Tuesday, April 29, 2014

80 ඇඹුල් දොඩම්

ඔහුගේ උප්පැන්නයේ නම ඇක්මන්ය. නමුත් පොළේ ඒ නමින් ඔහුව දන්නේ එහෙමත්ම පිරිසකි. පොළේ සියල්ලන්ම ඇක්මන් හදුනන්නේ ඇඹුල් දොඩම් කියූ විටය. නිවසට හා ගමට ඇක්මන්  උනාට පොළට ඇක්මන් ඇඹුල් දොඩංම විය. ඒ මාතර බත් කඩේ කට හොද නැති රෝහණ මුදලාලිට පිං සිද්ධ වන්නටය.



කඩයට ගොඩවන කාට හෝ කොලොප්පමක් කර සිනාසීම මුදලාලිගේ සිරිතය. එක්කෝ කාට හෝ නමක් පටබදියි. නැත්තං අමු තිත්ත කුණුහරුප පද පෙරළියක් කියා නොකීවා සේ හිදියි. තේරී සිනාසෙන උන් අතර නොතේරී කට බලියාගෙන ඉන්නා උන්ටද කෝචොක් කිරීම මුදලාලිගේ පුරුද්දය. ඒ නිසා තේරුන නොතේරුන හැම එකාම තේරුම් ගියා සේ සිනාසීමට වගබලාගෙන සිටිති.

විටෙක ඔහු

“ගුණදාස ගියේ නැතෙයි උඩුවෙ බලන්න ?,, යි අසයි.

“ අනේ මුදලාලි කොහෙද ඕවට වෙලාවක් ? තැඹිලි විකුණන ගුණේ නිරුත්තරව උත්තර දෙයි. නමුත් වටේ පිටේ ඉන්නා උන් හිකි හිකි ගාමින් දිව කට හපාගෙන සිනාසෙති.

“ මේ හුළගත් එක්ක ගෙයි ඉන්නත් භයයි බං....අරුන්ගෙ පොල් ගහ ගේ දිහාටමනෙ ඇඹරෙන්නෙ. ග්‍රාමයට කිව්වට ඌත් අරූගෙ සල්ලියට යට වෙලා.

කඩයට ගොඩවැදුනු තවකෙකු හා දොඩද්දී ඒ ඇහෙන මුදලාලිගේ කට කොකියයි.

මොකෝ වත්තෙ හුළංවත්ද සිරිපාල ?

ඔයින් පසු වැටෙන්නට යන ගහද අමතක කර සිරිපාල ඇතුළුව හැමෙකාම මුදලාලි අනුව සිනාවෙති.

ඇක්මන් පොළට ආ මුල් කාලයේ දවල් බත කන්නට හවස්වරුවේ ගොඩවැදුනේ මේ මාතර බත් කඩයටයි. ඒ ආ දිනක අලුතින් පොළට ආ මේ ගැටයාට තවමත් යමක් කියාගැනීමට ඉඩක් නොලැබුණු රෝහණ මුදලාලි පොටක් පාදා ගත්තේය. කුලෑටිකමින් රාක්ක දිහා එබි එබී බත් ගිල දමන ඇක්මන් දෙස බැලූ මුදලාලි....

“මොනවද තමුසෙ අර පැණි දොඩම් කියලා විකුණන්නෙ ? අපේ පොඩි එකා ආසාවට ගෙඩියක් ගෙනත් කාල කිව්වෙ කටේ තියන්න බෑ ඇඹුලයි කියලා.

ඇක්මන් භීතියෙන් මුදලාලි දෙස බලා සිට, “ඇඹු...ඇඹුල් දොඩම් ! අනේ අම්මප නෑ මුදලාලි මං එහෙම කරන්නෙ නෑ. මේ බලන්න මේ ගෙඩිය.

ඔහු බත් පතද පසෙක තබා තම දොඩමෙහි පිරිසිදු භාවය පෙන්වීමට හදයි.

මේ..මේ...පැණි දොඩම් මුදලාලි කාලා බලන්න.

“අනේ පලයං යෝධයෝ උඹේ ඔය ගොරක දොඩමත් අරං. උඹ අහුවෙයංකො මට.

