සිරා කොලුවා හිච්චි එකා සංන්ධියේ අපේ අම්මා අල්ලපු ගෙදර විමලාවතී උන්දෑ සමග හැන්දෑකොරේ දර කැබැල්ලක් දෙකක් අහුලා ගන්නට වෙල් ඉස්මත්තට යාම බොහොම සුපුරුදු දසුනක් වූවේය. විමලාවතී යනු අපේ ජෑස් කොල්ලාගේ බිරිඳ බව මම මෙයට බොහෝ කාලයකට පෙර බොලාට කියා තිබේ. දෙගොඩහරි වයසේ සිටි මේ දෙපළට දූ දරුවන් නොවූයෙන් වැඩි වගකීමක් නොමැතිව ජීවත් වන්නට අවකාශ ලැබී තිබුනි. විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ කල සේවයෙන් විශ්‍රාම ගොස් සිටි ජෑස් කොල්ලා දිනපතා කරන්නට වෙනයම් රාජකාරියක්ද නොවූයෙන් තම බිරින්දෑ පස්සෙන් වැටී දර අහුලන ඉසව්වට යාමට ඇතැම් විටෙක ප්‍රිය කළේය.
අපේ නිවස පිහිටි ඉඩම අහවර වන තැනින් වෙල් යාය ආරම්භ වෙයි. එතැන් සිට එක යායට පෙනෙන්නේ කුඹුරු සමූහයකි. මේ කුඹුරු යාය මැදින් ඈතින් අත්තනගළු ඔයා ගලා යයි. අධික ලෙස වැසි ලැබෙන කාලයේදී පිටාර ගලන අත්තනගළු ඔයේ රොන්මඩ වල වූ පෝෂ්‍ය ගුණය නිසාදෝ ඔයට යාබද කුඹුරු ඉඩම් වල සරුසාර ලෙස මුකුණුවැන්න, ගොටුකොළ, කංකුං ආදිය වැවෙන බව කාලයක සිට අපේ ගමේ වනිතාවෝ දැන සිටියහ. මේ ඉඩම් වලට හිමිකරුවන් නොසිටි නිසා ඒවායේ වැඩෙන පලා වර්ග වලටද අයිතිවාසිකම් කියන්නට කිසිවෙකු සිටියේ නැත.
වස විෂ නැති පලා ටිකක් නෙලාගෙන එන ගමනේදී ආහාර පිසින්නට දර කැබැල්ලක් දෙකකුත් සොයාගන්නට හැකි වීම එක ගලකින් කුරුල්ලන් දෙන්නෙක් බාවනවා වැනි කාරියකි. ඉසිඹුවක් ලද වෙලාවක මේ ගමන යන්නට අපේ අම්මාගේ තනියට අනුලාවතී උන්දෑ හෝ විමලාවතී උන්දෑ සිටියහ. මේ දෙදෙනාම මගේ මවට වඩා බොහෝ සේ වැඩිමල් අය නිසා අපේ අම්මා අක්කේ කියා ඔවුන්ගේ නමට අගින් යෙදුවාය.
අනුලාවතී නැති දවසට විමලාවතී සමගත්, විමලාවතී නැති දවසක අනුලාවතී සමගත් අම්මා පලා නෙලන්නට ගියාය. සිහින් සුළං හමන හැන්දෑ කොරේ වෙල්යායේ ගමන ගතට මෙන්ම සිතටද සහනයකි. මඳ නල සමග එතී දඟපාන ගොයම් පත්‍ර වලින් නැගෙන සර සරයත්, එහි අසිරියත් එදවස සිරා කොලුවාගේ ළමා මනසට එක් කල මිහිරියාව තවමත් අමතක නැත.
කාන්තා පාර්ශවය පලා නෙලමින් ඕපයක් දෙකක් හුවමාරු කරගන්නා අතරේ මමත් මලයාත් ජෑස් කොල්ලා සමග ඉබාගාතේ ඇවිදින්නෙමු. ඒ අතරතුර ඔහුගේ අත්දැකීම් වචන බවට පෙරලෙයි.
