Sunday, October 20, 2013

102 දරුවෝ නැති අම්මාලා

මීට පෙර ලිපියකදි දරුවන් කියන්නෙ ජීවිතේ වටිනාම සම්පත බව දොස්තර අංකල්ගෙ අදහස් ඇසුරින් සටහන් වුනා. ඒ සම්පත ලබාගන්න විවාහ ජීවිතයට එළැඹුන බොහෝ  දෙනා පෙරුම්පුරනා බව කවුරුත් දන්න කාරණයක්. සෑම කාන්තාවක්ම පරිපූර්ණ කාන්තාවක් වෙන්නෙත් මාතෘත්වය නම් උතුම් පදවිය ලැබුවට පස්සෙ කියලත් කථාවක් තියෙනවා. බොහෝ අවිවාහක කාන්තාවන්ගෙ පළවෙනි සිහිනය වෙන්නෙ තමන්ට ගැලපෙන පුරුෂයෙක් සමග දීගතලා යන එක, ඊටත් පස්සෙ ඇගේ සිහිනය වෙන්නෙ මව් පදවිය.

සමහරු දෙමාපියන්ගෙ මතයට විරුද්ධව තමන්ගෙ හිත ගත්ත කෙනා සමග කාටත් හොරෙන් විවාහ වෙනවා..තවත් සමහරු හද එළිය තියෙන දවසක කොහෙට හරි වහං වෙලා ගිහිල්ලා පොතේ ලියලා අත්සන් කරන්නෙත් නැතුවම දීග කනවා...මේ වගේ අවස්ථාවල

මගෙ එකා උනත් මම දැන් ඒකව/ඒකිව හිතින් අත් ඇරලා ඉවරයි...මම බලු කපුටු දානයකුත් දුන්නා ඌ මලා කියලා හිතාගෙන යනුවෙන් දැඩි කෝපයකින් යුතුව පවසන දෙමාපියන් මුලිච්චි වෙන්න මේ ජෝඩු ආයෙත් දවසක මහ ගෙදරට යන්නෙත් අලුත උපන් පැටියාවත් තුරුළු කරන්...තමන්ගෙ ක්‍රියාකලාපය පිළිබද දෙමාපියන්ගෙ හිතේ කැකෑරෙන ක්‍රෝධය පොඩි එකා දැක්ක ගමන් වෙඩරු පිඩක් වගේ උණුවෙලා යන බව ඒ ඇත්තො දන්නවා.

බස් එකකට නැග්ගත්, කෝච්චියකට නැග්ගත්...පොඩි එකෙක් ඉන්න යුවලකට ප්‍රමුඛතාව ලැබෙනවා. කාගෙත් අවධානය යොමු වෙනවා...කවුරුත් බලනවා...පොඩි එකා එක්ක හිනා වෙන්න..එයාව අතපත ගාන්න උත්සාහ කරනවා...තවත් සමහරු වඩා ගන්නවා... පොඩි උන්ගෙ හිතේ ක්‍රෝධය,වෛරය,ඊෂ්‍යාව නැති හින්දම ඒ අය දෙවියන්ට බොහොම ලගයි කියලත් කථාවක් තියෙනවා.

මේ පොඩි ඈයො ලොකු වෙද්දි මේ සමාජයෙන් උකහා ගන්න විෂ නොවන්නට මේ පුංචි හිත් මල් වගේ අහිංසකයි , සුවදයි. පුංචි එකෙක් කෑ කොස්සන් ගහන ගෙදරට සිරිදෙව්දුව වඩින බවත්..සියළු දෝෂ නිවාරණය වන බවත් ඇතැම් ගම්වල ඇත්තො අදත් විශ්වාස කරනවා. අමාරුවෙන් අම්මා කියමින් වචන හරඹය පාන්නට උත්සාහ කරන වකවානුවත්..තනියෙන් දෙකකුලින් නැගී සිටින්නට වෙර දරන අවදියත් මේ අයගෙ බොහොම සුන්දර දවස්.

අනේ යන්තම් ඇති...අපේ පරපුර ගෙනියන්න ඔන්න කොලු පැටියෙක් දැන් ඉන්නවා...එහෙම වෙලාවට සීයලා ආච්චිලා වට පිටාවෙ ඇත්තන්ට ඇහෙන්න එහෙම කියන්නෙ රටක් රාජ්ජයක් ලැබුනු ගානට. පොඩි එකාගෙ අම්මට තාත්තටත් වඩා ඒකාට ආදරය කරන්නෙ ආච්චියි, සීයයි. අපේ වගේ සංස්කෘතික වටපිටාවෙන් පොහොසත් රටක දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මා කෙනෙක්ට විශේෂ ආහාර වේලක් දෙන්න...එහෙමත් නැත්නම් කන්න ආශාවෙන් ඉන්න දෙයක් දෙන්න සමහරු හරිම කැමතියි. සත්ව ලෝකයටත් මේ කාරණය පොදුයි. පැටියා ලැබෙන්නට කලියෙන් හිටිය බැළලිය එහෙමත් නැත්නම් වැස්සි නෙමෙයි පැටියා ඉපදුනාට පස්සෙ ඉන්නෙ. කලින් වගේ හීලෑ නෑ. පැටියගෙ ආරක්ෂාවට දැන් බොහොම රෞද්‍රයි. දණ්ඩක් මුගුරක් ගත්තම භයෙන් සැගවෙච්ච අවදිය අමතක වෙලා වගේ දැන් බොහොම නිර්භීතව ඒ සත්තුත් පැටියා හැර නොයා ඒ ආසන්නයටම වෙලා ඉන්නවා. ඒක තමයි මාතෘත්වයේ ආශ්චර්යය.

සමහරුන්ට මේ ආශ්චර්යය විදින්න දෛවය ඉඩ දෙන්නෙ නෑ. අම්මා කෙනෙක් වෙන්න කොච්චර ආශාවක් හිතේ හිරකරගෙන හිටියත් ඒ වාසනාව හැම කාන්තාවටම ලැබෙන්නෙත් නෑ. තාත්තා කෙනෙක් වෙන්න වාසනාව හැම පිරිමියටම ලැබෙන්නෙත් නෑ. සමහරු අම්මලා උනාට යහපත් අම්මලා වෙන්නෙත් නෑ....එහෙම උන් තමයි මාතෘත්වයට නිගා දෙමින් කොහෙ හරි මුල්ලකට තමන්ගෙ කිරිකැටියව විසිකරලා දාන්නෙ. එහෙමත් නැත්නම් රුපියල් ශත වලින් මිළ නියම කරන්නෙ. මේ ආකාරයේ පිය වරුනුත් ඉන්න බව අමතක කරන්න නරකයි. උන්ට යන්න අපි නිතර දෙවේලෙ අහන අපාය ඇති වෙයිද කියලත් මට සැකයි.

ඉතිං මේ දරුවන් නැති අම්මලා ගැන තමයි මේ ලිපියෙන් අද මම අවධානය යොමු කරන්න උත්සාහ ගත්තෙ. මොකද ළමයි නැති පිරිමියා දිහා බලලා කවුරුවත් හිත රිදෙන යමක් නොකිව්වට ඒ තත්වයේම ඉන්න කාන්තාවගේ තත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්. කසාද බැදලා අවුරුද්දක් දෙකක් යද්දි තමයි බාහිර සමාජය ඉස් ඉස්සෙල්ලාම මේ කාරණය ගැන ප්‍රශ්න කරන්නෙ.

තාම වෙනසක් නැද්ද ?

දැන් දරුවෙක් ගැන හිතන්න කාලෙ හොදා නේද ?

මේ විදියට ඇරඹෙන මේ සංවාදයට තව තවත් අලුතින් කරුණු කාරණා එක්වෙමින් ඉදිරියට යනවා...

වසර තුන හතරක් ගියාට පස්සෙ..

මොකද දුවේ ප්‍රශ්නෙ...දොස්තර කෙනෙක් මුලිච්චි උනේ නැද්ද ? මට බැදලා අවුරුදු 4ක් වෙද්දි ළමයි දෙන්නෙක්ම හිටියා.

ආදී වශයෙන් නැගෙන පීඩනය හමුවේ බොහෝවිට දරුවන් නැති විවාහක කාන්තාව අසරණ වෙනවා. තමන්ට තමන්ගේ පවුල තුලින් එල්ලවන පීඩනයට අමතරව බාහිර සමාජයෙන්, නෑදෑයන්ගෙන්, මිතුරන්ගෙන් ආදී වශයෙන් එල්ලවන පීඩනය බොහෝ අයට මානසික ආතතිය ඇති කරනවා. එහි අවසන් ප්‍රතිඵලය සියදිවි නසා ගැනීම බවට පත්වූ අවස්ථාත් නැතුවම නොවෙයි.

තූ නොදකිං...අපේ එකා ඉදලා ඉදලා උස්සගෙන ආවනෙ කොහෙද හිටිය වද බඩුවක්...ඇතැම් නැන්දම්මලා මේ අයුරින් පිටස්තර අය ඉදිරියේ තමන් ඉස්සර දවසක සිප වැළදගෙන නිවසට භාරගත්ත ලේලියට පරිභව කරන්නෙ මිනිසත් කමට නිගා දෙමින්.

ඉතිං හැබෑටම ඈ කුමක් කරන්නද ? වෛද්‍ය පරීක්ෂණවලදි අඩුපාඩුවක් ඇත්තෙ පිරිමි පාර්ශවයෙ බව ඇතැම් විටෙක කියවුනත් අපේ සමාජයෙ තියෙන පුරුෂාධිපත්‍ය හමුවේ අවසානයේ ඒ වැරැද්ද බැර වෙන්නෙත් කාන්තාවගේ ගිණුමට. සිය සැමියාට ඇති ආදරයත්..පවුලේ ගෞරවය රැකීම උදෙසාත් තමා තුල නැති වැරැද්දක් තමා පිට පටවා ගනිමින් සමාජයේ අවමානය විදින කාන්තාවන් කී දෙනෙකු මේ ලෝකෙ ඇතිද....

මේක බල බලා ඉදලා හරියන්නෙ නෑ පුතේ. උඹ තවම තරුණයි..අපෙන් පස්සෙ උඹට යන කළ දසාවක් තියෙන්නත් එපායැ...මේ මගුල කටුගාලා දාලා වෙන තැනකින් අපි කටයුත්තක් බලමු.

ඒ විදියට බොහොම සාපරාධී ලෙස තමන්ගෙ අවසන් තීන්දුව ඇතැම් දෙමාපියන් දෙන්නෙ කාන්තාව කියන්නෙ ඇට මස් ලේ නහර වලින් හැදුනු කෙනෙක් නොවෙන වගට හිතලද මන්දා.

දැන් කාලෙ හොදා නේද , මොකද තාම ප්‍රතිඵලයක් නැත්තෙ ආදී වශයෙන් මගේ මිතුරන්ගෙන් මිතුරියන්ගෙන් මම කිසිවිටෙක අහන්නෙ නෑ. ඒ අය අපිට නොකිව්වට මේ ගැටළුව නිසා සෑහෙන වශයෙන් මානසිකව පීඩා විදින බව ඒ අයට හිතෛෂී පිටස්තර අය විදියට අපට අවබෝධයක් තිබිය යුතුයි. මගේ මව අපේ නිවසට එන මගේ ඇතැම් මිතුරන්ගෙන් මේ ගැටළුව ඇසූ කාලයක් තිබුනා. නමුත් මගේ කරුණු පැහැදිලි කිරීමෙන් පස්සෙ ඇය ඒ වැරැද්ද තව දුරටත් කරන්නෙ නෑ.

