Friday, February 20, 2015

113 මම තවමත් එයාට ආදරෙයි

සිරාගේ කාමරයට......

ඉතින් සිරා...මමත් හිතුව මගේ දුක් බර කථාවත් සිරාගෙ කාමරයට ලියන්න..ඒක ලියන්න කලින් මම මගේ ගැන කෙටියෙන් කියන්නම්. මම ගාල්ලේ. මීට අවුරුදු තුනකට කලින් තමයි මම ඇමරිකාවට ආවේ. සේවය කරන්නෙ ඉදිකිරිම් ආයතනයක සැලසුම්කරුවෙක් විදියට. මගේ ආදර කථාව මෙන්න මෙහෙමයි.

මම ඉතින් ඔහොම වැඩ කරගෙන හිටියා.  ඒක පුදුම ඒකාකාරි ජීවිතයක්. උදේට වැඩට යනවා. හවසට එනවා. කාමරේ බිත්ති හතරට කොටු වෙලා ඔහේ ඉන්නවා. ඉතින් ඔහොම ඉන්න කොට මගේ කම්පැනි එකේ තව ඕපනින් එකක් ආවා එස්ටිමේටර් කෙනෙක්ට.  ඉතින් එතනට ආවා කෙල්ලෙක්... ඒ කෙල්ලත් ලංකාවෙ. ඒක පුදුම හමු වීමක්. ඉතින් අපි ඔහොම ටික දවසක් වැඩ කරගෙන හිටියා. පස්සෙ අපි කතා කලා. ගොඩක් දේවල්, අපි කතා කලා. අපි ගැන. අපි ඔහොම යාළුවො වගේ ටික දවසක් හිටියා. පස්සෙ ඒක නිකන්ම ආදරයක් උනා. අපිට අපි නැතුව ඉන්න බැරි උනා.  ඉතින් අපි වැඩ ඉවර වෙන කම් බලාගෙන ඉන්නවා. වැඩ ඉවර වෙලා අපි ගොඩක් වෙලා කතා කරනවා. අපි අනාගතයෙදි කරන දේවල් , අපි ගෙවල් හදලා, ළමයි හදලා, ඒ ළමයින්ට හොඳට උගන්නලා ලොකු තැන් වලට ගේන හැටි. අපි ඒ ඔක්කොම කතා කලා.

මට බලාපොරොත්තු අහස උසට තිබුනා. මගේ හිත පිරිලා තිබුනා. මම හිතුවෙ මගේ ජීවිතේ සම්පුර්ණ උනා කියලා. මම එයාට ගොඩක් ආදරේ කලා. ඇත්තටම මම මටත් වඩා එයාට ආදරේ කලා. අපි සෙනසුරාදා නිවාඩු දවසට හම්බු වෙනවා, ඊට පස්සෙ අපි කොහේ හරි යනවා.  පුදුම සුන්දර මතකයක්. මට අද වගේ මතකයි අපි ආව ගියපු තැන්. හැමදාම රෑ වෙනකං කතා කරනවා. ස්කයිප්, වයිබර්, ෆේස් බුක්......ඔය ඔක්කොම අපි පාවිච්චි කලා. මම බලන් හිටියේ කවදද අපි අපේ වෙන්නේ කියලා. මට එක මොහොතක් වත් එයාව නොදැක ඉන්න බැරි උනා. මට උවමනා උනා එයාව හැම මොහොතකම සතුටින් තියන්න. එයාගෙ ලඟින් ඉන්න. ඉතින් අපේ මේ ආදර කථාව ඔය විදියට ගලා ගෙන ගියා. අපි හුඟක් ලං උනා. ඒක මට හිතා ගන්න බැරි පුදුමාකාර බැඳීමක්.
                                                                                                            
ඉතින් ඔහොම කාලය ගෙවිලා ගියා. එක පාරටම එයා කිව්වා එයාට රස්සාවෙන් අස් වෙන්න ඕනෙ කියලා. එයාට වෙන එකකට යන්න ඕන ඒක නිසා අස් වෙන්න ඕනෙ කියලයි කිව්වෙ. මම ඉතිං කැමැත්ත දුන්නා. එයා අස් උනා. ඒත් අපි පුරුදු විදියට ආශ්‍රය කලා. හැබැයි වැඩට යනකොට මට දැනුනේ පුදුම පාලුවක්. මොකද දැන් මම තනියම තමයි යන්නෙ එන්නෙ. මට පේනවා එයාගෙ මේසය, පුටුව එයාගෙ කාමරේ... ඒත් මම පුරුදු විදියටම වැඩ කරගෙන හිටියා. අපි වෙනදා වගේම ආදරෙන් හිටියා අපි අතරේ කිසිම ප්‍රශ්නයක් තිබුනේ නෑ. තවත් ටික දවසක් ඔහොම ගෙවිලා ගියා. ටිකෙන් ටික කාලය ගෙවිලා යනකොට මට තේරුනා එයා පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනවා කියලා. මොකද එයා පොඩ්ඩක් හරි වෙනස් වෙන කොට ඒක මට හොඳට දැනුනා.

මම ඉතින් ඉවසගෙන හිටියා. මම ඇහුවා ඇයි එහෙම වෙන්නෙ කියලා. එයා හේතුව විදියට කිව්වෙ ගෙදර ප්‍රශ්න කියලා, තවම එයාට රැකියාවක් ලැබුනෙ නෑ කියලා. මේ විදියට තවත් කල් ගෙවුනා. මට දැන් හොඳට වැටහෙනවා මෙයාගෙ වෙනස් වීම. මට ඕන උනේ කොහොම හරි එයාව මගේ කර ගන්න. මට විරහව කියන වචනයේ තේරුම ගැන දැනෙන්න ගත්තා ටිකෙන් ටික. මම වැඩ ඉවර වෙලා එන්නෙ එයත් එක්ක කතා කරන්න බලාගෙන. ඒත් එයා ගෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ. මම දන්නවා දැන් මොකද වෙන්න යන්නෙ කියලා. ඒත් මට කරන්න කිසි දෙයක් නෑ. ඔහොම මාස කීපයක් යනකොට එයා රස්සාවක් හොයා ගත්තා ලොකු කම්පැනියක. ඒ වෙද්දි දුරකථන අංකය පවා මාරු කරලා. මට කථා කරන්න විදියක් තිබුනෙම නෑ.

ඉතින් මම මැරි මැරි ඉපදුනා. මම ඉන්නේ කොහේද මොනවද කරන්නෙ කියන එක මට අමතක උනා. මම දන්නවා තනි අතින් අත්පුඩි ගහන්න බෑ කියලා. එත් මගේ හිත පරාජය බාර ගන්න ඉඩ දුන්නෙ නෑ. මට මේ කතාව කියන්න කෙනෙක් හිටියෙත් නෑ.  තනියම විඳවනවා ඇරෙන්න වෙන කරන්න කිසි දෙයක් ඉතුරු උනේ නෑ. ජීවිතේ තනිකම කියන්නෙ මොකක්ද කියල මට හොඳට තේරුනා. මම හිතුවා මම ජීවිතෙන් පරාජය වෙලා නේද කියලා. මට මා ගැනම  පුදුම කලකිරීමක් ඇති උනේ. වෙන රටක කාමරයක් ඇතුලේ තනි වෙලා මේ ගැන හිතන කොට හිතට ඇති වෙන හැඟීම වචන වලින් කියන්න මට තේරුමක් නෑ. සිය දහස් වාරයක් හිතුනා ජීවිතෙන් සමු ගන්න.

ඒ වෙනකොට මම හිටියේ පිස්සෙක් වෙලා. මට වැඩට යන්න හිතෙන්නෙම නෑ, වැඩට ගියත් එයාව මට මැවි මැවි පේනවා. එයා වැඩ කරපු හැටි මට මැවිලා පේනවා.  මගේ වාහනයට නැග්ගත් එයාව මැවිලා පේනව. එයා මා එක්ක ගියපු හැටි. මා දිහා බලාගෙන හිටපු හැටි.

ආදරය කරපු එක ජීවිතයේ කල  ලොකු වැරැද්දක්ද කියලත් වෙලාවකට මට හිතුනා. මම දැනගෙන හිටියෙ නෑ ඊලඟට මම මොකක්ද කරන්න ඕන කියල.  මට ඕන උනේ එයාව විතරයි. වෙන කිසිදෙයක් ඕන උනේ නෑ. මම දැනගෙන හිටියේ නෑ මට මේ විදියට කලේ ඇයි කියලා. අන්තිමට මම තීරණයක් ගත්තා. මම තීරණය කලා එයාව වැඩ කරන තැනට ගිහින් මුණ ගැහිලා කථා කරන්න.

ඉතින් එදා සිකුරාද දවසක්. මම වේලාසනින් වැඩ නිම කරලා එයා වැඩ කරන තැනට ගියා. මට වේලාසන දවසක එයා කියලා තිබුනා එයා සේවය කරන අලුත් සමාගමේ නම. මම ඒක ගුගල් කරලා හොයාගෙන ගියා එතනට. එත් මම ගිහින් බැලුවා ඒ ගොඩනැගිල්ලට ඇතුල්වෙන්නෙ කොතැනින්ද කියලා...දොරටු කීපයක් තිබුනා ඇතුලුවෙන්න. ඒ හින්දා මම හිතුව මට මෙයාව හොයා ගන්න බැරි වේවි කියලා. පස්සෙ මම ඒ සමාගමේ දුරකථන අංකය හොයාගෙන එතනට කතා කලා. මම කිව්වා මට මේ කෙනාට කතා කරන්න ඕන කියලා. විනාඩි ගනනකට පස්සෙ දුරකථනයෙන් ඒ පුරුදු කට හඬ ඇහුනා. සෑහෙන දවසකට පස්සෙ.

මම කිව්වා මට ඔයාට කතා කරන්න ඕන කියලා.  එයා කිව්වා මම වැඩ ඉවර කරලා එන්නම් කියලා. ඉතින් මම බලාගෙන හිටියා. එයා සේවය අවසන් කරලා මගේ ලගට ආවා. කිසිම අනුකම්පාවක් නැතුව මගෙන් ඇහුවෙ මොනවද කථා කරන්න තියෙන්නෙ කියලා. ඒ වචන වල තිබුන සැර ගතියට මට එකපාරටම කතා කර ගන්න බැරි උනා. මම ඇහුවා ඇයි මට මෙහෙම කරන්නෙ, මම කරපු වැරැද්ද මොකක්ද කියලා.  මේක කවදාවත් වෙන්නෙ නෑ. එච්චරයි එයා කිව්වෙ. මම ඇහුවා මොකක්ද හේතුව කියලා.

