Monday, December 17, 2012

127 අනේ එහෙමත් දවසක්

පහුගිය දිණ කීපයේ  හලාල්  පිළිබද කථිකාව බොහොම සැරටම ගිය හින්දා සිරාගෙ කාමරේ දුප්පත් ලෑලි දොරේ සරනේරුත් බුරුල් වෙලා, පුටු කකුල් ඇද වෙලා,  එහෙව් වෙලාවක  සැහැල්ලුවෙන් යමක් දෙසාබාන්නයි මේ වෑයම...

සිරා කොලුවා ඉතිං කාට කාටත් උදව්වක් පදව්වක් කරගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්න එකා වෙච්චිකොට, කවුරුහරි සහයෝගයක්  ඉල්ලුවොත් ඉතිං කවදාවත් බෑ කියන පුරුද්දක් නෑ නොවැ... අන්න ඒ නිසාම තමයි මේ කියන්න යන කාරණේට සිරා කොලුවගෙ නමත් ගෑවුනේ....

අ.පො.ස උසස් පෙළ එහෙම අවසන් කරගෙන ප්‍ර‍තිඵලේ පිටවෙන තුරු  සිරා ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න ගුරුභවතෙකුගෙන් පුද්ගලිකව සහයෝගය ලබා ගත්තා... අද සිරා ඉංග්‍රීසි වචනයක් දෙකක් කථා කරනවා නම් එහි පින මේ කියන ගුරු භවතාට තමයි අනුමෝදන් වෙන්ට ඕනෙ... පන්තිය ගැන මට හෝඩුවාව දුන්නෙ සිරාගෙ කාමරේ කථා කීපයකම චරිතයක් වෙච්ච මගේ මිත්තරයා  පුෂ්ප කොලුවා...පස්සෙ කාලෙක මට අමතරව අපේ නගා එහෙමත් මේ කියන පන්තියට සැට් වුනා... අපිටම කියලා වෙන්වුනු  මේ  කණ්ඩායම් ඉංග්‍රීසි පන්තිය තිබුනෙ ගුරුතුමාගෙ නිවසෙ උඩුමහලෙ.

අපේ ඉංග්‍රීසි සෑර් තමා සිරාගෙ පාසලට යාබද රතු ටයිපටියක් තියෙන කාන්තා පාසලේ සිටි එකම පිරිමි ගුරුභවතා...මේ කියන පාසලේ දැරිවියො පාසල්  නිල ඇදුමට බොහොම සුන්දරයි. ඒ අත්දිගට දාලා අදින ඒ ගොල්ලන්ට සුවිශේෂී පාසල් නිල ඇදුමක් තිබුන නිසා...අනිත් පාසල් වල දැරිවියො අතර රතු ටයි පටිය කැපී පෙනුනා.... පාසල වටේටම තියෙන බොහොම උස තාප්පය නිසා සිරා පාසලේ අධ්‍යාපනය ලබන තුරාවටම ඔය කියන පාසලට යන්න අවකාශයක් ලැබිලා තිබුනෙ නෑ.... උස තාප්පයෙන් එහා පැත්තෙ තියෙන ලෝකය මොන තරම් සොදුරුද කියලා දැකගන්න හිතට ආශාවක් අවෙ නැතුවම නොවෙයි... ඒත් ඉතිං මක්ක කරන්නද... තාප්පෙ පිට පැත්තට වෙන්න ඇදලා තියෙන සිතුවම් දිහා විතරක්  බලලා සැනහෙන්න පාසල් අධ්‍යාපනය නිම වෙන තුරාවට සිරාට සිදු වුනා...

ඉංග්‍රීසි පන්තියෙ හිටියෙ අපි කීප දෙනා නිසා සෑර් ඉතිං අපිට සෑහෙන්න හිතවත් වුනා... ඒ දවස් වල මේ කියන ගුරුතුමාට තිබුනා වෙනස්ම පාටකින් පින්තාරු කරපු නවීන පන්නයේ වෑන් රථයක්...  එම වර්ණයෙන් ගම්පහ ඉසව්වටම තිබුනෙ  එය පමණක් නිසා  බොහොම කැපී පෙනෙන සුළුයි. අපි ඉතිං ඔය වෑන් රථයෙ ඉදලා හිටලා යන වෙලාවට, අතිරේක පන්ති නිමවෙලා පාසල් නිළ ඇදුමෙන්ම පෙම්බස් දොඩන රතු ටයි කාරියො  බොහොම කලබල වෙනවා දැකලා තියෙනවා...

මොකද සර් අර සර්ගෙ ඉස්කෝලෙ කෙල්ලො අපිව දැකලා නලියන්නෙ.....

අපේ ඉස්කෝලෙ කෙල්ලෙක් යුනිෆෝම් එකෙන් ලව් කරලා අහුවුනොත් ඉස්කෝලෙන් දොට්ට දානවා අපේ සිස්ටර්.. මගේ  වෑන් එක අදුනන නිසා උන් භය වෙන්නෙ මම කේලම කියයි කියලා...ඔය සමහරු මම පුද්ගලිකව දන්නවා.  මම මොනවටද අයිසෙ  උන්ගෙ ලව් කඩන්නෙ..... ඔන්න සර්ගෙ උත්තරේ...

පන්තිය පටන් අරන් මාස 6 කට විතර පස්සෙ  දවසක පන්තිය නිමවෙලා සර් පොඩි උදව්වක් ඉල්ලුවා...

ඊළග සතියෙ ඉස්කෝලෙ නිවාඩු දෙන්න කලිං  9 වසරෙ කෙල්ලො ක්‍රිකට් මැච් එකක් ගහනවා... ඒකෙ අම්පයර්ස් ලා වෙන්න  තමුසෙලාට බැරිද ?

අයියෝ  ඕවා මොනවද සර්...  මම එන්නම් එකෙන්ම.... පුෂ්පයා එකපයින් මනාපය පල කලා....
සුන්දර දැරිවියො ඉන්න තැනකට යන්න කවුද බොලං අකමැති.....අන්න ඒකයි කාරණේ...

සිරා ? සෑර් හඩ බර කරලා මගේ දිහා බැලුවා..... පුෂ්පයා එනවා නම් මමත් එන්නම් සෑර්.... ඔන්න ඔය විදියට සිරා කොලුවත් ක්‍රිකට් විනිසුරෙක් වෙන්න කැමැත්ත පල කලා...නිකං නෙමෙයි බොලව් එක පයින්ම...

නැගෙනහිරෙන් කීප දවසක්ම හිරු උදාවෙලා බටහිර පැත්තෙන් නිස්කලංකව බැහැලා ගිහිල්ලා උද්වේගකර ක්‍රිකට් තරගය පැවැත්වෙන දිනය උදාවුනා.

http://www.cjca.org.nz/_upload/news/2010.02.21_Satterthwaite%20-%20Pixie%20Merito%20(1)%20-%20Small.JPG







හෙලෝ.... මම වෑන් එකේ මග එනවා ලෑස්ති වෙලා ඉන්නවා.... සෑර් උදේම නිවසේ දුරකථනයට  ඇමතුමක් ගත්තා...

මිනිත්තු 15-20 ක් යද්දි මෙන්න වෑන් එක ගේ ළග...

කෝ සෑර් පුෂ්පයා... සිරාගෙ ශ්‍රී මුඛයෙන් පළමු පැනය ගුවනේ පා වුනා....පුෂ්පයගෙ නිවස පහුකර ගෙන අපේ නිවසට එන්න ඕනෙ නිසයි  එහෙම ඇහුවෙ.

ඒකා අර ගෙදර කාමරේ අස්සෙ හැංගිලා ඉන්නෙ....එන්න බෑ කියලා... පොඩ්ඩක් තේරුම් කරලා දෙනවකො අයිසෙ මේ හදිස්සියෙ මම කොහෙං අම්පයර්ස් ලා හොයන්නද ? නොදන්න උන් කෙල්ලන්ගෙ ඉස්කෝලෙකට  එක්කගෙන ගිහිං වලත්ත කමක් වත් කලොත් මගේ සායමත් හේදෙනවා....

ඔන්න ඉතිං සිරා ටී ෂර්ට් එකක් ඩෙනිමට ඇදලා කාමරෙන් පිටතට සම්ප්‍රාප්ත වුනා...

කොහෙ යන්නද ? පොළේ යන්නද .... ගිහිං කලිසමක් කමිසයක් ඇදන් වරෙං.... උච්ච සප්තකය ඇසුරු කරන සෑර්ගෙ මිහිරි නාදයෙන් මගේ දෙසවන් පුරවා ගෙන දඩි බිඩියෙ කලිසමක් කමිසයක් මැදගෙන දූවිල්ලට යට වෙලා තිබිලා ආමාරුවෙන් හොයා ගත්ත සපත්තු ජෝඩුවට කෙළ බෙට්ට බැගින් අත ඇරලා ශුද්ධ පවිත්‍ර‍ කොර ගෙන වාහනේට නැග්ගා...‍ඊළග නැවතුම පුෂ්පයගෙ නිවස.

ඕන්න දැන් අපි පුෂ්ප කොලුවගෙ නිවස අද්දර... කීප වතාවක් කථා කලාට පස්සෙ පුෂ්පයා ඇඹරි ඇඹරි ලැසි ගමනින් නිවස ඉදිරියට ආවා...

තමුන් අද එන්නෙ නැද්ද ? සෑර්ගෙ කටහඩ කන්කළුයි, මනෝරම්‍යයි, හැගීම්බරයි.

