![]() |
| සිංහ රාජයේ හැකරැල්ලා ලංකාවට ආවේණික නැත |
![]() |
| සුපිරිසිදු ජලය සහිත දොල පහර |
![]() |
| giant wood spider |
අපගේ මගපෙන්වන්නා වූ අජිත් අයියා ඉතා සුලු වේලාවක් තුල අප හා ඉතා සුහද වු අතර ඔහු සිංහරාජයට යාබද ගමක අයෙකි. මගපෙන්වන්නන් අලුතින් බදවා ගැනීමේදී අසල්වාසී තරුණයන්ට ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ කුඩා කල සිට ඔවුන් මේ ප්‍රදේශයේ ගහකොළ, සතා සීපාව හදුනන නිසාය.
මෙම තනතුරට පත්වීමට පෙර ඒ ඒ අංශයන් කෙරෙහි සම්බන්ධ ලංකාවේ ප්රමුඛ මහාචාර්යවරු යටතේ භූ විද්‍යාව, සත්ව විද්‍යාව, ආදිය ඇතුලත් ඉතා වැදගත් පුහුණුවක් ලබා දී ඇති හෙයින් ගස් වැල් වර්ග සම්බන්ධව ඔවුනට ඉතා හොද දැනුමක් පවතී.
ඔහු කථාව ඇරඹුවේ මෙන්න මෙහෙමයි
අපි මේ ඇවිදින්නෙ සබරගමුව පළාතෙ... අද අපි සබරගමුව කිව්වට නියම නම නම් සපරගමුව, සපර කියන්නෙ වැද්දට කියන තවත් නමක්... වැදි ජනතාව අතීතයේ වැඩි වශයෙන් මේ ඉසව්වෙ ජීවත් වූ නිසා තමයි එහෙම නම යෙදෙන්න ඇත්තෙ. ජනප්‍රවාදෙ එන විදියට සිංහරාජ ඉසව්වෙ හිටියා කියන සිංහයා ගල් ගහලා මැරුවා කියන්නෙත් වැදි ජනතාවනෙ ඒ කථාවෙනුත් පැහැදිලි වෙනවා වැදි ජනතාව අතීතයේ මෙහි ජීවත් වුනා කියලා... ඒ උනාට ලංකාවෙ සිංහයො ජීවත් වුනා කියන්න තවමත් කිසිම සාධකයක් හමුවෙලා නෑ....
කොහොමද අයියේ අපි මේ ඇවිදින පාරවල් හැදුනෙ ? අප අතර වු නිහඩතාව බිදිමින් සිරා ප්‍රශ්නයක් නැගුවා...
ඉතිං ඒ වැඩෙන් සිංහරාජයට හානියක් වුනේ නැද්ද ? මගෙන් තවත් ප්‍රශ්නයක්...
හානියක් වුනේ නෑ කියන්න බෑ... ඒගොල්ලො ඉදිරිපත් කරපු සැලසුම බලලා තමයි ලංකාවෙ රජය මේ සදහා අනුමැතිය දීලා තියෙන්නෙ... ගස් කපද්දි ඊට වඩා හානියක් වෙලා තියෙනවා... තෙත් සදාහරිත වනාන්තරයක් විදියට උඩු වියන, යටි වියන ආදී වියන් කීපයක් විදියට වනාන්තරය පවතින නිසා විශාල ගසක් කපා බිම හෙලන විට පලාතෙම තියෙන ශාක විනාශවෙනවා....බලන්න මේ අපි යන පාර දෙපැත්තෙ ඉතා විශාලව හැදුන එක ගහක් වත් පේන්න නෑ... පදුරු වගේ ශාක ගොඩාක් තියෙනවා.... මේ වගේ වනාන්තරයක මේ විදියෙ වෙනසක් වුනේ ගස් කැපීම නිසා...
හොර කියන කුලයට අයත් ශක්තිමත් දැව ගන්න පුලුවන් ගස් තමයි ඒගොල්ලො කපලා තියෙන්නෙ.... ඔවුන්ගෙ ධීවර කර්මාන්තයට අවශ්‍ය දේවල් නිපදවා ගන්න තමයි ඒවා ගෙනිහින් තියෙන්නෙ... හොර කුලයේ ගස් ජලයට හොදින් ඔරොත්තු දීම ඊට හේතුවක්... අපේ තාත්තා කියන විදියට අඩි 60 - 70 ක් විතර දිග වාහන ගෙනල්ලා මේ කැපූ විශාල ගස් සම්පූර්ණයෙන්ම තමා ඒ අය පටවගෙන ගිහිල්ලා තියෙන්නෙ... ඒ කියන්නෙ කුට්ටි කිරීමකින් තොරව... පස්සෙ කොස්ගම කියන හරියෙදි කොටන් වලින් ලෑලි ලබාගෙන ඒ ලෑලි තමයි කැනඩාවට අපනයනය කරලා තියෙන්නෙ.... මේ ක්‍රමය 1978 දි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් නවත්තලා තියෙනවා....
