Saturday, July 19, 2014

78 MH 17 ගැන නෙැඇසූ කථා


සිතු දෙය නොම වෙයි නොසිතු දෙයම වෙයි යන වදන් පෙළට අලුත් අර්ථකථනයක් එක් කරමින් මැලේසියානු ගුවන් සේවයේ තවත් යානයක් 2014 වසර තුලදී දෙවන වතාවටත් අනතුරට පත් වී තිබේ. පසුගිය මාර්තු 8 වැනි දින අතුරුදහන් වූ MH 370 යානය නිසාවෙන් කැළඹුන මැලේසියානු ජන ජීවිතය කෙමෙන් කෙමෙන් නිසල වී යන වටපිටාවක සිදු වූ අලුත් ගුවන් අනතුර නිසා එය නැවතත් සසල වී තිබේ. සිරා කොලුවා රැකියාවේ නිරත වන මැලේසියාවේ, කඩ පිලේ, දුම්රියේ, බස් රථයේ මෙන්ම කාර්යාල වලද සාමාන්‍ය කථා බහ වෙනස් වී ඒ තැනට අලුතින් අනතුරට පත් වූ MH 17 යානය මේ වන විට ආදේශ වී තිබේ.

විනාශ වූ ගුවන් යානය ගුවන් ගත වන්නට මොහොතකට කලින්
තමා ගමන් ගන්නා යානය මෙයට පෙර අතුරුදහන් වූ මැලේසියානු යානාව මෙන් අතුරුදහන් වුවහොත් එය මෙන්න මේ වගේ යැයි පවසමින් යානයේ ගමන්ගත් නෙදර්ලන්ත ජාතිකයෙකු විසින් මේ ඡායාරූපය
කවට කමකට මෙන්  ෆේස් බුක් අඩවිය වෙත තම දුරකථනයෙන් එකතු කර තිබේ.


ඡායාරූපය ලබාගත් තැනැත්තා
ගුවන් යානය පිටත් වීමට මොහොතකට පෙර ඇතුලත දර්ශන

MH 370 යානය සෙවීම සදහා සිදුකල මෙහෙයුම් සදහා අති විශාල ධනස්කන්දයක් වැය කිරීමත්, හානියට පත් පාර්ශව වෙත වන්දි මුදල් ලබා දීමත්, එම ගුවන් යානය පිළිබද අභිරහස තවමත් හෙළිදරව් නොවූ පරිසරයක, ඇතැම් මැලේසියානුවන් පවා ඔවුන්ගේ ජාතික ගුවන් සේවයේ ගමන් කිරීම වර්ජනය කරන වට පිටාවක, ලාභ වෙනුවට පාඩු ලබමින් සිටින වේලාවක මැලේසියානු ගුවන් සේවය වෙත එල්ලවූ මරු පහරක් ලෙස MH 17 ගුවන් අනතුර හදුන්වා දෙන්නට හැකිය.සිය දෙවැනි ගුවන් අනතුරෙන් පසු මැලේසියානු ගුවන් සේවයේ කොටස් මිළ 13% කින් පහත වැටී තිබේ. මේ අනතුරේ බලපෑම අනෙකුත් ගුවන් යානා සමාගම් වල කොටස් මිළ පහත හෙලන්නටද හේතු වී තිබේ. මාර්තු මස සිදුවූ MH 370 අනතුරෙන් පසු චීන ජනතාව මැලේසියානු ගුවන් යානා වල ගමන් කිරීම 60% කින් පහත වැටුනු අතර MH 17  ගුවන් අනතුර සිදුවන අවස්ථාව වන විට එය යථා තත්වයට පැමිණෙමින් තිබුනි. පෙරේදා අනතුරට ලක් වූ ගුවන් යානයේ ආසන සංඛ්‍යාවටත් වඩා වැඩි සංඛ්‍යාවක් ප්‍රවේශ පත්‍ර සදහා ඉල්ලුම් කර තිබීම එයට උදාහරණයකි.

2014 වර්ෂය යනු මැලේසියානු ගුවන් සේවය පිට පිටම පාඩු ලබන තෙවන වසරයි. 2014 වර්ෂයේ පළමු කාර්තුව තුල පමණක් රිංගිට් මිලියන 443.4 ක පාඩුවක් මැලේසියානු ගුවන් සේවය ලබා තිබේ. එහි ශ්‍රී ලංකා රුපියල් වටිනාකම ගනන් බැලීමට 40 න් ගුණකර බලන්න. ලෝකයේ මින්පෙර ගුවන්යානා අනතුරකට මුහුණ දුන් කිසිදු ගුවන් සේවයක් කෙටි කාලයක් තුල දෙවැනි අනතුරකට මුහුණ දී නැත. එහෙත් මැලේසියානු ගුවන් සේවයේ අභාග්‍ය මේ යැයි කියමින් එකම වර්ෂයක් තුල දෙවැනි ගුවන් යානයත් අහිමි වන අතරේ අනතුරු ද්විත්වය නිසා මගී ජීවිත 537 අහිමි වී තිබේ. මේ තොරතුරු ඔස්සේ දෙවැනි ගුවන් යානා අනතුර පිළිබද අදහස් දක්වන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ “They were the wrong airline in the wrong place at the wrong time.” යනුවෙනි. මැලේසියානු ගුවන් සේවයටත් වඩා වැඩි වාර ගනනක් අනතුර සිදුවූ ගුවන් කලාපය ඔස්සේ ලොව අංක 1 ගුවන් සේවය වන සිංගප්පූරු ගුවන් සේවය පියාසර කර තිබියදී මැලේසියානු ගුවන් යානයක්ම නැවත වතාවක් අනතුරට පත් වීම එම සමාගමේ නොමද කණස්සල්ලට හේතු වනවාට සැක නැත.



දැවැන්ත පාඩුවක් ලබන අවස්ථාවක...තම ගුවන් සේවයෙන් ඉවතට ඇදෙන මගි ජනතාව යළි ආකර්ශනය කර ගැනීමට වට්ටම් හා දීමනා ලබා දීමට යාමෙන් මැලේසියානු ගුවන් සේවයේ අර්බුදය තව තවත් උග්‍ර වනු ඇත. දෙවැනි අනතුරෙන් පසු බොහෝ අය මැලේසියානු ගුවන් සේවය සමගින් යාමට සැලසුම් කර තිබූ සංචාර මේ වන විටත් අවලංගු කර තිබේ.

අපගේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයට දිගු දුර ගුමන් ගමන් සදහා සෑහෙන සහයෝගයක් ලබා දෙන ගුවන් සේවයක් ලෙස මැලේසියානු ගුවන් සේවයේ ස්ථාවරත්වය ශ්‍රී ලාංකික ගුවන් මගීන්ටද වැදගත් කාරණයකි. මේ අනතුරු සිදුවීමට කලින් ලොව වඩාත් ආරක්ෂිතම ගුවන් සේවයක් ලෙස මැලේසියානු ගුවන් සේවය සතුව වඩා හොද කීර්තිනාමයක් විය.

බ්‍රහස්පතින්දා දින මැලේසියානු වේලාවෙන් සවස 6.15 ට නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර ආසන්නයේ ඇති  Schiphol ගුවන් තොටුපලෙන් පිටත් වි මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොට වෙත පියාසර කරමින් තිබූ මේ යානයට ගුවන් ගත වී පැය 4 කට පසු  රුසියානු සහ යුක්රේන දේශ සීමාව ආසන්නයේදී එල්ල වූ මිසයිල ප්‍රහාරයක් නිසා මේ විනාශය සිදු වූ බව දැන් තහවුරු වී තිබේ. මැලේසියානු වේලාවෙන් පසුදා උදෑසන 6.10 ට පමණ එය මැලේසියාව ලගා වීමට නියමිත වී තිබුනි.



මිසයිල ප්‍රහාරය නිසා උඩුගුවනේදී පුපුරා ගිය යානය රුසියානු දේශසීමාවේ සිට කිලෝ මීටර් 40 ක පමණ දුරින් පිහිටා තිබෙන Rozsypne නැමති ගම්මානයට පතිත වී තිබේ. මේ ගම්මානය අයත් වන්නේ යුක්රේනයේ Donetsk නම් පළාතටයි. මේ පළාතේ බලය මේ වන විට යුක්රේන සටන් කරුවන් අත තිබේ. MH 17 ගුවන් අනතුර සිදු වූ සැනින් බොහෝ ගුවන් යානා සමාගම් තම යානා යුක්රේන ගුවන් කලාපය මගහැර පියාසර කරවා තිබෙන අතර පැරීසියේ සිට මැලේසියාව බලා එමින් තිබූ මැලේසියානු ගුවන් සේවයටම අයත් MH 21 ගුවන් යානයද එලෙස මාර්ගය වෙනස් කරමින් මැලේසියාවට පියාසර කර තිබේ.

