා ඇවිදීමට පවා නොහැකි වන තරමට තත්වය දරුණු වී තිබිනි. වළලුකර සමීපයේ ඇති රවුමට ඇති අස්ථිය දැඩි ලෙස ඉදිමී තිබූ අතර යටි පතුල ආසන්නව නහරයක් මෙන් තවත් ඉදිමුමක් විය. ඇවිදීමට අපහසු නිසාම මා ඔසවාගෙන තම යතුරු පැදියේ පසුපස තැබූ බාප්පා තදින් ඔහු අල්ලාගන්නා ලෙස පවසා කඩිනමින් වෙද මහතාගේ නිවස සොයා ඉගිලුනේය. මේ සිදුවීම වන විම මා සිටියේ 8 වසරේ විය යුතුය.
අප පැමිණියේ උදෑසනම හෙයින්දෝ වෙද ගෙදර තවමත් කිසිදු රෝගියෙක් නැත. අපේ ආගමනයෙන් අප කරා පැමිණි වෙද මහතා මගේ කකුල පරීක්ෂා කර පොඩි දෙයක් වෙලා තියෙන්නෙ භය වෙන්න එපා...මට ඩිංගිත්තක් වෙලාව දෙන්ට බුදුන්ට පාන පත්තු කරලා එනකම් යනුවෙන් පවසා නිවස තුලට වැදුනේය.
වෙද ගෙදර ඇති තෙල් බෙහෙත් සුවද හා මුසුවුනු හදුන්කූරු සුවදක් අවට පරිසරයේ පැතිරෙද්දී වෙද මහතා නැවතත් පැමිණියේ තම අත්ලට ගත් බෙහෙත් තෙල් ස්වල්පයකට මුව ලංකර යම් දෙයක් මුමුණමිනි. සිංහල කැඩුම් බිදුම් වෙදකමේදී වේදනාව දරා සිටීමට සිදුවන බැව් මා හට එයට මුහුණ පෑ අයගේ අදහස් තුලින් අවබෝධ වී තිබූ නිසා සිත පිරී තිබුනේ දැඩි භීතියකිනි.
සුව පහසු ආසනයක මා හිදවූ වෙද මහතා මගේ දකුණු කකුලේ ආපදාවට ලක්වූ පෙදෙසෙහි සෙමින් බෙහෙත් තෙල් තැවරුවේ මා සමග අදහස් හුවමාරු කර ගනිමිනි.
මොකද දරුවො උනේ...වෙද මහතා අසයි...
මෙයාට හෙමින් බයිසිකල් පදින්න දන්නෙ නැහැලුනෙ වෙද මහත්තයා, ඊයෙ බයිසිකලෙන් කරණමක් ගහලා.... මා වෙනුවට බාප්පා පිළිතුරු දෙයි.
ආ එහෙමද...එහෙනම් මීට පස්සෙවත් හෙමින් බයිසිකල් පදින්නෙ නැතැයි...වෙද මහතා එසේ කියමින් බුලත් කහටින් දුර්වර්ණ වූ දසන් දක්වා සිනාසෙයි.
දැන් කීය පන්තියේද ඉන්නෙ....වෙද මහතා නැවතත් විමසයි...
මම ආයාසයෙන් පිළිතුරු දෙමි. නමුත් තවමත් මා බලාපොරොත්තු වන ඒ වේදනාව නැත...
පවුනෙ ඉතිං නේද....කකුල මේ වගේ තියාගෙන ඉස්කෝලෙ යන්නත් බෑනෙ....අපි ඉතිං කකුල හොද කරමු නේද මහත්තයො...බාප්පා දෙස බලා ඉගිමැරූ වෙද මහතා ඉදිමීමට ලක්ව තිබූ නහරය බදු කොටස තදින් මිරිකද්දී බාප්පා දැගලිය නොහැකි වන සේ මා තදින් අල්ලා ගත්තේය.
එහෙත් ඒ සමගම නැගුනු විලාපය සමග වෙද මහතාගේ බිරින්දෑ මෙන්ම දියණියද නිවස තුල සිට ඉවතට දිව ආවෝය. මගේ විලාපය සමග තවත් විලාපයක් ඇසිනි. ඒ මගේ බාප්පාගෙනි.
මොකද මහත්තයත් කෑ ගැහුවෙ...වෙද මහතාගේ බිරිද බාප්පාගෙන් අසයි.
මේ මගෙ අත..... තව පොඩ්ඩෙන් වෙද මහත්තයට මගේ අතටත් බෙහෙත් කරන්න වෙනවා.
වේදනාව ඉවසනු නොහැකිව බාප්පාගේ බාහුව තදින් හපා ඇති බව මට වැටහුනේ එවිටය. ඔහුගේ අතේ ඉහළට වන්නට රවුමට කදිමෙට මගේ දත් පෙළ සටහන්ව තිබුනි.
වෙද මහතාගේ දියණිය එකල මා සහභාගි වූ ගණිත පන්තියේ සිටි සම වයසේ එකියක බැව් මා හදුනාගත්තේ දෙනෙතේ වූ කදුලැලි වියැකී ගිය පසුවය. එසැනින් වස ලැජ්ජාවක් දැනිනි.
ආයෙත් හයියෙන් බයිසිකල් පදිනවද ? බෙහෙත් මැල්ලුමක් කෙසෙල් කොලයක දවටා මගේ කකුල වටා ඔතමින් වෙද මහතා විමසයි.
මම දෙපසට ඔලුව වනා නැතැයි පිළිතුරු දුන්නෙමි.
ආයෙ අනිද්දට එන්න...බුලත් කොලයක තබා බාප්පා දුන් තුටු පඩුර සතුටු සිතින් පිළිගත් එතුමා අපට සමු දුන්නේය.
පළමු දිනයෙන් පසු නැවතත් එහි යන විට ඉදිමුම සැළකිව යුතු ලෙස අඩු වී තිබූ අතර මම කෑ ගැසීමකින් තොරව වේදනාව ඉවසා සිටියෙමි. මෙසේ ගතවූ දින කීපයකට පසු මගේ කකුල නිට්ටාවට සුව වූ අතර තවත් මද කාලයක් ඇවෑමෙන් නැවතත් සුපුරුදු වේගයෙන් බයිසිකලය පැද ගියෙමි.
බයිසිකලය නිසා මුහුණ දුන් තවත් අනතුරක තතු ඉදිරි දිනයක......
මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.
ප.ලි
පසුකලෙක පාසලේදී දිගු දුර ධාවනයේ යෙදෙද්දී පවා මතු නොවන පරිදි මගේ ආබාධය සුවපත් කල මේ වෙද මහතා මීට දෑ අවුරුද්දකට පමණ ඉහත ලෝ දම් අනුව අපෙන් සමුගත් පුවත සංවේගයෙන් සටහන් කරමි.
