සොරබොර වැව ඈතින් පෙනෙන කදු පෙදෙසට තමයි ඉහත්තෑව කියන්නෙ |
ලංකා ඉතිහාසයෙහි මහත් කාය ශක්තියෙන් යුත් යෝධ පුරුෂයින් ගැන සදහන්ව ඇත්තේය. දුටු ගැමුණු රජුගේ නන්දිමිත්‍ර ආදී දස මහා යෝධයින් ගැනද, එළාර රජුගේ දීඝජන්තු ආදී මහා යෝධයින් ගැනද, ගජබාහු රජුගේ නීල මහා යෝධයා ගැනද විශ්මයජනක කරුණු ඉතිහාස පොත්වල දක්නට ලැබේ. දුටු ගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ට අමතරව යුද්ධ හමුදාවට එක් වූ යෝධයකු පිළිබද ජන කථාවක් පහත දැක්වෙයි.
දුටුගැමුණු රජතුමා මහියංගන ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසුව මහියංගන චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමට පටන් ගත්තේය. දාගැබ බදවමින් සිටිය දී රජතුමාට බුලත් මෙහෙ වැඩීමට උඩුදුම්බර ප්‍රදේශයේ කිරි පට්ටිය නම් ගමෙහි උපන් ශක්ති සම්පන්න පුරුෂයකු පත් කර ගන්නා ලදී. රජවාසල හැමෝම ඔහුට බුලතා යි කීහ. ඔහුගේ රාජකාරිය වූයේ දවසකට හත් වරක් බුලත්විට සාදා රජතුමාට පිළිගැන්වීමයි.
උදේ හීල වැළදීමෙන් පසු ද, දහවල් දස පැයට අතුරුපසෙන් පසුද, දහවල් භෝජනයෙන් පසුද, සවස් වරුවේ අතුරු පසෙන් පසුද, තිස් පැය වේලාවට සවස තේ පානයෙන් පසුද, රාත්‍රී භෝජනයෙන් පසුද, රාත්‍රී නිදා ගැනීමට පෙරද බුලත්විට සාදා පිළිගැන්විය යුතු විය. එක් වරක් බුලත් මෙහෙ කිරීමෙන් පසු ඊළග වාරය පැමිණෙන තුරු අවට සංචාරය කිරීමට බුලතා පුරුදු වී සිටියේය.
දිනක් මහියංගනයෙන් උතුරු පෙදෙසෙහි සංචාරයෙහි යෙදුනු බුලතාට ගල් කදු දෙකක් අතරෙහි පිහිටි පහත් බිමක් දකින්නට ලැබුණේය. ඒ අතරින් විශාල දොළ පාරක් ගලා බසිමින් තිබිණි. දොළ පාර අහුරා ගල් කදු දෙක අතර බැම්මක් බැන්ද හොත් අලංකාර වැවක් සාදා ගත හැකි බව ඔහුට පෙනුණේය. වැව බැන්දහොත් වැවටත් ගගටත් අතරේ පිහිටි ගව් ගණනක් විශාල භූමිය කුඹුරු කල හැකි වේවි යැයි බුලතා සිතුවේය. රජුට බුලත් පිළිගැන්වීම් අතරතුර ඉතුරු වන සුලු කාලයෙහි වරින්වර වැඩෙහි යෙදීමට මොහු කල්පනා කළේය.
බුලතා ගේ උදැල්ල සාමාන්‍ය මිනිසෙකුට එසවීමටවත් නොහැකි තරම් විශාල එකක් විය. සාමාන්‍ය මිනිසුන් විස්සකටවත් එසවිය නොහැකි තරම් පස් ප්‍රමාණයක් ඔහු එක් වරකට කූඩයෙන් ගෙනෙන්නේය.
මෙසේ ගෙනෙන, ගෙනෙන පස්, ගල් කදු දෙක අතරේ දමමින් පාග පාගා වැව් කන්ද ගොඩනැගුවේය. ස්වල්ප කාලයකින් වැව් වේල්ල බැදීම අවසන් කල බුලතා එහි ජලය බැහැර කරන සොරොව්ව සෑදීමට අදහස් කළේය. වැව් කන්දේ දෙකෙළවරෙහි ම පිහිටියේ ගල් පර්වතය. ඔහු මෑත කෙළවරේ ගල කපා විශ්මයාකාර ගල් සොරොව්වක්ද, ඈත කෙළවරේ ගලෙහි වැඩි ජලය බැස යාම සදහා ජල පැන්නුමක්ද සෑදීය. මේ ආශ්චර්යවත් ගල් සොරොව්ව ඉදිකිරීමට බුලතා ගේ කටුවට හා මිටියට වැඩි කලක් ගත නොවීය.
බිසෝ කොටුව ඊතලයෙන් පෙන්වා ඇති ගල් බුලතා යෝධයා විසින්ම තබන ලද ඒවා ලෙස සැලකේ. |
බුලතා ගේ භාර්යාවද ඔහුටම සරිලන යෝධ කාන්තාවක් වූවාය. සාමාන්‍ය ස්ත්‍රීන් විස්සකගේ පමණ ශරීර ශක්තියක් ඇයට තිබුණේය. ඈ දිනපතාම කිරිපට්ටිය ගමේ සිට තම ස්වාමි පුරුෂයාට දවල් ආහාර ගෙන ගියාය. ගමන් පහසුව සදහා ගල් පඩි පෙළක් සෑදීමට ඇයට සිත් විය. ඈ යන විට ගල් කීපයක් ද, එන විට ගල් කීපයක් ද ගෙනැවිත් පඩි පෙළක් බැන්දාය. එහි අගය වැටහුණු බුලතා ද කදු මුදුනට විශාල ගල් ගෙනැවිත් දමා ඒවා බැදීම භාර්යාවට පැවරුවේය.
