Thursday, April 17, 2014

58 ගිණි අව්වෙන් මතුවුන සහෝදරත්වය

සිරාගේ තූර්ය වාදක ජීවිතය ගැන මෑතකදී යමක් ලියවුනේ නැත. සිරාගේ කාමරයට පැමිණෙන ඇතමෙක් ඒ වර්ගයේ කථා කියවන්නට මහත් අභිරුචියෙන් සිටින වග ඔවුන් නොයෙක් වර මවෙත එවා තිබෙන අදහස් නිසාම මම දනිමි. ඒ අතර කාන්තා පිරිමි භේදයක් නැත. මේ අයගෙන් බහුතරයක් තම පාසල් කාලය තුල බෑන්ඩ් කෙරුවාවේ රහ බැලූ  උන් වෙති.

සිරා කොලුවා වන මම 9 පන්තියේදී බෑන්ඩ් ගැහිල්ලට එකතු වන කාලයේ කණ්ඩායමේ ජේෂ්ඨ සිසුන් අතර වැඩිපුර සිටියේ මරුමුස් පෙනුමෙන් යුතු අයයි. මේ අයගේ දේහදාරී සිරුරු සහ කළාතුරකින් සිනහාවන මුහුණු දුටු වනම අපේ සිත් තුල භීතියක් ඇති කලත් බෑන්ඩ් කණ්ඩායමේ සාමාජිකයකු වීමේ සිහිනය නිසාම බොහෝ උන් මෙන්ම මමද ඒ කාරණා පිළිබද එතරම් නොතැකුවෙමි. මක්නිසාද තනි ඒකකයක් ලෙස තිබෙනා බෑන්ඩ් කණ්ඩායමේ  සාමාජිකයකුට යම් අතුරු උපද්‍රවයක් ආ කලෙක සෙසු සාමාජිකයන්ගේ සහාය නිරතුරුව ලැබුන හෙයිනි.

බොහෝ විට තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයන් ගනන 25 ක් වුවත් ඊට වැඩියෙන් පිරිස පුහුණු වීම නිරතුරුව සිදුවුනි. අවශ්‍යතාව අනුව යොදා ගැනීමට පුද්ගලයන් අනුව හොද තේරීමක් කිරීමට ඉන් වටිනා ඉඩ කඩක් ලැබෙයි. සාමාන්‍යයෙන් පාසලේ 9 කැලෑසියේ සිට ඉහළට මේ පිරිස සමන්විත වෙයි. ඕනෑම අයෙකුට බෑන්ඩ් කෙරුවාව සදහා එකතුවීමට ඉඩ ඇතත් පුහුණුවීම් වලදී මේ හාදයා නම් මකලාවත් හදන්න බෑ යයි බෑන්ඩ් කෙරුවාවේ නිරත ලොකු අයියලාට සහ අදාළ ගුරු භවතුන්ට සිතුනොත් ඒ අයගේ කාලය වෙන කාරියක් සදහා යොදා ගන්නා ලෙස පුද්ගලිකව පවසයි. නමුත් සංගීතයට හෝ කණ්ඩායමක් ලෙස කෙරෙනා මේ ක්‍රියාන්විතයට පෙම් බදිනා උන් යන්න කීවත් යන්නේ නැත. ඔවුන් පණිවිඩකරුවන්, ලිපි සම්පාදනය කරන්නන්, සහායකයින් ලෙස හෝ තූර්ය වාදක ඛණ්ඩයට වක්‍රව සහාය දෙන්නට මනාපය. අපේ කණ්ඩායමේ කාලයක් සිටි මපටා නම් එකෙකුද මේ ඝනයට අයත්ය. ඒකාට නිසි පරිදි ගමනේ යාමට දිගු කාලයක් පුහුණුවීමෙන් පසු හෝ නොහැකි වූ නිසා මේ කියන පණිවුඩ කරුවන්ගේ ලැයිස්තුවට සිය කැමැත්තෙන්ම එකතු විය. ඇතමෙකු උත්පත්තියෙන්ම සංගීතය, තාලය වැනි දෑ පවත්වාගෙන යාමට ආධාර වන හැකියාවන් ගෙන එන්නේ නැත. එවැනි අය කොපමණ පුහුණුකලත් ගොඩගන්නට නොහැක.

බ්‍රහස්පතින්දා දිනය ඈත අතීතයේ සිටම කණ්ඩායමේ පුහුණුවීම් සදහා යොදාගත් දිනයයි. වසරේ මුල ඇති කාර්යබහුල සමය නිම වූ පසු පුහුණුවීම් එතරම් පීඩාකාරී නැත. උදෑසන නිවෙසින් එද්දී මව්තුමිය ලබාදෙන බත්මුල පන්ති කාමරයේ සිටම අනුභව කර ක්‍රීඩාගාරයේ උඩුමහලේ ඇති බෑන්ඩ් කාමරයට යාම එකල මගේ සිරිතයි. බත්මුලට මා සමගම වග කියන්නට අයිය බඩා සහ කිඩාද බොහෝ විට වූහ. ඔව්හුද මා මෙන්ම බත්මුල් රැගෙන බ්‍රහස්පතින්දා දිනට පාසල් ආවෝ වෙති. ඒ දිනවල රන්ටැඹේ කදවුර සදහා සහභාගි වන්නට අප සුදුසුකම් සපුරා නොසිටි හෙයින් වසරකදී අපට වාදනය කරන්නට ලැබෙන ප්‍රධානම උත්සව දෙකක් විය.

ඉන් පළමු වැන්න ජනවාරි මාසයේ පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උළෙලයි. දෙවැන්න නිදහස් සැමරුම් උත්සවයයි. නොවැම්බර් අග භාගයේ දැහැමෙන් සෙමින් ආරම්භ වන මේ පුහුණුවීම් දෙසැම්බර් මාසය මෙන්ම සමස්ත ජනවාරි මාසය පුරාද එක සීරුවට ක්‍රියාත්මක වෙයි. පෙබරවාරි 4 වෙනිදායින් පසු පුහුණුව අවසන් වන අතර එතැන් සිට පන්ති කාමරයේ අධ්‍යාපනය ලැබීමට අපට හැකි වෙයි.

