Sunday, June 5, 2016

51 ඇය ෆාතිමා නම් වූවාය.

අද කථාවේ ප්‍රවේශය කාලයකට කලින් මවිසින් ලියූ සිරාගේ මහවේ ප්‍රේමය නැමති ලිපිය ඔස්සේ වැටී තිබේ. ඒ නිසා එම ලිපිය කියවා නැති ඇත්තන් මේ ලිපියට පෙර ඒ ලිපිය කියවීම මැනවි.

සිරා කොලුවාගේ පෙම් ජවනිකාවක් සෑහෙන දොහකින් ලියා නැත. මගේ ලිපි කියවීමට කාමරයට එන යන ඇත්තන් සමහරෙක් පෙම් ජවනිකා වලට වඩාත්  ඇළුම් කරති. ඒ බැව් ඒ අයගේ ප්‍ර‍තිචාර වලින් පැහැදිලි වී තිබේ. සිරා කොලුවාගේ අතීත පෙම් ජවනිකා සීරුවට මාරුවට මෙතුවක් දවසක් ලියාගෙන ආවෙමි. මේ එහි තවත් පියවරකි.

සිරා කොලුවාගේ මහවේ ප්‍රේමය අසාර්ථක වෑයමක් පමණක් වීමෙන් පසු මගේ චිත්ත සන්තානයම සෑහෙන දොහක් යනතුරු තිබුනේ මහා අන්ධකාරයක ගිලී යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ. මුලු හදින්ම යුවතියකට ඒක පාර්ශවීයව හෝ ආදරය කරන්නට යාම මහා වේදනාවක ඇරඹුම බව මම ඒ වන විට පසක් කරගෙන සිටියෙමි.

ඒ මහා මූසල කාල සීමාවේ මගෙ දුක යම් තරමකට හෝ පහව ගියේ නම් ඒ ෆාතිමාගේ සමාගමය නිසයි. එවකට මා සේවය කල දැන්වීම් ප්‍ර‍චාරණ ආයතනයේ මා අසලම සිටි චරිතය ඇයයි. කොළඹ ඉපදී කොළඹ හැදී වැඩී කොළඹ පරිසරයට හුරුව සිටි ෆාතිමා ලග මා සිතා සිටියාට වඩා තෙත් හදවතක් ඇති බැව් මා හට ප්‍ර‍ත්‍යක්ෂ වූයේ මේ කාලසීමාවේදීය.

අලුත් දවසක කාර්යාලයට ගිය හැම විටම හිමිදිරියේ ඇය කුමක් හෝ දෙයක් ගැන මා සමග දොඩමළු වෙයි. ඒ කථා බහ අවසානයේ ඇය මට හැමදාමත් කිව්වේ...

අමාලි ගැන හිතලා දුක් වෙන්න එපා...ඔයාට හොඳ කෙල්ලෙක් හොයාගන්න පුලුවන්. ඉවසීමෙන් ඉන්න...යනුවෙනි.

කාලය වෙනදා මෙන් ටික් ටික් හඬින් ගෙවී ගියේ බොහෝ සේ මන්දගාමීවය. ඒ කාල සීමාව අතර තුර මා අසල සිටින මෙතෙක් මා නුදුටු ෆාතිමා දැන හැඳින ගත්තෙමි. ඇගේ ලෙංගතුකම, මා කෙරෙහි ඇති දයාව ආදී කාරණා ප්‍ර‍මුඛ කොට දිනෙන් දින මා ඇය කෙරෙහි ආශක්ත වන බවක් මට දැනෙන විට මා ඇගෙන් වෙන් වී දුරට යන්නට බැරි තරමට ලං වී හමාරය.


බොහෝ අසාර්ථක ඒක පාර්ශවීය ප්‍රේම වෘතාන්ත වල හිත රිදුන අයගේ සිත් සනසන්න වෑයම් කරන අය හෙවත් සපෝටර්ලා හිත රිදුන පාර්ශවය සමග හිත් වලින් බැඳීම බොහෝ සේ සුලභ බව එවැනි කථා පුවත් කෙරෙහි අවධානය යොමු කරන ඔබට වැටහෙනු ඇත. මෙතැනදිත් නැවත වරක් සිදුවූයේ එයම බැව් නොසගවා ඔබට හෙළි කරන්නට මම රිසි වෙමි.

එතරම් රුවැත්තියක් නොවුනත් ප්‍රියමනාප පෙනුමක් තිබූ ෆාතිමා වෙනුවෙන් මගේ හිතේ ආලයක් ඉපදී තිබේ. ජාතිය, කුලය, ආගම වැනි කාරණා එවැනි හැගීමක් ඉදිරියේ අවලංගු කාසි වැනිය. මම ඒවා කිසිවිටෙක නොතැකුවෙමි. මා සමග තිබෙන ෆාතිමාගේ සමාගමය දිනෙන් දින මා ඇය වෙතම අද්දවා ගන්නට සමත් උත්තේජකයක් වැනිය. අවසානයේ අසරණ සිරා කොලුවාට නැවත වරක් අර  අසික්කිත ලෙඩේ වැළඳී හමාරය. මේ අසනීපය වැළඳුනොත් සමහරුන්ට සුව වෙන්නට කල් ගත වෙයි. සමහරුන්ට ඉක්මනින් සුව වෙයි. එය රෝගයේ බරපතල කම අනුව තීරණය වන්නකි.

ආලයක් හිතේ හිරකරගෙන ඉන්නට ඉතා අමාරුය. ලගම හිතවතුන් කීප දෙනෙකුට හෝ එය සැල කිරීමෙන් සිතට යම් තරමක සැහැල්ලුවක් මෙන්ම ආදරය ලබා ගන්නට යන ගමන පිළිබඳව යම් සැලසුමක්ද අටවා ගැනීමට හැකියාවක් ලැබේ.

