Tuesday, November 5, 2013

98 බස් කථා බස්

සිරාගේ ලංගම බස් පිළිබද මතකය සිරා සිස්සත්තය සමත් වීමට අතිරේක පන්ති බඩගෑ 92 වසර දක්වාම දිව යන්නකි. එදවස පන්ති නිමා වීමෙන් පසු බණ්ඩාරවත්ත හන්දියෙන් ලංගමයට අපේ මව්වරුන් සමග ගොඩවන විට හැමදාමත් මෙන් සිටියේ ප්‍රසන්න පෙනුමින් යුතු, සුදු ලස්සන ඩැයිවර් මාමෙකි. දවසින් දවස මේ හමුවීම් වාර ගනන වැඩිවෙද්දී අපේ සුහදතාවයද වර්ධනය වූයෙන් බස් රථය තුල කෙතරම් හිස් ආසන තිබුනත් පැරණි ලංගම රථයන්හි රියදුරු අසුනට පිටුපසින් වූ බැටරි පෙට්ටිය අපේ ආසනය වන්නට වැඩිකල් ගියේ නැත.රථයට නැගි පමණින් කුඩා අපි බැටරි පෙට්ටියේ අසුන සොයා පොර කෑවෙමු. ඒ අතර තුර ඩැයිවර් මාමා අපට නොයෙක් විහිළු තහළු මෙන්ම බසයේ නලාව නාද කරන ස්විචය එබීමටද අවස්ථාව දුන් බැව් මට අදත් සිහිපත් වෙයි. සෙමෙන් බසය ධාවන වන කල අනේ තව හයියෙන් යමුකෝ කියන්නටද අපි අමතක නොකළෙමු. එවන් විටක...ඔන්න බලන්න මම මේකට ඉස්සර කරනවා යනුවෙන් ඉදිරියෙන් වූ වාහනයක් පෙන්වා බස් රථය එයට ඉස්සර කර නැවතත් සුපුරුදු වේගයට වැටීම අපේ ඩැයිවර් මාමාගේ සිරිත විය.

සිස්සත්ත පන්ති යන කාලයේ නිතර ආවෙ ගියෙ මේ වගේ බස් එකක
ඡායාරූපය http://sltbbus.blogspot.com


මේ කියූ සිස්සත්තය සමත් වීමෙන් පසු සිරා කොලුවා පාසල් ගිය වෑන් රථයේ වග තුග දැනටමත් කාමරයට යන එන ඇත්තන්ට මම කියා ඇත්තෙමි. මේ කියූ වෑන් රථයෙන් ඉක්බිති සිරා පාසල් ගියේ සාමාන්‍ය පරිදි පාරේ බස් රථ වලට පින් සිදු වෙන්නටය. මේ වෑයම ආරම්භ වී මද දිනකින්ම බස් වලටම පදම් වූ මිත්තරයන් කීප දෙනෙකු මාර්ගයෙන් ලංගම සීසන් ටිකැට්ටුව ලබා ගන්නා ආකාරය දැනගැනීමත්, එය ලබාගැනීමත් මගේ බස් ගමනාගමනයට ආශිර්වාදයක්ම විය.

මුල් කාලයේ පාසල ආරම්භ වුයේ 7.30 ටය. විදුලි කප්පාදුව අස්සේ චන්ද්‍රිකා නෝනා ඔරලෝසුවේ කටු කැරකූ පසු එය 8.00 වූයේය.  එකල මා බස් රථයට ගොඩ වෙන්නට හන්දියට පැමිණියේ උදෑසන හතේ කණිසමටය. පාසල් යන සුන්දර දැරිවියන් කීප දෙනෙකුටම තමන්ගේ ගමනාරම්භය අපේ හන්දියෙන් වැටී තිබූ නිසාවෙන් බස් රථයේ ගමන ප්‍රියජනක එකක් විය. එහෙත් උදෑසනට       ජා - ඇල ඩිපෝවෙන් ඇරඹී අපේ හන්දියට ලගාවෙන ලංගම බසයේ ඉඩකඩ අහවර නිසාම නොබෝ දිනකින් සිරාට පා පුවරුවේ යාව ජීව සාමාජිකයකු වන්නට වරම් ලැබිනි. අපේ හන්දියේ සිටි දැරිවියන්ද අපේ ශරීර කූඩු වලටම හේත්තු වී පා පුවරුවේම ගමන් කල නිසා මා මෙන්ම ඔවුන් ආරක්ෂා කරමින් ඉෂ්ඨ දේවතාවුන් මෙන් බසයේ පා පුවරුවේ ගමන් ගත් අනෙක් කොල්ලන්ගේද දෑත් වලට යෝධ බල යෝධ ශක්තිය ලැබුනි.

එහෙත් හන්දියේ ඒ වේලාවට අපේ නිවස සමීපයේ කිසිවෙකු සිටියේ නම් නිසැකවම මේ ආරංචිය අපේ නිවසටද සම්ප්‍රාප්ත වෙයි.

අද බස් එකේ එල්ලිලා ගියා කියන්නෙ ඇත්තද ? අත පය කඩාගෙන ඉස්කෝල යන්නෙ නැතුව ගෙදර නවතින්නද කල්පනාව ? එවන් විටක මව්තුමියගේ අවලාද නැගිම් මේ කනින් අසා අනිත් කනින් පිට කිරීම මගේ සාමාන්‍ය සිරිත විය.

වැසි දිනට නම් කෙල්ලන්ට මක්ක වුනත් කම් නැතැයි සිතමින් බස් රථයේ හැකිතරම් ඇතුලට වීම අපේ සම්ප්‍රදායයි. නැතිනම් රෙදි හෝදන වෙලාවක පුංචි පුංචි තිත් ආකාරයෙන් කලිසම් කකුල් වර්ණවත් කරන මඩ බින්දු නැති කිරීම උහතෝකෝටික ගැටලුවකි.ඔයින් මෙයින් මද කාලයක් ඇවෑමෙන් බස් සංස්කෘතිය සිරා කොලුවාට හුරු  වූයෙන් බස් රථයක පාසල් යාම සහ ඒම ඉතා රසවත් අත්දැකීමක් විය. මුලදී සෙනග මැද තෙරපීම තරමක අපහසුතාවයක් ඇති කලත් බස් රථයේ යන එන අප විද්‍යාලයේ මිතුරන් හදුනා ගත් පසුව ඒ සියල්ල සාමාන්‍ය දෙයක් බවට පත් විය.

මගේ ජීවිතයේ මෙතෙක් මා වඩාත් අපහසුතාවට පත් වූ දිනය කිමෙක්දැයි කිසිවෙක් මගෙන් අසනවා නම් එයට දෙන පිළිතුර මේ දවස වේ යැයි එදින නිවෙසින් පිටවෙද්දී මම සිහිනයෙකුදු නොසිතුවෙමි. මේ කියන සිදුවීම වන විට මම  9 වසරේ ඉගෙන ගත් හුරු බුහුටි කොලුවෙක් වූවෙමි. කැරළි ගැසුනු කොණ්ඩය නිසාම සිරා අනෙක් උන් අතර කැපී පෙනුන වග නොකිව මනාය. අපේ මාර්ගයේ සෑහෙන කාලයක සිට ධාවනය වූ එකම පාසල් බස් රථය රතු පැහැති ටයි පටියේ භුක්තියට සවි වූ එකකි. තත්වය එසේ වුවත් එහි අනෙකුත් කාන්තා පාසල් වල ඇත්තියන්ටද යා හැකි විය. එහෙත් පිරිමි අපට සපුරා තහනම් විය. ජා-ඇල ඩිපෝවේ එකම බස් රථයක් මේ උදෙසා කාලයක් ධාවනය වුවත් හිටිවනම එය වෙනස් වීම කාලයෙන් කාලයට සිදු වූවකි. බසය මාර්ගයේ ඈත වංගුවකින් මතු වත්ම එය රතු පටියට හිමි එක බැව් අපේ අක්මා අප හට සන් කලෙන් අපි කිසිදු විටෙක එයට නැගීමට තැත් නොකලෙමු. එහෙත් හදිසියේ රථය වෙනස් වූ කලෙක එයට නැගීමට තැත් කිරීමත්... කොන්දොස්තර තැන විසින් මෙය ළදුන් පමණක් යන වර්ගයේ රථයක් බැව් අප හට පැවසීමත් තවත් කාලයක් යද්දී අපහට අරුමයක් නොවුනි.

මේ කියන දිනයද එබදු දිනයකි. අවසන් මොහොතේ හන්දියට දිව ආ මාගේ දර්ශන පථයට හසු වූයේ නවතා තිබී ඉදිරියට ධාවනය වීමට පටන් ගත් බස් රථයකි...ඇසිල්ලකුදු පමා නොවී වහා ඒ කෙරේ ලගා වී ධාවනය වන රථයට නැගීමට මම එදා සමත් වීමි. අහෝ ඛේදයකි. බැලූ බැලූ අත ළදුන්ය. ඔවුන් මා කෙරේ දැක්වූයේ සුහදශීලී බැල්මක් නොවේය. කොහෙද යන හාල්පාරුවෙකු උදේ පාන්දර අපේ බසයට ගොඩ වූවා නේදැයි වැනි හැගීමක් ඔවුන් කෙරෙන් ජනිත වූයෙන් මගේ නව යොවුන් සිත සසල විය. බසයටම සිටින්නේ පුරුෂ පරාණ 3කි. ඒ කොන්දොස්තර තැන රියදුරු තැන හා අහිංසක සිරා කොලුවාය.