අඩි 33000 ක් ඉහළ අහසේ තිබූ මේ ගුවන් යානාව වෙත ප්‍රහාරය එල්ල කලේ රුසියාවේ පාර්ශවයෙන්ද, නැතිනම් යුක්රේන හමුදා සමග සටන් කරන රුසියානු සහාය ලබන සටන් කාමීන්ද, නැතිනම් යුක්රේන රජයේ හමුදාවද  යන සැකය අනතුර සිදු වූ වහාම පැන නැගුනි. නමුත්  රුසියානු හමුදාව පසුව නිවේදනය කලේ අනතුර සිදු වූ කාල සීමාව තුල කිසිදු ගුවන් යානයක ඉලක්කයක් තම හමුදාව විසින් ගෙන නැති බවයි. 

මෙම ගුවන් යානා අනතුර සිදුවී විනාඩි 37 කට පසු මේ ගුවන් අවකාශයම උපයෝගී කරගනිමින් බ්‍රසීලයේ සිට රුසියාව බලා ගමන් කල රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් රැගත් යානය විනාශ කර පූටින් ඝාතනය කිරීම පිණිස එවන්නට සූදානම් කර තිබූ මිසයිලයක් අත්වැරදීමක් නිසා රුසියානු ගුවන් යානයේ බාහිර පෙනුමට සමාන මැලේසියානු ගුවන් යානයට එල්ල  කර තිබෙන බවට සැකයක් දැන් ඇති වී තිබේ. පූටින් සහභාගි වූ බ්‍රසීලයේ පැවති බ්‍රික් සමුළුවටම සහභාගි වූ අභිනව ඉන්දීය අගමැතිවරයාද අනතුර සිදු වී පැයකට පමණ පසු මෙම ගුවන් කලාපය ඔස්සේම සිය රට ගොස් තිබේ.



අඩි 30000 හෝ එමෙන් දෙගුණයක් උසින් ගමන් කරනා වස්තුවකට වුවද සාර්ථකව පහර දිය හැකි මේ මිසයිලය රුසියාවේම නිෂ්පාදනයකි. එය Buk යනුවෙන් හැදින්වේ. කිලෝ මීටර් 28 ක් දක්වා ගුවන් ගත කල හැකි, මීටර් 5.5 උස, කිලෝ ග්‍රෑම් 710 ක් බරැති මේ වර්ගයේ මිසයිල රුසියාවේ හමුදාව අත මෙන්ම යුක්රේනයේ සටන්කාමීන් අතද එක සේ තිබෙන බවක් කියවේ. තනි මිසයිලයක් වෙනුවට මිසයිල පද්ධතියක් ලෙස මේවා සැකසී තිබේ. අවශ්‍ය තැනකට පහසුවෙන් ප්‍රවාහනය කල හැකි පරිදි බොහෝ විට වාහනයකට සම්බන්ධ කර මෙම මිසයිල පද්ධති භාවිතා කරයි රුසියානු රජය පවසන්නේ යුක්රේන ගරිල්ලන් අත මෙවැනි පද්ධතියක් තිබෙන්නට හැකියාවක් නැති නමුත් යුක්රේන රජයේ හමුදාව සතුව එවැනි පද්ධතියක් නැගෙනහිර යුක්රේනයේ ස්ථාපනය කර තිබෙන බවකි. මැලේසියානු ගුවන් යානය බිම හෙලුවේ එහි සිට එවන ලද මිසයිලයකින් බව රුසියානු පාර්ශවය චෝදනා කරයි.



යුක්රේනය තුල කැරලි ගසන, රුසියානු භාෂාව කථාකරන රුසියානු සහාය ලබන කැරලි කරුවන් වෙත මෙවැනි මිසයිල පද්ධතියක් පූටිං ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කල බවක් යුක්රේන රජයේ පාර්ශවයෙන් කියවෙයි. ඔවුන් කියන්නේ මේ ප්‍රහාරය සටන් කාමීන් විසින් සිදු කල එකක් බවයි.

රුසියානු ජනාධිපතිවරයා මිනීමරුවෙක් යැයි සදහන් කල පුවරුවක් අතැතිව සිටින කාන්තාවක්


රුසියාව, යුක්රේන සටන් කරුවන්, යුක්රේන රජයේ හමුදා යන මේ පාර්ශව තුන අතරින් කවුුරු හෝ මේ මහපොළොව නුහුලනා අපරාධය සිදු කල බව ඒකාන්තය. මේ යානය රුසියානු ආයුධ ප්‍රවාහනය කරන යානයක් සේ යුක්රේන රජයේ හමුදා  සිතීම, මෙය යුක්රේන හමුදා යානයක් ලෙස රුසියානු හමුදා උපකල්පනය කිරීම, මෙවැනි ප්‍රහාරයක් එල්ලවීමට හේතු ලෙස දැන් කරළියට පැමිණ තිබේ. පසුගිය සති කීපය ඇතුලත MH 17 යානය අනතුරට පත් වූ ගුවන් කලාපය තුලදීම යුක්රේන යුධ ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා කීපයක්ම බිම හෙලන්නට කැරළිකාර හමුදාව සමත් වී තිබේ. යුක්රේන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇති වූ බලය බෙදාහැරීම පිළිබද මත ගැටුමක් මත මේ සටන් ඇවිලී තිබේ. මැලේසියානු ගුවන් යානය විනාශ වීම පිළිබද ඇමරිකාව පවසන්නේ ප්‍රහාරය එල්ල කල ආයුධය කුමක්දැයි නිශ්චිතව කිව හැකි වුවත් මිසයිලය ගුවන් ගත වූයේ කොතැනින්ද යන්න පිළිබද නිශ්චිත අදහසක් තමන්ට නැති බවයි.

යුක්රේනයේ පවතින කලහකාරී තත්වය නිසා බොහෝ ගුවන් සේවා තම ගුවන් මාර්ග යුක්රේනයට පිටතින් පවත්වාගෙන ගොස් තිබේ. මැලේසියානු ගුවන් සේවයද එම පියවරම අනුගමනය කර තිබේ. නමුත් ගුවන් ගමන් පාලක මණ්ඩලය ලබා දුන් වැරදි තොරතුරක් නිසා හෝ යානයේ ගුවන් නියමුවන්ගේ අභිමතය පරිදි සමස්ත ගමනේ දුර අඩුකර ගැනීමට මේ ගුවන් මාර්ගය තෝරාගන්නට ඇතැයි මැලේසියානු පාර්ශවය පවසයි. යුක්රේනයට අයත් ගුවන් කලාපය තුල අඩි 35000 ක උසක් පවත්වාගෙන යන්නට නියමුවන් අවසර ඉල්ලා සිටියත් යුක්රේන ගුවන් යානා පාලක නිලධාරීන් පවසා ඇත්තේ අඩි 33000 ක උසකින් ගමන් කරන ලෙසයි.

නෙදර්ලන්තයේ සිට ඔස්ට්‍රේලියාව බලා එක එල්ලේ පියාසර කිරීම අපහසු නිසා මැලේසියාව හරහා ඔස්ට්‍රේලියාව බලා යන්නට සිටි නෙදර්ලන්ත ජාතිකයන් යානයේ බහුතර මගීන් කොට්ඨාශයයි. ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර මට්ටමේ  ඒඩ්ස් පිළිබද සමුළුවකට සහභාගි වීම මෙයින් බහුතරයගේ අරමුණ වී තිබේ. ඒඩ්ස් රෝගය පිළිබදව ලෝක මට්ටමේ විශේෂඥයෙකුද මේ ගුවන් යානයේ සිටි බවට විශ්වාස කෙරෙයි.

අත්වැරදීමකින් මැලේසියානු ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව බොහෝ පාර්ශවයන් පිළිගන්නා කාරණයයි. යානයට ගමන් කරන්නට ඉඩ ලැබී තිබෙන්නේ යුක්රේන ගුවන් සීමාව තුල සුළු දුර ප්‍රමාණයක් බව ඇතැම් වාර්තාවක කියවෙයි. කිසිදු  කිසිදිනක නිවැරදි කල  නොහැකි මේ අත්වැරදීම නිසා කුඩා දරුවන් 3 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ 15 දෙනෙකු ඇතුලුව 298 දෙනෙකු මේ වන විට මරු වසගයට ගොස් තිබේ. කිසිදු කෙනෙකු දිවි ගලවාගැනීමට සමත් වී නැත.

























































මේවා සමග හුරතල් වූ කුඩා දරුවන් දැන් කොහිද ?