2001 වසරේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ අපේ නියෝජනය


හමුදා ඛණ්ඩයක මෙන් දැඩි විනයක් තිබූ මේ ඒකකයේ පුහුණුව දුෂ්කර එකකි. උදෑසන සිට සැන්දෑ භාගය වන තුරාම ගිණි අව්වේ පුහුණුවීම් කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. දිවා ආහාරයෙන් පසු ලැබෙන විනාඩි 10 ක 15 ක කාලය හැරෙන්නට වෙනත් විවේක කාල නැත. පැයකට දෙකකට වරක් ජලය පානය සදහා විනාඩි 5 ක පමණ කාලයක් ලැබෙයි.

මේ පුහුණුවීම් බොහෝ විට ඛණ්ඩයේ සැරයන් විසින් සිදුකලත් ඇතැම් විටෙක ඔහුට පෙර කණ්ඩායම නියෝජනය කල පැරණි නායකයන්ගේ සහායද ලැබෙයි. මේ අය බහුතරයක් වැරැද්දක් දුටු සැනින් කුපිත වන අය වූ නිසාම එකල අපට දඩුවම් වලින් නම් කිසිදු අඩුවක් තිබුනේ නැත.

මේ කියන දඩුවම් අතර වැඩිපුර තිබුනේ කෝඩ්රෝල් ගැසීම සහ ඩිප්ස් ගැසීමයි. ඉදහිට දිනක පුක පැත්තට රීප්ප පටියකින් එකක් දෙකක් වදියි. ඒ කිසිදු පහරක තිබුනේ පලිගැනීමේ චේතනාවක් නොව කණ්ඩායමට අවැසි හොද සාමාජියකයකු බිහිකරමි යන සිතුවිල්ලම බව මට සිතෙයි. එදා අපට එලෙස දඩුවම් කල අපේ ලොකු අයියලා සමග අද අපි එකට කරේ අතදාගෙන ඉන්නේ ඒ නිසාවෙනි. එකතැන බිමට පහත් වී තම දෑත පොළව මත තබා ඒ මත හිස සිටින සේ තබා හිසට ඉහළින් දෙපා යන සේ කරණමක් ගැසීම සහ මේ ක්‍රියාදාමය අඛණ්ඩව සිදු කරමින් ඉදිරියට යාම කෝඩ්රෝල් ගැසීම නම් දඩුවමේ ස්වභාවය ලෙස කෙටියෙන් හදුන්වා දෙන්නට හැකිය.

ගහපල්ලා කොණටම කෝඩ්රෝල්....අපේ පාසලේ ක්‍රීඩා පිටිය විශාල එකක් වූ නිසා කෙළවරටම කෝඩ්රෝල් ගැසීම ලෙහෙසි පහසු නැත. ඇරත් කණ්ඩායමට අලුතින්ම පැමිණි එකෙක් වේ නම් ඒකාට කෝඩ්රෝල් ගහන්නේ කෙසේදැයි කියාදීමටද සිදු වේ. ඇතමෙකු පළමු අවස්ථාවේදීම එහි තාක්ෂණය වටහා ගත්තත් ඇතමෙකු එය වටහාගන්නේ මද කාලයක් ඇවෑමෙනි. තාක්ෂණය නියමාකාර ලෙස නොතිබුනොත් බොරළු සහිත පොළවේ කෝඩ්රෝල් ගැසීමේදී  පිටකොන්දේ ගල් ඇනීමෙන් චිත්ත සන්තානය පිනා යන මිහිරක් විදගත හැකි වනු ඇත. නමුත් කෝඩ්රොල් ඇගට පත්තියන් වූ පසු විදුලි වේගයෙන් ඒ කාරියේ නිරත විය හැක.



දැඩි හිරු රශ්මියත්, අඛණ්ඩව සිදුවන පුහුණුවත්, වැරදි උදෙසා ලැබෙන දඩුවම් ආදියත් සළකා බැලූ විට අපේ පුහුණුව යුධ හමුදා පුහුණුවකට ආසන්නය. අවි පුහුණුව පමණක් ඊට අයත් නැත. කණ්ඩායමේ සියල්ලන්ම එක පවුලේ සහෝදරයන් මෙන් සහයෝගයෙන් යුතුව කටයුතු නොකලොත් කිසි දිනෙක සාර්ථක තූර්ය වාදක ඛණ්ඩයක් ගොඩ නැගීමට සිදු නොවේ. එය එතරම්ම වෙහෙසකාරී ක්‍රියාදාමයකි.

බෑන්ඩ් කණ්ඩායමේ නායකයා සැරයන් ලෙස හැදින්වූ අතර දෙවැනියා සීනියර් කෝප්‍රල් යන නමින් හැදින්වෙයි. සාමාන්‍යයෙන් මෙවැනි තනතුරු නාම වලින් මේ කියන චරිත හැදින්වෙන්නේ ශිෂ්‍යභට ඛණ්ඩයක් ලෙස ලියාපදිංචියෙන් පසු වුවත් අප ඊට පෙර සිටම එලෙස යොදාගත්තේ බෑන්ඩ් උණ අප ගත දවමින් තිබූ හෙයිනි.

සාමාන්‍යයෙන් කණ්ඩායමේ නායකයාට පසු සිටින ඉහළම ජේෂ්ඨයන් 5 දෙනෙකු පමණ විවිධ කාර්යයන් සදහා නායකයාට නිරතුරුව තම සහාය ලබා දෙයි. එමගින් සැරයන් නිලයේ කටයුතු කරන තැනැත්තාගේ කටයුතු තවත් පහසු වෙයි. පහුණුවීම් කරන විට ඇති වන අභියෝග...පුහුණුවීමට නොපැමිණෙන අයවලුන් ගෙන ඒම, ආහාර සම්පාදනය වැනි කටයුතුද බොහෝ විට ඒ අය මගින් ඉටු වෙයි. නමුත් පුහුණුවීම් අතර තුර ඒ අයගෙන් හෝ වැරැද්දක් සිදු වුනොත් දඩුවමක් ලබා දීමට නායකයා පසුබට නොවේ. කණ්ඩායමේ සමානාත්මතාව ඉහළින්ම තිබූ අතර...25 ම එකෙක් යන අදහස අපේ සිත් වල කාවැදී තිබුනි.

ඒ නිසාම සරඹ පුහුණුවේ නිරතව සිටියදී එක් අයෙකු වැරැද්දක් කලද සමස්ත කණ්ඩායමටම දඩුවම් හිමිවේ. මක්නිසාද තරගයකට ගිය අවස්ථාවකදී එක් අයෙකු කරන වැරැද්දක් සමස්ත කණ්ඩායමේම ලකුණු සංඛ්‍යාව පහල දැමීමට හේතු වන බැවිනි.