මට බෑ සෑර්.... කයිසමක් කමිසයක් ඇදගෙන කෝමද ඔච්චර කෙල්ලො ගොඩක් ඉස්සරහට එන්නෙ විළි ලැජ්ජාවක් නැතුව... අර පේන ගෙදර (ඈතින් ඇති නිවසක් පෙන්වයි) නංගිලා දෙන්නා ඉගෙනගන්නෙත් එහෙ...

ඉතිං අයිසෙ කෙල්ලො හිටපුවාම මොකෝ මමත් ඉතිං ගෑණු ගොඩක් මැද තනියෙන් නෙ ඉස්කෝලෙ ඉන්නෙ.... අහුමුළු වල උඹලට පැණි පෙරන්න හොදයි...මේ වගේ වැඩකට  තමා එන්න අමාරු... ඉස්කෝලෙ ඉන්න එකම පිරිමි ගුරුවරයා නිසානෙ මට සිස්ටර් මේ වැඩේ පැවරුවෙ.... එදා මම අහපු වෙලාවෙ මොකටද එහෙනම් හා කිව්වෙ.... අපේ සෑර් දැන් මලේ හොදම තැන...

කවුද දන්නෙ මේක සිරා සීන් එකක් කියලා... මම හිතුවෙ ජෝක් එකක් කියලා... තාම මූණ හේදුවෙත් නෑ. එහෙම කියලා පුෂ්පයා බිම බලාගත්තා....

සිරා මෙන්න මේකට මූණ හෝදගෙන, අහවල් වැඩෙත් කරගෙන පික්සු කෙලින්නෙ නැතුව වාහනේට නගින්න කියනවා...මගෙ යකා අවුස්සන්නෙ නැතුව.... එහෙම කියපු සෑර් රථයේ රියදුරු අසුනට අරක් ගත්තා....

පුෂ්පෙ, පවුනෙ බන් සෑර්... සෑර්ගෙ සායම හේදෙන නිසා අපි මේක කොහොම හරි කරලා දෙමු බන්...
සිරා කොලුවා උගෙ හැමතැනටම වැන්ද නිසාම පුෂ්පයා එන්න කැමති වුනා....හිතේ තිබුන පීඩනය හින්දමද මන්දා ඌ අහවල් රාජකාරියටත් සෑහෙන කාලයක් ගත කොලා.

සෑහෙන තරමේ කාලපමාවකින් පස්සෙ ඔන්න දැන් රථය රතු ටයි පටියෙ හිමිකාරියන් සිටින තැන බලා ඇදෙන්න පටන් ගත්තා...

නිවාඩු දෙන දවසට කෙල්ලන්ට අලුත් අත්දැකීමක් ගන්න පුලුවන් දෙයක් කරමු කියලා ටීචර්ස්ලා කිව්වාම මම තමයි ක්‍රිකට් යෝජනා කලේ. අන්තිමට යෝජනාව සම්මත උනාට පස්සෙ නීති රීති ගැන වගේම උන්ව පුරුදු කරන්න උනෙත් මට.... දැන් සති දෙකක ඉදන් කෙල්ලො හැන්දෑවට ක්‍රිකට් පුරුදු වෙනවා. වෑන් රථයට වෙට්ටු දාපු තුන් රෝද රියක් මග අරින ගමන් සුක්කානම මිරිකගෙනම සෑර්  ක්‍රිකට් තරගෙ ජාතකේ දිග ඇරියා.

කෙල්ලො මගෙන් ඊයෙත් ඇහුවා කවුද එන අම්පයර්ස්ලා කියලා... මම කිව්වා කොළඹ ක්ලබ් එකක ක්‍රිකට් ගහන දෙන්නෙක් කියලා... ඒ නිසා පොඩ්ඩක් පපුව ඉස්සරහට දාලා ඉන්නවලා... උඹ විශේෂයෙන්.. සෑර් පුෂ්පයට ඇගිල්ල දික් කොලා.

අවුරුදු ගණනාවක් තාප්පයට එළියෙන් පමණක් දැකපු රතු ටයි පටියෙ තාප්පයට ඇතුලෙන් තියෙන සුන්දරත්වය හා පුරා විදින ගමන් සෑර්ගෙ රථය පිට්ටනියට ඈතින් තිබුනු අරලිය ගහක් යට නතර උනා...

අපි හිතුවට වඩා තදට යන ගේමක් වගේ බොල... පුෂ්පයා එළියට පනින්න පොරකන ඇස් බෝල දෙක කරකවමින් මට කිව්වා...

කථාව ඇත්ත... 9 වසරට අයත් පන්ති 8ක් පන්ති 4 බැගින් සන්ධාන ගතවෙලා තමයි කණ්ඩායම් දෙක හදලා තියෙන්නෙ... අපි යද්දිත් කෙල්ලො පෙර පුහුණුවීම් වල නිරත වෙනවා... තමන්ගෙ කණ්ඩායමට චියර් කරන්න පිට්ටනිය දෙපැත්තෙ ක්‍රීඩා නොකරන 9 වසරෙ පන්ති වල කෙල්ලො ටික රැස් වෙලා. හරියට කදවුරු දෙකක් වගේ... තරගෙ පටන්ගන්නත් කලින්ම සද්දෙ...

තරගයේ ලකුණු සටහන් කරන්න කණ්ඩායමට එක බැගින් කළු ලෑලි දෙකයි, ලකුණු සටහන් කාරියන් දෙන්නයි, චියර් කරන්න   චීයර් ලීඩර්ස්ලා තුන් දෙනා බැගින් සැට් දෙකයි, ( ජාත්‍යන්තර ක්‍රිකට් මැච් වලට චියර් ලීඩර්ස්ලා යොදා ගැනීමේ සංකල්පය කොපි කලේ මේ තරගෙන් පස්සෙ වෙන්නත් පුලුවන් ) සිසිල් පැන් ප්‍ර‍වාහනයට වෙනම අය, තරගයේ විස්තර ප්‍ර‍චාරයටත් ශබ්ද විකාශන යන්ත්‍ර‍ සම්බන්ධ කරලා නිවේදිකාවන් පිරිසකුත් හිටියා.... බලන්න ලස්සනයි... පුදුම සංවිධානයක්....

කෝ සෑර් A/L කෙල්ලො නැද්ද ? පුෂ්පයා පැණි බේරෙන දෑසින් ප්‍ර‍ශ්නයක් ඇහුවා....

ඒ ගොල්ලන්ට විභාගෙ ළග නිසා සම්මන්ත්‍ර‍ණයක් තියෙනවා... මැච් එකට කලින් ඒක ඉවර වුනොත් මෙතනට ඒවි.... ඇයි උන් නැතුව පාළුයිද ? සෑර් කෝචොක් එකට හිනාවක් දාලා අපිත් එක්ක තරගය පැවැත්වෙන ස්ථානයට ගියා. පිටියේ විකට්ටු දෙක හිටවලා සියළු සැකසුම් කරලා තිබුනෙ විද්‍යාලයේ එකම පිරිමි ගුරු භවතා වෙච්ච අපේ ඉංග්‍රීසි සෑර්. නමුත් ඒ වෙද්දි සැකසී තිබූ හතරේ සීමාව සෑහෙන්න දුර නිසා අපි එය තවත් විකට්ටුව දෙසට ලං කොලා. නැත්නම් එකම හතරේ පහරක්වත් තරගයේදි දකින්න නැතුව යනවා.

විදුහල්පතිතුමිය හෙවත් සිස්ටර්ගෙ ආගමනයෙන් පස්සෙ තරගයේ කටයුතු ආරම්භ වුනේ ඒ ඒ කණ්ඩායම භාරව සිටින ගුරු භවතුන් හා ක්‍රීඩිකාවන් හදුනාගැනීමෙන් පස්සෙ... මේ සදහා විනිසුරන් ලෙස මමත් පුෂ්පෙ කොලුවත් සහභාගි වුනා.... පාසල් ගීය එහෙමත් ගායනා කරලා අහවර වෙලා... කාසියෙ වාසිය උරගා බලන අවස්ථාවට අපි එළැඹුනා....

පුතා මේ අයට නීති රීති ගැන පැහැදිලි අවබෝධයක් දෙන්න.... මොකද ඒ අය ක්‍රිකට් ගැන වැඩි දැනුමක් නැති අය...එහෙම කිව්වෙ විදුහල්පතිතුමිය...

මට නම් බෑ උඹම කොරහන්... පුෂ්පයා මග අරිද්දි සිරා කොලුවා කණ්ඩායම් දෙකේම ක්‍රීඩිකාවන් සහ ලකුණු සටහන් කාරියන් ක්‍රිකට් නීති රීති සහ සංඤා  පිළිබද දැනුමෙන්  සන්නද්ධ කොලා....

කාසියේ වාසිය උරගා බැලුවට පස්ස ඔන්න නමෝ විත්තියෙන් ක්‍රිකට් තරගෙ ආරම්භ වුනා...

තරගය බොහොම උණුසුම්... කණ්ඩායම් දෙකම කරට කර..... ඒ වගේමයි නරඹන්නො බොහොම උද්වේගකර විදියට තරගයට සහාය දෙනවා... ඊට හපන් චියර් ලීඩර්ස්ලා... සෑම හතරේ /හයේ පාරකටම අගර දගර දාන හැටි බලන්න කදිමයි. නිවේදිකාවන් මේ සියල්ල කදිමෙට වනලා යකඩ කටවල් හරහා ගුවන් ගත කොලා.