ක්ෂණිකව ඇසෙන කුරුළු ශබ්ද වෙන් වෙන් වශයෙන් කාගේදැයි අජිත් අයියා එකවරම කියයි... අසන ඕනෑම ගස් වර්ගයක් විද්‍යාත්මක නම සහිතව ඔහුගෙන් දැනගත හැකිය. අපේ උන් කූඩැල්ලන් සදහා අලේපකරන ආලේපයක් දෙපය ගල්වා තිබුනත් අතර මග ඇළ මාර්ගයකින් එතෙර වීමේදී ඒවා සේදී යාම නිසා නැවතත් කූඩැල්ලන් සුවසේ ලේ උරා බොයි... ඒ නිසා කඩින් කඩ ගමන නවතී.
![]() |
| මෙන්න බඩු |
ඕගොල්ලන්ගෙ ගෙවල් වලත් පාවිච්චි කරනවා... ඔහු තවත් පැනය පහසු කරයි...එහෙත් අප හදුනන්නේ නැත...මේ තමයි වෙනිවැල්..
![]() |
| වෙනිවැල් |
![]() |
| වෙනිවැල් ඵලය - මෙයින් ප්‍රයෝජනයක් නැතිලු |
දැන් අප අතුරු මාර්ගයක් අභියසය... මෙතැනින් කොහේටද යන්නෙ ?
ජෛව විවිධත්ව මධ්‍යස්ථානයක් තියෙනවා.... අපි එතනටත් ගිහින් යමු... ඒ අනුව අපි එම ස්ථානයටත් ලගා වුනා... ජෛව විවිධත්ව මධ්‍යස්ථාන මිදුලේ වදවීමේ තර්ජනයට ලක්වී ඇති වටිනා ශාක වර්ග රාශියක් වගා කර තිබුනා.... ඒ අතර තිබුන වැදගත් ශාකයක් තමයි ඌරුකුණා ශාකය...
![]() |
| ඌරු කුණා ශාකය |
බෝතල්වල බහා ඇති සත්ව විශේෂ රාශියක්,විශේෂයෙන් උරගයන් ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේදී දකින්නට ලැබුනා... පාසල් ළමුන් සදහා දැනුම ලබාදෙන තැනක් ලෙසත් එය යොදාගන්නවා... දේශන ආදිය පැවැත්වීමටත් එහි පහසුකම් තිබෙනවා...
දැන් නැවතත් අපි කැළෑව තුලට ගමන ඇරඹුවා...
මේ තියෙන්න ලංකාවෙ තියෙන විශාලම ෆර්න් විශේෂය... ඒ කියන්නෙ මීවන පවුලේ විශාලම සාමාජිකයා... නම තමයි ගිණිහොට
![]() |
| ගිණි හොට |
එතකොට මේ ශාකය ලංකාවෙ පමණක් දකින්න පුලුවන් එකක්... ඒකට කියන්නෙ කැකිරි වරා කියලා...
![]() |
| කැකිරි වරා |
ඇත්තටම සිංහරාජය කියන්නෙ ඉතාම වටිනා ශාක එකතුවක් තියෙන තැනක්...ලෝක මට්ටමෙන් ගත්තත් ඒක විශේෂයි... මෙහෙ එන විදේශික මහාචාර්ය වරු පුදුම වෙනවා මේ ශාක දැකලා... ඒකට හේතුව තමයි පරිණාමය නොවූ මුල් අවස්ථාවේ ශාක ගොන්නක් සිංහරාජය තුල පැවතීම... යම් හෙයකින් පරිණාමය වෙලා තියෙන ශාකය ලොවෙන් තුරන් වුවොත් මේ නොදියුණු ශාක මගින් ඒ ශාක නැවත බිහිකර ගන්න පුලුවන්...
මෙන්න උදාහරණ
![]() |
| වල් මිදි |
![]() |
| වල් කෝපි |
උදාහරණයකට කොතල හිඹුටු ලංකාවෙ ශාකයක් වුනාට පේටන්ට් අයිතිය තියෙන්නෙ ජර්මනියට.... ගොටුකොළ වල පේටන්ට් අයිතිය ඇමරිකාවට.... මේ නිසා මේ ශාක කොටස් භාවිතයෙන් අපේ රට යම් අලුත් නිෂ්පාදනයක් කරනවා නම් ඒ රටවලින් අවසර ගත යුතු තත්වයක් ඇතිවෙලා තියෙනවා....
