ආ සඳමාලි නංගි...කොහොමද ? කාලෙකින් දැක්කෙ
වරදක් නෑ අයියා...අයියට කොහොමද ?
මටත් වරදක් නෑ නංගි...ඒත් හිතට පුදුමාකාර වේදනාවක් දැනෙන්නෙ...දැන් මාස ගානකින් සජීගෙන් ලියුමක්වත් පණිවිඩයක් වත් නැහැ . මම දවසක් දෙකක් එයාලගෙ ගෙවල් පැත්තෙත් ගියා. එක දවසක් ගෙදර ඉන්නවා වගේ දැක්කා. මම හිතන්නෙ මාව දැකලද කොහෙද එක පාරටම ගේ ඇතුලට ගියා. මට මේ හිතාගන්න බැරුව ඉන්නෙ.
මම ආවෙ ඇත්තටම සජීගෙ පණිවිඩයකට තමයි අයියෙ.
සඳමාලි එහෙම කියද්දි මට දැනුන සතුට....හැබැයි එයා කථා කලේ අහක බලාගෙන...
ඇයි නංගි මොකක් හරි අවුලක්ද ? මම ඇහුවෙ ගැහෙන හදවතින්....
ඔව් අයියෙ සජී මට පාර්සලයක් දුන්නා...ඔයාට දෙන්න කියලා...මේක ගන්නකො ඉස්සෙල්ලා...
මම ඒක ඩැහැගත්තෙ නොඉවසිල්ලෙන්...
ප්‍රධාන බස් නැවතුම ඉදිරියේදිම මම ඒ පාර්සලය ලෙහලා බැලුවා. ඒකෙ තියෙන්නෙ පසුගිය අවුරුදු 6 පුරාවටම මම සජීට ලියපු සෙනෙහෙ කොල, උපන් දින සුභ පැතුම්, මට මේක අදහා ගන්න බෑ.
මේ මොකද නංගි.... මම සඳාගෙන් ඇහුවෙ දෙලොවක් අතර තනිවෙලා ඉන්න ගමන්..
ඔව් අයියෙ සජී මට කිව්වා මේ ටික අයියට දීලා කියන්න කියලා මේ සම්බන්ධයට ගෙදර අය කැමති නැහැ. ඒ නිසා එයාගෙන් පලිගන්න හිතන්නෙ නැතුව එයා දීපු ලියුම් ටිකයි. බර්ත්ඩේ කාඩ් ටිකයි ආපහු එයාට දෙන්න කියලා. සහෝදරයො වගේ මීට පස්සෙ ඉමු කියලා කියන්නත් කිව්වා.
මුළු ලෝකයම මා ඉදිරියේ කඩා වැටුනා වගෙයි මට දැනුනෙ. මම හිත් පිත් නැති එකෙක් වගේ සඳා දිහා බලාගෙන හිටියා. සඳා තව මොනවද කියනව...මට ඒ මොනවද කියලා නිච්චියක් නෑ.
අයියෙ...
සඳා මගෙ ඇඟට ඇනලා කථා කලා...
මම පියවි සිහියට ආවෙ එතකොට...
අයියා කවුද කියලා කියන්න මම දන්නවා අයියෙ. ඒ උනාට මගෙ යාළුවා වෙනුවෙන් මේ දේ මට කරන්න උනා. එයාට කවදාවත් ඔයා වගේ හොඳ කෙනෙක් ලැබෙන්නෙ නැහැ.
මේ ටික මට ඇහුනෙ හීනෙන් වගෙයි...ඇත්තටම මේ හීනයක්ද...මම මගෙන්ම ඇහුවා.....
සඳාගෙන් සමුගන්නේවත් නැතුව මම පාරදිගේ වැනි වැනී ඇවිදගෙන ආවා. හරියට ඇවිදින මල මිනියක් වගේ මට හිතා ගන්න බැහැ කරන්නෙ මොකක්ද කියලා. කෙලින්ම ගියෙ බාර් එකට. අරක්කු භාගයකුත් අරගෙන මම ඒ කාලෙ උගන්වමින් හිටිය පුද්ගලික පන්තිය පැත්තට ගියා. වෙලාවට කවුරුවත් නෑ. ඒ වනතෙක් මම ජීවිතේටම බීලා නැහැ. නමුත් මට මේ වේදනාව දරාගන්න බැහැ. මේක කියවන අය හිතයි පිරිමියෙක් මෙහෙමත් අඬනවද කියලා ඒත් මට නොදැනිම නොනවත්වා ගලන කදුළු නවත්තගන්න මට පුලුවන් කමක් තිබුනෙ නෑ. පැය 3 ක් විතර මම අරක්කු භාගය හිස් කරමින් පන්තියෙ ඉන්න ඇති. ඔළුව උස්සන්න බැහැ. ඇඟට පණත් නෑ. වටේටම කළුවර වැටිලා. මම ගෙදර යන්නත් ඕනෙ. මට හොඳටම දැනෙනවා මම වැනෙනවා කියලා.
කවුද ඔය පන්තියෙ ඉන්නෙ. ටිකක් සැරෙන් කෙනෙක් අහනවා ඇහුනා.
ආ...මේ..මම...මම උත්තර දුන්නා.
අඩේ....අයි පී...කොහෙද බොල ගියේ...මම හැමතැනම හොයලා තොගෙ ගෙදරත් ගිහින් මේ ආවෙ. මට නිකමට හිතුනා පන්තියේවත්ද කියලා...
රොහාන් ලඟටම ඇවිත් අහනවා. ඒ මගේ එදා ඉඳන් අද දක්වාම අතිජාත මිත්‍රයා...
මොකද උඹ කරන්නෙ...
මට දෙන්න උත්තර නෑ...
මොකක්ද ඒ ගඳ....උඹ බිව්වද ? මට කථා කරගන්නත් බෑ.....
මුගෙ අම්මට...මට ඇහුනෙ එච්චරයි...දෑස නිලංකාර වෙනවත් මතකයි. මගෙ ජීවිතේට මම ඒ වගේ කනේ පාරක් කාලා නෑ. ඇත්තටම වෙරි හිඳුනා...
මට සමාවෙයං මචං...මගේ ඇඬිල්ල මටම නවත්තගන්න බැරි උනා.
තෝ මොකටද බිව්වෙ...
වෙන්න තියෙන සේරම උනා බං....සජී මාව දාලා ගිහිල්ලා.
මොකා සජී.....ඒ මොකද ?
ඒකි සඳු අතේ පණිවිඩයක් එවලා ඒකිව අමතක කරන්න කියලා. මම කොහොමද බං ඒක කරන්නෙ අවුරුදු 6 ක් මම කොහොමද අමතක කරන්නෙ....මම ඇහුවෙ අඬ අඬා....
ඒකි මට ලියුමක් එවලා තියෙනවා මම යවපු ලියුම් කාඩ් ඔක්කොම එක්ක.
රොහාන් නිහඬවම මා දෙස බලාන හිටියා. දැන් උඹට ගෙදර යන්න බැහැනෙ ඔහොම. යමං ශාමලීලගෙ ගෙදර...මම තොගෙ බාප්පට කියලා එන්නම්. රොහානයා උගෙ පුටාර් එකට නැගලා පිම්මේ ගියා.
ශ්‍යාමලීගෙ ගෙදර ගිහින් මම කලේ එලිවෙනකං අඬන එක. අවුරුදු 6 ක හීන එකපාරටම කඬා වැටුනම කෙනෙක් කොහොමද දරා ගන්නෙ. ඇස්දෙක පියාගෙන මම ඒ අතීතයට ගියා මොහොතකට...හරියටම චිත්‍රපටියක් වගේ ඒ මතකය වරින් වර මැවෙනවා.
1990 වෙද්දි මම 10 පන්තියෙ උනාට මුළු පාසලේම ප්‍රසිද්ධ චරිතයක්. ඒ ඉගෙනීමට බර හොඳ ළමයෙක් විදියට. අපි හැමදාම පාසල් බස් එකට එන්න ප්‍රධාන නැවතුමට එනවා. ඒ එන්නෙ බස් එකට විනාඩි 20 කට විතර කලියෙන්. මගේ හිතවත්ම පිරිස උනේ රොහාන්, ශාමලී නංගි, අචලා, ජයන්ත ඇතුළු පිරිස. දවසක් ශාමලී නංගි මා ලගට ඇවිත් මගේ කනට කරලා මෙහෙම කිව්වා.
අයි පී අයියෙ...බට්ටි අක්කා ඔයා දිහා බලනවා වැඩියි. මොකද ඇප්ලිකේෂන් එකක් දාමුද ?
මමත් හොරෙන් හොරෙන් බට්ටි දිහා බැලුවා. බට්ටි ඇත්තටම ලස්සන පොඩි කෙල්ලක්. මට වඩා අවුරුද්දක් බාලයි. ටික දවසක් ඔය විදියට ගියා. මටත් බට්ටිව නොදැක ඉන්න බැරි උනා. මම දන්නවා බට්ටිටත් එහෙම වෙන්න ඇති. එයා හැමදාම මට රතු රෝසමලක් අරගෙන ආවා. එයාලගෙ ගේ ඉස්සරහා ලස්සනට කපපු රෝස වැටියක් තිබුනා. ඒකෙ හැමදාම මල් පිපුනා.
එදා හරියටම 1990 මැයි මාසෙ 18 වෙනිදා..සිකුරාදා දවසක්. අපි දෙන්නට බස් එකේ එකට සීට් එකේ යන්න අවස්ථාවක් ලැබුනා. මම එයා ලගින් ඉඳගත්තා විතරයි. මෙතෙක් වෙලා අතේ තියාගෙන උන්න රෝසමල මා අතට දීලා බොහොම අහිංසක විදියට හිනා උනා. මමත් ඉතින් දැන් ඉවසගෙන උන්න ඇති කියලා හිතලා පුරුෂ දහිරිය අරගෙන තව ටිකක් ලඟට කිට්ටු කලා.
