Thursday, July 31, 2014

46 මං නුඹෙ දෝණී

මවුබිමෙන් බැහැරව රැකියාව කරන අසංක ශ්‍රී ලාල් සහෘදයා කලක පටන්ම සිරාගේ කාමරයට යන එන හිතවතෙකි. මාසයේ අවසාන ලිපිය හෙවත් හත්වෙනි ලිපිය වෙනුවෙන් මෙවර ඉඩ කඩ වෙන්වනුයේ ඔහු විසින් නිර්මාණය කර එවන ලද පද්‍ය නිර්මාණ එකතුවක් වෙතටයි. මෙයට පෙර සිරාගෙ කාමරය තුල කාව්‍ය නිර්මාණ පලවී නැති හෙයින්ම මෙය නැවුම් වෙනසක් වනු ඇත.

මෙහි සටහන් වන අවසාන මාතෘකාව අරභයා ඔබේ අදහස් මුසු කර අසංක නැවතූ තැන සිට ඉදිරියට පද ගොතන මෙන් ඔහු මේ සටහන කියවන ඔබෙන් ඉල්ලා සිටියි. ඔබේ වටිනා කාලයෙන් මදක් වැය කර ඒ කාරිය කරන්නට හැකි නම් ඔහුගේ උත්සාහය තව තවත් අලංකාර වනු ඇතැයි මට සිතෙයි.

අහෝ


නියංසායට හසුව වියැකුණ
අරලියා මල් සුවද කෝ අද
ලොවේ නන් දෙස බැලූ බැලූ අත
රජ කරයි හිනැහීහී මල් වද

නොනිමි සුව දී දසත පැතිරුණ
කොහේ සැගවුනි සුමුදු මද නල
දනන් ගත සිත භියෙන් තෙත් කර
හමා යයි රුදු චණ්ඩ සුළි පෙළ

අමා සරයෙන් සවන් මත් කල
කොහේ පාවුනි විහග බිගු නද
වපුරමින් කිළි පවිටු බස් නෙක
ලොවේ රැව් දේ කපුටු ගොර නද

ගිජිදාන


තෙදැති බලැති විකුමැති වන ගිජිදාන
කොහේ රජ කරනු උඹ දැන් නිරිදාන
උඹට හිමි වනෙත් සමුලින් උදුරාන
උඹේ සනුහරෙත් උන් දැන් වනසාන

යදම් කරවට හා දෙපාතර
පටලවා උඹ හිර කරන්
බුදුන් ධාතුන් වඩම්මයි උඹෙ
පිට තැබූ රන් කරඩුවෙන්
උඹේ පිට මත කරඩුවෙන්

උඹේ පැටවුන් උදුරගෙන උන්
ශිල්පයට හුරු කර බලෙන්
උන්ගෙ පැටවුන් ඇසට පෙන්වා
පිනා යයි උන් සන්තොසින්
උන්ගෙ පැටවුන් සන්තොසින්

හිතක් පපුවක් නොමැති උන් අද
වැනසුවත් උඹ අවි බලෙන්
උන්ට දවසක් ඒවි උඹ නැති
අඩුව දැනෙනා සහතිකෙන්
ඒවි දවසක් සහතිකෙන්

අසරණ මල් කැකුළු


වා සිදුරෙන් වැටෙන දියට
තියලා හැලි වළං මුට්ටි
ඒ වතුරෙන් සෝද හරිමු
නෙතින් පනින් කදුළු කුට්ටි

එපා මල්ලි හිනැහෙන්නට
අමතක කර උඹෙ කුසගිනි
එදකින විට උඹ දන්නෑ
හදේ නැගෙන සෝ දුක් ගිණි

චූටි නංගි කිරි ඉල්ලා
අඩන විටදි මගෙ අම්මේ
කිරි එරෙන්නෙ නැත්තේ ඇයි
කියලා පලයන් අම්මේ

