Thursday, April 24, 2014

66 සමන්තගේ ඇත්ත කථාව

අපි ඔහුට සමන්ත කියා කියමු. එය ඔහුගේ නියම නම නම් නොවේය. මේ කථාව ඔබට කියන්නට සිරා කොලුවා වන මවිසින් යෙදූ ආරූඩ නාමයකි සමන්ත. සමන්ත මා දන්නා කාලයේ සිටම ජීවත් වූයේ ගම්පහ නගරයට ආසන්න, නමේ අගට වත්ත යනුවෙන් කියවෙන තැනකය. මෝල වත්ත, නැබඩ වත්ත, රඹුටන් වත්ත, UC (Urban Council) වත්ත ගම්පහ නගරයට ආසන්නයේ තියෙන එවැනි වතු කීපයකි. ඉන්තේරුවටම සමන්තගේ නිවස පිහිටා තියෙන්නේද මේ නම් කියූ ඒවායින් එකකය. වත්තේ නියම නම මේ යැයි මා නොකියන්නේ එමගින් මේ චරිතය දන්නා අයෙකුට හදුනාගන්නට පහසු හෙයිනි.



ගම්පහ නගරයේ නම් දැරූ ප්‍රබල චන්ඩීන් කීප දෙනෙකුම කලක් ජීවත් වූයේ මෝලවත්තේය, ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවට කඩදාසි කොල වල ගංජා එතූ වැඩකරුවන් එකල වැඩියෙන් සිටියේ නැබඩ වත්තේය. නැබඩේ ගංජා නැත්තං ගම්පහම බඩු නෑ තමා...ඇතමෙකු එසේ කීවේ නැබඩවත්ත ගැන දන්නා නිසාය.  ගම්පහ නගර සභාවේ සුළු සේවකයන් සහ කම්කරුවන් බොහෝ දෙනෙකු වාසය කලේ UC වත්තේය. මෙවැනි වත්තක කෙනෙකු ඉහළට ඉගෙන ගෙන උසස් යැයි සම්මත රැකියාවකට ගියේ නම් ඒ ඉතාමත් කළාතුරකිනි. ඉහළට යන එකාගේ කකුල් කෙටි දෙකෙන් අල්ලා තමන් වැටුන වලටම ඒකාවද හෙලන්නට මේවායේ ඉන්නා තරුණ වයසේ උන් ලොකු සූරකමක් දැක්වීමත්...උගත්කමින් ගත හැකි විපුල ඵල ගැන කියාදෙන්නට දෙමාපියන්ගේ දැනුවත් භාවයක් නොමැති වීමත් එයට හේතු යැයි මට සිතේ.

අපි නැවතත් සමන්ත දෙසට හැරෙමු. සමන්තගේ පවුල් පසුබිම පිළිබද මා නොදන්නා මුත් සමන්තගේ නිවෙස් වටපිටාව ගැන ඔබට දැන් පැහැදිලි චිත්‍රයක් මවා ගත හැක. අඩු අධ්‍යාපනයක් ලද සමාජය අනුමත නොකරන ක්‍රියාවන්හි යෙදෙන බහුතරයක් වෙසෙන පරිසරයක ජීවත් වුවත් අධ්‍යාපනය පැත්තෙන් ඉහළට යන්නට සමන්තට තිබුනේ පුදුමාකාර උවමනාවකි. ඒ සදහා ඔහුගේ දෙමාපියන්ද උපකාර කරන්නට ඇත. මගේ පාසලේම මට ඉහළ වසරක ඉගෙනගත් මේ ගොයියා මට වඩාත් සමීප වන්නේ උ/පෙ වෙනුවෙන් මා එකල ආ ගිය එක් අතිරේක පන්තියක, අපට ඉහළ පන්තියේ අධ්‍යාපනය ලැබූ හෙයිනි. සෙනසුරාදා දිනයන්හි ඔවුන්ගේ පන්තියට පසුව අපේ පන්තිය පැවැත්වූ නිසා මට එතැනදී නිරතුරුව ඔහු මුණ ගැසුනේය.

ගිණුම්කරණය ඉගැන්වූ පන්තියක් වූ එහි හොද ඔලුවක් ලෙස සමන්ත කාගේත් ගරු බුහුමනට ලක් වී සිටියේය. සරළ චාම් ගතිපැවතුම් ඇතිව සිටි හෙතෙම තරුණ වයසේ අනිත් උන් කල විලාසිතා පස්සේ පැන්නුවේ නැත්තේ නිවසේ ඇති ආර්ථික වටපිටාව ඔවුනට යන්තමින් ජීවත් වීමට තරම් ප්‍රමාණවත් වූ නිසා වන්නට ඇත. ඩොට් සහිත රබර් සෙරෙප්පු දෙකක් පය ලා හමගිය ඩෙනිමකින් හා අව්වට පාට පිච්චුන ටී ෂර්ටයකින් සැරසුන ඔහුගේ මුවේ කවදත් තිබුනේ අව්‍යාජ සිනාවකි.

ඉදහිට දිනක අප එකල නිතර ආගිය ගම්පහ පුස්තකාලය වෙතද පැමිණි ඔහු එහි දිගුවේලා රැදුනු තැනැත්තෙකු නොවීය. හදිසියේ එතැනින් යන ගමනකදී තම මිතුරෙකු හමුවන්නට පැමිණෙන ඔහුගෙන් විසදන්නට අපහසු අභ්‍යාසයක් කියාදෙන මෙන් අප ඇවටිලි කල කල්හි ඉතා ඉක්මනින් එය විසදා අපට තේරුම් ගත හැකි පරිදි කියා දීමට තරම් නිහතමානී කමක්ද හෙතෙම සතු විය.