එදා මා හට වෙද ගෙදරට යාමට උදව් වූ බාප්පා 2012 වසරේ මුහුණ පෑ යතුරු පැදි අනතුරක් නිසා දරුණු ලෙස වම් පාදයට හානි වී තිබූ අවස්ථාවක ඔහුගේ සහායට සිරා කොලුවා ඉදිරිපත් වූයේ දෛවයේ සරදමකට මෙනි.
පසුගිය මාස දෙකක කාලය තුල බ්ලොග් ලිවිල්ලෙන් අකමැත්තෙන් හෝ ඉවත්ව සිටීමට මා හට සිදු විය. ඊට පෙර අවසන් වශයෙන් පළවූ ලිපි කීපයක් මා වේලාසනින් ලියා Auto Publishing ක්‍රමයට පල කල ඒවා හෙයින් එම ලිපි අරභයා පාඨක ඔබ පල කල අදහස් උදෙසා පිළිතුරු දීමට ප්‍රමාද වීම පිළිබද සමාව භජනය කරමි. නොරටක සිටින මා රැකියාව නම් සාධකය මත ඒ මේ අත දෝලනය වෙමින් අවිනිශ්චිත තත්වයක සිටීම හේතුවෙන් වෙහෙසට පත්ව තිබූ මානසිකත්වයක් තුල බ්ලොග් ලිවීම උගහටය.
රැකියාව තුල පැන නැගුනු ගැටලු නිසා ඒ මේ අත වැනෙමින් සිටි මා හට අවසානයේ පිළිසරණ වූයේ ගාමිණී විලාවේදී දැන හදුනාගත් වෘත්තියෙන් රූපවාහිනී විකාශන ක්‍රමවේද පිළිබද ඉංජිනේරුවකු වන අන්කල් අයියාය. මා වෙසෙනා රටේ සිටිනා ඔහුගේ හිතවතෙකු වන රේ අයියා වෙත මා හදුන්වා දී ඔහු මාර්ගයෙන් මා ලංකාවේදී නිරත වූ පරිදිම රැකියාවකට සම්බන්ධ වීමට ලැබීම මගේ සියලු දොම්නස් දුරුකරවීය. මා හමුවූ පළමු දිනයේ රේ අයියා....
මල්ලි මම උඹට උදව් කරන්නෙ හේතු දෙකක් නිසා...
1 ඔයාව මට හදුන්වා දුන්න කෙනා මගේ හොදම යාලුවෙක්
2 මම ඔයාගේ බ්ලොග් එක පටන් ගත්ත කාලෙ ඉදන්ම කියවනවා...ඒ තුලින් ඔයා කවුද කියලා මට අවබෝධයක් තියෙනවා.
හිතේ සතුට උදෙසා පටන් ගත් මගේ බ්ලොග මෙලෙස මගේ අනාගත කඩයිම් තීරණය කරනට සාධනීය දායකත්වයක් දක්වාවි යැයි මම සිහිනෙකුදු නොසිතුවෙමි. ඒ නිසාම සයිබරයේ මගේ කාමරය මෙයින් මතු පාලුවට නොයනු ඇත. යහපත් වටපිටාවක, යහපත් මිනිසුන් සමග යහපත් වැටුපකට සේවය කරන මගේ සිත දැන් බොහොම සන්සුන්ය. මේ සදහා පාර පෙන්වූ අන්කල් අයියාට සහ රේ අයියාට අනේක වාරයක් ස්තූතිය පුදමි.
ඔබ ඔබට හැකි පරිදි යහපත් දේ තුලින් අන් අයට පිළිසරණ වේද, ඔබේ දුකකදී අන් අයද එසේම ඔබට පිළිසරණ වේවි. ඒ බැව් මම දැන් අත්දැකීමෙන් දනිමි. බ්ලොග නොලියූ මාස දෙකක කාලය තුල මා ගැන විමසා විද්යුත් පණිවිඩ එවූ හා මූණුපොතේ සටහන් තැබූ සැමටම ස්තූති වන්ත වෙමි. ඔබේ මේ සහෝදරත්වය සිරාගේ කාමරය තවත් කාලයක් විවෘත කර තබන්නට මට ශක්තිය ධෛර්යය එන්නත් කරනවා නොඅනුමානය.
රාජකාරීමය සංචාරයක් අතරතුර මා සිටිනා ඉසව්වට පැමිණ කෙසේ හෝ මා මුණගැසී ගිය සමකය වටේ අප කැන්දාගෙන යන නලින් අයියාද ගෞරවයෙන් සිහිපත් කරමි. මේ කියන රේ අයියා කවුදැයි ඔහු දන්නවා ඇතැයි සිතමි. නියම නමින් මේ සත්පුරුෂයන් හදුන්වා දී ඔවුනට ඇතිවිය හැකි අපහසුතා වැළැක්වීමට ආරූඩ නාමයන් භාවිතා කල බැව් සැළකුව මනාය.
ආ..... උඹ පළවෙනිදම වැඩේ පටන් අරන් තියෙන්නෙ. (1 කිව්වට ඉතිං අද 2) :)
ReplyDeleteකියවල කමෙන්ට් හෙට. :)
පළවෙනිදා ඉරිදනෙ බන්...උඹලා ඉතිං දහම් පාසල් වල උගන්වන්න යන උන් හින්දා මම ඔන්න සදුදාම දැම්මා...මම දන්නවනෙ DDT යා බෝ පැලයක් කියලා....
DeleteItaly Dilan...සමාවෙයන් මචං...වැරදීමකින් උඹේ කමෙන්ටුව මැකුනා...
Delete//උඹලා ඉතිං දහම් පාසල් වල උගන්වන්න යන උන් හින්දා//
Deleteඅනේ දෙයියනේ ... මම යන දහම් පාසල්. :)
මුලින්ම අළුත් ජීවිතේට සුබ පැතුම් සිරා. උඹ කරදරයක් නැතුව ඉන්න එකම මැදෑ, අර මැලේ මචං කියන හැටියට මිනී කාක්කොනේ බං ඉන්නෙ, සරත් අයියගෙ ලිපියත් කියෙව්වා මම.
බයිසිකල් කිව්වම ඉතිං හැම කොල්ලටම පොඩි කාලෙදි ඔය ලෙඩ ටික ඔහොම්මමයි බං. අපිත් බයිසිකල් නිසා ඒ කාලෙ කොයිතරම් අතපය හූරගෙන තුවාල කරගෙන ඇත්ද. මුලින්ම ලොකු බයිසිකල් පදින්න පුරුදු වෙද්දි අපි උස නැති නිසා ප්‍රේම් එක අස්සෙන් කකුල දාලා පදින්නෙ, (ඒ කාලෙ කිව්වෙ යට පොල්ලෙ පදිනවා කියල) ඊට පස්සෙ චුට්ටක් උස යද්දි තමා ප්‍රේම් එකේ උඩින් කකුල දාලා පදින්නෙ. ඔයදෙක මාරුවෙන කාලෙ හරියට තුවාල කරගත්තා.