එකල මාසයකට වරක් හෝ දෙකක් සිකුරාදා දිනවල  සන්ධ්‍යා භාගයේදී බොරැල්ල Mint Leaf අවන් හලේදී මගේ සේවා ස්ථානයේ උන් සමග අඩියක් ගසන්නට සැට් වීම සාමාන්‍ය කාරණාවක් වී තිබුනි. පුබුදු, චන්දන, ජීවන් මේ මිත්තර සම්පත්තියට අයත් වූවෝ වෙති. මේ අතරින් පුබුදු, ජීවන් කොළඹ පරිසරයේ හැදී වැඩී තිබුන අතර පුබුදු අපගේ ප්‍ර‍ධාන ඩිසයිනරයා මෙන්ම අපගේ නොයෙක් ගැටලු වලට විසඳුම් ලබා දෙන ලොකු අයියාගේ චරිතයද රඟපෑ චරිතය වූවේය. ඔහු ඉදිරියේ අපි අපේ පුද්ගලික ගැටලු පවා දිග හරින්නේ ඔහුගෙන් ඒවාට සාධාරණ විසඳුම් ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙනි. චන්දනයා දකුණු පළාතේ චරිතයක් වූ අතර ජීවන් දමිළ දෙමාපිය යුවලකට දාව 83 කලු ජූලිය අස්සේ ඉපදුන එකෙකු නිසා ඔහුගේ මතු ආරක්ෂාව පතා නමේ මුල කොටස සිංහල නමක් සේ දිස්වෙන පරිදි යොදා තිබුනි. ඒ කථා පුවතත් මෙවැනිම සැට් වීමකදී වරක් ඒකා විසින් ඇඳ බෑ අන්දම මට මතකය. ජාතකය එසේ වුවත් කාර්යාල පරිසරයේදී අපි සියල්ලොම ඉතාම සමගි සම්පන්නව සිටියෙමු.

එක් වැසිබර සන්ධ්‍යාවක මේ අවන් හල් සෙවනේදී ප්‍රථම වතාවට ෆාතිමා පිළිබඳ කාරණය මම නොසගවා උන් හට පැවසුවෙමි. පානය කරන්නට ඉහළට ගත් රහ මෙර වීදුරු පසෙක තබා ඔව්හු පුදුමයෙන් වාගේ මා දෙස එක එල්ලේ බලා සිට ඇසුවේ එකම එක පුරස්නයකි.

උඹ සිරාවටමද ඔය කියන්නෙ...

මම ඔව් යනුවෙන් මුණිවත බිඳ දැමුවෙමි.

එකෙනෙහිම මා වෙත එළැඹි ජීවන් මා දැඩිව වැළඳ ගනිමින් මා හට සුභ පැතුවේය.

ඒකි ගොඩාක් හොඳ කෙල්ලෙක් බං...මම ගොඩාක් කැමතියි උඹලා දෙන්නා එකතු වෙනවා නම්...හැබැයි පුතෝ මේ ගේම ලේසි වෙයි කියලා නම් හිතන්න එපා. මුස්ලිම් පවුලකින් වෙන ආගමක එකෙක් කෙල්ලෙක් ගන්නවා කියන එක පට්ට ගේමක්. දැන් බලහං අපියි, ෆාතිමයි දෙගොල්ලොම කථා කරන්නෙ දෙමළ....එහෙම කියලා අපිටවත් බෑ බං උන්ව බඳින්න. ඒත් උඹ සැලෙන්න එපා. ජීවන් මගෙන් මෑත් වෙමින් කී වදන් මා හට තවම මතකය.

උඹ ඉක්මනින් ඔය අදහස ෆාතිමාට කියපං...අර කෝච්චියෙ ලව් එක වගේ ඇද ඇද ඉන්න එපා. හැබැයි පුතෝ ඒකි හිතයි උඹ විහිළු කරනවා කියලා...බලහංකො බොරු නම්. පුබුදු එසේ කීවේය.

එයින් අනතුරුව මේ පිළිබඳ බොහෝ දුරට අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව අපි විසිර ගියෙමු.  ඊලග සතියේ දිනක මගේ සිතැගි ෆාතිමාට කියන්නට මම ඉටා ගතිමි. සෑම දිනෙකම සේවය නිමවී ඇය නිවෙස බලා යන්නට අතුරු පාරට පිවිසෙන්නේ මා සමගම වීම මට මහත් සහනයකි. මගේ සැලසුම් පිළිබඳ දන්නා අනෙක් උන් කිසිවෙක් අපට බාධා කරන්නට නොපැමිණියෝය.

ඇය පැණි නාරං කන්නට ඉතා මනාපය. අපේ නිවසේ තිබෙන පැණි නාරං ගසේ ඵලදාව ඒ වන විට හොඳ තත්වයේ පැවතිනි. මම උරයක් පිරෙන්නට නාරං කඩා පසුදින ෆාතිමා වෙත ලබා දුන්නෙමි. ඊටත් පසු දින ඇය ඒවායේ අනර්ඝබව කියමින් මා හට නොයෙක් වර ස්තූති වන්ත වූවාය. අද දවසෙ මූඩ් එක හොඳයි..හැන්දෑවට මගේ අදහස කියලා දාලා හිත සැහැල්ලු කරගන්නවා. මම එසේ සිතීමි.

තවම වැඩ ඉවර නැද්ද? මම නම් යන්න යන්නෙ..එනවද ? ෆාතිමාගේ සුන්දර දෑස මා දෙස බලා සිටින්නේ මා අපහසුතාවයකට පත් කරමිනි. තවත් මොහොතකුදු පමා නොවී මම ඇයත් සමග කාර්යාලයෙන් ඉවතට පැමිණියෙමි. බොරැල්ල කොටා මාර්ගයට දිවෙන කාර්යාල අතුරු මාවතේ දැන් අපි දෙන්නා පමණි.

ෆාතිමා...මම ඇය දෙස හොරෙන් බලා තෙපලුවෙමි.

