Monday, April 21, 2014

61 බණ්ඩාට වෙච්ච හදියක්...

මාගේ අතීත බෑන්ඩ් ජීවිතය ගැන කාලයකට පසු ලිපියක් ලියූ නිසා තැටිය රත් වූ වේලාවේ තවත් රොටියක් පුච්චන්නයි මේ වෑයම.

තූර්ය වාදක ඛණ්ඩයේ පුහුණුවීම් කෙතරම් අපහසු වුවත් සාමාජිකයන් අතර සිටි ජොලි බුවාලා ඒ අපහසුතා අපේ සිත් වලින් තාවකාලිකව හෝ අකා මකා දමන්නට සිදු කලේ මහා මෙහෙයකි. ඒ අතරින් ඉදිරියෙන්ම සිටියේ බණ්ඩයියා, රැකපුලියා සහ දුන්න හා ඊතලය යුවල බව මට මතකය.

බණ්ඩා කියා සම වයසේ උන් ඇමතුවද අපට වඩා වසර 4 ක් පමණ වැඩිමල් නිසා අප ඔහු ඇමතුවේ බණ්ඩයියා යන නමිනි. ඛණ්ඩයේ ජේෂ්ඨ සාමාජිකයන්ගේ සම වයසේ වුවත් බෑන්ඩ් කණ්ඩායම සමග එකතු වූයේ පමාවී හෙයින් ඔහු වැඩිමහල්ලෙකු වුවද සාමාන්‍ය සාමාජිකයකු විය.

බණ්ඩයියා වූ කලී අව්‍යාජ සිනහවකින් නිතරම මුව සරසාගත් අහිංසක චරිතයකි. සියල්ලන් සමගම සහයෝගයෙන් කටයුතු කල ඔහු සතුව සහජ සංගීත ඥාණයක් විය. අලුතින් පුහුණුවන සංගීත ඛණ්ඩ ඉතා නිවැරදිව ඔහු වාදනය කල ට්‍රම්පට් නලාවෙන් අවට පරිසරයට මුදා හරින්නට  ඔහුට ගත වූයේ සුලු වේලාවකි.

ඒ කාලයේ ඛණ්ඩයේ සාමාජිකයන් නියමිත වේලාවටම පුහුණුවීම් සදහා ගෙන්වා ගැනීමට විවිධ දඩුවම් ක්‍රම ක්‍රියාවට නගා තිබුනි. සිරාගේ කාමරයේ වේලාසනින් ලියවුනු කථා කීපයකින්ම ඔබට මුලිච්චි වූ ලොකු අයියා නායකත්වයේ වගකීම කරපිට පටවා ගැනීමට ඔන්න මෙන්න කාලය මේ ලෙස දැක්වූවත් වරදක් නැත.

වර්තමානයේ අප පාසලේ දන්ත ශල්‍යාගාරය පිහිටා ඇති ගොඩනැගිල්ල අතීතයේ තුන් මහල් එකකි. එහි තෙවන මහලේ ඉදිකිරීම් වල ප්‍රමිතිය පිළිබද ගැටලුවක් මතුව තිබූ නිසා ඒ මහල භාවිතයට ගත්තේ නැත. පසු කාලයක ඉහළම මහල කඩා බිද දමා දෙමහල් ගොඩනැගිල්ලක් බවට පත්කල මෙහි හරියටම අද දන්ත ශල්‍යාගාරය බවට පත්ව ඇත්තේ එදා අප සිටි තූර්ය වාදක කාමරයයි.

මෙහි සිට උසස් පෙළ ගණිත හා විද්‍යා අංශ පිහිටා ඇති ගොඩනැගිල්ලට ඇත්තේ ඉතාම කෙටි දුරකි. උදාර අයියා යනු එකල අප ඛණ්ඩයේ සිටි ඉදිරි පෙළ නියමුවෙකි. කළු පැහැ හොදින් වැඩුනු සිරුරකට හිමිකම් කියූ ඔහු...ඔහුගේ නමේ පරිදිම උදාර ලීලාවෙන් යුතු වූ අතර මනා පෞර්ෂත්වයක් ඔහු කෙරෙන් විද්‍යාමාන විය. මේ නිසාම ලාබාල සාමාජිකයන් ලෙස අප ලොකු අයියාටත් වඩා භය පක්ෂපාතීත්වය දැක්වූයේ උදාර අයියා වෙතය.

මීට පෙර ලිපියේදී අපට හමු වූ කව්වා එකල උසස් පෙළ ගණිත අංශයේ පළමු පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටියේය. හදිසියකදී ඔහුව තූර්ය වාදක කාමරයට ගෙන්වා ගැනීමට අවැසි වුවහොත් උදාර අයියා කාමරයේ සිටම

කව්වෝ මෙහෙ වර......යනුවෙන් මහා හඩකින් කෑ ගසයි.  ගණිත අංශ ගොඩනැගිල්ලේ ඉහළ මාලයක සිටින කව්වාට මේ හඩ ශ්‍රවනය වෙයි. උදාර අයියාගේ උදාර ලීලාවන් ගැන දන්නා ඔහු එක්වරම පන්ති කාමරය තුල ඉබේම වාගේ නැගී සිටියි.

වර්තමානයේද ගණිත අංශයේ ඉගැන්වීමේ යෙදෙන “ලේනා“ නම් විකට නාමයකින් හදුන්වන ගෞරවනීය ගුරු භවතා තරමක තද චරිතයක් සහිත තැනැත්තෙකු ලෙස මේ අංශ වල අධ්‍යාපනය ලද බහුතරයකගේ අදහසයි.

කෞෂල්‍ය ඔයා එහෙනං යන්න....අර කෑගහපු එකාව මාව හම්බවෙන්න එවන්න.... යනුවෙන් පවසා කව්වා පන්තියෙන් නිදහස් කරයි. එහෙත් කිසි දිනක උදාර අයියා ලේනා මුලිච්චි වීමට ගියේ නැත.

