Monday, September 10, 2012

95 සිංහරාජෙ ඇතුලට යමුද ? ( සිංහරාජෙ පැත්තෙ යමුද 2 කොටස)

මෙහි පළමු කොටස කියෙව්වේ නැතිනම් මෙතැනින් කියවන්න.

සිංහ රාජයේ හැකරැල්ලා ලංකාවට ආවේණික නැත
සුපිරිසිදු ජලය සහිත දොල පහර
 giant wood spider

අපගේ මගපෙන්වන්නා වූ අජිත් අයියා ඉතා සුලු වේලාවක් තුල අප හා ඉතා සුහද වු අතර ඔහු සිංහරාජයට යාබද  ගමක අයෙකි. මගපෙන්වන්නන් අලුතින් බදවා ගැනීමේදී  අසල්වාසී තරුණයන්ට ප්‍ර‍මුඛතාවයක් ලැබෙන්නේ කුඩා කල සිට ඔවුන් මේ ප්‍රදේශයේ ගහකොළ, සතා සීපාව හදුනන නිසාය.

මෙම තනතුරට පත්වීමට පෙර ඒ ඒ අංශයන් කෙරෙහි සම්බන්ධ ලංකාවේ ප්‍ර‍මුඛ මහාචාර්යවරු යටතේ භූ විද්‍යාව, සත්ව විද්‍යාව, ආදිය ඇතුලත් ඉතා වැදගත් පුහුණුවක් ලබා දී ඇති හෙයින් ගස් වැල් වර්ග සම්බන්ධව ඔවුනට ඉතා හොද දැනුමක් පවතී.

ඔහු කථාව ඇරඹුවේ මෙන්න මෙහෙමයි

අපි මේ ඇවිදින්නෙ සබරගමුව පළාතෙ... අද අපි සබරගමුව කිව්වට නියම නම නම් සපරගමුව, සපර කියන්නෙ වැද්දට කියන තවත් නමක්... වැදි ජනතාව අතීතයේ  වැඩි වශයෙන් මේ ඉසව්වෙ ජීවත් වූ නිසා තමයි එහෙම නම යෙදෙන්න ඇත්තෙ. ජනප්‍ර‍වාදෙ එන විදියට සිංහරාජ ඉසව්වෙ හිටියා කියන සිංහයා ගල් ගහලා මැරුවා කියන්නෙත් වැදි ජනතාවනෙ ඒ කථාවෙනුත් පැහැදිලි වෙනවා වැදි ජනතාව අතීතයේ මෙහි ජීවත් වුනා කියලා... ඒ උනාට ලංකාවෙ සිංහයො ජීවත් වුනා කියන්න තවමත් කිසිම සාධකයක් හමුවෙලා නෑ....

කොහොමද අයියේ අපි මේ ඇවිදින පාරවල් හැදුනෙ ? අප අතර වු නිහඩතාව බිදිමින් සිරා ප්‍ර‍ශ්නයක් නැගුවා...


ඉස්සර කැනඩාවේ දැව අවශ්‍යතාව වෙනුවෙන් 1972 දි සිරිමාවෝ අගමැතිනියගෙ කාලෙ සිංහරාජෙන් දැව කපා ඉවත් කරන්න ඔවුන්ට අවස්ථාව දීලා තියෙනවා... ඒ කැපූ ගස් ප්‍ර‍වාහනයට තමයි මේ මාර්ග ඒ අය හදලා තියෙන්නෙ...

ඉතිං ඒ වැඩෙන් සිංහරාජයට හානියක් වුනේ නැද්ද ? මගෙන් තවත් ප්‍ර‍ශ්නයක්...

හානියක් වුනේ නෑ කියන්න බෑ... ඒගොල්ලො ඉදිරිපත් කරපු සැලසුම බලලා තමයි ලංකාවෙ රජය මේ සදහා අනුමැතිය දීලා තියෙන්නෙ... ගස් කපද්දි ඊට වඩා හානියක් වෙලා තියෙනවා...  තෙත් සදාහරිත වනාන්තරයක් විදියට උඩු වියන, යටි වියන ආදී වියන් කීපයක් විදියට වනාන්තරය පවතින නිසා විශාල ගසක් කපා බිම හෙලන විට පලාතෙම තියෙන ශාක විනාශවෙනවා....බලන්න මේ අපි යන පාර දෙපැත්තෙ ඉතා විශාලව හැදුන එක ගහක් වත් පේන්න නෑ... පදුරු වගේ ශාක ගොඩාක් තියෙනවා.... මේ වගේ වනාන්තරයක මේ විදියෙ වෙනසක් වුනේ ගස් කැපීම නිසා...

හොර කියන කුලයට අයත් ශක්තිමත් දැව ගන්න පුලුවන් ගස් තමයි ඒගොල්ලො කපලා තියෙන්නෙ.... ඔවුන්ගෙ ධීවර කර්මාන්තයට අවශ්‍ය දේවල් නිපදවා ගන්න තමයි ඒවා ගෙනිහින් තියෙන්නෙ... හොර කුලයේ ගස් ජලයට හොදින් ඔරොත්තු දීම ඊට හේතුවක්... අපේ තාත්තා කියන විදියට අඩි  60 - 70 ක් විතර දිග වාහන ගෙනල්ලා මේ කැපූ විශාල ගස් සම්පූර්ණයෙන්ම තමා ඒ අය පටවගෙන ගිහිල්ලා තියෙන්නෙ... ඒ කියන්නෙ කුට්ටි කිරීමකින් තොරව... පස්සෙ කොස්ගම කියන හරියෙදි කොටන් වලින් ලෑලි ලබාගෙන ඒ ලෑලි තමයි කැනඩාවට අපනයනය කරලා තියෙන්නෙ.... මේ ක්‍ර‍මය 1978 දි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් නවත්තලා තියෙනවා....

ක්ෂණිකව ඇසෙන කුරුළු ශබ්ද වෙන් වෙන් වශයෙන් කාගේදැයි අජිත් අයියා එකවරම කියයි... අසන ඕනෑම ගස් වර්ගයක් විද්‍යාත්මක නම සහිතව ඔහුගෙන් දැනගත හැකිය. අපේ උන් කූඩැල්ලන් සදහා අලේපකරන ආලේපයක් දෙපය ගල්වා තිබුනත් අතර මග ඇළ මාර්ගයකින් එතෙර වීමේදී ඒවා සේදී යාම නිසා නැවතත් කූඩැල්ලන් සුවසේ ලේ උරා බොයි... ඒ නිසා කඩින් කඩ ගමන නවතී.

මෙන්න බඩු
මේ වැල අදුරනවද ? අජිත් අයියාගෙන් ප්‍ර‍ශ්නයක්.... අපේ එකෙකුවත් එය හදුනන්නේ නැත.... පත්‍ර‍ නම් බුලත් කොළයට සමාන කමක් දක්වයි.
ඕගොල්ලන්ගෙ ගෙවල් වලත් පාවිච්චි කරනවා... ඔහු තවත් පැනය පහසු කරයි...එහෙත් අප හදුනන්නේ නැත...මේ තමයි වෙනිවැල්..

වෙනිවැල් 

වෙනිවැල් ඵලය - මෙයින් ප්‍රයෝජනයක් නැතිලු

දැන් අප අතුරු මාර්ගයක් අභියසය... මෙතැනින් කොහේටද යන්නෙ ?
ජෛව විවිධත්ව මධ්‍යස්ථානයක් තියෙනවා.... අපි එතනටත් ගිහින් යමු...  ඒ අනුව අපි එම ස්ථානයටත් ලගා වුනා... ජෛව විවිධත්ව මධ්‍යස්ථාන මිදුලේ වදවීමේ තර්ජනයට ලක්වී ඇති වටිනා ශාක වර්ග රාශියක් වගා කර තිබුනා.... ඒ අතර තිබුන වැදගත් ශාකයක් තමයි ඌරුකුණා ශාකය...


ඌරු කුණා ශාකය
අජිත් අයියා කියන විදියට එය ඉතා ශක්තිමත් දැව ලබාදෙන නිසාම දැන් ඉතාමත් අඩුවෙන් දක්නට ලැබෙන ලංකාවට ආවේණික ශාකයක්.....


බෝතල්වල බහා ඇති සත්ව විශේෂ රාශියක්,විශේෂයෙන් උරගයන් ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේදී දකින්නට ලැබුනා... පාසල් ළමුන් සදහා දැනුම ලබාදෙන තැනක් ලෙසත් එය යොදාගන්නවා... දේශන ආදිය පැවැත්වීමටත් එහි පහසුකම් තිබෙනවා...

දැන් නැවතත් අපි කැළෑව තුලට ගමන ඇරඹුවා...

මේ තියෙන්න ලංකාවෙ තියෙන විශාලම ෆර්න් විශේෂය... ඒ කියන්නෙ මීවන පවුලේ විශාලම සාමාජිකයා... නම තමයි ගිණිහොට

ගිණි හොට

එතකොට මේ ශාකය ලංකාවෙ පමණක් දකින්න පුලුවන් එකක්... ඒකට කියන්නෙ කැකිරි වරා කියලා...

කැකිරි වරා
ඇයි මේ වනාන්තරය බලන්න ගයිඩ් කෙනෙක් එක්ක විතරක් එවන්නෙ ? ජපන් චමී ප්‍ර‍ශ්නයක් ඇහුවා

ඇත්තටම සිංහරාජය කියන්නෙ ඉතාම වටිනා ශාක එකතුවක් තියෙන තැනක්...ලෝක මට්ටමෙන් ගත්තත් ඒක විශේෂයි... මෙහෙ එන විදේශික මහාචාර්ය වරු පුදුම වෙනවා මේ ශාක දැකලා... ඒකට හේතුව තමයි පරිණාමය නොවූ මුල් අවස්ථාවේ ශාක ගොන්නක්  සිංහරාජය තුල පැවතීම... යම් හෙයකින් පරිණාමය වෙලා තියෙන ශාකය ලොවෙන් තුරන් වුවොත් මේ නොදියුණු ශාක මගින් ඒ ශාක නැවත බිහිකර ගන්න පුලුවන්...

මෙන්න උදාහරණ

වල් මිදි

වල් කෝපි
ඒ වගේම නූතන ලෝකයේ සිදුවන ජාන මංකොල්ලය අනිත් හේතුව... මේ ලගදි ආපු විදේශිකයෙක් වනාන්තරය ඇතුලෙදි සමනල්ලු... හැකරැල්ලො... ආදී කුඩා සතුන් එකතු කරන්න හදනකොට ඔහු සමග ගිය මාර්ගෝපදේශකයා ඒ කාර්යය කරන්න එපා කියලා ඔහුට උපදෙස් දීලා තියෙනවා.... ඒ උනත් ඇතිවුන සැකය මත ඔහු පැමිණිල්ලක් කලා වනජීවී ඒකකයට.. ඒ අනුව පොලිසිය සමග සැකකරුගෙ නවාතැන පරීක්ෂා කිරීමේදී ඔහු අවට ගම්වල සිට එකතු කල සත්ව කොටස් හමුවුනා... අන්තිමේදි ඔහු නීතිය ඉදරියට ගෙන ගියා. සිංහරාජයට යාබද ගමේදිත් සිංහරාජයේ වෙසෙන සත්තු දකින්න පුලුවන්.... මේ අය මේ සත්ව කොටස් ඔවුන්ගේ රටවලට ගෙනිහින් ජාන මගින් නව සත්වයන් හෝ ශාක තැනීම තමයි කරන්න උත්සාහ කරන්නෙ...

උදාහරණයකට කොතල හිඹුටු ලංකාවෙ ශාකයක් වුනාට පේටන්ට් අයිතිය තියෙන්නෙ ජර්මනියට.... ගොටුකොළ වල පේටන්ට් අයිතිය ඇමරිකාවට.... මේ නිසා මේ ශාක කොටස් භාවිතයෙන් අපේ රට යම් අලුත් නිෂ්පාදනයක් කරනවා නම් ඒ රටවලින් අවසර ගත යුතු තත්වයක් ඇතිවෙලා තියෙනවා....

මේ ගෙඩි වර්ගය අදුනනවද ? මේ තමයි හිඹුටු

හිඹුටු 
මේ තියෙන්නෙ ආක්‍ර‍මණික ශාක විශේෂයක්.... කඩොලාන වර්ගයක් විදියට තමයි පිළිගැනෙන්නෙ.... ශාකයෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ... නම රටහොඩ පර

රට හොඩ පර

 උසැති ගස් කපා දැමූ හෙයින් මෙවැනි පදුරු ශාක වැඩිපුර මාවත් අයිනේ දැකිය හැක.

නෙලූ 
ඒ වගේම ලංකාවෙ හැදෙන විශාලම වේවැල්  මේ තියෙන්නෙ.... ලංකාවෙ අවශ්‍යතා වෙනුවෙන් මැලේසියාවෙන් දැනට ආනයනය කරන්නෙ.... හොදින් වැඩුනු මහත වේවැලක් රුපියල් 30000 ක් පමණ වටිනවා....