මා සමග හොදින් දොඩමළු වන මෙවැනි ආකාරයේ ගැටළුවකට මුහුණ දී සිටින මගේ මිතුරෙකුගෙ සහෝදරියක් ඇගේ අත්දැකීම් පිළිබදව මා සමග ඉතා විවෘතව කථා බස් කර තිබෙනවා.

බැදලා අවුරුදු දෙකක් වගේ උපරිම ගියාට පස්සෙ එක එක්කෙනා ඉතිං අහනවා මොකද වෙනසක් නැද්ද කියලා...තවත් අවුරුද්දක් විතර ගියාම අහනවා ප්‍රශ්නයක් නම් කියන්න අපි දන්න හොද දොස්තර මහත්තයෙක් ඉන්නවා කියලා...තවත් ටික කාලයක් ගියාම අපිට මූණට නොකිව්වට තැන් තැන් වල කියනවා අපරාදෙ කොල්ලා..වද ගෑණියෙකුට අහුවුනා කියලා.

අපි බැදලා දැන් අවුරුදු 8ක්. මේක වෙලාවකට හිතට හරිම වදයක් මල්ලි. කොච්චර හොද මූඩ් එකකින් කොහෙ ගියත්..මේ ප්‍රශ්නය මගෙන් කවුරු හරි ඇහුවට පස්සෙ මම හිත ඇතුලෙන් හරියට අඩනවා. මමත් හිතක් පපුවක් තියෙන ගෑණියෙක්නෙ...බස් එකක හරි කෝච්චියක හරි මගේ ඉස්සරහින් පොඩි එකෙක් තියාගෙන කවුරු හරි ඉද ගත්තම මට පැනලා උදුර ගන්න හිතෙනවා. ගෙදර ගෙනිහින් තියාගන්න හිතෙනවා...ඒ තරමට මම දරුවෙකුට ආසයි. මට දරුවෙක් හිටියා නම් මගේ හිතේ තියෙන පීඩනය සෑහෙන්න අඩුවෙනවා කියලා මම දන්නවා. ගොඩාක් පරීක්ෂණ කරලා ඇති. ඒත් තාම ප්‍රතිඵලයක් නෑ. ඉස්සර ආත්මෙක කරපු මහා පාපයක් හින්දා මට දරු සම්පත මේ ආත්මෙ නෑ කියලත් වෙලාවකට හිතෙනවා. හැබැයි මම ජොබ් එක කරගෙන මේ විදියට හරි ජීවත් වෙන්නෙ මගේ මහත්තයා මාව හොදට තේරුම් අරගෙන ඉන්න නිසා. එයා කවදාවත් මට වැරදි පටවලා අනිත් අය ඉදිරියේ බේරෙන්න හදලා නෑ. අපි දෙන්නම තමයි හැම දේටම මූණ දෙන්නෙ. මේ ප්‍රශ්නෙ තිබුනා කියලා අපි අතර බැදීමට හානියක් වෙලත් නෑ.


බටහිර රටක පලවූ කාටූනයක්...

අපේ සිංහල ගීත සාහිත්‍යය තුලත් මේ තේමාවට ලියවුනු සංවේදී ගී කීපයක්ම තියෙනවා. ඒ අතරින් සංවේදීම ගීතය ගයන්නෙ නීලා වික්‍රමසිංහ බවයි මගේ පිළිගැනීම. ඇය ඇගේ සත්‍ය කථාව ගීතයෙන් ඉදිරිපත් කරන්නෙ ශ්‍රාවක අපට හිතන්න යමක් ඉතුරු කරමින් වගේම අපේ මනස සංවේදී ඉසව්වකට ගෙන යමින්.

දරුවෝ ඇති අම්මාලා
දරු සුරතල් පෙන්නාලා
හඩවා නෙත මා සිත පාරනවා
දරුවෝ නැත මා පතලා //

හඩනා කිරි දරුවෝ
තුරුල පුරා පැතුවා
පවු පුරවා සංසාරයේ
මව් පදවිය නැතුවා

දරුවෝ ඇති අම්මාලා......

කුරුළු මුවෝ සතුනේ
දරු සෙනෙහේ විදිනා
මිනිස් භවේ මහිමේ මගේ
මට දරුවෝ නොදෙනා

දරුවෝ ඇති අම්මාලා....

පද - ආචාර්ය අජන්තා රණසිංහ         සංගීතය - රූකාන්ත ගුණතිලක

                                     මේ ඝනයේම ලා හැකි අනිත් ගීතය ගයන්නෙ නිරංජලා සරෝජිනී..ඇය මව් පදවිය අපේක්ෂාවෙන් භාරයක් වෙන්නට මේ ගීතය ගැයූ බවක් මා අසා තියෙනවා. නීලාට මෙන්ම ඇයටත් දරුවන් නැහැ.

සිරීපාදෙ වන්දවන්න හිසඔලියල් බැදලා
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා
කිරි ආහාර පූජාවට අලුත් සහල් පුදලා
සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා

ඇතෙක් වගේ තනිමංසල භයක් නැතුව යන්නයි
පොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි

ගෑණු අපට සංසාරේ බර හෑල්ලු වෙන්නයි
වී අහුලන කුරුළු කොබෙයි පෙරහැර කරවන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි

සිරීපාදෙ වන්දවන්න....

පද - රත්න ශ්‍රී විජේසිංහ      සංගීතය - ගුණදාස කපුගේ

                                  තමන්ට දාව උපන් දරුවෙක් නොමැති වුනත් පසුකලෙක දරුවකු හදාවඩා ගැනීමට ගත් මවකගේ සිතුවිලි ඇසුරින් ලියැවුනු තවත් සංවේදී ගීතයක් සිංහල ගීතාවලියෙ තියෙනවා. ඒ ගීතය ගයන්නෙ චන්ද්‍රෙල්ඛා පෙරේරා.

කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවදයි මුලු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ නොඅසන් පුතනුවනේ
මා සිත රිදෙන නිසා...

නෙත නිදිවරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවෙමි දුක් විදලා
එනමුදු කුසයේ හොවමින් බිහිකර
ඇගලේ කිරි කර නැත පොවලා

කිරි අම්මාවරු......

නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහිකර කිරි මව වීලා

කිරි අම්මාවරු....

පද - හෙක්ටර් විජේසිරි     සංගීතය - රෝහණ වීරසිංහ

                             මෙතෙක් දුර මා ඇති කරන්න උත්සාහ කලේ ඔබ අතින් නොදැනුවත්ව හෝ තවත් කෙනෙක්ගෙ හිත රිදෙන්න හේතුවෙන බොහොම සංවේදි කාරණයක් පිළිබද කථිකාවක්. මේ සටහනින් පස්සෙ හරි මේ ගැටලුව කාගෙන් හරි අහන්න සිතෙන සෑම වාරයකම නැවත වතාවක් ඒ ගැන හිතන්න. හැමදාමත් හිත ඇතුලෙන් හඩන එවන් චරිත තවත් හඩවන්නට නොදැනුවත්වම හෝ  ඔබත් දායක වූ කාලය අවසන් කරන්න.


හැමටම හිතන පතන විදියටම දරුවන් ලැබේවා !



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

ගීතයන්හි නිර්මාණ කරුවන් පිළිබද තොරතුරු ලබා දීමෙන් සහාය වූ  අස්වැන්නේ දයානන්ද රත්නායක අයියාට මාගේ නොමද ස්තූතිය හිමි වේ.













102 comments:

  1. ඕක ඇත්තෙන්ම ගැහැණු කෙනෙකුට විශාල මානසික පීඩනයක්.. මමනම් කවදාවත් පිරිමි කෙනෙක්ගෙන්වත් අහන්නෑ ළමයි ඉන්නවද කියලා.

    ReplyDelete
    Replies
    1. ගැහැණියට විශාල මානසික පීඩනයක් වෙලා තියෙන්නෙ පුරුෂාධිපත්‍ය සහිත සමාජය මගින් හැම වරදක්ම ඇය මත බලෙන් පටවන නිසයි...මම අහන්නෙත් නෑ...සෙන්නා සෑහෙන දවසකට පස්සෙ කාමරේදි දැකීම සතුටක්...

      Delete
  2. //තූ නොදකිං...අපේ එකා ඉදලා ඉදලා උස්සගෙන ආවනෙ කොහෙද හිටිය වද බඩුවක්...//

    //මේක බල බලා ඉදලා හරියන්නෙ නෑ පුතේ. උඹ තවම තරුණයි..අපෙන් පස්සෙ උඹට යන කළ දසාවක් තියෙන්නත් එපායැ...මේ මගුල කටුගාලා දාලා වෙන තැනකින් අපි කටයුත්තක් බලමු.//

    දුවල ඉන්න නැන්දම්මලත් මෙහෙම හැසිරීම ඇත්තෙන්ම නින්දිතයි. මොනයම්හෝ කරුණක් හින්ද දරුවන් නැති උනා කියල එයාලට නිගා කිරීම ගැලපෙන් නෑ. දවසට අපිත් ඔය ඉරණමට මුහුණ දුන්නොත් ...

    ReplyDelete
    Replies
    1. කොහොමත් සමහර ගෑණුන්නට අමතකයි ...තමන්ටත් දරුවන් ලැබුන බව....හොදට බලන්න ළමයි ලැබෙන්න ඉන්න කෙනෙක්ට බස් එකක කෝච්චියක වැඩිපුර ආසනය පරිත්‍යාග කරන්නෙ කවුද කියලා....

      Delete
    2. මෙහෙම අයට මරු වැඩ වෙනවා. පස්සෙ ගේන ගෑණිටත් ළමයි නැහැ හොයන කොට වඳ පිරිමියා. මම එහෙම සිද්ධියකට මුහුණ දුන්නා. එතැන අවුරුදු ගණනක් ලව් කරලා බැදලා. ළමයි නැහැ කියලා ඩිවෝස් කරනවා වයිෆ්ව. දෙවනි ගෑණිටත් ඒකමයි පස්සෙ මට සෙට් වුනා මේ පිරිමියාව. මම හොයලා බැලුවම පිරිමියා බොහොම අඩු සඵලතාවයක කෙනෙක්. කාට කියන්න ද. ඒ මනුස්සයා මාගාව අඩපු හැටි, අම්මලට දෙස් තිබ්බ හැටි මට අදත් මතකයි. බේතක් කලෙත් නැහැ. අම්මලගෙන් පලි ගන්නවා කියලා.......මෙහෙමයි මේවා වෙන්නෙ.... මනුස්ස ජීවිත ඛේදවාචක කරගන්නේ මිනිස්සුමයි.

      Delete
    3. gahanu aya nemei pirimi ayai asanaya diya uththe.ganu kenekuta hitagena yanna amarui ada.wadi shaktiya tibenne pirimi ayata.

