Saturday, May 3, 2014

76 ලුණු මිනිසා (The Salt Man)

සෝඩියම් ක්ලෝරයිඩ් වලින් සමන්විත වන ලුණු සත්ව ප්‍රජාවගේ පැවැත්මට ඉවහල් වන ඛනිජ විශේෂයකි. නමුත් ඒ සුළු ප්‍රමාණයෙනි. ලුණු වැඩි වශයෙන් පරිභෝජනය ශරීරයට අහිතකර වන අතර රසකාරකයක් ලෙස ලෝකය පුරාම ලුණු භාවිතා වෙයි. ඊට අමතරව ආහාර ද්‍රව්‍ය කල්තබාගැනීමටද ලුණු වල සහාය ලබා ගනී. ලුණු යොදා කල්තැබීම සිදු කරන දෑ අතර මස් මාළු ප්‍රධාන තැනක් ගනී.

ලුණු වල ඉතිහාසය සොයා බලන විට එය වසර 6000 කටත් එහා අතීතයකට දිව යයි. ක්‍රි.පූ 6050 දී පමණ ලුණු මිශ්‍රිත උල්පත් ජලය උණු කර ලුණු ලබාගත් බවට සාක්ෂි රුමේනියාවේ පුරාවිද්‍යාත්මක කැනීම් වලින් හමුවී තිබේ. ක්‍රි.පූ 6000 දී පමණ ජලාශ මතුපිට වූ ලුණු පාරිභෝජනය කිරීමට චීන ජාතිකයන් පුරුදු වී සිටි බවද ඇතැම් තැනක කියවෙයි. ක්‍රි.පූ 3000 දි පමණ ලුණු දමන ලද පක්ෂීන් හා මාළු විශේෂ පුරාතන ඊජිප්තුවේ සොහොන් බලි සදහා යොදාගෙන ඇති බවටද සාධක තිබේ. අප කුඩා කල කැට ලුණු ලෙස කුස්සියේ පොල්කටු බදුනක දමා ජලය සමග භාවිතා කල ලුණු, අද වන විට ගලගණ්ඩයටද සහනය සලසමින් අයඩින් නම් රසායනිකයද මිශ්‍ර කොට නව ස්වරූපයකින් ගෘහණියන් සොයා එයි. නමුත් මේ බොහෝ අය හොද්දට ලුණු දමා හොද්දේ රසබැලීම, ලුණු වැඩි වූයේ යැයි සැමියාගෙන් බැනුම් ඇසීම වැනි දෑ හැරෙන්නට ලුණු වලට මේ තරම් ඈත අතීතයක් තියෙන බව දන්නේ නැත.

ලුණු නිපදවන ස්ථානය ලුණු ලේවා ලෙස ප්‍රකටව පවතී. සාගර ජලය හෝ වෙනත් ලුණු මිශ්‍රිත ජල ප්‍රභවයක් එක් රැස් කොට විවිධ ක්‍රියාවලීන්ට අනුව ලුණු ලබාගන්නා ක්‍රමවේදය මෙන්ම පාෂාණ ස්ඵටික ලෙස විවිධ තැන්හි නිධි පරිදි පිහිටා ඇති ලුණු කැනීමෙන් ඒවා ලබා ගන්නා ක්‍රමයද ලෝකයේ ලුණු අවශ්‍යතාව සපුරාලන ප්‍රධානම ක්‍රම ද්විත්වය වන්නේය.

ඉරානයේ වයඹ දිශාවට වෙන්නට පිහිටි සන්ජාන් (Zanjan) පළාතේ හම්සේලු ගම්මානය නුදුරේ පිහිටි චෙහ්රාබාද් Chehrabad හි පිහිටි, ලුණු ලේවාය චිරාත් කාලයක සිට ලුණු කැනීම සිදු කරන ලද ස්ථානයකි. අද කථාව තුල මා ඔබට කියනා ලුණු මිනිසාද මෙහි සේවය කල තැනැත්තෙකි.

හදිසියේම වාගේ පොළව දෙදරා ගියේය. දෙවියන් වහන්සේ කුපිත වීදෝයි මෙන් අවසිහියෙන් අවට බැලූ මේ කියන පුද්ගලයා තවත් මොහොතකින් තමාට ඉහළින් වූ පස් හා වෙනත් සුන්බුන් වලට යටවී දිවිමගෙන් සමුගත්තේය.

නමුත් පුදුමයට කාරණාව නම් ඔහු මෙසේ මරු වසගයට ගියේ අද ඊයේ හෝ...අදින් දශකයකට දෙකකට එහායින් නොව අදින් වසර දහස් ගණනකට එහායින් ක්‍රිස්තු පූර්ව යුගයේ වීමයි. එතරම් කාලයක් ලෝකයෙන් අවසැගව සිටි මේ ආදි මිනිසා 1993 දී නැවතත් ලෝකයා හමුවට පැමිණියේ ප්‍රාණය නිරුද්ධව වුවද ඔහුට ලුණු මිනිසා (Salt Man) ලෙස ආරූඩ නාමයක් යොදා වර්තමාන සමාජයට සාදරයෙන් පිළිගන්නට කටයුතු යෙදූ වටපිටාවකය. ජාලයෙන් පෙරලා අද මා ඔබට කියන්නේ මේ කියන ලුණු මිනිසා ගැනයි.


ලුණු මිනිසුන්ගේ පළමුවැන්නා
වර්තමානය වන විට පෙර කියූ ලුණු නිධියෙන්ම ලුණු මිනිසුන් 6 දෙනෙකු හමු වී තිබේ. ඉන් පළමුවැන්නා 1993 වසරෙදීත් අවසන් කෙනා  2010 වසරේදීත් හමුවී තිබේ. මේ සියලුම දෙනා ලුණු නිධියේ සේවයේ නිරතව සිටියදී මිය ගිය අය වීම විශේෂයකි. මේ කියන ලුණු නිධිය යනු අපේ රටේ මෙන් මුහුදු ජලයෙන් ලුණු නිපදවන එකක් නොව ස්ඵටික ලෙස ස්වභාවිකව තැන්පත් වී ඇති පාෂාණ මෙන් දිස්වන ලුණු නිධියකි.

