Thursday, February 25, 2016

67 අහිමි පෙම සහ මම

බූට් මාසය වෙනුවෙන් දාලා තිබුන ඔක්කොම ලිපි ටික කියෙව්වා. ඉතින් මමත් හිතුවා මගේ කථාවත් සිරාගෙ කාමරේට කියන්න ඕනෙ කියලා. මගේ කථාව මෙතැන පලවුනු අනිත් කථා වලට වඩා වෙනස් උනාට වින්ද වේදනාව නම් වෙනසක් නෑ. මේ කථාව නම් ගොඩාක් පරණ කථාවක්. face book, Skype විතරක් නෙවෙයි ජංගම දුරකථන වත් ඒ කාලෙ තිබුනෙ නෑ. (ගඩොල් භාගෙ cellphone එකක් ලක්ශ 1.5 යි.)

මම ඉස්කෝලෙ ගියේ රත්නපුර පැත්තෙ තිබුන ජනප්‍රිය මිශ්‍ර පාසලකට​. මම ගොඩක් ලස්සන නැති උනාට ඉස්කෝලෙ ගොඩක් ජනප්‍රියයි. යාලුවොත් ගොඩාක් හිටියා. මම ජානක අයියත් එක්ක යාලු වෙනකොට ඉගෙනගත්තෙ 9 වසරේ, එයා සා/පෙ පන්තියෙ. එයාට  ලස්සන දුඹුරු පාට ඇස් දෙකක් තිබුනේ. දැනුත් ඒ කතා කරන ඇස් දෙක මැවිලා පේනවා. කාටත් හොරෙන් පටන් ගත්ත අපේ ආදරේ මාස දෙකක් යනකොට මුලු ඉස්කෝලෙම දන්නවා. ඒ කාලෙ අපිට කථා බහ කරන්න තිබුන එකම විදිය ලියුම් විතරයි. ඒත් කවදාවත් ලියුමක් වත් කාටවත් අහුවෙන්නෙ නැති වෙන්න අපි දෙන්නා පරිස්සම් උනා.

එකම ඉස්කෝලෙ හිටියත් හම්බවෙලා කතා කරන්න අමාරුයි. ගොඩාක් දවසට උදේට good morning කියනවා විතරයි.  ඒ කොහොම උනත් අපි දෙන්නා ගොඩාක් ආදරේ කලා. එයා දක්‍ෂයි ඒත් පාඩම් කරන්න කම්මැලියි. මගේ අකුරුනම් රෑ එළි වෙනකන් උනත් කියවන්න පුලුවන් කියලා කියුවම මම එයාගෙ ඔක්කොම සටහන් මගේ අකුරු වලින් ලියලා දුන්නා. සමහර දවසට රෑ  පැයක්වත් නිදාගන්නෙ නැතිව තමයි මම ඒ දේවල් කලේ. ඒ දේවල් නම් අපතේ ගියේ නෑ. අපි දෙන්නා ගොඳට ඉගෙනගත්තා. මට ජානක අයියාගෙන් තොර ලෝකයක් තිබුනෙම නෑ. 

ජානක අයියා උ/පෙ කලෙත් ඒ ඉස්කෝලෙමයි. මම උසස් පෙළ කරන්න නුගේගොඩ ඉස්කෝලෙකට ආවා ජානක අයියත් නුගේගොඩ පන්ති ආව නිසා අපි දෙන්නට හම්බවෙන්න කරදරයක් තිබුනෙ නෑ. මේ කාලෙ ගෙවල්වලින් අපේ සම්බන්ධය දැනගෙන හිටියට ඉස්කෝලෙ යන කාලෙ ආදරේ කරනවට කැමැත්තක් තිබුනෙ නෑ. අපි දෙන්නා ආදරේ කරන ගමන් ඉගෙන ගත්තා. කවදාවත් ඉස්කෝලෙ වත් අතිරේක පන්තියක් වත් කට් කරලා කොහේවත් ගිහින් නෑ. එයා මට ආදරේ කලා වගේම මාව පරිස්සම් කලා. ජානක අයියා විභාගය අවසන් උනු ගමන්ම රස්සාවකට ගියා.  (ඒ කාලෙ කැම්පස් යන්න අවුරුදු 2 විතර බලාගෙන ඉන්න ඕන​) මට නම් ඕන උනේ ඉක්මටම ජානක අයියව කසාද බඳින්න​. ඉක්මනටම එක වහලක් යටට යන්න​. අපි දෙන්නා අපේ අනාගතේ ගැන ගොඩාක් හීන දැක්කා.

මම උ/පෙ විභාගයෙන් පස්සෙ මහරගම ඉංග්‍රීසි පන්තියකට ගියා. එක දවසක් ජානක අයියා පන්තිය ලගට ඇවිත් එයා විභාගය පාස් උනා කිවුවම මට සතුට දරාගන්න බැරි උනා. පාර අයිනේ පන්තියෙ ළමයි ගොඩක් මැද්දෙ බෙල්ල බදාගෙන කිස් එකක් දුන්නෙ වටේ පිටේ තියන හැමදෙයක්ම අමතක වෙච්ච නිසා. එදා එයා අපි කසාද බදිමු කියලා මගේ කේන්දරේ ඉල්ලුවා. ඒ තමයි මම ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දවස වගේම අන්තිමටම සතුටු වෙච්ච දවස​. ඊලග දවසෙ අපි කේන්දර දෙක මාරු කරගත්තා.