ඛණ්ඩයේ සැරයන්ගේ අණ පරිදි ගමනේ යාම වමට, දකුණට, ආපසු හැරීම ආදිය සිදු කෙරෙමින් පවතින විටක පියවර වැරදීම...වමට හැරෙන්නට කියූ කල දකුණට හැරීම ආදී සුලභ වැරදි සිදුවෙයි. එවන් විටක ගමනේ යෙදෙන කණ්ඩායම තුල සිටම අදාළ අයවලුන් නිවැරදි කරන්නට පහරක් දෙකක් ගසන්නට ජේෂ්ඨයන් පසුබට නොවේ.

මුල් කාලයේ බෑන්ඩ් පුහුණුව මේ මොන කරුමයක්දැයි කියා සිතුනත්...විවිධ වයස් කාණ්ඩයන්ගෙන් නියෝජනය වන එහි සහෝදරත්වය දළුලා වැඩුනු පසු පෙර කියූ අපහසුතාවන් ඉවසා දිගින් දිගටම පුහුණුවීම් වල යෙදෙන්නට අවැසි චිත්ත ශක්තිය ලැබේ.

ප්‍රධාන පෙලේ උත්සව ආදියට සහභාගි වීමට අවස්ථාව එළැඹුන කල බොහෝ විට අපට සිටින්නට සිදුවන්නේ අව් රශ්මිය විදිමිනි. එවන් අවස්ථාවක එකෙකු හෝ ක්ලාන්ත වී බිම ඇද වැටුනොත් එය සමස්ත කණ්ඩායමේම නාමයට මෙන්ම පාසලේ නාමයටද කැළලක් ලෙස අප එකල සැලකුවෙමු. ඒ නිසාම සියලුම සාමාජිකයන්ගේ ශාරීරික යෝග්‍යතාව මැනවින් පවත්වාගැනීමට සෑම උදෑසනකම සෑහෙන දුරක් දිවීමෙන් පටන් ගෙන ශාරීරික අභ්‍යාස රාශියක් සිදුකිරීමෙන් අනතුරුව අවසන් වන ක්‍රමවේදයක් එකල අප අනුගමනය කළෙමු. ඒ හේතුවෙන්ම එකල වරින් වර අව්වේ සිටීමෙන් ක්ලාන්ත වන එකෙකු දෙන්නෙකු නැවත කිසි දිනෙක එලෙස නොවන පරිදි සුව වීමට වරම් ලදහ. එදා කල කී දේ නිසාම කිසිදු ශාරීරික අභ්‍යාසයක යෙදෙන්නේ නැති සිරා කොලුවා තඩි බඩක් ඔසවාගෙන  තවමත් හොද නිරෝගී සුවයෙන් පසුවන්නේය.

දිනපතා පුහුණුවීම් ආරම්භ වී පළමු සතිය හමාර වන අවස්ථාව වන විට අපගේ මුහුණත් තහඩු අදුරු වර්ණයකට පත් වන අතර බෙල්ලේ සටහන් වන ටී ෂර්ට් කොලරයේ හැඩයට පහළ ඇත්තේ කැපීපෙනෙන සුදු පැහැයකි. තමාගේ දරුවා මෙලෙස ගිණි කාෂ්ඨක අව්වේ පිච්චෙන ආකාරය දුටු පසු ඇතැම් මවක, පියෙකු තම දරුවාට මෙයින් ඉවත් වන ලෙස තර්ජනය කලත් සහෝදරත්වයේ හැගීම නිසාම ඔවුන් නිවෙසින් කෙතරම් බාධා පැමිණියත් බෑන්ඩ් කෙරුවාවේ දිගින් දිගටම නිරත වෙයි. ගෙදරින් ලබාදෙන මුදලේ සිට සියලුම දේ කපාහරින්නට එවන් විටෙක දෙමාපියන් පසුබට නොවෙයි. අඩුම තරමේ බත් මුලක් හෝ ලබා නොදෙයි.

නමුත් තම දරුවා කණ්ඩායමක් ලෙස එකතු වී කරනා මෙවැනි පුහුණුවීමකට තම හදවතින්ම ආශිර්වාද කරනා දෙමාපියන්ද නැත්තේ නොවේ...අපේ කණ්ඩායමේ සිටි යර්ස් මලයාගේ මව්තුමිය එවැනි තැනැත්තියකි. ඔහුගේ පියා නාවික හමුදාවේ නිලධාරියකුව සිටි කෙනෙක් නිසාදෝ බත් මුලක් ගෙනෙන්නට හැකියාවක් නැති අයගේ කුසගින්නත් නිවා දැමිය හැකි වන සේ සිමෙන්ති කොට්ටයක් වැනි අති විශාල බත් මුලක් සැමදාම තම පුත්‍රයාට සකසා දීමට තරම් එතුමිය කාරුණික වූවාය. යර්සාගේ බත් මුල අතිශයින් රසවත් එකක් වූ නිසාම ඒකා සමග බත් කන්නට ඇතැමුන් පොර කෑහ.

විවිධ පන්ති වලින් පැමින බෑන්ඩ් කාමරයේ වහළය යට සම්මුඛ වන විවිධ වයස් වල සහෝදරයන් පළමු සතියෙන් පසු එකිනෙකා හදුනාගෙන කාලාන්තරයක් පවතින ශක්තිමත් මිතුරුදමකට අඩිතාලම දැමීම බෑන්ඩ් ජීවිතයේ සිදුවන වටිනාම ක්‍රියාවකි. වර්තමානයේ මගේම සහෝදරයන් ලෙස මා සමග දුක සතුට බෙදාගන්නට සිටින අති මහත් බහුතරය මගේ තූර්ය වාදක ඛණ්ඩ මිතුරන් වෙති.

අප එකල අපේ රූපය ගැන නොසිතුවෙමු. ගිණි අව්වට හසුවීමෙන් එළිය අඩු වූ අපේ මුහුණු ගැන විස්සෝප නොවුනෙමු.  පාසලේ කීර්තිනාමය තවත් අගලකින් හරි ඉහළට ඔසවන්නටත්, අපට නොහැකි වුවත් අපෙන් පසුව එන අයට හෝ රන්ටැඹේ ශිෂ්‍යභට කදවුරට සහභාගි වීම උදෙසා ශිෂ්‍යභට කණ්ඩයක් ලෙස අපගේ තූර්ය වාදක ඛණ්ඩය ලියාපදිංචි කිරීමේ සිහිනයත් එවකට අප දකිමින් සිටියෙමු.

