Sunday, February 8, 2015

125 ආදරය සහ වේදනාව

ආදරය සහ වේදනාව යනු එකටම යාවූ වදන් දෙකක් යැයි ඇතැම් විටෙක මට සිතේ...මේ දෙක අතර ඇත්තේ කෙස් ගසක තරමේ වෙනසකි. ආදරයක් යහපත් අන්දමින් ගලා යන විට සතුටත්..ආදරයේ වියෝව හමුවේ දුකත් ඇති වීම ලෝක ධර්මතාවයයි.

හදවත් දෙකක් ආදරයේ රැහැනෙන් බැඳී එකට යා වූ පසු ජීවිතයම මිහිරකි. මහා වර්ෂාවකට හසු වුවත් ගිණියම් අව්වේ පිළිස්සුනත් ආදරයේ චමක්කාරයෙන් සිත පිරී ඇති නිසා ඒ බවක් පීඩාවක් දැනෙන්නේ නැත. එදිනෙදා කටයුතු වුවත් වෙනදා නැති ප්‍රබෝධයකින් කරන්නට ආදරයේ ප්‍රහර්ශය සෑම විටකම ඉවහල් වන්නේය. පරිසරයේ වුවත් වෙනදා නොදුටු සුන්දරත්වයක් නෙත් වලට සමීප වෙයි. මේ අත්දැකීම් මමද විඳ ඇත්තෙමි.

ආදරයේ වියෝව හෙවත් විරහා දුක බොහෝ තදින් ආදරය කල එකෙකුට දරා ගන්නට අපහසුය. තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය හදවත පැලෙන තරමට තමාට ආදරය කල බැව් කීවද ඉතාම සාහසික ලෙස තමාව හැරදමා ඉවත ගොස් එය එසේ නොවන බව තහවුරු කල විට සත්‍ය ලෙසම ආදරය කල චරිතයට දැනෙන්නේ පුදුමාකාර දුකකි. තනිකමකි. අසරණ බවකි. මේ අත්දැකීම් මටද තිබේ. ඒ කටුක යථාර්තයට මුහුණ දෙන්නට අපහසු ඇතමෙකු ජීවිත ගමනෙන් පලා යති. කෙසේ නමුත් එය කිසිසේත් අනුමත කල නොහැකි කාරණයකි.

තමාගේ විරහා දුක ශක්තියක් කරගෙන තම දෙපයින් නැගී සිටින්නට කටයුතු කල චරිත ඇතැම් විටෙක මගේ ජීවන ගමන තුලදී මට හමු වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස හොඳ සහකාරියක් / සහකරුවෙක් පසු කලෙකදී ඔවුනට මුණ ගැසී තිබිනි. ඔවුන්ගේ ජීවිත දැන් සතුටෙන් ගෙවෙයි.

සිරා කොලුවාට හදිසියේ ආදරයක් ගැන මතක් වූයේ ඇයි දැයි බොලාට සිතෙනවා වන්නට පුලුවන. එහි නිධාන කථාව කියන්නයි මගේ මේ සූජානම. මේ කථාව අහන්න ලැබුන  අවස්ථාවේම හිතුවෙ එය ලිපියක් කල යුතු බවක්. අද ලිපිය ටිකක් දිගයි. යුනිකෝඩ් අස්සෙ හැගීම් තෙරපිලා තිබීම එයට හේතුවයි. ඒ පිළිබඳ මුලින්ම සමාව භජනය කරමි.

මැලේසියාවෙ මගේ ජීවිතය ඒකාකාරී එකකි...රැකියාවට පිටත් වීමත් යළි නිවසට පැමිණීමත් හැර මා කරන වෙනත් යමක් නැත. නිවාඩු දින වල කාමරයට වැදී ‍බොලාට කියවන්නට යමක් අකුරු කිරීම දැන් ඇඟට පත්තියන් වී තිබෙන නිසා එයින් බැහැර වන්නටද නොහැකිය.

මගේ රැකියාව ලබා ගැනීමට උදව් කල රේ අයියා මට දිනක් කිව්වේ අමුතු කථාවකි. මල්ලි මෙහෙ දෙමළ මනුස්සයෙක් ග්‍රැෆික් ඩිසයින් දන්න කෙනෙක් හොයනවා එයාගෙ වැඩ වගයකට...හොඳට ගෙවන කෙනෙක්ලු, පාට් ටයිම් එකේ කරහං..මම උඹව සෙට් කරන්නම්...

මැලේසියානු දෙමළ ජනතාව සමග හොඳ ඇසුරක් ඒ වෙද්දිත් සිරා ‍කොලුවාට තිබූ නිසා මේ අවස්ථාව මම භාර ගතිමි. බැංකු කරුවකු වූ සුකුමාර් නැමති මැලේසියානු ජාතිකයා මා හමුවට පැමිණියේ ඉන් පසු දිනක ඔහුගේ නවීනතම මෝටර් රථයෙනි. ආගිය තොරතුරු කථා බහෙන් පසු මගේ තත්වය පරීක්ෂා කරන්නට මෙන් ඔහු මට පුංචි පහේ වැඩක් භාරදුන්නේය. මම ඉතාම කෙටි කලකින් එය නිම කර දීමත් එහි වූ ප්‍රමිතියත් පිළිබඳ ඔහු සෑහීමට පත්විය. ඔයාගෙ උපන් දිනය මොකක්ද...එදා ඔහු මගෙන් එලෙස ඇසූ බවක් මට මතකය.

ඊළග  සතියේ සෙනසුරාදා දිනයක ඔහු මා අපේක්ෂාවෙන් කාර්යාලය අසල මෝටර් රථය නවතාගෙන උන්නේය. මගේ නමින් කොටසක් පමණක් භාවිතා කර නිතර මා අමතන ඔහු සත්‍ය ලෙසම තැන්පත් ගති පැවතුම් ඇති පුද්ගලයෙකි. හෙතෙම ඉතාම හොඳ මිනිසෙක් බව තේරුම් ගන්නට මට වැඩි කාලයක් ගියේ නැත.

ඔයාට හැන්දෑවෙ වැඩක් නෑ නේද..මගේ නෝනට ඔයාව මුණ ගැහෙන්න ඕනෙ කිව්වා...මම එහි යාමට එකඟතාව පල කලෙමි. ක්වාලාලම්පූර් අගනුවර සිට ඔහුගේ නිවස පිහිටි ක්ලෑන්ග් වෙත තරමක දුරකි. අධිවේගී මාර්ග ඔස්සේ රථය ධාවනය කරන අතරතුර ඔහු ලංකාවේ යුද්ධය පිළිබඳ කරුණු විමසයි.

ඇත්තටම එතැන මොකද උනේ...අපි දන්නෙ ජාත්‍යන්තර මාධ්‍ය වල ගිය දේවල් විතරයි. ලංකාවෙ හමුදාව අහිංසක මිනිස්සු මැරුවා කියන්නෙ ඇත්තද ? සුකුමාර් උපැස් යුවලට යටින් මදෙස බලා සිටියි.

මොන බොරුද..එල්ටීටීයම තමයි තමන්ගෙ මිනිස්සු හිර කරගෙන රජයේ පාලන ප්‍රදේශ වලට එන්න හදනකොට වෙඩි තියලා මරා දැම්මෙ. මම එහි වූ සත්‍ය කාරණා ඔහුට සැළ කරන විට ඔහු ඒවා නිහඬව අසා සිටියේය. සැබවින්ම මේ මිනිසුන් වෙත ලංකාවෙ සත්‍ය තත්වය සන්නිවේදනය වී තිබුනේ නැත. මම ඔහුට බොහෝ තොරතුරු කීවෙමි.

ඔහුගේ නිවස සු‍ඛෝපභෝගී දෙමහල් එකකි. සුඛෝපභෝගී රථ දෙකක් අංගනයේ නවතා තිබේ. අපේ ආගමනය අපේක්ෂාවෙන් සුකුමාර්ගේ බිරිඳ නන්දිනී එහි රැඳී උන්නාය. ලංකාවෙ තරුණ ජනප්‍රිය නිළියකගේ බඳු රූපයක් ඇති ඇය ඉතාම සුහදශීලී චරිතයක් බව මට සැනින් අවබෝධ විය. ආගන්තුක සත්කාර කොට සුකුමාර් කථාවට බැස්සේය.

මගේ නෝනට ග්‍රැෆික් ඉගෙන ගන්න ඕනෙලු. ඒකට තමයි මම කෙනෙක්ව හෙව්වෙ. ඔයාට පුලුවන්ද ඒක කරන්න ?

අපොයි ඔව් මට පුලුවන්..මම ලංකාවෙ ඉද්දිත් කීප දෙනෙකුට ඉගැන්නුවා. මම කීවෙමි.

මම ග්‍රැෆික්  ගැන දන්නෙ නෑ..අපේ තියෙන කම්පියුටර් එකත් පරණ එකක්..ඒක අපේ වැඩේට හොඳද, අපි අලුත් එකක් ගන්න ඕනෙද කියලා ඔයාම බලලා කියන්න. නන්දිනී මා සමග දොඩමළු වෙයි.

මේක පරණයි..අළුත් ගැෆික් සොෆ්ට්වෙයාර් මේකට දාන්න බෑ අපි අලුත් එකක් ගමු.

ඔයාම විස්තර ලියලා දෙන්න...ඇය මට කොළයක් සමග පෑනක් දුන්නාය.

මම එහි සියල්ල සටහන් කොට දුන්නෙමි. එදින මා නිවසින් පිටවන්නට සූදානම් වන විට ඇය මා කරා පැමිණ මුදලක් අත තැබීය.

සල්ලි එපා..මම අද කල දෙයක් නෑනෙ...

නෑ නෑ ඔයාගෙ කාලය පැය තුනක් විතර මෙතනට ගියානෙ...ඒකට දුන්නෙ...ගන්න ඒකට කමක් නෑ. ඇය පිළිතුරු දුන්නාය.

මම ඒ මුදල බොහෝ සේ ප්‍රතික්ෂේප කලද ඔවුන්ගෙන් ගැලවීමක් ලැබුනේම නැත. පළමු හමුවීමෙන් පසු අප නැවතත් ක්වාලාලම්පූර් අගනුවර වෙත පැමිණෙමින් සිටිමු.

මම බැංකුවක වැඩ කලාට මගේ නෝනා තමයි ගෙදර බැංකුව. එයා ලේසියකට එයාගෙ පර්ස් එකෙන් සල්ලි අරගෙන කෙනෙක්ට දෙන්නෙ නෑ. ඒත් ඔයාට අද සල්ලි දුන්නෙ ඔයාව එයාගෙ හිතට අල්ලලා තියෙන නිසයි.

මේ ගමනින් පසු මේ දෙපළ මා සමග මගේ මිත්‍රයන් දෙදෙනෙකු තරමට සමීප වූහ.ඔවුන් පරිගණකයක් මිළදී ගෙන ග්‍රැෆික් පන්තිය පටන් ගන්නා තැනට එන්නට තවත් මාස තුනක් පමණ ගත වන්නට ඇත.

තවත් සෙනසුරාදාවක මේ දෙදෙනාම කාර්යාලය අසළ මා අපේක්ෂාවෙන් උන්හ. අප එදින පරිගණකය මිළදී ගන්නට නියමිතව සිටියෙමු. ඒ වන විට ඇය තෙවන වරටත් මව් පදවිය අපේක්ෂා කරන තත්වයට පත් වී සිටියාය.

දවල්ට කෑවෙ නෑ නේද...අපි කාලා ඉමු මොනවා හරි..ඉන්දියන් කෑමද චීන කෑමද කන්න කැමති...සුකුමාර් මගෙන් විමසයි. අපි බ්‍රික්ෆීල්ඩ් ඉසව්වේ නාගාස් නැමති ඉන්දියානු අවන් හලට ගියෙමු. දිවා ආහාරය භුක්ති විදින අතර තුර සුකුමාර් මගෙන් පැනයක් ඇසුවේය

මෙදා පාර අපි බබා කවුද කියලා ස්කෑන් කරන්නෙ නෑ. ඔයාට හිතෙන්නෙ මේ පාර කවුරු ලැබෙයි කියලද අපිට ?