කොහොම හරි අම්මව ඇදගෙන එදා හවසම කේන්දරේ බලන්න ගියා. ඒ දෙක කොහොමට වත් ගැලපෙන්නෙ නෑ කියලා තමයි කිව්වෙ​.  මම කේන්දරේට වඩා අවුරුදු 6ක ආදරේ විශ්වාස කලා. මට ඕන උනේ එයාගෙම වෙන්න විතරයි. මට ඕන උනේ එයා විතරමයි. ජානක අයියාගෙ ගෙදරිනුත් කේන්දරේ බලලා තිබුනා. ඊලග දවසෙ අපි හම්බ උනාම එයා කිව්වෙ අපි මේක නතර කරමු කියලා විතරයි.  අවුරුදු 6 ක් තිස්සෙ පණ වගේ ආදරේ කරපු මගෙන් අඩුම ගානෙ " නතර කරමුද? "  කියලවත් ඇහුවෙ නෑ.  මට වචනයක් වත් කතා කරගන්න බැරිවුනා...පැය ගානක් එයා ලගට වෙලා ඇඩුවා. මගේ හිත හදන්න වත් කියන්න දෙයක් එයාට තිබුනෙ නෑ. එයා නැතිව එක හීනයක් වත් නොදැකපු මම එයා නැතිව කොහොම ජීවත් වෙන්නද​?. මොනවා කරන්නද මගේ ආදරේට වඩා කේන්දරේ විශ්වාස කල නිසා එයා මාව දාලා ගියා. 

කරන කියන දෙයක් හිතාගන්න බැරිවුනා. කොල්ලෙක් උනානම් කන පැලෙන්නෙ බීලා හොඳට නිදාගන්න වත් තිබුනා. සමහර වෙලාවට ජීවිතේ නැති කරගන්නත් හිතුනා. ඒත් එහෙම කළොත් ජානක අයියට දරාගන්න බැරිවෙයි කියලා හිතුනා. එයා මගේ නොවුනත් ඒ හිතට දුකක් දෙන්න මට බෑ.  මගේ කරුමෙ එතනින් ඉවර උනේ නෑ. මාවත් ජානක අයියා යන විශ්ව විද්‍යාලයටම තේරුනා.

මට ආයෙත් එයාට මුහුණ දෙන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. මම දන්න අඳුනන හැමෝගෙන්ම ඈත්වුනා. ගෙදර අයගෙ බල කිරීමට ආයෙත් ඉගෙන ගන්න පටන් ගත්තා. NIBM එකේ උපාධිය කරන්න පටන් ගත්තා. කාලයත් එක්ක වේදනාව අඩු උනේ නැති උනත් ගෙදර අනිත් අය වෙනුවෙන් හිනාවෙලා හිටියා.  අලුත් යාලුවොත් එක්ක එහෙම ඉන්න අමාරු වුනේ නෑ. පන්තියෙ වැඩියෙන්ම කෑ ගහලා හිනාවෙලා හිටියෙ මම​. රෑට තනි වෙච්ච වෙලාවට ඇති වෙනකං ඇඩුවා. නින්ද යන්නෙ නැති නිසා පාඩම් කලා. මට කවදාවත් ජානක අයියව අමතක කරන්නම බැරි උනා.


කරන්න පුලුවන් හැම දෙයක්ම කරලත් එයාව අමතක කරන්න බැරි උනා. මගේ හොඳම යාලුවා කිව්වෙ කාවහරි කසාද බඳින්න කියලා. ඉතින් ඊළගට මගෙන් යාලුවෙන්න ඉස්සෙල්ලම අහන කොල්ලත් එක්ක ඇත්ත විස්තරේ කියලා එයා මාව කසාද බඳින්න කැමති උනොත් කසාද බඳින්න තීරණය කලා. මට මගේ සැමියා හම්බ උනේ එ් විදියට.  

මට ආයෙත් ජානක අයියව හම්බ උනේ අවුරුදු 8කට විතර පස්සෙ පුතයි මහත්තයයි එක්ක සාප්පු සවාරියෙ යන වෙලාවක​. ඒ වෙලාවෙ ජානක අයියට ළග ඉන්නෙ කවුද කියලා අමතක උනා. දුවලා ඇවිත් අත්දෙකම අල්ලගෙන කතා කලේ. ඉස්සර වගේමයි... මම මහත්තයට කවුද කියලා හඳුන්වා දුන්නම සති අග ගෙදර එන්න කියලා එයා කිව්වා.

ඊලග සති අන්තෙ එයා අපේ ගෙදර ආවා. ඒ වෙනකොට ජානක අයියත් කසාද බැඳලා දුවෙක් ඉන්නවා. දන්නවද ඉස්සෙල්ලම මාත් එක්ක තනියම කතා කරන්න ලැබුන වෙලාවෙ එයා මගෙන් ඇහුවෙ ඇයි එදා "අපි මේක නතර කරමු" කියපු වෙලාවෙ බෑ කියලා එක සැරයක්වත් කිවුවෙ නැත්තෙ කියලා. එකම එක සැරයක් බෑ කිව්ව නම් කවදාවත් දාලා යන්නෙ නෑ යන්න දෙන්නෙත් නෑ කියලා එයා කිව්වා.

අනේ දෙවියනේ ජීවිතේ ආපස්සට හැරෙන්න අපිට බෑ. එදා කියපු නැති එකම එක වචනයක් හින්දා මම පණටත් වැඩියෙන් ආදරේ කල ජානක අයියව මට නැති උනා. අවුරුදු 6ක ආදරේ එක වචනයක් නිසා නැති උනා.

ආදරය කියන්නෙ හිමිකරගැනීමම නෙමෙයි කියලා සිරා මල්ලිත් කියලා තිබුනා. මමත් එහෙමම තමයි අද හිතන්නෙ. කොහේ හරි තැනක සතුටින් ඉන්නවා නම් ආදරය අහිමි උනත්  තරහක්, කණගාටුවක් නෑ.



මගේ කථාව කියෙව්වට හැමෝටම ස්තූතියි !


සිරාගේ කාමරයේ බූට් මාසය වෙනුවෙන් ලියා එව්වේ,


ඉමල්කා සිල්වා.