තූර්ය වාදක ඛණ්ඩයේ ජේෂ්ඨයන් පුහුණුවීම් අතර තුර රෞද්‍ර පෙනුමක් ගත්තද සාමාන්‍ය ජීවිතයේදී හොද වැඩිමහල් සහෝදරයන් පිරිසක් බව අපට ඒත්තු යන්නට වැඩි කාලයක් වැය කරන්නට අවැසි නොවීය. ඒ අයගේම වයසේ වුවත් කණ්ඩායමට බැදුනේ පමාවීමෙන් නිසා ජේෂ්ඨත්වයක් නොමැති පිරිසක්ද තූර්ය වාදක ඛණ්ඩයේ වූහ. ඒ ඇත්තෝද අප සමග කෙදිරියකින් තොරව ජේෂ්ඨයන් ලබාදෙන දඩුවම් වින්දේ 25 ම එකෙකි යන කියමන සනාථ කරමිනි.

ඒ අය අතරින් බණ්ඩා / කව්වා / මොංගලයා / රැක පුලියා/ දුන්න සහ ඊතලය නම් යුවල, මගේ මතකයට නිරායාසව පැමිණෙයි. මොව්හු වූ කලී ඉතාම සුන්දර මිනිසුන්ය. පුහුණුවීමේදී අප මුහුණ දුන් කටුක තත්වයන් මේ අයගේ විහිලු තහලු නිසාවෙන්ම තුනී වී ගියහ.

කව්වා වනාහී අඩි 6 කට වඩා උසැති සිහින් සිරුරකට හිමිකම් කියූ කෙනෙකි. මදක් ඉදිරියට නෙරා පැමිණි ඔහුගේ ඉදිරි දත් තරමක විසුලු පෙනුමක් ඔහුට දායාද කලද කණ්ඩායමේ පිට කොන්ද වැනි බේස් ඩ්‍රම් එකට තැලීම බාරගෙන සිටීම නිසා කාගේත් සැලකීමට භාජනය වූ චරිතයකි.

රුදුරු හිරු රැස් වල පහස විදිමින් පුහුණුවීම් වල යෙදෙනා තම සහෝරයන් දකිනා පාසලේ ඇතැම් ශිෂ්‍යයන් අප වෙත පැමිණෙන්නේ අයිස් පලමක් , කඩල ගොට්ටක් , අඹ ගෙඩියක් , අන්නාසි කෑල්ලක් , අච්චාරු අහුරක්  යනාදියෙන් සන්නද්ද වූ පසුවය. මේ අය අතර ඇතැම් විටෙක 6 හෝ 7 පන්ති වල පුංචි බැච්චන්ද සිටි බව මට මතකය. අපගේ පාසල  5 සිස්සත්වයෙන් සමත් වූවන් පමණක් ඇතුලත් වන එකක් හෙයින් එහි පන්ති පටන් ගන්නේ 6 වසරේ සිටය.

25 ම එකෙකු නිසා පොඩි උන් ලබාදෙන වෙරළු ගෙඩියද සියල්ලෝම සමානව භුක්ති විදිය යුතුය. එය අප අතර සහජීවනය සහ සහෝදරත්වය ඇතිකල බැම්ම විය. මට මතක පරිදි වරක් කිසිවෙකු හෝ අපට ටොෆියක් පරිත්‍යාග කර තිබිනි. එය 25 දෙනෙකු දැන් බෙදාගත යුතුය.

සැරයන් දකුණෙන් පෙළ සකසා (දකුණෙන් පෙළ සදනවා යනු උසේ පිළිවෙලට දකුණේ සිට වමට සාමාජිකයන් පේළියට රැදවීමයි) මුල සිට අගට ටොෆිය අතින් අත යැව්වේ මෙයින් කුඩා කොටසක් හෝ නොකෑ එකාට දඩුවම් කරන බවට ගුගරවමිනි. එක පවුලක සහෝදරයන් මෙන් අප සිටි නිසා තවකෙකුගේ කෙළ ගෑවුන තැනින් ටොෆියේ කැබැල්ලක් කඩා ගැනීම අපට අප්පිරියාවක් ඇති කලේ නැත.

එහෙත් කුඩා අන්නාසි කැබැල්ලක් දෙකක් වැනි බෙදාගැනීමට අසීරු දෙයක් ලැබුන විටෙක සැරයන් ගන්නේ වෙනත් පියවරකි.

අන්නාසි කෑලි දෙකක් තියෙනවා...ඉස්සෙල්ලාම එන උන් දෙන්නට මේක...කට්ටියම පේලියට ඉදලා හැරෙන්න අනිත් පැත්ත....තාප්පෙ අල්ලලා එන්න......

කණ්ඩායම පේලියට සිටුවා ආපසු හරවා ඈත අන්තයේ පෙනෙන තාප්පය අල්ලා ඉක්මනින්ම දිව එන පළමු දෙදෙනාට අන්නාසි කැබැලි දෙකට වග කිව හැක. දැන් ඇත්තේ ධාවනයේ වේගය මත ප්‍රතිලාභ හිමිවන අවස්ථාවකි. පිරිස ධාවනයට සූදානමින් අදාළ ඉරියව්වට පැමිණි විටෙක ඒ සදහා අණ දෙන්නේද සැරයන් විසිනි.

සිරා කොලුවා ඒ කාලයේ සිටම ධාවනයට දක්ෂ එකෙකි. මට වඩා වසර දෙක තුන වැඩිමලුන් කණ්ඩායමේ සිටියද ඒ අතර වේගවත්ම එකා වූයේ මමය. අන්නාසි කැබැලි එපා යයි මේ තරගයට සහභාගි නොවී පසෙකට වීමට අවස්ථාව තිබුනද කිසිවෙකු එසේ කරන්නේ නැත.

මෙවන් විටෙක ජේෂ්ඨයන් හැම විටම මගේ ධාවනය අඩපණ කරන්නට මාන බලන්නේ විහිලුවට උවත් එය මැඩපවත්වා ගනිමින් ධාවනයේ යෙදෙන්නට මම සමත් වීමි.