වේ වැල්

ඔන්න අපි දැන් අපිට ගමන් කිරීමට නියමිත කොටසේ තිබෙන විශාලම ශාකය වන යෝධ නවද ගහ බලන්නයි දැන ගමන් කරන්නෙ... ඊට පෙර කුඩා ජල මාර්ගයක් පාලමක් ආධාරයෙන් තරණය කල යුතුයි...

ඒ අතර අජිත් අයියා


මේ පාලම දකිද්දි ලස්සන සිද්ධියක් මතක් උනා... අපිට හම්බවෙලා තියෙන විදේශිකයන්ගෙන් එංගලන්ත සහ ජර්මන් අය ඉතාම මිත්‍ර‍ශීලී හරිම හොද අය, ඒ වගේම රුසියානු සහ ඊශ්‍රායල් අය බහුතරයක් මෝඩ ලොකුකමක් තියෙන අය... දවසක් රුසියානුවෙක් එක්ක මම කැලේට ආවා... සිංහරාජයේ ජීවත් වෙනවා  කියලා බෝඩ් වල දක්වලා තියෙන සත්තු ඔක්කොම එක තැනකදි බලන්න පුලුවන් කියලා මිනිහා හිතන්නෙ... මට කියනවා මොකක්ද බන් උඹලගෙ මේ කැළෑව මට හිතාගන්න බෑ මිනිස්සු මොනවා බලන්න මේ කැළෑවට එනවද කියලා... තාම එක සතෙක් දැක්කෙ නෑ කියලා කියනකොටම

ලෑලි දෙකක් අතර තිබුන හිඩැසකින් මිනිහා ඇතුලට වැටිලා අත් දෙකෙන් හිරවෙලා හිටියා... අතේ තිබුන කැමරාව ඇළට විසිවුනා... මම ඉස්සෙල්ලාම කැමරාව ඇළෙන් අරන් ඊට පස්සෙ මිනිහව ගොඩ ගත්තෙ....  මම කිව්වා... මේ කැලේට බනින්න එපා ඔහොම දේවල් වෙන්න පුලුවන් කියලා... එතනින් පස්සෙ මිනිහා මොකුත්ම කියන්නෙ නැතුව ගේට්ටුව ලගට එනකම්ම ආවා...

අර සිංහරාජෙ මැද්දෙන් පාරක් කපන සිදුවීමක් වුනා නේද ? මොකක්ද ඒ කථාව  

දතා මල්ලි ඉදලා ඉදලා ප්‍ර‍ශ්නයක් ඇහුවා...මාර්ගෝපදේශක තුමාගෙන්

සිංහරාජ වනාන්තරයට එහායින් රජයට අයත් ඉඩම් කොටසක් තියෙනවා... අවුරුදු 20 කට වගේ ඉස්සර කැලේ මැද්දෙන් තිබුන මාර්ගයක් මේ ඉඩමට පිවිසෙන්න භාවිතා කරලා පසුව නවත්තලා තියෙනවා... වසර 20 කට පස්සෙ අර ඉඩම් වලට යන්න පරණ පාර ආයෙත් සුද්ද කරන කොට තමයි හැමෝම කිව්වෙ කැළේ කපනවා කියලා... හොර කුලයේ ශාක වලට  දැවැන්ත ශාකයක් වෙන්න මේ කාලය හොදටම ප්‍ර‍මාණවත්, ඒ නිසා බොහෝ අය හිතුවෙ ඉතා පැරණි ශාක මේ කපන්නෙ කියලා... නමුත් ඇත්ත කතාව ඒ ශාක සියල්ලම මාර්ගය භාවිතයට නොගත්ත වසර 20 ඇතුලත වැඩුණු ඒවා කියන එක.. කොහොම හරි හැම පැත්තෙන්ම එල්ලවුනු විරෝධය නිසාම ඒ කාර්යය සම්පූර්ණයෙන් නවත්තලා තියෙන්නෙ දැන්... 

කථාවෙන් කථාවෙන් අපි යෝධ නවද ගහ ළගටම ආවා....නවද / නවද දුන්  කියන නම් දෙකෙන්ම හදුන්වන මේ ගස ලංකාවට ආවේණිකයි. මේ ගසේ උස අඩි 43 , කදේ වට ප්‍ර‍මාණය මීටර් 6.3, තුනී ලෑලි කර්මාන්තයට තමා මේ දැව වැඩියෙන් යොදා ගන්නෙ.... හොර කුළයට අයිති ශාක ඉතා වේගයෙන් වැඩෙනවා... එදා කැනඩාවෙ අය කපපු පාර දෙපැත්තෙ තිබ්බ ගස් අද තිබ්බා නම්...මේ ගහ තරම්ම ලොකු වෙලා තියෙන්න ඉඩ තිබුනා....




නවද ගහ නරඹලා අපි ආපසු හැරුනා... වැඩි දුර එන්න ලැබුනෙ නෑ... ශ්‍රීලංකාවෙ ජාතික පක්ෂියා වන වලිකුකුලා ගෙ ගැහැණු සතා අපි ඉදිරියටම ආවා පටු මාවතක් දිගේ.... පිරිමියා ගොඩාක් ලස්සන උනාට ගෑනු දරුවගෙ පෙනුම මෙන්න මේ විදියයි. ගොඩාක් වෙලාවට සත්ව ලෝකයේ පිරිමි සතා ගොඩාක් අලංකාරයි ගැහැණු සත්වයාට වඩා.... මිනිස් ලෝකයේදි  ඒ කාරණය කොහොමද ?


තවත් ටිකක් දුර යනකොට උරගයෙක් දැක්කා, ඒ ඇහැටුල්ලෙක්.... නිර්විෂ සත්වයෙක්... පරිසරයේ වර්ණයෙන්ම යුක්ත නිසා එකවර හදුනාගැනීම අසීරුයි.


ඒ එක්කම දැක්කෙ කටුස්සෙක්...



ඔන්න ඔය විදියට ඉතාමත් වැදගත් පරිසර පද්ධතියක සුන්දරත්වය අත්විදලා අපි සිංහරාජෙන් පිටවෙන කොට හරිම බඩගින්නක් තමයි දැනුනෙ... අන්න ඒ වෙලාවෙ ගමේ  පාර අයිනෙ කඩේකින් නාරං කැවුමක් කෑවෙ මෙන්න මේ විදියට



ඒ ලගපාතම තියෙන දූවිලි ඇල්ල බලන්නත් ඉතාම දුෂ්කර මාර්ගයක සෑහෙන දුරක් ගියත් අයහපත් කාළගුණය නිසා ඒ උත්සාහය අත්හරින්න වුනා...





මම කලින් පෝස්ටුවෙ කිව්ව  ඉපැරණි මෝටර් සයිකල්  හෙවත් යකඩ අස්පයො ගැන වගේම සිරාගෙ කහ කුරුල්ලා ගැනත් ඉදිරි පෝස්ටු වලින්  තවදුරටත් කථා කරමු.

සිංහරාජ අඩවිය ගැන තවත් විස්තර මේ සබැදියෙන්


මම සයිබරයේ අලුත් මිතුරා සිරා....


ප.ලි

ලංකාවේ දැකිය හැකි ඉතා අලංකාර පක්ෂියකු වන කැහිබෙල්ලා ඇතුලු බොහෝ කුරුල්ලන් දැක්කත් උන්ගේ ඡායාරූප ගත නොහැකි විය.

සිංහරාජයට බහුතර විදේශිකයන් පැමිණෙන්නේ කුරුල්ලන් නැරඹීමටය... ඒ විශාල කුරුලු ගහනයක් ඒ තුල ජීවත් වන නිසාය.

මෙහි අලි 3 දෙනෙකු වෙසෙන අතර ශ්‍රීලංකාවට ආවේණික කළු දිවියාගේද නවාතැනකි. මෙතෙක් කල් කිසිදු දිණෙක වන සතුන් නිසා සිංහරාජය නැරඹීමට පැමිණි අයෙකුට හානියක් සිදු වී නැත.

වනාන්තරය අසබඩ ගම්මානයන්හි දැන් කිතුල් කර්මාන්තය කෙරෙන්නේ නැති තරම්... සිංහරාජ වනයට ප්‍රවේශවීමට ඇති බාධා නිසාම දැන් මේ කර්මාන්තය අභාවයට ගිහින්.

සිංහරාජයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු බංගලාව වෙන් කිරීමට එහි බත්තරමුල්ල ප්‍ර‍ධාන කාර්යාලය සම්බන්ධ කර ගැනීමට තොරතුරු පහතින්.

අංක 82, රජමල්වත්ත පාර, බත්තරමුල්ල, ශ්‍රීලංකාව.
දුරකථන : +94 11 2866631 / +94 11 2866632 / +94 11 2875540
ෆැක්ස්    : +94 11 2866633















Wednesday, September 5, 2012

96 සිංහරාජෙ පැත්තෙ යමුද ?

සිරා වන මා හට ඇත්තේ අමුතුම අසනීපයකි...එනම් වසරේ කාර්තුවකට වරක් දිගු දුර මෙහෙයුමක් හෙවත්... මාගේ ඇන්ටික් බයිසිමොටෝවෙන් සිරිලංකාවේ අප නොගිය ඉසව්වක් කරා යාමට ඇති වන දොළදුක මේ අසනීපය ඇතිවීමේ  ප්‍ර‍ධානම ලක්ෂණයයි. මටම හරියන මිතුරු කැළක්ද සිටීමෙන් මේ ආශාවන් සන්තර්පනය කර ගැනීමට සිරා හට එතරම් වෙහෙසිය යුතු නොවේ.

වට්ටාරම, රංටැඹේ,පාහියංගල, කැකිරාව,අව්කන, මුන්නේස්සරම ආදී ප්‍රදේශ මීට කලින් මෙලෙස සංචාරය කර තිබේ. නිසි කාල සමය එළඹෙන කල එය අපේ අවශේෂ බයිසිකල් කරුවන් හටද දැනෙන්නේ ඉවෙන් මෙන්ය. ඉන් අනතුරුව මීළග චාරිකාව යන පෙදෙස   තීරණය කර ගන්නා අතර ජපන් චමී ගූගල් මැප් හි ආධාරයෙන් යා හැකි කෙටිම මග සොයාගෙන එහි පිටපතක්  ඉදිරිපත් කිරීමට තරම් නිර්ලෝභීය.

සෑහෙන තරමේ වාද විවාද වලින් අනතුරුව මෙවර අපගේ චාරිකාව යොමු වූයේ සිංහරාජ වනාන්තරය වෙතයි. සිරා එම ඉසව්වට කලින් සංචාරය කර නැති නිසා යෝජනාවට විරුද්ධ වීමට තරම් හේතුවක් නොවීය... සිරිත් පරිදි චාරිකාව යාමට පෙර සියලුම බයිසිමොටෝ ඒවා සදහා සත්කාර කරන එකිනෙකට වෙනස් ගැරේජයන් වෙත යොමු විය යුතුය... මෙම බයිසිමොටෝ අතර පැරණිම එක වන මාගේ ස්කූටරයේ රිද්මය හදුනාගත් වැලිවේරියේ අජන්ත බාසුන්නැහේ හමුවී එහි ඇන්ජින් ඔයිල් මට්ටම, තිරිංග, බුරුල් වූ ඇණ මුරිච්චි ආදිය පිළිබද පුළුල් විමර්ෂණයක් කිරීමෙන් අනතුරුව චාරිකාව සදහා පිටත් වීම මාගේ සිරිතයි.

චාරිකාව පිටත් වීමට පෙර දින මා ඇමතූ ජපන් චමී, මචන් හරියටම හෙට පාන්දර 5 වෙද්දි ගම්පහ පුරුදු තැනට වරෙන් යැයි කීවෙන් මාගේ දුරබණුව පාන්දර 4 ට එලාමය වදින සේ සකසා  ඇදුම් කැඩුම් කිසිවක් සූජානම් නොකොට නිදි දෙව් දූ සොයා යහනට වැදුනෙමි. අපරාදෙ කියන්න බෑ නින්ද නම් අපූරුවට ගියා....

පාන්දර ජාමෙ මගේ දුරබණුව හදිසියේ මොර දුන්නා....

හෙලෝ...... මචන් මේ චමී... අපි ස්පොට් එකේ ඉන්නෙ ...උඹ දැන් එන ගමන්ද ?

මාගේ හිසේ කොනකින් ගිණි පිටවුනේ එවිටය. මා අවදි වී ඇත්තේ පාන්දර 5 ටය. එලාමය වැදී නැතුවාය... මිතුරෝ මා එනතුරු අදාළ තැන බලා සිටිනවෝය.

ඔව් ඔව් මචන් මේ එන්න තමයි හදන්නෙ...මෙහෙට හරි තදට වහිනවා ඒ නිසා පොඩ්ඩක් විතර පරක්කු වෙයි... මට ක්ෂණිකව කදිම පිළිතුරක් පහල විය.