ඇයට දැනටත් පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවෙකු සිටින නිසා තුන්වැන්නා පිරිමි දරුවෙකු යැයි මම අනුමාන කළෙමි.

සුකුමාර් සතුටින් ඉපිළෙයි. ඇත්තටම මේ පාර කොල්ලෙක් ලැබුනොත් මම ඔයාට වටිනා තෑග්ගක් දෙනවා. ඔහු ඉතාමත්ම ප්‍රීතියෙනි. එහෙත් මගේ පිළිතුරෙන් නන්දිනීට සතුටක් නැත.

මට වඩා වයසින් අඩු ඇය මා අමතන්නේ භයියා යනුවෙනි. ඇය භයියා කියා නිහඬ වූවාය.

ඇයි මම ඇසීමි.

තුන්වැනියා කොල්ලෙක් උනොත් පවුලට හොඳ නෑ කියලා ස්වාමි කිව්වා.

‍කවුදෝ පූජකයෙක් ඇයට විෂක් පොවා තිබේ.

මොන පිස්සුද...ලංකාවෙ ඔය ඕනෙ තරම් ඉන්නෙ තුන්වැනියා කොල්ලෙක් වෙච්ච පවුල්. ඒක බොරු කථාවක් ඒක ගැන හිතන්න එපා. ලංකාවෙ අයට කිව්වොත් ඔය කථාව ඒ අය හිනාවේවි. මම කීවෙමි.

නන්දිනී ඔය කථාව ගැන ආයෙ හිතන්න එපා. ඒක කිසිම තේරුමක් නැති කථාවක්. මගේ කරුණු දැක්වීමෙන් පසු සුකුමාර් බිරිඳට එලෙස කියනවා මට ඇසුනි.

ඔයාට කෙල්ලෙක් නැද්ද ? ඇය විමසුවාය

ඉන්නවා..මම එවකට අන්තර්ජාලයෙන් හඳුනාගෙන පෙම්කරමින් සිටි යුවතියක් ගැන තොරතුරු කීවෙමි.

එයාගෙ උපන් දිනය මට කියන්න...සුකුමාර් මා හමු වූ පළමු දින මෙන් ඇගේ උපන් දිනය විමසා සිටියේය.

එයා කොහෙද යන ගමන් මෙහෙ එනවා කියලා තියෙන්නෙ ලගදි දවසක මාව බලලා යන්න.

ආ ඇත්තද? මමයි නෝනයි එන්නම් එයාව පිළිගන්න එයාර් පෝට් එකට..අපි එයාවත් අරගෙන හොඳ හෝටලයකට ගිහින් දවල්ට කමු. ඔයා ලොකු මල් කළඹක් අරගෙන එයා ඉස්සරහට යන්න. එයාට ගොඩාක් සතුටු හිතෙයි. මගේ කාර් එකක් දෙන්නම් ඔයාලට කැමති තැනක යන්න.

මේ ගමන් වලින් පසු සුකුමාර් මට මගේ සහෝදරයෙක් තරමට හිතවත් විය. රැකියාව නිමවී නිවසට යන ඇතැම් දිනයක ඔහු  මගේ නවාතැන කිට්ටුව රථය නවතා මා හා දොඩමළු වෙයි. එවන් විටෙක ඔහු මගේ පෙම්වතිය ගැන නවතම තතු විමසයි.

හැමවිටම ඔහු උපන් දිනයක් ගැන විමසන්නේ ඇයි ? මා හට ඇතිවූ ගැටළුවට ඔහුගෙන් පිළිතුරක් ලබාගන්නට තවත් දිනයක් දෙකක් ගත වන්නට ඇත. නිවාඩු දිනයක ඔහු මට නැවත මුණ ගැසිනි. ඒ වන විට මාස 3 කට ආසන්නව ගෙවී තිබූ මගේ ප්‍රේමය දෙකඩ වන තැනට කරුණු යෙදී තිබුනි.

කොහොමද ඔයාගෙ ආදරේ දැන්...සුකුමාර් අසයි.

ඒක දැන් නවතින්න ලගයි...මම පිළිවදන් දුන්නෙමි.

අනේ ඇයි ඒ..

එයාට මා ගැන හැගීමක් නෑ දැන්...මට විතරයි කථා බහ කරන්න උවමනාව තියෙන්නෙ..ගෙදර ඉන්න දවසටත් එයා හරිම උදාසීනයි කථා බහට...ඊයෙ දවසම පැච් වර්ක් එකක් කලා මා ගැන තඹේකට මායිම් නොකර.

ඔයා මට එයාගෙ උපන් දිනය කිව්ව දවසෙම මම දන්නවා ඔයාට ඔය කෙල්ලව බඳින්න ලැබෙන්නෙ නැති බව, ඒත් මම ඒක නොකියා උන්නෙ.

කොහොමද එහෙම කියන්නෙ.

ඔයාගෙ ගෑණු ළමයා ඉපදිලා තිබුනෙ මාසෙ 15 වෙනිදාවක අපේ අංක ක්‍රමයට අනුව එයාගෙ දෛව අංකය 6. අංක 6 තියෙන කෙල්ලො හරිම ලස්සනයි. ඔයාගෙ කෙල්ලත් එහෙම ලස්සනයි කියලා මම දැක්කනෙ ඔයා පෙන්වපු ෆොටෝ වල. ඒ ලස්සන නිසාම ඒ අය වටේ නිතරම මිනිස්සු කැරකෙනවා. ඒ අයගෙ හිත එක තත්පරෙන් වෙනස් වෙනවා. නිතරම විනෝදයෙන් විහිළු තහළු කරලා හිටියට එක තැනක ඉන්න බැරි ගතියක් මේ අයට තියෙන්නෙ. මමත් අංක 6 කෙල්ලෙක්ට ආදරය කරලා ගොඩාක් දේවල් නැතිකර ගත්ත මිනිහෙක්. 

වාහනය තුරු සෙවනක නවත්වා එතුල සිට නුවර එළි සිසිලස විඳිමින් අප කථා බහේ යෙදී සිටිමු. ඒ අතර තුර නිමේෂයේ සුකුමාර් බොහෝ සංවේදී වී ඇති සැටියක් මට පෙනෙයි. ඔහුගේ දෙනෙත් අග කඳුලක් මෝදු වෙයි.

අවුරුදු 9 ක් මම ඒ කෙල්ලට පණ වගේ ආදරය කලා..එයාට ඉගෙන ගන්න උදව් කලා. අන්තිමට එයා මාව දාලා වෙන කෙනෙක්ව බැන්දා. එයත් හරිම ලස්සනයි. අපේ පවුල් දෙකම මේ ගැන දැනගෙන හිටියා. ඔහු වාහනයේ ගියර් ලිවරය තදින් මිරිකයි. ඔහුගේ හිතේ ඇති වේදනාව සංවේදී හදවතක් ඇති මට දැනෙයි.

ඔයාගෙයි මගෙයි දෛව අංකය 2...ඔයාව හමුවෙච්ච පළවෙනිම දවසෙ මම උපන් දිනය ඇහුවෙ ඒක ගැන දැනගන්න. අංක දෙක හරිම අවංකයි. සංවේදීයි. ඒ නිසයි මම භය නැතුව ඔයාව මගේ ගෙදර අරගෙන ගිහින් මගේ නෝනට උගන්වන්න කියලා කිව්වෙ.

ඒ අවුරුදු 9 දි මම මගේ සල්ලි / අධ්‍යාපනය / ගොඩාක් දේ කැප කලා ඒ කෙල්ල වෙනුවෙන්. මම කාර් එකක් පවා අරගෙන දුන්නා. එයා උන්නෙ ඉපෝ වල...ඔයා දන්නවනෙ ඉපෝ වලට ක්වාලාලම්පූර් වල ඉඳලා තියෙන දුර. (කිලෝමීටර් 205 පමණ) එයාට අසනීපයි කිව්වොත් මම හැමදේම අත ඇරලා එයාව බලන්න ගියා. එයාට වඩා එයාගෙ ලෙඩරෝග වලින් රිදුනෙ මටයි. 

මොකක්ද ඒ ගෑණු ළමයගෙ නම මම ඇසුවෙමි.

සුභාෂිණී...

සුභාෂීණී ඔබ මගේ නමට එවු ඇරයුම් පත ලැබුනා....මනාලියක ලෙස සුභ නැකතින් යන බව එහි තිබුනා... පුන්සිරි සොයිසා ගායනා කරන සංවේදී ගීතය මට වහා මෙනෙහි විය.

ඉතිං ඊට පස්සෙ මොකද උනේ..

මම ඒ කාලෙ වෙන බැංකුවක වැඩ කලේ. අපිට ඒ වෙද්දි කසාදෙට දිණ යොදාගන්න තිබුනෙ. නමුත් එයා හිටි ගමන් එයාගෙ නෑදෑවෙන කෙනෙක්ව බැන්දා. මට මේක දරාගන්න බැරි උනා. මම පිස්සෙක් උනා. මම එක අවුරුද්දට නිවාඩු 72 ක් අරගෙන මාව බැංකුවෙන් එළවලා දැම්මා. මගේ උසස් අධ්‍යාපනය එතැනින් බිඳ වැටුනා. මට තවත් ජීවත් වෙන්න බෑ කියලා හිතුනා. මම පුදුම දුකක් වින්දෙ. මට ඒ දුක තවත් විඳින්න බෑ කියලා හිතුනා.

දවසක් මගේ කාර් එකේ වීදුරු ඔක්කොම වහගෙන මම වම් අතේ නහර කැපෙන විදියට කපා ගත්තා. ඒ කැපුන තැනින් වැටෙන ලේ දිහා මම පිස්සෙක් වගේ බලාන උන්නා. කාර් එක ඇතුලෙ ‍ගඟක් ගලනවා වගේ ලේ...මම සීට් එකට හේත්තු වෙලා සුභාෂිණීව මතක් කරගෙන ඇස් දෙක පියාගත්තා. මට සිහිනැති වේගෙන වගේ එද්දි පාරෙ ගිය ගෑණු කෙනෙක් වාහනේ වීදුරුවට තට්ටු කලා යන්තමින් මතකයි. අන්තිමට මට සිහිය එද්දි මම හිටියෙ ඉස්පිරිතාලෙ ඇඳක් උඩ.

කෝ බලමු ඒ කැළැල්...මට ඇත්තේ කුතුහලයකි.

සුකුමාර්ගේ ප්‍රේමයේ අස්වැන්න

ඔහු තම වමත මා හට පෙන්වයි. මේවා විතරක් නෙමෙයි තව තියෙනවා..ඔහු බොත්තම් ගලවා පපු පෙදෙස මා වෙත පෑවේය. එහි සතේ කාසි තරමට කැළැල් රාශියකි.

මේ මොනවද ? මම ඇසීමි.

මේ සිගරට් වලින් පුච්චගෙන.

මම ඔහු දෙස පුදුමයෙන් මෙන් බලා සිටිමි. ජාති ආගම් ලෙස අප වෙනස් වුවත් මේ ගැහෙන්නේත් රතු පැහැති රුධිරය සංසරණය වන තවත් මිනිස් හදවතකි. ඔහු වැනි ආදරවන්තයෙකු අහිමි කරගත් ඇය කෙතරම් අවාසනාවන්තදැයි මට සිතුනි.

මම දිවිනසාගන්න හැදුවා කියලා මගේ තාත්තා වගේම සහෝදරයො මා එක්ක පුදුම තරහකින් උන්නෙ. රස්සාවක් නැතුව ගෙදරින් ලැබෙන ඇනුම් බැනුම් එක්ක ආද‍රය නැති වීමෙන්  ලැබුන වේදනාවත් දරාගෙන තවත් කල් යද්දි මට ආයෙමත් ජීවිතේ අත අරින්න හිතුනා. මම ආයෙමත් කලින් කපා ගත්ත තැනට පහළින් කපා ගත්තා.