සමන්තලාගේ උසස් පෙළ උපකාරක පන්ති ආරම්භ වී කෙටි කලකින්ම පන්තියේ වැඩකරුවන් අතර ඉදිරියේ සිටි ඔහු කෙරේ එම පන්තියේ ගුරුවරයාගේ අවධානය යොමු විනි. නමුත් එක්වරම ඔහු උපකාරක පන්තියේ නොපෙනී ගියෙන් සමන්ත පිළිබද සොයාබලන්නට තරුණ ගුරුවරයා සමන්තගේ මිතුරන් කීප දෙනෙකු යොදවා තිබේ. මේ කියන ගුරුවරයාත් අප විද්‍යාලයේම ආදි සිසුවෙකු වීම මේ ලෙංගතු කමට තවත් හේතුවක් වන්නට ඇත.

සමන්තට පන්ති එන්න සල්ලි නෑ කියනවා සර්....ඔත්තු බැලූ උන් ගුරුවරයාට එලෙස සැළ කල හෙයින් පුද්ගලිකවම සමන්ත හමු වී ඔහුගේ වටපිටාව සොයා බලන්නට ගිණුම්කරණය ඉගැන්වූ ගුරුවරයා තීරණය කර ඇත්තේ එයින් පසුවයි.

තමාගේ ඇස් දෙකෙන් ඔහුගේ නිවසේ පරිසරයත්, ඔවුන්ගේ ජීවන අරගලයත් දුටු කල්හි මේ දක්ෂ සිසුවාට කෙසේ හෝ යහපත් අනාගතයක් උදාකර දෙන්නට සහාය විය යුතු යැයි ගුරුතුමාට සිතෙන්නට ඇත. 

සල්ලි ඕනෙ නෑ...ඊලග සතියෙ ඉදන් පන්තියට ආයෙම එන්න...මම අනිත් වැඩ දෙකටත් ඒ ගුරුවරුන්ට කියලා නොමිලේ සහභාගි වෙන්න අවස්ථාව සලසලා දෙන්නම්. ගුරුතුමාගේ පින්බර වදනින් සමන්තගේ අනාගත බලාපොරොත්තු ඒකාලෝක වෙන්නට ඇත.

ගිණුම්කරණය ගුරුතුමාගේ ආගමනයෙන් පසු සතියේ සිට නැවතත් සමන්ත පන්තියට සහභාගි වෙයි. විභාගයෙන් උසස් ප්‍රතිඵලයක් ගත හැකි යයි අනුමාන කල හැකි සිසුවෙකුගේ තත්වයට කෙමෙන් කෙමෙන් පත් වෙයි. අවස්ථාවක් ලද කලෙක අප වැනි වයසින් අඩු උන්ටද තම දැනුම බෙදා දෙයි.

2000 වසරේ උසස් පෙළ විභාගයට තවත් මාස දෙක තුනකි. පන්තියේ පවත්වන කඩඉම් විභාග වලින් මෙන්ම පාසලේ වාණිජ අංශය තුලද සමන්ත තම හැකියාවන් මොනවට පෙන්වා තිබුනි. උසස් පෙළින් උසස් ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් පන්ති බඩ ගෑ අපේ එකල වීරයා සමන්ත කියා කීවත් එහි වරදක් නැත. ඔහු මෙන් හැකියාවන් දක්වන්නට අපිටත් හැකි වේ නම්....යනුවෙන් අපි එකල නිතර සිතුවෙමු.

පාඩම් කරන තැන මේසෙ ඉස්සරහින් කොළයක  A අකුරු 3 ක් ලියලා ගහගනිල්ලා. උඹලා ඔය කොළය දකින වාරයක් වාරයක් ගානෙ දන්නෙම නැතුව ඒ වගේ සාමාර්ථයක් ගන්න අධිෂ්ඨානයක් ඇති වෙනවා. අන්තිමට මේක යටිහිතට වැටුනාම උඹට පාඩම් කරන්න කම්මැලි හිතුනත් ආයෙම හිතෙනවා නෑ පාඩම් කරනවා කියලා...මෙවැනි මනෝවිද්‍යාත්මක උපදෙස් පවා එකල ඔහු අපට සන්නිවේදනය කලේය.

උසස් පෙළ විභාගය අත පොවන මානයට පැමිණ තිබූ සමයේ දිනක මගේ මිතුරෙකුට සමන්ත මුලිච්චි වී තිබුනි.

කොහොමද අයියා...විභාගය ගොඩ නේද ?

උඹ මේ මගුලක් කථා කරනවා...මම මේ දවස් වල රෑන්ක් එක තව ටිකක් ඉස්සරහට ගන්න එක ගැන හිතන්නෙ බං... විභාගෙ නම් ගේමක් නෑ. ඒ ඔහුගේ පිළිතුරයි.

