Tuesday, February 18, 2014

89 ගම හෙල්ලූ වල් බූලා

බූලා යනු ලොම් පිරුනු සුනඛ පෝතකයෙකුට කියන නමක් නොවේ. මුල්වරට මේ වචනය ශ්‍රවනය කරන අයට එවැනි චිත්ත රූපයක් මැවුනාට මට කොරන්න දෙයක් නැත. සිරි ලංකාවේ පලාතෙන් පලාතට ඇතැම් වචන මෙන්ම එහි අරුතද වෙනස් වනවා සේ මේ වදනද එසේම තැනින් තැනට වෙනස් වන එකකි.

ඇතැම් තැනක මා මෙහි බූලා යනුවෙන් හදුන්වන චරිතයම ග්‍රීස් යකා යනුවෙන්ද හදුන්වයි. ඒ අනුව බූලා යනු කවරෙකුදැයි දැන් ඔබට දළ අදහසක් ලැබී ඇතිවාට සැක නැත. ඒ අර්ථයෙන් ගත් කල ග්‍රීස් යකා යන්න බූලාට වඩා ජනප්‍රිය වදන වුවත් අප ගම් පළාතේ භාවිතා වන්නේ බූලා හෙයින් මෙයින් මතු මේ ලිපිය පුරාවට ග්‍රීස් යකා බූලා ලෙසම ලියවෙනු ඇත.

කාන්තාවන් දියනාන විටෙක, ඇග සෝදන විටෙක එදෙස හොරෙන් බලා සිටීම, මහ රාත්‍රීයේ කාන්තාවන් නිදා සිටින කාමර තුලට රිංගීම, කාන්තාවන්ගේ ශරීරාංග අත පත ගා ඒවා නියම ගානට වැඩී ඇතිදැයි සැකහැර දැනගෙන කලුවරේම මාරු වීම, කාන්තා යට ඇදුම් වලට පෙම් බැදීම, ඒවා වැඩි ආරක්ෂාවට තමා සන්තකයේ තබා ගැනීම වැනි සමාජය අනුමත නොකරන ක්‍රියා බූලාගේ රාජකාරි වෙයි.

වතාවක් අපේ ගම්පියසටද බූලෙකු අරක් ගත්තෙහිය. තනිව දිවි ගෙවූ මැදිවයසේ කාන්තාවකගේ නිවෙසක වසා නොතිබූ ජනෙල් පියනක් වැසීමට ගිය මේ කාන්තාව ඉදිරියේ හදිසියේම පහල වී ඇත්තේ උපන් ඇදුමෙන් සැරසී සිටි නිගන්ඨයෙක් බදු මධ්‍යම ප්‍රමාණයේ එකෙකි. ඒ දසුනින් භියපත්ව මහා රාත්තිරියේම ඈ නැගූ විලාපයේ දෝංකාරය පසුදා ඇදිරි වැටෙන වෙලාව වන විට ගම්මානයේ බහුතර ලදුන්ගේ සිත් භීතියෙන් මුසපත් කර තිබිනි.

අනේ බලන්න කවුද වලත්තයෙක් ------- ගෙදරට ඊයෙ රෑ අමු හෙළුවෙන් ආවා කියන්නෙ....අපේ ගෙදරට එහෙම ආවා නම් ඕකගෙ අහ වල් එක මාලු මන්නයෙන් කපලා තමයි මම පස්ස බලන්නෙ...ඇතැම් වීරෝධාර දේශමාමක කාන්තාවක දෙදෙනෙකු එසේ දිවා කල වහසි බස් දෙඩුවද...රාත්තිරිය උදා වන විට පණ භයේ ගැහෙමින් වේලාසනම නින්දට ගිය සිදුවීම්ද මේ කියන කාලයේ දුලබ නොවීය.

බොහෝ අය නොසිතූ ලෙස පිට පිටම දෙවැනි රැයේද බූලාගේ ආගමනය සිදු වී තිබුනි. එවර දවසේ මෙහෙවර අවසන් කොට දිය ස්නානය කරමින්  සිටි තරුණියක් බූලාගේ හැඩ සොබා දැක තිබුනි. ඈ නැගූ විලාපය බූලාගේ ආගමනය නැවත වතාවක් ගම්මානයට සන්නිවේදනය කළෙහිය.

දෙවැනි සිදුවීමෙන් පසු හැන්දෑකොරේ උදාවෙන විට කාන්තාවන් භීතියෙන් මුසපත් වීමත් ඒ හේතුවෙන් පුරුෂ පක්ෂයට සෑහෙන පාඩු සිදු වීමත් නිසාම දින දෙක තුනකට පසු ඕකාව කම්බස් කරලා තමයි පස්ස බලන්නෙ යනුවෙන් ඇතැම් තැනක සැමියකු වහසි බස් දොඩා වත්ත පිටිය මුර කිරීම ඇරඹුවද බිරිද නිදාගත් පසු භියටම මෙන් උන්ද නිදාගන්නට ඇත. නැතිනම් බූලා සෑම රැයකම හොල්මන් කරන්නට ඉඩක් නැත.

ඊයෙ උදේ කොහෙටද අනේ අරූ ඇවිල්ලා තියෙන්නෙ... සෑම උදෑසනකම මේ ගැටලුව බොහා දෙනා විමසන තැනට වැඩ සිද්ධවෙන්නට වැඩි කාලයක් ගියේ නැත. රාත්‍රිය උදාවෙත්ම එහෙං මෙහං එබි කං කර කෝලිත්තං කරනා මේ බූලා සියුම් භීතියක් ගම තුල මවා තිබුනි. අද රාත්තිරියේ මතුවෙන තැනින් නොව හෙට රාත්තිරියේ මේකා මතුවෙන්නේ තවත් තැනකිනි. මේකාගේ ක්‍රියා කලාපයේ තරම මොනවට පවසමින් මද දිනකට පසු බූලා යන වදන ඉදිරියට වල් යන විශේෂණ පදය යෙදිනි.

ලදු කැලෑ, බඩවැටි වලින් ගහන නොවූ පරිසරයක අපේ ගම පිහිටා තිබීමත්, ගමට ඇතුලුවෙන මාර්ගයෙන්ම නැවත පිටවිය යුතු වීමත්, ලග ලග නිවාස පිහිටා තිබීම යන සාධකත් සැලකූ විටෙක පිටස්තරයෙකු බූලා චරිතය රග පෑවේ යයි සිතන්නට අපහසු බවක් ඇතැම්හු කීවෝය.

ඕක මේ ගනං ගන්න තරං දෙයක් නෙමෙයි බොලව්...කොමාන්ඩෝ කොල්ලන්ව ඔය වගේ රහසේ ගම් වලට පිටත් කරලා ගම්මුන්ට අහු නොවී ආපහු ආ යුතු පුහුණුවක් තියෙනවලු. සමහරු එසේද කීවෝය. එහෙත් හමුදා වල සේවයේ නිරතව සිටි අපේ ගමේ අය කිව්වෙ, කොයි ගොනාද එහෙම කියන්නෙ...එහෙම පුහුණු හමුදාවේ නෑ කියාය.