ගෙදර ප්‍රශ්න වගයක් තියෙනවා එයා එහෙම කිව්වා. ඉතින් ඒවා විසඳගමු මම එහෙමයි කිව්වෙ. කොහොම උනත් එදා මට හම්බු උනේ මම ඉස්සර දවසක ආදරේ කරපු කෙල්ල නම් නෙමෙයි. එයා ගොඩාක් වෙනස් වෙලා. මටම පුදුමයි මේ අලුත් වෙනස ගැන. මට කතා කරපු විදියෙන් මට ඒ බව හොඳටම දැනුනා. වචන පිහි පාරවල් වගේ. මගේ හිතේ තාම දෝංකාර දෙනවා.  මගේ ජීවිතේ මෙතෙක් ලබපු කටුකතම අත්දැකීම තමයි ඒ හැන්දෑවෙ මම ලැබුවෙ.

දිගින් දිගටම මම ඇහුවෙ ඇයි මට මෙහෙම කරන්නෙ කියලා විතරයි  

ඔයා ගාල්ලෙ...ගෙදරින් කැමති නුවර කෙනෙක්ට අනික ගෙදරින් සොයන්නෙ හොඳ උගත් කෙනෙක්, ඔයා ගොඩාක් දුරට ඉගෙනගෙන නෑ. මේ කථා ඇහුවට පස්සෙ මගේ මුලු ජීවිතේම කඩා වැටුනා වගේ දැනුනා. මම මෙච්චර කල් ආදරේ කලේ මේ වගේ කෙනෙක්ටද කියලා හිතුනා. එයාට අවශ්‍ය මගෙන් ඈත් වෙන්න. මම එයාගෙ අලුත් වාහනේ දකියි කියලා පවා ඇය බය උනා. එදා මට මේ දේවල් හොඳට දැනුනා. මම පිස්සෙක් වෙලා ඉවරයි. ඇයට සමුදීලා මම කාමරේට ආවෙ කොහොමද කියලා මටම නිනව්වක් තිබුනෙ නෑ.

මගේ ජීවිතේ මගේ අම්මා තාත්තා පවා මට ඒ තරම් සැරෙන් කථා කරලා නෑ.  පුදුම කලකිරීමක්, දුකක්, තනිකමක් මට එදා දැනුනෙ.  මට මාවම එපා උනා. ඉස්සර දවසක එයා බොහොම ආදරයෙන් ලං වෙලා කියපු සමහර දේවල් තවමත් මගෙ හිතේ දෝංකාර දෙනවා.  මේ මොන දේ උනත් මම කැමති උනේ නෑ එයාව නැති කර ගන්න. මට ඕන උනේ එයාව මගේම කර ගන්න. මම ගෙදර ඇවිත් මූණු පොතෙන් තව දුරටත්  පණිවිඩ යැව්වා. මම කිව්වා මම කොහොම හරි ඔයාව මගේ කර ගන්නවා කියලා. ඔයාව අයිති මට කියලා. ඔයාව වෙන කාටවත් අයිති වෙන්න මම ඉඩ දෙන්නෙ නෑ කියලා. ඒක් එයා ඒ කිසි දෙයක් ගනන් ගත්තෙ නෑ.. පුදුම ගල් හිතක්. මම කවදාවත් හිතුවෙ නෑ එයා ඒ වගේ කෙනෙක් කියලා. ඇත්තමයි මට පුදුමයි. මම දැන ගත්තා මේ ලොකේ මිනිස්සු වෙනස් වෙන්නෙ කොහොමද කියලා. මගේ කරදරෙන් බේරෙන්න බැරි හින්දද කොහෙද තවත් දවසක හමුවෙලා කථා කරමු කියලා එයා කිව්වා.මම ආයෙත් බලාපොරොත්තු පොඳි බැන්දා.

මම හිතුවා එදාට එයා මේ ඔක්කොම දේවල් අමතක කරලා දාලා ආයෙත් ඉස්සර වගේ ඉඳීවි කියලා. මම දහසක් හීන දැක දැක ඒ දවස උදාවෙනකං ඇඟිලි ගැන්නා. ඒ දවස උදා උනා...අපි ඉස්සර දවසක හැමදාම කථා බහ කරන්න ආගිය ලස්සන කඳු ගැටය මුදුනෙ අපි තවත් හැන්දෑවක තනිඋනා. මගේ හිතේ තියෙන ආදරය...මම කොච්චර ආදරයෙන් ඔයාව බලාගන්න හිතාගෙන ඉන්නවද, මේ හැමදෙයක්ම මම අකුරක් නෑර ඇයට කිව්වා. ඇය නිහඬයි. කිසිම කථා බහක් නෑ. මගේ හැමදේම අහගෙන ඉඳලා ඇය කිව්වෙ එකම කථාවයි. මම ඔයාට කැමති නෑ. එයා කියන විදියට මම හිතන්නෙ පටු විදියටලු. මට තියෙන්න සරල ජීවිතයක් ලු. මම ජීවිතේ අවදානමක් ගන්න බයයි ලු.  එයාට ඔන සල්ලි හම්බු කරන්නලු....තවත් දහසක් දේවල්... එයා කියනව මට ඕන පවුලක් වෙලා ළමයි හදලා සරළ ජීවිතයක් ගෙනියන්නලු. එයාගේ ජීවිතේ ඊට වඩා ගොඩක් වෙනස් ලු.. 

ඔයා ගොඩාක් වෙනස් වෙලා. මම එහෙම කිව්වා. ඔව් මම වෙනස් උනා...ඇය උත්තර දුන්නා. මට තවම මැවිලා පේනවා ඒ මූසල හැන්ඳෑව. එදා මම එයාගෙ ඔලුවට අත් දෙක තියලා කිව්වා මම ඔයාට ගොඩාක් ආදරෙයි කියලා. නමුත් ඒ ගල් හිතට ඒ  කිසි දෙයක් දැනුනෙ නෑ. එයා දිගින් දිගටම කිව්වෙ මගෙන් එයාට කරදරයි කියල, මම මෙච්චර ආදරේ කරපු කෙල්ලද මේ කතා කරන්නෙ කියලා මම පුදුම උනා. තවත් ගොඩාක් දේ කිව්වා. මගේ ඇස් වල ලොකු කදුළු කැට බිමට වැටෙන්න පොර කෑවා. ඒ කිසිවක් එයාට වැඩක් නෑ. ඒ හිතට ඕනෙ උනේ මගෙන් ගැලවිලා ඈතට යන්න. ඒත් මම හිතන්නෙ නෑ එයාට එයාගේ හෘද සාක්ෂියෙන් දවසක ගැලවෙන්න පුලුවන් කියලා. 

එයාට දැන් හොඳ රස්සාවක් තියෙන නිසාලු මම මෙහෙම පස්සෙන් එන්නෙ. මගේ තුන් හිතකවත් එහෙම දෙයක් තිබුනෙ නෑ. එත් එයා ඉන්න තත්වෙන් ඒවා පැහැදිලි කරලා තේරුමක් නෑ. මම එයාගෙන් සමුඅරගෙන මගේ ගාව තිබුන එයාගෙ රාමු කරපු පින්තුරෙයි, මග් එකයි ආපහු බාර දීලා, වාහනේට නැගලා හරවනකොට කන්නාඩියෙන් දැක්කා එයා ඒවා කඩලා කුණු බක්කියකට දානවා. ඉතින් මම කාමරේට ආවා. මගේ හිතෙ තියන දුක කාට කියලා කියන්නද ? මට මේ මුලු ලෝකෙම එපා උනා. මම කල්පනා කලා මමත් නුවර ඉපදිලා ලොකු පී එච් ඩී එකක් තිබුනා නම් හරි කියලා. මට කරන්න කිසි දෙයක් නෑ. ඒත් මගේ හිත එයාව අමතක කරන්න සූදානම් නෑ.

හිතේ තියෙන දුක අඩුවෙන්නත් එක්ක මම දිගටම එයාට ඊමේල් පණිවිඩ යැව්වා. එකකට වත් ප්‍රතිචාර නෑ. අපි කථා බහ කරපු හැම තැනකින්ම මාව ඒ වෙද්දිත් ඉවත් කරලා අවසන්. දවස් දෙක තුනකට පස්සෙ හදිසියේම මට දුරකථනයෙන් කථා කරලා හමුවෙන්න අවශ්‍ය බව කිව්වා. එයා තනියම එන බවක් කිව්වෙ. නමුත් මට හිතුනා තනියම එන එකක් නෑ කියලා. මම හිතුවා හරි. එයාගෙ යාලුවෙක් එක්ක එයා ආවෙ. මීට පස්සෙ මට ඊ මේල් එව්වොත් මම පොලිසියට කියනවා. එයා මට දඹර ඇඟිල්ල දික් කරලා තර්ජනය කලා. ඉස්සර දවසක ආදරයෙන් ලං කරගෙන මේ ඇඟිලි මම අල්ලගෙන උන්නා නේද....මට එහෙම හිතුනා. මගේ යාලුවගෙ පවුලෙ අයට ඕනෙ දෙයක් කරන්න පුලුවන්. ඒ නිසා එයාට ආයෙත් කරදර කරන්න එපා. කෙල්ලගෙ තනියට ආව අනිත් කෙල්ලත් මට සද්දෙ දැම්මා.

මගේ ජීවිතේට හදිසියේ ඇවිත්, බලාපොරොත්තු කන්දරාවක් දීලා මගේ මුලු ජීවිතෙම අවුල් ජාලයක් කරලා එයා යන්න ගියා. මම කියන්නෙ නෑ මම සීයට සීයක් හරි කියලා. ඒත් තමන්ට ආදරේ කරපු කෙනෙක්ට කොහොමද කෙනෙක් එහෙම පිහියෙන් ඇන්නා වගේ කතා කරන්නෙ. මොකක්ද මම ඒ තරමටම කරපු වැරැද්ද. පොලීසියට කියනවා කියන්න තරම්. සිරා උඹ දන්නවනෙ මට වඩා හොඳට වෙන රටවල් වල නීතිය. ඉතින් මට නොලැබෙන දෙයක් වෙනුවෙන් බලු කුඩුවකත් ලගින්න උනොත්... මම බය උනා. මොකද මම ඉන්නෙ ලංකාවෙන් පිට, මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු දැන් නෑ.