ගෑණු දරුවොනෙ ඉතිං... කිසිම කෙනෙක් සම්මත ඉරියව්වෙන් පන්දු යවන්නෙ නෑ.... අඩි දෙක තුනක් දුවගෙන ඇවිල්ලා පිතිකාරිනිය දෙසට පන්දුව දමා ගැසීම තමා කරන්නෙ.. ඒ අතර සිටියා බොහොම වේගෙන් පන්දුව දමා ගසන ක්‍රීඩිකාවක්.... එවිට පිතිකාරිණිය...

දමලා ගහන එකවත් හිමිං ගහනවකො....

තමුසෙට ගහගන්න බෑ කියලා මම පලිද...

ඉන්නවකො අපි බෝල දානකොට රිටර්න් එක දෙන්න...

හා හා දීලා බලනවා....

මෙන්න මේ වගේ වචන හුවමාරුත් පිටිය මැද යනවා.... ඒ වෙලාවට ක්‍රීඩාවෙ ජීව ගුණය රැක ගන්න සිරා සහ පුෂ්පයා සෑහෙන්න මහන්සි උනා...

අපි ඉතිං හිතට එකගව විනිසුරු තීරණ දෙමින් තරගය ඉදිරියට අරන් යද්දි... පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායමේ ප්‍ර‍බලම පිතිකාරිණිය කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙලා දැවී ගියා... ඒ කෙල්ල තීරණය දුන් මගේ දිහාත් ඇස් ලොකු කරං බලාන ඉදලා අඩාගෙන ගිහිං කණ්ඩායම භාර ගුරු මෙනවියකට සිද්ධිය සැල කොලා.... ඔන්න දැන් පිතිකාරිණිය සහ ගුරුතුමිය දෙන්නම  පිටිය මැද...

මිස්... මෙන්න මේ සර් තමා මම අවුට් කිව්වෙ.... ඇය සත්ගුණවත් සිරා කොලුවා දක්වයි...

මල්ලි ඇත්තටම ඒක අවුට්ද ? මොකද මේ අපේ හොදම බැට්ස්මන්...

ඔව් ඔව්... අයෙ හිතන්න දෙයක් නෑ...එයා අවුට්....සිරා අයෙමත් තීරණය දුන්නාම අර දැරිවි ඉකි ගගහා අඩන ගමන් ක්‍රීඩා පිටියෙන් ඉවතට ගියා.  ඔන්න ඔය විදියට මුදලට තරගය පාවා නොදී ඉතාම ගෞරවාන්විත විදියට තමයි අපි එදා විනිසුරු තීරණ දුන්නෙ...

පළමු කණ්ඩායමේ ඉනිම අවසන් වනවාත් සමගම මගේ ළගට ආව පුෂ්පයා මට අත දික් කරලා යමක් පෙන්නුවා.... බොලේ ඉදලා හමාරයි.... සම්මන්ත්‍ර‍ණය නිම වෙච්ච වැඩිමල් ගෑණු දැරිවියො පිට්ටනිය වටේටම අතුරු සිදුරු නැතිව පිරිලා.... ඒ දසුන දැකලා කකුල් දෙක මැන්ඩලින් ගහන්න ඔන්න මෙන්න...

දෙවැනි කණ්ඩායම පන්දුවට පහර දෙන්න කලියෙන් අපිට බීම වීදුරුවක් තොල ගාන්නත්, පොඩි විවේකයක් ලබා ගන්නත්  අවස්ථාව ලැබුනා... ඒ අතර නැවතත් විදුහල්පතිතුමිය අප කරා පැමිණ...

පුතා මේ තරගෙන් පස්සෙ තරගයේ වීරයෙක් තෝරනවා...ඒ තීරණේ දෙන්න ඕනෙත් ඔය දෙන්නා.... බව සැළ කලා.

ඔන්න නැවතත් තරගය ආරම්භ වෙලා... කණ්ඩායම් දෙකටම දැන් වැඩිමල් කෙල්ලන්ගෙ සහයෝගයත් ලැබෙන නිසා තරගයේ උණුසුම සෑහෙන්න ඉහල ගිහිල්ලා... පිට්ටනිය මැද වරින් වර වචන හුවමාරු එහෙමත් සිදුවෙනවා... දෙපාර්ශවයට ගැටෙන්න ඉඩක් නොදී යන්තමට තරගය අවසන් කරන්න අපට හැකි වුනා.. තරගයෙන් ජයග්‍ර‍හණය ලද කණ්ඩායම ප්‍රීති ඝෝෂා නගද්දි  පරාජය ලද පිරිස ඔවුන්ගේ ගුරු තුමියන් අසලට වෙලා ඉකි ගසමින් හඩන සංවේගජනක දසුන දකින්නට ලැබුනා...

තරගය අවසන් වෙලා ලකුණු සටහන එහෙම පරීක්ෂා කරලා  තරගේ වීරයා එහෙමත් තෝරා ගත්තට පස්සෙ අපි දෙන්නටත් තෑගි කොළ වල ඔතන ලද තරමක් විශාල ත්‍යාගයන් දෙකක් සමග ලියුම් කවර දෙකකුත් ලබා දුන්නා... මේ වැඩේට එන්න බෑ කියලා අඩපු පුෂ්පයගෙ කට කනේ මේවා දැකලා....

සිස්ටර්  මම මේ දෙන්නව ගිහිං බස්සලා එන්නම්... අපේ සෑර් විදුහල්පතිතුමියගෙන් අවසර ඉල්ලුවා...

හා හා එහෙම යන්න දෙන්න බෑ.... අපේ ගෘහ විද්‍යා ළමයි මේ දෙන්නටත් එක්ක අන්න දවල්ට කෑම ලෑස්ති කරලා තියෙනවා... ඒ සංග්‍ර‍හයත් භුක්ති විදලාම යන්න කියලා බොහොම කාරුණිකව කිව්වා...

පාසලේ කෙළවරට වෙන්න තිබුනු ගෘහ විද්‍ය කාමරයට යද්දි ඒ අය කෑම සූදානම් කරලා හමාරයි... සීදේවි දැරිවියො අපට කෑම බෙදනකොට ඒ අයගෙ ගුරුතුමියත් ඊට දායක වුනා.... වසර ගාණක් එළියෙන් මිස ඇතුලතින් නොදුටු මේ සොදුරු ඉසව්වේ හැඩ රුව හොදින් විදින ගමන් බත් පත හිස් කර හැමෝටම හද පත්ලෙන් ස්තුති කරලා සිරා කොලුවා සහ පුෂ්පයා වාහනේට ගොඩ වුනා.... අපි දෙන්නගෙම තෑගි පාර්සල් වල  මුදුනට වෙන්න අලවපු පාට පැන්සලකින් පසුබිම ලස්සන කර තිබුනු කාඩ්බෝඩ් තීරුවක.....Thank you Sir....කියලා ලොකු අකුරෙන්  ඉංගිරිසියෙන් ලියලා තිබුනා....



මම කාමරේ වෙසෙන, සත්ගුණවත් සිරා කොලුවා


ප.ලි

වර්තමානයේ සිය බිරිද සමග විදේශයක වෙසෙන පුෂ්පයා ලගදි දවසක කල කථා බහකදි මේ පරණ සිදුවීම මතක් කල නිසාවෙන්ම එය මෙහි අද  පෝස්ටුවක් බවට පත් විය.

ඉංග්‍රීසි සෑර් දැන් එම පාසලෙන් ඉවත් වී කොළඹ ප්‍ර‍ධාන පෙලේ ජනප්‍රිය බාලක පාසලක සේවයේ යෙදී සිටී.

ලියුම් කවරය තුල මුදලින් රු. 500/- වූ අතර අපේ කියා අතේ සත පහක් නොතිබුනු එවැනි සමයක එය ඉතාමත් වටිනා මුදලකි.

විශාල පලගානක් තෑගි කොලයකින් ඔතන ලද පෙට්ටිය යට සැගව තිබුනි...එය අදටත් අප නිවසේ ඇත...

Thank you Sir  සහිත කාඩ්බෝඩ් තීරුව මෑතක් වන තුරුම සමරුවක් ලෙස මගේ ළග තිබුන මුත්  එය දැන් අස්ථාන ගත වී ඇත.

ඒ දිනවල කැමරාවක් තබා ජංගම දුරබණුවක් වත් නොතිබූ හෙයින් පෙන්වන්නට ඡායාරූප නැත.











127 comments:

  1. සර් නම් දෙයියෙක් බං, දෙන දෙයියො උඩ පැන පැන දීල මූට.

    මම ඒත් කම්පනා කළේ ඒලෙවල් කෙල්ලොන්ගෙ මැච් එකක අම්පයර් වෙන්න ලැබුන නම් උඹට මොනව වෙයිද කියල, උන් පිට්ටනිය කෙළවරට ආවමත් කකුල් මැන්ඩලින් ගහන එකාට.

    ReplyDelete
    Replies
    1. උඹත් එක්ක බෑ බං :(

      Delete
    2. අඩේ ... උඹ අදත් ඉන්නවද බං, ගිහින් නිදාගනිං කොල්ලො.