      Delete
  3. දිග උත්තරයක් තමයි දෙන්න වෙන්නේ සිරෝ. අපේ පවුලේත් එක ගෑණු ළමයෙක් 'ජම්පිං ගොයින්' කළා. මමත් අපේ අයියත් පස්සෙන් පන්නගෙන ගිහින් අල්ලගන්න බැලුවත් අයියගේ අත ගසාදාලා කාර් එකකට නැගලා ගියා එයාගේ වීරයා එක්ක. අපේ තාත්තා සහ බාප්පා තුවක්කු දෙකක් අරන් රටපුරා ගියා අහුවුණ තැන මරනවා කියලා. අනේ බලන්ඩකෝ අහුවුනේ නැහැනේ. සිද්ධිය වුනේ 1968 දි. ඒ පැනලාගිය යුවල අද ආච්චි සීයා වෙලා යහතින් ඉන්නවා. අවුරුදු තුනකට පස්සේ පළමුවෙනි ළමයත් වඩාගෙන යුවල අපේ ගෙදර ආවම අඬලා දොඩලා පිළිගත්තා මගේ දෙමවුපියෝ. අද මට හිතෙනවා මගේ දරුවෙක් එහෙම කලත් අන්තිමට වෙන්නේ ඔයටික තමයි කියලා.

    මම විවාහවූ අළුත අපේ උන්දැත් මාත් අතර පොඩි (පොඩි? හොඳ පොඩි) ගිවිසුමක් ගැහුවා අවුරුදු දෙකක් විතර යනතුරු දරුවන් හදන්නේ නැතුව ඉම්මු කියලා. මෙන්න බොලේ දෙවෙනි අවුරුද්ද වෙනකොට අපේ අම්මයි අපේ උන්දැගේ අම්මයි තරඟෙට අපේ උන්දැගෙන් පුරස්න කොරනවාලු මොකෑ පොර්තිපල නැත්තේ කියාලා. අපේ උන්දැ සද්ද නැතුව ඉඳලා තියනවා. අනේ අර අම්මලා දෙන්නා දේවාල පන්සල් කෝවිල් ගානේ යන්ඩ පටන්ගත්තේ නැතැයි බාරහාර වෙන්ඩයි පූජා තියන්ඩයි. පස්සේ අපේ උන්දැ එයාගේ අම්මට කියලා තියනවා අපේ ගිවිසුම ගැන. අනේ අපේ උන්දැට ලුණු ඇඹුල් ඇතුව කණ පිරෙන්ඩ හම්බ වුනාලු. අම්මලා දෙන්නගෙන්ම.

    දැන්නම් ඔය අනුන්ගේ රෙද්ද අස්සේ රිංගීම අපේ සමාජයෙන් බොහෝදුරට ඈත්වෙමින් පවතිනවා. අපේ කවුරුහරි කෙනෙක් අපට පෞද්ගලිකව කියන තුරු ඔය මගුල් වලට ඇඟිලි ගහන්නේ නැතුව ඉන්ඩ බැරි එවුන්ට කරන්ඩ ඕනේ දේ මෙතන ලියන්ඩ බැහැ.

    මේ සින්දු තුනම මම අතිශයින්ම කැමති බොහොම සංවේදී සින්දු.

    ReplyDelete
    Replies
    1. "අද මට හිතෙනවා මගේ දරුවෙක් එහෙම කලත් අන්තිමට වෙන්නේ ඔයටික තමයි කියලා" ++++++++++++++++++

      Delete
    2. ඔය කියන කාලෙ ඉතිං කෑලි කපලා ගගේ මූදෙ දැම්මත් උඹට නම් දුව දෙන්නෙ නෑ කියපු කාලෙ නොවැ...ඇත්තටම ඉතිං අපි ජීවත් වෙන ටික කාලෙට තරහා මරහා හිතේ තද කොරගෙන ඉදලා මැරෙන්න ලං වෙලා හිතෙයි අපරාදෙ කියලා...

      Delete
  4. අද සමාජයේ බහුලවම තියෙන ප්‍රශ්ණයක්. අනික අද තියෙන සමාජ ආර්ථික ප්‍රශ්ණත් එක්ක ඔය කාරනය බහුල වෙලා. විශේෂයෙන් කාන්තාව කාර්‍ය බහුල ‍රැකියාවක් කරනවනම්..ලමයි ලැබීමබොහෝ ප්‍රමාදයි. ලැබුන පසුත් ප්‍රශ්ණගොඩයි.

    විශේෂයෙන් පිරිමියා හා ගැහැණිය එක්වූ පමනින් දරුවන් ලැබෙන්නෙ නැහැනෙ. ඒකට යහපත්,නිදහස් මානසික සුවයකිනුත් ඔවුන් සිටිය යුතුයි.

    අනික අද සමාජයේ බොහෝ කාන්තාවන්ට හොමෝන වල ප්‍රශ්ණ බොහොම තියෙනව....මේ වට හේතු වෙන්නෙ..තරුන වයසෙදි..කරන විකාර රූපී දේවල් තමා. ඇඟ ගානට තියාගන්න ,හම සුදු කරගන්න , කකුල් විල්ලුද වගේ තියා ගන්න, ආදී මෙකී නොකී දේවල් වලට තරුන කෙල්ලො යොමු වෙලා මේවයෙ තියෙන අයහපත් දේ ගැන දැනුමක් නැතිව.

    මේ නිසා සියයට අනූවක්ම අයට යම් බෙහෙතක් ගතයුතුම වෙලා දරුවන් පිලිසිඳ ගන්න.

    පොදුවෙ අපටත් මේ ගැටලුව ආව. යම් උපත්පාලන බෙහෙතක් නිසා ශරීරයේ හෝමෝන වල අවිධිමත් බවක් වෙලා.

    සිරා උඹ මටම ලියලදෝ කියල හිතෙන තරමට..මේ පෝස්‍ටුව මට සමීප උනා. මේ දැනුත් පුතාව උකුලෙ තියාන තමා කියවන්නෙ. දරුවන් ඇසුරේ ඉන්නකොට දැනෙන ..සුවය ලොව්තුරා බුදුබව ලැබුවත් දෙවනි වෙන්නෑ මචං..!
    මටත් මේ ඇසුරෙන් සංවේදී කතාවක් තියෙනව ලියන්න,ගලප ගන්න වෙලාවක් කලාවක් නෑ බං..!

    ReplyDelete
    Replies
    1. ළමයි ඉන්නකොට ජීවිතේ හිස් බවක් දැනෙන්නෙ නෑ කියලා තමයි මටත් හිතෙන්නෙ...වයස 60 පැන්නාම....හොට බිම ඇනීගෙන එනකොට ජීවිතේට බලාපොරොත්තුවක් අරමුණක් නැති උනාම එය නීරස වෙන්න පුලුවන්ලු. ඒ කාලෙට තමන්ගෙ දරුවන් දිහා බලලා හරි දෙමාපියන්ට සතුටු වෙන්න පුලුවන් කියලා බොහෝ දෙනා මට කියලා තියෙනවා...බදින්න අදහසක් නෑ කියලා කියද්දි

      Delete
    2. වීයා මම මේ නිදහස් මානසික තත්ත්වය හදාගන්නේ කොහොම ද කියලා පැහැදිලි කරලා ලිපියක් ලිව්වා. මීට බොහොම කාලෙකට කලින් මේක වුනේ. ඔබ දන්නව ද මේ බ්ලොග් ලෝකෙම අය මට ගහපු ගැහිල්ලක්. වෙන කෙනෙක් නම් ආයේ බ්ලොග් ලියන්නෙ නැහැ. නමුත් ඔවුන්ට පිංසිදු වෙන්න බොහොම හොද මානසිකත්වයක් තියන බ්ලොගර්ස්ලා මා එක්ක හිටියා. මේක පුදුම ලෝකයක්.... නමුත් මම ඒ ලිපිය නැවත් ලියනවා ඉදිරි දිනක දී.

      Delete
    3. ඇත්ත...! වෙදනා...පුදුම ලෝකයක් විය යුතුයි අන්තර්ජාලය නිසා... නමුත්..පුදුම රටක් ලෙස කියන්න ඇත්නම් වඩා සුදුසුයි. ඔබට දැනිච්ච හැඟීම මට හිතාගන්න පුලුවනි.

      අනෙක..හොඳ මානසිකත්වයක් තියෙන අය ඔබට ..හමුවීමව....දිරිමත් කිරීමක් නොවේද..? ඒ නිසා නැවත ලියන්න..මමත් ඔබේ බොහෝ ලිපි කියවනවා..කමෙන්ට්ස් නොකලත්..!

      තවෙකක්...කොයි කවුරුත් යම් දේකට මුහුන දුන්නමතමා ...කොයි දේත් වටිනාකම් දැනෙන්නෙ.
      කොටින්ම සැලෙන්නෙපා මචං..!
      සිරාත් යමක් කීවනම් හොඳා නේද..?

      Delete
    4. මහ වෙදනා තුමා නිහඩව කරන සේවය ගැන බොහෝ අයට වැටහීමක් නෑ...මේ වගේ උපදෙස් කිසිම කාර්ය බහුල වෛද්‍යවරයෙක් මේ වගේ බ්ලොග් අඩවියක සිල්ලරට කොටයිද ? නිකං උපදෙසක් වත් දෙයිද ? සමාජය වඩා දැනුවත් නැති ඔය කියන විෂය ගැන හැකි තරම් දැනුවත් කරන්න කියලයි මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නෙ...ඔබව දිරිමත් කරන එකෙක් හරි ඉන්නවා නම් අන්න එයා වෙනුවෙන් ලියන්න...

      Delete
  5. හිතට හුඟක් දැනුනු ලිපියක්... වැඩි දෙනෙක් නොදකින පැත්තක් පෙන්නලා දුන්නට ගොඩක් පින්..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මටත් අවශ්‍ය වුනේ...අපි වැඩිය හිතන්නෙ නැති උනාට මේ වචන කීපය ඒ අයට කොයි තරම් රිදවනවද කියලා අනිත් අයට දන්වන්න..

      Delete
  6. ඇත්තටම අගේ ඇති ලිපියක් අයියේ.. ගොඩක් දෙනා නොදකින පැත්තක්.. සමාජේ නීතිගත වෙලා තියෙන හැටියට මේ දේට හැම වෙලාවකම වැරදි කරු වෙන්නේ කාන්තාව.. ඒත් පිරිමිත් වඳ භාවයට පත් වෙන අවස්ථා ඕන තරම් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. පිරිමි ඒ අවස්ථාවට එළැඹුනත් ඒ වරද බොහෝ විට පවුලට තියෙන ආදරේ නිසාම බලෙන් ඇගට ගන්නෙ කාන්තාව...ඒ නිසයි ඇය පමණක් නින්දා අපහාස ලබන්නෙ...

      Delete
  7. මම නම් කාගෙන්වත් අහන්න යන්නේ නෑ ඔය ප්‍රශ්ණේ.

    මේ අහපල්ලා.

    කසාද බැන්දාම ළමයි ඉන්නම ඕනෙයි කියලා එකක් නෑ.

    ඒ වගේම මනුස්සයෝ වුනාම කසාද බඳින්න ඕනෙමයි කියලා එකකුත් නෑ.

    ඒක තමන්ගේ නිදහස.