මමත් සාමාන්‍යයෙන් මටම කියල දේවල් ගන්නකන් අනුන්ගෙ ඒව අතපත ගාන්න යන්නෙ නෑ. උඹට කියන්න මම කම්පියුටරයක් ඇල්ලුවෙත් ඕලෙවල් කරල ඉවරත් උනාට පස්සෙ, මටම කියල එකක් ගත්තට පස්සෙ තමයි මම වැඩකරන්න පුරුදු උනෙත්. බයිසිකල් නම් අපේ ගෙදර කීපයක් ම තිබුනා. මට ම කියල මුලින්ම තාත්තා අරන් දුන්නෙ නිල්පාට phoenix බයිසිකලයක්. 1997 දි, මගේ ළඟ තාමත් ඒකෙ බිල තියෙනවා. රු 4215.
බොලේ මෙන්න DDTයගෙ මූණු පොඩ්ඩ දාල..!
Delete@DDT
Deleteඅඩේ ඇත්තටම උබට තියෙන්නේ මදුරුවෝ බය වෙන ජාතියේ මුණක් (දන්නවනේ පත්තගියත් ඇත්ත කියන මිනිහනේ මම)
හික්ස් ... උඹ බය උනේ නෑනේ.
Deleteබොලා බයකරන්න තමා දැම්මෙ.
ඔන්න, වෙන මූනක් හයිකරගත්තා.
Deleteපෙනුමෙන් නං DDT යා තිදරු පියෙක් වගේ...
DeleteDDT ජනතාකරණය වෙමින් සිටියි :D
Delete//පෙනුමෙන් නං DDT යා තිදරු පියෙක් වගේ//
Deleteඔව් බං ළමයි තුන් දෙනත් එක්ක ෆොටෝ එකක් අරන් දාන්න හිටියෙ, කොහෙද - පොළොස් ගැට එල්ලෙන කොස් ගහක් වගේ පෙනේවි කියල ඒ අදහස අතෑරියා.
@ සමියා,
ඔව් ඔව් ළඟදිම ‘ජනසතු‘ කරන්න තමා අදහස. :)
ආපහු ලියන්ට පටන් ගත්තු එකට ගොඩක් සන්තෝසයි සිරෝ...:)
ReplyDeleteබොහොම ස්තූතියි පොඩ්ඩි...පහුගිය දවස් වල ඒ පැත්තට එන්න බැරි උනාට අමනාප වෙන්න එපා...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපළමුව ඔබට උදවු කල ඒ මහත්වරුන් දෙදෙනාට මාගේ ස්තුතිය පුද කරමි.
Deleteසාර්ථක ගමනකට සුභ පැතුම්.!
ස්තූතියි කෙන්ජි අයියා...ජය !
Deleteකොහොම උනත් සිරා ලොකු දෙයක් හිතට හරියන ජොබක් ලැබුන එක මෙහෙ එන අයගෙන් කියේන් කි දෙනාටද ඔය වාසනාව හිමිවෙන්නේ ....... ඒ ඔක්කොටම වැඩිය වටින්නේ එක කරලා දීපු අයට අර දීල තියෙන ප්‍රසංසාව....... කොහොම උනත් ජොබට සුභ පැතුම්
Deleteබොහොම ස්තූතියි රාළෙ...බ්ලොග් ලෝකෙ අසල්වැසියකුත් මුනගැසුනු එක ගැන බොහොම සතුටුයි. දවසක මුණ ගැහිලම කථා කරමු...ජය !
Deleteමා ද බයිසිකල් පිස්සෙකු බවත්, කොළඹ නගරයට වී අමු කට්ට කමින් සිටින මාගේ ගෙදර යාමට ඇති නොනිත් ආසාව බයිසිකල මතක් කර දී තව තවත් තියුණු කල ලිපියක් බවත් සහතික කරමි.
ReplyDeleteඉස්තුතියි.
(දිනකට බයිසිකල් කිලෝමීටර් 100 මතකයේ පාවෙමින්)
බොහොම ස්තූතියි ඔබට...ඉස්සර දවසක රාත්‍රියක වැඩ නිමවී ආපසු එන කලට..බස් නොමැතිව චාටරේ කන විට බයිසිකලයක අගය මටද හොද හැටි වැටහුනු බැව් මතකයි.
Deleteමාද කුඩාකල බයිසිකලය පුරුදුවන්නට ගොස් රෝස පඳුරු ගාලක් මතට ඇදවැටීමේ භාග්‍යය ලබා ඇත.
ReplyDeleteඔය වෙද මහත්තුරු ඔහොම තමයි. ෂේප් එකේ කතා කරකර ඉඳල එක පාරටම ගේම දෙනව.
සිරාට සිරා රැකියාවක් ලැබීම ගැන සන්තෝසයි. හිත හොඳනං කොහේ ගියත් වරදින්නේ නැති බව මගේ හැඟීමයි. ජය.
බොහොම ස්තූතියි ප්‍රසන්න අයියා...නැවත දැකීම සතුටක්...පස්සෙ දවසක බයිසිකලය නිසා ආයෙත් වෙද මහත්තයෙක් මුණ ගැහෙන්න ගියා. ඒ විස්තර ඉදිරි දිනක...
Deleteඅම්මෝ බයිසිකල් ද?? මමත් ඉස්සර පැදපු පැදිල්ල.... බ්‍රේරේක් කොහේද නෑ... කොච්චරවත් මොඩිෆයි කරනවද?? කාලෙකට මඩ් ගාඩ් 02 ගලවනව... කාලෙකට පෙන්ට් වලින් විකාර අදිනව... මතක් වෙද්දිත් ආසයි... අනික වැටිල තියෙන වැටිලි.. යකෝ බේරිලා ඉන්න එක පුදුමයි....
ReplyDeleteඅපිත් එහෙම තමා...පස්සෙ කාලෙක මවුන්ටන් බයිසිකල් පිස්සුවක් තදටම වැදුනා...කොහොම හරි ඒකකුත් ගත්තා අම්මට කියලා....වෙසක් බලන්න යන්න තමා ඒ දවස් වල අපේ වැඩි කැමැත්ත බයිසිකලෙන්....
Deleteඅම්මෝ ඇති.. කරදරයක් නැතුව ඉන්න එක ..
