අයිවරි කෝස්ට් කියන්නෙ සිරි ලංකාවෙ අපි වැඩිය වගතුග නොදන්න බටහිර අප්‍රිකාවේ පිහිටලා තියෙන රටක්. ලයිබීරියාව, ගිණියාව, බුර්කිනා ෆාසෝ, මාලි වගේම ඝාණා කියන රටවලට මායිම් වෙලා පිහිටලා තියෙන, 1960 දි ප්‍රංශයෙන් නිදහස ලබා ගත්ත රටක්, ප්‍රංශ භාෂාව තමන්ගෙ රාජ්‍ය භාෂාව විදියට භාවිතා කරන අයිවරි කෝස්ට් රාජ්‍යයේ ආර්ථිකයෙ වැඩි බරක් දරන්නෙ කෘෂිකාර්මික නිෂ්පාදන. ඒ අතරිනුත් කෝපි සහ කොකෝවා ප්‍රධානයි. 1960 - 1970 දශකය තුල ආර්ථිකය වර්ධනය වෙමින් ඉහළට ආවත් 1980 දශකය තුල රටේ ඇතිවෙච්ච දේශපාලනික අරාජික වීම් එක්ක රට ආපස්සට ගියා. වර්තමානය වන විට තමන්ගෙ මූලික අවශ්‍යතා බොහොම අමාරුවෙන් සම්පූර්ණ කරගන්න වෙහෙසෙන බහුතර දිළිදු ජනතාවක් වෙසෙන රාජ්‍යයක් කිව්වත් වරදක් නෑ. ඒ උනාට ඒ ඇත්තො ලෝක කුසලාන පා පන්දු තරග වලටත් ක්‍රීඩා කරනවා. 2002 දි වගේම 2011 දිත් රටේ බලය අත්පත් කරගන්න වෑයම් කරපු විවිධ පාර්ශව අතර ගැටුම් ඇති උනා, මිනිස්සු සිය ගණනක් මිය ගියා.
රටේ ජාතකේ කෙටියෙන් දෙසනවා නම් අන්න එහෙමයි. අපි ඒ ඉලව් අත ඇරලා මාතෘකාවෙන් කියවෙන කාරණේට බහිමු. කවුද බොලව් චොකලට් ගොවීන් කියන්නෙ...බොලාට ඇතිවුන කුකුස ඔහොමම තියාගෙන අපි ඉතිරියත් දැනගෙන හිටිමු.
චොකලට් හදන්න ප්‍රධාන අමුද්‍රව්‍ය විදියට යොදාගන්නෙ කොකෝවා ඇට කියලා අද කාලෙ සිස්සත්ව පන්තියෙ කොලුවත් දන්නවා. ඒ වගේම ආදරයේ ආහාරය කියලත් චොකලට් වලට තවත් නමක් පටබැදිලා සෑහෙන දොහක්. ඒ හැබෑටම මක්කෙයි. ලව් කොරන කාලෙ ඉතිං අපේ කොල්ලො කෙල්ලො තුන් වේලටම උනත් චොකලට් ගිලින්න තියෙන ආශාව,ලැදිකම, පෙරේතකම හින්දම වෙන්න ඇති ඒ වගේ නමකුත් මේ කියන චොකලට් වලටම පටබැදිලා තියෙන්නෙ. තමන්ගෙ ආදර වන්තයට ලං වෙලා හොටු සූර සූර ආදර බස් තෙපලන....එහෙමත් නැත්තං තමන්ගෙ ආදර වන්තිය දැක බලාගෙන, කොත්තු කන ගමන් තොත්තුවක් එහෙම දීලා, කුඩේ යටට මුවා වෙලා චොකලට් පෙත්තක් රස බලන ආදරවන්තයො චොකලට් පිටිපස්සෙ ඉන්න මේ අහිංසක මිනිසුන් ගැන නම් කවදාවත් අහලා නැති බව ඉන්තේරුවෙන්ම මම දන්නවා.