ඛණ්ඩයේ සාමාජිකයන් නිසි වේලාවට පුහුණුවීම් වලට ගෙන්වා ගැනීමට දඩුවම් ක්‍රම තිබූ බැව් මම ඉහතදී කීවෙමි. සාමාන්‍යයෙන් දිනයේ පුහුණුවීම් නිම කර පිරිස නික්ම යාමට මත්තෙන් ඊලග දින සියලු අවශ්‍යතා සපුරා පෝලිම් විය යුතු වේලාව කණ්ඩයේ සැරයන් සියල්ලන් වෙතම එකවර දැනුම් දෙයි. ඒ අනුව පුහුණුවීමට යොදා ගන්නා ඇදුම් වලින් සැරසී සපත්තු ආදිය  පැළද සැරයන් දැනුම් දෙන වේලාවට සූජානම් වී සිටිය යුතුය.

එහෙත් ඇතැම් විටක ඇතැම් සාමාජිකයන් ප්‍රමාද වී පැමිණෙයි. එවන් විටෙක...ගෙම්බා පැනගෙන කාමරය අසලට පැමිණෙන ලෙස සැරයන් අණ කරයි. ප්‍රමාද වී ඇත්තේ විනාඩි දෙක තුනක් නම් ඊට වඩා දඩුවමක් නොපමුණුවයි. නමුත්  ඉතා විශාල ලෙස ප්‍රමාද වී පැමිණි කෙනෙකු නම් තත්වය මදක් වෙනස් වෙයි.

මෙවැනි දඩුවමක් විදි මට හොදින් මතක ඇති තැනැත්තා අපේ බණ්ඩයියාය. ඒ කාලය වන විට වඩාත් සුලභව ප්‍රමාද වී පැමිණෙන අයට පැනවූ දඩුවම වූයේ ඩිප්ස් ගැසීමට අණ කිරීමයි. ඒ උදෙසා සහාය කර ගැනීමට ඩිප්ස් චක්කරයක් කාමරයේ බිත්තියේ පැන්සලකින් ලියා තිබුනි. විනාඩියකට ඩිප්ස් 5 යි. විනාඩි 2 කට ඩිප්ස් 10යි. ආදී ලෙස පෑ භාගයක් පමණ කාලයක් දක්වා මේ චක්කරය බිත්තියේ ලියා තිබුනේ පහේ සිස්සත්වයට අප පාඩම් කල චක්කර සිහිපත් කරමිනි.



මේ කියන දවසේ අසරණ බණ්ඩා පුහුණුවිම් සදහා පැමිණියේ පැය දෙකකටත් වඩා ප්‍රමාද වීමෙනි. ඔහුට නියම වූ ඩිප්ස් සංඛ්‍යාව 680 කට මදක් වැඩි ගනනක් බව මා හට මතකය. ඔහුට හිමි දඩුවම ලොකු අයියා විසින් පැනවීමෙන් පසුව

එච්චර ගහන්න ගියොත් අද ප්‍රැක්ටිස් කරන්න බැරි වෙයි...බණ්ඩා නිහඩව කීවේය.

කමක් නෑ...අද දවසම අරන් හරි මේ කිව්ව ගාන ගහලා මිසක් අද පිට්ටනියට එන්න එපා. ඒ ලොකු අයියාගේ අණයි.

මෙවැනි විටෙක දඩුවම විදින කෙනාගේ පහසුවට ඩිප්ස් ගනන් කිරීම සදහා නවක සාමාජිකයකු රදවනු ලැබේ. ඒ අනුව බණ්ඩයියා ගහන ඩිප්ස් ගනන් කිරීමේ මැෂිමක් එහි තිබේ.

බණ්ඩා සහ ගණක යන්ත්‍රය බෑන්ඩ් කාමරයේ තනිකර අප පුහුණුවීම් සදහා ක්‍රීඩා පිටියට ගොස් හෝරා දෙක තුනක ඇවෑමෙන් නැවතත් කාමරයට පැමිණ බලන විට බණ්ඩා බොහෝ සේ අඩපණව ඩිප්ස් භාග ගසමින් සිටියේය. එවන් විටක භාග දෙකක් එකක් ලෙස ගණනය කරනු ලැබේ.

කෙසේ හෝ ඩිප්ස් ගැසීම නිසා ඔහුගේ අතක මතුවූ ආබාධ සහිත තත්වයක් හේතුවෙන් තවත් පැයකට දෙකකට පමණ පසු බණ්ඩයියාව ගම්පහ රෝහල වෙත රැගෙන යන්නට අපට සිදුවිය.

දුන්න සහ ඊතලය යනු එකිනෙකාට ඉතාම සමීපව සිටි සම වයසේ මිතුරන් දෙදෙනෙකි. ඉදිකට්ටයි නූලයි මෙන් ඕනෑම තැනක එකටම දෙදෙනා පෙනී සිටි නිසා දුන්න සහ ඊතලය යනුවෙන් මොවුන් දෙදෙනා හදුන්වනු ලැබීය. කාලයක් යන තුරාවට ඉතා හොදින් පුහුණුවීම් සදහා පැමිණි මේ දෙදෙනාගෙන් ඊතලය පුද්ගලික අවශ්‍යතාවක් නිසා කණ්ඩායමෙන් සමුගත්තෙහිය. ඔහු කණ්ඩායම හැර ගොස් නොබෝ දිනකින්ම දුන්නද කණ්ඩායම හැර ගියේ මිතුරා නැති පාළුව නිසා විය යුතුය.