මුදලාලි තර්ජනය කරද්දී කඩේ අනිත් උන් හිනැහෙන්නට හේතුවක් ඇඹුල් දොඩම්ට හිතාගනු බැරි විය. ඔහු නම් භීරාන්තව සිටියේය.

එතැන් පටන් ඇක්මන් නැති තැන කියන්නට පටන් ගත් ඇඹුල් දොඩම් නම, ඔහු ඇති තැනද කියන්නට පටන් ගෙන කාලයක් ගත වෙන විට ඇක්මන් යන්න ඇක්මන්ටද අමතක වන තරමට ප්‍රචලිත විය. කල් යත්ම ඇක්මන්ද ඔවුන් හා තමන්ටම සිනා සී පුරුදු පරිදි ජීවිකාව කරයි. විටෙක ඔහු හිත පෑරුනද කල හැකි අනෙකක් නොමැත්තෙන් හේ ඒ උහුලාගත්තේය. එවිට ඇක්මන්ට තමා ගැනම කම්පාවක් ඇතිවෙයි. තමුන් අනෙක් හැමටට නෝංජලයෙක්ම පමණක් වීම මේ කම්පාට හේතුව වන්නට ඇත.

සතියේ ඉතිරි දවස්වල ඔහු සයිකලයද පැදගෙන බොහෝ දුර බැහැර පළාත්වලට යන්නේය. උපතින්ම කොටෙකු වූ හෙතෙම බින්දුවටම පහත් කල සීට් එකේ උඩට පහළට තට්ටම් දෙක අතුල්ලවමින් හැතැප්ම ගනන් සයිකලය පාගයි. දොඩම්වලට අමතරව පේර, වෙරළු ආදියද කෙහෙල් මුවක්, ඇඹරැල්ලා ටිකක් එකතු කර ගත්තද, ඔහුගේ ප්‍රධාන අළෙවි භාණ්ඩය දොඩම් ම විය. සයිකලයේ පිටුපස ලගේජයේ පෝර උරය ඒ සදහා පමණක්ම වෙන්කර තිබුණි. අනෙකක් වූයේ නම් ඒවා සයිකලයේ හැඩලයේ දෙපැත්තේ එල්ලීගෙන පොළට ආවේය.

දෙල් ගහ යට සුපුරුදු තැන ඉටිකොළය එලන ඇඹුල් දොඩං සයිකලයේ ඇති දොඩම් උරය ලිහා සීරුවට එකින් එක ගෙන ඒ මත අඩුක් කරයි. දවසක දොඩම් ගොඩ පිරමීඩාකාරය. තවත් දවසක ගඩොලින් බැදි තාප්පයක් සේය.

“පැණි දොඩං.....එන්න නෝනා මේ හතරම සීයයි. හතරම සීයයි. ගන්න පැණි දොඩං....,, පිරමීඩය හෝ තාප්පය බැද නිම වූ වහාම ඔහුගේ හඩ ඇසෙයි.

කීයද ?

බරට සිලි සිලි උර දෙකක් දෑතින් ගෙන එන්නෙක් දොඩම් ගොඩ වෙත නිකට දිගු කරමින් ඉගියෙන් විමසයි.
“හතරම සීයයි මාත්තය, ෂෝක් දොඩං....,,

මිළ විමසන්නා දොඩම් ගෙඩිවල ලෙලිද විනිවිද බිකිද ගණින්නාක් සේ මදක් බලා හිද යළි ඉවත යයි. ඇක්මන් තම සුපුරුදු වාක්කිය ද අමතක කර දොඩම් ගොඩ දිහා බලා සිටින්නේ පළමු වරට ඒවා දකින්නකු සේය.  තමා නුදුටු යම් අමුත්තක් දොඩම්වල ඇත්දැයි බලන්නට මෙන් ඔහුගේ දෙනෙත දොඩම් ගොඩ පුරාම දුවයි.

“පැණි දොඩං....ගන්න පැණි දොඩං...දෙකක් පණහයි, හතරක් සීයයි...,,
ඔහු අනතුරුව නව වැකියක්ද මැදට අමුණා යළි ගෑගසන්නට පටන් ගනියි.