ලෝකයට කොකෝවා නිපදවන රටවල් අතරින් ඉදිරියෙන්ම ඉන්න රට තමයි බටහිර අප්‍රිකාවෙ පිහිටලා තියෙන මේ අයිවරි කෝස්ට් රාජ්ජෙ. අවුරුද්දකට දළ වශයෙන් ඒ ඇත්තො මෙට්‍රික් ටොන් මිලියන 1.6 පමණ වේලපු කොකෝවා ඇට චොකලට් හදන්න වෙනත් රටවලට පටවනවා.
ඒ උනාට කරුමෙ කියන්නෙ මෙච්චර මහන්සි වෙලා අපිට චොකලට් පෙත්තක රහ බලන්න දහදිය වගුරවන මිනිස්සු කිසි දවසක චොකලට් කනවා තියා ඇහැටවත් දැකලා නෑ කිව්වොත් බොලා කිසි ලෙසකින් විශ්වාස කරන එකක් නෑ. මෙච්චර තාක්ෂණය දියුණු ලෝකයක අපි හිටියත් මම මේ කිව්ව කාරණේ සත්තම සත්තයි ගොයියො.
ඉතිං මේ අහිංසක මිනිස්සුන්ට චොකලට් පෙත්තක රස බලන්න දීලා ඒවා නිපදවන්න ඔය ඇත්තොත් දායක උනා කියලා කියලා දෙන්න විශේෂ නියෝජිතයෙක් මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ අයිවරි කෝස්ට් දේශයේ කොකෝවා ගොවීන් පිරිසක් හමුවෙන්න ගියා. ඔහු නෙදර්ලන්ත රූපවාහිනී සේවයක් වන metropolis වෙත අයිවරි කෝස්ට් දේශයේ සිට වාර්තා සපයන කෙනෙක්. එදිනෙදා ජන ජීවිතයේ බහුතර ඇසට නොපෙනෙන විශේෂ සිදුවීම් රූපයට නගා බොහෝ පිරිසක් වෙත සන්නිවේදනය කරන කණ්ඩායමක් ලෙසයි metropolis අන්තර්ජාලය තුල ජනප්‍රියව තිබෙන්නේ.
ඉතිං බොලව් දැන් අපේ විශේෂ නියෝජිතයා කලිසම් සාක්කුවෙ සගවා ගත්ත විශාල ප්‍රමාණයේ චොකලට් කීපයක්ම සමග මේ අය බැහැ දකින්න ඒ අයගේ වාසස්ථාන කරා යනවා. මැටි වලින් හදපු වරිච්චි බිත්ති සහිත නිවාස ඉදිරියේ මේ ඇත්තො තමන්ගෙ ආර්ථික වටපිටාව මේ යැයි නොකියා කියමින් වාඩිවෙලා ඉන්නවා. අපි ඉස්සරහා දැන් ඉන්න ගොවි රාළගෙ නම Alfonse. ඔහු ඉඩම් හිමි වැවිලි කරුවෙක්.
![]() |
| metropolis විශේෂ නියෝජිතයා සමග Alfonse |
හැබෑටම ගොයියො මේ ඇට වලින් මොනවද හදනවා ඇත්තෙ. තියෙන ඇටයක් පරිස්සම් කරගෙන ඉන්නෙ නැතුව අපේ නියෝජිත ගොයියා Alfonse වේලන්න අට්ටාලෙ උඩට අත ඇරලා තියෙන ඇට පෙන්නලා අහනවා.
ඇත්තමයි...මම මේ අවංකෙන්මයි කියන්නෙ. මම නං දන්නෙ නෑ මේ ඇට වලින් මොනවා හදනවද කියලා, මට ජීවත් වෙන්න ආදායමක් ලැබෙන හින්දයි මම කොකෝවා වවන්නෙ. හැබැයි මේවා ගන්න අය නම් මේවායින් රස කෑම හදනවා කියලා අහලා තියෙනවා. ඒ උනාට ඒවා මම කවදාවත්ම දැකලා නෑ. ඒ කථාව ඇත්තක්ද කියලා මම දන්නෙත් නෑ. මොනවා උනත් Alfonse ඇත්තම කිව්වා.
ඔන්න බලහල්ලකො ඉතිං...කොකෝවා වවන ගොයියා දන්නෙ නෑ තමන් වවන කොකෝවා ඇටේට වෙන සන්තෑසිය. මේක පුදුම ලෝකයක් කියලා හිතෙන්නෙ ඔය වෙලාවට තමයි.