ප.ලි

අධික කාර්ය බහුලතාවය නිසා සිරාගේ කාමරයේ බූට් මාසය මෙවර කථා කීපයකට පමණක් සීමා කිරීමට සිදුවීම ගැන සිරා කොලුවා ලෙස මගේ සාතිශය සංවේගය පල කරමි. ගිය වසරේ මෙන්ම මේ වසරේත් මෙහි පලවූ සියලුම බූට් කථා පිරිමි පාර්ශවය විසින් එවන ලද ඒවාය. එහෙත් හා පුරා කියා අද මෙහි පලවන්නේ සහෝදරියක විසින් විරහව පිළිබඳ අකුරු කරන ලද ලියමනකි. ප්‍රේමයේ විප්‍රයෝගය කාන්තා පිරිමි භේදයකින් තොරව දුක, කණස්සල්ල දායාද කලද, කාන්තාව බොහෝ විට නිහඩව මේ මනෝභාවයන් විඳදරා ගන්නා බව මගේ හැගීමයි. මේ ලිපිය ඒ වගට දෙස් දෙනු ඇත. ඉමල්කා සොයුරිය....ඔබට මගේ ස්තූතිය.

ලිපියේ හිමිකාරියගේ ඉල්ලීම පරිදි චරිත නාමයන් වෙනස් කොට තිබේ.

67 comments:

  1. මං එක. පෝස්ටුව කියෝලා එන්නම්. හිහ් ....

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ අද ප්‍රසන්න ගොයියගෙ ඩොට් එකට නෝ චෑන්ස් ද ?

      Delete
    2. මේ දවස්වල පොඩ්ඩක් බිසි බං. නැත්තං ගනී එක හැක්..

      Delete
  2. එකම එක වචනෙකින් ජීවිත දෙකක් ම වෙනස් වෙලා.

    ReplyDelete
    Replies
    1. තවමත් හිතාගන්න බෑ ඇයි මම ඒ වෙලාවෙ මුකුත් කියන්නෙ නැතිව සද්ද නැතිව හිටියෙ කියලා

      Delete
    2. e welawata kiyanne monawada karanne monawada kiyala hithaganne kohomada.. mulu lokema kadawatuna wage danenakota monawa kiyannada...

      Delete
    3. එදා මම එයත් එක්ක පැය ගානක් ඉඳලත් මුකුත් කියුවෙ නෑ.ඊට පස්සෙ උනත් මට එයාව කොහොම හරි ලබාගන්න ඕන කියලා හිතුවනම් ඒක කරන්න බැරි වෙන එකකුක් නෑ කියලා හිතෙනවා. ඒත් මම මුකුත් කලේ නෑ. මේ දේ අද උනානම් මම කවදාවත් එයාව නැති කරගන්නෙ නෑ. එයාව තරකරගන්න මට කරන්න පුලුවන් උපරිමය කරනවා.

      Delete
  3. මොනවා කියන්නද කියල හිතාගන්න බැහැ.මේ සැරේ මමත් නිවාඩුවට ගියවෙලාවෙ ඔහොම දේකට මාත් මුහුණ දුන්න.ඒ වෙලාවේ ඇතිවෙන හැගීමට දෙන නම මොකක්ද?....කාගෙන්ද අහන්නෙ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නොලබීම ...

      Delete
  4. එක වචනයක් .......

    මේ වාගේම එකක් මතක් වුනා ....Jimmy Fallon Blew a Chance to Date Nicole Kidman අතරේ ... https://www.youtube.com/watch?v=qtsNbxgPngA....

    ReplyDelete
    Replies
    1. බලන්නම්...

      Delete
  5. ලැබුණු දේට වඩා නොලැබුණු දේ වටින බවක් පෙනෙන එක පොදු දෙයක්. තමාගේ බිරිඳගේ පෙර පෙම්වතාට නිවසට ඒමට ආරාධනා කල ඔබගේ සැමියාගේ පරිණත භාවය සහ ආත්ම විශ්වාසය අගය කළ යුතුයි. ඒවගේම ඒවගේ දෙයක් කරන්න ඔහුට ඔබ ගැන ඇත්තටම ආදරයක් තිබෙනවා. එම නිසයි ඔහු ඔබගේ සතුට වෙනුවෙන් එවන්නක් කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ.

    ඔබගේ ජීවිතයේ මේ මිනිසුන් දෙදෙනා ගැන සංසන්ධනය කර බලන විට කේන්ද්‍රයක් නොගැලපීම හේතුවෙන් ආදරයට පිටු පෑ ආර්ත්මාර්ථකාමී පුද්ගලයාත්, තම බිරිය සහ තම දරුවාගේ මවගේ පෙර ප්‍රේමයක පුද්ගලයාට විනීතව සලකා ඔහු සමඟ කථා කිරීමට අවස්ථාව කැමැත්තෙන් ලබාදුන් පරාර්ථකාමී පුද්ගලයාත් කවුද යන්න සිතන්න. ආදරය යන්නෙනි නියම තේරුම ඔබට එවිට තේරුම් යාවි.

    ReplyDelete
    Replies
    1. Totally agreed ,with Ian

      //" "අපි මේක නතර කරමු" කියපු වෙලාවෙ බෑ කියලා එක සැරයක්වත් කිවුවෙ නැත්තෙ කියලා. එකම එක සැරයක් බෑ කිව්ව නම් කවදාවත් දාලා යන්නෙ නෑ යන්න දෙන්නෙත් නෑ කියලා එයා කිව්වා"//

      මටත් පේන්නේ තනිකරම වරදකාරී හැගීම වහගන්න කියපු කතාවක්, දාලා යන්න ඕන කිවම මොකටද එපා කියන්නේ ? , යන්න ඕන වුනු කෙනා කොහොමත් යනවා . යන්න දීලා ඇත්ත තේරුම් ගත්තම හරි . ඒ අතින් ඔබේ සැමියා විශිෂ්ටයෙක්

      Delete
    2. හරියට හරි ඉයන්. මගේ අදහසත් ඕකමයි.