එක් දිනක් උදෑසනක මා අවදි වන විට එකා දෙන්නා බැගින් අප නිවස පිටුපසින් ඇරඹෙන වෙල්යායට දුවමින් සිටියේ බූලාගේ නම කියමිනි. මමද නිදිගැට සහ කබ සම අනුපාතයෙන් කඩමින් පහළට රූටා යන  සරං කඩමල්ල ඉන වටා තද කරමින්, මගේ ජාමය බේරා ගනිමින් වෙලට බැස්සේ බූලාගේ මළ සිරුර කුඹුරක වැටී ඇතැයි යන සිතුවිල්ලෙනි.

එහෙත් එහි වූයේ අලුතින් වපුරන ලද කුඹුරක වූ පා සටහන් පෙළකි. ඒ අනුව ගත වූ රාත්තිරියේ බූලා සැරීසරා ඇත්තේ අපේ ඉසව්වේය. ගැටිස්සියන් ඇතුලු සියලු කාන්තා ප්‍රජාව රාත්තිරිය උදාවෙද්දී අහේතුක භියකට පත් වීම තව දුරටත් දරාගත නොහැකි වූ තැන ගම්මුන් විසින් ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනා ආකාරයක් පිළිබද කථිකා කලද රැයක් නිදිවරා පසුදා රාජකාරියට පිටත් වීමේ අපහසුතා ඇති වන නිසා බොහෝ අය ඒ වැඩපිළිවෙලට එක් නොවූයෙන්...අලුත් යෝජනාව ලත් තැනම ලොප් විය.

තවමත් බූලාගෙන් කිසිම අයෙකුට හානියක් වී නොමැත. අතනින් මෙතැනින් හෙළුවෙන් දිව ගිය බව පමණක් අසන්නට ලැබේ. වෙනදා සේවය නිම වී තනිව නිවසට ආ තරුණියන්, කාන්තාවන් , ගැටිස්සියන් රැගෙන එන්නට මෙදා සහපිරිවරින් නිවසේ උදවිය මහා මාර්ගයට වේලාසනින් ඇදෙනු දැකිය හැකි වෙයි.

මධ්‍යම රාත්‍රියද  පසු වූ තැන බූලාගේ රාජකාරි සැමදා වාර්තා වී තිබුනත් එක් දිනක් රාත්‍රී හතේ කණිසම වදිද්දී මහා කෝලාහලයක් බදු හඩකින් මගේ පාඩම් වැඩ කටයුතු බිද වැටුනි. දයාවතී අක්කලගෙ ගේ ලග මේ දැන් අර හොල්මන් කරන එකා හිටියලු....අන්න ගමේම කොල්ලො ගම පීර පීර බූලව හොයනවා...

ගමට ව්‍යසනයක් උදාවූ කල නියම වීර පුරුෂයෝ හැංගෙන්නට යන්නේ නැත. අවසානය දක්වාම සටන් කරනවා නියතය. ඒ උදාර සිතුවිල්ලෙන් ඔද වැඩී ගිය මගේ චිත්ත සන්තානය දරාගෙන  සිරා කොලුවා නිවෙසින් එළියට සම්ප්‍රාප්ත වන විට  අතේ තිබුනේ පුංචි පොලු කැබැල්ලකි.

විදුලි පන්දම්, හුළු අතු, ආදියේ එළියෙන් තරුණ, මහළු, වැඩිහිටි සියල්ලෝම ගම දෙවනත් කරති, කාන්තාවන් සියල්ලෝ නිවෙස් වලින් ඉවතට විත් එක් තැනක රැදී සිටිති.

ඕකව අහුවුනොත් මැරෙනකම්ම ගහපල්ලා...එකෙකු එසේ කියති.

එපා එපා...ඌට අපි ගෑණු ඇදුම් අන්දවලා ප්‍රදර්ශනය කොරමු.....තවෙකෙකු කියති.

සමස්ත ගමම ආවරණය වන පරිදි දැන් ක්‍රියාන්විතය කෙරීගෙන යයි. ගම වටේටම ඇත්තේ කුඹුරු යායක් බැවින් කිසිවෙකුට ගමෙන් ඉවතට යා නොහැක. සෑම තැනකම මුර සෙබළු ස්ථාන ගත වී හමාරය.

මමද කීප දෙනෙකු සමග කුඩා කණ්ඩායමක් සාදාගෙන ලදු පදුරු ඇති තැන් පීරා යන්නට පටන් ගතිමි. ඇසින් දුටු තොරතුරු අනුව බූලා මධ්‍යම ප්‍රමාණයේ එකෙකු වුවද කිසිවෙකු තනිව එහෙ මෙහෙ යන්නේ නැත.

අප නිවස කිට්ටුව අල්ලපු වත්තේ වූ බිමට පහත් වී තිබූ කෝපි පදුර තුල කිසිවෙකු සැගවී සිටින්නේදැයි බැලීමට මෙන් මා ඒ තුලට දැවැන්ත කලු ගලක් විසි කලෙමි. ඒ නිසා නැගුන සර සරය ඒ අවට සිටි කිසිවෙකුට ඇසුනි.

මෙන්න බූලා ඉන්නවෝ...වරෙල්ලා ඉක්මනට.... ඒකා හඩ තැලූයෙන් භට සේනාවෝ වහ වහා එහි පැමිණියහ. මම හොද ළමයා මෙන් කිසිවක් නොදන්නා එකෙකු මෙන් කල් මැරුවෙමි.

මෙතතින් තමයි සද්දෙ ආවෙ....මේ දැන් මෙතන ඉදලා තියෙනවා....කොල්ලො ඉක්මනට හොයපල්ලා...අද දෙකෙන් එකක් බේරගන්න ඕනෙ...අපේ ගෑණියෙක්ට රාත්තිරියෙ දොට්ට පිලට යන්නත් නෑ මේ කාලකණ්නියා නිසා....මට අහුවුනොත් මරලා ඔබනවා මේ ඇලේ...කබර අජියා මොර දෙන හඩ ඇසේ.

කෙසේ හෝ අපගේ ක්‍රියාන්විතය ආරම්භ වී සෑහෙන වෙලාවක් ගත වුවද බල්ලෙක් වත් සොයාගත නොහැකි විය. මෙහෙයුම නිමවා පිරිස විසිර යන අවස්ථාවේදී ගම්වාසී අප හිතවතෙකු හදිසියේ අප සොයාවිත් කිව්වේ මට ආරංචිය ආවේ දැන් බවත් නැත්තං ඕකව කුදලන්න මමත් එන බවකි.

මේ මහා මෙහෙයුමෙන් පසු බූලා  ටික දිනක් වරින් වර දර්ශනය වී සෑහෙන දවසක් නොපෙනීම ගියේය. අපේ ගමට පිටස්තර පුද්ගලයෙකුට මෙවැනි චරිතයක් රගපාන්නට බැරි බව ප්‍රත්‍යක්ෂ කරුණකි. ගමේ පිහිටීම ගැන හොද අවබෝධයක් නැතිව රෑ පානේ ගමන් බිමන් අපහසුය. ඒ අනුව බූලා ගමේම එකෙක් විය යුතුමය.