ReplyDeleteකරදරයක් නැතුව ඉන්නවා අයියා...මගේ වටේට ඉන්න ලංකාවෙ හොද මිනිස්සු නිසා තමයි එහෙම උනේ... ජය !
Deleteආපු වැඩේ හිතපු විදියට හරි ගිය එක ගැන සතුටුයි ....කතාව නියමයි.මමත් නැතිව ලත වුනු කාලේ ,,,,
ReplyDeleteමගේ බෝට්ටුවෙම තවත් කොලුවෙක්...
Deleteනව රැකියාවට සුභ පැතුම්.
ReplyDeleteමටත් පොඩිකාලේ මතක් උනා. මට මුලින් පාපැදියක් ලැබුනේ එක වසරේදී නිල් පාට ලුමලා භාගේ බයිසිකලයක්. ඔබ කියා ඇති පරිදි වම් පාදය වම්පස පැඩලය මත තබා යාම මෙන්ම පොල්ල යටින් පැදීමත් ලොකු බයිසිකල් වල කර ඇත. එම අවස්ථාව අපගේ ළමයින්ට නැත්තේ. ඔවුන්ට කුඩා කලම කුඩා බයිසිකල් ලැබීම මෙන්ම. අපගේ තාත්තලා මෙන් අප බයිසිකල් නොපැදීමයි.
ඇත්ත ඇත්ත...දැන් ළමයි බොහොම සූටි කාලෙ ඉදන්ම නොවැ බයිසිකල් පදින්නෙ...අද බයිසිකලයක් පදින්න බැරි ළමයෙක් ඉන්නවා නම් ඒක විය නොහැක්කක්...
Deleteමගේ බයිසිකලෙත් නිල් පාට ලුමාලා බාගේ එකක්.. ඒකෙ නං ෆොටෝ එකකුත් තියෙනව මගේ බ්ලොග් එකේ...තාම අපේ ගෙවල් පැත්තේ මල්ලි කෙනෙක් ගාව තියෙනව.. හි හි...
Deleteහොඳ පොයින්ට් එකකින් ආයෙ පටන් අරන් තියෙන්නෙ....කතා වැලක් ලියවෙයි වගේ...!!
ReplyDeleteජය වේවා....!
කථා වැලක් දැනටම පෙළ ගැහිලා තියෙන්නෙ වැඩ ඉවර වෙලා...ඉදිරියට බලමු සුමිත් අයියා
Deleteජය වේවා !
ගමනේ අරමුණ ඉෂ්ඨ වී ඇති බව දැන ගැනීමට ලැබීම සතුටක්.
ReplyDeleteබොහොම ස්තූතියි ලොකු අයියෙ...
Deleteමමත් පුංචි කාලේ බයිසිකල් පදින්න පුරුදු වුන හැටි මතක් වුනා.. පුංචිගේ පුතාට පිං සිද්ධවෙන්න ගස් නගින්න, බයිසිකල් පදින්න, විසිල් ඝහන්න, ගහගන්න වගේ සේරම කොලු වැඩනම් පුරුදු වුනා.. සිරා අයියා ආපහු දැකීම සන්තෝසයක්...
ReplyDeleteඔබව නැවත දැකීමත් සතුටක් නගේ...ඒ කියන්නෙ නදිනි කියන්නෙ කොලු භාගයක්...එහෙමද ?
Deleteපුදුමෙ කියන්නෙ සිරාගෙ කතාව මගේ අතීතෙටත් බොහොම සමානයි. මමත් මුලින්ම බයිසිකල් එකක් පදින්න පුරුදු උනේ ශිෂ්‍යත්වෙ පාස් වුනාම තාත්ත රට ඉඳල එවාපු බයිසිකල් එකෙන්. ඒකත් කලින් වෙන කෙනෙක් පාවිච්චි කරපු එකක්.
ReplyDeleteනැවත පැමිණීම ගැන ගොඩක් සතුටුයි. ඔබට ජය!
බොහොම සන්තෝෂයි මිත්‍රයා මගේ වගේම කථාවක් ඔබටත් තියෙන බව අසන්නට ලැබීම...ඔබටත් ජය !
Deleteහප්පේ පොඩි කලේ බයිසිකල් පදින්න තිබුන ආසාව දැන් නම් නම් නැහැ.
ReplyDeleteපෙර කියවූ රස කතා නැවත රස විදීමේ බලාපොරොත්තුවෙන් සිටිමි.
මමත් පාපැදියක් පැදපු කාලයක් මතක නෑ...පස්සෙ කාලෙක ඉතින් බයිසිමොටෝම නොවැ පාවිච්චි කොලේ...
Deleteඅන්න බලාපං බ්ලොග් ලියලා යහපතක් වෙච්ච එකෙක් හම්බවුනා අන්තිමට. කොච්චර හොඳද!
ReplyDeleteබයිසිකල් ගැන කිව්වොත්, මගේ පොඩි එකාට උපන්දිනේට අරන් දුන්නා ස්ටන්ට් බයික් එකක්. ඕක වැඩියෙම පැද්දේ මම. මෙහෙ හරියට බයික් හොරකම් කරන නිසා කොල්ලා ඒක ඉස්කෝලේ ගෙනිච්චෙත් නෑ, මොකද ඉස්කෝලේ ඇරෙනකල් පාර අයිනේ දාලා තිබ්බොත් බයික් එක උස්සන නිසා.
මේ ලඟදි අපේ ප්‍රින්සිපල්ගෙ මාර්ගයෙන් එක ටියුෂන් කඩ කාරයෙක් මට ටියුෂන් කරන්න කියලා වද කරකර හිටියා. මම ගියා පොරව හම්බවෙලා මට බෑ කියලා කියන්න. ඒකට විනාඩි දහයක් යන්න ඇති. එලියට එනකොට මයික් එක මිසිං. එවෙලෙම ගිහින් පොලීසියේ එන්ට්‍රියක් හෙම දැම්මා. බයික් එකේ සීරියල් නම්බර් එකත් දුන්නා. බයික් එක ඊට පස්සේ ඇහැටවත් දැක්කෙ නෑ. මම දැන් වුනත් ස්ටන්ට් බයික් දිහා බලාගෙන යන්නේ ඒක ආපහු වෙනස් කරලවත් දකින්න ලැබෙයි කියලා. වෙන මොකුත් නෙවෙයි. ඒක කොල්ලගේ උපන්දින තෑග්ග නිසා.
අපොයි බං..ලංකාව හොඳයිනෙ..!
Deleteමම පළමු වරට දැක්කේ මැලේ වල බයිසිකල් වල එන අය,බස් හෝල්ට්/මෝල් අවට යකඩ වැටවල්/ගස් වලට දම්වැල් වලින් ලොක් කරල තියෙනව බයිසිකල්.