ඒ වතාවෙ ගෙදර අය මාව ඉස්පිරිතාලෙ අරගෙන ගිහින් බේරගත්තා...හොද වෙලා ගෙදර ආවට පස්සෙ තාත්තට මාව පෙන්නන්න බැරි තරමට කේන්තියෙන් උන්නෙ. අයියලා මල්ලිලත් එහෙමයි. ඒ හැමෝම මට මූණටම තරහා පෙන්නුවා.

දවසක් තාත්තා එක්ක රණ්ඩුවෙලා මාව ගෙදරින් එළෙව්වා. උඹ පලයං ගෙදරින්...තාත්තා කිව්වා...මම කොහෙද යන්නෙ කියලා තාත්තගෙන් අැහුවාම කැමති තැනක පලයං කියලා මාව දොට්ට දැම්මෙ. මම අතට අහුවෙච්ච ඇඳුම් කෑලි දෙක තුනක් අරගෙන පාරට බැස්සා. දවස් දෙකක්ම හිටියෙ බස් ස්ටෑන්ඩ් එකක.

දෙවෙනි දවසෙ හැන්දෑවෙ බංගලිදේශ මිනිහෙක් මගේ ලගට ඇවිදින් විස්තර ඇහුවා. මම දවස් දෙකක්ම බලා හිටියා මෙතන ඉඳගෙන ඉන්නවා...මොකක්ද ප්‍රශ්නෙ කියලා තමයි එයා ඇහුවෙ.

මම සේරම විස්තර කිව්වා. ඒ ගමන එයා එයාගෙ කාමරයට මාව එක්කගෙන ගියා කැමති දවසක් ඉන්න කිව්වා. ඒ මනුස්සයා ගොඩාක් උගත් කෙනෙක් නෙමෙයි. නමුත් උගත් මට හොඳ ආදර්ශයක් ගන්න පුලුවන් කථාවක් එයා කිව්වා.

මෙච්චර ලොකු මැලේසියාවෙ එක කෙල්ලද බං ඉන්නෙ ?  උඹ වගේ උගත් මිනිහෙක් මේ වගේ කෙල්ලෙක් නිසා නාස්ති වෙන්නෙ ඇයි. උඹ තව හොද කෙල්ලෙක් ගැන හිතපං පිස්සු කෙලින්නෙ නැතුව.

මට එදා ඇත්තටම හිතුනා ඇයි මම එහෙම නොකරන්නෙ කියලා. මම මගේ අම්මගෙ නෑදෑ වෙන තැනක නතර වෙලා නවත්තපු තැනින් ඉගෙනීම ආයෙමත් පටන් ගත්තා. ඊට පස්සෙ දැන් ඉන්න බැංකුවෙ වැඩට ආවා. ගෙවල් ගත්තා කාර් ගත්තා. යෝජනාවකින් නන්දිනීව කසාද බැන්දා. මගේ සහෝදරයො තාත්තා ආයෙමත් මගේ ලගට ආවා. මම තමයි අද අපේ පවුලෙ ආර්ථිකය අතින් ඉහළින්ම ඉන්නෙ.

මගේ ඉගෙනීම අතර මැද නතර උනේ නැතිනම් අද මම බැංකුවක කළමණාකරුවෙක් වගේ ඉහළ තැනක ඉන්නෙ. ඔයා දන්නවද මම දැන් දරුවො 3 දෙනෙකුගෙ තාත්තා උනත් මගේ නැතිවෙච්ච ප්‍රේමය මට තවමත් අමතක කරන්න බෑ. මම හිතින් හරියට දුක් විදිනවා. එයාව මට ලැබුනා නම් මම පුදුමාකාර වාසනාවන්ත මිනිහෙක්. නන්දිනීගෙ ගතිගුණ ගොඩාක් වෙනස්. අරයා වගේ නෙමෙයි. නමුත් නන්දිනී හොඳ අම්මා කෙනෙක් ගොඩාක් ඉහළට ඉගෙනගත්ත කෙනෙක්. මම නැති වෙලාවට මගේ ෆෝන් එක ටැබ් එක ඔක්කොම අවුස්සලා බලනවා එයා.

සුභාෂිණී අද කෝ ? මගේ අවසන් පැනය සුකුමාර් වෙත යොමු කළෙමි.

එයත් ක්වාලාලම්පූර් නුවරම ඉන්නවා කියලා මම දන්නවා. දැන් දරුවෙකුත් ඉන්නවලු.

සුකුමාර් මදෙසට නැඹුරු වී මා දෙස එක් එල්ලේ බලා සිටියි.

මට තේරෙනවා මාස 3 ක් ආදරය කලත් සංවේදී මිනිහෙක් විදියට ඔයාට දැනෙන වේදනාව, ඒක අමතක කරලා ඔයාගෙ අනාගතයට වැඩක් ඇති දෙයක් කරන්න පටන් ගන්න. හෙතෙම මගේ සිතද කියවා ඇති සෙයකි.

සුකුමාර් සැබැවින්ම පුදුමාකාර චරිතයකි. අාදරය නිසා මොන තරම් වඳ වේදනා වින්දත් ඔහු තම පැරණි පෙම්වතියගෙන් පළි ගන්නට සිතුවේ නැත. එය නියම ප්‍රේමවන්තයෙකුගේ ලක්ෂණයක් යැයි මම සිතමි.

ඔබත් ප්‍රේමයෙන් පරාජිතද ? සැලෙන්න එපා..හිටියාට වඩා හොඳ කෙනෙක් ඔබ ලගට පැමිණෙන දිනය වැඩි ඈතක නොවේය.


ඡායාරූපය මුහුණු පොතෙන් උපුටා ගතිමි.





















මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

ප්‍රේමය බිඳී ගියා කියා දිවි නසාගන්නේ හරක් යැයි අපට ලේසියෙන් කියන්නට හැක. එහෙත් ආදරයේ විප්‍රයෝගයේදී පීඩා විදිනා පුද්ගලයාගේ හැගීම් කෙබඳුදැයි කිසිවෙකු විමසන්නේ නැත.

බිඳී ගිය පැරණි ප්‍රේමයක් යම් තරමකට හෝ අමතක කරන්නට නම් ඒ මතක සටහන් ඇස ගැටීම වැළැක්විය යුතුය. ඔහුගෙන් / ඇයගෙන් ලද ජායාරූප, ත්‍යාග භෝග හා වෙනත් සිහිවටන ඉවත් කර තැබීමත්, විරහා ගීත ශ්‍රවණය හැකි තරම් අවම කිරීමත්, හැම විටම ඵලදායී කටයුත්තක යෙදීමත් ඒ සඳහා ඉවහල් වෙති.

අංක 6 කෙල්ලන් සැම විටම එසේදැයි මම නොදනිමි.

125 comments:

  1. දුශ්කරයි කියා හැර යා යුතුද ජීවිතය..?
    කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිනිස...!
    රත්න ශ්‍රී විජේසිංහ

    ReplyDelete
    Replies
    1. ඒක තමා මටත් කියන්න තියෙන්නේ....

      Delete
    2. ජීවිතය හැර යා යුතු නැත...එහෙත් විරහා වේදනාව විදි තැනැත්තා පමණයි එහි කටුකත්වය හදුනන්නෙ. මාස 3 ක සබඳතාවක් නිසා මම අද විඳින වේදනාවට සාපේක්ෂව වසර 9 ක් ආදරය කල කෙනාට දැනෙන වේදනාව කෙතරම්ද කියලා මට නම් හිතාගන්නත් බෑ. නමුත් දිවිනසාගැනීම කිසිලෙසකින් අනුමත කරන්න බෑ...එහෙත් ආදරය කරන සමයේ කරන කථා බහ..අනාගත සැලසුම්...ආදිය මතක් වෙද්දි හිතට හරිම අමාරුයි...ආදරය කරන අයට මගේ යෝජනාව හැකි තරම් සබඳතාව රැක ගන්න උත්සාහ කරන්න..බිඳ වැටුනාම දැනෙන වේදනාව හරිම කෲරයි.

      Delete
  2. ඇහැළ මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
    පුන් පෝයදාක සද විලසින මුහුණ පෙනෙන්නා
    ඈත මෑත කොතැනක හෝ කවුරැත් නොයනා
    වැට ලග හිදිමින් මං එබී බලන්නම්...
    වත්සුණු තැවරෑ ගත මට අගේ නොවෙන්නා
    වනේ පිපුණු මලක් ලෙසට සුවද හමන්නා...//
    ඔමරි බැලුම් හෙලාවි.. මුහුණ බිමට නැවෙවි..
    බහක් නොදි ගියත් අහක බලා සිනාසී
    මටම හිමි යැයි මගෙ සිත නිතර කියාවි//
    මග බලමින් සැමදා ඉදි වැට ලග ඉන්නම්...

    ReplyDelete
    Replies
    1. එක නෙවි දැන් ඔය උපන් දිනේට අංකය හොයාගන්නේ කොමද

      Delete
    2. ඒක තමයි මාත් අහන්න හිටියේ. අංකය හොයා ගන්නෙ කොහොමද? ඒකෙන් ගති ගුණ කියන්නෙ කොහොමද?
      සන්වේදි කතාවක්.ඒ වගේම විරහ වේදනාවෙන් ඉන්න කෙනෙක්ට තේරුම් කරන්න අමාරු කතාවක්

      Delete
    3. කාලයක ඉදන් අහන සින්දුවක්...එහෙත් මා දැන් සිටිනා මානසික තත්වයත් එක්ක බොහොම සමීපව දැනුනා. සුකුමාර් උපන් දිනය පමණක් තනි ඉලක්කමකට එකතු කරනවා ...උදා - ඔබේ උපන් දිනය අගෝස්තු 15 කියා සිතන්න. (මාසය අදාළ නැත)
      15 = 6 (1 + 5) මේ ක්‍රමයට තමයි අංකය හොයන්නෙ...මගේ උපන්දිනය 11 වෙනිදාවක යෙදී තියෙන්නෙ..එතකොට මගේ අංකය 11 = 2 (1 + 1)

      Delete
    4. මටත් එන්නේ 2කම තමයි....... ඒ උනාට මට උබලට වගේ පිස්සු නෑනේ

      Delete
    5. මැලේ , පිස්සෝ හිතන්නෙ // ඒ උනාට මට උබලට වගේ පිස්සු නෑනේ// කියල තමයි . උඹට පිස්සු.

      Delete
    6. මගේ උපන්දිනය 20. හෙහ් හෙහ්.. එක නෙවෙයි අපේ නෝනා 5.. යන්තං එකෙන් බේරුණේ.. :P

      Delete
    7. යකෝ මම අගෝස්තු 29. එතකොට දෙපාරක් එකතු කරන්න එපාය දෙක වෙන්න!

      Delete
    8. කොහෙං හරි දෙක එනවනෙ..සුකුමාර්ව මට අදත් මුණ ගැහුනා...මම වෙලාවක සියලුම අංක වලට මොනවද තියෙන පලාඵල කියලා අහලා බලන්නම්..

      රාළට ඒ උනාට දවස් දෙක තුනක් නෑවෙ නැත්තං ඔලුව කරවෙලා නට් ලූස් වෙන ගතියක් එනවා නේද...

      Delete
  3. සුකුමාර් බොහොම සංවේදී මනුස්සයෙක් බවයි කතාව කියෙව්වම පේන්නේ. එහෙම සංවේදී මිනිස්සුන්ට හිත් පෑරීම් වෙනවා වැඩියි.
    හැබැයි යන්න අවශ්‍ය කෙනාව බලෙන් රඳවා ගන්න හිතන එක මෝඩකමක්, මොකද යන්න ඕන වුනාම කොහොමත් යනවා . ඒ නිසා යන අයට යන්න දෙන්න ඕන. තමුන්ව නොසලකීමකට ලක්වෙනවා නම් එක අවබෝධ කරගෙන තමන්ගේ පාඩුවේ ඉඳීම තමා හොඳම දේ.

