Tuesday, August 21, 2012

64 අරංතලාවේ ඛේදවාචකය

අරංතලාව ස්මාරකය
පොරොන්දුවක් වී නම් එය  ඉටුකල යුතුමය.. එසේ නොහැකිනම් පොරොන්දු නොවී සිටිය යුතුය.                      
දින හතරේ ආගිය තොරතුරු 4 වන කොටසේදී අරංතලාව ගැන පසුව ලියන්නට සිරා පොරොන්දු  විය.
මේ ඒ පොරොන්දුව ඉටුවන දවසයි. මේ පෝස්ටුව අග කොටස දක්වාම කියවන්න.. මන්ද මෙහි වැදගත්ම අපේක්ෂාව ඇත්තේ අග කොටසේ හෙයිනි.

අවවාදයයි - වඩා සංවේදී හදවත් ඇති අය මෙහි ඇති ඡායාරූප මගහැර පෝස්ටුව පමණක් කියවන්න.

කොටි ත්‍ර‍ස්තයා යනු හිතක් පපුවක් නැති ම්ලේඡ නරුමයෝ රැළක්ම වූහ.  විමුක්ති සටනක් යැයි අරුත් ගැන්නුවද මනුෂ්‍යත්වය අතික්‍ර‍මණය කල අමානුෂික  ගතිගුණ උන් කෙරෙන් ප්‍ර‍කට වූයේ වරක් දෙකක් නොවේ. මායිම් ගම්මානයන්හි  කිරිකැටියාගේ සිට මහල්ලන් දක්වා ගැහැණු පිරිමි භේදයකින් තොරව අහිංසක නිරායුධ සිවිල් වැසියන්  පෙති ගසා උණුන්ගේ විමුක්තිය සෙවූ ත්‍ර‍ස්තවාදියාට සුදු හුණු ගාන්නට පසු කලෙක උත්සාහ කල NGO හොර නඩේට මෙන්ම තමන්ගේ රෙද්ද පල්ලේ වැගිරෙන කුණු හංගාගෙන අනුන්ගේ පැටිකිරිය අවුස්සන ඇමරිකානු මානව හිමිකම් ඇත්තන්  කිසිවෙකුටත්  ත්‍ර‍ස්තයා අතින් අමු අමුවේ තිරිසන් අන්දමින් ඝාතනයට ලක්වූ නිරායුධ අහිංසක බුද්ධ පුත්‍ර‍යාණන් වහන්සේලා තිස් එක් නමකගේ මෙන්ම ගිහියන් තිදෙනෙකුගේ ඉරණම විසදුනු මේ සිදුවීම පිළිබද අල්පමාත්‍ර‍යකුදු අනුකම්පාවක්, මතකයක් නොවීය. අද අප නිදහසේ හුස්ම විදින්නේ මෙවැනි කාළකණ්නි ඉතිහාසයක් පසුකර ගෙන පැමිණීමෙන් බව අපේ මතු පරපුරට හෝ දැනගනු රිසියෙන් සිරා මේ සටහන තබන්නට උත්සුක වුනේ.

දින හතරේ චාරිකාව අතරතුර අරංතලා භික්ෂු ඝාතනය සිදුවුන ස්ථානය නරඹන්න ගිය ගමනේදි තමයි මේ කථාව මට විස්තර කල ප්‍රියන්ත අයියා හමුවුනේ... ඒ ප්‍රදේශයේම සිවිල් ආරක්ෂකයකු ලෙස රාජකාරී කරන  ඔහුගෙ මතකයෙ සටහන් වෙච්ච ආකාරයට  රටක් හැඩවූ මේ සිදුවීම මෙන්න මේ විදිහයි.

1987 ජූනි මස 2 වෙනිදා අම්පාර ප්‍රදේශයට වෙනදා වගේම කිසිම වෙනසකින් තොරව හිරු උදාවුනා. ත්‍ර‍ස්ත  භීතියෙන්  ගෙවෙන ජන ජීවිතය බියෙන් සැකෙන් එදිනෙදා වැඩකටයුතු ආරම්භ කරද්දි අම්පාර මහාවාපි විහාරයේ නායක හිමියන් සහ කුඩා හාමුදුරුවරුන් වන්දනා ගමනක්  යන්නයි සූදානම් වෙලා හිටියෙ.  ඒ කුඩා හාමුදුරුවරුන්ට බෞද්ධ සිද්ධස්ථාන පෙන්නන්න නුවර ප්‍රදේශය හරහා  කතරගම පුදේශයට. ඔවුන් සිද්ධිය වන විට අම්පාර මහියංගනය මාර්ගයේ කිලෝමීටර් 40 කට මදක් වැඩි දුරක් පැමිණ තිබුනා.

අම්පාර මහාවාපි විහාරාධිපති, ශ්‍රී විද්‍යානන්ද පරිවේණාධ්‍යක්ෂ , උතුරු නැගෙනහිර දෙපලාතේ ප්‍ර‍ධාන අධිකරණ සංඝ නායක සද්ධම්මාවාගීස්වර සිරි සුමනතිස්ස අතිපූජ්‍ය හෑගොඩ ශ්‍රී ඉන්ද්‍ර‍සාර නාහිමියන් වහන්සේ  තමයි මේ ගමනේ ප්‍ර‍ධාන තැන ඉසුලුවෙ. ධර්ම දර විනය දර භික්ෂූන් වහන්සේ නමක් ලෙස පතල වෙලා හිටිය උන් වහන්සේ.... නියම සංඝ පීතෘෘ වහන්සේ කෙනෙකුගේ ගතිගුණ විද්‍යාමාන කරමින් ත්‍ර‍ස්ත භියෙන් සලිතවෙලා ඉන්න ගම්වාසීන්ට සවියක් වෙලා අම්පාර ප්‍රදේශයේම වැඩ සිටිමින් ඔවුන්ට ශක්තිය ධෛර්යය සැපයූවා. මෙහි ගම්වැසියන් අදත් උන් වහන්සේ සිහි කරන්නෙ හද පිරි බැතියෙන්.

අපවත් වූ අතිපූජ්‍ය හෑගොඩ ශ්‍රී ඉන්ද්‍ර‍සාර නායක හිමි

ප්‍රියන්ත අයියාගෙ වචනෙන්ම එතැන සිට කථාව මෙහෙමයි...

ඔය කියන කාලෙ මම පිරිවෙනට දහම්පාසල්  යන කාලෙ... අම්පාර ඩිපෝ එකේ ලංගම බස් එකක තමයි මේ හාමුදුරුවරු ඇතුලු පිරිස ගමන යන්න සූදානම් වෙලා තිබුනෙ. ඒ දවස් වල ආමි එකේ STF එකේ ලොකු කෑම්ප් මේ හරියෙ තිබුනෙ නෑ.. තිබුනෙ ග්‍රාමාරක්ෂයන්ගෙ ගෙවල් දෙකක් තුනක් විතරයි. පාර දෙපැත්තෙම  රූස්ස තේක්ක ගස් පිරුන මාන කැලේ. අද ප්‍ර‍ධාන පාර අද්දර බුදුමැදුර හදලා තියෙන තැන  ගෙවල් තිබුනට ඒ කාලෙ එතැන තිබුනෙ හේන් වලට යන අඩිපාරක් විතරයි. ඔය කියන දවසෙ උදේ 6.30 ට විතර  මේ හරියෙදි තේක්ක කොටයක් දාලා පාර හරස් කරලා වයස අවුරැදු 20 - 22 වගේ   ආමි එකේ ඇදුමට සමාන ඇදුමක් ඇදපු LTTE කොටියෙක්. හෝව් හෝව් කියලා මේ බස්රථය නතර කලා කියලයි කියන්නෙ. මේ බස්රථයේ ඩ්‍රැයිවර් මහත්තයා මේ කියන පිරිවෙන හරියෙම කෙනෙක් නිසා යුධ හමුදා මාර්ග බාධකයක් කියලා හිතලා බස් එක නවත්තලා..