මම ඔයාව පුදුම කරන්නයි යන්නෙ. මගේ සාක්කුවෙ තියෙනවා චොකලට් එකක්. මේක හදලා තියෙන්නෙ ඔයා ඔය වේලෙන්න දාලා තියෙනවා වගේ කොකෝවා ඇට පාවිච්චි කරලා.
හැබෑට...එතකොට ඕකට කියන්නෙ චොකලට් කියලද ? ගෙදරට ආපු අමුත්තගෙ කථාව අහලා Alfonse ගොයියා එහෙම ඇහුවෙ හිතට දැනුන කුතුහලය බලහත්කාර කමෙන් නතර කරමින් වෙන්ට ඕනෙ.
ඔයාට මම කෑල්ලක් රහ බලන්න දෙන්නම් ආ...ලැජ්ජ වෙන්න එපා ගන්න. රූපවාහිනී ගොයියා Alfonse වෙත චොකලට්ටුවක් දික් කලා.
චොකලට් කෑල්ලක් කඩා ගන්න අපේ කොකෝවා ගොවියා එක පාරටම ඒක කටට අතඅරින්නෙ හරියට පන්සලේ පිං කැටයට කාසියක් අත ඇරියා වගේ. චොකලට් රස බලන්න තියෙන හදිස්සිය හින්දම වෙන්ටැ.
කොහොමද රහද...
ම්ම්ම්ම්ම්ම්.....හරිම රහයි. මම දැනගෙන උන්නෙ නෑනෙ බොලේ කොකෝවා මෙච්චර රහයි කියලා.
ඉතිං ඔයා කැමතිද චොකලට් වලට ?
නියමයි.
Alfonse ගොයියො....මේ හැබෑවටම චොකලට් කාපු පළවෙනි දවසද ? මාධ්‍ය නියෝජිත තැන තමන්ම අහලා සැකය දුරුකරගන්නද කොහෙද හිතලා එහෙම ප්‍රශනයක් ඇහුවා.
මොනවා කියනවද...මම කලින් කාලම නෑ. එහෙම කියලා ප්‍රීතියෙන් පිනා ගිය Alfonse තමන්ට ලැබුන චොකලට් එකත් කලිසං සාක්කුවේ ඔබාගෙන මිදුලෙ නවත්තලා තිබුන යකඩ අස්පයගෙ පිටට නැග්ගෙ හරිම උජාරුවෙන්. මෙච්චර කල් කොකෝවා ඇට අව්වෙ දාලා වේලුවට ඉතිං චොකලට් එකක රහ බැලුවෙ අද නොවැ. තමන් ලබපු මේ අත්දැකීම ගැන තමන් වේලන කොකෝවා ඇට විකුණලා දෙන බ්‍රෝකර්ට වගේම මිත්තරයන්ටත් කියනකං මිනිහට ඉස්පාසුවක් නැතුවා වාගෙයි. ඒකෙ ඉතිං පුදුම වෙන්න දේකුත් නෑ. අවුරුදු ගානක් කොකෝවා එක්කම ගැටුනට කවදාවත් අහලා තිබුන කථාවක්ද ? කවදාවත් විදලා තිබුන රසයක්ද ? Alfonse දැන් හිතන්නෙ මේ රස තමන්ගෙ මිත්තරයොත් විදින්න ඕනෙමයි කියලා.
යකඩ අස්පයා ගමේ කැළෑ මාර්ග ඔස්සේ මද වේලාවක් ධාවනය වෙලා මිත්තරයො ඉන්න ඉසව්වට ලගා උනා. එතැන කීප දෙනෙක්ම ඉන්නවා. හරියටම කියනවා නම් බොලං පුංචි පහේ සභාවක් රැස් වෙලා ගානයි.
චොකලට් එකේ රහ දැන් දන්න නිසා Alfonse වීරයා වගේ තමන්ගෙ මිත්තරයො අමතනවා.
අපේ මේ අමුත්තා බොහොම වටින තෑග්ගක් ගෙනල්ලා. අපි වේලන කොකෝවා ඇට පාවිච්චි කරලා තමයි සුද්දො මේක හදලා තියෙන්නෙ.