වහිනවා ? මෙහෙට හොදට පායනවනෙ බන්... හරි හරි ඉක්මනට වරෙන්... මේ ඔක්කොම ඇවිල්ලා ඉන්නෙ... චමියා පිළිවදන් දුන්නේය.

සියලුම කාර්යයන් පෑ භාගයක් තරම් කාලයක් ඇතුලත නිමකර දෙගුරුන් නැමද බයිසිමොටෝවේ හිද එය පන ගන්වා ගැනීමට මට හැකි විය.

ජපන් චමියාට ඇත්තේ ජපාන ක්‍ර‍මයට හුරු පුරුදු වූ ගති ගුණය... වෙලාවක් කිව්වොත් හරියටම තත්පරේට ඔහු එතනය. පෑ භාගයක් යනු ඔහුට දැඩිව තරහා යන තරමේ පමාවකි... ඒ නිසා නිවසින් පිටවීමට පෙර යතුරු පැදිය ජලය ඉස තෙමා ගන්නට මට සිදුවිය. ඒ වැස්සට හසු වූ බව පෙනෙන්නටය.

ගම්පහට වාර්තාකල මාගේ රථය කෙරේ සූක්ෂම බැල්මක් හෙලා මාගේ වංචාව අතටම හසු කර ගත් ජපන් චමියා මට ඉතා සුහදව දෝස්මුරයක් පිරිනමා චාරිකාව ආරම්භ කලේය. ඉතා හොද විනය ගරුක යතුරුපැදි ධාවකයකු වන ඔහු, අප චාරිකාවක් යන හැමවිටම ඉදිරියෙන්ම ගමන් කරන්නේය.

චමී,සිරා,දැදිගම, රොටියා,දතා  ඔන්න ඔහොමයි පිරිසගෙ නම් පෙළ, මේ සමහර නම් පටබැදුනෙ පාසලේ බෑන්ඩ් ගහන කාලෙදි.  රොටියා බයිසිමොටෝවට නැගුනෙ කිරිදිවැල කිට්ටුවෙන්... එතැන් සිට අවිස්සාවේල්ලටත් එතැනින් රත්නපුරය, නිවිතිගල,කලවාන,වැද්දාගල හරහා සිංහරාජයට අපගේ චාරිකාව සැලසුම් වී තිබුනා.

කහපාට එක්කෙනා තමයි සිරාගෙ

කිරිදිවැලින් අමිතිරිගල දෙසට කිලෝමීටර් දෙකක් පමණ යන විට හමුවන කෙටි මගකින් අවිස්සාවේල්ලට යන්නට හැකි වුනා

ගමන් වෙහෙස නිවා ගැනීමටත්... අයහපත් කාලගුණය හේතුවෙනුත් තැනින් තැන නතර වෙමින් තමයි පිරිස ඉදිරියට ඇදුනෙ. මාවත අයිනෙ පඩුරු දැමීමට ඇති බොහෝ තැන් වල නැවතී පඩුරක් දෙකක් දමා යන්නටත් පිරිස අමතක කලේ නෑ....

රත්නපුර මහ සමන් දේවාලය

දේවාලයේ හස්ති රාජයා

රත්නපුර මහ සමන් දේවාලය වැද පුදාගැනීමෙන් පස්සෙ රත්ගග පන්සල පාරෙ කිලෝමීටර් 6ක පමණ මග ගෙවා අප පැමිණියේ ටික කලකට පෙර අහම්බෙන් ඇතිවුන පුද්ගල සම්බන්ධතාවක් මත ඉතාමත් ඉපැරණි යතුරු පැදි එකතුවක් නරඹන්න.... ඒ විස්තර ඉදිරි පෝස්ටුවකින් ඔබ වෙත.

නිවිතිගලින් පස්සෙ මාර්ගය ඉතාමත්ම අඹලන්... බෙල්ල කඩා ගන්නෙ නැතුව ඒ මාර්ගයේ බයිසිමොටෝවක් ධාවනය කරනවා කියන්නෙත් හැබෑම දක්ෂතාවක්... කාපට් කිරීමට මාර්ගය සම්පූර්ණයෙන්ම තාර ඉවත් කරලා... එක් තැනක කුඩා රවුම් කලු ගල් පාර පුරාම... තවත් තැනක වැස්ස නිසා ඇති වුන දැවැන්ත මඩ ගොහොරු... ඒ මදිවට පාර පුරාම වලවල්..... මේ විදියට කිලෝමීටර් 17 ක් පමණ මග ගෙවා ගැස්සෙමින් පැද්දෙමින් කළවානට ලගා වන විට බයිසිමොටෝව කඩන් වැටෙයි කියලයි මට හිතුනෙ. මගේ බයිසිකලේ පැති කණ්නාඩි දෙපසට වැනෙන්නට වුනා වලවල් වලම වැටිලා ගැස්සීම නිසා බුරුල් වෙලා...


ජපන් චමී මේ දිනවල වහලයේ උළු සම්පූර්ණයෙන් ගලවා සිටී.

නිවිතිගල සිට කලවානට .... පේනවද පුංචි පන්සලක්

කලවානෙ සිට වැද්දාගල දෙසට මාර්ගය යම් තරමක් දුරට හොද තත්වයෙන් තිබුනා.... වැද්දාගලින් දකුණට හැරිලා සිංහරාජ වනයට ඇති කිලෝමීටර් 6ක දුර ප්‍ර‍මාණය ගෙවාගෙන අප එන විට සවස 6.30 ට පමණ ඇති. එහි පිහිටුවා ඇති රජයේ සංචාරක නිකේතනයෙන් නවාතැන් පිළිබද විමසීමේදී දැන ගන්නට ලැබුනේ එය කොළඹ සිට වෙන්කර ගෙන පැමිණිය යුතු බවක්... මෙය කියවන ඔබත් සිංහරාජයේ නවාතැන් ගැනීමට සිතනවා නම් වේලාසනින් අවශ්‍ය වෙන්කර ගැනීම් කොළඹින් කල යුතු බව සිහි තබා ගන්න...

කෙසේ හෝ එහි නිලධාරින්ගේත් සහයෝගයෙන් ඒ ආසන්නයේම ඉදිකෙරෙමින් පවතින නිවාඩු නිකේතනයක නවාතැන් ගැනීමට අපට හැකි වුනා... එහි නම S Birds....ඇත්තටම හරිම ලස්සන පරිසරයක එය පිහිටා තිබුනෙ... කාමර දෙකක් පමණක් වුනත් සියලුම පහසුකම් ඉතා අනර්ඝයි.....ඒ බැව් එහි නතර වූ විදේශිකයන් පවා අමුත්තන්ගේ සටහන් පොතේ සටහන් කර තිබුනා.

දතා මල්ලි 

S Birds වෙත පෙනෙන සොදුරු දසුන

S Birds වෙත විදුලිය ලබා ගෙන තිබුනෙ කුඩා දොළ පහරක ඉදිකර ඇති ටර්බයිනයක් කරකැවීමෙන්... ඉතා පහසුවෙන් රැය පහන් කරලා... පසුදා උදෑසන ආහාරයෙන් පස්සෙ බයිසිමොටෝ මගින්ම පිරිස සිංහරාජයේ පිවිසුම් දොරටුව අසලට සේන්දු වුනා.

සොදුරු දසුන් සමගින් ප්‍ර‍ණීත උදෑසන ආහාරය
සංචාරක මග පෙන්වන්නෙකු ලබා ගැනීම සෑම අයෙකුටම අනිවාර්යය කාරණයක්... ඒ අනුව අපේ මගපෙන්වන්නා වුනේ අජිත් අයියා... ඒ පළාතෙම අයවලුන් හට නිසි පුහුණුවක් ලබා දීමෙන් අනතුරුව මේ තනතුරේ පිහිටුවා තිබෙනවා...

මාර්ගෝපදේශක අජිත් මහතා සමග ගමන් අරඹමින්
මැද්දෙ ඉන්නෙ රොටියා, පිටිපස්සෙම දැද්දා...

සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් බවට පත්වීමෙන්ම එහි වටිනාකම තේරුම් ගත හැකියි... අතීතයේ සිංහයෙකු ජීවත් වූ බවට ඇති පුරාවෘත්තයක් නිසා මෙය සිංහරාජ නමින් හදුන්වන්නෙ....මෙම සිංහයා වැදි ජනතාව විසින් ගල් ගසා මරා දැමූ බවටයි ජනප්‍ර‍වාදයේ පවතින්නෙ. සිංහයා ජීවත් වූයේ යැයි සැළකෙන සිංහගල නම් ස්ථානයක් සිංහරාජය තුල පිහිටා තිබෙනවා... නරඹන්නන්ට එයද නැරඹීමට යාමේ පහසුකම් තිබුනත් එය ඉතා දුෂ්කර ගමනක්... කැලේ මැදින් කිලෝමීටර් 14 ක පමණ දුරක් ඒ සදහා යා යුතු වන නිසා සිංහගල නරඹන්නට අපේක්ෂා කරන අය  හරියටම උදෑසන 6 පමණ වන විට එහි පැමිණිය යුතු බවයි අජිත් අයියා අපට කිව්වෙ.

නිවර්තන තෙත් කලාපයට අයත් සිංහරාජය  හෙක්ටයාර 11,187 ක් පුරා දිවෙන අතර රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කයන් තුනෙහිම ව්‍යාප්තව පවතිනවා. වනාන්තරයේ දිග කිලෝමීටර් 21 වන අතර උපරිම පළල කිලෝමීටර් 7 ක්ද අවම පළල කිලෝමීටර් 3 ක්ද වෙනවා...

1875 05 08 දින අංක 4046 දරණ ගැසට් පත්‍ර‍ය මගින් මුලින්ම සිංහරාජය රක්ෂිතයක් බවට පත්වී තියෙන්නෙ. 1972 සිට 1977 දක්වා සිංහරාජයෙන් හෙක්ටයාර 2025 පමණ වරණ හෙලීම් යටතේ දැව ඉවත් කර තිබෙනවා. කැනඩා රජයට අවශ්‍ය දැව සම්පාදනය සදහා එකල සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් කල ඉල්ලීමක් මත එය සිදුවී ඇත්තෙ... සිංහරාජයේ අද අප ඇවිදින කුඩා මංමාවත් එකල දැව ප්‍ර‍වාහණය සදහා ඔවුන් විසින් සකස් කල ඒවා වන අතර එම මග දෙපස ආසන්නයේ කිසිම තැනක දැවමය වටිනාකමක් ඇති විශාල වෘක්ෂයන් දක්නට නෑ. කැනඩා රජය අදද භාවිතා වන දුම්රිය එන්ජින් 20 ක් පමණ ශ්‍රීලංකාව වෙත නොමිලේම ලබා දුන් නිසා මේ ඉල්ලීමට එකග වුනා කියලයි මට හිතෙන්නෙ. මෙම එන්ජින් අද වන විට වසර 50 කට වඩා පැරණි නමුත් ඉතා හොදින්  ධාවනය වෙනවා.

1978 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමන් මෙම දැව ඉවත් කිරීම නවතා ජෛව ගෝල රක්ෂිතයක් ලෙස නම් කර ඇත. 1988 දී ජාතික උරුම වන භූමියක් ලෙසද 1989 දී ලෝක උරුම වන භූමියක් ලෙසද සිංහරාජය නම් කර තිබේ. මෙහි උපරිම උස මීටර් 1170 ක් වන අතර අවම උස මීටර් 90 කි. වනාන්තරය අවට ගම් වාසීන්ට අනුව නම් මෙම ප්‍රදේශයට නිරන්තරවම වර්ෂාව ලැබේ... ඒ අනුව එහි වාර්ෂික අගය මිලි මීටර් 3000 - 6000 වේ. උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 18 - 27 අතරය.

සිංහරාජයේ පොහොසත්කම


ස්ථර අනුව බෙදුන වන පියසක් මෙහි පැහැදිලිව දැක ගත හැකි අතර හෙක්ටයාර 1 ක් ඇතුලත ශාක 240,000 ක් පමණ වේ. ලංකාවේ මල් හට ගන්නා (සපුෂ්ක ශාක) 3366 න් 92% පමණ සිංහරාජයේ දැකිය හැක. මේවායින් 75% පමණ ඒකදේශික ශාකයන්ය. දැවමය ශාක විශේෂ 340 කි. එයින් 192 ක් ලංකාවට ආවේණිකය. එයිනුත් ශාක වර්ග 15 ක් දැකිය හැක්කේ සිංහරාජයේදී පමණමය.

ශ්‍රීලංකාවට ආවේණික ශාක ගණ 25න් 13ක්ම සිංහරාජයේ ඇත. ශ්‍රීලංකාවට ආවේණික උරග වර්ග 72න් 21ක්ද, උභය ජීවීන් 19න් 10ක්ද , පක්ෂි විශේෂ 33න් 32ක්ද, ක්ෂීරපායි විශේෂ 12න් 8ක්ද සිංහරාජ අඩවිය සිය වාසස්ථානය කරගෙන ඇත.