වෙනදාට සල්වාර් ඇදුමකින් සැරසී කාර්යාලයට එන ඇය අද දිගු සායක් සමග බ්ලව්සයක් හැඳ තිබේ. මේ ඇඳුමට ඇය ඉතා අලංකාරව දිස් වෙන බව මගේ ඇතුලු හදට දැනිනි. ඇගේ විලවුන් සුවඳ මගේ නාස් පුඩු ඔස්සේ ඉහළට ඇදෙන්නට වෙර දරයි. මුස්ලිම් යුවතියන් හිස ආවරණය කරනවා උවත්..ෆාතිමා එසේ නැත. ඇය ඒ රෙදි කඩෙන් උරහිස කොටස ආවරණය කරගෙන සිටියාය.

ඇයි...මොහොතකට පසු ඇය පිළිවදන් දුන්නාය.

මට කියන්න දෙයක් තියෙනවා...

ඉතින් කියන්න.

කලින් වතාවේ ඇප්ලිකේෂන් දමන්නට ගිය මගේ භෞමික අඛණ්ඩතාව ඒ වන විට යම් සාධනීය මට්ටමකට පැමිණ තිබූ නිසා සිතැගි පවසන්නට විළියක් නැත.

මම ඔයාට කැමතියි...මම ආයාසයකින් තොරව කියුවෙමි.

අහෝ...ෆාතිමා එය විහිලුවක් ලෙස සිතා සැනෙකින් බැහැර කළාය. මා හට පුබුදුගේ වදන් සිහිවූවේය.

අනේ අනේ...ඔයත් මාර විහිළු තමයි කරන්නෙ...අැය මගේ උරහිස ඇගේ උරහිසෙන් තල්ලු කරමින් පැවසුවාය.

අධෛර්යමත් නොවී මම නැවත වතාවක් එම දෙබසම තෙපළුවෙමි. 

ෆාතිමාගේ මුහුණේ කිසිම වෙනසක් නැත. ඇය අඛණ්ඩව සිනා සෙන්නේ මම විහිළු කරනවා යැයි සිතාගෙනය.

මේක විහිළුවක් නෙමෙයි ෆාතිමා...මම ඔයාට කැමතියි ...ආදරෙයි.

ඒ වදනින් පසුව ෆාතිමාගේ මුවේ වූ සිනාව අතුරු දහන් වූ සෙයකි. ඇය අදහා ගත නොහැකිව පුදුමයෙන් මෙන් මා දෙස දෑස් ලොකු කර බලා උන්නාය.

ඔය ඇත්තමද ? මම කවදාවත් හිතුවෙ නෑ ඔයා මට ආදරේ කරයි කියලා...ඇයි මට ආදරේ කරන්න හිතුනෙ.

ෆාතිමා මගේ අත අල්ලා ගත්තාය. මගේ හදවත ආදරයෙන් පිරී ඉතිරී ගොසිනි.

අමාලිට ආදරේ කරන්න ගිහිල්ලා රිදුන හිත හැදුවෙ ඔයා. ඔයා ගොඩාක් හොඳ ගතිගුණ තියෙන කෙල්ලෙක්. ඉතින් මට ආදරය කරන්නෙ නැතුව ඉන්න බැරි උනා.

ෆාතිමා මා දෙස මහත් භක්තියෙන් යුතුව බලා උන්නාය.

ඔයා දන්නවා අපි දෙන්නා ආගම් දෙකක. මේක ලේසි වෙන්නෙ නෑ...ඔයාට තේරෙනවනෙ...මට දවස් කීපයක් දෙන්න. මම මේ ගැන කල්පනා කරලා ඔයාට උත්තරයක් දෙන්නං. එදින ඇය මගෙන් සමුගත්තේ එසේ තෙපලීමෙන් අනතුරුවයි.

ෆාතිමාගේ පිළිතුර කුමක් වේදැයි දෙගිඩියාවෙන් යුතු දින කීපයක් ගත කළෙමි. ඒ දින කීපයේ ඇය මේ පිළිබද කිසිම දෙයක් නොකියන්නට තරම් පරිස්සම් වූවාය. එහෙත් එක් දිනක් සවසක ඇය අන් අයට නොඇසෙන සේ,

අද මා එක්ක යන්න එන්න. එදා ඔයා අහපු දේ ගැන මම කල්පනා කරලා තීරණයක් ගත්තා. ඇය මා දෙස එක එල්ලේ බලා පැවසුවාය.

සිරිත් පරිදි අපි දෙදෙනා දැන් වෙනදා මෙන්ම කොටා මාර්ගයට වැටෙන අතුරු පාරේ ඇවිදිමින් සිටින්නෙමු.

මම මෙහෙම කිව්වා කියලා ඔයා කලබල වෙන්න එපා. ඔයා ගොඩාක් හොඳ කොල්ලෙක්. ගොඩාක් සීරියස් කොල්ලෙක්. මට ඔයාගෙ හිත යම් දවසක මා නිසා රිදෙනවා බලා ඉන්න බෑ. මට මේකට කැමති වෙන්න බෑ. ඔයා දන්නවා මගේ පවුලෙ අය ඔයාව බදිනවට කීයටවත් කැමති වෙන්නෙ නෑ. මම ඔයා එක්ක පැනලා ගියත් ඒ අය මට නිදහසේ ජීවත් වෙන්න දෙන්නෙත් නෑ. ඔයාගෙ ජීවිතේටත් ඒක අවධානමක්. 

මට මගේ අම්මා හිටියෙ නැත්තං ඔයා එක්ක එන්න හිත හදාගන්න තිබුනා. ඒත් මම එහෙම දෙයක් දැන් කලොත් මගේ අයියා..තාත්තා, නෑදෑයො හැමෝම බනින්නෙ අම්මට....කෙල්ලව හරියට හැදුවෙ නෑ කියලා. අම්මා පව්...ඒ නිසා මට ඒ තත්වෙට එයාව පත් කරන්න බෑ. මගෙන් වරදක් උනා නම්, මම කථා බහ කරපු විදියට ඔයාගෙ හිතේ බලාපොරොත්තුවක් ඇති උනා නම්,  මට සමාවෙන්න. ෆාතිමා දෑසේ කදුලු පුරවාගෙන මගේ අත අල්ලාගෙන සිටියාය.