මේ ගෙඩි වර්ගය අදුනනවද ? මේ තමයි හිඹුටු
![]() |
| හිඹුටු |
![]() |
| රට හොඩ පර |
උසැති ගස් කපා දැමූ හෙයින් මෙවැනි පදුරු ශාක වැඩිපුර මාවත් අයිනේ දැකිය හැක.
![]() |
| නෙලූ |
![]() |
| වේ වැල් |
ඔන්න අපි දැන් අපිට ගමන් කිරීමට නියමිත කොටසේ තිබෙන විශාලම ශාකය වන යෝධ නවද ගහ බලන්නයි දැන ගමන් කරන්නෙ... ඊට පෙර කුඩා ජල මාර්ගයක් පාලමක් ආධාරයෙන් තරණය කල යුතුයි...
ඒ අතර අජිත් අයියා
මේ පාලම දකිද්දි ලස්සන සිද්ධියක් මතක් උනා... අපිට හම්බවෙලා තියෙන විදේශිකයන්ගෙන් එංගලන්ත සහ ජර්මන් අය ඉතාම මිත්‍රශීලී හරිම හොද අය, ඒ වගේම රුසියානු සහ ඊශ්‍රායල් අය බහුතරයක් මෝඩ ලොකුකමක් තියෙන අය... දවසක් රුසියානුවෙක් එක්ක මම කැලේට ආවා... සිංහරාජයේ ජීවත් වෙනවා කියලා බෝඩ් වල දක්වලා තියෙන සත්තු ඔක්කොම එක තැනකදි බලන්න පුලුවන් කියලා මිනිහා හිතන්නෙ... මට කියනවා මොකක්ද බන් උඹලගෙ මේ කැළෑව මට හිතාගන්න බෑ මිනිස්සු මොනවා බලන්න මේ කැළෑවට එනවද කියලා... තාම එක සතෙක් දැක්කෙ නෑ කියලා කියනකොටම
ලෑලි දෙකක් අතර තිබුන හිඩැසකින් මිනිහා ඇතුලට වැටිලා අත් දෙකෙන් හිරවෙලා හිටියා... අතේ තිබුන කැමරාව ඇළට විසිවුනා... මම ඉස්සෙල්ලාම කැමරාව ඇළෙන් අරන් ඊට පස්සෙ මිනිහව ගොඩ ගත්තෙ.... මම කිව්වා... මේ කැලේට බනින්න එපා ඔහොම දේවල් වෙන්න පුලුවන් කියලා... එතනින් පස්සෙ මිනිහා මොකුත්ම කියන්නෙ නැතුව ගේට්ටුව ලගට එනකම්ම ආවා...
අර සිංහරාජෙ මැද්දෙන් පාරක් කපන සිදුවීමක් වුනා නේද ? මොකක්ද ඒ කථාව
දතා මල්ලි ඉදලා ඉදලා ප්‍රශ්නයක් ඇහුවා...මාර්ගෝපදේශක තුමාගෙන්
සිංහරාජ වනාන්තරයට එහායින් රජයට අයත් ඉඩම් කොටසක් තියෙනවා... අවුරුදු 20 කට වගේ ඉස්සර කැලේ මැද්දෙන් තිබුන මාර්ගයක් මේ ඉඩමට පිවිසෙන්න භාවිතා කරලා පසුව නවත්තලා තියෙනවා... වසර 20 කට පස්සෙ අර ඉඩම් වලට යන්න පරණ පාර ආයෙත් සුද්ද කරන කොට තමයි හැමෝම කිව්වෙ කැළේ කපනවා කියලා... හොර කුලයේ ශාක වලට දැවැන්ත ශාකයක් වෙන්න මේ කාලය හොදටම ප්‍රමාණවත්, ඒ නිසා බොහෝ අය හිතුවෙ ඉතා පැරණි ශාක මේ කපන්නෙ කියලා... නමුත් ඇත්ත කතාව ඒ ශාක සියල්ලම මාර්ගය භාවිතයට නොගත්ත වසර 20 ඇතුලත වැඩුණු ඒවා කියන එක.. කොහොම හරි හැම පැත්තෙන්ම එල්ලවුනු විරෝධය නිසාම ඒ කාර්යය සම්පූර්ණයෙන් නවත්තලා තියෙන්නෙ දැන්...