      Delete
    3. උඹලා දෙන්නා එක වෙන්න මෙතන මරා ගන්නවද ? සමී උඹ සැලෙන්න එපා මේ DDT යට නින්ද යන්නෙ නැති ලෙඩක් තියෙනවලු.... මහ රෑටත් ඇහැරිලා ඉන්නෙ පේනවනෙ...හික් හික්..

      අනේ DDT යො උඹේ කකුලුත් මැන්ඩලින් ගහන හැටි බලන්න තිබුනා කෙල්ලො ගොඩක් මැද්දට අත ඇරියා නම්...ඔය පොර ටෝක් නෑ බන් එතකොට...

      සෑර් නම් අවංකෙන්ම දෙයියෙක් තමා.. එයාට පින් සිද්ධ වෙන්න කඩ්ඩෙන් කොටනවා...

      Delete
    4. නියම කථාව මචං ..... ඇත්තටම රහ දැනුනා ..........

      Delete
    5. ස්තූතියි දිනෙල්ක...

      Delete
  2. සිරා අයිය ලියල තියෙනව නියමෙට :D

    //මිස්... මෙන්න මේ සර් තමා මම අවුට් කිව්වෙ.... ඇය සත්ගුණවත් සිරා කොලුවා දක්වයි...

    මල්ලි ඇත්තටම ඒක අවුට්ද ? මොකද මේ අපේ හොදම බැට්ස්මන්...//

    :D :D මැරෙන්ඩ හිනා :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... ඔය දෙබස් ගොතපුවා නෙමෙයි බන්... සිරාවටම වෙච්ච දේවල්...

      Delete
  3. මටත් මේ වගේ අත්දැකීම් බොහොමයක් ඇත. මතක් කර දුන් සිරා කොලුවාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මතක් වෙලා විතරක් මදි... පෝස්ටුවක් බවට පත් කලොත් තමා හොද...

      Delete
  4. උඹටත් මාර චාන්ස්නෙ වදින්නෙ.. ඔය සීදේවි ලමයි අඳුනගත්තට පස්සෙ..මගතොට හමුවෙන්න ඇතිනෙ ඊට පස්සෙ..යන එන වෙලාවට....බෝනස් තෑගි එහෙම හම්බු උනේ නැතෙයි...(ප්‍රේම ආරාධනා)

    ReplyDelete
    Replies
    1. මගතොට හමුවුනේම නෑ බන්... අපි ඒ දවස් වල ඉංග්‍රීසි පන්ති යද්දි නම් සෑර්ට දස අතේ වැන්දා හොද කෙල්ලෙක් සැට් කරගන්න උදව් වෙන්න කියලා... ඒත් වගකීමක් ඇති ගුරුවරයෙකු ලෙස කවදාවත් අපට සහයෝගයක් ලැබුනෙ නෑ...අනිත් එක මම කවදාවත්ම රතු ටයි පටියෙ කෙල්ලෙක්ට ට්‍ර‍යි කරලත් නෑ...

      Delete
  5. සිරාවටම කතාව ලියල සිරා.ඒ කාලේ ඉස්කෝලෙ හිටපු අක්කිලා,නගාලා මේ ලිපිය කියොව්වොත් පුදුම ජොලියක් ඇතිවෙයි.

    ReplyDelete
    Replies
    1. එහෙම අක්කිලා නංගිලා මේ ලිපිය කියෙව්වොත් එදා අර විදියට දැවී යාම දුන්න සිරා සර්ව මතක් වෙයි එහෙනම්....

      Delete
  6. Replies
    1. ස්තුතියි ටික්කා...

      ටික්කා කිව්වෙ බස් ටික්කෙක්ද ? නැත්නම් ටියුෂන් පංති ටික්කෙක්ද ?

      Delete
    2. කලිසමට අල්ලන ටික්කෙක් වෙන්නැති

      Delete
  7. අපූරු ලිපියක්.හොඳ අත්දැකීමක් :)

    ReplyDelete
  8. බලාගෙන ගියාම සිරාගෙ ජීවිතයේ ලඟින් උන්න ගුරුවරු මනුස්සකම් දන්න..දරුවන්ගේ අදහස් උදහස් තේරුම් ගන්න පුළුවන් අය. එහෙම අය ලැබෙන්නෙ කලාතුරකින්. සිරා ඒ අතින් වාසනාවන්තයි..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ලිහිණි... ගුරුවරුන් බොහොම වැරදි විදියට දරුවෙකුට සැළකුවා නම් එතැනින් පස්සෙ සමස්ත ගුරු පරපුරම ඒ දරුවට එපා වෙනවා... මටත් ඔය අත්දැකීම තියෙනවා... විශේෂයෙන් මට මුල් කාලයේ හමුවුනු ඉංග්‍රීසි ගුරුවරු අන්න ඒ ගණයේ... පස්සෙ කාලෙක හමුවුන මේ ඉංග්‍රීසි සෑර් තමා කඩ්ඩ කොටන්න අපට අවකාශය සලසලා දුන්නෙ.

      Delete
  9. නියම සර් කෙනෙක්.

    ඇති අම්පයර්ල දෙන්න කෙල්ලංගෙන් ගුටි නොකා ආපු එක.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සෑර් පුදුම හොද චරිතයක්... අදටත් අපි ආශ්‍ර‍ය කරනවා...

      උසස් පෙළ කෙල්ලන්ගෙ තරගයක් විනිශ්චය කරන්න ගියා නම් ගුටි කන්නත් ඉඩ තිබුනා...එහෙම උනා නම් ඉතිං පාරෙ ගිහිල්ලත් හමාරයි...

      Delete
  10. පට්ටයි ඇ.
    //දමලා ගහන එකවත් හිමිං ගහනවකො...//
    බොලේ හිමින් දන්නා කියල තර්ජනය කරනවද?

    //මිස්... මෙන්න මේ සර් තමා මම අවුට් කිව්වෙ.... ඇය සත්ගුණවත් සිරා කොලුවා දක්වයි...
    මල්ලි ඇත්තටම ඒක අවුට්ද ? මොකද මේ අපේ හොදම බැට්ස්මන්...//
    ඕවට කියන්නේ ජාත්යන්තර කුමන්ත්‍රණ කියලා.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත බෝලෙ හිමින් දාන්න කියලා කරන තර්ජනයක් තමයි ඒ....

      ඒවාට කියන්නෙ ජාත්‍යන්තර ක්‍ර‍මන්ත්‍ර‍ණ නෙමෙයි... මුදලට තරගය පාවා දෙන්න කරන ඇරයුම්.... මුදල් කියලා මෙතන අදහස් කලේ තරුණ ගුරුවරිය අපිට පෙන්වන කෝමල මදහස...

      Delete
  11. ඔය අවදි කරලා තියෙන්නේ තවත් රස මතකයක් ...!
    //විශාල පලගානක් තෑගි කොලයකින් ඔතන ලද පෙට්ටිය යට සැගව තිබුනි...එය අදටත් අප නිවසේ ඇත...//
    ඒ පලඟානේ වටිනාකමට වඩා දහස් ගුණයක් ඔයාට ඒක වටිනවා නේද ?ඒවා හරි සුන්දර හැගීම් යාලුවා
    :)

    ReplyDelete
    Replies
    1. ඔබේ කථාව නිවැරදියි...එය දකින වාරයක් පාසා මේ තරගයේ සොදුරු සිදුවීම් වගේම ලංකාවෙ නැති මගේ අතිජාත මිතුරාවත්, ඉංග්‍රීසි සෑර්වත් මට මතක් වෙනවා...

      Delete
  12. ඔය කියන ස්කෝලේ මොකද්ද කියලා මතකෙට ආවා. ඒත් හරි නැති නිසා කමෙන්ට් කරන් නෑ. අපේ මාමලෑ දූත් යන්නේ ඔය ඉස්කෝලෙටම තමා :)

    අදත් මරුවටම ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පාසලේ නම මම ලිව්වෙත් නෑ ඉතිං...ආදි ශිෂ්‍යාවො සහ වර්තමාන සැට් එක මගෙ බෙල්ල කයි කියලා... හැබැයි ඒ පාසලේ දැරිවියො බොහොම සමාජ ශීලී වගේම මළල ක්‍රීඩා වලටත් සෑහෙන්න දක්ෂයි....

      Delete
  13. අද තමයි මේ පැත්තට මුලින්ම ආවේ. ගොඩක් ලිපි කියෙව්වා. නම වගේම සිරා බ්ලොග් එකක්. ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා...

      කොමෙන්ටුවට වගේම කාමරයට පැමිණීම සම්බන්ධයෙනුත් ස්තුතියි... දිගටම කාමරේ පැත්තට එන්න... ජය !

      Delete
  14. හි හි... මම හිතුවා කෙල්ලන්ගේ ඉස්කෝලෙකට ගිහින් හොඳ රැග් එකක් කාලා එන්න ඇති කියලා... කෙල්ලන්ට මැච් එක නිසා මේ දෙන්නව එච්චර නෝට් වෙන්න නතුව ඇති.. අනිත් එක සෑර් නේ එක්කං ගියේ.. ඒක නිසාද කොහෙද දෙන්නා බේරිලා තියෙන්නේ...

    අපේ ඉස්කෝලෙට එහෙම ආවනං ඉතිං කකුල් මැන්ඩලින් නෙවෙයි දණගාගෙන තමයි යන්න වෙන්නේ අපේ කෙල්ලෝ බයිට් එකට ගන්න විදියට... හි හි..