මට මේ දැන් උනත් හිතා ගන්න බෑ මට මොකද උනේ කියලා. අදටත් මම උදේට නැගිටලා රෑට නිදාගන්න අවස්ථාව එළඹෙන තුරු  සියදහස් වතාවක් මැරි මැරී උපදිනවා. මගේ ජීවිතේ මට උන ඒ දේ කවදාවත් හදන්න බෑ.. ඒ තුවාල කැලැල් කවදාවත් මැකෙන්නෙ නෑ. සිරා මම ආසයි උඹ මේ ලියුම අඩුපාඩු හදලා උඹේ බ්ලොග් එකේ දානව බලන්න. තව දෙයක් කියන්න ඕන. සිරා මම දන්නව උඹත් මම වගේම එකෙක් කියලා. අද උඹ යම් කිසි තැනක ඉන්නව නම් ඒක උඹ උත්සාහ කරලා ලබාගත්ත දෙයක්  කියලා. මම දන්නව උඹ ලංකාවෙ මගේ පන්තියෙම එකෙක් කියලා.ඒත් මම ආදරේ කලේ මගෙ පන්තියෙ කෙල්ලෙක් ට නෙමෙයි. මම හිතන්නෙ එතන තමයි මට වැරදුනේ.

මම දන්නවා උඹලා අපි හමු වෙලා නැති උනත් අපේ ජීවිත කොහොමද කියලා. මමත් උඹ වගේම ගමේ ඉපදිලා ගමේ ඉස්කොලෙට ගිහින් පස්සෙ සීසන් ටිකට් එක අරගෙන සී.ටී.බී බස් එකේ ෆුට් බෝඩ් එකේ ඉස්කෝලෙ ගියපු එකෙක්. තව උදාහරණ ඕන නෑ නේද. හිතා ගන්න පුලුවන් නේද මා ගැන.හැබැයි මම ආදරේ කරපු කෙල්ල එහෙම කෙල්ලෙක් නෙමෙයි. ඒකි වාහනෙන් පොලිස් ගාඩ් එකකුත් එක්ක ඉස්කොලේ ගියපු කෙල්ලෙක්.. අන්න එතන තමයි මට වැරදුනේ. මොනව උනත් මට වැරදිලා ඉවරයි. සිරා මම හිතනව මේ ඇති කියලා.. මම උඹට බල කරන්නෙ  නෑ.. මම ඉල්ලීමක් කරනව මේක දාපන් කියලා. ආ තව දෙයක් කියන්න ඕන මේ ආදර කථාවත්  උඹේ එක වගේම තමයි.. වැඩි කාලයක් නෑ... මොන දේ උනත් මම තාම එකිට ගොඩක් ආදරෙයි. ආදරයක් හිතින් මරා දාන්න ගොඩාක් පහසුවෙන් එයාට  පුලුවන් උනාට...මට නම් බෑ. 

මම මේ කථාවෙ නොකියපු තව එක දෙයක් තියනවා... මොකක්ද දන්නවද... ඉස්සර මම හැමදාම එයාව වැඩ ඉවර වෙලා ගෙදර ගිහින් බස්සනවා. මොකද එයාට වාහනයක් තිබුනෙ නෑ ඒ කාලෙ..ඒත් දැන් එයා ලොකු රස්සාවක් කරල ලොකු වාහනයක් අරගෙන... ඉතින් මට ඒක පෙනේවි කියල වාහනේ පේන්නෙ නැති විදියට පාක් කරලා තමයි අන්තිම දවස් දෙකේදි මාව මුණ ගැහෙන්න ආවෙ... සිරා උඹට කියන්න එයාව හම්බු වෙන්න මම එක දවසක් ගියේ බස් එකේ.. මොකද මට සිහි කල්පනාවෙන් වාහනයක් එලවන්න තරම් මානසිකත්වයක් නැති නිසා.. එයා ඇහුවා කොහොමද ආවෙ කියලා, මම ආ විදිය අහලා නිශ්ශබ්ද උනා. වාහනෙන් ගිහින් දාන්නද කියලවත් ඇහුවෙ නෑ.

මම දන්නව සිරා උඹටත් වරදින්නෙ නෑ කියලා...ජීවිතේ අනිත් මිනිස්සුන්ට  සල්ලි ලොකු උනාට...උඹලා අපි වගේ උන්ට ලොකු මනුස්සකම...මට දුක ඒකෙන් අනිත් අය අයුතු ප්‍රයෝජනය ගත්තු එකට.... මමත් හිතාගෙන ඉන්නෙ මැයි වල වගේ ලංකාවට යන්න. අපි අපේ ගමන හෙමින් සැරේ යමු...කලබල වෙන්නේ නැතුව.... මේ ලිපිය කියවන්න එන උඹලා හැමෝටම ජය කියලා මම මගේ දුක්බර හිතත් තුරුළු කරගෙන කාමරේ තනිවෙන්නම්, මේ ලිපිය සිරාගෙ කාමරේ පල උනත් මට ඒක ආයෙම කියවන්න තරම් හයියක් නෑ...

මේ ඡායාරූපය පසුව එකතු කරමි. ‍
සමීර කොලුවා තම වාහනයේ අභිනවයෙන් අලවන ලද ස්ටිකරය.





සිරාගෙ කාමරයේ බූට් මාසය වෙනුවෙන්
ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට ලියා එව්වේ ප්‍රසාද් සමීර.




ප.ලි

අකුරක් අකුරක් පාසා විරහා වේදනාව කැටිවී  ඇති මේ ලියවිල්ලට මම බණ්ඩි පොහොර ගසන්නට ගියේ නැත. සිරා ‍කොලුවා වන මා මේ ලිපිය ලද අයුරින්ම පල කරන ලදී. දයාබර මිත්‍රයා....විරහා වේදනාවෙන් තොර යහපත් හෙටත් ඔබට උදාවේවායි මම හදවතින්ම පතමි.

113 comments:

  1. සල්ලි ගස් වල හැදෙනවානම් කෙල්ලෝ රිලවුන්ටත් ලව් කරයි කියල කතාවක් කවුදෝ මන්ද කියල තිබ්බලු..ඒ කතාව මේ කෙල්ලට ගැලපෙනවා වගේ...නොවටිනා කෙනෙකුට වටිනා කදුළු වියදම් කරන්න එපා මල්ලි..මම නම් ඉගෙන ගත්ත පාඩම ඒකයි...හිත වෙනදේකට යොදවන්න.නොලැබුණු දේවල් ලැබියයුතු දේවල් ලැබේවි.එකට මාර්ගය හදා ගන්න..ජය වේවා..

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවෙ එහෙම තමයි...ජීවිතේ අහපු වටිනව කතාවක් ඔයා කිව්වෙ....හදවතින්ම ස්තුති වෙනව...."නොවටිනා කෙනෙකුට වටිනා කදුළු වියදම් කරන්න එපා මල්ලි."

      Delete
    2. ඔබ මා පෙලූ දා...
      නොදොඩා හැඬූ සිත
      මා හා සිනාසෙනවා......

      මා නෑ කියාලා සඳ ඊයෙ නාව ද
      නෑ නේ සඳේ නෑ නේ...
      මා නෑ කියාලා හිරු ආයෙ නේවි ද
      නෑ නේ ඉරේ නෑ නේ...
      පෙර සේ නොවේ දෝ දිලෙන්නේ......

      මා නෑ කියාලා ඔබ සෝක වූව ද
      නෑ නේ ළඳේ නෑ නේ...
      ඈ නෑ කියාලා මම සෝක වේවි ද
      නෑ නේ ළඳේ නෑ නේ...
      කවුදෝ පරාදේ ලබන්නේ......

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
      ගායනය : මිල්ටන් මල්ලවාරච්චි

      Delete
    3. නියම ගීතයක්...පළමු වතාවට අහන්නේ...සින්දු ඈනො නෑත්නම් ඉතින් අපි කොහොමද මේව අහන්නේ....බොහොම ස්තූතියි.......

      Delete
  2. ඕනෙවට වඩා පස්සෙන් යන්න ගියාමත් සමහර කෙල්ලන්ට ඒපා වෙනව... ගොඩක් කොල්ලන්ගෙ තියෙන ප්‍රශ්නයක් තමයි තමන් සරලයි කියන එක කෙල්ලන්ට තේරුම් ගන්න බැරි ඇයි කියන එක... කොල්ලො සරලයි කියල හිතුවට සමහර වෙලාවට ඒකෙන් පේන්නෙ වගකීමක් නැති කම වගේ දෙයක් ... ඒකට හේතුව කෙල්ලො ගොඩක් දුරට හිතන එක... වගකීමක් සහිත කෙල්ලෙක්ට අනාගතය ගැන අදහසක් තියෙනව... ඒකට යන්න බැරි කොල්ලෙක් එක්ක තමන්ගෙ ජීවිතේ නාස්ති කරගන්නවද කියන ප්‍රශ්නෙදි සමහරු හිත ගල් කර ගන්නව... සමහරු එන විදියට මූණ දෙනව කියල හිත හදා ගන්නව...

    කොහොම උනත් බූට් කාපු එවුන්ම තමයි දන්නෙ ඒවයෙ රහ.... හි හි... හැබැයි ඉතිං එක කෙල්ලෙක් කියන්නෙ ජීවිතේම නෙවෙයි... දුක තමයි... ඒත් දුක කියන්නෙත් ජීවිතේ එක දෙයක් විතරයි... කෙල්ලොත් ඒ වගේ... දැං ඔය සම්බන්ධෙට නං ඔහෙම උන එක හොදයි... කසාද බැදල ඔය ටික උනා නං ... ළමයි ඉන්න කාලෙක ඔය ටික උනානං...