කමක් නෑ ෆාතිමා...මම තරහා නෑ. මම ඇසෙන නොඇසෙන තරමට මිමිනුවෙමි.

මම එසේ පැවසූවත් ආදරයක් ඉපදුන චරිතයක් අසල ආදරයක් නැති අයුරින් හැසිරීම උගහටය. මම ඒ අත්දැකීම සිත් සේ වින්දෙමි.

ෆාතිමාගේ පිළිතුර පිළිබඳ කාර්යාලයේ මිත්තර කැල දැන සිටියෝය. ඔවුන් තවත් අවස්ථාවක් හෝ ලැබෙනු ඇතැයි යන සිතුවිල්ලෙන් දිවා ආහාර මේසයේ මමත් ෆාතිමාත් නොයෙක් වර තනි කළෝය. ෆාතිමා දිවා ආහාරය මා සමග ලබා ගැනීමට ටික දිනකින් පුරුදු වූවාය.

එවන් දවසක ඇය මුල් වරට අැගේ බත් පතෙහි වූ ව්‍යංජන මා සමග බෙදා ගත්තාය. ඇගේ මව පිළියෙල කල මාලු කරියේ රස මට තවමත් අමතක නොවේ.

දන්නවද වැඩක්..මම කවදාවත් කා එක්කවත් කෑම බෙදාගෙන කාලා නෑ. ඉස්කෝලෙ යන කාලෙදිවත් මම මගේ යාලුවෙක් එක්කවත් කෑම බෙදාගෙන කාලා නෑ. ඔයා එක්ක තමයි පළවෙනි වතාවට මෙහෙම කරන්නෙ. ඇය සිනාසෙමින් පැවසුවාය. මා ඇයගේ බත් පතෙහි තබන මගේ මව පිසූ ආහාර ඇය රස කරමින් භුක්ති වින්දාය. ඇය මේවා හලාල් දැයි සොයන්නට ගියේ නැත.

අමාලිට ආදරය කරන්න ගිහින් ඔයාගෙ හිත රිදුන තරම මට දැනුනා. ඔයා ගැන අනුකම්පාවෙන් තමයි මම ඔයාට ලං උනේ. ඒ හිත හදන්න. ඒත් ඔයා ඒක වැරදියට තේරුම් ගත්තෙ. ෆාතිමාගේ වදන් මම රිදුම් දෙන හදවතින් යුතුව අසා සිටියෙමි.

ඊට දින කීපයකට පසුව පුවත් පතක තිබූ දැන්වීමක් අනුව අපගේ එවකට සේවා ස්ථානයට වඩා හොඳ කාර්යාලයක ඩිසයිනර් තනතුරකට ඇය අයඳුම් කලේ මගේද අදහස් විමසීමෙන් අනතුරුවයි. ඒ කාලයේ හැටියට ඒ තනතුරට ගෙවූ වැටුප මෙන්ම ලැබෙන පහසුකම්ද ඉතා හොද මට්ටමක වූයෙන් මම ඇයව ඒ සඳහා දිරිමත් කළෙමි. වට කීපයක් පැවැත්වුන තෝරාගැනීමේ පරීක්ෂණ සඳහා සහභාගි වී සිටි ෆාතිමා සිරිත් පරිදි අප සමග සේවය කරමින් උන්නාය.

ඒ වසරේ නොවැම්බර් මස දිනක ඇය මා කරා ආවේ මගේ වැඩ කටයුතු අවසන් වන්නට ඔන්න මෙන්න තිබියදීය.

මම මේ අවුරුද්දෙ දෙසැම්බර් වලින් පස්සෙ මෙහෙ වැඩට එන්නෙ  නෑ. ලබන අවුරුද්දෙ ජනාවරි මුල ඉදන් අලුත් තැනට යනවා. අද තමයි මාව තෝරගත්තා කියලා දැන්වුවෙ.

ෆාතිමාගේ මේ වදන් ඒ අවස්ථාවේ මා හට ඇති කලේ මහත් වූ වේදනාවකි. ඇත්තෙන්ම එය ඇගේ ජයග්‍ර‍හණයක් වුවත්, ඇයට හිතවත් කෙනෙකු ලෙස මා සතුටට පත් විය යුතු වුවත්, ඈ වෙනුවෙන් මගේ හිතේ ඉපදී ඇති ආදරයේ නාමයෙන් එය මා හට මහත් වේදනාවක්ම වූවේය. 

ෆාතිමා නැති කාර්යාලයක සේවය කිරීම සිතාගන්නටත් නොහැකිය. කාර්යාල පරිසරයේදී ඇය මගේ හොඳම මිතුරියයි. මා පිළිබඳ වඩාත්ම සැළකිලිමත් කෙනාය. දිවා ආහාරය ගන්නට මා සමග එකතු වෙන සගයාය. ඉඳින් එවැනි චරිතයක් ඒ පරිසරයෙන් සමුගත් පසු ඉතිරිවන දරුණු හුදෙකලාව මා කෙසේ දරා ගන්නද ?

මේ හුදෙකලාව අනාගතයේ දවසක මා හට මහත් වූ වේදනාවක් විය හැකි බව ඉවෙන් මෙන් දැනුන හෙයින් මම එදින සිටම ෆාතිමාට කලියෙන් මේ ඔපීසියෙන් සමුගන්නේ යැයි ඉටා ගත්තෙමි. අවසානයේ මම සාර්ථක වීමි. පුවත් පත් දැන්වීමකට අනුව අයදුම්  කොට මම වෙනත් ආයතනයක සේවයට එක් වන්නට සමත් වූයෙමි.

ඔයාට හැකි ඉක්මනින් සේවයට වාර්තා කරන්න. ඔව්හු එසේ දැනුම් දුන් හෙයින් මම ෆාතිමාට කලියෙන්ම එතෙක් සේවය කල කාර්යාලයට සහ මිත්තර සම්පත්තියට සමු දුන්නෙමි.