    ඒ මට හිතෙන හැටි.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++

      සිරා ඔය මතු කරන ගැටළුව, පොදුවේ අපේ සමාජය අනුන්ගෙ වගවිස්තරවලට ඇඟිලි ගැසීමට කරන වෑයමේ එක් අංගයක්.
      පොඩි කාලෙ: කොයි ඉස්කෝලෙද? මොන විෂයන්ද? පාස්ද?
      පාස්නම් මොන විශ්වවිද්‍යාලෙද?
      ඊලඟට: තාම රස්සාවක් නෑ?
      ඊලඟට: දැන් ඔහොම හිටිය ඇති! දැන් බඳින වයස පහු වේගෙන යන්නෙ...
      ඊලඟට: තාම බබාල නැද්ද?
      එකෙක් හම්බුණාට පස්සෙ: අනේ, තව එක්කෙනෙක් හදන්නෙ නැද්ද?
      හදපු එකාට මුකුත් ලෙඩක් එහෙම තියෙනවනම්: අනේ..සනීප කරන්ඩ බැරිද? අහවල් දොස්තරට පෙන්නුවෙ නැද්ද? මොකක් හින්දලුද? අනේ අප්පේඒඒඒඒ
      හදපු එකා ටිකක් ලොකු වෙනකොට: ඉස්කෝලයක් හම්බුණාද? ඉකේ... හොඳ ඉස්කෝලයක් හෙව්වෙ නැද්ද?
      ශිෂ්‍යත්වෙට ලකුණු කීයද?
      පන්තියෙ කී වෙනියද? අනේ අපේ එක්කෙනානම් පොතක් අල්ලන්නෙ නෑ, කිසිම දෙයක් කන්නෙ නෑ, ඒ වුණාට බර එකසිය පණහයි, දිස්ත්‍රික්කෙ පළවෙනිය මෙයා...

      Delete
    3. පාට්නර් හිතන විදියටම තමයි මමත් හිතන්නෙ...බදින්න මට අදහසක් ඇත්තෙම නෑ...මේ තනිකඩ ජීවිතේ මොන තරම් රහද...කෝ ඉතිං ඒක අපේ ගෙදර ඇත්තො තේරුම් ගන්න එකක් යැ....උඹලා බැදගෙන කද්දි අපි හිතනවා මුන් කන්නෙ මී අඹයක්ද කොහෙද කියලා...බැදගත්තට පස්සෙ තමා දන්නෙ මේක මහ ඇඹුල් අඹයක් කියලා...එහෙම නේද තොරණෙ විස්තරේ...

      නලිනි අක්කගෙ කථාවත් සහතික ඇත්ත...ඕක කවදාවත් අවසන් නොවෙන චක්‍රීය අවස්ථාවක්...හරියට ජල චක්‍රය වගේ...

      Delete
    4. නලිනිට වැටක්

      +++++++++++++++++++++++++++

      Delete
    5. ඇත්තෙන්ම මිනිහෙක් කසාද බඳින්නම ඔනෙත් නැහැ, බැඳත් ළමයි හදන්න ම ඕනෙත් නැහැ, කසාද බැන්දෙ නැතත් ළමයෙක් ඕනෙනම් හදාගන්න බය වෙන්නෙ ඕනෙත් නැහැ. මිනිසා ගේ නිදහස තියන්න ඕනෙ තමන් කැමති දෙයක් කරන්න. බැඳලා ළමයි හදාගන්න එකත් නරක ම නැහැ.

      Delete
  8. මගේ යාළුවෝ දෙන්නෙක් එකම දවසෙ කසාද බැන්දා. එයින් එක් කෙනෙක් මාස 6ක් යන්නත් කලින් 'දරු සුරතල්' බැලුවා. (එහෙම තමයි දක්ෂ - පක්ෂ උදවිය). අනිත් එක්කෙනාට අවුරුදු 4 ක් ගිහිල්ලත් කිසිම ළකුණක් නෑ. දෙම්ව්පියෝ බුද්ධිමත් හින්දා අවුලක් ගත්තෙ නැතත් හිටියෙ සතුටින් නෙවෙයි. මම කිව්වා ජෝඩුවට නයින්වෙල්ස් කෙයාර් ගිහින් බලන්නයි කියලා. වැඩේ හරි දෙවෙනි ටෙස්ට් එකේදි පොසිටිව්. 50, 000ක් විතර වියදම් වුනාලු. ඒකට නම් මොක ද ලස්සන කොළු පැංචෙක් ඉන්නව දැන්.

    වඳයි ම කියන අයගෙනුත් 50% කට විතර දරු සුරතල් බැලීමේ හැකියාව තියෙනවා. හොයලා බලන්න ඕන. ප්‍රධාන වශයෙන්ම 'උෂ්ණය' නිසයි කළල පිහිටන්නෙ නැත්තෙ. ඒකට කිතුල් පිටි කැඳ වැනි උෂ්ණය පහත දාන්න පුළුවන් දේ ගන්න එක හොඳයි. පිරිමින්ට නම් වටු බිත්තර එහෙම කන එක ශ්‍රක්‍රාණු ගිණුම ඉහළ දාගන්න උදව් වෙනවා.

    ප්‍රශ්නයේ මාණුෂික පැත්ත ගැන සලකලා නිහඬව ඉන්නෙ නැතුව. හිත නොරිදෙන විදියට යම් උපදේශයක් දුන්නට වරදක් නෑ මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලංකාදීපෙ සුව හමුවේ විද්‍යාජෝති මහාචාර්ය දොස්තර කොල්වින් මහත්තයාගෙන් ගෑනු කෙනෙක් අහලා තිබුනා ඔය උෂාන් කතාව ගැන ,ඊට පස්සේ ඒ ගානුකෙනාම අහලා තිබුනා "මෙය සිදු වන්නේ වෘෂණ කෝෂ වල උෂ්ණත්වය වැඩිවීම් නිසායි මා අසා ඇත. පිලියමක් ලෙස වෘෂණ කෝෂ සිසිල් කලොත් හරියයිද" කියලා . දොස්තර මහත්තයා කියලා තිබුනා එයාගෙන් "ඔබ වෘෂණ කෝෂ සිසිල් කරන ආකාරය මටත් දන්වා එවන්න. කොහොමද කරන්න හදන්නේ එතනට අයිස් තියලා අල්ලාගෙන ඉඳලද? " කියලා

      Delete
    2. ඉවාන් කොහොමත් වැඩි පුර අත පාවිච්චි කරන එවුවන්ට ඇට දෙක රත්වෙලා ඔය ලෙඩේ කොහොමත් තියෙනව.
      පොල් ගහකට හේත්තු වෙලා ගල් ලෝඩ් බාපු උන්ට ඔය කියන අපහසුතා නැහැ,හොදට සුලං වැදිලා සිසිල් වෙන නිසා.

      Delete
    3. ඔන්න මමත් පැන්නා මැද්දට.

      මම හිතන්නේ සුමිත් කියන්නේ ආයුර්වේදේ ඌෂ්ණය කියලා පොදුවේ හඳුන්වන තත්වය. ඒක සාමාන්‍යයෙන් අපි කියන ශරීර උෂ්නත්වයට වඩා වෙනස් එකක්.

      ඇත්තෙන්ම (මිනිස්) ශුක්‍රාණු තියෙන්න ඕනේ ශරීර උෂ්නත්වයට වඩා පොඩ්ඩක් පහල උෂ්ණත්වයක. සමහර සතුන්ගේ වෘෂණ ශරීර අභයන්තරයේ පිහිටලා තියෙන බව ඇත්තයි.
      ඒ අඩු උෂ්ණත්වය පවත්වාගෙන යන්න තමයිවෘෂණ කෝෂ එල්ලිලා තියෙන්නේ. ඒ වගේම උෂ්ණ වෙලාවට වඩා පහතට (ශරීරයෙන් ඉවතට) එල්ලීමටත්, සිසිල් වතුර නෑ විට හෝ සිසිල් දිනයකදී හෝ ශීත සෘතුවේදී වෘෂණ ශරීරයට වඩාත් ලංවී ඉහලට වෘෂන කෝෂ හැකිලී තියෙන්නත් හේතුව ඕකයි.

      (උඹලා කවුරුවත් ඕකෙන් උෂ්ණත්වමානයක් හදන්න බැලුවොත් මොනවා කරගනීද කියලා මම කල්පනා කලේ.)

      ආපහු කතාවට ආවොත්, තද යට ඇඳුම් ඇඳීම නිසා සමහර විට සරු භාවයට බලපාන්න ඉඩතියෙනවා කියන්නේ ඔන්න ඕකයි. එහෙම අප්සෙට් එකක් තියෙනවා නම් ඔය බොක්සර් ෂෝර්ට් වලට මාරුවෙලා බලන්නත් පුලුවන් සමහරුන්ට. අර අයිස් තියන කතාව කියලා අර මනුස්සයාව අපහසුඅවට පත් නොකර මේ කතාව කිව්වා නම් වඩා ඩිප්ලොමැටික් සහ ප්‍රොෆෙෂනල්.

      Delete
    4. ඩූඩ් කොහොමත් නොදන්නා කෙනෙක් නොදන්නා බව කියලා ඇහුවනම් ප්‍රොෆෙසර් කොල්වින් ගුණරත්න මහත්තයා නියමෙටම කියලා දෙනවා වැඩේ තියෙන්නේ සමහරු ප්‍රශ්නේ අහන්නේ අපි මේක දන්නවා ඔය දන්නවද බලන්නයි ඇහුවේ ටයිප් එකෙක්න්නේ එතකොට දොස්තර මහත්තයාට මල පනිනවා. එතකොට තමයි ඔහොම උත්තර දෙන්නේ . ඔයිට වඩා මලෙන් කියන කතාත් තියෙනවා .

      Delete
    5. කෙන්ජයියා මාර ප්‍රැක්ටිකල් පොරක්නේ බලන් ගියාම . එයාර් කූල් සිස්ටම් එකක් නේද?

      Delete
    6. දැන් යකෝ කසාද බදින කොට වත්තේ පොල් ගහකුත් හිටවල තියන්න ඕනෑද ?

      Delete
    7. සුමිත් අයියා එක්ක මමත් එකගයි...ඔය කිව්ව උෂ්ණ ගතියට නියම පිළිතුර අපේ මහ වෙදනා තුමා හෙට දිනේ ඇතුලත ලබා දේවි...

      කෙන්ජි අයියා බොලේ සෙල්ලම් නෑනෙ...අංජනම් කියන පොට් එකක් දාගත්තොත් නරකද හුළං වදින තැනක පොල් ගහකට හේත්තු කරලා....

      Delete
    8. ම්ම මේකට පොදු වේ පිළිතුරක් ලබා දෙන්නම් කට්ටියටම,
      මෙතැන උෂ්ණත්වය කියන්නේ ශාරීරික උෂ්ණත්වය, සාමාන්‍යයෙන් ශාරීරික උෂ්ණත්වයට වඩා ස්ක්‍රෝටම් එකේ උෂ්ණත්වය අඩු වෙනවා 2 සෙන්ටිග්‍රේඩ් විතර. මේක රැක ගන්න ඕනෙ. අපි වගේ ට්‍රොපිකල් රටවල මේ ප්‍රශ්නෙ එනවා. ඒ නිසා අයිස් වතුරෙන් ස්ක්‍රෝටම් එක හෝදන්න ඇහැකි නම් හොදයි. අඩු උෂ්ණත්වය තියෙද්දී ශුක්‍රාණු ගිණුම ඉහල යනවා. ඒ නිසා තමයි මිනිස්සු නොහිතාම වුවත් පැණිහද බලන්න සීතල පලාත්වල යන්නේ.