පළමු මහා මෙහෙයුම අවසන් වී සති දෙකකට පමණ පසු යලිත් වරක් බූලාගේ ආගමනය සිදුවූයේ ඉර එළිය සැගව යන්නටත් මත්තෙන්  6.30 කණිසමට පමණය. භට සේනාවෝ එදා නම් එක්වරම ගමම ආවරණය කරමින් යෙදූ ආරක්ෂක දැලෙන් මදුරුවෙකුට, මැස්සෙකුට මිස මිනිසෙකුට රිංගා යා නොහැක.

දවසේ විඩා නිවා ඇග සෝදා අවසන් වූ කාන්තාවකගේ හිරි ඔතප් බිදීමට තැත් කිරීම බූලාට එරෙහිව මෙදා නැගුනු චෝදනාවයි...

අරින්න එපා කොල්ලනේ..මේකව අද කම්බස් කරමු...පොල් විල්බට් අයියා හක්කේ අන්තිම කොනේ රැදුන ගිය සතියේ බුලත් හපද එළියට එන තරමේ හඩකින් කෑ ගසමින් පිරිස දිරිමත් කරයි.

ඔය වලත්තයව කුදලගෙන වරෙල්ලා...ගෑණු අපි සලකලා යවන්නං ඌට බීපු මව්කිරි මතක් වෙන්න....කට හැකර අම්මණ්ඩියක් එසේ කියද්දි කොල්ලන්ගේ මොරාල් අප් වූ නිසාදෝ  අහු මුළු නෑර බූලා සොයන්නේ මාරාවේශ වූ විලාශයෙනි. එවන් විටක බූලා මතුවූයේ නම් ඒකාගේ අවසන් කටයුතු සදහාවත් සිරුරු කොටස් ඉතිරි වෙනවා සැකය.

දඩාස්......යන හඩින් කුඩා පුවක් ගසක බදේ වැදුනේ තරමක කලු ගලකි. ඒ භට පිරිසේ ඉදිරිපෙල  නියමුවෙකු ඉලක්ක කර එල්ල වු ප්‍රහාරයක් බව කාටත් සැකයක් නැත. එහෙත් හොල්මන් කරනා බුලා සොයාගැනීමට කිසිසේත් නොහැක....ප්‍රතිඵලයකින් තොරවම එදිනද මෙහෙයුම අවසන් වද්දී පෙර දා පැමිණි ගම්වාසී හිතවතා මෙදාද පැමිණියේය.

මම ගෙදර නිදියගෙන හිටියෙ...මේ සද්දෙ ඇහිලා මම දුවගෙන ආවෙ. හෙතෙම එසේ පැවසීය. හැමදාමත් මෙහෙයුම අවසන් වද්දී අප ඉදිරියට පැමිණෙන මේ හාදයා ගැන කොලු පරපුරට ඇති වූයේ බලවත් සැකයකි. නමුත් වචනයෙන් පිට වූයේ නැත.

වරින් වර එළි දැක්වුනු බූලා නාටකය අතර තුර එම වසරේ සිංහල අලුත් අවුරුද්දද උදා විය. එම ප්‍රීතිය විදදරා ගැනීමට ගමට මද දුරකින් ගලා යන ඔය අසබඩ වෙල් එළියේ ගස් සෙවනක මධුවිත බෝතල් කීපයක් එකතු වූයේ සාමුහික දායකත්වයෙනි. අඩුම කුඩුම ඇති පදමට තිබූ මේ කියන දවසේ ගමේ පරම්පරා කීපයක ඇත්තන් එක පැදුරක වාඩි වී සීදුවේ ගල් රසය විදගත්තෝය.

බූලා යනු මේකායි අපේ සැකයට බදුන් වූ සගයාද මේ අවස්ථාවට එක් වී අදින් පසු අරක්කු සොයාගැනීමට නොහැකි වේදෝයි සිතා  වීදුරු කීපයක් එක ලග නැමූවෙන් කෙටි කලකින්ම හිස බිමට බර විය. කන සාක්කුවට වැටුනි. මේකාව බිම සතපවා ඉතිරියත් බඩ ගෙඩිවලට හලාගෙන පිරිස නිවෙස් වලට යන්නට සිතුවා පමණි.

බිම වැටුන එකා විකාර දොඩවයි. කිසිවෙකු ඒ පිළිබද තැකීමක් නොකලද එක්වරම උගේ ශ්‍රී මුඛයෙන් වැඩි හරිය පිට වූයෙන් ඇද සිටි මල් මල් කමිසය කබරයාගේ රටා වලින් අලංකාර විය.

මේකාට වමනෙ ඉස්පොල්ලෙ ගියොත් මල මගුලයි...ඔන්න ඕකව අර ඔයට අල්ලලා හෝදලා ආයෙම මේ කොහෙං හරි ඇල කොරපල්ලා...මතක ඇතුව ඔලුව පැත්තට හරවලා තියපල්ලා.

හැඩිදැඩි සැල්ටොන් මාමාගේ වචනයට සියල්ලෝ කීකරු වුයෙන් ඒකාව රැගෙන කොලු කුරුට්ටෝ ඔයට බැස්සෝය. පිරිසිදු කිරීමේ කටයුතු අහවර කර  ගොඩට එන්නට හදනා විටෙක එකෙකු පෙන්වූයේ ඈතින් ඇති පාලම යට සිට ඇදුම් ගලවමින් සිටි පුද්ගලයෙකි.

ගමේ ඉඹා ගාතේ ඇවිද ගිය මන්දමානසික පුද්ගලයෙකු පාලම යට ජීවත් වන්නේ කාලයක සිටය. එහි අරුමයක් නැත. මේකාට සමහරු පිස්සා කියා නිග්‍රහ කලාට සමහරු පින් තකා කෑම වේලක් දුන්නෝය. පුංචි පහේ වැඩක් පලක් කොර ගත්තෝය. පොල් ගස් නගින්නටද රුසියෙකි.

මම දැන් සෑහෙන වෙලාවක ඉදන් බලා හිටියෙ...අරූ ගලවනවා ගලවනවා ඉවරයක් නෑ බං...ඔච්චර කොහෙන්ද ඌට ඇදුම්...පොඩ්ඩක් ඇහැ දාමුද ?  එකෙකු ගෙන ආ යෝජනාව සභා සම්මත වෙන්නට වැඩි වේලාවක් ගියේ නැත.

උමතු පුද්ගලයාට නොපෙනෙන්නට පිරිස මදින් මද පාලම යටට සමීප විය. කඩියෙකු මෙන් කඩිසරව ඇග ලා සිටි ඇදුම් රාශියක් එකින් එක ගලවනු පෙනෙයි. නමුත් දර්ශනය තවමත් අපහැදිලි නිසා තව දුරටත් පාලම සමීපයට යාම අවශ්‍ය විය. නිවාඩු ලබා ගම පැමිණි සිටි හමුදා සෙබලෙකු කාටත් ඉස්සර විය.

පාලම යට පදුරක් අස්සට වන්නට ඇදුම් රාශියකි. ඒ සියල්ලම කාන්තා යට ඇදුම් බව සහසුද්දෙන් පෙනෙයි. ඒ අතර වර්ණ හා රටා රාශියකි. ඇතැම් විද්‍යාත්ම පරීක්ෂණ අතර තුර සිදුවන වැරදීම් නිසා සොයන්නට නොසිතූ දෙයක් හමු වුනා සේ කනාවට හෝ අප මේ සොයාගෙන ඇත්තේ ගමට පිළිලයක් වී තිබූ වල් බූලාය.

