Thursday, April 23, 2015

55 ඇල්ෆ්‍රට් බාස්

ඇල්ෆ්‍රට් බාස් වාසය කලේ සිරා කොලුවාගේ නිවාසයට යාබදවයි. ඇල්ෆ්‍රඩ් කියා ඔහුගේ නම නිවැරදිව කිව යුතු උවත් ගමේ උන් මෙන්ම පවුලේ අයද ඔහුව ඇමතුවේ ඇල්ෆ්‍රට් යනුවෙන් නිසාම මමද ඒ නමම මෙහි යෙදුවෙමි. අත් උදව් කරුවෙකු ලෙස නිවාස ඉඳිකරන තැන් වල මේසන් බාස්වරුන් සමග අාරම්භ කල ඔහුගේ වෘත්තීය ජීවිතයේ මැද භාගයේදී මේසන් බාස් කෙනෙකු ලෙස උසස් වන්නට ඔහුට හැකි විය.

සිරා කොලුවා කුඩා කාලයේ කාර්ය බහුල මේසන් බාස් කෙනෙකු වූ ඇල්ෆ්‍රට් බාස් ශරීරයෙන් එතරම් විශාල තැනැත්තෙකු නොවේ. බතික් සරමෙන් සහ කමිසයෙන් නිතරම සැරසුන ඔහුගේ කන් දාරයට හැමවිටම පාහේ මුත්තයියා බීඩියක් තනි රැක්ක බවක් මට මතක තිබේ. රහමෙර පානයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි මේ මිනිසා නිසා ඔහුගේ ඇඹේනිය වූ අනුලාවතී මෙන්ම දරු කැළතද අපා දුක් වින්දෝය. එක් සරමක් සහ කම්බා 3 ක හුරතල් බලන්නට අපේ බාසුන්නැහේ වාසනාවන්ත විය.

දිවා කල වෙහෙස මහන්සියෙන් සොයාගන්නා මුදලින් වැඩි හරියක් රිචාගේ පොට් එකේ කසිප්පු අතර දියකර දෙපසට වැනෙමින් නිවසට පැමිණෙන ඇල්ෆ්‍රට් බාස් එතැන් සිට ඇල්ෆ්‍රට් නාටකය පටන් ගනියි. අනුලාවතී බිසව සමග හෝ තම දරුවෙකු සමග සුළු බහින්බස් වීමකින් ආරම්භ වන මෙය දිනපතාම වාගේ මධ්‍යම රාත්‍රිය දක්වාම විකාශය කෙරිනි. එකල සිරා කොලුවාගේ පියාගේ මෑණියන්ද අප අතර සිටි හෙයින් මේ නාටකය අතරතුර කුණු හරුප එක දෙක ගුවනට නැගෙන විට සෑම දාකම මෙන්ඇල්ෆ්‍රට් ගොයියාගේ පලු ඇරීම ඇගේ සිරිත විය.

කම්මලේ බල්ලාට යකඩ තැලීම අතරතුර වුවද නිදාගැනීමට හැකියාව ඇති සේ ඇල්ෆ්‍රට් ගොයියාගේ ‍රාත්‍රී විශේෂ ජවනිකාව ඝන අඳුරේ ගිලෙන අප ගම්මානයට සාමාන්‍ය දෙයක් වී තිබුනි. කිසිවෙකුත් මේ ගැටුම් නිරාකරණයට මැදිහත් නොවූ අතර ඇල්ෆ්‍රට් ‍ගොයියා ගමේ අනෙකුත් අයවලුන් සමග ඉතා හොදින් පයුරු පාසානය පවත්වා ගෙන යාමත් ඒ වගට ඉවහල් වන්නට ඇත.

ඉඳිකිරීම් කටයුත්තක් බාර නොවූ දවසට කිතුල් පිත්තකින් සකසා ගත් බිලී පිත්තක් අතැතිව මාළු බෑමට ඔයට යන මේ ගොයියා අඳුර වැටෙන අවස්ථාව වන විට පෝර කවරයක් තුල දඟලන ජීවීන් පිරිසක් නිවසට කැන්දාගෙන එන්නේය. එයින් අනතුරුව ලිපේ අළු සමග මාළු කපන්නට ඔට්ටුවන අනුලාවතී අඩ අඳුරේ වුවද අප නිවසේ සිට හඳුනාගැනීමට අපහසු වූයේ නැත. මාළු අහුවෙන්නේ පව් කාරයන්ට පමණක් බව නැසීගිය මිත්තනිය අතීතයේ නිතරම කීවා මතකය. ඇල්ෆ්‍රට් ගොයියා පව්කාරයෙකු නිසාදෝ ඔහුගේ ඇම කන්නට මාළුන් පොර කන්නට ඇත.

