Monday, October 7, 2013

128 බකිනි ගහේ බකිනි මලෙන් පාර අහන්නේ 2

එදිනෙදා යෙදුනු වැඩරාජකාරි අස්සෙ මේ සිදුවීම් පෙළ මට අමතක වෙලා තිබුන වෙලාවක තමයි වසරකට විතර පස්සෙ ගම්පහ දුම්රිය නැවතුමේදි ගයා කෙල්ල මට මුලිච්චි උනේ. එයත් මේ කිව්ව උපන් දින උත්සවේ දවසෙ එතන හිටියා. පුස්තකාලෙදි සුහද වෙච්ච තවත් යෙහෙළියක්.

ඔතනින් අවසන් වෙච්ච පළවෙනි කොටස කියෙව්වෙ නැති අය මෙතැනින් ඒ කොටස කියවගෙනම ආවොත් හොදා.

මගේ යාලුවෙකුගෙන් කැමැත්ත ඇහුවා කියලා ආරංචියක් ආවා...ගයා ඇගේ බොහෝ දිගුවන් කේශ කලාපය දෙපසට වනමින් ලාලිත්‍යයෙන් යුතුව මගෙන් විමසුවා.

ඔයාටත් ඒ කථාව ආරංචි උනාද...මම වටපිට බලලා හිමින් ඇහුවා.

මගේ හොදම යාලුවනෙ එයා...ඉතිං මට නොකියා ඉදීවිද ? මෝඩයා...මට කිව්වා නම් මම ඔයාට මේ වෙද්දි කැමැත්ත අරගෙන දීලා.

ඒ කොහොමද ඒ පරණ මතකයන් ඔස්සේ කිතිකැවුනු මගේ හඩ බොහොම සෞම්‍යයි.

පොඩ්ඩක් ඉන්නකෝ...මම හිමින් සැරේ වැඩේ කරලා දෙන්නම්...අපේ යාලුවන්ගෙන් එයාට විතරයි තාම කෙනෙක් නැත්තෙ.

ගයා මට අලුත් බලාපොරොත්තුවක් දීලා මගෙන් සමුගත්තා.

එදායින් පස්සෙ සතියකට දෙකකට සැරයක් ඇගේ ව්‍යායාමයෙ ප්‍රතිඵල මට දැනුම් දෙන්නත් ඇය අමතක කලේ නෑ.

ඔන්න ඔහොම ගත වෙච්ච එක දවසක ඇය මෙහෙම කිව්වා.

ඔන්න ගොයියො දැන් වැඩේ හරියාගෙන එන්නෙ...කෙල්ල දැන් ඔයා ගැන හිතනවා...තව ටික දවසකින් උත්තරයක් ලැබෙයි...මට වැඩේ හරිගියාම දෙන්නම එක්ක එකතු වෙලා පාටියක් දෙන්න ඕනෙ හරිද ?

පාටි එකට දෙකක් දෙන්න බැරියැ... මම එහෙම කිව්වා...

තවත් සතියකට විතර පස්සෙ ගයා මට නදීරා ගෙ දුරබණුවෙ අංකය දුන්නෙ එයාට ඔයා එක්ක කථා කරන්න ඕනෙලු කියමින්...

මම ඇයට ඇමතුවා...පාසල් යන වයස ඉක්මවා හිටි හින්දා වගකීමෙන් කථා කරන්න දැන් අපිට පුලුවන්. ඒ වගේම ඇයත් අවශ්‍ය දේ පමණක් කථා කලා.

මම මෙච්චර දවසක් කිසිම කොල්ලෙක්ට කැමති වුනේ නැත්තෙ දෙමාපියො අකමැති වුනොත් මටත් අකමැති වෙන්න වෙන හින්දා...මට එහෙම වුනොත් මගේ හිත රිදවා ගන්නවා වගේම තව කෙනෙක්ගෙ හිත රිදවන්න වෙනවා. ඒ හින්දයි එරන්දි මට ඔයා ගැන ගොඩාක් දේ කියලත් මම කැමති උනේ නැත්තෙ.

ඒ කියන්නෙ ඔයා දැන් මට කැමතිද ?

අකමැත්තක් නැති හින්දා නේන්නම් මෙච්චර කාලයක් කොල්ලෙක්ට දීලා නැති මගේ ෆෝන් නම්බර් එක ඔයාට දුන්නෙ. හැබැයි එක දෙයක්...

මම ඔයාට කැමති උනා කියලා මගේ අම්මා තාත්තා ඔයාට කැමති වෙයි කියලා හිතන්න එපා. ඒ අය ඔයාට කැමති උනොත් විතරයි මම ඔයා එක්ක සම්බන්ධයක් පටන් ගන්නෙ.

මට ටවුමෙ එහෙ මෙහෙ හම්බවෙන්න කථා කරන්න එපා. ඔයා කෙලින්ම අපේ ගෙදර ඇවිල්ලා අම්මා තාත්තගෙන් කැමැත්ත අරගන්න. ඒ අය කැමති උනොත් මමත් ඔයාට කැමතියි. හැබැයි ඒ අය අකමැති උනොත් මගේ කැමැත්ත ඉල්ලලා ආයෙත් මට කරදර කරන්න එපා ප්ලීස්. මම ඒ අයගෙ හිත රිදවන්න කැමති නෑ.

නදීරා එහෙම කිව්වට එදායින් පස්සෙ නොයෙක් වර මට අමතන්නත්...මගේ දුක සැප සොයාබලන්නත් කටයුතු කලා. ඇගේ ඒ කථා බහ මගේ සිත තවත් ඇය කෙරේ ආසක්ත කලා කිව්වොත් මම වැරදි නෑ. බහුරූප කෝලම් ඇති සමාජයක පොළවේ පය ගහලා ඉන්න කෙල්ලෙක් මුලිච්චි වීමේ ප්‍රීතිය මම එදා අත්වින්දා.

සමහර දවස්වලට ඇය කථා කරන වෙලාවට මම බොරැල්ලෙ Mint Leaf අවන්හලේ මිතුරන් සමග උපන් දින සැමරුමක්, මධු සාදයක්...

ඔයා කොහෙද ඉන්නෙ.....

තාම බොරැල්ලෙ...

දැන් වෙලාව රෑ 9.00 නෙ ඔයා කීයටද ගෙදර එන්නෙ

ගෙදර යද්දි රෑ 12 විතර වෙයි.

අනේ ගෙදර ගිය ගමන් මට මිස් කෝල් එකක් දෙනවද...මට භයයි ඔයා ගැන

ඔයා ඇයි අද නිදියන්නෙ නැද්ද....

නෑ...මම මේ හොස්ටල් එකේ පාඩම් කරන ගමන්....

ඇය එහෙම කථා කරනකොට...ඒ සිතේ පිරී තියෙන ආදරය දැනුනාම මේ ලෝකෙ හැමදේම බොහොම සුන්දරව තමයි මට එදා දැනුනෙ.

මම කාලෙකට ඉස්සෙල්ලා නිලන්තයගෙ කථාවෙදි කිව්ව වගේ වැඩක් තමයි ඔන්න දැන් මටත් සිද්ධ වෙලා තියෙන්නෙ. දැරිවිගෙ ගෙදරට ගිහිං දෙමාපියන් මුලිච්චි වෙලා කැමැත්ත ගන්න කියලා අභියෝගයක්. මම සතුටින් භාරගත්තා. සිරා අදත් අභියෝග වලට හරිම මනාපයි.

නිලන්තගෙ ගමනට සහභාගි වෙච්ච එකෙක් හැටියට මට දළ අවබෝධයක් තිබුනා කථා බහ කල යුතු දේ සහ මාතෘකාවට පිවිසෙන අන්දම ගැන. මේ ගමන තනියෙන් යන්න බැරි හින්දම නිලන්තගෙ ගමනටත් අපිත් එක්ක ආපු මගේ අතිජාත සගයා පුෂ්පයව එකතු කරගත්තා. මේ කියන දවස් වල ඉතිං රැකියාවල හැමෝම වගේ නිරතව හිටිය හින්දා මේ වගේ ගමනකට කලින් උපදෙස් දෙන්න මගේ මිත්තරයො එකෙක්වත් ළග හිටියෙ නෑ.

අපේ දුරකථන කථා බහෙන් සතියකට දෙකකට පස්සෙ ඇගේ නිවසට ගිහිල්ලා දෙමාපියන්ගෙන් කැමැත්ත විමසන්න මම හිතුවා. පුෂ්පයාට කාල වේලාව වේලාසනින් කියලා මිනිහගෙ දඩු මොණරෙන් ගමන පිටත් වෙන්න කථිකා කොර ගත්තා. ඊටත් සතියකට විතර කලියෙන් අපේ මලයා එයාගෙ වෘත්තීය ජීවිතයෙ පළවෙනි වැටුපෙන් අරන් මට තිළිණ කල අලුත්ම ටී ෂර්ට් එකෙන් හැඩවෙලා රැවුල කාරිය කපාගෙන ඔන්න මම මගට බැස්සා.



ගම්පහ නගරයෙන් සෑහෙන්න ලොකු අයිසිං කේක් ගෙඩියක් සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව අරගෙන ඇගේ නිවසට කිට්ටු වෙද්දි ගමන් මග නිසියාකාරව කියා දෙන්න එරන්දිකා පාර අද්දරට වෙලා අපේ ආගමනය බලාපොරොත්තුවෙන් හිටියා.

මෙන්න මේ පාරෙන් හැරුනට පස්සෙ දකුණට තියෙන පළවෙනි පාරෙ තුන් වෙනි ගේ.