අකුරට යන්නට ආසයි
පොත් මිට තුරුලෙන් අල්ලා
ඒත් කෝම මං යන්නද
පැටව් දෙන්නා තනි කරලා

සෙනෙහස් ඔරුවේ යන්නට
හබල් දෙකම අපට නැතේ
අපෙ ජීවන ගංගාවම
උණු කදුලින් පිරී ඇතේ

නික්ම ගියත් උඹ රහසෙම
නෑ තරහක් අපෙ අම්මේ
හීනෙන්වත් ලගට ඇවිත්
හිස අතගාපන් අම්මේ

තාත්තා


හුණු බදාමෙ ඩා කදුලින් දිය                     කරලා
ගඩොලින් ගඩොල බැද අපෙ ලොව   ගොඩනගලා
පිරුවා නේද කුස අපෙ නිති                වෙහෙසීලා
අපටත් හොරා කුසගින්නේ ඔබ                  ඉදලා

වස්තුව ධනය කිසිවිට නෑ             ගොඩගැසුවේ
ඇදිවත කඩමල්ල ගැනවත් නෑ              තැකුවේ
අපේ දියුණුව නේද තුන් තිස් පෑ              හිතුවේ
ඒ දෙස බලා ලොව්තුරු සුව ඔබ            ලැබුවේ

ඔබ ළග තිබෙන උත්තම මනුසත්             ගුණය
මහ බෝ සතුන්ගේ ගුණ කදටත්             වැඩිය
පියතුම ඔබට සම වෙනකෙක් ලොව       නැතිය
මතු මතු භවෙත් ඔබ අපෙ පිය විය           යුතුය


නුඹ පමණයි


ආදර කුසුමන් හද විකසිත වී
පුද දෙනු නොහැකිව හිත ලතැවුන දා
ඇයට හොරා නෙතු තුල හැංගීලා
නුඹ පමණයි මා සමගින් සිටියේ

ආදර කුසුමන් දෝතින් අරගෙන
හසරැල් වපුරා ඇය ළං වූදා
මටත් හොරා නෙතු ලග දැල්වීලා
නුඹ පමණයි මා සමගින් සිටියේ

ආදර කුසුමන් තලා පෙලාදා
පෙම් ලොව ඈ මා මුලා කෙරුවදා
ලොවට හොරා නෙතගින් වැගිරීලා
නුඹ පමණයි මා සමගින් සිටියේ

කඳුලේ....


බලනු මා දෙස


මෙවන් දසුනක් මගේ දෙනෙතට
කිසි ලෙසකවත් රුවා ගන්නට
නොමැත මා පැතුවේ
මගේ ආදර අම්මේ

මියුරු සරයෙන් මා ඇමතූ ඔබ
කිමද අද මේ නිහඩ ස්වරයෙන්
බලා ඉන්නේ මගේ දෙසවන්
හමුවෙනා තුරු ඔබේ වදනක්

නුවන් එළියෙන් මගේ දිවි මග
එකලු කෙරූයේ ඔබමැ පමණයි
විවර කර ඔය නෙතු පියන්පත්
බලනු මා දෙස එක වරක්වත්


ඔබ ඇත්නම්


සිසිවත කුමට ඔබෙ වත මට        පෙනේනම්
නිල්මිණි කුමට ඔබෙ නෙත්මිණි      දිලේනම්
මල්ගොමු කුමට ඔබෙ හසරැලි         පිපේනම්
දියරැලි කුමට ඔබෙ කෙහෙරැලි      සැලේනම්

නා දළු කුමට ඔබෙ තොල් පෙති     නැටේනම්
වෙණ නද කුමට ඔබෙ කට හඩ     ඇසේ නම්
පවනැල් කුමට ඔබෙ සුසුමන්         දැනේනම්
මුලු ලොව කුමට ඔබ මා ලග              හිදීනම්


දෝණියේ


කහට දම් පැහැ පුංචි ගවුමේ
හැඩ බලන මගෙ දෝණියේ
රැලි විදාලා දෑත් නටවා
සිනාසෙන මගෙ දෝණියේ

පුස් කැවුණු පොත් මිටිය තුරුලේ
තියා හිනැහෙන දෝණියේ
කැඩුනු පැන්සල උඹේ සුරතට
රළු නැතිද මගෙ දෝණියේ

උඹට උඹ ගැන දුකක් නැතිදැයි
කියාපන් සුදු දෝණියේ
නෙතට උනනා කදුළු බිදු මට
බර වැඩියි මගෙ දෝණියේ

නැණ පහන්සිළු දල්වලා උඹෙ
අදුර ඉරපන් දෝණියේ
අපිට හිමිනැති සොදුරු ලෝකෙට
පිය නගාපන් දෝණියේ

බිඳුන පැතුම

පැතුවේ නෑ මහ සයුරක්
පැතුවෙ පුංචි දිය දහරක්..
සිහින බිඳී දුටු මෙතුවක්
ලැබුණේ මහ වැලි කතරක්...