    ReplyDelete
    Replies
    1. මම ඔයාගේ අදහසට එකඟ වෙනව....එත්... මට නම් ජීවිතය කියන්නෙ ඉර හඳ අල්ලන එක නෙමයි. පොලවේ පය ගහල ජීවත් වෙන එක...ගොඩක් ස්තුති අදහසට....!!

      Delete
    2. නෙළුම් මලේ.....
      එක පෙත්තද තියෙන්නේ
      තියෙන්නේ...
      ගිළිහෙද්දෙන් එක පෙත්තක් 
      තවත් එහි තිබේ රොත්තක්
      ගිළිහුණු පෙත්තකට මොටද හඬන්නේ
      හඬන්නේ...

      මහ සයුරේ...
      එක රැල්ලද නැඟෙන්නේ
      නැඟෙන්නේ...
      බිඳෙනා විට රැළි හඬ දී
      තව සිය දහසක් උපදී
      නිමවීමක් කිම දෝ සිදු නොවන්නේ
      නොවන්නේ...

      සඳ එළියේ
      එක කුමුද ද පිපෙන්නේ...
      පිපෙන්නෙ
      සැළෙන විටදි එක කැකුළක් 
      පිපෙයි කැකුළු විද සුවඳක්
      ඒ නියදම කිකලක දෝ... 
      බිඳෙන්නේ

      සිත හැම විට 
      එක දෙයම ද සිතන්නේ...
      සිතන්නෙ
      මතුකොට නව කල එළියක් 
      උපදයි සිතුවිළි වලියක්
      කොයි කවුරුද ඒ අරුමේ...
      සිතන්නේ


      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය: වික්ටර් රත්නායක
      ගායනය: රෝහණ වීරසිංහ, වික්‍ටර් රත්නායක ඇතුළු පිරිස

      Delete
    3. ****ඕනෙවට වඩා පස්සෙන් යන්න ගියාමත් සමහර කෙල්ලන්ට ඒපා වෙනව...****
      ඇත්ත... කි*බක් ඉස්සරහා ගෙම්බෙක් වෙන්න යන්න එපා... ආදරේ උනාට එක වක්කඩ කැඩුවා වගේ පෙන්නන්න යන්න එපා...

      Delete
    4. //වගකීමක් සහිත කෙල්ලෙක්ට අනාගතය ගැන අදහසක් තියෙනව...//

      එහෙම හිතලා හොඳ සල්ලි තියෙන එකෙක් බලල උගේ ඇඟේ එල්ලෙනෙනවා...

      Delete
    5. සහතික ඈත්ත කතාවක්....උන් සල්ලි වලට ඈදීල යනව.......

      Delete
  3. මේකට මට කියන්න දෙයක් නෑ බං සමීර පොඩි පොඩි එහෙ මෙහෙ වීම් ටිකක් වුනොත් මේක මගෙ කතාව ම තමා... වෙනස මම තාම ලංකාවෙ ඉන්න එක...
    බොක්කෙන්ම ලව් කරා කියල කෙල්ලන්ට ඒක වැඩක් නෑ කියල මං තේරුං ගත්තෙ ඒ උන්දැ මට සපත්තුව තියල කියන්න ඕන ඕක්කම කතා ටික කියල යන්න ගියාට පස්සෙ...එයාට කියල තියෙනවට වඩා සැර වැඩි කතා ගොඩක් මම අහන්න ඇති කියල මට හිතෙනව...
    ඒත් කතාව නෙවී සැර ඒක අහන් ඉන්න කෙනාට ඒක කොහොම දැනෙනවද කියන එක

    හිත හදාගන්ට බලාපං ගිය සතියෙ ඉන්දික ය ලියල තිබ්බ කතාව මතකද අන්න ඒ වගේ යන්න පුලුවං උපරිම උඩට පලයං ඒක තමා කරන්න තියෙන හොදම දේ...

    ReplyDelete
    Replies
    1. අර මෝදු වෙලා සිනා පුරන
      සඳ මඬලින් අහන්න
      ඇයි දුක් නොවන්නෙ කියා
      හිරු කුමරුන් බැස ගියාම

      අතු අගට වෙලා හිනා පුරන
      මල් යායෙන් අහන්න
      ඇයි දුක් නොවන්නෙ කියා
      පිපි කුසුමන් පර වුණාම

      හඬනවද සඳත් තනියම
      තැවෙනවද මලුත් රහසෙම
      ඔබ දන්නවා ද
      ඇයි මට විතරක් මේ..
      ඔබ හැරගියාම

      සිහිනයක පිපී සුන්දර
      රැදේවි ද සොඳුරු යාමෙක
      මගෙ හද යහනත...
      ඇයි මට විතරක් මේ..
      ඔබ හැරගියාම...

      ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
      පද - යසනාත් ධම්මික බණ්ඩාර
      තනු - නවරත්න ගමගේ

      Delete
    2. සිංදු , මචෝ මේක අහන්න ලින්ක් එකක් දාපන් .....

      Delete
    3. උඹ නම් දෙයියෙක් බං.

      Delete
    4. ඔව් මහෙෂ්....අපි හෑමෝටම වගේ එහෙම කතාවක් තියනව...සමහර විට එහෙම වෙන්නෙ ජීවිතේ ඒ අත්දෑකීම ලබන්න ඕන නිසා වෙන්න ඈති...බොහොම ස්තූතී ඔබට....

      Delete
    5. මේ භවයෙදි මුලු දිය දායේ
      එකතු නොවෙනු ඇත අප ආයේ
      පවස නිවන දිය පොදක්‌ නොවි ඔබ
      ඇයි මහ සාගරයක්‌ වුයේ...

      ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ
      අවසන් මුලවෙ ලතැවිල්ලේ...
      වෙරලෙහි ගල් පරයක්‌ විය හැකිනම්
      තෙමුනත් ඇත කරදිය රැල්ලේ

      මේ භවයෙදි මුලු දිය දායේ
      එකතු නොවෙනු ඇත අප ආයේ
      පවස නිවන දිය පොදක්‌ නොවි ඔබ
      ඇයි මහ සාගරයක්‌ වුයේ...

      සුදු මුදු වැල්ලෙහි නතර වෙලා
      රල පස රල ලුහු බදිනු බලා...
      සුසුම් වලලු උඩු ගුවනට යවනෙමි
      පැතුම් සදුන් හද ගලෙහි උලා

      මේ භවයෙදි මුලු දිය දායේ
      එකතු නොවෙනු ඇත අප ආයේ
      පවස නිවන දිය පොදක්‌ නොවි ඔබ
      ඇයි මහ සාගරයක්‌ වුයේ ..

      Delete
  4. පසුව කියවන අදහසින් මම පිටව යන්නෙමි සිරා අයියේ

    ReplyDelete
  5. මට විනාඩියක් දියං..මම දුමක් දාලා ඇවිත් ආයමත් කියවලා කමෙන්ටුවක් කොටන්නම්..වැදුනා බොක්කට.

    ReplyDelete
    Replies
    1. මටත් වැදුනා බන් උන්ඩුකපුච්චේටම.... කෙල්ලෝ ගැන මහා තරහක් ඇති වෙන්නේ බන්... ගහන්න ඕනේ ජේම්සන් කොටයක්.... හිටාන් දෙකක් අනාගෙන එන්නම්....

      Delete
  6. ඒක කියවද්දී ඉන්න තැනත් අමතක උනා.. ඔපිස් ඒකෙ අය දැක්කද දන්නෙත් නැ මම ගල් ටික් වෙලා කොම්පිතරේ දිහා බලන් ඉන්නවා. . බොක්කටම වදින කතාවක් ඒක.

    සල්ලි, යාන වාහන ලැබෙනකොට කව්රුත් වෙනස් වෙනවා. මනුස්සකම් අමතක වෙනවා. . සැප විතරක් හොයාගෙන යනවා. දවසක තේරෙයි ජිවිතේ කියන්නේ මිල මුදල් යාන වාහන නෙමේ කියල. . එදාට මචන් උබව මතක් වේවි ඒ කෙල්ලට... උබට වාසනාවන්ත සහකාරියක් ඉක්මනින්ම ලැබේව කියල ප්‍රර්ථනා කොරනවා... තනියම ඉන්නකොට පොඩි දේට උනත් පුදුම දුකක් දැනෙනවා. අත්දැකීමෙන් දන්නවා.. ඉතින් එහෙනම් . ජය වේවා ..

    ReplyDelete
    Replies
    1. මම නම් ඒක හිතන්නෙ ජීවිතේ වෑරදි වෙලාවක වෑරදි තෑනකදි ගනිපු වෑරදි තීරණයක් කියල...කමක් නෑ.....උන දේ උනා.... තනි වෙන කෙනාට තමයි දුක....ස්තුතී ඔබේ අදහසට........

      Delete
  7. නුඹේ නෙත්
    තරු යැයි උවම් කොට
    මා එදා ලියු කවි පදම අද මගෙන් විමසාවී
    දෙනෙත් තරුනම්
    ඇයිද ගිනිගෙන දවන්නෙ....

    නුඹේ වත මලකැයි උවම්කර
    මා එදා ලියු කවි පදම
    අද මගෙන් විමසාවී
    මලක්නම් වත
    ඇයිද කටු ලෙස ඇනෙනනේ..

    නුඹේ සිත මෙලෙකැයි පසක්කොට
    මා එදා ලියු කවි පද ම අද
    මගෙන් විමසාවී
    මෙලෙක්නම් සිත
    ඇයිද හිස වැද රිදෙන්නේ....

    ගී පද - යසනාත් ධම්මික බණ්ඩාර
    ගායනය: ලක්ෂ්මන් විජේසෙකර.
    සංගීතය: රෝහණ වීරසිංහ.

    ReplyDelete
    Replies
    1. සින්දු ටික නම් මරු.... හදවතටම වදින වචන ටිකක්.... මම නම් හිතන්නෙ මේ සින්දු ලියන්න ඈත්තෙ අත්දෑකීමේන්ම කියල...නෑත්නම් කොහොමෙයි මේව හිතට එන්නේ.....සින්දු ඈනෝට හද පිරි ස්තූතිය පිරිනමමි......

      Delete
  8. ඕනෑම දෙයක් ගැන ඕනෑවට වඩා ආදරය කරන්න එපා ළමයිනේ.