    ඒ නිසා තමන්ව එපා මිනිස්සු ගැන ලතනොවී ඉන්න

    ReplyDelete
    Replies
    1. ඔහු ඇත්ත වශයෙන්ම හරිම සංවේදී මිනිහෙක්...සංවේදී සංවේදී මිනිසුන් එකට පෑහෙනවා බොහොම ඉක්මනට..මට ඒ අත්දැකීම හොඳට හුරුයි. මගේ වේදනාව ගැන සොයාබලන්න ඔහු දිනකට කීප වතාවක්ම ඇමතුම් ලබා දෙනවා.. මගේ ආදරයේ මුල් කාලය වගේ නෙමෙයි අවසන් කාලය...ඉතාම කටුකයි..

      Delete
  4. සංවේදී කතාවක්. බෙදා ගැනීම ගැන ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මකසි...අපේ දුක්බර කථා අස්සට ඔළුව දැම්මට....

      Delete
  5. හරිම සංවේදී කතාවක්. මේ නම් අපිට කිට්ටු නිසා තවත් දැනුනා. සුකුමාරන් කියලා ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් වෙලා කෙනෙක් හිටියා. ඒ වගේම සුභාෂිණි කියන නමත් හරිම සමීපයි. නරකද මාස තුනේ ප්‍රේමය ගැනත් සටහනක් තිබ්බොත් ?

    ReplyDelete
    Replies
    1. මාස තුනේ ප්‍රේමය මාව ගොඩාක් තදින් රිදෙව්වා සුදීක අයියා...මම මේ සටහන් ලිව්වට මගේ හිතේ හිරවෙලා තිියෙන දුක හරිම වැඩියි...මම හුදෙකලාව කාමරයක දිවි ගෙවන එකෙක්..කථා කරන්න කිසිවෙක් නැති...ඉතිං මම කොහොමද මේ වේදනාව දරාගෙන ඉන්නෙ...මම ගොඩාක් උත්සාහ කරනවා හිත පාලනය කරගෙන ඉන්න...මාස 3 මගේ ප්‍රේමය ගැන ලියන්න මගේ කිසිම අදහසක් නෑ..ඒ මතකය ඒ තරම් කටුකයි...මොකද මම අවංකවම උපරිමයෙන් ආදරය කල නිසා...ඇගේ මුහුණ කොච්චර සුන්දර උනත් හදවත කිසිම තෙතමනයක් නැති එකක්..වෙන් වෙන්නට කලින් අඩු තරමේ මට මගේ අදහස් ප්‍රකාශ කරන්නවත් ඇය ඉඩක් දුන්නෙ නෑ. එතකොට මට මතක් උනේ මුහුණේ ලස්සන හදවතේ තිබුනා නම් කියන බස් ස්ටිකර් එක...

      Delete
    2. උඹ වගේ තමයි බොල මමත්.... තනියම කාමරේක ඉන්න එකාට ඔහොම දෙයක් උනාම පට්ටම අවුල් යනවා... අපේ හිතේ තියෙන දුක පිට කරන්න විදිහක් නෑ කතා කරන්නවත් කෙනෙක් නැති නිසා.... බුදු සිරෝ ඔන්ලයින් ලව් නම් හොයන්න එපා.... 1% වගේ තමයි අවංක එවුන් සෙට් වෙන්නේ... මමනම් කියන්නේ උබේ කතාව අපිට කියලා හිත සැහැල්ලු කර ගනින්....

      Delete
    3. දැන් නම් ගානක් වත් නෑ බං...මම අද ගෙදර ඇවිත් බණ ඇහුවා...මොන මගුලකට මුන් හින්දා දුක් වෙනවද කියලා මට හිතුනා...

      Delete
    4. මමත් කියන්නෙ.. ..උඔ අකමැති නැතනම් අපිට කියපන් ඒ කාතාව පස්සේ දවසක බෝතලයක් ගහලා හොටු හුර හුර අඩමු

      Delete
    5. හමුවුන දවසක කථා කරමු මෙන්ඩයියා...එලද බ්‍රා...

      Delete
  6. මට පිස්සු විකසිත වුණා. මේ සිරා ඇත්තටමද දන්නෑ කිව්වෙ අර දෙකේ කතාවයි හයේ කතාවයි.මොකද මගෙයි වයිෆ්ගෙයි දෙන්නටත් එමමයි. එහෙනම් ඉතින් මටත් හබක් තමයි.

    ReplyDelete
    Replies
    1. මේ කිසිම දෙයක් සර්ව සාධාරණ නෑනෙ ගොයියො...එ් නිසා කැළඹෙන්න එපා...සුකුමාර්ට වෙච්ච වැඩේ නිසා වෙන්න ඇති අංක 6 ගැන එහෙම කියන්නෙ...මට උනත් එයා මුලින්ම කිව්වෙ කල් යවන්නෙ නැතුව බැඳලා ඉක්මනින් දරුවෙක් හදාගන්න කියලා. බොලාගෙ බිරිඳත් බොහොම සුන්දර ඇති එහෙනං...

      Delete
  7. හමුවුන දවසක මේ ගැන කියන්න අවශ්‍ය දේ කියන්නම්. මෙතන ලියලා වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. තවත් මාස කීපයකින් මම එනවා ලංකාවට...ඔබතුමාව අනිවාර්යෙන්ම මුණ ගැහෙන්න එනවා..තවත් සිංහයෙක් එක්ක...

      Delete
    2. අප්‍රේල් මමත් එනවා... ඒ කාලේ වගේනම් සෙට් වෙමු.... ගල් කෙස් එකක් ගහන ගමන් විස්තර කතා කරන්න බැරියයි....

      Delete
    3. මම ජූලි අග එනවා බූට් ඇනෝ..එතකොට වරෙංකො....මෙන්ඩියලා කම්මලේ වී පොකුර අල්ලලා ගල් කේස් එකක් ඉවර කරමු...

      Delete
    4. අනිවා ඩෙෆා... කොල්ලා කමින්ග්....

      Delete
  8. හ්ම්ම්..ඒකත් එහෙමයි එහෙනම්...නෙහ්..මල්ලී..සමහර එළ නෑම්බියො ඉන්නව හරි ඉක්මනට හිතවත් වෙලා ලගට එනව..ගහේ බදින්න කබේ ගන්න හදනකොට පස්ස උඩ දාගන දුවන්නෙ..විරහ වේදනාව ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ.නොකෙරෙන දීගේ හෙවනැල්ලත් ඇදයි කියල ඉස්සර මිනිස්සු කියන්නෙ නිකන් නෙමෙයිනෙ..වැඩිය හිතන්න එපා.කලබල වෙන්න එපා.කාලයට ඉඩ දෙන්න.හැමදාම වාරකන් නැහැ.සමහර ගොම්හාන කාලයට හිටි ගමන් පොඩි වැස්සක් වැටිල ගස්වල මල් පිපෙන්න බලනව.අපිත් හිතනවා ඒ වසන්තය එනව කියල...නෑ..තාමත් වසන්තය උදාවෙන්න කල් තියෙනව.ඒ අතර මායාවන්ට රැවටෙන්නෙ නැතුව උබේ ගමන පලයන්..උබට හිමි එකී කොහේ හරි ලගක ඇති..හදිස්සි තීරණ,හීනවලට ඉඩ නොදී කාලයත් එක්ක ගනුදෙනු කරලා හෙමින් හිතල තීරණය ගනිං..එයාට උබව එක කොල්ලෙක් විතරක් වෙයි..ඒත් එයාට තේරෙයි එයා නැති කරගත්තේ එයාට හිටපු හොදම කොල්ල කියල.එදාට උබ ඉන්න ඕනෙ හැමෝටම ආදර්ශයක් ගන්න පුළුවන් තැනක..ආයේ පස්ස බලන්න එපා..උබට සදා ජය..

    ReplyDelete
    Replies
    1. ඔයාගෙත් එන්නේ 2 ද ?? :D

      Delete
    2. ඔව්නෙ මැලේ....කියල වැඩක් නැහැ අප්ප..

      Delete
    3. "සමහර එළ නෑම්බියො ඉන්නව හරි ඉක්මනට හිතවත් වෙලා ලගට එනව..ගහේ බදින්න කබේ ගන්න හදනකොට පස්ස උඩ දාගන දුවන්නෙ.."

      ඔය සමානම අත්දැකීමක් මගේ යාළුවගේ කතාව... සිරා කැමතිනම් එකත් මේකේ පලවෙයි...

      Delete
    4. මගේ මේ ලව් හුට පටේ මුල ඉදන් මට සවන් දුන්න කෙනෙක් විදියට ඉන්දික අයියට මගේ බලවත් ස්තූතිය පිරිනමනවා..මගේම සහෝදරයෙක් වගේ ගොඩාක් උපදෙස් දුන්නා ඔයා. මම සමහර දේ ඇහුවා..සමහර දේවල් ඇහුවෙ නෑ...කොහොම උනත් දැන් සියලු දේ අවසන්...ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් නොවැ...ඒ දුකත් වින්දා..හැබැයි දවස් දෙක තුනයි..මම දුකක් දැනුනම බුදු දහමට ලං වෙනවා...ඒකෙන් හරි ඉක්මනට හිත සුවපත් වෙනවා...දැන් මට කිසි ගානක් නෑ...දැනුත් පාර්ට් ටයිම් වැඩක් බණක් අහගෙන කරන ගමන්...යන උන්ට යන්න දෙනවා හැර විකල්පයක් නෑ...නැත්තං උන් යන්නෙ අපිට මීට වඩා දුකක් දීලා...

      බූට් ඇනෝ කථාව එවහං...කාටහරි සුවයක් ලැබෙයිනෙ කියලා දාලා දාමු....

      Delete
  9. සිරාටත් බොහොම අපූරු චරිත තමයි මුණ ගැහෙන්නෙ. බොහොම සංවේදී වුණත් සුඛාන්තයක් විදිහට තමයි කතාව ඉවර වෙලා තියෙන්නෙ. ඒක සතුටට කාරණයක්.

    ඔය දෛව අංකෙ හොයන්නෙ උපන්දිනේ ඉලක්කම් එකතු කරල නේද? එහෙම බැලුවහම මගේ දෛව අංකයත් 2 තමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම..මගේ ජීවන ගමන තුල මට ගොඩාක් අපූරු චරිත මුණ ගැහිලා තියෙනවා..ඒ වගේම ඒ අපූරු චරිත එක්ක ඉක්මනින් සුහද වෙන්න පුලුවන් හැකියාවකුත් මට තියෙනවා...

      දෙමළ අය තනි ඉලක්කමක් එන විදියට එකතු කරන්නෙ දිනය විතරයි...

      Delete
  10. දුක සතුට එකට මුසුවෙන ජීවිතේ හැටි ඔහොම තමයි සිරෝ. . අතීතය සිහිනයක් පමණයි. අනාගතයට සැලසුම් හදපන්. . වරදින්නේ නැ. ජයෙන් ජය වේවා.. . දෛව අංක ගැන ලිපියක් ලිව්වොත් නරකද අපිටත් බලා ගන්න...

    ReplyDelete
    Replies
    1. අතීතය සිහිනයක් පමණයි
      සබැ සුවඳක් නෑ....
      එදා සෙනෙහෙන් නොබැදුනානම්
      මෙදා වියෝවක් නෑ....

      තැනූ මන්දිර බිඳී වැටුනත්
      නෙතේ කඳුලක් නෑ....
      සිනා සෙන්නට වරම් නොලදත්
      සිතේ කිළුටක් නෑ....

      සොබාදහමට නොවන අවනත
      ලොවේ කිසිවක් නෑ....
      ලොවේ පැරදුම මිසක කිසිදා
      ලැබූ දිනුමක් නෑ....