පැතුවේ නෑ මල් ගොමුවක්
පැතුවෙ එකම පිපි කුසුමක්..
පුරවා හද තුළ සුසුමක්
ලැබුණේ කටු පිරි ඉත්තක්

පැතුවේ නෑ තරු පොකුරක්
පැතුවෙ එකම තනි තරුවක්..
මුහු කොට නෙතගට කඳුලක්
ලැබුණේ අවපස අහසක්...

පැතුවේ නෑ මිණි කිරණක්
පැතුවෙ ළහිරු අරුණැල්ලක්..
ගෙන දී දිවියට අඳුරක්.
ලැබුණේ මහ ඝන කලුවක්.
මම නුඹේ දෝණි


හසරැල් මැකුණු වත කමලෙනි           සඳ රැජිණී
දුක දැනිලාද හඬලන්නේ                  උල  ලේනී
පෙනුනේ නැතිද බොඳ වූ මා නෙත්        කෙවිණී
අමතකද වීද නුඹෙ හුරතල්                  සුදු දෝණී

උඳුපිය ගොල්ල නිදිබරිතව                  මැලවීලා
ඔබ මා දෙපා සටහන් නැත එහි               රැඳිලා
ගෙයි පිල මත මැවුණු රස බස්           ගොලු වීලා
පාලුව නිබඳ ඇත එහි දැන්                  රජ වීලා

අම්මා අප අතැර ගිය දවසේ                      සිටම
නිබඳව ලදිමි නුඹ දුන් සෙනෙහසෙ           මහිම
අලුතින් මවක් ගෙදරට ආ                     දවසේම
උදුරා දැමුවේද නුඹෙ මුලු               සෙනෙහසම

.....................................................................
.....................................................................
.....................................................................
.....................................................................

මාසයේ අවසාන ලිපිය වෙනුවෙන් සිරාගේ කාමරයට ලියා එව්වේ,
අසංක ශ්‍රී ලාල්


ප.ලි

එක් එක් පද්‍ය රචනාවන් වෙනුවෙන් ඡායාරූප තෝරා එවන ලද්දේද අසංක විසිනි

46 comments:

  1. අසංක ශ්‍රී ලාල්ගේ කවි පබැඳීමේ හැකියාව ගැන නම් කියලා වැඩක් නෑ. කවි වලට එච්චර කැමති නැති මටත් එහෙම හිතෙනවා නම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබගේ අගය කිරීමට Henry. ජයශ්‍රී!

      Delete
  2. ගද්‍ය ද පද්‍ය ද

    ReplyDelete
    Replies
    1. සිරාගෙ අතින් සිදුව තිබෙන පොඩි මිස්ටේක්කුවක්.. ඔහු එය නිවැරදි කරාවි. :)

      Delete
    2. ස්තූතියි ඇනෝ මිත්‍රයා....වරද නිවැරදි කලා.

      Delete
  3. ලස්සන කවි ටිකක්.. මගේ හිත වැඩියෙනම් ගියේ ගජිදාන එකටයි, බිදුන පැතුමටයි.. අසංකට සුබ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Dinesh. මමත් පුද්ගලිකව වැඩියෙන් කැමති 'ගිජිඳාන' කවි පෙළට. ඒක යටින් තිබෙන කතන්දරේ හරිම සංවේදීයි. ඒ සංවේදීතාවයම තමා ඒ කවි පෙළ ලියවෙන්න පෙලඹවූයෙ. මට මතකයි මීට පෙර සිරා අතිනුත් ලිපියක් ලියවිලා තිබුණා මේ මාතෘකාව ගැන. තායිලන්ත අලි ඇතුන් ලක්ව ඇති ඉරණම පහත වාර්තාමය වැඩසටහනෙන් බලාගන්න පුලුවන්. (30 මිනිත්තුවේ සිට තිබෙන දර්ශන ඔබේ නෙතටත් කඳුලු බිඳුවක් එක් කරනු නොඅනුමානයි.)

      http://www.youtube.com/watch?v=vy0H37xD3E8

      ඔබටත් ජයශ්‍රී!