හැමදාමත් කියනවා මෙන් කාලය ටික් ටික් හඩින් ගත වී මේ කියූ උසස් පෙළ විභාගය අවසන් වී ප්‍රතිඵල පැමිණෙන දිනයද එළැඹුනේය. කාගේත් බලාපොරොත්තු  සඵල කරමින් සමන්ත සියලු විෂයන්ට අති විශිෂ්ඨ සාමාර්ථ ලබාගනිමින් දිස්ත්‍රික්කයේ පළමු 50 දෙනා අතරට එක් වී සිටි අතර ජයවර්ධනපුර සරසවියට ඇතුලත්වීමට සුදුසුකම් ඉහළින් සපුරා සිටියේය. ප්‍රතිඵල පිටවීමෙන් පසු අපේ අතිරේක පන්තිය තුල කථාවක් පැවැත්වූ ඔහු, තමාගේ ජයග්‍රහණය ලබාගැනීමට අනුගමනය කල ක්‍රියාපිළවෙත් ආදිය නොසගවා අනෙක් අයට පැහැදිලි කලේය. පන්ති එන්නට මුදල් නොමැතිව සිටි වෙලේ ඒ පිළිබද සොයා බලා සහනයක් සැලසූ ගුරුතුමා නමට සිය ජයග්‍රහණය පුදන්නටද අමතක නොකලේය. සරසවිය පටන් ගන්නා තෙක් රාජ්‍ය බැංකුවක සේවය කිරීමට අවස්ථාවක්ද ලැබී තිබුනි.

ඉන්පසු එළඹුනු කාල සමයේ උසස් පෙළ සමග අපද කාර්යබහුල වූයෙන් සමන්ත ගැන වැඩි තොරතුරක් අපට සන්නිවේදය නොවුනද ඇතැම් දිනක සරසවියට ගොස් නැවත පැමිණෙන හෙතෙම අපට ගම්පහ නගරයේදී මුණ ගැසුනේය.

තවත් මද කාලයකට පසු අපට අසන්නට ලැබුනේ කිසිදිනක අප අසන්නට බලාපොරොත්තු වූ පුවතක් නොවේය.

සමන්තයා අන්න කැම්පස් යන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්නවලු....

ඒ මොකද බන්...මහපොළත් දෙනවනෙ...

කවුද බන් දන්නෙ....මට වෙන එකෙක් කිව්වෙ....මේ පුවත මවෙත සැළකල මිතුරා එසේ කීවේය.

මේ තරම් උත්සාහයෙන්, අමාරුවෙන් ගත්ත ජයග්‍රහණයට පයින් ගහලා, ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව ඉන්න මෝඩයා කවුද හැබෑටම, මේ විස්තරය අහන අහන එකා එසේ කීවෝය.

අවසානයේ අප සවනත වැකුණු පුවත සැළවූ පෙර කී ගුරුවරයා නැවත වතාවක් පුද්ගලිකව සමන්ත මුණ ගැසී සරසවි නොයාමට කාරණා විමසා ඔහුගේ තීරණය වෙනස් කිරීමට දැඩි උත්සාහයක් දරා තිබුනද එය ඵලදැරුවේ නැත. සැබෑ ලෙසම ඔහුට සිදුවූයේ කුමක්ද ? එය ඔබට දැන් ප්‍රශ්නයක් වී ඇතිවාක් මෙන් එකල අපටද ගැටලුවක්ව තිබුනේය. ඇත්ත කථාව අපේ කන් බෙර අස්සට රිංගන්නට තවත් මාසයක දෙකක පමාවක් අවැසි විය.

සරසවි ජීවිතය මුලදී ලැබෙන නවක වද කාල සීමාවේ සිටම සමන්ත ආශ්‍රයට වැටී ඇත්තේ රත්නපුරයේ මැණික් වෙළදාමේ නිරතව සිටි අතමිට යහමින් ඇති ව්‍යාපාරිකයන් පිරිසකගේ දූ සිගිත්තියන් කීප දෙනෙකු සමගය. ඒ ඇත්තියන් අතේද අසාමාන්‍ය මුදලක් ගැවසුනු හෙයින් මේ අයට සරසවියේ ඒ අයට ගැලපෙන සමාජ පන්තියකින් මිතුරන් සොයා ගැනීමට අපහසුතාවක් තියෙන්නට ඇත. නමුත් කෙසේ හෝ තමාට නැති සමාජ තත්වයක් විදහා පාමින් ඒ අයගේ සිත් දිනාගෙන මේ කණ්ඩායමේ එකම පිරිමියා ලෙස චෑන්ස් එකක් වද්දාගන්නට සමන්තට අපහසු වී නැත.

පෙර කියූ දැරිවියන් සාමාන්‍ය අය ආහාර ලබාගන්නා තැන් වලින් ආහාර ගන්නේ නැත. පොදු ප්‍රවාහන මාධ්‍ය වල ගමන් බිමන් යන්නේද නැත. රියදුරන් සමග සිය පියවරුන් පුද්ගලික රථ සපයාදී තිබූ හෙයින් පොදු ප්‍රවාහන සේවා වල අවශ්‍යතාවක්ද නැත. මේ කියූ සැප එහෙන් මෙහෙන් විදගෙන භාගෙට පිස්සු වැටී ඉන්නට ඇති සමන්තට මේ කෙල්ලන්ගෙන් දුරස් වෙන්නට හිත දෙන්නට නැත. නැතිනම් ඒ වෙද්දිත් එකියකට ඔහු බොක්කෙන්ම ආදරය කරන්නටද ඇත.  තමාද සල්ලිකාර පවුලක එකෙකු බව ඒත්තු යන අන්දමට හැසිරීමට සමන්තද සමත් වී තිබුනේය. නමුත් බොරුවට වැඩි ආයුෂ නෑ කියන්නාක් මෙන් මේ ගරු රගපෑමද ඉතා කෙටි කලකින් නිම වී තිබේ.