බට්ටි නංගි...මම ඔයාත් එක්ක බොහොම පුද්ගලික දෙයක් කථාකරන්න හිතාගෙන හිටියෙ...
මොකක්ද අයියෙ...
ඔයාට කවුරුහරි විශේෂ කෙනෙක් ඉන්නවද ?
ඉන්නවා තුන් දෙනෙක්...(මට කණට ගැහුවා වගේ)
ඒ කවුද ?
අයියලා දෙන්නයි මල්ලියි...
එහෙම කියලා බට්ටි අතින් කට වහගෙන හිනා උනා. මට ටිකක් කේන්තිත් ගියා...නමුත් මම සද්ද නැතුව හිටියා.
මට තේරෙනවා අයියෙ අයියා අහදේ....මට කොල්ලෙක් නෑ. ඒත් මගේ හිතේ කෙනෙක් ඉන්නවා.
කවුද ඒ....මමත් ඇහුවෙ හිතින් ගැහි ගැහි....
වෙන කවුරුවත් නෙමෙයි ඔයා...මම දන්නවා ඔයත් කැමතියි කියලා.
ඔන්න ඔය විදියට තමයි අපේ ප්‍රේමකථාව පටන් ගත්තෙ. දින සති මාස ගෙවිලා ගියා. දවසින් දවස මගෙ ගෙදර තියෙන පුංචි කාඩ්බෝඩ් පෙට්ටියකට රෝසමල් එකතු උනා.
ඉස්කෝලෙදි අනිත් අයට හොරෙන් අපි හැංගිලා කථා කරපු හැටි...මට ගෙදරින් බත් ගෙනල්ලා කවපු හැටි. අපේ හිතවත් අය අපි වටේට ඉඳගෙන උකුසු ඇස් වලින් අපිව ආරක්ෂා කරපු හැටි...පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඉවර වෙලා ගෙදර යන්න බස් නැතුව හිටපු දවසක ලොරි භාගයක නැගලා අපි දෙන්නා ඒ ගමන යද්දි මගේ පපුවට තුරුලු උන හැටි, මේ ලියමන අස්සෙ මට මතක් වෙනවා. මම හැමදාම දැනගෙන හිටියෙ මම ඔයාට හදවතින්ම ආදරය කල බව විතරයි.
1991 මම අ.පො.ස සා/පෙ කරලා ගෙදර ඉන්න කාලෙ තමයි දුක්බරම කාලය. ඒ කාලෙ මගේ පණිවිඩ බට්ටිට ගෙනිහින් දුන්නෙ සමන් අයියා. එයා අත තමයි බට්ටිත් මට පණිවිඩ එව්වෙ. ප්‍රතිඵල ඇවිත් උසස් පෙළ පන්ති පටන් ගන්න ගියා මාස 4-5 ක කාලය පුදුමාකාර පාළුවෙන් හිටියෙ. ඒ කාලෙ බට්ටිව මුණ ගැහෙන්න යන්න විදියකුත් නෑ. කොහොමහරි 1992 අපි ආයෙ පාසල් ගියා....නැවත අපේ ආදරය අළුත් උනා. නමුත් මට පැහැදිලිව දැනුන දෙයක් තමයි එයා ඉස්සර තරම් මාව ගනන් ගන්නෙ නෑ කියන එක. ඒ වගේම බට්ටිගෙ තිබ්බ හුඟක් අහිංසක ගතිගුණ ටිකෙන් ටික ඈත් වෙනවා කියන එකත් මට දැනුනා.
දවසක් අපේ ලොකු මල්ලි මට මෙහෙම කිව්වා, අයියේ උඹේ මස්සිනා උඹට පණිවිඩයක් එවලා තිබ්බා, වැරදිලා මට ඇවිත් තිබුනා මම ගිහින් මුණ ගැහිලා කථා බහ කරලා ආවෙ කියලා. මම අපේ එකාගෙ හැටි දන්න හින්දා පහුවදාම බට්ටිගෙන් ඇහුවා මොනවා හරි ප්‍රශ්නයක් උනාද කියලා...එයා මට කිව්වෙ ඔයා හරි චණ්ඩියෙක්නෙ....ඇයි මල්ලියි..මල්ලිගෙ යාළුවොයි දාලා අපේ අයියට ගහලා තියෙන්නෙ...මින් පස්සෙ අපේ සම්බන්ධය ඉවරයි ආයෙ කථා කරන්න එපා කියලා.
මම පස්සෙ තමයි දැනගත්තෙ මට ගහන්න බට්ටිගෙ අයියා කරපු සැලසුම අපේ මලයට ආරංචි වෙලා මලයා එදා කෙල්ලගෙ අයියා රැකගෙන හිටිය තැනට එයාගෙ යාලුවො එක්ක ගිහින් තියෙන විත්තිය.
කොහොම උනත් මගේ නිවැරදි බව කියන්න කොපමණ උත්සාහ කලත් ඒකට අවස්ථාවක් බට්ටි නගා දුන්නෙම නෑ. එයත් සා/පෙ කරලා උ/පෙ වලට ආවා. එතැනදිත් මම ගොඩාක් උත්සාහ ගත්තා. කොහොම උනත් ටික කාලෙකට පස්සෙ අපි දෙන්නා ආයෙමත් එකතු උනා.
මම 94 දි උ/පෙ ලිව්වෙ. හැබැයි ඒ වෙනකොට මා ගැන සැලකිල්ල බොහොම අඩුයි කියලා මට දැනිලා තිබුනෙ. ඒ වෙනකොටත් මම පොඩි ළමයින්ට ටියුෂන් දෙන නිසා මා අතේ යහමින් මුදල් තිබුනා. එයාට උවමනා හැම පොතක් ම ගෙනත් දුන්නෙ මම. හැම අඩු පාඩුවක්ම බැළුවෙ මම. මට උ/පෙ හරියටම සමත් කරගන්න බැරුව ගියා. 95 දි මම දෙවන වරටත් එයා පළමු වරටත් උසස් පෙළ ලිව්වා. ඒ කාලය වෙනකොට මම සෑහෙන්න මානසිකව වැටිලා හිටියෙ. කොහොම හරි පළවෙනි සැරේම එයා A 4 ක් අරගත්තා. මට ඒ වතාවෙත් ලකුණු මදි. ප්‍රතිඵල ආව දවසෙම අනිත් අය එක්ක බට්ටි කියලා තිබුනා අයි පී අයියා මට හරියන්නෙ නෑ. මම දැන් කැම්පස් ගිහින් අඩුගානෙ ටීචින් හරි කරයි. මෙයා මොනවද කරන්නෙ කියලා.
මේ කථා මට හිතවත් යාළුවන්ගෙ මාර්ගයෙන් ආරංචි වෙනකොට පපුවට පිහියෙන් අනිනවා වගේ. උ/පෙ වලින් පස්සෙ එයා ඉංග්‍රීසි පන්තියකට යන්න පටන් අරගෙන. ඒත් මට කිව්වෙ නෑ. දවසක් පන්ති ගිහින් එද්දි මට අහම්බෙන් මුණ ගැහුනා. කොහේද ගියේ කියලා ඇහුවම කිව්වෙ යාළුවෙකුගෙ ගෙදර ගියා කියලා. මම කොච්චර ලිපි යාලුවන්ගෙ මාර්ගයෙන් යැව්වත් එකකටවත් පිළිතුරක් නෑ. නොයෙක් නොයෙක් ආරංචි ආවා. ඒත් මම පුලුවන් තරම් හදාගන්න තමයි හැදුවෙ. එයා උසස් පෙළ ලියපු කාලෙ සමහර විශේෂ පොත් පත් මම තනියම කොළඹ ගිහින් පවා ගෙනත් දුන්නා. එහෙම මට තමයි මෙහෙම සලකන්නෙ.
මේ කාලයටම අපි මුණ ගැහුනෙ දවස් 7 - 8 විතර. එයා යන ඉංග්‍රීසි පන්තිය හොයාගෙන දවසක් මම එතැනට ගියා. එදා මට සැලකුවෙ හරියට පිටගම් කාරයෙකුට වගේ. පස්සෙ පන්ති යන එකත් නවත්තලා දැම්මා.
මෙහෙම ඉන්නකොට තමයි සඳා නංගි මට අර පණිවඩේ කිව්වෙ. අපි නුවරඑළි චාරිකාවක් ගිය වෙලාවක එයාට සීතල වැඩිවෙලා වෙව්ලද්දි මම ඇඳගෙන හිටිය ස්වීටර් එක දීලා මම සීතලේ හිටිය හැටි,හැමෝටම හොරෙන් එයාම උයාගෙන ගෙදරින් ගෙනාපු බත් එක මට කවපු කාලෙ, එකින් එක මතකයට එද්දි පුදුමාකාර වේදනාවක් දැනුනෙ.
මම බට්ටිට දුන්න හැමදේම ආපහු එව්වට පස්සෙ මෙතෙක් කල් මගේ ලග සුරැකිව තබාගෙන සිටි ඡායාරූප, ලිපි හා කාසි සියල්ලම මමත් ඇයට ලැබෙන්න සැලැස්වුවා. මාසයක් පමණ ගතවෙද්දි මම ඉන්න විදිය දැකපු රොහාන් මා ලගට ඇවිත් අන්න ගම්පහ සෝබෝන් එකේ සිටු බණ්ඩාර සර්ගෙ Spoken English පන්තිය පටන් ගත්තා. වරෙන් යන්න කියලා මාවත් ඇඳගෙන සෙනසුරාදාවක සෝබෝන් එකට ගියා.