      ගායනය: කරුණාරත්න දිවුල්ගනේ මහතා

      Delete
    2. මල්කොබාට මගේ ස්තූතිය...ඇත්ත වශයෙන්ම මම දුක් වෙච්ච කාලය ඉවරයි බං...ආයෙත් පුරුදු පරිදි වැඩ...කිසි අවුලක් නෑ දැන්...සුකුමාර්ව මුණ ගැහුන වෙලාවක ආයෙමත් මේ ගැන අහලා ‍තොරතුරු ටිකක් ගන්න බලන්නම්...

      සින්දු ඇනෝ...මේ මම ඉතාමත්ම ප්‍රිය කරන ගීතයක්..බුදු දහමට අනුව මේ ගීතයෙන් සියල්ල නැසෙන සුළුයි කියන වදන තමයි මතු කරලා තියෙන්නෙ...පල්ලේගම හේමරතන හිමි මට මතක විදියට මේ ගීතය ලිව්වෙ.

      Delete
  11. අංකෙ 2 ....පිස්සුද මල්ලි තව පොඩ්ඩෙන් ඔයාගෙ අංකෙ 5. ඔයින් ගියා මදැයි.
    මටත් අහන්න තියෙන්නෙ මෙච්චරයි //මෙච්චර ලොකු මැලේසියාවෙ එක කෙල්ලද බං ඉන්නෙ ? උඹ වගේ උගත් මිනිහෙක් මේ වගේ කෙල්ලෙක් නිසා නාස්ති වෙන්නෙ ඇයි. උඹ තව හොද කෙල්ලෙක් ගැන හිතපං පිස්සු කෙලින්නෙ නැතුව.//
    එහෙම බැරිනම් ලංකාවෙන් එකක් හොයා ගමු.
    මේ වෙලාවෙ බොන්න ඕනෙ ගල්, අනික් ජාති පත්තියන් වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. //මේ වෙලාවෙ බොන්න ඕනෙ ගල්, අනික් ජාති පත්තියන් වෙන්නෙ නෑ//
      ++++++++++++++++++++++++++
      එකෙන්ම කම්මලේ සහෝදරයා
      ස්තුතියි බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. ගල් සුවද දිගේ අපිත් ඇදිලා ආවේ..... හම්මේ... කඩහන් කඩහන් මමයි මෙන්ඩියයි සිරයි ගහනවා දුකෙන් පුන් යන්න.... ගහලා තුන්දෙනත් එක්ක බදාගෙන අඩනවා...

      Delete
    3. // ගහලා තුන්දෙනත් එක්ක බදාගෙන අඩනවා...// සින්දුවෝ මුන් තුන්දෙනා බදාගෙන ඉද්දි අපි ඉතුරු ටික බීල බයිට් ටික කමු.

      Delete
    4. බෝතලේ බදා ගන්නේ නැතුව ඕනෑ එකක් බදා ගනිල්ලා ...වරෙන් කම්මලේ මෙන්න මේක ඉවරයක්‌ කරන්න ..හැක් (අන්න අරහේ පත්තරයා ගල් වෙලා )

      Delete
    5. අනිවා කම්මල අයියා සිරාැ කොලුවා ඔන්න දැන් ආයෙමත් යථා තත්වයට පත් වෙලා...අද මම හොද බුදු බණ ටිකක් අහලා පිළිකුල් භාවනාව මෙනෙහි කලා...දැන් හිත සැහැල්ලුයි...දාලා ගියා කියලා දුකක් නෑ...මට නැති උනේ ආදරය කරපු නැති චරිතයක් නොවැ.

      මම සාමාන්‍යයෙන් දුකට අඩි ගහන මිනිහෙක් නෙමෙයි...මම අඩියක් ගහන්නෙ සතුටින් ඉන්න වෙලාවට විතරයි...නමුත් මේ තරම් ගල් බෝතලය අගය කරද්දි...ගලක් කඩන්න තිබුනා නම් කියලමයි හිතුනෙ...අවංකෙන්ම... බූට් ඇනෝ ජූලි මාසෙ අග වරෙන්...සීදුවෙන්ම බඩු ගම්මු මෙන්ඩිස් අයියට කියලා...

      Delete
    6. ගොඩක් වෙලාවට ඒ කාලෙදිත් කොල්ලා ලංකාවට සදහටම ඇවිත් ඉදිවී බන්...

      Delete
    7. කට කෙල උනනවා බං..බ්‍රෑන්ඩ් එක ඇහෙනකොටත්

      Delete
    8. සුරලොව යන්නෝ ගල්ම ගහන්නෝ...

      Delete
  12. පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි
    වෙනතක දළුලාදෝ
    ඔබ ගැන මා ගැන මතකය අමතක
    කරන්න පුළුවන්දෝ

    සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයි
    මිහිරි අතීතය දැනුනේ
    ඔබට මේ තරම් මා පෙම්කළ බව
    වෙන්වන තුරු නෑ හැඟුනේ

    ජලේ මාළුවන් කොපමණ සිටියත්
    කොහොමද නාඩා ඉන්නේ
    ඔබ මිස වෙන අය නොපැතූ හින්දයි
    මේ හැටි සිත පෑරෙන්නේ

    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
    ගී පද - මහින්ද දිසානායක

    ReplyDelete
    Replies
    1. ප්‍රේම පරාදීසේ
      සිනහ බිඳුව ඔබ
      කඳුළු බිඳුව ඔබ
      ප්‍රේම පරාදීසේ...

      විකල් මතක මැද පහන් තරුව ඔබ
      බොඳවුණු සිහිනෙක අරුණෝදය ඔබ
      වැළපුන වෙරළක දිය බිඳුව ඔබ
      ගොළුවුණු දෙතොලක සිනහ සිහිල ඔබ...

      ගිණි දන කතරක පවන් රළකි ඔබ
      විළි ලන අඳුරක නැවුම් ඉරකි ඔබ
      නොහැ‍ඟෙන නොලැබෙන නොවිඳි සුවකි ඔබ
      වියරුව ඈ මෙන් නො එන දුකකි ඔබ...

      පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

      Delete
    2. ආදරයේ වේදනාව
      හදට දැනුනු යම් මොහොතක
      හුදකලාව නොතැවී යලි
      එන්න මා සොයා...
      එන්න මා සොයා...//

      දේදුනු පැහැයෙන් දිදුලන
      ආදර විජිතය හැරදා...
      රැගෙන පලා ගිය මොහොතක
      නොතැවී යලි ඈ සිහිකර
      එන්න මා‍ සොයා...
      එන්න මා‍ සොයා...

      ආදරයේ වේදනාව...//

      ජීවිතයට මිහිර ලතැවුල
      ඔබ තුරුලට ලංවූදා
      නොතැවී හිද තනියහනේ
      මතක සුලං රොදක එතී
      එන්න මා‍ සොයා...
      එන්න මා‍ සොයා...

      ආදරයේ වේදනාව...//

      ගායනය - විශාරද නන්දා මාලිනී
      පද රචනය - කිත්සිරි නිමල් ශාන්ත
      සංගීතය - රෝහණ වීරසිංහ

      Delete
    3. මේ ගල් බෝතලයක් කියන සින්දුවක්

      Delete
    4. මැලේ , ලග තියනවනම් මූට ගල් බෝතලයක් යවපන්.

      Delete
    5. මේ අයුරින් අපි සංසාරේ
      ආදරයෙන් හමුවෙන්න ඇති
      මේ අයුරින් අපි දවසක් දා
      සසර මගදී වෙන්වෙන්න ඇති

      සාලිය මාලා පෙම් බැඳී දා මම
      සිටු කුමරෙකුවී ඉන්න ඇති
      ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ
      මේ ලෙස මට රිදවන්න ඇති

      අපරාජිතයි ඔබ පිදු ප්‍රේමය
      පුදසුන මත පරවෙන්න ඇති
      සාගර ජලයත් මදි හැඬුවා මම්
      ඔබ හින්දා ඔබ දන්නේ නැති

      ආත්ම ගනනේ ඔබේ පය පාමුල
      මගේ කඳුලින් සේදෙන්න ඇති
      එදත් මගේ දුක් ආයාචනයට
      අද මෙන් ඔබ හිනැහෙන්න ඇති

      ගායනය -ටී. එම්. ජයරත්න
      ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ
      සංගීතය - ප්‍රේමසිරි කේමදාස

      Delete
    6. බූට් ගීත රාශියයි...ඒ සින්දු වටේට ජොකියො ගොඩායි...හැම ගීතයක්ම හදවත ස්පර්ශ කරවන මගේ හිට් ලැයිස්තුවෙ තියෙන සින්දු...සිරා කොලුවගෙ දුක නසන්න මේවා මෙතනට අත ඇරියට සින්දු අැනෝට මගේ මෙව්වා එක පුද කරනවා.....දැන් මම බොහොම සතුටින්...කිසිම දුකක් හිතේ නෑ...

      Delete
    7. https://www.youtube.com/watch?v=mvNIfVscF60

      Delete
    8. රාළෙ...මම ආසම කරන සින්දුවක් ඒක...ස්තූතියි බොලං...

      Delete
    9. පියඹා යනවා මා ආකාශයේ
      අවසානයි ප්‍රේමාදරේ
      ගිරවෝ කොව්ලෝ
      මිදුනා මා ආදරෙන්...

      පෙම් බැන්ද දා ඉදන් උපන් හඳේ
      සිත වේදන ඉතින් රිදුම් නොදේ
      ජිවිතේ පවන් සැලේ
      මල් මල් යොවුන් වියේ ජිවිතේ...

      රෑ නින්ද යා නොදී හිතේ උපන්
      නෑ පෙම්වති කියා රුවක් ඉතින්
      පෙම් යදම් සිදී බිදී ගිහින්
      මල් මල් යොවුන් වියේ ජිවිතේ...

      ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන

      Delete
    10. අපි ලංකාවෙ සෙට් වෙන දවසක මේ සින්දු සෙට් එකම කියමු...

      Delete
  13. හුඟක් වෙලාවට ආදරය එන්නේ වේදනාව දවටගෙන. ඒ වේදනාව දරාගන්න අමාරු වුනත් ඒ හැම දේටම මුහුණ දීලා කාලයට ඉඩ දෙනව ඇර වෙන කරන්න දෙයක් නෑ.

    ජීවිතේ හරියට තේරුම් ගන්න අමාරු ප්‍රේහේලිකාවක් වගේ ඒත් ඒක අපි කොහොමහරි විසඳ ගත්තෝත් ජීවිතේ ජය ගන්න බැරි වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මම ඉතින් එදා ඉදලම ආදරයෙන් වේදනාව විදපු එකා විදියට දැන් මගේ හිත පදම් වෙලා කියලා මට හිතෙනවා...මාව හැර ගිහිල්ලා දවස් දෙකක් ඇතුලත මම හිත හදාගත්තා...ගිය අය ගැන හිතලා මොනවට දුක් වෙනවද කියලා හිතුවා. මම නම් යෝජනා කරන්නෙ හිතට මේ වගේ දුකක් ආවම බොරුවට ඒ ගැන කල්පනා කර කර දුක් වෙන එක මෝඩ වැඩක්..හැම වෙලේම යම් කාර්යයක නිරත වෙලා හිටියොත් එය ස්වයංක්‍රීයව පාලනය වෙනවා...

      Delete
  14. දෙමල අයගේ සිරිතක් තමයි ඔය අංක විද්‍යාවෙන් සමහර දේවල් නිශ්චය කරන එක. මම කියන්නේ නැහැ එහි සත්‍යතාවයක් නැහැ කියලා. නමුත් එය එතරම් යහපත් නිර්නායකයක් නෙවෙයි කියලා තමයි හිතෙන්නේ. ඒ කි යන්නේ සියල්ල එතැනින් තීරණය කරන එක ඔබින නැහැ.