      හැබැයි ඌෂ්ණය කියන්නෙ වෙන දෙයක්. ඉනුත් ශුක්‍රානු ගිණුම අඩු වෙනවා. ඒ වෙනත් විදියකට. එවිට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනවා.

      Delete
    9. අයිස් වතුර....මතක් වෙනකොටත් හිරිවැටෙනවා වගේ අයියෝ.....

      Delete
  9. කවුරු හරි කෙනෙක් කාගෙන් හරි ඔය ප්‍රශේණ් අහනවයි කියන්නේ ඒක ඒ කෙනාට ලොකු මානසික පීඩනයක් ගේන එක.. සමහරුන්ට කාලයක් යනවා.. සමහරුන්ට නැහැ.. ඒක ඉතින් හැටියක්..

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රශ්න අහන උන්ටත් ඒ බව හරියටම දැනෙන්නෙ තමනුත් ඒ අත්දැකීම විදින දවසක තමා...

      Delete
  10. ජීවිතයේ මූලික අරමුණ කසාද බැඳීමයි ළමයි වැදීමයි විය යුතු නැහැ.ඒවා ජීවිතයේ අරමුණු වලින් එකක් පමණයි. දකුණු ආසියාවේ අපිට ඕක ලොකුම අරමුණ වුනාට බටහිර රටවල ඕනෑතරම් ඉන්නවා විවාහ වෙනකොටම දරුවෝ හදන්නේ නැහැ කියල තීරණය කරන කපල්ස්. එවැනි අය ලෝකේ වටේ සංචාරය කරමින්, තමන්ගේ විනෝදාංශ වලට මුල්තැන දෙමින්, සමහර අය අධ්‍යාත්මික අරමුණු ඇතුව සතුටින් ජීවිත ගතකරනවා. මටනම් එකේ වරදක් පේන්නේ නැහැ. ලංකාවේ මම දකින දෙයක් තමයි මව්පියෝ වෙන්න මෙලෝ සුදුසුකමක් නැති අය මව්පියෝ වෙලා කුමක්හෝ හේතුවක් නිසා දරුවන් නැති යුවලක් දකිනකොට අපි දිනුවා කියලා යටිහිතෙන් සතුටු වෙනවා. දරුවන් නැති හැමෝම අසතුටෙන් සිටින අනුකම්පාව ලැබිය යුතු සත්ව කොට්ටාසයක් කියල හිතන ඔය මතය මහා විකාරයක්. තමන්නට ඉතාමත් හිතවත් කෙනෙක් නම් දරුවෝ නැත්තේ ඇයි කියල ඉතාම සංවරව සහ මිත්‍රශීලීව අහල අදහස් හුවමාරු කරගත්තට කිසි වරදක් නැහැ. අහන විදිහෙයි රිදවීමේ යටි අරමුණෙයි තමයි වැරැද්ද තියෙන්නේ. අනේ දරුවොනැති ඒගොල්ලෝ පව්. මමනම් ඒවගේ අයගෙන් ඔයගැන අහන්නේ නෑ. පව්නෙ ඉතින් වගේ දේවල් කියන එකේ නම් තේරුමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝගෙ කතාව 100% ඇත්ත...

      අපේ ඕක සමාජීය ප්‍රශ්නයක්නෙ සිරා... කසාද බඳින්නෙ ළමයි හදන්නම කියලා හිතං ඉන්න අය මිසක් අනිත් අය ගොඩක් දුරට ඕක තේරුම් අරන් ඉන්නෙ... අර “ සංස්කෘතික වශයෙන් පෝසත් ” කියන කෑල්ල හින්දා තමයි අනිත් ප්‍රශ්න ඔක්කොම ඇති වෙන්නෙ... අනිත් එක තමයි අර “ අනේ ඉතිං වයසට ගියාම අපිව බලාගන්න එකෙක් එපැයි” කියන අදහස... අන්තිමට ළමයි හදන්නෙ අපේ උවමනා එපාකම් සපුරගන්න විතරක් වෙලා... පොඩි කාලේ ඇහේ මූණෙ තියන් හදනව.. ඒත් ඒ හදන්නේ ඒකට අලුත් ජීවිතයක් දෙන්න, සාර්ථක, ස්වාධීන පුද්ගලයෙක් සමාජයට දෙන්න නෙවෙයි... වයසට ගියාම අපිව බලාගන්න.... ඕක මේ 70 දශකේ තාම හිතෙන් ජීවත් වෙන අයගේ විතරක් හිතේ තියෙන දෙයක් නෙවෙයි... බොහොම ඉහලට ඉගෙනගෙන, ලොකු රස්සා කරන අයගෙත් හිත්වල තත්වෙ තමයි....

      Delete
    2. @ ඇනෝ - හිරු ++++++++++++++++++

      ඔය "වයසට ගියාම බලාගන්න" කියන එක නම් මේ සමාජ ආර්ථික ක්‍රමය තුළ අමුම ගොන්පාට් එකක්. ළමයින්ට දෙමව්පියන් ගැන බලන්න ඉස්පාසුවක් ලැබෙන වටපිටාවක් නෙවෙයි ලෝකයේ තියෙන්නෙ. තමන්ගේ "වියපත් සමය" දැම්ම තියා කළමණාකරණය කරගන්න කවුරුත් දැනගන්න ඕන. මම නම් ළමයි ස්වාධීන වෙනකොට මමත් ස්වාධීන වෙන්න තීරණය කරලයි තියෙන්නෙ; ගෙදරිනුත් යනවා. .... :)

      Delete
    3. බටහිරයි අපෙයි වෙනස ඔන්න ඔතනයි...අපි අපේ දෙමාපියන්ගෙ ඉදන් නෑදෑ පරපුරම ගැන හිතන නිසා ඒ අයට අවශ්‍ය විදියට වැඩ කරන්න වෙලා තියෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්...ඇත්තටම මේ කිසිම දෙයක් කවුරුවත් බලෙන් පවරලා නෑ...නිකමට හිතන්න වයසට ගියාට පස්සෙ ඒ වයසෙ ඉන්නෙ බටහිර ජෝඩු වගේ විනෝදයෙන් සැහැල්ලුවෙන් ඉන්න අපේ අය කීයෙන් කී දෙනාද ඉන්නෙ....ඒ අයට දරුවන්ගෙත් දරුවන්ගෙ වැඩ පැවරෙනවා...ඒ කාලෙට...ඒක ඉතිං අපේ වගේ සංස්කෘතික රාමුවක ජන්ම ගතිද මන්දා...

      Delete
    4. මේ ඇනෝගේ කතාව නම් මල් හතයි. මේක තේරුම් ගන්න අපේ මිනිස්සු කවදා උත්හාහ කරයි ද? මේක කොහොමත් ඉන්දියන් සාගරයේ අමුතු ඇටේනේ.

      Delete
  11. හැමදේටම වගේ මේ දේටත් ඉතින් තමන්ගේ නිදහස පාවිච්චි කරන්ට දෙන එක තමා සුදුසු. බඳින්නේ ගොඩක් හේතු හන්දා. සමහරු කැමති තමන් ආදරය කරන කෙනා වගේ ළමයෙක් හදලා ඒ තැනැත්තාට දෙන්ට. ළමයෙක් කියන්නේ සමාජය ඉදිරියට ගෙනියන පුරුකක්. කිසි කෙනෙක් ළමයෙක් නොහැදුවොත් මිනිස් සමාජේ නැතිවෙලා යයි. ඒත් එහෙම කියලා අනුන්ගේ නැති ළමයි ගැන නම් හොයලා වැඩක් නෑ. ඒ ගැන අහලා එයාලට රිද්දලා තේරුමකුත් නෑ.

    හම්මෝ අර කක්කා , චූ නැපි මාරු කරන ඒවයි, නිදි මරන ඒවයි ඇර නම් ළමයි කොහොමත් හොඳයි. :D

    ReplyDelete
    Replies
    1. ඔයා ඉන්න ර ටේ නැද්ද රෙඩි මේඩ් ඒවා.

      Delete
    2. නොදකින් මෙහෙම ගැණු

      Delete
    3. බටහිර සමාජයේ වගේ නෙමෙයි...අපේ පෙරදිග රටවල දරුවෙක් කියන සාධකය අනිවාර්ය සාධයක් බවට පත්වෙලා තියෙන හැඩයි...බැදපු උන් දෙන්නට උවමනාවක් නැතත් වටේ පිටේ උන් හරි ඒ උවමනාව උන්ගෙ ඇගට දෙනවා...

      ඇනෝලා කලබල වෙන්න එපා...ඔය පොඩ්ඩි විහිලුවට කියපු කථාවක්...

      Delete
    4. මාත් හිතන්නෙ පොඩ්ඩි විහිලුවට තමා කිව්වෙ...!
      මගේ ඇඟේ නම් අපේ දරුවො ඕන තරම් කක්ක,චූ දාල ඇති..නැපි නැහැ ....! කොහේ හරි යනව නම් නෙ නැපි ඕන..! ඒකත් හරි සුන්දර කක්ක කතාවක් පොඩ්ඩි.

      Delete
    5. අපේ අම්මලා තාත්තලා අපි වෙනුවෙන් කොච්චර වෙහෙසුනාද කියන දේ ගැන හොදටම දැනෙන්නෙ තමනුත් ඒ පදවිය ලැබුවාම නේද වීයො...

      Delete
  12. මම නම් කිසිම කෙනකුගෙන් එහෙම අහන්නෙ නැහැ.
    හැබැයි ඉහත අපේ සුමිත් N කියල තිබෙන අදහසත් ඉතා වටිනව.
    මම නම් කාගෙන්වත් කතා අහන්නෙ නැතිව බැදල දහ මාසෙ යද්දි නැන්දම්මයි,මාමණ්ඩියයි අතේ දු පැටික්කිව තිබ්බ.

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් දන්නවනෙ කෙන්ජයියා කොල්ලා කාලෙ ඉදන් මද පවනෙ ගල් තලලා තියෙන තැලිල්ලට වැඩකරු කියලා...නැද්ද මං අහන්නෙ...

      Delete
  13. පොඩි දේවල් ලොකුවට හිතන්න නාකයි...

    ReplyDelete
    Replies
    1. හොද පොඩි...කොහෙද බොලං මේක පොඩි...අර බඩදරු අම්මගෙන් ගුටි කාලා තාම තෝන්තුවෙන්ද ඉන්නෙ...

      Delete
  14. අතිශය සංවේදී පෝස්ටුවක්නෙ සිරා, මාත් අපේ මායියත් එක්ක හරිම පරිස්සමින් මේ දවස් වල ගත කරන්නෙ. අපේ ගෙදර හදල ඉවර වෙනකං අපිටත් දරු පැ‍ංචෙක් ගැන හිතන්න බෑ. එතකොට ගෙදර වැඩ අවුරුද්දකට විතර නවත්තන්න වෙන නිසා. ඉතිං මිසිස් ඩ්‍රැකියත් මේ දවස් වල ලඟම නෑයෙකුටවත් කෝල් කරන් නෑ. මොකද, අර උඩ කාටුන් එකේ වගේ අනිවාර්ය ප්‍රශ්නය අහයි කියලා.