1993 වසරේ ශීත සෘතුවේ ආරම්භය සනිටුහන්ව තිබූ දිනයක එහි සේවකයෝ වෙනදා මෙන් සේවයේ නිරතව සිටියෝය. ලුණු නිධියේ අභ්‍යන්තරයට වන්නට පිහිටි මීටර් 45 ක් පමණ දිගින් යුතු වූ ගුහාවක් බදු තැනක ලුණු කැණීමට ගිය මේ සේවකයන් නැවත පැමිණියේ ආගන්තුකයෙකු සමගිනි. හෙතෙම වසර දහස් ගණනක් ලුණු නිධියේ වැලලී සිටි ලුණු මිනිසායි. ඊට දින කීපයකට පෙර පතිත වූ ධාරාණිපාත වර්ෂාව මේ හෙළිදරව්වට මග සකසන්නට ඇත.

දිගු කොණ්ඩයක්, දිගු රැවුලක්, සහිත මානවකයෙකුගේ යැයි එක එල්ලේ කිව හැකි අංගලක්ෂණ වලින් සමන්විත වූ හිස පමණක් ඔහුගේ සිරුරෙන් තව දුරටත් ශේෂ වී තිබුනි. ඒ ආසන්නයේ තිබූ හම් සපත්තුවක් තුල ඔහුගේ වම් පාදය තිබුනේය. ඒවාට අමතරව යකඩ පිහි 3ක්, සත්ව ලොම් උපයෝගී කරගෙන සැකසූ කොට කලිසමක් , රිදී ඉදිකට්ටක්, ගල් වැනි දෑ ඈතට විසි කල හැකි සරළ ආයුධයක්, සම් යොදා නිපදවූ රැහැනක කොටසක්, ආයුධ මුවාත් කරන ගිණිගලක්, walnut නම් ශාක විශේෂයේ ගෙඩියක්, මැටි භාජන, රෙදි, බිදී ගිය ඇට කැබලි ආදිය ලුණු මිනිසා සමග මතුවූ අවශේෂ දෑ විය. පසුව කල පරීක්ෂන වලින් මිය යන විට ඔහුගේ වයස අවුරුදු 35 ක් බව කියැවිනි.








පළමු ලුණු මිනිසා සතුව තිබූ දෑ.... Photo Credit Ali Majdfar
ලුණු කැනීමේ නිරතව සිටි තවත් පිරිසකට දෙවන ලුණු මිනිසා හමුවූයේ ‍ 2004 වර්ෂයේ නොවැම්බර් මාසයේදීය. පළමු ලුණු මිනිසාගේ සම්පූර්ණ ඇට සැකිල්ලම සංරක්ෂණය වී තිබුනේ නැති වුවත්, දෙවැනි ලුණු මිනිසා සතුව හොදින් සංරක්ෂණය වූ ඇට සැකිල්ලක් විය. වම දකුණ පාදයන් මෙන්ම උගුරු ඇටයද, ඔහුගේ දෑතද එහි සුරක්ෂිත වී තිබුනි. පළමු ලුණු මිනිසාට යාර 50 ක් පමණ එපිටින් තිබූ දෙවැනි ලුණු මිනිසාගේ සිරුරේ සුරක්ෂිතව තිබූ හිසකෙස් මෙන්ම නියපොතුද විය. හමු වූ දෑ අනුව දෙවැනි ලුණු මිනිසා පළමු ලුණු මිනිසාට වඩා සංරක්ෂිත වූ කෙනෙකි.

තෙවැනි ලුණු මිනිසා හමුවී ඇත්තේ 2005 ජනවාරි මාසයේදී. මේ සිරුර මත ටොන් 2ක් පමණ බර පාෂාණයක් තිබූ හෙයින් ලුණු නිධිය පිහිටි තැන ඇති පර්වතයේ ඉහළ සිට පතිත වූ පාෂාණයන්ට යටවී මේ මිනිසුන්ගේ මරණ සිදු වී ඇති බවට ඉතිහාසඥයන් මුලින් කර තිබූ නිගමනය යලිත් තහවුරු උනා. විශාල පාෂාණයකට යට වීම නිසා ඔහුගේ ඇට සැකිල්ලට දැඩි ලෙස හානි වී තිබුනද ඔහු සතුව තිබූ විවිධ උපකරණ නම් ඉතාම හොදින් සංරක්ෂණය වී තිබුනා. ඒ අතර තිබූ විශේෂිතම දේ වූයේ ලුණු වලින් පුරවන ලද සම් වලින් නිපදවා තිබූ ගෝනියක්. ඊට අමතරව හරක් අං දෙකක්, සහ හම් සපත්තු යුගලයකුත් උනා. ලුණු වලින් පුරවන ලද ගෝනිය ඉවතට ගෙන යන්නට මත්තෙන් ඔහු අවාසනාවන්ත ලෙස ඉහළ සිට පහළට වැටුනු විශාල පාෂාණයකට ගොදුරු වී තිබුනා.



Photo Credit Ali Majdfar


හතරවන ලුණු මිනිසා ඉහත සියල්ලන්ටම වඩා හොදින් සංරක්ෂණය වූ තැතැත්තා ලෙස පුරාවිද්‍යාඥයන්ගේ අවධානය දිනාගත්තා. 2005 මාර්තු මස හමු වූ මේ සිරුර වයස අවුරුදු 16 ක පමණ තරුණයකුගේ එකක් බවට තහවුරු වුනේ එක්ස් රේ සහ CT ස්කෑන් පරීක්ෂණ වාර්තා අනුවයි. අලුත්ම පරීක්ෂණ දත්තයන්ට අනුව ඔහුගේ සිරුරු වසර 2000 කට වඩා පැරණියි.

මෙතෙක් හමු වී ඇති සියලුම සිරුරු අතරින් හොදින්ම සුරක්ෂිත වී ඇත්තේ මේ ගැටවරයාගේ සිරුරයි. කන් වල පැළද සිටි කරාබු යුවලත්, ඉනේ තිබූ කිරිච්චියත්, ඔහුගේ සිරුර සමීපයේ තිබූ මැටි වලින් සකසා තිබූ ලන්තෑරුම් වැනි උපකරණ දෙකත් නිසා ලුණු නිධියේ කුමන රාජකාරියක් මේ ගැටවරයා විසින් ඉටුකලේද යන්න තවමත් අපහැදිලියි. දණ හිසෙන් මදක් පහලට වන්නට ඇද සිටි කලිසමත් ඔහුගේ සිරුර සමග මනාව සුරක්ෂිත වී තිබෙනවා.