අපේ කථානායකයාගේ පවුකාර කම් වලට තවත් උදාහරණ තිබේ. කසිප්පු වලට දියවීමෙන් ඉතිරිවන මුදල නිවසේ නඩත්තුවට, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ප්‍රමාණවත් නොවන නිසාම අනුලාවතී හාමිනේ අප ප්‍රදේශයේ සාර සුබාවට ක්‍රියාත්මක වූ කල්‍යාණි උළු මොලේ සේවයට එකතු වී සිටියාය. අප කලාපයේ තිබූ එකම උළු මෝල වූ මෙහි මේ ඇත්තියන් කුමන ආකාරයේ රාජකාරියක් කලා දැයි මම නොදනිමි.

බිත්තරයක් විකිණීමෙන් අමතර ආදායමක් ඉපයිය හැකි බව ඇගේ කුඩා මොළයට වැටහුන හෙයින් ඔවුන‍්ගේ නිවසේ පසෙක පුංචි පහේ කුකුළු කොටුවක් විය. කුකුල් නාම්බෙක් දෙන්නෙකු සමග කිකිළියන් 10 - 15 අතර ප්‍රමාණයක් එහි සිටි බවක් මට මතක තිබේ.

වැස්ස තදින් වැටෙනා දවසක එළිමහනේ ඉඳිකිරීම් කටයුතු ඇණ හිටියි. එවිට ඇල්ෆ්‍රට් බාස් වේලාසන ‍නිවසට පැමිණෙයි. රිචා‍ගේ පොට් එකෙන් ඇඟ රත්කර ගන්නට කලියෙන් කටට රසට බත් ඩිංගක් කන්නට මාංශයක් ඔහුට අවශ්‍යය. එවන් විටෙක කිසිදු ලැජ්ජාවක් නොමැතිව බිරිඳගේ කුකුල් කොටුවට රිංගන හෙතෙම කුකුල් නාම්බෙකු කකුල් කෙටියෙන් අල්ලා වයරයකින් ගෙල සිරකොට පොල් ගසකට තබා ගැටගසයි. බෙල්ල හරහා වදින මන්නා පහරෙන් නිසල වන කුකුලා තවත් මොහොතකින් කෑලි කැපී මැටි හට්ටියක ගොජ දමයි.

මෙවැනි දිනයක සේවය නිමවා නිවසට පැමිණෙන අනුලාවතී කෝපයෙන් පරල වන්නේ තවමත් පොල් කඳක එල්ලෙන කුකුලාගේ ගෙල කොටස දැකීමෙනි. රිච‍ාගේ නොම්බර එකේ සුදුවා නිසා නිවසේ තද නින්දක පසුවන ඇල්‍ෆ්‍රට් බාස් ඉලක්ක කොට අනුලාවතී මුවින් වෑහෙන ගුණ වැයුම ඉවසාගත නොහැකි තැන බාස්ගේ ශ්‍රී මුඛයද විවර වෙයි. එවැනි දවසක ඇල්ෆ්‍රට් නාඩගම‍ වෙනදාට වැඩි හඬකින් ගම දෙවනත් කරයි. තමා දන්නා සියලු කුණු හබ්බයෙන්ද අනුලාවතී මෙල්ල කරනට බැරි තැන ඇය වෙත නොමසුරුව බෙදා හරින පහරකින් දෙකකින් පසු සභා තොමෝ නිශ්ශබ්ද වන්නාහ. මෙවැනි විටෙක ඇල්ෆ්‍රට් ගොයියාගේ මූණටම කිව යුත්ත කියන්නට අපේ මිත්තනියට කොන්දක් තිබුනි. ඇයට ගෞරවයෙන් සැලකූ  ඇල්ෆ්‍රට් බාස් කිසිම දිනෙක මිත්තනිය සමග වාදයට පැමිණෙන්නේ නැත.