ඇගෙන් සමුගත් පසු කාලයක් ගත වන තුරු මගේ චිත්ත සන්තානයම මහත් වූ පාලුවකින් පිරී ගිය බව සත්‍යයකි. මගේ පාසල් මිතුරන් සමග මධුවිතකට සම්බන්ධ වූ බොහෝ විට මම මේ ආදර කථාව උන් සමග පැවසුවෙමි. එහෙත් අද තරම් ජාතිවාදී අදහස් එකල පැතිර නොතිබුනත් මගේ මිතුරන් ඇයට එක හෙළාම විරුද්ධ වූවෝය.

තොට සිංහල කෙල්ලෙක් හිටියෙම නැද්ද යකෝ ලව් කරන්න. ඔව් සාහසික ලෙස ප්‍ර‍ශ්න කළෝය.

ඕක නොකෙරුන එකම තමයි හොඳ...අපි නම් පොඩ්ඩක්වත් කැමති නෑ මුස්ලිම් එකියක් කරේ එල්ලගන්නවට...ඔව්හු මගේ වේදනාව නොහඳුනන ලෙස තෙපලෝය.

එදා මෙදාතුර ආදරයක් නිසා මට මේ තරම් රිදුන තවත් කාලයක් නැත. ෆාතිමාගෙන් වෙන්වීමෙන් පසු මා හට දැනුන වේදනාව වචනයෙන් කිව නොහැකි තරමේ එකකි. 

ඔයාට සුභ අනාගතයක්. ඔයාට ලස්සන අනාගතයක් තියේවි. ලස්සන කෙල්ලෙකුත් මුණ ගැසේවි. එතනට යන්න නං ඔයා මගෙන් ඈත් වෙලා හිත හදාගන්න ඕනෙ. ඒ නිසා මම ටික කාලයකට ඔයා එක්ක කථා බහ කරන එක නවත්තන්නං. SMS එවන්නෙ නැතුව ඉන්නං...එහෙම උනා කියලා මම තරහා උනා කියලා හිතන්න එපා හොඳද ? අලුත් රස්සාවටයි...ඔයාගෙ අනාගතයටයි, මම හදවතින්ම සුභ පතනවා.

මම ෆාතිමාගෙන් සමු ගන්නා දා ඇය අවසාන වශයෙන් එසේ පැවසුවාය.

හදවතේ ගැඹුරටම දැනෙන ආදරයක් හමුවේ ජාති ජන්ම ආගම් භේද නොදැනෙන බව මම පසක් කරගත්තෙමි. දැනෙන්නේ ආදරයේ සුන්දරත්වය පමණකි. එකම පරිසරයක තමන්ට බහ නොදුන් ආදරියක සමග පැය ගනනාවක් ගෙවීම අතිශයින් අපහසු සහ වේදනාකාරී කටයුත්තක් බවට මෙවැනි අත්දැකීමක් විඳි සියලු දෙනා සාක්ෂි දරනු ඇත.



මම කාමරේ අරින සිරා කොලුවා.



ප.ලි

ෆාතිමා පසු කලෙක මුස්ලිම් ජාතික තරුණයෙකු සමග විවාපත් වූවාය. අද මේ දෙපලම ලංකාවෙන් බැහැර රටක වාසය කරන්නේ දරු සුරතල්ද බලමිනි.


පහළින් දැක්වෙන ගීතය කරළියට ආවේ ෆාතිමා නිසා රිදුන මගේ හිත යලිත් යථා තත්වයට පත් වෙමින් තිබූ කාල සමයේදී බැව් මට මතකය. වර්තමානයේ වුවද මේ ගීතය ශ්‍ර‍වනය වන ඕනෑම විටක ෆාතිමාගේ ඇසුරේ ගතවූ  අතීතයේ සුන්දර දවසක මගේ සිත නතර වෙයි.



සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි
මං ඔබට ආදරෙයි මගේ ආදරේ නුඹයි....

නාමලක්‌ වගේ සිතුම් සෙනෙහසින් පිරේ
ආදරෙන් අරන් ඇවිත් තුරුළු වන්නෙමි
සදපාන ඔබ වැනි නිල් අහසේ නැළැවුණි
මගෙ නෙත් පුරා ගැලු අනන්ත සතුට නිම්නැති....

සංසාර සිහිනයේ....

මා ඔබෙන් පැතු පැතුම් ආදරෙන් ගෙනා
රෝස මල් යහන් ගැබේ සිහින තාරුකා
මනමාල සිත පුරා දගකාරකම තියා
ඔබ මා ළගින් නතරවෙන්න ආදරෙයි කියා....


ගායනය  - චාමික සිරිමාන්න
පද - චන්න ජයනාත්
සංගීතය -  රෝහණ වීරසිංහ




51 comments:

  1. ආදරයට ජාති ආගම් කුල මල පන්ති භේද මුකුත් නෑ තමයි. ඒත් අවාසනාවකට අපි ජීවත් වෙන සමාජෙ ඔය හැම කෙහෙල්මලක්ම තියෙනවා.
    ආදරය කියන්නෙ හිමිකරගැනීමම නෙමෙයිනේ.

    ReplyDelete
    Replies
    1. ආදරය කියන්නෙ හිමිකරගැනීමම නෙමෙයි.....මම ඔය අදහස දැක්වූවෙ ඔබේ ආදර කථාව පලවුන දවසෙ මතකද ?

      නියම පෙම්වතුන් කිසිදිනෙක එක් නොවේ...එක් වූ කිසිවෙකුත් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ කියලා කිව්වෙ ලූෂන් බුලත්සිංහල.