යුක්රේන සටන්කාමීන්
MH 17 ගුවන් යානයේ පළමු නිලධාරියා ලෙස Wan Amran Wan Hussain කටයුතු කර තිබේ. ගුවන් නියමුවෙකු ලෙස වසර 25 ක අත්දැකීම් ඇති හෙතෙම දෙදරු පියෙකි. වයස අවුරුදු 10 වන ඔහුගේ වැඩිමල් පුත්‍රයා මේ සිදුවීම සැල වූ වේලාවේ සිටම නොනවත්වා හඩන බව අන්තර්ජාලයේ සටහන් වී ඇත.


පුතුන් දෙදෙනා සමග ප්‍රධාන නියමුවා
මේ ගුවන් යානයේ සහායක නියමුවා ලෙස කටයුතු කොට තිබෙන්නෙ Eugene Choo Jin Leong නැමැති අයයි. 

අනතුර සිදු වූ වහාම පාර්ලිමේන්තුවේ හදිසි සැසියක් කැදවා තිබෙන මැලේසියානු අගමැති නජීබ් රසාක් මහතා එහිදී කියා ඇත්තේ 2014 වසර මැලේසියාවට දුක්බර වසරක් බවකි. ඔහුගේ මිත්තනියක්ද (සීයාගේ දෙවැනි විවාහක කාන්තාව) මේ ගුවන් යානයේ ගමන් කර ඇති බවට පුවත් පල වී තිබෙනු දැකිය හැකිය. මීට සමගාමීව අනතුර සිදු වූ දිනට පසු දින  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සැසි වාරයක්ද පවත්වා ඇති අතර එය කැදවීමට මූලික වී ඇත්තේ එංගලන්තයයි. අනතුරින් මිය ගිය අය අතර ඇමරිකානු සම්භවයක් ඇති නෙදර්ලන්ත පුරවැසියෙකු ඇති අතර, ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් මේ සිද්ධියට වගකිව යුතු වන්නේ රුසියාවට හිතැති කැරලිකරුවන් බවද පවසා තිබේ. මිසයිලයක් නිසි ඉලක්කයකට පතිත කරන්නට නම් ඒ සදහා තාක්ෂණික සහයෝගයක් තිබුය යුතු බවත් ඒ අනුව නිසැකවම මේ සිදුවීම පිටුපස රුසියාවද සිටිය යුතු බත් ඔහු වැඩිදුරටත් කියා සිටියි. එය තවත් සීතල යුද්ධයක ආරම්භයක් වන්නටද බැරි නැත. අඩි 30000 ක පමණ උසකින් ගමන් ගන්නා යානයකට ප්‍රහාර එල්ල කල හැකි ප්‍රබල අවියක් ඇත්තේ යුක්රේනයට නොව රුසියාවට බවද ඇමරිකානු ජනාධිපතිවරයා කියා තිබේ.


අනතුරින් විපතට පත්වූ අයගේ ඥාතීන් සමග මැලේසියානු අගමැතිවරයා සහ බිරිද ශෝකය බෙදාගනිමින්


එක්වරම විශාල පිපුරුම් ශබ්දයක් ඇහුනා...ඒ එක්කම ගොඩනැගිලි හෙල්ලුම් කෑවා. ඊටත් පස්සෙ මළ මිනී වැස්සක් වහිනවා වගේ බිමට කඩාගෙන වැටුනා.  එක් මළ සිරුරක් තිබුනෙ අපේ නිවසෙ වහලෙ උඩ. ගුවන් යානයේ කොටස් ඇද වැටුන Grabovo  ගම්මානයේ වෙසෙන  Irina Tipunova නැමති යුවතිය එසේ කියා තිබුනා.

අහස මොර ගාන සද්දයක් ටික වෙලාවක් ඇහුනා...ඒ එක්කම ටක ටක ගාලා අහසින් පොළවට මොනවද වැටුනා...හොයලා බලද්දි ඒ මළ සිරුරු, වයස අවුරුදු 65 ක විශ්‍රාමිකයෙකු එහෙම කිව්වෙ කුස්සියෙ කැඩී ගිය සිවිලිම පෙන්වමින්. වහලය කඩාගෙන සිවිලිම හරහා ඔහුගේ නිදන ඇද අසලටත් නිරුවත් කාන්තා සිරුරක් වැටී තිබෙනවා. ඔහුගේ නිවසේ සිට මීටර් 100 ක වපසරිය ඇතුලෙ තිරිගු වගා කරලා තිබුන භූමිය තුලට තවත් සිරුරු දුසිම් ගනනක් පතිත වී තිබෙනවා.

 නම සදහන් කරන්න අකමැති තවත් ගැමි කාන්තාවක් තමා දුටු දේ කියලා තියෙන්නෙ මේ විදියට....මට ගුවන් යානය පුපුරන සද්දෙ ඇහුනා....මම ඉක්මනට ඇරලා තිබුන දොර වහන්න ඉස්සරහට දිව්වා. ඒ එක්කම මම දැක්කා අහසින් මිනිස්සු වැටෙන හැටි.  මගේ එළවළු පාත්තියටත් එක්කෙනෙක් වැටුනා. ගුවන් යානයේ ඉදිරිපස කොටස වැටුනෙ අපේ ගෙදර ඉදන් කිලෝමීටරයක් විතර කිට්ටුව දුරක තියෙන සූරිය කාන්ත වගාවට. මළ මිනී වලට අමතරව යකඩ කෑලි, ගමන් මළු, සහ අනෙකුත් සුන් බුන් මේ කෘෂිකාර්මික ප්‍රදේශය තුල පතිත වී  තිබෙන වග ඇගේ කථාවෙන් හෙළිවෙනවා.


ගුවන් යානයේ සුන්බුන් සහ මළ සිරුරු සොයමින්

මළ සිරුරක්




ගමන් මළු
සමහර සිරුරු හොද තත්වයෙන් තිබුනා. තවත් සමහර ඒවා තැලී පොඩිවී හදුනාගත නොහැකි විදියට තිබුනා. ගුවන් යානයේ පාලක මැදිරිය තුල කාන්තා සහ කුඩා ළමුන් පිරිසකගේ සිරුරු තිබුනා. භූමිය පුරාම සපත්තු, ඇදුම්, හිස් ගමන් මළු, බෙහෙත්, සහන සේවකයො තමන්ගෙ අත්දැකීම් ඒ විදියටයි දක්වා තිබෙන්නෙ.

Intan Maizura Othman ගෙ සැමියා Mohd Hazrin Hasnan  මේ විනාශ වූ ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙක්. ඇගේ නෙත් අගින් ගලන තවමත් වේලිලා නැති කදුලු දරාගෙන Intan  කිව්වෙ මෙහෙම කථාවක්.

මගේ සැමියා මේ ගුවන් යානයේ සේවය කලා. ගුවන් යානයේ සුන්බුන් රූපවාහිනියෙ දකිද්දි මම ප්‍රාර්ථනා කලේ මේ ගුවන් යානය MH 17 නොවී MH 370 වෙන්න කියලයි. යානයේ සුන්බුන් දකිද්දි මගේ, මගේ දරුවන්ගෙ අනාගතය සුව පහසු එකක් නොවන වග මට වැටහෙනවා. 

මේ අතර නියමිත වේලාවට ගුවන් තොටුපලට පැමිණීමට නොහැකි වීමෙන් මෙම ගුවන් යානය මග ඇරුනු කාන්තාවකද සිටියි. ඇය තම අත දරුවාද සමග මාධ්‍යයට අදහස් දක්වමින් කියා තිබුනේ මේ සිද්ධිය සැල වූ වහාම තමා දැඩි ලෙස කම්පනයට පත් වූ බවත්, දෙවියන් විසින් තම දෙමාපියන් සහ ඥාති හිතමිත්‍රාදීන් සමග තව දුරටත් ජීවත් වීමට තමා හට දෙවන වාරයක් උදා කර දී ඇති බවකි.


ප්‍රමාදය විසින් දිවි රැක දුන් කාන්තාව


ලෝක ඉතිහාසයේ මගී ගුවන් යානාවක් වෙත එල්ලවූ මෙවැනි වර්ගයේ පළමු ප්‍රහාරය මෙය නොවේ.  




මෙහි දක්වා ඇති  ගුවන් අනතුරු වලට අමතරව 1998 සැප්තැම්බර් මස 29 වන දින ලයන් එයාර් ගුවන් සේවයට අයත්  LN 602 අංකය සහිත ඇන්ටනොව් 24 වර්ගයේ යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කල දෙමළ විමුක්ති කොටි ත්‍රස්තයින් එය බිම හෙළා පුද්ගල ජීවිත 47 ක් විනාශ කළෝය.