    ReplyDelete
    Replies
    1. සිනාසෙන අපිමයි හඬන්නේ 
      බොළඳ කිරි දරුවන් ලෙසින් 
      කලල් මැඬ අපිමයි පිපෙන්නේ 
      සුවඳ සුදු සියපත් වෙසින් 

      නියඟ ඇවිලෙන අහස නොදනී 
      දිනෙක මහ වැසි වැටෙනවා 
      වැටෙන මහ වරුසාව නොදනී .....
      දිනෙක යළි හිරු නැගෙනවා 

      පිපෙන මල් පරවෙලා ගිළිහෙයි 
      පලබරින් අතු ඉති නවා 
      අමාවක ඝන අඳුර පැනයයි......
      වඩින පුරපස සඳ බලා 

      ගී පද - කේ. එම්. අයි. ස්වර්ණසිංහ 
      තනුව -රෝහණ වීරසිංහ 
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
    2. ඒකනේ කියල තියෙන්නෙ "ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියල" නෙද...අපි ඉතින් ඕව තේරුම් ගන්න කොට පෙරහෑර ගිහින් ඉවරයි...දෑන් ඉතින් මක්කයි කියල කරන්නෙයි......

      Delete
  9. aththatama hugak duka hithena kathawak. ath PRASAD malli as dekata kadulu unanne na. mokada me wenuwen a dawaswala me as deken sagarayakata kadulu galuwa. ath dan hidila gihilla. oya kathawa ayithi wenne ape jeewithawala palamu karthuwata witharai Prasad. ithin thawa karthu 3 kma thama oyage athe. jeewithe hamadama waradinna. kawadaka hari hariyanawa. a dawasa anathuru dahiriyen wada kaloth thama hoda. samahara wita kawadaka hari me widiyatama ubath mata kiyaawi aka thamai me jeewithe hati malliya. api an ayagen upades wagema hoda dewal ganna one. ithin menna me kathawa oyata saha api siyaluma denegema jeewitha walata ithamathma hodai kiya hithenawa " බට්ටි නගාට පෙම් කළෙමි." diriya sampanna minihekuge nihathamani kathawak kiyalai mata hithenne

    ReplyDelete
    Replies
    1. ඔබගේ වටිනා කාලය වෑය කර මා හට ලබා දුන් උපදෙස් තරයේ සිතට ගනිමි....ඔබට ඉතාමත් ම ස්තූති........

      Delete
    2. ඈය මා ලඟින් වෙලී රෑඳී ...
      ළතෑවුල් මවා ගියා ඈදී...
      ඒ දුක් රෑහෑන් වලින් මිදී..
      අද මම විඩාහරීන්නෙමී.....!!!!

      Delete
  10. සමියා..ඇමරිකාවට නෙමේ මොන තූත්තූකූඩියටත් විරහා වේදනවා එකයි...වරෙන් ලංකාවට ආපු දවසක අපි සෙට් වෙමු...රාංඡගනේ වැව් බැම්මේ බෝතලයක් ගහමු..උඔගේ දුක කියපන් අඩමු කෑගහලා ඒකිට කුනුහරැපෙන් බනිමු..
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. @ මෙන්ඩා සහබ්,

      ෆට්ට ප්ලෑන් හේ..........!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. fatta kiyanne eketh fata fata.....................

      Delete
    3. ඔය දවස එහෙකම් තමයි මමත් ඇඟිලි ගනින්නේ.... ජේම්සන් ගහලා එපා වෙලා...

      Delete
    4. මටත් එහෙමයි....කවදද බොලO හෑට නමය ගහන්නෙ....

      Delete
  11. ඉස්සරවෙලාම උඔ ලංකාවට වරෙන් ගුවන්තොටුපලෙන් බැහැපු ගමන් මට දුරකතන ඇමතුමක් දිපන් මගේ ඔපිස්එක තියෙන්නෙ ඉස්සරහම මම එනවා උඔ බලන්න අපි ගහමු සිගරට් එකක් පහුවෙනිදා හවස වරෙන් අපේ ගෙදර රෑට කැම ටිකක් කලා යන්න එතකොට උඔට දැනෙයි මිට පස්සෙ මෙන්ඩා, සදු, පොඩි මෙන්ඩා උඔත් එක්ක ඉන්නවා කියලා..නිවාඩු දවසක අපේ ගල්බලකාය එකතුකරමු බෝතලයක් ගහමු අඩමු හොටු හුරමු සිංදු කියමු කෑ ගහමු නටමු එතකොට උඔට දැනෙයි උඔ තනිවෙලා නෑ කියලා..
    මගේ පැක්ට්‍රි පාටියකට වරෙන්, බස් එකේ පලයන්, රාංඡගනේ වැවට යන්න වරෙන්, කලාවැවේ හෙලුවෙන් නාන්න යමන්, හවසක සුදු සරමක් ඇදලා මල් වට්ටියක් අරගෙන ඡය ශ්‍රි මහාබෝධියට රැවන්වැලි සෑයට යමන් මලුවේ ඉදගෙන රෑ වෙනකන් සෑය දිහා බලාගෙන ඉමු, හෝර්ටන් තැන්නෙ ගිහින් ෂර්ට් ගලවලා පාර දිගේ දුවමු, කලාඔයේ පුල්ලේයාර් දේවාලේට ගිහින් මුං කිරිබත් උයලා බාර වෙමු, කුඩාගම අහිංකුන්ටක කට්ටිය ඉන්න ගමට ගිහින් එයාලා එක්ක කසිප්පු බොමු, මැදගම ගිහින් පාවට්ට කොලේ ඔතලා ගංඡ ගහමු..
    ඒ වෙනකොට උඔට එහම කෙල්ලෙක් හිටියද කියලා මතක නැතිවෙයි.
    අපි ඔය යන තැනකදි උඔට කෙල්ලෙක් මුන ගැහැයි එතකොට හැබැයි උඔගේ ඔලුවේ ගාමන්ට් කෙල්ලෝ, කුලය, ඡාතිය, ආගම, දුප්පත්, කොටට අදිනවා, කලිසං අදිනවා, හැම කොල්ලා එක්කම හිනාවෙනවා, වගේ අදහස් ඔලුව නැතිවෙන්න ඔනේ.

    මගේ මිතුරැ ගල් බලකා බේබදු යාලුවනේ..
    ඔන්න තව යාලුවෙක් ඉන්නවා අපිට.

    සිරා මචං
    තව මේ වගේ යාලුවෝ ටිකක් හොයලා දියන්

    ReplyDelete
    Replies
    1. මම දෑන් දන්නව මම තනි වෙලා නෑ කියල....මට දෑන් නියම යාලුවො ටිකක් හම්බු වෙලා තියනව...මුලින්ම මම ඒ ගෑන ...සිරාට හදවතින්ම ස්තූති වෙනව..මට මේ යාලුවො සොයල දුන්නට...මම ප්‍රාර්ථනා කරනව මට මේ ඔක්කොම කරන්න පුලුවන් වෙන්න කියල....මම ලOකාවට ආපුවම අපි සෙට් වෙලා ගල් බෝතලයක් ගහල...කපුගේ ගෙ සින්දුවක් කියල ඉතිරි ටික කතා කරමු.....එහෙම හොඳයි නේද..? හිහ්....හීහ්....

      Delete
    2. ගල් බලකායට සම්බන්ද වීමට හෑකි වීම ගෑන ඉතාමත්ම සතුටු වෙමි.....!!

      Delete
    3. ගල් බලකාය වෙනුවෙන් මේ අවස්ථාවේදී ඔබව සාදරයෙන් පිලිගන්නවා
      ස්තුතියි
      ග.බ.වෙනුවෙන් සින්දු ඇනෝ
      (රහසින් - මචෝ බලකායෙන් උන් නමට විතරයි .කැදවුම්කරු ඇතුළු ඔක්කොම ගල් පෙන්නලා විස්කි තමයි බොන්නේ .නැත්නම් සුදුවා .ඕන් කාටවත් කියනවා හෙම නොවෙයි ඇ .)

      Delete
    4. //ඔක්කොම ගල් පෙන්නලා විස්කි තමයි බොන්නේ .නැත්නම් සුදුවා // සුදුවා ගහපු එකනම් ඉවසන්න පුළුවන් මුන් විස්කි ගහපු එක තමයි ඉවසන්න බැරි.

      Delete
    5. ඔය ටික කරන්න ඉස්සෙල්ල කරන්න තියෙන්නෙ මෙන්ඩට කොහොම හරි ගල් බාගයක් පොවන එක. නැත්තං ඉතිං අර පත්තරයගෙ ගෙදරදි වෙච්ච දේ තමයි වෙන්නෙ.

      බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    6. ඊට පස්සෙ කට්ටියත් එක්ක වරෙල්ල බදුල්ලේ. පස්සර පාරේ අටේ කණුවෙන් නගිමු නමුණුකුල.. මුදුනටම ගිහින් සීතලේ අසෝක මල් ගහක් යට ගහමු කුණුවෙන්න. වෙරි බාගෙට බහිනකං ඉඳලා ස්ප්‍රිංවැලි පැත්තෙන් බැහැලා බ්ලැක් පූල් වල නාමු. සියළු දුක්ඛ දෝමනස්සයන් ඈවරයි දෑවරයි තුන් ඈවරයි.

      ගනං ගන්න එපා සමීරයා තේ වත්තෙ එක සර්පයැයි ඉන්නේ.. අපි තව හොඳවැයින් එකෙක් අල්ල ගමු.

      අඩේ බූට් මාසෙකුත් ප්‍රකාශ කොරල දන්නෙම නෑ.

      Delete
    7. //පස්සර පාරේ අටේ කණුවෙන් නගිමු නමුණුකුල.. මුදුනටම ගිහින් සීතලේ අසෝක මල් ගහක් යට ගහමු කුණුවෙන්න. වෙරි බාගෙට බහිනකං ඉඳලා ස්ප්‍රිංවැලි පැත්තෙන් බැහැලා බ්ලැක් පූල් වල නාමු//
      ++++++++++++++++++++++++++++++
      අනේ කමියෝ බ්ලැක් පූල් එකේ නාන්න තියනවානම් බොන්න ඕනෑ නැ බන් .ස්ප්‍රිංවැලි මතක් කරන්න එපෝ ....පරණ වැරදි තියනවෝ .