      පස්සේ ඇවිත් ඔවැනි වචන කියන අයගෙන් තමයි අපි අන්ධ වෙන්නේ. ඇගේ සැමියා නියම ආදරයක් ඇති පුද්ගලයෙක්. ඇයව විස්වාස කරන කෙනෙක්. ඒ නිසා ලැබුණු දේ තමයි නිවැරදිම දේ වෙලා තියෙන්නේ.

      'ඔබ කොතරම්
      හැඬුවත්
      වැලපුනත්..
      ඔබට හිමිවන්නේ
      හිමිදේ
      පමණයි'

      Delete
    3. @ඉයන්
      ඒ දෙන්නව සංසන්ධනය කරන්න නම් කවදාවත් මට පුලුවන් කමක් නෑ ඉයන්. එහොම කලා කියලා මට ලැබෙන දේකුත් නෑ. මගේ සැමියා ගැන මම ඇත්තටම ගොඩාක් සතුටු වෙනවා. මම ආදරේ කලේ ජීවෙතේ ගැන තේරුමක් තිබුන කාලෙක නෙවෙයි. ජීවිතේ විදින්න මට කියලා දුන්නෙ එයා. අද මම ජීවිතේ විදිනවා ඒ මගේ සැමියත් එක්ක​.

      Delete
    4. @ඉවාන් පවුලූශා
      ජීවිතේ යන අය නතර කරගන්නෙ වත් දාලා ගියපු අය ආපසු බාර ගන්නෙවත් නැත​. මොකද යනකොට සතුට අරගන ගියාට ආපහු එනකොට ගේන්නෙ දුක විතරයි .

      Delete
    5. @උපේක්‍ෂා
      අද මම ජීවත් වෙන විදිය බලලා එදා එහම උන එක හොඳයි කියලා කියන්න බෑ නේද​?
      හඬලා වැලපිලා නම් කිසිදෙයක් ලබාගන්න බෑ. ඒත් මම එදා එයාව නතර කරන්න පොඩිහරි උත්සාහයක් ගත්තෙ නැත්තෙ ඇයි කියලා හිතෙනවා.
      අද මම මගේ සැමියා එක්ක සතුටින් ජීවත් වෙනවා. සමහර විට එයත් එක්ක හිටියනම් එහෙම නොවෙන්නත් පුලුවන් මීට වඩා සතුටින් වෙන්නත් පුලුවන්. නොවුන දෙයක් ගැන අපිට කියන්න බෑනේ.... දන්නෙ නෑ ලැබීමද නොලැබීමද කියලා.

      Delete
    6. එදා ඔහු නතර කරානම්...
      ඊට පස්සේ එන රළු පරළු කුනාටු මැද්දේ ඔබ දෙදෙනාගේ ගමන කොතරම් හැලහැප්පීම් වලට ලක්වන්නට ඉඩ තිබුනාද? ඒ හැමදෙයකටම මුහුණදෙන්නට ඔබට හැකි උනත් ඔබේ පෙම්වතා ( කේන්දරයෙන් සැලුන) ඒවායේදී කෙසේ ප්‍රතිචාර දක්වයිද? ඒවායේ අතුරු ප්‍රතිපල වලට මුහුණදෙන්නට ඔබට කොතරම් දුකක් විඳින්නට සිදුවෙයිද? ඒවා කිසිවක් නිශ්චිත නැහැ නේද?

      සමහර තුවාල තියෙනවා, ඒවා බෙහෙත් දාන්නවත් ආයෙමත් පාරන්න හොඳ නැහැ. ඒ තමයි මගේ ආදර්ශ පාඨය!

      Delete
    7. පාරන්න හොඳ නැති තුවාලයක් නම් තමයි.

      Delete
    8. උපයාගෙන් උපදෙස් ගැනීමට වඩා බෙල්ලේ මුහුදක් බැඳන් ගලකට පැනීම යහපති :P

      Delete
    9. උඹව නම් ගලක් බැඳලා මුහුදට දාල, ඊටත් උඩින් ආයෙමත් ගලක් අතාරිනව අම්මප!

      Delete
    10. ඉයන් ඉවාන් එලද බ්‍ර කොමෙන්ට් දෙකක්

      Delete
    11. ///හඬලා වැලපිලා නම් කිසිදෙයක් ලබාගන්න බෑ. ඒත් මම එදා එයාව නතර කරන්න පොඩිහරි උත්සාහයක් ගත්තෙ නැත්තෙ ඇයි කියලා හිතෙනවා. ///
      ඔයාගේ කඳුළු වලින් ඔයා ඒ වෙලාවේ උත්තරේ දීල තියෙනවා...
      අර පස්සේ ඇවිත් අහපු වචන ටික ඇවිත් එන්න ඇත්තේ වරදකාරී හැඟීම නිසා...

      Delete
    12. මාත් හිතන විදියට ඉයන්ගෙ කීම හරි. උපේක්ෂ කියල තියෙනව වගේ පස්සෙ ජීවිතේ ප්‍රශ්න එනකොට කේන්දරේ කේස් එක ආයෙ උඩට මතුවෙන්න පුලුවන්. මොකද කොච්චර උනත් ලංකාවෙ මිත්‍යාවට ලොකු තැනක් තියෙන නිසා.

      Delete
    13. ඉයන්ගේ අදහස සමග මමත් කොන්දේසි විරහිතව එකගයි. දැඩි ආදරයක් තියෙන කෙනෙක්ට කේන්දරය වගේ සිල්ලර කාරණයක් මග අරින්න අපහසු නෑ. උදාහරණයකට අපේ පැත්තෙ ජෝඩුවක් ආදරයෙන් වෙලිලා ගැරඩි දෙන්නෙක් වගේ අවුරුදු ගානක් හිටියා. කසාද බදින්න තීරණය කරලා කේන්දර බලද්දි හැම තැනින්ම කිව්වා මේක කරන්න එපා කොල්ලා ඉක්මනින් මැරෙනවා කියලා...නමුත් ඒ කොල්ලා මග ඇරියෙ නෑ. බලෙන්ම වගේ කසාදෙ කලා. දැන් අවුරුදු 8 ක් විතර ගත වෙලා...ඔය අපූරුවට ඉන්නෙ දෙදරු වෙලා දැන්...