ඉතා දිගු කකුල් සහිත කව්වා මගේ ප්‍රධානම හතුරායි. තම කකුල් පොළවේ තබා පසුපසට ගෙන එන විට පොළවේ ඇති වැලි පිටුපසට පැමිණෙන ලෙස ඒ කාරිය කරන්නට හෙතෙම සමත්ය. එවන් විටෙක පිටුපසින් එන  එකාට වැලි බාධාවක් වෙයි.

පැන පැන යන හාවෙකු මෙන් අමුතුම ආකාරයේ ධාවනයක නිරත වන කව්වා දෙස බලා සිටීම ප්‍රියජනක වුවත් එසේ කරන්නට වෙලාවක් නැත. අන්නාසි කැබැල්ලක රස බැලීම ඊට වඩා වටින්නේය. සැරයන් තම වචනය වෙනස් නොකරන්නෙකි. කියූ පරිදිම පළමු ස්ථාන දෙකට අන්නාසි කැබලි දෙක ලැබෙයි. අනිත් උන් සෙමෙන් සෙමෙන් පැමිණ පිටියේ විවිධ තැන් වල වැටී හති අරියි.

කණ්ඩායමට පැමිණෙන ඇතැම් සහෝදරයෙක් අතිශයින් සබකෝලයෙන් යුතු වූවන් වෙති. පවුල් පසුබිම එයට ප්‍රධානම හේතුවයි. එවන් විටෙක ඒකාගේ සබකෝලය නැති කරන්නට අප යොදාගන්නේ සරළ ක්‍රමයකි. කණ්ඩායමේ 25 දෙනාම එදිනට නියමිත පුහුණුව නිමකර නිවෙස් කරා යන්නට පෙර ඒ සියල්ලන් ඉදිරියේ නවක සාමාජිකයකු ලෙස ගීතයක් හෝ කථාවක් පැවැත්වීමට නියම කිරීම ඒ ක්‍රමයයි. එය ඇරඹෙන්නේ තම පවුලේ තොරතුරු, දෙමාපියන්, සහෝදරයන් පිළිබද තොරතුරු ආදිය සැලකිරීමෙන් අනතුරුවයි. නවක සාමාජිකයා කුමන වසරක අධ්‍යාපනය ලැබුවත්,

උඹට බඩු කෑල්ලක් ඉන්නවාදැයි අසන්නටත් අප අමතක නොකළෙමු. එවන් විටෙක එවැනි සම්බන්ධයක් තියෙන උන් එයද නොසගවා හෙලි කරයි. ඒ බොහෝ ඇත්තියන් අප පාසල වටා පිහිටා ඇති කාන්තා පාසල් තුනෙන් එකකට අයත් වූහ.

මෙවැන් රසවත් අවස්ථාවන් පසුකරමින් කණ්ඩායමේ පුහුණුවීම් දිනෙන් දින ප්‍රගතිය කරා යන විටෙක සෑම කෙනෙකුටම තමාගේ හොදම මිතුරෙක් කණ්ඩායම තුලින් හමුවෙයි. එතැන් සිට ඒ ඇත්තන් කුමන කාරිය කලත් සිටින්නේ එකටමය. දඩුවමක් දුන්නත් එය නිම කරන්නේද එකටමය. බොහෝ විට ඒ සමවයසේ උන් හෝ එකම වාදන භාණ්ඩයක් වාදනය කරනා අයවලුන් වූහ.


මම කාමරේ වෙසෙන සත්ගුණවත් සිරා කොලුවා.




ප.ලි

මැලේසියාවේ මා සේවය කරන කාර්යාලය පිහිටා ඇත්තේ උස් ගොඩනැගිල්ලක 10 වන මහලේය. එහි දිවා ආහාරය භුක්ති විදීමට වෙන් කර  ඇති කාමරයට වැදී දිවා ආහාරය භුක්ති විදිනා සෑම දිනකම වීදුරු කවුළු අතරින් ඈතින් පෙනෙන කාන්තා පාසලක නිවාසාන්තර ක්‍රීඩා උළෙලක සූදානම මගේ නෙත ගැටෙයි. මුස්ලිම් යුවතියන් තම  හිස් රෙදිකඩකින් වසාගෙන ගමනේ යන්නට පුරුදු වෙයි. ඒ දෙසා බලා සිටිමින් ආහාර භුක්ති විදිනා මට මගේ අතීතයද නිරායාසයෙන් සිහිපත් වෙයි. අද ලිපිය ඒ මතකයෙන් කොටසකි.

සිරාගේ තූර්ය වාදක ජීවිතයේ රසමුසු තැන් ඉදිරියේදිත් බලාපොරොත්තු වන්න. මීට පෙර මේ ලේබලයෙන් ලියූ ලිපි මෙතැනින් කියවන්න.

58 comments:

  1. ආ මේ ඔටෝෆෝකස් වෙලානෙ ..හරි හරි ..
    වෙන තැනක වාඩිවෙලා දවල්ට කාපං ..ඕක ඇරිල යයි :D

    ReplyDelete
    Replies
    1. ඔටෝ නෙමෙයි බොල...හිතලම ෆෝකස් උනේ....

      Delete
    2. //"ඇතමෙකු උත්පත්තියෙන්ම සංගීතය, තාලය වැනි දෑ පවත්වාගෙන යාමට ආධාර වන හැකියාවන් ගෙන එන්නේ නැත. "// මේ ටික නම් පත්ත්රයාට මයි කියලා තියෙන්නේ

      Delete
  2. උඹේ කතාව කියවද්දී මටත් එක පාරට හුස්මක් පිට උනා අය්යේ. ඒ මොකෝ කියලා උඹ දන්නවනේ. ජිවිතේ රහ මම හරියට දැන ගත්තේ කැඩෙට් ජිවිතෙන්. ඒ කාලේ අව්වේ පෝට් රෝල් ගහපුවා ලෙපඩ් ගියපුවා තාම මතකයි.
    ඒ තමයි කවදාවත්ම නැතිවෙන්නේ නැති සහෝදරත්වය

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම කියනවා නම් පිටරට ජීවිතයෙ කටුක තැන් වලදි මම කැඩේට් ජීවිතයෙන් උපයාගත්ත බොහෝ දේ ඉතාමත් වැදගත් උනා...විශේෂයෙන් දරා ගැනීමේ හැකියාව...මේ රටවල හමුවෙන යාලුවො බෑන්ඩ් ගහන කාලෙ ඉදලම මා එක්ක උන්න උන්ට අලගු තියන්නවත් ගැලපෙන්නෙ නෑ...