කෝ දෙන්න බලන්න...යාලුවො සැට් එක අතින් අතට චොකලට්ටුව යනවා.
ටිකක් තදයි නේද ? එක ගොයියෙක් එහෙම අහනවා.
සභාව මැද්දෙ පුංචි රවුමක් ගිය චොකලට්ටුව ගමට ආව අමුත්තගෙ අතේ නතර උනා.
මේකෙ කොටු ලකුණු කරලා තියෙන්නෙ. මෙන්න මෙහෙම කොටුවක් කඩලා අරගන්න පුලුවන්.
ආ... රහ බලන්න.
ම්ම්ම්ම්ම්ම්ම්.... Alfonse ගෙ මිත්‍රයෙකුටත් ජීවිතේ පළමු වරට විදින චොකලට් රසයෙන් රස නහර පිනා ගිහින් වගේ.
එතැනින් පස්සෙ ඔන්න දැන් යාලුවො හැමෝම චොකලට් රහ බලන්න පටන් ගන්නවා.
චොකලට් හින්දා තමයි සුදු මිනිස්සු බොහොම සනීපෙට ඉන්නවා ඇත්තෙ.
Alfonse එහෙම කියන අහිංසක විලාශය දැක්කම හිතට දුකයි. මේ මිනිස්සු කොකෝවා අැට ටික සුද්දට දෙන්න මොන තරම් නම් අව්වෙ පිච්චෙනවද, වැස්සට තෙමෙනවද ? කොටින්ම කොච්චර අහිංසක චරිතද.....මේක ලියාන යද්දි මටත් ප්‍රශ්න ගොඩායි. මේ අයගෙ වාස භූමි වලින් කාලෙකට කලින් බටහිර ජාතිකයො සාරය උරාගෙන තමන්ගෙ රටවලට අරගෙන ගියා. ඒ රටවල් දියුණු උනා. පසුකාලීනව මේ රටවල් පාලනය කල ස්වදේශික නායකයො ඉතිරිවෙලා තිබ්බ දේවල් හොරා කෑවා. අනිතිමේදි Alfonse වගේ ස්වදේශික චරිත දරිද්‍රතාවෙ පතුලට තල්ලු උනා. ඒ මොනවා උනත් මේ මිනිස්සු තමන්ට ලැබිලා තියෙන සීමිත සම්පත් එක්ක සතුටින් ජීවත් වෙන විදිය දැක්කම නම් අපේ හිත් වලටත් සතුටක් දැනෙනවා. සතුට කියන්නෙ ධනය, සම්පත් පමණක්ම නෙමෙයි කියලා පසක් වෙනවා.
මේ...මේවට මොකක්ද කිව්ව නම....යාලුවෙක්ට චොකලට් වලට කියන නම අමතක වෙලා ඒක රහ බැලුවට පස්සෙ.
රූපවාහිනී කණ්ඩායම කියන විදියට මෙච්චර කොකෝවා වවන අයිවරි කෝස්ට් දේශයේ චොකලට් මිළදී ගන්න තියෙන්නෙ ඉතාම කළාතුරකින්ලු. ඒ වගේම ඉතාම මිළ අධිකයි. චොකලට් පොල්ලක් යුරෝ 5 කට මිළ නියම වෙද්දි Alfonse ගෙ දවසක ආදායම වෙන්නෙ යුරෝ 7 යි. ඒ ලැබෙන මුදලින් එයා පවුලෙ සාමාජිකයන් 15 දෙනෙක් වගේම තමන් යටතේ සේවය කරන කම්කරුවන් 4 දෙනාවත් රැක බලාගන්න ඕනෙ. පේනවනෙ ඒ අැත්තො ජීවත් වෙන්නෙ මොන තරම් නම් කම්කටොළු විදිමින්ද කියලා.
කථාවෙන් කථාවෙන් රූපවාහිනී නඩේ Alfonse ගෙ කම්කරුවොත් එක්කම ඔහුගෙ කොකෝවා වගාවට පිවිසිලා. කොකෝවා ඵලදාව නෙලලා ඒවායෙ මද එළියට ගන්න වටපිටාවක තමයි අපි දැන් ඉන්නෙ.