මූගෙ අම්මට...........යකෝ අපේ ගෑණි ගිය සතියෙ මා එක්ක පොලේ ගිය වෙලේ ගත්ත අලුත්ම දම්පාට .................. බොල අරූ අර ඇදගෙන ඉන්නෙ....ඕකට මම....මත්පැනින් සන්තර්පනය වී කෝපයෙන් ඉහවහා ගොස් සිටි තැඹිලි සෝමයියා අප දෙසට පසුපස හරවා තම සරමට යටින් ඇද සිටි කාන්තා යට ඇදුම් උනා දමන පිස්සාට හදිසියේම එල්ල කලේ දරුණු පා පහරකි. එහි ආනුභාවයෙන් ඔයේ ඉවුරට ආසන්නයේ තිබූ අත්තික්කා ගසේ අතු කීපයක්ද කදෙන් වෙන් කරමින් ජබොක් යන අනුකරණයෙන් ඔයට වැටුනේ බුදු අම්මෝ යනුවෙන් විලාපයක්ද නගමිනි.

මේ හඩ ඇසුනු ඒ ආසන්නයේ ඇති සමරු මාමාගේ සිල්ලර කඩයේ සිටි සිහියෙන් යුතු පිරිසක් දිව ආයෙන් පිස්සාට යලි ජීවතුන් අතරට එන්නට අවකාශ ලැබිනි. මෙයින් පසු මද කාලයක් මේ පුද්ගලයා ගමේ සැරිසැරුවද පසුව එක්වරම අතුරුදහන් වී සිටියේය. ගමට මායිම් වූ පොල් වත්තක සේවයට මේකාව කැටුව ගිය බවක් අපට ආරංචි විය. නමුත් ඊටත් වසරකට පමණ පසු හෙතෙම ස්වභාවික හේතු මත මිය ගොස් ඇති පුවත ගමට සැළ විය.



මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.






ප.ලි

මෙවැනි පුද්ගලයන්ට පහර දීම පාපයකි. ගත යුතු හොදම පියවර නම් එවැනි අය අල්ලාගෙන මානසික සෞඛ්‍ය ආයතනයට යොමු කිරීමයි. විකෘති ලිංගික ආශාවන් සන්තර්පණය කර ගැනීමට මාන බලනා මෙවැන්නන්ගෙන් බූලන් හෙවත් ග්‍රීස් යකුන් උපදී.

අප එදා නිකරුණේ සැක කල පුද්ගලයා උපන් ගෙයි අහිංසකයෙකි. ඒ නිසා හැම විටම සැකය සාධාරණ නොවන බැවින් කරුණු ඔප්පු කරගත හැකි පසුබිමක පමණක් කෙනෙකුට චෝදනාත්මක ඇගිල්ල දිගු කරන්න. මෙය ජීවිතයේ බොහෝ තැන් වලදී ඔබට ප්‍රයෝජනවත් වනවා නියතය.

මන්ද මානසික පුද්ගලයා මෙහෙයුම් අවස්ථා වලදී දිව ගොස් අදුරේම උසැති පොල් ගස් මත සැගවෙන්නට ඇතැයි අපට පසුව සිතුනි.


අපේ නලින් මාමලගෙ ජාල පත්තරේ පලවූ මෙවැනිම පුවතක් මෙතැනින්











89 comments:

  1. හිඟන්නෙක් පිස්සෙක් නෙවෙයි ඕනෑම ප්‍රදේශයක ඉන්න සාමාන්‍ය පුද්ගලයකු වුනත් මේ විදිහට කාන්තාවන්ගේ යට ඇඳුම් සොරකම් කිරීම. ඒවා හැඳගනීම, සිඹීම, තම කොට්ටය යට තබාගැනීම, ආදී සියල්ලම කරන්නේ කිසියම් මනෝ ලිංගික විකෘතිතාවක් නිසා බව, මනෝවෛද්‍ය වරුන් විසින් අනේක වාරයක් ජනමාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. නමුත් අපේ සමාජයේ තවමත් සෑහෙන දුරට උත්සාහ කරන්නේ ඔවුන් මනෝවෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කිරීම වෙනුවට ගහලා බැනලා ප්‍රශ්නය විසඳන්න.

    අපේ හමුදාවේ එක්තරා මේජර් ජෙනරල් කෙනෙකුට නියමිත කාලයට පෙර හමුදාවෙන් විශ්‍රාම යන්න සිදුවුනා මෙවැනි ප්‍රශ්නයක් නිසා. මා දන්නේ නැහැ ඔහු ඊට පස්සේ මනෝවෛද්‍ය ප්‍රතිකාර ගත්තද කියා.

    ReplyDelete
    Replies
    1. මේ කාරණයට වයස් භේදයක්...උස් පහත් භේදයක් නෑ නොවැ....වැසිකිළි වල කැමරා අටවපු දොස්තරලා ගැනත් පහුගිය දවස් වල ප්‍රවෘත්ති පල වුනේ. මෙවැනි මානසික තත්වයන් තියෙන පුද්ගලයන්ගෙ ඒ ගතිගුණ සමාජයට අනාවරණය වුනාට පස්සෙ වැඩියෙන්ම අපහසුතාවට ලක්වෙන්නෙ පවුලෙ උදවිය.

      Delete
  2. //මෙවැනි පුද්ගලයන්ට පහර දීම පාපයකි. ගත යුතු හොදම පියවර නම් එවැනි අය අල්ලාගෙන මානසික සෞඛ්‍ය ආයතනයට යොමු කිරීමයි.// ඒකනං ඇත්ත. ඒත් ඉතින් අපේ මිනිස්සු මොනව වුණත් ඉස්සරල ගහලනේ කරන්න ඕනෙ මොකද්ද බලන්නෙ.

    ReplyDelete
    Replies
    1. සමහරු ඉන්නවා නොවැ කාන්තාවන් ඉදිරියේ වීරයෝ වෙන්න හදන...වැඩිය ඕනෙ නෑ බස් එකක ජැක් කාරයෙක් අහුවුනොත් ජැක් ගහන තව අයත් ඒකාට ගහනවා...

      Delete
  3. ඉස්සල්ලාම කරන්ට ඕනි අර මරන්ට එන අයගෙන් පුද්ගලයා බේරගන්න එක...:)

    ඒ කාලේ නියමෙට තියෙන්ට ඇතිනේ. භීතිය, ත්‍රාසය, ඔක්කොම ජාති.

    ගමේ කෙල්ලෝ එකතු වෙලා වැඩක් දෙන්ට තිබ්බේ...ඒත් ඉතින් අහිංසකයෙකුට මොනා කරන්ටද නේද?

    ReplyDelete
    Replies
    1. මානසික ආබාධයක් කියන්නෙ ඉතිං අසනීප තත්වයක් නොවැ..හුදෙකලාවෙ ජීවත් වෙච්ච කෙනෙක් විදියට කිසිවෙකු උදව් කලේ නෑ ඔහුට ප්‍රතිකාරයක් ලබා ගන්න.