      ජානකගෙ හිත දැන් දන්නවා මම කරපු දේ සාධාරණ නෑ කියලා...ඒ වගේම වර්තමාන ඔහුගෙ විවාහ ජීවිතේ ඇතුලෙ හැලහැප්පීම් තියෙනවා නම් ඔහුට දහස් වර හිතෙනවා ඇති අපරාදෙ කියලා. ඒ වගේ සිතුවිලි වලින් තමන්ගෙ හෘද සාක්ෂිය තමන්ටම වද දෙනකොට...තමන්ම රවට්ටගන්න කිව්ව කථාවක් තමයි දාලා යන්නෙ නැති කථාව. මගේ අදහස එහෙමයි.

      මේ සහෝදරියගෙ ස්වාමි පුරුෂයා ඇත්ත වශයෙන්ම ඉතාම හොද කෙනෙක් බව පේනවා. ඔබව තේරුම් ගත්ත..ඔබට ගොඩාක් ආදරය කරන කෙනෙක්.

      Delete
  6. කේන්දරේ නිසා සම්බන්ධය නතර කලානම් ඔයාට වගේම ඔහුටත් ඒ වේදනාව නොදැනුනේ ඇයි
    කියන එක ප්‍රශ්නයක්.අවංකව ආදරේ කලානම් ඔයාට වගේම ඒ දුක එයාටත් දැනෙන්න ඕන නේද ? මෙතනදී අවංකව ආදරය කරල තියෙන්නේ ඔයා විතරයි. ඔයා නොකියපු වචනයක් නිසා ඔහුව නැති වුනා කියන අදහස හිතින් අත් හැර ගන්න.යන කෙනා පසුව හෝ හේතු සොයාගෙන යනවා. ඔයාගේ මහත්තයා ඔයාට බොහෝ ආදරේ බව පේනවා. ජානකට ගෙදරට ආරාධනා නොකර හිටියනම් හොදයි කියලා හිතුනා.
    බූට් මාසය වෙනුවෙන් ඔබේ දායකත්වයට ස්තූතියි. සතුටෙන් ඉන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගිම්හානි. එයාටත් ඒ වේදනාව දැනෙනවා. කේන්දරේ බලාලා කියුවෙ ඒකෙන් නරකක් වෙන්නෙ මට විතරයි කියලා....
      මමත් එදා සැමියගෙන් ඇහුවෙ ඇයි ජානකට ගෙදරට ආරාධනා කලේ කියලා. එයා මගෙන් ඇහුවෙ හිතේ තරහක් නැත්නම් කතා බහ කරලා කරලා ඉන්න එකේ වැරැද්දක් නෑනේද කියලා. අදටත් ඉදලා හිටලා හම්බවෙනවා. අද එයා මගේ කවුරුවත් නෙවෙයි. ඒ දේවල් හැමදෙයක්ම අතීතයක් විතරයි...

      Delete
  7. ආදරේ කරද්දි බෑ කියන්න හොද නැහැනේ..... ඒකයි නොකියන්න ඇත්තේ......

    ReplyDelete
    Replies
    1. හා කියන්න හරි බෑ කියන්න හරි තිබුනා නතර කරමුද? කියලා ඇහුවනම්. නතර කරමු කියලා කියුවම තව මොනවා කියන්නද​?

      Delete
  8. බෑ කියලා නොකිව්වට අඩන්නේ බැරි නිසා කියන එක එයාට තේරුම් නොගියා වෙන්න බෑ. ඊටත් එච්චර කාලයක් ආදරය කරලා අනිත් කෙනා ගැන නොදැන ඉන්න විදිහකුත් නෑ...

    ඔබේ සැමියා ඔබ හොඳින් තේරුම් ගත් හොඳ කෙනෙක් බව පේනවා. එහෙම නොවෙන කෙනෙක්ට ඔය වගේ දෙයක් කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තුශානි සැමියා ගොඩක් හොද කෙනෙක්. අපේ ජීවිත වල අඩුවක් නෑ. ඒත් අතීතය මතක්වෙන හැම වෙලාවකම කියගන්න ඇයි අපිට එහෙම උනේ කියලා හිතෙනවා.

      Delete
  9. ඉයන් සමඟින් 100%ක් එකඟයි.ඔබ බෑ කීවා නම් එතනින් එහාට එන ගැටලු වලදී 'ගෙදරින් අච්චර එපා කියද්දි උඹමයි මගෙ බෙල්ලෙ එල්ලුනේ' වගේ කුප්ප කතා අහන්න වෙනවා. තීරනාත්මක මොහොතක වචන සූදුවේ යෙදීමෙ ආදීනව තමා මේ.. සාකච්ඡාව සහ විශ්වාසය කියන දේ අගය උපරිමයෙන් විඳින කෙනෙක් ඔබ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මම අදටත් හිතන්නෙ මට ඒ වෙලාවෙ ඒ ගැන සාකච්ඡා කරන්න තිබුනා කියලා. එතකොට අඩුම ගනනෙ මට එයව නැති උනත් හිත හදාගන්නවත් හේතුවක් හොයගන්න තිබුනා.