      Delete
    8. කමියො , //පස්සර පාරේ අටේ කණුවෙන් නගිමු නමුණුකුල.. මුදුනටම ගිහින් සීතලේ අසෝක මල් ගහක් යට ගහමු කුණුවෙන්න. වෙරි බාගෙට බහිනකං ඉඳලා ස්ප්‍රිංවැලි පැත්තෙන් බැහැලා බ්ලැක් පූල් වල නාමු.// +++++++++++++++++++++++++++++
      එකෙකුට බෝතල් දෙකක් වත් බොන්න වෙයි. මමත් ආසම පැත්ත

      Delete
    9. සින්දු.. මටත්. කාටවත් ඇහෙයිද දන්නෙ නෑ..

      කම්මලේ.. අත්දුටුවයි. ප්‍රත්‍යක්ශයි.

      Delete
    10. ඔය කියන තැනට අගෝස්තුවෙ යමු...කම්මල අයියා වැඩේ සංවිධානය කරලා ගන්න...අනිවා යමු..

      අශෝක තුරු සෙවනක හිඳ
      තනිකම පාලුව හිත කිතිකවන සිහිලස
      පලායන්නට රහමෙර ටිකක් නැතිනම් ගොඩක්
      බිදෙන් බිඳ බොක්කට හලා.
      දුක අමතක කර සිනාසෙමු
      පෙරදාක හිනැහුනා මෙන්....

      Delete
    11. අර කළු පාට ලේබලේ තියන බෝතලේ නෑතේයි......????

      Delete
    12. බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    13. ගල් බලකාය ඉදිරියට ගෙනාවා නම් ලංකාවෙ විශාලතම සිවිල් සංවිධානය බවට එය පත් වන බවට මගේ අක්මාව මට කියනවා.

      Delete
    14. //ගල් බලකාය ඉදිරියට ගෙනාවා නම් ලංකාවෙ විශාලතම සිවිල් සංවිධානය බවට එය පත් වන බවට මගේ අක්මාව මට කියනවා.//

      එක උඹේ විතරක් නෙමේ අනෙක් උන්ගෙත් අක්මාවලට හොඳ නැති බව මගේ වකුගඩු වලට දැනෙනවා.

      Delete
    15. නෑ නෑ... බුට් මාසය ඉවර උන ගමන් බේබදු කමට තිත තියන්ව....

      Delete
  12. මචං...............

    ඔය බූට්මාසය පටං ගත්තේ කවද්ද.... කවදා වෙනකල් තියෙනවාද????? මගෙත් සපත්තු දෙකක් තියෙනවා හදාගන්න

    ReplyDelete
    Replies
    1. කාර්තුවක් කරන්න වෙයි , මාසයක් නම් මදි

      Delete
    2. //ඔය බූට්මාසය පටං ගත්තේ කවද්ද//
      උඹ අහන්නේ කාගේ බුට් මාසේ ගැනද ? මගේ නම් මචෝ සැප්තැම්බර් ..හැක් හැක්
      බුට් කෑවේත් ඒ මාසේ වයිෆ්ගේ උපන්දිනේ තියෙන්නෙත් ඒ මාසේ ..කොහොමත් බොන්න පුළුවන් ..හැක් හැක්

      Delete
    3. සින්දු ඇනෝගෙන් බූට් මාසයට ලැබෙන බොක්කෙ සහයෝගය පිළිබද මාගේ බලවත් ස්තූතිය....

      Delete
    4. පාඨකයන් ගේ බලවත් ඉල්ලීම මත බුට් මාසය තවත් මසකින් දීර්ඝ කිරීමට සත් ගුණවත් සිරා කොලුවා තීරණය කර ඈත....හිහ් හිහ්....

      Delete
    5. අනේ නැත...දුක අමතක කර සිනාසෙමු...මාර්තුවේ සිට යලිත් පරණ පීල්ලට...

      Delete
  13. මොන මඟුලක්ද ඕයි ඇමරිකාවේ ගෑණු නැතුවටද?
    අපි මේ ඉන්න ගෑණු දාල හරි එහෙ එන්න දඟලවනවා සැප විඳින්න...උඹ මෙතන නහයෙන් අඬනවා සැප විඳ විඳ...

    ReplyDelete
    Replies
    1. ගෑනු නැත්නම් ඇමරිකාව නෙමෙයි බං මෙහෙත් සැපයි

      Delete
    2. //ගෑනු නැත්නම් ඇමරිකාව නෙමෙයි බං මෙහෙත් සැපයි//
      ++++++++++++++++++++++++++++++++++++++
      හිකිස්

      Delete
    3. ඒක තමයි මේ මමත් කල්පනා කරේ...මේකිට ලවු කරපු කාලේ ....කෙක්කෙන් පොල් කෑඩුව නම් මීට වඩා හොඳයි...හික්ස්......

      Delete
    4. ගෑනු නැත්නම් ඇමරිකාව නෙමෙයි බං මෙහෙත් සැපයි

      එල ද බ්‍රා

      Delete
    5. //ගෑනු නැත්නම් ඇමරිකාව නෙමෙයි බං මෙහෙත් සැපයි // ++++


      No women no cry...

      Delete
  14. සිකුරු තරුව රැයේ.....
    අදුර මකන අගේ..........
    හදට අහස හිමි වන පෝදා........
    ලොව හදටම නතු වෙනවා.....
    තරුවද අමතක වෙනවා.....

    අහස හිමී තුරු මුදුනේ මල් හිනැහෙනවා
    නොපැතු සැනේ පෙති ඉහිරී
    බිමට වැටෙනවා...
    අහසට පිපි මල් සේ
    පොළවට පර මල් හිමි වේ
    පිපි මල් පර මල් වෙනවා
    ඒ මල් දුක සගවනවා...

    සදළුතලේ සද විලසේ
    ඔබ හිනැහෙනවා
    දිළිදු මගේ හද අරණේ
    එළිය නිවෙනවා
    ඔබ නෙත් සද පහනේ
    සදළුතලේ සද සැගවේ
    ඔබ යළි සදවත වෙනවා
    මිහිරිව ඔබ රිදවනවා...

    සිකුරු තරුව රැයේ.....
    අදුර මකන අගේ..........
    හදට අහස හිමි වන පෝදා........
    ලොව හදටම නතු වෙනවා.....
    තරුවද අමතක වෙනවා.....

    ReplyDelete
    Replies
    1. ගායනය - එඩ්වර්ඩ් ජයකොඩි සමග චරිතා ප්‍රියදර්ශිනී
      ගී පද - බන්දුල නානායක්කාරවසම්
      සංගීතය - රෝහණ වීරසිංහ

      Delete
    2. සින්දු ඈනෝ ගෙන් ලෑබෙන සහයෝගයට මාගේ හද පිරි උත්තමාචාරය......!!!

      Delete
    3. පාළු කුටියේ මා පරාජිතවී
      නිදා නොනිදා හිඳින රෑ
      සිහිනනයෙන් හෝ පෙනේවා...
      ඔබේ සෙනෙහේ නිවුණ පහන්
      නොනිමි පහනක් වීලා....!!!

      Delete
  15. ජීවිතේ හැටි ඔහොම තමයි බං..මමත් ඔය දුක අඩු නැතුව හතර වතාවක්ම අත්දැකල තියෙනව..හිත හදාගනිං..අපි කැමති අයව අපිට ලැබෙන්නෙ නෑ වගේම අපිට කැමති අයට අපිව ලැබෙන්නෙත් නෑ..ඕක තමයි ලෝක ස්වභාවය. මට කැමති, ආදරය නොකියා කියූ කෙල්ලො දුසිමකට වඩා මටත් හිටිය. ඒත් ඒ එකෙකුටවත් මගෙ හිත ගියෙ නෑ.. ඒ වගේම මම තදින්ම ආදරය කරපු හතර දෙනාගෙන් එකෙකුටවත් මාව ඕන උනෙත් නෑ...ඔහොම තමයි ඕවයෙ හැටි... හැම එකතුවීමකම වෙන්වෙන දවස කොටල තියෙනව. අපිට කියවගන්න තේරෙන්නෙ නෑ අදද හෙටද තව අවුරුදු ගානකින්ද කියල. ඕකයි ප්රස්නෙ. ජීවිතකාලයක් එකට හිටියත් අර කොටාල තියෙනෙ දිනේට මරනයෙන් හරි වෙන්වෙන එක නවත්තන්න අපිට බෑ. අපි මැරෙන දාට ජෝඩුදාල මැරෙන්නෙ නෑනෙ. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ. මෙතනදි වෙලා තියෙන්නෙ අර කවදහරි වෙන්න තිබිච්ච දේ ටිකක් කලින් සිද්දවෙලා..කවදහරි දැනෙන්න තිබ්බ දුකක් කලින් ඇවිල්ල..ඔච්චරයි..අනික මේ කෙලවරක් නොපෙනෙන සංසාරෙ අපිට ඔයවගේ දේවල් කොච්චරනම් වෙලා ඇද්ද..කොච්චර අය අපිට අහිමිවෙලා ඇද්ද....කොච්චර ආදරෙන් හිටපු අයව අපිට දාල එන්න සිද්දවෙන්න ඇද්ද..අපිට ඒව මතක නෑ..මතක්කරගන්න ඕනෙත් නෑ..මේකත් තවත් ඒ වගේ එක සිද්දියක් විතරයි කියල හිතාගනින්..මේ පලවෙනි එක නෙමේ..අන්තිම එකත් නෙමේ..කවදහරි නිවන් දකිනකල් අපි ඔය රවුමෙ කැරකෙනව.......

    ReplyDelete
    Replies
    1. සOසාරේ භවේ දුකා......කියල හිත හදා ගන්න තියෙන්නේ ......නෑතෙයි මම කියන්නෙ...ඔබමයි ආවේ ඔබමයි යන්නේ මා එතනම එහෙමයි.....!!!

      Delete
  16. ප්‍රසාද් මිත්‍රයා, ගියසැරේ ඉන්දික දාල තිබුණ පෝස්ට් එකේ වගේ ඔබටත් තියෙන්නෙ වෙච්ච දේ ගැන පසුතැවෙන්නෙ නැතුව තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගෙන ඉදිරියට යන එකයි. ඔය තැනැත්තියට වැඩිය හොඳ කෙල්ලෙක් ඉදිරියෙදි ලැබෙන්න පුලුවන්.