      Delete
  4. එක්තරා විදියකින් අහිංසක මිනිස්සු කොට්ටාශයක්. ඒත් මේ වගේ එවුන් නිසා ඇති වෙන භීතිය ? ගහලත් බෑ. නොගහත් බෑ. ඒත් ඒ මිනිසුන් නවත්තන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. බුලා ප්‍රශ්න නිසා වද විදපු අය තමයි ඒකෙ තරම දන්නෙ...එහෙම වෙලාවට නම් මරන්නම තමයි හිතෙන්නෙ අහුවෙච්ච දවසක...

      Delete
  5. පිස්සු වුනාට මේකට මෙහෙයුම මග අරින්න, හැංගෙන්න කල්පනාව තිබ්බ එකනේ බං පුදුමේ. අනික ඌම අර පාලම යටට වෙලා අනිත් උන්ට පේන්න ඇඳුම් ගැලෙව්වෙ?

    ReplyDelete
    Replies
    1. පාලම යට ඇදුම් ගලවද්දි ඒක කාටවත් පේන්නෙ නෑ...කබරයා දාපු කෙනාව හෝදන්න සැට් එක ඔයට බැස්සෙ නාන තොටුපලකින් නෙමෙයි....මේ උමතු පුද්ගලයාගෙ අයියා ගමේ වාසය කලත් මිනිහාවත් මේ මනුස්සයා ගැන හොයා බැලුවෙ නෑ.

      Delete
  6. මොනවාහරි හොදට කහන ජාතියක් ගාලා තිබ්බානං හරි

    ReplyDelete
    Replies
    1. ගෙදරම නෝනෙක් වැරදිලාවත් ඕක ඇන්දොත් එහෙම.....

      Delete
    2. එතකොට ඉතිං බූලට වෙන සන්තෑසිය අටමට ගෙදරදිම විඳගන්න පුලුවං වෙයි. :D

      Delete
    3. අටමත් ආතල් සීන් අප්පා මවන්නේ

      Delete
    4. හප්පේ අටම් කොල්ලත් දෙන විසදුම්...ඕවා කරලා බූලා ආවෙ නැත්තං ගෙදර එකා ගුටි කන්නෙ පවුලගෙන්....

      Delete
  7. මාතෘකාව දැක්කම මතක් වුනේ අපේ බුලා කියන බල්ලව. ඌත් අපි යන ගමනක් ගානේ පස්සෙන් ඇවිත් ගමේම බලු රැල අවුස්සලා නටපු නාඩගමක් ..බලනකොට මේ වෙන බුලේක් නේ ..
    පව් ඉතින් . මානසික ලෙඩෙක් නේ.

    ReplyDelete
    Replies
    1. මේ බුලා කකුල් හතරෙ බූලෙක්...මෙහෙම අය හදුනාගත් වහාම ප්‍රතිකාර සදහා යොමු කිරීම හැම දෙනාටම පහසුවක්....

      Delete
  8. ග්‍රීස් යකුන් නම් ඉහළින් මෙහෙයවන ලද යක්කු ජාතියක් බවට කතා ගියා නේද? මේ වගේ කට්ටිය තැන තැන ඉන්නවා... අගිනිදාහය චිත්‍රපටියේත් කමල් මීට තරමක් සමාන චරිතයක් රඟපානවා නේද? හැබැ‍යි කමල් හැමදාම එන්නේ එකම ගෑනි (යශෝධා) ලඟට. ජයන්තගෙම සමනළ සංධ්වනියෙත් මෙහෙම එකක් තිබ්බා කියලා තිබුණේ.

    ReplyDelete
    Replies
    1. කමල් රගපාපු ඒ චරිතය මට මතකයි...ඔහු ඉතා කදිමෙට ඒ චරිතය නිරූපණය කලා. රජයේ අනුග්‍රහයෙන් එවැනි පිරිසක් පිටිසර පළාත් වල බිහිවුනා කියලා මමත් එහෙං මෙහෙං කියවලා තියෙනවා. මම දැං කණවැන්දුම් කියලා යශෝධා කියනකොට කමල් බොහොම අලංකාර හිනාවක් දාන තැනක් තියෙනවා ඒ චිත්‍රපටියෙ.

      Delete
  9. ඔය වගේ මානසික ආබාධිත පුද්ගලයෙක් නම් ගහන එක පවු.

    අනික වැදගත්ම දේ අර සැක කරපු පුද්ගලයට ඔහු පිලිබඳ සැකයක් තිබුනා කියා නොහැඟවීම. එහෙම හැඟෙවුවනම් ජීවිතේට හදාගන්න බැරි වරදක් වෙන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. අපි පව් කියලා හිතුවට මේ කරදරේ නිසා දුක් විදපු කෙනෙකුට එහෙම තරහක් ඇති වෙන එකත් සාධාරණයි. ඒ නිසයි බූලෙක් අහුවුනාම අම්බානක ගුටි කන්න වෙන්නෙ.

      Delete
  10. ලංකාවේ 10 න් 8 ක්ම එක එක ජාතියේ පිස්සෝ බං.. මං අර 2 න් එකෙක්.. හැක් හැක්.. (උන්ටත් පිස්සු කියල උන් කියන්නෑ නේ)

    හොදම දේ ඒක තමා පුනරුත්තාපනය කිරීම. කරුමෙට මිනිස්සුන්ට ඒවා හිතෙන්නෑ..

    අපේ චන්දන ප්‍රදීප් ලොක්කා හිටියනං කියයි කරන්න ඕන දේ..

    ReplyDelete
    Replies
    1. තමන්ට පිස්සුද කියලා දැනගන්න රෝග ලක්ෂන වලින් පුලුවන්. අංක එක තමයි තමන්ට පිස්සු නෑයි කියලා හිතන එක සහ කියන එක. :)

      Delete
    2. ඇයි මෙලෝ යකෙකුට තේරෙන්නෙ නැති අපබ්‍රංස දන්සැල් කතා ලියන එක.. ඒකෙනුත් පුලුවං !!

      Delete
    3. එතකොට PM අසමජ්ජාති කමෙන්ට් කරන අපි?

      Delete
    4. අපිට ඒකෙ හොඳම එක ප්‍රා මචං !!

      Delete
    5. ඒක නෙමේ ඔය පොඩි අන්ඩර් වෙයාර් ෆෑසිනේශන් එකක් ප්‍රවීන බ්ලොග් කාරයෙකුට තියනව කියල ඈනෝල කියනව නේද? දෑන් ඒ ඈබ්බෑහියත් නෑති කර ගෙනද? වලි වලට PM නිර්බීත නිසා (Btw I miss ur friend who used to be not-so-silent) අහල බලන්නකො

      Delete
    6. මුරුංග අතු හ‍යිය නෑ බං :D

      ඔය ඇනෝල කියන දේවල් වැඩිය මායිං කරන්ඩ එපා මොකෝ ඇනෝල එන්නෙත් වැඩිහරිය ප්‍රවීණයොම තමා බං .. හැක් හැක් !!

      Delete
    7. දේශකයා එතකොට ෂුවර් එකටම අර දෙකට අයිති කෙනෙක්....බොන වෙලාවකද එහෙම හිතුනෙ...බොහෝ දෙනාට තමාට මනෝ රෝගයක් තිබෙන බව දන්නෙ නෑ කියලයි වෛද්‍යවරු කියන්නෙ.