කොලුවො...මෙන්න මේ හරියෙ කුඹුරු දැන් වැඩ නොකලට අපි තරුණ කාලෙ අපේ තාත්තලා වැඩ කලා. දැන් මේ හරියට වතුර එන්නෙ නෑ. ඒකයි අත් ඇරිලා තියෙන්නෙ.
ජෑස් කොල්ලාටත් විමලාවතී උන්දෑටත් දරුවන් නෙැමැති වීමේ පාලුව යාබද නිවසේ ජීවත් වූ මමත් මලයාත් නිසා අවම වන්නට ඇත. ඒ අප බොහෝ වෙලාවට ඔවුන්ගේ නිවසේ කාලය ගත කල හෙයිනි.
එක්තරා දවසක හැන්දෑවේ සිරිත් පරිදි අපේ අම්මාත් ජෑස් කොල්ලාගේ ඇඹේනියත් පලා නෙලීම සඳහා ගියෝය. සාමාන්‍යයෙන් මේ ඇත්තියන් මුලින්ම දර එකතු කරති. දර මිටියක් පමණ වන්නට එකතු කරගන්නට වැය වන කාලයට පසු එහි යාම මගෙත් මලයාගේත් ජෑස් කොල්ලාගේත් සිරිත වූහ. දර ඉපල් කඩා මිටියක් වන්නට බැඳ දැමීමෙන් පසු වෙල් යායේ ඔයට කිට්ටු හිස් භූමිය තුල ඉබාගාතේ සරුවට වැඩී තිබෙන පලා වර්ග එකතුකිරීම ඇරඹෙයි. එතැන තිබූ ගොටුකොළ ශාඛයන්හි පත්‍ර ගමේ පොලේ විකුණන ගොටුකොළ වල තරම් විශාල නැත. එහෙත් වෙල් ගොටුකොළ ගුණයෙන් ඉහළ බවත්...කොළකැඳ සෑදීමට පංකාදු බවත් ජෑස් කොල්ලාගේ අදහස වූවේය. ඇතැම් විටෙක මමත් මලයාත් පලා නෙලන කාරියට සම්මාදම් වන විටෙක ජෑස් කොල්ලා බීඩියක් අවුළුවා ඒ දුමෙන් කැවුත්ත පුරවා ගනියි. ඒ අවධියේ ජෑස් කොලුවාගේ කන් ගැට්ටේ නිතරම වාගේ මුත්තයියා බීඩියක් වැරදුනේ නැත.
ජෑස් කොල්ලාගේ පැරණි රසාංග වෙල් ඉස්මත්තේ ගලා යන්නට පටන් ගත්තා පමණකි. කොහේදෝ සිට එක් වනම ප්‍රාතූර්භූත වූ දුඹුරු පැහැති පුල්ලි සහිත හා පැටියෙක් අප ඉදිරියෙන් දිව ගියේය. හාවා යනු සිරා කොලුවාගේ ප්‍රියතම සත්වයෙකි. අපේ නිවසේ හාවෙක් ඇති දැඩි කරන්නට කාලයක සිට සිහින දුටුවත් නිවසේ සිටි වස වර්ති මාරයන් බඳු බිළාල කැළ නිසා අපේ අම්මා ඒ අදහස සාක්ෂාත් කරගන්නට කිසි කලෙක ඉඩ දුන්නේ නැත.
රබර් බෝලයක් දිය යට ඔබන්නා සේ අම්මා විසින් බලෙන් යට යවා තිබූ මගේ ආශාව මේ හාවා දුටුමතින් එක්වරම නැගී අාවේය. අනේ මේකා අල්ලාගන්නට තියේ නම්. මා හට එලෙස සිතුනේය.
වහාම මමත් මලයාත් අපට හැකි උපරිමයෙන් ඒකා පසුපස දිවීමු. එතරම් විශාල නැති මේ කුඩා හා පැටියා මේ කුඹුරු යායට අතීතයේ ජලය සැපයූ හිස් බෝක්කු කටක සැගවිනි. මමත් මලයාත් බෝක්කු කට දෙපැත්තේ මුරට සිටියේ ඉන් අනතුරුවයි. හාවාට පැනයන්නට දැන් ඉඩක් නැත. සියලුම ප්‍රවේශ මාර්ග අප දෙදෙනා නිසා ඇහිරී ගොසිනි.