කරන්නට දෙයක් නැත...බසය නොනවත්වා ධාවනය වෙයි. මැද පේළියෙන් ඉදිරිය සොයා ඇදෙද්දී කෙල්ලන්ගෙන් මා ඇසූ කථා නිමක් නැත.

කවුද අනේ මේ...
කෙල්ලො යන බස් එකට නැග්ගෙ මෙයත් කෙල්ලෙක්ද ?
පොඩි එකෙක් බන්...
මෙයා හිතලමද කොහෙද මේකටම නැග්ගෙ...

කෙමෙන් කෙමෙන් රියදුරු ආසනය කිට්ටුවට පැමිණි  විට ගැහැණුන්ට භයේ ගුලි ගැසුනු තවත් හාදයෙක් රථයේ විය. ඒකා අන් කිසිවෙක් නොව පාසල් වෑන් රථයේදී ඔබට හමු වූ උදිතයා හෙවත් මාගේ අතිජාත මිත්‍රයාය. එදා මට මෙන්ම ඒකාටද වැරදී මේ බඩකඩිත්තුවට නැග තිබිනි. ගම්පහ නගරයට ළගා වීමට ගත වූ විනාඩි 10 ක පමණ කාලය මට කල්ප කාලාන්තරයක් තරම් දිගු විය. රියදුරු තැනගේ අසුන ළගට වී ජාම බේරාගන්නට අපට එදා හැකි වුවද මේ කියූ දිනය කිසි දිනෙක මට අමතක නොවේ. රතු ටයි පටි එතරම් කටකාරය...

කොල්ලන් පමණක් ඉගෙනුම ලැබූ අපේ පාසලේ කකුල් දෙකටම කලිසම් අදින්නට අපට අවසර ලැබෙන්නේ 10 පන්තියේදීය. වසර මුල මේ නව වෙනසට ලක් වූ පසු අපට සිතෙනුයේ අප තරම් අයියලා තවත් නැතැයි යනුවෙන් නිසාදෝ...බස් රථයන්හි අයියලා මෙන් යෑමට අපි වගබලා ගත්තෙමු. එය එහි සේවකයන් සමග ගැටුම් ආරම්භ වීමටද මූලික හේතුවක් විය.

ගම්පහ නගරයෙන් ආරම්භ වූ ලංගම බස් රථයක මා නැගුනේ අපේ හන්දියේ සිට නගරය දක්වා වූ දුර පුද්ගලික රථයකින් තරණය කිරීමෙන් පසුවය. මේ කියන බස් රථයේ සීනුව බසයේ පසුපසට සම්බන්ධ කලේ කොහු ලණුවකිනි. අපේ පාසලේ වුවද ඒ කාලයේ කුපාඩි කොල්ලන්ගෙන් අඩුවක් නොවූ හෙයින් එකා දෙන්නා අවේලාවේ බෙල් එක නාද කිරීමෙන් රියදුරු තැන කුපිත කිරීමේ උත්සාහයක නිරත විය. එය සිතූ සේම සාර්ථක විය. රියදුරු තැන නොසරුප් වදන් දොඩනා තරමට කුපිත කිරීමට අපේ උන්ට හැකි විය. මෙවැනි ක්‍රියා වලට දායක වීමට අද මෙන්ම එදත් සිරා කොලුවා මැලි වූයෙන් බෙල් එක නාද කිරීමට මගේ සම්බන්ධයක් නොවීය.

අහෝ කරුමයක මහත මේ යැයි කියමින් පාසල කිට්ටු වද්දීම කොහු ලණුව කැඩී ගියෙන් දැන් බෙල් එක නාද කිරීමට ක්‍රමයක් නැත. කෝපයේ ගිණිදළුවලින් වෙලී සිටි රියදුරු මහතා හඩගෑවේ බෙල් එක කැඩුවා නම් බහින්න ඕනෙ එකෙක් හූ කියන ලෙසය. ඒ අවසරයෙන් පාසල ඉදිරිපිට බස් නැවතුමට රථය කිට්ටු වන විටම එකම හූ හඩකින් බස් රථය වෙලී ගිය බැව් මට තවමත් මතකය.

එදින අප පාසලට පැමිණීමට ප්‍රමාද වූ දිනයකි. එවන් විටක ප්‍රධාන පිවිසුමෙ සිට නොයෙක් පරීක්ෂා කිරීම් වලට යටත්ව පාසලට පිවිසීමට අපට සිදුවෙයි. නිළ ඇදුම / කොණ්ඩය මෙන්ම නියපොතුද පරීක්ෂා කෙරෙයි. පාසල ඉදිරිපිට නැවතුන බස් රථය ඉදිරියට යෑමක් නැත. එය නැවතුන තැන එසේම පවතියි. කිසිදු මගියෙකු ඒ තුල නැත...එනම් රථයේ පැමිණ ඇත්තේ සීසන් ටිකට්ටුව අත රැදි අපේ පාසලේ ශිෂ්‍ය ප්‍රජාව පමණි.

තවත් මොහොතක් ඇවෑමෙන් පාසල් භූමිය තුල දර්ශනය වූයේ රථයේ කොන්දොස්තර මහතා සහ රියදුරු තැනය. අසරණ වූ  මුහුණු දෙකකින් හෙබි ඒ ඇත්තන් ඒ අවස්ථාවේ ප්‍රධාන පිවිසුමේ කටයුතු භාරව සිටි නන්දසේන ගුරු පියාට සම්මුඛ වූහ.

අනේ බලන්න සෑර්...මේ ඉස්කෝලෙ ළමයි අපේ බස් එකේ බෙල් එක කැඩුවා...යනුවෙන් කොන්දොස්තර මහතා යටහත් පහත්ව පැවසූයෙන් අපේ සෑර්ගේ මුහුණද යක්ෂාවේශ විය.

මේ බස් එකේ ආපු උන් වෙනම පෝලිමක් හදාපල්ලා...සෑර් ගුගුරයි. එහෙත් අනුන්ගේ පව් වලට වන්දි ගෙවන්නේ මක්කැයි සිතමින් සිරා කොලුවා වෙනත් පෝලිමකට සැට් වූයෙන් අතුරු ආන්තරාවකින් තොරව පන්ති කාමරයට ළගා වීමට හැකි විනි.

වෙනම සැදුන පෝලිමේ සිටි උන් සෑහෙන ආපදාවන්ට ලක් වී පශ්චාත් කලාපය වේදනාවෙන් මිරිකෙද්දී පන්ති වලට වැදුන බැව් පසුව අනාවරණය විය.

මේ කියන කාලයේ උසස් පෙළ පන්තියක ඉගෙනුම ලැබූ සිරාගේ මහප්පාගේ පුතණ්ඩියාද මේ ලෙසම බස් රථ වල ගමන් ගත් අපේ හන්දියට එහායින් තිබෙනා ඊළග හන්දියෙන් බැස ගිය කෙනෙකු වූයෙන් ඔහුගේ මිතුරන්ද කුඩා අපේ මිතුරන් වූහ. අප සතු සීසන් ටිකට් පත් කෙරෙහි උරන වෙන ලංගම බස් සේවකයන්ගේ ඒ සිතිවිල්ල නිසාම පාසල නිම වූ පසු ලංගම බස් රථයකට පාසල අසල බස් නැවතුමෙන් ගොඩ වීම උගහට විය. බස් රථයේ ආදායම අනුව සෑම දිනෙකම අවසානයේ ලැබෙන අතිරේක මුදල රැක ගැනීම ඔවුන්ගේ අරමුණ වන්නට ඇත. බස් රථයේ ඉඩ තිබියදීත් එය නොනවත්වා ධාවනය වන කල එයට කෙසේ හෝ ගොඩවී වාග් සංග්‍රාමයන්හි නිරත වීම අපේ අයියලාගේ සිරිත විය. එය ගැටුමක් දක්වා දුරදිග ගිය දිනයන්ද නොතිබුනා නොවේ.

පාසල නිම වී අපේ මාර්ගයේ ගමන් ගන්නා සිසුන්  බස් රථය අපේක්ෂාවෙන් සිටින විට කලින් ගැටුමක මතකය අවදිවන රියදුරු තැන බස් නැවතුමට සෑහෙන ඈතින් බස් රථය නවත්වා මගීන් බැස්සවීමත්...එයින් පසුව අපේ නැවතුමේ රථය නොනවත්වා වේගයෙන් ධාවනය කිරීමත් සාමාන්‍ය සිරිතක් වූවෙන් අයියලා මෙන් ඒ කෙරේ ඔට්ටු වීමට අපට හැකියාවක් නොවූ නිසා අපේ වයසේ උන් ගම්පහ නගරයට වෙනත් රථයක නැගී පැමිණ ලංගමයට නැගීමට පුරුදු වූයෙමු. එහෙත් කරදඩු උස් වූ මේ කියූ පිරිස සිරිත් පරිදි පාසල අසලින්ම කෙසේ හෝ බස් රථයට නැගීමේ උත්සාහයක නිරත වී සිටියහ.

දිනක් අප ගම්පහ නගරයෙන් බසයට ගොඩවෙන විට එහි දකුණු පැත්තේ කවුළු අසල හුන් සියල්ලෝ ජලයෙන් තෙමී නැහැවී සිටියහ. කාරණා කාරණා අපට ආරංචි වූයේ පසු දිනයි. රියදුරු මහතා සිරිත් පරිදි බසය නොනවත්වා ධාවනය කරනා විටෙක පාසල ඉදිරිපිට පොදු නාන ළිදේ සිටි පිරිසක් රථයට ජල ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්...එය නොතකා රථය ඉදිරියටම ධාවනය වූ බවත් ඒ ආරංචියයි.