මහත්තයෝ මේ හාමුදුරුවො වන්දනා යන බස් එකක් කියලා කොටියට පිළිතුරු දීලා.. ඒ වෙද්දි රියදුරා දැකලා තියෙනවා බස් එක නවත්තපු කොටියට අමතරව  පාර වම් පැත්තෙ අයිනෙ  තවත් දෙන්නෙක් තුන් දෙනෙක් කැති, පොරෝ තියාගෙන ඉන්න අන්දම,

එවිටම වගේ නවත්තපු බස් එකට මේ අය නැගලා ඩ්‍රැයිවර්ව භය ගන්නලා ගේන්න තියා හිතන්නවත් බැරි තේක්ක/මාන කැලේ මීටර් 200 ක් විතර බස් එක අරගෙන ඇවිල්ලා,  තව දුරටත් කැළෑව නිසා ඉදිරියට යන්න බැරි තැන නතර වුන බස් රථයේ ඉදිරි ටයර් වලටයි වින්ඩ්ස්ක්‍රීන් වලටයි වෙඩි තියලා තියෙනවා.. මේ වෙලාවෙ ලොකු හාමුදුරුවො හිතලා තියෙන්නෙ කොල්ල  කල්ලියක් බස් එක කොල්ල කන්න කැළේට අරන් ඇවිත් කියලා,

එදා බස්රථය කැළෑවට ධාවනය කල මාර්ගය අද

මගෙ පොඩි කට්ටියට මොනවත් කරන්න එපා
මාව ඕනෙ නම් මරපල්ලා... මම සල්ලි ඕනෙනම් සල්ලි දෙන්නම්.. කියලා ලොකු හාමුදුරුවො කෑ ගහලා තියෙනවා.

එතකොටම පළවෙනි කඩුපාර ගහලා තියෙනවා ලොකු හාමුදුරුවන්ගෙ ඔලුවට... ඊට පස්සෙ වෙඩි 2ක් තියලා තියෙනවා. වැඩිය වෙඩි තියලා නෑ සද්දෙ ඇහේවි කියලා... අර පිච්චිලා වගේ පේන ගහ ළගට (ප්‍රියන්ත අයියා ස්මාරකයට මද දුරකින් පිහිටි ගසක් පෙන්වයි)  තමයි බස් එක ගෙනල්ලා නවත්තලා තිබුනෙ.

පාර අයිනෙ හිටපු ග්‍රාමාරක්ෂකයො හය හත් දෙනෙක් දැකලා තියෙනවා ටිකකට කලියෙන් හාමුදුරුවො පිරිස පිරිත් කියාගෙන බස් එකේ යන අන්දම, ඒ ගොල්ලන්ටත් වෙඩි සද්දෙ ඇහිලා තියෙනවා... මොකද ඒ දවස් වල වැඩියෙන්ම වෙඩි සද්දෙ අහුනෙ තොප්පිගල, මඩකලපුව පැත්තෙන් හින්දා ඒ ගොල්ලොත් වෙඩි තියාගෙන සැකේට වගේ කැලෙන් කැලෙන් මේ පැත්තට ඇවිල්ලා තියෙනවා...



Google මගින් ලබාගත් මියගිය හිමිවරුන්ගේ මෘතදේහ පිළිබද ඡායාරූප

ඒ ගොල්ලො බස් එක ලගට එනකොට වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි. හාමුදුරුවො 39 දෙනෙක් අතරින් 31 නමක් ම ඝාතනය වෙලා ඉවරයි... ඒ අතරින් කිසිම තුවාලයක් හෝ නැතුව කම්පනය නිසා මියගිය කුඩා හාමුදුරුවන් තිදෙනෙක් ඉදලා තියෙනවා. එක කොටියෙක්ගෙ වත් මිනියක් හම්බුනේ නෑ.. උන් කැලේ පැත්තෙන්ම පලා ගිහිල්ලා කිසිම හානියක් නැතුව. ග්‍රාමාරක්ෂකයො මේ පැත්තට වෙඩි තියාගෙන ආපු නිසා 8 නමක් බේරුනා.. එකම එක හාමුදුරු නමක් විතරක් කිසිම සීරිමක් හෝ නැතුව බේරිලා තිබුනා... කොටි බස් එකේ ඉස්සරහ ඉදන් පිටිපස්සට කපාගෙන කොටාගෙන එනකොට මේ හාමුදුරුවො කලන්තෙ දාලා සීට් එක අස්සට වැටිලා.. ඊට පස්සෙ එයා උඩින් අපවත් වුනු අනිත් හාමුදුරු වරු වැටිලා ඉදලා තියෙන නිසා එයා බේරුනා. අනිත් 7 දෙනාගෙන් පස් දෙනෙකු වගේ සිවුරු අතඇරලා තියෙන්නෙ... මොකද ඒගොල්ලො ආබාධිත වුන නිසා. මහියංගනේ ආදාඋල්පත පන්සලේ ඉන්නවා... රූපවාහිනියටත්  වඩින හාමුදුරු නමක් සුසුම්නාව කැපිලා ආබාධිත වෙච්ච හින්දා රෝද පුටුවෙන් තමයි උන් වහන්සේ ගමන් කරන්නෙ. තවත් හාමුදුරු කෙනෙක් ඉන්නවා පුඥ්ඥසාර කියලා  කල්මුණේ පාරෙ, උන් වහන්සේ මනසින් අතපයින් ආබාධිත වෙලා තියෙන්නෙ.

සියල්ලන්ම කපලා කොටලා මරලා දාලා බස් එක පුච්චන්න තමයි  කැළේට බස් එක ගෙනල්ලා තියෙන්නෙ. ඩැයිවර් මහත්තයා වැදලා කියලා තියෙනවා බුදු මහත්තයෝ මාව මරන්න එපා මට ළමයි හය දෙනෙක් ඉන්නවා.. මම මළොත් උන්ට කන්න දෙන්න කෙනෙක් නෑ කියලා... හොදටම කපලා කොටලා තිබුන ඩ්‍රැයිවර්ගෙ මිනිය තිබ්බෙ බස් එකේ ඉස්සරහ ෆුට් බෝඩ් එකේ. ඒ වගේම කොන්දොස්තර තැන වගේම ආවතේව කටයුතු වලට ආපු කෙනාවත් උන් මරා දාලා තිබුන.


මේ සිද්ධිය වෙන්න අවුරුද්දකට වගේ කලින් අරන්තලාවෙ හේන් ගොවිතැන්  කරමින් හිටපු , බඩදරු අම්මා කෙනෙක් එක්ක 28 දෙනෙක් කපලා කොටලා මරලා දාලා තිබුනා. මේ ගම්වල පරණ අය හුග දෙනෙක් කපලා කොටලම තමයි මරා දැම්මෙ.