අඹුසැමි දෙදෙනාගේ මේ වැඩ දෙකද, දුටුගැමුණු රජතුමාගේ දාගැබ අලුත්වැඩියා කිරීමේ කටයුතුද එකවර නිම විය. මහියංගන චෛත්‍යයෙහි කොත පැළදවීමේ උත්සවයට මාගම්පුර, සිතුල්පව්ව ආදී ස්ථානවල වැඩ විසූ දහස් ගණන් භික්ෂූන් වහන්සේලා වැඩම කළහ. එමෙන්ම රුහුණු රටෙන් විශාල ජන සංඛ්‍යාවක් ද සහභාගි වූහ. මෙම උත්සවය අවසාන වූ දිනයෙහි බුලතා රජතුමා ඉදිරියට පැමිණ,
දේවයන් වහන්ස, මම තනිවම වැව් පොඩ්ඩක් බැන්දෙමි. එය බලනු පිණිස වඩින මෙන් මම ආරාධනා කරමි.
යැයි සැළ කළේය. බුලතා ගේ ඉල්ලීම පිළිගත් රජතුමා සිවුරග සෙනග පිරිවරා වැව බලන්නට ගියේය.
පෙනෙන තෙක් මානයේ වතුර පිරී රැලි ගසමින් තිබෙන වැව දුටු රජතුමාගේ ප්‍රීතිය නිම්හිම් නැතිවිය. රජු සමග පැමිණ සිටි මැති ඇමති සෙන්පති ආදී පිරිසද, මහජනයාද, තනි මිනිසකුගේ වැඩක් වූ මේ මහා වැව දැක පුදුමයට පත් වූහ.
දරුව තෝ මේ වැඩය සදහා තව කොපමණ දෙනකුගේ සහාය ලබාගත්තෙහිද ? යි රජතුමා ප්‍රශ්න කළේය.
දේවහන් වහන්ස, මට සප්‍රාණික කිසිවකුගේ සහාය නොලැබුණේය. මට සහාය ලැබුණේ අප්‍රාණික මේ වස්තූන්ගෙන්
යැයි පසෙක සගවා තිබූ උදැල්ලත්, කූඩයත්, කටුව සහ මිටියත් රජතුමාට පෙන්වූයේය.
එම ද්‍රව්‍ය දුටු රජතුමා ඔහුගේ ශරීර ශක්තිය තේරුම් ගෙන ප්‍රීතියට පත්වී
දරැව! තොපගේ ඉතා හරබර වාරි කර්මාන්තය ගැන මම ඉමහත් සතුටට පත්වීමි. රට ජාතිය දියුණුවට හා මතු පරම්පරාවට තොපගේ වැව් කර්මාන්තය පිහිට වන්නේයැ යි කියා ප්‍රශංසා කළේය.
එදා පටන් එම වැව හරබර වැව නමින් ප්‍රසිද්ධ විය. හර බර යන්න පසු කලක දී සරබර, සොරබර ආදී වශයෙන් උච්චාරණය වී පසුව සොරබොර යන නමට පෙරලුනේ යැයි සිතිය හැකිය.
දුටුගැමුණු රජතුමා බුලතා යෝධයාද ඔහුගේ භාර්යාවද කැදවා ගෙන එවකට මහියංගනයේ තාවකාලික මාලිගාවෙහි සිටි මවු බිසව වෙත පැමිණියේය. බුලතා විසින් කරන ලද වැව ගැනත්, භාර්යාව විසින් කරන ලද ගල් පඩි පෙළ ගැනත් ඒවායේ ප්‍රයෝජන ගැනත් රජතුමා විස්තර කළේය.
ඒ ඇසූ විහාරමහා දේවිය බලවත් ප්‍රීතියට පත්ව තමන් ගෙල පැලදි වටිනා මුතු මාලය බුලතා ගේ භාර්යාවට පලදවා උපහාර දැක්වූවාය. රජතුමාද තමන් කර පැලදි වටිනා ස්වර්ණමය උර පළදනාව ගලවා බුලතා යෝධයාගේ කර පලදවා උපහාර දැක්වූයේය. රජතුමා ඔහුට ගමක් සහ නම්බු නාමයක්ද පිරිනැමුවේය. නන්දිමිත්‍ර යෝධයාගේ ඉල්ලීම අනුව බුලතා යෝධයා ද දුටුගැමුණු රජතුමාගේ යුධ හමුදාවට බදවා ගන්නා ලදී. මහියංගන ප්‍රදේශයේ ව්‍යවහාරයෙහි පවත්නා ජන කවියක් මෙසේය.