කෙසේ හෝ තවත් දිනෙක අපේ අයියලා අතර හුන් තැනැත්තෙකු සමග කොන්දොස්තර මහතා ඉතාමත් දරුණු වාග් සංග්‍රාමයක පැටලිනි. අපේ එකා කථා කරන්නේ බස් රථය තුල අයියා වීමට නොව අපිට හැමදාමත් වන අසාධාරණය නිසාවෙන්ම අපද ඊට එකතු වූයෙමු. මොහොතකින් කාන්තා පරාණද එයට එකතු වූයෙන් එය කදිම සටනක් විය. අවසානයේ රථය ගම්පහ පොලෝසිය ඉදිරිපිට නවතා පොලෝසියට යන්නට රියදුරු තැන උත්සාහ කලත් බසයේ සිටි වැඩිහිටියන්ගේ මැදිහත් වීමෙන් එය වැළකුනි.

බස් කථා බස් වල යෙදෙන කල මා හට අමතක නොවන තවත් සිදුවීමක් සිදුවූයේ අ.පො.ස සා/පෙ පන්තියේ අධ්‍යාපනය ලැබූ වසරේදීය. සිරිත් පරිදි ලංගම රථයේ නිවෙස් බලා පැමිණෙන විට අපේ හන්දියට ඉතා නුදුරේදී රථයේ අසුනක් යටට වන්නට තිබූ මුදල් පසුම්බියක් නෙත ගැටුනෙන් එය අප විසින් වහා අහුලා ගනු ලදුව ඒ තුල වූ දෑ පරීක්ෂා කළෙමු. පසුම්බියටම තිබුනේ රුපියල් 10 කි. ඒ තුල වූ ඡායාරූපය බස් රථයේ හුන් සියල්ලන් හා සැසදුවත් ගලපා ගත නොහැකි වූ තැන....එකෙකු කීවේ...

අපි මේක ඉස්කෝලෙ ප්‍රින්සිපල් ලවා අයිතිකාරයාට දෙමු  කියාය.

ඒ අදහස සභා සම්මත වූයෙන් අපි නිහඩවම රථය තුල කල් මැරුවෙමු. එහෙත් මද වේලාවක් ඇවෑමෙන් බස් රථය මාර්ගයෙන් අයින් කර නැවැත්විනි. කොන්දොස්තර මහතා තදියමේ යමක් සොයයි.

ඔයා හොයන්නෙ පර්ස් එකක්ද ? අපේ එකෙක් නොවලහා විමසයි.

අනේ ඔව් හම්බවුනාද ?

ඔව් මේ තියනවා...ෆොටෝ එකෙන් අදුරගන්න බැරි උන නිසා අපි හැදුවෙ ඉස්කෝලෙට අරන් ගිහිල්ලා අයිතිකාරයාව හොයලා භාර දෙන්න.

අපට ස්තුතියක් හෝ නොකොට පසුම්බිය ඩැහැගත් පසු ඊළග නැවතුමෙන් අපි සියල්ලෝ ලංගමයට සමු දුන්නෙමු.

එහෙත් නිතර බස් රථයේ ආගිය මිශ්‍ර පාසලක කට හැකර අවලස්සන එකියක් පසු දා අප හට අපූරු කථාවක් ගොතා තිබිණි.

බලන්න අනේ අර ..............ඉස්කෝලෙ කොල්ලො ටික අපේ බස් එකේ කොන්දොස්තරටත් පික් පොකට් ගහලා...ලවක් දෙවක් නැතුව මේ කථාව හැම අතේම උන් දැරිවියන් හා දොඩමින් ගිය ඇයගේ අවාසනාවටදෝ අපිට හිතවත් කෙල්ලෙකුගේ කන් කුහරයටද මේ පුවත සමිප වූයෙන් එය අප හට දැනගැනීමට ලැබුනි. කෙල්ලෙකු සමග විවාදයට යාම නොහොබිනා ක්‍රියාවකැයි සිතා මා නිහඩ වුවද මගේ මිත්තරයෙක් බස් රථය තුල ප්‍රසිද්ධියේම ඇගේ රෙදි ගැලවෙන තරමේ ආවේගශීලී කථාවකින් ඇයට පිළිතුරු දීමෙන් පොකට් ගැසීමේ සිද්ධිය යට ගියේය.

දැන් සිරා අ.පො.ස උ/පෙ පටන් ගත් මුල්ම අවදියේ සිසුවෙකි. පාසල නිම වූ පසු කුඩා ශිෂ්‍යයන් රථය තුලට යොමු කර වැඩිහිටි ශිෂ්‍යයකුගේ භූමිකාවට රග දෙමින් පා පුවරුවේ බොහෝ විට ගිය සමයකි. මේ කාලයේ නිතරම වාගේ පාසල නිම වූ පසු ලංගම බසයේ රථාචාර්ය වරයා ලෙස කටයුතු කලේ මුහුණේ දරුණු කැපුම් තුවාලයක සුවවූ සළකුණක් තිබූ මදාවි පෙනුමකින් යුතු මැදිවියේ අයෙකි.

ඉදිරි දොරේ එල්ලී යන සිරාගේ තුන් හිතකවත් පොර වීමේ උවමනාවක් නොතිබූ බව මට සහතික ලෙස කිව හැක. එහෙත් ඩැයිවර අයියාට කෙල්ලන් ඉදිරියේ පොර වීමේ මානසිකත්වයක් තිබුනෙහිය. දිනක් කට කපා බසය ඉදිරියට ඇදෙන විට පැති කණ්නාඩියෙන් මා දෙස රවමින් රථය ධාවනය කල හෙතෙම බස් නැවතුම් කිපයක් ගිය පසු ඇතුල් වන්නට අණ කළෙහිය. එහෙත් රථය තුලට වන්නට සැබෑ ලෙසම ඉඩක් නොවූයෙන් තව දුරටත් එල්ලී යාමට මට සිදුවිය. ඒ කෙරේ කුපිත වූ හෙතෙම ඊළග නැවතුමේ රථය නවතා...

ඕයි...තමුසෙට කී සැරයක් කියන්නද....ඇතුලට එන්න බැරි නම් පව් නොදී බහිනවා අයිසෙ...

යනුවෙන් සමස්ත රථයටම ඇසෙන සේ හඩ නැගූයෙන්ද එය අසා  වතුර ටැංකිය අසල කොළ පාට ටයි පටියක් පැළදි පාසලේ උන් නැගූ සමච්චල් සහගත සිනහවෙන්ද  අසරණ වූ සිරා බස් රථයෙන් බැස නැවතත් ගම්පහ නගරයට පයින්ම යෑමට උත්සුක විය....

ස්ස්ස්ස්ස්ස්....විනාඩි කීපයකට පසු පිටුපසින් හඩක් ඇසිනි.

1 වසරේ සිටම මගේ මිත්තරයෙකු වූද...සිස්සත්තයෙන් එකම ලකුණු ගෙන මා සමග නගරයේ පාසලට පැමිණියා වූද..පාසල් වෑන් රථයේ කෙට්ටු සීට් කබලේ එකට හිදගෙන ගියා වූද උදිතයා තරමක් ඈතින් මා කරා එනු පෙනෙයි.

උඹට බහින්න කිව්වට පස්සෙ...ඒ බස් එකේ යන්න මටත් එපා වුනා බන්...ඊළග හෝල්ට් එකෙන් මමත් බැස්සා. මගේ කරවටා අතක් යවමින් ඒකා එසේ පැවසූවේ අපේ යාලුකමේ දැඩි බැදීම නිසා විය යුතුය.

මගේ ලංගම බස් අතීතයේ මතක අතරට එකතු වුන තවත් සිදුවීමක් වෙයි. එදිනද සුපුරුදු පරිදි පාසල් නිමවා පිරිස නිවෙස් බලා යමින් සිටී. ගම්පහ දුම්රිය හරස් මග අසල කිසියම් සිදුවීමක පෙරනිමිති පෙනෙයි. එහි වූ ගේට්ටුවද සෑහෙන වේලාවක් වැසී තිබීමෙන් පසු විවර වූ සෙයකි. බස් රථය දුම්රිය හරස් මගට පිවිසෙනවාත් සමග සිද්ධිය දැක ගන්නට සියල්ලෝ පොර කති. පසෙක අවමංගල රථයකි. ඒ අසලට වෙන්නට වියන ලද පොල් අත්තක් මත සැතපවූ මිය ගිය මහලු අයෙකුගේ සිරුරකි. හෙතෙම දුම්රියට පැන දිවිනසාගත් අයෙකු බව සැනෙකින් වැටහිනි.

එක්වරම රථයෙන් බිමට වන් මල් ශාලා සේවකයෙකු තනි අතින් ඔසවාගත්තේ ගෙලෙන් වෙන්ව තිබු පෙර කියූ පුද්ගලයාගේ හිස කොටසයි. ඒ සමගම බසයේ උන් පාසල් සිසුවියන් නැගූ භයංකාර හඩ එදා ගම්පහ නගරයටම ඇසෙන්නට ඇත.

කෙසේ හෝ කාලයේ ඇවෑමෙන් සිරා කොලුවා පාසල් ජීවිතයට සමු දී වෘත්තිකයෙකුගේ තත්වයට උසස් විය. දිනක් රැකියාව නිම වී කොළඹ සිට ගම්පහට පැමිණ නිවසට යන්නට පුද්ගලික බස් රථයකට නැග සිටි මොහොතකි. හාත්පස පැතිර තිබූ අඩ අදුර අතරින් වැටෙන සිහින් වැසි බිදු මවනා අපූරු රටාවන් දෙස නෙත් යොමා බලා සිටි මට එක්වරම ඇසුනේ බසයේ පිටුපස සිටි කොන්දොස්තර කොලුවා සමග බහින් බස් වන තරුණයකුගේ හඩයි.