    ReplyDelete
    Replies
    1. මම හිතුව අඩුම ගානෙ දරුවෝ දෙන්නෙක්වත් ඇති කියල පඩි ටෝක් වලට.

      Delete
    2. මම නම් නැකත් කියන මාස වල කසාද බැන්දෙ නැහැ,
      පෙබරවාරි බැන්ද,දෙසැම්බර් 31 ක දෝනි ඉපදුන.
      දුව ඉපදෙන්න ඉද්දිම ගේකුත් හැදුව නුගේගොඩ.
      මාස අටෙන් ගේ හදලත් ඉවරයි.

      Delete
    3. බැරුවාය ගෙවල් දෙකක් උනත් හදන්න. පුක දීලා ගත්ත සල්ලි.

      Delete
    4. අනේ මචං ....
      ඔයාට පුක දෙන්න සිදු වුනාට ....
      මම ඇවිල්ල සිටු කුමරෙක් වගේ තාමත් ඉන්නෙ,
      ගෘහ නිර්මාණ ශිල්පී මගේ පියතුමා ගෙ උපදෙස් තවමත් කවුරුත් ලබා ගන්නව.
      විශේෂයෙන් පිට රැටියන්.

      Delete
    5. ගෙවල් දොරවල් වල වැඩ ඉක්මනින් නිම වී අපේ ඩ්‍රැකියාට සහ මිසිස් ඩ්‍රැකියාට දෙමාපියන් වීමේ වරම ඉක්මනට ලැබෙන්නට පතමි...

      චීයා...ඇනෝ හලිම නාකයි...

      Delete
    6. මමත් කසාද බැදලා මේ කාමර කෑල්ල අටවා ගන්න කං අවුරුදු තුනක් විතර බබාල හදා ගන්නේ නැතුව හිටියා , අප්පේ එක එකාට තිබ්බ පුකේ අමාරුවක් , දවසක් දෙකක් බලලා දුන්නා හොම එකෙන් ආයේ මූණ නොබලන්ඩ , කාලකණ්නි හැත්ත එනවා වදුරගේ රස්සාව කරන්ඩ

      Delete
    7. අටමා දෙන්න ඇති එහෙනං ලුණු ඇඹුල් ඇතුව...හක හක...

      Delete
  15. අපිත් අවුරුදු හතරක් විතර ගිහින් තමයි පළවෙනියා හැදුවේ.... ඉතිං එක එක තැන් වලදි එහෙන් මෙහෙන් හින්ට්ස් වැදුණා.. ඇත්ත කතාව දන්නෙ අපි දෙන්නා විතරක් නිසා අපි ඔහේ හිටියා... අපිට කාලෙ හරි කියලා හිතුනහම ලමයෙක් හැදුවා...

    කවුරු හරි එහෙම ප්‍රශ්නයක් තියනවා කියලා මට කියන්නෙ නැත්නම් අහන්න යන්නෙ නැහැ... හැබැයි අපි දැම්මම හදන්නෙ නැහැ කිය කිය නාකි වෙන ජෝඩු වලට නම් ඉතින් සමහර වෙලාවට විහිලු කරනවා...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි...මේ සමාජය කාටවත් තමන්ගෙ පාඩුවෙ ඉන්න දෙන්නෙ නෑ...හරියට උන් කන්න බොන්න දෙන්න වගේ ළමයි නැද්ද අහන්නෙ...

      Delete
  16. මම ප්‍රතිපත්තියක් විදියට අන් අයගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්නේ නැහැ. ඒ වගේම මාගේ පෞද්ගලිකත්වයට හොට දාන්න එනවටත් කැමති නැහැ. හැබැයි සිරා අයියේ මේ ලිපියට අනුව තීරණයක් ගන්න කාලේ හරි වගේ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි...දැන් ඇති කට්ටි පැන පැන හිටියා කෝරළේ...නොදන්න දෙයක් ඔය කෙන්ජයියාගෙන් හරි අහගත්තා නම්..

      Delete
  17. රත්න ශී% විජේසිංහ කියන්නේ මම දැකපු අව්‍යාජම ගීත රචකයා..මේකෙ කියන සිරිපාදෙ වන්දවන්න ගීතය මම පෙ!ද්ගලිකව බොහෙම කැමති ගීතයක්....සිරා මත්ක් කරල දුන්නට තුති

    ReplyDelete
    Replies
    1. මචං...උඹ මාව පාසල් කාලයේ ලගින්ම ආශ්‍රය කරපු එකෙක් නිසා කවුද කියලා දැන ගන්න කැමතියි...මට තරහා නැතු ඊයක් දාපන්....

      මමත් පුද්ගලිකව කැමතිම ගීත රචකයා එතුමා තමයි...මේ සැරේ ලංකාවට ගියාම එතුමාව බැහැ දකින්න හිතාගෙන ඉන්නෙ...සල්ලි වලට ගීත විකුණුවේ නැති...අව්‍යාජම ගීත රචකයෙක් ඒක ඇත්ත...

      Delete
  18. බොහොම වැදගත් කථාවක් ..... සිරා උබ එන්න එන්නම සිරා වෙනවා........ මේ කතාවම තවත් අපේ බ්ලොග් සගයෙක් දාලා තිබ්බ... කව්ද කොතනද කියල මට හරියට මතක නෑ එත් මේ පහුගිය මස 3ක් ඇතුලත බවනම් සුවර්...... මාතෘකාව එච්චරට වැදගත් නිසා තමයි එකත් කිව්වේ කට හරි මතකනම් ලින්කුව හොයල මෙතනම දාන්න. සිර අමනාප වෙන එකක් නැ ....මොකද සමහරුන්ට තේරුම් යන්නේ දෙක වදින කොටලුනේ....

    ReplyDelete
    Replies
    1. සිරා ඉතිං මේ වගේ සිරා ඒවා බොහොමයක් අතීතයෙත් ලිව්වා රාළෙ...වෙලාවක කියවලා බලන්න...ඒ කිව්ව ලින්කුවත් හොයලා දානවා නම් මම ඔබට අක්මාවෙන්ම ස්තුති වන්ත වෙමි.

      Delete
  19. බැඳල අවුරුද්දක් දෙකක් ගියාම හරි බැන්ද ගමන්ම හරි ළමයෙක් හදන්න ඕනෙ කියන එක සමාජයෙන් ඔලුවට දාපු දෙයක්. දෙන්නෙක් බැන්දම ළමයි හදන්න ඕනෙ බව ඇත්ත. ඒත් බදින එකේ මූලික පරමාර්ථය ළමයි හදන එකද? මම නම් හිතන්නෙ බැඳපු දෙන්න ළමයි හදන්න ඕනෙ ඒ දෙන්නට ඕනෙ කාලෙට මිසක් අනුන්ට ඕනෙ කාලෙට නෙවෙයි. දෙන්නෙක් බැන්දම ඒ දෙන්නට ළමයි හදන්න ඉස්සර තව තව අරමුණු තියෙන්න පුලුවන්. වැඩිදුර ඉගෙන ගන්න එක, ස්ථාවර ආර්ථිකයක් හඩාගන්න එක. සමහර අයට ඕනෙ තමන්ගෙ ළමයව හොඳ ආර්ථික තතවයක් තියෙන කොට උපදින්න. නැත්තම් ළමයට විතරක් නෙවෙයි දෙමව්පියො දෙන්නටත් දුක් විඳින්න වෙනව. දෙමව්පියන්ගෙ දෙමව්පියන්ටත් දුක් විදින්න වෙනව. මෙහෙමයි වයසට ගිහින් බැඳොත් නම් ඉතින් බැඳපු ගමන් ළමයි හදන්න වෙනව. ඒත් ටිකක් කලින් බැඳම ළමයි හදන්නෙ නැතුව ටික කාලයක් ඉන්න පුලුවන් (තමන්ට ඕනෙ නම් විතරක් ).එහෙම ඉන්නව කියල ඒ දෙන්නට දෝශාරෝපණය කරන එක වැරදි. දෙන්නගෙ කිසිම අඩුපාඩුවක් නැතුව උනත් ඒ දෙන්නගෙ උවමනාවට ටික කාලයක් ළමයි හදන්නෙ නැතුව ඉන්න පුලුවන්. හැම දෙයක් දිහාම පටු කුහක විදිහට කාගෙ හරි පිටට වැරැද්දක් දාල සතුටු වෙන විදිහට හිතන්න පුරුදු උන සමාජයක් එක්ක තමන්ට ඕනෙ විදිහට ජීවත් වෙන්න අමාරුයි තමයි. බැඳල ළමයි නෑම කියල හිතමු. ඒත් ඒක ඒ දෙන්නට ප්‍රශ්නයක් නෙවෙයි නම් සමාජයෙ අනිත් අය ඒක ප්‍රශ්නයක් කරගන්න එක කිසිම තේරුමක් නෑ. ගැහැණියට හරි පිරිමියාට හරි ළමයි නැත්තම් ඒ සමහර විට ඒ දෙන්නගෙ පෙර කරුමයක් නිසා වෙන්න ඇති. එහෙම කියල ඒ අයව සමාජයෙ පහත් අය නෙවෙයි. ළමයි නැති උනාට මේ ලෝකෙ අනිත් මිනිස්සුන්ට ප්‍රයෝජනවත් විදිහට ජීවත් වෙන මිනිස්සු කොච්චර ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා...මේක උහතෝකෝටික ප්‍රශ්නයක්...ඔය ගොඩාක් අය ඉතිං බැදලා ළමයෙක් හදාගන්න කියන්නෙ තමන් වයසට ගියාම සළකාගන්නා අරමුණෙන් නොවැ...එතැනදි මතුවෙන්නෙ බොහොම ආත්මාර්ථකාමී අදහසක් කියලත් මට වෙලාවකට හිතෙනවා...කවුද ළමයි හැදුවෙ...මම මේ ලෝකෙට හොද පුරවැසියෙක් දෙනවා..මිනිස් වර්ගයාගේ පැවැත්ම උදෙසා ළමයෙක් හදනවා..වගේ උදාර අරමුණින්...

      Delete
  20. ළමයි ඉන්න එක කොච්චර ශෝක්ද අප්පා..

    ReplyDelete
    Replies
    1. බැදලා දෙන්නා දෙමහල්ලො වයසට යද්දි ඉතිං...ළමයි නැත්නම් පාලුයි නේද...

      Delete
  21. ඕක මේ සමාජෙ හැටි නෙ සිරා. බඳිනකන් අහනවා "බඳින්නැද්ද?" කියලා. බැන්දට පස්සෙ අහනවා ළමයි නැද්ද?" කියලා. දෙන්නට නෙමේ ප්‍රශ්නෙ තියෙන්නේ, සමාජෙට. ඔහොම ගියොත් අන්තිමට වෙන්නේ අර බූරුව කරේ තියන් ගියපු තාත්තයි පුතයි වගේ වෙන්න තමා.