    ReplyDelete
    Replies
    1. හෆොයි ඉතිං උඹලා වගේ කෙල්ලො හිටපු තැනක මැච් එක ගැහුවා නම් අපිට පොළොවෙ පස් කන්න තමයි වෙන්නෙ... මට හිතාගන්න පුලුවන් අපිට අත්වෙන ඉරණම...

      කොල්ලන්ගෙ වාසනාවටද කොහෙද බොලා ඉස්කෝලෙ යනකාලෙ මේ වගේ බෝල සෙල්ලම් කොලේ නැත්තෙ.... මේ වගේ ක්‍රිකට් තරගයකදී කෙල්ලන් කුමන ආකාරයකට විනිසුරන් බයිට් කරාවිදැයි ඔබට අදහසක් දෙන්න පුලුවන්ද හිරු....

      Delete
    2. එහෙනං අපෙ එවුන් එකෙක්වත් අඬාගෙන ගිහින් ටීචර්ට කියන්නේ නෑ... කොහොමද ටීම් එකම සිරා වටේ වට වෙලා ගිරවු වගේ බනින්න පටං ගත්තම... ගුටියක් දෙකක් නොවැදි තියෙයිද කියන්නත් නෑ... හි හි.. අනිත් එක අපේ ඉස්කෝලේ කෙල්ලෝ සෙට් එකක් හිටියා හොඳට බෝල් කරන්න පුළුවන් අය... ඒක නිසා ඔය හිමින් බෝල දැමිලි තියෙන එකකුත් නෑ... සිරාට කොන්ද පිට්ටනියේ තියලා තමා එන්න වෙන්නේ.... හි හි

      Delete
    3. භය හිතෙනවා බොල...අර අහිංසක අපේ මහත්තයා කොහොම ඉන්නවද මන්දා...

      Delete
  15. සර් නම් නියමයි බං/...

    ReplyDelete
  16. මරුවට ලියලා තියනවා බන්,

    අපිටත් ඔහොම චාන්ස් එකක් ආවා නුවර බෝගම්බර පිට්ටනියේ ඉද්දිදී, නුවර ප්‍රසිද්දම බාලිකා විද්‍යාලයක පිටියේ තරග වලට උදවු වෙන්න. මම හිතන්නේ එදා ඒ පුහුණුවීම වගයක් තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. ඉතිං මුදියන්සෙ මාමෙ.... එදා වෙච්ච රසවත් සිදුවීමක් එහෙම නැතුවාද පෝස්ටුවක් බවට පත් කරන්න...

      Delete
  17. ඔය බවක් දන්නවා නම් අපේ මැච් එකටත් අම්පයාර් කරන්න ගෙනන් ගන්නවා.අපරාදේ.රසවත් ලෙස අත්දැකිම පෙළ ගස්සලා.ඒ ගුරුවරයා අගය කරමි.
    මනසින් දිවියට

    ReplyDelete
    Replies
    1. අයියෝ කලිං කිව්වා නම් කරලා දෙනවා... මීළගට පැවැත්වෙන එක හරි මට සැට් කරන්නකො...

      Delete
  18. ubala kellangen guti noka berila awa eka madey sadarana winishchayan denna gihilla... :)

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රෙපා... උසස් පෙළ කෙල්ලන්ගෙ මැච් එකක් උනා නම් අනිවා අපි ගුටි කනවා... මේක 9 වසරෙ එකක් නිසා අපි ශේප් වුනා...

      Delete
  19. මරු කථාව සිරා ඉස්කෝලේ කාලේ තරම් ලස්සන කාලයක් නෑ ලොවෙත්.... මම මේ බැලුවේ සිරාවටම සිරා පින් කොරලා තියෙනවා. කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝලෙකට ගිය එකෙක්ට කෙල්ලොන්ගේ ඉස්කොලෙකට රිංගන්න official invitation එකක් ලැබෙනවා කියන්නේ නිකං ලොතරැයියක් ඇදුනා වගේ....
    ඊට හපන් කෙල්ලොන්ගේ වලි දැක්කම හිනා වෙලා පණ යනවා කියන දේවල් වලට...

    ReplyDelete
    Replies
    1. ඇත්ත... අවු 13-14 තාප්පෙට පිටින් විතරක් දැකලා තියෙන තැනකට යන්න ලැබුනාම හිතට දැනෙන නැවුම් හැගීමම බොහොම චමත්කාරජනකයි නොවැ... ඊටත් වඩා චමත්කාරයක් සුන්දර යුවතියො දැකගන්නට ලැබීම...

      අමාරුම දේ තමයි කෙල්ලන්ගෙ රණ්ඩු බේරන එක...

      Delete
  20. මරු අවස්ථාවක් නේ සිරා..
    මට ඔහොම අවස්ථාවක් උදා වුනා.. හැබැයි වෙනසකට තිබුනේ ස්ථානේ ප්‍රිසන් බ්රේක් සීසන් 5 ෂූට් කරපු ස්ටූඩියො එකේ.. රූමි මර්ෂුක් බන්ධනාගාර කොමසාරිස් ඉන්න කාලේ.. සිරකරුවෝත් මනුශ්‍යයෝය කියන මාතෘකාවෙන් ප්‍රදර්ශණ විවාද තරගයක් සහ රැදවියන්ගේ නිර්මාන විනිශ්චයකුත් අපිට කරන්න සිද්ධ උනා.. සිරකදවුරු භූමිය අතුරු සිදුරු නැතුව සුදු ඇදුම් ඇදගත්තු රැදවියන්ගෙන් වැහිලා.. රක්‍ෂිත බන්ධනාගාර වල හිටි අය සිර කුටිවල තියෙන කවුළු වල එල්ලිලා බලං ඉන්නවා.. අපි කථා කරේ යෝජකේ විදිහට මාතෘකාව නං හරියටම මතක නෑ.. ඒත් සිරකරුවන් පුනරුත්තාපනය කල යුත්තේ දඩුවමෙන් නොව වගේ මොකක් හරි.. කථා කරන්න නැගිටිද්දි නං සෑහෙන්න බයක් තිබුනා.. අපිට සලසන්න පුළුවං උපරිම ආරකෂාවක් සපයලත් තිබුනා.. ඒත් වැලිකඩ සිරගෙයි ඇතුලේ පිට්ටනියේ එලිමහනේ වේදිකාවක තරගේ තිබු‍‍නේ. කොහොම හරි අපි විවාදේ නං දිනුවා. ජයග්‍රහනය ප්‍රකාශ කරද්දි අපිට ලැබුණු ප්‍රතිචාරය තමයි මම මෙතෙක් මගේ ජීවිතේදි ලබපු ලොකුම සහ සංවේදීම ප්‍රතිචාරය..

    ReplyDelete
    Replies
    1. ඔබේ කථාවට අදාළ පරිසරයේ චිත්ත රූපයක් මම මවා ගත්තා... එය බොහොම අපූරු අත්දැකීමක් වෙන්න ඇති කියලා මටත් හිතෙනවා... සිරකරුවො බොහොම දරුණු මිනිසුන් ලෙස බාහිර සමාජය සැලකුවත්... මේ අය අතර ඉතාමත් හොද ගතිගුණ තියෙන අය ඉන්න බව මට නෙයෙක් වර හමු වූ අයගෙන් අත්දැකලා තියෙනවා....

      ජයග්‍ර‍හණය ප්‍ර‍කාශ කරද්ද අර හිර කූඩු වල හිරවෙලා ඉන්න රැදවියො අත්පුඩ් ගහන දර්ශනේ සංවේදී කම මටත් දැනෙනවා වගෙයි...

      Delete
  21. සිරා අයියටත් සෙට් වෙන්නේ සිරා චාන්ස් පාරවල් තමයි අන්න ගුරුවරු අපේ අවාසනාවට අපිට සෙට් උනේ පිට රැටියෝ සැට් එකක් නේ. කොහොම හරි ඉගැන්නුවා තමයි නමුත් ඒ දේ කලේ අපි සල්ලි ගෙව්වා නිසා.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නෙ කෝරලේ අපි මොන රටේ හිටියත් අපේ අධ්‍යාත්මය තියෙන්නෙ මේ රටේ නිසා...ඔබ කියන විදියට නම් පාසල් කාල සමයේ අපි විදපු බොහොම සුන්දර අත්දැකීම් ඔබට මග හැරී ඇති හැඩයි...

      Delete
  22. ගුරෙක් නෙවෙයි දෙයියෙක්... :D

    කොහොමටත් ඔය ඉස්කෝලේ ළමයි ගම්පහ අනිත් ඉස්කෝලවල ලෑතරස් කෑලිවලට වඩා පෙනුමයි නේද බං...?

    (රහසින්... මේක කියවන රත්නවල්ලියෝ යසෝධරාවො එහෙම නැහැ නේද සිරෝ..නැත්තං වසලා හමාරයි...)

    ReplyDelete
    Replies
    1. මාරෙ අයියා එහෙනම් හරියටම රතු ටයි පටිය හදුනගෙන... කථාව ඇත්ත...රතු ටයි පටියෙ අයගෙ පාසල් නිල ඇදුම බොහොම ලස්සන නිසාම තමයි ඒ කෙල්ලො අනිත් උන්ට වඩා පෙනුම... දාන සපත්තුත් වෙනස් නොවැ...කොණ්ඩෙට රතු රිබන් එහෙමත් බදිනවනෙ....