අයියෙ සල්ලි දීලා යන්න....ඒ වන විට රථය ගමනාරම්භයේ සිට යම් දුරක් පැමිණ ගම්පහ නගරයේම තවත් නැවතුමක නවතා තිබිනි.

අපේ බස් වල යන්න මොනවටද අයිසෙ සල්ලි දෙන්නෙ...

අපේ බස් කියන්නෙ...මේවා ආණ්ඩුවෙ ඒවායැ...අපි අයිතිකාරයට හැන්දෑවට සල්ලි දුන්නොත් තමයි අපිට පඩි ලැබෙන්නෙ... කොන්දොස්තර ළමයාද පසුබහින්නේ නැත.

රුපියල් 6ක් වූ අවම ගාස්තුව නොගෙවා හයිරම් පෙන්නවු තරුණයා බහින් බස් වීමේ අවසන් අදියරේදි කොන්දොස්තර ළමයාගේ අතෙහි වූ මාරු කාසි අහුරට වැරෙන් පාරක් ගැසුවේය.

සිරි සිරි හඩින් ඒවා රථයේ විවිධ තැන්හි පතිත වන විට රථයේ පිටුපසට වන්නට සිටි මගේ හිත මිත්තරයෙක් ඒකා සමග බස් රථයෙන් බිමට බැස ගණුදෙනුව බේරාගන්නට කථිකා කරමින් සිටියෙහිය.

කැත වැඩ කරන්න එපා අයිසෙ....බස් එකකට නැග්ගා නම් ටිකට් ගන්නවා...සල්ලි නැත්නම් නෑ කියනවා නම්බුකාර විදියට...

අයියෙ මේ අයියා අයියගෙ වැඩක් බලාගෙන යනවද පවු නොදී...

මේ වදන ශ්‍රවනය වූ සැනින් උන් හිටි තැන් අමතක වූ සිරා කොලුවා ගැටුමට දැන් මැදිව සිටින්නේ මගේ මිතුරෙකුද වූ හෙයින් වහාම සටනට එළැඹිනි. මගේ කෝපය දැන් ඉහවහා ගොසිනි. කවදත් අසාධාරණයට එරෙහිවන මට මෙය කෝපය දනවන්නකි. අඩි 6 ක් පමණ උස පෙර කියූ තරණයාට සම්මුඛ වෙන්නට මට වැඩි වේලාවක්  ගියේ නැත.

මීට පස්සෙවත් බස් එකක යනවා නම් මනුස්සයෙක් විදියට යන්න යන්න පුරුදු වෙනවා...මම කීවේ එපමණකි...

කෝපාග්නියෙන් දැවුනු මගේ සිතුවිලි විසින් උත්පාදනය කරන ලද යෝධ බලයකින් සවිමත් වූ මගේ දකුණත ඔහුගේ කම්මුලක් පුරවා පතිත වූයේ ඒකාට හිතන්නටවත් වේලාවක් නොදෙමිනි. කෙතරම් වැරෙන් ඒ පහර වැදුනාද කියතොත් මගේ දකුණතේ ඇගිලි වලින් පටන් ගත් හිරි වැටීමක් උරහිස දක්වා විහිදිනි. මුහුණ අල්ලාගෙන පහත් වූ තරුණයා යලි නැගිට්ටේ නැත. තවත් විනාඩි 5ක් පමණ එම ස්ථානයේම රථය නවතා තිබුනද මට රිටර්න් එකක් දෙන්නට කිසිවෙකු ඉදිරිපත් වූයේද නැත.

මේ සිදුවීමෙන් පසු සතියේ සිට මා කෙරේ ලෙංගතුකම මුසු වූ සිනාවකින් සංග්‍රහ කරන්නටත්, ලංකාවෙන් රට පැටවෙන තුරාවට කෙතරම් මුදල් දෙන්නට උත්සාහ කලත් මගෙන් මුදල් අයනොකර සිටීමටත් මේ කොන්දොස්තර තරුණයා ක්‍රියා කළේය.

අදට අහවරයි...නැවතත් ඉදිරි දිනයක බස් කථා බස් තුලින් යලි හමු වෙමු.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.


ප.ලි

ලංගමෙන් ගැසූ බල්ටිය නොසිතූ ලෙස ජනප්‍රසාදය දිනාගත් හෙයින් ඇති වූ කික් එක නිසාම තවත් බස් කථාවකට පාර කැපුනු බව සැලකුව මනාය.

මගෙන් ගුටි කෑ කොලුවාගෙන් රිටර්න් එකක් ඒවි යයි සිතා මම සතියක් වෙනත් මාර්ගයකින් නිවෙස බලා ගියෙමි. සිරා එතරම් නිර්භීතය.

















98 comments:

  1. මේක කියවන විට නම් රුප රාමු මැවී පෙනේය...... හැම පෝස්ටුවටම රතු සහ කොළ පටි නෙතුවම බැරි හැඩය..... සිරාගේ යාලුවෝ කියනවා වගේ මේකත් පට්ට පට පටය....

    ReplyDelete
    Replies
    1. අපේ අතීතේ සෑහෙන මතක සැමරුම් කන්දරාවක් ඔය ටයි පටිත් එක්ක පැටලිලා තියෙන්නෙ...ඒ නිසයි ටයි පටියක් දෙකක් ගැන හැම පෝස්ටුවකම වගේ කියවෙන්නෙ...

      Delete
  2. දුර ගමන් සේවා වල මාත් දැකලා තියෙනවා ඕනේ තරම් හොඳ කොන්දොස්තරලා.. බස් එහෙක ටිකට් නොගෙන යන කෙනෙක් දැක්කත් ඒ මනුස්සයව අපහසුතාවයට පත් කරන්නෙ නැහැ බොහෝ කොන්දොස්තරලා..නිකන් ටිකටුත් නෙවේ ඒවා .. හාර පන්සීයේ ටිකට්...

    බොහෝ විට ටවුන් සර්විස් දුවන අය තමයි එපා වෙන වැඩ කරන්නේ... මන් මේ ලඟදි අපේ පාරේ බස් එකේ ගියා.. මට මගේ මුල්ම ප්‍රේම කතා වලින් එකක් මතක් උනා එවෙලේ...කොන්දොස්තර මහත්තයා නම් එදා හිටපු විදිහමයි..ඒත් අපි වෙනස් වෙලා..........

    ReplyDelete
    Replies
    1. හරිම විනිත කොන්දොස්තර මහත්වරු පුද්ගලික / රාජ්‍ය දෙපාර්ශවයේම ඉන්නවා...හැබැයි බහුතරයක් අය එහෙම නෑ...විනීත මනුස්සයෙක් සල්ලි එකතු කරන වැඩේ කරද්දි ඒ බස් එකේ හිටගෙන ගියත් හිතට සැනසුමක් තියෙනවා කරදරයක් නැති හින්දා...

      ඒ කියන්නෙ සහන් අතීතය අලලා පෝස්ටුවක් ලියාවිද ?

      Delete
  3. ඉස්සර ලංගමේ සීසන් එක තිබුන දවස් වල පැය භාගේ ගමනට පැය දෙකක් ගියා. ඒ තරමට පාරේ ලංගම බස්...

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්...අපි ඉස්කෝලෙ යන්න පාරට ආවම එක බස් එකක් නෑ සමහර දවස් වලට පැයක් යනකම්ම...ඒත් ඉස්කෝලෙ යන වෙලාව පහු උනාට පස්සෙ ලංගම පිටිපස්සෙන් ලංගම එනවා...

      Delete
  4. නියමයි සිරෝ,එක හුස්මට කියවගෙන ගියා තේරුණේවත් නෑ,මට ඔය වගේ බස්වල ඉස්කෝලේ ගිය අතීතයක් තිබුනෙ නෑ නේද කියල මට කල්පනා වුණා,ඕ ලෙවල් කරන කාලෙ ඉස්කෝලෙ ළඟ ඉඳල ටවුමෙ ක්ලාස් එකට බස් එකේ ගියෙ ඉඳල හිටලයි,නැත්නං පයින් ගමන.අපි විතරක් නෙවෙයි ඉස්කෝලෙ හිටපු ඔක්කොම ටවුමට පයින් ගියෙ.
    ඒ දවස්වල පාසැල් වෑන් රථ කියල දෙයක් අහලවත් තිබුනෙ නෑ ඒකටත් එක්ක දැන් ඉස්කෝලෙ වටේටම පාසැල් වෑන් උදේ ඉඳල ඉස්කෝලෙ ඇරෙනකල්ම නවත්තගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. එහෙම පයින් යන ගමන් වෙන්න ඇති අලවත්තෙ ගැට අන්නාසි වලට ඇහැ දැම්මෙ...එහෙම නේද...

      Delete
  5. සිරා කොළුවගෙන් තවත් සිරා කථාවක්!! හිත් ගන්නා බස් වහරට මගේ ආචාරය!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...ඔබට...කවි පන්තියක් කියවලා යන්න ලගදීම ඒ පැත්තටත් එන්නම්...

      Delete
  6. සිරාට සිරාම යාලුවෙකුත් ඉදලා නේ බස් කතා 2ක නම් මරු ඈ

    ReplyDelete
    Replies
    1. ඔය වගේ යාලුවො අතේ ඇගිලි ගානටත් අඩුවෙන් තමයි අන්තිමට ඉතුරු වුනේ....මෙහෙම යාලුවො ලැබෙන්නෙ ඉදලා හිටලා එකෙක්ට...