“දෙන්න හතරක්,,

රුපියල් සීයේ නෝට්ටුවක් ඇක්මන්ගේ දෑස් ඉදිරියට දිගු වෙයි. ඔහු හිස ඔසවා නොබලා, හිස පහත් කරගෙනම දොඩම් ගෙඩි හතර සිලි කවරයක දමා දිගු කරන අතරම රුපියල් සීයේ නෝට්ටුව අතට ගනියි. දොඩම් ගොඩ පිටුපස හිදගන්නා ඇක්මන්ට තමන් ඉදිරිපිට ඇති කිසිවක් නොපෙනෙයි. ඔහුට පෙනෙන්නේ දොඩම් ම පමණි.

තවම ගුලිකරගෙන සිටින සීයේ කොළය දිගහැර බලද්දී එහි ඉන්නා මාල ගිරා ජෝඩුව ඇක්මන්ට සුමනා සිහිපත් කළේය. අවුරුදු දාහතකට පෙර අලුත්ම අලුත් සයිකල් පොල්ලේ හිදගෙන ආ ගමන්මය තව ඈ. එදා තමන්ගේ මිටිකම වුවද සැපකැයි ඔහුට සිතුනේ සුමනාද පොල්ලේ තබාගෙන ඇගේ ඇතිල්ලි ඇතිල්ලී පෑගූ පෑගිල්ල මතක් වීය. පුංචි පාලම තෙක් මහ නැග්මේ මැද්දකරක් වෙනතුරු පෑගූ හේ සයිකලෙන් බැස්ස නමුත් ඈට පය බිම ගහන්නට නුදුන්නේ, කතරගං දෙයියන්ට පූජා වට්ටියක් පුදන්නට යන බැතිමතෙකු සේ සැලකිල්ලෙන්ද, කලකින් වහින වැස්සකට පැන කෙළින කොලු කැලක සේ ඉපිලෙමින්ද, මුල් දිනුම දිනූ ලොතරැයියක් අතැත්තෙකු සේ පපුවේ ගැස්මෙන්ද පාලම මැද උස් පඩියටම යනකල් බයිසිකලය තල්ලුකල හෙයිනි. එවක් පටන් සුමනා ඔහුට දරුවන් තිදෙනෙකු වැදුවාය. උන් තනිව හැදුවාය. අදත් වචනයක් කීවොත් ඒ උන් ගැනය.

“පොඩි එකාට ඉස්කෝලෙ යන්න බෑ කියලා අඩනවා. කොල්ලො කොලොප්පං කරනවලු අරක මේක කියලා...

ඊයෙ හැන්දෑවේ ඈ කී හැටි ඇක්මන්ගේ හිතට ආවේ පපුව කකියවාගෙනය.

“.....කීයද මේ,,

“ ආහ්...ගන්න නෝනෙ දෙකක් පණහයි. හතරක් සීයයි..,.

මෙදා පාර නම් බස්වලටද වෙළදාමේ යා යුතු යයි ඔහු හිතාගත්තේය.

.......................................................................................................

“මහත්තයා හුග කාලෙකින්......,,

රෝහණ මුදලාලි කඩයට ගොඩ වූ අමුත්තා දිහා බලා සිනාවෙන් යුතුව කීවේ  හුරු පුරුදු නොවෙනස් හඩිනි.

ඒකනෙ මුදලාලි කොහෙද මේ පොත්පත්වල වැඩත් එක්ක, දන්නවනෙ...

නැත්තං නැත්තං මහත්තයො....

හැබෑවටම මුදලාලි, සිරිමෙවන් මහත්තයා ගැන දැනන් සිටියේය. මාසයකට වරක්වත් තමුන්ගේ කඩේට ගොඩවෙන සිරිමෙවන් මහත්තයා කෝපි කෝප්ප හත අටක් හිස් කරමින් මුදලාලි හා දොඩමළු වෙයි. මුදලාලිගේ ඇතැම් අත්දැකීම්, අරුම පුදුම කතන්දර ආදිය තමුන්ගේ වාගේ ගැමි සුවද පෙරි පෙරී තීරු ලිපියක හෝ නිබන්ධනයක ලියයි. විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට පන්ති සාමාර්ථ ලබා දීමට කැපවෙයි. ආණ්ඩුවට කහියි. සම්මානවලට පාත්‍ර වෙයි.

ඉතින් ඉදගම්මු මහත්තයා.