ජේෂ්ඨයන් වැර වෑයමෙන් කියා දෙන ශීල්ප ශාස්ත්‍ර ඉගෙන ගෙන මෙලෙස කණ්ඩායම හැර යාම ලෙහෙසියෙන් කල හැකි දෙයක් නොවුනේ එවැනි විටෙක එවැනි පුද්ගලයන් හට දඩුවම් මාලාවකට මුහුණ දී කණ්ඩායමෙන් සමු ගැනීමට අවස්ථාව උදා කර තිබූ හෙයිනි. පවුලේ අවශ්‍යතාවක් වැනි ඉතා සාධාරණ දෙයකදී මේවා ක්‍රියාත්මක වූයේ නැත. එහෙත් කණ්ඩායමේ පැත්තක් සමබර කරන අත්‍යවශ්‍යම වාදන භාණ්ඩයක් වාදනය කරන තැනැත්තෙකු එලෙස හදිසියේ සමුගැනීම පිරිමැසිය නොහැකි පාඩුවකි. ඒ වෙනුවට ඊලගට පැමිණෙන සාමාජිකයා පරණ සාමාජිකයාගේ තත්වයට ගැනීමට සෑහෙන කාලයක් සහ වෙහෙසක් දැරිය යුතු වීම එයට හේතුවයි.

ඇතැම් දෙමාපියන් තම දරුවන් බෑන්ඩ් කණ්ඩායම සමග අව්වේ පිච්චෙනවාට කැමති නොවූ බව මම මෙයට පෙර ලිපියෙදිද කීවෙමි. නමුත් බොහෝ උන් දෙමාපියන්ගේ බස පසෙකලා දිගින් දිගටම පුහුණුවීම සදහා පැමිණියේ බෑන්ඩ් කාමරය තුල ඒ වන විටත් පුංචි පවුලක් ගොඩ නැගී තිබූ හෙයිනි. මේ පවුල තුල වූ වැඩිමහල් හා බාල සියල්ලෝ සහෝදරයන් මෙන් එකිනෙකා සමග ඉතාමත් සමීපව ආශ්‍රය කිරීම එයට එක් හේතුවකි.

බෑන්ඩ් කණ්ඩායමේ පුහුණුවීම් සදහා බාධා සහිත නිවෙසකින් පුහුණුවීම් සදහා පැමිණෙන අප සාමාජිකයන්ට බොහෝ විට දහවල් ආහාරය ලෙස භුක්ති විදීමට බත් ගෙඩියක් ලැබෙන්නේ නැත. මේ අපහසුතා දුරු කර ගැනීමට යොදා තිබූ උපක්‍රමය වූයේ කණ්ඩායම් ලෙස දිවා ආහාරය ලබා ගැනීමට සැළැස්වීමයි. ඒ අනුව සම වයසේ හෝ එකම වාදන භාණ්ඩයක් වාදනය කරන හෝ තූර්ය වාදක ඛණ්ඩය තුල ඉතා සමීපව සිටින මිතුරන් එක කණ්ඩායමකට අයත් වන සේ සාමාජිකයන් 5 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායම් කීපයක් සකසා ඒවාට නායකයන්ද පත් කර තිබිනි. උදෑසන ආහාරය සදහා විවේකය ලද විගසම නායකයා එදින තම කණ්ඩායම සතු බත්මුල් සංඛ්‍යාව පරීක්ෂා කර බලා එයින් කීයක් උදෑසන භාවිතයට ගන්නවාද ? කීයක් දිවා ආහාරය සදහා තබා ගන්නවාද යන තීරණය කරයි.

බත් මුල් එකින් එක සාමාජිකයෝ සියල්ලන්ගේම දායකත්වයෙන් හිස් වෙයි. විවිධ රස එක විටෙක රස බැලිය හැකි අවස්ථාවකි මේ. ඉතාමත් රසවත් බත්මුල් ගෙන එන උන් ලෙස කීප දෙනෙකු  ප්‍රසිද්ධියට පත්ව තිබූ බවක්ද මට මතකය.

බත්මුලක් ගෙන ඒමට අපොහොසත් වූ අයෙකු වේ නම් ඔහු සතුව ඇති මුදලකින් හෝ යමක් තම කණ්ඩායමේ බත්මුල් රැගෙන ආ සහෝදරයන්ට ලබා දීමට ඇතැම්හු ක්‍රියා කලෝය.

අපේ අවාසනාවටදෝ කිසි කෙනෙකු තම බත් කණ්ඩායම් වලට වද්දා ගැනීමට අකමැති වූ ඈෂ්ලියා අපට එක් වී සිටියේය. බත් මුලක් ලිහන විටෙක තම දකුණු අත ඒ තුලට ක්ෂණිකව දමා අල්ල පුරා හසුවන දෙයක් රැගෙන කටට දමා ගැනීම ඒකා සතුව තිබූ කැත පුරුද්දකි. සමහර දිනෙක බිත්තරය ඈෂ්ලියා අතේය. කෙතරම් කිව්වත් කුස ගින්න වැඩියෙන් දැනෙන විටෙක දුන් උපදෙස් මේකාට අමතක වෙයි. සමහර දිනක ඇෂ්ලියාගේ අල්ල පිරෙන්නේ බත් වලින් නොව මැල්ලුම් වලිනි.

මේකාගෙන් තම බිත්තරය රැක ගැනීමට බත් මුල් හිමිකරුවන් ඒවා වෙනම රැගෙන ඒමට හෝ බත් මුලේ විවිධ මුලු වල සැගවීමට පසුව ක්‍රියා කලෝය.

දිනක් දිවා ආහාරය ලබාගැනීම සදහා සැරයන් අවස්ථාව ලබා දෙන විට සවස 4 ට පමණ කිට්ටු වී තිබුනි. අප සතුව ඉතිරිව තිබූ බත් මුල් වලින් කීපයක්ම ඒ වන විටත් පිළුනු බවට පත් වී තිබුනත් කුසගින්න වැඩි කමට ඒවා ඉවත ලන්නට අපට සිත් නොවෙයි. ඒ නිසාම පිළුනු බත් කමින් බෑන්ඩ් ගැසූ දින කීපයක්ම අපට තිබූ බව මට මේ මොහොතේ සිහිපත් වෙයි. බැණ බැණ හෝ නිවෙසින් ලබාදෙන බත්ගෙඩිය අපගේ කුස ගින්න නිවා ගැනීමට තිබූ එකම මග විය. එවන් විටෙක කණ්ඩායමේ සියල්ලෝම එකා වන්ව පිළුනු බත් හෝ කුස පුරා අනුභව කොට වර්තමානයේ අප කණ්ඩායම තිබෙන තැනට තූර්ය වාදක ඛණ්ඩය ගෙන එ්මට ක්‍රියා කලා නේදෝයි සිතෙන විට හිත පුරා ඇතිවන්නේ සියුම් සතුටකි.