සුදුවා නිසා ඇල්ෆ්‍රට් උන්නැහේගේ ඉඳිකිරීම් වල තත්වය බාල වන විට, දවසක් වැඩ කලොත් දවස් දෙකක් ඇගේ පතේ අමාරුවට අඩි ගසා නිවාඩු ගන්නා විට ඔහු සොයා පැමිණි ගණුදෙනුකරුවන් මඳින් මඳ අඩුවිය. අවසානයේ කිසිදු වැඩකටයුත්තක් නොමැතිව නිවාස අඩස්සියට වැටුන ඇල්ෆ්‍රට් ගොයියා රිචාට අාවතේව කිරීමෙන් දවසේ සුදුවා අවශ්‍යතාව සපුරා ගන්නා තත්වයට පහත් වූවේය.

අප නිවසේ එකල වරින් වර සිදුකල ඉඳිකිරීමේ කටයුතු වලට අහළ පහළ මිනිහා නිසා ඇල්ෆ්‍රට් ගොයියා ගන්නා ලෙස විදේශයක සිටි තාත්තා අම්මාට කියා තිබුනි. මේ කියන දිනයේ අපේ ළිං මිදුලට සිමෙන්ති දමමින් තිබුනි. බාස්ගේ අත්උදව් කරුවා ලෙස නොයෙක් වර කටයුතු කල දයානන්ද ගොයියා මේ කටයුත්තටද දායක විය.
උදෑසන සිට හොඳින් වැඩකටයුතු සිදු විය.  දහවල් ආහාරය පිණිස කටයුතු නතර කරන විට අනන ලද විශාල සිමෙන්ති  කන්දක් ඉතිරිව තිබුනි. කෑමෙන් පසු නැවත පැමිණෙන බව කියා ඇල්ෆ්‍රට් ගොයියා රිචාගේ පොට් එකේ ඔන්දස්පොට් වන්නට ඇත. නියමිත වේලාවට ගෝලයා පැමිණියද ගුරා නැත. සිමෙන්ති මඳින් මඳ සවි වෙයි. බලා සිට බැරිම තැන ඇල්ෆ්‍රට් ගොයියාගේ නිවෙසට ගිය කල සාලය මැද දපාගනෙ සිටි ඔහුගේ රූපකාය අපට සම්මුඛ විය. එහෙත් ඔහු සිටියේ ලෝක විනාශය සිදුවුවත් ඇහැරෙන නින්දක නොවේය. කිසිිසේත් ඔහු අවදිකරගත නොහැකි වූ තැන ගෝලයා යන්නට ගියේය. සවස 4 ට පමණ හෙණ ගැහුවාක් මෙන් නින්දෙන් අවදි වී නතර කල තැනෙන් ඉතිරිය පටන් ගන්නට තකහනියේම පැමිණියත් ඒ වන විට අනන ලද සිමෙන්ති සවි වී තිබුනි.

මේ සිදුවීමෙන් පසු ශ්‍රමය මෙන්ම මුදල්ද නාස්ති කරන ඇල්ෆ්‍රට් ගොයියාට තවත් වැඩ නොදෙන ලෙසත්, මෙතෙක් කල් කල වැඩ වලට මුදල් ගෙවා නිදහස් කරන ලෙසත් තාත්තාගෙන් ලද උපදෙස් නිසා අප නිවසේ එතැනින් පසු ඔහුට ඉඳිකිරීම් කාර්යයන් පැවරුනේ නැත. පිටින් පැමිණි පුද්ගලයන් ඒවා නිම කරන විට ඇල්ෆ්‍රට් බාස් අප සමග මඳ විරසකයක් පෙන්වීය.

කෙසේ හෝ තාත්තා නැවත සියරට පැමිණි පසු බාස් ඔහු සමග යම් තරමකට හිතවත් විය. ඒ කාලයේම තාත්තාගේ මෑණියන් හදිසියේම අභාවප්‍රාප්ත වූවාය. මළගෙදර කටයුතු වලටද නොමසුරුව සහාය වූ ඇල්ෆ්‍රට් ගොයියා පුරා සතියක් පමණම අප නිවසේ සාමාජිකයෙකු මෙන් සියලු කටයුතු කෙරෙහි සහයෝගය දුන්නේය.
මරණ ගෙදර කටයුතු අහවර වුවද ඇතැම් ඥාතියෙකු අප නිවසේ තව දුරටත සිටීම නිසාම මියගිය මිත්තනියගේ කාමරයේ නිදාගන්නට මා හට සිදුවිය. මගේ තනියට ඇල්ෆ්‍රට් බාස් නතර විය.