භය වෙලාද ඉන්නෙ...මගේ බැරෑරුම් මූණ දැක්කම ඇය එහෙම ඇහුවා.

පිස්සුද....මට කිසිම භයක් නෑ. මම එහෙම කිව්වට පුංචි චකිතයක් හිතේ පැලපදියම් වෙලා තිබුනෙ.

හැමදේම සුභ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙන්න මගේ සුභ පැතුම්...ඇගේ සියුමැලි අතැගිලි මගේ දකුණත හා මුසු වුනා.

ඒ එක්කම වගේ නදීරා කෙල්ලත් දුරබණුවෙන් ඇමතුවා....

අද එන්නෙ නැද්ද අපේ ගෙදර...මල්ලිත් මෙච්චර වෙලා බලාගෙන හිටියා අනාගත මස්සිනාව දැක ගන්න ඕනෙ කියලා...එයා මේ දැන් එළියට ගියා. මම අම්මටයි තාත්තටයි කිව්වා අද ඔයා එනවා කියලා....මාව බොරුකාරියෙක් කරන්නෙ නෑ නේද?

අනේ නෑ...අපි දැන් ගේ කිට්ටුව ඉන්නෙ

නිවසේ ගේට්ටුව ආසන්නයටම යද්දි කොහෙදෝ මුල්ලක ඉදලා පැන්න ඇල්ශේෂන් වර්ගයේ දඩෝරියා හින්දා තව පොඩ්ඩෙන් කේක් ගෙඩියත් බිමට හැලෙනවා...මොකද මම නොදන්නා බල්ලන්ට හරිම භයයි. බල්ලාගෙන් මාව බේර ගෙන නිවස තුලට කැන්දාගෙන ගියේ නදීරා.

එරන්දිකාගෙ උපන් දිනයෙන් අවුරුද්දකටත් වැඩි කාලයකට පස්සෙ තමයි නදීරගෙ මුහුණ පොඩ්ඩ නැවත දැක ගත්තෙ. මෙච්චර දවසක් ඇගේ හඩ විතරයි දුරබණුවෙන් ශ්‍රවනය කලේ. එදාටත් වඩා ඇය දැන් සුන්දරයි. මගේ සිත තව තවත් ඇය කෙරේ බැදුනා.

දෙමාපියන්ගෙ ආගන්තුක සත්කාර වගේම...සිරා කොලුවා වන මට සංග්‍රහ කරන්නම ඇගේ අතින් නිමැවුන කේක් කැබැල්ලක රසත් බලලා ඉවර වෙද්දිම.

කේක් රසයිද ?

ඔව් ඔයාද හැදුවෙ ?

හ්ම්....මම එහෙම දෙයක් කරන්නෙ කලාතුරකින්...අද ඉතිං විශේෂ දවසක්නෙ...

පුතා ගැන අපේ දුව කියලා දැන් ගොඩාක් දවසක්...මගේ ආසන්නයෙන්ම අසුන් ගනිමින් ඇගේ තාත්තා මා සමග කථා බහට එකතු වුනා.

ගැලපෙන දෙයක් නම් අපේ අකමැත්තක් නෑ. අපේ දරුවා අපිට කවදාවත් බොරුවක් කියන්නෙ නෑ...අපිට ඉන්න එකම කෙල්ල නොවැ මේ. ඒ හින්දයි පුතාට අද කෙලින්ම අපේ ගෙදරටම ඇවිල්ලා මේ ගැන කථා කරන්න කිව්වෙ.

ඇගේ පියා රජයේ දෙපාර්තමේන්තුවක සේවය කරපු වමේ දේශපාලනයට බර කෙනෙක්...කථා බහ අතරෙදි මගේ දේශපාලන මතවාදය විමසද්දි මමත් ඉතිං නිරායාසයෙන් වමට බර උනා.

පුතාගෙ වයස එහෙම කොහොමද ? මොනවද රස්සාව විදියට කරන්නෙ, දෙමාපියන්ගෙ විස්තර පවුලෙ විස්තර එහෙම...

ඔය වගේ ගැටළු රාශියක් මට යොමුකලේ ඇගේ මව...ඇත්තම කථාව මම නදීරට වඩා මාස 3කට බාලයි. ඒ හින්දම අපි දෙන්නා සම වයසෙ කියලා එදා මම ෂේප් වුනේ.

ඔන්න ඉතිං අපේ කථා බහ අවසන් අදියරට එළැඹුනා.

හොදයි පුතා...අපේ ආරාධනය පිළිඅරන් අපේ ගෙදරට ආපු එක ගැන බොහොම සන්තෝෂයි. මගේ අයියා තමයි...(ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක ප්‍රධාන කර්තෘ වරයකුගේ නමක් පවසයි). එයා එක්කත් කථා කරලා කේන්දරත් බලලා අපි උත්තරයක් දෙන්නම්.

එදා ඇගේ නිවසෙන් සමුගත්ත දවසෙ ඉදන් මගේ හිත කිව්වෙ වැඩේ කෙරෙන එකක් නෑ කියලා...ඒ අර මාස 3 හුටපටේ හින්දා...ඒ හින්දම මම හිතාමතාම කේන්දර කොපිය යැවීම සෑහෙන්න පරක්කු කලා.

මොකද අනේ තාම කේන්දරේ එව්වෙ නැත්තෙ.. නදීරා දවස් කීපයක්ම විමසුවා.

මම ඇත්තම කියන්නම්....මට භයයි මාස 3 ප්‍රශ්නෙ හින්දා ඔයාව මට නැතිවෙයි කියලා...මම අවංකව කිව්වා....

එහෙම කියලා මග අරින්න එපා අනේ...අපේ අම්මා අද උදෙත් ඇහුවා...ඔයාට කේන්දරේ එවන්න බැරිනම් උපන් වෙලාව මට දෙන්න.

ඇගේ ඉල්ලීම හමුවේ අවනත වෙලා මම උපන් වෙලාව ඇයට ලබා දුන්නා..උපන් දිනයත් එක්කම....

බැරි වෙලාවත් ගෙදරින් අකමැති උනොත්...මම කඩඉම් ප්‍රශ්නයක් යොමු කලා.

මම ඒකට උත්තරේ ඔයාට වේලාසනම දුන්නා නේද ? මතක නැද්ද ?

කාලය හැමදාමත් වගේ ටික් ටික් හඩින් ගලාගියා...ඒ අවුරුද්දෙ නිමාව සටහන් කරමින් දෙසැම්බර් 31 වෙනිදාවත් උදා උනා. නව වසර පිළිගන්න හැමෝම සතුටින් බලා ඉන්නවා. සිරාටත් පුංචි පහේ සාදයකට ඇරයුම් ලැබිලා මිත්තරයකුගෙ නිවසෙ. ඒ සදහා පිටත්වෙන්න සූජානම් වෙනකොට රාත්‍රී 9 පහුවෙලා නදීරාගෙන් ඇමතුමක්.

හලෝ....

ඇගෙන් කිසිම උත්තරයක් නෑ...

පුංචි ඉකිබිදුමක් විතරක් ඇහෙනවා...

මොකද උනේ...ඇයි අඩන්නෙ...

ඇය තාමත් කථා කරන්න ආයාසයෙන් වචන ගොනු කරනවා...

අපේ අම්මා ඔයාට කැමති නෑ. අද මම උදේ යද්දි ඔයාගෙ උපන්දිනේ ලියපු කොළ කෑල්ල අම්මට දීලා ගියේ..අද හවස අම්මා තාත්තට කිව්වා...කේන්දර බලන්න උවමනා නෑ මේ වැඩේ අත ඇරලා දාමු කියලා. තාත්තත් ඒකට කැමතියි...කොල්ලා කෙල්ලට වඩා වැඩිමල් වෙන්න ඕනෙ කියලා ඒගොල්ලො බොහොම තදට කියනවා.

මාස 3 ප්‍රශ්නෙ ඔයාටත් ප්‍රශ්නයක්ද ? මම ඇගෙන් විමසුවා.

මට ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් මගේ අම්මටයි තාත්තටයි ඒක සෑහෙන ප්‍රශ්නයක්. ඒ අය එක්ක තර්ක කරන්න මම කැමති නෑ. මම ඔයාට වේලාසනම කිව්ව දේවල් මතකයි නේද ?

ඔව්...

මගේ කැමැත්ත ඉල්ලලා මට ආයෙ කරදර කරන්න එපා. මම ඔයාට තමයි ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම කොල්ලෙක්ට කියලා ආදරේ කලේ....ඒත් මට දැන් අමාරුවෙන් හරි ඒක අමතක කරන්න වෙලා.

මම දන්නවා...ඔයා එහෙම කරන්න. මම පොරොන්දු වෙච්ච විදියටම ආයෙ මේ ගැන ඔයා එක්ක කථා කරන්නෙ නැතුව ඉන්නම්.

මා එක්ක තරහද ?

අපොයි නෑ...හමුවෙනවා...වෙන්වෙනවා...ඒක තමයි ස්වභාවය...සිහින මාළිගා සුනු විසුනු වෙලා කඩා වැටෙන වෙලාවෙ හිත අමාරුවෙන් ඉහළට ඔසවාගෙන මම ඇයට පිළිතුරු දුන්නා.

එහෙනං ඔයාට සුභම සුභ අනාගතයක් මම ප්‍රාර්ථනා කරනවා...මට වඩා හොද කෙනෙක් දවසක ඔයාට ලැබේවි.