සමන්ත ජීවත් වූ වත්තේ මළ ගෙවල් හඹා යමින් බූරු ගැසීමේ නිරතව සිට ඇති කණ්ඩායමකි. මේ ඇත්තන් තුන් රෝද රථ මගින් ගම්පහට ආසන්න පළාත් වල මළගෙයක් ඇති නිවෙස් සොයමින් රාත්‍රී කාලයේ මේ සූදුවේ නිරතව ඇත්තේ එමගින් ඉපයිය හැකි ඉහළ අදායම නිසාමය.

මේ කණ්ඩායමේ සාමාජිකයකු වූ අපේ කථා නායකයා සමන්තද හොද බූරු කරුවෙකි. මේ ගමන් බිමන් වලින් ලද ආදායමෙන් වැඩි කොටසක් ඔහු පෙර කීයූ සමාජ තත්වය ආරක්ෂා කර ගැනීමට වැය කර තිබුනි. දිවා කාලයේ සරසවි යන ඔහු රාත්‍රී කාලයේ බූරු ගසයි. අතීතයේ මිළ අඩු ඇදුම් පැළදුම් භාවිතා කල ඔහු දැන් භාවිතා කරන්නේ ඉතා ඉහළ සන්නාම වලින් පැමිණෙන නිෂ්පාදන පමණි. සරසවි දැරිවියන් කොළඹ ප්‍රමුඛ පෙළේ අවන්හලකින් හොද භෝජන සංග්‍රහක් ඔහු වෙත ලබා දුන්නා නම් හෙට ඊට නොදෙවෙනි තැනකින් ලබා දෙන සංග්‍රහයේ බරපැන දරන්නේ සමන්තයි.

බූරු ගැසීමෙන් ලද ආදායම මේ කියූ කාරණා සදහා ප්‍රමාණවත් වූවත් සමන්තගේ ආදායම් තත්වය අඩිය හිල්වූ පොල්කටුවකට ජලය වත්කලා සේ හිටිවනම බින්දුවට බැස්සේ කුමක් හෝ කාරණයක් නිසා ඔහුගේ අවශේෂ සාමාජිකයන් සති දෙකක පමණ කාලයක් බූරු ගැසීමෙන් වැලකී සිටි හෙයිනි.

සමන්ත දැන් සිටින්නේ ගිණි ගොඩකය. අතේ සතේ නැත. කෙල්ලන් සමග කෑම කන්නට, එහෙ මෙහෙ සවාරි යන්නට, දැන් ඔහුට හැකියාවක් නැත. සරසවි කැන්ටිමෙන් ලබාදෙන අඩුමිළ බත් එක රෙදි ඇදගෙන නම් කන්නට නොහැක. තවත් ටික දවසකට පසු ඇත්ත තත්වය මේ දැරියන්ට වැටහෙනු ඇත. ඉන් පසුව ඔවුන් එය තවත් අයට පවසනු ඇත. සරසවිය තුල සමන්ත යනු මහා බොරුකාරයෙක් ලෙස හංවඩු ගැහෙනු ඇත.



සමන්ත තීරණයක් ගත්තේය. මෙහෙම සවුත්තු වෙනවට වඩා හොදයි කැම්පස් නොඑන එක...

අපේ තාත්තා මාව පිටරට කැම්පස් එකකට යවන්න ඔක්කොම ලෑස්ති කරලා...ඒ නිසා මම ආයෙ එන්නෙ නෑ...එහෙ ගිහිල්ලා ඕගොල්ලන්ට කෝල් එකක් දෙන්නම් යනුවෙන් පවසා දැරිවියන්ගෙන් සමුගත් සමන්ත යළිත් හුරු පුරුදු ජීවිතයට වැටුනි.

විශ්වාස කරන්නට අමාරු සුරංගනා කථාවක් බදු වුවත් මේ කථාව ඇත්ත ලෙසම සිදුවූවකි. බොරුව යනු කිසියම් දිනෙක විශාල හානියක් සිදුකරනා භයානක දෙයකි. ජලයෙන් පහළට රබර් බෝලයක් තෙරපුවත් එය අතහැරි සැනින් නැවතත් ජලය මතුපිටට පැමිණෙනවා මෙන් බොරුවද හිතන්නේ නැති වේලාවක තමාට එරෙහිව යොමුවන ආයුධයකි.

අවසන් වරට මා හට සමන්ත මුණ ගැසුනේ දැනට වසර 10 කටත් එහායිනි. ඒ වන විට කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ පාඨමාලාවක් හදාරන්නට හෙතෙම අයදුම් කර සිටියේය.  ඔහු ඒ සදහා සුදුසුකම් ලැබුවාද ? අද ආරක්ෂක අංශ සාමාජිකයකු ලෙස සේවය කරනවාද ? නැතිනම් නැවතත් තීරණය වෙනස් කර සරසවි ගියාද ආදී කිසිදු ගැටලුකට පිළිතුරු තවමත් මා සතුව නැත.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

වෙනත් සරසවියක අධ්‍යාපනය ලද අපේ මිතුරෙක් සමන්තගේ ඇත්ත කථාව පසු දිනෙක අපට සැළකළේය. කෙතරම් නුවනැති වුවද ? ඉහළ විභාග සමත් වුවද මෙවැනි තකතීරු වැඩ කරනා උගතුන් මේ සමාජයේ එමට සිටිති. එය මුසාවක් නම් පෙම්වතා බෑ කිව්වා කියා දුම්රියට පනිනා වෛද්‍ය ශිෂ්‍යාවන් අපට හමුනොවෙනු ඇත.

66 comments:

  1. බොරුවට ආයුස නෑ කියන්නෙ එකනේ සිරා අය්යේ

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මලයො...බොරුවක් කිව්වට පස්සෙ ඒක මතක තියාගෙන ඉන්න එපායැ...නැත්තං අතේ මාට්ටු....එහෙම කිසි කරදරයක් නෑ ඇත්තම කිව්වාම...