බීඩි දුම ඉහළට යවමින් අප කරා පැමිණි ජෑස් කොල්ලා හාවා ඉවතට ගැනීමට දිග රිටක් සොයාගෙන එන ලෙස පවසා මලයාගේ පැත්තේ මුරට සිට ගත්තේය. එහෙත් ඔහුගේ අතපසු වීමක් නිසා කකුල් දෙක මැද්දෙන් පැන දුවන හාවා දෙස කෝපයෙන් බලා සිටිනවා විනා කල හැකි වෙනත් යමක් මා හට නොවීය. කුමක් වුවත් සිරා කොලුවා පරාජය බාර ගන්නට සූදානම් නැත. හාවා කුඩා වුවත් ඒකාගේ වේගයට අලඟු තබන්නටවත් අපට නොහැකිය. වෙල්යාය දිගේ දිවවිත් අත්තනගළු ඔය අසබඩ ගුහාවක් මෙන් සැකසුන අඳුරු තැනක හාවා සැඟවී ගියේය. ජෑස් කොලුවාට අනේක වාරයක් හිතින් දොස් පවරමින් එදා අම්මා සමග නැවතත් නිවසට ගිය බවක් මට මතකය.
මේ කියන කාලයේ සිරා කොලුවා ඉගෙනුම ලැබූවේ 7 පන්තියේ විය යුතුය. සිස්සත්තය සමත් වීමෙන් පසු නගරයේ පාසලට ඇතුලු වී තවමත් ගෙවී ඇත්තේ වසරක කාලයකි. පාසල් ගිය තවත් දිනයක් නිමවා සිරිත් පරිදි නැවත නිවෙසට පැමිණි විටෙක මා හට දකින්නට ලැබුනේ අපේ වත්ත පහලින් පටන් ගන්නා වෙල් යාය පුරාවටම ඔබ මොබ යන මහ ජන ගංගාවකි.
මොකද අම්මෙ අර ? මම ඇගෙන් මේ පිළිබඳ විමසීමි.
අපි දර කඩන්න යන දිහා ඔයේ ගැටගහපු මිනියක් තියෙනවලු ගෑණියෙකුගෙ. අම්මාගේ පිළිතුරින් මගේ සිතේ උපන්නේ මහත් කුහුලකි. දිවා අාහාරයෙන් පසු මමද මහ මද්දහනේ වෙල් ඉපනැල්ල දිගේ මිනිය බලන්නට යන ජනතාව අතරට එකතු වූයෙමි.
පෙරදා අප හාවා පසුපස එළවූ ඉසව්වේ එකම මිනිස් ගංගාවකි. ඉතාම සාමකාමී මිනිසුන් පිරිසක් වෙසෙන අප ගම් පියසේ මෙවැනි සිදුවීම් ඉතාමත් කලාතුරකින් සිදුවන නිසා මෙලෙස ජනතාව ඒකරාශී වීම පුදුම විය යුතු තත්වයක් නොවේ. මේ ජන රළ අතරින් සිරා කොලුවාට අත්තනගළු ඔය කිට්ටුව ඉවුර වෙත යන්නට අවකාශ ලැබුනි. ඔයේ ඉවුර අසලටම වන්නට මුනින් අතට හැරී ජලයේ පාවෙන කාන්තා සිරුරකි. එහි උඩුකයට ඇදුමක් නැත. යටිකය නිල් පැහැති ඩෙනිම් සායකින් වැසී පවතී. ඉන වටා යොදන ලද කඹයකින් මිනිය ජලය පතුලේ යමක ගැට ගසා ඇති බවක් ගම්‍ය වෙයි. මාලුන් විසින් අනුභව කල නිසාදෝ මියගිය කාන්තාවගේ මුහුණේ මාංශයන් දිය රැලිති සමග ඒ මේ අත වැනෙන ස්වරූපයක් පෙනෙයි.