හතර වන ලුණු මිනිසා


පස්වැන්නා 2005 දෙසැම්බර් මාසයේදීත් හය වැන්නා 2007 ජූනි මාසයේදීත් සොයාගනු ලැබුවා. ඒ කාලවකවානු පිළිබද තොරතුරු හැර වෙනත් තොරතුරු තවමත් අන්තර්ජාලයේ හොයාගන්නට නෑ. කාලයක් ලුණු තලාවකට මැදිව සුරක්ෂිතව තිබූ මේ සිරුරු හෙවත් මමී තිබූ තැනින් ඉවතට ගත් පසුව හානියක් නොවන අයුරෙන් අනාගතය සදහා සංරක්ෂණය කල හැකි හොදම ක්‍රම පිළිබද තවමත් ඉරාන පුරාවිද්‍යාඥයන් සෑහීමකට පත් වෙන්නෙ නෑ. ඒ හේතුවෙන් 6 වන ලුණු මිනිසා ඔහු සිටින භූමියෙන් ඉවත් කරන්නේ වඩා හොද සංරක්ෂණ ක්‍රමවේදයකට පිවිසි පසුව බව ඉරාන බලධාරීන් ඒ සොයාගැනීම කල මුල්ම කාලයේ ප්‍රකාශ කොට තිබුනා.


මෙතෙක් වේලා කථා කල ලුණු මිනිසුන් සොයා ගන්නට පසු කාලයකදී ඉරාන සංස්කෘතික උරුමයන් පිළිබද ප්‍රවෘත්ති ආයතනයට විවිධ රටවල සහයෝගය ලැබුනා.  ඔව්හු 2006 වසරේදී ජර්මනියේ පතල් කැනීම් පිළිබද කෞතුකාගාරය සමග එක්ව මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන ගිය අතර 2007 වසරේදී එයට එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් (University of Oxford) සරසවියත්, ස්විට්සර්ලන්තයේ සූරිච් (University of Zurich) සරසවියත් එකතු උනා. දෙවැනි ලුණු මිනිසාත් සොයාගත් පසුව මේ ලුණු නිධිය ක්‍රියාත්මක කල සමාගම එහි ක්‍රියාකාරිත්වය විවිධ හදුනාගත් ප්‍රදේශ වල අත්හිටවූයේ පුරාවිද්‍යාත්මකව ඉතාම වටිනා සාක්ෂි වලට හානියක් වේ යැයි අටියෙන්. නමුත් විවිධ පාර්ශව ඉරාන රජයෙන් කල ඉල්ලීම් වල ප්‍රතිඵලයක් ලෙස 2008 වසරේදී ඉරාන කර්මාන්ත අමාත්‍යාංශය මේ ලුණු නිධියට නිකුත් කර තිබූ කැනීමේ බලපත්‍රය අහෝසි කලා. ඒ අනුව වර්තමානය වන විට මෙහි ලුණු කැනීම සිදුවෙන්නෙ නෑ.

මේ සොයාගැනීම් වලින් පසුව සිදුකල පුරාවිද්‍යාත්මක පරීක්ෂණ වලින් තවත් බොහෝ කරුණු අනාවරණය වුනා. C 14 කාලනිර්ණය අනුව ලුණු මිනිසුන් වසර 1700 කට එහා අතීතයකට අයත් බව පරීක්ෂණ ආරම්භ වූ මුල් කාලයේදීම පැහැදිලිව අනාවරණය කරගත හැකි වුනා. එම පරීක්ෂණ සදහා ලුණු මිනිසාගේ ඉතිරිව තිබූ අස්ථි කොටස් වගේම ඔහුගේ ඇදුම් ආදියත් උපයෝගීකොට ගෙන තිබෙනවා.

ඒ වගේම හිස කොටසේ ත්‍රිමාණ ඡායාරූප යොදාගනිමින් සිදුකල පරීක්ෂණ මගින් පළමු ලුණු මිනිසාගේ ඇස ආසන්නයේ තිබූ පිපිරීම් 3 ක් සොයාගනු ලැබුවා. මේ සියල්ල මරණයට පෙර ඇති වූ ඒවා බවත්. හිසේ යමක් තදින් ගැටීම නිසා ඔහුගේ මරණය සිදු වී ඇති බවත් පසුව නිගමණය වුනා. හිසකෙස් යොදාගනිමින් කල පරීක්ෂණ මගින් ලුණු මිනිසාගේ රුධිර ගණය B+ බවත් කියැවුනා.


සොයාගත් ලුණු මිනිසුන් සියල්ල එකම කාලයකට අයත් උනේ නෑ. ඒ කාල සීමාවන් ඉරානය ඈත අතීතයේ පර්සියාව නමින් හදුන්වන කාලයේ ඒ පෙදෙස් වල බිහි වී තිබූ අධිරාජ්‍ය වල නම් වලින් හදුන්වා දී තිබෙනවා. පාතියන් (Parthian) ක්‍රි.පූ 247 - ක්‍රි.ව 224 / සැසනිඩ් (Sassanid)  ක්‍රි.ව 224 - ක්‍රි.ව 651 / ආචේමෙනිඩ් (Achaemenid Dynasty) ක්‍රි.පූ 550 - ක්‍රි.පූ 330, පුරාණ පර්සියාවේ පැරණිම රාජ වංශයද ආචේමෙනිඩ්ය.