      Delete
  10. ගස් ලබ්බ කියනවා වගේ මමත් ඉයන් සමග එකගයි ...මගේ කොමෙන්ටුව ඉයන් කොටලා ආය ඉතින් මම මොනවා කියන්නද ..
    සදු බදින්න හිට්යේ මස්සිනවා අදටත් එයා මස්සිනාගේ උපන්දිනයට කාර්ඩ් එකක් යවනවා කතා කරලා සුබ පතනවා සදු වගේම මමත් මස්සිනාට ඉස්තුති කරන්න ඕනේ ඇයි දානවද මස්සිනා රට ගිහින් එනකොට වෙන කෙල්ලෙක් බැදලා ආව නිසානේ මට සදු හම්බුනේ අනික සදුට මගේ වටිනාකම වැඩි මස්සිනා එහම චපල උන නිසානේ.

    ReplyDelete
    Replies
    1. මස්සිනා කියන්නෙ සඳුගෙ අයිය හරි මල්ලි හරි නෙමෙයිද බං. මට මේක අපබ්‍රංශයක්. හැක්..

      Delete
    2. අපිට ගෙදර එන්න කියලා ගල් බෝතලයක් මේසෙ උඩ තියහංකො මෙන්ඩයියෙ....මේ සියලු ගැටලු එතකොට විසදෙනවනෙ....

      Delete
  11. වසර ගණන් ඇසුරේ සිටියත්
    හදුනාගම්ද කෙසේ
    අපගෙ සිතුම් පෑහෙනු බැරි වී
    අහසට පොලොව ලෙසේ.....

    සුවදක් නැති මලකින් මා කොහොමද
    සුවදක් ලැබ ගන්නේ
    සිසිලක් නැති සෙවනක මා කොහොමද
    සිසිල ලබා ගන්නේ
    අදුරක් නැති හදකින් මා කොහොමද
    එළිය ලබා ගන්නේ
    සෙනෙහස නැති හදකින් මා කෙලෙසද
    සැනසුම ලැබ ගන්නේ.......

    වසර ගණන් ඇසුරේ සිටියත්
    හදුනාගම්ද කෙසේ
    අපගෙ සිතුම් පෑහෙනු බැරි වී
    අහසට පොලොව ලෙසේ.....

    නෙතට කදුළු දුන් දසුනක් යළි මා
    නෙත ගැටෙන්නෙ නෑ
    සිත රිදවූ ඒ සිතුවිලි කිසිවක්
    යළි මා සිතන්නෙ නෑ
    හදට වේදනා පැතුම් යළි යළිත්
    මා නම් පතන්නෙ නෑ
    තනිව සිටිමි වෙන් වී දිවි ඇති තෙක්
    මා පෙම් කරන්නෙ නෑ.....

    වසර ගණන් ඇසුරේ සිටියත්
    හදුනාගම්ද කෙසේ
    අපගෙ සිතුම් පෑහෙනු බැරි වී
    අහසට පොලොව ලෙසේ....

    ගායනය: ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය.

    මේ ගීතයේ පදවැල් අතර මගේ කතාව ලියවි තියෙනවා. ලෝකෙ හැමටම පොදු ධර්මතාවය මටත් පොදුයි. සිරා මල්ලි මේ වගේ පෝස්ට් ආයෙ දාන්ඩ.

    ReplyDelete
    Replies
    1. කොහේ හෝ නුඹ නතර වී
      කාට හෝ ජීවිතය දී
      තුටින් නම් මට ඒ ඇතී
      මගේ නොවුනට කම් නැතී
      නුඹ මගේ නොවුනට කම් නැති...

      උන්නු දා අපි අපේ වී නුඹ
      දුන්නු සෙනෙහස අරුමැති
      ලෝභ නෑ හිත අහිමි දා අද
      මමත් දැන් මට හිමි නැති ...

      නුඹ ලඟත් මතකය ඇතී
      නමුදු අප වෙන්වී ඇතී
      එපා රිදවුම් ගන්න දිවියට
      අපිට හිමි ජීවිත ඇතී.....

      කොහේ හෝ නුඹ .....

      ගී පද - ශාමිලා හුසේන්
      සංගීතය - දර්ශන වික්‍රමතුංග
      ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

      Delete
  12. මගේ හොඳම යාලුවෙක් ඉස්කෝලේ කාලේ ඉඳලා කැම්පස් එකෙන් අවුට් වෙනකල්ම කරගෙන ආපු අවුරුදු 8 ක ලව් එකක් නතර කලා වෙන කෙල්ලෙකුට හිත ගිහින්...
    ඒ හිත ගිය කෙල්ල කලේ මගේ යාළුවව කඩේ යවපු එක. එයා මගේ යාළුවට කැමති උනේ නැහැ...
    කලින් යාළුවෙලා හිටපු ළමයත් අපේ ඉස්කෝලේ අපිට පහළ පන්තියේ, කලින් ඉඳලම ඒ දෙන්නගේ අතරමැදියෙක් වශයෙන් හිටපු මට අර ළමයගේ දුක අහන්න සිද්ධ උනා නොසෑහෙන්න...
    අදටත් ඒ නංගි මට කෝල් කරනවා, සැප දුක් අහනවා...
    එයා දැන් වැඩ කරන ඉස්පිරිතාලේදී හම්බ උණු දොස්තර කෙනෙක් මැරී කරගෙන හොඳින් ඉන්නවා...
    ඒ නිසා මේ දුක කියන දේ ආපහු දැනෙන්නේ නැවත මුණගැහුනොත් විතරක් කියලයි මම හිතන්නේ...