      Delete
  2. ඔය වගේ කතා මේ සමාජෙ තව ඇති. පොඩ්ඩක් හිතල බැලුවොත් සමන්ත තරම් ම නොවුණත් හැමෝම වැඩියෙන් වියදම් කරන්නෙ මවා පෑමට!

    ReplyDelete
    Replies
    1. මවාපෑමෙන් ගොඩ යන්න හදන අය ගොඩාක් මේ සමාජය තුල ඉන්නවා...තමන්ගෙ හිත ගත්තෙ ඇති හැකි පවුලක කෙනෙක් නම් එයාගෙ කැමැත්ත නොලැබෙයි කියලා හිතලා බොරු සමාජ තත්වයන් මවා පානවා...ඔය වගේ තමන්ගෙ තත්වය මවලා ගෑණු දැරිවියක් කොර ගත්ත මම අදුනන තව එකෙක් බොරුව අතේ පත්තු වෙලා ලව් එකට කෙළ උනා....එයාගෙ ඇත්තම තත්වය මට කිව්වා නම් මම එයාව දාලා යන්නෙ නෑ කියලා කෙල්ල අන්තිමට කිව්වා...

      Delete
  3. අනුංගෙ ට්‍රේලක් ඉල්ලං ටියුෂන් ක්ලාස් ඉස්සරහ වැඩ දාපු හැටි :D ... චැහ්.. අපි නෑනෙ ඔව්වට .

    සෑහෙන්න කස්ටිය අනාගන්න තැනක්නෙ ඔතන බං.. තමුන්ටම තේරෙන කාලෙදි පෙරහැර ගිහින් !!!

    ReplyDelete
    Replies
    1. ඉස්සර තමයි බන් බයිසිකල් වලට කෑලි ටෝක් උනේ...අද නම් රෝද 4 ක් උවමනායි ඒ වැඩේට...

      Delete
  4. අපරාදේ හොඳට ඉගෙන ගෙන ලස්සණ ජීවිතයක් ගෙවන්ට හිටපු කෙනෙක්...

    ඇයි ඇත්තට කොල්ලෝ කෙල්ලන් ඉදිරියේ මෙහෙම රඟපෑම් කරන්නේ? සල්ලිවලට රැවටෙයි කියලද?

    ReplyDelete
    Replies
    1. na ban yodiye... kello waha watenne salli thiyena kollonta ne... anna ekai aththa...

      Delete
    2. මේක දෙපාර්ශවයටම පොදුයි පොඩ්ඩි...හැමෝම බලන්නෙ විවාහයෙන් පස්සෙ යහපත් ජීවිතයක් අග හිග කම් වලින් ඈත් වෙච්ච. එතැනදි තමන්ගෙ ආදරය උනත් පාවා දෙන අය ඉන්නවා...නමුත් පිවිතුරු ලෙස ආදරය කරන අය මෙවැනි කාරණයකදීවත් ආදරය හැර යන්නෙ නෑ.

      Delete
  5. අනුන් රැවටීමට වඩා තමන්ම තමන්ව රවටා ගැනීමේ අවසාන ප්‍රතිඵලය ඉතා කනගාටුදායකයි. සමන්ත කරගත්තේ තමන්වම රවටා ගැනීමයි. මෙවැනි චරිත සෑමවිටම කිසියම් මාර්ගෝපදේශනයක් යටතේ තබාගත යුතුයි. බොහෝවිට ඔවුන් පරිනත භාවයට පත්වන්නේ අනෙක් අයට වඩා ප්‍රමාද වීමක් සහිතවයි. ආදර්ශවත් කතාවක් මේ වගේ සම්න්තලා අදත් ඉන්න නිසා ඒ එක් අයකු හෝ මෙය කියවනවානම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ සිංහල දැනුම දුර්වල බව පෙනේ. 'කනගාටුදායක' කණගාටුදායක' විය යුතුය. තවත් අක්ෂර වින්‍යාස වැරදි බොහෝය. කරුණාකර බ්ලොග් වල කමෙන්ට් කරන්නට පළමු නිවැරදි සිංහල දන්නා කෙනකුගෙන් සිංහල ඉගෙන ගන්න. එය අපට පහසුවකි.

      Delete
    2. ඔබේ අදහස ගැන විවාදයක් නෑ විචාරක තුමා..තමා විසින් තමාම රවටා ගත්තම අන්තිමේදී තමන්ට තමන්වත් නෑ කියලයි කියන්න වෙන්නෙ.

      Delete
  6. බොරුවට ආයුෂ නෑ. ඇත්ත තිත්තයි. පොළොවේ පය ගහලා මොළේ ඇතුව ජීවත් වෙන එකා මඩේ උපන්නත් ගොඩේ උපන්නත් ළොව දිනනවා. උගත් කම තිබුනට වැඩක් නෑ බුද්ධිමත් කම නැතුව. ඔය ඔක්කෝටම වඩා වටිනවා පානිය කියන දේ, විශේෂයෙන් තරුණ කාළේ. පානියයි පාරයි දන්නවා නම් ෂේප් එකයි පාරයි දාගෙන ඉන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දැන් බලන්න මම දාන පානීය කොහොමද ?

      Delete
    2. උගත් කම තිබ්බට බුද්ධිය නැතුව වැඩක් නෑ...ඒක සහතික ඇත්ත. තැනට සුදුසු නුවණ කියලා කියන්නෙත් ඔබ ඔය පානිය කියලා හදුන්වන දේ වෙන්ට ඇති.