      Delete
  2. මේ තරමටම රැඩිකල් වෙන්න කෙනෙකුට අමාරුයි.අපේ තියෙන සමාජ වටිනාකම් එක්ක මේ විවාහය සිද්දවෙන්න තිබුන ඉඩකඩ බොහොම අඩුයි.නමුත් ආදරය කියන්නෙ විවහයම නෙවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ආදරය කියන්නෙ විවාහයටත් වඩා හිමිකරගැනීමම නෙමෙයි කියන එක තමයි සුන්දර. ඒ නිසයි වෙන් වෙන ආදරවන්තියටත් සුභ අනාගතයක් පතන්නෙ. එදා මම ෆාතිමා එක්ක විවාහ උනා නම්..අර හලාල් කචල් යන කාලෙ මොනවා වෙයිද හැබෑටම...

      Delete
  3. බොහොම සංවේදී කතාවක් සිරා. පරණ ආදර කතා ලියන්න කියල කිව්වාට මේ කතා කියවනකොට හරි වේදනාවක් ඇති වෙනවා. හිමි නැති ආදරේ හැමදාම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හිමි නැති ආදරේ හැමදාම ලස්සනයි...මොන තරම් ලස්සන අදහසක්ද...ඒ අදහස ඇතුලෙ මගේ කථාවම තියෙනවා කියලා මට හිතෙනවා...

      Delete
  4. හැලයට හා ඉමා ට එකඟයිමි

    ReplyDelete
  5. නැවතත් සිරා මල්ලි කරලියේ .....බොලොග් කියවන්න නැ බන් ....

    ප්‍රේම පත්‍ර බොළඳ වචන කුළු ගැන්වූ ආදරයක්
    සිටු මැදුරක විසූ ඔබට මගේ පැලේ ඉඩ මදි නම්
    කුමාරයෙකු අත ගන්නට වේවි වාසනා.....

    හිතට දුකක් ඇති වෙනවා
    ඒ වුනාට නෑ කමක් නෑ
    මම තරහා නෑ.....මම තරහා නෑ....
    අමෘතයද ඉවත හෙලයි
    හිත නැති නම් මුව තැබුමට
    ඉරණම එය විසඳනු ඇත
    මටත් කලක් උදාවේවි
    රැහැන් වෙලා බැඳගන්නට
    බැහැනෙ ආදරේ.....

    හිතට දුකක් ඇති වෙනවා
    ඒ වුනාට නෑ කමක් නෑ
    මම තරහා නෑ....
    මම තරහා නෑ....

    ගී පද /සංගීතය - පුණ්‍යසිරි මහවත්ත
    ගයනය - ආචාර්‍ය වික්ටර් රත්නායක
    https://www.youtube.com/watch?v=IGjrv2uMoIs&feature=youtu.be

    ReplyDelete
    Replies
    1. මේ සින්දුව අහලම නෑ ගොයියො...වෙලාවක අහලා බලන්නං..බොලා ගේන්නෙ සමහරක් වෙලාවට අපි අහලම නැති එව්වා.

      හිතට දුකක් ඇති වෙනවා
      ඒ වුනාට නෑ කමක් නෑ
      මම තරහා නෑ....
      මම තරහා නෑ....

      බොට ජය !

      Delete
  6. උඹ මොන විදියට හිතුවත් මේ සමා‍ජෙ හැටියට ඔය වැඩේ කරගත්තනං යුද්ධයක් ඇතිවෙලා තමයි නවතින්නෙ. ආදරේට ජාති ආගම් බේද නෑ කියල කිවුවට ආදරේ කරන උං දෙන්නට ඕන විදියට හැමදේම කරගන්න ලැබෙයිද?

    ReplyDelete
    Replies
    1. යුද්ධයක් නෙමෙයි බොලං..යුද්ධ දෙකක්...මොකද අපේ ගෙදර අය කැමති වෙයි කියලද....එහෙම උනා නම් අපිට සියලු දෙනාම අතඇරලා හුදෙකලා වෙන්න වෙනවා.

      Delete
  7. ඇත්තටම දුකයි සිරෝ. ආදරයේ වේදනාව මමත් ඉතා දරුණු ලෙස විඳවලා තියනවා. අපේ ජාති ආගම් බේද නිසා ආදරය වැනසෙන හැටි දැක්කම මේ ලෝකේ කොයිතරම් කුරිරුයිද කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ආදරයේ වේදනාවත් වෙලාවකට රසයක් නේද විචාරක තුමා...හුදෙකලාවේ ඉන්න වෙලාවට විරහවේ මතක සටහන් බොහොම සුන්දරයි කියලා හිතෙනවා.

      Delete
  8. දුක තමයි රංජනී...

    නමුත් ඇය ගත් තීරණය බුද්ධිමත් බව මට හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම හිතනවා බං...කාලයක් ආදරය කරලා අපිට වෙන්වෙන්න උනා නම් මට පිස්සු හැදෙයි. ඒ නිසා මේ විදියට සියලු දේ සිදුඋන එක හොදයි.

      Delete
  9. ආගම් කියන ඒවත් මිනිස්සුන්ගේ හිත් එක්ක කොච්චර සෙල්ලම් කරනවද? වැරදි ආගම් කතෘවරුන්ද නැත්නම් අදහන අපිද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඒ ඒ ශාස්තෘෘවරු දේශනා කරපු මාර්ගයෙ යන්නෙ නැතුව වර්තමාන අනුගාමිකයො මේ වගේ පටු තැන් වලින් තමයි ධර්මය අල්ලගෙන ඉන්නෙ.

      Delete
  10. සියල් සිරිත් දෑ කුල ගොත් සේරම ඔබ ගන්න ....
    මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න.....
    තිරුක්කරුල් පොත අරින්න දෑස පියගන්න.....
    මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න.....

    ReplyDelete
    Replies
    1. රත්න ශ්‍රී ගෙ අපූරු පදවැලක්...මේ කථාවෙ යටි පෙල මේ පද පේලි 4 ඇතුලෙ සැගවිලා.

      Delete
  11. මගේ මතකය ඇදි යනව ඔය මංගල්ලේ කැඩුණු දවස් වල හොටු පෙර පෙර ඔය කතාව කියව කියව හිටිය. මටම කිව්වා 5 සැරේකට වැඩිය.. කොහොම හරි කොල්ල බේරුනා. නැත්නම් මෙලහකට සිරා හලාල් වෙලා..