පිහිටි ගලක් තිබුන නිසා ඒක උපයෝගී කරගෙන තමයි මේ ස්මාරකය මෙතැන ඉදිකරලා තියෙන්නෙ. ඊට අමතරව  ඉන්දියාවෙන් රැගෙන විත් රෝපණය කල ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් වගේම බුදු මැදුරකුත්  තිබෙනවා.. ප්‍ර‍ධාන මාර්ගයෙන් මේ අතුරු පාරට හැරෙන් ස්ථානයෙත් බුදු මැදුරක් තනා තියෙනවා.

බෝධි ප්‍රාකාරය සහ බුදු මැදුර

කිරිදිවැල සෝමරතන හාමුදුරුවො තමයි දැන් නායක හාමුදුරුවො විදියට කටයුතු කරන්නෙ.. උන් වහන්සේ ඒ කාලෙ කැම්පස් එකේ ඉගෙන ගත්ත නිසා මේ ගමනට ආවෙ නෑ... නැත්නම් මේ ඉරණමටම ලක්වෙන්න ඉඩ තිබුනා. එහෙම කියපු ප්‍රියන්ත අයියා දිග හුස්මක් ගත්තා.

හෑගොඩ විපස්සි කියන හාමුදුරුවො පස්සෙ කාලෙක මේ සිද්ධිය ගැන සදහන් කරලා පොතක් ලියලා තියෙනවා ඒ පොතෙන් උපුටාගත්ත සමහර තොරතුරු මේ විදියට දක්වන්නම්.


අරන්තලාවේදී ඝාතනයට ලක් වූ තිස් නම (නායක ස්වාමීන් වහන්සේ හැර අනෙක් අය)

 1    පූජ්‍ය පරගහකැලේ විජිතනන්ද හිමි (වයස 24 )
 2    පූජ්‍ය කලුගල ආනන්ද සාගර හිමි  (වයස 19 )
 3    පූජ්‍ය වාවින්නේ සද්ධාවංශ හිමි  (වයස 19 )
 4    පූජ්‍ය කෙහෙල්පොත සුගතපාල හිමි  (වයස 18 )
 5    පූජ්‍ය තල්ගමුවේ උපරතන හිමි  (වයස 18 )
 6    පූජ්‍ය වාවින්නේ සද්ධාතිස්ස හිමි  (වයස 18 )
 7    පූජ්‍ය වාවින්නේ ගුණවංස හිමි  (වයස 17 )
 8    පූජ්‍ය වාවින්නේ අත්ථදස්සි හිමි  (වයස 17 )
 9    පූජ්‍ය මහියංගනයේ ගුණසෝම හිමි  (වයස 17 )
10   පූජ්‍ය කුරුපනාවෙල කෝලිත හිමි  (වයස 17 )
11   පූජ්‍ය මන්ත්‍රීතැන්නේ ධම්මදස්සි හිමි  (වයස 16 )
12   පූජ්‍ය කොමාරියේ විමලජෝති හිමි  (වයස 16 )
13   පූජ්‍ය හදුන්ගමුවේ අරියවංස හිමි  (වයස 15 )
14   පූජ්‍ය දම්මරාවේ මහින්ද හිමි  (වයස 15 )
15   පූජ්‍ය මාවාවින්නේ විජිත හිමි  (වයස 14 )
16   පූජ්‍ය කොටවෙහෙර විමලබුද්ධි හිමි  (වයස 14 )
17   පූජ්‍ය කුරුණෑගල පඥ්ඥානන්ද හිමි  (වයස 14 )
18   පූජ්‍ය හදුන්ගමුවේ බුද්ධරක්ඛිත හිමි  (වයස 13 )
19   පූජ්‍ය රජගලතැන්නේ පුණ්ණජ හිමි  (වයස 13 )
20   පූජ්‍ය කුරුපනාවෙල ධම්මපාල හිමි  (වයස 13 )
21   පූජ්‍ය දේවාලහිද ධම්මරක්ඛිත හිමි  (වයස 12 )
22   පූජ්‍ය අඹගහවැල්ලේ සරණ හිමි  (වයස 12 )
23   පූජ්‍ය මහිහංගනයේ වජිරබුද්ධි  හිමි  (වයස 12 )
24   පූජ්‍ය මහියංගනයේ සුමන හිමි  (වයස 12 )
25   පූජ්‍ය මහියංගනයේ ආනන්ද හිමි  (වයස 11 )
26   පූජ්‍ය මහියංගනයේ විපුලසාර හිමි  (වයස 11 )
27   පූජ්‍ය දේවාලහිද අනෝමදස්සි හිමි  (වයස 10 )
28   පූජ්‍ය කලුගල පාලිත හිමි  (වයස 09 )
39   පූජ්‍ය තෙරිපැහැ සෝභිත හිමි  (වයස -)
30   පූජ්‍ය රාහුල ආනන්ද හිමි  (වයස - )

මේ සිද්ධියෙන් ඝාතනය වූ කුඩා හිමිවරුන් පවා සිංහල , දෙමළ හා  ඉංග්‍රීසි  භාෂාවලින් ධර්ම දේශනා පැවැත්වීමට පුහුණුවක් ලබා තිබූ බවත්, ඉගෙනීමට, කවි සෑදීමට, චිත්‍ර‍ ඇදීමට උපන් හපන් කම් තිබූ කුඩා හිමිවරුන් කීප දෙනෙක්ම සිටි බවත් සදහන්... මේ සියල්ලෝම අපවත් වූ නාහිමියන්ගෙ ගෝලයෝය.



ඝාතනයට ලක් වූ ගිහියන් තිදෙනා

01   ජී.ජී. සමරපාල  (රියදුරු මහතා )
02   එන්. පී. ජිනදාස  (කොන්දොස්තර මහතා )
03   වසන්ත ජයවර්ධන තරුණ මහතා (ආවතේවකරු)

දිවිගලවාගත් අට නම

01  අම්පාර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණේ ජේෂ්ඨ ආචාර්ය, පුවීනාචාර්ය වළල්ලාවිට විමලඥාණ මහා ස්ථවිර
02  හගුරන්කෙත පුඥ්ඥසාර හිමි
03  හෑගොඩ දේවානන්ද හිමි
04  ආදාඋල්පත බුද්ධසාර හිමි
05  නුගේලන්දේ ඉන්ද්‍ර‍සුමන හිමි
06  රිදින්ගමුවේ  ඉන්ද්‍ර‍සුමන හිමි
07  හදුන්ගමුවේ දයාලංකාර හිමි
08  වාවින්නේ සිරිනන්ද හිමි



ඔන්න දැන් තමයි අපි වැදගත්ම කොටසට එළඹෙන්නෙ


කුරිරු ත්‍ර‍ස්තවාදයේ ප්‍ර‍තිඵලයක් ලෙස දැයට අහිමි වුනු මේ බුද්ධ පුත්‍ර‍යාණන් වහන්සේලා අධ්‍යාපන කටයුතු කල අම්පාර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන තමයි පුදේශයේ විශාලම පිරිවෙන් විද්‍යාස්ථානය.  මේ සිදුවීමෙන් මිය ගිය ස්වාමීන් වහන්සේලා 31 නම වෙනුවෙන් සෑම වසරකම ජූනි මස 2 වෙනිදා කුල දරුවන් 31 දෙනෙකු පැවිදි කරනවා. ඒ අනුව සෑම විටකම අඩුම තරමින් 100 - 150 ත් අතර කුඩා ශිෂ්‍ය  භික්ෂූන් වහන්සේලා පිරිසක් පිරිවෙනේ නොයෙකුත් අවහිරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබනවා...