    ඒ පෝස්ට් එකට බින්දි දාල තියෙන කොමෙන්ට් එකේ මේ කොටසත් වටිනව.

    //BindiFebruary 16, 2015 at 6:09 PM

    පලවෙනි ආලයම ජිවන සහකරු වෙන්න ඕන කියලා නියමයක් නැහැ. ඔය නවකතා වලින් ෆිල්ම් වලින් අපේ ඔළුවට දාපු එකක්. අනික පසු කලක හමුවන පැරණි ආලයන් නිසා සිත සසල වීම ස්වාභාවිකයි . නමුත් ඒ හැඟීම් පාලනය කරගැනීමට අවශ්‍යයි. //

    ReplyDelete
    Replies
    1. සිරාගෙ ලක්ෂ 4 කඩඉමට සුබ පැතුම් !!

      Delete
    2. ස්තූතියි ප්‍රසන්න අයියා...මම ඕවා සමරන්නෙ නෑ වෙන උන් වගේ...

      Delete
    3. මම ඕවා සමරන්නෙ නෑ වෙන උන් වගේ...

      මේ ඒවා හරියන්නෙ නෑ කඩමු බෝතලයක්
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    4. ආයෙත් ගහලා... එහෙම යන්න දෙන්න බෑ... බෝතලයක් මදි බන්... කඩපන් ගල් කේස් එකක්... (බයිට් එක බෝල කඩල )

      Delete
    5. අන්න හරි එ.බා.මෙ. සහ බූ.ඇ.
      එහෙම ලේසියෙන් ගැලවෙලා යන්න පුලුවන්ද.

      Delete
    6. තව ඉතින් අඩු පාඩුවට ඩොල්කිය ගහල සින්දුවකුත් කිව්වොත් පOකාදු පහයි.....

      Delete
    7. අශෝක ගහ යට සොමියට ප්‍රසන්න අයියත් සෙට් වෙන්න...

      Delete
  17. තුවාලේ තියෙන එකාලුනේ වේදනාව දන්නේ. මම නම් ඇත්තටම බුට් එකක් කාල නැති නිසා අයිතියකුත් නැහැ මුකුත් කියන්න. හැබැයි ඉතින් ඔය බුට් එක බොලේ කෑවා එතනින් එහාට මයි කා මයි පෙට්‍රල් නේ. හිත හදා ගන්න එක විතරයි. මල්ලිලා කසාදයක් බැන්දම තමයි නියම සටන. දෙන්නෙක් එක ගෙදරකට වෙලා ළමයි බමයි හදාගෙන නැන්දම්මල මාමලා නෑනලා මස්සිනාලා එක්ක එන හැට හුටාමාරක් අලකලන්චිත් පරක් කරගෙන දීගයක් කන එකද රස බුට් එකද කියලා තේරුම් ගත්ත දාට ආයේ මේවා ගැන හිතලා හොඳට හිනා වෙන්න හැකි වෙයි.
    ඒ ළමයාට අලුත් රටකට ආව ගමන් තනිකම මකා ගන්න ඔයාව ඕන වෙන්න ඇති.
    කෙල්ලන්ට වඩා විරහව දරා ගන්න බැරි කොල්ලන්ටද .

    ReplyDelete
    Replies
    1. ඔව් නේද....ඒ අදහසට මම එකඟ වෙමි....අපිත් බලමුකො...අනාගතයෙදි..මේ ඉලව් අමත කරල දාල....ඉක්මනට වෙන එකියක් එක්ක එක වහලක් යටට යන්න.....

      Delete
  18. අබාධිත කළල ගොඩක් වෙලාවට බඩේදිම ගබ්සා වෙනව සොභාවිකවම, ඒ වගේ අබාධිත ආදර කතාවලුත් නිකම්ම ගබ්සා වෙනව. ඒක වෙන ඒ වෙලාවෙ හිතට දුක උනාට එහෙම වෙච්චි එක අනාගතයෙදි සතුටක් විදිහට හිතට දැනේවි. ඒ හින්ද බම්පර් එකේ ඔය ස්ටිකර් එක ගලවල ගෙදර දොරේ ගහගනින්

    දවසින් දවසට කොළයෙන් කොළයට
    කොළ අඩුවෙනවා දින දසුනේ..
    මොහොතින් මොහොතට මා ගැන සටහන්
    වියැකී යනවා ඔබ මනසේ..

    පුරපස අවපස වෙනසක් වූවද
    ඔබ වෙයි සඳ මගෙ හද අඹරේ
    මගෙ ඒ සිතුවිලි හා සබැ‍ඳේවි ද
    මුදු සිතුවිලි ඔබ හද මැදුරේ

    සිතුවෙම් සිතනෙමි හුරු ලෙස ඔබ ගැන
    මගෙ හිත චංචල වූයේ නෑ
    දින දසුනේ තව එක කොළයක් ඇත
    එක දවසකි ඉතිරිව ඇත්තේ

    සිතන්න බොළඳියෙ මගේ කුටියටත්
    ඔබෙ කුටියට මෙන් වසරින් වසරට
    නව දින දසුනක් එනවා....

    කියල.

    ReplyDelete
    Replies
    1. එක අතකින් ඉතින් ඔය හුටපටේ ඔතනින් ඔහොම උන එක කොච්චර දෙයක්ය ...නෑතෙයි...මමත් කෑමති ඉකමනටම අනාගතයට යන්න මේ ඉලවු අමතක කරල දාල....

      සින්දුව නම් පOකාදුයි....!!!

      Delete
    2. මමත් කැමතිම සින්දුවක් මේක...මේ කමෙන්ට් එක දැක්කට පස්සෙ කාලෙකට පස්සෙ ආයෙමත් ඇහුවා...

      Delete
    3. මගෙත් මේ දිනවල දවසේ ගීතය මේක තමයි....හීහ්....හීහ්...

      Delete
  19. ඔහොම උඩ යන්න දඟලන උන් බිම වැටෙන්නේ අතපය කඩාගෙන... කෙල්ලෝ ඔහොමමයි... කියන්න දේවල් ආවත් හිර කරන ඉන්නවා... මොකද මොනවා උනත් උඹ ඒකිට ආදරේ නිසා.... ඕවට සැලෙන්න එපා... උඹත් හිත තද කරන් ඉස්සරහට පලයන්... පෙන්නපන් උඹෙත් වැඩ කිඩ... කෙල්ලෝ මත්තේ වැඩිය නැහෙන්න එපා... (ඔය ඔක්කොටම තියෙන්නේ එකම ගැජමැටික් ටික තමයි බන්)

    ෆිල්ම් වල තමයි ලුණුයි බතුයි කමු කියන උන් ඉන්නේ... හැබෑ ලෝකේ ඉන්නේ සල්ලිවලට නැහෙන බැල්ලියෝ...(90% විතර) ඔහොම එකියක් උඹට නොලැබුන එකමයි හොඳ....

    ReplyDelete
    Replies
    1. සිනා දෙතොලේ පර වෙලා..
      පෙති හැලී සුන් වීලා..
      දැවී හළු වී නිමා වී යයි...
      මතකයේ සේයා....
      මතකයේ සේයා...

      සිතක සෙනෙහේ වපුරවන්නට..
      නොහැක බලයෙන් නම්..
      සිතක කදුලැලි නෙතින් ගැලුවත්..
      නොවේ හද උණුසුම්..

      දිනා සිහසුන් අරා හිදිනට ..
      වරම් නැති වීමෙන්..
      හෙළු අවසන් සුසුම් පොදවත් ..
      උණුසුමක් වීයන්...

      කරුණාරත්න දිවුල්ගනේ..
      මට දැන් හිතෙන්නෙ අර ඇතින්නකට පැටියෙක් ලැබුනම රැහෙම ඇතින්නන්ට කිරි එරෙනවා කිව්ව වගේ සිරා මල්ලිගේ හිටපු බලදාරිනිය හිතනවද දන්නේ නැහැ යකෝ මම එකාටයි බූට් එක තිබ්බේ..මුන් සේරටම මම බූට් එක දුන්න වගේ හැම එකාටම දැන් තමයි මතක් වෙන්නෙ කියල හිතෙනවද දන්නේ නැහැ...

      Delete
    2. එක කොල්ලෙක්ට චූ බරර හැදුනම අනෙක් උනුත් පෝළිමට හිට ගන්නව කියල අහල නැද්ද?

      Delete
    3. එක කොල්ලෙක්ට චූ බරර හැදුනම අනෙක් උනුත් පෝළිමට හිට ගන්නව කියල අහල නැද්ද?
      ++++++++++++++++++++++++++++++

      Delete
    4. සිරා කොලුවාගේ සහ අනිත් සියලුම දේනා ගේ...මා ද ඈතුලුව...නෑති වී ගිය මානව අයිතිවාසිකම් වෙනුවෙන් සියල්ලෝම එකා මෙන් පෙල ගෑසෙමු.....!!!

      Delete
    5. ලව් සික් කාරයන්ට උපදෙස් දෙන අපේ අයියලා දිනේවා !

      Delete
    6. මම තුරුම්පු තියන් උනත්..
      නොගහ හිටියෙ
      නුඹව කපන්න බෑරි හින්දයි...
      ඒ නුඹට තිබ්බ ආදරේට...
      මට ඕන කලේ
      කොහොමහරි සෙපෝරු කර ගන්න..
      ඒත් මම නොහිතපු නොපතපු වෙලාවක
      නුඹ එක පාරටම මට ගෑහුවා නේද..
      කොට් අතක්ම....

      (උපුටා ගන්න ලදී)

      Delete
  20. අාෙපා් බං උෙඹ් ෙපනුම දැක්කම කැමති ෙවයිද ගෑනු. නුවර අය ඔය වැඩ බැරි ගාල්ෙල උං ෙප්න්න බෑ. ඒක්ෙකා් හැඩ තිෙයන්න ඔ්න නැත්නං වැඩ තිෙයන්න ඔ්න.

    ReplyDelete
    Replies
    1. අනේ මටත් උඹේ ලස්සන මුණ බලා ගන්ට තිබුන නම්....හෑක් හෑක්....!!...