    ReplyDelete
    Replies
    1. කවුද බොලං මේ...පොඩි ඉඟියක් දෙන්න බැරිද බොලා කවුද කියාලා...

      Delete
  12. Replies
    1. ආෆියාගෙ කථාව මට මිස් වෙලා තිබුනෙ...හැබැයි ඒ කථාවෙ උඹ හිතින් පෙම් කරන පාටක් පේන්න නෑ.

      Delete
    2. මටත් මතක් වුණේ ඒ පෝස්ට් එක.

      Delete
    3. පෙම් නොකලා කියන්නත් බෑ

      Delete
    4. ඒක පාර්ශවීයව පෙම් කලා කියමු එහෙනං...

      Delete
  13. අනිවාර්යෙන්ම යුද්ද දකකට මැදිවෙන්නම වෙනවා ලොක්කට ඒ සීන් කෝන් එක ඒ විදිහට උනා නම්.අනික තමයි ඒ කෙල්ලගේ ගෙදරින් විතරක් නෙමෙයි අදුරන නාදුනන සේරම මුස්ලිමුන් බොට විරුද්දව එනවා.මොක උනත් නොලද ප්‍රේමය සුන්දරයි තමයි බං..

    ReplyDelete
    Replies
    1. කථාව හැබෑව...එහෙම උනා නම් අර හලාල් සටන් ඇවිලෙන කාලෙ මට ඉන්න වෙන්නෙ හැංගිලා...නොලද ප්‍රේමය සුන්දරයි..මම නොදන්නවයැ ඒ හරිය...

      Delete
  14. හැබැයි ලෝකය විසින් දෙදෙනා තනි කරානම් සුන්දර පවුල් ජීවිතයක් ගත කරන්න තිබුණා. මොනවා වුණත් වුණේ නැති දේ ගැන කථා නොකර ඉමු.

    ReplyDelete
    Replies
    1. ලෝකය තනි කලාට පස්සෙ තමන්ට ඉන්නෙ අනිත් කෙනා විතරයි කියන සිතුවිල්ලෙන් තදට බැදුනොත් සාර්ථක වෙයි. එහෙම නැති උනොත් අසාර්ථක වෙයි.

      Delete
  15. ඔය අාදර කතාව ගැන නම් මම අැත්තටම දුක් වෙනවා සහෝදරයා. මමත් ඔය වගේම තැනක හිටියා. ඒ්ත මට මගේ අාදරය ගැන කියන්න හයියක් තිබ්බේ නෑ. අපි කතා කලේ අැස් වලින් විතරයි. මල්ලිගේ කතාවේ අන්තිමට කියපු දේ තමයි වර්තමාන තත්වය‍. මිනිස්සු මොනා කිව්වත් අාදරය අැති වෙන්නේ ජාති අාගම් කුල බලලා නෙමෙයි. ඒකයි අැත්ත කතාව. ඒක දන්නේ ඒ අත්දැකීම විදපු කෙනෙක් විතරයි. දුක තමයි මොනවා කරන්නද? උඹ මාව දන්නවත් අැති මල්ලී.

    ReplyDelete
    Replies
    1. මොකද නොදන්නෙ...ඒ කාලෙ පාසලේ සෞඛ්‍යදාන අංශයෙ නේද වැඩි වෙලා කාලය ගත කලේ.....

      මෙවැනි කථා තේමා තිබුන කීප දෙනෙකුම මම දන්නවා. ඒ කිසිවෙකුත් ඒවායෙ අවසානය දක්වා ගිහින් කෙල්ලව දිනාගත්තෙ නෑ. අපේ සමාජයෙ තියෙන ආර්ථික හා වෙනත් බාධක එක්ක මෙවැනි දේකට පූර්ණකාලීනව කැපවෙන්න බොහෝ අයට ධෛර්යයක් නෑ.

      Delete
    2. අනිවා සෞඛ්‍යදානේ තමයි. කතාව අැත්ත. එන බාධකත් එක්ක අසරණ වෙනවා. අපේ මුල් අත අැරලා දාලා යන්න අමාරුයි අපිට.

      Delete
  16. මේක කරා නම් ලොවෙත් දෙන්නට වෙනම ඉන්න වෙනවා ටික කාලයක්.හැමදාම හිත් රිදීම් ටික ටික වෙයි.එව්ව නම් මොනාද?
    හදවත පැත්තකින් තියලා ඔලුවට චෑන්ස් එක දීපු තීරණයක්.
    සුජීව ප්‍රසන්නාආරච්චි ගොයියා ලියල තිබුනා 'ශහීනා' වගේ කතාවක්. ඒකත් මරු.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ මට වඩා දුර ෆාතිමා දැක්කා. අපි දෙපාර්ශවයේම අකමැත්තෙන් කසාද බැන්දා නම් අපිට හිමි වන දේට වඩා අහිමි වන දේ වැඩියි. සිංහල බෞද්ධ කෙල්ලෙක්ට කැමති මගේ දෙමාපියන් මෙවැනි කෙනෙකුට මොන විදියේ ප්‍ර‍තිචාරයක් දක්වයිද...මේ සමාජයෙ තවත් ඕනෙ තරම් කෙල්ලො ඉන්දැද්දි හැමදේම කැප කරගෙන මොකට දුක් විදිනවද....

      Delete
  17. ඔය ඒකේ හැටි.................. දැන් තේරෙනවා නැතෑ///////

    ReplyDelete
    Replies
    1. මොනවට කියනවද..දැන් හොඳට වැටහෙනවා...කාලය මැව් වෙනසක අරුමේ කියලා තමයි කියන්න වෙන්නෙ.

      Delete
  18. ඔබගේ මේ අත්දැකීමට මා ලියූ මේ ගීතය ගැලපෙනවා කියා සිතුනා.