රෝහණ මුදලාලි ඊටත් සිනාසුණ මිස අනිකක් නොකළේය.

මුදලාලි අද නම් මං ආවෙ පොඩි හදිසි උවමනාවකට. මුදලාලිගෙන් පොඩි උදව්වක් බලං.

ඒ මොකක්ද මහත්තයො.

මේ මට උවමනාවකට ඇඹුල් දොඩං ගෙඩි විසිපහක් තිහක් ඕන කරලා තියෙනවා මුදලාලි. හැබැයි හොද එව්වායින්. මං මුදලාලිම හොයාගෙන ආවෙ ඒකයි.

අර මොකටෙයි මහත්තයො එච්චර දොඩං ? බේතකට නං වෙන්න බෑ.

නෑ නෑ මුදලාලි මේ අපේ නෝනගෙ වැඩකට. පොඩි ගුරුකමකට. මුදලාලි දන්නවනෙ...

මුදලාලි කට කොනකට නැගි හිනාව නොසගවාම කථා කලේ තමුන් දන්නා වග පෙනෙන්නටමය.

හ්ම්....අපේ එකෙක් නං ඉන්නවා මහත්තයො...හැබැයි මිනිහා විකුණන්නෙ පැණි දොඩං. ඒ උනාට මිනිහාගෙන් දැනගත්තැකි දොඩං ටිකක් හොයාගන්න විදියක්...ඉන්නකො ඩිංගක්....සුනිමල්....සුනිමලෝ....

ඔහු කඩේ අතවැසි කොලුවාට අඩගසා සිරිමෙවන් මහත්තයාට ඇඹුල් දොඩං මුණගස්වන ලෙසද තමුන් විසින් මහත්තයා එහි එවූ වගද කියනා ලෙස උපදෙස් දුන්නේය.

යං මහත්තයා...

සුනිමල් ඉස්සර විය.
.......................................................................................................

සිරිමෙවන් මහත්තයා පිටවී යන තෙක් සුනිමල් සිටියේ නොඉවසිල්ලෙනි. මහත්තයා කාරයට නැග දොර වසාගන්නවාත් එක්කම කට අරින්නට හිටියත් මුදලාලි ඔහුට ඉස්සර විය.

කොහෙන්ද බං අර ඇඹුල් දොඩං ? මුදලාලි හිද ඇත්තේද සුනිමල් හිටි තත්වයේමය.

මාර වැඩේනෙ මුදලාලි මාත්තයා උනේ... මං මහත්තයවත් එක්කගෙන ඇඹුල් දොඩං ගැනත් කෙටියෙන් කියාගෙන ඒ පැත්තට ගියා. ගිහිං මිනිහට විස්තරේ කිව්ව විතරයි මෙන්න උදේ මං බේකරියට යද්දිත් පැණි දොඩං, පැණි දොඩං කියලා කෑ ගහපු එකා, ආ එන්න මහත්තයො තෝරලා ගන්න කියලා දොඩං ගොඩ පෙන්නුවේ නැතෑ....

නෑහ්.... මුදලාලි බුලත් විටක් ඒදන අතරේම පුදුම විය.

නෑ නෙමෙයි මුදලාලිට හින්දා රුපියල් දෙකක්ම අඩුකරලා දෙනවත් කියපි.

මුදලාලි මුදලාලිටම හරියන ගෝලයා හා හිනැහුණේය.

ඉතිං උඹ මොකද කලේ ?

මාත් දෙන්නං පුතයට කියලා හිතාගෙන හිනාව තද කරං හිටිය. මහත්තයා දොඩං මල්ලත් අරන් පිටත් වෙද්දි මූ මට පැත්තකට කථා කරලා කියනවා, 

බුදු මල්ලියෙ මුදලාලි මට තවත් පදයක් හදයි උඹ මේක කිව්වොත්. මං වෙළදාම් කරලත් ඉවරයි පොළේ. එහෙම උනොත්,  අරං තිබිච්ච ඇඹුල් දොඩං වගයක් දුන්නෙ කියහං. දරු පවුල නිසානෙ හැම එකම කරන්නෙ කියලා ඒකා නොවැන්දා විතරයි. මට පුකෙනුත් හිනා ගියා....හික් හික්.....