      Delete
    2. අනුන්නට අපහාස කරන්න කලින් උඹේ මූණ පෙන්නලා හිටිංකො...මිනිස්සු ලස්සන වෙන්නෙ ක්‍රියාවෙන් මිස මූණත් තහඩුවෙන් නෙමෙයි..

      Delete
    3. eka thamai kiwwe. ඒක්ෙකා් හැඩ තිෙයන්න ඔ්න නැත්නං වැඩ තිෙයන්න ඔ්න. muta dekama nene.

      Delete
    4. කොල්ලන් වැඩ පෙන්විය යුතුය යන්නෙන් ඇනෝ අදහස් කරන්නේ ඔහු දක්ෂයෙකු විය යුතු බවයැයි සිතමි. පොෂ් වූ පමනින් ඔහුට කැමති වන කෙල්ලොත් ඇති. ඒත් පොෂ් බව හැන්ඩිකම කියන දේවල් තරුණබව නැති වන විට හෙමිහිට දිය වී යයි. ආදරය හිත හොඳ සාර්ථක මිනිසකු පසුපස සැමදා සිටී. හිතහොඳ වූ පමනින් කෙල්ලන් පැන ගෙන එතැයි සිතීම ද අද කාලයේ හැටියට මෝඩකමකි. සමීරට නැවත සැබෑ ආදරයක් දිනා ගැනීමට හැකි වේවා.

      Delete
    5. කසුන් මම ඔබ සමග එකඟ වෙමි....බොහෝ දෙනෙකු මිනිසුන් තේරුම් ගෑණීමේදී බොහෝ කරුණු මගහරී. ඔවුන් හරි හෑටි කරුණු අවබෝධ කර ගන්නා විට ප්‍රමාද වී වෑඩිය..

      Delete
  21. සංවේදී ලිපියක් ..සැබෑ ආදරය සල්ලිවලට ගන්න බෑ කියන එක ගොඩක් අයට තේරෙන්නෙ නැත්තේ ඇයි :/

    ReplyDelete
    Replies
    1. ගොඩක් මිනිස්සු හිතන්නෙ ජීවිතේ කියන්නෙ සල්ලි කියල....නමුත් සල්ලි ඕන ජීවත් වෙන්න මිසක්....ජීවත් වෙන්න සල්ලි නිසා නෙමයි....!!!

      Delete
  22. සමීර , මචං සිරාගේ කාමරේ මීට කලින් තිබුන "බට්ටි නගාට පෙම් කලෙමි" කතාව කියෝපන් ඉස්සෙල්ලම. හැම දේම වෙන්නේ හොඳට කියල කියනවනේ. ඔය පොල්ල උඹ ඕකිව බැන්දට පස්සෙ වැටුන නං.? වෙන එකෙක් පදින්න පටන්ගත්ත නං උඹ කරගහගත්තට පස්සෙ? උඹ බේරුනා කියල හිත හදාගනින් කොල්ලො. අත්දැකීමෙන් කියන්නෙ. පොලු වැටුණු එකාට කවදාවත් වැරදිලා නෑ. උඹට ඒකිගේ එකට වඩා උඹේ BMW එක පොඩි කියල හිතෙනවා නම් මහන්සිවෙලා වැඩකරලා බස්සපන් සුපිරි වන්ඩියක්. ගලෝල විසිකරපන් ඔය බම්පරේ ගහපු මගුල. රෙද්ද.. උඹ ආදරේ කරන එකීට නෙවෙයි, උඹට ආදරේ එකියෙක්ට පණ උනත් දෙන්න ලෑස්ති වෙයන්. දුක වැඩිම නම් හෙනටම බිසි වෙයන්, අලුතෙන් අධ්‍යාපන කටයුත්තක් පටන්ගනින්. යාලුවන්ට කෝල් කරපන්, කරන්න අතපසු වෙච්ච අමාරු වැඩ කරලා ඉවර කරපන්. ටික දවසකින් ඔය ගතිය සනීප වෙයි. ඊට පස්සෙ මම කියන්න දෙයක් නෑ, අලුත් බලාපොරොත්තුවක් උඹව හොයාගන එයි. අත්දුටුවයි. උඹට ජය. ප.ලි.- හැබැයි කොල්ලො ඕනවට වඩා බොන්න, පිස්සු කෙලින්න හදන්න එපා. ඔය බූට් සීන් එක ආශීර්වාදයක් කරගනින් තමන්ගෙ අනාගතයට.. ජීවිත වලට ලැබෙන පාඩම් ඔව්ව, කිසිම විස්ස විද්යාලෙකින් නොලැබෙන...

    ReplyDelete
    Replies
    1. muge boruwalata nikam form wenna epala ban. mu muge post eke kiyala thiyenne me blog eke eka palawunama balannawath beriwei kiyala duka wedikamata. den methana ewith eka comments walata reply karanne huu kiyakiya. nikam kale nasti wenawa me wage sinibola love kathawalata upades deela.

      Delete
    2. සජ්ජා ඒ කතාව ඈත්ත.... මේ ඔක්කොම මගුල් අමතක කරල දාන්න ඕන...එත් ටික දවසක් යාවි...මම දන්නව....ඔව් ඔව් මම අර මගුල ගලවල විසි කරනව...ඉක්මනට අලුත් ජීවිතයකට මුල පිරීමට තරයේ සිතට ගතිමි.....!!!

      Delete
    3. තවද ඉහත ඈනෝ ගේ අදහස මට වෙනස් කිරීමට නොහෑක...ඒ ඔහු හිතන විදිය...හෑබයි ඒක නෙමයි ඈත්ත...කෙසේ නමුත් ඔහුට මම කිසිවක් නොකියමි...

      Delete
    4. ඇනොලා කියන දේවල් ඔලුවට ගන්න එපා...

      Delete
  23. මේකට මුලින්ම කමෙන්ට් එකතු කරන්න ගියේ දවස දෙකකට කලින්. කුමක් හෝ තාක්ෂණික ගැටළුවක් නිසා අතපහු වුණා.
    මේ කතාව ඉතාම සන්වේදීයී. තමන්ගේ පෙම්වතා/පෙම්වතිය තමන්ගෙන් ක්‍රමයෙන් ඈත් වෙනවා කියලා දැනුනම, ඒ වේදනාව හිතින් දරාගෙන ඉඳීම බොහොම අපහසු කටයුත්තක්. මේකට සමාන අවස්ථාවක් තමයි තමන් කැමැත්තෙන් ඉන්න කෙනෙක් වෙනත් කෙනෙකුට ආකර්ෂණය වෙන මොහොත. හැබැයි මෙතන මොන කාරණයකට හරි රස හෝ දුක විඳින්න අපට ලැබෙන්නේ, මේ කතාව මේ අකාරයෙන් අවසන් වුණ නිසා. ඒක හොඳින් ගියා නම් මෙහෙම වෙන්නේ නෑ. නමුත් මේක මෙහෙම වුණ එක හොඳයි. විවාහ වෙලා එහෙම වෙනවට වඩා. ඒ වගේ අත්දැකීමට මුහුණ දෙන්න බැරි අය බොහොමයක් විට ජීවිතෙන් කඩා වැටෙනවා. මට කියන්න තියෙන්නේ වෙන්න තියෙන විදියට කරුණු කාරණා ඉටු වෙලා හොඳ දවසක් එයි. එදාට ඔයාට මේ අතීතය ගැන සමහරවිට හිනා යන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. පළමුව ඔබගේ වටිනා අදහසට ස්තුති කරමී.... අන්න ඒ අනාගත දිනය එනතුරා බලා සිටිමී.....!!!

      Delete
  24. adarayakadi vitarak nowe hama badimakama vena yana de gana igi godak kalin venawa, apita ewa penne passe, tamanta kiyanna ona de vahen oro kiyana aya wagema natural igi valin tamanata ona de kiywena velawuth tiyanawa, namuth adare kiyana hagimata a dewal penne na, namuth kasada bandata pasu me dewal godak hodin penawa, denenawa, kisima kenekta 100 % galapena aya lebbene na, kawada khoma adare karala bandath galapenna galapanan bari venaskam dara ganna sidu venawami, a nisa me wage dewal valata sitha ridawa ganima miriguwak wage :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඈනෝ ඔබේ කතාව හරි...මේ ලොකේ කොහෙවත් පරිපුර්ණ මිනිසුන් නෑහෑ...අපි කාගෙත් මොනව හරි අඩු පාඩුවක් තියන්ව..ගොඩක් වෙලාවට අපිට ඒක පෙනෙන්නෙ නෑ.....

      Delete
  25. ඔබ අත්හැර ගිය ඇගේ සතුට පමණක් පතන්න.ඇය සිහියට එන හැම මොහොතේම මවකට සේ සොයුරියකට සේ මෙත් වඩන්න.ඔබට පෙම් නොකළ කිසිවෙක් ඔබ ඇසුරේ තබාගන්නට මොන තරම් වෙහෙසක් දරන්නට වෙනවාද?අදින් පසු ඒ වෙහෙසකර කාලය ඔබ වෙනුවෙන් වෙන් කරන්න.ඔබට සැබෑවට ආලය කරන්නී මුණගැසුණු දාක,ඒ ගෙවුණු කාලයට සිනාසෙන්නට ඔබට හැකිවෙනු ඇත.බට්ටි නගාට පෙම් කල සොයුරා ද කලේ ඔහු පෙලූ ඒ කාලපරිච්චේදය ඔහු වෙනුවෙන්ම යොදවා ගැන්මය.

    ReplyDelete
    Replies
    1. ආ මල්ලී.. පරන කතාවක් කියවල වගේ... හොඳයි හොඳයි. දැන් නම් ඔව හිතන්න වෙලාවක් නැ බන්...වැඩ වැඩ.. ඉවරයක් නැ...

      Delete
  26. අවුරුදු ගානකට පස්සේ කියවන අපි වගේ අයනම් හිතන්නේ දැන් මේ සිද්දියට මුහුණ දුන්න සහෝදරයා හොද තැනක ඇති කියලයි. දැන් ඔයාගේ ජිවිතේ ගැනත් අපිට කිව්වනම් ගොඩක් වටිනවා..

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...