      Delete
  7. කතා ටික නියමයි...
    සිරා අයිය මාකෙවිට හරියෙද?

    ReplyDelete
    Replies
    1. මම වැලිකඩ කනත්තට එහා තියෙන ලොකු වංගුවෙ...මලයා ඒ ලග පාතද ?

      Delete
    2. ඒ කිව්වෙ වැලිකඩ කන්ත්ත ලගින් ඇතුලට තියන පාරෙද?
      මමනම් කිරිදිවිටට ටිකක් එහා..පොස්ට් එකේ කියල තිබුනු විදිහට හිතුන මාකෙවිට හරි ඒ ලගපාතක තමා ඇත්තෙ කියල.. :D

      Delete
    3. නෑ බන්...කනත්ත ලග ඉදන් ගම්පහ පැත්තට තියෙන ඊළග නැවතුම...

      Delete
    4. ආ හරි හරි දැනුයි මීටර් උනේ...

      Delete
  8. සීසන් එකේ යන්න සීටීබී එකක් එනකන් පැය ගනන් රස්තියාදු වූ මගේ පාසල් කාලය සිහි විය....
    ජය වේවා සිරා අයියේ.....!!

    ReplyDelete
    Replies
    1. සීසන් ටිකට් ගත්තට පාසල ආරම්භ වන වෙලාවට සහ අවසාන වන වෙලාවට බස් තිබුනෙ නෑ ඉස්සර....දැන් නම් කොහොමද දන්නෙ නෑ...කුඩම්මගෙ සැළකිලි තමයි වැඩිපුර ලැබුනෙ...

      Delete
  9. සිරා මලය පහු උන පෝස්ට් ටික අදයි කියවන්න ලැබුනෙ...හිනවෙල කට දෙපැත්ත හක්කත් එක්ක රිදෙනව..ඔය උබ උඩින් දාල තියන KD 77 බස් එක තාම තියනව අපේ ගේඉස්සරහ ඩිපෝ එකේ..හැබැයි කොට උඩ.ආයෙ එන්නම් උබට ජය වේවා
    මම ඉන්දික..

    ReplyDelete
    Replies
    1. ඉන්දික ඉන්නේ කිරිඳිවැල ඩිපෝ එක ඉස්සරහද? ඒක ඉස්සරහ හාඩ්වෙයා එකක් තියෙනවා නම් මතකයි. මමත් ඒකට ගිහින් තියෙනවා.

      Delete
    2. එහෙනම් වජිර හර්ඩ්වෙයා එක නෙ...ඔබ තුම කොහෙද? දැනට මම නම් ලන්කාවෙන් පිට ඉන්නෙ.හැබැයි සිරා මලයා රතු පටි කෙල්ලන්ට බැන්නට ආරාදිත පාසල් දුවන්න ආපුවහම ඉස්කොලෙ මීට් වල කට ඇරගෙන රතු පටි සෙට් එක දිහා බලගෙන ඉන්නෙ.හා නැහැ කියහන් බලන්න.කොච්චර බැන්නත් කොච්චර කැත නම් පට බැන්දත් වතුර ටැන්කිය ඉස්සරහ කොල පටි ඉස්කෝලෙ උන් නියම කෙල්ලො.උන් හරි හිත හොද උන්.අර නිල්පටි ඉරි තියන ඉස්කොලෙ ඉන්නෙ මෙලො රහක් නැති උන්.එහෙම නේද සිරා මලය...
      මම ඉන්දික

      Delete
    3. ඉන්දික අයියා දැකීම සතුටක්....මේ බස් එකම කොඩ උඩ තියෙනවා කිව්වම කොච්චර දුකක්ද ? මේ වගේ බස් සෑහෙන ප්‍රමාණයක් කාලයකට ඉස්සර අබලි ද්‍රව්‍ය විදියට...ඒ කිව්වෙ ආයෙ ගොඩ ගන්න බෑ කියලා ලේබල් ගැහලා වෙන්දේසියෙ දැම්මා....ඒවා අරන් හදාගෙන පුද්ගලික අංශයේ සේවයේ නිරත වෙන බස් කීපයක්ම ගම්පහ තිබුනා....එවා අදත් හොදට වැඩ....

      ආරාධිත පාසල් දුවන්න ආවම ඉතිං රතු පටි වලට ලං වෙන්නවත් කවුරුවත් නෑ නොවැ...මේ දැරිවියන්ගෙ හැකියාවන් වගේම අග පසගත් බලන්න තමයි ඉතිං ඉස්සර කොල්ලො පන්තියට යන එක පැත්තකට දාලා පිට්ටනිය වටේට රැස් වුනේ.

      ඉස්කෝලෙ යන කාලෙ කොළ ටයි පටි මා එක්ක එච්චර ඇයි හොදයියක් නොතිබුනත් පස්සෙ කාලෙක මගේ ජීවිතයට බොහොම සමීප වුන දෙදෙනෙක්ම කොළ ටයි පටි. මගේ පැරණි පෙම්වතියත් කොළ ටයි පටියක්.

      Delete
  10. සීසන් එකක් අරන් මුල් කාලේ මාත් ඔය වගේ කට්ටක් කෑවා බස් එකේ යන්න.. ඊට පස්සේ වැඩේ අත ඇරලා දාලා වෙනද වගේ අපු ගමන් බස් එකේ එල්ලිලා ගියා..

    ReplyDelete
    Replies
    1. සීසන් ගත්තෙ ඉතිං ජීවන බර හෑල්ලු කොර ගන්න නොවැ...සීසන් ටිකැට්ටුවට කොච්චර සුලු මුදලට ඉස්සර අපෙන් අය කලේ....මම පාසල් යන කාලෙ මට මතක විදියට රුපියල් 30 ක් වත් ගෙව්වෙ නෑ මම...

      Delete
  11. අනේ මේ ගෑනු ලමයි හන්දා පිරිමි ලමයි විඳලා තියෙන දුකක්. පව් අප්පා...:D

    ReplyDelete
    Replies
    1. k*mbak nisa ne gembo nahinne... :P

      Delete
    2. අනේ ඔව් අප්පා...මතක් වෙනකොටත් සෑහෙන්න හිතට අමාරුයි.. ඇයි මේ ගෑණු ළමයි මේ තරමට අපිට දුක් දෙන්නෙ....

      Delete
  12. මමත් ගියේ වතුර ටැංකිය ගාව තියෙන කොල ටයිපටි ඉස්කෝලෙට. ඔය කාලෙම තමයි. අතීත මතක ගොඩක් අලුත්කරලා දුන්න ලිපියක්. ස්තුතියි..!

    ReplyDelete
    Replies
    1. දිගටම මේ පැත්තට එන්න සහෝදරී....හදුනාගන්න ලැබීම ගැන සතුටුයි...ඔය ඉසව්වෙ තව ඇත්තියෝ ඉන්නවා නම් ඒ අයත් එක්කරගෙනම එන්න....

      Delete
  13. මගේ හිත අතීත මතක මාවත් ඔස්සේ බොහෝ දුර ගියා. බලාගෙන යනකොට සිරාත් හරි චන්ඩියා නෙව. මොනවා වුණත් අර උදිතයා නියම යාළුවා.

    ReplyDelete
    Replies
    1. මට ඉස්සර ඉදලාම අසාධාරණේ පේන්න බෑ...ඒ නිසාම අනුන්ගෙ මගුල් වලට අත දාලා මම ටිංකිරි ගාගත්තා අවස්ථා සෑහෙන්න තියෙනවා...පස්සෙ කාලෙක තමයි මගේ මොළේ පෑදිලා මගේ දේකට විතරක් හඩ නගන්න අමාරුවෙන් හරි පුරුදු වුනේ....

      Delete
  14. සිරා කොල්ලට වගේ නෙවෙයි අපිට තිබුනෙ කොච්චි සීසන් එකක්....මතක විදියට මම රුපියල් හයටත් ගිහින් තියෙනව..ඒ දවස් වලත් අපේ එවුන් හිටිය ඕක ගන්නෙත් නැහැ හොරට යන්නෙ..ඇමරිකානුව කියල එකෙක් හිටිය අපිත් එක්ක.බුවා හයේ හතරෙ පොර.දවසක් චෙකර්ල මුව ඇල්ලුවා..පැටිය කාලෙ නිසා බය කරලා මුව යැව්ව..ඇමරිය ඇඩුව හැටි මට තාම මතකයි....

    ReplyDelete
    Replies
    1. අපේ උන් නම් ටික්කො පැන්නම සීසන් එක නෑ වගේ පෙන්නලා ටික්කන්ට පොඩි සොමියක් දීලා අන්තිම මොහොතෙ තමයි ඒක පෙන්නන්නෙ....එතකොට ඒ ඇත්තන්ට මල දොඹ සයිස් එකට....

      Delete
  15. බොලා හින්දා තමා මේ ලංගමේ කම්බස් උනේ..

    මමත් ඒ කාලේ ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඔය සීසන් ටිකට් එකෙන් උදේට ඉස්කෝලේ යනවා, දවල්ට ගෙදර එනවා ඊට පස්සේ හවස පන්ති ගිහිල්ලත් එනවා. සමහර වෙලාවට හැන්දෑවට තියෙන වැඩ වලටත් ඕකෙන්ම යනවා. අන්තිමට බැලුවම උන්ට පාඩුයි. ඇයි බං මම හය පාරක් දවසට යන වෙලාවලුත් තියෙනවා නෙව..