Deleteලංකාවෙනං ඔය වගේ බයිසිකල් කටු උස්සන්නෙ නෑ. කෙලිංම ලක්ෂ 25-30 වාහනයක් මිසක. :D
Deleteසිංගප්පූරුවෙත් තඩි දම්වැල් වලින් පා පැදි ආරක්ෂිත කර තබා තිබෙන අන්දම මා දැක තියෙනවා...නරකද හෙන්රි අයියෙ අතේ ඉහළට වෙන්න ලොකු පච්චයක් ගහන් මාලෙ හන්දියට ගිහින් බයිසිකලේ උස්සපු එකාගෙන් ගේම ඉල්ලුවා නම්...
Deleteබ්ලොග් ලිවිල්ල නම් අබිං කෑවා වගේ තමයි ගොයියො...ඇබ්බැහි වෙලා වගේ දැන් නම්...
මෙහෙ ලක්ෂ ගනං වල වාහන උස්සන්නේ නෑ, ඇත්තෙන්ම මෝටර්බයික් නිකම්ම හැඬල් ලොක් එක දාලා තියෙනවා. නමුත් එතනම තියෙන බයික් එක අලි දම්වැල් දාලා බැඳලා තියෙන්නේ. මේවා උස්සන්නේ කුඩ්ඩෝ. ලේසි ගතම් එකක් හොයාගන්න.
Deleteඅප්පේ.........ඇති යන්තං ආපහු කාමරේ දොර ඇරලා තියෙන්නේ. හරිම සන්තෝෂයි සිරා. ජීවිතය හොඳින් ගත කරනවා ඇති කියලා හිතනවා.
ReplyDeleteබයිසිකල් කතා නම් හැම කොල්ලටම වගේ තියනවා ඇති තරම් කියන්න. මෙන්න මගෙන් බයිසිකල් කතාවක්. මම නිකං බඹරා වගේ කාලේදී දවසක් බයිසිකලේ හැන්ඩ්ල් එක මැද්දෙන් අල්ලාගෙන සින්දුවක් උරුවම්බාගෙන ඇරලා ආවා පාර දිගේ ගෙදර එන්න. එතකොට ගොම්මන් වෙලාව පහුවෙලා. පාරේ ලයිට් නැහැ. බයිසිකලෙත් ලයිට් නැහැ. මම දැක්කා ටිකක් ඈතින් සුදුපාට වගේ ඡායාවල් දෙකක්. ඒ මිනිස්සු දෙන්නෙක් වගේ. එකපාරට උන්දෙන්නා හෝව් හෝව් කියලා කෑ ගහලා දෙපැත්තට පැන්නා. අනේ බයගුල්ලෝ කියලා හිතෙන් කියමින් මම උන්දෙන්නගේ මැද්දෙන් යන්න ගියා ආව වේගෙන්ම. අනේ උන්දෙන්නා දර ගෙනියන අත් කරත්තයක් තල්ලු කරගෙන ඇවිත් තියෙන්නේ. කරත්තේ වැදුන බයිසිකලේ නැවත කවදාවත් පාවිච්චියට ගන්න බැරි විදිහට රාමුව හයපොලකින් පිපිරුවා. හරියටම අර ඔයා උඩින් ගිය විදිහටම උඩින් ගිය මම එදා පෝරුගාලා තිබුන කුඹුරකට වැටුනා. මටනම් කිසිම තුවාලයක් වුනේ නැහැ.
අම්මපා බයිසිකලයක් හප්පගන්නවනම් මඩ කරපු කුඹුරක් ළඟ තමයි හොඳ. නැද්ද සිරෝ මං අහන්නේ.
අර කතාවකුත් තිබුන නේද දෙන්නෙක් හඳපානෙ බයික් එකකින් යද්දි ඉස්සරහින් එන වෑන් එකේ ලයිට් එළි දෙක දැකල ‘‘ඔන්න මචං ඉස්සරහින් තව බයික් දෙකක් එනව මැදින් දාලා යමං‘‘ කියපු.
Deleteඔච්චර දෙයක් කරාගන බයිසිකලේ විතරක් කුඩු කරන් නැවතුනා ඇති විචාරක මහත්තයො.
මගේ දෙවෙනි බයිසිකල් කතාව ඊටත් වඩා 'නරකයි' යන්තම් බයිසිකල් පදින්න දන්නා කාලේ කෙල්ලන්ට සෙවල හලන්න ගිහින් බස් හෝල්ට් එකක් ලඟින් එහාට මෙහාට පැද පැද හිටියා. මම සෙවල හලපු කෙල්ල ඒකිගේ ළඟ හිටිය කෙල්ලට කිව්වා අනේ අර බලන්නකෝ කැඩිච්ච ප්ලේන් එකක් තව එකකින් ඇදගෙන යනවා කියලා. මමත් ගොනාසේ උඩ බැලුවා. දඩෝරියන් බස් හෝල්ට් එක ඉස්සරහම.
Deleteවිචාරක තුමාගෙ දෙවැනි කොමෙන්ටුව කියෙව්වම ඔන්න මට හිනා පොකුරක්ම පැන්නා...මට දුක හිතුනා අයියෝ...ඊට පස්සෙ පුරුෂ ධෛර්යය අරන් නැගී සිටි අන්දම මැවී පෙනුනා...
Deleteහදපානෙ ගමන ගියේ උඹලා පැත්තෙ ගොයියෙක් නේද DDT කොලුවො.
පිස්සුද යකෝ, ඒ මොරවක්කොරළේ උන්. එහේ කෙනෙක්ට හඳපානෙ හඳේ කෑල්ලක් පාරෙ තිබිලත් හම්බවුනයි කියන්නෙ. :)
Deleteඅපි ඉන්නෙ රටේ වැදගත් නගරයක, මෙහේ ඉන්නෙ හොඳ වැදගත් උගත් මිනිස්සු, අපහාස කරන්නෙපා. තදවෙනවා... හරිය. :)
සිරාගේ කාමරේ ආයෙම විවෘත කරපු එක ගැන අප්‍රමාණ සතුටුයි.
ReplyDeleteප්‍රශ්නත් ටිකෙන් ටික විසඳෙමින් පවතින නිසා දිගටම ලියන්න.
බොහොම ස්තූතියි හැලපයියෙ...දිගටම ලියන්න තමා කම්පොනා කොරං ඉන්නෙ...ජය !
Deleteඅප්පා මටත් බයිසිකල් කථා ගොඩයි.ඒ දවස් වල කී පාරක් නම් වැටිලා ඇත්ද....සුන්දරයි සීරා අයියේ.