ඔන්න බලාපන් බුලතා කරපු බලේ
යතුරු දාපු ගල්දොර යට වතුර හැලේ
එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ
සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ
උපුටා ගැනීම
ඩී.පී. වික්‍රමසිංහයන්ගේ මහ දිගට ජන කථා ඇසුරින් 5 වසර සිංහල කියවීම් පොතේ තිබූ පාඩමකිනි.
පසු සටහන
ක්‍රිස්තු පූර්ව 102 දී පමණ එළාර රජ හා යුධ වැදීමට මාගම්පුර සිට රජරට දක්වා යන ගමනේ දුටු ගැමුණු රජතුමා සේනා සංවිධාන කටයුතු පිණිස කදවුරු බැදීම මහියංගණය ආශ්‍රිතව සිදු කර ඇත. මෙම කදවුරු බැද සිටි සමයේ තම සේනාව සංවිධානය කිරීම, ආහාර පාන රැස් කිරීම සිදු කල අතර ඊට අමතරව ප්‍රදේශයේ වැව් අමුණු, වෙහෙර විහාර ප්‍රතිසංස්කරණයද සිදු කර ඇත.
උද්ධ චූලාභය රජු විසින් තිස් රියන් උසට කරවා තිබූ මියුගුණ සෑය ගරා වැටෙමින් තිබී ඇති අතර එය අසූ රියන් කර බදවන ලද බවට ථූපවංශය හා මහාවංශය ආදී අපේ වංශකථා වල සදහන් වේ. මේ සෑය බදින ලද පිරිස් සදහා බත් බුලත් සපයා ඇත්තේ බුලතා නම් සෙනෙවියෙකි. රජුට සේවය පිණිස දිනපතා යන එන ගමන් මෙහි භූගෝලීය පිහිටීම දුටු බුලතා විසින් ගලින් ගල එක්තැන් කර සොරබොර වැව ඉදිකල බැව් ජනප්‍රවාදයේ පවතී.
දේශීය වාරි කර්මාන්තයේ සොරබොර වැවට අද්විතීය ස්ථානයක් හිමිවන්නේ එහි ඓතිහාසික බව මෙන්ම මෙම සොරොව්ව නිර්මාණයේදී දක්වා ඇති අති විශිෂ්ඨ වාරි ඉංජිනේරැ තාක්ෂණය නිසාවෙනි. ස්වභාවිකව පිහිටි ගල් පර්වතයක් සෙරොව්ව ඉදිකිරීමට යොදාගෙන ඇති අතර, සොරබොර වැව මේ තාක්ෂණය සහිත ලංකාවේ එකම නිර්මාණයයි.
පිහිටි ගල හෑරීමෙන් නිර්මාණය කල සොරොව්ව |
සළපනාව වැව් බැම්මේ ආරක්ෂාව උදෙසා මෙය ඉදිකරයි |
එදවස දුටුගැමුණු රජතුමා යුද්ධයක් අභිමුව සේනාව රැස් කරමින් සිටි නිසාම, බුලතා යෝධයා එතුමාගේ වාරිමාර්ග ඇමති ලෙස පත් කල බවක්ද අසන්නට ලැබේ. යුද්ධ කිරීමට කාය ශක්තිය වැදගත් වන අතර කාය ශක්තිය සදහා ආහාර වැදගත්වේ. ඒ අනුව වැඩි ආහාර නිෂ්පාදනයක් සදහා වැව් අමුණු වල දායකත්වය ඉතා ඉහළින් ලබා ගැනීම ඔහු එම තනතුරට පත්කිරීමෙන් අපේක්ෂා කලා විය හැක.
වාරි තාක්ෂණය එතරම් දියුණුවට පත්නොවී තිබූ අවධියක මෙතරම් පීඩනයකින් ජලය ඉවතට යන සොරොව්වක් නිර්මාණයට බුලතා සෙනෙවියා දක්වන ලද කුශලතාව පුදුම සහගතය. කලුගල් පර්වතය මැද්දෙන් මෙම කැපුම සිදු කිරීමට ශාක කීපයක් මගින් ලබා ගත් යුෂ අනුසාරයෙන් කලුගල් උණුකල හැකි රහස් සංයෝගයක් භාවිතා කල බවක්ද ජනප්‍රවාදයේ පවතී.
බිසෝ කොටුව ආසන්නයේ කලුගල් තලාව මත බොහෝ දුරට ඛාදනය වී ගිය ශිලා ලිපියක් ඇති අතර එය පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් කියවීමට ලක්කර නැති බව ගම්වාසීන් මගින් දැනගතිමි.
වැවේ තාක්ෂණික තොරතුරු
උපරිම ජල ධාරිතාව අක්කර අඩි 16800
පූර්ණ සැපයුම් මට්ටමේදී ජල පැතුරුම් ප්‍රදේශය අක්කර 1440
වැව් බැම්මේ දිග අඩි 1590
වැව් බැම්මේ පළල අඩි 20
වගා බිම් ප්‍රමාණය අක්කර 3000
වම් ඉවුර ප්‍රධාන ඇලේ දිග සැ. 1 දම්වැල් 32.5
දකුණු ඉවුර ප්‍රධාන ඇලේ දිග සැ. 3 දම්වැල් 20
චාරිකා සටහන් 4 වන පියවරේදී පසුව ලියන්නේ යැයි සිරා පොරොන්දු වූ සොරබොර වැව පිළිබද කථා බහ මෙතෙකින් නිමා වේ.