      Delete
  3. කෝඩ් රෝල් නෙවෙයි නිවැරදි නම ෆෝවර්ඩ් රෝල්. ඒ විදිහේ දැඩි විනයක් නැතුව නිසි පුහුණුවක් කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබේ තොරතුරට ස්තූතියි විචාරක තුමා. නමුත් අප එකල කෝඩ් රෝල් හෝ ෆෝඩ් රෝල් ලෙස තමයි මෙය හැදින්වූයේ...ෆෝවඩ් රෝල් කියා මා නැවත ඒවා වෙනස් නොකලෙත් පැරණි සුන්රත්වය ඒ වචනයෙන් යම් තරමකට ඈත් වෙන ස්වභාවයක් මට දැනුන නිසා. ඔබේ කැඩෙට් ජීවිතයේ සුන්දර මතකයත් මෙතනට එකතු කලොත් නරකද ?

      Delete
    2. ෆෝවර්ඩ් රෝල් ගැහීම හමුදා පුහුණුවේදී අතිශයින්ම සාමාන්‍ය දෙයක්. මට හිතාගන්න බැහැ මම ෆෝවර්ඩ් රෝල් කී දාහක් ගහලා ඇද්ද කියලා හමුදා පුහුණුවේදී. ඒ වගේම තමයි අවියක් රැගෙන හඬ නොනැගෙන සේ බඩගාමින් දන ගාමින් යන ගමන් වර්ග දෙකක් තියනවා. ඒ තමයි ලෙපර්ඩ් රෝල් (කොටියාගේ ගමන) සහ මංකි රෝල් (වඳුරාගේ/රිලවාගේ ගමන)

      Delete
    3. මංකි රෝල් කියන්නේ අර ඉස්සරහින් අත තියලා ඉදිරි භුමිය නිරීක්ෂණය කරලා යන එකනේ?

      Delete
    4. එතකොට චයිනිස් රෝල්, ස්ප්‍රින්ග් රෝල් කියන්නේ ....

      Delete
    5. මමනම් මනාප ස්පොන්ජ් රෝල් වලට

      Delete
    6. මම නම් වැඩියෙන්ම මනාප චොකලට් රෝල් වලට...

      Delete
    7. කියවත්දී මට හිතුනේ විචාරක තුමා බැලුවනම් හරි උත්තරය දීල තියෙයි කියලා. මේක ජිම්නාස්ටික් වලත් තියෙනවා.

      Delete
  4. අහක බලාගෙන කාල මාළු කට්ටක්වත් උගුරෙ හිරවෙයි ඈ, ;)

    ReplyDelete
    Replies
    1. මාළු කටු හිරවෙන්න මාළු ගෙනියන්න එපායැ ගොළු බෙල්ලො...මාලු කන්නෙ ඉදලා හිටලා...මෙහෙ මාලු ගනන් වැඩියි...මස් ලාභයි ඊට වඩා....

      Delete
  5. මට නම් ඉස්කෝලේ කැඩෙට් කරන්න වුනේ නෑ.. පොඩි කේස් එකක් හන්දා..

    ඔය අහක බලාගෙන කන්නේ එහෙම පරිස්සමට හොදේ..

    ReplyDelete
    Replies
    1. උස මදි නේ..

      Delete
    2. ෂුවර් එකටම ගෑණු හුටපටයක්...

      Delete
  6. බලාගෙන පුතෝ..අග හිග වෙයි..

    ReplyDelete
    Replies
    1. අග හිග කිව්වෙ ඇයි බන්..මට පැහැදිලි නෑ එතන....

      Delete
    2. එහෙම කිවුවේ.......//මුස්ලිම් යුවතියන් තම හිස් රෙදිකඩකින් වසාගෙන//ඔන්න ඔක නිසයි..

      Delete
    3. එතන ග යන්න සඤ්ඤක උනා නම් මට එක්වරම තේරුම් ගන්න තිබුනා.

      Delete
  7. පෝට්රෝල් කියල අපි කියන්නෙ ෆෝවඩ් රෝල් කියන එකේ කික් එකක් නැති හින්දනෙ... අනික තමා ලෙපට් රෝල්...
    ඔක්කටම වඩා ඇගට හොදටම වදින්නෙ ක්ලිම්බප් පෝෂන්.... ඔළුව අර බොරලු ෙපාලවෙගෙහගෙන කකුල් දෙකෙල් බැලන්ස් වෙනකොට සැප කනේ...
    අපි නං කැඩෙක් කරා ඒත් අපේ ඉස්කෝලෙ කැඩා බෑන්ඩ් එකක් තිබ්බෙ නෑ... ඒ කාලෙ පට්ටම කැමැත්තෙන් කැඩෙට් කලාට දැං නං පසු තැයවනව... මොකද අපි ඒකෙන් වුනේ බාහිර වැඩ වලටම පත්තියන් වෙන එක... ඉස්කෝලෙ මොකක් තිබ්බත් මුල්තැන ගත්තෙ අපි... ඒත් ඉගනුම නං සීරෝ වුණා...

    ReplyDelete
    Replies
    1. ඔබේ කථාව ඇත්ත. නමුත් අපේ සහෝදරයො උසස් පෙළ පළමු වරට මුහුණදෙන අවස්ථාව බෑන්ඩ් කණ්ඩායම වෙනුවෙන් කැප කරලා දෙවන් අවස්ථාව තමයි ප්‍රයෝජනයට ගත්තෙ...එද ඇමරිකාව වැනි දියුණු රටවල සේවය කරන ඉංජිනේරුවන් පවා අපේ කණ්ඩායමෙන් බිහි වී තිබෙනවා...ඒ අතරට ත්‍රිවිධ හමුදාවම නියෝජනය කරන නිලධාරීන් රොත්තකුත් ඉන්නවා.

      Delete
  8. ශැක් අපි පොඩි උන් වෙලා ඔයාලත් එක්ක හිටියා නම් හැමදාම අන්නාසි කෑලි දෙකක් ගෙනත් දීලා ඒක කන්න කට්ටිය දුවන හැටි ඈතට වෙලා බලන් ඉන්නවා.

    ඇත්තටම පාසල ඇතුලෙ මොන දේ උනත් මතකෙ උඩින්ම තියෙන්නෙ කරන බාහිර වැඩයි, දඟ වැඩයි තමා. ඒ ඒවා කැමැත්තෙන් කරන නිසා වෙන්න ඇති.