ඒත් මුදලාලි ඒ අසා නගන්නට සූදානම් කරගෙන සිටි හිනාව ගිලගත්තේය.

“ඕකා මේ පළාතෙවත් ඒද මන්දා....හැක් හැක්.....

සුනිමල් සිනාසෙන අතර මුදලාලිට ඇඹුල් දොඩම් ගැන කණගාටුවක්ද තමුන් ගැන සිහින් කලකිරීමක්ද උපන්නේය.

සුනිමල් හිනැහෙමින් හිතුවේ මුදලාලිගේ මුහුණ සිනාව වැඩිකමට ඇඹුල් වුනා කියාය. සිරිමෙවන් කාරයේ යන අතරතුර සිතුවේ ඇඹුල් දොඩම් ගැන කෙටි කථාවක් ලියන්නටය. ඇඹුල් දොඩම් සිතුවේ පොඩි එකාට කලිසං රෙද්දක් අරගෙන ගෙදර යන හැටිය. මුදලාලි සිතුවේ සිරිමෙවන්, තමුන් හා සුනිමල් වැනි උන් අතරේ ඇඹුල් දොඩම් කෙතරම් නම් අහිංසකද කියාය.

මුදලාලි ඇත්තටම ඇඹුල් දොඩම් විකුණන්නෙ ඇඹුල් දොඩම්ද ? පැණි දොඩම්ද ? සුනිමල් රෝහණ මුදලාලිගෙන් ඇසුවේය.


නිමි.

මාසයේ අවසන් ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,

ඉසුරු අබේසේකර



ප.ලි

ඉසුරු අබේසේකර යනු ඉස්සර දවසක මා ලංකාවේ ජාතික පුවත්පතක සේවය කරන සමයේදී අපේ ඇසුරට වැටුනු නව යොවුන් තරුණයෙකි. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ලේඛකත්ව හා ජන සන්නිවේදන පාඨමාලාව ඔස්සේ  තම අනාගත ගමන් මග සොයාගත් ඉසුරු, සාහිත්‍යයට, කවියට මෙන්ම, සංගීතයටද පෙම් බදින්නෙකි. දක්ෂ ගිටාර් වාදකයෙකි. මේ කථාව සිරාගේ කාමරයේ පල කරන අදහසින් මවෙත ලියා එව්වාට මගේ මෙන්ම ඔබේද ස්තුතිය ඔහුට හිමි විය යුතුය. හෙතෙම වර්තමානයේ ලංකාවේ නමගිය දැන්වීම් ප්‍රචාරණ ආයතනයක පිටපත් රචකයෙකු (Copy Writer) ලෙස කටයුතු කරයි.

මාසයේ අවසාන ලිපියේ හිමිකම ඔබේය. ඊලග මාසයේ අවසාන ලිපිය ලෙස ඔබේ ලිපියක් පලකරන්නට කැමති නම්...සිරා කොලුවා වන මට ඊයක් විදින්න.













80 comments:

  1. හහහා, මරු සීන් එක ඈ,:D :D හැබැයි ගොඩක් දෙනෙක් ඔයවගේ කරන්නෙ ලෝකෝත්තරකමට තමයි.

    ReplyDelete
    Replies
    1. මුලින්ම සිරා අයියට බොහෝම ස්තුතියි මගේ කතාවක් පළ කළාට.

      ගොළුබෙල්ලටත් ස්තුතියි. ඔව්, ගොඩක් අය එහෙම තමයි. හැබැයි ඒ දේවල්වලට ඒ මිනිස්සුන්ට සාධාරණ වෙන හේතුත් තියනව. සමාජ අසාධාරණකම්වලින් හෙම්බත් වෙද්දි මිනිස්සු කරන්න පුළුවන් හැම දේම කරනව කියලයි මම හිතන්නෙ.

      Delete
  2. මගක් කියවද්දීම සිරා නොලිව්වා කියලා තේරුණා. බොහොම ලස්සන කෙටි කතාවක් ඉසුරු. කතාවේ අවසන් පරිඡ්චේදයට තමයි හිත ගියේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුදීක අයියේ.

      Delete
  3. මම ඒත් නිකමට බැලුවා සිරා අයියගේ ලිවිල්ල වෙනස් වෙලාද කියලා..