පිළුණු බත්මුලක් හෝ නොමැති දිනක ඇන්ටිගේ කඩේ යනුවෙන් එකල අප විසින් හදුන්වනු ලැබූ අප පාසල ආසන්නයේ පිහිටා තිබූ කුඩා ආපන ශාලාවකින් ගල් බනිස් රැගෙන භුක්ති විදීම අපගේ සිරිත විය. ගල් බනිසක් කෑ පසු දවසක් ගත කිරීම ඉතා පහසුය. අවශ්‍ය වන්නේ වරින් වර බනිසය කුස තුල පොගවා දමන්නට ජලය පානය කිරීම පමණි.

කඩේ ඇන්ටිගේ කඩයේ කැෂියර් මේසයේ සමහර දාක හිදගෙන සිටියේ ඇගේ තරුණ දියණියයි. තුරුණු රූ සපුවෙන් පිරිපුන් ඇය දැකගැනීමත් ඇතැම් දිනෙක අපගේ පරමාර්ථය විය. කඩෙන් කන්නට උවමනාවක් නැති වූවන්ද මේ තරුණිය දැක ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කඩයට ගොඩවැදුනු අතර එයින් ඇන්ටිට පාඩුවක් නොවුනේ ඒ එන උන් ජාමෙ බේරාගැනීමට අවම තරමින් ප්ලේන්ටියකට හෝ වග කියූ හෙයිනි. අපේ අවාසනාව ඉතාමත් වැඩි දිනෙක මේ කියන කඩයේ ගල් බනිස්ද අහවර වෙයි. එවැනි දිනයක අපගේ කුසගිනි නිව්වේ නාරං කැවුම් නම් රසකැවිල්ලකි. එය ඉතාම රසවත් විය. නාරාං කැවුමක් දෙකක් කුසට බස්සා අලියා බාර්ලි බෝතලයක් පිරිස හවුලේ පානය කල පසු බඩ පණුවෝ අතුරුදහන් වූහ.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.



ප.ලි

අපේ බණ්ඩයියා වර්තමානය වන විට නාවික හමුදා තූර්ය වාදක ඛණ්ඩයේ ඉදිරි පෙලේ පුරුකකි. ලීඩ් /බොක්ස්/ බේස් යන ගිටාර් වර්ග ඉතාමත් දක්ෂ අන්දමින් වාදනය කරන ඔහු මගින් තම දරුවන්ට ගිටාර් වාදනය ඉගැන්වීමට ලංකාවේ ප්‍රමුඛ පෙලේ දේශපාලන නායකයන්ද කටයුතු කොට තිබේ. හෙතෙම අතීතයේ විවේකයක් ලැබෙන විටෙක නිතරම ගිටාරයෙන් වාදනය කලේ හොටෙල් කැලිෆෝනියා ගීතය බව මට මේ අවස්ථාවේ සිහිපත් වෙයි.

දුන්න සහ ඊතලය අතරින් ඊතලය පසු කාලයක ඉංජිනේරුවෙකු බවට පත් වූ අතර දුන්න ජර්මානු කාර්මික විද්‍යාලය හරහා කාර්මික ක්ෂේත්‍රයට පා තැබීය. මේ දෙදෙනා මා හට දැනට වසර 15 කට මෙහායින් හමු වී නැත. 

උදාර අයියා කාලයක් ගුවන් හමුදාව නියෝජනය කොට පසුව එයින් ඉවත් වූවේය.  වර්තමානයේ ලංකාවේ ජනප්‍රිය පුවත්පතක සේවය කරයි. ඉදහිට දිනක සිරාගේ කාමරයටද එබිකම් කොරයි.

ඇන්ටිගේ කඩේ අද එතැන නැත. මා අවසන් වරට දකින විට එතැන තිබුනේ වාහන කුෂන් වැඩපලකි.

61 comments:

  1. 680 ක්‍ හොස්පිටල් ගිහිං බේරුණා අැති...
    සුපිරි අත්දැකීම්...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොරුවටව කියනවා නෙමෙයි විදානෙ...ඒ කාලෙ අපේ ඇගවල් වල තිබුනෙ පුදුම හයියක්...මම උදේ පාන්දර 6 ට පිට්ටනියට බැහැලා පිට්ටනිය අයිනෙන්ම වට 40 ක් දුවනවා...දුවලා නැවතුනාම ඇගෙන් දුම් දානවා උදුවප් මාසෙ හිමිදිරියේ පරිසරයේ තියෙන සීතලත් එක්ක. අපේ අත් එහෙම අල්ලපුවාම යාලුවො කියන්නෙ උඹලගෙ අත් යකඩ වගේ කියලා...

      ඩිප්ස් 680 කියන්නෙ තරමක් වැඩියි වගේ පෙනුනට මේක මහන්සි වෙලා ගහන්න පුලුවන් ගානක්.

      Delete
  2. අම්මෝ සිරෝ, ඩිප්ස් ගැහිල්ල බොහොම කල්පනාවෙන් කලයුතු දෙයක්. කමාන්ඩෝ හෝ විශේෂ බලකා පුහුනුවෙදිවත් ඩිප්ස් සිය ගණනක් එකවර ගස්සවන්නේ නැහැ. අර හාදයාව ඉස්පිරිතාලේදී බේරගන්න ලැබීම ලොකු වාසනාවක්. ඔයිට වැඩිය හොඳයි දඬුවමක් ලෙස ටිකක් වෙලා ඊසි පොසිෂන් දැමීම. ඒක කරන්නේ මෙහෙමයි. ඔය පින්තූරේ තියනවා වගේම අත්දෙක බිම තියලා ඩිප්ස් ගහන ඉරියව්වෙන් ඉන්නවා. ඔලුව උස්සලා කෙලින් බලන්න ඕනේ. හැබැයි පා ඇඟිලි තුඩු තියන්න ඕනේ මේසයක්/පුටුවක්/බංකුවක් මත. හරී........................සනීපයි.