    මගෙත් එක්ක යාළුවෙලා හිටපු ගෑණු ළමයෙක් සම්බන්ධ මේ වගේම අත්දැකීමක් මටත් තියෙනවා...
    අපි දෙන්න ඉස්සර එකට ලයිබ්‍රි ගියා, බස් එකේ එකට ගියා, නමුත් කවදාවත් දෙන්නට දෙන්න ආදරේ බව කියාගෙන නැහැ...
    මගේ හිතේ එයා ගැන ආදරයක් ඇති උනා කියල තේරුනේ පස්සේ එයා වෙන කොල්ලෙක් එක්ක යාළු උනා කියන පණිවිඩේ ලැබුනට පස්සේ, නමුත් එයා මට ගොඩක් ආදරේ කරලා තිබුනා...
    පස්සේ කාලෙක ආපහු අපි දෙන්න අතරේ සම්බන්ධයක් ඇතිවෙලා නැතිවෙලා ගියා...
    ඊට පස්සේ අපි දෙන්න කාලයත් සමග එක එක පාත්වල අපේ ගමන ගිහින් වෙන්වෙලා ගියා...
    ඒ අතරේ තියෙන කතා ගත්තොත් පෝස්ට් කීපයක් ලියන්න පුළුවන්...

    මේ කතාවේ වගේම දවසක් එයා එයාගේ මහත්තයා එක්ක මාව හම්බ වෙන්න අපේ ඔෆිස් එක හොයාගෙන ඔෆිස් එකටම ආව. ගෙදරට එන්න කියලත් ආරාධනා ලැබුනා, මම එක දවසක් ගියත් එක්ක...
    දැන් මමයි එයාගේ මහත්තයයි යාළුවො, එක එක බිස්නස් වැඩ වලදී එකට වැඩත් කරනවා...

    ReplyDelete
    Replies
    1. මම දන්නෙ නෑ කොල්ලෙකුට ඒ දේවල් දැනෙන්නෙ කොහොමද කියලා. ඒත් ගැහැණු ගොඩක් ඒ වගේ වෙලාවලට​ අනිත් අයට පේන්න හිනාවෙලා හිතින් දුක්වෙනවා. ගැහැණියෙක්ගෙ හිත කියවන්න තමන්ට පුලුවන් කියලා හිතාගෙන ඉන්න ගොඩක් පිරිමින්ට බෑ. ඉතින් අපි කිසි කරදරයක් නැතිව හිනාවෙලා ඉන්නවා.

      Delete
  13. අපි ආයෙත් හමු නොවුනානම්..
    ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
    යලි ඉපදී මා හද හඬවන්නට
    අපි ආයෙත් හමු නොවුනානම්...

    ඔබ නාදුනනා විරහා වේදනා පෙරදා වින්දේ මා පමණයි..
    හුඟ කලෙකින් හමුවී සෝ ලතැවුල් අදත් විඳින්නේ මා පමණයි

    සමු ගන්නට නම් අහිමි ආදරෙන් ආයෙත් අප ඇයි හමු වන්නේ
    ආදරයේ කඳුලින් මිය යන්නද ජීවිත ඉරණම විස‍ඳෙන්නේ...



    ඔබේ පෙම්වතා අවස්තාවාදි බොරු කාරයෙක්.. ඔබ අකමැති වෙයි මෙහෙම අහන්න ඒත් මට පෙනෙන යථාර්තය ඕකයි...

    සැමියයි දරුවයි එක්ක සතුටින් ඉන්න....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමයි මම අදටත් ඔහුගෙ වැරැද්දක් අහන්න කැමති නෑ. අපි ආයෙත් හමු නොවුනානම්... මටත් සහස් වාරයක් හිතෙනවා.

      Delete
  14. කට්ටියම කියන්න ඕන ටික කියල තියෙනවනෙ. මට හිතෙන්නෙත් ජානක අන්තිමට කියපු දේ එයාගෙ වරදකාරී හිතෙන් ගැලවෙන්න කියපු දෙයක් කියලයි. මොනව උනත් ඔබ වාසනාවන්ත සැමියෙක් ලබල ඉන්නව. සතුටින් ජීවත් වෙන්න. ජය..

    ReplyDelete
    Replies
    1. එයා එහෙමවත් කියුව කියමුකෝ මගේ වරදකාරී හිතෙන් ගැලවෙන්න මම මොනවද කියන්නේ...

      Delete
  15. මහා මෙරක් ලෙස ඔබ ගැන හිතුවෙමි
    වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ...

    මහා සයුර ලෙස මා හිතුවේ
    පෙණ බුබුලක් සේ ඔබ දුටු දේ
    විසල් දෙරණ ලෙස මා දුටු දේ
    පිනි කඳුළක් මෙනි ඔබ හිතුවේ...
    වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ...

    සඳ මඬලක් සේ මා දුටු දේ
    ගිනි පුපුරක් මෙනි ඔබ දුටුවේ
    ජීවිතය ම ලෙස මා පැතු දේ
    එක් මොහොතක් විය ඔබ හමුවේ...
    වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ...

    ගීත සංකල්පනාව : දයා ද අල්විස්
    තනුව සහ සංගීත නිර්මාණය : වික්ටර් රත්නායක
    ගායනය :නිර්මලා රණතුංග

    ReplyDelete
    Replies
    1. අකලට වට මහ වරුසාවක් සේ
      අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
      මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
      ඇයි දෝ යළි ආවේ...

      පෙර දා මෙන් හද මල් පිපුණා දෝ
      සතුටු කඳුළු නුවනග මිදුණා දෝ
      අතීත ආදර නටබුන් අතරේ
      මන්දිර මැව්වා දෝ...

      සොවක් නැතේ නොසිතනු මැන සංකා
      ඔබෙන් ලබනු කුමටද අනුකම්පා
      රජෙකුට හිමි වූ මා දැන් රැජිණකි
      සතුටයි කිරුළ අපේ...

      හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ
      ඔබේ ඇරයුම පිළිගන්න හිතක් නෑ
      විමසන වදනට පිළිතුරු දෙන්නම්
      ළඟක දි ලබන දිනේ...

      ගී සංකල්පනාව: දයා ද අල්විස්
      තනුව සහ සංගීතය: නන්දා මාලිනී
      ගායනය: නිරංජලා සරෝජිනී

      Delete
    2. සින්දු ඇනෝට කොහෙන් ගියත් සින්දුමයි නේද.. දයා මහත්මියගේ මේ සින්දු දෙක නම් කතාවට කියාපු සින්දු දෙක.හොඳටම ගැළපෙනවා.