      සිරා කොලුවා ඉතිං කුජීත වුනේ ඔය කියන රත්නවල්ලියො සහ යසෝධරාවො පස්සෙන් ගිහිං තමා... මගේ පළමු ප්‍රේමයත් යසෝධරාවක්... වැඩේ කියන්නෙ අපේ අම්මත් එහෙනෙ... රතු ටයි පටියකට ලව් කොලා නම් මේ වෙද්දිත් ළමයි නලවන්නත් තිබුනා...

      Delete
  23. ඇත්තටම මරු කතාව.... මගේ අතීතයත් මතක් කර දුන්නට බොහොම ස්තුතියි මචං..... පට්ට ගති කතාව... මට හිතෙනව ආපහු පොඩි කාලෙට යන්න තියෙනවනම් කියල... ඒ කාලෙ තරම් සුන්දර කාලයක් තවත් නෑ බං./.... පට්ට පට්ට කතාව...

    ReplyDelete
    Replies
    1. මචං උඹ මේ කොමෙන්ටුව කෙටුවෙ බොක්කෙන්ම බව මට පට්ටෙට පැහැදිලියි....ස්තුතියි...

      Delete
  24. machan dan welawa naha aniwa passe ennam...
    plentiyak gagaha indala yannama...

    ReplyDelete
    Replies
    1. නියම සීන් එක බන් තව ටිකක් දාල ලියන්න තිබ්බේ
      මචෝ ඇට්ටි හැලෙන්න ..:)))))))
      ඇත්තට බන් 500 කියන්නේ අද කාලේ හැටියට
      3000 වගේ වටිනවා.මොනවා උනත් නියම සීන් එක..
      '''මම කිව්වා කොළඹ ක්ලබ් එකක ක්‍රිකට් ගහන දෙන්නෙක් කියලා... ඒ නිසා පොඩ්ඩක් පපුව ඉස්සරහට දාලා ඉන්නවලා...'''''
      කොට කලිසන් දෙකක් දාගෙන ටී ෂර්ට් දෙකක් දාගෙන
      ගියානම් එහෙම සැනේකෙලිය දකිද්දී සුළු දිය පහ වෙනවා
      වෑන් එකේම බොලා දෙන්නට...
      ඊට පස්සේ ඔහොම එකක් කොලේ නැද්ද හැබැට...
      මගේ කුප්ප හිතටත් කුජීත සිද්දි ටිකක් මතක් උනා ...:)))

      Delete
    2. තව දාන්න දේවල් නෑ බන්... මේ ඔක්කොම ඇත්ත සිද්ධි...එදා ඒ විදියට ගිය නිසා තමයි අපිට කෙල්ලො සර් කියලා කථා කලේ... ඊට පස්සෙත් මම ලංකාවෙ ප්‍ර‍සිද්ධ සමාගමක ක්‍රිකට් තරගාවලියක් විනිශ්චය කලා...ඒකෙත් රසවත් කථා තියෙනවා.... පස්සෙ දවසක බලමු ඒ විස්තර...

      Delete
  25. කෙල්ලෝ හරියට හිතට ගන්නවා නේද ඔය පොඩි පොඩි ඒවා? :) සිරාත් මාර මාර දේවල් නේ කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත...ඒකනෙ කෙල්ලො අඩු වයසෙන් පටන් ගන්න ලව් වලට කෙලවුනාම හිතන්නෙ නැති දේවල් කරන්නෙ... සිරා සිරාද.....

      Delete
  26. ඩ්‍රාමා එහෙම ප්‍රැක්ටිස් කරන ඒවට උදව් වෙන්න අපේ බෝයිස් එකේ අයියලත් එනවා ඒ දවස් වල.අපිත් ඉතින් එයාලා එනකල් මඟ බලාගෙන ඉන්නවා ;) :D

    ReplyDelete
    Replies
    1. අපේ බෝයිස් එකේ කිව්වෙ නංගි කුරුණෑගල පැත්තෙද ? නැත්නම් කෝට්ටෙ පැත්තෙද ? එමෙමත් නැත්නම් මිනුවන්ගොඩ හරි ජාපාලවත්තෙද ?

      ඉතිං මගබලාන ඉදලා ආපු අයිය කෙනෙක් අර අහවල් යෝජනාවක් එහෙම කලේ නැද්ද ?

      Delete
    2. ඔව් ඔව්.කුරුණෑගල. :D
      එයාලා ඒ ලෙවෙල් කරන අයනේ.
      ඉතින් අපේ ආර්ට්ස් කරන අක්කලා එයාලව බුක් කරගෙන හිටියේ :D

      Delete
  27. යකෝ අන්න සර්ලා පාවාදීම් නම් සෑහෙන්න වෙන්න ඇති මූණ බලලා නේ

    ReplyDelete
    Replies
    1. පික්සු කථා කරනවා... සිරා ඔය සිරික්කියට නැමෙන කොල්ලෙක් නෙමෙයි නොවැ... අපි අන්තිම සාධාරණේට වැඩේ කොලා...

      Delete
  28. අම්මේ.... මෙයාට මාර සිරා චාන්ස්නේ ලැබෙන්නේ..... හික්... හැබැයි ඉතිං කෙල්ලොන්ගෙන් ගුටි නොකා ආව එක පුදුමයි..... කෙල්ලන්ට බැල්ම එහෙම දැම්මේ නැතුව ඇති නේද???

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි නංගි භයටමද මන්දා කෙල්ලො දිහා පැණි ඇහෙන් බැලුවෙම නෑ... මම 6 වසරෙදි පාසල් ගිය පාසල් සේවය වෑන් රථයෙත් ඔය පාසලේ ඇත්තියො හිටියා.. ඒකෙ ඇතුලෙත් හොද හොද දේවල් උනා.... ඉස්සරහ දවසක ලියන්නම්...

      අපිට ගහන්න කෙල්ලො...එහෙනං කැලණි ගගෙන් නාලා එන්න වෙයි උන්ට...

      Delete
  29. ඒ දවස්වල.. හප්පේ ගර්ල්ස් ස්කූල් එකකට යන්න තියනවනම් කන්න ඕනත් නෑ..:) ඒකටත් බුදු ගේමක් දෙන්න එපැයි..:) ඇස්ට්‍රො නයිට් වල එහෙම සුපිරි ආතල්.. අම්බානෙක කන්නත් දෙනවා.. අලේ... ආයි ඒම කාලයක් එන්නෙ නැතෝ..:((((

    ReplyDelete
    Replies
    1. කෙල්ලන්ගෙ පාසලකට ඉතිං යන්න තියෙනවා නම් කොල්ලො පැනගෙන එයි... අර කන්න දෙන කථාව හැමෝම කියනවනෙ බන් ඇත්ත කියලා...ගෑණු පාසලකට ගිය ගොඩාක් අයට කන්න දුන්නා කියලා මට මේල් වලිනුත් සමහරු කියලා එවලා තියෙනවා...

      Delete
  30. ....Thank You Sir....
    a lasana matakayan aye aluth karala dunnata

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තට ඇවිල්ලා ගියාට...

      Delete
  31. සිරා මාර ලක් කාරයෙක්නේ.. අපිට ඔහොම චාන්ස් නෑනේ..
    මං හිතුවෙ මැච් එක ඉවර වෙලා ලස්සන දැරිවියෙකුත් සෙට් කොරන්ම ඒවි කියල (දිව දොට්ට)

    ReplyDelete
    Replies
    1. චෑන්ස් එක වැදුනට වැඩක් වුනේ නෑ බන්.... කෑල්ලක් සැට් වුනේ නෑ... පස්සෙ කාලෙක හිතුනා 9 වසරෙන් දැරිවියක් සැට් කරගන්න තිබුන අවස්ථාවක් ගිලිහී ගියා කියලා.

      Delete
  32. සිරෝ මේකත් සුපිරි කතාවක්. බොලා කෙල්ලෝ ගැන හිතාගෙන හිටිය විදිය ලිපිය පුරාම වෙනස් වෙලා අන්තිමට රතු කෙල්ලෝ ටික සහෝදරියෝ ටිකක් ඒ වගේම සාමාන්‍ය අය බව ලස්සනට පෙන්නල තියෙනවා. අම්මප මුං ලියුමක් වත් හරියට කියවන්නේ නෑනේ.. සුපිරියි සිරා. හැබැයි බෑන්ඩ් සර්ගේ කතාව තමා මටනං තාමත් උපරිම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට... කෙහොමත් මේ රතු සහෝදරියො එක්ක අපේ පාසලේ කොල්ලො බොහොම සමගියෙන් තමයි එදා ඉදන් හිටියෙ... අනෙක් පාසල් වල කෙල්ලන්ට වඩා මේ අය විවෘතයි, සමාජ ශීලීයි...

      බෑන්ඩ් සර්ගෙ කථාව අස්සෙ පොඩි වේදනාවකුත් ගැබ් වෙලා තිබුනනෙ ඒ නිසා වෙන්න ඇති ඔබට එහෙම දැනෙන්නෙ...

      Delete
  33. මල් වත්තකට ගියා වගේ තියෙන්න ඇති.. //මිස්... මෙන්න මේ සර් තමා මම අවුට් කිව්වෙ....// පව් බං..!
    කෙල්ලොත් එක්ක මැච් ගහන්න ගිහාම ලේසි නෑ. අපිත් ඉස්කෝලෙදි සෙල්ලම් කරන වෙලාවලදී උන් නෙවෙයි තීරණයක් එක පාරට පිළිගන්නේ. සේරම මුල ඉඳල ඔප්පු කරලා පෙන්නන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. මල් වත්තක් තමා... දකින දකින අත මල්...ඒ වගේද ගුරු මණ්ඩලයෙත් වැඩි වයස නැති මල් පිපිලා තිබුනා...