කථාවෙන් කථාවෙන් අපි යෝධ නවද ගහ ළගටම ආවා....නවද / නවද දුන් කියන නම් දෙකෙන්ම හදුන්වන මේ ගස ලංකාවට ආවේණිකයි. මේ ගසේ උස අඩි 43 , කදේ වට ප්‍රමාණය මීටර් 6.3, තුනී ලෑලි කර්මාන්තයට තමා මේ දැව වැඩියෙන් යොදා ගන්නෙ.... හොර කුළයට අයිති ශාක ඉතා වේගයෙන් වැඩෙනවා... එදා කැනඩාවෙ අය කපපු පාර දෙපැත්තෙ තිබ්බ ගස් අද තිබ්බා නම්...මේ ගහ තරම්ම ලොකු වෙලා තියෙන්න ඉඩ තිබුනා....
නවද ගහ නරඹලා අපි ආපසු හැරුනා... වැඩි දුර එන්න ලැබුනෙ නෑ... ශ්‍රීලංකාවෙ ජාතික පක්ෂියා වන වලිකුකුලා ගෙ ගැහැණු සතා අපි ඉදිරියටම ආවා පටු මාවතක් දිගේ.... පිරිමියා ගොඩාක් ලස්සන උනාට ගෑනු දරුවගෙ පෙනුම මෙන්න මේ විදියයි. ගොඩාක් වෙලාවට සත්ව ලෝකයේ පිරිමි සතා ගොඩාක් අලංකාරයි ගැහැණු සත්වයාට වඩා.... මිනිස් ලෝකයේදි ඒ කාරණය කොහොමද ?
තවත් ටිකක් දුර යනකොට උරගයෙක් දැක්කා, ඒ ඇහැටුල්ලෙක්.... නිර්විෂ සත්වයෙක්... පරිසරයේ වර්ණයෙන්ම යුක්ත නිසා එකවර හදුනාගැනීම අසීරුයි.
ඒ එක්කම දැක්කෙ කටුස්සෙක්...
ඔන්න ඔය විදියට ඉතාමත් වැදගත් පරිසර පද්ධතියක සුන්දරත්වය අත්විදලා අපි සිංහරාජෙන් පිටවෙන කොට හරිම බඩගින්නක් තමයි දැනුනෙ... අන්න ඒ වෙලාවෙ ගමේ පාර අයිනෙ කඩේකින් නාරං කැවුමක් කෑවෙ මෙන්න මේ විදියට
ඒ ලගපාතම තියෙන දූවිලි ඇල්ල බලන්නත් ඉතාම දුෂ්කර මාර්ගයක සෑහෙන දුරක් ගියත් අයහපත් කාළගුණය නිසා ඒ උත්සාහය අත්හරින්න වුනා...
මම කලින් පෝස්ටුවෙ කිව්ව ඉපැරණි මෝටර් සයිකල් හෙවත් යකඩ අස්පයො ගැන වගේම සිරාගෙ කහ කුරුල්ලා ගැනත් ඉදිරි පෝස්ටු වලින් තවදුරටත් කථා කරමු.
සිංහරාජ අඩවිය ගැන තවත් විස්තර මේ සබැදියෙන්
මම සයිබරයේ අලුත් මිතුරා සිරා....
ප.ලි
ලංකාවේ දැකිය හැකි ඉතා අලංකාර පක්ෂියකු වන කැහිබෙල්ලා ඇතුලු බොහෝ කුරුල්ලන් දැක්කත් උන්ගේ ඡායාරූප ගත නොහැකි විය.
සිංහරාජයට බහුතර විදේශිකයන් පැමිණෙන්නේ කුරුල්ලන් නැරඹීමටය... ඒ විශාල කුරුලු ගහනයක් ඒ තුල ජීවත් වන නිසාය.
මෙහි අලි 3 දෙනෙකු වෙසෙන අතර ශ්‍රීලංකාවට ආවේණික කළු දිවියාගේද නවාතැනකි. මෙතෙක් කල් කිසිදු දිණෙක වන සතුන් නිසා සිංහරාජය නැරඹීමට පැමිණි අයෙකුට හානියක් සිදු වී නැත.
වනාන්තරය අසබඩ ගම්මානයන්හි දැන් කිතුල් කර්මාන්තය කෙරෙන්නේ නැති තරම්... සිංහරාජ වනයට ප්රවේශවීමට ඇති බාධා නිසාම දැන් මේ කර්මාන්තය අභාවයට ගිහින්.
සිංහරාජයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු බංගලාව වෙන් කිරීමට එහි බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සම්බන්ධ කර ගැනීමට තොරතුරු පහතින්.
අංක 82, රජමල්වත්ත පාර, බත්තරමුල්ල, ශ්‍රීලංකාව.
දුරකථන : +94 11 2866631 / +94 11 2866632 / +94 11 2875540
ෆැක්ස් : +94 11 2866633


















