ඒ ඒ කාලසීමාවන්හි මේ අය වාසය කල  බව තහවුරු කරන තවත් සොයාගැනීමක් සිදු කලේ 2012 වසරෙදි. ඒ අනුව ලුණු නිසා හොදින් සංරක්ෂණය වී තිබූ ලුණු මිනිසුන්ගේ බඩවැල් තුල තිබී පටි පණු වර්ග දෙකක බිත්තර සොයාගෙන තිබුනා. ඒ ආශ්‍රයෙන් කරුණු දෙකක් අනාවරණය වුනා. ලුණු මිනිසුන්ගේ ඉතිහාසය වසර 2200 ක් තරම් ඈත අතීතයට දිව යාම ඉන් පළමුවැන්න. දෙවැන්න එදා සමාජයේ ඔවුන්ගේ ආහාර රටාව. මේ මිනිසුන් මස් වර්ග ආහාරයට ගෙන තිබුනත් නිසි තරම් කාලවේලාවක් ඒවා පිස නැති බව තහවුරු වුනා. ඒ වගේම පළමු ලුණු මිනිසාගේ කනක තිබූ රන් කරාබුවත්, ඔහුගේ ඇදුම් පැළදුම් ආදියත් නිරීක්ෂණයෙන් පසු ඉතිහාසඥයන්ගේ මතය වී ඇත්තේ ඔහු මේ ස්ථානයේ සිටි නිලධාරියෙකු හෝ ප්‍රභූ තැනැත්තෙකු වන්නට ඇති බවයි.

මේ සිරුරු වල ඇති වැදගත්කම කුමක්ද ? ඔබට එහෙම සිතෙනවා වෙන්නටත් පුලුවන්. ලුණු තට්ටුවක් යට තැන්පත් වී තිබූ හෙයින්ම මේ සිරුරු වල ඇතැම් කොටස් ඉතා හොදින් සුරැකිව තිබෙනවා. මේ ලුණු මිනිසුන්, ඉතිහාසඥයන්ට නම් පොළව යටින් හමුවූ ඉතාම වටිනා වස්තුවක් හා සමානයි. මේ අය විසූ ඈත අතීතය පිළිබද බොහෝ තොරතුරු,  මේ සිරුරු මගින් රැස්කර ගැනීමට හැකි වීම එයට හේතුවයි.

ලුණු යට සැගවුනු මෙවැනි මමී සමස්ත ලෝකයෙන්ම හමු වී ඇත්තේ ඉතාම ස්වල්පයයි. ඉරානයට අමතරව ඔස්ට්‍රියාවෙනුත් මෙවැනි පැරණි මෘත ශරීර හෙවත් මමී හමුවී තිබෙනවා. ඒ අතරිනුත් ඉරානයේ ලුණු මිනිසුන් ඉතාම සුවිශේෂීයි. මේ අයගේ මරණ කුමන හේ්තුවක් නිසා සිදු වූ ඒවාදැයි නිශ්චිතව ප්‍රකාශ කරන්නට කාලයක් යන තුරු ඉතිහාසඥයන්ට ගැටලුවක්ව පැවතුනා. නමුත් තෙවැනි ලුණු මිනිසා විශාල පාෂාණයකට යට වී සිටියදී සොයාගැනීමෙන් පසු හදිසියේ හටගත් භූමිකම්පාවක් හේතුවෙන් සිදු වූ පර්වත ගල් කඩා වැටීමකට හසුව මේ සියල්ලන්ම මිය යන්නට ඇති බව වර්තමානය වන විට සැළකෙනවා.

මේ සිරුරු වල DNA පරීක්ෂණ සිදුකල ඔස්ට්‍රේලියාවේ මහාචාර්ය ඩැනියල් පොට්ස් (Daniel Potts) විද්වතා කියන්නේ, ඉරාන ලුණු මිනිසුන් ජීවත් වූ ඈත ඉතිහාසය ගැන නූතන පරපුරට සෑහෙන තොරතුරු කන්දරාවක් මේ සිරුරු සමගම ලෝකයා හමුවට පැමිණ තිබෙන බවයි.

මේ සිරුරු වලට අමතරව විවිධ ප්‍රමාණවල රෙදි කැබලි 300 කට වඩා මේ ලුණු නිධිය පිහිටි භූමියෙන් මේ වන විට හමු වී තිබෙනවා. ඒවා මේ මිනිසුන් හැද සිටි ඒවා නෙමෙයි. මේ රෙදි අතර සමහරක් ඉතා හොදින් සංරක්ෂණය වී තිබෙන නිසා ඒවායේ මුල් අවස්ථාව ගැන යම් අදහසක් ගන්න පුලුවන්. රටා සහිත විවිධ සායම් උපයෝගී කරගෙන වර්ණ ගල්වන ලද රෙදි ඒ අතර තිබෙන බවත්, විශාලම රෙදි කැබැල්ල වර්ග මීටරයක් තරම් වන බවත් සදහන්.



පළමු ලුණු මිනිසාගේ හිස සහ ඔහුගේ වම් පාදය මේ වන විට ටෙහෙරාන් නුවර ඉරාන ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා. දෙවන, තෙවන, සිව්වන, හා පස් වන සිරුරු සන්ජාන් (Zanjan) නුවර මානව විද්‍යා කෞතුකාගාරයේ තබා තිබෙනවා. හයවන සිරුර තවමත් එය තිබූ භූමියේම තබා ඇත්තේ වඩා දියුණු සංරක්ෂණ ක්‍රමවේදයක් සොයාගත් පසුව ඉවතට ගන්නා අටියෙන්.

තවමත් භූමියෙන් ඉවත් නොකල 6 වන ලුණු මිනිසා
ටෙහෙරාන් ජාතික කෞතුගාරයේ පළමු ලුණු මිනිසාගේ කොටස් තබා ඇති වීදුරු ප්‍රදර්ශන කුටි මේ අරමුණ වෙනුවෙන් විශේෂයෙන්ම සකස් කර ඇත්තේ එකකට ඩොලර් 25000 වැනි අතිවිශාල ධනස්කන්දයක් වැය කරමින්. ඇසට නොපෙනෙන බැක්ටීරියා, ශුද්‍ර ජීවීන් මගින් ලුණු මිනිසාගේ අභ්‍යන්තර අවයව විනාශයට පාර කැපිය හැකි නිසා එය වැළැක්වීම ඉරාන බලධාරීන්ගේ මූලික අභිප්‍රාය වී තිබෙනවා. ඒ ඒ අවස්ථාවේ වීදුරු ප්‍රදර්ශන කුටි තුල පවතින තත්වය, ජල වාෂ්ප, උෂ්ණත්වය ආදී කරුණු වලට අමතරව තවත් බොහෝ තාක්ෂණික තොරතුරු ලබාදෙන විවිධ අධි තාක්ෂණික උපාංග ඒවා තුල සවි කර ඇත්තේ මෙම තොරතුරු ලුණු මිනිසුන්ගේ අනාගත කල් පැවැත්මට සෘජුව දායක වන නිසා.