මේ අතර එක සෙනසුරාදාවක අපිට හදිසියෙම පන්ති පැවැත්වුනේ නැහැ. හැමෝම කථා උනා ගම්පහ මල් වත්තට යන්න. මම මුලදි අකමැති උනේ මගේ පහුගිය මතක සටහන් අස්ගිරිය මල් වත්තෙදි දකිනකොට හිතට වේදනාවක් එන හින්දා. නමුත් රොහාන්ගෙ බලකිරීම මත මමත් අනිත් අයට එකතු උනා. අපි හැමෝම හෙමිහිට සින්දුවක් කිය කියා ඇතුලටම යද්දි විශ්වාස කරන්න එදා මට දැනුන වේදනාව මට සිහිකරන්නත් භයයි. ඒ තරම් වේදනාකාරියි. මම අවුරුදු 6ක් ආදරය කරපු මගේ ප්‍රථම සහ එකම ප්‍රේමය බට්ටි නංගි ඒ කාලෙ අපිට උදව් කරපු, අපේ ලියුම් අරගෙන ගිය සමන් අයියගෙ අතේ එල්ලිලා මගේ ඉස්සරහටම එනවා. මට මගේ දෑස් අදහාගන්න බෑ. ඒ දෙන්නත් මාව දැක්කා. එ එක්කම ඉක්මනටම ගමන් මාර්ගය වෙනස් කරලා වෙන පැත්තකට ගියා. මම ආපහු යන්න හැරුනාම රොහානුත් මා එක්ක ආපහු හැරුනා.
මම එදා ගෙදර ගියෙත් නෑ. රොහාන් මාව උන්ගෙ ගෙදර එක්ක ගියා. ඌ එදා උන්ගෙ ගේ ලග ලඳු කැලෑවට අරගෙන ගිහින් මට ඇති තරම් අඬන්න අවස්ථාව දුන්නා. දැනෙන වේදනාව කොච්චර උනත් ඉවරයක් නෑ. හරියට මුහුදෙ රැල්ල වගේ. නැවත නැවත බුර බුරා නැගෙනවා. ගෙදරට පණිවිඩයක් යවලා මම සතියක්ම උන්ගෙ ගෙදර හිටියා. පස්සෙ ටිකෙන් ටික හිත හදාගන්න හැදුවට ඒක අමාරුයි. වෙන දේකට හිත යොමුකරන්න කියලා රොහාන් මට උපදෙස් දුන්නා. සෝමසිරි මැදගෙදර ගායනා කරන ඉස්සර බැඳි පෙම සිත්වල සුවඳයි කියන ගීතය ඇහෙන කොට මට ඒ කාලෙ දැනුනෙ මාව පිච්චෙනවා වගේ....ඒ දවස් වල එයා ලිපියකින් ලියලා එවපු අරලිය ලන්දට සඳ පායනකොට කියන ගීතය ඇහෙනකොට ඇත්තටම ආදරය මේකද කියලා මට හිතාගන්න බැරි තත්වයක් උදා උනා.
අන්තිමට මට කාන්තා සනුහරේම එපා උනා. පලිගන්න අදහසමයි ඔළුවට එන්නෙ. පස්සෙ මම තීරණයක් ගත්තා. මට උසස් පෙළ ඇණගන්න උනෙත් උඹ හින්දා...මගේ ගමන නතර වෙන්න ගියෙත් උඹ හින්දා....මට වැරදිච්ච තැන මම කොහොමහරි හදාගන්නවා කියන එක.
1997 ජනවාරි මම වරකාපොල කාර්මික විද්‍යාලයේ තාක්ෂණවේදී ඉංජිනේරු සහතික පාඨමාලාවට එකතු උනා. මට උගන්වපු ආචාර්යවරුන්ගේ මග පෙන්වීම මත 1998 ජනවාරි වරකාපොල ඉගෙනගන්න අතරම කෑගල්ල කාර්මික විද්‍යාලයේ සති අන්ත NCT පාඨමාලාවටත් සම්බන්ධ උනා. මට ඉගැන්වුවෙ ඉතාම හොඳ ගුරුවරු. දවසක් එක දේශක තුමෙක් මට කිව්වා විවෘත විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාවකට ලියාපදිංචි වෙන්න කියලා. හැබැයි කාටවත් කියන්න එපා කියලත් කිව්වා.
මමත් ඒ කියපු විදියටම කලා. වරකාපොල කාර්මික විද්‍යාලයෙ අවසාන විභාගෙ මම ඉහළින්ම සමත් උනා. ඒ වෙනකොට බට්ටි කැලණිය සරසවියෙ. මට එහෙනුත් ආරංචි ආවා එයා ගැන. මේ කාලය තුල මම පුදුමාකාර වෙහෙසක් අරගෙන මගේ ඉලක්කයට ගියා. අන්තිමට මම ලංකාවෙ ප්‍රධානතම වෛද්‍ය උපකරණ ආයතනයක සහකාර ඉංජිනේරුවෙක් විදියට සේවයට බැඳුනා. බට්ටි විශ්ව විද්‍යාලයෙන් සමු අරගෙන උපාධිධාරී ගුරුවරියක් විදියට මම මුලින්ම ඉගෙනගත්ත පාසලේ සේවයට එකතු උනා.
ආයෙ නං කෙල්ලො එපා කියපු මගේ හිත වෙනස් කලේ මියගිය පුංචි අම්මා. මගේ පියාගෙ මිතුරෙකුගෙ දියණියක් වගේම මගේ සහෝදරයගෙ පන්ති සගයෙක් වෙච්ච මගේ බිරින්දෑ මුණගැහුනෙ පුංචි අම්මගෙ බල කිරීම මත. මුලින් මුලින් අරමුණක් නැතුව කථා කලාට මා ඇයට 2001 වසරෙදි කැමති උනා.
දිනය මට මතක නැතත් එදා 2002 වසරෙ පෙබරවාරියේ දිනයක්. අපේ ගමේ පොල දවස. මම එදා ටවුමට ආ වෙලාවෙ මම මගේ හිටපු ආදරවන්තිය බට්ටි නගාව මුණ ගැහුනා. මම ඇයව මඟ ඇරලා යන්න හැදුවත් ඇය මා වෙතම ආවා. ඇස් දෙකේ කදුළු පුරවගෙන මා දිහා බැලුවා. නමුත් මගේ නෙතින් ගලපු කදුළු වලට ඒ කදුළු වල වේදනාවට, ඇගේ කදුලින් වන්දි ගෙවන්න බැරි බව ඇයට වැටහෙන්න නැතුව ඇති.
මගේ හිතේ තද කේන්තියක් මිසක් වෛරයක් ඇති උනේ නැහැ. ඒ මගේ හිතේ ඉතුරු වෙලා තිබ්බ ආදරයේ අන්තිම බින්දුව නිසා වෙන්න ඇති. ඇය මා ලගට ඇවිත් අත්දෙක එකතු කරලා මා දිහා බලලා...
අනේ රත්තරං අයි පී අයියෙ මා අතින් වෙච්ච වැරදි වලට සමාවෙන්න මම හැමදාම ඔයාගෙ ගාව වැටිලා ඉන්නම් මට සමාව දෙන්න කියලා අඬන්න ගත්තා. මටත් ඉතාම අපහසුතාවක් දැනුනා. මම ඇයත් කැටුව ඒ ආසන්නයේ තේ පැන් හලකට ගිහින් වාඩි වෙලා කථා කලා. ඇය ඒ වෙද්දි පෙම් සබඳතා 2 ක් බිඳුනු කෙනෙක්. ඇය මට කියනවා මට සමාව දීලා මාව බාරගන්න ඉස්සර වගේම මට ආදරේ කරන්න, ඔයාට කැමතිනම් අපේ ගෙදර එන්න, මම ගෙදරට ඔයා ගැන කියන්නම්....කියලා...ඒත්....
ඒ වෙනකොට එයා ප්‍රමාද වැඩියි. අපේ ගෙවල් වලින් මගේ සහ අභිනව තරුණියගෙ විවාහයට කටයුතු සුදානම් කරලා තිබුනෙ. ඇත්තටම මම ඇයට ආදරය කලේ නැහැ. තිබුනෙ කැමැත්ත විතරයි. මොකද තවමත් මගේ හිත ඇතුලෙන් ආදරේ කලේ බට්ටිට, ඒත් හිතට එකඟව දැන් මට ඇයව බාර ගන්න බෑ. මම ඇයට පැහැදිලි කලා දැන් මම ඉන්න තත්වය. එදා ඇය පැය 2 කටත් වඩා මගේ උරහිසට ඔළුව තියාගෙන අඬමින් පාපොච්චාරණය කලා අැය මට කල වැරදි ගැන.
2002 වසරෙ මාර්තු මාසයේ මගේ උපන් දිනයට දවස් කීපයකට පස්සෙ මගේ විවාහය සිද්ද උනා. විවාහයෙන් පස්සෙයි මම ඇයට ආදරය කරන්න පටන් ගත්තෙ. ඒ ආදරයට පුලුවන් උනා බට්ටිව පහුකරගෙන යන්න. ඇය මගේ හෙවනැල්ල වගේ හැමදේම හොයා බැලුවා. මගේ අධ්‍යාපනය තවත් ඉදිරියට ගෙනියන්න උවමනා උනෙත් එයාටයි. අවසානයේ උපාධියක් අරගෙන බට්ටි ගුරුවරියක් වෙද්දි...මම ඉංජිනේරුවෙක් ලෙස උසස් උනා.