    ReplyDelete
    Replies
    1. අපේ සමාජය කොහොමත් අනුන්ගෙ කුණු හොයන්න හරිම කැමතියි...ඒකනෙ පත්තරේක උනත් නලු නිලියන්ගෙ ඕපදූපම හොයා හොයා දාන්නෙ...අර බූරුවා කථාව මොකක්ද හැබෑටම...

      Delete
  22. ළමයි හදන එක ගැන විතරක් නෙවෙයි අනික් දේවල් වලත් වැඩි අමාරුව තියෙන්නේ වටේ ඉන්න එවුන්ට නොවැ .

    ReplyDelete
    Replies
    1. නැත්නං...ඕපයක් හොයාගන්න බැරි උන දාට උණ ගැනෙන මිනිස්සු ඉන්න රටක් නොවැ සිරිලංකාව...

      Delete
  23. සිරා ඔබගේ මේ ලිපියට මම මුලින්ම ඔබට හිස නමා ආචාර කරමි.

    මේ පිළිබඳ දිගට ලියන්න මට සෑහෙන අයිතියක් තියනවා. මෙවැනි අයත් එක්ක මම මේ වන විට අවුරුදු 10 වැඩි කාලයක් ගත කරලා තිබෙනවා.

    මුලින්ම මම මෙහි යම් හැඳින්වීමක් කරන්නම්. ලොකයෙ මඳසරු අයගෙන් 40% පමණ පිරිමි මඳසරුභාවයෙන් පෙළෙනවා. තව 40% කාන්තාවනුත් මඳසරුභාවයෙන් පෙළෙනවා. ඉතිරි 20% අයත් වන්නේ යම් නිශ්චිත හේතුවක් නැතිව ඇතිවන මඳසරුභාවයටයි. එවැනි අයට ඇති එක් ප්‍රශ්නයක් තමයි සිරා ඔබ මේ පැහැදිලි කරලා තිබෙන්නෙ.
    අන්‍යයන්ගේ බලපෑම් නිසා බොහෝ විට කාන්තාව ගේ සිතේ ඇතිවන යම් යම් දුක්ඛදායක හැඟීම් නිසා ඔවුන් ගේ කායික වෙනස්කම් ඇතිවීම එනම් මාස් ශුද්දිය අක්‍රමවත් වීමේ සිට ඩිම්භ් නොමේරීම දක්වා පරාසයක රෝග තත්ත්වයන් වලට හේතු විය හැකිය. කප්පරක් බෙහෙත් ගත්තත් සුව නොවෙන ලෙඩකි.

    එම නිසා මෙවැනි අය ගැන වැඩිය සෙවීම මම නම් හිතන්නෙ මහා අපරාදයක් ලෙසයි. යමක් කළ යුතුයි කියා හැඟේ නම් ඒ සදහා යම් හැකියාවක් ඇත්නම් ඔවුන්ව පෞද්ගලිකව මුණ ගැසී අප්‍රසිද්ධියේ එම උපකාරය කිරීම විනා ප්‍රසිද්ධියේ මිනිසුන් මහා අමාරුවකට අපහසුවකට පත් කිරීම නම් ඉතාම අවැදගත් නොහොඹිනා කමකි. මේ ගැන නැවත් ආයෙත් ලියනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම වෙද මහත්තයා, මම මේ ඔබ තුමාගේ මේ වැදගත් කමෙන්ටුව එනතුරු තමයි බලාන උන්නෙ...අපි මේ සුලුතරයක් කියවන බ්ලොග් පෝස්ටුවක් ඇතුලෙ හරි සමාජයේ වැඩි වශයෙන් කථාවට ලක් නොවෙතත්...ඉතාම සිත් රිදීම් වලට හේතු වන මේ මාතෘකාව පිළිබද යහපත් කථිකාවක් ගොඩ නගමු...ඒ අතර තුර ඔබේ විෂයට අදාළව දැනුම මේ කියවන අය වෙත බෙදා දෙන්න...බොහොම ස්තූතියි ඔබේ වදන් වලට...

      Delete
  24. ඔව් ඉතින් අපේ අයට අනුන්ගේ එව්වා සොයන එක තරම් ප්‍රීතියක් තව නැහැනේ. මන් දන්නා කෙනෙක් ඉන්නවා .ළමයි නැති කාලේ බොහොම කරදර වෙලා රටේ නැති දේවල් කරලා ළමයි දෙන්නෙක්ම හැදුවා .මෙන්න ටිකක් කල යද්දී කුරු කුරු ගානවා ඉස්සර වගේ ආසාවට දෙයක් කන්නවත් නැහැ දැන් කියල . ළමයෙක් හැදීම කාටවත් ඕන නිසා නම් නෙමේ තමන්ට පුළුවන් නම් සහ ඉස්සරහට එන කරදර විඳ ගන්න පුළුවන් නම් විතරයි ළමයි හදන්න ඕන .
    වටේ ඉන්න අය ළමයි හදන්න කීවාට ළමයෙක් පොඩ්ඩක් බලල දෙන්න එහෙම කපුටෙක් වත් නැහැ පහු වෙද්දී. .

    දෙන්නෙක් කසාද බැන්ද ගමන් වටේ ඉන්න අය හිතන්නේ උන් දෙන්න ළමයි හදන ෆැක්ටරියක් වෙන්න ඕන කියල . මගේ යාළුවො දෙන්නෙක්ම වෙන් වුනා ළමයි නැති ප්‍රශ්නෙට . මේ යාලු වෙලා අවුරුදු ගණන් ආදරේ කරලා බැඳගත්තු අය .

    ඊයේ පෙරේදා අපේ පොඩි දුගේ ටීචර් මෙහෙන් ළමයෙක් අරන් හදාගන්න ගත්ත. එයාට මාතෘ නිවාඩුත් ලැබුන . සැහෙන වයස කසාද නොබැදපු කෙනෙක්. වාසනාවන්ත ළමයෙක් ඉතින් . තමන්ගේ නොවෙන ළමයෙක්ට මාතෘ සෙනෙහස දෙන එක හැමෝටම කරන්න බැහැ . මන් හිතන්නේ වඩා විශාල හදවතක් සහ ලොකු නිර්භීත කමක් ඕන එහෙම අම්මෙක් වෙන්න .

    ReplyDelete
    Replies
    1. බින්දි අක්කලටත් මේ වගේ අත්දැකීම් ඕනෑ තරම් ඇති...සමාජයේ අය ළමයි හදන්න අදහසක් නැද්ද කියලා අහපු...ඇත්තටම අවුරුදු ගානක් ආදරය කරලත් දරුවන් නැති නිසා වෙන් වෙන්න උනා කියන්නෙ ඒ අයගෙ එතැනින් පසු ජීවිත වල සතුටක් ඉතිරි වේවිද කියලත් මට හිතෙනවා...අතීතය මතක් වෙන වාරයක් පාසා ඒ අයට ලොකු රිදුමක් දැනේවි...

      දරුවන් නැති නම් හොදම දේ තමයි දරුවෙකු හදාවඩා ගන්නා එක...නමුත් තමා හදාවඩාගත් දරුවෙකු බව පසුකාලයකදී ඒ දරුවාට ආරංචි නොවන තරමට කටයුතු කරනවා නම් තමයි හොද.

      Delete
  25. පුන්සද රෑට සින්දුවෙත් ඕක කියනව නෙද,මම නම් ජනවාරි බැන්ද.ඔක්තොබර් බැවහය හතර

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ සින්දුවෙ කියවෙන්නෙත් සැමියා එනතුරු මග බලා හිදින දරුවන් නැති කාන්තාවකගේ අදහස්....දැන් ඉතිං ගොඩනෙ...අවශ්‍යම දේ තියෙන නිසා භය වෙන්න දෙයක් නෑ එහෙනං...

      Delete
  26. බැදපු ජෝඩුවට වඩා ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ වටේ පිටේ මිනිස්සුන්ට..

    සිරාම ලිපියක් !

    ReplyDelete
    Replies
    1. බදින්න සිටින ජෝඩුවක් විදියට සෑම් කොලුවත් මේ කටුක යථාර්තය දැනගෙන ඉන්න එක වටිනවා...

      Delete
  27. සිරා ,,, සිරාවටම බොක්කටම වැදුනා .... පොස්ටුව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං...අර කිව්ව දේ කරන්න එපා....අරිද ?

      Delete
  28. අපේ මිනිස්සුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ අනුන්ගේ දේවල් හොයන්න.

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක්ට ඉතිං විශේෂයෙන් කියලා කරන්න දේකුත් නෑනෙ...ඒ හින්දා ඉතිං ඕපයක් දෙකක් හොයාගෙන ජීවත් වෙනවා...

      Delete
  29. බෙහෙතක් හේතක් අරන් දෙන්න පෙළඹෙනවට වඩා බොහෝ මිනිස්සු බලන්නේ මානසික වට්ටන්න..දරුවෝ නැති වෙලාම බලන්න ඕනේ ඒ පීඩනයේ තරම් ...

    අනිත් එක සිරෝ මට තියෙනවා පොඩි ගැටළුවක් ... දැන් මට ළමයි නැහැ කියපන්.. උඹ මගෙන් " මචන් ඇයි තාම දරුවෙක් නැද්ද " කියල අහන එක වරදක්ද ......?

    ReplyDelete
    Replies
    1. ඒක මෙහෙමයි සහන් ...අපි දෙන්නා බොක්කෙ ෆිට් එකක් නම්...ඔයාගෙ මානසික තත්වය වගේම පුද්ගලයා ගැනත් හොද අවබෝධයක් තියෙනවා නම්...එහෙම ඇහුවා කියලා හිත් රිදීමක් ඇති වෙන්නෙ නෑ කියලත් ෂුවර් නම් ඇහුවට කමක් නෑ....ඒත් මම මගේ ලගම යාලුවෙක්ගෙන්වත් එහෙම අහන්නෙ නෑ...මේ කාරණය අප අතර යාලු කම් තිබ්බත් ඊටත් වඩා සංවේදී එකක්...වට පිටාවේ උන්ට පිළිතුරු දීලම සමහර විට යාලුවට මේ ප්‍රශ්නය අහන වාරයක් ගානෙ තරහා යනවා වෙන්නත් පුලුවන්...

      Delete
  30. මට නම් තියෙන්නේ වෙනස්ම අදහසක්... මෙතන ඉන්න ඈයෝ මට දමාගෙන නෙලයිද දන්නෑ මෙහෙම කියනවා කියලා...

    අවුරුදු ගානක් ආදරේ කරලා බඳින්නේ දරුවො හදලා වඩලා හෙම්බත් වෙන්නද??
    අවුරුදු 20න් 21න් වගේ බැන්දත් ඒ ගෑණු ලමයි ඉන්නේ හිතින් පොඩි වයසක නෙමෙයිද?? එහෙම ඉන්න ඈයොන්ගෙන් වගකීම් බලාපොරොත්තු විය හැකිද? ඔඩොක්කුවට ලමෙක් දීලා කොහේ හරි මුල්ලක හිර කරන එක සාධාරණද??
    ගොඩක් කෙල්ලො පැනලා යන්නේ ගෙදර නිදහස නැති නිසා මිසක් දරුවො නලවන්න නෙමෙයිනේ... එහෙම ගිය ඈයෝ පසුනොතැවෙනවා ඇතිද??