අප නොදුටු වසර දහස් ගණනකට එහා ඈත අතීතයක සුවද වර්තමානයට කැන්දාගෙන එන ලුණු මිනිසා වූ කලී පුරාවිද්‍යාත්මක මිළ කල නොහැකි වස්තූන් සමූහයකි. මානව ශිෂ්ඨාචාරයේ අතීත ගමන් මග පිළිබද නවතම තොරතුරු සොයාගැනීමට වෙහෙසෙන හැමටම ඒවා විශාල සේවයක් සලසනු ඇත.


අද ලිපියට මූලාශ්‍ර

Pasthorizons
Mummy Tombs
National Geographic
Wikipedia



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

අවසාන ලුණු මිනිසා 2010 දී සොයාගත් බවක් ඇතැම් තැනක සදහන් වෙයි. ඇතැම් තැනක එය 2007 ලෙස සදහන් වෙයි.

Niels Lynnerup යනු මමී ප්‍රතිසකසන්නෙක් ලෙස ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ ඩෙන්මාර්ක් ජාතික මහාචාර්ය වරයෙකි. ඔහු මේ වන විට හතරවැනි ලුණු මිනිසාගේ මුහුණ ප්‍රති සකසන්නට කටයුතු කරමින් සිටී.

ලුණු මිනිසා ගැන සැකසුනු වාර්තා වැඩසටහනක් මෙතැනින් නරඹන්න.

මුර්සි කෙල්ලන්ගේ තොල් තැටි වලදී මෙන් ඉරාන ලුණු මිනිසා ගැනද සිංහලෙන් වෙනත් ලිපි අන්තර්ජාලය තුල නොදුටුවෙමි. මෙය මේ පිළිබද ලියවෙන පළමු සිංහල ලිපිය විය හැක.

76 comments:

  1. මේ දේවල් ගැන හොයන අයට නම් වැදගත් ලිපියක්... මේ වගේ තොරතුරු තියන ලිපි වෙන ම බ්ලොග් එකකට ගත්තොත් මොකද? මම කියන්නෙ මෙහෙම මහන්සි වෙලා ලියන blog posts සිංහල බ්ලොග් අතර අඩු නිසා....

    ReplyDelete
    Replies
    1. තියෙන එක ලියන්නෙත් නිදි මරාගෙන සෑහෙන්න මහන්සි වෙලා වෙච්චි කොට...තව එකක් කොරන්න කොහෙන්ද බොලං කාලයක්....මම කොහොමත් ජාලයෙන් පෙරලන්නෙ කියවන අයට යමක් ඉගෙන ගන්න පුලුවන් දෙයක් විතරයි...ඒ නිසා ඒ ලේබලය දිගටම මේ අදහස නියෝජනය කරාවි.

      Delete
  2. විශිශ්ටයි බං විශිශ්ටයි.. සෑහෙන්න මහන්සිවෙලා තියනවා කියල පේනව.. බොහොම ස්තූතියි.. හරි අපූරු විස්තරයක්.. කිව්වට කාරි නෑ බං සහනයව මතක් කියෝගෙන යද්දි ... ලියාගෙන යමං. . ජයවේවා !!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බං...උඹලගෙ අගය කිරීම තමයි හැමදාමත් මගේ වෙහෙස නිව්වෙ...සහන් ඉන්න තැනකින් එන්න කියපං බං...දැන් ඒකා ඇත්තටම නිෂ්ශබ්ද සහන් වෙලා...

      Delete
  3. සෑහෙන්න මහන්සි වෙලා තියෙනව සිරා, :)
    ඇත්තටම මේ සීන් එක අහල තිබුනෙ නෑ කලින්.
    මහන්සියට ස්තූතිය, (Y)

    ReplyDelete
    Replies
    1. මම පළවෙනි වතාවට දෙයක් අහනවා නම් බොලාත් ඒ කථාව අහලා නෑ...මොකද මම අන්තර්ජාලයේ අහුමුලු හැම තැනක් නෑර රිංගන එකෙක්...ඒ නිසා මට බොලා නොදන්න කථාවක් හොයාගන්න වැඩි අමාරුවක් නෑ.

      Delete
    2. :( අපිත් ජාලෙ රිංගුවට බාසාව තේරෙන්නෙ නැති එකනෙ අවුල :D

      Delete
  4. අපූරු ලිපියක්. මේ කතාව ඇහුවමයි සිරා. අර දිලිනිගේ යෝජනාව හොඳයි කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ යෝජනාව වෙනුවෙන් වැය කරන්න සෑහෙන කාලයක් මට නෑ සුදෝ..

      මම සුදු කියලා කිව්වට මෙයා කලුද දන්නෙත් නෑ.....:D

      Delete
  5. මේ කතාව මේ තරම් සවිස්තරාත්මකව ඇහුවේ අද, එහෙන් මහෙන් කෙටි විස්තර කීපයක් සමුදුර පත්තරේ තිබ්බා , මේ ලිපිය ලිවීමට සිරා ගත මහන්සිය ඉතාම අගෙයි . අපි වෙනුවෙන් ගත ඒ උත්සාහයට ඔබට තුති

    ReplyDelete
    Replies
    1. මම පත්තරේ වැඩ කොරාපු කාලෙ මේ වගේ ජාලෙන් අරන් ලිපි ලියපු නංගියෙක් හිටියා...ලංකාදීප පුවත් පතට...මම එයාටත් මම ලියපු ලිපි පෙල පෙන්වන්නම්...සමහර විටක මේ තොරතුරු වෙනත් විදියකට විශාල පාඨක පිරිසක් අතරට යාවි...අදහසට ස්තූතියි ඉවාන්...
      ත්‍රී පෝෂ හදපු වෙලාවක මටත් ගුලි දෙකක් එවහං....

      Delete
  6. ලුණු මිනිසුන් ගැන දැනවත් වන්න හොද ලිපියක්.. වැදගත් කරුනු ගොන්නක්....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානෙ...බහුතරයක් අය මේ සිදුවීම ගැන දැනුවත් නෑ කියලා මම දන්නවා.. ජය !