ගුවන් යානයේ ඉරණමත් සමගම ජීවිතයෙන් සමුගත් මගී ජනතාව අතර මැලේසියානු රංගන ශිල්පිනයකද වෙයි.  Shuba Jaya නැමති ඇය කුළුදුල් දරු ප්‍රසූතියෙන් පසු තම නෙදර්ලන්ත ජාතික සැමියාගේ පාර්ශවයට දරුවා පෙන්වීමට ඔහු සමග එහි ගොස් ආපසු එන අතරතුර මේ අනතුරට මුහුණ දී තිබේ.




Sanjid Singh අනතුරට ලක් වූ MH 17 ගුවන් යානයේ සේවකයෙකු ලෙස කටයුතු කල අයෙකි. ඔහුගේ බිරිදද ඔහු මෙන්ම මැලේසියානු ගුවන් සේවයේ ගුවන් සේවිකාවක වූ අතර ඇය MH 370 ගුවන් යානයත් සමග අතුරුදන් වී සිටින තැනැත්තියකි. දෛවයේ සරදමකට මෙන් එක ලග සිදුවූ ගුවන් අනතුරු දෙකකින් එකම පවුලක් වාර දෙකක් විපතට පත් වී තිබේ. පුතා ඕනෑම රටක ඉදන් පිටත් වෙද්දි මට කථා කරලා කියනවා අපි දැන් පිටත් වෙන්න යන්නෙ කියලා...ඒ වගේ නෙදර්ලන්තයෙන් පිටත් වෙද්දිත් මට කිව්වා තාත්තා එක්ක හෙට දවල් කෑමට මම ගෙදර එනවා කියලා, Sanjid  ගේ පියා තම පුත්‍රයාගේ සහ ලේලියගේ ඡායාරූපයක් දෙස බලමින් දුක්බරව වචන අමුණයි.



Angeline Premila Rajendran  MH 17  ගුවන් සේවයේ සේවයේ නියුතුව සිටි එක් ගුවන් සේවිකාවක්. ඇය මේ සංචාරය සදහා නිවසින් පිටත් වීමට පෙර තම පවුලේ අයට පවසා ඇත්තේ තමා යළි එන තුරු සුනඛ සුරතලා හොදින් රැක බලාගන්නා ලෙසයි. සතුන් හට මහත් සේ කරුණාව දැක්වූ තැනැත්තියක් වුවද ඇයටද මේ ගුවන් අනතුරින් දිවි රැක ගන්නට හැකියාවක් ලැබුනෙ නෑ.


 MH 17  ගුවන් යානය තුල මෙවැනි කථා අපමණ තිබුනද මෙයින් මතු මම ඒවා කියන්නට නොයමි. නිරායුධ සිවිල් පුද්ගලයින් 298 ක් ගමන් ගත් මේ යානයට මෙවැනි විපතක් කොට, එයට සම්බන්ධ වූ පාර්ශවය අත් කරගත්තේ කුමන ප්‍රතිලාභයක්ද ? මේ යානය තුල සිටි අයගේ යැපෙන්නන් හට මෙන්ම, සමීපතමයන්ටද මේ සිදුවීම රාත්‍රියේ දුටු නරක සිහිනයක් මෙන් ජීවිත කාලය පුරාම සෝ ලතැවුල් ඇති කරනු ඇත.

විපතට පත් වූවන්ගේ පවුල් වල සාමාජිකයින්


ගුවන් යානයේ සේවයේ නියුතුව සිටි අයගේ පවුල් වල සාමාජිකයින් දුක බෙදාගනිමින්


























අදින් පසු හෝ මෙවැනි විපතක් යලිදු කිසිදිනෙක අසන්නට නොලැබේවා ! මෙවැනි විනාශයන් සිදු කරමින් සුන්දර ලෝකය අසුන්දර කරන උන් හට මෛත්‍රී සිත් ඇතිවේවා !



මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

මෙම ලිපියට මූලාශ්‍ර Yahoo Malaysia සහ අන්තර්ජාල පුවත් වෙබ් අඩවි කීපයකිනි.

මේ අනතුරින් දිවි තොර වූ අයගේ නම් ලැයිස්තුව මෙතැනින්

මැලේසියාවේ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ආයතනයක සිරා කොලුවා රැකියාව කරන බව සිරාගෙ කාමරේ බොහෝ පාඨකයන් දනිති. මැලේසියානු ගුවන් සේවය මෙරට සංචාරක කර්මාන්තයේ කටයුතු කරන සමාගම් වෙත මේ අනතුරෙන් පසු මාධ්‍ය නිවේදනයක් එවා තිබුනි. අපේ ආයතනයට ලැබුනු එම නිවේදනය ඔබේ දැන ගැනීම පිණිස මම මෙහි පල කරමි. මේවා මේ ගුවන් අනතුර පිළිබද සිංහලෙන් වාර්තා කල කිසිදු තැනක අඩංගු නොවූ දෑය.


අනතුරෙන් මිය ගිය බහුතරය නෙදර්ලන්ත ජාතිකයන්ය


අනතුරට පත් ගුවන් යානය පිළිබද තොරතුරු



78 comments:

  1. Replies
    1. ගොඩක් සංවේදී ලිපියක් අය්යේ...බලයට තියෙන කෑදර කම හින්දා වටිනා ජිවිත තමයි අන්තිමට නැති වෙන්නේ....

      Delete
    2. නොදකින් මෙහෙම සංවේදි පෝස්ට් එකකදිවත් මුන්ගේ මෝඩ ආතල් නතර වෙන් නැති හැටි... හරි එක උනා කියලා උඹට හතර මහා නිධානේ පහල උනාද..

      Delete
    3. අනිවා

      Delete
    4. බලයට තියෙන කෑදරකම ලෝකයේ බොහෝ තැන් වල...බොහෝ නායකයන් ලග අඩු වැඩි වශයෙන් දකින්නට පුලුවන්. ඔබ කියන කථාවේ සත්‍ය තාවක් තියෙනවා. කවුරු මලත් මගේ කාර්යය ඉටු වෙනවානම් කියලා හිතන තැනට අද මිනිස්සු ඇවිත්.

      Delete
  2. උඹේ කාමරේට මම මේ ඉස් ඉස්සෙල්ලම ආවෙ....වැදගත් මෙන්ම දෑසට කදුලු උනනවා මේව දැක්කම මචං

    ReplyDelete
    Replies
    1. කාමරයට සාදරයෙන් පිළිගන්නවා. මෙවැනි සිදුවීමක් උනාම ඒ පිටුපස ඉන්න....පිටතට නොපෙනෙන මිනිසුන්ගේ දුක යම් තරමකට කියන්න මට අවැසි උනා.

      Delete
  3. සෑහෙන මහන්සි වෙලා ලියපු ලිපියක්....

    ReplyDelete
    Replies
    1. සිරා කිසිම දෙයක් උඩින් පල්ලෙන් ලියලා නෑ....මේ ලිපියට වුවත් කරුණු හොයන්න බොහෝ කාලයක් වැය කරන්න උනා. කියවන්න එන අයට සාධාරණයක් කරන්නයි එදා ඉදලම මගේ උත්සාහය උනේ.

      Delete
  4. මේක ආරංචිය දැනගත්ත වෙලාවේ ඉඳලා පුදුම කම්පනයකින් ඉන්නේ බං. පිස්සු බල්ලෝ වගේ වැඩ කරන උන්ගේ හදිසි තීරණයක් ඉතින් මේ.

    ReplyDelete
    Replies
    1. මටත් බොහොම දුක හිතුනා මුස්ලිම් ජනතාවගේ වසරේ ප්‍රධාන උත්සවය අතලග තියෙද්දි මේ වෙච්ච අභාග්‍යය ගැන. මේ පවුල් වල අයට අඩුම තරමේ මළ සිරුරක්වත් දකින්න නැතිව තමන්ගෙ සමීපතමයන් හොරු ගෙනිච්චා වගේ නැති උනාම මොන තරම් වේදනාවක් දැනෙනවා ඇතිද ?

      Delete
  5. ඉතාම අවසනාවන්ත සිදුවීමක් ගැන වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම.....මේ වගේ ලිපි දෙකක් මට ලියන්න සිදු උනා....නැවත් වතාවක් මෙවැනි ලිපියක් ලියන්න නොලැබේවා කියලයි මමත් ප්‍රාර්ථනා කරන්නෙ.