මෙවැනි විශ්ව කර්ම නිර්මාණයකට දායක වී එහි ප‍්‍රතිඵල වර්තමාන පරපුරටද ලබා ගැනීමට ඉඩ හල බුලතා සෙනෙවියා ඇතුලු අපේ මුතුන්මිත්තන් සියල්ලන් හට අනේක වාරයක් පින් රැස් වේවා !
සොරබොර වැව පිළිබද යූ ටියුබ් හි වීඩියෝවක් මෙතැනින්
මම සයිබරයේ අලුත් මිතුරා සිරා.
ප.ලි
සියලුම ඡායාරූප මා විසින් ගත් ඒවාය.
sorabora wewa nam sirama wadak !
ReplyDeleteසිරා කියන්නෙ පට්ටම සිරා වැඩක්....සුද්දොත් පුදුම වෙලා තියෙනවා මේ වැඩේ දැකලා...
Deleteසුද්දො වැව් දැක්කම කොහොමත් පුදුම වෙනවා බන්.. උන් කවදා දැකපු වැව්ද ? සුද්දන්ව මිණුම් දන්ඩක් හැටියට ගන්න එක නවත්වන තාක්කල් අපිට ගොඩ යෑමක් නෑ..
Deleteසුද්දො කියන එකෙන් මම ව්‍යාංගව අදහස් කලේ නූතන තාක්ෂණයත් එක්ක ගැටෙන බටහිර විද්වතුන්... මේ නිර්මාණය අද පවතින දියුණු යැයි සම්මත ඔවුන්ගේ තාක්ෂණයටත් අභියෝගයක්...
Deleteපෝස්ට් එක හෙට උදේටම කියවල කමෙන්ට් කරනව. දැන් නිදිමතයි අෆ්ෆා.
ReplyDeleteසුභ රාත්‍රියක් එහෙනම්...
Deleteඇත්තෙන්ම හොඳ විස්තරයක් සිරා. මම නම් ඔය වැව බලන්න ගිහිල්ල නෑ තවම. කොහොමටත් අද ඉතිං අපිට වෙලා තියෙන්නෙ එදා මිනිස්සු හදපුව ගැන කියවල සතුටුවෙන්න, ආඩම්බර වෙන්න විතරයි. වාරි තාක්‍ෂණය ගැන දැනුමක් නැතුව එදා ගැමියෙක් වැවක් හැදුවට, හිතන්න පුළුවන්ද අද තියෙන හොඳම තාක්‍ෂණය භාවිත කරල කෂ්ටිය වැවක් හැදුවොත් කොහොමට හිටීද කියල. ලොකු හිලක් එක්ක වැවක් නම් හදයි, වැව් දහයක් හදන සල්ලි කාබාසිනිය කරල. තව කෝටි ගානක ප්‍රචාරක වියදම් නම් තියෙයි වැවේ වතුර නැතත්.
Deleteඔබේ කථාව සහතික ඇත්ත... වැව හැදීම කෙසේ වෙතත් මුල් ගල තැබීමට හා ඒ වැඩේට එන මගෝඩිස් ඇත්තන්ව පිළිගන්න කෝටි ගාණක් නාස්ති කරයි.
Deleteසොරබොර වැව වගේම හර බර ලිපියක් සිරෝ... නියමයි.. නොදැන සිටි බොහෝ දේ දැනගත්තා..
ReplyDeleteමේතරම් විශාල වැවක් තනි මිනිසෙකු සෑදීම ඇත්තෙන්ම විශ්මකර්ම වැඩක්..
මේ වැවේ විශ්මය තියෙන්නෙ ගලින් නිමකල සොරොව්වෙ... බටහිර විද්වතුන් පවා අදටත් පුදුම වෙනවා මේ වගේ පීඩනයක් යටතේ ජලය පිටතට පැමිණෙන විදියට මෙය නිර්මාණය කර තිබීම පිළිබද, ක්‍රි.පූ 102 සිට ක්‍රි.ව 2012 දක්වා කොපමණ නම් කාලයක් මේ ගල් සොරොව්ව නිරැපද්‍රිතව ක්‍රියාත්මක වෙලා තියෙනවද කියලා කල්පනා කලොත් එහි විශිෂ්ඨත්වය පසක් වේවි.
Deleteමම ඔය බුලත යෝධයා ගැන ටිකක් අහල තිබ්බ. නමුත් මේ ලිපියෙන් ගොඩක් දේ දැන ගත්ත.
ReplyDeleteමචං අර කළුගල් කඩන්න බෙහෙතක් දමන කතාව \ඇත්ත වෙන්න ඕනි. මෙහෙ අවුරුදු ගානකට කලින් හිටිය කළුගල් වංගෙඩි හදන මනුස්සයෙක්. මම පොඩි කාලේ ඒ මනුස්සයා අපේ ගේ ලඟ ගලක් කඩල වංගෙඩි මිරිස් අඹරන ගල් එහෙම හැදුව. මෙයා ඕන කලු ගලක් හරි හතරැස් වෙන්න කඩා ගන්නව සිදුරු දෙක තුනක් විදලා.
වෙඩි බෙහෙත් දානවද කියල නම් මතක නෑ. එහෙම දැම්මත් ගානට හතරැස්ව කඩා ගන්නව කියන එක මට නම් හිතා ගන්න වත් බෑ. මේ මනුස්සය හදපු පහනක් තියනව ලු කතරගම දේවාලයේ..