    ReplyDelete
    Replies
    1. අපි හින්දද බොලං කම්බස් වෙලා තියෙන්නෙ...ඔය විදියට එහෙට මෙහෙට එක දවසට 6 පාරක් යද්දි ලංගමේට ඔරොත්තු දෙයිද....මේ බස් ඒ කාලෙත් දිව්වෙ ඩීසල් වලින් ගොයියො...හැබෑටම සුලු පටු පාඩුවක්ද මේ හාදයා ජාතික ධනයට කරලා තියෙන්නෙ...ඔච්චර එහෙට මෙහෙට ගියේ බස් එකේ ජැකක් වත් ගලපා ගන්නද  ?

      Delete
    2. නැහැ බං ඉස්කෝලේ යන්න, කාලා අයේ පන්ති යන්න. හවසට සැට් වෙන්න

      Delete
  16. අම්බෝ.... ඇත්තටම මචන් උබ ලියල තියෙනවිදියට රූප මැවිල පේනව... මමත් සීසන් එකෙන් ගිහිල්ල තියෙනව... ඇඩෙනව.. මතක් වෙද්දි...

    ReplyDelete
    Replies
    1. මතක් වෙද්දි ඇඩෙන ඒවා අපිට ඇඩෙන්නෙ නැති වෙන්න ලියහංකො වෙලාවක..

      Delete
  17. බස් කතාවක් මමත් ලිව්වා..මතකයි.... ටයි පටි සීන් තමා වැඩි නේ! ;)

    ReplyDelete
    Replies
    1. ඔව් බන්...ඒ ටයි පටියක් අද දැක්කත් හිතට පොඩි කිතියක් එනවා...හරිම සුන්දර අතීතයක්...

      Delete
  18. Replies
    1. අනේ මේ අසරණයා ලංකාව වටේ යන ජංගම ඔෆිස් එකේ වගෙයි තාම වැඩ....

      Delete
  19. සිරා දිගටම බස් කතා ලියන කොට ඔන්න මටත් බස් කතා 2ක් මතක් උනා 1 තමයි ඉස්සර අපි ලංගම මස් එකට නැග්ග ගමන් කොන්දා කරන්නේ සිනුවේ ලනුව තද කරලා ගැට ගහනවා.... අයෙත් එතනින් එහාට කාටවත් සිනි ගැහිල්ලක් නෑ බස් එක හැම හෝල්ට් එකේම නවතන බවට කොන්දා නිවේදනයකුත් දෙනවා (හේතුව නැත්නම් නොනවත්වාම අපේ එවුන් සීනු ගහන නිසා) 2 තමය ප්‍රයිවට් බස් එකට නැග්ග ගමන් කොන්ද ටක් ගාල ද්ර්යිවර්ට කියනවා අයියා කැසට් එක දාන්න කියලා (හේතුව නැත්නම් අර ස්පිකර් අපේ එවුන් ගලවන් යන නිසා (කැසට් එක දාලා තිබ්බම ස්පිකර් එක ගලවපු ගමන් සද්දේ නැතිව යනවනේ එත කොට වැඩ මාට්ටු ))

    ReplyDelete
    Replies
    1. අප්පේ මැලේ රාළලා දැක්කම කොන්දා අයියට හීන් දාඩිය දානවා ඇති...ෂුවර් එකටම ඔය නඩේට නායකත්වය දෙන්න ඇත්තෙ මේ රාළයා තමයි....ගෙදර රෙදි වනන්න බෙල් එකේ ලණුව කැපුවා නේද....බස් එක යද්දි කොන්දොස්තරගෙ ඇහැ වහලා බෆල් ගලවනවා කියන්නෙ බොලං කම්බා හොරු සැට් එකක් එක්කනේ ඉදලා තියෙන්නෙ...

      Delete
  20. සමහර කොන්දෝ තාමත් ස්කුල් බස් එකට ඇරෙන්න වෙන CTB බස් වලට සීසන් ළමයි ගන්නේ අන්තිමට. බස් එක අද්දන්න කිට්ටු උනාම. ඕකට ඇරගත්තු තරමක්....

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලන්ට දවසකට ලැබෙන ටාගට් එක ගහපුවාම කමිෂන් එකක් ලැබෙනවා...ඒකට හතුරො වගේ ඉන්නෙ සීසන් සැට් එක. ඒකයි මෙතන තියන අවුල...

      Delete
  21. ade matath mage iskole kaale mathak una ban... season kattak aran battery pettiye yanna pora kaawa widiha thaama mathakai... kochchara seat thibbath 10 wasarata wenakam api giye battery pettiye... diga kalisam andinna patan gaththama thamai eketh yana eka nawathune... ada kaale inna unta mehema aathal nathi eka nam duke ba... unta thiyenne computer , tablet etc... aathal ne... maru post eka sira digatama hamadaama liyapan...

    ReplyDelete
    Replies
    1. ඇනෝ මිත්‍රයාගෙත් අතීතය බොහොම සුන්දර එකක් වග මට සිතෙයි. බොලා කියලා තියෙන කථාව සම්පූර්ණ ඇත්ත. ඒ වගේ අතීතයක් අද ඉන්න අයට හිමි නැත. වයස අවුරුදු 3 න් වගේ මොන්ටි සෝරි යන්න පටන් අරන් ළමා කාලය ගෙවෙන තුරාවටම විභාග පස්සෙ දුවන්න තමයි අද ළමයින්ට වෙලා තියෙන්නෙ...

      Delete
  22. අතීත මතකය අවුස්සන්නට හොඳම පොස්ටුවක්. මමත් ඇතුළු බොහෝ දෙනෙකුට මේ අතීතය අඩු වැඩිවශයෙන් මෙලෙසින්ම තිබුනත් මේ සා රසාලිප්තව මෙය කියන්නට නම් නොහැකිවෙයි. විශිෂ්ටයි සිරා ....!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන්...හොදම නෙමෙයි පුලුවන් තරම් අඩුපාඩු පෙන්නලා දියන්...මම මනාපයි ඒකට..

      Delete
  23. බලාගෙන යනකොට සිරා අයියා ගෑල්ලමයින්ගේන් බයිට් කලා තියනවා නෙව එකසිය ගානට....හිහ් හිහ් හිහ්

    උදිතයා නම් නියම යාලුවෙකු බව හිතෙනවා

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් මල් වගේ කොල්ලො නොවැ නගෝ....කෙල්ලොත් මල් වගේ තමයි හැබැයි ඈතට....ලගට ආවම ...ඒ ටික හිතාගන්නකො....

      උදිතයා දැන් මෘදුකාංග ඉංජිනේරුවෙක්...

      Delete
  24. කොළ පාට ටයි එකක් දැක්ක කාලයක් මතක නෑ අප්පා... ඔන්න රතුටයි එකක් දෙකක් නං උදේට උදේට දකිනවා. හිහ් :)
    මරු පෝස්ට් එක සිරා... සිරා ලිව්වොත් සිරා !

    අර චන්ද්‍රිකා නෝනා වෙලාව වෙනස් කරපු වැඩේ නිසා මරු.. නැත්නම් මට උදෙන් උදෙන් ඇහැරිලාම එපා වෙනවා !

    ReplyDelete
    Replies
    1. මට ඉතිං ඔය දෙවර්ගයේම ටයි පටි හිතෙන් මවා ගන්න තමයි වෙන්නෙ...අපි යන කාලෙ බොහොම ලස්සන කෙල්ලො ඉන්න පාසල විදියට ඉදිරියෙන්ම හිටියෙ කොළ ටයි පටි...අපේ ඉස්කෝලෙ කොල්ලො කොච්චර පීචං වෙලා ඇද්ද ඒ ඉස්කෝලෙ කෙල්ලො ඉස්සරහා ආදරය ඉල්ලලා....ගනන් උස්සලා උස්සලා අන්තිමේට අපේ එකෙක්ටම තමයි ඒ ඇත්තියොත් කැමැත්ත දුන්නෙ.

      Delete
  25. ඔය කොළ ටයි කෙල්ලෝ ඉන්නවා නේද?? අම්බෝ මහ අංකුට්ටියෝ.. අපේ බස් එකෙත් යනවා හෙන ලොට් එකක්. දුකේ බෑ අප්පා...

    ඒ උනාට අපි නං කැමති අර රතු අකුරු 3ක් පපුවේ ගහන් ඉන්න ඉස්කෝලේ ගෑණු ළමයිට. ඇයි හෙන පොශ් ලුක් එකනේ ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රතු ටයි සහ අකුරු තුනේ ඉස්කෝලේ ළමයින්ට හෙන පොෂ් ලුකින්ග් කියන තත්වෙට පත්වෙන්න නම් අඩවි රජා මහාම ගොඩයෙක් විය යුතුය. හිකිස්

      Delete
    2. ඉස්කොලෙ යන කාලෙ මටත් එහෙම තමයි බං හිතුනෙ...ඒත් කොළ ටයි පටි අතර ඉන්නවා ඉතාම හොද දැරිවියො...එහෙම කීප දෙනෙක්ම මගේ ජීවිතයට පසු කාලීනව ලං වුනා...මගේ පැරණි පෙම්වතියත් එහෙ කෙනෙක්...

      රතු ටයි පටි අදින අයගෙ පාසල් නිල ඇදුමෙ තියෙන ලස්සන නිසා තමයි ඒ ඇත්තියො අනිත් අය අතර කැපිලා පෙනුනෙ. ඔය නිළ ඇදුම හැදුවෙ ඔය පාසලටම අතීතයේ ගිය ශිෂ්‍යාවක් කියලා බොලා දන්නවද ? ඇය අද ඉන්නෙ කැනඩාවෙ. මගේ ඉංග්‍රීසි ගුරුතුමාගෙ නැගනිය.