      Delete
  7. ගොඩ්ඩාක් මහන්සිවෙල විස්තර දුන්නට බොහොම ස්තුතියි මචො.දැනුවත්වුනෙ මේකෙන්

    ReplyDelete
    Replies
    1. එය මට සතුටක්...මෙවැනි ලිපි ඉදිරියේදිත් ඔබට කියවන්න නිසැකවම ලැබෙනවා...

      Delete
  8. ගොඩක් වටින ලිපියක්. මේ වගේ මාතෘකා නම් කොච්චර කියෙවුවත් ඇති වෙන්නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි...පොඩි කාලෙ ඉදලම අද්භූත ජනක දේවල් වලට වගේම ඉතිහාසයටත් මගේ ලොකු කැමැත්තක් තියෙනවා..

      Delete
  9. සිංහලෙන් නැතිව ඇති. ඒත් මචෝ අපේ කෙමිස්ට්‍රි සර් කාරයා ඔය ගැන ඒ ලෙවල් වලදි අපට කිව්වා. මොකක් හරි කතාවක් ඇදුන වෙලාවක.. බොට ස්තුතියි. මේකත් හෙට වෙන සයිට් එකක යාවි.. අනිවා

    ReplyDelete
    Replies
    1. බොලා උ/පෙ ලිව්වෙ 80 දශකයේ මුලම වගේ නේද....එතකොට ලුණු මිනිසුන් ගොඩ ඇවිල්ලා තිබුනෙ නෑ...දේශකයා ලබන අවුරුද්දෙ නේද විශ්‍රාම යන්නෙ 60 සම්පූර්ණ වෙලා....රට්ටු කියන කථා තමා මේවා...

      වෙන සයිට් එකක ගියත් මට සතුටුයි බං...මහන්සි වෙලා ලියන දෙයක් විශාල පාඨක පිරිසක් අතරට යන එක ලොකු දෙයක්...ඒ උනාට හොරකම් කරලා තමන් ලිව්වා වගේ දානවා නම් මට තද වෙනවා ඔන්න...කොහෙ හරි තියෙනවා දැක්කොත් මට ලිංකුවක් එවන්න සානුකම්පිත වන්න.

      Delete
  10. මේ ගැන පොඩ්ඩක් කොහේ හෝ දැක්ක මතකයක් තිබුණත්, මේ වගේ සවිස්තර වාර්තාවක් කියවන්න ලැබුණේ අද. හතරවෙනි මිනිසා මිය ගොස් තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන අතරතුරදී කියලයි මගේ විශ්වාසය. ඔහු දඟ පන්දුවක් යවමින් සිටි ආකාරයක් පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔහු දඟ පන්දුවක් යවමින් සිටි ආකාරයක් පෙනෙනවා.
      ++++++++++++++++++++++++++++++++++

      Delete
    2. බාගද විපක්ෂෙ කට්ටියට බිත්තර ගහන ගමං හිටියද දන්නෙත් නෑ. :D

      Delete
    3. සුදීක ගේ මොලේ වෙනුවට කිරිකැට් බෝලයක් ද බලහල්ලා තියේනනේ. හැක්..

      Delete
    4. දඟ කවද්දි කොහෙන් හරි ඇඹරිලා යන්න ඇති, පව් :(

      Delete
    5. ඔයා තමයි දවසේ කමෙන්ටුව දාලා තියෙන්නෙ....එහෙම ඉරියව්වක් මටත් පේනවා....පන්දුව යවන්න ඔන්න මෙන්න තියෙද්දි හෘදය වස්තුව අකර්මන්‍ය උනා වගේ පේන්නෙ...සමහර විට ප්‍රබල පිතිකරුවෙක් වෙන්න ඇති පිතිකරු අන්තයේ හිටියෙ.

      @ ප්‍රසන්න....තවම ඒ සිදුවීමට නීතිය ක්‍රියාත්මක වෙලා නෑ නේද...

      Delete
    6. සිරාට අමතක උනාද ඒ සිද්ධිය උනේ සිරි ලංකාවෙ කියල. :D

      Delete
  11. `හිම අතර සුරක්ෂිතව තිබී හමූ වූ මිනිස් සිරුරු ගැන අහලා තිබුනට ලුණු අතර එහෙම තිබුනා කියලා මේ ඇහුවමයි. ලුණු මස් වර්ග කල්තබා ගන්න භාවිතා කරන නිසා මේක වෙන්න බැරි දෙයක් නෙමේ.

    මට මතක් වුනේ ක්‍රි.ව. 79දී විසූවියස් ගිනිකඳු විදාරණයෙන් සිදු වූ පොම්පෙයි නගරයේ යටවීම. අවුරුදු එක්දාස් ගානකට පස්සේ මුළු නගරයම ගොඩ දාන්නේ මේ වගේ මමී විශාල සංඛ්‍යාවක් එක්ක.

    ReplyDelete
    Replies
    1. ලුණු වලින් මස් වල තියෙන ජලය උරාගන්නා නිසා.. ක්ෂුද්‍ර ජීවීන්ට බීමට ජලය නැති වෙනවලු.. :)

      Delete
    2. පොම්පෙයි නගරය ගැන කියැවුන වාර්තා වැඩසටහනක් වතාවක් මම නැරඹුවා...අද ලක්ෂ ගනනක් සංචාරකයක් ඉතාලියට ඇදෙන්නත් ඔය කියන පොම්පෙයි නරගය හේතු වෙලා තියෙනවා...ඒ සිදුවීමෙන් මිය ගිය අය අතර තම දරුවාට මව්කිරි දෙමින් උන්නු අම්මා කෙනෙකුත් ඉන්නවා නේද...මට මතකයි එහෙම දේකුත් තිබ්බා කියලා...

      Delete
    3. Edward Bulwer-Lytton කියන ඉංග්‍රීසි ලේඛකයා රචිත The Last days of Pompeii ( පරිවර්තනය රාණි සේනාරත්න රාජ්පක්ෂ ) කියන පොතේ ඔය සිද්දිය පාදක කරගෙන ලියපු එකක්. ඒකෙත් ඔය කියන මව ගැන සඳහනක් තියනවා. මරු පොතක් කියවලා බලහන්...