කාලය සෙමින් සෙමින් නැතුව වේගයෙන් ගලා ගියා. මට ලැබුනු තොරතුරු අනුව බට්ටි පසුකලෙක අසල් වැසි ගමක තුන්රෝද රථ රියදුරෙක් සමග විවාහ උනා. කාලයකට පස්සෙ මට ඇය මුණ ගැහුනෙ ගම්පහ රෝහලට මම රාජකාරී අවශ්‍යතාවයකට ගිය මොහොතකදි. ඇය සිටියෙ බාහිර රෝගී අංශයෙ ප්‍රතිකාර ගන්න පෝලිමේ. සෙනෙහස කෙසේ වෙතත් මට දැනුනෙ අනුකම්පාවක්. මම ඇය හා කථා බස් කලා. ඇයව පෝලිමේ නොතියා බෙහෙත් අරන් දීලා පිටතින් ගත යුතු බෙහෙත් පවා අරන් දුන්නා. කෙසේ වෙතත් මට අමතකක කරන්න බැහැ. මේ මගේ ප්‍රථම ප්‍රේමය බව. ඒ වගේම මට අමතක කරන්න බැහැ මම දැන් දෙදරු පියෙක් බව.
එදා අැය මා ප්‍රතික්ෂේප කල මොහොතේ මගේ හිතට ශක්තියක් වූ මගේ මිත්‍රයො හා මගේම ආත්ම ශක්තිය නොවෙන්නට අද මා නමින් කෙනෙකු නොඉන්නටත් ඉඩ තිබුනා. සෑම ගැටලුවකටම හොඳම විසඳුම කාලයයි. කාලය විසින් හුගාක් ගැටළු විසඳනවා. දැන් මම ජීවිතය විඳිනවා. ඇය ජීවිතය විඳවනවා. මම දැන් ආදරය කරනවා නැවත වතාවක්. ඒ මා හැර ගිය ඇයට නොව මගේ දයාබර බිරිඳට. ඇය මට දෙවැනි මවක් වැනියි. ඕනෑම කෙනෙකුට හිමි කරුවෙකු හෝ හිමිකාරියක කොතැනක හෝ සිටින වග මම දැන් තරයේ අදහනවා. මට එදා මේ තරම් වේදනාවක් ලැබුනේ මෙවැනි අනාගතයක් උදෙසා බවයි දැන් හිතෙන්නෙ.
අදින් වසර 2 කට පෙර 2013 වසරේ නැවත වතාවක් බට්ටි මගේ මුහුණටම මුණ ගැසුන මුත් මා නොහඳුනන කෙනෙකු මෙන් ඇය මා මග හැර ගියා. එසේ උවත් පසුගිය වසරේ මා නැවත වතාවක් ලංකාවට ගිය මොහොතක ඇගේ දරුවෙකු තදබල ලෙස අසනීපව සිටි බව කණ වැකිලා කරුණු කාරණා හොයලා බැලුවා. ශල්‍ය කර්මයට ලක්ෂ 12 ක් අවශ්‍යයි. එදත් මම ඇගේ ගිණුමට යම් මුදලක් බැර කලා. ඇගේ ගිණුම් අංකය මට ලබා දුන්නෙ අපේ ලියුම් ගබඩාව දෙපැත්තට අරගෙන ගිය සඳා නංගි.
කැමැත්ත සහ ආදරය කියන්නෙ දෙකක්. කැමැත්ත කාලයක් යන විට ආදරයට පෙරළෙන්න පුලුවන්. මම දැන් ඒ කැමැත්ත ආදරයකට පෙරළගෙන ජීවත් වෙනවා. මගේ මේ ජීවිත කාලය තුල මගේ උපන් දිනයක් වෙනුවෙන් මට ලැබුන හොඳම උපන් දින තෑග්ග තමයි 2002 මාර්තුවෙ මට ලැබුන මගේ බිරිඳ. මම එයාට එදා බට්ටිට ආදරය කලාට වඩා ගොඩාක් ආදරෙයි.
සිරාගෙ කාමරයේ බූට් මාසය වෙනුවෙන්
සෞදි අරාබියේ රියාද් නුවර සිට ලියා එව්වේ ඉන්දික ඉලංගකෝන්.
ප.ලි
සිරා කොලුවා වන මම ඉන්දික අයියාගේ නිදහස් අදහස් එලෙසින්ම පළ කලෙමි. බණ්ඩි පොහොර ගසන්නට ගියේ නැත.
ඒක මාර සංවේදී කතාවක්! අවසානේ හොද වුන එක ගැන පට්ට සංතෝසයි!
ReplyDeleteමේකෙ කිසිම බොරුවක් නෑ රූපෙ..සියල්ල සම්පුර්ණ ඇත්ත,,,අද මගේ ජීවිතේ හෙවනැල්ල...ශක්තිය...මාර්ගෝපදෙශිකාව...සියල්ලම මගේ දයාබර බිරිද..එදා මම ඇය විවාහ කරගත්තේ මගේ පියා මව,පුංචි අම්ම කියන අයගේ බල කිරීමට...ඒත්...මගේ පුංචි අම්ම තමයි මාව හදා වඩා ගත්තෙ පුංචි කාලේ ඉදලම...ඒ පුංචි අම්ම තරම්ම ඇය මට ශක්තියක් උනා..
Deleteආත්ම ශක්තිය ගැන කියැවෙන සංවේදී කතාවක්.ඇත්තටම පෙබරවාරි මාසෙ බූට් මාසයක් කරන්නට සිරාට හිතුනෙ පෙබරවාරි මාසෙක බූට් එකක් කාල තියෙන නිසාද?
ReplyDeleteමේ ශක්තිය මට දුන්නෙ ඇත්තටම මගේ යාළුවො ටික...හොද යාලුවෙකුට පුළුවන් කෙනෙක්ව නොමගට හෝ සුමගට ගන්න..ස්තුතියි අදහසට..
Deleteවැඩි කාලයක් නෑ හැලපයියෙ.හරියටම සතියකට කලින් මගේ මාස 3 ක ආදර කථාව අවසන් උනා...ඒක මාස 3 ක් උනාට මගේ උපරිමයෙන් මම ඒ කෙල්ලට ආදරය කලා. කාත් කවුරුවත් නැති පාලු කාමරයක මගේ අද කල දවස කොහොම ඇතිද කියලා නිකමට හිතන්නකො...බ්ලොග් ලිවිල්ල කලේ නැත්තං මමත් හාන්සියි...සුකුමාර්ගෙ කථාව කියවන්න...එතැන තියෙනවා විස්තර...
Deleteකාලයත් පුදුම යි. අපේ හිතුත් පුදුම යි. උපරිම සංවේදී කතාවක්. අකුරක් නෑර ඇත්තද?
ReplyDelete500% ඇත්ත..දැන් මේකෙ මගේ හිටපු පෙම්වතියගේ නම හැර අනිත් නම් සියල්ල ඇත්ත.ඒත් මේ බ්ලොග් එක කියවන මගේ යාළුවො මේ නිග් නේම් එක දන්නව..මම හැමතිස්සෙම අනිත් යටත් කියන්නෙ කලබල නොවී කාලයට ඉඩ දෙන්න කියල.
Deleteමේ ලිපියෙ පාඨකයෙක් විදියට මගේ ගැටලුව...එදා බට්ටි නගා මුණ ගැහෙද්දි...ඔයාට කෙනෙක් හමුවෙලා හිටියෙ නැත්තං...බට්ටි නගාට කැමැත්ත දෙනවද ?
ReplyDeleteනෑ මල්ලි..ප්‍රතිපත්තියක් විදිහට මගේ ජීවිතේට වංචාවක් කළා කියල ඔප්පු උනාට පස්සේ මම ආයේ ඒ ගැන හිතන්නේ නැහැ.තරහ වෙන්නෙ නැහැ කවදාවත්..නමුත් එක්ව ගමනක් යන්න අමාරුයි.
Deleteපරක්කු වෙලා එන්න වීම ගැන ලතවෙමින් පහලට යන මොහොතේ....මේ වගේ කමෙන්ට් දකින්න ලැබෙන්නෙ පහු උනාම තමයි..!
Deleteඉන්දික ..එල.
තෑන්ක් යු මචන්..
Deleteයකෝ! පිස්සු කොර වෙනවනේ! අනේ මන්දා....
ReplyDeleteකමක් නෑ..නාඩි වැටෙනවනෙ ..නැද්ද..?
Deleteසහෝදරයො වගේ
ReplyDeleteයාළුවෙක් වගේ
ඉස්සර හිටිය වගේ...
මර බයිල කතා ටික විතරමයි උන්දලගෙ කටේ තියෙන්නෙම... හුහ්.... මොනා වුණත් හිත ෆිට් කරන් ගියපු ගමන ගැන සෑහෙන සතුටක් තියෙන්නෙ...
ජයෙන් ජයම වේවා මචෝ
ආදරයක සොහොන් ලකුණු තමයි ඔය වචන ටික...තැන්කූ කිව්ව වචන ටිකට..
Deleteමේ සංවේදි ඉන්දික කව්ද?? හැක්
ReplyDeleteඇත්තටම කවුද ඈ.....
Deleteයකෝ ඒ ඉන්දිකයි මේ ඉන්දිකයි එකාමද කියල මට හිතුන!
Deleteඒ ඉන්දිකත්...මේ ඉන්දිකත් හැර තවත් අය සිටීද...?
Deleteඉන්දිකල ඔක්කොටම එකම තාලෙටද දන්නේ නැහැ වැඩේ සෙට් වෙලා තියෙන්නෙ නෙහ්.....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteගම්පහ කියන්නේ ආදරය සහ බූට් අතර තරුණ්‍ය දොලනය වෙන මාර තැනක් බං මං හිතන්නේ ඒකට හේතුව වෙලා ඇත්තේ බාලිකා පාසැල් බාලක පාසැල් මිශ්‍ර පාසැල් ටියුෂන් පංති කියන ප්‍රධාන ලක්ෂණ ගොන්නක් එකට එක්කාසුවෙලා තියෙන හින්දද කොහේද ඇයි ඒ විතරක්ද ස්ටේෂම 200 බස්ටැන්ඩ් එක ෆිල්ම් හොල් ටික පාක් එක අස්ගිරිය මල මගුලයි බං මේ ඔක්කොම එකට ඉතින් ලවු බූට් නැතුව තියේයි යෑ බොල
ReplyDeleteහ්ම්ම්ම්..ඒක නේන්නං රාජ්..ගම්පහ නම වෙනස් කරමුද?