      Delete
  7. දැං බෑ බං සිරේ. මං පස්සෙ කියවන්නං...

    ReplyDelete
  8. ඇත්ත තිත්‍තයි, තිත්ත ගුණයි කියන්නෙ නිකන්යෑ. මම නම් දකින්නෙ සමන්ත එක්කො මෝඩයෙක්. එක්කො මෑන් කැම්පස් යනකම් වත් සමාජෙ එක්ක ගැටිලා නෑ.

    කොහොම උනත් ගොඩ යන්න තිබුන තරුණ ජීවිතයක් විනාශ උනා.

    ReplyDelete
    Replies
    1. මෙයා හොදට සමාජය ආශ්‍රය කරපු කෙනෙක්...පොඩි කාලෙ ඉදන් තමන් මුහුණ දීපු ආර්ථික ප්‍රශ්න නිසා හොද ආර්ථික වටපිටාවක් සහිත යුවතියක් සමග ආදර සබදතාවක් ආරම්භ කරන්න ඔහු හිතන්න ඇති.

      Delete
  9. එක බොරුවක් වහන්න තව බොරු කියන්න ගිහින් බොරුව ඒ කොල්ලව බිල්ලට ගත්තා වගේ

    ReplyDelete
    Replies
    1. එක බොරුවක් වහන්න බොරු දාහක් කිව්වත් වැඩක් නෑ කියලා කථාවක් තියෙන්නෙ...අන්න එය තමයි මෙතැනට ගැලපෙන්නෙ.

      Delete
  10. කවුරු කොහොම මොනා කිව්වත් ඌ මුහුණ දීපු තත්ත්වය දන්නේ ඌනේ බං.ඌ අර කෙල්ලෝ සෙට් එකට වහ වැටිලා හිටපු හින්දා ඒ සෙට් එකෙන් පිට ඌට යාලුවො නැති වෙන්න ඇති.ඔහොම සෙට් ඉන්නවා.ඒත් ඌ මුල ඉඳන්ම ටික ටික ඇත්ත කිව්වා නම් අවුලක් නොවී ඉන්න තිබ්බා.ඔය කෙල්ලෝ රත්නපුරේ නගරයේ තියෙන බාලිකා හා උසස් බාලිකාවක..මං හරි නේද?

    ReplyDelete
    Replies
    1. රත්නපුරේ බාලිකාවක්ද, කොළඹ එකක්ද කියලා මම දන්නෙ නෑ ගොයියො. මට හිතෙන්නෙ උපාධිය අරගෙන හොද රැකියාවකට ගියාම ගොඩදාගන්න හැකි වේවි කියලා කොහොම හරි සල්ලිකාර දැරිවියක් දපනෙ දාගන්න තමයි ඔහු උත්සාහ කරන්න ඇත්තෙ.

      Delete
  11. මෙච්චර දුර ගමනක් ගිහිල්ලත් වෙච්චිදේ ගැන හරිම කණගාටුයි..

    පොතින් පතින් ඉගෙන ගන්නව වගේම සමාජේ ජීවත් වෙන්නත් අපි ඉගෙන ගන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. පොතේ පතේ අධ්‍යාපනය විතරක් තියෙන කෙනෙක්ට සමාජය සමග ගණුදෙනුව තරමක් අපහසුයි. සමාජයෙන්ම තමයි එහි රීති ඉගෙන ගත යුතු වෙන්නෙ. සමන්ත කියන්නෙ සමාජය පිළිබද දැනුමක් තිබුන කෙනෙක්...නමුත් ඔහු මෙතැනදි පරාද උනා.

      Delete
  12. කියන්න දෙයක් නෑ ,මේ වගේ ඇයෝ ගැන ,පොඩ්ඩක් හරි මොලේ තිබ්බා නම් අර බොරු කරන්නෙ නෑ ...

    ReplyDelete
    Replies
    1. මිනිහා හිතන්න නැතුව ඇති ඒ බොරුව තමන්ටම පාරා වළල්ලක් වේවි කියලා.

      Delete
  13. තමන් පිලිබඳ නියම තක්සේරුවක් නොමැති කමේ තවත් ප්‍රතිඵලයක්.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස යම්තාක් දුරකට නිවැරදි වෙන්න පුලුවන්.

      Delete
  14. කාව කොහොම රැවටුවත් තමන් තමන් රවටා ගත්තොත් ඔක්කොම ඉවරයි.
    කොහොම වුනත් සමන්ත ගැන දැන ගන්න ලැබුන කතාව ඇත්තම කියලා සුවර් ද...?

    ReplyDelete
    Replies
    1. කථාව ඇත්ත බව ඉතාම විශ්වාසයි. ඒ කථාව කියපු කෙනත් තවත් වත්තක ජීවත් වෙච්ච සමන්තගේ ලග මිතුරෙක්...අපිටත් විශ්වාස කරන්න අමාරු උනා මේ කථාව ඇහුවගමන්...

      Delete
  15. බොරුවත් බොරු රඟපෑමත් සූදුවක් වගේ.. මුලින්ම තමුන් බොරුව පාලනය කරනවා ඊලඟට තමුන් බොරුවේ පාලනයට නතුවෙනවා. ඉන් ගැලවිල්ලක් නෑ. ලංකාවෙ දෙමාපියන් අමාරුවෙන් සල්ලි හොයලා මෙහෙ විශ්වවිද්‍යාල වලට එවපු සමහරක් හැසිරෙන්නෙ ඔය ආකාරෙටයි..