    ReplyDelete
    Replies
    1. //හරී........................සනීපයි// අද්දැකීමක් වෙන්ටෑ...)))

      Delete
    2. හරිම සනීපයි!!!!! අප්පේ ඔව්!!! :D

      Delete
    3. හැබැයි ඒක කලානම් ලේසියෙන්ම six pack නැද්ද විචාරක මහත්තයෝ

      Delete
    4. man nam eka paarakata 100 bagin 3n paarak gahanawa ban gym ekedi.. dan nikam gemak na...

      Delete
    5. මම විදානෙට කිව්වා වගේ ඒ දවස් වල අපේ ශරීර මෙවැනි දේ සදහා හොදින් සැකසිලා තිබුනෙ..මට විනාඩි 5 කට අඩුවෙන් ඩිප්ස් 100 ක් ගහන එක ඒ කාලෙ කජු කනවා වගේ වැඩක්...බෑන්ඩ් එකේ හැම එකාම වගේ ඩිප්ස් 100 ක් ආයාසයකින් තොරව ගැහුවා.

      ඔබ කියන ඉරියව්ව වගේම වැලිගොඩේ වගේම රත් වෙච්ච මහ පාරෙත් අපි නකල්ස් තියලා ඩිප්ස් ගහලා තියෙනවා...පාසල් ඇරී නිවෙස් බලා යන දැරිවියො බලා ඉද්දි..

      Delete
  3. Replies
    1. බණ්ඩා හොර කෙටුවෙ නැත්තං මේක ගහන්න තිබුනා...

      Delete
  4. බත් එහෙක වැඩිම ප්‍රහාරය හම්බෙන්නේ මස් කෑල්ලට හෝ බිත්තරයට.....බත් එක දිගාරිනකොටම බිත්තරේ කටේ ඔබාගෙන.... ආයෙත් එලියට අරන් පැත්තකින් තිබ්බහම වැඩේ හරි.....එහෙම කරපු බිත්තරෙත් ගානක් නැතුව කන උන් නැතුවා නොවෙයි ඉතිං.....

    ReplyDelete
    Replies
    1. අපිත් ඔහොම කරල තියෙනව බං, :v :v

      Delete
    2. අපේ උන් එවැනි වැඩ කලේ නෑ....නමුත් පස්සෙ පස්සෙ බිත්තරය වෙනම ඔතාගෙන එන්න කොල්ලො කටයුතු කලා.. දවසක් ඈෂ්ලියාට මරු වැඩක් උනා...එකෙක් මේකට ගේමක් දෙන්න හිතලාම හිස් බත් එකක් ඔතාගෙන ආවා මාලු පිණි වෙනම ඔතාගෙන ආවෙ....බත් මුල දිග ඇරියා විතරයි ඈෂ්ලියා වෙනදා පුරුද්දට මාලු පිණි නැති හිස් බත් අහුරක් බඩට හලාගත්තා...

      Delete
  5. Replies
    1. ඔය කියන බණ්ඩයියා සුනාමියෙන් දශම ගානකින් බේරුනේ...ඒ විස්තර ඉදිරි දිනයක කියන්නම්...

      Delete
  6. මට හම්බවෙලා තියන ලොකුම පෝරියල් එක තමයි පිට්ටනිය වටේ ෆෝවර්ඩ් රෝල්! සීන් එක වෙද්දී මම ලාන්ස් කෝප්‍රල්. මට භාරව තිබ්බේ practice එන්නේ නැති උන් ටිකාව අරගෙන එන එක! දෙන්නෙක් ඇවිත් නැති හින්දා මම දඩුවම කෑවා!
    හැබැයි අද ඒ ගැන මතක් වෙද්දීත් සතුටුයි

    ReplyDelete
    Replies
    1. වතාවක් බෑන්ඩ් එකෙන් අයින් වෙන එකෙක්ට දෙන දඩුවම් මාලාව ඇරඹුනා. ඒකාගෙ කර උඩ මාව නග්ගලා ස්කොට් ගහන්න නියම කලා...කොලුවා අඩපණ වෙද්දි උදාර අයියා නෙලන්නෙ මට...මම කිව්වා මේක අසාධාරණයිනෙ කියලා....මොනවද දන්නවද එයා කිව්වෙ....ජොකියා දැනගන්න ඕනෙ අශ්වයා දක්කගෙන යන්න කියලා..

      කැඩේට් ජීවිතයෙන් ලබපු පන්නරය නිසාම තමයි බං පිටරට උනත් මුහුණදෙන්න වෙන ප්‍රශ්න වලට නොභියව මුහුණ දෙන්න ශක්තිය ලැබුනෙ.

      Delete
  7. ඒ කාලේ දුකක් වගේ දැනුනත් පස්සේ කාලෙක මතක් කරලා වින්දින්න පුළුවන් මතකයන්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...පන්ති කාමරයේ පීරියඩ් 8 ඉගෙනගෙන ගෙදර ගිය උන්ට මෙහෙම සුන්දර දේවල් නෑ මතක් කරන්න...අදටත් අපි පාසලට ගියොත් වර්තමාන කණ්ඩායමේ කොල්ලො අපිව අදුනගන්නවා...අපේ රුව රැගත් සමූහ ඡායාරූප තවමත් බෑන්ඩ් කාමරයේ තිබෙනවා.