    කතාව නියමයි ඉසුරු.. ඔහොම දේවල් නම් ඉතින් සමහරුන්ට වෙනවනම් තමයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔව් දිනේෂ්, ඒ වගේ සිද්ධි අනන්තයි.

      Delete
  4. සිරාට දාන්ට හිතාගෙන හිටපු කමෙන්ට් එක, දාන්නේ නෑ වෙන කෙනෙක් ලීව හන්දා....:)

    ඉසුරු ගේ ලියවිල්ල ලස්සණයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබටත්. ඒ කොමෙන්ටුව සිරාට පෞද්ගලිකවවත් දන්වන්න එහෙම නම් :)

      Delete
  5. කතාව ලස්සනයි ඉසුරු.ඔයවගෙ දෙවල් හරියට කරනව.මාලුවිකුනන මිනිස්සු එහෙම හරියට බොරුකියන්නෙ.අපි දැනුවත් වෙලාම තමයි ඔව වලක්වගන්න ඔන

    ReplyDelete
    Replies
    1. ඔව්, මාළු, එළවලු වගේ දේවල් ගන්න ගියාම මිනිස්සු ඕන තරම් රැවටෙනව. ඒ වගේම ඒ මිනිස්සුන්ට එහෙම කරන්න වෙලා තියෙන්නෙ ඇයි කියන එකත් වැදගත් කියලයි මට හිතෙන්නෙ. බොහොම ස්තුතියි.

      Delete
  6. බඩු ගැන හරියට දන්නැත්තනම් ගන්න යන්න හොද නෑ...

    ලස්සන කථාව
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ජය!!!

      Delete
  7. එතකොට ඇත්තටම විකුණුවෙ පැණි දොඩම් නෙවෙයි? මරු කෙටි කතාව. ෂුවර් මේක කාටහරි වුන සැබෑම සිදුවීමක්.

    ReplyDelete
    Replies
    1. මූලාශ්‍රය අනිවාර්යයෙන්ම සැබෑ එකක්. ගාල්ල දිස්ත්‍රික්කයේ ඈත පළාතක පොළක් අසල දැකපු සිද්ධියක් තමයි කතාව ගොඩනගන්න හේතු වුණේ. බොහොම ස්තුතියි මනෝෂ්.

      Delete
  8. අපූරූ කෙටි කතාවක්..

    ReplyDelete
  9. ඇත්තටම එළ කතාව... නියමයි ඉසුරු...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබටත් බ්ලොග් අඩවියටත් ජය!

      Delete
  10. අපූරු කතාව මිනිස්සු ජීවිකාව සරි කරගන්න මොනා නොකරයිද නැද්ද සිරා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. ගොඩක් වෙලාවට ඒ පිටිපස්සෙ තියෙන්නෙ හිත් උණු වෙන කතන්දර මිසක් වෙන දෙයක් නෙමෙයි.

      Delete
  11. ඇත්තටම නියම කතාවක්… සුබ පැතුම් ඉසුරු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චතුරංග.

      Delete
  12. සමහර තැන් පොඩ්ඩක් පැටලිලි වගේ තිබ්බත් ආපහු කියවද්දී ඒවා ලිහාගෙන කියවනන් පුලුවන් උනා. හොඳ උත්සාහයක් . .

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි. ඒ වචන ටික ලොකු ශක්තියක්.

      Delete
  13. නියමයි ඉසුරු. හැබැයි පු‍තෝ දැන් බේතකට ඇඹුල් දොඩම් ගෙඩියක් හොයාගන්න එකත් ලේසි වැඩක් නෙවෙයි. ෂුවර්ද ඔය ඇඹුල් දොඩම් කියලා? මම කතාව ලිව්වා නම් ඕක සිදරම් කරනවා.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා. යන්තං අපේ ගම් පළාත්වල තාමත් ඇඹුල් දොඩම් හොයාගන්න ඇහැකි. ස්තුති වේවා!

      Delete
  14. ඇත්තටම අපූරුයි ... නියමයි ඉසුරු

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි පවුලූශා.