      Delete
  4. කවි සේරම කියෙව්වා.. අසරණ මල් කැකුළු කියන එකට තමයි මමනම් කැමතිම...

    අන්තිම කවියට පුළුවන් විදියට හිස්තැන් පිරෙව්වොත්;

    නෑ තව කඳුළු නොහඬා ඉන්නට පුළුවන්
    රෑ උණුහුම නැතිව ඉන්නට වෙර ගන්නම්
    නැලවිළි ගී එපා තනියම නිදියන්නම්
    හීනෙන් අම්මාව දැකගෙන සැනසෙන්නම්

    ReplyDelete
    Replies
    1. ඔබ දැක තිබුණාද දන්නේ නෑ කලකට ඉහත පුවත්පතක පළ වූ ලිපියක්, දෙමාපියන් නැති කුඩා දියණියක් තම බාල සහෝදර දෙපලත් බලාකියා ගන්නා අන්දම සම්බන්ධව. ඒ දැක ඇති වූ සංවේදීතාවය වෙනුවෙන් තමයි 'අසරණ මල් කැකුළු' කවි පෙළ ලියවුණේ. සංවේදී වූ පමණින්, කවියක් ලියවුණු පමණින් ඔවුන්ට ලැබෙන සෙතක් නැති බව ඇත්ත, ඒත් මං විශ්වාස කරනවා ලැබුණු මාධ්‍ය ප්‍රචාරයත් සමඟ ඔවුන්ට උදව් කිරීමට විශාල පිරිසක් එකතු වන්නට ඇතියි කියා.

      කොහොම උනත්, සිරාගේ කාමරයට වටා එකතුව සිටින හැමෝම මෑතකදී සිදු කළ සත් ක්‍රියාව සම්බන්ධව අමුතුවෙන් කිව යුතු නෑ. ඒ සම්බන්ධ අලුත්ම තත්වය ගැන අප හැමෝම දැනුවත් කරන ලෙස සිරාගෙන් ඉල්ලන්න කැමතියි.

      Beetle, ඔබේ කවිය ලස්සනයි. කවි ටිකක් එකතු වූ පසු, වඩාත් ගැළපෙන අයුරින් සකස් කර අපි අර කවි පෙලට ඒවා එක් කරමු. ජයශ්‍රී!

      Delete
  5. ගද්‍ය නිර්මාණ යන්න පද්‍ය නිර්මාණ යනුවෙන් වෙනස් කරන ලෙස ඉල්ලනවා. මේ නිර්මාණ සියල්ල එකවර පළ නොකර, වරින්වර පලකලානම් වඩාත් හොඳයි කියා හිතෙනවා. ලෝකය තුළ තමා ලත් අත්දැකීම් වලින්, බොහොම සංවේදී ලෙස කම්පනයට පත්වූ සිතක සිතුවිලි, මේ නිර්මාණ තුළ ගැබ්ව තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. Wicharaka, ස්තූතිය් ඔබගේ අදහසට. ඇත්තෙන්ම ඔබ හරි, මෙහි ඇති සියල්ලම පාහේ ආයාසයෙන් ලියපුවා නොවෙයි, යම් යම් සංවේදීතාවයන් එක්ක ඉබේම ලියවුණු ඒවා. වැඩේ කියන්නෙ, හිතල උවමනාවෙන්ම යමක් ලියන්න හැදුවාම ලියාගන්න බැරිවෙනවා..

      ඔබට ජයශ්‍රී!

      Delete
    2. ස්තුතියි විචාරක තුමා...ඒ වෙනස සිදු කලා... ආරාධිත ලිපියක් නිසා වරින් වර කවි පන්ති පල කිරීම ප්‍රායෝගිකව අපහසු නිසා එක් ලිපියක් ලෙස පල කරන්නට සිදු වූ බව කරුණාවෙන් සලකන්න.