මම කියෙව්ව බ්‍රෝහියර් කියල සුද්දෙක් ලියපු පොතක්. "බ්‍රෝහියර් දුටු ලංකාව " පොතේ නම. ඒකෙ තිබ්බ ඒකාලේ බ්‍රිතාන්‍ය ඉංජිනේරුවො පුදුම වෙලා තියනවා ලංකාවෙ වැව් කර්මාන්තේ දි යොදා ගත්ත තාක්ෂණය ගැන.
ඒ පොතෙත් කෙටි විස්තරයක් තියනව ඔය බුලතා ගැන. ඒකෙ තියන්නෙ පස්සේ කාලෙකදි බුලතා යෝධයාව ඝාතනය කරල සිරුර වැවට දැම්ම කියල.
සමහර විට ඒ කතාව නම් නිවැරදි නොවෙන්න ත් පුලුවන්.
හොඳ ලිපියක් යාලුවා...
කොමෙන්ටුවට ස්තූතියි... බුලතා ඝාතනය වුනා කියලා මම අහලා නෑ තාමත්... මම ඒ ගැන තව ටිකක් සොයා බලන්නම්... කලුගල් උණුකරන තාක්ෂණයෙන් තමයි මා විශ්වාස කරන විදියට ඉතාමත් සියුම් ගල් කැටයම් ආදිය කරන්න ඇත්තෙ... මේ ශිල්පක්‍රම මුඛ පරම්පරා ගතව පැමිණි නිසාම පරම්පරාව අවසානයේ තාක්ෂණයත් නැති වී යන්න ඇති.
Deleteකලුගල් කඩන තාක්ෂනික ක්‍රම වේද තියෙනව අද කාලෙ අය නොදන්න.ඔය ගල් සිදුරු විදල ඒ හැම සිදුරකටම යකඩ කූංඤ ගහල ටික ටික එක ගානෙ සමානව ඔක්කොම තද කරනව. එතකොට එකසමානව බලය හැම තැනටම ලැබිල සමාන්තරව ගල කැඩෙනව.මම බලන් ඉඳල තියෙනව පොඩි කාලෙ ඔය සිද්දිය. ඒ වගේම ..ගල් ගිනිමැල ගහල..තදින් රත් කරල කියතින් කැපුව වගේ කඩාගන්න පුලුවනි.අපේ ගෙදර ලොකුගල් වැටි කීපයක් දැම්ම .ඒ බාස් ගෙන් මම ගිනි තියල කඩන තාක්ෂණය නම් ඉගෙන ගත්තා. හැබැය් ඒ සාමාන්‍යයෙන්..අඩි 5ක් උස ගල් තමා දිග නම් කොච්චර තිබුනත් ප්‍රශ්ණයක් නෑ.
Deleteඔය තාක්ෂනය ගෙනාවෙ එක්තරා කුලයක්(නම හරියට මතක නෑ)ඒ අය ටිකක් පහත් කුලයක් විදියට තමා සැලකුවේ ..ඒකනිසා අලුත් පරම්පරාව ඕවට යොමු උනේ නැහැ..මේකත් එක හේතුවක් සාත්තරය නැතිවෙන්න!!
ස්තූතියි ඔබේ වටිනා තොරතුරු වලට...
Deleteනියම විස්තර ටිකක් !
ReplyDeleteසමහර විස්තර නම් දැනන් උන්නෙම නෑ.. උය බුලතා යෝධයාගේ ගෑනිත් හෙන දස්සයි. උන්දෑ තමන්ගේ මනුස්සයාට කෑම ගිහින් දෙන අතරතුර ලොකු පඩිපෙලක් බැන්දෙව්වාලු.ඒ පඩිපෙල තිබ්බ තැන නම් මොකද්ද කියලා දන්නේ නෑ.
මම ජීවිතේට එකම එක වතාවක් සොරබොට වැව බලන්ඩ ගිහින් තියෙනවා. එදා නම් ඇති වෙන්ඩම නෑවා. :)
මම ඔය වැව ළගදි ඔරු පදින කෙනෙක් එක්ක කථා කලා... මේ පෝස්ටුවෙ ලියැවෙච්ච සමහර දේ දැනගත්තෙ ඒ කථාබහෙන්... විශේෂයෙන් බුලතා සෙනෙවියා විසින් තැබූ ගල්....
Deleteඔන්න ඔහොමලු ඒ කාලේ රජවරු :D
ReplyDeleteමෙන්න රජවරු කියලා තමයි කියන්න වෙන්නෙ... මේ වගේ වැඩක් කරපු බුලතා යෝධයාට කෘත ගුණ දක්වා ඇති ආකාරයෙන්ම් ඒ කාලේ රජවරුන්ගෙ ශ්‍රේෂ්ඨත්වය පේනවා...
Deleteමේ වැව ටික ගැඹුරින් වැඩි නේ. නාන්න එහෙම තහනම් කරල තියෙනවා කියල වගේ මතකයි. ගොඩාක් වටිනා ලිපියක් සිරා.
ReplyDeleteමේ පේන තෙක් මානෙ කවුරුවත් නානවා දැක්කෙ නෑ... පහළ ඇළ මාර්ග වල තමයි ගම්වාසීන් නානවා දැක්කෙ... ස්තූතියි ඔබේ අදහස් වලට...