      Delete
  6. මොනව කියන්නද මන්ද බං මේවට, :( ඕකට ෆයර් කරපු එවුන්ගෙ ඇගටවත් වැටුනෙ නෑනෙ ඕක. >:(

    ReplyDelete
    Replies
    1. උන්ගෙ පපුව ඇතුලෙ මනුෂ්‍යකම කියන දේ මැරිලා...නැත්තං උන්ගෙ සංවිධාන වල මහ උන් බලෙන් මරලා.

      Delete
  7. මහන්සිවෙලා ලීව වටිනා ලිපියක්. තොරතුරු ගොඩක් දැනගත්තා...ආයේ නම් ගුවන් ගමන් කරන්නේ නෑ කියන තරමට හිතට කාවැදුනු අනතුරක්. ඩූඩ් කියනවා වගේ හරිම කම්පාවට පත් වෙලා ඉන්නේ.

    කාගේ වරද නිසා සිදු වුනත්, විනාශ වුනේ අහිංසක ජීවිත රැසක්. මේ වගේ දේකට වගකියන්ට කෙනෙක් නැතිවීම කණගාටුවක්. :(

    ReplyDelete
    Replies
    1. ගුවනින් යද්දි අපි හැමෝටම මේ මතකය යම් භියක් ඇති කරාවි. මේ විදියට මිසයිලයක් එවලා ඕනෑම ගරිල්ලෙක්ට ගුවන් යානයක්, ඒ තුල ඉන්න ජනතාව විනාශ කරන්න බැරි වෙන්න යම් දියුණු ආරක්ෂිත ක්‍රියාවලියක් දැන් අවශ්‍ය වෙලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ. අනාගතයේදී මෙවැනි සිදුවීම් නැති වෙයි කියන්න බෑ. හැමෝම බලය පවත්වාගෙන යන්න දරණ උත්සාහය දුටුවම.

      Delete
  8. කරුණු හොයලා ලියපු සාර්ථක ලිපියක් සිරා. සැහෙන මහන්සියක් වෙලා නේ..ස්තුතියි උඹට.

    අර මළ සිරුරු තියන කොටස් තියන වීඩියෝ ක්ලිප් එක ඕනෙමද මේ ලිපියට ???

    ReplyDelete
    Replies
    1. මට මේ ගැන බ්ලොග් ලියන කවුරුවත් යමක් ලියා නොතිබූ වටපිටාවක, මේ සිදුවීම සිංහලෙන් වාර්තා කල වෙනැත් තැන් වල සදහන් නොවූ කාරණා එක්කම ලිපිය ලියන්න උවමනා උනා. උඹ ඉතිං දන්නවනෙ සිරා ලියන්නෙ කරුණු බොහොමයක් එකතු කරගෙන බව.

      මළ සිරුරු දැක්වෙන වීඩියෝව මම එකතු කලේ මේ සිදුවීමේ තරම කියවන අයට බොහොම තීව්ර ලෙස දැනෙන්න....ඔබේ සහ ඉවාන්ගේ අදහස් දැක්කට පස්සෙ මට හිතුනා එය ඉවත් කරන්න. දැන් එය නෑ. ස්තුතියි පත්තරයො...ඒ ගැන සදහනක් කලාට.

      Delete
  9. මෙහෙ පුවත් පතකවත් තිබුනේ නෑ සිරෝ මෙච්චර හොඳ විස්තරයක්...... උබ ගේ මේ තොරතුරු ඉදිරිපත් කිරිමනම් සුපිරියි
    තවත් ලෝක කෙදවාචකයක් ..... දැන් කට්ටිය පොරකනවා මේක කරේ කව්ද කියලා හොයන්න... ඒ තුලින් තම තමන් තුල අනෙක් අය කෙරෙහි ඇති තරහා පෙන්නන්න මේක අවස්තාවක් කරගන්න මුලින්ම ඔබාමා ට්‍රය් කරෙත් මෙතනට එයාගේ පරීක්ෂණ කණ්ඩායමක් යවලා මුළු පොස්ට් මොටම් එකම ඇමරිකාව යටතේ සිදුකරන්න ඒ නිසා වගකිවයුතු අනෙක් පාර්ශව වලටත් පැය 12ක් විතර යනකම් මෙතැනට යාමට යුක්රේන රජය හා ඒ ප්‍රදේශ දැනට පාලනය කරන්නන් ඉඩ දිලා තිබුනේ නෑ ..... බලන් ගියාම ලංකාවේ විතරක් නෙවි මුළු ලෝකෙම දේශපාලකයෝ පුදුම අවස්ථාවාදීන් නේ බන්..... දුක් විඳින්නේ හැමදාමත් මෙලොහසරක් නොදන්නා සාමාන්‍ය මිනිස්සු .....

    ReplyDelete
    Replies
    1. කොහොද ඉතිං...මැලේ රාළලා මෙහෙ හිටියට මෙහෙම දෙයක් ගැනවත් ලියන්න වෙලාවක් තියෙන එකක්යැ...ඒ හින්දම තමයි ඉතං මම කොහොම හරි යමක් ලියන්නෙ...ඔබ කියනවා වගේ ඇමරිකාව මේ සිදුවීමට මුවාවෙලා රුසියාව එක්ක තියෙන පරණ ගණුදෙනු බේරාගන්න උත්සාහයක් දරන බව ඉතාම පැහැදිලියි.

      Delete
  10. කරුණු හොයන්න හැමදාම වගේ සිරා ගන්න මහන්සිය අගය කරනවා . මේ කරුණ ගැන කාට දැන් දඬුවම් කලත් දැන් වියයුතු සියල්ල වී හමාරයි .

    අර වීඩියෝ ක්ලිප් එක ගැන නම් මගේ අදහසත් එය අවශ්‍ය නැති බවයි සිරා. මාධ්‍ය සදාචාර සහ ආචාර ධර්ම අනුවත් එය නොතිබිය යුතු බවයි මගේ හැගීම

    ReplyDelete
    Replies
    1. බෝනික්කො ටික තියන ඡායාරූපය මට හොඳටම ප්‍රමාණවත් !!!! ඒ ඡායාරූපය කතා කරනවා මුළු සිද්ධියම හරි සංවේදීව …

      Delete
    2. මාත් එකඟයි. අර ෆොටෝ එක දිහා බලන ඕනම කෙනෙකුගෙ පපුවෙ සියුම්ම තැනකට දැනෙන රිදීම ඇති මුළු සිද්ධියෙම තියෙන අවාසනාවන්ත ඇත්ත තේරුම් ගන්න.

      Delete
    3. මම ඉතින් වාර්තාමය ස්වරූපයෙන්...මේ සිදුවීමට අදාළ පසුබිම සහ ඉන් අනතුරව ඇති වී තිබෙන තත්වය වගේම....සිද්ධියෙන් කරදරයට පත්වෙච්ච කීප දෙනෙකු ගැනත් තොරතුරු දක්වන්න ගත්ත උත්සාහයක් තමයි මේ ලිපිය.

      ඔබේ වගේම පත්තර මලයාගේ අදහස් වලටත් ගරු කරලා ඒ වීඩියෝව මම මේ ලිපියෙන් ඉවත් කලා. මේ සිදුවීම පිළිබද කියවන අය තුල දැනෙන කම්පනය තව දුරටත් ඇති කරන අදහසින් තමයි එය එකතු කර තිබුනේ. ස්තූතියි ඉවාන් ඔබේ අදහසට.

      Delete
    4. වීඩියෝව නම් මම දැක්කේ නෑ. නමුත් ඡායාරූපයක් නම් තියනවා තවම. සුනුබුන් මළසිරුරු නොපෙන්වීම කියන එක අද ශිෂ්ට මාධ්‍ය බොහොම තදින් අනුගමනය කරන ප්‍රතිපත්තියක්. මම දන්න තරමින් ෆේස්බුක් වල පවා එය තහනම්. රිපෝර්ට් කල විට ඉවත් කරනවා. මැරුණු අයට නිසි ගෞරවය දීම සහ ඥාතීන්ගේ මානසික තත්වය තමයි මෙතැනදී මූලිකව සලකන්නේ. ඒ මළසිරුරු දැකීමෙන් අන් අය තුල කම්පනය ඇතිකරවීම, සමාජයට පණිවිඩයක් දීම වගේ දේවල් අර ඉහත කී ඥාතීන්ගේ මානසික තත්වය එක්ක සලකා බලද්දි කිසිම වැදගත් කමක් ගන්නේ නෑ. මගේ ඉල්ලීම ඒ ඡායරූපයත් ඉවත් කරන්න කියන එකයි.