    ReplyDelete
    Replies
    1. ඔබේ පද පෙල සහ මගේ මේ කථාව අතර යම් ගැලපීමක් තිබෙන බව මටත් සිතෙනවා. ලබා ගන්න බැරි බව තහවුරු උනාට පස්සෙ හිතේ තියෙන ආදරේ දරාගෙන, අනාගත සිහින දකින්නෙ නැතුව ඉන්න එක හරිම අපහසු කාර්යයක්.

      Delete
  19. ලක්ෂ 6 ක් වෙන්න හිට්ස් 40 යි අඩු. සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. දැං හය පැනල. මගෙනුත් සුබ පැතුම් !!

      Delete
    2. බොහොම ස්තූතියි දෙන්නටම....මම එදා ඉඳන් හිට්ස් බලාගෙන ලිව්වා නම් දැන් ලක්ෂ 10 ත් පැනලා...

      Delete
  20. ඔන්න මමත් ආව මේ පැත්තෙ........

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා මිතුරිය...

      Delete
  21. මං දන්න සිංහල එක්කෙනෙක් ඉන්නව මුස්ලිම් තරුණියක් ( මැලේ නොවන - මැලේ අයනම් මිශ්‍ර විවාහ කරගන්නව ) විවාහ කරගත්ත. හුඟාක් ඉස්සර. . මං දන්න විදිහට හොඳින් ඉන්නව. ඒත් කාන්තාවගේ පාර්ශවයේ අය සමග ආශ්‍රයක් නෑ.

    http://www.aslanmedia.com/aslan-media-columns/ummah-wake-up/item/217-can-muslim-women-marry-non-muslim-men


    //83 කලු ජූලිය අස්සේ ඉපදුන එකෙකු නිසා ඔහුගේ මතු ආරක්ෂාව පතා නමේ මුල කොටස සිංහල නමක් සේ දිස්වෙන පරිදි යොදා තිබුනි.//
    දෙමල පියා හා සිංහල මව ඇති කිහිපදෙනෙක් මවගේ වාසගම පාවිච්චි කරනව 83 ට පස්සෙ

    ReplyDelete
    Replies
    1. මම ඉතින් මැලේසියාවෙ හිටිය එකානෙ. ඒ මුස්ලිම් වර්ගය ලංකාවෙ වර්ගය නෙමෙයි. එයාලා අන්තගාමී නෑ. ආශ්‍ර‍ය කරන්නත් පහසුයි. මිශ්‍ර‍ විවාහ කරන්න පුලුවන්. නමුත් වේලාසන රජයේ අවසරය ලබා ගත යුතුයි. නැතිනම් එවැනි මගුල් වලට කඩා පනින හමුදාවක් ඉන්නවා. විශේෂයෙන් මුස්ලිම් තරුණියක් වෙනත් ආගමක පුරුෂයෙක් කසාද බඳින විට.

      83 දි ඒ ඇත්තො කලබල දැක්කා නොවැ. තමන්ගෙ දරුවන්ගෙ අනාගතයට දෙමළ බව ප්‍ර‍සිද්ධ වීමෙන් අනතුරක් වේවි කියන භය නිසා වෙන්න ඇති ජීවන්ට සහ අක්කට සිංහල හුරුව සහිත නම් දෙකක් යෙදුවෙ.

      Delete
  22. සංවේදී සටහනක්...ආදරේ කරන කාලේදී ජීවිතේම ආදරේ විතරක් උනාට, පවුලක් විදියට සමාජෙම කොටසක් වෙනකොට, එනකොට එන සියලුම ප්‍රශ්න වලට අවබෝධයෙන් මුහුණ දෙන්න පුළුවන් නම් විතරයි මේ වගේ සම්බන්ධයක් ඉදිරියට ගෙනි යන්න ඕනේ...ඒ ගැටළු වලට මුහුණ දෙන යථාර්තය ඒ තරම් සැහැල්ලු දේකුත් නෙවේ...ඒ නිසා බුද්ධිමත් තීරණ ගන්න එක තමයි වඩාත් හොඳ...දෙන්නෙක් ආදරේ කරලා ජිවිතයක් පටන් ගන්න ඕනේ, ජිවිතේ යුද්ධයක් කරගන්න නෙවේ, දරු පැටව් හදාගෙන ජිවිතේ විඳින්න...

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස සමග මමත් එකගයි. ආදර කථාවක්සු ඇතුලෙ සුරංගනා කථා කියන්න ලැබෙන්නෙ බොහොම සුළු කාලයක්. එතැනින් පස්සෙ එළැඹෙන්නෙ වගකීම් සහිත කාලයක්. දෙදෙනාගේ පෑහීම මත තමයි එතැන් සිට ඉඳිරි ගමනේ සාර්ථකත්වය තීරණය වෙන්නෙ.

      Delete
  23. ජීවිතේ කවියක්..
    ආදරේ එහි සොඳුරුතම වදනක්
    කඳුලැලි බිදක් හසරැලි පොදක්
    එකට එක් වූ විට දැනේ
    පෙර නොවිදි රසයක්…..
    ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තියෝ විවිධ සමාජ තලවලදි හමුවෙනවා වෙන්වෙනවා. පාසල් ජීවිතය, විශ්වවිද්‍යාල ජීවිතය, රැකියා ස්ථාන, සමාජයේ විවිධ සම්බන්ධතාවලදි හමුවෙනවා, සුහද වෙනවා, විවිධ හේතු, ස්ථාන මාරුවීම් ආදිය ලැබිලා වෙන්වෙලා යනවා.
    ”පියෙහි විප්පයෝගො දුක්ඛෝ” බුදු හාමුදුරුවෝ දේශනා කළේ එහෙමයි. පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකක්.

    ReplyDelete
  24. මම දන්න තරමින් මිශ්‍ර විවාහයකදි ලේසියෙන්ම ආගම අතෑරලා දාන්නේ බෞද්ධයෝ. මොනම හේතුවක් නිසාවත් ආගම ආදරය හෝ වෙන මොනයම් දෙයක් වෙනුවෙන්වත් වෙනස් නොකරන්නේ මුස්ලිම් අය.

    එපමණයි.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...