මේක හරිම ලස්සන පළතුරක්...මේකෙ ඇතුලෙ තියෙන ඇට තමයි ගොඩාක් වටින්නෙ. කම්කරුවෙක් කොකෝවා ගැන තමන්ගෙ දැනුම ඒ විදියටයි පෙන්නුවෙ.
ඇට අයින් කලාට පස්සෙ මේ ගෙඩියෙන් අපිට වැඩක් නෑ. තවත් කෙනෙක් කොකෝවා ගෙඩියට පොල්ලකින් තඩි බාමින් ඇට ඉවත් කරමින්ම කථා කරනවා. තමන්ව කැමරාවට නගන හින්දමද කොහෙද සැට් එක කඩි වාගෙ වැඩ.
තමන්ගෙ සේවකයො කොකෝවා ගෙඩි වලින් එළියට ඇද්ද ඇට එකතු කරලා Alfonse කෙහෙල් කොළ වලින් ආවරණය කලා. ඒවා පැසීම ඉක්මන් කොරන්නයි කියන්නෙ එහෙම කරන්නෙ. දවස් 5 ක්ම යනවලු ඇට වේලෙන්න. ඒ විදියට බලද්දි හැම චොකලට් එකකම ආරම්භය පටන් ගන්නෙ කෙහෙල් කොළ යට ගොඩ ගහපු මේ විදියෙ කොකෝවා ඇට ගොඩක් එක්ක.
ගමේ අනෙක් අය වගේම තමයි. Alfonse ගෙ සේවකයොත් මේ කොකෝවා ඇට වලට අවසානයේ කරන්නෙ මොකක්ද කියලා මෙලෝ සංසාරයක් දන්නෙ නෑ. ගමට ආව ආගන්තුකයා හෙවත් අපේ විශේෂ නියෝජිතයා සුපුරුදු ප්‍රශ්නය ඵලදාව නෙලන තැන හිටිය කීප දෙනෙකුගෙන්ම ඇහුවා.
අපි මේවා වැව්වට මේවායින් මොනවා කරනවද කියලා නම් අපි දන්නෙ නෑ. අපේ දෙමාපියො කියලා තිබ්බෙ මේ ඇට වලින් වයින් හදනවා කියලා. ඒ ඇත්තො එහෙම කිව්වා.
Alfonse තමන්ට ආගන්තුකයගෙන් ලැබිලා යාලුවන්ටත් රස බලන්න දීලා භාගයක් අහවර වෙච්ච චොකලට්ටුව කලිසම් සාක්කුවෙන් එළියට ඇද්දා.
ඔහු දන්නවා දැන් චොකලට් කියන්නෙ මොනවද කියලා. ඒ හින්දා තමන්ගෙ සේවකයන්ට ඒ ගැන කියාදෙන්න ඔහු සමර්ථයෙකු වෙලා.
අපි මේ වේලෙන ඇට වලින්ලු මේ චොකලට් හදන්නෙ. සුදු මිනිස්සු මේවා කන්න ඇබ්බැහි වෙලාලු ඉන්නෙ.
චොකලට් එක දැක්කා විතරයි සේවකයො ඒකෙ රහ බලන්න පොර කනවා.
මම තමයි මෙතන වැඩිමලා. ඉස්සෙල්ලාම මම රහ බලනකං ඉන්න..කෙනෙක් එහෙම කිව්වා.
අපේ ඇට වලින් මේවා හදනවා කියලා 100% ෂුවර්ද ? තව කෙනෙක් එහෙම ඇහුවා.
අපේ කොකෝවා ඇට වලින් වයින් හදනවා කියලා අපි අහලා තිබුනට මෙහෙම දේවල් හදනවා කියලා අපි අහලම නෑනෙ...තව කෙනෙක් එහෙමත් කිව්වා.
හැබෑට කොහොමද මේවායෙන් චොකලට් හදන්නෙ. ආගන්තුකයගෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවෙ එතන හිටිය කෙනෙක්.