      Delete
    5. ඒ ඡායාරූපයත් දැන් ඉවත් කර තිබෙන්නේ. ස්තූතියි ඔබේ අදහසට....මම මේ බොහෝ දේ උපුටා ගත්තෙ අන්තර්ජාල පුවත් අඩවි වලින්...විශේෂයෙන් Yahoo අඩවියෙන්. ඒ තැන් වලත් එම ඡායාරූපය භාවිතා කොට තිබුනා. ඒ නිසාමයි මේ ලිපියටත් ඒ ඡායාරූපය එකතු කලේ.

      Delete
  11. බොහොම හොඳයි සිරා. මම හිතුවා පසුගියවතාවේ මෙන්ම මේ වතාවෙත් ඔබ මෙවැනි ලිපියක් ඉදිරිපත් කරයි කියලා. සවිස්තරව ඉදිරිපත් කරලා තියනවා. මේ මිසයිල තාක්ෂණය ගැන මා පසුව ලිපියක් ලියන්න හිතාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මගේ අක්මාවට දැනුනා....ගිය වතාවෙ ලියපු නිසා මේ වතාවෙත් සිරා කොලුවගෙන් මේ සිදුවීම සම්බන්ධව ලිපියක් ඔබ බලාපොරොත්තු වේවි කියලා....ඒ හින්දයි මේ ලිපිය ලිව්වෙ. මිසයිල තාක්ෂණය ගැන මම වැඩිපුර යමක් කියන්න ගියේ නැත්තෙත් ඔබ තුමා ඒ කාරියට ඉන්න නිසාම තමයි.

      Delete
  12. සිංහලෙන් මේ පිළිබදව ලියවුන, ලියවෙන සවිස්තරම, සංවේදීම ලිපිය මෙය විය හැකියි.

    හොද ලිපියක් සිරා අයියෙ ස්තූතියි.

    අර බෝනික්කො ටිකත් එක්ක හිටපු පොඩි ළමයි ඊට ටික වෙලාවකට කලින් කොයි තරම් සතුටෙන් ඉන්න ඇත්ද??????? :( :( :(

    ReplyDelete
    Replies
    1. මම හොයා බලාපු විදියට මේ තරම් සවිස්තරාත්මකව ලියවුනු සිංහල ලිපියක් තිබුනෙ නෑ ප්‍රියා. ඒ රික්තයත් පුරවන ගමන් තමයි සිරාගෙ කාමරෙන් මේ ලිපිය පල වුනේ.

      ඒ බෝනික්කො දැක්ක පළමු වතාවෙම මටත් ඔය කාරණය හිතුනා...ගුවන් යානය පිටත්වෙන්න කලින් ඒ ඇත්තො තමන්ගෙ බඩු බාහිරාදිය අසුරන්නෙ තමන්ගෙ අවසන් ගමනට කියලා හීනෙන්වත් හිතුවද....මේක තමයි මිනිස් ජීවිතයේ ස්වභාවය....

      Delete
  13. හැමදාම මේ වගේ දෙයක් උනාම ප්‍රාර්ථනා කරනවා මෙයිට පස්සේ මේ වගේ ඛේදනීය සිද්දි සිදුවෙන්න එපා කියලා.. ඉටු නොවෙන්නෙත් ඒ පැතුමමයි.. බලයට කෑදර උනු තිරිසනුන් ඉන්න මහ පොලවට මිනිසුන්ගේ ජීවිතයක ඇති වටිනාකම නොතේරෙනවා ඇති..

    මියගිය සියළු දෙනාම සමාදානයේ සැතපේවා..

    විස්තර එකතු කරලා ලියපු වැදගත් ලිපියක්..

    ReplyDelete
    Replies
    1. අපි ප්‍රාර්ථනාවක් එකතු කලාට මිනිස් කමට නිගාදෙ අධමයන්ට එය දැනෙන්නෙ නැති නිසා තමයි යලි යලිත් එවැනිම සිදුවීම් අහන්න දකින්න ලැබෙන්නෙ.

      Delete
  14. කියන්න දෙයක් නෑ සිරා....

    දුෂ්ඨත්වයෙන් අන්ධ වෙච්ච මිනිස්සුන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන එකට මේක හොඳ සාක්ෂියක්...

    << යානයේ ගුවන් නියමුවන්ගේ අභිමතය පරිදි සමස්ත ගමනේ දුර අඩුකර ගැනීමට මේ ගුවන් මාර්ගය තෝරාගන්නට ඇතැයි මැලේසියානු පාර්ශවය පවසයි. >>

    "ලේසි වුන්ත, පහසු වුනත් නොයන් ගමන් කෙටි පාරෙන් පුතුනේ" කියලා කියමනක් තියෙන්නෙ ඕක තමා..

    ReplyDelete
    Replies
    1. ගුවන් ගමන් මාර්ගය සොයාගන්න කාරණය ටිකක් සංකීර්ණ සිද්ධාන්ත සහිත එකක්...මම ඒ ගැන සොයා බැලුවා...නමුත් ලියන්න උත්සාහ කලේ නෑ. ගුවන් නියමුවන්ට ඔවුන් ඒ අවස්ථාවේ පසු කරමින් ඉන්න ගුවන් අවකාශය පාලනය කරන අය සමග කථා කර ඒ පිළිබදව තීරණයකට එන්න පුලුවන්. මේ අනතුරු සිදුවූ ගුවන් මාර්ගයේම ඉතා විශාල වාර ගනනක් සිංගප්පූරු ගුවන් සේවයේ යානා ගමන් කොට තිබෙනවා. එයත් එක හේතුවක් වෙන්න ඇති මේ මාර්ගයේම යානය පදවන්න.

      Delete
  15. පොලොව බෙදාගන්න බැරුව කරන මෙ යිද්දවලින් අහින්සක මිනිස් ජිවිත තුට්ටුවට වැටිල.මොනම දෙකටවත් සම්බන්ද නැති මෙ අහින්සකයන්ට වුනෙ කොච්චර ලොකු අසධාරනයක්ද.වදුරට කඩුව දුන්න එකෙ අනිත් එක මේක.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු තුල හික්මීම ඇති කරන්න ඉවහල් වන ආගම දහම ඒ අයගෙන් ඈත් වෙද්දි මනුස්ස කම කියන දේත් බැහැරට යනවා. එවන් වටපිටාවක මෙවැනි සිදුවීම් ආගන්තුක නෑ.

      Delete
  16. මේ 298 දෙනාගේ වගේ තවත් ජීවිත කීයක් “අත් වැරදීම් නිසා“ ඉදිරියේදි නැති වේවිද? එක එක්කෙනාට ඇඟීල්ල දිගු කරගන්නවාට වඩා ලෝකයේ ප්‍රගමනය ගැන හිතන්න මේ නායකයන්ට පුළුවන්නම්..

    ReplyDelete
    Replies
    1. මේවා අත්වැරදීම් කියලා අත පිහදාගන්න ඒ අයට බැහැ. වරදකරුවන් සොයාගත්තත් මේ හානියට පත්වෙච්ච අයට..ඒ පවුල් වලට සාධාරණයක් කරන්න හැකි වෙයිද...

      හැම නායකයෙක් තුලම අඩු වැඩි වශයෙන් බලයට තියෙන ආශාව කෑදරකම තියෙනවා. අපේ රටක නායකයෙක්ට තමන්ගෙ රට ඇතුලෙ ප්‍රශ්න විසදන්න බලය ලැබිලා තිබුනට...මේ කියන නායකයො ඉතිං ලෝක මට්ටමේ ප්‍රශ්නත් විසදන්න යනවා නොවැ. යම් සිදුවීමක් උනා නම් ඒ යට යම්කිසි දේශපාලන පසුබිමකුත් තියෙනවා....

      Delete
  17. https://www.wsws.org/en/articles/2014/07/19/vinc-j19.html

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය මම කියෙව්වා මිත්‍රයා...කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියෙනවා කියන පැරණි කියමන තමයි මට මතක් උනේ...ලින්කුවට ස්තූතියි.

      Delete
  18. සිරා, මේක සිරා ලිපියක්. උඹ මහන්සිවෙලා ලියල තීනවට, ඒකට උපහාරය!

    පොඩි උන්ගෙ ටෙඩිබෙයාල දැක්කම හිත කීරි ගැහිල ගියා. ඒවගෙම සන්ජිද් සින් පවුල.

    ලෝකෙ හැමදාම වෙන්නෙ අලි xකද්දි අපි තෙරපෙන එක තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉන්දික අයියා. මේ ගුවන් යානාව පිටිපස්සෙ එවැනි කථා බොහොමයක් තියෙනවා....ඒ අතරින් මගේ හිතට දැනුන කිපයක් තමයි මම මෙතන අකුරු කලේ....මිනිසුන් 295 සහ ළදරුවන් 3 දෙනෙකු විනාශ වී ගිය පසුබිමක ලොවට හෙළි කරන්න ඒ අයගෙ පවුල් වල අයට මොන තරම් කථා තියේවිද...