      Delete
  12. සිරා මේකනම් සිරාවටම වටින ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලින් අයියා..

      Delete
  13. ඇත්තටම මමත් මේ කතාව ඇහැව්වේ අදමයි ...... මමත් පොඩිකාලේ ඉඳන්ම ඔය වැළලුනු මිනිසින් ගැන හරිම ආසාවෙන් කියවන කෙනෙක්.... කාලෙලට පස්සේ ඒ සඳහා අවස්තාවක් දුන්නට තැන්කුයි සිරෝ

    ReplyDelete
    Replies
    1. මැරුණු එකෙකුටවත් මුගෙන් බේරිල්ලක් නැති හැටි අම්මපා

      Delete
    2. මම අහලා තියෙනවා රාළලගෙ ගමේ හොද පෙට්ටියක දාලා මිනිය වැලලුවොත් පහුවදාට පෙට්ටිය අරගෙන කියලා මිනී වල හාරලා...බොලාත් ඒ කාන්ඩෙට සැට් වෙලාද හිටියෙ ඒ කාලෙ ?

      Delete
  14. ඉතාම වටින විස්තරයක් සිරා. සෑහෙන්න මහන්සියක් දරා තිබෙන වග පේනව මේ ලිපිය සකසන්න.

    //දෙවැනි ලුණු මිනිසාත් සොයාගත් පසුව මේ ලුණු නිධිය ක්‍රියාත්මක කල සමාගම එහි ක්‍රියාකාරිත්වය විවිධ හදුනාගත් ප්‍රදේශ වල අත්හිටවූයේ පුරාවිද්‍යාත්මකව ඉතාම වටිනා සාක්ෂි වලට හානියක් වේ යැයි අටියෙන්.// මේක ලංකාවෙ උනානං තත්වය ‍මීට වැඩිය වෙනස් වෙන්න තිබුණ.
    ඒ වගේම මේව හම්බවෙච්ච පලියට ගොඩගන්නෙ නැතුව ඉදිරියට සංරක්ෂණය කරන්නෙ කොහොමද කියල හිතල බලන එකත් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා ඒකනම් ඇත්ත.

      Delete
    2. මතකනෙ සුගලා දේවියට වෙච්චි සන්තෑසිය, :P

      Delete
    3. ලුණු මිනිසා සම්බන්ධයෙන් ඉරාන පුරාවිද්‍යඥයන් දක්වන සැළකිල්ල සතුටුදායක මට්ටමක එකක්...ඒ අයට බටහිර උගතුනගේ සහයෝගයත් ලැබුන නිසා අවශ්‍ය පමණට දැනුම ලැබෙන්න ඇති කියල මට හිතෙනවා..

      @ ගොලු බෙල්ලා

      සුගලා දේවය කිව්වෙ ලගදි අර කොහෙද ගල්ගුහාවකින් හමුවෙලා ඉක්මනින්ම ගිණිබත් කලා කියලා රාවයක් ගිය සීන් එකද ?

      Delete
    4. ඔව් බං, ආභරණ තිබුණු ඒව ගලවගෙන මිනිය පුච්චල දැම්ම කියල කතාවක් ගියේ ඒක තමයි.

      Delete
  15. බොහොම වැදගත් වටිනා ලිපියක්. පාසල් සිසුන් මෙය කියවනවානම් බොහොම හොඳයි. මේ ලිපිය වෙනුවෙන් මම සිරාට ඉහලින්ම ප්‍රශංසා කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචාරක තුමා...බ්ලොග් ලියන අය හැටියට කියවන අයට වටිනා දෙයක් දෙන එක අපේ යුතුකම...නැද්ද මම අහන්නෙ...

      Delete
  16. ඒ සපත්තුව මරුනේ බන්... කව්බෝයි බූට් එකක් වගේ...

    ReplyDelete
    Replies
    1. ලුණු වලින් කකුල් ආරක්ෂාකරගන්න වෙන්න ඇති එතරම් දිගට සපත්තු හදා තියෙන්නෙ...අද සපත්තු වගේම තියෙනවා නේද....අවුරුදු 2000 ක් කියන්නෙ සෙල්ලංද කොල්ලෝ කිව්වලු...

      Delete
  17. සිරා, සිරාවටම මහන්සි වෙලා ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම...හැම කරුණක්ම නිවැරදිව මෙතන සටහන් කරන එක වෙලාවකට අභියෝගයක්...

      Delete
  18. අර උඩින් තිබිච්ච වෙනමම බ්ලොග් එකක යෝජනාවට තවත් දෙයක් එකතු කරන්න හිතුවා... එහෙම නැත්නම් මේ එක එක ලිපියේ label දාන්න ලිපියේ තියෙන වැදගත් කරුණු ටික දාල. එතකොට search කරනකොට අහු වෙනවනේ

    ReplyDelete
    Replies
    1. කොහෙමද බන් ඒ කාරිය කොරන්නෙ...මට වෙලාවක මූණු පොතේ හරි කියා දීපන්....අදහසට ස්තූතියි...

      Delete
  19. ලිපියට බොහෝම ස්තුතියි සිරා.. කියෙව්වා මුලු විස්තරේම..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හරී...කාලෙකින් දැක්කෙ...

      Delete
  20. 1993 ලුණු මිනිසා ගැන අවුරුදු කීපයකට කලින් විදුසර පත්තරේ කියවලා තිබ්බා. අහසයි පොළවයි අස්සේ හැංගිච්ච දේවල් හොයන එක මගේ පුංචි කාලේ ඉදන් තිබ්බ දෙයක්, ඔයාට ගොඩක් ස්තුති.මහන්සිවෙලා ලියපු වටින ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඒ උනාට කමක් නෑ පොළොව අස්සෙ හැංගිච්ච නිධං එහෙම හොයන්න යන්න එපා. ඒවට අයිතිකාරයො ඉන්නව. :D

      Delete
    2. මේ අහසයි පොළවයි යට මොන තරම් අපි නොදන්නා දේ...විද්‍යාවට හසුනොවන දේ තියෙනවද....කෙටියෙන්ම කියනවා නම් සමස්ත විශ්වයම විශාල අභිරහසක්....