1985 වර්ෂයේ ගණනය කල දත්තයන් අනුව

ලංකාවේ වාර්තා වී ඇති සමනල වර්ග 242 න් 65ක්
මත්ස්‍යා විශේෂ  64 න් 10 ක්
උභය ජීවීන් 38 න් 19 ක්
සිව්පාවුන් 73 න් 14 ක් 
උරගයන් 90 න් 29 ක්
පක්ෂීන් 384 න් 141 ක්
ක්ෂීරපායින් 85 න් 40 ක්  සිංහරාජයෙන් වාර්තා වී ඇත....

වටිනා කියන තොරතුරු ටිකකුත් දැන ගත්තා නොවැ, අපි එහෙනම් මීළග කොටසෙදි කැළෑවෙ ඇතුලට යමු....එහෙම හොදයි නේද ?


මම සයිබරයේ අලුත් මිතුරා සිරා..


ප.ලි


බ්ලොගියේ අකුරු පොඩි වැඩි යයි අදහස් පල කළ සුමිත් නිරිඇල්ල, මධුරංග, බින්දි,  ඔබ සියල්ලන්ටම මගේ හෘදයාංගම ස්තූතිය... ඔන්න දැන් අකුරු පෙරට වඩා විශාල කර තිබෙනවා.

S Birds හි නවාතැන් ගැනීමට කැමති අයවලුන්  0718 018186 අංකයෙන් එහි හිමිකරු නිමල් මහතා අමතා වැඩිදුර විස්තර ලබා ගන්න...

මග පෙන්වන අයෙකු (Guide)  සදහා ගාස්තුව රු 600/- වන අතර සිංහගලට යන්නේ නම් එය රු 1200/- වේ.

කැලයට පිවිසීමට පෙර ඒ පෙදෙසේ ඇති කුඩා වෙළද සැල් මගින් මිළදී ගත හැකි කූඩැල්ලන් ප්‍ර‍තිරෝදී ( Anti Leach) ආලේපනය දෙකකුල් මත ආලේපය හෝ ඒ සදහා විශේෂිත මේස් පැලදීම කූඩැල්ලන්ගෙන් මිදීමට හොද උපක්‍ර‍මයක්. එවැනි මේස් ජෝඩුවක් සිංහරාජ පිවිසුමෙන් රුපියල් 350/- මිළදී ගන්නත් පුලුවන්...අපේ මාර්ගෝපදේශක තුමා පැළද තියෙන්නෙත් ඒවා....













Saturday, September 1, 2012

53 පන්සලේ අපි කල පාඩම් 2 ( බූලා අහු වුනු හැටි )

කාමරේ නිදියගෙන හිටිය රුවන් වෙඩි වැදුන ඌරෙක් වගේ එකසැරේම පාඩම් කරන තැනට දුවගෙන ආවෙ කාටද බන් යකා ගැහුවෙ කියලා අහගෙන... ඌත් එක්කම ආවා පන්සලේ හැදෙන පින්ගොනා වගේ ඉන්න බොක්සර් වර්ගයේ දඩෝරියා.....මේකා පන්සලේ ඉන්න නිසා හරිම හීලෑයි...  අපිත් ඉතිං පාඩම පැත්තක දාලා අඩියට දෙකට අතට අහුවෙන ඉදල, කොස්ස, සවල,රේක්කෙ ආදිය අරගෙන පන්සල් වැට පැන්නා...දඩෝරියත් අපිත් එක්ක ආවා...



ඔන්න ඔතනින් තමයි පළමු කොටස අවසන් උනේ... කියවපු නැති ඈයො කියවලාම එන්න...

අපේ කස්ටිය ඔන්න පන්සල් වැටෙන් පැනලා කරුවලේම ඉදිරියට යනවා... මගෙ අතේ තිබුනෙ සවලක්, ඒකත් හරහට අල්ලගෙන හොරා පොලිස් සෙල්ලමට තමයි දැන් සිරා ඇන්ටර් වෙලා තියෙන්නෙ...

හෝව් හොව් ගහන්න එපා කියලා එතකොටම අපේ එකෙක් කෑ ගැහුවා... උන්ට වඩා ටිකක් දුරින් වෙන්න තමයි ඔන්න මම ඒවෙලාවෙ හිටියෙ.. තව පොඩ්ඩෙන් මගෙ ඔලුවෙන් මද වෑහෙනවා... සිදුවුන සන්තෑසිය පොඩ්ඩක්වත් දන්නෙ නැතුව අපි වැට පැන්නෙ... කලු පාට ටී ෂර්ට් එකක් ඇදලා හිටිය මම හොරෙක් කියලා හිතාගෙන මගෙ පිටිපස්සෙන් ගාටපු ගෙදර එකෙක් තමයි මට පොල්ලකින් ඔලුවට සංග්‍ර‍හ කරන්න හදලා තියෙන්නෙ... අපේ උන් එදා මාව ඒ විදියට ගලවා ගත්තෙ නැත්නම් මෙළහකට සිරා වළලපු තැන් වල පැළ වෙන ගස් වලත් ගෙඩි හැදිලා...

ඉටි රූප දෙකක් වගේ ඉන්න ගැටිස්සියන්ගෙ ගෙදර තමා මේ කළබලේ.. අපේ උනුත් පාඩම බල්ලට ගියා දෙන් කියලා හරිම උනන්දුයි මොකක්ද උනේ කියලා නිශ්චිතව දැනගෙන උදව්වක් එහෙම කරන්න... ඒක ඉතිං අපි වගේ උණුවෙන හිත් තියෙන කොල්ලන්ගෙ ජන්ම ගතිය වෙන්න ඇති.

එදා රෑ කොහේදෝ ගිහිල්ලා රාත්තිරියෙ නිවසට ආපු අපට වඩා වසරක් පමණ වැඩිමල් දැරිවි නානකාමරේ  ඉන්න වෙලාවෙ ඉහළ තිබුනු කවුලුවකින් එකෙක් හොරෙන් බලන් ඉදලා... ඒ දැකපු අවස්ථාවේ ඇතිවුන කම්පනයේ හඩ තමයි පන්සලේ පාඩම් කරමින් සිටි අපේ සවන්පත් පුරවා තිබුනෙ. අපේ මූණක් වත් බලන්නෙ නැති මේ දැරිවි සිද්ධිය කිය කියා අපි ඉස්සරහා අඩනකොට ඇත්තමයි අපේ හිත් වෙඩරු වගේ උණු වුනා... අපිට වාවන්නෙ නෑ ...අපේ උනුත් ඒ අස්සෙම කිඹුල් කදුලු හෙලනවා... ඒ පස්සෙ දවසක ප්‍රයෝජනයට වෙන්න ඇති. ලා රෝස පාට ඇගේ වත කමල ඒ වෙද්දි කදුලින් තෙත් වෙලා...

ඈ කියූ පරිදි හොරෙන් එබුන එකාගේ ලක්ෂණ

1  උස අඩි 6 ක් පමණ, කලු පැහැති හැඩි දැඩි අයෙකි.
2  කලු ටී ෂර්ට් එකක් සමග ඉරි වැටුණු සරමක්  හැද සිට ඇත.
3  ඇය දකින අවස්ථාවේ සරම එසවී තිබුනු හෙයින් සරමට යටින් තිබූ කොටු සහිත කොට කලිසමද ඇගේ                                        
    යුග නෙතු වලට හසු වී ඇත.

මෙලෙස හොරෙන් කාන්තාවන් සහිත ගෘහයන් වෙත බැල්ම හෙලන අය හදුන්වන අපේ පාරිභාෂිත වචනය තමයි බූලා දානවා යන්න... අදාල පුද්ගලයා හදුන්වන්නෙ බූලා යන නමින්.

ඉන් අනතුරුව අපේ පිරිස සාදරයෙන් පිළිගත්ත ගෘහ මූලික තෙමේ 

බලන්න පුතා මේ කාලකණ්නියා මීට කලිනුත් දෙපාරක්ම ඔය විදියට මේ කෙල්ලො නාන කාමරේ ඉද්දි හොරෙන් බලලා තියෙනවා. අද නම් අම්මපා මම ඉතුරු කරන්නෙ නෑ... අහුවුනොත් මරණ එක මරණවාමයි... 

එවිට දැරිවියන්ගේ මාතාව

එපා ඒයි... ඌව මරලා ඔයාට හිරේ යන්න වෙයි... අහුවුනොත් අපි පොලෝසියට භාර දෙමු.

අතිශයින් රූමත් කෙල්ලො දෙන්නා නයිටි කෑලි දෙකකින් සැරසිලා තුරුණු කාන්තා හැඩතල අපෙන් සගවන්නට වෙර දරන විට අපේ උන් රසයට ලොල් වෙච්ච ඇඹලයො වගේ  ඇස් දෙක පොට යනකම් කරකවලා.. ඒ දෙන්නවා සනසලා බූලව සොයන දැවැන්ත මෙහෙයුමට සම්බන්ධ වුනා...

මේ කියන නිවස වටේම තියෙන අනෙක් නිවෙස් කීපයම ඒ අයගෙ නැදෑයින්... ඔන්න දැන් ඉතින් සියලුම පිරිස් මේ නිවසට ක්ෂණිකව රැස් වෙලා බූලව හොයනවා... ඒ හෙවිල්ලේ තරමට නැතිවුන ඉදිකට්ටක් උනත් හම්බවෙන්න ඉඩ තිබුනා...

හැම පවුලකම ගෑණු දැරිවියො රාත්තිරී ඇදුම් පිටින් එළියට ඇවිල්ලා... සිරාටත් ඉතිං නීලමහා යෝධයගෙ ශක්තිය ආරෝපණය වෙලා මේගොල්ලන්ගෙ ලස්සන දැකලා...  අපි වගේ අහිංසකයින් පිරිසකට මේ වගේ දුලබ අවස්ථාවක් ලැබුනෙ ඇත්තටමද කියලත් හිතුනා...

අමාලි... මෙන්න මේ අයියලට හුලු අතු ටිකක් හදලා දෙන්න

අසල්වැසි නිවැසියෙක් තමාගේ දියණියට එසේ පැවසුවේ අපේ මෙහෙයුමට අවශ්‍ය ආලෝකය සම්පාදනය කොර දෙන්න.

කෙලී ඒ වැඩේ සුටුස් ගාලා කරනකොට, ඇගේ නිවෙස අසලම වෙසෙන තවත් එකෙක් අපිට එකතු වුනා... මිනිහා විරාජ්... කවදාවත් පන්සලේ පාඩම් කරන්න ආවෙ නැති වුනත් අපි දන්න හිතවතෙක්...

මේ කථා බහ අස්සෙ විරාජ් කොලුවට ඔය කියන අමාලි කෙල්ල නිසා සිදුවුන සන්තෑසියකුත් මට මතක් වුනා... ඒ කථාවත් මේක අස්සෙම කියලා දාන්නයි ඔන්න මේ සූජානම....

මේ අය වෙසෙන නිවෙස් වලට පිටුපසින් කුඹුරු සදහා ජලය ගෙන යාමට සැකසූ කොන්ක්‍රීට් ඇළක් තිබෙනවා... ජලය ඉතා හොදින් පිරී තිබෙන දවස් වලට නිවැසියෝ ස්නානය සදහා ඒ ඇළ භාවිතා කරනවා..
මේ කියන දවසෙ ඇළ අසලම තියෙන සාමාන්‍ය තරමෙ උසකින් යුක්ත සියඹලා ගහේ කරල් පිරිලා.. එහෙමට කියලා වැඩක් තිබුනෙ නැති විරාජ් ගොයියා සියඹලා කඩන්න ගහේ කරටියටම නැගලා ඉන්න වෙලාවෙ හරියටම ගහ යට ඇළෙන් නාගන්න අමාලි කෙලිත් ඇවිත්.

ඇය ගහ උඩ වදුරෙක් ඉන්නවා කියා නොදැන ඇදුම් එහෙම උනා දමා ස්නානය කොට නැවතත් නිවසට යන්න ඔන්න මෙන්න තියෙද්දි විරාජ්ගෙ ගෙ අත් වැරදීමකින් සියඹලා කරලක් ඇලට වැටිලා...එතකොටම අමාලි උඩ බලලා...

අමාලි - මොකද අයියෙ ගහ උඩ කරන්නෙ
විරාජ් -  නෑ මේ නිකං නැග්ගා නංගි
අමාලි - මම නානවා හොරෙන් බලන් හිටියද ?
විරාජ් -  හයියෝ මොනාද මේ කියන කථා... මේ විරාජ් අයියා එහෙම නෑ නංගි...

මේ කථාව පස්සෙ දවසක  අමාලිගෙන් අපේ උන්ටත් දැන ගන්න ලැබිලා  විරාජ් විසුලුවක් බවට පත් වුන නිසාමදෝ ඒකා පන්සලේ පාඩම් කරන්න ආවෙම නෑ...