ReplyDeleteවෙලාවක ලියන්නකො නගේ බ්ලොගේ...අපිත් ආසයි ඒ කථා දැනගන්න...
Delete//කුඩා ප්‍රමාණයේ පා පැදියක් මා සතු නොවූවද මා කිසි දිනෙක මිතුරන්ගෙන් පා පැදිය පැදීමට දෙන ලෙස ඉල්ලා නැත. සිරා කොලුවාගේ හැටි එහෙමය. තමන්ට කියා එකක් නැත්නම් ඒ පිළිබද කෙතරම් ආශාවන් ඇති වුවද දෙමාපියන්ට එය රැගෙන දෙන ලෙස කරදර නොකර තමන්ට ඇති කලෙක ඒ දෙය පුරුදු වීම මගේ ක්‍රමයයි. පසු කලෙකදී බයිසිමොටෝ පැදීමට මෙන්ම පරිගණකය හැසිරවීමට මා ඉගෙන ගත්තේද මටම කියා ඒ දේවල් මිළදී ගත් පසුවය.//............මේටිකනම් මටත් සමානයි බං..! මුලින්ම ගෙදර තිබුනු තාත්තගෙ,තාමත් තියෙන ට්‍රැම්ප් බයිසිකලෙන් තමයි පුරුදු උනේ..කම්පියුටර්,මෝට බයිසිකල්,රෝද හතරත් එහෙමයි. කිසිවිටෙක අනුන්ගේ දෙයක් ඇල්ලීමටවත් පුරුදු නොවීමි.(එය ආඩම්බර හෝ උද්දච්ච කමකට නොවේ)
ReplyDeleteඋඹපිලිගනීද මන්දා..? මටත් බයිසිකල් කතාවක් ලියන්න හිතිල තිබුනෙ.ලියාගන්න වෙලාවක් නැතිව උන්නෙ. කමෙන්ට් කරන්නෙත් පස්ස ගිනිගත් බල්ල වගේ..!:(((
උඹේජොබ හරිගිය එකට නම් අප්‍රමාණ සතුටුයි.
අර වෙද මහත්තයගෙ දෝණියන්දෑව ඊට පස්සෙ හමු උනේ නැතෙයි..!ෂුවර් එකටම දැන් තාත්තගෙ රස්සාව කරනව ඇති.
වීයා...උඹයි මමයි බ්ලොග් ලෝකෙ බොහොම සමීප මිත්තරයො දෙන්නෙක් උනේ ඔය කියන සමීප කම් නිසාම කියලයි මට හිතෙන්නෙ...වෙද මහත්තයගෙ දුව දැන් ඒ සත් කාර්යය කරනවාද දන්නෙ නෑ...කකුල කඩාගෙනම ගියානම් හොදා නේද බං ඒ පැත්තෙ....ජය!
Deleteඋඩ තියන උඹේ මූනත්තහඩුව නියමයි බං. :-)
ReplyDeleteබයිසිකල් කිව්වොත් නං කතන්දර සිය ගානක් ඇති. මගේ පොඩ්ඩත් දැං බයිසිකල් පදිනව. වෙලාවක බයිසිකල් කතා ටික ලියන්න ඕන.
මූණත් තහඩුව අපේ ඩූඩ් අයියගෙ නිර්මාණයක්....
Deleteවෙලාවක ලියමු බලන්න...බයිසිකල් කථා...අපි ඉන්නවා නොවැ කියවන්න...
අලුත් රැකියාවට සුබ පතුම්.
ReplyDeleteපොඩි උන්ගෙ තරහකරයෙක් තමා බයිසිකල්වලට බ්‍රෙක් හොයගෙන තියෙන්නෙ........
බොහොම ස්තූතියි මලයො...ඉස්සර කොච්චර බ්රේක් කේබල් දැම්මත් කැඩෙනවා...තියෙන දාංගලේ හින්දා....
Deleteබොහොම කාලෙකට පාසේ සිරාගේ පොස්ට් එකක් කියවන්න ලැබුනේ. ඉතාම රවසත් විදිහට අතීතය මතක් කරලා තියෙනවා. මටත් මගේ මුල්ම බයිසිකලය ගත්ත දවස මතක් වුනා.
ReplyDeleteඒ මතක් වෙච්ච අතීතයෙන් රසවත් යමක් ලිව්වොත් නරකද ?
Deleteබයිසිකලයක් ලබාගැනීම දක්වා මගේ කතාවත් ඔය වගේමය , වටේම එවුන් බිසිකල පදිද්දී මම ඉවසා සිටියේ කොතරම අමාරුවෙන් දැයි දැන් මතක් වේ
ReplyDeleteඑහෙනං මගේ වගේම තවත් කථාවක්...
Deleteබයිසිකල් පිළිබඳ මගේ මතකයත් ඔබේ මතකයට දෙවෙනි නෑ සිරා මලයා. දැන් තෘප්තිමත්ව රැකියාව කරනවා කියන ආරංචිය නම් හරිම සතුටුදායකයි.
ReplyDeleteඒ වගේම රේ අයියා මට හමුවුණා. ඔහු ඔබට උදව් කරන වගත් මා දැන සිටියා. ඔහු මට සියලු තතු පවසා තිබුණා.මේ සටහන මෙහෙම දමපු එක හොඳයි. ජය වේවා.
මගේ ලියකියවිලි ටික ලංකාවට ගෙනිහින් බාරදුන්න එකට ගොඩාක් ස්තූතියි නලින් අයියා...ඒක ලොකු උදව්වක්..
Deleteරේ අයියා කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම මහත්මයෙක්...ජයම වේවා !
කොල්ලන්ට විතර ද අෆ්‍ෆා මේ මටත් ඔය බයිසිකල් පිස්සුව තදේට ම තිබුණා (තාමත් තියෙනවා) :D මම නං වැඩ පටන් ගත්තේ 2 වසරේ විතර ඉන්නකොට. ඔන්න අද තමයි මුලින් ම මේ පැත්තේ ආවේ. ආසාවෙන් කියෙව්වේ.
ReplyDeleteනව රැකියාවට මගෙනුත් සුභ පැතුම්!
ස්තූතියි ධාරා...කාමරේට සාදරයෙන් පිළිගන්නවා....
Deleteඒ කියන්නෙ පුංචි කාලෙ වගේම තාමත් විසේකාර කෙල්ලෙක් එහෙම නේද ?
මගේ ගාවත් තිබුනේ රතු පාට BMX එකක්. මාත් ඔය වගේ පිනුම් ගහලා තුවාල කරගෙන තියෙනවා. අප්පා ඒ දවස් වල තියන විසේ.
ReplyDeleteBMX මරු බයිසිකලේ නේද...අනෙකුත් වර්ග අතර ඒක කැපී පෙනෙනවා...