      Delete
  11. උඹ කියල තියෙන විදියට ඔය වගේ පුද්ගලයො මානසික සෞඛ්‍ය විද්‍යායතනයට බාර දෙන්න තරං සමහර ගම්වල මිනිස්සුන්ට දැනුමක් නෑ බං. ඒ හින්ද අල්ලගත් හැටිය කරන්නෙ හොඳට සලකන එක තමයි.
    අර මනුස්සය ගැන සැක කරනවනං කරන්න තිබුණෙ බුලා ආව කියල දැනගත්ත හැටිය මිනිහගෙ ගෙදරට හොරෙන්ම ගිහිල්ල බලන එක. කියල තියෙනව වගේ සැකය හැමවිටම ඇත්ත වෙන්නෙ නෑ තමයි.

    ReplyDelete
    Replies
    1. බූලගෙන් දස වද විදපු අයට ඉතිං කොහොමද එහෙම මානසික තත්වයක් එන්නෙ....සමහර ගම් වල මෙහෙම උන් අහුවුනාම බාගෙට පණ යනකං ගහලා තමයි පොලෝසියට භාර දෙන්නෙ...මෙහෙයුම බොහොම තදට ගිය හින්දා ඒ කෙනාගෙ නිවසට එබිකම් කරන්න අපට හැකි වුනේ නෑ...ඔහුගේ හැසිරීම තමයි අපට සැකයක් ඇති කලේ....

      Delete
  12. මන් හිතුවෙත් අර සැක කරපු මනුස්සය තමයි බූල කියල බලද්දි ඒක නෙමේනෙ :D
    දැන්නම් බූලො ගැන එච්චර අහන්න නෑ නේද අයියෙ :)

    ReplyDelete
    Replies
    1. මිනිහට ඒ චෝදනාව එල්ල කලා නම් පස්සෙ කාලෙක කසාදයක් වත් බැදගන්න බැරුව යනවා...මිනිහා දැන් දෙදරු පියෙක්...

      Delete
  13. අපේ ගමේ තාම ඔය ෆන් ඒක විතරයිද කොහෙද තිබිල නැත්තේ

    ReplyDelete
    Replies
    1. එහෙනං ලගදිම එයි....එදාට බලමු කොහොමද ආතොල් එක කියලා.....

      Delete
  14. ඒ බූලට කහපාට ස්කූටරයක් තියනව නේද බං ??

    ReplyDelete
    Replies
    1. දැන් බූල මැලේසියාවෙ ජොබ් එකක් කරං පාඩුවෙ ඉන්නවලු මනෝ වෛද්‍ය ප්‍රතිකාර වලින් පස්සෙ.. ගැහුවනං බැන්නනං පව්නෙ ප්‍රියා !!
      තරුණ ජීවිතයක්නෙ .. හැක්

      Delete
    2. එහෙනම් නාස්ති වෙන්නෙ තරුණ ජීවිතයක්නෙ අෆ්ෆා. හි… ;-)

      Delete
    3. උඹට මම කිව්වා කියලා හිතාගනින් පත්තරයො....:D

      Delete
  15. බුලා කීවාම මටත් මුලින්ම මතක් වුනේ බල්ලෙක්ව.හොද වේලාවට තමයි බොලා මේ බුලා බල්ලෙක් නොවේ කියලා පැහැදිලි කරලා තියෙන්නේ.මම හිතුවෙත් බුලා කියන්නේ උඹලාගේ සැකයට බදුන් වුන පුද්ගලයාම තමයි කියලා.බලන ගියාම එකා අහිංසකයෙක්නේ බං.

    ReplyDelete
    Replies
    1. ඒකා මේ කාරණේට කිසිම සම්බන්ධයක් නැති කෙනෙක්....දැන් ගමේ නෑ...ගුරුවරියක් කසාද බැදගෙන දෙදරු පියෙක් වෙලා දැන් මිනිහා...

      Delete
  16. " බුලා "නම දෑම්මෙ ඈයි?

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් පළවෙනි බූලා බිහිවුන කාලෙ හිටිය කෙනෙක්ගෙන් තමයි අහන්න වෙන්නෙ...මම නොදනිමි.

      Delete
  17. බූලා කියන නම ගොඩක් ගම්වල ඔවැනි අයට කියනව මමත් අහල තියෙනව.ග්‍රීස් යකා භාවිතයට ආවේ පසුකාලීනවයි.ඔවැනි අය මානසික ව්‍යාධීන්ගෙන් පෙලෙන අය බව මා අසා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බුලා කියන නමේ පොඩි අහිංසක ගතියක් තියෙනවා කියලා මට හිතෙනවා...අහල පහල තැනක ග්‍රීස් යකෙක් කොටු වෙලා ඌව අල්ලගෙන තියෙන්නෙ බොහොම අමාරුවෙන්...අල්ලන අල්ලන තැන ලෙස්සනවලු....

      Delete
  18. නොමර අත්හැරිය එක මදැයි!

    ReplyDelete
    Replies
    1. කඩේ සැට් එක ආවෙ නැත්තං ගිලිලා මැරෙන්නෙ...

      Delete
  19. සමහරු ඇඟේ ග්‍රීස් ගාගෙනලු එන්නෙ,:v :v ඒකනෙ ග්‍රීස් යකා කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. අදද දන්නෙ....උන්ව කොටු උනත් අල්ලගන්න හරිම අමාරුයිලු....

      Delete
  20. මමත් දුවගෙන ආවෙ බවුවෙක්ගෙ කතාවක් බලන්නලු ඕන්. පවු බූලා.....

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර එහෙම උන් හැදුවෙ ඉස්සර...ලෙඩවෙන නිසා දැන් හදන්නෙ නෑ....ඒ නිසා කියන්න කථාත් නැත.

      Delete
  21. //මුල්වරට මේ වචනය ශ්‍රවනය කරන අයට එවැනි චිත්ත රූපයක් මැවුනාට මට කොරන්න දෙයක් නැත// මට මතක් වුනේ බුල් වාලේ බුල් හානියා ලේ ජයෙන්ගේ :D:D:D

    අර පැත්තක හිටි එකා බේරුණු එකම ලොකු දෙයක්. සිරා අන්තිමට කිව්වා වාගේ සැකය කියන්නෙ මහා භයානක දෙයක්..

    ReplyDelete
    Replies
    1. සැකය නිසා සුන්දර පවුල් ජීවිත කීයක් නම් අසුන්දර වෙලා එකා දෙන්නා මිය ඇදිලත් තියෙනවාද....බොහොම නරක පුරුද්දක්...

      Delete
  22. ඔක වසන්ගතයක් වගෙ රට පුරාම පැතිරුනා.මට මතකයි පොඩිකාලෙ තන්ගුරා කියල එකෙක් හිටිය.

    ReplyDelete
    Replies
    1. තන්ගුරා ට මොකද උනේ....කාන්තාවන්ගෙ ඒ කොටසට විතරද මිනිහා ප්‍රිය කලේ...

      Delete
    2. ඔව් එක තමයි හේතුව.මිනිහ නිකම්ම අතුරුදහන් වුනා.