      Delete
  26. රතුටයි පටි කාරියො සිරා මලයගේ ජීවිතේ දුෂ්ට චරිත නේද ? මතකද ගම්පහ ඉදන් ඉදිගොල්ලට ගිය මල්ගුඩිය.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට පාසල් යන කාලයේ මට යෙහෙලියො හිටියෙ රතු ටයි පටි වලින් විතරයි...උන් අනිත් ඉස්කෝල වල අයට වඩා සමාජශීලීයි...ඉදිරියට එන ගතිය වැඩියි. මල්ගුඩිය කිව්වෙ බස් එකක්ද හැබෑටම?

      Delete
  27. සදරු වගෙ අලුත් එක බැලු වද http://hisahasa.blogspot.com/2013/11/blog-post_4.html#comment-form

    ReplyDelete
    Replies
    1. ලොකු ද ?

      Delete
    2. yakoo eka max post eka

      Delete
    3. මේක ගැනත් අදහසක් කියපංකො ඇනෝ ගොයියො...

      Delete
    4. මචන් සිරා උබෙ post මාර සිරා ... මම උදේම උබෙ blog එකට අවිල්ල උබෙ post කියවලා උබෙ රොලෙන් update වෙන blog බලනව ...

      Delete
    5. සතුටුයි මචෝ...දිගටම වරෙන්...

      Delete
  28. අර අඩි හයේ පොරට කම්මුල් පාර දුන්න සිරා කොලුවා, අර බස් එකෙන් බැහැපං ඩෝ කියලා පාට් එක දාපු ඩ්‍රයිවරයට ගැහුවේ නැත්තේ උගේ මූණේ තිබ්බ කැලලට බයේ නේද? ඇත්ත කියහං. :D

    ReplyDelete
    Replies
    1. හරියට හරි...මිනිහා නිකන් යකෙක් වගේ...බොහොම භයානක බැල්මක් තිබ්බෙ...එයත් එක්ක ගේම ඉල්ලලා කෙල්ලො ඉස්සරහා රෙදි ගලවාගන්නෙ මොකටද කියලා තමයි මම එදා බැස්සෙ...හැබැයි අපේ ගෙවල් පැත්තෙ හිටිය කොළ ටයි පටියක් අපේ නිවසට සිද්ධිය වාර්තා කරලා තිබුනා.

      Delete
  29. බස් එකක සල්ලි නොදී යන ගමන් තව පොර ටෝක් දෙන්න යන එකෙකුට සලකන්න ඕන ඔහොම තමයි.

    උදිතයා නං වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම යාලුවෙකි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම...එදා ඒකා මම වෙනුවෙන් බැහැලා ආවා කියලා කිව්වම මට ඒකා ගැන පුදුම මිත්‍රත්වයක් ඇති වුනා.. අර ගුටි කාපු එකා නම් ආයෙමත් සල්ලි නොදී යන්න නැතුව ඇති...ඒ පාර හෙණ ගැහුවා වගේ වැදුනෙ...උගෙ දත් ඇන්දම කටේද මන්දා...මට ගෙදර ගිහිල්ලා දුකත් හිතුනා.

      Delete
  30. //මගෙන් ගුටි කෑ කොලුවාගෙන් රිටර්න් එකක් ඒවි යයි සිතා මම සතියක් වෙනත් මාර්ගයකින් නිවෙස බලා ගියෙමි. සිරා එතරම් නිර්භීතය.// හි හි :)


    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි....අදත් එමම තමයි...

      Delete
  31. හම්මෝ බස් කතා බස් මහා සෙට් එකක්නේ..

    සීසන් පෙන්නන්න බැරි ලංගම බස් කාරයෝ එක්ක තියන මල පරම්පරාවෙන් පරම්පරාවට එන එකක් වෙන්න ඇති නෙහ්

    ReplyDelete
    Replies
    1. සීසන් එකෙන් කට්ට කාලා ඉස්කෝලෙ ගිහිල්ලා කොන්දොස්තර රැකියාවට එන කෙනත් සීසන් වලට සැලකුවෙ පරණ තාලෙටම තමයි. කොමිස් මුදලට කෙළවෙන නිසයි සීසන් අරහං...

      Delete
  32. බස් සීසන් එක වගේ චාටර් නෑ නේ කොච්චි සීසන් එක. අපි නං ඉතිං පන්ති ගියෙත් සීසන් එකෙන් තමයි...

    මං ඉස්කෝලෙ යන කාලේ ඔය ස්කූල් බස්වල ගිහින් තියෙන්නෙ දෙතුන් පාරයි... කෙල්ලො කෙල්ලො වලි දාගන්නකොට මට එපාම උනා.. මොකද බාලිකා දෙකකට තිබ්බෙ එක බස් එකයි... ඒ බස් එකට එවුන් මරාගනිද්දි අපි කෝච්චියෙ ඒ ඉස්කෝලෙ දෙකම හෙන සමගියෙන් සමාදානෙන් ගියා...

    කාන්තාවන්ට පමණයි බස් එකට දුවන් එන කොල්ලන්ට කොන්දා “ මල්ලි මේක කාන්තාවන්ට පමණයි” කියලා කෑ හලා කියද්දි උන්ගේ මූණෙ මතුවෙන පෙනුම ගැන අත්දැකීම් තියෙන හින්ද මට හිතාගත්තෑකි එදා සිරාගේ මූණ කොහොම තියෙන්න ඇද්ද කියලා.... පවු අප්පා....හි හි....

    ReplyDelete
    Replies
    1. මට මතකයි බොලා සීසන් එකෙන් කෝච්චියෙත් නිකං ගියේ නෑ කියලා...අහල පහල කොල්ලන්ට ඇහැ කරකවලා උන්ව අමාරුවෙ දැම්මා නේද...

      කෙල්ලො කෙල්ලො ගොඩාක් වෙලාවට මරා ගන්නෙ කොල්ලෙක් බෙදා ගන්න නේද ? මම නම් ඔය කිව්ව දවසෙ ඩැයිවර් මාමා ලගටම වෙලා ගියේ එයා ඉතිං මගේ වර්ගයේ කෙනෙක් නිසා....

      Delete
  33. මචෝ ඕන් සිලෝන් ටකරන් බස් එකක්.. වංගුව ගන්නේ නැතුව කෙලින් ගිහින්.. එකොලහක් 10 ක් එතනම ඔන්ද ඉස්පොට්.. තව කෙනෙක් ඉස්පිටිතාලෙදි ඔන්ද ඉස්පොට්.. බස් කතා බස් කොච්චර ලිව්වත් බොහොම රසවත්..

    ReplyDelete
    Replies
    1. මේ අද ඊයෙද මේ සිද්ධිය උනේ..මතකද වතාවක් බියර් ප්‍රවාහනය කරන ලොරියක ගැටිලා ඉදුරුවදි බස් එකක් ගිණි ගත්තා...ඇතුලෙ හිටපු අයගෙ අවාසනාවට පිටවීමේ දොරටු පාර පැත්තට වෙන්නයි එදා බස් එක පෙරලුනේ...සෑහෙන ජීවිත හානි වෙච්ච අනතුරක් ඒක.

      වැඩේ කියන්නෙ අර රතු ටයි පටි වලට අයත් බස් එක 80 දශකය අග භාගයේ දුණු කොලයක් කැඩිලා ජා-ඇල ගම්පහ ප්‍රධාන මාර්ගය අයිනෙන්ම අත්තනගලු ඔය ගලන ස්ථානයේ උණ පදුරකුත් ගලවගෙන ඔයට වැටුනා...ඒ අනතුරෙන් රතු ටයි පටි කීපයක්ම ජීවිතෙන් සමුගත්තා.

      Delete
    2. ඒ සිද්දිය ඩැන් දවස් 2 කලින් නෙද උනේ.ඔය බන්ඩාරවෙල පූනගල කියන පාර බන්ඩරවෙල ටවුන් එකෙන් පටන් අරගෙන 1කි මී විතර යනකන් ටිකක් හොදයි ඊට පස්සෙ ඇග හිරි වැටෙනවා යන විදිහ දැක්කම.මේක කියද්දි මට මතක විදිහට 1993 අවුරුද්දෙ 202 පාරෙ පාලමක් හදනකොට එක පැත්තක් විතරයි යන්න හදල තිබුනෙ.එතනින් බස් යනකොට වැඩිපුර සෙනග බස්සල අනිත් පැත්තට ගිහින් තමයි ආයෙ සෙනග ගන්නෙ.එදාමට මතකයි ඒ උන තියන දවස්නෙ..මමත් පුට් බෝඩ් එකේ ගිහින් මෙහා පැත්තෙ බැහැල පයින් අනිත් පැත්තට ගිහින් බලාගෙන හිටිය බස් එක එනකන්.හදපු පැත්තෙ ඇදි තිබුනෙත් නැහැ.හරියටම මැද්දෙදි බස් එක පාලමෙන් පහලට පෙරලුනා.ඒකෙන් ඔය කොල පටි ඉස්කොලෙ මගෙ වයසෙ සහොදරියෙකුයි මගෙ පාසලේ නැගනියෙකුයි මිය ගියා. ඒක හිතට මාරම වෙදනාවක් අපිට ඒ දවස් වල.පව් ඒ ජීවිත දෙක.
      ඉන්දික

      Delete
    3. මට හොඳට මතකයි සිරෝ ඒ සිද්ධිය... ඊට පස්සෙ දවසක ඉස්කෝලෙදි චිත්‍රයක් අඳින්න දීපුවහම මම ඇන්දේ ඔයකට බස් එකක් වැටිලා තියනවා... ටීචර් එක දැකලා ඇඬුවා...