වේලාව මධ්‍යම රාත්‍රිය පසු වී තිබෙන්නට ඇත. එක් වරම නැගුනේ විලාපයක් බඳු හඬකි. මර භයෙන් මා තැති ගනිද්දී කිසිත් නොවූ ලෙසින් ඇල්ෆ්‍රට් බාස් මගෙන් කරුණු විමසීය. ඔහු තද නින්දේ සිටියදී අනුලවතීගේ නම කියා බෙරිහන් දුන් බවක් ඔහු දන්නේ නැත. අන්ලෝ....මහ රාත්‍රියේ ඇසුන බියකරු හඬ එයයි.

කාලය සෙමෙන් සෙමෙන් ගත විය. බාස්ගේ දරු කැළත දැන් පාසල් අධ්‍යාපනය නිමකොට වෘත්තීය ජීවිතයට එළඹ තිබේ. ඉස්සර වාගේ ආදායමක් නොමැති නිසා ඔහුගේ රැස් අඩුවී ඇති සෙයකි. සිය පියාගෙන් කුඩා කාලයේ කුමන ආකාරයේ තාඩන පීඩන එල්ලවුවද දරුවන් ඒ බවක් මතක තබාගෙන පළි ගන්නට ගියේ නැත. ඔහු ඔවුන්ගෙන් සැලකුම් ලැබුවේය.

දැන් ඇල්ෆ්‍රට් බාස් රාත්‍රියට නාඩගම් නටන්නේ නැත. දරුවන් දෙන දෙයක් කා නිහඬව ජීවත් වෙයි. එහෙත් ඔහුගේ දෛවය ඔහුට අකාරුණික වීම ආරම්භ විය. හදිසියේම කූඹියෙකුගේ දෂ්ඨනයක් නිසා වැරෙන් කසන ලද බාස්ගේ දකුණ කකුලේ පහල කුඩා තුවාලයක් ඇති විය. එහෙත් මේ කුඩා තුවාලය කෙමෙන් කෙමෙන් පැතිරී විශාල තුවාලයක් බවට පත් විය. අවසානයේ වෛද්‍ය උපදෙස් පතා බටහිර වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගත්තද සුවයක් ලබන්නට අපහසු විය. තුවාලය වේලෙන්නේම නැත.

ඉස්සර බීඩි බීපු ඒවායෙ ප්‍රතිඵල තමයි. කකුලෙ ස්නායු අඩපණයි. ලේ ගමනා ගමනයත් හරියට වෙන්නෙ නෑ. වෛද්‍යවරු එසේ පවසා තිබේ. දැන් දැන් කකුලේ යටි කොටස කලු වී කුණු වෙන්නට ආසන්න වී තිබේ. රෝගියාගේ ජීවිතය බේරගන්නට දකුණු කකුල වළලුකරට මඳක් ඉහළින් කපන්නට සිදු විය. එහෙත් ඒ තුවාලයද සුව වන්නේ නැත. එවර දණහිසට මඳක් පහළින් කපන්නට තීරණය විය. තුවාල ශුද්ධ කරන, බෙහෙත් දමන වාරයක් වාරයක් පාසා ඇල්ෆ්‍රට් බාස් දරුණු වේදනා අත් විඳින්නට ඇත. දණහිසට පහළින්ද තුවාලය සුව නොවූ තැන කලවා කිට්ටුවෙන් කකුල නැවතත් කපා දැමුනි. එතැනදී ඔහුගේ තුවාලය සුව වූ නිසා පවුලේ අය සැනසුම් සුසුමක් හෙලන්නට ඇත.

එහෙත් දෛවයේ සරදම මේ යැයි කියමින් ඇල්ෆ්‍රට් බාස්ගේ වම් කකුලද හේතුවක් නොමැතිවම තුවාල විය. වම් කකුළද දකුණ කකුල පරිද්දනේම බේරාගත නොහැකි තැනට පැමිණි පසු කලින් පාදය ඉවත් කල ආකාරයෙන්ම ඉවත් කෙරිනි. ඒ තුවාලද  සුව නොවූ තැන ඉහළට ඉහළට වන්නට කපා අවසානයේ කළවා වලින්ම ඒ පාදයද ඉවත් කෙරිනි.