Deleteසිරා සහෝදරයාට මෙන්ම, ජෙමාටත් බයිසිකල් ගැන ඇත්තේ සුන්දර මතකයකි. ජෙමා පහේ පන්තියේදී තාත්තා මිලදී ගත් ලුමාලා බයිසිකලයෙන්, ශිෂ්‍යත්ව පන්තියට ගිය හැටි ජෙමාට අදටත් මතකය. ජෙමාගේ නිවසේ සිට පන්තියට අඩුම තරමේ හැතැප්ම හතර පහක් ගෙවා යා යුතුය. සෑම සෙනසුරාදාවකම බයිසිකලේ මැද පොල්ල උඩ හිදගෙන, වේයන්ගොඩ පසුකර සයිකලයේ ගමන් කිරීම තරම් ජෙමාට වෙනත් තෘප්තියට කාරණයක් තිබුණේ නැත. සෙන්ට් මේරිස් ඉස්කෝලය ආසන්නයට ආසන්න වනවිට තාත්තාගේ ඇගෙන් දහඩිය බි‍්ු එක දෙක ජෙමාගේ මුහුණට වැටෙන්න පටන් ගත්තද, ඒ දහඩියේ වට්නාකම බොහෝ කල් යනතුරැ වටහා ගැනීමට ජෙමාට හැකි වූයේ නැතිකම ගැන, ජෙමා අදටත් පසුතැවෙන බැව් කිව යුතුමය. තැනින් තැන මල බැදුණු, ඇදවුණු හැඩලය දිරාගිය රිම් එක සහිතව අදටත් ඒ බයිසිකලය ගෙයි කොනක, අවසගව වැතිර හිදිනු දකින හැම වේලාවකම ජෙමාගේ ඇහැ නලියන්නේ, හිතවත් ලුමාලාවටත් අදාරණිය තාත්තාටවත් හිතේ හැටියට කළගුණ සලකන්නට හැකියාවක් නොලැබීම පිළිබදව වන සදාතනික සිත්තැවුල නිසා වන්නට පුළුවන.
ReplyDeleteජෙමා වේයන්ගොඩ පහුකරගෙන ගියෙ බණ්ඩාරනායක පාරෙන් ඇවිල්ලද,මීගමු පාරෙන්ද,බාඳුරාගොඩ පාරෙන් ඇවිල්ලද
Deleteබණ්ඩාරනායක පාරෙන්..
Deleteගෙවල් ළගම කෙනෙක්නේ ජෙමා නේද හැලපෙ අයියේ.
Deleteඒක තමයි මාත් මේ බැලුවෙ නලීන්
Deleteකලු ජෙමා..බ්ලොග් ලෝකෙ බොහොම හොද ගමනක් යන්න පුලුවන් කෙනෙක් විදියටයි මම උඹව දකින්නෙ...උඹට බොහොම රහට ලියන්න පුලුවන් බව මහව දුම්රිය පිළිබද ලිව්ව කවි සටහනෙන් ඔප්පු කර තියෙනවා...දිගටම ලියපන් මගෙන් සුභ පැතුම් !
Deleteබොලගෙ මේ කමෙන්ටුව තුලත් මම පෙර කිව්ව යහගුණ නොඅඩුව තියෙනවා...
මම ලියන්න පටන් ගද්දිම සිරා ඔය ආකාරයටම අනාවැකියක් කිව්වා මතකද.ලියනකොට නිතරම මම ඒක මතක් කරගන්නව එතකොට ගොඩක් ගට්ස් එනව බං,උඹට ගොඩක් ස්තූතියි.
Deleteඔව් ඔව් මතකයි...මම පුද්ගලිකව කුහක කම කියන දේ සෑහෙන්න අඩුකර ගත්ත චරිතයක්...හෙට බිහිවන බ්ලොග් තරුව මා අභිබවා යයි කියන භයක් මට නෑ...සතුටක් මිසක්...
Deleteබයිසිකල් පදින්න මම පුරුදු උනේ 9 වසරේදී විතර..පුරුදු වෙන කාලේදී නං අබැද්දි වෙන එක සාමාන්ය දෙයක්නේ..යන්තන් බැලන්ස් කරගන්න පුලුවන් දවස්වල මම චන්ඩියා වගේ පාරේ පදින්න ගියා බයිසිකලේ..පාරේ එක පැත්තක තේ වගාවක්.ඒ තේ වගාවේ එක් කොනක බෝක්කුවකුත් තියනවා...මම ඔය පාරේ තමයි පැද්දේ..ඔහොම පැදගෙන යනකොට අර බෝක්කුව හරියේදී මට හැඬල් එක පාලනය කරගන්න බැරුව ගියා...බෝක්කුවට නූලක් මිස් වෙලා තේ වත්තට ඇතුල් උනේ...බෝක්කුවට ගියා නං සොරි තමයි :D
ReplyDeleteසිරා අයියා ආපහු ලියන්න ගත්තු එක සතුටක්..!
හැබෑට බෝක්කුවට ගියා නම් මක්ක වෙන්න තිබුනද...මම මේ ඒක කල්පනා කරනවා...
Deleteමටත් සතුටක් ඔබ සියල්ලන් නැවත් දකින්නට ලැබීම
උඔ කවුද කියලා අපිත් දන්නවා..උඔට වරදින්නෙ නැහැ. මම අල්ලපු ගෙදර මල්ලිගෙ බයිසිකලේ පස්සෙන් දුවලා රෑට කකුල් රිදෙනවා කියපු දවසට පහුවෙනිදා අමිමා වලලු දෙක උකස් තියලා මට සයිකලයක් ගෙන්ලා දුන්නෙ කියලා දැන ගත්ත දවසේ ම ඇඩුවා
ReplyDeleteබොහොම ස්තූතියි සංජිව අයියා...දැන් සිංහල කොටනවනෙ නිකං වෙඩි වගේ...මොකක්ද වෙනස...
Deleteබයිසිකලය පිළිබද ඔබේ සටහන මගේ හදවතත් සංවේදී කලා...
මුලින්ම උඹට සුභ පෑතුම්.යහපත් භාවිතාව උබට පිහිට උනා නෙ.මමත් පාපෑදිය ඈරෙන්න කම්පියුටර්.මොටො බයිසිකල්.වාහන ඔක්කොම ඉගෙන ගත්තෙ මටම කියල අරගෙන.