    ගෑල්ලමයි දිහා බලන් කෑම කන්නෙ පරිස්සමෙන් අයියෙ. :)

    ReplyDelete
    Replies
    1. එහෙම අන්නාසි කෑල්ලට දිව්වෙ හැමදාම නෙමෙයි කලාතුරකින්...මොකද කොල්ලො දෙනකොට දුන්නෙ ඇති වෙන්න...පොඩි උන්ගෙ හිතේ හැගීමක් ඇති වෙනවා මේ අයියලා මහන්සි වෙන්නෙ ඉස්කෝලෙ වෙනුවෙන්නෙ කියලා...

      ඇත්තටම පන්ති කාමර අධ්‍යාපනය පමණක් කෙනෙක් පාසලකින් ලබා ගන්නවා නම් ඔහුට පසු කාලීනව මතක් කර හෝ සතුටුවෙන්න දෙයක් ඉතිරිවෙන්නෙ නෑ. ඒ අතින් අපි වාසනාවන්තයි.

      Delete
  9. නියම රසවත් අත්දැකීමක්නෙ. ඔය වගේ සහෝදර බැඳීමක් ඇතිඋනාම ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.

    අහක බලාගෙන වෙන සිහියකින් කෑම කන එකනං හොඳ දෙයක් නෙමෙයි ගොයියො. :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ප්‍රසන්න අයියෙ එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයො වගේ මුන් ටික...උන් ඉන්න නිසා මගේ ජීවිතයට යාලුවො එතරම් සමීප වෙන්නෙ නැති තරම්... අහක බලාගෙන කෑවට හිරවෙන්න දෙයක් නෑ....

      Delete
  10. මේව කියවන කොට සුන්දර පාසල් විය මතක් වෙන්නෙ නිරායාසයෙන්. අර කෙල්ලො ටික ඒක සිරාට මතක් කළා. සිරා ඒක අපට මතක් කළා. මතක දාම !!

    ReplyDelete
    Replies
    1. මතක දාම...අපූරු හැදින්වීමක් මිත්‍රයා...පාසල් සමය නිම වීමෙන් පස්සෙ අපේ ජීවිතය මැරෙන තුරාවටම මතක දාමයක් කියලා මට හිතෙනවා...

      Delete
  11. අඩෝ දිගටම ෆෝවඩ් රෝල් ගහපිය...
    ටිකක් ගැලපෙන්නෑ වගේ නේ....
    ඉස්කෝලෙ කාලෙනං සුපිරි..
    දැං මේ අනිත් මේසෙට ගිහිං කෑවනං හොදයි නේ...

    ජජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ෆෝවඩ් රෝල් කියලා කිව්වාම පොඩි නොගැලපෙන ගතියක් එහෙමත් නැත්තං කික් එකක් නැති ගතියක් දැනෙනවා...මේසෙ අවුලක් නෑ විදානෙ ගොයියො...කෙලියො ටික ලබන සතියෙ ක්‍රීඩා උළෙල පැවැත්වූවාට පස්සෙ එළි පහලියෙ දකින්න නැති වේවි කාලයක් යනතුරාවට.....

      Delete
  12. ඉස්කෝලෙ යනකල් කල්පනා කරන්නේ ඒකෙන් චුත වෙන්නේ කවද්ද කියලා. එලියට ආදා ඉඳලා ඒ කාලේ ගැන හීන මවනවා. මේක කාටත් කවදටත් පොදුයි.

    ReplyDelete
    Replies
    1. තාම ඉස්කෝලෙ යන නිසා උඹට එහෙම ප්‍රශ්නයක් නෑනෙ මචං.

      Delete
    2. //ඉස්කෝලෙ යනකල් කල්පනා කරන්නේ ඒකෙන් චුත වෙන්නේ කවද්ද කියලා.//

      ආසාවෙන්ම යන කාලෙකුත් තියනව. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කාල සීමාව...

      Delete
    3. >>තාම ඉස්කෝලෙ යන නිසා උඹට එහෙම ප්‍රශ්නයක් නෑනෙ මචං.<<
      මොකෝ නැත්තේ? මට පේන්න බෑ ඉස්කෝලේ යන එක.

      >>ආසාවෙන්ම යන කාලෙකුත් තියනව. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කාල සීමාව..<<

      .ඒ අවසානය ලඟ බව දන්න නිසා.

      Delete
    4. හ්ම්ම් හ්ම්ම්.. එහෙම වෙන්නත් පුළුවන් තමයි. ඒ 'ඕන එකක්' කියල ඉන්න කාලෙ නෙ.

      Delete
    5. ඇත්තටම පාසලක් සම්බන්ධ කථාවකට ගුරුවරු සම්බන්ධ වනවා නම් මට පළවෙනියට දැන් මතක් වන නාමයක් තමයි ඔබේ නම හෙන්රි අයියේ...ඔබ ගුරුකමේ තියෙන පීඩනය ගැන කිව්වට පස්සෙ තමයි මමත් එහෙම දෙයක් තියෙනවා කියලා දැන ගත්තෙ.....හැබෑට දුම්රියේ කොඩිය වනන රස්සාව වගේ එකක් කොච්චර නිදහස්ද නේද...

      උසස් පෙළ වසර දෙකෙන් දෙවැනි වසර ගතවෙන්නෙ හිතාගන්න බැරි වේගයකින්...පාඩම් වැඩ වලට හිර වෙලා ඉද්දි කාලය යනවා තේරුමක් නෑ....

      Delete
    6. සත්තකින්ම ඩූඩ් කී කතාව ඇත්ත.ඒ කාලෙ ඉස්කෝලෙ යනව කියනෙ වහක්.

      Delete
    7. මට නම් ඉතින් අයේ ඕකේ ගියා නොගියා කියලා වෙනසක් දැණුනේ නැහැ :D

      Delete
  13. ඉස්කෝලේ කාලේට ගියා වගේ දැනුනා... මේ වගේම දේවල් නොවුනත් බෑන්ඩ් එකට සම්බන්ද වෙන්න ලැබුන නිසා කණ්ඩායම් හැඟීම, එකමුතුකම වගේ ජීවිතේ බොහෝ දේ ඉගෙන ගන්න අවස්ථාව ලැබුනා ...