මේ අවස්ථාවේදී ඔහු බලන්නට ගම්පහ රෝහලට යන්නට මා හට හැකි විය. කකුල් දෙකම අහිමි ඇල්ෆ්‍රට් බාස් කුඩා දරුවෙකුගේ ප්‍රමාණයට පත් වී තිබේ. ඔහු දෙස බලන කවරෙකුට වුවද ඉපදීම යනු දුකක් බවට පසක් වූ බවට සැක නැත. ඔහු බොහෝ සේ කෙට්ටු වී තිබේ. මම ඔහුගේ ඇඳ වෙත ලං වී ඔහුගේ අතක් අල්ලා ගතිමි. හෙතෙම තේරුම් ගත නොහැකි හැගීමකින් යුතුව මා දෙස බලා උන්නේය. ඒ ඇස් දෙකේ ඔහු විඳි සහ තවමත් විඳින වේදනාව අපූරුවට සටහන් වී තිබුනි.

මැරිලවත් යන්නෙ නෑනෙ...ඔහු යන්තමින් කීවේය.

සිරා කොලුවා ඇල්ෆ්‍රට් බාස්ට ඉක්මන් සුවය පතා නිවසට පැමිණ වැඩි දොහක් ගියේ නැත. ඔහු ජීවන ගමනෙන් සමු ගත්තේය. එහෙත් එ් වන විටත් මෙලොවදී සිදු කල පාපයන්ට විපාක මේ ජීවිතය තුලදීම අත් දකින්නට ඔහුට දෛවයෙන් නියම වී තිබුනි.



මම කාමරේ අරින සිරා කොලුවා.


ප.ලි

බට කැළයට ගිණි ගත්තාක් මෙන් කොයි වේලාවෙත් සිගරට් දුමට වහ වැටුනු ඇත්තන් ඇල්ෆ්‍රට් බාස්ගේ කකුල් දෙකට සිදු වූ දේ කියවා හෝ ඒ ගමන් මගෙන් මිදෙත්වා.

55 comments:

  1. එක හුස්මට කියෙව්වා ලස්සනයි+ ඔබට ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියන්ති... ඔබටත් ජය !

      Delete
  2. ඉතාම සංවේදී සත්‍ය කතාවක්. ග්‍රාමීයව ජීවත්වන දුගී භාවයේ සහ ජීවන අන්ධකාරයේ ඔහේ වැනෙන මේ වගේ පවුල් ලක්‍ෂ ගනනාවක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම ඔව්...දුගී බවේ විෂම චක්‍රය සමහර පවුල් වලට කවදාවත් බිඳින්න බෑ. එයට හේතුව බීමත්කම..

      Delete
  3. ඔව් ඔව් අනිත් අයට කියනවා වගේ ඔහෙත් ඔය බට පානය ටිකක් අඩු කරානම් තමයි හොඳ
    ඕවා දෙනු පරහට
    තමා සම්මතේ පිහිටා සිට

    ReplyDelete
    Replies
    1. මැලේ රාළගෙ දැකුම්කළු පෙනුම මම සිරාගෙ කාමරේ පාඨකයන්ට පෙන්නුවා කියලා අප්සැට් එකට නේද ඔය වගේ සාවද්‍ය කථා ගොතන්නෙ...මම ඉතින් බට කටේ තියන්නෙත් නැති එකා වෙච්චි මොනවා අඩු කරනන් කියනවද මන්දා...උදේම වෙරිද ?

      Delete
  4. ඔයවගේ එපාකරපු කසිප්පු කාරයෝ අපේ පැත්තෙත් හිටියා . ගිරිගොරිස් ගැන ලිව්වානේ. තව දෙන්නෙක් හිටියා. දැන් නම් හොට බිම ඇනිලා ඇති. උන් දෙන්නගේ කතාවත් ලියන්න ඕන කියල මේක දැක්කම මතක් වුනා.
    ගෙවල්ගාවට ඔහොම එකෙක් සෙට් වෙනවා කියන්නේ ඉතින් ...අය්යෝ කියලා වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. දිනපතා කසිප්පු බොන ගෘහ මූලිකයො ඉන්න පවුල් වල අඩ දබර, කරදර නිමක් නෑ..පවුලෙ සමගියත් නෑ. අපේ පැත්තෙ නම් මේ වයසක බුවාලා ටික වඳ වේගෙන ගියාට පස්සෙ අලුත් පරපුර ඒ මග ගියේ නෑ. උන් සතුටින් ජීවත් වෙනවා

      Delete
  5. හැදෙනව නං කියවල හැදෙන්න හොද පාඩමක්...
    හෆොයි ඒව කොහෙද කසිප්පු කොම්පැනි සිගරට් කොම්පැණි වලට පාඩු ෙවයි
    එක්කොත් ඕන නෑ

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයා කකුල් දෙක වරින් වර කපද්දි...ඒ තුවාල ශුද්ධ කරලා බෙහෙත් දාද්දි මොන තරම් වේදනාවක් විඳින්න ඇතිද..මටත් මතක් වෙද්දිත් ඇඟ හිරිවැටෙනවා.