      Delete
    3. අතීතය සිහිනයක් පමනයි
      සැබෑ සුවඳක් නෑ
      එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියොවක් නෑ//
      තැනූ මන්දිර බිඳී වැ‍ටුනත් නෙතේ කඳුලක් නෑ//
      සිනහා වෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ
      අතීතය සිහිනයක් පමනයි
      සැබෑ සුවඳක් නෑ
      එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියොවක් නෑ//
      සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ//
      ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ
      අතීතය සිහිනයක් පමනයි
      සැබෑ සුවඳක් නෑ
      එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියොවක් නෑ//

      Delete
    4. සින්දු ඇනෝගෙ සින්දු දෙක මමත් කැමතිම ඒවා..දිවුල්ගෙ සින්දුව ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරදෙන පල්ලේගම හේමරතන හිමි ලියපු ගීතයක්... ගීත සියල්ලම මේ කථාව එක්ක කදිමෙට බද්ධ වෙනවා...

      Delete
  16. ඔබ බොහොම වාසනාවන්ත බිරිඳක්.. එදා ඒ වුණ අහිමිවීම හොඳ සැමියෙක් ලැබෙන්න තිබුණු හිමිවීමට මඟ පෑදුවා වෙන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. වාසනාවන්ත බිරිඳක්... අවාසනාවන්ත පෙම්පතියක්.... එහෙම නේද​?

      Delete
  17. ආදරේ ඉස්සරහා කේන්දර වගේ දේවල් හිර කරන් ඉන්නේ ආදරයක් දන්නේ නැති මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. සමහර විට තමන් ආදරරේ කරන කෙනාට ඒකෙන් පොඩි හරි නරකක් වෙයි කියලා හිතුනොත් "මොනව උනත් කමක් නෑ මම අයිතිකර ගන්නව" කියලා හිතන්නෙ නැතිව "මගේ නොවුනත් හොදින් ඉන්නවනම් ඒ ගැන සතුටු වෙනවා" කියලා හිතන්නෙ ගොඩාඩාඩාක් ආදරේ කරය අය වෙන්න බැරිද​?

      Delete
  18. ඔබ ජනකව බැන්දනම් මේ ගත කරන ජීවිතේ වෙනස් වෙන්න තුබුනා. නොලැබෙන දේවල් ගෙන හිතන්නේ නැතුව ඉන්න එක තමයි හොද
    බුදු අම්මේ ඒ කාලේ ෆෝන්වල මිල... දැන් රුපියල් 500කට උනත් ෆෝන් එකක් ගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ජනකව බැන්දනම් කියලා නෙවෙයි ඇයි මම අපේ ආදරේ පරිස්සම් කරගත්තෙ නැත්තෙ කියලා හිතෙනවා...
      ඒ කාලෙ phone එහෙම තමයි එකදාස් නවසිය අනූ ගනන් වල නේ....

      Delete
  19. මට නං හිතෙන්නෙ ජානක මාමගෙ මොත්තෙ කියල. ඔය වගේ දෙයක් මූණ බලාගෙන කියන්න පුළුවං පිරිමියෙක් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. තවම මාමා කියන්නෙ ඉස්කෝලෙ යන පොඩි අය විතරයි හොදේ. 40 වෙන්නත් තව අවුරුද්දක් දෙකක් තියනවා...
      එයානම් මූණ බලාගෙනද වෙන තැනක් බලාගෙන කියුවද නම් දන්නෙ නෑ. ඒත් ඊට පස්සෙ මට නම් එයාගෙ මූණ බලන්න අමාරුයි.

      Delete
    2. මට හිතෙන්නෙ, ජානක ඒ කාලෙ මෝඩ වැඩේ කරල, දැං තේරුං අරගෙන, දැන් ඔයාගෙ පිටිං වරද පටවල මං සුදනා වෙන්න හදනව කියල.

      (සමාන සුඛ දුක්ඛ ඇසුරිනි) ඔයා ඔය මත්තෙ දුක් වෙන එකේ තේරුමක් නෑ. ඔයාට අහිමි වුනේ, ඔයාට තරම් නොවෙන චපලයෙක්. ඒ බව තේරුම් ගන්න. තමුං අවතක්සේරුවට ලක්කරගෙන දුක් විඳින්න ඕනෙ නෑ.

      Delete
    3. එයා විතරක් නෙවෙයි මමත් කලේ මෝඩ වැඩක්. මට එයාව නවත්තන්න තිබුනා. එයා එයා කලදේ ගැන දුක්වෙනව වගේම මම මම නොකල දේ ගැනත් දුක්වෙනවා. කොහොම හරි අන්තිමට උනේ අපිට අපි නැතිවුන එක විතරයි....

      Delete
  20. පුංචි අපිට ඕවා තේරෙනවා අඩුයි එත් අවුරුදු 6 තිබුන එකකට නම් කේන්දර මොකටද

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ මොකට කේන්දර බැලුවද කියලා.

      Delete
  21. ඔය වගේ සිල්ලර කේස් එකකට කෙල්ලෙක් අතාරිනවා නං මම මගේ නෝනා දාල ගිහිං සෑහෙන කල්. පස්සේ ඇවිත් මොනවා කිව්වත් වැඩක්ද? නමුත්, මම ඔබේ හිතට ඔය ටික ඔය විදියට දැනීම ගැන අගය කරනවා.

    ReplyDelete
  22. ඒත් පස්සෙ කියුව ඒ කතාව මගේ හිතේ ලොකු පසුතැවීමක් ඉතිරිකලා.

    ReplyDelete

  23. කෙන්දරේට සෙකන්ඩ් නම් පිරිමියෙක් නෙමේ.

    ReplyDelete
  24. ඒ විශ්වාස නිසා අපිට අපි නැතිවුනා.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...