Deleteවර්තමානයේ නම් ලැගුම් හලුත් එකතු විය යුතුයි
Deleteබූට් ඉන්ස්පිරේෂන්. මරු ඈ...
ReplyDeleteඑහෙනං...
Deleteමම නම් දකින සැබෑ ආදරය සහ ජීවිතය මෙයයි. කෙනෙකුට ආදරයෙන් සිටියා කියා ඔහු/ඇය විවාහකරගන්න බැරි උනා/ දමා ගියා කියලා සියල්ල එතනින් අවසන් කරන්නේ නැතුව ( ඔව්.. දුකක් ශෝකයක් දැනෙනවා.. එය සාධාරණයි) දෙපයින් සිට එයට මුහුණ දියයුතුයි.
ReplyDeleteනමුත් වැඩි දෙනා කරන්නේ පරණ ආදර කතාවල හිරවෙලා එක්කෝ තව ඉදිරියක් නොදැකීම. නැත්තම් ලැබුන සහකාරිය/සහකාරයා ට මානසිකව වදයක් දීම සහ විහින් විඳවීම. මෙය සත්‍ය කතාවක් නිසා ප්‍රයෝගිකව කොතරම් සත්‍ය පිළිතුරු අපිට තියෙනවද කියන එක ඔප්පු වෙනවා...
ඉන්දික: ඔබ හැම අතින්ම වාසනාවන්තයි. පවුලෙන් ලැබුන සහයෝගය අනර්ඝයි. ඒ මොකක් උනත් අවසානෙදි උත්තරේ දෙන්නේ ඔබ නිසා ඔබගේ ධෛර්ය අගය කරනවා.
උපේක්ෂා...මගෙත් ඔය කතාව මෙයිට වඩා වෙනස් වෙන්න තිබ්බ මගේ යාළුවොයි පුංචි අම්මයි නොහිටියානම්..අපි කොච්චර කිව්වත් එකෙක් තනිවෙලා කියල දැන ගත්තම කරන්න ඕනෙ හොදම දේ ඒකාගේ ඔලුව කෙලින් කරන එක..ඒක මම ප්‍රායෝගිකව දාන්න දෙයක්. ස්තුතියි අදහසට..
Deleteපට්ට සහෝදරයා.... මෙන්න ආදර්ශෙට ගන්නවානම් චරිත.... ඇත්ත.. ඕනෑම කෙනෙක් මුලදී ඔහොම දෙයක් උනාම සම්පුර්ණයෙන් කඩාගෙන වැටෙනවා... හැමදෙයක්ම එපා වෙනවා... එත් බොහොම සීමිත පිරිසක් විතරයි ඒ දේවල් ශක්තියක් කරගෙන ඉස්සරහට යන්නේ... මගේ බොක්කෙන්ම උබට ආචාර කරනවා... ආදරේ නැති උනා කියලා ජීවිතෙන් වන්දි ගෙවන මෝඩ හරක්ට මේවා හොඳ ආදර්ශ...
ReplyDeleteමමත් ජුන්ඩක් උඹ වගේ... මගේ පරණ ලව් එකත් හිතේ තියෙනවා තාම... එත් මන් ඒක මත්තෙම නැහෙන්න හදන්නේ නෑ..
ඇත්තටම කඩා වැටුන බන්..ඒත් මගෙ බොක්ක වගේ යාලුවෙක් උන්න.ඌ මාව තනි කලේම නෑ..මුල්ම ලව් එක කාටද බන් මතක නොහිටින්නේ. තැන්කූ කිව්වා අදහසට..
Deleteමගේ පරණ ලව් එකත් හිතේ තියෙනවා තාම... එත් මන් ඒක මත්තෙම නැහෙන්න හදන්නේ නෑ..
Deleteඑහම කියලා අපි එක්ක බොන එක නවත්තනවා එහම නෙමෙයි...
පිච්චු කතා කරන්න එපා අයියා.... ඒමත් බොන එකට සමුදෙනවද....
Deleteලක්ෂ 4ක් ගොඩදාමු............ ජයවේවා
ReplyDeleteවේවා ..වේවා...
DeleteBOHO GAHANU LAMAINTA ME WAGE ATHDAKEEMAKATA THAMA MUHUNA DENNA WENNE. EKA HITHAK NATHI KAMA THAMA PRADANA HETHUWA. NAMUTH INDIKA WAGE A ASARANAINTA ANUKAMPA KALA YUTHUI
ReplyDeleteහැමෝම එක වගේ නෑ බං..ඒත් කරුමෙට අපි බොහොමයකට හම්බ වෙච්ච උන් ඒ වගේ..ඒකයි අවුල...අඩු ගානේ වැරැද්ද වත් කිව්වා නම ඊලග එකට ස්ටෑන්ඩ් බයි වෙන්න තිබ්බ..නැද්ද මං අහන්නෙ..
Deleteහරියට හරි
Deleteමේ වගෙ වෙලාවට මිතුරන්ගෙ අගේ මේ කතාවෙන් හුඟක් ඉස්මතු වෙනවා. මිතුරො කියන්නෙ බොලඳ අය නෙවෙයි.. හරි අවවාද දීල කෙනෙක් ගොඩ ගන්න පුළුවන් අය. ඔබට එහෙම අය ඉඳල තියෙනවා. ආදර බූට් නිසා දිවි හානි කරගන්න බොහොමයකට හරි හමන් කෙනෙක් ඉඳලා නැහැ දුක බෙදා ගන්න.
ReplyDeleteකතා කරලා වැඩක් නෑ සරත් ..ඇත්තටම මගේ යාලුව මගේ 5 පන්තියේ ඉදන් ඉන්න එකා..පුද්ගලිකව මම දැක්කොත් කවුරුහරි මේ තත්වෙට පත් වෙනව මම ඒකව තනි කරන්නෙත් නෑ අනික් පැත්තේ එකා ගැන ව්යිරයක් ඇතිවෙන විදිහට හිත හදන්න යන්නෙත් නෑ..ඔය දෙකම බයානකයි.
Deleteගම්පහ රෝහලේදී හම්බ උනා, ඔතන පුදුමාකාර තැනක්, මගෙ කතාවේදීත් බලන්නකො. අනික මල් වත්ත
ReplyDeleteමේ වගේ බූට් එකක් කාපු වෙලාවට ගොඩ යන්න යාළුවො අතරෙම වගේම පවුලෙ අය අතර හිටපු එක හොදයි තනි උනාම දුක වැඩියි.
කම්මලට කේන්ති ගියාද දන්නැනේ...ගමේ ඉස්පිරිතාලේ ගැන කිව්වට..
Deleteඅනිවා බං..ඒකනම් ඇත්ත..
අනික ගල් තියන එක කොච්චර වටිනවද
Deleteමම මේක කියෙව්වේ නෑ බන්....... බුට් කථා මට නිකන් මල සමයන් වගේ ......... ඒත් සින්දුනම් පට්ට බලපන් බොරුද කියලා මේක
ReplyDeleteහදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙළා හස රැහැනින්
පෙළයි මා මුදා සුව දැහැනින්
සයුරු ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තළා මා සිත පලා ගිය ඔබ
දවලයි මා - අද
තනි වෙනා මොහොතින්
උතුම් පිවිතුරු පේ‍්‍රමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
යදින්නම් - ඔබ
මැකී යනු මතකින්
---------------------------------------------------------------------------------------------------------
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය -
ගායනය - සුනිල් එදිරිසිංහ
එක හරියන්නේ නැති අයට මේක
Deleteහිඳීවි කොතැනක හෝ
හිමි කාරයා උපන් නුඹේ නමින්
වඩීවි කෙදිනක හෝ
ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්
ගඟකට සයුරක් මුණ ගැසේවී
රළකට වෙරළක් මඟ හිඳීවී //
නියඟට වැස්සක් ඇද හැලේවී
නුඹටත් කෙනෙක් හිඳීවී
දවසක සොයාන ඒවී
හිඳීවි කොතැනක හෝ...
අකුලක පිපෙන නැවුම් මලක් සේ
නදියක නැගෙන තරංගයක් සේ //
නළලත සිඹින පවන් රොදක් සේ
නොසිතුව විටෙක ලඟාවී
නුඹ විඳි අඳුර නිවාවී
හිඳීවි කොතැනක හෝ...
ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය: කුලරත්න ආරියවංස
සංගීතය: රෝහණ වීරසිංහ
දෙකම නරක නෑ..ඇති විශිෂ්ටයි..
Delete//බුට් කථා මට නිකන් මල සමයන් වගේ // රාළ බූට් එකක් කාලා තිබ්බා නම් ඔහොම කියන්නෙ නෑ....
Deleteමට එන ඕන බුට් එකක් මම දාගන්නේ කකුලට......... එක ඔලුවට ගත්තොත් තමයි ප්‍රශ්න
Deleteහරියට මෙන්න මේ වගේ
එකවරක් ඔබට මා එපානම්
සිය දහස් වාරයක් එපා මට ඔබ එපා
අවුරුදු 6 ක් ගොඩාක් තදින් ආදරය කරලා...ඒ ආදරය නැති උනාම බූට් එක කකුලට දා ගනියි කියලා ෂුවර්ද ? මම නම් හිතන්නෙ නෑ....අත්දැකීමක් නැතුව මටත් කියන්න පුලුවන් ඔහොම..නමුත් තුවාලය තියෙන එකා තමයි වේදනාව දන්නෙ...