      Delete
  8. //අද දන්ත ශල්‍යාගාරය බවට පත්ව ඇත්තේ එදා අප සිටි තූර්ය වාදක කාමරයයි.//

    දැනුත් මෙතන එක් එක් විදියේ ගී නාද ඇහෙනවත් ඇති. :D

    අර තරුණ දුවට මොනවා උණාද දන්නේ නෑනේ?

    ReplyDelete
    Replies
    1. ඇයි සුදෝ “දතේ හිලක්ද“ කියලා මම කාලෙකට ඉස්සෙල්ලා ලිව්වෙ ඒ කිව්ව ශල්‍යාගාරයෙන් ලස්සන දොස්තර නෝනෙක්ට කියලා මගේ දතක් පුරවගත්ත සිදුවීම නොවැ....

      තරුණ දුවට මොනවා වෙන්නද ඉතිං....අද තිදරු හෝ දෙදරු මවක් බවට පත් වෙලා ඇති...

      Delete
  9. ඩිප්ස් 680 ක් ??????

    ඌ මලා කියලා මමනම් හිතුවේ ....

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා ගොයියො...ඒ කාලෙ අපි බොහොම ශක්තිවන්තයො...ටිකක් මහන්සි වෙලා ගොඩයන්න පුලුවන් ඉලක්කයක් මේක.

      Delete
  10. ඕවා ඔහොම තමා බං. මාත් පිට්ටනිය පුරාම කොට්රෝල් ගහපු එකෙක් හරිය...

    ReplyDelete
    Replies
    1. එච්චර ගහලත් උඹට හැදෙන්න බැරි වෙච්ච හැටි විතරක්.

      Delete
    2. පිට්ටනියෙ හිටපු කෙල්ලො දිහා රබර් ඇහැ දාන්න ගිහිල්ල වෙන්න ඇති.

      Delete
    3. උඹලා මේ දේශක මාමට කෝචොක් එක දාන්න එපා...කාලයකට කලින් සිරිපාදෙ ගිය ගමනක් ගැන ලියද්දිත් ඔය කෝඩ්රෝල් ගහපු සීන් එක එළියට පැන්නා මෙයාගෙන්...වැඩේ අැත්තම වගේ...

      Delete
  11. ඩිප්ස් කවුන් කරන්න හිටිය එක්කෙනා හිරියටම වැඩේ කරලා තියෙනවා... ඒ වුනාට චුට්ටක් හරි සානුකම්පිත වෙන්න තිබුනා .... ඩිප්ස් 680 ක් කියන්නෙ ලේසි ගානක් නෙවෙයිනේ..

    ReplyDelete
    Replies
    1. චුට්ටක් සානුකම්පිත වෙන්න පොඩි උන් භයයි. වැඩේ මාට්ටු උනොත් උන්ට පෝරියල් එක සෙට් වෙයි කියලා...බෑන්ඩ් එකට ආව ගමන් පොඩි උන් තමයි මේ කාරියට බොහෝ විට යොදාගත්තෙ.

      Delete
  12. සූට්ටන් ගල් සොටක් ඇදගෙන ඇන්ටිගේ දුව බලන්න යන එක මරු එකට ඇති නේද...

    ReplyDelete
    Replies
    1. හැබෑව හැබෑව..බොලා දැකලා ඇති නොවැ අපේ කලිසම් කොට වල දිග...කල් බැලීම කරන කොට හොදට ඉහළට කකුල් එසවීම පහසු වෙන්න තමයි ගොඩාක් කොට කලිසම් අදින්නෙ.

      Delete
  13. ඔවයේ තියන ඔය හමුදා පුහුණු වගේ ඒවාට තමයි බං මම නම් අකමැති.

    ReplyDelete
    Replies
    1. අන්න උඹට වැරදුන තැන...පිරිමියෙක් උනාම ප්‍රශ්න හමුවේ නොසැලෙන ආත්ම විශ්වාසයක් තියෙන පිරිසක් වෙන්න ඕනෙ...කවදා හරි කසාදයක් බැදගත්ත දවසක උනත් පවුලෙ මුදුන් මුල වගේ ඉන්න පිරිමියා පොඩි ප්‍රශ්නයකදීත් අම්බානට සැලෙනවා නම් ඒ පවුලට අබ සරණයි.

      කැඩෙට් ව්‍යාපාරය තුලින් කෙරෙන්නෙ හොද ආත්ම විශ්වාසයක් ඇති, විනය ගරුක, ශක්ති සම්පන්න තරුණ කොටස් ජාතියට දායාද කිරීම. එයට කාන්තා පිරිමි භේදයක් නෑ. අපේ පාසලේ ගෑණු වගේ හිටිය උන්ව බලෙන්ම අපි මෙවැනි ඒකක වලට අරගෙන ඇවිල්ලා උන්ගෙ අනාගතය සුන්දර කලා. අද උන් හොද පෞර්ෂයක් ඇතුව ජීවත් වෙනවා.

      Delete
    2. ප්‍රශ්න හමුවේ නොසැලෙන ආත්ම විශ්වාසයක් තියෙන්න නම් ඔය වගේ පුහුණුවක් තියෙන්නම ඕනෙද...?මට නම් හිතෙන්නේ සිරෝ එක එක්කෙනා ප්‍රශ්න වලට මුණ දෙන විදිය අනුව ඕක වෙනස් වෙනවා.නැතිනම් අර ලෝකයම තමන්ගේ යටතට ගන්න හදපු හිට්ලර් මොකද සියදිවි නසා ගත්තේ.?

      අනිත් කරුණ ඔච්චර උඹ ඔය විනය ගැන කතා කරන උඹලාගේ ස්කොලේ කැඩෙට් ටීම් එක මේ ලගකදී මොකක්ද කේස් එකකට නමත් කැත කර ගත්තා නේද..?