      Delete
  15. ඔය පැණි දොඩම් ඇඹුල් දොඩම් සීන් එකට මමත් මුහුන දීලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මටත් තවමත් වෙනස අඳුනගන්න බෑ :)

      Delete
  16. හොඳ කතාවක්. ඇත්තටම ඇඹුල් දොඩං විකුණන්නෙ ඇඹුල් දොඩං ද එතකොට.
    නියමයි ඉසුරු..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔබටත්.

      Delete
  17. අගේ ඇති කතාවක්නේ සිරා මේක උඹට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි!

      Delete
  18. චරිත කීපයක විවිධ පැති විවරණය කරමින් මේ ලියා ඇති ලියවිල්ල නම අගේ කලයුතුමයි.. තව ලියන්න ඉසුරු.. අපූරුයි ඉස්තරම්..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි. ලොකු ධෛර්යයක් ඒක. අතහිත දෙන සිරායියවත් අනිවාර්යයෙන් මතක් කළ යුතුයි.

      Delete
  19. ඉසුරුගේ කතාව හොදයි.අර අන්තිමට තියෙන දාමය ඇතුලේ මුළු කතාවම තියෙනවා කියලායි මටනම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝජ්.

      Delete
  20. සිරා අයියගේ කතා ශෛලියට වඩා වෙනස් බව දැනුනහමයි මතක් වුනේ 7 වෙනි ලිපිය ලියන්නේ අලුත් කෙනෙක් කියලා ... ලස්සනයි කතාව ..

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි කුෂානි.

      Delete
  21. ඉසුරු අබේසේකර අපේ අර ප්‍රවීණ පුවත්පත් කලාවේදී අමිත අබේසේකර මහතාගේ පරම්පරාවේ කෙනෙක්ද කියලා හිතුනා. මොකද එතුමාත් මේ වගේ කතා ලියන්න දක්ෂයි. ලස්සන කතාවක්. ඉහලින්ම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තුතිය. ඔබගේ අගය කිරීම බොහොම විටිනව.

      Delete
  22. ජීවන සටනින් පරාද නොවෙන්න මිනිස්සු කරන දේවල්. ඇඹුල් දොඩංලා තව කෙතරම් ඇද්ද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හසිත. ඒ වගේ මිනිස්සු අනන්තවත් මුණගැහෙනව. හැබැයි දුක්බර පැත්ත වගේම ඒ අය ඇතුළෙ හැංගිච්ච සුන්දරකම්වලත් අඩුවක් නෑ.

      Delete
  23. සිරාගෙ ස්ටයිල් එක නොවෙයි කියල මුලදීම තේරුණා.බොහොම අපූරු කතාවක් ඉසුරු නැවුම් අත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා! ඔබගේ අඩවියත් අගය නොකර බෑ. ජය!!

      Delete
  24. අපූරු කෙටි කතාවක් නොවැ සිරා අයිය ලියල තියෙන්නෙ..නියමයි

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි!

      Delete
    2. උඹ කථාව කියෙව්වෙ නැද්ද උමේෂ් කොලුවො...මේ කථාව මම ලියපු එකක් නොවේ.

      Delete
    3. මොකද නැත්තෙ.. පුරුද්දට කමෙන්ටුව සිරා අයියටම සුභ පතල දැම්ම..පස්සෙ දැක්ක සීන් එක.අවුලක් ගන්න එපෝ.

      Delete
    4. මොන අවුලක්ද බන්...

      Delete
  25. පැණි දොඩම් නම් පැණි දොඩම්.....ඇඹුල් දොඩම් නම් ඇඹුල් දොඩම්..ඔය කොයිවත් දොඩම්නේ...

    ඉසුරු දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔව්, හරියට මිනිස්සු වගේ. බොහෝම ස්තුතියි!

      Delete
  26. //දොඩම් ගොඩ පිටුපස හිදගන්නා ඇක්මන්ට තමන් ඉදිරිපිට ඇති කිසිවක් නොපෙනෙයි. ඔහුට පෙනෙන්නේ දොඩම් ම පමණි.

    ඇත්තටම ඇඹුල් දොඩම් විකුණන්නෙ ඇඹුල් දොඩම්ද ? පැණි දොඩම්ද ?//

    සුපිරි ලියැවිල්ල ඉසුරු!

    ReplyDelete
  27. යස ඉසුරින් පිරි ලියවිල්ලකට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි!