මමත් ඔයාට කරුණාවන්ත නර්ස් නෝනා කෙනෙක් වෙන්නත්...ජීවිතේ ලස්සන වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. ඇගේ ඉකි බිදුම කෙමෙන් වැඩි වෙද්දි මම දුරකථනය විසන්දි කලා. මගේ නෙත් කෙවෙනි තුල ගුලි වෙන්න ඉඩ නැති තැන කදුලු බින්දුවක් දෙකක් එළියට පනින්න පොර කනවා..

තවත් මොහොතකින් මම මිත්තරයො මැද, ප්‍රිය සාදයක් අභිමුව.

උන් හරිම ප්‍රීතියෙන්...තම තමන්ගෙ මේ වසරෙ ඉටුකරගත් බලාපොරොත්තු ගැන කථාව...මගේ කථාව මම කාටවත් කිව්වෙ නෑ.

එක්වරම හතර අතින් රතිඥ්ඤා හඩ වාතලයට මුසු උනා...ආසන්නයේ තියෙන ක්‍රිස්තියානි පල්ලියෙ ඝණ්ටාරයේ හඩත් ඊට එකතු වෙලා. රෑ 12 පූජාවෙ හඩ යන්තමින් ඇහෙනවා. අපේ කොල්ලො එකිනෙකාව වැළද ගනිමින් සුභ නව වසරකට ආසිරි එකතු කලා. පරණ අවුරුද්දෙ අදුරු මතකයන් නව අවුරුද්දෙ හිතින් අයින් කරගෙන ජීවිතය ජය ගන්නවා කියලා ඒ අතර තුර මමත් තරයේ අධිෂ්ඨාන කර ගත්තා.‍

මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

මගේ මිත්තරයා නගා සහ එරන්දිකා ආදර සබදතාව දෙදරා ගියාට පස්සෙ මේ කථාවෙදි කියවුන දැරිවියො හැමෝම තම තමන්ගෙ විවාහයන් එක්ක අපෙන් ඈත් වුනා. සියල්ලන්ම සුහදව සිටි ඒ අතීතය මතක් වෙන වාරයක් පාසා සිහින් රිදුමක් දැනෙනවා.

මා එක්ක තනියට ගිය පුෂ්පයත් විවාහයෙන් පස්සෙ බිරිද සමග දැන් වෙනත් රටක වෙසෙන්නෙ.

මේ සිදුවීමෙන් පස්සෙ එකම එක වරක් හදිසියේ ඇය මට ගම්පහ නගරයේදි මුණ ගැසුනා. එදා ඇය මා දෙසා බලා සිට සිනාවකින් සංග්‍රහ කර ඉවතට දිව ගියා.

නැවත වරක් කිසියම් දිනක ඇය මට මුණ ගැසේවි. ඒ රෝහලකදී වෙන්නටත් පුලුවන්.

සීදූව පල්ලිය හන්දියේදී බයිසිමොටෝවෙන් කරණම් ගසා කටට යටින් මැහුම් 5 ක් දමාගත් හිතවත් බ්ලොග් සහෘදයා Chami4U වෙත ඉක්මන් සුවය පතමි.

128 comments:

  1. දුක හිතෙන කතාවක්. ඇත්තක් ම නම් තවත් දුකයි. ඒත් ජීවිතය එහෙම තමයි. අපි හිතන පතන අය අපිත් එක්ක ඉන්නේ කලාතුරකින්. ගෑනු ලමයෙක්ගේ හිත ඒ තරම් දැඩි තීරනයක ඉන්නවා කියන එකත් එක අතකින් පුදුමයි..

    ReplyDelete
    Replies
    1. කුමාරිහාමි කාලෙකින් දැක්කෙ...මේක මම ලබපු සත්‍ය අත්දැකීමක්...අපි හිතන දේම වෙනවා නම් කාටවත් දුකක් කියලා දෙයක් දැනෙන්නෙ නැතුව යයි. දුක සතුට දෙකටම තමයි අපි ජීවිතය කියලා කියන්නෙ....පොරොන්දුවක් උනාම ඒක රකින්න එපායැ...ඒ නිසාම මමත් ආයෙත් කරදර කරන්න ගියේ නෑ...

      Delete
  2. oyata samana kathawak mage yaluwekutat una sira ayye. Mage yaluwat bohoma hitha honda kolla. Eyat yalu une training nurse kenek ekka. Hebey me kathawedit ganu lamaya pirimi lamayata wada wadimal. Denna bohoma adaren hitiya. At me wayasa prashne kollage gedarin danagena akamaty une. Jeewithe ohoma thama sira ayya. Mama sira ayyage blog eka godak kal idan kiyawanawa. Bohoma honda blog ekak. Comment karan nette mama 4n eken balana nisa comment karanda hena gemak denda ona! Sira ayyage baba ketu kena lagadima hambawey! Jaya wewa sira ayye!
    ManojND

    ReplyDelete
    Replies
    1. මනෝජ් මල්ලිගෙ කමෙන්ටුව මට සෑහෙන ශක්තියක්...ඔවැනි හෘදයාංගම අදහස් තමයි තව දුරටත් බ්ලොග් කරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය දෙන්නෙ.

      බලාගෙන ගියාම පුරුදුවෙන නර්ස්ලා ඔක්කොම සැට් වෙන එකාට වඩා වැඩිමල්ද මන්දා...ඔය මතවාදය දරන අයගෙ ඒ අදහස් වෙනස් කරන්න උත්සාහ කරනවට වඩා හොදයි ඒ ගැන කථා නොකර ඉන්න එක...

      Delete
  3. ඈ බං සිරා අයියේ.. සත්තයි කියපන්! මේ ඇත්ත කතාවක් නේද?
    වැදුනා කියන්නේ හොඳටම වැදුනා. උම්බටනම් මාස තුනයි නේ. මට අවුරුද්දකටත් පොඩ්ඩක් වැඩියි! ඔන්න ඔහොමයි උනේ!
    කුමක් කරමුද ඉතිං....

    ReplyDelete
    Replies
    1. අඩේ අප්පා නාඩියා ලැම්බට් කොක්කක්ද ගැහුවෙ...ඔය වගේ කැලණිය කැම්පස් එකේ ලැම්බට් වෙච්ච එකෙක් අපේ පැත්තෙ බැදලා ඔය හොද සන්තෝෂෙන් ඉන්නෙ...නාඩියගෙ වැඩෙත් කෙළවෙච්ච හැඩයි...මුලිච්චි වෙච්ච වෙලාවක අපි දුක බෙදා ගමු මලේ...

      Delete
    2. හ්ම්ම් හ්ම්ම්... කොක්කක් මත නෙවෙයි.අනිවා කියන්නම්කො විස්තරේ....

      Delete
  4. මේක නම් සිරාට වෙච්ච දෙයක්...:D

    හපොයි මම හිතුවේ චමීට කවුරු හරි හොම්බට ඇනලා කියලා හී හී...නෑ නෑ පව්. පව්. ඉක්මන් සුවය පතනවා...

    ReplyDelete
    Replies
    1. මට වෙච්ච දෙයක් නේන්නම්...ඒකනෙ මම අනිත් අයගෙ නම් ගම් පාවිච්චියක් නැතුව මගේ නමම යොදලා ලිව්වෙ....

      චමියගෙ ඇහේ පොට ගිහිල්ලලු ලදුන් දිහාම බලලා...වංගු කෙලින් වෙලාලු පේන්නෙ...ඒකයි අවුල...

      Delete
  5. ඔව්වා ඔහොම තමයි බං හරි වෙලාව එන්නේ හිනෙන්වත් හිතන්නැති වෙලාවට ජය වේවා....!!!

    ReplyDelete
    Replies
    1. ඒ කථාව ඔය විදිහටම තමයි මමත් හිතන්නෙ...හිතන්නෙ නැති වෙලාවක මුලිච්චි වෙන්නෙ නැතෙයි...

      Delete
  6. තාමත් ඒ වගේ මිනිස්සු ඉන්නවා ඒ කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද...කොච්චර නම් ඉන්නවද ?

      Delete
  7. දෙදෙනාටම මගේ ප්‍රණාමය.......! අද වෙන කෙකුගේ කතාවකනම් වෙන දේවල් දන්නවනේ......!
    චමියාට ඉක්මන් සුවය පතමි.

    ReplyDelete
    Replies
    1. පොරොන්දුවක් උනා නම් ඒක රකින්න එපෑ...මම යමක් පොරොන්දු වෙන්නෙ හොදට හිතලා බලලා...මෙතැනදිත් ඉතිං ඒ ආකාරයටම කටයුතු කොලා...

      Delete
  8. මොන මගුලක්ද බං අක්කා කසාද ඔය යස අගේට තියෙන්නේ..

    ප්‍රතිචාර ටික කියවල බලහං.. හැක්..
    http://deshakaya.blogspot.com/2013/08/blog-post_15.html

    ReplyDelete
    Replies
    1. දේශකයත් ලැම්බට් ද එතකොට?

      Delete
  9. හැම අදුරු වලාවකම රිදිරෙකාවක් ඇත..... අපරාදේ මොනවා උනත් උබ කතාබහ කරන එක නැවැත්තුවේ..... ලව් බැරිනම් ෆ්‍රෙන්ඩ්ෂිප් කියල තව ටික කාලයක අල්ලන් හිටියනම් ආයෙත් ට්‍රැක් එකට දාගන්න තිබ්බා ..... කොහෙද ඉතින් ඒ කලේ අපිවගේ දුර පෙන කෂ්ටියව උබ දන්නේ නැනේ

    ReplyDelete
    Replies
    1. මම ඉතිං පොරොන්දුවක් උනොත් රකින මිනිහා නොවැ...අන්න ඒ නිසා ආයෙත් කන් කෙදිරි ගාන්න මට හිත දුන්නෙ නෑ...නැත්නම් සිරා අත අරී....මට රාළෙ ලග දුර දෙකම පේනවා...මැද හරිය තමයි පේන්නෙ නැත්තෙ...