      Delete
  6. දුප්පත්කම, නොදැනුවත්කම,ඇබ්බැහිවීම සියල්ල එක්ක ජිවන ගමන ගෙනියන මේ වගේ පුද්ගලයෝ ඕනෑ තරම් ඉන්නවා. මේවයින් පුද්ගලයින් මුදවාගන්න ක්‍රමයක් අවශ්‍යයි.

    සිරාගේ සුරා කතාවක් හින්ද මතක් උනේ. . . .කසිප්පු බේරෙන මුණක් තිබ්බ පොරක් අපේ ගමෙත් හිටිය.. හැමදාම හවසට පාරේ වැටිලා ඉන්නවා. දවසක් ගෙදරකට යන ගේට්ටුව ලග වැටිලා ඉදල. සාමාන්‍ය දෙයක් හින්ද බලලා නැ. පස්සේ තමයි දන්නේ මෑන් එතනම වලකජ්ජ ගහල..

    ReplyDelete
    Replies
    1. ඔය වගේ කථාත් බොහොම සුලභයි...බොලා හොද වෙලාවට කසිප්පු බොන එක නැවැත්තුවෙ. නැත්තං වකුගඩු ඇග ඇතුලෙම ගැලවිලා වැටෙනකං දන්නෙ නෑ.

      Delete
  7. හරිම ශෝචනීය කතාවක් . තමන්ගේ ජීවිතේ දුකට පත් කර ගන්න ගමන්, තවත් ජීවිත කීයක් දුකට පත් කරලද ? කොහොම උනත් ඒ වගේ දරුවන් ලැබුන එක ඔහුගේ වාසනාවක් . නැත්නම් කතාව මීට වෙනස් වෙන්න තිබුනා .

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම ගිම්...ඔහුගේ දරුවන්ට ඔහුගෙන් මොන තරම් අකටයුතුකම් උනත්..ඒ දරුවො ඉතාම ආදරයෙන් අවසාන කාලයේ සැලකුවා...වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. විශාල මුදලක් වියදම් කලා. එවැනි දරුවන් ලැබීම මිනිහගෙ වාසනාව.

      Delete
  8. අෆ්සට් බං..දුමක් දාලා එන්නම්

    ReplyDelete
    Replies
    1. අප්සට් කිව්වෙ උදේට කෑව තෝසෙ දෙකද..බඩ බුරු බුරු ගානවද?

      Delete
  9. Replies
    1. එක හුස්මට කියෙව්වා.. ඔය විදිහෙ අත්දැකීම් මටත් තියනව.. ඉස්සර මිනිස්සුන්ට (වැඩිමනක්) යුතුකම් වගකීම් ගැන මෙලෝ විචාරයක් තිබ්බේ නෑ. ළමයි ඔය යකාට සැළකුව ඒකත් ලොකු දෙයක්. අපේ ගෙවල් ගාව ඔය වගේ එකෙක් හිටිය. කොල්ලො ලොකු උනාම ඌට ගහනවා . බලන් ගියාම නොගහත් බෑ. ගුටිකාලම ඌ හැදුන . හැදුනා කිව්වෙ බීල කෑගහන එක නැවතුනා කොල්ලන්ට බයේ. තාත්තාට ගහන්න වෙන පාපෙත් ළමයි පිට පටෝල තමයි ඔවුං මැරෙන්නෙ.

      Delete
    2. කථාව ඇත්තයි. මේ ක්‍රමය දැන් ග්‍රාමීය සමහර පළාත් වලට විශේෂයෙන්ම සීමා වෙච්ච බවක් ‍පේනවා...කය වෙහෙසා වැඩ කරන ජනතාව අතර තමයි බේබදු කම වැඩිපුර දකින්න තියෙන්නෙ. ඔය ගුටිකෙලි අපේ පැත්තෙත් ‍නොතිබුනාම නෙමෙයි. පියවරු තමන්ගෙ ගෞරවය විහින්ම නැති කරගත්තම දරුවන්ට වැරදි කියන්නත් බෑ.

      Delete
  10. කතාව එල හිතට දුකයි
    දුමක් දාලා එන්නම් x 2

    ReplyDelete
    Replies
    1. හෙ හෙ...හොදට දුම ඇදලම බොන්න ඕනෙ...