උන් වහන්සේලාට ජලය හිගයි. මේ වගේ විශාල පිරිසකට ලැබෙන නළ ජලය ප්‍ර‍මාණවත් නෑ... ඒ නිසා අලුත් නළ ලිදක්වත් ඉදිකරන්න වෙනවා, ඉගෙනීමට  අවශ්‍ය අධ්‍යාපන උපකරණ ඒ කිව්වෙ පොත් පත්, පෑන් ,පැන්සල් ආදියත් ප්‍ර‍මාණවත් පරිදි නෑ ,  පරිගණක අධ්‍යාපනය ලබන්න මේ හැමෝටම තියෙන්නෙ පරිගණක 2ක් පමණයි., එදිනෙදා ලැබෙන දානය ප්‍ර‍මාණවත් නැති නිසා පුලුවන් විදියට නායක හාමුදුරුවො කෑම සකසන්න කටයුතු යොදාගෙන තියෙනවා...

මේ කුඩා හාමුදුරුවරු අපේ බුද්ධ ශාසනයේ හෙට දවසයි. අධ්‍යාපනය අවසන් උනාට පස්සෙ ලංකාව පුරාම බෞද්ධ ප්‍රබෝධය ඇති කරන්න උන් වහන්සේලා  ගම් නියම් ගම් පාසා වැඩම කරාවි. අර්ථයෙන් ධර්මයෙන් කටයුතු කරන්නට ජනතාවට කියාදේවි. ඒ සදහා අවැසි අධ්‍යාපනය යහපත් අන්දමින් ලබා ගන්න ඒ පිරිසට දායකත්වයක් දක්වන්න පුලුවන් නම් හොදයි නේද ?

සල්ලිකාර දායක දායිකාවන් නැති අහිංසක ගොවීන් වෙසෙන , මේ ප්‍රදේශයේ ඇත්තො තමන්ට හැකි උපරිමයෙන් මේ අඩුපාඩු සපුරාගන්නට උදව් කලත් එය සම්පූර්ණ නෑ.. ඒ නිසාම

ආර්ථික අතින් යහපත් තැනක සිටින ඔබ යහපත් සමාජකටයුත්තකට මුදල් පරිත්‍යාග කරන්න සූදානමෙන් සිටිනවා නම් මේ කටයුත්ත ඊට ගැලපෙනවා විය හැකියි...

ඔබ සමාජ සත්කාර්යයක නිරත වෙන්න කැමැත්තෙන් සිටින ආයතනයක් නම් මේ ඊට හොදම අවස්ථාව විය හැකියි.

එසේත් නැතිනම් මෙය කියවන ඔබ එවැනි කෙනෙකු හදුනනවා  විය හැකියි... ඔබට හැකි නම් මේ තොරතුරු එවැනි අයගේ අවධානයට යොමු කරන්න.

කාලයක් පුරාවට ත්‍ර‍ස්තවාදයෙන් බැට කෑවත්, බුද්ධ ශාසනයේ නාමයෙන් භියේ  සැගව නොගොස් අපේම අහිංසක සිංහල ගම්වාසී ජනතාවගේ සුභ සිද්ධියට කැපවුනු මේ  සංඝ පරපුරට අපේ උපරිමයෙන් උදව් කරමු.

වැඩිවිස්තර  මේ දුරකථන මාර්ග වලින් දැනගන්න පුලුවන්.

අම්පාර මහාවාපි විහාරාධිපති, දිගාමඩුල්ල ශ්‍රී විද්‍යානන්ද පරිවේණාධ්‍යක්ෂ උතුරු නැගෙනහිර පළාත් පිරිවෙන් අධ්‍යාපන සම්බන්ධීකරණ අධ්‍යක්ෂ, අරන්තලා ඉන්ද්‍ර‍සාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති.

ශාස්ත්‍ර‍පති පූජ්‍ය කිරිදිවැල සෝමරතන හිමි 
දුරකථන අංක

0718 333322 / 063 2222314


මම සයිබරයේ අලුත් මිතුරා සිරා

ප.ලි

සිරා මේ වන විට මෙම කාර්යය සදහා මුද්‍රිත ජනමාධ්‍යයේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරමින් සිටී.

පිරිවෙන් විහාරස්ථානයේ පවතින අඩුපාඩු පිළිබද තොරතුරු ලබා ගත්තේ පූජ්‍ය ගල්කන්දේ අස්සජී හිමියන් මගිනි.

ආධාර පත්‍ර‍ එකතු කිරීමක් නැත. හැකියාවක් ඇති අයට  ඉහත දුරකථන අංක වෙත අමතා විහාරාධිපති හිමියන් සම්බන්ධ කර ගත හැක.



64 comments:

  1. ලංකා ඉතිහාස පිටුවෙ තවත් කළු පැල්ලමක්. ඔය ලේ පිපාසිතයො මොන හිතකින් අර චූටි හාමුදුරුවරු කපල කොටල දැම්මද මන්ද. ඒක මහ මිලේච්ඡ ක්‍රියාවක්. පසුකාලීනව ලෝකෙ සමහර බලවතුන් ඔය ත්‍රස්තවාදීන්ට ප්‍රසිද්ධියෙ උදව් කළේ මේ වගේ සිද්ධි ගැන නිවැරදිව ලෝකය දැනුවත් කිරීමට අපට තිබුණු නොහැකියාව නිසා කියලත් මට නම් හිතෙනව. අනෙක කොහොමටත් ඔය යුගයෙ අපේ රට ශාපලත් දේශයක් වෙල තිබුණෙ. නැවත කිසිදාක එවන් අඳුරු යුගයක් මේ පින්බිමට නොඑළඹේවා කියල මම ප්‍රාර්ථනා කරනව.
    (මේ වගේ අපායගාමී පාප කර්ම කරා කියන සමහරු අද ඉන්න තැන් දැක්කම මට නම් මේ නපුංසක දේශපාලනේ මොකටද කියලත් හිතෙනව.)

    ReplyDelete
    Replies
    1. ඔබේ කථාව හරි... අපිට මේ වගේ ඛේදවාචක පිළිබද සත්‍ය තොරතුරු ජාත්‍යන්තරයට ගෙනියන්න බැරි උනා... එහෙම උනා නම් දෙමළ ඩයස්පෝරා වලට අද ඇපත් නෑ... ඒ යුගය ශාපලත් යුගයක් තමයි.. තැන තැන ටයර් සෑ වල කොල්ලො කෙල්ලො දැවිලා අලු උන මුසල කාල සමය..

      Delete
    2. //(මේ වගේ අපායගාමී පාප කර්ම කරා කියන සමහරු අද ඉන්න තැන් දැක්කම මට නම් මේ නපුංසක දේශපාලනේ මොකටද කියලත් හිතෙනව.)//
      +++++++
      බලයට ඇති කෑදරකම තමයි..!