      ඔය කැඩෙට් ව්‍යාපාරය තුල යහපත් පැත්තක් තියෙනවා.එක මම නැහැ කියන්නේ නැහැ.නමුත් පාසල් ඇතුලේ වෙනමම කණ්ඩයක් විදියට කැඩෙට් කරන අය කල්ලි ගැසීම හොද දෙයක් නොවේ කියලායි බං මට නම් හිතෙන්නේ.

      Delete
    3. මෙවැනි පුහුණුවක් අත්‍යවශ්‍ය නෑ මචං....පාසල් ජිවිතයෙන් පස්සෙ රැකියා ජීවිතයේදි ලැබෙන අත්දැකීම් එක්ක සමහරු මෙවැනි අත්දැකීම් ලබනවා...හැමෝම කැඩෙට් කරන්නෙ නෑනෙ...නමුත් මා කිව්වෙ මෙවැනි පුහුණුවක් ලබන තැනැත්තාට ඉතා ඉක්මනින් ඒ අත්දැකීම් ලබාගන්න පුලුවන්. ඒ හින්දයි පාසල් ක්ෂේත්‍රය තුලට මෙවැනි වැඩසටහනක් ඇතුලත් කර තිබෙන්නේ...

      අපේ පාසලේ ඇති වූ සිද්ද්ධිය මේ ඒකක වලට සම්බන්ධ ගුරුවරයකුගේ පුද්ගලික ප්‍රශ්නයකට පාසල් සිසුන් වක්‍රව සම්බන්ධ කර ගැනීමක්...තරුණ වයසෙදි ආවේගශීලීව කටයුතු කිරීම සාමාන්‍ය දෙයක්...මේ කියන ගුරුවරයා සිසුන්ගෙන් ඒ වාසිය ලබාගෙන පාසලේ කීර්තිනාමයට දැඩි හානියක් කලා.

      අපේ පාසලේ නම් ප්‍රදර්ශනයක් හෝ වෙනයම් පොදු කටයුත්තකදි මුල් තැන අරගෙන අනිත් උන්ටත් නායකත්වය දීලා වැඩේ කරගෙන යන්නෙ කැඩෙට් කොල්ලො තමයි...එහෙම නැතුව උන්ට කියලා වෙනම පිලක් නෑ...පන්තියට ගියාම අනෙක් කොල්ලො වගේම සාමාන්‍ය එකෙක්.

      Delete
  14. උඹගෙ ප ලි ය තමා මට හැමදාම අල්ලල යන්නෙ සිරෝ.

    ReplyDelete
    Replies
    1. ඇත්තට මුගේ පලියේ තමයි ජාතකේ තියෙන්නේ.:D

      Delete
    2. බොලාලට අල්ලලා යන නිසාම තමයි හැමදාම පලියට මොනවා හරි ඔබන්නෙ.

      Delete
  15. නියම පරිපාලනයක් තිබිල තියෙනවනෙ කණ්ඩායම අස්සෙ. නැතුව ඉතිං ඔය වගේ එකක් කරන්න බෑ තමයි.
    අම්මප අරූ මැරෙන්නෙ නැතුව බේරිච්ච එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. සැරයන් සමග එක පන්තියේ ඉගෙන ගත්තත් පුහුණු වන වෙලාවට ඒ යාලුකම් නෑ...සැරයන් ස්වාධීනව කටයුතු කරනවා...මගේ යාලුවා අයිය බඩා...එක පන්තියෙ හිටියෙ..නමුත් ඒකා සැරයන් ලෙස දුන්න දඩුවම් මම විදලා තියෙනවා යාලුවා කියලා බලන්නෙ නැතුව...අන්න එතැනයි මෙවැනි ඒකකයක සාර්ථකත්වයට ඉවහල් වන සමගිය රැකුනෙ. සැමටම එක ලෙස තමයි සැළකීම.

      Delete
  16. අප්පා 680ක්............................
    ඒක මැසිමක්ද....
    මට නං පික්සු වගේ
    ඉස්පිරිතාලෙ ගොහින් බේරුනා ඇති

    හැබැයි දැං නං දඩුවම් දෙන්න දෙන්නෙ නෑ...
    හොරෙන් තමයි ගහන්නෙ එහෙම...
    හැබැයි පනිෂ්මන්ට් නං දෙනව...
    ඉස්සර වගේ ෆිට්නස්තිබ්බ උං දැං නෑ ...

    දැං තියෙන්නෙ මල් කැඩෙට් නෙ

    ReplyDelete
    Replies
    1. කාලයත් සමග ගාය තිබුන කොල්ලො ටිකෙන් ටික අඩු උනා...ඒ කාලෙ අපි කරපු තරම් මහන්සියෙන් අද පුහුණුවීම් කරන්නෙ නෑ...අද උන් සහ එදා සිටි අප අතර වෙනස අපට දිනාගන්න හීනයක් තිබුනා. අපි ඒ වෙනුවෙන් කැප වුනා. අද ඉන්න අයට තියෙන්නෙ තියෙන දේ රැකගන්න. ඒකට එච්චර කැපවීමක් අවශ්‍ය නෑ.

      ඒ කාලෙ ඩිප්ස් 100 ගහන්න විනාඩි 5 ක්වත් යන්නෙ නෑ ගොයියො...පට්ට ෆිට්නස්...

      Delete
  17. ආපෝ ඔය සෙට් වෙලා කන කෑම එකේ බිත්තරටම තමා ගොඩක් උන් විදින්නෙ.. හප්පේ ඩිප්ස් 680ක්…!! කියත්දිත් මගෙ පපුව හිර වෙනවා වගේ. :)

    ReplyDelete
    Replies
    1. බිත්තරයට තමයි හැමෝම කෙලින්න හදන්නෙ ඒක ඇත්ත...සුදුවට වටකුරුවට තියෙන නිසා හැමෝටම ඒක මිරිකන්නම තමයි හිත.

      Delete
  18. අපෙත් හිටියා ඔහොම අත දාලා අහුවෙන දෙයක් අරගෙන කටේ දාගන්න එවුන්... සමහර එවුන්ට මැණික් ගරන වට්ටි සයිස් අත් තිබ්බෙ එයින් එක අතක් වැදුනාම ඉවරයි ඉතින්.