    බිඳුණු ප්‍රේමයකට මුහුණදෙන්න වුනු කෙනාට මිසක් වටේ ඉන්න උන්ට එය නොතේරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒකට වයස, චරිත ස්වභාවය, සම්බන්ධයේ ස්වභාවය, වටපිටාවේ ප්‍රතිචාර ආදිය කෙලින්මත් අනිත් හැමදේම වක්‍රවත් බලපානවා. එයට මුහුණ දෙන්නට අනිත් අය ලබාදෙන සහ තමන්තුලින් තමුන්ටම ලබාදෙන ධෛර්යය තමයි ගොඩක්ම බලපාන්නේ. ඔබේ යහළුවාට නම් මුණදෙන්න වෙලා තිබිලා තියෙන්නේ බොහොම දරුණු තත්වෙකට. ඒ කියන්නේ පවුලේ අයවත් ඔහුට සෘජුව උදව් කරලා නැහැ. නමුත් තිබ්බ වාසනාවකට නන්නාදුනන මිනිසෙකුගේ එක වැකියක් තමයි සියල්ල කණපිට හරවලා තියෙන්නේ.

    අපි හැමෝටම තියරි කියන්නට පුළුවන් ගිරවුන් වගේ. නමුත් ඇත්ත තත්වයේදී විඳින්නා විසින්මයි ඔහුගේ වැටීම හෝ නැඟීම තීරණය කරන්නේ. දුරස්ථ සම්බන්ධතා ගොඩක් දුරට බිඳී යන්නේ එහි ජීවී බව අඩු නිසාත් දැන් තරුණ තරුණියන්ගේ පරිසරය වෙනස් නිසාත්. ඒ කියන්නේ ඉස්සරට වඩා ඒ අය හැපනින් සහ ෆාස්ට්. බලා ඉඳිල්ල කරන්න වැඩි කැමැත්තක් නැහැ. අනිත් එක වැරදිච්ච බස් එක ගැන හිතමින් ඉන්නකොට ජිවිතේ අපේ ගමන්මගේ යන අනෙකුත් බස් සියල්ල අපිව පසුකරගෙන යන්න තියෙන ඉඩකඩ වැඩියි. මැරුණා කියලා ආයෙමත් ලැබෙනවා නම්.... මේක සුරපුරක් වෙන්න ඕනේ ආයෙමත් ඉපදෙන අයට !

    ReplyDelete
    Replies
    1. අන්නා.... ඔය හරී...ඊ... ඊ.. හොඳයි අනේ.

      මොකක් උනත් කමක් නෑ ඔයා මම මාර ලස්සනයි කිව්වනේ... ඉතිරි එව්වා මොනවා උනහම මොකෝ? නැද්ද? ( එහෙම හිතල තමයි ඔය ලස්සන කෙල්ලෝ හොයා හොයා යාලුවෙන කොල්ලන්ගේ තියරිය.. නැද්ද මම අහන්නේ... පස්සේ තමයි වැඩේ තේරෙන්නේ!)

      Delete
    2. සුකුමාර් බොහොම තදින් හින්දු ආගම අදහන කෙනෙක්...ඔහුගේ නිවසේ වෙනම ගොඩාක් දේව රූප තබා පුද පූජා පවත්වනවා...

      උපේක්ෂා පොළවෙ පය ගහලා ඉන්න තරුණියක් බව පේනවා...ඔබේ අදහස් වලට මම එකගයි...ප්‍රේමයෙන් පැරදිලා දුක් වෙන මිනිහෙක් දිහා බලලා පිස්සෙක් කියනවා වෙනුවට...ඒ මනුස්සයා එක්ක කථා කරලා හිත හදන්න පුලුවන් නම් ඒක වටිනවා...ප්‍රේමයේ විප්‍රයෝග දුක දැනුනම තනියම දරාගන්න අමාරුයි ගොඩාක් අයට..මට උනත් ලොකු දුකක් දැනුනා...නමුත් තමන්ට ධෛර්යයක් තියෙනවා නම් මේ දුකෙන් මිදෙන්න පුලුවන්...

      Delete
  15. මචං..මගේ ඔලුව කැරකෙනවා වගේ..මම දුමක් දාලා එන්නම්.

    ReplyDelete
    Replies
    1. අඩෝ මෙන්ඩා උඹ දුමක් දාන්න යනවා කියලා හොරෙන් මාරු උනේ ඇස් දෙකේ කදුළු පිහිදාගෙන එන්න නේද...? අපිට කොලේ වහන්න එපා...

      Delete
    2. මෙන්ඩා, මේ දේ හරියටම දන්නවනම් සතුටට බොනව. මේක නැති විය යුතුව තිබුන දෙයක්. දුක් නොවී හොටු පිහදාගනින්.

      Delete
    3. අනිවා කම්මලේ....මමත් ඒකට එකගයි..මම නම් බට්ටො වැලක් පත්තු කරනව...මෙහේ බැහැනෙ බන්..

      Delete
    4. මෙන්ඩයියා උඹ මගෙ බොක්ක කියලා මම දන්නවා...දුක් වෙන්න කාරණයක් නෑ...අපි රාජාංගනේ වැව් බන්ටෙකේ ගල් බෝතලයක් කඩලා බැදපු වැව් මාලුවෙක් කාලා සොමියක් දාමු....මේ දාලා ගිය ගෑණු ගැන හිත හිතා බොරුවට කාලෙ කන්නෙ නැතුව...

      Delete
    5. බුට්
      උඔ දන්නවනේ විරහ වෙදනවා. අඩන්න පුලුවන්නම් කෑගහලා දුමක් දාන්න ඔනේ නෑ බං.
      කම්මල
      ඒ වුනාට මචං..??? අපේ හිතේ චුටි හරි ආදරයක් තිබුනානේ බං
      ඉන්දික
      බටටෝ වැලක් දාලා කෑ ගහලා අඩන්න තිබුනානම්
      සිරා
      නෑ මචං කවුරැ මොනවා කොහෙම කිව්වත් ඒක දුකක්.

      Delete
    6. ඒක දුකක් අනිවාර්යෙන්ම දුකක්..ආදරය කරපු හිතකට විතරයි දුක දැනෙන්නෙ..

      Delete
  16. මම නම් ඔය දෛව අංක විශ්වාසකොරන්නේ නැහැ බං,හැබැයි ඔය අංක 6 කෙල්ලෝ මටත් හමුවෙලා තියෙනවා.ජිවිතේ කියන්නේ එක තමයි.ප්‍රේමයේ විප්‍රයෝග කියන්නේ පස්සේ කාලෙක මතක් කරලා සතුටු වෙන්න පිළිවන්.
    හොඳ භර්යාවක් ඉඳලත් සුකුමාර පරණ කෑල්ල ගැන තාමත් හරියට හිතනවා වගේ නේ.

    ReplyDelete
    Replies
    1. ප්‍රේමයේ විප්‍රයෝග දුක සැබැවින්ම රසයක් තමයි...ඒත් වියෝව දැනුන අලුතම නෙමෙයි...ටික කාලයක් ගියාට පස්සෙ...සුකුමාර්ගෙ බිරිඳ ටිකක් වසයි...හිත රිදෙනවද නැද්ද කියලා බලන්නෙ නැතුව එයා කියන්න ‍තියෙන දේ මූණටම කියනවා. මම උනත් ඔය මාව දාලා ගිය කෙනාගෙ ෆොටෝ එකක් පෙන්නුවාම මට කිව්වෙ මෙයා ගොඩාක් වයස පාටයිනෙ අනේ කියලා....නන්දිනී, මුතු තරංගා වගේමයි පෙනුම...

      Delete
  17. මමත් 2 ක මචන්.. ඉතින් උඹේ වේදනාව ගැනයි සුකුමාරන් ගැනයි මගේ හැඟීම අමුතුවෙං කියන්න ඕනි නෑනේ.. අර බංගලිය කියපු එක විතරක් ඔලුවෙ තියා ගනින්.. ජය ශ්‍රී!.

    ReplyDelete
    Replies
    1. අංක දෙකේ පොරවල් එකට සෙට් වෙනවා කිසි අවුලක් නැතුව....ගැටුම් නෑ...අපි දෙකේ සමාජයක් ආරම්භ කරමුද එහෙනං...

      Delete
  18. මේවට කියන්න දෙයක් නැහැ මචං...සංවේදී කතාවක්.
    පරණ ආදර කතා මතක් වෙද්දී සමහර සිද්ධි නිසා අදත් හිත පෑරෙන අවස්ථා අදටත් නැතුව නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම අතීතයක් තිබුනා...මේ සිදුවීමෙන් හිත රිදුනා නොසෑහෙන්න..නමුත් අද වන විට තත්වය පාලනය වෙලා...දැන් කිසි ගැටලුවක් නෑ...

      Delete
  19. වෙලාව තාම ඇවිත් නෑ ට්‍රයි කරපන් හැබැයි හදිස්සි නොවී..!!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ලොකු අයියා...මම ලංකාවෙ මගේ හිතවතුන්ට කිව්වා..හොද සීදේවි දැරිවියෙක් හොයලා තියන්න කියලා මම ආවම බලන්න..

      Delete
    2. උඔ වරෙන්කෝ ලංකාවට..උඔට හොද කෙල්ලෙක් මුනගැහෙයි.

      Delete
    3. බොලා වටේටත් ඉන්නවා නේද පිරිවරක්...මම එන්නම්කො ඒ පැත්තෙත්...

      Delete
  20. මට ඔය දුක ගැන අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නෑ... ඊයේ රෑ මේක කියන්න සෙට් උනේ... පරණ දේවල් මතක් වෙලා ගැහුවා ජේම්සන් බාගයක් තනියම.... එකයි ඊයේ කමෙන්ට් එකක් කොටන්න බැරි උනේ....සිරාගේත් හිත රිදිලා තියෙනවා සැරටම... ඔය දෙතැනක ඉදලා ලව් කරන එක ගැන මගේ යාලුවෙක්ගේ අත්දැකීමක් තියෙනවා...මේක මම අද ඌට යැව්වම ඌත් බැලුවා... අන්න උගෙත් බූට් කතාව උබට එවන්න ඕනෙලු... මේක බූට් කාමරයක් වෙන එකක් නෑ කියලා හිතෙනවනම් එකත් එවන්නද සිරෝ...

    හැබැයි එකක් කියන්න ඕනේ... කෙල්ලෙක් නිසා ඔහොම ත පය කපාගෙන, ගඟේ මුහුදේ, කෝච්චිවල පැනලා, එල්ලිලා ජිවිතේ නැති කර ගන්නේ නම් මෝඩ යක්කු... ඕව කරන්න කලින් හිතන්න ඕනේ තමන්ගේ දෙමව්පියෝ මොන තරම් දුකක් විදලද අපිව ලොකුමහත් කරන්න ඇත්තේ කියලා... අපිනම් මැරිලා යයි... එත් අම්මලා තාත්තලාගේ හිතේ මොන තරම් දුකක් ඉතුරු කරලද අපි යන්නේ... අනික අපිට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් මොන ලබ්බකට මැරෙන්න හදනවද....

    ReplyDelete
    Replies
    1. බාගයක් තනියම ගැහුවෙ ඇයි බං...ඔය කම්මල / මෙන්ඩිස් අයියලට එන්න කියන්න තිබුනනෙ...

      //කෙල්ලෙක් නිසා ඔහොම ත පය කපාගෙන, ගඟේ මුහුදේ, කෝච්චිවල පැනලා, එල්ලිලා ජිවිතේ නැති කර ගන්නේ නම් මෝඩ යක්කු... // මේක මේ විදියට කියන එක සාධාරණ නෑ ගොයියො...අවුරුදු නමයක් තමන්ගෙ හැමදේම කැප කරලා ආදරය කරපු සත් පුරුෂයෙක්ට...එ් කාන්තාව අසත්පුරුණ වැඩක් කලාම දැනෙන වේදනාව බොට හිතා ගන්න පුලුවන්ද ? මාස 3 කට මට දැනුන වේදනාව එක්ක බැලුවාම අවුරුදු 9 ක් කියන්නෙ සුලුපටු කාලයක්ද...මොන තරම් වේදනාවක්ද ?