      Delete
    3. ඒ වගේම ආබාධිතව ඉන්න එදා ප්‍රහාරයෙන් බේරුණ ආදාඋල්පත බුද්ධසාර හිමියන් ගැන සොයා බලන්න. උන් වහන්සේ වැඩ ඉන්නේ රිදීමාලියද්දේ දුරකථන අංකය 0710470068

      Delete
  2. අරංතලාව නම ඇහෙනකොටත් මතක් වෙන්නේ මේ කුරිරු ඝාතනය තමයි, මේ ගැන අහලා තිබුනට අද තමා හරිම විස්තර දැන ගත්තෙ, මේ පින්තූර දැක්කමනම් ඇග හිරි වැටුනා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ අහිංසක චූටි හාමුදුරුවරු කපලා කොටලා මරණවා කියන්නෙ ත්‍ර‍ස්තවාදියගෙ ඔලු ගෙඩිය උන්ගෙ මහ එවුන් කොච්චර නම් වෛරය කියන සාධකය වපුරලා තිබුනද කියන කාරණයට හොද උදාහරණයක්...

      Delete
  3. මේක කෙරෙව්ව එකා දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අමාත්‍යවරයෙක් නේද?

    ReplyDelete
    Replies
    1. එහෙමලු නේද ? ඒ වගේ එකෙක්ටත් සැලියුට් කරන්න අපේ වීරෝධාර හමුදාවට සිද්ධ වුනානෙ හැබෑටම... අනේ කාලේ වනේ වාසේ කිව්වලු...

      Delete
    2. එයා වගේ අයට නඩු අහල දඬුවම් දෙන්න ගියා නම් වික්‍රමබාහුගේ ඉඳන් ඇමිනෙස්ටි එක දක්වා කට්ටිය විලාප තියන් දුවන් එන්නේ .

      Delete
    3. අපේ එවුන්ට කොන්දක් නෑ ඕකුන්ට දඩුවම් දෙන්න..!

      Delete
    4. එහෙම තමා මමත් අහල තියෙන්නෙ, ඒ ගැන තමයි මම මගේ කමෙන්ට් එක යටින් දැම්මෙ. අනෙක මේ වගේම නිරායුධ පොලිස් නිළධාරීන් 600 ක් එක තැනදි ඝාතනය කරපු සිද්ධියකුත් තියෙනවළු නේ. මේ වගේ මිලේච්ඡ සිද්ධිවලට ක්‍රියාකාරීව සම්බන්ධ වෙච්චි තව කෙනෙක් දැන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටවපු පළාත් සභාවක ගරු මහ ඇමතිවරයෙක්නේ.

      Delete
    5. මට සඳහන් කරන්න බැරිවුන තවත් දෙයක් තියනව. අවසන් යුද්ධයෙ මුල් සමයෙදි එල්ටීටීඊ සංවිධානයෙ සිදුවුණාය කියන යම් යම් බෙදීම්වල වාසිය රජය විසින් ඒ අවස්ථාවේදි තමන්ගෙ අරමුණ වෙනුවෙන් භාවිත කරපු බවක් පෙනෙන්නට තිබුණ. මේ ඒ උදව්වලට කළ ප්‍රත්‍යුපකාර වශයෙන් තමයි සලකන්න වෙන්නෙ. හැබැයි යුද්ධය අවසානයේ (අඩු තරමෙ අවුරුද්දකට දෙකකට පසුවවත්) සාමාන්‍යයෙන් සිදුවිය යුතු පරිදිම මෙහි අවසාන ජවනිකාව වශයෙන් මම නම් වෙන දෙයක් බලාපොරොත්තු වුණා. (බොරු මොටද) කොහොම වුනත් මොන මොන තානාන්තර දැරුවත් තම තමන් කරපු පවුවලට හැමෝටම කවදක හරි වන්දි ගෙවන්නනම් සිද්ධ වෙන බව නම් සහතිකයි. ඒක තමයි ස්වභාවදහමෙ රීතිය.

      Delete
    6. මම අදුනන යාලුවෙක් STF එකේ හිටියෙ... මේ සිද්ධියට නම ගෑවිලා තියෙන නියෝජ්‍ය ඇමතියගෙ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කලේ... හිතට එකගව ඇමතියට සේවය කරන්න උගෙ හිත හදාගන්න බැරි නිසාම මිනිහා සේවය හැර ගියා...

      Delete
  4. Replies
    1. ඇයි ඔයාට මේ ගැන කියන්න මොකුත්ම නැද්ද....

      Delete
  5. රටේ විතරක් නෙවෙයි ලෝකෙම "හොඳ" මිනිස්සු කම්පා උනු සිද්ධියක් ඒක.
    …ඒත් අපේ රටේ මානව හිමිකම් හොයන පරදේසක්කාරයන්ට ඕව පේන්නේ නෑ.

    … ඔක්කොම විස්තර ටික හොයල දාපු එක හොඳයි. කැමති කෙනෙකුට මේ කටයුත්තට දායක වෙන්න පුලුවන් නේ.

    ReplyDelete
    Replies
    1. මේ ඡායාරූප දකිනකොට බෞද්ධයන්ගෙ හිත් අදත් පෑරෙනවා... මේ ක්‍රියාවලට සම්බන්ධ වෙච්ච උන් කරගත්ත පාප කර්මෙ තරම හිතා ගන්නත් බෑ...

      Delete
  6. කියවන්න දුකයි අමාරුයි. ඒ වුනත් සිරා මේක ලිව එක හොඳයි . උදව් කරන්න පුළුවන් නම් මේවා තමයි යුතුකම් .ලෝකෙට මේවා මතක නැහැ දැන්. මේ වගේ දේවල් අදත් වෙනවා දකුණු තායිලන්තේ පැත්තේ .

    ReplyDelete
    Replies
    1. දකුණු තායිලන්තයේ විතරක් නෙමෙයි දැන් දැන් මියන්මාරය පැත්තෙත් වෙනවලු... මිසදිටු බලවේග බුදු දහමට එරෙහිව කටයුතු කරලා සත්‍ය වසන් කරන්න හැදුවත් ආතර් ශ්‍රී ක්ලාක් ශ්‍රීමතානන් ගෙ අදහස වෙන්නෙ 2040 වෙනකොට ලෝකයේ ප්‍ර‍ම්‍ර‍ඛතම ආගම බුදු දහම කියලයි... බිල් ක්ලින්ටන් හිටපු ඇමරිකානු ජනාධිපති තුමත් දැන් බෞද්ධයෙක් කියලා මේ ලගදි දැක්කා...

      Delete
  7. මචං අර පින්තූර ටිකක් සංවේදී වැඩියි..මුලින් පොඩ්ඩක් මතක් කලානම් හොඳයි.හදවත කඩා වැටෙනව බං..! මේව කරපු උන් තාම ඉන්නවද මන්දා..???
    උඹට තුති මේ වගේ පොස්ට් එකක් දැම්මට..! ඇයි බං කොලොම් පුරේ කෝටි ප්‍රකෝට්ගනන් වියදම කරල මන්දිර හදන ඇත්තන්ට මේව පේන්නැතිව ඇති නේද..!