ඔන්න අපි ආයෙමත් ඒ කථාබහෙන් බූලා සොයන මෙහෙයුමට සම්බන්ධ වෙනවා..

විශාල Emergency Lamp එකක් අතින් ගත්ත දැරිවියන්ගෙ පියා  අපේ උන් එක්ක එකතු වෙලා කෝපයෙන් දිලිසෙන නෙත් හාත්පස යවමින් වත්ත පුරාම අදුරු තැන් වල බූලව හොයලා වත්ත පහළ කොන්ක්‍රීට් ඇළ ලගට ආවා... ඊට ස්වල්ප වෙලාවකට පෙර වත්තෙ ඉදන් ලිස්සලා ආපු කෙනෙක් ඇළට වැටිලා... ඇළෙන් ගොඩවෙලා ප්‍ර‍ධාන මාර්ගය පැත්තට ඇළ ඉවුර ඔස්සේම ගිය ලකුණක් විසිරුන ජලය මගින් එහි සටහන් වෙලා තිබුනා.

ඇළ අසලම තිබුනු වියලීමට ලක්වුනු ගුහා බදු අකුල් සියල්ල අපේ උන් අතින් ගිණිබත් උනා... රුවන්,පුෂ්පෙ,අකිල,වනිගෙ,චින්තක, බොක්සර් දඩෝරියා මේ සියල්ලන්ම මෙහෙයුමට සම්බන්ධ වුනත් කරුවලට භය නගා කෙල්ලො දෙන්නා එක්ක ගෙදර නතර වුනා. පිරි‍සෙ සියල්ලන්ම ඇළෙන් පැනලා ගමන් ඇරඹුවත් මේ කියන දඩෝරියාට ඇළෙන් පැනගන්න තේරුමක් නෑ..

දඩෝරියා උස්සගෙන ඇළ තරණය කරපු අකිල...

මෙච්චර සල්ලි වියදම් කරලා මේ වගේ ගොන් බල්ලෙක් හාමුදුරුවො මොකට හදනවද මන්දා...
බලපන් වල් බල්ලෙක් ආවා නම් අපූරුවට මෙතනින් පනිනවා... 

ඇළ ඉවුර දිගේම ගිහිල්ලා ප්‍ර‍ධාර පාරට ගොඩවෙද්දිම කරුවලේම ඈත යන පුෂ් බයිසිකලයක් දක්නට ලැබුනා.... ඒ තමයි බූලා කියලා කෑ ගහපු අපේ උන් ඉක්මනට පන්සලට දුවලා තම තමන්ගෙ බයිසිකල් ඉක්මනට පාරට දැම්මා බූලගෙ පස්සෙ එළවන්න...

ඒ කාලෙ නගා පැද්දෙ ගෑණු ළමයි පදින ආකාරයේ පොල්ල නැති ලේඩීස් බයිසිකලයක්... පන්සලේ අයට බයිසිකල් නැති නිසා..නගාගෙ බයිසිකලය අකිල පදිනවා

සෑහෙන දුරක් පොල්ල නැති බයිසිකල් හැඩලය අල්ලාගෙන තනි අතින් සරම අල්ලගෙන බයිසිකලයත් එක්ක දුවපු චින්තක

ඒ මටත් නගින්න පොඩ්ඩක් බයිසිකලය නවත්තපන්කො

බයිසිකලය පදින අකිල

උඹට නගින්න මේකෙ පොල්ලක් නෑ යකෝ... මේක අර  නගාගෙ එක

ඊට පස්සෙ චින්තක හැඩලය අත ඇරලා ආයෙමත් පන්සලට ගියා..


ඔන්න දැන් ඉතිං සිරා ඇතුලු බයිසිකල් කරුවන් හතර දෙනෙක් හිටු කියලා ඈතින් ගිය බයිසිකලය පස්සෙ එළවලා ඒකට කිට්ටු කලා... මැදි වයසෙ කෙනෙක් තමයි බයිසිකලේ පදින්නෙ..

ඔහු හැද සිටි ටී ෂර්ට් එක කලු පැහැතිය/ සරමද ඉරි සහිතය/ උස අඩි 6 ක් පමණය.
ඒ අනුව දැරිවියො දුන්න ඔත්තුවට අනුව තවත් අඩු සරමට යටින් ඇද සිටින කොටු සහිත කොට කලිසමය...

බයිසිකලේ පදින ගමන් පුෂ්පෙ

මචං මුගෙ සරමට යටින් කොට කලිසමක් තියෙනවාද කියල බලන්න නම් බයිසිකලෙත් එක්කම මිනිහව වට්ටන්න වෙනවා...

අකිල

මම මේ පන්සලෙන් ගෙනාපු stump එක උගෙ බයිසිකලේ රෝදෙ අස්සට ගහලා මිනිහව පෙරළලා සරම උස්සලා බලමු.. කොට කලිසමක් තියෙනවද කියලා...

අපේ හදිසි ආගමනයත් සමග කලබල වූ  නාදුනන බයිසිකල් තෙමේද දැන් දැන් හැටට හැටේ පාගයි. අපද එසේමය... දැන් ඔහු ප්‍ර‍ධාන මාර්ගයෙන් අතුරු පාරක ධාවනය කරයි... පළාතම නිශ්චලය... සියල්ලන් නිදිදෙව් දුව වැළද ගෙනය. අප කෙරේ සැකයක් ඇති නොවී අකිලගේ සැලසුම ක්‍රියාත්මක කිරීම අපේ බලාපොරොත්තුව විය..

අන්කල් මේ හරියෙ සංගීතයක් නැද්ද අද ?
නෑ නෑ මේ හරියෙ නෑ... කවුරුවත් එහෙම කිව්වද.. ඔහුද බයිසිකලය පදින ගමන්ම පිළිවදන් සපයයි...

තවත් මද වේලාවක් ඇවෑමෙන් තවත් එකෙක්...

අන්කල් මේ හරියෙ මළ ගෙයක් නැද්ද ? 
සංගීත කියනවා, මළ ගෙවල් කියනවා  අනේ මන්දා යැයි පැවසූ ඔහු කිසිදු ආලෝකයක් නැති  ගුප්ත බවක් පෙන්වූ මාවතකට බයිසිකලය හරවා සිතාගත නොහැකි වේගයෙන් නොපෙනී ගියා..

තව දුරටත් ඔහු ලුහුබැදීමට අප කාටත් ධෛර්යයක් නොවූ තැන නැවතත් පෙර කිවූ නිවසට සේන්දු වුනා...

සිදුවුන සන්තෑසිය පවසා නැවතත් පන්සලට යාමට සැරසුනත්  යුවතියන් අපට කෝපි බොන්නට කල ආරාධනය පිළිගෙන අපේ අය හුරතල් වෙවී කෝපි බිව්වා හෝරාවක පමණ කාලයක්... ඔන්න ඒ ජවනිකාව ඒ ආකාරයෙන් අවසන් වුනා.


මම සයිබරයේ අලුත් මිතුරා සිරා.

ප.ලි

පසුදා අදාළ නිවෙස අවට සෝදිසි කල නිවැසියන්ට කොන්ක්‍රීට් ඇළ අසල වැටී තිබූ ජාතික හැදුනුම්පතක් හමු වී තිබෙනවා... එහි ඡායාරූපයෙන් හදුනාගන්න බෑ කාගෙද කියලා... ඉර මුදුන් වෙද්දි කෙනෙක් ඇවිල්ලා කොන්ක්‍රීට් ඇළ අසල යමක් හොයන්න...ඒ තමයි නැතිවුන හැදුනුම්පතක්...  ඒකා හන්දියේ යකඩ කඩේ වැඩට පිට පළාතකින් ආපු එකෙක්... ඔන්න බූලා කර මුලින්ම අහුවුනා...  ඊට පස්සෙ මිනිහට වෙලා තියෙන්නෙ ඇඩ්රස් නැති වෙන්න ගුටි කන්න.... ගුටි පූජාව අතරතුර ඒකා පිළිඅරන් මම තමා නාන කාමරේට එබුනෙ කියලා..

අපි එදා පස්සෙන් පන්නලා තියෙන්නෙ ප්‍රදේශයේ වෙසෙන හොද පිරිස් බලයක් තියෙන ව්‍යාපාරිකයෙක් පස්සෙන්... මිනිහා රාත්තිරියෙ ළග පාතකට ගිහින් යන ගමන් තමයි අපිට හමුවෙලා තියෙන්නෙ...  එදා අපි මිනිහගෙ සරම කැඩුවා නම් තාම ගුටිකනවා...

අවසානයේ ගුටි කාලා හෙම්බත් වෙච්ච බූලව  පොලෝසියට බාරදීලා.. එතැනදිත් ඒකා ප්‍රදේශයේ මැර දේශපාලකයෙක්ගෙ හයිය අරන් දගලන්න ගිහින් පොලෝසියේ ඇත්තන්ගෙනුත් බඩ කට පුරා කෑවා කියලා තමයි ආරංචි වුනේ.

මේ සිද්ධියෙන් සති දෙකක් පමණ යන තුරු අප වෙත සුහදත්වය පල කල මේ රූමත් යුවතියන් දෙදෙනා ඉන් පසු නැවතත් අප නොහදුනන තත්වයට පත් වූ බවද ඉතා සංවේගයෙන් මෙහිලා සටහන් කරමි.








Saturday, August 25, 2012

74 පන්සලේ අපි කල පාඩම්....

අද කියන්න යන්නෙ 2001 වර්ෂයෙ සිදුවුන අවාසනාවට ඇත්ත කථාවක්... මේ වසරෙ සිරා අ.පො.ස උ/පෙ විභාගයට පෙනී සිටි නිසා බොහොම වැර වීරියෙන් පාඩම් කරමින් සිටි කාලයක්... ගෙදර වටේම උන් රාත්තිරියට මහ හයියෙන් ටෙලි ජවනිකා ආදිය බලන නිසා සිරා ඇතුලු මිතුරො සැට් එක සෙට් උනා පාඩම් කරන්න අපේ පළාතෙ පන්සලකට... මේ කියන පන්සලේ නායක හිමියනුත් ඒ අවදියේ අපේ පාසලේ ගුරු මණ්ඩලයේ සේවය කල නිසාත්, අපි තුමාලා අපේ ඉසව්වෙ වැදගත් දෙමාපියන්ගෙ බෝ පැළ වගේ දරුවො ටිකක් නිසාත්,  අපි අහන සැනින් අවසරය ලැබුනා...


පුෂ්පෙ,නගා,වනිගෙ,රුවන්,අකිල, චින්තක ඔන්න සැට් එකේ නම්... නගා කිව්වෙත් කොලුවෙක්.. උගෙ වැඩ නිසා තමයි ඒ තරම් මසුරන් නමක් ඌට යෙදුනෙ.. මේ අය අතරින් රුවන් කන්තලේ , චින්තක පොළොන්නරුව වගේ ඈත පළාත් වල අය, ගම්පහ ප්‍රදේශයේ පවතින හොද යයි සම්මත අතිරේක පන්ති වලට සහභාගි වෙන්න චින්තක පන්සලේ නතර වෙලා හිටියෙ... රුවන් අපේ පන්තියේ එකෙක්...සැට් එකම හවස 6ට විතර පාඩම් කරන තැනදි හම්බවෙනවා... අකිලත් පන්සලේ නැවතිලා හිටියෙ... උගෙ ගම් පළාත ගම්පහ උනත් කොල්ලො රැලට වැටිලා රස්තියාදුවෙ යන නිසා උගෙ දෙමව්පියො බලෙන්ම වගේ ඒකව පන්සලේ නවත්තලා තිබුනෙ.

පුෂ්පෙ පන්සල ලගම එකා නිසා හවසට එන්නෙ විශාල උණුවතුර ප්ලාස්කුවක කට කපලා තේ එකක් අරගෙන... පාඩම් කරන්න ගත්ත මුල් දවස් වල පැය දෙකට තේ එක ඉවර කරලා හැමෝම නිදාගත්ත... පස්සෙ පස්සෙ ඒ ගතිය නැති වෙලා හැමෝම උනන්දුවෙන් වැඩ කොලා. පන්සලේ නැවතිලා හිටිය අයට තිබුනා දෛනික කාල සටහනක් ලොකු හාමුදුරුවො සකස් කල...