      Delete
  11. උමගේ කතා වලට අහු නොව්චිචි තව ගමේ ඈායෝ දෙතුන් දෙනෙකුට වැඩිය නැනිව ඇති මයේ හිතේ. හැක්

    ReplyDelete
    Replies
    1. ඔයා මෙතන මගුලක් කථා කරනවා...ගමේ එකෙක් හරි විකුණලා මම පෝස්ටුවක් තලාගන්න බවක් බොට වැටහෙන්නෙ නැද්ද..යටින් වැටක් ගහන්නත් ඇවිල්ලා අපේ නයි මිරිස් සීයා...

      Delete
  12. හැදෙනවනම් හැදෙන්න ඕන් නියම කතාව. හැබැයි අවසානෙදි ඇල්ෆ්‍රඩ් බාස් ගැන ලොකු දුකක් ආව හිතට.

    ReplyDelete
    Replies
    1. ඔව්...මටත් එහෙමයි...එදා කකුල් දෙක නැතුව පොඩි ළමයෙක් ගානට ඇද උඩ ඉද්දි දැක්කම හිතට දැනුනෙ.

      Delete
  13. දුම්පානය දියවැඩියා රෝගීන්ට මරු කැඳවයි.. ඔහොම තමයි මගේ ක්ලිනික් කාඩ් එකේ තියෙන්නේ. ඊයෙ හවසත් ලාවට දුමක් දානකොට ඕක මතක් උනා.. ඇල්ෆ්‍රට් බාසුන්නැහේට සුභ ගමන්!

    ReplyDelete
    Replies
    1. ලාවට දුම දාන හැටි කියල දියන්කො.

      Delete
    2. ගෝල්ලීප් ලයිට් කියල ඉල්ලපං. හැක්..

      Delete
    3. වැඩිය පපුවට අදින්න එපා..ලාවට ඇතුලට අරගෙන එලියට දාපන්..

      Delete
    4. ප්‍රාගෙ සුරුට්ටු කොහොමද?

      Delete
    5. සජ්ජ මං හිතුවේ උඹ ඒ ගැන පෝස්ට් එකක් ලියයි කියල 'පරාර්ථකාමී දුම් පානය' කියල.. හැක්.

      Delete
    6. මොකද ක.මි ක්ලිනික් යන්නෙ...පෙනුමින් නම් සෞඛ්‍ය සම්පන්නයි නොවැ...සේෆ්ටිය ගැන කියාදෙන මිනිහා තමන්ගෙ සේෆ්ටිය ගැන හිතන්නෙ නැද්ද...

      දුම ඇදීමේ විකල්ප ක්‍රම ගැන එලද බ්‍රා ගෙන් අසා දැනගන්න...

      Delete
    7. දැන් බබා හම්බෙලා තියෙන්නේ.. ඒකයි ක්ලිනික් යන්නේ.. හැක්.

      Delete
  14. මොනව කරන්නද බං. වෙලාව සහ නොදැනුවත්කම තමයි. අනික ඉස්සර මිනිස්සු විශේෂයෙන් බාස්ල කොහොමත් ඔය බීඩිය කටේ ගහගත්ත ගමන් තමයි ඉන්නෙ. ඒ තියා මේ ළඟදි අපේ අලුත් බිල්ඩිමේ වැඩකරපු ගෝලයත් වැඩි වයසක් නැති උනත් කොයි වෙලෙත් බීඩිය වරදින්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. කාටවත් කියන්න එපා...ඉස්සර අපේ ගෙදර ඇල්ෆ්‍රට් බාස් වැඩකරපු දවසක..බිත්තියක් අයිනෙ ගහලා ගිය අලුත්ම බීඩියක් මම දෙපාරක් විතර ඇදලා බැලුවා පත්තු කරලා...

      Delete
  15. ඔහොම තමයි බන් ජිවිතේ...
    මම මේ ගැන වැඩිය කතා කරන්න කැමති නැහැ මචං අපි ආදර්ශවත් නැති නිසා...

    ReplyDelete
    Replies
    1. ලොක්ක බොන්නෙ කසිප්පු නෙමේනෙ VX බොන හින්ද අවුලක් නෑ.

      Delete
    2. ලෙකු ගල් බලකායට බදව ගත්තා

      Delete
    3. ලොකු පුතා දුම පපුව ඇතුලට අදින්න එපා...ඔය මෙන්ඩා කියන විදියට බීහං...