    ReplyDelete
    Replies
    1. උඹේ මතක් කිරීමට ස්තූතියි ! මම සංවේදී කම ගැන සටහනක් පසුව එකතු කලා

      ඉන්දියා ගණිකාවන් මෙරටට ගෙනල්ලා විජ්ජා පෙන්නන හැතිකරේට මේ වගේ අඩුපාඩු පේන්නෙ නැති එක තමා වැඩේ.

      Delete
  8. මේ වගේ සිද්ධියක් අද උනත් අහන්න දුඉක හිතෙන එකේ ඒ දවස්වල මිනිස්සුන්ට කොහොම නම් දුක හිතෙන්න ඇද්ද..
    මට නම් මේ සිද්ධිය මතක නෑ... මේ සිද්ධිය වෙනකොට මම ඉපදිලා හරියටම දවසයි !

    ReplyDelete
    Replies
    1. ඔන්න අපි උපන් දිනයත් දැන ගත්තා...

      මේ සිද්ධියෙන් මුලු රටම විශාල කම්පනයකට ලක් වුනා කියලා තමයි මමත් අහලා තියෙන්නෙ... නිර්මල ථේරවාද ධර්මය තියෙන, ගිහියන්ගෙන් සිව්පස සංග්‍ර‍හ විදින බුද්ධ පුත්‍ර‍යන් රාශියක් එකම තැනක අමු අමුවේ ඝාතනය වුනා කිව්වම කම්පනය නොවී තියේවිද..

      Delete
  9. සිරා, හෙට මේ ගැන දීර්ඝව කතා කරමු මචන්....

    ReplyDelete
    Replies
    1. හරි... එන්න ඔබේ අදහසත් බෙදා ගමු...

      Delete
  10. මේ වගේ තැනකට උදව් කරන එක කොච්චර පිනක්ද. කොහොම උනත් දුක හිතෙනවා මතක් වෙනකොටත්.

    ReplyDelete
    Replies
    1. කොහොම හරි උදව්වක් කරන්න තමයි මේ දිනවල මම ඇප කැප වෙලා උත්සාහ කරන්නෙ...

      Delete
  11. මේ වගේ සිද්ධි සිය දහස් ගානක් වෙලත්, මේ රටේ සිංහල බෞද්ධ ජනතාව කුපිත කරවන්න එල්.ටී.ටි.යට නොහැකි වුණ එක තමයි ඔවුන් ලබපු ලොකුම පරාජය. ත්‍රස්තවාදය මර්ධනය හමුදාව හා පොලීසියට ඉඩ තබා ජනතාව බුද්ධිමත් ලෙස හැසිරුණ එක නිසා තමයි අපට ජය ගැනීමට පහසු වුනේ. මෙය නියම වශයෙන් ජය ගන්න නම් අප දෙමල ජනතාව මෙන්ම පුනරුත්තාපනය වන කොටි සාමාජිකයින්ට සහෝදරත්වයේ දෑත් දිගු කල යුතුයි. අළු යට ගිණි පුපුරු සඟවාගෙන සිටීමෙන් වන්නේ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නන්ට පාර කැපීමක් පමණයි. මේ සියලු දේවල් අතීතයට එක් කොට සමගිව ඉදිරියට ගියහොත් ලෝකයේ ප්‍රබල රාජ්‍යයක් ශ්‍රී ලංකාවේ බිහි වීම වලක්වන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ලෝකයේ ප්‍ර‍බල රාජ්‍යයක් වෙන්න නම් පළමුව දේශපාලන ස්ථාවරත්වය වගේම දූෂණය,නාස්තිය වලක්වන්නත් ඕනෙ... මේ දේවල් අපි ජීවත්ව සිටින තුරා සිදුවේ දැයි හිතාගන්න බෑ... ඔබේ බැංකුව සමාජ සත්කාරයක් සදහා වැඩසටහනක් සොයනවානම් මේ ගැන දැනුම් දීලා උපකාරයක් කරන්න ඒ අයට අදහසක් දෙන්න...

      Delete
  12. උදව්වක් කරන්න පුළුවන් නම් සැහෙන්න වටිනවා. ඒත් මාස තුනකින් විතර මහපොළ වත් ලැබුනේ නෑ නේ.. ඒත් පුළුවන් කමක් තිබෙන අයෙක් ඉන්නවා නම් උදව් කරන්න.
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. පොළ මාස තුනකින් ලැබුනෙ නෑ කියන්නෙ ඒකෙන් ජීවත් වන ශිෂ්‍ය ප්‍ර‍ජාවට කෙතරම් ගැටලු ඇතිදැයි සිතුනා... අතේ සතේ නැතත් උත්සාහය ප්‍ර‍බල නම් ගොඩාක් දේ කරන්න පුලුවන්...

      Delete
  13. තමන්ගේ දෙමාපියන්ව වුවත් මරා දමන්න තරම් මානසිකත්වය සකස් කරලා තිබුණු ත්‍රස්තවාදීන්ට මේ කාර්යය අමාරු වුණා කියලා හිතන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. කොටි ත්‍ර‍ස්තවාදීන් සිංහල ජනතාවගේ නියමුවන් හැටියට ඉන්න බෞද්ධ භික්ෂූන් වහන්සේ සමග පුදුමාකාර වෛරයක් තිබිලා තියෙන්නෙ... ජය ශ්‍රී මහා බෝධිය අසලට ප්‍ර‍හාරයක් එල්ල කලෙත් ඒ නිසයි...

      Delete
  14. හ්ම්ම්ම්.....

    උදව්වක් කරන්න තියේනම් හොදයි නෙහ්

    සිරාට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දන්න අදුනන අය ඉන්නවා නම් මේ කාරණය ගැන දැනුම් දෙන්න රජෝ..

      ඔබටත් සුභම වේවා !

      Delete
  15. මේ ගැන ලිපි කීපයක් ඉංග්‍රීසි‌ෙයන් කියවලා තිබුනා කලින්... අපේ තාත්තත් අපිට තේරෙන කාලේ මේ ගැන ගොඩක් කතා කලා.... මේවා කරපු ඒවුන්වනේ ඉතිං හිරේදි කන්න බොන්න දෙන් නෑ කියලා හිරෙන් නිදහස් කරගන්න කැනඩාවේ ලන්ඩන්වල ඉන්න එවුන් වලි කන්නේ.... ඔයවගේ එවුන්ගේ මානව අයිතිවාසිකම් ගැන කතා කරන්න ආපු සුද්දියෙක්ට මං කන් දෙකේ ඇඟිලි ගහ ගන්න ඕය වගේ සිද්ධී දෙක තුනක් කිව්වට පස්සේ නැට්ට කකුල් දෙක එස්සේ ගහගෙහ කට වහ ගත්තා... ඕකුන් ඔක්කොම මරලා දැම්මා නං ඉවරයි කියලා හිතෙනවා මේවා ආයිත් මතක් වෙනකොට...

    සිරා මේ ගැන කතා කරන්න හොද තැනක් වෙනස ප්‍රෝග්‍රෑම් එක... පූළුවන් නම් කතා කරලා බන්න.. ආණ්ඩුවේ එකක් තමයි... ඒත් මේ වගේ දේවල් ගැන ඒකේ කතා කරන විදිය නිසා ගොඩක් අය උදවු කරන්න පෙළඹෙනවා....