      මේ ගුවන් යානය මැලේසියාවට අයත් වුවත්...මට පේන විදියට ඔවුනුත් මෙතනදි අසරණයි. ඇමරිකාව සහ රුසියාව මෙහි අනාගතය තීරණය කරන බවක් තමයි පේන්න තියෙන්නෙ.

      Delete
  19. නරක කාරණාවක් උනත් හොඳ ලිපිඅක් සිරා.. මේ ගැන මේතරම් විස්තර දැනගත්තෙ සිරාගේ ලිපිය්න්..

    මම කොහෙදි හරි කියවපු විදිහ්ට මේ කලාපය හරහා ගුවන් ගමන් තහනම් කරලාලු තිබුනෙ යුධ වාතාවරණය හින්දා. සිරාත් තැනක කියලා තිබුනානෙ මේ මාර්ගයේ යානා සාමාන්‍යයෙන් ගමන් නොකරන බව. එහෙම නම් රුසියානු ජනපතිවරයාත් ඉන්දීය අගමැතිවරයාත් මේ මාර්ගයම තෝරාගැනීම ටිකක් අසාමාන්‍යයි වගේ. විශේෂයෙන් යානාවක් මිසයිල ප්‍රහාරයකට ලක්වූ බව දැන දැනම..

    ReplyDelete
    Replies
    1. බොහෝ ගුවන් සේවා තම ගුවන් ගමන් මේ මාර්ගයෙන් පිටතින් පවත්වාගෙන ගියත් හැමෝම එහෙම කරලා නෑ...විශේෂයෙන් සිංගප්පූරු ගුවන් සේවය මේ අනතුර වෙන්න කලින් සතියෙ බොහෝ වාරයක් මේ ඔස්සේ පියාසර කර තිබෙනවා. මැලේසියානු ගුවන් සේවය නියමුවන්ට මේ මාර්ගයෙන් පිටත යානය හසුරුවන ලෙස උපදෙස් ලබා දී තිබුනත් යුක්රේන ගුවන් පාලකවරුගෙ උපදෙස් අනුව යානයේ නියමුවන් මේ මාර්ගය ඔස්සේ යානය පියාසර කර තිබෙනවා.

      ජාත්‍යන්තර පුවත් වාර්තා කල වෙබ් අඩවි තුල තමයි අනෙක් නායකයින් දෙදෙනාත් මේ මාර්ගයේම ගමන් කල බව සදහන්ව තිබුනේ.

      Yahoo Malaysia අඩවියෙන් මේ පිළිතුර හොයාගෙන ආවෙ..එයින් ගම්‍ය වෙනවා ඇයි නියමුවන් ඒ මග ගියේ කියලා.
      The newspaper also said that minutes before the crash, the Air India pilots heard air traffic controllers give the Malaysian plane a "direct routing".
      This allows a plane to fly straight rather than tracking from one navigation point to another, and saves time and fuel.

      Delete
  20. මහත් කම්පාවට පත් වීමි :(

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවෙ හිතක් පපුවක් තියෙන හැමෝම එහෙමයි.

      Delete
  21. මාධ්‍ය විසින් වාර්තා කර තිබූ තොරතුරු තමයි මම මෙහි දැක්වූවෙ. මට හිතෙන විදියට මේ ගුවන් යානය මැලේසියාවට අයත් උනත්...මේ සිදුවීම අස්සෙ තම තමන්ගෙ ගණුදෙනු බේරාගන්න රුසියාව සහ ඇමරිකාව උත්සාහ කරන බවක් පැහැදිලිව පේන්න තියෙනවා. මම පුද්ගලිකව හිතන විදියට මේ මිසයිලය එල්ල කරන්න ඇත්තෙ සටන් කාමීන්ගේ පාර්ශවයෙන්. ඔවුන්ට ආධාර උපකාර කරලා යුක්රේනයේ පාලනය වෙනස් කිරීම හෝ එය නැවතත් තම රටට ඈදා ගැනීම රුසියාවේ උපක්‍රමය වෙන්න පුලුවන්. ඇමරිකාවේ හැසිරීම පිළිබද ඔබේ අදහස් වලට මමත් එකගයි....ස්තූතියි මිත්‍රයා ඔබේ අදහසට සහ ලින්කුවට...

    ReplyDelete
  22. කනගාටුයි ..! පවුලේ අයට කොහොම දැනෙනවා ඇද්ද..?

    ReplyDelete
    Replies
    1. හොරු අරන් ගියා වගේ...අඩුම තරමේ මළ සිරුරක් කියලා දෙයක්වත් දකින්න නැති කොට බොහොම තද වේදනාවක් දැනෙනවා ඇති....

      Delete
  23. හරිම කනගාටුදායක සිද්ධියක් සිරා.අනේ මංදා මැලේසියන් එයාලයින් එකට අවාසනාව කියනව ඇරෙන්න මේ සිද්ධිය නිර්වචනය කරන්නට වෙන විදියක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම....මැලේසියානුවන් දැන් හරිම භයයි ඔවුන්ගේ ජාතික ගුවන් සේවයේ යන්න. අපේ ආයතනය සංචාරයක් පිළිබද අන්තර්ජාලයේ සදහන් කලොත් ඉස්සෙල්ලාම අහන ගැටලුව තමයි ඒ අය මොකක්ද ගුවන් සේවය කියන කාරණය. මැලේසියානු ගුවන් සේවයට ඉතාම අමාරු කාලයක් මේ.

      Delete
  24. ලෝකේ හැමදාම මේ වගේ සිදුවීම් වලින් පිඩාවට පත් වුණේ අහිංසකයින්.
    බලයට ගහා මරා ගන්න වුන් මේ ලෝකේ ඉන්නකම් අපි කොයි තරම් අකැමති වුණත් මේ වගේ සිදු වෙන එක වලක්වන්න බැහැ බං.

    ReplyDelete
    Replies
    1. මම ඉහළ කමෙන්ටුවකත් සදහන් කලා වගේ මිනිස්සු ආගම දහමෙන් ඈත් වෙද්දි ඔවුන් තුල හික්මීම, මනුස්සකම වගේ යහගුණත් ඈත් වෙනවා. ඒවායේ ප්‍රතිඵල තමයි මේ.

      Delete
  25. ගුවන් සේවයට අයත් LN 602 අංකය සහිත ඇන්ටනොව් 24 වර්ගයේ යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කල දෙමළ විමුක්ති කොටි ත්‍රස්තයින් එය බිම හෙළා පුද්ගල ජීවිත 47 ක් විනාශ කළෝය.

    පළවෙනිය වෙන්න,පොරක්වෙන්න, දතකනව මිසක් ඇත්තටම කියෙව්වද
    ඇයි උඹලට බැරි වචනයක් ලියන්න අහිමිකල අපෙ උන්ගෙ ජිවිතගැන මෙවන් මතකයන් අවදිකලත් සිරා .....
    සිරාා උඹ සිරාාා පොරක්
    අගයමි රැදෙමි ඔබ හා ම නිබඳවම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මිත්‍රයා....කාමරයට සාදරයෙන් පිළිගන්නවා. සිරා කොලුවා ඉතින් කවදත් හඩක් නැති අසරණයන් වෙනුවෙන් හඩක් වෙන්න කැමති මිනිහෙක්. මගේ ලිපි එකතුව තුල එවැනි මං සලකුණු ඔබට තැනින් තැන දකින්න ලැබේවි.

      Delete
  26. මේ සමහර තොරතුරු නම් නෙට් එකේ මාත් දැක්කා.. කොහොම වුනත් සාමාන්‍ය ගුවන් අනතුරක් වගේ නෙමෙයි මේක.. ගුවන්යානය වැරදීමකින් හරි වෙනයම් හේතුවකින් හරි නිරපරාදේ අහිංසකයෝ ටිකකට ජීවිතේ නැති වෙලා..

    ReplyDelete
    Replies
    1. කාර්මික දෝෂයකින් වගේ අනතුරක් උනා නම් මේ තරම් කම්පනයක් දැනෙන එකක් නෑ. කිසිම දෝෂයක් නැතුව හිටි ගමන් මිනිසා විසින් හිතා මතා කරපු ක්‍රියාකාරකමකින් මෙපමණ ජීවිත සංඛ්‍යාවක් අහිමි උනා කිව්වම ඒක දැනෙනවා වැඩියි.