Deleteඔන්න ඔහොමලු ඒ කාලේ වාරි මාර්ග ඇමැතියෝ වෙච්ච මිනිස්සු කිව්වලු..
ReplyDelete(දැං වගේ කොට ජීවිත නෙමේලු..)
කාමරේට සාදරයෙන් පිළිගන්නවා...
Deleteකොට ජීවිත වාරිමාර්ග භාරගත්තා විතරයි දැන් රජරට ගොවීන්ගෙ කුඹුරු විනාශ වෙනවා වැව් වල ජල කළමණාකරනයේ දෝෂ නිසා...සෞඛ්‍ය භාරඅරගෙන ඉන්න කන් සේලයින් බෝතල් වලින් එක එක දේවල් හම්බවුනා වටිනා කියන දේවල් ඇරෙන්න.
මාත් මේ කල්පනා කළේ මේ කතාව කොහෙද දැකලා තිබුනේ කියලා... හරිනේ.. ඉස්කෝලෙ පොතේ කමා...
ReplyDeleteතාමත් අමතක නොවුන කතාවක්....
බලන්න ගිහිල්ලා නම් නෑ... මේ විස්තර දැක්කම යන්නම හිතෙනවා....
කිව්වත් වගේ ඔන්න ඔහොමලු ඉස්සර ඇමති පදවි දුන්නේ.... දැං වගේ හොරුන්ට වංචාකාරයන්ට නෙවෙයි.....
කාමරයට සාදරයෙන් පිළිගන්නවා...
Deleteඔන්න බලාපන් බුලතා කරපු බලේ
යතුරු දාපු ගල්දොර යට වතුර හැලේ
එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ
සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ
මේ කවියෙන්ම කියැවෙනවනෙ සොරබොර නොදුටු ඇස් මොකට පින් කළේ කියලා ඒ නිසා වෙලාවක ගිහින් බලන්න...
ඒ කාලෙ සුදුස්සට සුදුසු තැන... අද ඒකෙ අනිත් පැත්ත....
යනවා යනවා.... අනිවර්‌යයෙන්ම යනවා....
Deleteදැන් කාලේ අය සුදුසු මොනවටද කියන එකත් ඉතිං පුරස්නයක් තමා.....
ස්තුති සිරා...
ReplyDeleteඅද කාලෙ බුලතා වගේ එවුන් හිටියත් වැඩක් නැහැ බං. නියම තැන නොලැබෙන නිසා.
ආඩම්බරයි ඒ අතීතය ගැන. ඒත් දැන් අපේ නායකයෝ අතීතය ගැන කිය කිය ඉන්නව මිසක් ලෝකෙට පේන්න වැඩක් කරන්නෙ නැහැ මගෙ හිතේ..
කුරුණෑගල පැත්තේ අති විශාල බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය වෙනවා කියලා මේල් එකක් දැක්ක. සතුටුයි ඒක ගැන..
ජය !
ස්තූතියි සෑමා... පාලක පක්ෂය හොරා නොකා අදාර්ශවත් විදියට රට පාලනය කරනවා නම් අපේ රටේ හැමෝම අතර සමගිය ඇති වෙලා සුදුස්සට සුදුසු තැබිලා රට නැවතත් සුඛිත මුදිත තත්වයට පත්වේවි... නමුත් ඒක හීනයක් විතරක් වීම ගැන දුකයි.
Deleteඔබට බොහොම පින් මෙවන් ළිපියක් පල කිරීම ගැන. ඇත්ත වශයෙන්ම අද සමාජයට අවශ්‍ය මෙවැනි පුද්ගලයින්. අති සාර්ථක ළිපියක්. ජයවේවා.
ReplyDeleteකාමරයට සාදරයෙන් පිළිගන්නවා !
Deleteඅද සමාජයෙත් මෙවැනි පුද්ගලයන් ඉන්න පුලුවන්... ගමේ මගෝඩිස් තුමාගෙ ඡන්ද ලේඛණයේ නම නැති නිසා තැනක් නොලැබෙනවා වෙන්නත් පුලුවන්...
වැදගත් ලිපියක් මචං නියම වැඩක් ඔය වැව අද්දරට පොඩිකාලේ ගියාට පස්සේ යන්ට බැරි උනානේව
ReplyDeleteමේ පෝස්ටුවෙ විස්තරත් මතක තියාගෙන ආයෙත් දවසක ගිහින් බලන්න... එවිට සුන්දරත්වය වැඩියෙන් දැනේවි....
Deleteවැදගත් ලිපියක් මචං... එදා අපේ මිනිස්සු හිටියේ තැනත් එක්ක බලන කොට අද අපි ඉන්න ඕනේ කොතනද කියල හිතෙනවා..
ReplyDeleteස්තූතියි ! අතීතයේ අපේ රට ඉතා හොද ස්ථාවරත්වයක තිබුනා කියලා මේ වගේ අතීත කථා රාශියකින් පැහැදිලි වෙනවා... ඉන් පසු ඇතිවුන ආක්‍රමණ, කැරලි කෝලාහල නිසා ඒ සෞභාග්‍ය නැති වෙන්නෙ... අද නැවතත් රට එක්සේසත් වෙලා තියෙනවා... ඒත් රට පාලනය කරන අයගේ නොමනා ක්‍රියාකලාපයන් නිසා තාමත් සෞභාග්‍ය අපිට සෑහෙන ඈතයි.