අවදි වීම උදේ 5.00, දත කට මැදගෙන පිරිසිදු වීමෙන් අනතුරුව මිදුල ඇමදීම/මල් ආසන පිරිසිදු කිරීම ආදී කාර්යයන්/ ඉන් පස්සෙ පාසල් හෝ පන්ති සදහා සහභාගි වීම, සවස් කාලයේ මල් පැල වලට වතුර දැමීම ආදි කාර්යයන්, මේ පන්සලේ නායක හාමුදුරුවන් උඩරට පළාතක කෙනෙක් හින්දා ඒ පළාත් වලින් ගෙනල්ලා  හිටවලා තිබුනා ලස්සන මල් වර්ග බොහෝමයක්... කෙසේ හෝ මොන වැඩේ තිබුනත් පන්සලේ උන් රාත්‍රී 7 වෙනකොට පාඩම් කරන්න ඉදගන්න ඕනෙ...ඒක තමයි නීතිය.. හාමුදුරුවො රාත්‍රියට ආහාර අනුභවයක් නැති නිසා උන්ට රාත්‍රී ආහාර නෑ... කැමති දෙයක් කඩෙන් කන්න පුලුවන්.... ලොකු හාමුදුරුවො පන්සලේ ඉන්නවා නම් රුවන්,චින්තක වගේම අකිල  ගොයියත් මේ නීති අකුරටම පිළිපැද්දා....

නමුත් හිටපු ගමන් ලොකු හාමුදුරුවො විදේශ ගත වෙනවා මාස 2ක් හෝ 3ක්  වගේ කාලයකට, මේ වගේ අවස්ථා වල ඒ ගමන පිටත්වෙන්න කලින් පන්සලේ වැඩ වාසය කල අනිත් හිමි වරුන් දෙදෙනාට වගේම නැවතිලා සිටි ගිහි අයටත්  සෑහෙන උපදෙස් කන්දරාවක් දීලා තමයි උන් වහන්සේ ඒ ගමන වඩින්නෙ. ලොකු හාමුදුරුවො නැති කල රුවන් ,අකිල වගේම චින්තකයත් පුදුම සතුටෙන් ඉන්නෙ... කාල සටහනක් තිබ්බද කියලත් උන්ට ඒ කාලෙට මතකයක් නෑ...

ඒ වගේ කාලෙට රුවනගෙ සාමාන්‍ය කථා බහ මෙහෙමයි....

පුෂ්පෙ උඹ තේ එක ගෙනා එක හොදයි... අද පන්සලට ලැබුනා කැවුම් කෙහෙල්ගෙඩි තොගයක්... මම රෑ වෙලා ගේන්නම්....මෙන්න සයිස් ආනමාලු... හෙට උදේට පොඩි මහත්තයලගෙ ගෙදරින් දානෙ... පොඩි මහත්තයාගෙ චූටි දුවවත් බලලා ඉදි ආප්ප ටිකකුත් කාලා යන්න ඉදපල්ලා උඹලට පරක්කු නැත්නම්...

තවත් දවසක හැන්දෑවෙ 6 ට පමණ

මට අද නිදිමතයි බන් මම නිදා ගන්නවා... උඹලා රෑ වෙලා තැඹිලි බාන වෙලාවට මට කථා කරපන්... මම මන්නෙකුත් අරන් එන්නම් තැඹිලි කපන්න....

පන්සලේ වාසය කල අනෙක් හිමිවරුන් දෙන්නා රාත්‍රියේ ආවාසෙන් එළියට එන්නෙත් නැති නිසා පන්සලම අපේ වගේ...

දවසක් වනිගෙ

අපේ ගෙදර ඉස්සරහා රෙඩ් ෆාම් පැලයක් හිටෙව්වොත් ලස්සනයි බන් ගලවමුද පැලයක් හාමුදුරුවො නැති එකේ....

ගිණි පෙට්ටියක් අවසන් වෙනතුරු ගිණි කූරු එළියෙන් කඩි ප්‍ර‍හාර වලට ලක් වෙවී අත් වලින් මල් පෝච්චි හාරමින් එදා රෙඩ් ෆාම් පැල ගැලෙව්වා...

තවත් දවසක

අර පාට දෙකේ බෝගන්විලා මල් ලස්සනයි නේද බන්... ගලවමුද ඒකෙනුත් පැලයක්... අර ආවාසෙ කිට්ටුව ගහේ එල්ලලා තියෙන මුට්ටියෙ තියෙන වී ඇට වගේ ගහත් ලස්සනයි... ඒකෙනුත් පැලයක් ගලවමු... මේ විදියට පන්සල පුරාම මල් පෝච්චි වලින් හැම රැයකම පැල එකින් එක අතුරුදහන් උනා..

සමහර දිණ වලට පුෂ්පෙ

මචං නිදිමතයි බන්... හොද පැහිච්ච තැඹිලි වල්ලක් තිබුනා පඩිපෙළ ලග ගහේ, රුවාට කථා කරලා පිහියක් ඉල්ලලා දීපන් මම ගහට නගින්න....

ඔන්න ඉතිං ඒ වගේ දවස්වලට රුවා නාහින් අඩ අඩා කඩා හැලෙන සරන් කොටයත් උස්සගෙන මන්නයත් අරන් වැනි වැනි ඇවිල්ලා මෙහෙම කියනවා...

යකෝ තාම රෑ 11 යි. උඹලා වෙනදා 2ට විතරනෙ බන් තැඹිලි කඩන්නෙ...මට අද ඉස්සරහා ගහෙන් කුරුම්බයක් කඩලා දීපන් හොදද.... එතකොටම ඌට ප්‍ර‍තිඋත්තර ලෙස ලැබෙන කුණුහරුප සංග්‍ර‍හයෙන් අනතුරුව .... ආ එහෙනං කාරි නෑ මටත් තැඹිලි ගෙඩියක්ම කපලා දීපන් කියලා ඌ ගහ ළග ඇන තියා ගන්නවා...

සමහර දවස් වලට නගා (මිනිහා නිකන් ළදක් වගේ තමයි කථා කරන්නෙ...)

ඒයි යමන්කො බන් චූ පාරක් දාලා එන්න......

එවිට අනිත් උන් අතරින් එකෙක්...

මොන මගුලක්ද බොල... ආපු වෙලේ ඉදන් තේ බොනවා ඉවරයක් නෑ... ඔය තේ බීම අඩු කරපන් අපිට වද නොදී... උඹට හුජ්ජ බර නම් ගිහින් කොරගනින්කො අපේ ආතල් කඩන්නෙ නැතුව... මම මේ අරයගෙ ව්‍යාපෘති වාර්තාව හදනවා... නැත්නම් හෙට මීට් වෙලා ඉවරයි...

පරාජය පිළිනොගන්නා නගා...

මම කලුවරට බය හින්දනේ බන් උඹලට කථා කලේ.... උඹලා එන්නෙ නැත්නම් මම මෙතනම කරනවා...

නගාගෙ තර්ජනාංගුලිය හමුවේ ඌට බැන බැනා එකෙක්  උගෙ පසුපස යාම සාමාන්‍ය සම්ප්‍ර‍දාය....

ඔන්න දවසක් ලොකු හාමුදුරුවො විදේශ ගමනක් නිම කරලා ලංකාවට සැපත් වෙලා... කඨින පිංකම හින්දා පහුවදා ශ්‍ර‍මදානයක් ලෑස්ති කරලා පන්සල ශුද්ධ පවිත්‍ර‍ කොරන්න. අපිත් ඉතිං බෑ නොකියා සහභාගි වුනා.

ශ්‍ර‍මදානය දවසෙ ලොකු හාමුදුරුවො

රුවන් අර තැඹිලි ගහේ ගෙඩි අස්සෙන් මොකක්ද පේන්නෙ......

රුවන් - මන්නයක් වගෙයි හාමුදුරුවනේ....

ලොකු හාමුදුරුවො - පන්සලේ මන්නෙ මෙතනට නිකම්ම වැඩියද ? ගෝලයෝ නිකං ඉදලා නෑ වගේ මම             හිටපු නැති දොහේ... කවුද ගස් බඩගෑවෙ ?

රුවන් - හන්දියෙ ගෙදර පුෂ්පෙ තමා කැඩුවෙ.... අපිත් ඉතිං ඔක්කොම හවුල් උනා...

ලොකු හාමුදුරුවො  - පුෂ්ප පුතේ.... අර ඊට මෙහායින් තියෙන තැඹිලි වල්ලත් හොදට පැහිලා... ඒකත් කඹයක් දාලා බාගෙන බොන්න... නිකං පොල් වෙන්න අරින්න ඕනයෑ නේද? පරිස්සමෙන් ගහට බඩගාන්න පුතේ... රෑ දෙගොඩ හරියෙ ගස් බඩගානවා වගේ නෙමෙයිනෙ නේද ?

එදා ඉතිං පුෂ්පයා මහ දවාලෙ ගස් බඩගාලා ඉක්මනට තැඹිලි වල්ල බිමට සම්ප්‍රාප්ත කොලා.... ඊට පෙර දවසක වැරදීමකින් ගහේ දාලා ආපු මන්නයත් එක්කම...

ඔන්න ඉතිං මේ වගේ සිද්ධි අතරින් ඉතා රසවත්ව හැන්දෑවට හැන්දෑවට පන්සලේ පාඩම් වැඩසටහන ක්‍රියාත්මක වෙනවා... සමහර දවස් වලට ලොකු හාමුදුරුවෝම ඒ අයට ලැබෙන වැඩිපුර කෑම බීම අපිට ලබා දෙනවා... තවත් දවසක රාත්‍රී යාමේ හොරෙන් නැගිටලා බලාගෙන ඉන්නවා පන්සලේ උන් 3 දෙනා පාඩම් කරනවද නිදිද කියලා....

සිරිත් පරිදි මේ කියන දවසෙත් අපේ සැට් එක පාඩම් කොරමින් හිටියෙ... රාත්තිරී 11 ට විතර  පන්සලට යාබද නිවසක කෙල්ලෙක් යටි ගිරියෙන් කෑ ගහන සද්දයක් ඇහිලා හැමෝම තුෂ්නිම්භූත වුනා.... විනාඩි දෙක තුනක් ඇවෑමෙන් සද්දෙ නතර  වුනේ ලොකු කෑ කෝ ගැසීමක් එක්ක.... එදා ලොකු හාමුදුරුවො පන්සලේ වැඩ සිටියෙ නැති දවසක්...

සද්දෙ ආපු නිවසේ වෙසෙන්නෙ ඉටි රූප දෙකක් වගේ ගැටිස්සියො දෙන්නෙක්... ගම්පහ ප්‍ර‍ධාන කාන්තා පාසලක ඉගෙන ගත්තෙ.. උන්ට යමක් කමක් තිබුන නිසාත්... රූපයෙන් සෑහෙන්න ලස්සන නිසාත් අපි වගේ කබ්බො සත පහකට ගනන් ගත්තෙ නෑ... පාරෙදි දැක්කත් මූණක් වත් බැලුවෙ නෑ....

කාමරේ නිදියගෙන හිටිය රුවන් වෙඩි වැදුන ඌරෙක් වගේ එකසැරේම පාඩම් කරන තැනට දුවගෙන ආවෙ කාටද බන් යකා ගැහුවෙ කියලා අහගෙන... ඌත් එක්කම ආවා පන්සලේ හැදෙන පින්ගොනා වගේ ඉන්න බොක්සර් වර්ගයේ දඩෝරියා.....මේකා පන්සලේ ඉන්න නිසා හරිම හීලෑයි...  අපිත් ඉතිං පාඩම පැත්තක දාලා අඩියට දෙකට අතට අහුවෙන ඉදල, කොස්ස, සවල,රේක්කෙ ආදිය අරගෙන පන්සල් වැට පැන්නා...දඩෝරියත් අපිත් එක්ක ආවා...

හැබෑටම ඊට පස්සෙ මොකද  උනේ ?  තරහා නැතුව ඒ ටික ඊළග දවසෙ කියවමුද ?


මම සයිබරයේ අලුත් මිතුරා සිරා


ප.ලි

සාංඝික දේ ගැනීම එක්තරා පවකි... ඒ නිසාමදෝ අපේ උන් හිටවපු කිසිම පැළයක් දිගු ආයුෂ වින්දේ නැත.

දිණ කීපයක් නිවසින් බැහැරව යන නිසා උත්තර බැදීමේදි සිදුවන පමාව පිළිබද සමාව භජනය කරන්න..

පාඩම් කරපු නඩෙන් කැම්පස් ගියේ එකෙකි... අනිත් උන් ද කැම්පස් නොගියාට වෘත්තීය ජීවිත ජයගෙන ඇත.












Tuesday, August 21, 2012

64 අරංතලාවේ ඛේදවාචකය

අරංතලාව ස්මාරකය
පොරොන්දුවක් වී නම් එය  ඉටුකල යුතුමය.. එසේ නොහැකිනම් පොරොන්දු නොවී සිටිය යුතුය.                      
දින හතරේ ආගිය තොරතුරු 4 වන කොටසේදී අරංතලාව ගැන පසුව ලියන්නට සිරා පොරොන්දු  විය.
මේ ඒ පොරොන්දුව ඉටුවන දවසයි. මේ පෝස්ටුව අග කොටස දක්වාම කියවන්න.. මන්ද මෙහි වැදගත්ම අපේක්ෂාව ඇත්තේ අග කොටසේ හෙයිනි.

අවවාදයයි - වඩා සංවේදී හදවත් ඇති අය මෙහි ඇති ඡායාරූප මගහැර පෝස්ටුව පමණක් කියවන්න.