      Delete
  16. දුමද මතද පිටු දැක ඇති හෙයින් තිගැස්මක් නොමැත.

    ReplyDelete
    Replies
    1. මේ හැලපයියමද කියලා මම දෙපාරක් බැලුවෙ...හවසට වහීද ?

      Delete
  17. අනිච්චං දුක්ඛං සංසාරේ...

    ReplyDelete
    Replies
    1. මොකෝ නාඩියා බණ පදයක් මතක් වෙලා...වෙසක් ලග නිසාද...

      Delete
  18. සංවේදි කතාවක්.. ඒත් අවාසනාවකට වගේ මේ වගේ දේවල් අපි අවට සිදුවෙමින් පවතිනවා..

    ReplyDelete
    Replies
    1. කථාව සංවේදියි...ඒත් බාස් අතීතයේ කල කී දේ බලනකොට එය ඔහුගේ උරුමයද කියලත් හිතෙනවා...

      Delete
  19. හ්ම්,උඹලායි ගමේ බීලා ශබ්ධ පුජා තියන වුනුත් ඉන්නවානේ.හොඳ වෙලාවට අපේ ගෙවල් පැත්තේ ඔය ශබ්ධ පුජා තියන උන් ඇත්තේම නැහැ.
    පව් බං ඇල්ෆ්‍රට් ලොක්කා.ඔය බාස්ලා කොයි තරම් වැඩකාරයෝ වුනත් ඇගේ පතේ අමාරුවට බොන්න ගිහින් නිකන් චාටර් වෙලා යනවා.

    ReplyDelete
    Replies
    1. ඇඟේපතේ අමාරුවට අරක්කු බීල හරියනවද බං? කොත්තමල්ලි වෙනිවැල්ගැට තම්බල බොන්න එපැයි...

      Delete
    2. එහෙනම් ඔය වුන් බොන්නේ ඇගේ අමාරුවට කියලා හිටං.

      Delete
    3. මට මතක විදිය‍ට බොලා ඉන්නෙ නගරාශ්‍රිතව නේද...ඒ වගේ‍ නෙමෙයි බොලං ගං වල...සද්ද දාන්න ඇති තරම් ඉඩ...බාස්ලා මම එකම කෙනයි දැකලා තියෙන්නෙ සුරා සූදුවෙන් තොර..අපේ ගෙදර බොහොම මෑතක ඉඳිකිරීමක් කලා එවැනි කෙනෙක්.

      Delete
  20. නම ගම රැකියාව වෙනස් කලොත් මේ වගේ චරිත ඔනෑම ගමක ඉන්නවා. අපේ ගමෙත් දෙතුන් දෙනෙක්ම හිටියා.

    ReplyDelete
    Replies
    1. හැම ගමකම අඩු වැඩි වශයෙන් අදත් ඇති මෙහෙම ඩයල්..

      Delete
  21. බුදු අම්මේ...උබ අපිට එහෙම නම් ඉක්මන් සුවය පතන්න එපා..ඔය පේනවනෙ..ලියලම තියෙන්නෙ..
    මොනවා උනත් ඔය වගේ චරිත ගමේ උපන් උන් වෙච්චි අපිටත් ඕනෙ තරම් මුලිච්චි වෙලා තියෙනව මලය.උන්ගේ ජිවිතත් ඔයිට වඩා පොඩ්ඩයි වෙනස්.වෙනද වගේම ඉස්තරම්..ජය..

    ReplyDelete
    Replies
    1. ඉන්දික අයියට මගේ ප්‍රණාමය...හැමදාම වගේ ඇවිත් සිරා කොලුවට තල්ලුවක් දාලා යනවට...බොටත් ඉක්මන් සුව පතන්නමයි ම‍ගෙ හිත...

      Delete
  22. අපේ ගෙදරට ඉස්සරහ ගෙදරත් ඉන්නේ ඔය ජාතියේම ඩයල් එකක් .. පොතක් ලියන්න පුළුවන් මිනිහගේ කල් ක්‍රියාව ගැන ..

    හැබැයි මම නම් මිනිහගේ හෙන අහිංසක ගතියකුත් දකිනවා සමහර වෙලාවට

    දුක තමයි ඉතින්

    ලස්සනට ලියල තියෙනවා

    ReplyDelete

සිරාගෙ කාමරයට පැමිණියාට ස්තූතියි...

නැවත දිනයක ආයෙත් එන්න..... ඔබට ජය !

Related Posts Plugin for WordPress, Blogger...