    ReplyDelete
    Replies
    1. අපි හැමෝටම නගෝ අඩු වැඩි වශයෙන් සුන්දර මතක පාසල් ජීවිතයට සම්බන්ධව තියෙනවා නොවැ...බෑන්ඩ් කණ්ඩායම නිසා මගේ ජීවිතයේ බොහෝ දේ වෙනස් වුනා....ඒ අතරින් මට ඉතාමත්ම වටිනාම දේ තමයි සබකෝලය නැති වීම. කුමන පරාජය ලැබුවත් නොසැලී ඉදිරියට යන්න චිත්ත ශක්තිය ඇති කරගත හැකි වීම වගේ දේවල්...

      Delete
  14. කුමක් හෝ හේතුවක් නිසා ඉස්කෝලෙ යන කාලෙ බාහිර ක්‍රියාකාරකම් කිසිවකට මම සම්බන්ද උනේ නැහැ. ඒ නිසා මෙවැනි ක්‍රියාකාරකම් කිසිවක් පිලිබඳව අත්දැකීමක් නෑහැ.
    ඒත් අපේ ගමේ ක්‍රිකට්ද..වොලිබෝල්ද..සමිතික්‍රියාකාරකම්ද...නොයෙකුත් අත්දැකීම්...දක්ෂකම් එමට තිබුනා මාහට .

    ReplyDelete
    Replies
    1. මට මතකයි බොලා බොගක් කියලා එකක් ලියපු කලේ ගමේ කරපු පොදු වැඩ ගැන ලියූ කථා...

      Delete
  15. මං ඉතිං බෑන්ඩ් ගැහුවෙවත් කැඩෙට් කරේවත් නැහැනේ.....ඒත් ඉතිං එක්තරා ක්‍රීඩා පුහුණු වීමක් වෙනුවෙන් ඔය වගේ දඬුවම් ඇති තරම් ලැබිලා තියෙනව....සිරා කියනවා වගේම එදා ඒ ලැබිච්ච හයිය අදටත් ඇඟේ තියෙනව....

    කෑම මේසේ වෙන තැනකට ගත්තනම් හොඳයි....කන වෙලාවෙවත් නිදහසේ ඉන්න ඕනනේ... ;)

    ReplyDelete
    Replies
    1. කන වෙලාවෙ නිදහසේ තමයි බොලං කන්නෙ...ඒ උනාට ඇසට හසුවෙන මායිමේ දකින දේවල් වලින් හිත අතීතයට ඇදෙනවා...

      Delete
  16. සිරා....බෑන්ඩ් එකේ එවුන් කන පරිප්පු දැක්කාම අපි ඉස්සර උන්ට කින්ඩිය දානවා. හැබැයි ඒක පුදුම කැපවීමක්. අපේ ඉස්කෝලේත් හොඳ බෑන්ඩ් කංඩායම් හිටියා.

    ReplyDelete
    Replies
    1. ඔබේ පාසලේ බෑන්ඩ් කණ්ඩායම අදටත් ඉතාම හොද මට්ටමේ තිබෙනවා...වරක් අපේ කණ්ඩායමට හැකි උනා ඔවුන්ව ලකුණු 2.5 කින් පරදවා පළමු ස්ථානය දිනාගන්න.

      Delete
  17. ඉස්කෝලේ කාලෙට හිතින් හරි යන්න ආසයි , එත් ඉස්කෝලේ යන කාලේ කවදද ගිහින් ඉවර වෙන්නේ කියලා තමයි ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ කියන බෑන්ඩ් ගහපු යුගය පට්ට වහක් විදියට තමයි අපිට ඒ කාලෙ දැනුනෙ...නමුත් ඒ අතීතය අද සිහිපත් කරද්දි මොන තරම් සුන්දරද....අපිත් එක්ක එකට හිටිය සහෝදරයො දැන් ලෝකය පුරාම විසිරිලා.

      Delete
  18. කොඩ් රොල් වලට විචාරක කිවුව නම නේද හරිනම.ඔකෙ තව බැක්වර්ඩ් රොල් කියල එකකුත් තියෙනව.ඇයි ෆ්‍රොග් ජුම්ප්,ඩක් වොක්.හප්ප මාර සනිපයි.

    ReplyDelete
    Replies
    1. හප්පේ බොලා දන්න රෝල්....විචාරක තුමාවත් මෙච්චර ජාති දන්නවද දන්නෙ නෑ.

      Delete
  19. බාලදක්ෂයෙක් විදිහට කටයුතු කරපු අවුරුදු 6 සිහිපත් වුණා. ඒ කාලේ මේ වගේ කතාන්දර එමට තිබුණා. හැබැයි කැඩෙටින් තරමට පනිෂ්මන්ට් නම් නැතුව

    ReplyDelete
    Replies
    1. මමත් මලයො 4 වසරෙ ඉදන් 8 වසර දක්වා බාලදක්ෂයෙක් ලෙස කටයුතු කොලා. 92 අවුරුද්දෙ කුරුණෑගල පැවති අන්තර්ජාතික ජම්බෝරියටත් සහභාගි වුනා. බෑන්ඩ් කෙරුවාව 9 වසරෙන් පටන් ගන්නකොට බාලදක්ෂ ජීවිතයට තිත තිබ්බා....ඒ අතීතයත් හරිම රසවත්...

      Delete
  20. අහක බලගෙනම කාහන් සිරෝ,එතකොට ඔය ඕනෙම දෙයක් කන්න ඇහකි නොවැ.

    ReplyDelete
    Replies
    1. උඹ එහෙම කිව්වට මම බත් මාළු පිනි විතරයි බං කන්නෙ...

      Delete
  21. අපේ පන්තියේ හිටියා හොඳ කැඩෙට් සාමාජිකයෝ තුන් දෙනෙක්. එක්කෙනෙක් නෙවි කමාන්ඩර් කෙනක්, එක්කෙනෙක් ඕ.අයි.සී. කෙනෙක්, අනිකා කඩ හිමියෙක්. :)

    ReplyDelete
    Replies
    1. කැඩෙට් ව්‍යාපාරයට සම්බන්ධ වෙච්ච බොහෝ අය පාසල් ජීවිතයෙන් පස්සෙ ආරක්ෂක අංශ වලට එකතු වුනා. අපේ පාසලේ තත්වයත් එහෙමයි. කැඩෙට් ව්‍යාපාරය තුල ලංකාවේ ඉහළින්ම අපේ පාසලේ නම කියවෙන නිසාම ත්‍රිවිධ හමුදාව තුලම ඉන්න අපේ ආදි ශිෂ්‍යෙයා සංඛ්‍යාව විශාල අගයක්...

      Delete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...