Deleteඅන්න සෙනවියො , අන්න රජවරු , පුදුම ආසාවකින් කියවපු ලිපියක් මමනම් මේ වැව දැකලා නෑ මේක කියෙව්වාම නොවරදවාම බලන්න යන්න හිතක් ඇති උනා
ReplyDeleteඔබේ කොමෙන්ටුව තමයි මගේ ශක්තිය.. ඒ නිසා ඔබේ අදහස් වලට බෙහෙවින් ස්තූතියි !
Deleteනොවරදාම දවසක ගිහින් බලන්න... පුදුම හිතෙනවා මේ සොරොව්ව දැක්කම...
හරි අගනා ලිපියක්. මාත් තුන් පාරක් මේ වැව බලන්න ගිහින් තියනවා . නාලත් තියනවා .
ReplyDeleteඒ අවට දැන් පොඩි පොඩි කඩ ගොඩක් හදල නේද ? බෙලි මල් එහෙමත් බොන්න තියනවා .
පොඩි පොඩි කඩ විශාල ප්‍රමාණයක් තියෙනවා... විවිධ අරැමෝසම් බඩු වගේම, කලු දෙදොල්, මස්කට්, බූන්දි, කඩවල පිරිලා... බෙලිමල් එහෙමත් තිබුනා තමා...
Deleteකලුදොදොල් කිව්වම කටට කෙළ ඉනුවා නේද ?
උපරිමයි සිරා.. මගේ යාලුවෙක් ඉන්නවා මහියංගනේ. ඉතින් දවසක් එහෙ නතරවෙලා ඉඳලා ගියා අපි කොල්ලෝ සෙට් එකක් ඔය වැව බලන්න. ඒ 2003 දී. ඊටපස්සේ මේ ලද හොඳම දැනුම තමයි. බොහොම ස්තුතියි මහන්සියට.
ReplyDeleteමහියංගන ප්‍රදේශයටම ආවේණික වෙච්ච මඥ්ඥාක්කා දලු මැල්ලුමක් වගේම වට්ටක්කා ගින්නේ පුලුස්සලා හදන ව්‍යාංජනයකුත් තියෙනවා කාලා තියෙනවද ? මටත් කන්න ලැබිලා නෑ... රස බලපු මගේ යාලුවෙක් කියන විදියට ඒ දෙවර්ගයේම රස උපරිමලු.
Deleteසිරා වැඩක් නේ...දැං කාලේ බුලතා ඔය වගේ වැඩක් කරානං රජ්ජුරුවන්ට කියන්න යන ටිකට වෙන එකෙක් ඇවිල්ලා උගේ නම දාලා බෝඩ් ලැල්ල ගහලා ඉවරයි....
ReplyDeleteකාමරයට සාදරයෙන් පිළිගන්නවා !
Deleteඔබේ කථාව සහතික ඇත්ත.. වැඩ බැරි උන් කටින් බතල හිටවනවා ඉහළ ඉදන් පහළට සමාජයේ හැමතැනම...
පට්ටම ලිපියක් මචෝ උඹගේ.
ReplyDeleteතවත් මේ වගේ ඒවා ලියපන්.
ගොඩාක් ස්තූතියි නිශාන්... මේ වගේ දේවල් තව ඉදිරියටත් බොහොමයක් ලියැවේවි.
Deleteසිරාගේ කාමරේ පැත්තෙ මීට කලින් ඇවිත් තිබුනට අද තමයි මුලින්ම comment එකක් දාන්නෙ. මේ කතාව කියෙවුවම මට මතක් උනා මම පොතක කියවල තිබුනු කතාවක්. ඉස්සර කලුගල් මෙලෙක් කරන්න බෙහෙත් තිබුනලු . ඒ වගේම තමයි ශරීර ප්රතමානය සහ කාය ශක්තිය අතිනුත් අපේ මුතුන්මිත්තො අපිට වඩා සෑහෙන්න ඉදිරියෙන් ඉදල තියෙන්නෙ. මුහුදු මහා විහාරයේ නටබුන් අතර තියෙනවා පිවිසුම් ගලක්.ඒ ගල ගෙවිල තියෙන විදිහට (කකුලට පෑගුන තැන්) ඒ කාලයේ මිනිසෙකුගේ සාමාන්ය උස අඩි 6.5 (පියවර 2ක දුර අනුව ) විතර වෙනව. ඉතින් යෝධයෙකුගෙ ප්ර්මාණය හිතා ගන්න පුලුවන්නේ.
ReplyDeleteජානමය හේතූන් මත නූතන මිනිසා කුඩා වෙලා කියලා මටත් හිතෙනවා... පොතුවිල් වලට ගිය වසරේ ගියා.. ඒ උනාට මුහුදු මහා විහාරයට යන්න ලැබුනෙ නෑ... ලාහුගල මගුල් මහා විහාරය ගැන ඉදිරි දිනයක ලියනවා...
Deleteමං බ්ලොග් ලෝකෙට පරණ මිනිහෙක් උනාට කාමරේට අලුත් මිනිහෙක් ඈ.