      Delete
    2. ඒක හරි බන්... දුකයි කියලා අපිට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් අපිට පණටත් වැඩිය ආදරය කරන පොඩි කාලේ ඉදලා දුක් විදලා අපිව ලොකුමහත් කරපු අම්මලා තාත්තලාගේ හිතට ගින්දරක් දීලා මැරෙන එක හරිද....?

      Delete
    3. ඒක වැරදියි...නමුත් අර මම කිව්ව වේදනාවේ දරුණු කමට අම්මලා තාත්තලත් අමතක වෙනවා..විශේෂයෙන් තනිව දුක විදින කෙනෙකුට දැනෙන පීඩාව වැඩියි...මටත් ඉතිං මගේ දුක කියන්න බොලාවත් හිටියෙ නැත්තං මේක ලොකු පීඩනයක් වෙන්න ඉඩ තිබුනා.

      Delete
    4. උඔලා දෙන්නම ආවම අපි ගහමු දවසක කස්ටියම සැට්වෙලා.
      මගෙත් කතාව විරහවක් ගැන මමත් දවසක ලියනවා සිරාට..බුට් ඇනෝ යාලුවට කියපන් කතාව සිරාට එවන්න කියලා.

      Delete
    5. එකට දෙකක් එව්වා මෙන්ඩෝ ... මේ මාසේ සිරගෙ කාමරේ බුට් මාසයක් කරන්න මගේ වෑයම

      Delete
    6. ඔය කියන විරහා කථාව මේ ආත්මෙ ලියන එකක් නෙමෙයි...බොලාට ලියන්න අකැමති නම් කෙල්ලෙක්ට හරි කියලා ලියවලා එවන්නකො...

      Delete
  21. මේ වගේ වැඩක් කරගන්න එක මෝඩකමක් තමා. ඒත් ඇත්ත ආදරයක් ලේසියෙන් අමතක කරන්ට අමාරුයි. ඒ දුක නැති වෙන්නේ ඒ විදියට ආපහු ආදරය කරන්ට ලැබුනොත් විතරමයි.

    ReplyDelete
    Replies
    1. ලේසියෙන් අමතක කරන්න අමාරුයි..ඒක ඇත්තම ඇත්ත...නමුත් මට මීට වඩා හොඳ කෙනෙක් ලගදිම‍ සැට් වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා...

      Delete
  22. මචං සිරා,

    මීට වඩා මොනවත් නොකියමි..

    "Don't believe in everything you hear or you see, there are always three sides to every story. Your's, theirs and the truth..."

    මම
    මයික්

    ReplyDelete
    Replies
    1. උඹට ගොඩාක් ස්තූතියි මයික්...මගේ කන්කරච්චලය මාසයක් පුරා ඉවසගෙන හිටියට..ඔබේ අදහස නිවැරදියි..සත්‍ය කුමක් වුවත්...ආදරයක් නැත්තං..මා ගැන සැලකීමක් නැත්තං..Dont Care නම් සත්‍ය හොයන්න වෙහෙසෙනවට වඩා මෙහෙම වෙන එක හොඳයි... මේක රිදෙන්නෙ එක සැරයයි දෙකයි...අර විදියට දිනපතා රිදෙනවා...

      Delete
  23. හෑ! මං අංක දෙක. අංක දෙකට ගැලපෙන අංකෙ මොකක්ලු ද?

    ReplyDelete
    Replies
    1. සුකුමාර්ව ආයෙත් මුණ ගැහෙන දවසක මම අනිත් අංක ගැන අහලා බලන්නම්...අද දවලුත් අපි හමුඋනා..නමුත් කථා කරන්න ඉස්පාසුවක් තිබුනෙ නෑ...බොලා බස්සෙක් හොයාගෙන නේද ඉන්නෙ...දැන් අංක හොයලා වැඩක් වෙයිද ?

      Delete
  24. machan mama ube blog eka digatama kiyawanawa.mama bookmark dagena thiyena blog 3k thiyenawa.his ahasa kuruluge eka saha ube eka. mama blog ekaka comment karana 2 weni avasthava.machan mama danna deyak thamai samana piyapath aththo ekata piyabhanava kiyana eka.uba liyana eva bokkatama vadenava.mage atheth oya kiyana wagema parawal thiyena oya wagema athi una.eva athethaya vitharai.machan ape jevithavala nikarune gevana kalayata ube blog eka kiyavanna dela vatina kamak ek karanavatata ubata pin.jayaweva.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තූතියි ඇනෝ මිත්‍රයා...මගේ හදවතේ ඉපදෙන සිතුවිලි ‍බොහොමයක් මගේ අත්දැකීම් වලින් ජනිත වෙච්ච ඒවා...ඒ නිසා මෙහි ලියවෙන කථා බහුතරයක් තාත්වික මට්ටමේ තියෙනවා ඇති...මමත් මානසිකව වැටුනා මගේ ප්‍රේමයේ වියෝව එක්ක...නමුත් බුදු බණ ටිකක් අහලා මම ඉක්මනින් ඔලුව කෙලින් කර ගත්තා...

      Delete
  25. සිරා, බලනකොට බ්ලොග් ලියන බහුතර දෙක පුළුන් වෙච්චි උන්නෙ බන්!

    කොහොම උනත්, උඹෙ කතාව සිරා! මේ මාසෙ මොකද කියන්නෙ කට්ටියම බූට් විතරක් ලියමුද :D

    ReplyDelete
    Replies
    1. සිරා, ඔය යාළුව අර බංගලිය එක්ක දැන් තියෙන සම්භන්ධය කොහොමද කියල දන්නවද?

      Delete
    2. බොග් කාරයො අතර බූට් කාපු උන් තමයි හැට හුටහමාරක් ඉන්නෙ..ලොකු අයියලා සුජානම් නම් මම ලෑස්තියි මේ පෙබරවාරිය බූට් මාසයක් කරන්න...

      බංගලි මිනිස්සු ඉතිං මෙහෙ රැකියාවට එන අයනෙ..සමහර විට එයා දැන් මැලේසියාවෙ නැතුව ඇති..මම ඊලග වතාවෙ සුකුමාර් හමුඋනාම ඒ ගැන අහලා මෙතැන සටහනක් තියන්නං...

      Delete
  26. මේ දවස් වල මං කියන්නෙ එක සිංදුවයි...

    කොහේ හෝ නුඹ නතර වී
    කාට හෝ ජීවිතය දී
    තුටින් නම් මට ඒ ඇතී
    මගේ නොවුණට කම්නැතී නුඹ
    මගේ නොවුණට කම්නැතී ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත මහේෂ්...මමත් එවැනි චරිතයක්...මා හැර ගියා කියලා වෛරයක් නෑ හිතේ...ඉන්න තැනක සතුටින් ඉන්න කියලා මම අද ඔන්න ඊයක් විද්දා...මගේ හිටපු ආදරේට...

      Delete
  27. හරිම සංවේදී ආදර කතාවක්. හැබැයි දුඛාන්තයක් නොවී සුඛාන්තයක් වෙච්ච එක ගැන සතුටුයි.
    සංවේදී මිනිස්සුන්ට පොඩි දෙයක් උනත් දරාගන්න අමාරුයි.

    බොලත් ඔය කාමර අස්සට වෙලා අත පය කපාගන්න ඉස්සෙල්ල අපිට කියහං. :D

    ReplyDelete
    Replies
    1. ඕනෑවට වඩා සංවේදී වීම අඩුපාඩුවක් විදියටයි මම දකින්නෙ..මමත් ‍අධි සංවේදී මිනිහෙක්...විශේෂයෙන් ආදරය කියන කාරණයෙදි බොහොම සංවේදියි...එහෙම සංවේදී කමක් තියෙන බව දැන දැනත් තමයි දුක විදගනියව් කියලා දැරිවියො අපිට මෙහෙම කොරන්නෙ.

      අත පය කපාගත්තෙ නෑ...ඇපල් ගෙඩියක් නම් කැපුවා ටිකකට කලියෙන්..

      Delete
  28. ඔබට යන්නම ඔනැනම්
    ඔබ යන්න ඉතින් නික්මී
    මෙ කාමරයෙ පුරා රැදුන සුවදත් අරගෙන
    එ සුවද ඇවිත් මගෙ හිත පාරයි

    ReplyDelete
    Replies
    1. ඒ සුවඳ තවමත් කාමරේ තියෙනවා....මම ඉතිං සුවඳ බලන්නෙ නැතුව ඉන්නවා...නැත්තං හිත පෑරෙනවා...

      Delete
  29. හරිම සංවේදි කතාවක්. සිරා අයියට ඉක්මනටම හිටියට වඩා හොඳ කෙනෙක් හම්බවෙන්න කියල ප්‍රර්ථනා කරනවා. මගෙ පොස්ට් එකේ කාමරේ ඉන්න පට්ට කම්මැලියි කියල දාල තිබ්බට මම හිතුවෙ නෑ මෙහෙම සිද්දියක් කියල. කොහොම හරි හිත සන්සුන් කරගත්ත එක හොඳයි. අන්තිමේට අපේ හිත හදා ගන්න ඉතුරු වෙන්නෙ බුදු බණ විතරයි. මටත් ඔහොම අත්දැකීමක් තියෙනව. අර අංක සීන් එකත් අහල කියන්න පුළුවන් නම්. මගෙ අංක එක :D. එහෙනම් ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම හිතනවා මලයා.....මට හිමි කෙනාට අවස්ථාව දෙන්න වෙන්න ඇති මෙහෙම වෙන්නෙ...මේ හේතුව නිසි තමයි ඒ විදියෙ කමෙන්ට් එකක් එතැන අතඇරියෙ..දැන් නම් අවුලක් නෑ..මමම කල්පනා කරලා මගේ දුක නැති කරගත්තා. සුකුමාර් මේ දවස් වල ඉන්දියාවට ගිහින්...මට නැවත මුණගැහුනම අහලා කියන්නම්...ජය !

      Delete
  30. විරහව හොඳට ෆැන්ටසියක් කල කරුණාසේන ජයලත්ගේ ගොලු හදවතේ එන සුගත්ව
    ඒ වගේම මිල්ටන් මල්ලවාරච්චිව මතක් උනා

    ReplyDelete
    Replies
    1. As Mike has said above do not believe everything you hear and you may be in a trap or escapegoat for their family problems be careful and careful.

      Delete
    2. මිල්ටන් මල්ලවාරච්චි තමයි විරහවට සින්දු කිව්ව විශිෂ්ඨතම ගායකයා...මගේ මේ ආදර කථාව සුවිශේෂී එකක්...ඒ නිසාම වෙනත් ආදර කථාවක තියෙන සංයමය මගේ ලග තිබුනෙ නෑ...මගෙ අතිනුත් වැරදි උනා...මම ඒක පිළිගන්නවා....නමුත් ඇයට තිබුනා මට අවස්ථාවක් දෙන්න මට අවසාන වශයෙන් කියන්න තිබුන දේවල් කියන්න..නැතුව අදුනන්නෙ නැති කෙනෙක් වගේ හැසිරෙන එක නෙමෙයි කරන්න තිබුනෙ.

      Delete
  31. අද තනියෙන් මා.... හඬන්නේ නෑ මා....
    මා දමා.. ඔබ ගියා... කියා... මා දමා....
    සිත දුක් දෙන්නෑ... අද මට තනි නෑ..
    ඔබ නෑ කියා... මා ගතින්... මා සිතින්... ඔබ ගියා කියා....

    ඔන්න ඕක කියලා ගල් බෝතලයක් හිස් කරලා අපි ආතල් එකක් දාමු සිරෝ...

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා ගින්දර පරණ සින්දු තියෙනවා බං...ඉදහංකො මම එනකං...මමත් සින්දු පුස්තකාලයක් බොල...