පොලිස් නිලදරුවෝ එහි පැමිණ වටපිටාවේ සෝදිසියක් කලෝය. පෙරදා හාවා දිව ගිය ගුහාව බදු ස්ථානයේ ඇතුලට වෙන්නට සගවා තිබූ මියගිය තැනැත්තියට අයත් ඇඳුම් කැඩුම් කීපයක් සොයාගන්නට ඔව්හු සමත් වූහ. තවත් පැයකට දෙකකට පමණ පසු අනිත් පැත්තේ ඉවුරෙන් මිනිය ගොඩට ගන්නා අවස්ථාව තෙක්ම මා එහි රැඳී සිටියෙමි.
පෙරදා අප හාවුන් පසු පස දුවනා විටත් මේ ස්ථානයේ මේ මිනිය තිබූ බවට සැකයක් නැත. තවමත් හාත්පස හිරු එළිය තිබුනත් මගේ පුංචි සිතේ මහත් බියක් හටගෙන අහවරය. මම හැකි ඉක්මනින් ගෙදර දිව්වෙමි. ඒ අතර තුර කෙමෙන් කෙමෙන් හිරු අවරට ගොස් රාත්‍රී ගණදුරට පරිසරය එකතු විය.
මේ කාලයේ අපේ තාත්තා විදේශයක සේවය කලේය. එහෙයින් නිවසේ කිසිදු වැඩිහිටි පිරිමි චරිතයක් නැත. අම්මාත්, තාත්තාගේ මවත්, මමත් මලයාත් දැන් නිවසේ රැඳී සිටින්නෙමු. දිවා කල දුටු කාන්තා මළ සිරුරේ ස්වරූපය මා ඉදිරියේ කෙමෙන් කෙමෙන් මැවෙයි. සිත පුරා ඉතිරී ගිය විශාල බියකින් මම දැන් පීඩා විඳිමි. අම්මා පෙනෙන මානයෙන් මිදෙන්නට මා හට නොහැකිය.
රාත්‍රී ආහාරය නිමවා නිදාගැනීම පිණිස විදුලි පහන් නිවාදැමූ විට දෙනෙත් පියාගන්නට ඉඩක් ලැබුනේ නැත. තාත්තාගේ රැකවරණයත් නොමැති නිසා හිතට දැනෙන භිය ඉහවහා ගොස් තිබේ. මළ සිරුර තිබූ අයුරුත් මුහුණේ කොටස් ඒ මේ අත වැනෙමින් තිබූ ආකාරයත් දෙනෙත් අද්දර මැවෙයි. මුලු ගතම දහඩියෙන් නැහැවී ගොසිනි. නිදාගන්නවා තියා නින්ද අහල ගං හතක නැත.
හාවා පසුපස එදා දිවගියා නම් පොලිසිය සොයාගත් බඩු බාහිරාදිය මුලින්ම දකින්නේ අප වන්නට ඉඩ තිබුනි. අප එහි කාලය ගත කරන විටත් මළ සිරුර දියේ තිබෙන්නට ඇතැයි සිතෙන විට භිය දෙගුණ තෙගුණ වෙයි. එහා ඉවුරෙන් සිරුර ගොඩට ගන්නා විට හාත්පස පැතිර ගිය දුගඳ දැනුදු නහයට දැනෙනවා වැනිය.
ඒ මේ අත පෙරළෙමින් උදෑසන දක්වා මා විඳි අපහසුතාව මට තවමත් අමතක නැත. බොහෝ සේ අපහසුවෙන් රැය පහන් කරන්නට අවසානයේ මා හට හැකි විය. මගේ මවද මේ දර්ශනය නිසා නිඳි නොමැතිව පීඩා විඳි බව පසුදා උදෑසන දැනගත හැකි වූවේය.