      Delete
  10. සිරා,
    කතාවේ 99% දෙනාව දන්නවා සහ උඹ මගේ කතාවත් දන්නවා. මගේ කතාවේ ඔයිට වඩා පොඩ්ඩක් වෙනස්. (අවුරුදු 4ක අතීතයක් එක මාසයකින් එයා වහල දැම්මා) සමහර දෙමව්පියෝ කරන දෙවල් නිසා දරුවෝ ජීවිත කාලයම දුක් විදිනවා.

    හැමෝත් එක්කම හිනාවෙලා හිටියාත් , ජිවිතයේ මොනව තිබුනත් හැම වෙලාවෙම හිතින් දුක් වෙනවා.
    ඇත්ත කතාව අපි අතීතය අමතක කරනවා නෙමෙයි අපි ඒක විද දරගෙන ජීවත් වෙන්න පුරුදු වෙනව.

    අපි ආදරය කරන ගොඩාක් අය අපිව දාලා යනවා.... ඒ ඇයි කියලා අහන කොට ගොඩාක් හේතු කියනවා...එත් ඒ හේතූ ගොඩක් අතරේ ඉන්න ඔනේ කියන එක හේතුවක් තියෙන්නේම නැතිද​...

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා මයික්...තමන්ට ආදරය නැති කෙනෙක් බලෙන් නවත්තගන්න උත්සාහ කරන එකේ කිසිම ප්‍රයෝජනයක් නෑ...උඹට නැති වුනේ උඹට ආදරය නැති කෙනෙක්...ඒත් එයාට නැති වුනේ එයාට ආදරය කරන කෙනෙක්...එතකොට පාඩු වෙලා තියෙන්නෙ කාටද කියන එක පැහැදිලියිනෙ....සුභවාදීව ඉදිරිය බලමු...ආයෙ වරදින එකක් නෑ.

      Delete
    2. \\\\(අවුරුදු 4ක අතීතයක් එක මාසයකින් එයා වහල දැම්මා) \\\

      මචන් සිරා මම පෝස්ට් එක හරියට බැලුවේ නැහැ..හේතුව දන්නවනේ... කමෙන්ට් ටික හරි කියවනවා කියලා හිතන් එද්දියි මයික් කියපු දේ දැක්කේ.. මන් මෙහෙමම මාරු වෙනවා සිරෝ...

      මේවට කියන්න දේවල් නැහැ...

      Delete
    3. මේ කථා කියවද්දි සහන්ගෙත් පරණ තුවාල පෑරෙන බව මම දන්නවා...ආදරය කියන අකුරු හතර කොච්චර බලගතුද කියලා තමයි එතකොට හිතෙන්නෙ...

      Delete
    4. සහන්,

      කියන්න දෙවල් නෑ තමයි.... ඇත්ත කතාව ....අපි අතීතය අමතක කරනවා නෙමෙයි අපි ඒක විද දරගෙන ජීවත් වෙන්න පුරුදු වෙනව..

      සිරා කියපු කතාව ඇත්ත​.... හිත හදාගන්න බලන්න​.. මම කියන්නේ නෑ අමතක කරන්න කියල​.. මම ඒ වෙදනාව අත් විදින සහ විදපු කෙනෙක් නිසා.. එත් තමගේ ජීවිතය නිකන් නාස්ති කරගන්න එපා වටිනා කමක් නැති මිනිස්සු නිසා

      මම
      මයික්

      Delete
  11. හාපෝ ඒක වත් හරිගියා නං අද අපි කනක් ඇහිල ඉන්නව...හි හි...

    මට නං කියන්න තියෙන්නෙ මේක හරි නොගිය එක උඹේ වාසනාව කියලා සිරෝ... මොකද තමන්ගේ ජීවිතේ වැදගත්ම තීරණයක් ස්වාධීනව ගන්න පණ නැති කෙල්ලෙක් බැඳගත්තනං උඹට අදටත් වෙන්නෙ එයාගේ අම්මල කියන කියන දේ කර කර ඉන්න... කෙනෙක් බඳින්න ඕනෙ තමන්ට ඕනෙ කෙනා මිසක් අම්මලට ඕනෙ කෙනෙක් නෙවෙයි.. මොකද මේ ජීවිතේ අපේ.. අම්මල‌ට ඕනෙ වෙලාවට අපිව ගෙන්නන්න හැදුවට අපි එන්නෙ අපිට ඕනෙ වෙලාවට... අපි එන්නෙ නැකත් බලලා නෙවෙයි නේ.. ඒ වගේම තමයි.. තමන්ගේ ජීවිතේ ගැන තීරණය ගන්න සහ ඒ තීරණට අරගෙන ඉදිරියට ජීවත් වෙන එකේ වගකීම තියෙන්නෙ තමන්ගෙ අතේ.. ඒ වගකීම කේන්දර වලට වත්, අම්මලා තාත්තලට වත් පවරලා අපිට අත හෝදගන්න බෑ.. මෙතන මේ කෙල්ලට වෙලා තියෙන්නෙ ඒක.. තීරණයක් ගන්න සහ ඒ තීරණයේ ප්‍රතිඵල වලට වගකීම ගන්න බැරි කම... නැතුව ඔතන තියෙන්නෙ අම්මලා තාත්තලට තියෙන ආදරේ නෙවෙයි...

    චමියටත් වෙන්නෙ පිස්සු වැඩ.. මූ බයිසිකලේ සර්කස් පෙන්නන්න යනවද මන්ද... හි හි

    ReplyDelete
    Replies
    1. දාන්න හිරු ඇන්ටි 5ක්. ඔයා වගේ හිතන අය හරි අඩුයි.

      Delete
    2. ඉතාම කලාතුරකින් වෙන දෙයක් වුනත් මම හිරුත් එක්ක එකඟ වෙනවා.

      උඹ දන්නවද මගේයි දීපගෙයි කතාව?


      මුලින්මඅපි පරමාදර්ශී චරිත නෙවෙයි කියලා ඩිස්ක්ලේක්මර් එක දාන්න ඕනෙ. මේ උඹලට පිළිපදින්න නෙමෙයි. අපි කරපු හැටි විතරයි.

      මෙන්න ගෙවල් වලින් අහන්න කලින් අවසාන තීරණය.

      'අපි ගෙවල් දෙකෙන්ම අහනවා. හා කියන්න පුලුවන් බෑ කියන්න පුලුවන්. හා කියයි කියලා අපි මුළු හදින්ම පතනවා නමුත් බෑ කිව්වොත් ඔයා මොකද කරන්නේ?'

      'ඔයා මොකද කරන්නේ?'

      'අපි අහනවා.'

      'හා කිව්වොත් ප්‍රශ්ණයක් නෑනේ. දෙමාපිය ආශිර්වාදය මැද්දේ විවාහ වෙනවා.'

      'බෑ කිව්වොත්?'

      'බෑ කිව්වොත් කොහොම හරි කැමැත්ත ගන්න ට්‍රයි කරනවා.'

      'ඒත් බැරි වුනොත්?'

      'ඒත් බැරි වුනොත් කොහොමත් බඳිනවා.'

      'මමත් එහෙමයි.'

      ඔන්න ඔතෙන්ට ඇවිත් තමයි අපි ගෙවල් වලින් ඇහුවේ.

      ගෙවල් වලින් පැන්න ගමන් කැමති නොවුනත්, අන්තිමේදි කැමති වුනා.

      Delete
    3. eekath aththa thamai....

      Delete
    4. සහතික ඇත්ත හිරු. පිස්සු විකාර.

      Delete
    5. හිරු, දෙවෙනි වතාවටත් ශීර්ෂ ප්‍රණාමය...!

      Delete
    6. මමනම් කියන්නේ සිරෝ ඒ කෙල්ල හරි........... උබත් එක්ක කාලයක් තිස්සේ යාලු වෙලා ඉදලා පස්සේ අම්මල අකමැති නිසා ඕක නවත්තුවනම් උබට ඕක ඔයිට වඩා අමාරු වෙනවා ....... තමන්ගේ ජිවිතේ වැදගත්ම තීන්දුව අත්දැකීම් හා දරුවන් ගැන දරුවන්ට වඩා දන්නා දෙමව්පියන්ට බාරදෙන්න තරම් හොඳ දරුවෝ බිහිවෙන්නෙත් ඒ දෙමව්පියන්ගේ හොදකම නිසා තමයි .... අනික බලපන් උබව හොදට පිළිඅරගෙන ලස්සනට ඉන්ටව් කරලා තියෙන හැටි ....... වෙලා තියෙන දේ උබේ පැත්තෙන් දුකයි තමයි එත් එක උබට ගොඩ දාගන්න තිබ්බ මම අර උද කොමෙන්ටුවේ කියල තිබ්බ විදියට කරානම්....... සියල්ල සිදුවන්නේ යහපතටය දේවයන් වහමන්ස කියලා ඕනනම් කොන කපාගෙන ඉදපන් මැලිච්චියක් සැට් කරලා දෙන්න (විලු ඈ )

      Delete
    7. හිරුවගෙ කථාවෙ වැරැද්දක් නෑ...මම උනත් පුද්ගලිකව හිතන්නෙ හිරු හිතන විදියට තමයි...ඒත් මෙතැනදි නදීරගෙ වැරැද්දකුත් නෑ...මම මේ කථාවෙදි කියපු නැති බොහොම සංවේදී කාරණයක් නිසා තමයි ඇය දෙමාපියන්ගෙ තීරණයට එරෙහිව යන්නෙ නැත්තෙ...මම ඒ රහස්‍යභාවය රකින්න ඕනෙ නිසා ඒ කුමක්දැයි කියන්න අදහසක් නෑ...ඒ කාරණය හිරු දැනගෙන හිටියා නම් මේ කමෙන්ටුව මීට වඩා වෙනස් වෙයි කියලත් මම දන්නවා....අන්න ඒ නිසයි ඇගේ තීරණයට හිස නමලා මම නිහඩ උනේ තර්කයකින් තොරවම...මෙන්න මේ වගේ කමෙන්ටු තුලින් සංවාදය ඉදිරියට යද්දි තමයි ගති...හිරුවට තුති...සංවාදයට බදුන් වෙන ආකාරයේ කමෙන්ටුවක් කෙටුවට..