      Delete
  28. සිරාවටම සිරා හොදේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ධනුෂ්

      Delete
  29. බොහොම අපූරුයි ඉසුරු.. දරුවන් වෙනුවෙන් මිනිස්සු නොකරන්නේ මොනවද ? ඉවාන් කියපු ත්‍රීපෝෂ පැකට් එකත් විකුනන් කන තාත්තලා අතරෙ මෙහෙම තාත්තලත් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. අන්වාර්යයෙන්ම. මං හිතන්නෙ අපේ රටේ බහුතරයක් තාත්තල තවමත් එහෙමයි කියල. ඒ අය ගැන ඇති වෙන්නෙ අප්‍රමාණ ආදරයක් සෙන්නා අයියා.

      Delete
  30. බොහොම රසවත්ව ලියා ඇති කතාව ඉතා තාත්විකයි. ඉසුරු බොලොග් එකක් කලොත් නරකද?

    ReplyDelete
    Replies
    1. ඉසුරු බොලොග් එකක් කලොත් නරකද?

      අදහස හොදයි. අකුරුත් ගැලපෙනවා. මොකද කියන්නෙ. පටන් ගමු ඉසුරු.

      Delete
    2. ඔබ දෙදෙනාටම බොහෝම ස්තුතියි! ආසාවක් තියනවා ගොඩක් කාලෙක ඉදල. සිරාගෙ කාමරේ දැක්කම තවත් ආසයි. නමුත් කාලය තමයි ගැටලුව. අනික නොමෙන්ටුවක් දානව ඇර තාක්ෂණික පැති ගැන මගේ දැනුම අන්තිමයි

      Delete
    3. බොගක් පටන් ගන්නවා නම් මට හැකියි උදව් කරන්න බොට...

      Delete
    4. කොරමු එහෙනම් ඒකත්...:)

      Delete
  31. කතාව කියවගෙන එද්දී ආදර හසුන පිචර් එක මතක් උනා....... සිරාට තුති.... ඉසුරුට ජය .....

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුව දැකල මට ආයෙත් බලන්න හිතුණ :) බොහෝම ස්තුතියි!

      Delete
  32. Replies
    1. බොහොම ස්තුතියි මල්ලි

      Delete
  33. කතාව ලස්සණ යි, ඉසුරු අයියේ. දිගට ම ලියාගෙන යමු එහෙම නං. ඇත්ත ම වගේ දැනෙන්න ලියලා තියෙනවා ^_^ ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොම ස්තුතියි!

      Delete
  34. අපුරුයි...අලුත් කෙනෙක්ට අත දෙන සිරාත් ඉතින් සිරාම තමයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. සිරා කියන්නෙ ඇත්තටම සහෝදරයෙක්. බොහොම ස්තුතියි!

      Delete
  35. සිරාගෙ කාමරේට ආ ආරාධිත ලිපිය ඉසුරුගේ... ඉතාමත් රසවත් පැණි දොඩම්ම තමයි...

    සිරාටත් ස්තුතියි නව පරපුරක් හදන්නට මග පෙන්වනවාට

    කාලෙකින් බ්ලොග් කමෙන්ට් ලියන්නේ වම් අතේ අබාධයක් හටගෙන තිබුණ නිසා දැන් සුවයි

    ReplyDelete
    Replies
    1. ඔබටත් බොහොමත්ම ස්තුතියි. නිරෝගී වේවා!

      Delete
    2. ඒක තමයි එහෙනං....දයානන්ද අයියා පහුගිය දොහේ මුලිච්චි උනේ නැත්තෙ...ඉක්මන් සුවය පතනවා...

      Delete
  36. කියවන කෙනාගේ හිතේ ඔයා සියුම් අවස්ථාවල් ගැන හොදට රුප මවන්න දන්නවා. හොද කෙටිකතාවක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබටත්!

      Delete
  37. අගෙයි. බොහොම සරලයි. සරලත්වයට එපිටින් හිතන්නට දේවල් තිබීම සතුටට කරුණක්.
    ඔබ සතුව මීටත් වඩා ඉහල දක්ශතාවක් ඇති බව දනිමි. භාෂා රටාව මගින් පානා පෙලහරනම් අගය කළ යුත්තේමය

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...