      @ ප්‍රසන්න

      තමන්ගෙ වත්තෙ නිධානයක් තිබුනත් ඒක අයිති පළාතෙ ජනතා නියෝජිතයාට...එයා කැමති නම් වත්තෙ අයිතිකාරයාටත් පොඩි සම්තින් එකක් දේවි.

      Delete
  21. වටින ලිපියක් සිරා අයියේ. මේ ගැන සවිස්තරාත්මකව දැනගත්තෙ අදයි. ගොඩක් ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නගෝ ඔබේ අදහසට....ඉදිරියටත් ඔබ නොදන්නා දේ මේ ලේබලයෙන් ලැබේවි.

      Delete
  22. ඉතාමත්ම වටිනා හරවත් ලිපියක්. ගොඩක් කරැණු දැනගත්තා.මෙවැනි ලිපි තව තවත් බිහි වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ...නිසැකවම තවත් මෙවැනි ලිිපි ඉදිරියේදි ලියවේවි.

      Delete
  23. ලුණු මිනිස්සු... මගේ ඔළුවට ඔන්න අද තමාලු වැටුනේ.. අර පාවිච්චී කරපු දේවල් වල තිබ්බ බූට් එක දැක්කම හිතුනේ ඒ කාලේ වෙලත් දැනට වැඩිය හොදට හදලා තියෙනවනේ කියලා..

    වටින ලිපියක් සිරා අයියේ..

    ReplyDelete
    Replies
    1. මූලික හැඩතල, හම් යොදාගෙන ඇති ආකාරය ගත්තම අදත් එක්ක ලොකු වෙනසක් නෑ තමයි...

      Delete
  24. ඉතාමත්ම වටිනා සංවේදී විස්තරයක්. මේ පොලෝ තලේ යට තව මොනතරම් නම් සුන්දර රහස්, ඛේදනීය ඉතිහාස, ලොවට හොරෙන් සැඟවිලා ඇත්ද.

    ReplyDelete
    Replies
    1. විශ්වයම කෙතරම් රහස් දරාගෙන ඉන්නවද ? අපි දන්නෙ කීයෙන් කීයද ?

      Delete
  25. ගොඩක් මහන්සි වෙලා අපිට කියවන්න වටින විස්තරයක් ඉදිරිපත් කොරල තියෙන්නෙ...
    මේ වගේ ඒව කියවන්නගොඩක් ආසයි..
    හැබැයි මේම ලුණු මිනිස්සු ගැන ඇහුවෙ පෙතම වතාවට...
    ඒ සම්බන්ධයෙන් සිරා කොලුවට නොවක් තුති

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්...බොහෝ අය දැනුවත් නැති දෙයක් ගැන තමයි මම බොහෝ වෙලාවට මාසයේ පළමු ලිපියෙන් කථා කරන්න උත්සාහ කරන්නෙ.

      Delete
  26. සිරාගේ මහන්සිය අගය කල යුතුයි.. අපි නොදන්න ගොඩක් දේවල් මේ ලිපියේ ඇතුලත් වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...ඉදිරියටත් මෙවැනි දේ අනිවාර්යෙන්ම තිළිණ කරමි.

      Delete
  27. වටින ලිපියක් සිරා අයියේ... ලිපිය ලියන්න සෑහෙන මහන්සි වෙලා තියෙනවා වගේ..

    හුඟක් විස්තර දැනගත්තා බොහොම ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි...මහන්සිය කියන්නෙ ඉතිං දවස් දෙක තුනක නින්ද කැප කිරීම තමයි...මේ බ්ලොග් එක වෙනුවෙන් දැන් මම කාලය හොයාගන්නෙ නින්දෙන් අඩු කිරීමෙන්‍ෙ

      Delete
  28. මේ තොරතුරු ගැන දැනගත්තේ අදයි. මේවගේ ලිපි දිගටම ලියන්න. ගොඩක් වටිනවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි...තවත් ලියන්නම් ඉදිරියට...

      Delete
  29. සෑහෙන්න අමුතු වගේම සිත්ගන්නාසුලු විස්තරයක්.මම නම් ප්‍රථම වතාවට මේ ගැන කියෙව්වෙ අද.පුදුමාකාර දෙයක් කියලයි මට හිතුනේ.එක්කෝ ඔක්කොම එකට මැරෙන්න එපැයිනේ කියලත් හිතුනා...

    සෑහෙන්න කාලෙකට කලින් මං පොඩිම කාලේ කියවපු කතාවක් මතක්වුනා.හිමෙන් මතුවූ සොල්දාදුවා වගේ නමක් තිබ්බේ.ඒ නම් හිමේ නේ මේ ලුණු නේ.

    සෑහෙන්න වටින වැඩක්.ජය වේවා ඈ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගැමියො...මේ වගේ කුතුහලය ඇති වෙන කථා ගැන මම පොඩි කාලෙ ඉදලම උනන්දුයි...මේ කථාවත් ඒ නිසාමයි කාමරෙන් කියන්න මම අදහස් කලේ..

      Delete
  30. මට පෙනෙන හැටියට දෙන් සිරා මල්ලිට හොයල ලියන්න වෙලාව තියෙනවා වගේ..සෑහෙන මහන්සියක් වෙලා ගෙනා තොරතුරුවලට ස්තුතියි.. නැත්නම් කවදාවත් නොදැන ඉන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. මොන වෙලාවක්ද සරත් අයියා..පාන්දර දෙක තුන වෙනකං හැමදාම ඇහැරගෙන ඉදලා තමයි මේ කාරිය කරන්නෙ...මොකද කියවන අයට වැදගත් දෙයක් ලියන්නයි හැම වෙලාවෙම මගේ වෑයම.

      Delete
  31. ෆුල් සිරා ලිපියක් සිරා.
    මේ මොකද 70 දශකය කියන පෝස්ට් එකට වුනේ.

    ReplyDelete
    Replies
    1. 70 දශකය අතපසුවීමකින් පලවෙච්ච එකක්...ඒක ඉදිරියේදි පලවෙන්න නියමිත ලිපියක්...ඒ අත්වැරැද්ද නිසා බොහෝ අයට මේ ලිපිය අතපසු උනු බවක් පේන්න.

      Delete
  32. Sira uba nm sira porak sira lipiyak aththatama mama danagena hitiye na.thanx
    www.athirasa.com

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...