      අපේ හෙන්රි උපාසක තැනත් බොලේ සෙල්ලම් පොරක් නෙමෙයිනෙ...මට ඔය ඉන්න දිහාවටම ඇවිල්ලා උම්මා එකක් දීලා යන්න හිතෙනවා....එළ කොල්ලෙක්නෙ (අද නම් ඉතිං අන්කල්නෙ....මම කිව්වෙ ඒ කාලෙ)

      Delete
  12. සාම්ප්‍රදායික චින්තනය අප තුළ තිබෙනතුරු, ඒ චින්තනය අපේ පරපුර පාලනය කරනතුරු, මෙවැනි සිදුවීම් තවමත් දකින්නට ලැබෙනවා. ඉදිරියේදීත් දකින්නට ලැබෙයි. සිරා, මම මගේ රහසක් (ඇත්තටම එය රහසක් වියයුතු නැහැ) බෙදාගන්නම්. මගේ බිරිඳ මට වඩා වැඩිමල්. නමුත් දැනට වසර 32 ක් වන අපේ විවාහ ජීවිතයට එය කිසිදු ආකාරයකින් ප්‍රශ්නයක් වී නැහැ.

    ReplyDelete
    Replies
    1. මහත්මයා, ඔබ ගැන ආඩම්බරයි බ්ලොග් ලියන්නෙක් ලෙස

      Delete
    2. විචාරක.......මෙය කිසිලෙසකින්වත් රහසක් විය යුතු දෙයක් නොවේ. මම ඔබට ගරු කරමි.

      Delete
    3. මාස 3 කියන්නෙ සැලකිය යුතු දෙයක්ද......එදිරිවීර සරත්චන්ද්‍ර- ලලිතා / ලෙස්ටර් - සුමිත්‍රා මේ අයගෙ වයස් පරතරය අවුරුදු 30 කට කිට්ටුයි...එහෙම කියලා ඒ අය පවුල් කෑවෙ නැද්ද...වයස පරතරය පිළිබද මම නම් ගතානුගතික විදියට හිතන්නෙ නෑ...ඒත් මෙතැනදි වෙච්ච පොරොන්දුව රකින එක තමයි මම කලේ...

      විචාරක තුමාගෙ විවාහ ජීවිතය තවත් ලස්සන වෙන්නට පතනවා...

      Delete
  13. සිරෝ... උබනම් නියම ඩයල් එකක්... උබේ හිත ශක්තිමත්.... ඔහොම තමයි ජීවිතේ... කට්ටියකට හරි යනවා.. කට්ටියකට වරදිනවා (සමාවෙන්න හරි යන්නෙ නෑ)... එහෙමයි ජීවිතේ කියන්නෙ... යාලුවො බැන්දම වෙනස් වෙනව මචන්... 99%ක් එහෙමයි... ඒක ලෝක ස්ව්භාවය.. ඒක එයාලගෙ පවුල් ජීවිතය හදා ගන්න කරන කැප කිරීමක්... මටත් එහෙමයි මචං... යාලුවො බැන්ද...තව මාස ගානක් කතා කරාවි.... ඊට පස්සෙ නෑ... දැක්කහම කතා කරාවි...

    අපිත් එහෙමයි.... ඒ වෙනස් කරන්න අමාරුයි මචන්....

    ReplyDelete
    Replies
    1. බැන්දට පස්සෙ ඉතිං ඉස්සර තරම් නිදහසක් නෑ නොවැ...ඒකනෙ බදිනවා කියන වචනයේ අර්ථයත්...ඉස්සර වගේ නොවුනත් හැකි විටක හරි බැන්දට පස්සෙත් ඒ යාලුකම පවත්වාගන්න එක තමා වැදගත්...

      දුක නිසාම තමයි අපිට සතුට කියන වචනයේ වෙනසක් තියෙන්නෙ...

      Delete
  14. අස්ථිර වූ ස්ත්‍රී චින්තනය තුළ ස්ථිර මොකද්ද එකක් කල හැකි නම් පුත්තලමේද ගෝවා වගා කල හැක කියන්නේ කට කහනවට නෙමේනේ... ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. පුත්තලම කාර්ගිල්ස් එකේ විකුණන ගෝවා එහෙ වවපු ඒවා නෙමෙයිද බන්....මම හිතාගෙන හිටියෙ එහෙ වවපුවා කියලා...රාජ සම්පත්ම ලැබේවා...

      Delete
  15. ඔය වගේ වයසේ ප්‍රශ්නයක් නිසා ආදරයක් නතර වෙන තැනට වැඩ සිද්ද වෙනවා කියන එකනම් හරිම ඛේදනීයයි.. ඔය වගේ ප්‍රශ්නයක් මටත් ඇති වෙන්න තිබුනා එත් අපේ දෙමාපියන් උබේ කතාවේ දෙමාපියන් විදියට නොහිතපු නිසා එහෙමවුනේ නැහැ .., උබට කියන්න මගේ යාලුවෙක් බැදලා ඉන්නවා අවුරුදු විසි එකේදී බැන්දේ බිරිදට එතකොට අවුරුදු විසි නවයක් අවුරුදු අටකින් බිරිද වැඩිමල් දැන් බැදලා අවුරුදු දහයක් කිසිම ගැටලුවක් නැතුව දරුමල්ලෝ හදාගෙන සතුටින් ඉන්නවා... එහෙම බලනකොට මාසයක් දෙකක් කියන්නේ මොකක්ද නෙහ්../ තේරුම් ගැනීම තමයි වැදගත්..

    (මගේ කරනම් ගැසීම මතක් කලාට ස්තුතීයි සිරා.. මොනවා කරන්නද මචංලා මට මේ දවස්වල සෙනසුරු ලබලලු .. වැටෙනවා කැඩෙනවා බිදෙනවා .. ඊලගට ලබන්නේ සිකුරුලු එතකන් ඉවසන් ඉන්නවා ..:D)

    ReplyDelete
    Replies
    1. අඩේ උඹට ඉක්මනින් හොඳ වේවා කියල ප්‍රාර්ථනා කරනව.
      (දන්නවද හෙනහුරා ඉන්න කාලය?????)

      Delete
    2. චමියාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.

      Delete
    3. චමී උඹට ඉක්මන් සුව පතනවා. හොම්බ කඩාගත් පසුව FB එකේ ෆෝටෝ එකක් දාලා තිබ්බා මම දැක්කද කොහෙද.

      Delete
    4. ඔයාට ඉක්මන් සුව පතනවා චමී

      Delete
    5. ඇත්ත මචං...මේ වගේ තේරුමක් නැති දේවල එල්ලිලා ඉන්න පිරිස සමාජයේ විකාශනයත් සමග ඉදිරියේදී ක්‍රමිකව නැති වේවි....

      Delete
    6. චමියට හොද වැඩේ

      Delete
    7. ඉක්මනට හොද වෙවා

      Delete
    8. පේනවනෙ චමියො...උඹ මල්වත්තෙ ගෙට්ටුව දවසෙ අටමගෙ ගෙදර ගිහිල්ලා කරපු වැඩ වල තරහා තාමත් අටමට තියෙනවා වගේ...

      Delete
  16. මෙක සිර නෙද බන්...
    ඈත්තටම දුකයි බන්.....
    උබට මාස 3යි.මට අවුරුදු 2 1/2යි..
    එයාට ගෑටලුවක් නොවුන වයස වෙන අයට ගෑටලුවක් උනානේ බන්...

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද සුදෝ...බලාගෙන ගියාම බොලං..හැමෝම අක්කලාටම නොවැ ලව් කරලා තියෙන්නෙ...මොකක්ද රහස...

      Delete
  17. //බහුරූප කෝලම් ඇති සමාජයක පොළවේ පය ගහලා ඉන්න කෙල්ලෙක් මුලිච්චි වීමේ ප්‍රීතිය මම එදා අත්වින්දා//
    මොන පිස්සුද බං. පොලවේ පය ගහල ඉන්නව කියන එකේ තේරුම උඹ දන්නවද?

    ReplyDelete
    Replies
    1. මේ කිව්ව කෙල්ල අනිත් කෙල්ලො වගේ බොරු සෝබන නෑ...බොහොම චාම්...වැඩි වැඩ නෑ...ගෙදරට මාර ලැදියි...ඒ නිසා තමයි මගේ හිත ගත්තෙ...එවැනි කාරණා නිසා තමයි පොළවෙ පයගහලා කියන වදන යෙදුවෙ...