    ඔය ඔක්කොමත් එක්ක මට මතකයි මම දන්න අක්කා කෙනෙක් නිවුන්නු හම්බුවෙලා ඉද්දි කියපු කතාවක්...

    //ආදරේ කරලා බැන්දේ මෙහෙම දුක් විඳින්නද කියලා හිතෙනවා මල්ලි... //

    සමාජේ දිහා බලද්දි හිතෙනවා ලමයි ලැබුනාම පවුලේ ආදරේ නැතිවෙලාද කියලා...

    මම නම් හිතන්නේ බැඳලා අවුරුදු අවම දෙක තුනක් යනකන්වත් දරුවෙක් නොහදා හිටියොත් ජීවිතේ විවාහයේ රස විඳින්න පුළුවන් වෙයි... අඩු ගානේ ඩිවෝස් වත් අඩුවෙයි සාපේක්ෂව...

    හැබැයි අපේ පන්තිවල සමහර කෙල්ලො හිටියා පොත්වල පිටකවරෙත් බබ්බු රූප අලවගෙන හිටියේ දස මාසෙන් ලමයි හම්බුවෙන්න ඉන්න අම්මලා බිත්ති වටේ බබ්බු රූප අලවනවා වගේ... වැඩේ කියන්නේ උන්ගේ ඒ පිස්සුව ඒ ලෙවෙල් වෙද්දිවත් අඩු වුනේ නෑනේ... ඔය කාලේ ඉතින් අපි උන්ට නොතේරෙන්න පොඩි කවි කෑලි කියනවා... අහලා ඇතිනේ //වදන කලට මොකද හිතේ හදපු............හිතේ// කියන කවි පේලිය...

    ඕං මට දමාගෙන නො නෙලත්වා...

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මලේ...මමත් ඉතිං තාම යුග දිවියක රහ බලපු එකෙක් නෙමෙයිනෙ...මට හිතෙන විදියට විවාහ ජීවිතයකට එළැඹෙනකොටම ඉදිරි කාලය පිළිබද දෙදෙනාම සැලසුමක් ඇතුවයි එන්න ඕනෙ...දරුවන් ලබා ගන්නා කාල සීමාව වගේම වෙනත් සැලසුම් දෙදෙනාම බොහොම විවෘතව කථා බහ කිරීම වැදගත්...කාන්තා පාර්ශවයේ අකමැත්ත මත දරුවෙක් ලබා ගන්න බෑනෙ...අර කාන්තාව කියා තියෙන කථාව අනුව ඇගේ දරුවා දකින වාරයක් ගානෙ ඇයට ආදරය වෙනුවට තරහක් තමයි ඇත් වෙන්න ඕනෙ...එහෙම අම්මා කෙනෙක්ගෙන් දරුවෙකුට නියම මව් සෙනෙහස ලැබෙයිද...ඒ හින්දා අම්මා කෙනෙක් වෙන්න ඕනෙත් ඒ ගැන හිතලා මතලා සද්භාවයෙන්මයි. ලිංගික ක්‍රියාකාරකමක අතුරු ඵලයක් ලෙස නෙමෙයි දරුවෙකු මේ ලෝකෙට ගේන්න ඕනෙ...

      Delete
    2. එතනදි තමා අහල පහල අයගේ කතන්දරයි නැන්දම්මා මාමලාගේ කතන්දරයි කරලියට එන්නේ... ලොකු එකෙක් විදියට ඔහොම බබාලා හදන්ඩෝනා කියන තැනක මගේ මතය ඉදිරිපත් කලාම මට ලැබුනු උත්තරේ උනේ ලමයි එපා නම් බඳින්නෙ මොකටද නොබැඳ හිටහං කියන එක...

      Delete
  31. මේකත් හරිම සංවේදී සහ සංකීර්ණ ප්‍රශ්ණයක් නේද සිරෝ...මම කවදාවත් අහන්නේ නැති ප්‍රශ්ණයක්. මම දැකලා තියෙනවා බොහෝ දුරට මේ ප්‍රශ්ණේ වැඩිපුරම අහන්නේ ගෑණු උදවිය. දරුවන් නැති ගැහැණු කෙනෙක් පත්වන අපහසුතාවය මුහුණෙන් පේනවා. දරුවන් නැතිවීම යුරෝපීය සමාජය එතරම් කම්පනයට පත්වෙන ප්‍රශ්ණයක් නෙමේ. මගේ ඒරියා මැනේජර් සුද්දෙක්. උන් උන්ගේ කැමැත්තෙන් දරුවන් හදන්නේ නැහැ. එය ශාරීරික අඩුපාඩුවක් නෙමේ. නමුත් අපේ දකුණු ආසීයානු කුහක මානසිකත්වය ඔහුට නැති තැන පොන්නයා කියනවා. මේක පැහැදිලි කරලා දෙන්න බැහැ.

    මම ලඟදී දීපානි සිල්වා ගැන ලිපියක් කියෙව්වා. ඇය අවිවාහකයි. දරුවන් සම්බන්ධ ඇයගේ මතය හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බටහිර සමාජය සහ අපේ සමාජය අතර ආකල්පමය වශයෙන් සෑහෙන වෙනසක් තියෙනවා නේද...අපේ කාටද සිය කැමැත්තෙන් දරුවො හදන්නෙ නැතුව ඉන්න පුලුවන්...දෙපාර්ශවයේම වැඩිහිටියන්ගෙන් එල්ලවන බලපෑම හමුවේ සැලසුම් අකුල ගන්න තමයි වෙන්නෙ...

      Delete
  32. දැන් උඹත් මෙතන දරුවෝ විකුණන අම්මලා තාත්තලා අපායේ යන්න ඕනය කියලා කියනවා.. ඒ දරුවෝ දහ දුක් විඳිනවට වඩා හොඳ තැනක් හැදෙන්න දන් දුන්නට, ඒ දෙමව්පියන්ට පින් සිද්ද වෙනවා.. සල්ලි භාගේ තියෙනවනම් මිනිස්සු දරුවෝ විකුනන්නෙත් නෑ සාසනේට දෙන්නෙත් නෑ.. කවුරුවත් දැකලා තියෙනවද පුංචි පාදිලිවරු, සාමිලා නෑ නේ.. ඒවා ඒ සමාජවලින්ම හා ආගම්වලින්ම ආපුවා.. වෙස්සන්තරට දරුවොයි බිරිඳයි දන් දුන්නම බුදු වෙන්න පුළුවන්, අර මිනිස්සු අපායේ යනවා.. ඔය වගේම සාපෙක්ෂ මාත්තුරුකාවක් තමයි දරුවෝ නැති කමත්...

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය මා තලන් තුමාට වැරදිලා...තමන් ජාතක කරපු දරුවෙක් මොන අහේනිය තිබ්බත් කිසිම අම්මා කෙනෙක්ට...තාත්තා කෙනෙක්ට මුදලින් තක්සේරු කරන්න බෑ....එහෙම කරනවා නම් ඒක මහා ගෝත්‍රික පුරුද්දක්...මම මෙතනදි මතු කලේ...එහෙම විකුණන්නවත් ඉන්නෙ නැතුව...කුණු බක්කියක හරි පාර අද්දරක දාලා දුවන අම්මලා ගැන...තමන්ට දරුවව හදා ගන්න බැරි තරම් ආර්ථික ප්‍රශ්න තියෙනවා නම් නීතියට අනුව හදාගන්න දෙන්න පුලුවන් ඒ හැකියාව තියෙන කෙනෙක්ට...ඒකෙ කිසිම වැරැද්දක් නෑ... නමුත් අර වගේ දරුවා තියලා මාරු වෙන උන් දරුවො හදලා නෙමෙයි.. වැරදිලා හැදිලා....

      Delete
  33. badala daruwo nathi eka wagema daruwek labunath paramparawen suwa kala nohaki (ASD) roga athi aya nondanawa rawata badala lami hadimath kata kala yuthui ...............

    ReplyDelete
    Replies
    1. එහෙම කරන උනුත් ඉන්නවද හැබෑටම...ඒක මොනතරම් අපරාධයක්ද...සුව කල නොහැකි ලෙඩක් එක්ක අලුත් ජීවියෙකු මේ ලෝකෙට ගේන එක...

      Delete
  34. දරුවන් බිහි කිරීමම ආත්මර්තකාමී වැඩක් යැයි විටෙක මට හැඟේ.මන්ද දරුවො ලොකු වෙල දොස්තර කෙනෙක් ඉන්ජෙක් ලොයර් කෙනෙක් කරනන් හදන දෙමපියන්, පුන්චි මල් වගෙ ලමයි මරව මරව විභහග පාස් කරගන්න ට්‍රයි කොරනව අය දැක්කහම වයසට ගියාම බලාගන්න ලමයි හැදීම,අම්ම තත්ත ලව් කරල බැඳල ලමය ලව් කරල මට්ටු උනාම මරාගෙන කන අය නැත්තම් බලෙන් තමන් කමති කෙනාට ලමයව බන්ඳල දෙන දෙමපියො .
    එහෙමත් නැත්තම් අල්ල්පු ගෙදර හරි යාළුවෙකුගෙ නැත්තම් නෑදෑ කෙනෙකුගෙ ලමයට වඩා ඉහලට යවන්න ට්‍රයි කොරන, තම් කැමති සිහින ලමයින් ගෙන් ඉශ්ට කරගන්න උත්සාහ කිරීම,

    ඔය හැමදේම දිහ බැලුවහම හිතෙන්නෙ හුගක් ය හිතාන ඉන්නෙ ලමයි කියන්නෙ අනාගත ආයොජනයක් කියලද කොහෙද?

    ඕව දිහා බලුවහම කොච්චර දුක් විඳලා සල්ලි වියදම් කරල ලමයි හැදුවත් ඒ අය දෙමාපියො වෙන්න සුදුසු අය නොවේ නම්

    මෙලො දෙයල් නොදන ලෝකෙට ඇවිත් දෙමපියන්ගෙ පව් ගෙවන ලමයි හදන්නෙ නැතුවම ඉන්න එක හොඳා වගෙ

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කාරණය ඒ විදියටම මටත් හිතිලා තියෙනවා...වයසට ගියාම සළකන්න කවුරුත් නෑ කියන අරමුණෙන් දරුවෙක් හදනවා නම් එතන ආත්මාර්ථය කියන සාධකයත් තියෙනවා....නමුත් මේ ලෝකෙ හැම මිනිහම අපිට දරුවො එපා...මැරෙන තුරා කාල බීලා ජොලියෙ ඉන්නවා කියලා කල්පනා කලා නම් මිනිසා ලෝකෙන් වද වෙලා ගොඩාක් කල්....මම නම් පුද්ගලිකව හිතන්නෙ...වයසට යද්දි ජීවිතයට බලාපොරොත්තුවක්...ඉතිරි වෙන්නෙ දරුවන් නිසා කියලා...දරුවන් නැති සැදෑ සමය නීරසයි කියලා වැඩිහිටියො කීප දෙනෙක්ම මට කියලා තියෙනවා...හැබැයි දරුවො ඉදලත් වයසක අයට සැළකුවේ නැත්නම් ජීවිතේ ඊට වඩා නීරසයි...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...