      Delete
  23. ග්‍රීස් යක්කු ග්‍රීස් ගාගෙන ඔය වැඩේ කලේ කවුරුත් අල්ලන්න ලන් නොවෙන නිසා බන්,,ඇල්ලුවත් ලෙස්සලා යන්න හැකියාව වැඩී නේ

    ReplyDelete
    Replies
    1. යෑස් යෑස්....එහෙම තැනක ඉතින් පොලු පාරක් දීලා තමයි යකාව කීකොරු කර ගත්තෙ...

      Delete
  24. ඇත්ත තමයි ග්‍රීස් යකා කියලා සෙට් උනොත් අපිත් පතබානවා. හොද පොස්ටුවක්. ජය..!

    ReplyDelete
    Replies
    1. මේක කියවලා පවු කියලා හිතුනත්....ඒහෙම අවස්ථාවක නොගහා ඉන්නවා බොරු...

      Delete
  25. හපෝ බූල්ලු ගැන නම් ඕනෙම නෑ..එයාගේ ගෙදර ගෑනු දැරිවියොම 4 දෙනයි..බුල් කරදරේ හරියට තිබුනා..යට කලිසම් සෑහෙන්න නැති වුනා..මමත් ඉතින් වැඩ පෙන්නන්න හොඳ වෙලාවනේ...යාලුවෙක් එක්ක ගිහින් කලුවරේ හැංඟිලා දවස් කීයක් නම් හිටියද බූල්ලු අල්ලන්න..අහුවුනේ නෑ...හැබැයි කරදරේ එහෙම්ම නැති වුනා...

    ReplyDelete
    Replies
    1. බොලා නෙමෙයි නේද යට කලිසං ඉස්සුවේ.....මම මේ පොඩි විහිලුවක් කලේ...අපේ ගමෙත් සුන්දර කාන්තාවො හිටිය ගෙවල් වලට තමයි කරදරේ වැඩිපුර තිබුනෙ...

      Delete
  26. ඇත්ත කියපන් උඹ නෙවෙයිනේ බූලා??
    මේ මන්ද මානසික මිනිස්සු ගැන අපි මිට වඩා අවධානයක් යොමු කරන්න ඕනේ බං අයියේ.. නැත්නම් වෙන්නේ ඒ මිනිස්සුන්ටත් කරදරයක්.. සමහර විට අපිටත් කරදරයක්

    ReplyDelete
    Replies
    1. නරකද ඒ පැත්තෙ ලගදි බූලෙක් හිටියෙ නැත්තං....බොලා බූලට ඇන්දොත්....ඇග එහෙමත් හැදිලා මස් දාලා එයි අහුවෙලා ගුටි කෑවට පස්සෙ...

      Delete
  27. මේ වගේ මිනිස්සුන්ට තියෙන්නේ මානසික ප්‍රශ්ණයක් වුනත් කරන වැඩ එක්ක මිනිස්සු ඒ දේවල් ඉවසන්නේ නැති එක ඉතින් වලක්වන්න බෑ.. අහු වුනාම ඉතින් අනිවා ගුටි කන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. ගුටි නම් වදිනවාම තමයි....මොකද මුන් කරන වැඩ නිසා කාන්තාවො බොහොම පීඩාවට පත් වෙනවා...සමීපතම අය තමයි මෙහෙම අස්වාභාවික පුරුදු ඇති අයව ප්‍රතිකාර සදහා යොමුකල යුත්තෙ....රෝගය ඉහවහා ගිය දවසක ගුටි කාලා තමයි මැරෙන්න වෙන්නෙ.

      Delete
  28. පොරට වාසය කොරන්න තිබුනේ ගාමන්ට් එකක් ළඟ

    ReplyDelete
    Replies
    1. ඔය කියන පාලම උඩින් සෑහෙන ගාමන්ට් වල වැඩ කරන දැරිවියො වැඩට ගියා ආවා.....

      Delete
  29. උබ නියම කාලේක මේ පොස්ට් එක දැම්මේ , මේ දවස්වල අපේ පැත්තේ බුලෙක් සැරිසරනවා බං, තාම මිනිහව පොලිසියටවත් අල්ලන්න බැරිවෙලා තියෙන්නේ..මමත් මුලින් හිතාගෙන උන්නේ අර කිව්වත් වගේ කමාන්ඩෝ ට්‍රේනින් එකක්වත්ද කියලා ..

    ReplyDelete
    Replies
    1. හොදට හොයලා බලහං...ෂුවර් එකටම ගමේ එකෙක් තමයි...පිටගමක උන් භය නැතුව එන්නෙ නෑ බං...වටිනා නිධානයක් එහෙම ගමේ තියෙනවා නම් ඒක ගන්න පහසු වෙන්න හැමෝම භය කරන්න දාපු උප්පර වැට්ටියක් වෙන්නත් පුලුවන්....

      Delete
  30. ඔය වගේ බූල් කරදර තියෙන පැතීවල ගෙට ලඟපාතක ගල් බාගයක් එල්ලලා තිබ්බා නම් හරි.. බූලාව හොයාගත්තෑකි.. :)

    ReplyDelete
    Replies
    1. ආපහු පහුවදා රෑටත් රාජකාරි කොරන්න තියෙනවා කියලා බූලා බාගෙ ගෙදර ගෙනිහින් උදේට කාලා භාගෙ බීලා නිදියගත්තොත් මොකද කියන්නෙ...ඒ නිසා හොදම වැඩේ තමයි භාගෙ දුටු තැනම හිස් කරන එක. නැත්තං භාගෙට වියදම් කරපු සල්ලි අපරාදෙ...

      Delete
  31. මෙවැනි ස්ත්‍රී ගති ලක්ෂන විදහි දක්වන සමහර අය මානසික ආබාධවලින් පෙලෙනවා. වඩාත්ම හොඳ ඔවුන්ව සුදුසු මානසික වෛද්‍ය වරයෙකු වෙත යොමු කිරිමයි. මුලු ගමම කරග් ගහල අන්තිමේදි පාලම යටදි හමු වුනෙත් මානසිත ආබාධිතයෙක්

    ReplyDelete
    Replies
    1. එයාගෙ සහෝදරයෙක් ගමේ හිටියට කාත් කවුරුවත් නැති ගානම තමයි උන්නෙ....අද ඉතිං මේ වගේ තේරුම් ගන්න පුලුවන් වයසක හිටියා නම් මට හැකි දෙයක්වත් කරන්න තිබුනා.

      Delete
  32. සමහර විට...ඉතින් ඔය කියන බුල ...සිරා වෙන්නත් පුලුවන් නේද....හ්හ්හ්හ්හ්...

    ReplyDelete
    Replies
    1. මට වෙච්ච දේ අනුන් පිට පටවලා ලියන්නෙ නෑ බං...

      Delete
  33. //මෙවැනි පුද්ගලයන්ට පහර දීම පාපයකි. ගත යුතු හොදම පියවර නම් එවැනි අය අල්ලාගෙන මානසික සෞඛ්‍ය ආයතනයට යොමු කිරීමයි.//
    එකෙංම....ඒත් නොකෙරෙනත් එක..