ReplyDeleteඔය බයිසිකල් වෑඩක් මටත් උනා.දවසක් ගමනක් යනව.එ දවස්වල මට තිබුනෙ අර හෑඩල් එක නවපු රෙසින් කියන එකක්.ඉස්සරහින් බස් එකක් යනව.පස්සෙ ඉන්න කෙල්ලො ටිකක් මම දිහ බලබල හිනා වෙනව.මමත් විරය වෙන්න බසෙක කිට්ටුවෙන්ම යනව.එපාරෙ බස් එච්චර වේගේන් යන්නෙ නෑ.එකපාරටම බස් එක නෑවෑත්තුව.මම බ්‍රෙක් ගෑහුව.හුටා කෙබල් එක කෑඩුන.කරන්න දෙයක් නෑ.බස් එකෙ හෑපෙන්න කලින් කෑපුව වමට.කෙලින්ම වෙලේ.ඉතිරිය කියන්න ඔන නෑ නෙ.
තනි ඇහැට ඇඩෙන සිදුවීමක් නොවැ වෙලා තියෙන්නෙ...වස ලැජ්ජාවයි...
Deleteසිරා උඹ යහතිං හොඳින් ඉන්නව කියන ආරංචිය මුලින්ම දුන්නෙ මැලේ රාළ. උඹට හොඳ කලක් ගත වෙන බව අහන්න ලැබීම මාර සතුටක්. බ්ලොග් ලෝකෙන් හැළෙන් නැතුව දිගටම යන එක ඊටත් වඩා සතුටක්. උඹ ලංකාවෙ ඉද්දි උඹව දැකලා කතා කරන්න නොලැබීම තමා දුක. ඉදිරියෙදි බලමු. උඹට ජය වේවා!
ReplyDeleteඅපේ ගෙදරත් ඉස්සර බයිසිකල් තුනක් තිබ්බා. තවමත් තාත්තගෙ එක තියෙනවා. හුළං වගේ සැහැල්ලු රැලේ බයිසිකලයක් ඒක. තාත්තගෙ මරණින් පස්සෙ කි දෙනෙක් නං ඇහුවද අප්පා ඒක විකුණනවද කියලා. මං දුන් නෑ.
බොහොම ස්තූතියි ඩ්‍රැකී...
Deleteතාත්තගෙ මරණය පිළිබද සටහන මාව ගොඩාක් සංවේදී කලා බන්...ඒ මම තාත්තට බොහොම ආදරය කරන එකෙක් හින්දම වෙන්න ඇති...වෙලාවකට හිතෙනවා මෙච්චර සංවේදී හදවතක් ලැබුනෙ කොහොමද කියලා...
තාත්තගෙ මරණය...පැත්තකට වෙලා තනිවෙලා තියෙන බයිසිකලය...මේ හැමදේම අනිත්‍ය පිළිබදව නේද අපිට කියා දෙන්නෙ...
සතුටින් සිටින බව ඇසීමත් සතුටුයි සිරා...
ReplyDeleteඉතුරු බයිසිකල් කතාත් ඉක්මනට ලියන්න..
දැකීම සතුටක්...ඉතිරිය ඉදිරියට
Deleteචිත්ත සන්තානය කණස්සල්ලට ඕක තමා මටත් ඒ දවස් වල ඉවසන්නම බැරි රැටත් මතක් වෙනවා නේද මමත් 5 දී තම ඉගනගත්තේ
ReplyDeleteරෑටත් මතක් වෙනවා කියන්නෙ පත්තරයක පින්තූරයක් දැක්කත් බලාගෙන ඉන්නවා ඇසි පිය නොහෙලාම...
Deleteනැගලා යන තැනකින්ම ආයේ පටන් අරගෙන!! මරු සිරා අයියා! මරු!!!
ReplyDeleteනැගලා යන්න ඕනෙ හින්දම රෝදෙට හොදට හුළං ටිකක් ගහලම වැඩේ පටන් ගත්තෙ..
Deleteබයිසිකලේ කියන්නේ කොල්ලොන්ගේ හීන වාහනයක්. ඉස්සෙල්ලම නෝමල් එකක්. පස්සේ මවුන්ටන් එකක්, ඊටත් පස්සේ මෝටර් බයික් එකක්
ReplyDeleteකථාව සහතික ඇත්ත මලයො...ඌණ පූරණයක් අවශ්‍ය නෑ..
Deleteබුදු සිරෝ....දිගටම ලියපන්.අපි ඇවිත් කියවන්නම්.
ReplyDeleteඋඹලා ඔහොම කියනකොට මාර කික් බන්...හිටිංකො මේ ඉරිදට කන්නෙ බොන්නෙත් නැතුව ලියනවා..
Deleteසාදරයෙන් පිලිගන්නව නැවතත් :)
ReplyDeleteසිරාට තියෙන්නෙ සිරාටම ආවේනික ලිවීමේ ශෛලියක්. ඒක මට මාරෙට දැනෙනවා.. අලුත් රැකියාවට සුභ පැතුම්
බයිසිකලයක් ගත්තෙ ඉස්සෙල්ලම 3දිද කොහෙද. චොපර් එක කියලනෙ ඒ කාලෙ අපි කියන්නෙ ඒකට ඒක පැද්දෙත් පොල්ලෙ ඉඳගෙන තමයි මුලින්ම. :D
අන්න එහෙම තමන්ටම කියලා ශෛලියක් හදාගන්න තමා මලයො බ්ලොග් කරුවෙකු විදියට මගේ උත්සාහය වුනේ...උඹ ඔහොම කියනකොට මට හිතෙනවා මම එතනදි සාර්ථකදෝ කියලා...
Deleteආයේ නිළ වශයෙන් ලියන්න ආව එක ගැනත් , රැකියාවක් ලැබීම ගැනත් බොහොම සතුටුයි.. සිරා රට යන්න කලින් සිරාට මම කියපු දේ මතකයි මට.. කොහොමින් හරි ආර්ථිකේ හදන් , පවුලක් හොයන් , දරු පැටව් ටිකක් හදන් ඉක්මණටම ඉන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා සිරෝ..
ReplyDeleteබොක්කෙන්ම ස්තූතියි සහන්..ජය !
Deleteතාමත් මට BMX එකක් පදින්න හම්බවුනේ නෑ බං
ReplyDeleteලබන ආත්මෙදිවත් පදිමු මලේ...
Deleteපොරොන්දු වේචිචි විදියටම පුටාරේ එකෙන්ම ආවා නේද ජය සිරා...
ReplyDeleteමම එහෙමයි...කිව්වොත් කිව්වා... ඔබටත් ජය !
Deleteමමත් පොඩි කාලේ බයිසිකල් පැදලා වැටිලා තුවාල වෙලා හොදට බැනුම් අහල තියෙනවා මමත්. :D
ReplyDeleteවැටෙන්නෙ නැතුව බයිසිකල් පදින්න හුරු වුනු එකෙක්වත් ඇති කියලා මම නම් හිතන්නෙ නෑ.
Delete