කොටි ත්‍ර‍ස්තයා යනු හිතක් පපුවක් නැති ම්ලේඡ නරුමයෝ රැළක්ම වූහ.  විමුක්ති සටනක් යැයි අරුත් ගැන්නුවද මනුෂ්‍යත්වය අතික්‍ර‍මණය කල අමානුෂික  ගතිගුණ උන් කෙරෙන් ප්‍ර‍කට වූයේ වරක් දෙකක් නොවේ. මායිම් ගම්මානයන්හි  කිරිකැටියාගේ සිට මහල්ලන් දක්වා ගැහැණු පිරිමි භේදයකින් තොරව අහිංසක නිරායුධ සිවිල් වැසියන්  පෙති ගසා උණුන්ගේ විමුක්තිය සෙවූ ත්‍ර‍ස්තවාදියාට සුදු හුණු ගාන්නට පසු කලෙක උත්සාහ කල NGO හොර නඩේට මෙන්ම තමන්ගේ රෙද්ද පල්ලේ වැගිරෙන කුණු හංගාගෙන අනුන්ගේ පැටිකිරිය අවුස්සන ඇමරිකානු මානව හිමිකම් ඇත්තන්  කිසිවෙකුටත්  ත්‍ර‍ස්තයා අතින් අමු අමුවේ තිරිසන් අන්දමින් ඝාතනයට ලක්වූ නිරායුධ අහිංසක බුද්ධ පුත්‍ර‍යාණන් වහන්සේලා තිස් එක් නමකගේ මෙන්ම ගිහියන් තිදෙනෙකුගේ ඉරණම විසදුනු මේ සිදුවීම පිළිබද අල්පමාත්‍ර‍යකුදු අනුකම්පාවක්, මතකයක් නොවීය. අද අප නිදහසේ හුස්ම විදින්නේ මෙවැනි කාළකණ්නි ඉතිහාසයක් පසුකර ගෙන පැමිණීමෙන් බව අපේ මතු පරපුරට හෝ දැනගනු රිසියෙන් සිරා මේ සටහන තබන්නට උත්සුක වුනේ.

දින හතරේ චාරිකාව අතරතුර අරංතලා භික්ෂු ඝාතනය සිදුවුන ස්ථානය නරඹන්න ගිය ගමනේදි තමයි මේ කථාව මට විස්තර කල ප්‍රියන්ත අයියා හමුවුනේ... ඒ ප්‍රදේශයේම සිවිල් ආරක්ෂකයකු ලෙස රාජකාරී කරන  ඔහුගෙ මතකයෙ සටහන් වෙච්ච ආකාරයට  රටක් හැඩවූ මේ සිදුවීම මෙන්න මේ විදිහයි.

1987 ජූනි මස 2 වෙනිදා අම්පාර ප්‍රදේශයට වෙනදා වගේම කිසිම වෙනසකින් තොරව හිරු උදාවුනා. ත්‍ර‍ස්ත  භීතියෙන්  ගෙවෙන ජන ජීවිතය බියෙන් සැකෙන් එදිනෙදා වැඩකටයුතු ආරම්භ කරද්දි අම්පාර මහාවාපි විහාරයේ නායක හිමියන් සහ කුඩා හාමුදුරුවරුන් වන්දනා ගමනක්  යන්නයි සූදානම් වෙලා හිටියෙ.  ඒ කුඩා හාමුදුරුවරුන්ට බෞද්ධ සිද්ධස්ථාන පෙන්නන්න නුවර ප්‍රදේශය හරහා  කතරගම පුදේශයට. ඔවුන් සිද්ධිය වන විට අම්පාර මහියංගනය මාර්ගයේ කිලෝමීටර් 40 කට මදක් වැඩි දුරක් පැමිණ තිබුනා.

අම්පාර මහාවාපි විහාරාධිපති, ශ්‍රී විද්‍යානන්ද පරිවේණාධ්‍යක්ෂ , උතුරු නැගෙනහිර දෙපලාතේ ප්‍ර‍ධාන අධිකරණ සංඝ නායක සද්ධම්මාවාගීස්වර සිරි සුමනතිස්ස අතිපූජ්‍ය හෑගොඩ ශ්‍රී ඉන්ද්‍ර‍සාර නාහිමියන් වහන්සේ  තමයි මේ ගමනේ ප්‍ර‍ධාන තැන ඉසුලුවෙ. ධර්ම දර විනය දර භික්ෂූන් වහන්සේ නමක් ලෙස පතල වෙලා හිටිය උන් වහන්සේ.... නියම සංඝ පීතෘෘ වහන්සේ කෙනෙකුගේ ගතිගුණ විද්‍යාමාන කරමින් ත්‍ර‍ස්ත භියෙන් සලිතවෙලා ඉන්න ගම්වාසීන්ට සවියක් වෙලා අම්පාර ප්‍රදේශයේම වැඩ සිටිමින් ඔවුන්ට ශක්තිය ධෛර්යය සැපයූවා. මෙහි ගම්වැසියන් අදත් උන් වහන්සේ සිහි කරන්නෙ හද පිරි බැතියෙන්.

අපවත් වූ අතිපූජ්‍ය හෑගොඩ ශ්‍රී ඉන්ද්‍ර‍සාර නායක හිමි

ප්‍රියන්ත අයියාගෙ වචනෙන්ම එතැන සිට කථාව මෙහෙමයි...

ඔය කියන කාලෙ මම පිරිවෙනට දහම්පාසල්  යන කාලෙ... අම්පාර ඩිපෝ එකේ ලංගම බස් එකක තමයි මේ හාමුදුරුවරු ඇතුලු පිරිස ගමන යන්න සූදානම් වෙලා තිබුනෙ. ඒ දවස් වල ආමි එකේ STF එකේ ලොකු කෑම්ප් මේ හරියෙ තිබුනෙ නෑ.. තිබුනෙ ග්‍රාමාරක්ෂයන්ගෙ ගෙවල් දෙකක් තුනක් විතරයි. පාර දෙපැත්තෙම  රූස්ස තේක්ක ගස් පිරුන මාන කැලේ. අද ප්‍ර‍ධාන පාර අද්දර බුදුමැදුර හදලා තියෙන තැන  ගෙවල් තිබුනට ඒ කාලෙ එතැන තිබුනෙ හේන් වලට යන අඩිපාරක් විතරයි. ඔය කියන දවසෙ උදේ 6.30 ට විතර  මේ හරියෙදි තේක්ක කොටයක් දාලා පාර හරස් කරලා වයස අවුරැදු 20 - 22 වගේ   ආමි එකේ ඇදුමට සමාන ඇදුමක් ඇදපු LTTE කොටියෙක්. හෝව් හෝව් කියලා මේ බස්රථය නතර කලා කියලයි කියන්නෙ. මේ බස්රථයේ ඩ්‍රැයිවර් මහත්තයා මේ කියන පිරිවෙන හරියෙම කෙනෙක් නිසා යුධ හමුදා මාර්ග බාධකයක් කියලා හිතලා බස් එක නවත්තලා..

මහත්තයෝ මේ හාමුදුරුවො වන්දනා යන බස් එකක් කියලා කොටියට පිළිතුරු දීලා.. ඒ වෙද්දි රියදුරා දැකලා තියෙනවා බස් එක නවත්තපු කොටියට අමතරව  පාර වම් පැත්තෙ අයිනෙ  තවත් දෙන්නෙක් තුන් දෙනෙක් කැති, පොරෝ තියාගෙන ඉන්න අන්දම,

එවිටම වගේ නවත්තපු බස් එකට මේ අය නැගලා ඩ්‍රැයිවර්ව භය ගන්නලා ගේන්න තියා හිතන්නවත් බැරි තේක්ක/මාන කැලේ මීටර් 200 ක් විතර බස් එක අරගෙන ඇවිල්ලා,  තව දුරටත් කැළෑව නිසා ඉදිරියට යන්න බැරි තැන නතර වුන බස් රථයේ ඉදිරි ටයර් වලටයි වින්ඩ්ස්ක්‍රීන් වලටයි වෙඩි තියලා තියෙනවා.. මේ වෙලාවෙ ලොකු හාමුදුරුවො හිතලා තියෙන්නෙ කොල්ල  කල්ලියක් බස් එක කොල්ල කන්න කැළේට අරන් ඇවිත් කියලා,

එදා බස්රථය කැළෑවට ධාවනය කල මාර්ගය අද

මගෙ පොඩි කට්ටියට මොනවත් කරන්න එපා
මාව ඕනෙ නම් මරපල්ලා... මම සල්ලි ඕනෙනම් සල්ලි දෙන්නම්.. කියලා ලොකු හාමුදුරුවො කෑ ගහලා තියෙනවා.

එතකොටම පළවෙනි කඩුපාර ගහලා තියෙනවා ලොකු හාමුදුරුවන්ගෙ ඔලුවට... ඊට පස්සෙ වෙඩි 2ක් තියලා තියෙනවා. වැඩිය වෙඩි තියලා නෑ සද්දෙ ඇහේවි කියලා... අර පිච්චිලා වගේ පේන ගහ ළගට (ප්‍රියන්ත අයියා ස්මාරකයට මද දුරකින් පිහිටි ගසක් පෙන්වයි)  තමයි බස් එක ගෙනල්ලා නවත්තලා තිබුනෙ.

පාර අයිනෙ හිටපු ග්‍රාමාරක්ෂකයො හය හත් දෙනෙක් දැකලා තියෙනවා ටිකකට කලියෙන් හාමුදුරුවො පිරිස පිරිත් කියාගෙන බස් එකේ යන අන්දම, ඒ ගොල්ලන්ටත් වෙඩි සද්දෙ ඇහිලා තියෙනවා... මොකද ඒ දවස් වල වැඩියෙන්ම වෙඩි සද්දෙ අහුනෙ තොප්පිගල, මඩකලපුව පැත්තෙන් හින්දා ඒ ගොල්ලොත් වෙඩි තියාගෙන සැකේට වගේ කැලෙන් කැලෙන් මේ පැත්තට ඇවිල්ලා තියෙනවා...



Google මගින් ලබාගත් මියගිය හිමිවරුන්ගේ මෘතදේහ පිළිබද ඡායාරූප

ඒ ගොල්ලො බස් එක ලගට එනකොට වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි. හාමුදුරුවො 39 දෙනෙක් අතරින් 31 නමක් ම ඝාතනය වෙලා ඉවරයි... ඒ අතරින් කිසිම තුවාලයක් හෝ නැතුව කම්පනය නිසා මියගිය කුඩා හාමුදුරුවන් තිදෙනෙක් ඉදලා තියෙනවා. එක කොටියෙක්ගෙ වත් මිනියක් හම්බුනේ නෑ.. උන් කැලේ පැත්තෙන්ම පලා ගිහිල්ලා කිසිම හානියක් නැතුව. ග්‍රාමාරක්ෂකයො මේ පැත්තට වෙඩි තියාගෙන ආපු නිසා 8 නමක් බේරුනා.. එකම එක හාමුදුරු නමක් විතරක් කිසිම සීරිමක් හෝ නැතුව බේරිලා තිබුනා... කොටි බස් එකේ ඉස්සරහ ඉදන් පිටිපස්සට කපාගෙන කොටාගෙන එනකොට මේ හාමුදුරුවො කලන්තෙ දාලා සීට් එක අස්සට වැටිලා.. ඊට පස්සෙ එයා උඩින් අපවත් වුනු අනිත් හාමුදුරු වරු වැටිලා ඉදලා තියෙන නිසා එයා බේරුනා. අනිත් 7 දෙනාගෙන් පස් දෙනෙකු වගේ සිවුරු අතඇරලා තියෙන්නෙ... මොකද ඒගොල්ලො ආබාධිත වුන නිසා. මහියංගනේ ආදාඋල්පත පන්සලේ ඉන්නවා... රූපවාහිනියටත්  වඩින හාමුදුරු නමක් සුසුම්නාව කැපිලා ආබාධිත වෙච්ච හින්දා රෝද පුටුවෙන් තමයි උන් වහන්සේ ගමන් කරන්නෙ. තවත් හාමුදුරු කෙනෙක් ඉන්නවා පුඥ්ඥසාර කියලා  කල්මුණේ පාරෙ, උන් වහන්සේ මනසින් අතපයින් ආබාධිත වෙලා තියෙන්නෙ.

සියල්ලන්ම කපලා කොටලා මරලා දාලා බස් එක පුච්චන්න තමයි  කැළේට බස් එක ගෙනල්ලා තියෙන්නෙ. ඩැයිවර් මහත්තයා වැදලා කියලා තියෙනවා බුදු මහත්තයෝ මාව මරන්න එපා මට ළමයි හය දෙනෙක් ඉන්නවා.. මම මළොත් උන්ට කන්න දෙන්න කෙනෙක් නෑ කියලා... හොදටම කපලා කොටලා තිබුන ඩ්‍රැයිවර්ගෙ මිනිය තිබ්බෙ බස් එකේ ඉස්සරහ ෆුට් බෝඩ් එකේ. ඒ වගේම කොන්දොස්තර තැන වගේම ආවතේව කටයුතු වලට ආපු කෙනාවත් උන් මරා දාලා තිබුන.