      කථාව ඇත්ත... ගෑල්ළමයි පොඩි කාලෙ ඉදලම විචාර බුද්ධියෙන් යමක් අවබෝධ කරගන්න උත්සාහ කරන්නෙ...

      Delete
  34. ලස්සන වගේම වටිනා අත්දැකීමක්.
    සිරා අයියා මාර චෑන්ස් කාරයනේ ඈ ;)

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ බන් චෑන්ස් වැදුනට... මමත් උඹේ බෝට්ටුවේ...

      Delete
  35. මටත් ඔය වගේ කාලයක් තිබුනා. ගිටාර් එකේ පිහිටෙන් මටත් ඔය වගේ බාලිකා ඉස්කෝල දෙක තුනකටම යන්න වාසනාව ලැබුනා. ඒ ගොල්ලන්ගේ එක එක තරඟ, විවිද ප්‍රසංග වලට වාදනයෙන් සහය වෙන්න. වැඩියමක් නුගේගොඩ සමුද්‍රදේවියට. මට අපේ ගම හාමිනේව මුන ගැහුනේ එහෙම ගිහින් තමයි.

    ඊට පස්සෙ දෙහිවල පී.ජී.එස් එක සහ සිරිමාවෝ එක. තව කොළඹ බිෂොප් එකටත් දෙවතාවක් විතර ගිහින් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කොහොමත් සංගීතයට සැට් එක ආකර්ශනය වෙනවා වැඩී නොවැ... දුමි අයියා නම් ලක් කාරයා වගේ... ගම හාමිනෙත් එතනදීම සැට් වෙලා නොවැ... ඒකට මට කෑව තරමක් කෑවෙම කටු....

      බිෂොප් කෙල්ලො පොෂ් කියන්නෙ ඇත්තද ?

      Delete
  36. niyamai siro ele . siro ubala band gahapu kale mamath eastern band eke hitapu porak. chamiya,kawwa,gana kiyanna wachana na.bandaranayaka college eke e kale taram sundara kalayak tawath na.godak sathutui macho. ela

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝෂයි සහෝදරයා හදුනාගන්නට ලැබීම... යුධ හමුදාවෙ නේද සේවය... වෙලාවක ඊයක් දාන්න...අපේ බෑන්ඩ් එකෙත් ඉන්නවා ආමි ඔෆිසර්ලා.. හදුන්වාදෙන්න පුලුවන්...

      කව්වා කියන්නෙ ඉතිං විනෝද සාගරයක්නෙ... මදක් ඉදිරියට ආපු දත් පෙළ තමා මිනිහගෙ අනන්‍යතාවය... නැවක වැඩ කරනවා කියලයි ආරංචිය... සෑහෙන කාලෙකින් මුණ ගැහිලා නෑ...

      අපේ කාලෙ වගේ නිර්භීත කොල්ලො අද නෑ මම හිතන්නෙ...

      Delete
  37. එතකොට සිරාගේ බඩ දන්න ගත්තෙම නැද්ද පිට්ටනියට ගියාම? අනේ අර පුෂ්පයා ලියන බ්ලොග් එකේ ඇඩ්රස් එකත් දාපන් බන්. නැත්නම් ඌ පවුනේ.

    පට්ට අත්දැකීමක්නේ හම්බ වෙලා තියෙන්නේ. මාරුවට ඇතිනේ. "ලගාන්" හින්දි ෆිල්ම් එක බලලා තියෙනවද? නැත්නම් අදම බලන්න. ඔය පන්දු දමා ගැසීම් එහෙම කොලිටියටම තියෙනවා.

    බාලිකා පාසල්වල අර සැලකිල්ලනම් ඒ විදියටම තියෙනවා. මාත් ගියා ඔහොම එකකට කොම්පීතරයක් හදන්න. හප්පේ තියෙන සැලකිල්ල. සිස්ටර්ස්ලගෙනුත් එහෙම්මම තමයි.

    හොඳට රසවිඳින්න පුළුවන් පොස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. බඩ ඇතුලෙ සමනල්ලු පියාඹන ගතිය ගිය ගමන් නැති වෙලා ගියා...පුෂ්පයා බ්ලොගක් ලියනවා තියා...මේක කියවන්න එන්නත් බැරි තරමට කාර්ය බහුලයි.

      ලගාන් බලලා තියෙනවා... මරු ෆිල්ම් එක... අපේ උන් එක කොපි කරන්න ගිහින් නෑවා...

      කාන්තා පාසල් වලින් කොල්ලන්ට හොදට කන්න දෙනවා කියන එකට තව සාක්ෂියක් මේ තියෙන්නෙ...

      Delete
  38. //...ඉංග්‍රීසි සෑර් දැන් එම පාසලෙන් ඉවත් වී කොළඹ ප්‍ර‍ධාන පෙලේ ජනප්‍රිය බාලක පාසලක සේවයේ යෙදී සිටී....//

    සර්ට බාලිකා පාසල් එපා වෙලාද :P

    ReplyDelete
    Replies
    1. සර් එක්ක තවමත් අපේ සම්බන්ධතාව තියෙනවා... සර්ගෙ නැගනියත් ඒ පාසලේම ගුරු මණ්ඩලයේ සිටියා...ඊට අමතරව දියණියන් දෙදෙනාත් අධ්‍යාපනය ලැබුවා... පස්සෙ කාලෙක සෑර් ටික කාලයක් විදේශගතවෙලා හිටියා...ආයෙමත් ලංකාවට ආපුවාම සම්බන්ධ වුනේ දැන් ඉන්න පාසලට...ක්‍රිස්තියානි පාසල් අතර ගුරුවරුන්ට මාරු වෙන්න පුලුවන්...

      Delete
  39. අඩේ පුෂ්පයට බෑ කිවුවම උබට තිබුනේ මට කතා කරන්න හික් හික් හික්
    (බ්ලොග් එක එල ,අද තමා ඉස්සරවෙලාම මේ පැත්තේ අවේ මතක විදිහට,ඔන්න reader එකට දාගත්තා ඈ )

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා ලකියො...

      දිගටම මේ පැත්තට වරෙන් .... Reader එකට දාගන්න එක ඉතිං යුතුකං...

      Delete
  40. උඹලට කොන්ඩ ගැට ලිහනවා වගේ රාජකාරි සෙට් වුනේ නැද්ද... ?

    බැට්ස්මන්ගෙ ගෑණු සතාත් බැට්ස්මන්මද බන්... කොහොමද She batsman කිව්වොත්.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ...අපි ඒ වගේ දුක්ඛිත අඩියකට වැටුනෙ නෑ...

      බැට්ස්මන් දෙන වගේ වචනයක් ලස්සන නැද්ද....එහෙම නැත්නම් බැට්ස්මනී...

      Delete
  41. අප්පේ...ඔය රතු පාට ටයි ගැන නම් මතක් කරන්න එපෝ!!!!

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ බන් ඔය පැත්තෙත් රතු පාට ටයි කාරියො ඉන්නවද ?

      Delete
  42. සිරා සර්ලා බං.. මෙහෙම ගුරුවරුන්ට ගොඩක් කොල්ලෝ කීකරු වෙනවා. බයට නෙවේ ආදරේට !

    ReplyDelete
    Replies
    1. අන්න හරි... සෑමටත් අත් දැකීම් තියෙන පාටයි...

      Delete
  43. අනේ අපොයි සිරා අයියගේ ආසාව හොද වෙච්චි හැටි.. ,
    අර සර් කිව්ව බොරුව මාට්ටු වුනේ නැද්ද අයියේ [කොළඹ ක්‍රිකට් ක්ලබ් එක ගැන ] ?
    ඒකෙන් පස්සේ සිරා කොලුවට ගම්පහ ගෑනු දැරිවියන්ගෙන් හොද පිළිගැනීමක් ලැබෙන්න ඇති පාර වල වලදී එහෙම? :)
    බොලා ලස්සන කෙල්ලොන්ට එහෙම සපෝට් කොරේ නෑ නොවැ ? :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ බොරුව මාට්ටු උනේ නෑ... කෙල්ලො ඒ බොරුව ගිලින්න ඇති...

      ඔය පාසලේ ගොඩාක් දැරිවියො පාසල් වෑන් රථ වල යන එන අය... මට නම් කවුරුවත්ම හමු වුනේ නෑ.. අපි එදා ලස්සන කෙල්ලො නෙමෙයි බන් අපේ වයසට බොහොම සමිප ලස්සන ටීචර් ලා දිහා නම් බැලුවා...

      Delete
  44. ada ubage kamreta godawena antima dawasa (2012).
    Mama niwadu yanawa...Lap, Mobil, Internet kisiwak niwadu kalaya tula nata. (eka mage policy eka).
    Mulu Niwaduwama Baba,Wife venuwan
    2013...JAYAWEWA

    ReplyDelete
    Replies
    1. සුභ 2013 වසරක් වේවා එහෙනම්... අලුත් වසරේදී නැවත හමු වෙමු...උඹේ ප්‍ර‍තිපත්තිය අනුව අවංක එකෙක් කියලා පේනවා...