Delete//එකවරක් ඔබට මා එපානම්
සිය දහස් වාරයක් එපා මට ඔබ එපා//
මේවා ඒ වෙලාවට ප්‍රායෝගික නෑ...ටික කාලෙකට පස්සෙ නම් ප්‍රායෝගික වෙයි.
කතාව හරිම සංවේදීව දැනුනා.. ජීවිතය කොයිතරම් නම් පුදුමාකාරද ...
ReplyDeleteමටත් ටිකක් එහෙම උනා දෙවෙනි පාර කියවද්දී මේ පිටුවෙන්..කලින් එක හුස්මට ලියල සිරාට යැව්වා මිසක් කියෙව්වේ නෑ..ජීවිතය සුන්දරයි..අපේම සමහර වැරදි වලින් අපිම අසුන්දර කර ගන්නව..ස්තුතියි අදහසට..
DeletePatta !
ReplyDeleteතැන්කූ වේවා..
Deleteසෑහෙන සංවේදී කතාවක්. කොහොම උනත් ඉන්දික නොසැලී අභියෝගයට මුහුණ දීල ඉදිරියට යන්න තරං හිත ශක්තිමත් කරගත්ත එක බොහොම වටිනව.
ReplyDeleteගොඩ දෙකෙන් ඔය වගේ වෙලාවකදි බලන්නෙ තමන්ගෙ ජීවිතේට හානියක් කරගන්න. නමුත් තමංට ආදරේ නොකරන කෙනෙක් වෙනුවෙන් ජීවිතේ නැතිකරගෙන තමන්ට ආදරෙන් ඉන්න දෙමාපියන්ගෙ, සහෝදරයන්ගෙ, යාලුවන්ගෙ හිත් වලට මොන තරම් දුකක් දෙනවද කියල ඒ වෙලාවට කල්පනා කරල බලන්න ඕන. ඉන්දිකට ශක්තියක් වෙන්න හොඳ යාලුවො ටිකකුත් ඉඳල තියෙන එක වාසනාවක්.
ඔය වගේ චපල ගෑණු කෙනෙකුට තමන්ගෙ විවාහ ජීවිතේ කවදාවත් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යන්න පුලුවන් වෙන්නෙ නෑ.
ස්තුතියි ප්‍රසන්න..මම බොහොම කෙලින් හැම ප්‍රස්නේටම මුහුණ දුන්න කෙනෙක්.නමුත් මේකෙදි වැටුන..නමුත් මගේ යාළුවොයි පුංචි අම්මයි මගේ පස්සෙන් උන්න.අනිත් උන්ට උපදෙස් දීපු මටත් කෙලවෙනකන් දැනගෙන හිටියේ නෑ..
Deleteඇත්තටම දැන් ඇය ගොඩක් අසරණ වෙලාලු.නමුත් සොරි තමයි.
තමන් ගැන අධිතක්සේරුවෙන් හිටපු කෙනෙක් ඒ ගැහැණු ළමය. ඔබ හරිම උත්සාහවන්ත කෙනෙක්. පලවෙනි ආලයම ජිවන සහකරු වෙන්න ඕන කියලා නියමයක් නැහැ. ඔය නවකතා වලින් ෆිල්ම් වලින් අපේ ඔළුවට දාපු එකක්. අනික පසු කලක හමුවන පැරණි ආලයන් නිසා සිත සසල වීම ස්වාභාවිකයි . නමුත් ඒ හැඟීම් පාලනය කරගැනීමට අවශ්‍යයි.
ReplyDeleteගොළුහදවතේ සුගත්ට වඩා ගැහැණු ළමයි පොතේ කුසුම් ට මා ප්‍රිය කරන්නේ ඒ නිසයි.
තව දෙයක් . මෙලෙස විවෘතව මේ ගැන කීමට ඔබට ඇති නිදහස ගැන ඔබේ ප්‍රිය බිරිඳට ස්තුතිවන්ත වෙන්න ඕන.
එයාට වැරදුන තැන තමයි එතන.හැගීම් පාලනය කරන්න නම් තමන් තමන් ගැන විශ්වාසයකින් ඉන්න ඕනෙ කියන එක මම විස්වාස කරන දෙයක්.
Deleteඑයා තමයි මගේ හෙවනැල්ල..මුල්ම කාලේ මා අතින් ගොඩක් වැරදි උනා එයාට.මම හැම වෙලාවේම එයාගෙන් මගේ පැරණි පෙම්වතියව දකින්න උත්සාහ කළා ..අවුරුද්දක් විතර..ඇය නොසැලී හිටිය.මම මතු මතුත් ප්‍රර්ථනා කරන්නෙ උපදින ජාති ජාතිත් ඇයම මගේ බිරිද වෙන්න කියල.ස්තුතියි බිඳී නගා අදහසට..
තමන්ගේ ප්‍රථම ප්‍රේමයම කසාද බඳින්න ඕනේ කියන එකනම් මන් පිලි ගන්නේ නෑ.... ඒක නම් අමු ගොන් වැඩක්.... මොකද අපි ගොඩක් දෙනෙක්ගේ හිත යන්නේ කෙල්ලගේ ලස්සනට... ලස්සනට වහ වැටිලා තමයි ඕන අදර කතාවක් පටන් ගන්නේ... පස්සේ තමයි තේරෙන්නේ ලස්සනට තිබුනට අදහස් ගැලපෙන්නේ නෑ කියලා... එහෙම කෙනෙක් එක්ක එකට ජිවත් වෙන්න අමාරුයි කියලා... ඔය කොල්ලගේ පැත්තෙන් මම කිව්වේ... ඕක ඉස්කෝලේ කාලේ ආදරේටත් පොදුයි... බඳින වයසේ ආදරේටත් පොදුයි... එහෙම නෑ කියන එකෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් කරන්න...
Deleteපැහැදිලිවම..එක්කෝ ලස්සනට..නැත්තන් ප්‍රසිද්දියට ..නැත්තන් ඒ කෙනාගේ තියෙන විශේෂ හැකියාවකට..මට තාම හිතා ගන්න බැහැ මම මොකේටද කැමති උනේ කියල.ලස්සනත් තිබ්බ..මා ගැනත් හිතුව..
Deleteඒත් දැන් වැඩක් නෑ ඇනෝ..ගිය දේ ගියා.ස්තුතියි අදහසට..
ඇනෝගෙ කතාවට සීයට 50ක් එකඟයි.
Deleteසිරාගේ කාමරේට මුලින්ම ආපු දවස. සිරාම කතාවක්...මටත් ඔයිට සමාන අත්දැකීමක් තියනවා.. අදටත් වර්තමාන බිරිඳ මට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් විදියටයි දකින්නේ. පෙරලුනු පිට හොඳයි කියනවා නෙවෙයි. ඇත්තම ඇත්ත ඒකයි. ඔය කතාවේ වගේම අතිජාත මිත්‍රයෝ කීපදෙනෙක් ඒ දවස් වල මට පාළු කැපුවා මතකයි. හොඳ යාළුවො කියන්නෙ එක අතකට මහා පුදුමාකාර ජාතියක්. සාමාන්‍ය ජීවිතේදී කිසිම දෙයක් සතපහකට ගානක් නැතුව ඉන්න, මොකක් හරි කරදරයක් උනාම දෙවි වරු වගේ උදව් වෙන අරුම පුදුම ගති තියන කොටසක්..
ReplyDeleteඒ වගේ යාලුවො ලැබෙනවනං ඒක හොඳ වාසනාවක්. ගොඩදෙනෙක් යාලුවො වගේ ඉන්නෙ කන්න බොන්න දීල සලකගෙන ඉන්නකල් විතරයි. ඒව නැතිවෙච්ච ගමන් අයින් වෙලා යනව විතරක් නෙමෙයි වෙන තැන්වල ගිහිල්ල අරූ මෙහෙමයි අරෙහෙමයි කියල කියවනවත් එක්ක. මේක අත්දැකීමෙන් කියන්නෙ.
Deleteඅනිවාර්යෙන්..එදා ලැබිච්ච කණේ පාර මගේ ප්‍රථම සහ අවසාන මත්පැන් සාදයට හේතු උනා..මටත් ඔය ප්‍රසන්න කියපු ගනේ යාලුවොත් හිටිය.නමුත් රොහාන් කියන්නෙ කියන්න තියන දේ කෙලින්ම කියන වැනෙන්නේ නැති හොද යාලුවෙක්.අනික ප්‍රශ්නයක් දිහා විවිදාකාරයෙන් බලන එකෙක්.
Deleteස්තුතියි සජ්ජෝ අදහසට.
හිදිවි කොතැනක හෝ හිමිකාරයා උපන් නුඹේ නමින් වඩිවි කෙදිනක හෝ ඒ එනතුරා හිත හදාගෙන හිදි.......!!
ReplyDeleteමම හිතන්නෙත් එහෙමම තමයි ප්‍රසාද්..ස්තුතියි වචන ටිකට.
Deleteදුරස් වන්නට මේ ලෙසින් ඇයි ද අප හමු වුනේ... දුරස් වන්නට මේ ලෙසින් මොටද අප ඉපදුනේ..............
ReplyDeleteහිතට වදින සින්දුවක්..
Delete//"මට තේරෙනවා අයියෙ අයියා අහදේ....මට කොල්ලෙක් නෑ. ඒත් මගේ හිතේ කෙනෙක් ඉන්නවා.
ReplyDeleteකවුද ඒ....මමත් ඇහුවෙ හිතින් ගැහි ගැහි....