    බෑන්ඩ් වලට යන්න එහෙම කැමැත්තක් තිබ්බෙම නෑ මට නම් මට තිබ්බෙ ක්‍රිකට් පාපන්දු උණ.ඒකත් සාමාන්‍ය පෙල ඉවර වෙනකන් විතරයි ඊට පස්සෙ එව්වත් නෑ මුළු ලෝකෙම වුනේ කොම්පියුටරේ.ඒක නිසාම වෙන්නැති ඒ කාලෙ කෙට්ටුවට ඉඳලා දැන් ඒ වගේ හතර පස් ගුණයක් මහත් වෙලා තියෙන්නෙ.

    හරිම සුන්දර අත්දැකීම් ටිකක්.කියවගෙන යද්දි පාසල් කාලෙ සිද්ධි මතක් නොවුනු අය නම් හොයන්න නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. හප්පේ ගැමියව දැක්ක කල්...බොට මොකද උනේ ?

      අද ජාත්‍යන්තර කිරිකොට් ක්‍රීඩකයන්ට ලැබෙන සල්ලි මළු දිහා බැලුවාම බෑන්ඩ් නොගහා කිරිකොට් ගැහුවා නාම් හොදයි කියලත් වෙලාවකට හිතෙනවා...

      මමත් ඒ කාලෙ සික්ස් පැක් තිබ්බ හොද ෆිට්නස් කොල්ලෙක්. ව්‍යායාම නැති කමටම තමයි අද තඩි බඩ ගෙඩියක හිමිකාරයෙක් වෙලා ඉන්නෙ.

      Delete
    2. ඉස්සර වගේ පැල් බැඳන් වැඩ කරන්න නෑ දැන් ඉතින් අප්ලෝඩ් ඩවුන්ලෝඩ් තමා කෙරෙන්නෙ... ඉතින් ඒවා වෙනකං කම්මැලිකමේ ඉන්න එකේ ආයෙත් බ්ලොග් කියවන්න ආවා... අවුරුද්දක් විතර අපරාදේ ගෙවුනා කියලා හිතෙනවා දැන්...

      Delete
    3. උඹ තවත් මහත් වෙයි ගැමියො..බලාගෙන...

      Delete
  19. උඹල බත් දෙක තුනක් එකට දාල වටවෙලා අනාගෙන කාල නැද්ද ? :D :D
    ඔය ඈෂ්ලිය වගේ අපේ යාලුවෙක් හිටිය, උට කිව්වෙ "බැකෝ" කියල. අත ඒ තරම් ලොකුයි , :v

    ReplyDelete
    Replies
    1. බත් දෙක තුනක් එකට දාලා කාලා නෑ මචෝ...අපි සැට් එක ගොඩාක් වැඩි නැත්තං බත් ගෙඩි එකෙන් එක තමයි බඩට හලාගත්තෙ. බැකෝ ගෙ නමින්ම කොහොම වැඩ්ඩෙක්ද කියලා හිතා ගන්න පුලුවන්.

      Delete
  20. හය්යූ මම හිතුවෙ ඩිප්ස් ගනින මැසිම යම් සහනයක් සලසාවි කියලයි. පව් නේ.

    ReplyDelete
    Replies
    1. බෑ නගෝ...ඩිප්ස් ගණින මැෂිම ලගදි බෑන්ඩ් කෙරුවාවට ගෙන්න ගත්ත ඒවා. ඒවා භයයි පාලකයට විරුද්ධව යන්න.

      Delete
  21. ඉස්සර පාසල් කාලේ මතක් වෙනවා ඔබගේ බොහෝ ලිපි වගේම මේකත් කියවලා. ඉස්සර ඩිප්ස් 100 නම් මමත් හැමදාම ගහනවා දැන් නම් 10 ගහන්නත් අමාරුයි

    ReplyDelete
    Replies
    1. මමත් එලෙසම තමයි...ඉස්සර මැරතන් දිව්ව මට දැන් මීටර් 400 ක් දුවාගන්නත් බැරි තරම්...

      Delete
  22. සිරාගේ පාසල් මතකයන් නම් සියළු විස්තර සහිතයි.

    අදාල නැති ප්‍රශ්ණයක්.....සිරාලගේ ඉස්කෝලේ ඉන්නවාද තිලක් සුරේන්ද්‍ර කියලා ගුරුවරයෙක්. සිරා දන්නවාද මෙත්සිරි හපුආරච්චි කියලා ආදි සිසුවෙක්.

    ReplyDelete
    Replies
    1. වර්තමානයේ එවැනි ගුරුවරයෙක් ඉන්නවාද කියලා දන්නෙ නෑ...අපි ඉන්න කාලෙ නම් එවැනි කෙනෙක් හිටියෙ නෑ. මෙත්සිරි හපුආරච්චි කියන නම හොදට අහලා පුරුදුයි. අපිට වඩා පැරණි ආදි ශිෂ්‍යයෙකුගෙන් අහලා වෙනත් දවසක කියන්නම්...

      Delete
  23. අවුරැදු උත්සවයට ඔබ නැති අඞුව දැනුනා

    ReplyDelete
    Replies
    1. එහෙමද අයියා...ඔබව මම ෆොටෝ වල දැක්කෙ නෑ නොවැ...ඊලග වසරේදිවත් සහභාගි වෙන්න උත්සාහ කරන්නම්...

      Delete
  24. මම නං නාරං කැවුම් රුසියෙක්.... මට නම් හතර පහක්වත් කනවා. එකක් දෙකක් නං හොඳටෝම මදි

    ReplyDelete
    Replies
    1. අපේ ආච්චි ඉන්න දවස් වල නම් ඉදලා හිටලා අවුරුද්දට නාරං කැවුම් හැදුවා...දැන් නම් නාරං කැවුමක් කාපු කාලයක් මතක නෑ..

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...