    ReplyDelete
    Replies
    1. සුද්දිට කන්දෙකේ ඇගිලි ගහගන්න කථා කරපු එක ගැන මම හිරුට ප්‍ර‍ණාමය පල කරනවා.

      දැනට ලංකාවෙ ජනප්‍රියම සති අන්ත පුවත් පත් ගැන විශ්වාසය තියලා තියෙන්නෙ... බලමු ඉස්සරහට...

      Delete
  16. "අරන්තලාවට නෙවෙයි බගවන්තලාවට ගැහුවත් අපි කුලප් වෙන්න නරකයි කුලප් වෙන්නෙ අස්පයො" කියපු (එජාපෙ)නායකයොත් හිටියා මේ රටේ.

    ReplyDelete
    Replies
    1. සිරා ඔය කියන කාලෙ පොඩි එකා... ඒ දවස්වල දේශපාලන ලෝකය ගැන වැඩි වැටහිමක් නෑ... හැබෑටම එහෙම කියපු දේශපාලුවොත් හිටියද... උන්ව උල තියන්න එපෑයැ..

      Delete
    2. ඉතිං මමත් අහල තියෙන්න හැටියට උන්දැ රටම කලබල කරාට වැඩිය කලබල උන කෙනෙක් නෙවිළුනේ. එයාගෙ දේශපාලන ගමන බැළුවත් වැඩි කලබලයක් නැතුව ආපු එකක්.

      Delete
  17. මම මේ ගැන විස්තරාත්මකව ඇහුවෙ මේකෙන්...එතකොට මේක කරවපු එකා තාම යහතින් ඉන්නවද? කෝමද ඒකා පනපිටින් ඉන්නෙ??

    ReplyDelete
    Replies
    1. මේක කරවපු එකා යනු එකල කොටි නායකයෙකි... යුධ විරාම ගිවිසුම කාලයේ ඒකා කොටි නායක ප්‍ර‍භාකරන් කෙරෙහි බිදවා ආණ්ඩුවේ පැත්තට නම්මා ගැනීමට හැකි වූ අතර එහි ප්‍ර‍තිඵලයක් ලෙස යුද්ධයේ සමහර තැන් වලට ඔහුගේ සහයෝගය ලැබී ඇත. යුද්ධය අවසන් වූ ඉක්බිති ඔහු අද වර්තමාන රජයේ නියෝජ්‍ය ඇමති පදවියක් දරයි. රජයට හේත්තු වී සිටී නම් නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේය.

      Delete
  18. 'අම්මා..' කියල කියවුනා අප්පා.....:(

    ReplyDelete
    Replies
    1. ඔබට යම් කම්පනයක් දැනෙන්න ඇති මේ පින්තූර දැකලා...

      Delete
  19. ගොඩාක් දුකයි දැක්කම අනේ ඕව අමතක වෙලා තියන මිනිස්සුනට ඕව පෙන්නල දෙන එක ඔයා රටට කරන සේවයක්

    ReplyDelete
    Replies
    1. අමතක අයට මතක් කරනවාටත් වඩා මේ මහා සංඝරත්නයට යම් උපකාරයක් කිරීම තමයි මගේ අරමුණ වුනේ...

      Delete
  20. අද අරංතලාවේ සමූල ඝාතනයන් පිළිබදව රජයේ මාධ්‍ය ආයතන මෙන්ම කඩේ යන අනෙක් මාධ්‍ය ආයනත් නිහඬය. ලංකාව පුරාම කොටින්ගේ මන්නා පිහි කණ්ඩායම් වල මිලෙච්චත්වය සනිටුහන් කල යුගයක් වූයේය. සිහිතබා ගත යුතු කාරණාව වන්නේ එම මන්නා- පිහි කණ්ඩායම් වල ප්‍රහාරයන් නිතර එල්ල වූයේ නැගෙනහිර පළාතට මායිම්ව තිබූ අනුරාධපුරය,,පොලොන්නරුව, අම්පාර වැනි දිස්ත්‍රික්කයන්හි මායිම් ගම්මානයන්ට බවයි. ඒවා මෙහෙයවීමට අණ දුන්නේ අන් කිසිවෙක් නොව කරුණා බව ඉතිහාසය සාක්ෂි දරයි. එපමන්ක් නොව බොහෝ විට එම -මන්නා-පිහි කන්ඩායම් පිල්ලෙයාන් විසින් පුද්ගලිකවම මෙහෙයවා ඇති බැව්ද රහසක් නොවේ. අද මේ දෙදෙනාම වර්තමාන රජයේ ප්‍රභලයන්. හාස්‍යජනක කාරණාව වන්නේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට මුල් වූ ශ්‍රීලනිපේ උපසභාපතිවරයෙක් හෝ ලේකම්වරයක් වන්නේද මේ කරුණාමය. දමිළයෙක් ලංකා රජයේ ඇමතිවරයෙක් වීම අපට ගැටළුවක් නොමැත. නමුත ත්‍රස්තවාදියෙක් එම ස්තානයේ සිටිනවාට අප විරුද්ධය.

    ReplyDelete
    Replies
    1. මිනිහා ගැන ඔය චෝදනා කලාට කෙස් පැලෙන තර්ක විතර්ක දාවී ආණ්ඩුවෙ මගෝඩිස් තුමාලා... කවුරු දඩුවම් නුදුන්නත් ස්භාවධර්මයාගේ නියමයෙන් මේ මිනිස්සුන්ට කවදාවත් බේරුමක් නෑ... උන්ගෙ හෘද සාක්ෂියත් වද දේවි ජීවත් වන තුරාවට උන් කරපු පවු ගැන.

      Delete
  21. 0718 3333220 සිරා, මේ අංකය වැරද්යි.කරුණාකර නිවැරදි කරන්න. අංක 11 ක් තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැරැද්ද පෙන්වා දුන්නට... මම දුරකථන අංකය නිවැරදි කලා...