      Delete
  27. බල ලොබය කියන්නෙ කවදාවත් නොසංසිදෙන්නක්...
    පාලකයන්නෙ බල ලෝබය හිංද හැමදම අහිංසකයන්ට මයි දුක..
    අනේ මංද...
    මැලේසියන්එයා ලයිංස් ගැන කියල තියෙන අර වාක්කිය නං සහතික ඇතත් වගේ..
    මාර අවාසනාවක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම පුදුමාකාර අපහසුතාවකට තමයි මැලේසියානු ජාතික ගුවන් සේවය දැන් මුහුණ දී සිටින්නේ. තමන්ගෙ රටේ මිනිස්සුත් යන්න අකමැති කල අනෙක් අය ගැන කවර කථාද...

      Delete
  28. සාර්ථක ලිපියක් සිරා.. ඒකට ස්තුතියි..

    මෙවැනි සිද්ධින් ලෝකය පවතින තුරුම නතර නොවේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයා....මේ සිදුවීම ගැන කියවන්න කැමැත්තෙන් හිටි අයට බොහෝ තැන් වල තිබුන කරුණු එක තැනකට ගොනු කලා.

      Delete
  29. හැමදාම වගේ හොඳට ලියල තියෙනවා. මේ විදියේ මිස්ටේක් වෙන්න තරම් නුපුහුණු සෙබළුද ඔය යුක්රේනය, රුසියාව වගේ අවි ආයුධ, ගුවන් යානා නිපදවන,යුදකාමී රටවල ඉන්නේ.. සමහර විට අත්වැරදිමකට වඩා ගිය දේවල් තියෙන්න පුළුවන්. කොහොම වුනත් අසරණ මිනිස්සු නිරපරාදේ මැරෙනවා..

    ReplyDelete
    Replies
    1. අඩි 30000 ක් උඩට මිසයිලය යවන්න පුලුවන් නම් මේ නිවැරදි ගුවන් යානයද නැද්ද කියලා දැනගන්න තාක්ෂණයක් නැතිද කියලත් වෙලාවකට හිතෙනවා. කාටවත් වරදක් නොකල අහිංසකයින් ටිකකට මේ වගේ අපරාධයක් කරපු එක ගැන නම් කියන්න වචන නෑ.

      Delete
  30. මම ඉස්සල්ලාම හිතුවෙ පාලක මද්‍ය්ස්තානය සමග කතා කරද්දි ඇතිවූ බාසා ප්‍රශ්නයක් කියල. මම තාමත් හිතන්නෙ බාසාව අවුලක් වෙලා ඇති කොතන හරි. තුන්වන පාර්ශවයක් ප්ලේන් එක සමග කතාකරන ඒව අහගෙන ඉදල වැරදියට තේරුම් අරන් මිසයිලෙ ගහන්න ඇති.

    ReplyDelete
    Replies
    1. සමහර විට එහෙම වෙන්නත් පුලුවන්. Yahoo Malaysia අඩවියේ පැහැදිලිව දක්වා තියෙනවා, ගුවන් ගමන් පාලකයො කෙලින්ම පියාසර කරන්න කියලා යානාවේ නියමුවන්ට උපදෙස් දුන්න බව. අද වන විටත් මේ ප්‍රදේශයට පිවිසෙන්න කැරලි කාර හමුදාව බාහිර පාර්ශව සම්පූර්ණ අවසරය දීලා නෑ. ඔවුන් මළසිරුරු සියල්ල එකතුකර ශීතකරණ සහිත දුම්රියකට පටවා තිබෙනවා. යානයේ කළු පෙට්ටිය හමුවුනේ නෑ කියලා ඒ අය කිව්වත්, එය සටන් කාමීන් අතට පත් වෙන්න ඇති කියලයි ජාත්‍යන්තර මාධ්‍ය කියන්නෙ.

      Delete
  31. ගොඞක් විස්තර දැන ගත්තේ මෙි ලිපියෙන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩිස් අයියා.

      Delete
  32. කිසිම පින්තුරයක් බලන්නේ නැතුව ස්ක්‍රෝල් කරපු හින්ද සමහර ලියපු කෑලි මගෑරුනා. කමක් නැහැ. මට ඔය වගේ සිද්ධි දරාගන්න බැහැ. කම්පනය එතරම් වැඩියි.

    කියන්න දන්නේ නැහැ ඇයි මිනිස්සු තමන්ගේ බලය වෙනුවෙන් ඕනෙම ජිවිත සංඛ්‍යාවක් උනත් කිසිම ගානක් නැතුව නැතිකරන්නේ කියල. එදත් අදත් එහෙමයි... දැන් ඕක බේස් කරගෙන බලය පතුරවන්න හදනවා මිසක් කවදාවත් ඇත්ත එළිවෙන්නේ නැහැ...

    සිද්ධිය, රට මොකක් උනත් බලය ගැන ලෝකයේ කොතනත් තියෙන්නේ මේ තිරිසන් හැසිරීම...

    ලිපිය ගොඩක් හොඳයි. කවදාවත් මෙහෙම දෙයක් ආයෙත් ලියන්න ලැබෙන්න එපා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම මේ ලිපිය ලියලා නැවතීමේ තිත තබන වෙලාවෙත් මම කල්පනා කලේ මෙවැනි ලිපියක් ලියන්න මට යලිත් අවස්ථාවක් ලැබෙන්න එපා කියලා. මොකද මේ දෙවැනි ලිපිය. මගීන් 537 දෙනෙකුගේ ජීවිත විනාශ වූ සිදුවීම් දෙකක් ගැන ලියන්න සිරා අවාසනාවන්ත උනා.

      Delete
  33. හොඳ ලිපියක් සිරා(සිද්ධිය නරක උනත්).
    මම නං කැමතියි මේක අත්වැරදීමක් නං. අඩු ගානෙ එ්කෙන් ම්ලේච්ඡත්වය ටිකක් අඩුවෙනව කියල හිත හදාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අත්වැරදීමක් කියලා තමයි මමත් හිතාගෙන ඉන්නෙ. ඒ උනාට අද තියෙන දියුණු තාක්ෂණයත් එක්ක....එපමණ උසකට මිසයිලයක් යවන අය ලග ගුවන් යානයේ විස්තර, අඩුම තරමේ එය හොදින් නිරීක්ෂණය කල හැකි දුරදක්නයක් හෝ නොතිබෙන්න විදියක් නෑ.

      Delete
  34. ගොඩක් දේවල් අහන්න ඕනේ වුනත් ඒවා බොහොමයක් සිරාගෙන් අහල වැඩක් නැති නිසා මම අහන්න යන්නේ නෑ. ඔබ කලේ වාර්තාකළ එක විතරක් නේ. ඒ කටයුත්ත නං ඉතාම හොඳින් වෙලා තියනවා, සෑහෙන පාර්ශව ගැන මෙතන සටහන් වෙනවා. ස්තුතියි සිරා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම....මේ සිදුවීම ගැන සිංහලෙන් පලවූ වෙනත් ලිපි වලට මගහැරුනු කරුණුත් එකතු කරලා වාර්තාමය ස්වරූපයෙන් ලිපියක් ලියන්න තමයි සිරා කොලුවාට අවශ්‍ය උනේ.

      Delete
  35. ලිපියට ස්තූතියි!! වෙන ලියන්න දෙයක් නැහැ සිරා මහා කලකිරීමක් තියෙන්නේ.

    ReplyDelete
  36. මලයාසියා අහසේ
    ඉකි වලාකුළු හැපි හැපී
    මහ ක‍ඳුළු වැහි වහී
    බිම් ලකුණු
    ඉම් සොයන
    ලෝකයක යන බෙදී
    නිදහසේ ඉගිළෙන්න
    සියොතුන්ටවත් බැරී

    වෙඩි තබා බිම දැමූ
    දරැවන්ට පණ නොදී
    නිදිගත්ත හැටියෙන්ම
    හිඳිනු කිම මව් මහී...

    ReplyDelete
  37. හරිම කනගා‍ටුදායකයි.. කොහොම වුනත් හුඟක් ස්තූතියි මේ තොරතුරු අපිටත් කිව්වට ...

    ReplyDelete
  38. ඉතාම කනගාටු දායකයි..අර බෝනික්කොත් එක්ක මොහොතකට කලින් උන්න බෝනික්කො ටික..?තමන්ම දිනන්න ඕනෙ කියල හිතන අනිත් උන්ගේ ජිවිත තුට්ටුවකටවත් මායිම් නොකරන ජඩයින්ගේ වැඩක් මිසක් හිතක් පපුවක් තියෙන මිනිස්සු කරන වැඩක් නෙමෙයි මේව.මිය ගිය හැමෝටම නිවන් සුව පතමි.ගොඩක් ස්තුතියි මල්ලි මෙච්චර විස්තර බෙදා හදා ගත්තට.

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...