ReplyDeleteජයවේවා! දිගටම කියවන්න බලාපොරොත්තු වෙනවා.
කාමරයට සාදරයෙන් පිළිගන්නවා !
Deleteඅද තමා අදුනගන්න ලැබුනෙ.. දිගටම එන්න..
ඒ කාලෙ ඇඟ වගේම වැඩත් තිබුණ.අද ඇඟ විතරයි.නියම ලිපිය සිරා...
ReplyDeleteස්තූතියි ඔබට... අද වගේ කොමිස් ගැහීමක් තිබ්බෙ නැති නිසා ඒ කාලෙ වැඩේ හරියටම කෙරිලා..
Deleteමේ කියන කතාව මාත් අහපු එකක්...නිවැරදිද දන්නේ නම් නැහැ.,
ReplyDeleteඔය සොරබොර කියන නම හැදිල තියෙන්නෙ බුලතා යෝදයා වේල්ල බාගෙට බැඳලා වතුර පිරෙව්වට පස්සේ වැවෙන් නාන්න අලි රංචුවක් පුරුදු උනාලු...ඉතින් රෑට අලිනාන සද්දෙ සොර සොර ගගා හැමදාම රෑට ඇහෙනවලු ,ඒවගේම උදේට වැව හැමදාම බොරවෙලාලු අලිටික නාල බොරකරල නිසා....මෙන්න මේ හේතුවට සොරබොර උනා කියල තමා ඒ කතාව..!
මේ කථාව මම නම් කලින් අහලා තිබ්බෙ නෑ... සමහර විට එහෙම වෙන්නතු පුලුවන්...
Deleteකාලයකට පස්සේ කියවපු වටිනා ලිපියක්...ගොඩක් වටිනවා...ජය වේවා සිරා...
ReplyDeleteස්තූතියි... කොහෙද බොලං මෙච්චර කල් වහන් වෙලා හිටියෙ...
Deleteහොඳ ලිපියක්.ඔය කතාව සිංහල පොතේ තිබුණා මටත් මතකයි.වැව දැකපුවාමම තමයි ඒකේ චමත්කාරය හොඳටම පෙනෙන්නේ.
ReplyDeleteසොරබොර වැව වැදි සංස්කෘතියත් එක්කත් හුඟක් සම්බන්ධයි.
සොරබොර වැවේ පිපුනු නිල් මානෙල් ගැන ජන කවියකුත් ඒ කාලෙ සිංහල පොතේ තිබුනා වගේ මතකයි.
වැවයි දාගැබයි - ගමයි පන්සලයි කියන සංකල්පය නොවැ පුරාතණ කාලයේ ක්‍රියාත්මක වුනේ.. ඒ අනුව වැවට හිමිවෙලා තියෙන්නෙ ඉතා වැදගත් ස්ථානයක්... ජීවයේ පැවැත්මට ජලය අත්‍යවශ්‍ය වීමත් ජනතාවට අවශ්‍ය ආහාර නිෂ්පාදනයට හා පානීය ජල අවශ්‍යතා වැව මගින් සම්පූර්ණ වීමත් හේතුවෙන් වැවට ඒ සැළකීම ලැබිලා තියෙන්නෙ... වැවක් සෑදීමෙන් ලැබෙන පින දාගැබක් හැදුවට වඩා වැඩියි කියලයි කියන්නෙ...
Deleteකලින් දැනගෙන උන්නු කතාවක් වුනත් මේ පෝස්ටුවෙන් ඒ දැනුම තවත් වැඩි වුනා.
ReplyDeleteඔබේ දැනුමට දශමයක් හරි මේ වගේ පෝස්ටුවකින් එකතු වෙනවා නම් එය මට සතුටට කාරණයක්...
Deleteඇත්තටම පුදුම හිතෙන නිර්මාණයක්. මම ගිය දවසේ නම් එච්චර වතුර තිබුනේ නැහැ. ඒත් සොරොව්ව නම් සුපිරිම තමයි.
ReplyDeleteමට මේ වැව හොඳට මතක හිටියේ අපි වැව් බැම්ම උද ඉන්නැද්දි සාස්තර කියන ගෑනු කෙනෙක් ව බයිට් කොරපු හින්ද.
( අපිටත් ඉතින් ඉන්න බැහැනේ එක විදියකට තැනකට ගියහම. හහ් හහ් )
ඉතිං සාස්තරේ හරියට කියවුනාද ?
Deletelassanai. godak hondata liyala thiyenawa. thawath me wagee dewal liyanna
ReplyDeleteකාමරයට සාදරයෙන් පිළිගන්නවා !
Deleteදිගටම අනිවාර්යෙන් ලියනවා...
සහන් ගෙ පාරෙන් ආවේ වටිනම වටිනම නිර්මාණයක් සොරබොර වැව වගේම සිරාගෙ ලිපියත්
ReplyDeleteස්තුතියි මිත්‍රයා....අද තමයි කමෙන්ටුව ඇහැ ගැටුනෙ....
Deleteස්තුතියි - ආයිත් දවසක හමුවෙමු
ReplyDeleteදුටුගැමුණු රජතුමා බුලතා යෝදයා ව අන්තිමට හිස ගසා මරාදැම්මා කියලා පුවතක් තියෙනවද
ReplyDelete