      Delete
  22. සැබවින්ම සිරාගේ මේ පෝස්ටුව ලංකා බ්ලොග් ඉතිහාසයේ සුවිශේෂි එකත් ..ඔහුගෙ මේ ලිපිය මගේ හිත කම්පා කළා. මම අද උදෑසන පිරිවෙනේ ලොකු හාමුදුරුවන්ට කතා කළා. උන්වහන්සේ දහම් පාසල් දරුවන් පිරිසක් සමග කොළඹ වැඩම කර සිටියා. උන්වන්සේ කතා කෙරුවේ විශාල කම්පාවකින්. තමන්ගේ දුෂ්කරතාවයන් සදහන් කරමින් උපකාර ඉල්ලන්නට කිසියම් පැකිළීමක් උන්වහන්සේට තිබුනා. ඇත්ත තමයි කොහොමද පන්සලක නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් එහෙම කරන්නේ? මගේ බලකිරීමටයි ලොකු හාමුදුරුවෝ කතා කළේ. පන්සලේ 100 කට ආසන්න භික්ෂූන් වහන්සේලා පිරිසක් ඉගෙනගන්නා බවත් ඔවුන් සියලු දෙනාම සැතපෙන්නේ බිම පැදුරු එලාගෙන බවත් ලොකු හාමුදුරුවෝ කීවා. එමෙන්ම උන්වහන්සේලා සෙනසුරාදා දිනයේ පිණ්ඩපාතයේ වැඩම කරන බවත් නමුත් ගැටලුව වන්නේ ඒ සදහා අවශ්‍ය පාත්‍රයන් හිගකම බවත් උන්වහන්සේ කීවා. දරුවන් වැනිවූ සාමණේර හාමුදුරුවරුන් විදින ගැහැට නිසා පියෙකුගේ හිත තුල ඇතිවන වේදනාව උන්වහන්සෙගේ වචනවල තිබුනා. මම ඉතා සතුටින් කියන්නෙ සිරාගේ පෝස්ටුව නිසා මට විශාල පුණ්යකර්මයක් කරගෙනීමට අවස්තාව ලැබුණු බවයි.
    ලන්ඩනයේ ජීවත් වන මගේ හිතවතෙක් මගේ දැනුම් දීම මත පිරිවෙනේ කටයුතුවලට උපකාර කරන්නට පොරොන්දු උණා. ඒ පිළිබදව ඉදිරියේදී පෝස්ටුවකින්ම කියන්නම්. සිරා uඋඹට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ටුව දැක මා ඉමහත් සතුටට පත්වූ බව කියන්න ඕනෙ... රතු රජරට මම ඔබේ වෑයම පිළිබද අතිශයින් කෘතඥ පූර්වක වෙනවා... ඉතාමත් අඩු කියවන්නන් පිරිසක් සිටින බ්ලොග් ලිපියක් ලෙස මා මෙම සිද්ධිය ලිව්වෙ මීටත් වඩා පිරිසක් මෙය කියවාවි යන සිතිවිල්ලෙන්... එහෙත් අද වන විටත් මෙය කියවා තිබුනේ 146 ක් වැනි සුලු පිරිසක්... කුණු හරුප පෝස්ටුවකට පිරිස වැඩි වුනත් මේ වගේ දෙයක් කියවන්න එලෙස පිරිස එන්නෙ නෑ... කියවන්න ආපු අතලොස්ස අතරින් මෙහෙම උදව්වක් කරන්න ඉදිරිපත් විම ගැන මම ඔබට සියලු සුභ දේ ප්‍රාර්ථනා කරනවා... ඔබේ බ්ලොග් එකෙනුත් මේ සම්බන්ධව ලියන්න... ඉරිදා වඩා ජනප්‍රිය ජාතික පත්‍ර‍යක මේ සම්බන්ධව පල කරන්නයි මගේ මීළග උත්සාහය. ජය!

      Delete
  23. ඒ වගේ කාලයක් ආපහු නම් ඇති වෙන්න එපා. උතුරු නැගෙනහිර මිනිස්සු වින්ද දුක ගැහැට අපමණයි. නැගෙනහිර ගොඩක් ඔය වගේ කෘර මිනීමැරුම් කලේ කරුණා ඇතුළු හු*** පුතාල. ltte එක දමිල ජනතාවගේ හිත් වලට පෙව්වේ සිංහලයෙක් දුටු තැන මරන්න ඕනි කියල.
    අතීතය දැන් ඉවරයි. අපිත් පුළු පුළුවන් විදියට ආධාරයක් උපකාරයක්‌ කරන්න ඕනි. පරණ මතක අලුත් කලාට සිරාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ සම්බන්ධව අදහසක් පල කලාට... කරුණා ඉතිං ලැජ්ජ නැතුව දළදා මාළිගය බලන්නත් ගිය එකෙක්නෙ...ඒකටත් බෝම්බ ලොරියක් එවලා...

      රජයෙන් මේ පන්සල් වලට එතරම් ලොකු දායකත්වයක් නැති නිසාම.. මේ චාරිකාවෙන් පස්සෙ මට හිතුනා මට පුලුවන් දෙයක් කරන්න... ඒ දේ තමා මේ කරලා තියෙන්නෙ... බලමු ඉස්සරහට සුභ දෙයක් වේවි....

      Delete
  24. සිරා, මේ ගැන යමක් කිරීමට මම අද සිට උත්සාහ කරනවා.ඔබට හෝ ඒ හාමුදුරුවන්ට පුලුවන්නම් නොපමාව 1.කළුතර බෝධි භාරකාර මණ්ඩලයට
    2.ඒ ප්‍රදේශයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට
    3.ජනාධිපති අරමුදලට
    ලිඛිතව ඉල්ලීමක් කරන්න කියන්න. එහිදී මෙන්න මේ කරුණු අවශ්‍යයි. අදාළ ජාල ව්‍යාපෘතිය සඳහා සුදුසුකම් ලත තාක්ෂණික නිලධාරියකු විසින් සකසන ලද තාක්ෂණික ඇස්තමේන්තුව. මෙය සත්‍ය කරුණක් බවටත් ආධාර ලබාදීම සුදුසු බවටත් ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය.
    මම කරන කොටස හාමුදුරුවන් සමග කතාකරන්නම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ කාරුණික අවධානය මේ පිළිබද යොමු කලාට... මමත් උන්වහන්සේ දැනුවත් කරන්නම්....

      Delete
  25. බැංකු ගිනුම් අංකයක් වැන්නක් තිබේ නම් ආධාරයක් දාන්න පුළුවන්.


    ReplyDelete
    Replies
    1. එවැනි දෙයක් තිබේ නම් හාමුදුරුවන් අමතා දැනුම් දෙන්නම්... ප්‍ර‍තිචාරයට ස්තූතියි...

      Delete
  26. /* මේ සිදුවීමෙන් මිය ගිය ස්වාමීන් වහන්සේලා 31 නම වෙනුවෙන් සෑම වසරකම ජූනි මස 2 වෙනිදා කුල දරුවන් 31 දෙනෙකු පැවිදි කරනවා.
    */

    එවැනි සංකේතාත්මක වැඩ ගැන නං මට පැහැදීමක් නෑ.

    කෙනෙක් මහණ විය යුත්තේ වෙන අයෙක් සැකසූ ටාගට් එකක් සපුරන්න නොවෙයි. සැබැ ලෙසම දහම් ඉගෙන ගෙන සසර කෙටිකර ගන්නා අරමුණෙන්.

    ReplyDelete
    Replies
    1. ටාගට් එකක් සපුරන්න නෙමෙයි කියන අදහසට මමත් එකගයි... එම දිණයටම මහන කිරීමේ අරමුණ කුමක්ද කියලා මම දන්නෙ නෑ... සමහර විට මේ ම්ලේජ සිදුවීමෙන් මියගිය අයට කරන පින්කම් ආදියට සමගාමීව වෙන්න ඇති.

      Delete
  27. සිරා,

    හීයක් එවා ඇත. පිළිතුරු අපේක්ශාවෙන් පසු වෙමි.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න සෙන්නා... මේල්ලුවක් ඇවිල්ලා නැත...
      sjeewa82@yahoo.com වෙත මීළග ඊය යොමු කරන්න....

      Delete
  28. මේ වගේ වැදගත් දේවල් ලියනවට ඔයාට ගොඩාක් පින් අයියේ....මම සම්පූර්ණම විස්තරේ කියෙවුවා....ඔයාගේ අනාගතේට සුභ පතනවා....පුලුවන්නම් මේ වගේ දේවල් ටිකක් එකතු කරලා පොතක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමා ඔබේ අවංක අදහස් වලට... ඔබ මතු කල කාරණයත් සළකා බලන්න ඕනෙ...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...