      Delete
    4. මට ඔය සිදුවීම ගැන තොරතුරු හොයාගන්න ලොකු කැමැත්තක් තියෙනවා...තාම කවුරුවත් මුලිච්චි වෙලා නෑ...ඒ ගැන දන්න...

      Delete
  34. මටනම් ඔය චෑන්ස් වැදුන්නෑ බන්..ඉස්කෝලෙ අල්ලපු වැටේනෙ.. හතය් විසිපහට ගෙදරින් ආවා, වැටෙන් පැන්නා හතාමාරට ඉස්කෝලෙ.. :D

    සිරාටත් හරි හරි ඇබැද්දි තමා වෙලා තියෙන්නෙ නේද ?

    ReplyDelete
    Replies
    1. අල්ලපු වැටේ ඉස්කෝල තියෙද්දි තව තව ඇබැද්දි වෙනවා නේද....වැරැද්දක් කරලා මාට්ටු උනොත් ගෙදරටම ඇවිල්ලා ඒක කියන්න ගුරුතුමාට පුලුවන්...ඉස්කෝලෙ සාමුහික වැඩක් කරද්දි උවමනා කරන හැමදේම , උපකරණ සැපයීම ඉතිං ගේ ලගට කෙනාට තමයි භාර වෙන්නෙ. සිරාට මීට වඩා ඇබැද්දි වෙලා තියෙනවා...ඉස්සරහට කියන්නම් හෙමිහිට...

      Delete
  35. ආපහු ඉස්කෝලේ ගියා වගේ... එක දිගටම කතා ටික කියවගෙන ගියා..

    මාත් ඉස්කෝලේ ගියේ ගම්පහ ඉදන් කොළඹ අපු ස්කූල් බස් එකක.. ඒ නිසා කථා ටික කියවනකොට හුඟක් දේවල් මතක් උනා..

    ReplyDelete
    Replies
    1. ඒ මතක් වෙච්ච දේවල් ඔයාගෙ බ්ලොග් එකේ සීරුවට ගලපන්න...නිවාඩුවක් ලැබුන ගමන් ඒ පැත්තෙ එන්නම් කියවලා යන්න..

      Delete
  36. මාත් ඉතිං ගම්පහ නගරයේ ඉඳන් ඉස්කෝලෙට බස් එකේ ගිය නිසා මේ හා සමාන අත්දැකීම් තියනවා. කෙල්ලන්ගේ බස් එකට වැරදිලා නැගලා එහෙමවත් යන්න මට ගටක් තිබ්බේ නෑ... උන්ගේ කතා අහන්න බැරිම තැන බස් එක ස්ලෝ කරපු වෙලාවක මම පැන්නා.. මළත් සැපයි බං ඒවා අහනවට වඩා...

    අපේ ඉස්කෝලෙ ලඟ බස් එක නවත්තන්නේ නැති නිසා අපි කලේ... කල්යාණි පාර දිගේ රතු ටයි ඉස්කෝලෙ පැත්තට ගිහින් උන්ගේ හෝල්ට් එකට නොයා ආනන්ද මාවත ලඟ හෝල්ට් එකට ගිය එක, රස්තියාදුවටත් එක්ක.

    මට මතක හැටියට ඒ කාලේ ගාස්තුව සත පනහයි... සීසන් එක රුපියල් 6.

    ReplyDelete
    Replies
    1. අපි ඉතින් ජා-ඇල පාරෙ ජනතාව නොවැ...අපිට ඉතින් යක්කල - ගම්පහ පාරම තමයි තිබුනෙ. බස් එකේ යන්න ගත්ත මුල්ම කාලෙ බස් එකක් එනකං අපි කලේ කටේ දාලා කෙල ගෑවුනාම පුපුරන ටික්කො එකතු කරපු එක...අද වරලත් ගණකාධීකරණය උගන්වන පන්තිය තිබෙන තැන ඉස්සර හිස් ඉඩමක් තිබුනෙ...එක්කෙ ටික්කො පිරිලා හිටිය බව මතකයි.

      Delete
  37. අර සෙන්නාට වගේ තමයි මටත් බං, ස්කොලේ අල්ලපු වැටේ.හුවයි බල්ටියයි.
    හැබැයි ඊට කලියෙන් අපි රත්මලානේ උන්නු කාලේ ස්කෝලේ ගියේ සිරා වගේම වැන් එකේ.අවුරුදු 02හෝ 03 තමයි ඒ ඉතිං.

    ReplyDelete
    Replies
    1. අපිට වෙච්ච සන්තෑසි බොලාට වෙලා නැති හැඩයි...නැත්නම් ඉතිං එකක් දෙකක් නොකියා ඉදීයැ...

      Delete
  38. පාසැල් කාලයෙන් වැඩිහරියක්ම ලංගම බස් වලටයි, සීසන් ටිකට් එකටයි පින්සිද්ධ වෙන්න ගෙවා ගත්ත අපේ පරපුරේ උන්ට මේ කතා හරි රසවත්!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම...ඒ කාලෙ පාසල් ශිෂ්‍යයෙක් විදියට අපේ ලෝකය අද ළමයෙකුගෙ තරම් සංකීර්ණ වෙලා තිබුනෙ නෑ නේද...සෙල්ලම් කරන්නත් ඇති තරම් කාලෙ තිබ්බා...

      Delete
  39. පාසල් කාලයේ මතකයන් මොන තරම් දේවල් අපට මතක් කොට දෙනවද? සිරාට බස් කතා වගේ මගේ දිවිය හා බැඳී පවතින්නේ කෝච්චියයි.

    ReplyDelete
    Replies
    1. මමත් කාලයක් කොච්චියෙ අගනුවරට සේවයට ගියා...ඒ සම්බන්ධයෙන් ගොඩාක් දේ තියෙනවා සුන්දර මතකයන්...පස්සෙ දවසක ඒ ගැනත් කියන්නම්...

      Delete
  40. හප්පේ බස් කතා බස්.......... කටත් ඇරගෙන කියෙව්වා. බස් වල යන එකනම් මට දිරවන්නෙම නැහැ මට බස් කියන්නේ වහ වගේ පයින් යනවා බස් වල යන් ආසා නැහැ. හේතුව මම පස්සේ කියන්නම්.

    ReplyDelete
    Replies
    1. උඹලට ඉතිං පුද්ගලික වාහන තියෙන්න ඇති...එහෙම තියෙද්දි මොන මෝඩයද බස් වල තෙරපෙන්නෙ...

      Delete
  41. හම්මෝ සිරායිය, ඉස්කෝලෙ කාලෙ මතක් වෙනව ආයෙමත්. මේ වතාවෙත් ආදි ශිෂ්‍ය සංගමේ රැුස්වීමට ගියේ නෑ කියලත් දැනුයි මතක් වෙන්නෙ. ගාලු දිසාවෙ ප‍්‍රසිද්ධ කොළ ටයි පටි පාසල පහු කරන් ඉස්කෝලෙ ගිය කාලෙ මාර සුන්දරයි. ඒ පාසලේ නිවාසාන්තර කී‍්‍රඩා තරගෙ දවසෙ, විශේෂ ටයි පටියක් හොයන්න ඇතුළට පැනල හිටපු විනාඩි ගණන ආයෙ ආයෙ මතක් වුණා. ශාලිතගෙ සින්දුවත් මතක් වෙනව. මතක ගොඩක්... සිරායියගෙ ලියුම් නිසා කොළඹ රටේ තනිකම ටිකක් හරි පහ වෙනව. බොහෝ ම පින් ලිපියට. යෝජනාවක් කරන්න හිටිය කාලයක් තිස්සෙ, මට ම අමතක වුණා. අපේ රටේ විරල, සංචාරක සටහන් කලාවටත් යොමු වුණොත් ඒක මෙහෙ පාඨකයන්ට හැබෑ වටිනාකමක්. ඒ ගැනත් හිතල බලන්න.

    ජය!
    ඉසුරු

    ReplyDelete
  42. attamai sira ayye lipiya nam maru.... mageth school life 1 mathak una...maath oya wagema katu kewa c.t.b school bus nisa.(kalutara-panadura)... ape nam girls & boys kiyala wena wenama bus 2k tibuna...bt ape kollonge bus ekata hamadama kudammage salakili tama....a wage dawaswalata nam kunu bittara prahara walata lak wennata kellonge bus ekata sidda una-ewta walith dagatta...bt a/l kale weddi ape school 2tama dunne 1 bus ekai... a dawaswala nam kello apith ekka fit una...kalutara stand eken bus 1k daganna api degolloma ekathu wela wali kewa....

    ReplyDelete
  43. attamai sira ayye lipiya nam maru.... mageth school life 1 mathak una...maath oya wagema katu kewa c.t.b school bus nisa.(kalutara-panadura)... ape nam girls & boys kiyala wena wenama bus 2k tibuna...bt ape kollonge bus ekata hamadama kudammage salakili tama....a wage dawaswalata nam kunu bittara prahara walata lak wennata kellonge bus ekata sidda una-ewta walith dagatta...bt a/l kale weddi ape school 2tama dunne 1 bus ekai... a dawaswala nam kello apith ekka fit una...kalutara stand eken bus 1k daganna api degolloma ekathu wela wali kewa....

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...