      Delete
  18. " අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ..
    එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියොවක් නෑ.. "

    මේක සිරාටම වෙච්ච සිරා සීන් එකක් නේද ???

    ReplyDelete
    Replies
    1. සිරාම සීන් එකක් තමයි..සිරා ලග ඔය බොරුව නෑනෙ...

      මේ වගේ අතීත සැමරුම් වලට කදිමෙටම ගැලපෙන ගීතය තමයි පල්ලේගම හේමරතන හිමි ලියපු ඔය සින්දුව...එහි අර්ථයම තමයි බුදුන් වහන්සේ වසර 2600 කට පෙර අපට ඉගැන්වූවෙ...සෑම හමුවීමකම වෙන්වීමක් ඇත.

      Delete
  19. haffoyi mam beela hiti welaawaka patalila thamayi palaweni eke comment karala thiyenne samawa e gana ayadinawa mehemayi sira ayiye oya kendara wayasa kulaya wage dewal hari moda katha tharaha wenna epa owwa kawadawath kasadekadi moolika wenna honda naha

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මලේ...දෙන්නගෙ විශ්වාසය. ආදරය වගේ සාධක තමයි වඩාත් වැදගත් විය යුත්තෙ...ඒත් දෙමාපියන්ගෙන් කීයෙන් කී දෙනාද ඒවා ගැන අවධානය යොමු කරන්නෙ...

      Delete
  20. මල්ලියේ මටත් කඳුලක් ආවා. මේ වගේ දෙකකටම මමත් ට්‍රයි කළා. ඒත් ඒ දෙන්නා කැමති වුණේ නෑ. මොනවා කරන්නද? අපි වගේ පොඩි කොල්ලෙක් සෙට් කර ගන්න උන්ට පිණ නෑ. එච්චරයි.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම හැමෝටම මේ වගේ අත්දැකීමක් දෙකක් තියෙනවා නොවැ...මම හිතුවෙ නෑ මේ අත්දැකීම මෙතරම් සුලභයි කියලා...උන්ට පින නෑ...එහෙම හිතලා හිත හදාගමු ලොකු අයියෙ...

      Delete
  21. අම්මෝ! නූලෙන් බේරුණා කියලා හිතාගනින් අයියේ......!

    මොලේ පාවිච්චි කරලා කෙලින් තීරණයක් ගන්න බැරි රොබෝට් කෙල්ලෙක් ගැලවුන එක පූරුවේ කරපු පිනක් හින්දා වෙච්ච දෙයක්!

    කරුමෙට හරි නදීරව බැන්දයි කියමුකෝ....!

    අර අහවල් ජීව් විද්‍යාත්මක කාර්යය කරන්නත් අම්මා අප්පගෙන් අහන්න ඕනේ කිව්වොත් මොකද කරන්නේ......??

    පසුව මතක් වී ලියමි:- අපේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂන සිහිනයට මොකද වෙන්නේ?? (සතිශ් අයියත් වැඩේට කැමතියි ලු. සූරියයි,ව් හසන්තයයි රෙඩි පිට ඉන්නේ.) තවත් ආදර කතා තිබේ ද?

    ReplyDelete
    Replies
    1. මම හිරුවට දුන්න උත්තරේ බලහං මලේ... අන්න ඒකයි කාරණේ...කෙල්ල හොද ෆෝවඩ්...ඒ උනාට අර කියන්න බැරි කාරණේ නිසා දෙමාපියන්ට පිටින් යන්නෙ නෑ...ඒක බොහොම සංවේදී සිදුවීමක්....ඒ අත්දැකීම මට තිබුනා නම් මමත් එහෙම තීරණයක් ගනීවි...

      සහාය අධ්‍යක්ෂකට අපි කාවද ගන්නෙ...මට හිතෙනවා හෙන්රි අයියා හරි දේශකව හරි ගන්න...සහාය නිලියට දේශිකාව ගමු.එතකොට ලයිට් අල්ලන වැඩ...ලයිට් නිමලා අල්ලන වැඩ...තේ බෙදන හදන වැඩ වගේ දේවලට තව සැට් එකක් එපායැ...උන් ටිකත් හොයාගෙන ගේමට බහිමු...

      Delete
    2. අඩේයප්පා! දැන්නේ සීන් එක දැක්කේ!

      ඕනෑම ප්‍රශ්නෙක දෙපැත්තක් තියෙනවා නේන්නම්!
      (එකක් අපේ පැත්ත, අනික හරි පැත්ත.)

      * අම්මට උඩු! දැන්නෙ බොලේ ඒක මතක් උනේ.....! කෙප්ප ජැකාට තව පුතෙක් හිටියා නම්., පොරව වැඩේට ගන්න තිබුණා. හෙනරි අයියගෙයි, දේශක අයියගෙයියි චාජස් කොහොම ද දන්නැහැ! (කීය ගියත් කමක් නෑ. ගෙවන්නේ සතිශ් උන්නැහෙ නේ. :D)
      කවුද දේශිකා කියන්නේ? නිලි රැජිනගෙ ඥාති දියණියක් ද??
      :D
      නිමල් අයියා ලයිට් අල්ලන වැඩේ ලෙසටම කරයි නේ?

      තේ බෙදන වැඩේට ඇනෝ පැටවු ටිකක් ගමු!

      Delete
    3. දේශිකා කියන්නෙ දේශකයා කට්ට කාලා සෑහෙන ගානක් අතින් වියදම් කරගෙන ජීවන සහකාරිය කොරගත්තු තැනැත්තිය...

      Delete
  22. විරහ වේදනාවත් ජීවිත කාලය තුල විඳින්න ලැබෙන දෙයක් නිසා සිරා ඒක සතුටින් බාරගත්ත එක ගැන ආඩම්බරයි..

    ReplyDelete
    Replies
    1. විරහව තුල තියෙන රසය මම හොදට විදලා තියෙනවා...ඒක හරිම රහයි ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරගෙන පැත්තකට උනාම...කාටවත් වෛරයක් නෑ...අතීතය පිළිබද සතුටක් මිසක්...

      Delete
  23. සිරා උඹ විතරයි තවම තනියම ඉන්නෙ බොලගේ සෙට් එකෙන් මට පේන හැටියට,කොහොමත් මඩේ හිටවපු ඉන්නක් වගේ හිටපු කෙල්ලෙකුගෙන් සමුගත්තු එකත් හොඳයි.
    චමීට ඉක්මන් සුව පතමි.

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ...අපේ සැට් එක තිහ පැනලත් තාම එකයි දෙන්නයි බැදලා තියෙන්නෙ...හැමෝම තනිකමට සමු දෙන්න කැමතිම නැති හැඩයි. හෙට අලුත් දවසක් කියලා හිත හදාගෙන ඉන්නවා ඉතිං...මක්ක කරන්නද..

      Delete
  24. එල කතාව.
    ජොබ හරියට සෙට් වේගන එද්දී මගුල් මාන්දම ටිකක් පැත්තකට දාපං.
    අර මාතලන් කිව්ව වගේ ඉස්සෙල්ල සල්ලි කාරයෙක් වෙයන්.
    මමත් මගුල් දැන්වීමක් දැම්ම.
    චමියට ඉක්මන් සුවය.
    මමත් ඒ කාලේ 18 ට සැරයක්ම අනතුරු කොර ගත්ත.

    ReplyDelete
    Replies
    1. උඹලා කියන විදියට බදින්න බලාගෙන හිටියොත් හැරමිටියත් අතේ අරගෙන තමයි පෝරුවට නගින්න වෙන්නෙ...දැන් දශක් තුනත් පැන්නා...සල්ලි කාරයෙක් වෙන්න ට්‍රයි කොරනවට වඩා නරකද වරදට සමාව, නැත්නම් එක් දරු මවක වගේ සල්ලි තියෙන තැනැත්තියක් බදින එක..මක්කැයි කියන්නෙ...

      Delete
  25. හරි නොයන වෙදකමට කෝඳුරුතෙල් හත්පට්ටයක් ඕනෙළු.. පටං ගන්නකොටම් කොන්දේසි දාගෙන එන අය යන්නෙත් ඔහොමයි..

    ReplyDelete
    Replies
    1. අපොයි කොන්දේසි දාගෙන කොහෙ ජීවත් වෙන්නද ? ඊට වඩා හොදයි නොබැද ඉන්න එක...බැදපු උන්ටත් ජීවිතේ එපා වෙන්නෙ ඔය අසීමිත නීති දැමිල්ලට ගිහිං තමා...

      Delete
  26. තමන්ට වඩා වැඩිමළු (වයසෙන්/ජේෂ්ඨත්වයෙන්) ගෑනුලමයෙක් එක්ක හාදවෙන්නාට වි/වි/ භාෂාවෙන් කියන්නේ “ලැම්බට්“ කියලායි.
    මාස තුනක් කියන්නේ මොකක්ද බං මිහිහෙක්ගේ ජීවිත කාලයත් එක්ක සසදනකොට.
    එහෙම බැළුවාම ඔය වයසක කට්ටිය හිස්මුදුනෙන් තියාගෙන කියවන උම්මග්ග ජාතනයේ මහෞෂධ පණ්ඩිතයොත් තඩි ලැම්බට් කෙනෙක් !