      Delete
  6. පට්ටයි කියන්නෙ නියමයි අසංක. අන්තිම කවි ටික නම් සෑහෙන්න දැනුනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතිය් චතුරංග. ඔබට යමක් දැනුණානම් එතනින් එහාට තව මොනවද. :)

      ජයශ්‍රී!

      Delete
  7. අසංක ඔබගේ හැකියාව එල ද බ්‍රා. කවි ගොතන්න හැකියාවක් නැති උනාට රසවින්දා.
    සිරා මචං 7 වෙනි ලිපිය වටිනාකම අද හොදටම දැනුනා. දවසක මමත් මගේ ලිපියක් උඔගේ බොලොගේ පලකරනවා.

    ReplyDelete
    Replies
    1. sanjeewa, තෑන්ක්ස් මචෝ.. :) අවංකවම කියනවානම් මටත් ඒ හැටි හැකියාවක් නෑ. එහෙමයි කියල එකක් තියෙනවනම් ඕන වෙලාවක ඕන දෙයක් හිතල ලියන්න පුලුවන්කම තියෙන්න ඕනෙනෙ. ඒත් මට එහෙම බෑ. මේ ලියල තියෙන ටික ඉබේම වගේ එළියට ආපුවා.

      සංජීවගේ ලිපිය කොහොම එකක් වෙයිද කියල බලාගන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා. ජයවේවා!

      Delete
  8. යකෝ කවි වලට කියන්නෙ ගද්‍ය නොවේ පද්‍ය කියල...
    ගද්‍ය කියන්නෙ කතා වගේ ලියවෙන රචනයන්ට...

    අසංකගේ කාව්‍ය කරණ හැකියාව මනරම්ය.. එහෙ.් මාතෘකා කීපයක් යටතේ ලියැවුණ මේ පද්‍ය පෙළ වෙන වෙනම පළ වූවා නම් ඉන් ලැබෙන රසය අපූර්ව වන්නට තිබ්න...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. Mahesh, සිරා කොලුවා මඤ්ඤං වෙලා ඉන්න වෙලාවකද කොහෙද මේක ලියල තියෙන්නෙ. හික්ස්... :D

      බොහොම ස්තූතියි ඔබගේ අගය කිරීමටත්, අදහසටත්. ඔබටත් ජයවේවා!

      Delete
    2. බොලේ උඹේ වස......ඔන්න මම ඒ වරද නිවැරදි කලා.

      Delete
  9. කවි නිර්මාණයන් හරිම රසවත්............ ඔහු විසින් බ්ලොගයක් කරන්නේ නැද්ද??? අපි ඔහුට බ්ලොගයක් කරන්න සහය දෙමු..............................

    ReplyDelete
    Replies
    1. අන්න කථාව, අසංක උඔ බොලොග් එකක් පටන් ගත්ත දවසට කුරැටුව මතක තියා ගනින්.

      Delete
    2. ඔබගේ අගය කිරීමට බොහොම ස්තූතියි කුරුටු.. මං මුලින්ම සිංහල බ්ලොගයක් ලියන්න පටන් ගත්තෙ 2010 ජූනි මාසෙ. හප්පා.. ඒ කියන්නෙ අදට අවුරුදු හතරකටත් කළින් නොවැ. :O ඒ පටන් ගැන්ම කොච්චර දුර ගියාද කියනවානම් ඒක පටන් ගැන්මක් විදියටම අවසන් උනා. හික්ස්.. මෙන්න ඒක:
      http://beyonddecade.blogspot.com/

      Delete
  10. ලස්සන කවි ටිකක්... තාත්තා කවි ටිකට වැඩියෙන්ම හිත ගියා
    අසංක කවි ලියනව දකලනෑ නෙ මීටකලින් ඒකට පන්තියෙ ඉදලත් ;)
    බ්ලොග් ඒකක් පටන් අරන් දිගටම ලියමු :)

    ReplyDelete
    Replies
    1. Cham, එකට පංතියෙ හිටපු උඹ කවුද කියල දැනගන්න තියේනම් මං හරිම සතුටුයි. කොහොමද මේ අකුරු හතරකින් උඹව අඳුනාගන්නෙ. :(