    ReplyDelete
    Replies
    1. හැබෑව හැබෑව...එහෙම කොරමු කිව්වට කොහෙ කරන්නද....බූලෙක් අහුවුනාම ඉස්සෙල්ලාම ගහන්න පනින්නෙ කාන්තා පරාණ නොවැ...

      Delete
  34. ඌට ගහපු එක පව්. කිව්වත් වගේ ගෑනු ටිකට ඌව බාර දෙන්න තිබුනේ මොනවද කරන්නේ බලන්න

    ReplyDelete
    Replies
    1. ගෑණු ඉතින් මොනවා කරන්නද බං...උගෙ පිරිමි කම අවඥාවට ලක් කරාවි. ඒක එහෙම වෙන්න දීලා අපිටත් බලාන ඉන්න බෑ නොවැ....

      Delete
  35. මේ පෝස්ට් එකේ කතා කරලා තියෙන්නේ මනෝලිංගික අක්‍රමතාවයන් ගැන. එවැනි අක්‍රමතාවයන් ගණනාවක් තිබෙනවා. මේ කියන පුද්ගලයා තුල ඒවායින් කිහිපයක් දැකගන්න පුළුවන්.

    පළමුවැන්න තමයි දර්ශන කාමය (Voyeurism). මෙවැනි අක්‍රමතාවයක් තියෙන අය ලිංගික තෘප්තිය ලබන්නේ ලිංගික දර්ශන, විරුද්ධ ලිංගිකයන් ඇඳුම් මාරුකරන අවස්ථා ආදිය හොරෙන් බලාගෙන සිටීමෙන්. සමහර පුද්ගලයන් ඒ වගේ ආශාවන් තියෙන අයට තමන්ගේ හෝටල්කාමර, ඇඳුම් වෙළඳසැල් වල Fit-on rooms වගේ තැන්වල කැමරා හයිකරලා, නැත්නම් සිදුරු හදලා දීලා සල්ලි ගන්න අවස්ථා තියෙනවා. ලිංගික චිත්‍රපට වලට ඇබ්බැහිවීමත් දර්ශනකාමය යටතට දාන්න පුළුවන්.

    දෙවැන්න ලාංඡන භක්තිය (Fetishism) - ඒ කියන්නේ ලිංගික තෘප්තිය සඳහා අජීවී වස්තූන් (Fetish) භාවිතා කරන එක. සුලභම උදාහරණය තමයි යට ඇඳුම්. ඔයාලා අහලා ඇති යටඇඳුම් (විශේෂයෙන් කාන්තා නේවාසිකාගාර වගේ තැන්වල) නැතිවෙලා කියලා අහන්න ලැබෙනවා. මෙම අක්‍රමතාවය තියෙන අය ඒ වගේ දේවල් කරනවා. ඊට අමතරව වෙනත් දේවල් (උදා: නිළ ඇඳුම්, විවිධ උපකරණ) භාවිතා කරන අයත් ඉන්නවා.

    තුන්වැන්න පාරවේශනත්වය (Transvestism) - මේ අක්‍රමතාවයෙන් පෙළෙන අය කරන දේ තමයි විරුද්ධ ලිංගයේ අයගේ ඇඳුම් ඇඳලා ලිංගික තෘප්තියක් ලැබීම. විශේෂයෙන් මේ අයත් කාන්තා යට ඇඳුම් වගේ දේවල් තමන් ඇඳගෙන තෘප්තිමත් වෙනවා.

    එකම පුද්ගලයෙක් තුල ලිංගික අක්‍රමතා කිහිපයක් පවතින්න පුළුවන්. ඒ වගේම ඒ සියල්ලක්ම වගේ නිසි ප්‍රතිකාර වලින් සුව කරන්නත් පුළුවන්. හොඳම දේ තමන්ට ඒ වගේ දෙයක් තියෙනවානම් හරි දන්න කෙනෙකුට ඒ වගේ දෙයක් තියෙනවා නම් හරි මනෝවෛද්‍යවරයෙක් වෙත යොමු වෙන එක. අනෙකුත් ලිංගික අක්‍රමතා ගැන මේ පෝස්ට් එකෙන් කියවන්න පුළුවන්.
    http://pradeepot.blogspot.com/2012/01/sexuality-02.html

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටුව මෙහි තැබුවාට ප්‍රදීප්ට බොහොම ස්තූතියි...වෛද්‍ය විද්‍යානුකූලව මෙවැනි යමක් තේරුම් කර දීම ඉතාම වැදගත්...මොකද මානසික රෝගයක් තමාට වැළදී ඇති බව බෙහෝ දෙනා නොදන්නා නිසා.

      Delete
    2. සිරා, මම මනෝ වෛද්‍යවරයෙක් නෙමෙයි. වෘත්තීය චිකිත්සකවරයෙක්. මා දන්නා සුළු කරුණු ඔබ සමග බෙදා ගැනීම පමණයි කරන්නේ. එයින් යම් කෙනෙකුට පහසුවක් සැලසෙනවානම් එය මට සතුටක්.
      (මගේ ගුගල් ගිණුමට පිවිසීමට හැකියාවක් නෑ. ඒ නිසයි මේ විදියට කමෙන්ට් කලේ)
      ප්‍රදීප් ගුණරත්න

      Delete
  36. මේ පැත්තට එන්න ටිකක් පරක්කු උන්න නොවැ සිරෝ ...... බාගයක් විතර කියවගෙන එද්දී මට බයකුත් ආවා උබ මේ පාපොච්චාරනයක්වත් කරන්න යනවද කියලා ....

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++

      Delete
    2. චීයා මෙයා...සිරා එහෙම වැඩ කොරන එකෙක් කියලා හිතුවද....ඔයා අරිම නරකයි...

      Delete
  37. මෙවැනි අය නම් මානසික රෝගීන් බං. බොහොම කාලෙකට ඉස්සර අපේ ගෙදර නිදන කාමරේට ජනේලෙන් එහා ඉදන් එබිලා බලන බුවෙක් හිටියා. එතකොට ජනෙල් දාලා තිබුනෙත් නැහැ. උළුවහු විතරයි. අපේ දුව තමයි කිව්වේ ජනේලේ ගාව කවුද ඉන්නවා කියලා. පස්සේ වෙන ගේකට ඇවිත් මාට්ටු වුනා. මූව මරන්න ගියා. මම තමයි කියලා බේරුවේ. පස්සේ ඒ ගමේ පන්සලේ පොඩි හාමුදුරුවන්ට කියලා මේ යකාව දැණුවත් කරා. ඒ කරදරේ නැවතුනා. අවිවාහක තරුණයෙක්. දැන් දරුවන් හතර දෙන්නෙක්ගේ පියෙක් කියලා දන්නවා.

    ReplyDelete
    Replies
    1. එදා ඒකව නොමර බේරගත්ත නිසා අද මිනිහා පවුල් වෙලා දරු සුරතල් එහෙමත් බලනවා නොවැ...එවැනි විටෙක සංයමයෙන් කටයුතු කරන මිනිස්සු හරිම අඩුයි...ක්ෂණික ආවේගය පිට කරගන්න තමයි බොහෝ අය උත්සාහ ගන්නෙ. ඔබේ ක්‍රියාකලාපය ගරු කටයුතුයි ඒ අවස්ථාවෙ.

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...