    ReplyDelete
    Replies
    1. ලැම්බට් පුරාණය අහලා දැන් ගොඩාක් කල් බන්...අපිත් ඔය කැලණිය කැම්පස් එකේ විශේෂයෙන් සයිබීරියාවෙ කරක් ගහන්න ගියා නොවැ...මහෞෂධ පණ්ඩිතයා ලැම්බට් කියලා අදමනෙ බොලේ දන්නෙ...දෙන්නට මල්බකට් කලේ නැද්ද දන්නෙ නෑ අනිත් පණ්ඩිතයො ටික ඒ කාලෙ...

      Delete
  27. මරු වාමාංශිකයො...!! ඔහොම උන්ගෙ 'වමට බර' ඇටේ විතරයි බං. ...

    ඇත්තම කියනව නම් වමට කෙලවුනේත් ඔය වගේ කේන්දර බලන මාක්සවාදියෝ හින්දමයි.

    හිරු කියන්න වගේම උඹ මාරකේකින් ගැලවුනා. බැරිවෙලාවත් වැඩේ හරිගියානම් කෙල්ලගෙ පවුලට කඹුරනව ට වඩා දෙයක් උඹට කරන්න වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. //ඇත්තම කියනව නම් වමට කෙලවුනේත් ඔය වගේ කේන්දර බලන මාක්සවාදියෝ හින්දමයි.//
      සම්පුර්ණයෙන් එකගයි.

      Delete
    2. /////මරු වාමාංශිකයො...!! ඔහොම උන්ගෙ 'වමට බර' ඇටේ විතරයි බං. ...

      ඇත්තම කියනව නම් වමට කෙලවුනේත් ඔය වගේ කේන්දර බලන මාක්සවාදියෝ හින්දමයි./////

      @සුමිත්.........සහතික ඇත්ත..වෙන කියන්න වචණ නැහැ.

      Delete
    3. //වමට බර' ඇටේ විතරයි බං. ...// අයියෝ මල් හතයි....බඩේ තියෙන බතුත් එළියට එනවා මේවා කියවලා හිනා යද්දි....ඇඩෙනවා සුමිත් අයියා පට්ට කමෙන්ටුව...මම නම් වමට බර උනේ කෙල්ලව දිනාගන්න...දැන් එක පැත්තකටවත් බර නැතුව තනි කෙලින්...

      Delete
    4. සුමිය ටෝක නම් ටෝක ලොක්කා.. මල් මසුරන් ඈ...
      පත්තර මල්ලි

      Delete
  28. හ්ම්ම්....

    දුක හිතුණා...ඔයා ගැන...

    හැබැයි ඔයාට එයාව නැති උනේ එයාට වඩා හොඳ කෙනෙක් ඔයාට ලැබෙන්න තියන නිසා වෙන්න ඇති සමහරවිට..

    ReplyDelete
    Replies
    1. එහෙම ලැබෙයිද කියලා නම් දන්නෙ නැතුවා...ඒත් මම හැමවිටම සුභ වාදීව අනාගතය ගැන හිතන එකෙක්...කවුද දන්නෙ දැන් ඉන්න රටෙන්ම එකක් සැට් වෙයිද කියලා...

      Delete
  29. සිරෝ,මටත් උඹේ හැගීම තේරුම් ගන්න පුළුවන් බං.
    ඔය වගේ වේලාව අර උගුර හිර වෙලා,කතා කරන්න බැරුව ඉන්න වෙන එක හරිම අමාරු අත්දැකීමක් තමයි බං.
    දුක් වෙන්න එපා උඹට හොද එකක් ඉක්මනට හරි යන්න කියා පතනවා මමත් බොක්කෙන්ම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බං...කාමරේ පැත්තෙ හැමදාම යන එන එකෙක් විදියට...සිරා කොලුවා ගැන යම් අවබෝධයක් දැන් බොට ඇති නොවැ...වචන වලින් තොරව හැගීම් වලින් අදහස් හුවමාරු කරන වෙලාවක දැනෙන දේ කවදාවත් අමතක වෙන්නෙ නැති මතකයක් බවට පස්සෙ කාලෙක පත්වෙනවා.

      Delete
  30. හරිම කනගාටුයි බං වැඩේට...ඔය ගොන්පාට් ආකල්පවලින් කවදා මිදෙන්නද?

    ReplyDelete
    Replies
    1. සමාජයෙන් දැන් ටිකෙන් ටික ඔය විකාර අදහස් අතු ගෑවෙමින් යන කාලයක් මේ...තව පරම්පරා දෙක තුනකින් පස්සෙ නැත්තටම නැති වේවි...

      Delete
  31. සිරා,
    මේ කතාවට මට ඇඬුනා. මගෙ comment 1 දිග වැඩිය්. මගෙ blog 1කේ post 1ක් විදිහටම ඉඩ ලැබුනු දවසක comment 1 දාන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ බොටත් මට වගේම අත්දැකීමක් තියෙනවා...ලියහං ලියහං...මමත් එන්නම් කියවන්න...ජය !

      Delete
    2. තිලිනයෝ උබේ බොගට කමෙන්ට් දාන්න හදනකොට එක එක ආරියාදු කොරනවා . මම අල්ලලා දාලා නිකා හිටියා

      Delete
    3. මොකද්ද අටමෝ අරියාදුව ???????
      මට තේරෙන්නෙ නැ‍තෝ........

      Delete
  32. මචං සිරා...මගේ කතාව ගැන කිව්වොත් පොතක් ලියත හැකි.මගේ බ්ලොග් එක හසරැල්ල වුනාට ජීවිතේ අඩුවෙන්ම මගේ ගාව තියෙන්නෙත් ඒකමයි.මම බ්ලොග් එක ලියන්නෙත් මගේ හිත එක අරමුණක රඳවාගන්න ඕන නිසා.වැඩට ගිහින් වැඩකරද්දී අවුලක් නෑ.ගෙදර ආවම තමයි පරණ මතක ඔක්කොම වෙස්වලාගෙන ඇවිත් දොර අස්සෙන් එබිකං කරන්නේ.....

    මම උඹේ වගේම හැම කෙනාගෙම බ්ලොග් ලිපි අත නෑර කියවනවා.ඒත් කොමෙන්ට් කරන්නේ කලාතුරකින්.හොඳේ...දිගටම ලියපන්..අපි කියවනවා...

    ReplyDelete
    Replies
    1. //පරණ මතක ඔක්කොම වෙස්වලාගෙන ඇවිත් දොර අස්සෙන් එබිකං කරන්නේ.....//

      කසාද බැන්දත් ඔය ගතිය ඇරෙන්නැ මලේ

      Delete
    2. ඔන්න අහගනින් .ඔය අයිය අත්දැකිමෙන් කියන්නෙ

      Delete
    3. අත්දැකීම් ඇති අටම් වගේ ඇත්තො ඔහොම කියද්දි හිතට ගනින් ඒ කියන දේවල්...

      Delete
  33. සිරා ලොක්ක ඕව ගණන් ගන්න එපා මොකද හැමදේම වෙන්නේ හොදට කියනවනේ.කොල්ලෙක් උනාම ඔයවගේ දේකටත් මුණදීල තියෙන්න ඕනෙ.එතකොට තමයි ගතිය.අපිටත් ඕව උනා.මොනවා කරන්නද අපිත් දරාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. සිරා සැලුනෙ නෑ බොලං...ඒ මතකයේ මිහිරි සුවය විදිමින් අදත් මේ යස අගේට ඉන්නෙ...ඔය වගේ අත්දැකීමක් දෙකක් තිබුනොත් තමා යටගියාව මෙනෙහි කරලා වින්දයක් ලබන්න හැකියාවක් ලැබෙන්නෙත්..

      Delete
  34. සිරායිය,
    අවුරුද්දකින් විතර කාමරේට ගොඩවුණේ. මුලින්ම කියෙවුවෙ බඩ පපුව දාල යන කතාවක්. ඒ කතාව මෙච්චරක් දැනෙන්නෙ ඒ සමාන අත්දැකීමක් මටත් තියෙන නිසා වෙන්නැති. සිරායිය, ඒ කාලෙ පත්තර කන්තෝරුවෙ නිදි මරන අතරෙදිවත් එළියට නාපු මේ කතා අහන්න ආයෙමත් හැන්දෑවක් එයි කියල හිතනව. සිරා කියන්නෙ මාර සුන්දර මනුස්සයෙක්. අපිට අවවාදයක් දුන්න සහෝදරයෙක්. ඒ හැගීම හැමදාමත් එහෙමමයි. ජය!
    ඉසුරු

    ReplyDelete
    Replies
    1. ඉසුරු මල්ලි මේ විදියට කාමරේ ඇතුලෙදි නැවත හමුවීම පිළිබද මටත් බොහොම සතුටුයි. සිරාගෙ ජීවිත කාලය තුල හමුවුන බොහොම සොදුරු චරිතයක් තමයි ඔබත්.....නිසැකවම යලිත් දවසක අපි හමුවේවි...ඒ සැදෑව සාහිත්‍යයෙන් සෞන්දර්යයෙන් අනූන බොහොම සොදුරු සැදෑවක් වේවි කියලා මට හිතෙනවා....ජය !

      Delete
  35. ඒ මළ හොන්තුවෙන් ගැලවෙච්ච එක ගැන සතුටු වෙයං , මෙලහකටත් අහු වෙච්ච එකාව හෝදනවා ඇති පරම්පරාවම එකතුවෙලා

    ReplyDelete
    Replies
    1. වර්තමාන තත්වය පිළිබද ආරංචියක් නෑ...ඒත් මට නදීරා එක්ක තරහකුත් නෑ...ඇත්තටම ආදරය කල හිතකින් කොහොමද බන් වෛර කරන්නෙ....