      හ්ම්ම් ඔව්.. මට මතකයි 5 වසරෙ ඉන්න කාලෙ තරඟයකට කවි ලිව්වා. මට මතක විදියට වැහිබර කාලගුණය ගැන තමයි ඒකෙ ලිව්වෙ. ප්‍රථමස්තානයද මොකක්ද එකකුත් හම්බුණා ඒකට. :) ඒ ඇරෙන්න ඉස්කෝලෙ කාලෙනම් කවදාවත් කවි ලියලා නෑ.

      Delete
    2. අහා.. දැන් දන්නවා... :)

      Delete
    3. එල්පීල අපි දැකල නැති, තව කොපමණ නම් හැකියාවන් මේ මහා පුරුෂයාගේ ඇතිද... :D

      Delete
    4. හික්ස්.. නෝන්ඩි දාන්නෙපා මචං 'වෙලා'..

      Delete
  11. Replies
    1. ආහ්.. තවත් කුරුටු කෙනෙක්. "කුරුටු ගෑ ගී පවුර" සහ "කුරුටු ගෑ ගී පොත", එකම ළඟින් යන නම් 2ක්.. (සමාවෙන්න, බ්ලොග් අවකාශයෙ එතරම්ම සැරිසරන්නෙ නැති නිසා මට මේ නම් හුරු නෑ.) කොහොම උනත්.. රස වින්දාට තුති!

      Delete
  12. හරිම ලස්සනයි කවි ටික..

    ReplyDelete
  13. ලස්සනයි කවි ටික.

    අන්තිම කවි පන්තියට පද හතරක් ගොතන්න බැලුවා.වැඩේ හරි ගියේ නැතුවා....:)

    ReplyDelete
    Replies
    1. හිහි.. ඒකට කමක් නෑ Manoj. ඔබේ උත්සාහයට ගොඩක් ස්තූතියි..

      Delete
  14. කාලෙකින් හොඳ කවි ටිකක් දැක්කේ. ස්තුතියි අසංක. දෝණියේ කවි ටිකට මං ගොඩක්ම මනාපයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබටත් කවි රස වින්දාට සහ අගය කළාට. ඔබ ඒ කිවූ කවි පන්තියට මමත් පුද්ගලිකව කැමතියි. "අපට හිමි නැති සොඳුරු ලෝකෙට පිය නගාපන් දෝණියේ", විශේෂයෙන්ම ඒ ටිකට.

      ඔබට ජය!

      Delete
  15. ගිජිදාන ,තාත්තා ගොඩක් හිතට දැනුණා ...ඒ වගේම අහිමි අම්මා ගැන කියවෙන හැම කවියක්මත්....
    අනිත් කවිත් අර්ථවත්...

    ReplyDelete
  16. රාළට කවි නම් ආමාශගත වෙන්නෙම නෑ ..... ජන්මේ වැරද්දක්ද කොහේදෝ .........

    ReplyDelete
    Replies
    1. රාළ මං ඉන්න රටේ මහ රටේ ඉන්න එකෙක් නිසා පොඩි සමාවක් දෙනවා ඕං.. :D

      Delete
  17. // නා දළු කුමට ඔබෙ තොල් පෙති නැටේනම්
    වෙණ නද කුමට ඔබෙ කට හඩ ඇසේ නම්
    පවනැල් කුමට ඔබෙ සුසුමන් දැනේනම්
    මුලු ලොව කුමට ඔබ මා ලග හිදීනම්//

    අපූරුයි.. :)
    හරිම රොමෑන්ටික්.. :D

    ReplyDelete
  18. මුලින්ම සිරායියට ස්තුතියි කාමරේ ඇතුළෙ කවියටත් ඉඩක් වෙන් කළාට.
    අසංක අයියගෙ කවිඋපරිමයෙන් රස වින්දා. විශේෂයෙන්ම තාත්තා. පෝයට ගමේ ගොහින් ආව විතරයි, ආයෙ ගෙදර යන්න හිතෙනව මේක කියවල. ඔබට බොහෝමත්ම ස්තුතියි!

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...