වෙන කවුරුවත් නෙමෙයි ඔයා...මම දන්නවා ඔයත් කැමතියි කියලා. "//
කෙල්ල අමාරුම හරිය කරලනේ, සමන් අයියා අත් එපනිවිද යවනවා කිව්වා ගමන් මම හිතුවා වැඩේ දෙල් වෙයි කියලා, අත්ද්කීමෙන් හිතුවේ :P
මමත් හිතුවේ නැහැ ඔහොම වෙයි කියල ඉවාන්..ඇත්තටම..ඔය තියෙන්නෙ සත්‍යම දෙබස..
Deleteඅතර මැදියො යොදා ගන්නකොට ඉතා පරිස්සමින් කරන්න ඕනෙ..තැන්කූ වේවා අදහසට..
මම මේ ලගදිත් එක්කෙනෙකුට වෝනින් එකක් දුන්න අතරමැදියෙක් යොදාගෙන වැඩක් ගොඩ දාගන්න යනකොට.නමුත් එතකොට වෙලා ඉවරයි.
Delete//සමන් අයියා අත් එපනිවිද යවනවා කිව්වා ගමන් මම හිතුවා වැඩේ දෙල් වෙයි කියලා, අත්ද්කීමෙන් හිතුවේ :P//
Deleteඉතිං ලියපන්කෝ ඒ කතාව
සමන් මලින් පවන් සැලේ කියලලු ලිපිය පටන් ගත්තෙ...ඒ ලිපිය සමන් අයියා අරගෙන යද්දි ගතියට තියෙන්න ඇති නේද ?
Deleteහැබැයි ඇත්තම කියනවනම් අදට වඩා එදා අපේ සාහිත්‍ය හැකියාව ඉස්තරම්..ඔය සෙනෙහෙ කොල ලියන්නම හින්ද අපි හොද සින්දු ඇහුව..මොකටද...?කෑලි අහුලාගෙන ලියුමට දාන්න..හොද පොත් කියෙව්වා.අදහස් ගන්න..ඒත් දැන් උන්..msg එකක් ගැහුව මකල දැම්ම..
Deleteමමනම් ඒ.. ආදරෙට තාමත් ආදරේයි... ඒක කවදාවත් නෑති වෙන්නෙ නෑ.. !!
ReplyDeleteකළා කරුවෙක් පළමු වතාවට නෙලන පිළිමයට 100% සමාන එකක් දෙවෙනි පාර බිහි වෙන්නෙ නැහැ.ඒ වගේම පලවෙනි පාර නෙලපු පිළිමෙට තරම් අනිත් ඒවාට ආදරේ නැති වෙන්නත් පුළුවන්..අපිත් එහෙමයි ප්‍රසාද්..නමුත් ඒ පිළිමේ ආයේ ගෙදෙට්ට ගේන්න අදහසක් නෑ..ස්තුතියි අදහසට.
Deleteසමන් අය්යා අතේ පනිවිඩ යවනවා කීව හැටියේ දැන ගත්තා වැඩේ වරදිනවා කියලා.
ReplyDeleteඉන්දික ඒ සම්බන්දේ නතරවෙන්ට එන බව දැන, දැන එච්චර ඇඬුවේ ඇයි කියලා හිතාගන්ට බෑ. ඔයා හොඳ හිතක් තියෙන කෙනෙක්. මම කොල්ලෙක් වුනානම් ඒ කෙල්ල දිහා ආයේ ජීවිතේට හැරිලා බලන්නේ නෑ.
බූට් කතා බලන්නේ නෑ කියලා හිටියට මේ කතාව නම් දන්නේ නැතුවම කියවගෙන ගිහින්. කමෙන්ට් එකකුත් දාලා.
අනේ බබා
Deleteහ්ම්ම් කතාව ඇත්ත..මම පිලිගත්තට හිත පීලි ගත්තෙ නැහැනේ ඇය වෙනස් වෙනව කියල..නොඅඩා තියේද..ජීවිතේ පලවෙනි අත්දැකීම...අවුරුදු 6ක්..මම මේකෙ සමහර සුන්දර මතකයන් දැම්මෙත් නැහැ.ලිපිය දිග වැඩි වෙන හින්ද..කොහොම උනත් පොඩ්ඩි ට ස්තුතියි අදහසට..
Deleteඅනේ මන්දා හැමෝගෙම ජීවිත වල මේ වගේ කතාවක් තියෙනවා වගේ පොඩි පොඩි වෙනස් කම් එක්ක.. කෝම වුනත් අන්තිමට ජීවිතේ ඉස්සරහට හොද තැනකට අරන් ආව එකයි වටින්නේ.. වෙන්න ඕනත් ඒ දේමයි..
ReplyDeleteමේක අදට ගලපන්න අමාරු ඇති..මොකද අවුරුදු 19 කට පෙර උන සිද්දියක් හින්ද..තැන්කියු දිනේෂ්..
Deleteමචං/ අයියන්ඩි මම ඊයේ හවස ඇවිත් බලලා ගියා..කමෙන්ටුවක් කොටන්න තරම් මානසිකත්වයක් තිබුනේ නෑ..මමත් අතිතයට ගියා..
ReplyDeleteනම් ගම් දිනවකවානු එක්ක ලියපු එකට අපේ ප්‍රනාමය.
තනියම බොනවට වැඩිය යාලුවෙක් එක්ක බිලා දුක කිය කිය අඩනකොට දුක අඩුවෙනවා..
@බුට් ඇනෝ
බලපන් උඔ ඇතිකරපු මේ වෙනස..වයස අමතක කරලා කට්ටිය කෝල්ලෝ වෙලා තරැන වෙලා අතපය දිගඇරලා විවෘත වෙලා..
එල ද බ්‍රා
බ්‍රෑන්ඩ් එක ගල්
@සිරා
උඔගේ කාමරය ඇරලා දුන්නට ස්තුතියි..හිතට දුක හිතුනාම ඇවිල්ලා ගල් බෝතලයක් ගහලා අඩලා යන්න පුලුවන්.
@ඉන්දික
අපේ ගල් බලකායට ඔබවත් බදවා ගන්නවා..එන්න දවසක අපි බොමු අඩමු හොටු හුරමු හිනාවෙමු.
බ්‍රෑන්ඩ් එක ගල්.
මට නම් මේ ඉවසිල්ලක් නැතුව ඉන්නේ බන්... බොනවට වඩා උඹලව හම්බෙන්න තියෙන ආසාව වැඩියි...
Deleteඑළකිරි මෙන්ඩා....මම අනිවා එනව..බොන්නේ නැති උනාට බොන උන් එක්ක නිදිමරන්න මම ඕනෙ වෙලාවක ලැහැස්තියි..
Deleteරෙද්දෙ ගල් බළකාය.. විස්කි නැත්නම් විතරක්.. හැක් හැක්..
Deleteකමියා
Deleteඅපේ අනිත් සමාඡිකයෝ නැති හින්දා බං විස්කි බිව්වේ නැත්නම් බෑන්ඩ් එක ගල්
දුරස් වෙන බව දැන,දැන ලංවෙන්නේ කොයි තරම් ආදරයක් තියෙන නිසාද?
ReplyDeleteසංවේදී ආදර කතාවක්.දුරස් වෙච්චි අය විටින් විට ලංවෙන කොට පරණ මතක හරියට හිත පාරනවා.
මායාව කියන්නෙ ඒකට වෙන්න ඇති මනෝජ්..හොදටම දැනෙනව මග අරිනවා කියල..ඒත්..හිත පිළිගන්නෙම නෑනෙ..මක්කැයි කොරන්නෙ..
Deleteඅනිවා දකිනකොට අතීතෙට දුවනව හිත..ස්තුතියි අදහසට..
ඉන්දික, වෙලා තියේනං මේ කතාව බලල එන්න. ඉන් පස්සෙ කියන්නෙපා මම උඹෙ කතාව කලින් ලිව්ව කියල :)
ReplyDeleteලිං කටින් සෙවූ විමුක්තිය..
පිස්සු හැදෙනව බන්..දාපං පහක්..
Deleteලිං කටින් සෙවූ විමුක්තිය මෙතනින් දැකලා මමත් කියෙව්වා...ඒ කථාවෙන් මමත් අදහස් කීපයක්ම ගත්තා...
Deleteමුලින්ම බොලා ආදරය ප්‍රකාශ කරගත් දවස කියවත්දිම මට හිතුන දේ..දැන් මට හිතුන හරි කියල
ReplyDeleteඇයි බං අපිට මේ වගේ ඒව පොදු කාරනා වෙන්නෙ.
අකලට මට මහ වරුසාවක්සේ
අසුබ දිනක ආ සුබ පැතුමක්සේ
මා හැරගිය ඔබ නොසිතූ මොහොතක ඇයි දෝ....යලි ආවේ....
නිරංජලා සරෝජනී..ගායන ශිල්පිනිය.
කියල වැඩක් නැහැ..සමාන කුරුල්ලන් සමානව හමුවේ කියල කියනවනෙ..කවුද දන්නේ මෙහෙම වෙයි කියල..නැද්ද..දැන් අපිත් වීරයො වගේ කතා කලාට එදා හොටු පෙරාගෙන ඇඩුවේ..එහෙනං..තැන්කියු කිව්ව අදහසට.
Deleteසිරා කතාව ආ...සුපර්..
ReplyDeleteඉස්තුතියි කිව්වා ඕ.....න්...
Deleteකාල වකවානු නිසා කතාව බොක්කටම වැදුන මචන්.. පැරරල් යුනිවර්ස් එහෙක ඔය කාලෙම මාත් විභාග කරා ලවු කරා ඇන ගත්තා.. පස්සෙ පස්සේ හිත ගල් උනා (එහෙම හිතා ගත්තා).. කතාව කියවගෙන යනකොට ආයෙම වෙඬරු වගේ උණු උනා.