      Delete
  45. ෂහ්, අදහන්ඩ වටින ගුරු දෙවියෙක්නෙ මෙයාලට හම්බෙලා තියෙන්නෙ. සිසු මනස මනාව හඳුනාගෙන තියෙනවා!
    පොඩි කෙල්ලන්ගෙ ක්‍රිකට් මැච් එකනම් රස සාගරයක් වගෙ.

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් බෝ පැල වගේ කොල්ලො නිසා තමයි සර් භය නැතුව කෙල්ලො ගොඩක් මැද්දට අපිව දැම්මෙ... පොඩි කෙල්ලො රණ්ඩු වෙද්ද් තමා රස සාගරයක් මැවුනෙ...

      Delete
  46. අෆොයි සිරා,ඔය රතු ටයි පටි කාරියො සිනක්කරේටම ගෙදර ගෙනාවත් අම්පයර් ගෙ තීරනේට එකග වෙන්ඩ කැමති නෑ.කොක්කෙන්ම තමයි එන්ඩ හදන්නෙ.
    පොඩි කෙල්ල LBW වෙන්ඩ ඇත්තේ ඇත්තෙ අම්පයර්ගෙ මුණ බලන් ඉදල වෙන්න ඇති .D

    ReplyDelete
    Replies
    1. කම්මල ඒ කථාව නම් වගකීමෙන් කියපු එකක් වගේ...ගෙදර ඇත්ති රතු ටයි පටි කාරියක්ද ?

      පොඩි කෙල්ලට එහෙම උනාද කියන්නත් බෑ... මමත් ඉතිං හැන්ඩ්සම් කොල්ලනෙ...

      Delete
  47. අර කියුව වගේ ඒ කාලේ කැමරා අදවගේ නොවීම දුකක් තමා තිබුනනම් කොච්චර මතකයන්ද. කොහොම හරි සිරත් අම්පයර් වැඩක් කලා එහෙනම්. කොච්චර සෙල්ලම් දැම්මත් ගෑනුදරුවන්ගේ ඉස්කෝලයක් ඇතුලට යනකොට බයක් එනවා තමා ..හම්මෝ...

    ReplyDelete
    Replies
    1. කැමරා ෆෝන් ඒ කාලෙ තිබ්බා නම් මට ඉතාමත් වටිනා සමරු ගොඩාක් අද තියෙනවා... හතර වටෙන්ම කෙල්ලො දකිද්දි කොයි අයියත් මැන්ඩලින් තමා...

      Delete
    2. මටනම් හිතන්නෙ කැමරා සේයා පටලයක ඇඳිල තියෙන සමරුවකට වඩා හිතේ ඇඳිල තියෙන සමරුව ඉතාම වටිනව කියලයි.

      Delete
  48. නුගේගොඩ අනුලාවියන්ගෙ පිරිත් මන්ඩපේ ගහල දීපු හැටි මතක් උනා උඹේ සීන් එක කියවල. ඔව්ව තමයි මලේ මතක් කර කර රසවිඳින්න ඉතුරු.

    ReplyDelete
    Replies
    1. කථාව ඇත්ත... පිරිත් මණ්ඩපේ අස්සෙ ජීවිතේට ලංකර ගන්න අනුලාවියක් මුණ ගැහුනෙ නැද්ද ?

      Delete
  49. තරුණ කාලය මතක සර් කෙනෙක්නෙ සිරාට හම්බවෙලා තියෙන්නෙ.. :D

    //දමලා ගහන එකවත් හිමිං ගහනවකො....
    තමුසෙට ගහගන්න බෑ කියලා මම පලිද...
    ඉන්නවකො අපි බෝල දානකොට රිටර්න් එක දෙන්න...
    හා හා දීලා බලනවා....//

    හෆොයි..! ඊටපස්සෙ වෙනම ක්‍රිකට් තරඟයක් තිබ්බද දන්නෑ ඔය ප්‍රශ්න විසඳගන්න.. :D :D
    අර අඬාගෙන ගිය හොඳම ක්‍රීඩිකාවට තෑග්ගක් හම්බවුණේ නැතෙයි ඉතින්.. :)

    ReplyDelete
    Replies
    1. සර් ඉතිං වයසින් මුහුකුරා ගියත් හදවතින් තරුණයෙක්... අඩාගෙන ගිය කෙල්ලට කිසිම තෑග්ගක් දුන්නෙ නෑ...

      Delete
  50. කතාව කියවනකොට මැවිල පේන ගතියක් දැනුණා. රතු ටයිපටිකාරියන් තරම් සොඳුරු වෙනත් පාසල් යුවතියන් මාද දැක නැත්තේමය. තවත් දිගටම ලියන්න. ජයශ්‍රී!

    (ඔබගේ කළින් පෝස්ටුවට නොඑකඟව කොමෙන්ටු දැමූ ඇනෝ මම වෙමි.)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... ඇනෝ ගොයියත් රතු ටයි පටියෙ සුන්දරත්වය දැකලා තියෙනවා එහෙනං...

      Delete
  51. ඉතින් දක්ෂතම ක්‍රීඩිකාව තේරුවද....? සිරා අයියටත් හිටපු ගමන් මාර චාන්ස් තමා වදින්නේ... තෑන්ක් යූ සර් ලිව්වේ ඒ ළමයද දන්නෙත් නෑ... අපරාදෙනේ නැති කරගත්තේ...

    ReplyDelete
    Replies
    1. චෑන්ස් වැදුනට එකක් වත් වැඩ කොරන්නෙ නෑ... ඒකයි අවුල... තෑන්ක් යූ සර් කියලා ලියලා තිබ්බෙ තෑග්ග පාර්සල් කරපු ළමයා...

      Delete
  52. නියමයි සිරා, හරිම සිත් ගන්න විදිහට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කාමරේට සාදරයෙන් පිළිගන්නවා... ස්තූතියි කොමෙන්ටුවට...

      Delete
  53. චික් අප්පා මටත් පිනක් නෑනේ ඒ වගේ මැච් එකක් බලන්නවත්...අම්මපා ලස්සන කෙල්ලෝ එකෙක්වත් අවුට් කරන්නේ නෑ මම...

    ReplyDelete
    Replies
    1. හිටපු කෙල්ලො ඔක්කොම ලස්සනයි බන්... බොලාට එහෙනං කිසිම කෙනෙක් අවුට් කරන්න වෙන්නෙ නෑ...

      Delete
  54. රතු ටයි පටි තිබ්බේ වෙනම ලෝකයකය. උඹට ඒ ලොව බලා ගැනීමට වාසනාව තිබ්බාට... අපට නම් කිසිදිනක ඒ වාසනාව ලැබුනේ නැත. අනික රතු ටයි පටි කාරියෝ තරමක උඩිච්චියෝය. කොල ටයි පටි කාරියෝ එසේ නැත... ඔවුන් පා තබා ඇවිද ගියේ අපේ ලෝකයේමය.

    ReplyDelete
    Replies
    1. මගේ නම් අදහස ටිකක් වෙනස්...රතු ටයිපටිය සමාජශීලීයි, ඉක්මනින් හිතවත් වෙනවා... කොළ ටයි පටිය ආඩම්බර කාරයි, සැට් කරගන්න අමාරුයි...

      Delete
    2. අවංකවම කිව්වොත් රතු ටයි පටි ළමයි අර කොල ටයි පටි සහ නිලුයි සුදුයි ඈයින්ට වඩා හොදයි.. පොඩ්ඩක් කතාවට අල්ලගන්න අමාරු වගේ පෙනුනට කතා කරන්න ගත්තට පස්සේ උන් සෑහෙන්න හොදයි සහ පොළවේ පය ගහලා ඉන්න වග තේරෙනවා... මාත් මුලින් හිතං හිටියේ රතු ටයි පටිකාරියෝ ඔළුව ඉදිමුන අස්ප ඩයල් කියලා.. ඒත් කාලයක පස්සේ උන්ව ආස්සරේ කරන්න ලැබුනම තමා තේරුනේ අරුන්ට වඩා මුං ඇත්තටම හොදයි කියලා... හම්මේ රත්න වල්ලියෝ ගැනනං කතා කොරන්න එපා.. නල්ල මලේ...

      Delete
  55. යකෝ මට තිබුනේ නැහැනේ ඔයවගේ චාන්ස් එකක් හෝලි ක්‍රොස් එකට යන්න.

    ReplyDelete
    Replies
    1. මටත් පිනා චෑන්ස් එකක් තමයි බං වැදුනෙ...

      Delete
  56. මොකක් ද අයි‍යේ ඔය රතු ටයි ස්කෝලේ...?

    ReplyDelete
    Replies
    1. සංජීව අයියා උඩින් කියලා තියෙන්නෙ ඒ ඉස්කෝලෙ ගැන තමා...

      Delete
  57. සිරා අය්යගෙ වාසනාව තමයි....holy cross එකට ඔහොම රින්ගන්න හම්බ උන එක!!

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද...තාමත් හීනයක් වගේ...

      Delete
  58. හිටපු රතු ටයි පටි කාරියක් වශයෙන් බොහොම ආඩම්බරයක් දැනුණු බව කියන්ට ඕනෙ. සිරාගෙ බ්ලොග් එකේ දීර්ඝ කාලීන රසිකාවක්. කියවල රස විදිනවා මිසක් කොමෙන්ට් කරන්න හිතුවෙ නෑ. ඒත් ඉතින් අද පෝස්ට් එකෙන් සුන්දර අතීතය මතක් වුණ නිසා නොදා බැරි වුණා
    - පිපී

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...