මේ සිද්ධිය වෙන්න අවුරුද්දකට වගේ කලින් අරන්තලාවෙ හේන් ගොවිතැන්  කරමින් හිටපු , බඩදරු අම්මා කෙනෙක් එක්ක 28 දෙනෙක් කපලා කොටලා මරලා දාලා තිබුනා. මේ ගම්වල පරණ අය හුග දෙනෙක් කපලා කොටලම තමයි මරා දැම්මෙ.

පිහිටි ගලක් තිබුන නිසා ඒක උපයෝගී කරගෙන තමයි මේ ස්මාරකය මෙතැන ඉදිකරලා තියෙන්නෙ. ඊට අමතරව  ඉන්දියාවෙන් රැගෙන විත් රෝපණය කල ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් වගේම බුදු මැදුරකුත්  තිබෙනවා.. ප්‍ර‍ධාන මාර්ගයෙන් මේ අතුරු පාරට හැරෙන් ස්ථානයෙත් බුදු මැදුරක් තනා තියෙනවා.

බෝධි ප්‍රාකාරය සහ බුදු මැදුර

කිරිදිවැල සෝමරතන හාමුදුරුවො තමයි දැන් නායක හාමුදුරුවො විදියට කටයුතු කරන්නෙ.. උන් වහන්සේ ඒ කාලෙ කැම්පස් එකේ ඉගෙන ගත්ත නිසා මේ ගමනට ආවෙ නෑ... නැත්නම් මේ ඉරණමටම ලක්වෙන්න ඉඩ තිබුනා. එහෙම කියපු ප්‍රියන්ත අයියා දිග හුස්මක් ගත්තා.

හෑගොඩ විපස්සි කියන හාමුදුරුවො පස්සෙ කාලෙක මේ සිද්ධිය ගැන සදහන් කරලා පොතක් ලියලා තියෙනවා ඒ පොතෙන් උපුටාගත්ත සමහර තොරතුරු මේ විදියට දක්වන්නම්.


අරන්තලාවේදී ඝාතනයට ලක් වූ තිස් නම (නායක ස්වාමීන් වහන්සේ හැර අනෙක් අය)

 1    පූජ්‍ය පරගහකැලේ විජිතනන්ද හිමි (වයස 24 )
 2    පූජ්‍ය කලුගල ආනන්ද සාගර හිමි  (වයස 19 )
 3    පූජ්‍ය වාවින්නේ සද්ධාවංශ හිමි  (වයස 19 )
 4    පූජ්‍ය කෙහෙල්පොත සුගතපාල හිමි  (වයස 18 )
 5    පූජ්‍ය තල්ගමුවේ උපරතන හිමි  (වයස 18 )
 6    පූජ්‍ය වාවින්නේ සද්ධාතිස්ස හිමි  (වයස 18 )
 7    පූජ්‍ය වාවින්නේ ගුණවංස හිමි  (වයස 17 )
 8    පූජ්‍ය වාවින්නේ අත්ථදස්සි හිමි  (වයස 17 )
 9    පූජ්‍ය මහියංගනයේ ගුණසෝම හිමි  (වයස 17 )
10   පූජ්‍ය කුරුපනාවෙල කෝලිත හිමි  (වයස 17 )
11   පූජ්‍ය මන්ත්‍රීතැන්නේ ධම්මදස්සි හිමි  (වයස 16 )
12   පූජ්‍ය කොමාරියේ විමලජෝති හිමි  (වයස 16 )
13   පූජ්‍ය හදුන්ගමුවේ අරියවංස හිමි  (වයස 15 )
14   පූජ්‍ය දම්මරාවේ මහින්ද හිමි  (වයස 15 )
15   පූජ්‍ය මාවාවින්නේ විජිත හිමි  (වයස 14 )
16   පූජ්‍ය කොටවෙහෙර විමලබුද්ධි හිමි  (වයස 14 )
17   පූජ්‍ය කුරුණෑගල පඥ්ඥානන්ද හිමි  (වයස 14 )
18   පූජ්‍ය හදුන්ගමුවේ බුද්ධරක්ඛිත හිමි  (වයස 13 )
19   පූජ්‍ය රජගලතැන්නේ පුණ්ණජ හිමි  (වයස 13 )
20   පූජ්‍ය කුරුපනාවෙල ධම්මපාල හිමි  (වයස 13 )
21   පූජ්‍ය දේවාලහිද ධම්මරක්ඛිත හිමි  (වයස 12 )
22   පූජ්‍ය අඹගහවැල්ලේ සරණ හිමි  (වයස 12 )
23   පූජ්‍ය මහිහංගනයේ වජිරබුද්ධි  හිමි  (වයස 12 )
24   පූජ්‍ය මහියංගනයේ සුමන හිමි  (වයස 12 )
25   පූජ්‍ය මහියංගනයේ ආනන්ද හිමි  (වයස 11 )
26   පූජ්‍ය මහියංගනයේ විපුලසාර හිමි  (වයස 11 )
27   පූජ්‍ය දේවාලහිද අනෝමදස්සි හිමි  (වයස 10 )
28   පූජ්‍ය කලුගල පාලිත හිමි  (වයස 09 )
39   පූජ්‍ය තෙරිපැහැ සෝභිත හිමි  (වයස -)
30   පූජ්‍ය රාහුල ආනන්ද හිමි  (වයස - )

මේ සිද්ධියෙන් ඝාතනය වූ කුඩා හිමිවරුන් පවා සිංහල , දෙමළ හා  ඉංග්‍රීසි  භාෂාවලින් ධර්ම දේශනා පැවැත්වීමට පුහුණුවක් ලබා තිබූ බවත්, ඉගෙනීමට, කවි සෑදීමට, චිත්‍ර‍ ඇදීමට උපන් හපන් කම් තිබූ කුඩා හිමිවරුන් කීප දෙනෙක්ම සිටි බවත් සදහන්... මේ සියල්ලෝම අපවත් වූ නාහිමියන්ගෙ ගෝලයෝය.



ඝාතනයට ලක් වූ ගිහියන් තිදෙනා

01   ජී.ජී. සමරපාල  (රියදුරු මහතා )
02   එන්. පී. ජිනදාස  (කොන්දොස්තර මහතා )
03   වසන්ත ජයවර්ධන තරුණ මහතා (ආවතේවකරු)

දිවිගලවාගත් අට නම

01  අම්පාර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණේ ජේෂ්ඨ ආචාර්ය, පුවීනාචාර්ය වළල්ලාවිට විමලඥාණ මහා ස්ථවිර
02  හගුරන්කෙත පුඥ්ඥසාර හිමි
03  හෑගොඩ දේවානන්ද හිමි
04  ආදාඋල්පත බුද්ධසාර හිමි
05  නුගේලන්දේ ඉන්ද්‍ර‍සුමන හිමි
06  රිදින්ගමුවේ  ඉන්ද්‍ර‍සුමන හිමි
07  හදුන්ගමුවේ දයාලංකාර හිමි
08  වාවින්නේ සිරිනන්ද හිමි



ඔන්න දැන් තමයි අපි වැදගත්ම කොටසට එළඹෙන්නෙ


කුරිරු ත්‍ර‍ස්තවාදයේ ප්‍ර‍තිඵලයක් ලෙස දැයට අහිමි වුනු මේ බුද්ධ පුත්‍ර‍යාණන් වහන්සේලා අධ්‍යාපන කටයුතු කල අම්පාර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන තමයි පුදේශයේ විශාලම පිරිවෙන් විද්‍යාස්ථානය.  මේ සිදුවීමෙන් මිය ගිය ස්වාමීන් වහන්සේලා 31 නම වෙනුවෙන් සෑම වසරකම ජූනි මස 2 වෙනිදා කුල දරුවන් 31 දෙනෙකු පැවිදි කරනවා. ඒ අනුව සෑම විටකම අඩුම තරමින් 100 - 150 ත් අතර කුඩා ශිෂ්‍ය  භික්ෂූන් වහන්සේලා පිරිසක් පිරිවෙනේ නොයෙකුත් අවහිරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබනවා...

උන් වහන්සේලාට ජලය හිගයි. මේ වගේ විශාල පිරිසකට ලැබෙන නළ ජලය ප්‍ර‍මාණවත් නෑ... ඒ නිසා අලුත් නළ ලිදක්වත් ඉදිකරන්න වෙනවා, ඉගෙනීමට  අවශ්‍ය අධ්‍යාපන උපකරණ ඒ කිව්වෙ පොත් පත්, පෑන් ,පැන්සල් ආදියත් ප්‍ර‍මාණවත් පරිදි නෑ ,  පරිගණක අධ්‍යාපනය ලබන්න මේ හැමෝටම තියෙන්නෙ පරිගණක 2ක් පමණයි., එදිනෙදා ලැබෙන දානය ප්‍ර‍මාණවත් නැති නිසා පුලුවන් විදියට නායක හාමුදුරුවො කෑම සකසන්න කටයුතු යොදාගෙන තියෙනවා...

මේ කුඩා හාමුදුරුවරු අපේ බුද්ධ ශාසනයේ හෙට දවසයි. අධ්‍යාපනය අවසන් උනාට පස්සෙ ලංකාව පුරාම බෞද්ධ ප්‍රබෝධය ඇති කරන්න උන් වහන්සේලා  ගම් නියම් ගම් පාසා වැඩම කරාවි. අර්ථයෙන් ධර්මයෙන් කටයුතු කරන්නට ජනතාවට කියාදේවි. ඒ සදහා අවැසි අධ්‍යාපනය යහපත් අන්දමින් ලබා ගන්න ඒ පිරිසට දායකත්වයක් දක්වන්න පුලුවන් නම් හොදයි නේද ?

සල්ලිකාර දායක දායිකාවන් නැති අහිංසක ගොවීන් වෙසෙන , මේ ප්‍රදේශයේ ඇත්තො තමන්ට හැකි උපරිමයෙන් මේ අඩුපාඩු සපුරාගන්නට උදව් කලත් එය සම්පූර්ණ නෑ.. ඒ නිසාම

ආර්ථික අතින් යහපත් තැනක සිටින ඔබ යහපත් සමාජකටයුත්තකට මුදල් පරිත්‍යාග කරන්න සූදානමෙන් සිටිනවා නම් මේ කටයුත්ත ඊට ගැලපෙනවා විය හැකියි...

ඔබ සමාජ සත්කාර්යයක නිරත වෙන්න කැමැත්තෙන් සිටින ආයතනයක් නම් මේ ඊට හොදම අවස්ථාව විය හැකියි.

එසේත් නැතිනම් මෙය කියවන ඔබ එවැනි කෙනෙකු හදුනනවා  විය හැකියි... ඔබට හැකි නම් මේ තොරතුරු එවැනි අයගේ අවධානයට යොමු කරන්න.

කාලයක් පුරාවට ත්‍ර‍ස්තවාදයෙන් බැට කෑවත්, බුද්ධ ශාසනයේ නාමයෙන් භියේ  සැගව නොගොස් අපේම අහිංසක සිංහල ගම්වාසී ජනතාවගේ සුභ සිද්ධියට කැපවුනු මේ  සංඝ පරපුරට අපේ උපරිමයෙන් උදව් කරමු.

වැඩිවිස්තර  මේ දුරකථන මාර්ග වලින් දැනගන්න පුලුවන්.

අම්පාර මහාවාපි විහාරාධිපති, දිගාමඩුල්ල ශ්‍රී විද්‍යානන්ද පරිවේණාධ්‍යක්ෂ උතුරු නැගෙනහිර පළාත් පිරිවෙන් අධ්‍යාපන සම්බන්ධීකරණ අධ්‍යක්ෂ, අරන්තලා ඉන්ද්‍ර‍සාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති.

ශාස්ත්‍ර‍පති පූජ්‍ය කිරිදිවැල සෝමරතන හිමි 
දුරකථන අංක

0718 333322 / 063 2222314


මම සයිබරයේ අලුත් මිතුරා සිරා

ප.ලි

සිරා මේ වන විට මෙම කාර්යය සදහා මුද්‍රිත ජනමාධ්‍යයේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරමින් සිටී.

පිරිවෙන් විහාරස්ථානයේ පවතින අඩුපාඩු පිළිබද තොරතුරු ලබා ගත්තේ පූජ්‍ය ගල්කන්දේ අස්සජී හිමියන් මගිනි.

ආධාර පත්‍ර‍ එකතු කිරීමක් නැත. හැකියාවක් ඇති අයට  ඉහත දුරකථන අංක වෙත අමතා විහාරාධිපති හිමියන් සම්බන්ධ කර ගත හැක.



Related Posts Plugin for WordPress, Blogger...