අපේ නිවසේ සිට බොහෝ දුරකින් කුඹුරු යාය අද්දරටම වන්නට නිවෙසක් වෙයි. මේ නිවසේ හිමිකරු එහි පදිංචිව සිටියේ නොමැති නිසා එහි කලින් කලට නිවස කුලියට ගන්නා ලද කුලී නිවැසියෝ ජීවත් වූහ. එහෙත් මේ සිදුවීම සිදුවන කාලයේ එහි කිසිවෙකුත් ස්ථිරව පදිංචිව සිටියේ නැත. ඒ නිවසට යාබද නිවෙස් වල වෙසෙන කීප දෙනෙක් ඉකුත් දිනක රාත්‍රී කාලයේ කාන්තාවක් යටි ගිරියෙන් කෑ ගසන හඬක් යන්තමින් ඇසුන බවක් පොලීසියේ ඇත්තන් වෙත කියා තිබුනි. එහෙත් පොලිස් පරීක්ෂණ වලින් මේ මරණයට වගකිවයුතු තැනැත්තන් අත්අඩංගුවට ගත්තාදැයි මා දන්නේ නැත.
මේ ඝාතනය සිදුවීමෙන් පසු බොහෝ කාලයක් යන තුරු ඒ ඉසව්වට කාන්තාවක තියා පිරිමියෙකු හෝ තනිපංගලමේ ගියේ නැත. මගේ මවත් විමලාවතී උන්දැත් පලා නෙලාගත් ඉසව්වේම මළ සිරුර තිබුන නිසා ඔවුනට එහි නැවත යන්නට කිසිදු ධෛර්යයක් නොවීය.
එක් වැසි සමයක අත්තනගළු ඔය දෙගොඩ තලා ගලා ගොස් නැවත පෙර පරිදි නිසල විය. ඒ අාසන්න දිනයක තම ගවයන් රැගෙන එන්නට ගිය අපේ ගමේ පියසේන ගොයියාට නුහුරු දෙයක් නෙත ගැටුනේය. එදා හාවා දිව ගිය ගුහාව තුලින් මෙදා ගලාගිය අත්තනගළු ඔයේ ජල පහරට හසුවීමෙන් වෙල්යාය වෙත ලඟා වී තිබූ ඇට සැකිල්ලකුත්...ඒ අාසන්නයේ රැදී තිබූ ඉතා දිගු කෙස් කලඹකුත් පියසේන ගොයියා දුටු දර්ශන අතර විය.
ඔහුගේ දැනුම්දීම මත පැමිණි පොලිස් නිලදරුවන් සිදුකල පරීක්ෂණ අනුව දෙවැනි සිරුරත් තරුණියකට අයත් වූවකි. පළමු සිරුර එහි දමා යන විටම මේ සිරුරද කැලෑව තුල සගවන්නට ඇති බව ඔවුන්ගේ අදහස වූහ. ඒ අනුව තරුණියන් දෙදෙනෙකු එකිනෙකාට ආසන්නයෙන් අවසන් ගමන් ගොස් තිබූ අතර මේ දෙදෙනාම දුර පළාත්වල පදිංචිකරුවෝ බවට සැළ විය.
මේ සිදුවීම් වලින් පසු වසර 20 ක පමණ කාලයක් ගත වී තිබේ. එහෙත් පාළු කාමරයක, නිසල රාත්‍රියක මේ ලියමන අකුරු කරන මා හට. ප්‍රාණය නිරුද්ධ සිරුර දෙකක් සැගවි තිබූ වටපිටාවක පලා නෙලමින්, හාවෙකු පසුපස දිවූ ඒ සන්ධ්‍යාවේ ත්‍රාසජනක මතකයන් තවමත් සියුම් බියක් මෝදු කරයි.
මම කාමරේ අරින සිරා කොලුවා.
ප.ලි
ඒ සමයේ ගමේ පැතිර ගිය කටකථා අනුව මේ ඝාතන තහනම් ගහේ ගෙඩි කෑමේ ප්‍රතිඵලය. තහනම් ගහේ ගෙඩි ඉතාම විෂ සහිත නිසා නොකන තරමට හොඳය.




