      Delete
    2. ප්‍රේමයයි වෛයිරයයි අතරේ වෙනස කෙස්ගසකට සමයි කියලා යමුනා විනෝදනිද කොහෙද කියුවා අමතකද උඹ‍ට

      Delete
  36. ඔය වගේ ගතානුගතික දෙමව්පියො ඉන්න පවුලකින් කෙල්ලෙක් ගේන එක උඹට ගැලපෙන්නෙ නෑ බොල. මිනිහ කෙල්ල ගෙනාවට කෙල්ලගෙ රිමෝට් එක තියෙන්නෙ දෙමව්පියන්ගෙ අතේ.

    තව ඔය වගේ හිතන එකක් තමයි කෙල්ලට වඩා කොල්ල උස වෙන්න ඕනියි කියන එක.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කථාව...ඔය උස ප්‍රශ්නය නිසා තමයි ඉස්සර මනමාලි ඉන්දවලා මගුල් ෆොටෝ එක ගත්තෙ...මගේ යාලුවෙක් හිටියා ඉස්කෝලෙ යන කාලෙ...මිනිහා තමන්ගෙ හිත ගත්ත කෙල්ලගෙන් යාලු වෙන්න අහන්න කලියෙන් දෙපාරක් තුන්පාරක් ලගින් ඇවිදලා බලනවා උස ගැලපෙනවද කියලා...ඊට පස්සෙ තමා ඉදිරි පියවර වලට යන්නෙ...

      Delete
  37. ඔයවගෙ තැනකදි කරන්න ඔන මෙන්න මෙකයි කියල පොදු උත්තරයක් නැ.එක කෙනේකුගෙන් කෙනෙකුට වෙනස් වෙනව.මොනව උනත් උබල දෙන්නම ප්‍රශ්නෙට මුනදිපු විදිය නියමයි.එක තමයි නියම මනුස්සකම.මටත් තියෙනව ඔයවගෙ අමතක කරන්න වෙච්ච කතාවක්.පුලුවන් උනොත් දවසක ලියල දාන්නම්.

    ReplyDelete
    Replies
    1. මම අටමටත් කිව්වෙ මම ඒකපාර්ශවීය ලෙස හෝ ආදරය කරපු හැම කෙල්ලෙක්ටම අවංකව හිතට එකගව ආදරය කලේ...ඒ නිසාම කවදාවත් උන් කෙරේ වෛරයක් මගේ හිතේ ඉපදිලා නෑ...

      Delete
  38. පොස්ටුව නම් එල මචෝ..

    ReplyDelete
  39. වයස ටිකක් වැඩි වුනාට ප්‍රේමය අතර මග ඇණ හිටිම කණගාටුයි. ඇත්තටම සාම්ප්‍රදායික ක්‍රම වලට හිතන්නෙ නැතුව දෙමව්පියෝ ඒ දැරිවිගෙ පැත්තෙන් හිතුවනම් හරි.

    ReplyDelete
    Replies
    1. අපි කොච්චර අද තාක්ෂණයෙන් දියුණුයි කිව්වත් උගත් යයි සම්මත මිනිසුන් අතරත් ඔවැනි මත දරනා අය තවමත් ඉන්නවා..

      Delete
  40. මමත් ගොඩක් දවසකින් මේ පැත්තට ආවේ. ප්‍රේමයේ අගම වෛරයත් එකට එකතු වෙලා තියෙනවා. ඒක තමයි මිනිස්කම..

    ReplyDelete
    Replies
    1. ඒත් හිතට එකගව අවංකව ආදරය කරපු කෙනෙක්ට කවදාවත් වෛර කරන්න බෑ...ඔබදිවි අරණේ පැතුම් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා කියලා අමරදේවයන්ගෙ ගීතයක සංඛේතාත්මකව ඉන්නෙත් ඒ වර්ගයේ පෙම්වතෙක්...

      Delete
    2. ධම්මික බන්ඩාර ලියපු හන්තානට පායන සඳ මට ඊටත් වඩා හිතට වැදුණා විෂය වෙනස් උනත්.

      Delete
  41. දුක අඳුනන්නෙ දුක තදින්ම විඳපු අය. ඒ නිසාමද මන්දා මේක කියවද්දි ඇහැට කඳුළක් ඉනුවෙ. උඹට ජයවේවා මචන්..!!

    ReplyDelete
    Replies
    1. ඇනෝ සහෝදරයටත් ජයම වේවා ! කදුලු වියැකුනු ලස්සන අනාගතයක් උදා වේවා !

      Delete
  42. shit maara aul scen ekane......

    ReplyDelete
    Replies
    1. ජීවිතය නම් දුක හා සතුටෙහි සම්මිශ්‍රණයකි...එය එසේ වන නිසාම අපි ජීවිතය සුන්දර යැයි කියමු.

      Delete
  43. හයියෝ මේකේ අනික් කෑල්ල මට හැලිලනේ.. සිරාවටම දුක හිතෙන කතාවක්. කලින් කොටහත් බලල එන්නං.

    ReplyDelete
    Replies
    1. හොදා හොදා....ඒ කොටසත් බලලා ආව නම්...

      Delete
  44. මේකෙ දෙතුන් පැත්තක් තියනවා අයියේ... සමහර වෙලාවට අම්මල දකින දේවල් හරි යනවා.. හැබැයි සමහර දෙමව්පියන් එයාලගේ මත වලම රැදිල ලමයගේ ජීවිතේ නාස්ති කරනවා.. මමත් කැමති නෑ මට වඩා බාල කෙනෙකුට..මගේ නංගි අවුරුදු 4ක් යාළු වෙලා හිටියේ එයාට වඩා අවුරුදු 2ක් බාල කෙනෙක් එක්ක... මුලදි අපි කිව්වට නැවැත්තුවේ නෑ.. පස්සේ පස්සේ එයාටම තේරුනා එයාට කොල්ල බලාගෙන ජීවත් වෙන්නයි වෙන්නෙ කියලා.. ඒත් සමහර පවුල් මම දැකලා තියනවා එහෙම වයස වැඩි වුනත් හොදට ජීවත් වෙන... මගේ ලොකු තාත්තා බැදපු ලොකු අම්මා අවුරුදු 5, 6 වැඩිමල්ලු... ඒත් මැරෙනකන් හොදට පවුල් ජීවිතේ ගෙනිච්චා..

    ReplyDelete
    Replies
    1. ඔතැනදි කාන්තාවට වයස වැඩි උනාම ඇය පිරිමියා පාලනය කරන්න ගෙදර නායකත්වය ගන්න හදනවා කියලා මතයක් තියෙනවා...ඒ නිසා වෙන්ට ඇති බහුතර දෙමව්පියො මෙවැනි අවස්ථාවක විරුද්ධ වෙන්නෙ...අනිත් කාරණේ පෙනුම...කාන්තාව 30 පැන්නට පෙනුම සීඝ්‍රයෙන් වෙනස් වෙනවා පිරිමියාට සාපේක්ෂව...ඒ නිසයි අතීතයේ අවුරුදු 5කටත් එහා වෙනසක් ඇතුව කසාද බැන්දුවෙ...ඇත්තම කථාව නම් තම තමන්ගේ සිතුම් පැතුම් ගැලපෙනවා නම්...දෙන්නට දෙන්නා අවංකව ආදරේ නම් අනිත් කාරණා කිසිවක් වැදගත් නෑ....

      Delete
  45. ade wayasa wadi ewn bandinna epa ban... coz 40 paninakota thamai therenna ganne ubalata.... miniha naaki unath fit eke innawa... gani sil reddath porogena pansal yanawa... ethakota ithin ubata wenne thawa gaaniyek ganna...

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත...ඇනෝගෙ කථාව ඇත්ත...මාස තුන හතරක්...අවුරුද්දක් අවුලක් නෑ...අවුරුදු 5ක් 6ක් වැඩිමල් ඒවා බැන්දොත් ඔය පෙනුමෙ ප්‍රශ්නෙ එනවා.

      Delete
  46. ////නදීරාගෙන් ඇමතුමක්.
    හලෝ....
    ඇගෙන් කිසිම උත්තරයක් නෑ...
    පුංචි ඉකිබිදුමක් විතරක් ඇහෙනවා...
    මොකද උනේ...ඇයි අඩන්නෙ...////

    ඕක අත්විඳපු එකම කෙන සිරා විතරක් නෙමෙයි............

    හ්ම්ම් පරන කතාවක් මතක් උනා
    ජීවෙතේ....................................

    ReplyDelete
  47. අනේ උඹ වාගේ ‍පොන්නයෙක්

    ReplyDelete
  48. හැම දේම වෙන්නේ හොඳට සිරා!

    මාස තුන කේස් එකක් නොවෙයි, නමුත් ඉතිං එකිනෙකාට ගැලපෙන අය දහස් ගාණක් ඉන්න රටක ඒ අයට ඒක ලොකු දෙයක් වෙන්න ඇති.

    පියදාස සිරි2ස්න 1915 දී විතර ලියපු පොතක කියලා තියෙන්නේ පිරිමියා ගේ වයස දෙකෙන් බෙදලා හතක් එකතු කරපු වයසේ කෙනෙක් බඳින්න කියලයි. මං අවුරුදු දහ අටේදී බැන්දා නම් ඒ නියමය සැපිරෙනවා!

    ReplyDelete
    Replies
    1. අනිත් කාරණය තමයි ඔය ගෙදර යන කේස් එකනම් මාර වාතයක්. මං නං ජීවිතේට ගිහින් නෑ.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...