ReplyDeleteසිරා.. උඹේ පහුගිය කතා දෙකක් කියෙව්වත් කොමෙන්ටෙකක් දාන්න බැරි උනා.. අර කවි දෙක ලියුවෙත් මේ ඉන්දිකම නේද? මූ පට්ට බුවෙක්.. ටැන්කූ උගේ කතාව උඹේ කාමරෙන් ගෙනාවට
ඩබලටම ජය ශ්‍රී!
ඒ කාලවකවානු නම් කවදාවත් අමතක කරන්න බැහැ මිත්‍ර...ඒ කාලේ මම හිතේ වේදනාව යන්න කලේ හිතට එන දුක කවි විදිහට ලියපු එක...ඒත් ඒවා ආයේ බලන්නේවත් නැතුව පුච්චලා විනාස කළා..
Deleteබලපුවහම ඔක්කොම එක බෝට්ටුවේ වගේ නේද...?
ස්තුතියි අදහසට..
මගේ විරහා වේදනාවෙන් වැඩි හරිය අහගෙන හිටියෙත් මේ ඉන්දික අයියම තමයි...මෙයාලා හිටියෙ නැත්තං මම මේ පාලු කාමරේ හාන්සියි...
Deleteකමියා..
Deleteබ්‍රෑන්ඩ් එක ගල්...(රහසින්..විස්කි නැත්නම්)
මෙන්ඩා එළද බ්‍රා.. බ්‍රෑන්ඩ් එක ගල්.. (යකෝ උඹල ඔය සිට්ටම් එක කලින් කියල තිබ්බනම් අපිත් එකෙන්ම 'ගල්' බළකායේ..)
Deleteඉන්දිකයෝ හැමෝගෙම බුට් කතා එකම වගේද මන්දා .මචෝ මගේ ෆස්ට් ලවු එක අවුරුදු දහයක් තිබිලා නැති වුනේ .හිතපන් ඒ කාලේ පොඩි එකෙක් හැදුවානම් ස්කොලෙත් යවනවා .කොහොමින් කොහොම හරි මම බුට් එක කැවා .ඉතින් මමත් ඔය උඹ කියලා තියන ඔක්කොම කරන්න ඇති .මගෙත් හිටපු අතිජාත මිත්තරයෝ ටික තමයි මගේ හිත හැදුවේ .ටවුන් එකට යන්න බැ .හැමෝම අහන්නේ කෙල්ල කොයිද කියලා .ඇයි යකෝ අපි හිටියේ අර කවුද වගේනේ (දැනුත් ස්කොලේ එකෙක් මුණ ගැහුණම අහන්නේ එයා ගැන .උන් හිතාගෙන ඉන්නේ අපි දෙන්න තමයි බැදලා ඉන්නේ කියලා )...පස්සේ මට ගමේ ඉන්න බැරිම තැන නුවරට එනවා .එතැනදී මට තව මම වගේම පොරක් සෙට් වෙනවා .වුගේ ගම කඩුවෙල .ඉතින් අපි දෙන්නා දෙන්නට මරුම මරු යාලුවෙක් සෙට් වෙනවා .අන්න උ තමයි මගේ ජිවිතේ වෙනස් කරන්නේ .....ඒ කවුද දන්නවාද .ඒ තමයි ගල් බෝතලේ .පස්සේ තමයි තේරුම් ගියේ මොන යාලුවත් ආශ්‍රය කරන්න ඕනා පරිස්සමින් කියලා ...හැක්
ReplyDeleteඅම්මෝ මම මේ මොනවද බන් ලියන්නේ .මෙච්චර කොමෙන්ට් එකක් කවදාවත් ලියලා නැ .උඹේ ලිපිය කියවලා මගේ කුණුගොඩ ආයෙත් අවිස්සුනාදෝ කියලා හිතෙනවා .කමක් නැ මම කවදා හරි ලියන්න පුළුවන් එකෙකුට කියන්නම් මගේ කතාව ලියන්න කියලා .මොකද මට ලියන්න බැරි නිසා ...
සෙනෙහස හඳුනමි
ඔබ ගැන නොදනිමි
ඇසුරු කළ ද දිගු කලක පටන්
ඒ ගැන තැවි තැවි
මම දොස් නොකියමි
ඔබ යායුතු මඟ යන්න හොඳින්...
රත් වූ කතරෙන්
ගඟුලැල්ලක් වෙත
පියඹා යන්නට වරම් නැතේ
කාලය ලොව ගැන මට දුන් පාඩම්
කිසිවක් අමතක වෙලා නැතේ...
සමනලයෙකු සේ
පියාසලා ගොස්
දේදුන්නක සැඟවෙම් ද කෙසේ
මොහොතින් වියැකෙන
විසිතුරු සිහිනෙක
ජීවිතය ම නවතින්නෙ කෙසේ...
ගේය පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය : ශාන්තිලාල් සිල්වා
ගායනය : පෙනිලෝපා ලැබ්‍රෝයි
ඔය තියෙන්නෙ වැදිල කොල බොක්කටම..මටත් ඔහොම උන වාර අනන්තයි බන්..අපේ ඉස්කෝලේ ඒ කාලේ හිටපු උන් පසුකාලීනව මමයි වයිෆුයි යනකොට ලගට ඇවිත් අහනව කෝ අයි පී අයියේ බට්ටි අක්ක..ඔයා එයාව අතෑරලා මෙයාව බැන්දද කියල.මගේ නෝනා බොහොම නිවිච්ච ගති තියෙන කෙනෙක් හින්ද ඒවා බොහොම උපේක්ෂාවෙන් විද දරා ගත්ත..
Deleteමොනවා උනත් උබේ සින්දු ටික අමුතුම ගැම්මක් දෙනව මේ පිටුවට..මම මේක ලිව්වෙත් කවුරුහරි ඕකෙන් ගන්න දෙයක් තියේ නම් ගනියි නෙ කියල..
අද අපේ නෝනා මේ ලිපිය කියොල මට කියනව මීට වැඩිය හොදයි ඔයා ඔය x-රේ මැෂින් අස්සෙ රිංගන වෙලාවේ බටර් පැක්ට්‍රියක් දැම්මනම් හොද ගානක් හොයා ගන්න ඇහැකි කියල..ඉතින් බලපන් මොකේදැයි දන් වළදන්නේ කියල.උන්දැට ක්‍රෙඩිට් එක දුන්නම ඕ....න් හිතන දේ..තැන්කූ කිව්වා අදහසට..
මචෝ පලවෙනි වතාවට මම මේ සින්දුව ඇහුවේ..බොහොම ස්තුතියි..
Deleteඋඹ දන්නවාද ඉන්දික දැන් මගේ ප්‍රිය බිරිඳ තමයි ඒ දවස් වල මම පිස්සු කෙලින කොට මගේ හිත හදපු කෙනා (එ කතාව කලින් එකට හපන්.ගිනි අවි සහ ගිනි කෙලි .) .....එයා දැන් මගේ ජීවිතේ.අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් ඉන්නේ .හැක් හැක්
Deleteකඳුළු අතරට සිනා රැළි වෙමි
විඩාවට සෙවණක් වෙමී
ජීවිතේ පොත පුරා ලියැවෙන
ආදරේ කවියක් වෙමී...
සුවඳ සුදු මල් හිනා වෙද්දී
කවුළු දොර ළඟ අතු කොනේ
ඒ මැදින් මම හොරෙන් අතුරමි
හදවතේ බැතිබර සෙනේ
සැඳෑවක ඔබ සඳැල්ලට වී
තනි ව ලතැවෙන වෙලාවේ
ගීයකට රස පද එවන්නම්
සඟවලා රන් වලාවේ...
බුදුන් පාමුල වැඳ වැටෙද්දී
බැතින් බර වී සැනහිලා
පිදූ මල් මැද සුවඳ දුම් මැද
පැතුම් පුරවමි හිනැහිලා
යහනකට වී අඳුර ඉවසා
රැය ගෙවී යද්දී ඉබේ
සඳ කැරැල්ලක් සමඟ පාවෙමි
කවුළුවෙන් කුටියට ඔබේ...
ගී සංකල්පනාව : දයා ද අල්විස්
තනුව නිර්මාණය සහ ගායනය : ජේ. ඒ. මිල්ටන් පෙරේරා
එල..මේ සමහර සින්දු පලවෙනි වතාවට අහන්නෙ..දැනගන්නෙ..
Deleteආදර්ශමත් කතාවක් වගේම ලස්සන අවසානයක්... ඔයාගේ කතාව අද කාලේ බොළඳ පෙම්වතුන්ට පෙම්වතියන්ට හොඳ ආදර්ශයක්.... පහු වෙලා හෝ මට මේ කතාව කියවන්න,අවස්තාව ලබා දුන් ඉන්දික අයියාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා... ඔබටත් ඔබේ ප්‍රිය බිරිඳයත් වාසනාවන්ත අනාගතයක්...
ReplyDeleteඅහම්බෙන් මේ ටික තව එක්කෙනෙකුට බලන්න ලින්ක් එක හොයද්දි තමයි මේ කොමෙන්ට් එක දැක්කේ.ස්තතියි නංගි අදහසට.ඒ වගේම ඔබටත් සුබ අනාගතයක් වේවා..
Deleteඅනන්තාපරිමාණ වූ ප්‍රේමය විෂයෙහි නොගැලපීම් මධ්‍යයේ වෙන්ව ගිය ඇය ,අසරණව යලි පැමිණි කල කේන්තියකින් ඔබ පෙලුනේ ඇයි දැයි මට නොතේරේ..!
ReplyDeleteමා ගැන සියලු විස්තර දන්නා උබ මේකටත් උත්තරේ දන්නා හින්ද මම කියන්න උවමනා නැහැ.නමුත් දැන් එහෙම කේන්තියක් නැහැ.අනුකම්පාවක් විතරයි අබේ..
Delete