මේ ඇට වේලලා විශාලා කර්මාන්තශාලා වල රෝස්ට් කරනවා..ඊට පස්සෙ ඒවායෙන් කොකෝවා පවුඩර් වගේම බටර් හදනවා...අන්න ඒකට කිරි සහ සීනි එකතු කරලා තමයි මේවා හදන්නෙ.
මාරයි.....
ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම චොකලට් රස බැලුව කොකෝවා නෙලන්නෙක් ඒ රසයෙන් ඔකද වෙලා.
අපිට දැනගන්න ඕනෙ ඔයාගෙ හම අපිට වඩා සුදු මොකද කියලා. ඔයා නිතරම චොකලට් කාපු නිසාද ?
ඒ ප්‍රශ්නය ඇහුනා විතරයි ගමට චොකලට් අරගෙන ඇවිල්ලා අපිට මේ කථාව කියන ආගන්තුකයට හිනාවක් පැන්නා.
නෑ නෑ චොකලට් නිසා නෙමෙයි මගේ හම සුදු වෙලා තියෙන්නෙ.
ඇත්තද....අපි හිතුවෙ චොකලට් කාලා සුදුවෙලා කියලා. අසරණ කම්කරුවො එහෙම කිව්වා. අපි දන්නවා කොකෝවා වවන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා. අද අපි ඒවයෙ ප්‍රතිඵලත් දැක්කා. චොකලට් රහ බලන්න ලැබීම මොන තරම් චෑන්ස් එකක්ද හැබෑටම. ඒ අයගෙ සතුට දෝරෙ ගලා ගිහින්...මේ පුංචි චොකලට් පෙත්තක් නිසා.
හැමෝම වටවෙලා වැඩේ දීලා චොකලට් දවටනය පමණක් ඉතිරි වෙලා.
මම මේක මගේ ළමයින්ට පෙන්නන්නයි යන්නෙ....දවටනේ දෙකට තුනට නමලා සාක්කුවේ දමාගද්දි ආගන්තුකයා තමන්ගෙ කලිසම් සාක්කුවෙන් තවත් චොකලට්ටුවක් මවලා ගත්තා.
ඒක දැකලා කොකෝවා නඩේට හරිම සතුටුයි...
කම්කරුවන්ට ජය වේවා ! ඒ ඇත්තො සතුට වැඩි කමට එහෙමත් කෑ ගැහුවා.
බොලා කැමතිද මේ සිදුවීම් පෙළ සහ මේ චරිත හැබෑවටම දකින්න ? මේක හරියට සුරංගනා කථාවක් වගෙත් ඔබට දැනෙන් ඇති.
මෙච්චර වෙලා මම කිව්වෙ යූ බටේ තිබිලා අහම්බෙන් දැක්ක වීඩියෝවක තිබුන කථාවක්. මේ වෙද්දි මිලියන තුන හමාරකට අධික ජනතාවක් මේ වීඩියෝව නරඹා අවසන්. ඔන්න ඔබටත් ඒ ගොඩට එකතු වෙන්න හොද චෑන්ස් එකක් සිරා කොලුවා අරගෙන ඇවිල්ලා තියෙනවා.
බයිට් ගැන නොසිතා ඒ දර්ශන ඔබේ නෙත් වලින්ම දැක ගත්තොත් මේ සටහන සම්පූර්ණ වේවි. බලන්න මේ අහිංසකයො පොඩි ළමයි වගේ ආශාවෙන් ජීවිතේ පළවෙනි වතාවට චොකලට් රස විදින අපූරුව. මා යලි යලිත් කියන්නේ සතුට යනු මිළ මුදල් හා සම්පත් නොවන බවයි. පුංචි චොකලට් පෙත්තකින් සතුටුවෙන මේ මිනිසුන් එය අපට පසක් කරනවා නොවේද ?
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
Metropolis නාලිකාවේ අඩවියට පිවිසීම මෙතැනින්
අයිවරි කෝස්ට් රාජ්‍ය පිළිබද තොරතුරු විකිපීඩියා අඩවියෙනි.
අයිවරි කෝස්ට් රාජ්‍ය පිළිබද තොරතුරු විකිපීඩියා අඩවියෙනි.

























