      Delete
    2. විකසිත තරු රෑනේ
      එපා මවන්නට ඉතින් ඇගේ රුව
      මුකුලිත මල් ළඳුනේ
      එපා අසන්නට ඉතින් ඇගේ වත
      ඈ නැත මගේ ලොවේ

      එකම සිතක් ලෙස සිත් දෙක හඳුනා
      එකම පැතුම වී දෙසිතම පිපුණා
      හෙටත් උදෑසන කුරුල්ලනේ තොප
      ඈ මා එන මඟ බලා හිඳිනවද
      ඈ නැත මගේ ලොවේ

      අටවක පෝයට පන්සල වැඳලා
      කන්දෙ විහාරේ දෙවියන් පුදලා
      පහන් දල්වලා දෑතම සිපගෙන
      දිවුරා කීවත් පලා නොයන වග
      ඈ නැත මගේ ලොවේ

      ගායනය : වික්ටර් රත්නායක
      තනුව : එච්. එම්. ජයවර්ධන
      ගී පද : උපාලි ධනවලවිතාන

      Delete
    3. පිවිතුරු සිතින් එනු මැන ළඳේ
      අවසන් සුසුම් ගිළිහෙන දිනේ
      මට පැන් පොදක් අරන් දෝතින්
      එතුවක් දුරින් ඉන්න ඈතින්....

      ඇය මා ළඟින් වෙළී බැඳී
      ළතැවුල් මවා ගියා ඇදී
      ඒ දුක් රැහැන් වලින් මිදී
      අද මම විඩා හරින්නෙමී....

      තනිකම වගේ සුවක් ලොවේ
      මිනිසත් බවේ තවත් නොවේ
      මනසින් ලබන්න හැකි සුවේ
      අප ලං වුණොත් දුරස් වෙතේ....

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව, සංගීතය සහ ගායනය : සිසිර සේනාරත්න

      Delete
    4. වික්ටර් රත්නායකගෙ ගීතය අහලා නෑ ගොයියො...දෙවැන්න නම් හොදට අහපු සින්දුවක්...ප්‍රේමකීර්ති කසාද දෙකක් බැන්දත් තනිකම ආශ්වාදය කරපු කෙනෙක් කියලත් හිතෙනවා.

      Delete
  32. ඈ හිනා උනා.... මා ගොනා උනා.....!!!

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙනවා තමයි....සූත්තර කාරියකට අහු උනොත්...

      Delete
  33. කවඳාවත් ඔබ මාගෙන් වෙන්වෙන්නේ නෑ කියා....හැමඳාටම ඔබ මාගෙන් ඳුර වෙන්වීලා ගියා...... ඉතිරි වුනේ ඳුක මට විතරක්ම නිසා මා ආඳරේ නමින් තනිවුණා..... තනිවුණා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත බං...මාව දාලා ගිය කෙනත් කවදාවත් මගෙන් වෙන් වෙන්නෙ නෑ කියලා තමයි කිව්වෙ....අන්තිමට මේ අපූරුවට දාලා ගියේ....

      Delete


  34. පෙම් කවක් ලිවු නුබ සිත් අහසේ
    එය මකා දමා ගිය හෑටි රහසේ
    නුබ මෙතෙක් රෑදී උන් මා මනසේ
    පෙම් පුරා වතක්.. නිමා කරන්නද මා කෙලෙසේ...

    නුබ යන්නම යන්නම යනවානම්
    මට ඉන්න කියන්නට බෑනේ ඉතින්...
    යලි එන්නම එන්නම හිතුනේනම්
    නුබ එන්න එපා මගේ හිත තහනම්...

    හුරතලෙන් දෑවටිලා මගේ ලගින්
    දුන් සතුට එපමනද මට පවසන්...
    සද එලිය පොලොවටයි හිමි වූයේ
    සද අහසේ රෑදුනාට රත්තරනේ...

    පෙම් කවක් ලිවු නුබ සිත් අහසේ.../

    ReplyDelete
    Replies
    1. ලස්සන ගීතයක්...කලින් අහලා තිබුනට මේ වෙලාවෙ මට මාර විදියට දැනුනා...මගේ කථාවම නේද එතැන කියන්නෙත් කියලා....

      Delete
  35. ඇත්තටම ගොඩක් පින්..මං විරහ වේදනාවෙන් තැවී තැවී ඉන්නකොට තමයි මේක දැක්කෙ.මේක කියෙව්වම හිත ගොඩක් නිදහස් වුනා.මාත් මගේ ප්‍රශ්න් ගැන්වත් කාත් එකවත් කතා කරන කෙනෙක් නෙවෙයි.මං ගොඩක් වේලාවට ඉන්නෙ හුදෙකලාව.අනික් කෙල්ලො වගේ මං යාලුවෝ අශ්‍රය කරන්නෙත් නැ.ඒ හේතුව වෙන මොකක්වත් නෙවෙයි.එ මං පොඩි කාලේ ඉදන් පුරුදු වුන විදිය.ිිිඉතින් මගේ දුක මං කාටවත් කියන්නෙ නැ.එත් මේ ලිපිය කියෙව්වම හිතෙ දුක ගොඩක් තූනී වුනා..ඒකට බොහොම පින්..මගේ කතාව මට කාට හරි කියන්න ඔනි.එත් අදුරන කෙනෙක්ට කියන්න මං කැමති නැ.ඒකයි මේකෙ පල කරන්නේ


    මං ආදරය කරපු පිරිමි ලමයා ගොඩක් රැ වෙනකම් නිදි මරාගෙන ඇහැරල ඉන්න කෙනෙක්.එයා ගොඩක් වෙලාවට සෝශල් මීඩීයා වල ඉන්නෙ.මං එයාට හැම නිතරම කියනව එහෙම නිදි මරන්න එපා නිදා ගන්න කිය්ලා.සාමානයෙන් මට 11 ට විතර නිදා ගන්න ඔනි.ඒ මං පුරුදු වෙලා ඉන්න විදිය.ඒත් එයා දවසක් කිව්ව මට පාන්දර වෙනකම් ඇහැරල ඉන්න බැරිනම් මගෙන් වැඩක් නැ කියල.එයා රැ එලි වෙනකම් සෙක්ස් චැට් කරන කෙනෙක්.ඇත්තටම මට සෙක්ස් චැට් කරන එක එපා වෙල තිබුනේ මොකද මං කවදාවත් එවා ආසාවෙන් නෙවෙයි කලේ.මං සමහර වේලාවට මූන හෝද හෝද එයාගේ සතුට වෙනුවෙන් ඒක කලේ.නමුත් මට ඒක දිගින් දිගටම කරන්න බැරි වුනා.දවසක් එයාට දිගින් දිගටම කේන්ති යන්න පටම් ගත්තා.මං එහෙම චැට් නොකලම.පස්සෙ එයා කිව්ව ඒ වෙනුවට එයා වෙන කෙල්ලක්ව හොයා ගන්නම් කියල.එයා එහෙම කිව්ව ට් මං හිතුවෙ නැ එයා ඇත්ත්ටම එහෙම කරයි කිය්ල.එත් දවසක් මට මගෙ අතටම අහු වුනා.එයා වෙන කෙල්ලෙක් එක දවස් ගනන් රැ එලි වෙනකම් සෙක්ස් චැට් කරලා තිබ්බා.එයාලා විඩීයෝ කෝල් අරන් තිබ්බ.අසභ්‍ය ෆොටොස් මාරු කරගෙන තිබ්බ.කොටිනම් එයා ඇදුම් නැතුව ෆොටොස් එ කෙල්ලට යවලා තිබ්බ.ඒක දැක්කම මට හෙනයක් වැදුනා වගේ.මගේ මූලූ ඇගම හීතල වෙලා ගියා.මට හිතා ගන්න බැරි වුනා මං මොන ද කරන්න ඔනි කිය්ල.මට ඇස් වලට කදුලු ආවෙත් නැ.ඒ තරමටම මං ශොක් වුනා.මං බය වුනා මට මොකක් හරි වෙයි කියලා එ තරමට මගෙ පපුව හිර වුනා.පස්සෙ එයාට ගොඩක් කේන්ති ගියා.මට බැනගෙන බැනගෙන ගියා."උබ හරියට හිටියනම් මෙහෙම වෙන්නෙ නැ" කියල බැන්නා.හරිනම මමයි කෙනෙති ගන්න ඔනි.එත් එතනදි එයා මගෙන් සමාව ඉල්ලම්ම ඔනි වෙනුවට,එතනදිත් එයයි කේන්ති ගත්තෙ.මට අප්පිරිය හිතුනා.ඇයි එහෙම කියල හිතුනා.පස්සෙ මං දවස් දෙකක් කතා නොකල හිටියා.ඒත් ඒයා මොන වැරද්ද කලත් මට එයාව අමතක කරන්න බැ.එයා කරපුවා කියපුව මතක් වෙනව.පස්සෙ මං එයාට කතා කලා.එයා කිව්ව හරි හැමදේම අමතක කරලා ආයේ අලුතිම් පටන් ගමු කියල.පස්සෙ මං කල්පනා කරල කමක් නැ ලිංගිකත්වය කියන්නෙ තව දෙයක් ආදරය කියමමෙ තව දෙයක් නෙ කියල මං මාවම රවට්ටගෙන් හිත හදා ගත්‍තා.ආයේ මාස දෙකක් විතර අපි හොදින් හිටියා.මට ආයෙමත් දවස් කිපයකට එයත් එක්ක එහ්ම චැට් කරන්න බැරි වුනා.අයෙමත් එකට එයාට කෙන්ති ගියා.අය්යෙමත් එයා පරන දේම කරනව කිව්ව.මට තෙරුනා එයාව ආයේ කවදාවත් හදන්න බැ මං එයාට අවස්තාවක් දුන්නට කියල..මං මේක කවුරුම හරි පිරිමියෙක් කියවනවන්ම් කාරුනිකව ඉල්ලන්නෙ.ක්වදාවත් තමන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් හෝ බිරිදට වංචා කරන්න එපා.බොරු කරන්න එපා.මොක්ද ඒ වේදනාව කියා ගන්න බැ.ඒ වගෙම මේක බලන අක්ක කෙනෙක් හරි නංගි කෙනෙක්ට හරි කියන්නෙ කවදාවත් අනුන්ගෙ පිරිමි එක්ක කිසිම සම්බන්ධ කමක් පවත්තන්නත් එපා.මොකද ඒක ලොකු පාපයක්.ගැහැනියක් විදිය්ට තව ගැහැනියෙක්ට දුකක් දෙන්න එපා.ඒ වගේම මේ කතාව වෙනස් වෙන්න පුලුවම් ලිපියට අනුව බැලුවම.එත් මං මෙකෙන් කවුරුම හරි වරදේ බැදෙන කෙනෙක්ට පනිවිඩයක් දෙන්නයි උතසහ කලේ


    ස්තූතිය ��

    ReplyDelete
    Replies
    1. විවාහය කියන්නෙ වගකීම් සහගත ජීවිතයක්, ඔයා කියන වර්ගයේ ප්‍රේමවන්තයෙක් එක්ක එවැනි වටපිටාවක ජීවත් වෙන හැටි, විවාහ උනාට පස්සෙ ඔහු වගකීම්සහගතව ජීවත් වෙයිද නැද්ද කියන කාරණය ගැන මට තිබෙන්නේ ප්‍ර‍ශ්නාර්ථයක්...මගේ පුද්ගලික අදහස ඔහු වැන්නෙක් ඔබට නොගැලපෙන බවයි..නොගැලපෙන චරිතයක් ජීවිතයට ලං කරගෙන ඔබේ ජීවිතය විනාශ කරගන්න එපා. ඔහුව මගහැර ඔබ ඔබේ ගමන යන්න..නිසැකවම ඔබේ හිමිකරු ඔබට වඩාත් ලස්සන අනාගත දවසක මුණගැසේවි...බලාපොරොත්තු අප ජීවත් කරවයි...ඒ නිසා කවදාවත් බලාපොරොත්තු නැති කරගන්න එපා සොයුරිය...ඔබට ජය !

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...