    ReplyDelete
    Replies
    1. කටේ මසුරන් ඔබන්න ඕනෙ ඔය කිව්ව කථාවට...සහතික ඇත්ත.

      Delete
  16. බොරුවට කොහොමත් වැඩි ආයුෂ නෑ.
    සමන්ත ඔය කෙල්ලන්ට රැවටෙන්නෙ නැතුව දිගටම ඉගෙන ගත්තනං ඒ කෙල්ලන්ට වැඩිය සල්ලිකාරයෙක් වෙන්න තිබුණ හොඳ රස්සාවක් කරල.

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙන්න තිබුනා...කෙල්ලව තමන්ගෙ ජීවිතයට බොහොම ලං කරගත්තට පස්සෙ ඇත්තම කිව්වත් සමහරු යන්නෙ නෑ...ආදරය නිසා..ඒ පැලෑන වෙන්න ඇති සමන්තයට තිබුනෙ.

      Delete
  17. බොරුවට කවදත් ආයුෂ නැහැ සිරා අයියෙ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත මලයො...බොරුව මාට්ටු වෙච්ච දවසට ප්‍රසිද්ධියේ නිරුවත් උනා වගේ දැනේවි.

      Delete
  18. අදයි ඉස්සෙල්ලාම ආවෙ. නිතර එන්න පාර මතක තියාගත්තා.

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...ඔය පාරෙන්ම දිගටම එන්න..

      Delete
  19. මට මතක් වුණේ රතු රෝස නවකතාව සහ එය පදනම් කරගෙන නිර්මාණය කල ටෙලි නාට්‍යය.

    ReplyDelete
    Replies
    1. ඒ කථාව මටත් මතකයි...කමල් අද්දර ආරච්චි අනුන්ගෙ වාහන පාවිච්චි කරමින් චාපාව දැලේ දාගත්තා උනාට අන්තිමට ලව් එක දෙදරනවා නේද ?

      Delete
  20. බොරුවක් කලාම ඕක හැමදාටම මතක තියාගෙන ඉන්න වෙනවා.. මොකද නැත්නම් කොයි වෙලේ හරි අහුවෙනවනේ.. ඒත් තිත්ත වුනත් ඇත්ත කියන එක එක අතකට හිතට හරි නිදහසක්...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත...අද කියපු දේ පස්සෙ කාලෙක ඇහුවත් දෙන්න තියෙන්නෙ එකම පිළිතුරක්...මුල් අවස්ථාවේම ඇත්ත කිව්වොත්....

      Delete
  21. ඇත්ත කියන එක ලාබයි පහසුයි කියලා මම ඉගෙන ගත්තේ ඉස්සරමයි. සමහරු ඉස්සෙල්ලම කියන්නේ බොරුව. ඒක ඩිෆෝල්ට්. ඇත්ත කියන්නේ විකල්පයක් නැතුව ගියාම. ඒකත් හුඟක් අපහසුවෙන්.

    ReplyDelete
    Replies
    1. යෑස් යෑස් හෙන්රි අයියා...සමහරු කිව්වොත් බොරුවක්ම තමයි...තමන්ගෙ පම්පෝරිය අනෙක් අයට පෙන්වන්න තමයි ගොඩාක් අය බොරු කියන්නෙ. බොරුව මාට්ටු උනාම ඒක පිළිගන්නෙත් ඉදලා හිටලා කෙනෙක්...

      Delete
  22. ෂැහ්.. ගොන් බදින කණුවක්නේ.....
    සීන් එක නං දුකයි තමයි..
    එ්ත් මෙහෙම එවුනුත් ඉන්නවනේ..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ කියලා...මෙච්චර උත්සාහ කරලා කැම්පස් ගිහින් එතන වැඩේ සම්පූර්ණ කරගන්න කලියෙන් එළියට ආවා...අතේ තියෙන දේ කටට දාගන්න පින නෑ කියන්නෙ මෙවැනි සිදුවීම් වලට තමයි.

      Delete
  23. බොරුව කවදා නමුත් එළිවෙනවා.. පැවැත්මක් නෑ.. මේ කතාව අපිට කියන්නේ ඒකයි..

    අර ගුරුතුමා ගැන කියෙව්වම මට මතක් වුනේ කැනීෂියස් පළිහවඩන ගුරු තුමාව. ක්ලාස් එකට ගෙවන්න සල්ලි නෑ කිව්වම එතුමා මට සිං ගාලා ‍ෆ්‍රී කාර්ඩ් එකක් ඉෂූ කළා අවුරුදු දෙකටම. එතුමට පින්සිද්ද වෙන්න මට ලොජික් වලට හොඳ ප්‍රතිඵලයකුත් තියනවා.. ඒ ඇවිල්ලා ගුරු දෙවිවරු...

    ReplyDelete
    Replies
    1. ඔබේ ගුරුතුමාත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා යහපත් ගුරු දෙවියෙකු බව පෙනේ. එවන් ගුරුවරු වැඩි වැඩියේන රටට අවශ්‍ය කරන කාලයක් මේ. ගුරුවරයා ශිෂ්‍යයාගේ අනාගතය එළිය කරන භාරදූර්ය වගකීමක් භාරගෙන සිටින තැනැත්තෙකු ලෙස හැදින්වූවත් ගැටලුවක් නෑ.

      Delete
  24. Replies
    1. පවු නේද බං...කාගෙ හරි දරුවෙක්නෙ.

      Delete
  25. දක්ෂ කෙනෙක් බොරු කාරයෙක් වෙලා විනාශ වීම නම් අපරාධයක්. ගම්පහ දිස්ත්‍රීක්කයේ කියුවත් දන්න කෙනාට නම් ඔහු අඳුනාගන්න පුළුවන් වෙයි ඔය දීපු කරුණු අනුව. ඔහු බොරුව කරන්න ගිහින් අනාගත්තට බොරුවෙන් ඉන්න පොරවල් බහුල සමාජයක් මේක

    ReplyDelete
    Replies
    1. අපේ පාසලට පැමිණි ගම්පහ නගරය අවට ජීවත් වෙන මේ කියන වයසෙ කෙනෙක්ට නම් මොහුව හදුනාගන්න පහසුයි. ඔහුගේ අනන්‍යතාව සගවාලන්න මම උත්සාහ කලා මේ ලිපිය තුලදි...

      Delete
  26. තවුසන් ටෝක් දෙන ගොඩක් අයට අන්තිමට ඕක තමයි වෙන්නෙ, :/
    [ ඒ බූරුව ගහල ඔච්චර සල්ලි හොයන්න පුළුවන්ද බං ? :D :D
    @ resignment එකක් හදන ගමන් ^_^ ]

    ReplyDelete
    Replies
    1. බූරුවා පිටිවල සමහර වෙලාවට සල්ලි මිටි වැටෙන්නෙ. තමන් පැමිණි තුන්රෝද රිය පවා උකස් කර බූරුවා සෙල්ලම කරගෙන යන අයත් ඉන්නවා.

      Delete
  27. කොල්ලට හොඳට මොළේ තිබුනට සමාජෙ ගැන දන්නෙ නෑ.සමන්ත ගැන හරිම කණගාටුවක් ඇතිවුනා.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි...මෙච්චර ආර්ථික ප්‍රශ්න තියෙන පවුලකට කොදු නාරටිය වෙන්න හිටියා කොල්ලා නේද මේ විදියට වගකීම් රහිතව වැඩ කරලා තියෙන්නෙ කියලා වෙලාවකට හිතෙනවා.

      Delete
  28. තමන්වම රවට්ට ගත්තම අන්තිම ප්‍රතිපලෙ ඔක තමයි.මගෙත් එක්ක ක්ලාස් ගිය එකෙක් ඉන්නව.මිනිහත් එකාලෙ මාර ලොකු එකක් දැම්ම.දැන් හම්බ උනාම කියන්නෙ වෙන එකෙක්ට විබාගෙ ලියන්න ගිහින් අහුවෙලා තහනම් වුන නිසා කැම්පස් යන්න බැරිවුනා කියල

    ReplyDelete
    Replies
    1. එහෙම අය කොතැනත් ඉන්නවා...තමන්ගෙ තත්වය, උසස් බව අනෙක් අයට සන්නිවේදනය කරන්න බොරු කියන අය තමයි වැඩි.

      Delete
  29. ඕකනේ කියන්නෙ සිරා, දැනුම තිබුනට බුද්ධිය නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත...බුද්ධිය කියන දේ ඉතිං පීරියඩ් 8 ඉගෙන ගත්තා කියලා ලැබෙන්නෙ නෑ.

      Delete
  30. අපරාදෙ කෙල්ලො නිසා සමන්ත නිකරුනේ අනාගතේ විනාස කරගත්තෙ, ඇත්තටම එයාගැන අලුත් විස්තරයක් නැද්ද අයියෙ?

    ReplyDelete
    Replies
    1. එයා ගැන අලුත් විස්තරයක් මම හොයන්න උත්සාහ කරනවා...අපේ මිත්තරයො බහුතරයක් ලංකාවේ නොමැති වීමත් අනෙක් අයගේ දුරකථන අංකයක් හෝ නොමැති වීමත් ඒ ක්‍රියාවට බාධාවක්

      Delete
  31. බොරු කියලා ඒවා අහු උනාම සියදිවි හානි කරගන්න එක සැපයි බොරු කියපු උන්ට මූන දෙනවට වඩා . .ඒත් එහෙම හිතෙන්නේ අවංක මිනිස්සුන්ට විතරයි . . කපටි මිනිස්සු ඕන තරම් අතේ පත්තු වෙන බොරු කියලා ඒවා අහුවෙලත් මොකුත් කිව්වේ නෑ වගේ ආයේ අයේ බොරු කියනවා . . . අවංක වෙන්නද කපටියෙක් වෙන්නද කියන වැට උඩ වෙන්න ඇති සමන්ත ඒ වෙලාවේ ඉන්න ඇත්තේ . .

    ReplyDelete
    Replies
    1. දුකා අයියා කාලෙකින් සිරා කොලුවගෙ ඉසව්වෙදි දැකීම සතුටක්.

      තමන් කියපු බොරු සියල්ල එක තැනකදි අතට අහුවුනාම...මහා පිරිසක් ඉදිරියේ නිරුවත් උනා වගේ හැගීමක් බොරු කියපු කෙනාට දැනෙනවා ඇති. මට හිතෙන්නෙ සමන්ත ධනවත් යුවතියක් සමග හාද වෙලා තමන්ගෙ අනාගතය සුඛිත මුදිත කරගන්න උත්සාහයක් දරන්න ඇති. ඒ උත්සාහය අසාර්ථක වුනාම ඔහුට විශාල ලැජ්ජාවක් දැනෙන්න ඇති.

      Delete
  32. අනේ මන්ද ඉතින් මෙවුවා.. එවුවා මෙවුවා පැත්තක දාමු..
    ඔන්න අපිත් ආවෝ.. දිගටම එනවෝ..

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...